"හැබෑද කොළුවෝ අර අත්තම්මා කියන කතාව? මේ දෑවුරුද්දකට විතර පස්සේ ගමේ ඇවිදිං උඹ ආයෙ හිටි හැටියේ දුවන්ට හදනවය කියන්නේ?"
සීයගෙ කටහඬට මං ගැස්සිලා හැරිලා බැලුවා. "ආහ්, සීයේ, මං ලඟට එනකල්ම දැක්කෙ නෑනේ.."
"හුම්, හුම්... මං දුටුවා මං දුටුවා මහා බරපතල කල්පොනාවක නෙවැ ගිලිලා උන්නේ..." සීයා කිව්වේ ඉස්තෝප්පුවේ ඇඳි පුටුවට බර දෙන ගමං. එ ලඟින්ම ඉස්තෝප්පුවේ කණුවකට හේත්තු වෙලා පඩියක් උඩ වාඩි වෙලා හිටපු මං කතාවක් නැතිවම ඈත පේන කඳු යාය දිහා බලාගෙන හිටියා. "මොකද බං... කියහං. අපෙං උඹට මොකවත් අඩුවක් හෙම උනාද? ගමේ කවුරුවත් හිත රිදෙන මොකවත් කීවද? මේ තකහනියේ ගෙදර දුවන්ට හදන්නේ? ඇවිදිං කී දොහයිද ගත උනේ?"
"අනේ සීයලගෙංවත්, ගමේ මිනිස්සුන්ගෙංවත් මට වරදක් උනේ නෑ... ඒත්........ ඒත්....... අනේ ඒත් මට මේ ටෙලිෆෝන් පණිවිඩයක් ගන්න තියෙනවා සීයේ..." අන්තිමේදී මං ඔන්න ඔහෙ කමක් නෑ කියලා හිතේ තෙරපි තෙරපි තිබ්බ ප්‍රශ්නේ සීයට කියලා දැම්මා.
"මෙහෙ මොන ටැලිපෝංද දරුවෝ? ඔය ලයිට් හිටං මේ කන්ද හරියට ආවේ බොහොම මෑතකදි වෙච්චි. ඕනෙමනං මහ ටවුමෙ තැපැල් කන්තෝරුවේනං තියෙනවා මයෙ හිතේ ටැලිපෝන් පෙට්ටියක්. ඒත් එහෙ යන්ට හැතැප්ම තුන හතරක්ම පයිං ගාටන්ට එපායැ... මොකෝ උඹට මේ හදිසියෙ එහෙම උවමනාවක් ආවේ? කෝ උඹ අර මුල් දොහේ අතේ තියාන තනියෙං කියව කියව උන්නු ගඩොල් කැටේ?"
ඔන්න ඒ ගමනනං මට ඩිංග වෙන්න තද උනා. "ගඩොල් කැටයක් වෙන්නෙ කොහොමද සීයෙ ඒක, හොඳ බ්ලැක්බෙරි ෆෝන් එකක්නේ..."
"මක් කිව්වා?"
මං මේ කතා කරන්නේ සීයා එක්ක නේද කියලා මතක් වෙච්ච හන්දා ආපහු මං මාතෘකාවට බැස්සා. "හැතැප්ම තුන හතරක් නෙවෙයි සීයේ මං හැතැප්ම දහ පහළොවක් හරි ඇවිදින්නං, ඒත් මට මේ ටෙලිෆෝන් පණිවිඩේ දීගන්න විදිහක් නෑනේ..."
"අර මක්කෙයි?"
"මට නොම්බරේ මතක නෑ..."
සීයා මං දිහා ටිකක් වෙලා බලා උන්නේ මං කතා කරන්නේ හොඳ සිහියෙන්ද කියලා දැනගන්න වගේ. "දැං කාටද ඔය තකහනියේ ටැලිපෝන් කරන්ට තනන්නේ?"
ඔන්න සීයා ඉතිං කෙළින්ම ඇහුවේ මට උත්තර දෙන්න අමාරුම ප්‍රශ්නේ. "නෑ... මේ... මගෙ..." මං තතනන්න ගත්තා.
"ඔව් ඔව්... උඹෙ..." සීයා පුටුවෙනුත් ඉස්සරහට නැමිලා මයෙ දිහා ඔලොක්කුවට වගේ බලාගෙන කිව්වා.
"නම කිව්වට සීයා දන්නෙ නෑ.."
"නම කීවට දන්නෙ නැති එක හරි, ඒ උනාට උඹෙ කවුද කියලා කියහංකෝ ඉතිං අපටත් දැනගන්ඩ එක්කලා..." මං ඉතිං ගොත ගහනකොට සීයා කතාව හිතාගෙනත් ඉවරයි.
"මම්... මං මේ... මේ... මං යාළු වෙලා ඉන්න ගෑණු ළමයට සීයේ..."
"හුම්, තතන තතනා කියාගෙන එන කොට මං දැනගත්තා... කොළුවෝ, මං අවුරුදු තිස් අටක් තිස්සේ උඹ වාගෙ කොල්ලෝ කුරුට්ටෝ ආණ්ඩු මට්ටු කොරලා තමයි පෙන්ෂොන් ගියෙ..... හුම්, ඉතිං දැං මොකෝ පුරස්නේ? ඔය කෙළී හන්දා මේ අපිව දාලා දුවන්ට තනන්නේ?"
"ඇයි මං සීයට කිව්වේ, මට එයාට කෝල් එකක් ගන්න විදිහක් නෑ. එයාගෙ ෆෝන් නම්බර් එක මට මතක නෑ..."
"හරි මිනිහෙක් නෙව... කරකාරෙට ගන්ඩ ඉන්න කෙලීගෙ නමවත් මතකද උඹට?" සීයා ආයෙත් ඔලොක්කුවට හිනාව.
"මගෙ ෆෝන් එකේනේ ඒ නොම්බරේ සේව් කරලා තිබ්බේ... හයියෝ වෙච්ච දෙයක්... මේ හරියට සිග්නල් අහු වෙන්නෙ නෑනේ අර මහ ගල හින්දා... ඉතිං මං පෙරේදා කන්ද උඩහට ගියා උඩහට සිග්නල් තියෙයි කියලා හිතලා... ඒත් හරි ගියෙ නෑ... සුමනෙයත් හිටියා ගෙදර. මං ඉතිං කෝල් එකක් ගන්න වද වෙන තරම දැකලා ඒකා ඩිංගකට ඉල්ලුවා බලන්නං කියලා... ඌත් ටවුමෙ වැඩ කරන එකා හන්දා, ෆෝන් ගැන යමක් කමක් දන්න එකා කියලා මං දුන්නා ඌට ෆෝන් එක... හයියෝ ඒකා මාව කෑවනේ... මං ඩයල් කරන්න ලෑස්ති වෙච්ච නම්බර් එක උගෙ අතින් බ්ලොක් වෙලා... සඳමාලිගෙ නොම්බරේ... ඉතිං මක් කරන්නද... මාත් මේ අළුත් ෆෝන් එක අරං වැඩි කාලයක් නෑ... ඔය නොම්බර බ්ලොක් කිරිලි, අන්බ්ලොක් කිරිලි මං දන්නෙ නෑ... දත්මිටි කකා ඒක හරිග්ගස්සන්න හදද්දි මගේ අතිං නම්බර් එක ඩිලීට් වෙලාම ගියානේ..." ඒ හෑල්ල කියාගෙන ගිහිං මං අත්දෙකේ ඔළුව ගහගත්තා.
සීයා ටිකක් වෙලා කතාවක් නැතිව හිටියේ මං කියාපුවැයිං වැඩි හරියක් සීයට තේරුණේ නැති හන්දා කියලා මට තේරුණා. ඒත් ඒක සීයට තේරෙන විදිහකට කියාගන්න මට තේරුණේ නෑ. සීයා ඕන විදිහකට හිතාගත්තුදෙං කියලා මාත් සද්ද නැතුව හිටියා.
ටික වෙලාවකට පස්සේ සීයා ලොකු හුස්මක් පිටකරනවා ඇහුනා. "දැං ඔය කෙලීට කතා කරගන්ට විදිහක් ඇත්තෙම නැද්ද?"
"නෑ සීයේ, මගෙ ෆෝන් එකේ නොම්බරේ සේව් කරලා තිබ්බේ, මට මතක නෑ ඒක."
"උඹට උඹලයෙ ගෙදර නොම්බරේ මතකද?"
"ඔව්, 351/7"
"ඒ නොම්බරේ නෙවෙයි බොල, ටැලිපෝන් නොම්බරේ."
මං කල්පනා කළා. පොඩි කාලේ ඉස්කෝලේ යද්දී හදිසියකට ගෙදරට කතා කරන්න ඕන උනොත් කියලා පාඩං කරගත්තු නොම්බරේ තාමත් මතකයි වගේ. "ඔව්, මතකයි..."
"හුම්, ඉතිං ඕකට කතා කොරලා කියහං ඒ දැරිවිට පණිවිඩයක් දෙන්න කියලා උඹ පරිස්සමෙං ආවය, මෙහෙව් අකරතැබ්බයක් උනාය කියලා..."
"අපොයි සීයේ ඒකනං කරන්න බෑ..."
"අර මොකෝ?" සීයා ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන.
"තාම අපි දෙන්නා ගැන ගෙවල් වලට කියලා නෑ..." මං මිමිණුවේ බිම බලාගෙන.
සීයා විදුහල්පතිකම කරන කාලේ තිබ්බ තේජස තාම එහෙමමයි. මගේ කතාව අහලා සියා හිනාවෙන්න ගත්තම මං ඇත්තටම පුදුම උනේ ඒකයි. "හෙහ් හෙහ් හෙහ්, උඹ හිතාන ඉන්නේ ඉතිං ඔය ගැන උඹලයෙ අම්මල අප්පච්චිල දන්නෙම නැතය කියලද?" මං සීයා දිහා බලාගෙන උන්නේ මොනවා කියන්නද හිතාගන්න බැරුව. "උඹ දැං විස්ස විද්‍යාලේ යන එකා වෙච්චි, මොකෝ ඔහොම එව්වා ආනන්තරීය පාපකර්මය? ඇරත් උඹෙ අම්මයි අප්පච්චියි හිටං පයිරු පාසානං පටං ගත්තේ ඔය බිමේදී නෙව..."
"ඒ උනාට පළවෙනි අවුරුද්දවත් ඉවර වෙනකල් අපි ගෙදරට නොකියා ඉමු කියලා කතා කරගෙන ඉන්නේ, ආයෙ විභාගේ එහෙම මොනවාහරි උනොත් එව්වත් මේක පිටිං යවයි. සීයා දන්නවනේ අපෙ අප්පච්චිගෙ හැටි. සඳමාලිගෙ අම්මයි තාත්තයිත් ටිකක් නීති දාන උදවිය. අපෝයි එයිට හපං එයා මට දාන්න එන නීති!" ඒ ගැන මතක් වෙලා මට ආයෙම හීල්ලුනා.
"හුම්, මොනවද දැං ඒ කෙළී උඹට දාන නීති?" සීයා ඇහැව්වේ බුලත් කෙළ පාරක් මිදුලට විදින ගමං.
"මට හැමදාම කැම්පස් එන්ඩලු, කොණ්ඩෙ හරියට පීරන්නලු, වැද්දෙක් වගේ රැවුල වවාගෙන ඉන්න එපාලු, ලෙක්චර්ස් කට් කරන්න එපාලු, ගෙදරට අපි ගැන කියනකල් කොහෙවත් ඇවිදින්න එන්න බෑලු, රෑට නාලා පීනසේ හදාගන්න එපාලු, වෙලාවට කෑම කන්නලු, නැත්තං ගැස්ට්‍රයිටිස් හැදෙයිලු, අරකලු, මේකලු.... වෙලාවකට මට ඇති වෙනවා සීයේ"
"ඉතිං දැං ඔය කියලා තියෙන එකක්වත් වැරදිද?"
"ඒ උනාට...."
"වැරදිද මං අහන්නේ?"
"වැරැද්දක් නෑ, ඒ උනාට එයා මගෙ නිදහස ගැනත් හිතන්න ඕනෙනේ..."
"නිදහස නෙවෙයි බං, ඒ කෙල්ල උඹට හොඳක් කරන්නයි ඔය හැටි දේවල් කියන්නේ... අම්මා අප්පච්චිටවත් වෙලාවකට ආණ්ඩු මට්ටු කොරන්ඩ බැරි උඹට ඔය වාගෙ කෙළි පැටික්කියෙක් හදි ගැහුණු එකනං බොහොම අපූරුයි..."
"සීයනං කියයි..." මම මිමිණුවේ අහක බලාගෙන. අන්තිමට පැමිණිලි කාරයට හුළං... නඩුත් හාමුදුරුවංගෙ බඩුත් හාමුදුරුවංගෙ... මං දත්මිටි කකා කල්පනා කළා.
"දැං ඔය පොළොවෙ හැපි හැපී ගෙදර දුවන්ට හැදුවෙ ඔය දැරිවි හන්දා නේද? මේ හැටි දොස් කීවට නැතුවත් බෑ නේද?" ඔන්න සීයා ආයෙම මට සවුත්තුව දානවා. ඒත් ඉතිං සීයා කිව්ව එකේ ඇත්තක් නැත්තෙම නෑ. එයා කියන දේවල් සතේකට ගණං නොගෙන මං ලෙක්චර්ස් කට් කරළා යාළුවො එක්ක රස්තියාදුවෙ ගියහම බැන බැන නෝට්ස් ලියලා දෙන්නෙත් එයාමනේ. කඩචෝරු කාලා කාලා බත් නොකා ඉන්න හැදුවම අලි බත් මුලකුත් උස්සං ඇවිත් හුස්ම ගන්න බැරි වෙනකල් අනලා කවන්නෙත් එයාමනේ. ඇස් දෙක රතු වෙනකල් මට බැනලා බැනලා අහක බලාගෙන අඬද්දී මගේ එක පුංචි විහිළුවකින් ආයෙත් හිනාවෙලා මාත් එක්ක යාළු වෙන්නේ මගෙ සඳාමනේ. අනේ ඒත් දැං මගෙං පණිවිඩයක් නැතුව ඒ කෙල්ල හොඳටම දුකෙං ඇත්තේ.
"කොළුවෝ..." සීයගේ කටහඬින් ආයෙත් මගේ කල්පනාව බිඳුනා. "ඕකට ඔය හැටි විස්සෝප වෙන්න කාරි නෑ. උඹ ඒ දැරිවිට කියලනේ ආවේ ගමේ යනවා කියලා.. ඉතිං තේරුං ගන්නෙ නැතෑ මෙහෙදි ඔය පහසුකං ඒ හැටි හොඳට වැඩ කොරන්නෙ නෑ කියලා..."
"කළිං දවසෙනං කිව්වා තමයි ගමේ එනවා කියලා. ඒත් එතකොටත් ආයෙ අර බණ දේසනාව පටංගත්තා. පරිස්සමෙන් යන්න... ගෙදරින් වතුර අරං යන්න මගදි බොන්න... ගමේදි කූඩැල්ලො ඉඳියි... ඇයි අනේ එයා හිතං ඉන්නෙ මං පොඩි එකෙක් කියලද... මං තද වෙලා ෆෝන් එක තිබ්බා... ආයෙ එන්න කළිං කතා කරන්නත් බැරි උනා. මගදි රිං කරලා තිබ්බා මට ඇහුනෙ නෑ කෝච්චියෙ සද්දෙට... ආයෙ ගන්න හැදුවත් සිග්නල් තිබ්බෙ නෑ... කොහොම හරි අර රණ්ඩුවෙන් පස්සෙ එයාට කතා කරන්න උනේම නෑ... බය වෙලා ඇති මං ඇත්තටම තරහ වෙලා කියලා..."
"හ්ම්...." දිග හුස්මක් හෙලපු සීයා ඇඳි පුටුවේ හොඳට දිගෑදිලා හාන්සි උනා. ඊට පස්සෙ හෙමින් සීරුවේ පරන කතාවක් මතක් කරනවා වගේ කතා කරන්න පටන්ගත්තා. "කොළුවෝ, මේ අහගං. උඹෙ අත්තම්මා මට බහ දීලා උන්නු කාලේ මං රාජකාරි කොළේ දකුණු පළාතේ, බොහොම පිටිසර ඉස්කෝලෙක... ඒ කාලේ ඔයි වාගේ අතේ ගෙනියන ටැලිපෝන් තිහා අර මේසේ උඩ තියෙන එව්වා උනත් තිබ්බේ එහෙමත් තැනක. හදිසි පණිවිඩයක් යවාගන්ට තිබුනේ ටැලිගරැං විතරයි. නිතර දෙවේලේ ගමේ යන්ඩ හැටියකුත් නෑ, ගමනාගමනේ බොහොම දුස්කරයි... මාස හයකට වංගියක් තමා මං ඒ ඇත්ති බලන්ඩ ගියේ... ඕං බොරුනං අහලා බලහං ගිහිං..." ගෙයි ඇතුළට ඔළුව හරෝලා සීයා කිව්වා. ඊලඟට බුලත් කෙළ පාරක් එහෙම ගහලා ආයෙමත් කතාව පටංගත්තා. "අපි කතාබහ කොළේ දරුවෝ ලියුං කරදහි වලිං. මං සුමානෙට දෙක තුන ගානේ එව්වා උඹලයෙ අත්තම්මට ලියුං. උන්දෑ දවසට එක ගානේ ලියලා සතියෙ අන්තිමට පියුං උන්නැහෙට දෙනවා තැපැල් කරන්ට කියලා. ලියුං ගනුදෙනුවේ රහ උඹලටවත් උඹලයෙ අම්මලා අප්පච්චිලටවත් විඳින්න ඉඩක් ලැබුනේ නෑ දරුවෝ. ඔය තාස්සනේ දියුණුවත් එක්කලා ඒ ඔක්කෝම අබාවෙට ගෙහුං. දැං හිතිච්ච ගමං 'හලෝ' ගාන්න විතරයි නෙව තියෙන්නේ. ඒක බැරි වෙච්චි හැටියේ ඉතිං පොළොවේ පස් කන්ට තනනවා. ඒ කාලේ ආදරවන්තයිං ගාව තිබ්බ ඉවසීම කෝ දැං උං ලඟ. පොඩ්ඩ ඇත්තං හැකේ මුල් කොරගන්නවා. ඊලඟට බැන අඬගාගෙන ගහමරාගන්නවා..." සීයා ඩිංගකට කතාව නවත්තලා හුස්මක් ගත්තා. මං ඒ කාලේ රජ කතා අහං උන්නාටත් වඩා ආසාවෙං කටත් ඇරං සීයා දිහා බලාගෙන ඉන්නවා.
"උඹට කියන්ඩ පුතේ, උඹලයෙ අත්තම්මා හරි කවිකාරි නෙව. හැම ලියමනේම නොවැරදීම කවියක් තියෙනවා. වතාවක් ඉස්කෝලේ සංවත්සර උත්සව කාලෙකදි මට ඩිංගක් අතපහු උනා ලියුං යවන්ඩ එක සුමානයක් විතර. ඒ ගමන උන්දෑ එව්වා තව ලියමනක්. ඒකේ තිවුණේ කවි පංතියක් විතරමයි. එව්වා බොහොම වටින මතක සටහන් පුතේ. මං එවාපුවයි, උන්දෑ එවාපුවයි ඔක්කෝම උඹලයෙ අත්තම්මා තවම පරිස්සං කොරං අරන්තියාගෙන ඉන්නවා, වෙලාවක ඉල්ලගෙන බලහං. ඔය තාස්සනෙයි, එක එක විච්චූරණයි මත උඹලයෙ ජීවිත ගොඩනගන්ඩ එපා. එව්වා උඹලා යටතේ තියාගනිල්ලා." සීයා කතාව ඉවර කළේ පරණ මතක වලින් පිරුණු දිලිසෙන ඇස් දෙක ඈත කඳු වලල්ල දිහාවට යොමාගෙන.
එදා හවස මං සීයලාගේ ගෙදර මිදුලේ අරලිය ගහ යට ඉඳගෙන මගේ ආදරවන්තියට ලියන පළවෙනි ආදර හසුන ලියන්න පටන්ගත්තා.

කොච්චර එකක්ද. ඔය SMS, call වලට වඩා ආදර හසුන් හරි මිහිරියිනේ.
ReplyDeleteමැණික්
ඒකනේ... ඒවායේ වටිනාකම කාලයත් එක්ක බොහොම ඉහළ යනවා. ස්තූතියි මැණික්.
ReplyDeleteඅඩේ බොල..මේක නියම සෙල්ලම නේද?.....උඹ පරණ ලියපුව ඔක්කොම ආයෙ දානව මෙතන නේද?....ඉඳහංකො උඹට පුලුහං නං මොකොද මට බැරි?....මාත් දානව මයෙ බොලොග් එකේ ඔය වලව්වෙයි සොඳුරු සිතෙයි ලියාපු කයි කතන්දර ඔක්කොම ආයෙමත්.....නොකිව්වයි කියන්ට එපා ඔන්න..තරහ වෙන්ට ඔට්ටු නෑ හරිය?...:) :)
ReplyDeleteමං මොකොටද බොලේ තරහා වෙන්නෙ? ආයෙ මං ලියාපුවය? වළව්වෙ මැණිකෙගෙනුයි, සොඳුරු සිතේ අයිතිකාරිගෙනුයි අහලා ලියන එකනෙ ඇත්තෙ. :)
ReplyDeleteඅයියට කියන්න, තාම මේ දාපු පෝස්ට් ඔක්කෝම මං ලියාපු පරණ එව්වම තමයි. ආයෙ අළුතෙන් හිතලා මොකවත්ම ලිව්වෙ නෑ නෙව ලඟකදි. මේ පරණ ලියමං ගබඩාව හිඳිච්ච දාක තමයි ඔන්න මගෙ හිත ආයෙ වැඩ කරන්න ගන්නෙ.
@ හි හි අනේ මන්දා සිත්තමී.. ඔය කිවුවට ලියුම් වල මොනවා ලියන්නද මන්දා. මට ලියුමක් ලියන්න කියලා පෑනයි කොලේකුයි අතට ගතාම හිතා ගන්න බැරි වෙනවා මොනා ලියන්නද කියලා. ඉතින් එස් එම් එස් දාහෙන් සම්පතයි. ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්... :D :D
ReplyDeleteආ, ලියුමෙ ලියන්නෙ මොනවද කියන එකද පුරස්නෙ? සිම්පල්නේ. ඔන්න අහගන්නකෝ. ඔයා එස් එම් එස් එකේ කොටන පොඩි වචන ටික තියෙනවනේ. අන්න ඒ වචන ටික ගැන හිතන්න. හොඳට නිවී හැනහිල්ලේ, තනි පංගලමේ ඉඳගෙන හිතන්න. හිතට එන තැනකින් පටන්ගන්න. ලියාගෙන යන්න. ඔයාටම බ්‍රේක් ගහගන්න බැරි වෙයි. අත්දුටුවයි සත්තයි. ඔයාට කිව්වම මොකද ඔන්න මේ එක ගෙදර එක වහල යට ඉන්න මගේ සිත්තරාට මං තාමත් ඉඳ හිට ලියුං ලියනවනේ. :D
Deleteගොඩාක් ස්තූතියි අරුන්දතී ඔයාගෙ කමෙන්ට් එකට. :) :) :)
හරිම ලස්සනයි සිත්තමී නඟේ ... මේක මට වලව්වේදී මිස් වෙලා ද මන්ද මට කලින් කියෙව්ව වගක් මතක නැහැ..
ReplyDeleteහ්ම්ම් ඇත්ත තමයි. අපේ අම්මලාගේ ලව් ලෙටර්ස් තාමත් එයාල පරිස්සමට තියාගෙන ඉන්නවා. එහෙම ලියුම් කොහෙද අපිට..
හැබැයි දන්නවද? මම මගේ පෙම්බරා එවාපු පලවෙනි එස් එම් එස් එක ලඟකදී පරණ ෆෝන් එක චාර්ජ් කරන්, හොයල හොයල ... අමාරුවෙන් හොයාගත්ත. ඒකෙ එවපු දිනේ පෙන්නම ෆොටෝ එකක් අරන් ඇල්බම් එකට දැම්ම :)
ගොඩාක් ස්තූතියි අමා අක්කේ. මාත් ඉස්සර සිත්තරා මට එවපු එස් එම් එස් ඔක්කොම පොතක ලිව්වා. :D
Delete