04. දනිමි මා පුතණුවනි...














ගෙනෙන විට මා ඔබ වෙත
නෙක වන් විසිතුරු කෙළි බඩු
දනිමි මා පුතණුවනි
වළාකුළු නෙක පැහැ ගැන්වෙන රහස
මල් පෙති විසිතුරුව ඇත්තේ මන්ද යන වග
ගෙනෙන විට කෙළි බඩු ඔබ වෙත
දනිමි මා ඒ රහස ගැන...

දකිනට කැමැත්තෙන් මා ඔබේ
පා පොඩි තබා නටනා අපූරුව
ගයන විට මා ඔබට
දනිමි මා නිසැකවම
ගහ කොළ ගී මුමුණන්නේ ඇයිද යන වග
සයුරු රළ හඬ නගන්නේ කුමටද
දනිමි මා පුතණුවනි
ගයන විට මා ඔබට...

කෑදර ඔබේ අත් පොඩි
රසකැවිල්ලෙන් පුරවනා විට
දනිමි මා පුතණුවනි
මල් ගොමු පැණියෙන් පිරී ඇත්තේ ඇයිද යන වග
පළතුරු මිහිරි රසයෙන් පිරී ඇති රස රහස
දනිමි මා පුතණුවනි
ඔබට රසකැවිලි ගෙනෙනා විට...

ඔබේ සිනහවක් දකින්නට
පුංචි මුහුණ සිපගන්නා විට
දනිමි මා පුතණුවනි
උදා ලහිරු කිරණ සමගින්
ආකාසය ලොවට බෙදන සතුට ගැන
වසන්තයේ මඳ සුළඟ
ගෙන එන මිහිරියාව ගැන
දනිමි මා පුතණුවනි
ඔබේ මුදු මුහුණත සිප සනහන විට...


~ රබින්ද්‍රනාත් තාගෝරයන්ගේ 'Coloured Toys' නිර්මාණයේ සිංහල පරිවර්තනයයි...

4 comments:

  1. සිත්තමීට ගොඩක් දේ ලියන්න තියනවා වගෙයි.
    හොඳ දේ මෙහෙම පරිවර්තනය කරන එකත් හොඳයි අපටත් රස විඳින්න.

    ReplyDelete
  2. මං ආසයි පරිවර්තන වැඩ වලට. :) ස්තූතියි ප්‍රියන්ත අයියේ.

    ReplyDelete
  3. "ඔබේ සිනහව දකින විට
    දනිමි මා පුතනුවනි
    මා ජීවත්ව ඉන්නා බව"
    සතු‍ටුයි ආයෙමත් ලියන්න ගත් එක ගැන.
    මැණික්

    ReplyDelete
  4. ගොඩාක් ස්තූතියි මැණික්! ඔයා ඉතින් ඉස්සර ඉඳන්ම මගේ නිර්මාණ රස විඳලා මාව දිරිමත් කරපු යාළුවනේ :) අර සන්තුරීටත් දැන් ආපහු එන්න කියන්න බැරිද? :)

    ReplyDelete