75. වනස්පතියක් සහ රෝස මලක්...


ඒ මහා වනස්පතියෙක්
රූස්ස නුග ගහක්
බොහොම ගරු ගාම්භීරෙට
අණසක පතුරවාගෙන හිටපු
කැලේ හැම ගහකට, වැලකට, මලකටම
රජ්ජුරුවෝ
හැමෝවම බලාගෙන පරිස්සං කරගෙන හිටියා
ඒත් කාටවත් වැඩිය ලං වෙන්න දුන් නෑ
මොකෝ මන්දා
අතේ දුරෙන් තමයි හිටියේ
හුළං හැමුවට ගණං ගත්තෙවත් නෑ
කුරුළු ගීත නෑහුණා වාගේ හිටියා
පුංචි සමනල්ලු ලඟට ආවත් අහක බලාගෙනම හිටියා

ඉතිං ඔන්න දවසක්දා
මේ මහ නුග ගහ පාමුල
පිපුනා පුංචි රෝස මලක්
කියන්න බැරි තරමට ලස්සන


මහ නුග ගහටත් පුදුමයි
මීට කළිං කවදාවත්
මේ තරමට ලං වෙලා
මේ තරං ලස්සන හුරුබුහුටි රෝස මලක් 
දැකලාම නෑ

පුංචි රෝස මල නුග ගහ දිහා බැලුවා
නුග ගහත් බලාගෙන උන්නා
රෝස මල ඇස් දෙකෙන් මොනවද කිව්වා
නුග ගහ ඒ කිව්වේ මොකද්ද කියලා දහ අතේ කල්පනා කළා

ඔහොම දවස් ගෙවිලා ගියා
හදිසියේම එක දවසක්
පුංචි රෝස මල නුග ගහ එක්ක හිනා උනා

එදා ඉඳං හැම දේම වෙනස් උනා

දැං ඒ මහ වනස්පතිය
සුළඟ එක්ක එකතු වෙලා නටනවා
කුරුල්ලෝ එක්ක ගී ගයනවා
සමනළ පැටවු එක්ක සෙල්ලම් කරනවා
ඒ පුංචි රෝස මලේ හිනාව ආයෙ ආයෙත් දකින්න

ඒවා බල බල පුංචි රෝස මල හැමදාම
නුග ගහ එක්ක හිනා වෙනවා ලෝබ නැතුව







74. විභාගය...

හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! මෙන්න අවුරුදු තෑග්ගට කට්ටියටම ඉඳගෙන කියවන්න මගේ මඤ්ඤමක්. :D


ජීවිතය එක්තරා අන්දමක විභාගයකි. විවිධාකාර විෂය කරුණු ඇසුරින් සැදුම්ලත් විවිධාකාර ගැටළු ඒ තුළ අන්තර්ගතය. ඇතැම් ගැටළු බොහෝ පහසුය - ඒවා විසඳීම විනෝදාත්මකය, වින්දනීයය. ඇතැම් ගැටළු වෙහෙසකරය - විසඳීමට කල් ගත වේ. තවත් ඇතැම් ගැටළු නොමග යවන සුළුය - ගැටළුව එක් අන්තයකට දිව ගියද පිළිතුර ඇත්තේ තවත් අන්තයකය.

එලෙස එක් එක් අන්දමේ ගැටළු වලට පිළිතුරු ලබා දිය යුතු අන්දමද එකිනෙකට වෙනස්ය. ඇතැම් ගැටළුවකට පිළිතුරු වන්නේ විකල්ප කිහිපයක් අතුරින් තෝරාගත්තකි. ඇතැමකට හිස් තැන් පිරවිය යුතු වේ. තවත් ඇතැම් ගැටළුවකට පිළිතුර වන්නේ දීර්ඝ රචනාවකි. සෛද්ධාන්තික මූලධර්ම ඇසුරින් විසඳිය යුතු ගැටළුද ඇත. අපිළිවෙලට ඇති කරුණු කිහිපයක් නිසි පිළිවෙලට සකස් කිරීම, රටා හඳුනා ගැනීම, නොගැලපෙන දෑ ඉවත් කිරීම පිළිතුරු දීමේ තවත් ආකාර කිහිපයකි.

මෙහිදී පෙර උගත් දෑ පිළිතුරු වශයෙන් සැපයීමට මෙන්ම අළුතින් සිතා බලා පිළිතුරු සැපයීමටද සිදු වේ. ඇතැම් විට මෙම ආකාර දෙකම සංකලනය කොට නිර්මාණාත්මක හැකියාව හා පරිකල්පන ශක්තියද උපයෝගී කර ගැනීමට සිදු වේ. ඇතැම් විට පිළිතුරු සැපයීමට ලැබෙන්නේ සීමිත කාලයක් පමණි. ඇතැම් විට උපකාරක මූලාශ්‍ර ඇසුරින් පිළිතුරු සැපයීමට ඉඩ ලැබේ. ඇතැම් ගැටළු අනිවාර්යයෙන් විසඳිය යුතුය. ඇතැම් ගැටළු අතුරෙන් කිහිපයක් පමණක් විසඳා අනෙක් ගැටළු මගහැර යා හැක.

නමුත් මේ සෑම ගැටළුවකටම විසඳුමක් කොතැනක හෝ සැඟවී ඇත.

එම විසඳුම් සොයා යන ගමන් මග තීරණය කරන්නේ ඔබ විසින්මය. මෙම ගමන් මගේ ඇවිද යනවාද, හති දමමින් දිව යනවාද නැතහොත් විසඳුම් ඔබ දෝතටම පතිත වන තුරු එකම තැන නැවතී බලා සිටිනවාද යන්න තීරණය කළ යුත්තේ ඔබමය. ඔබට ඇවැසිනම් ඉදිරියේ ඇති මාවත ඔස්සේ දෑස් මානයේ පෙනෙනා විසඳුම් බාර ගනිමින් නීරස ගමනක පිය මැන යා හැක. නැතහොත් විසඳුම් සෙවීම පසෙක ලා මග දෙපස තුරු අතු පත් මල් ගඩා ගෙඩි කඩමින් හෝ අන් අය මාවතේ කොතෙක් දුර ගොස් ඇත්දැයි විපරම් කරමින් හෝ ගමන් කළ හැක. එසේත් නැතිනම් ඔබ ගමන් කරනා මග දෙපස ඇති මල් වල සුවය විඳිමින්, ඒවා තව තවත් සුවඳවත් වන්නට දිය පොහොර දමමින්, තුරු හිස් වල සැඟවී සිටින කුරුල්ලන්ගේ ගී අසමින්, විටෙක මාවතෙන් මඳක් බැහැර වී විවේක සුව විඳිමින් ගමන් කළ හැක. එම මල් පඳුරු අතර, තුරු පත් අතර, කුරුළු ගී තුළ ඔබ නොසිතනා ආකාරයේ අපූරු විසඳුම් සැඟවී තිබීමට ඉඩ ඇත. 

කෙසේ හෝ අවසානයේදී විභාගය අවසන් වේ. ඇතැමෙක් මෙම විභාගයෙන් සමත් වේ; ඇතැමෙක් අසමත් වේ.

“Life, he realize, was much like a song. In the beginning there is mystery, in the end there is confirmation, but it's in the middle where all the emotion resides to make the whole thing worthwhile.”
― Nicholas Sparks, The Last Song



73. රුසියානු ලී බෝනික්කා...

මෙන්න හය වෙනි ගණිත විනෝදය ගැටළුව මුළින්ම විසඳුව ජයග්‍රාහී බුරම්පි නිළමේ තුමාගේ තෑග්ග. 


මගේ බුර බුරා නැගෙන සන්තෝසය සමග සුභ පැතුම් පිළිගන්න. :D



රුසියානු වදන් උපුටගත්තෙ මෙතනින්.

Кто доброй сказкой входит в дом,
Кто с детства каждому знаком,
Кто не ученый, не поэт,
А покорил весь белый свет.
Кого повсюду узнают,
Скажите, как его зовут?
Бу-ра-ти-но,
Бу-ра-ти-но.

На голове его колпак,
Но околпачен будет враг,
Злодеям он покажет нос,
И рассмешит друзей до слез.
Он очень скоро будет тут,
Скажите, как его зовут?
Бу-ра-ти-но,
Бу-ра-ти-но.

Он окружен людской молвой,
Он не игрушка, он живой,
В его руках от счастья ключ,
И потому он так везуч.
Все песенки о нем поют,
Скажите, как его зовут?
Бу-ра-ти-но,
Бу-ра-ти-но,
Бу-ра-ти-но,
Бу-ра-ти-но.

Who is a good tale enters the house, 
Who from childhood to each sign, 
Who is not a scientist, not a poet, 
And conquered the whole world. 
Everywhere who learn 
Tell me, what's his name? 
Bu-ra-ti-but 
Bu-ra-ti-no. 

Cap on his head, 
But be fooled by the enemy, 
The wicked he will nose 
And friends laugh to tears. 
He will be here very soon, 
Tell me, what's his name? 
Bu-ra-ti-but 
Bu-ra-ti-no. 

It is surrounded by gossip, 
It is not a toy, it's alive, 
In his hands the key of happiness, 
And because he is so lucky. 
All songs sung about him, 
Tell me, what's his name? 
Bu-ra-ti-but 
Bu-ra-ti-but 
Bu-ra-ti-but 

Bu-ra-ti-no.

රුසියන් බසින් ඉංග්‍රීසියට නැගුවේ ගූගල් ට්‍රාන්ස්ලේටරයෙන්. ඒක හරිද වැරදිද කියන්නනං ඉතිං මම දන්නෙ නෑ. පොඩි පොඩි එහා මෙහා වීම් තියෙනවා වගේ කියලා ටිකිරි මොළේට පොඩ්ඩක් තේරුණ නිසා කොච්චර ආසාව තිබ්බත් ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරන්න බෑ වගේ කියලා හිතුණා. සමාවෙන්න බූරො අයියේ ඒ ගැන. කම්මැලි තෑග්ගක් තමයි, ඒත් තරහා වෙන්නෙ නැති වෙයි කියලා හිතනවා.


72. ගණිත විනෝදය...06


මහාචාර්ය ඩේවිඩ් ඇතුළු ගවේශණ කණ්ඩායම ඉන්නෙ බොහොම අවදානම් තත්ත්වෙක. තවත් විනාඩි දා හතකින් නෝවෙල්ස්ට්‍රයින් ගිනිකන්ද පුපුරනවා. මේ කණ්ඩායම ඊට කළින් වැල් පාලමෙන් එගොඩ වෙලා මේ පැත්තට එන්න ඕනේ. ඒත් පාලම බොහොම අබලන් වෙලා, ප්‍රවේශමෙන් අඩිය නොතිබ්බොත් කෙළින්ම ඇදගෙන වැටෙන්නේ දරුණු සැඩ පහරකින් ඇදී යන නෙයුස් ගංගාවට. ගිනිකන්දෙන් පිට වෙච්ච දුමෙන් ආකාසෙ වැහිලා, පළාතම අඳුරුයි. විදුලි පන්දමක් නැතුව පාලමෙන් එගොඩ වෙන්න බෑ. ඒත් කණ්ඩායමටම තියෙන්නේ එක විදුලි පන්දමයි. එක සැරේකට පාලමෙන් එගොඩ වෙන්න පුළුවන් දෙන්නෙකුට විතරයි. 

ගිනි කන්ද ලඟට මේ කණ්ඩායම ලඟා උනෙත් මේ පාලමෙන්ම එගොඩ වෙලා නිසා ඒ එක් එක්කෙනාට පාලමෙන් එගොඩ වෙන්න ගත වෙන කාලය ගැන කට්ටියට දැනුමක් තිබ්බා.

ඇලෙක්ස්ට විනාඩි 1 යි.
බෙන්ජමින්ට විනාඩි 2යි.
කෝඩිට විනාඩි 5යි.
මහාචාර්ය ඩේවිඩ්ට විනාඩි 10යි.

ගිනි කන්ද පුපුරන්න කළින් මේ හතරදෙනාම පාලමෙන් එගොඩ වෙන්නේ කොහොමද?