පහුවදා පාන්දර මමත් අම්මා එක්කම කුකුළා හඬලන්ඩත් කළියෙං නැගිටගත්තා. නැගිටගත්තා කිව්වාට මට අමුතුවෙං ඇහැරෙන්ඩ දෙයක් තිබ්බෙ නෑ. හැන්දෑවෙ ඉඳං වෙච්චි දේවල්වලට නින්ද මගෙ අහලකටවත් ආවෙ නෑ. වික්‍රම දීපු ඒ කඩදහියේ රෝල් කරලා තිබුණේ සිත්තර දෙකක්. එකක් හරි ලස්සන මුහුදක ඈත ක්ෂිතිජයට උඩින් ආකාසෙ වටකුරුවට බැබළෙන හඳයි තරු කැටයි. හඳේ ඡායාව මුහුදෙ හරි අපූරුවට රැළි අතරට වැටිලා. සිත්තරේ පහළට වෙන්ඩ එක පැත්තක කළු ගලක් උඩ ඒ හඳ එළියට දිලිහෙන මුතු කැටයක්. ඒ මුතු කැටේ වට කරගෙන නට නට ඉන්නෙ කණාමැදිරියො රංචුවක්. බලා ඉන්ඩ හරි ලස්සන සිත්තරයක්. අනිත් සිත්තරේ උන්නෙ මම. බලං හිටියා වාගෙම ඇඳලා. සඳාලාට දීලා තිබ්බ ඒවා වාගෙ නෙවෙයි, පාටත් කරලා. මං හැබෑවට ඉන්නවාට වඩා හැඩයි ඒ සිත්තරේ. කොහොම ඇන්දාද කියලා මට හිතාගන්ඩ බැහැ. සඳාගේ සිත්තරේ ඇඳලා තිබ්බ හැටි මං දැක්කානේ. ඒ බලාගෙනම ඇඳලාත් එච්චර වෙනස්කම් තිබුණේ. මං කෝකටත් අම්මාට හඳ පානේ සිත්තරේ විතරක් පෙන්නලා මගෙ රූපේ අල්මාරිය ඇතුළේ හැංගුවා. පස්සෙ පෙන්නන්ඩ බැරියැ. ඊට හපං මේ හැන්දෑවේ කතා කරලා තියෙන කාරණාව. මාව පල්ලෙහා ගෙදරට පිටත් කරලා මෙතන මට මඟුල් කතා කරලා! අම්මා ඉතිං ඒ විස්තර කියලා මගෙං ඇහැව්වා මගේ කැමැත්ත අකමැත්ත. ඒත් මගේ හිත සන්තෝසෙන් උඩ පනින අතරේ හිතේ එක කොණක් මොකද්දෝ කටු පඳුරක පැටලිලා වාගේ කණස්සල්ලකින් පිරිලා ගිහින් වග මට දැනුණා. ඒ හින්දා මං එක සැරේම කැමතියි කියන්ඩ ගියෙ නෑ. හිතලා බලලා පස්සෙ කියන්නං කියලා තමයි කිව්වේ. ඒ ඔක්කෝමත් හරි, අපේ ගෙයි බිත්තියෙන් අඩි විස්සක් තිහක් එපිටින් එයා නිදං ඉන්න බව හිතෙද්දි... නින්ද යයිද මට. එයාට නින්ද යන්ට ඇත්ද දන්නෙ නෑ. එක්කො එයත් මං වාගෙ ඇහැරගෙන කල්පනා කරනවද දන්නෙ නෑ. අම්මයි මායි නිදාගන්නෙ ගෙයි අනිත් පැත්තෙ කාමරේ. ඉස්සරහා කාමරේට ගිහිං ජනේලෙ ඇරගත්තානං කෙළින්ම අක්කලාගෙ ගේ පේනවා. ඊට කෙළින්ම තියෙන්නේ අක්කලාගෙ ගෙයි ඉස්තෝප්පු කාමරේ ජනේලෙ. ඒ වුණාට මං එහෙම කරන්ඩ ගියෙ නෑ. අම්මා දැක්කොත් එහෙම. ඊටත් වඩා, එයා ජනේලෙ ඇරගෙන හිටියොත් එහෙම මං මෙහෙ ජනේලෙ අරිනවා දකීවි. ඒ හින්දා ඕන නෑ කියලා මං හිත හදාගෙන හිටියා.
අම්මා වෙනදා වාගෙම කඩේට දාන්ඩ ඉඳි ආප්පයි හැලපයි හදන අතරේ මං කිරි හොද්දට පොල් මිරිකන්ඩ පටංගත්තා. වටිංගොඩිං එළිය වැටීගෙන එද්දි හදිසියෙම කුස්සියේ දොරෙං එබුණෙ විජේ අයියා. "අදනං ගොරෝ ගොරෝ වහීද මන්දා! මේං වදේ මේකිත් අද කුකුළාටත් කළිං ඇහැරලා!" මං එයාට ඔරෝලා අහක බලාගත්තා. "වෙනදාටත් අම්මා මෙතන තනියෙං නහිද්දි නරක ඇති දෝණියන්දැට ඇවිත් මේ වැඩට උදව් වුණානං?"
"ඔහෙ පාඩුවෙ ඉන්ඩ දියං පුතේ, අද හරි ඔය ඇවිත් ඉන්නවා මදෑ!" කවදාවත් නැතුව අම්මා අද මගෙ පැත්තට කතා කළා.
"ඒක හැබෑව!" විජේ අයියාගෙ ඔලොක්කු හිනාවට මට ආයෙමත් ඔරවලා බලන්ඩ හිතුණත් මං ඔහෙ මගෙ පාඩුවෙම හිටියා.
"අර දරුවා පිටත් වුණාද?" ඒ ගමනනං මං කන් දෙකම ඒ පැත්තට හරවගත්තා. එයා කොහොමද එහෙම යන්නෙ කියන්නෙවත් නැතුව?
"තව නෑ අම්මෙ, මං මේ ආවෙමත් ඒකමයි. මලයට මොනවාහරි කාලා යන්ඩ හදන්ඩ කියලා කුසුමෙ ලෑස්ති වුණේ. ඒත් කුසුමෙට ඩිංගක් සනීප නැතුවා වාගේ. අම්මාට පුළුවනිද මොනවාහරි මලයාට උදෙංම කාලා යන්ඩ ලෑස්ති කරන්ඩ?"
"අපොයි මොකෝ බැරි? මේ ඉඳි ආප්ප ටික තැම්බුණාම අරං එන්නංකො පහළට. කිරි හොද්දයි සම්බෝලෙයි ලෑස්ති කරලා ගත හැකි ඉක්මනින්ම. මොකද ලොකු කෙලීට?"
"ඔය පොඩි කැරකිල්ලක් ඇල්ලුවා. වමනෙත් ගියා. සමහරවිට ඊයේ මෙයා උයාපුවා කාලාද දන්නෙත් නැහැ ඉතිං!" විජේ අයියා එහෙම කියලා බක බක ගාලා හිනාවෙන්ඩ ගත්තා.
"ඉන්නවකො! ආයෙ තේකක්වත් හදලා දෙන්නෙ නැහැ අයියාට මංනං ඔන්න!" මං සුද්ද කර කර හිටපු ළුූණු ගෙඩියෙං විජේ අයියාට දමලා ගැහැව්වා.
"අනේ තියාගනිං උඹේ තේක! මට ඕන නෑ, අන්න අරුන්දැට පුළුවන්නං ඇවිත් තේකක් හදලා දියං. අක්කණ්ඩි උදේම ලැහැස්ති වුණේ ඉඹුල් කිරිබත් හදන්ටය කියලා. දැං ලබු කිරිබත්වත් උයාගන්ට බැරි ගාණට අන්න ඇඳට වැටිලා ඉන්නවා….. අම්මේ, මං යනෝ!" විජේ අයියා එහෙම කියාගෙන යන්ඩ ගියා.
"අක්කාට මොකද අම්මෙ?" මං වෙන අය ගැන හිතන්ට කළියෙං අක්කා ගැන හිතුවා. නැත්තං අම්මා වුණත් වැරදියට හිතන්ඩ බැරි නැහැ. "වෙද මාමා ළඟට එක්කං යන්ඩ වෙයිනෙ?"
"ඔය අජීර්ණෙකට නෙවෙයි දෝණි, ඔහොම වෙනවා බැන්දාට පස්සෙ..." අම්මාගෙ මූණේ අමුතු හිනාවක්.
"ඒ මොකෝ?"
"උඹට තේරෙයි පස්සෙ. දැං තේ ජෝග්ගුවක් හදාගෙන ගිහිං පල්ලෙහාට දීලා වරෙං හොඳ කෙල්ල වාගේ..."
ඉබ්බංව දියේ දැම්මාම වුණත් ඇන්නෑවේ කියන්ඩ ඕනෙ. නැත්තං හොඳ නෑ. "මං මේ සම්බෝලෙ කොටලා ඉවරවෙලාම යන්නං..."
"ඕක කොටත හැකි මට, මේ ටික බාලා ඉවරවුණහම. අර කේතලේ පැහිලා ඇති, තේ ඩිංගක් හදං ගිහිං අක්කාටත් මොකද කියලා බලාගෙන වරෙං විගහට, මේ ටික කඩේට දාලා එන්ඩත් එපැයි පුතේ..."
මං ඉතිං තේ ජෝග්ගුවක් හදාගෙන පල්ලෙහාට අරං ගිහින් අක්කගෙයි අයියාගෙයි කෝප්පවලටයි, තව කෝප්පෙකටයි වත් කළා. ඔහෙ නෑ කවුරුවත් පේන්ඩ. මං අනිත් දෙක ඉස්සරහා මේසේ උඩින් වහලා තියලා අක්කාගෙ කෝප්පෙත් අරං කාමරේට ගියා. අක්කා නිදි. "අක්කෙ, මේං තේ..."
අක්කා ඇස් දෙක පිහදාලා නැගිට්ටා. "ඔයා තේත් හැදුවද?"
"ඔව්. මොකෝ වුණේ? අයියා ඇවිත් කිව්වා අසනීපයි කියලා?"
"ඔය දැං ටික දවසක ඉඳං පොඩි කැරකිල්ලක් දැනෙනවා. ඒක හරි යයි... අයියලා තේ බිව්වද?"
"පේන්ඩ හිටියෙ නෑ කවුරුවත්, මං අර ඉස්සරහෙන් වහලා තිබ්බා..."
"ආ, ළිඳට යන්ඩ ඇති මං හිතන්නේ..."
"අම්මා මට විගහට එන්ඩ කිව්වා ඉඳි ආප්ප ටික කඩේටත් දාලා එන්ඩ එපැයි. මං යන්නද එහෙනං?"
"හා, මං එන්නං උඩහට අම්මාට උදව් වෙන්ඩ..." අක්කාත් නැගිට්ටා.
මං උඩහට ගිහිං අම්මා කඩේට ගෙනියන්ඩ වෙං කරලා තිබ්බ පාර්සල් ටික විගහට පෙට්ටියෙ අඩුක් කරගෙන ගීතා අක්කලාගෙ කඩේට දුවලා ආවා. මං එද්දි කට්ටිය කෑමට වාඩි වෙලා. මාත් පිඟානක් බෙදාගෙන මේසෙ එහාපැත්තේ බිත්තිය ළඟ පුටුවකින් ඉඳගත්තා.
කාලා බීලා ඉවර වෙලා කට්ටිය මිදුලට බැස්සා. විජේ අයියාත් වික්‍රම එක්ක පන්සලට යන්ඩ ලෑස්ති වෙලා. අම්මා මගදි කන්ඩ හැලප වාගයක් වික්‍රමගේ අතට දුන්නා. එයා අම්මාටයි අක්කාටයි වඳිනවා බලං ඉන්දැද්දි මගෙ නාහෙ දැවිල්ල ඇල්ලුවා. මට එයා ගමට පය තියපු මුල්ම දවස මතක් වුණා. එදා හිටං අපි දෙන්නා අතරේ ඇති වෙච්ච ආරෝවල් මතක්වුණා. මං ඉස්තෝප්පුවේ කණුව බදාගෙන අහක බලාගෙන හිටියා.
"මුතූ..." අම්මායි, අක්කායි, අයියායි මිදුලෙ බලං ඉන්දැද්දි වික්‍රම මගෙ ළඟට ඇවිල්ලා. ඒත් මට තාම හිතට හයියක් නෑ එයා දිහා බලන්ඩ. "උදේට කෑවා මදිවද දැං නියපොතු විකන්නේ?" මං නියපොතු විකන්ඩ පටංගෙන කියලා මට දැනුනෙත් එතකොටයි. හපන්ඩ ඇති නියපොත්තකුත් නෑ. මං අත පහළ දැම්මා. "සිත්තරේ බැලුවාද?" මේ අහන්නේ කොයි සිත්තරේ ගැනද කියලා මං දන්නවා. මං ඔව් කියන්ඩ ඔළුව වැනුවා. "කැමතිද ඒකට?"
"මං දිහා බලන්නෙත් නැතුව ම එහෙම ඇන්දේ කොහොමද?" මං ඇහැව්වා. "මං දැක්කා සඳාට ඇඳලා දීලා තිබ්බ එක පෝය දවසෙදි. එයා දිහා බලාගෙන ඇඳලත් ඒක වෙනස්නේ?"
"එදා ඔය එක සීරුවට සිත්තර විස්සක් තිහක් අඳින්ට වුණාම මට පුළුවනෑ හිත එක හැටියකට තියාගෙන ඒ වැඩේ කරන්ට. ඉතිං අර කෙල්ලගෙ ඇස් දෙක මේ කෙල්ලටයි, මේ කෙල්ලගෙ කට අර කෙල්ලටයි ඇඳෙන්ට ඇති... මං මක් කරන්ටද ඒකට?" එයා උත්තර දුන්නෙ හිනා වෙලා. මගේ හිතත් හිනාවෙන හැටි මට දැනුණා. එදා ඇන්ද හැමෝගෙම එව්වා එහෙනං ඒ වගේ තමයි අඳින්ඩ ඇත්තේ...
"ඉතිං මේක මං දිහා බලන්නෙවත් නැතුව මේ හරියට ම ඇඳලා තියෙන්නේ…?" මං ආයෙම ඇහැව්වා.
ඒ වතාවේ ඒ මූණෙ ඇඳිච්ච හිනාවට මට ඉබේම බිම බැලුනා. "ගලේ කෙටුවා වාගේ හිතේ ඇඳිච්ච රූප සිත්තරේට අඳින්ට ආයෙ බල බල ඉන්ට ඕන නෑ මුතූ... ඉතිං කියන්ට, කැමතිද ඒකට?"
"එහෙම තෑගි හැමදාම හම්බවෙන්නෙ නෑනේ… කැමති නොවී කොහොමද ඉතිං ..."
"අම්මාට පෙන්නුවාද ඒක?"
මං නැහැයි කියන්ට ඔළුව වැනුවා. "පස්සෙ පෙන්නනවා... අනිත් එක විතරයි පෙන්නුවේ..."
එයා හිනාවුණා. "හෝ ගාන පොකුණ දැකලා තියෙනවද?"
මං ඔළුව වැනුවා. "අප්පච්චි වතාවක් අපිව කොළඹ එක්ක ගියා. ඒ ගමනෙදි මූදත් බලන්ඩ ගියා..."
වික්‍රම ඔළුව වැනුවා. ඊළඟට ටිකක් වෙලා සද්ද නැතුව කල්පනා කරලා ආයෙම ඔළුව ඉස්සුවා. "ඊයෙ අම්මා මුකුත් කිව්වද?"
මං බිම බලාගත්තා. මගෙ මූණ රතු වෙලා තියෙන හැටි මට හොඳට දැනුණා. "කිව්වා..." මං මිමිණුවා.
"ඉතිං...?" එයා ඇහැව්වේ වචනෙ බරට ඇදලා. "ඒකටත් කැමතියි නේද?"
මං මගේ කටිං කෝල හිනාවකුත් එක්ක එළියට පනින්ඩ හදන හිත අමාරුවෙන් අල්ලලා නවත්තගත්තා. මෙයා යන්ඩ කළිං හිත අස්සේ තියෙන රොඩුබොඩු ඔක්කොම සුද්දකරගන්ඩ ඕනෙ. නැත්තං එහෙම මට වෙන්නේ වහිනකල් ආකාහෙ දිහා බලාගෙන ඉන්න වැහි ලිහිණි වගේ හූල්ල හූල්ල ඉන්ඩ. මං ලොකු හුස්මක් ගත්තා. "එතකොට ඒ ගමේ ඉන්න අයට මොකද වෙන්නේ?"
වික්‍රමගෙ නළල රැළි වුණා. "ඒ කවුද?"
"අර ගුරුන්නාන්සේගේ දෝණියන්දැ?"
ටිකක් වෙලා පුදුම වෙලා වාගෙ බලං ඉඳලා මෙන්න වදේ හිනාවෙන්ඩ ගත්තා. "මුතූට කොහෙන්ද එහෙම දෙයක් හිතට වැටුණේ? ගුරුන්නාන්සේගෙ දෝණියන්දැ - සමන්ති අක්කා - මට වඩා හතර පස් අවුරුද්දක්ද කොහෙද වැඩිමල්... අල්ලපු ගමට දීග ගිහිං දැං කෙළි පැටික්කියෙකුත් ඉන්නවා....."
මගෙ ඔළුව එකපාරටම ඉස්සුනා. දෙයියනේ! මං හිතං උන්නෙ කොච්චර වැරදියටද! අර විජේ අයියානං ඇත්තට...! මං එයා උන්නු පැත්ත ඔරවලා බැලුවා. ඒ තුන්දෙනා වෙන කතාවක. එයානෙ මේ කොහෙවත් යන ගුරුන්නාන්සේගෙ දෝණියන්දෑ කෙනෙක් ගැන මගෙ ඔළුවට දැම්මේ.
"එහෙම එකක් ගැන හිතාගෙනද එතකොට මට මෙච්චර දවස් ගණං පෙන්නුවේ?" වික්‍රම තාම හිනා වෙනවා.
මං හිතං හිටියේ මෙයා එහෙ අයට පොරොන්දු දීලා ඇවිත් මෙහෙ කෙල්ලො පස්සේ යනවා කියලා. මගේ හිතේත් කොයි තරං ඇඟෑලුම්කමක් දැනුණත් මං මගේ හිත නවත්තගෙන හිටියේ ඒකයි. මං ආපහු සැරයක් විජේ අයියා ඉන්න පැත්තට එරෙව්වා. ඔරෝනවා ඇරෙන්ඩ ඉතිං මං ආයෙ ඕක ගැන කියලා උන්දැ එක්ක සණ්ඩු අල්ලන්ඩද? මගේ ඇස් දෙකට කඳුළු පිරීගෙන එන හැටි මට දැනුණා. මං විගහට බිම බලාගත්තා.
වික්‍රම තව අඩියක් ළඟට ආවා මට දැනුණා. "මේ අහන්ට… මං නගාගෙ හිත හරියටම අඳුරගත්තේ නගාගෙ කවි පොතෙන්… ඒ අඳුනගත්තු හිත ගාව නතර වෙන්ට හිතුණේ නගා අර සිදුහත් කුමාරයායි යශෝධරා දේවියි ගැන ලියලා තිවුණ කවිය හින්දා, අර මං විහාර ගෙයි සිත්තරේට ලියාපු කවිය. ඒ මොහොතෙදි සිදුහත් කුමාරයාට දැනුණු හැටි ගැන ඔහොමට හිතන කෙනෙක් මට මුණගැහිලාම නැහැ. ඒ මොහොතෙදි එතන උන්නේ බුදු වෙන්ටම පෙරුම් පුරාගෙන ආපු බෝසතාණන් වහන්සේ වුණත් ඒ වෙද්දි බුදු වෙලා හිටියේ නැහැ නෙව. මට මේ වෙලාවේ නගාව දාලා යන්ට තියෙන අමාරුවට වඩා සිය දහස් ගුණයක වේදනාවක් ඒ වෙලාවේ ඒ හිතේ තියෙන්ට ඇති. මුතූගේ ඒ වචන කොයි තරං වටිනවාද… එහෙම පරාර්ථකාමී හිතුවිල්ලක වටිනාකම කොච්චරක්ද කියලා දන්නවාද? මුතූ ඒ ලියලා තිබුණා වාගේම, මට මේ වෙලාවේ යන්ට වෙනවා... ගුරුන්නාන්සේ එක්ක කතා කරන්ට ඕන, ඒ පැත්තේ කටයුතු එකලාසයක් කරගන්ට ඕන... ඉතිං නොගිහිං බෑ... ඒත් මං ආපහු ඉක්මනටම එනවා... මගෙ මුතු මැණිකෙව මගේම කරගන්ට… එතකල් ඔහොම නියපොතු වික වික ඉඳලා අන්තිමට ඇඟිලි ටිකත් කාලා ඉවරයක් කරලා දාන්නෙ නැතුව දවසක මටත් ඔය ටික ඉතුරු කරලා තියන්ට..." මං දත් අතරට අහුවෙලා තිබ්බ ඇඟිලි ටික විගහට පහළට ඇදලා ගත්තා. කන් දෙකට ලේ පුරාගෙන එන අතරෙදි මගේ මූණෙ ඇඳිච්ච හිනාව මට නවත්තගන්ඩම බැරි වුණා. ඒ වෙලාවෙදි වික්‍රම මගේ ඔළුව අතගෑවා. අප්පච්චිගේ බර අතේ උණුහුම මට දැනුණේ. "මං ආපහු එනකල් පරිස්සමෙන් ඉන්ට ඕනෙ… තේරුණාද?"
මං ඔළුව වැනුවා. එච්චර කාලෙකට බලෙංම අගුළු දමාගෙන හිටපු මගෙ හිත සී සී කඩ විසිරිලා. ඉන් ඉස්සර කවදාවත් දැනිලා නොතිබිච්ච මහා අමුත්තකින් හිත පිරීගෙන එනවා.
"විභාගෙ ප්‍රතිඵල ආවාම මටත් කියලා එවන්ට... මට ලියුං එවන විදිහ, හදිසියකට කතා කරන්ට ඕන වුණොත් ලොකු ඉස්කෝලෙ මහත්තයලගෙ දිහෑ ටෙලිෆෝන් නොම්බරේ එහෙම මං විජේ අයියාට දීලයි තියෙන්නේ..."
මං ආයෙමත් ඔළුව වැනුවා. විටිංවිට එයා කියපු කරපු දේවල්වලට මගේ හිත ගැස්සෙන එක ටික දවසක ඉඳං පුරුද්දට ගිහිං තිබුණත් මේ වෙලාවේ මේ දැනෙන්නේ එහෙම නිකම්ම හිත ගැස්සිල්ලකට එහා ගිය දෙයක්... මගේ හිත ආදරේ හොයාගෙන... මගේ හිත මාවත් අත ඇරලා දාලා කොහෙදෝ ඉගිල්ලෙනවා...
"මුතූ විශ්ව විද්‍යාලෙට තේරුණොත් යනවද?"
මං මගේ හිතත් අරගෙන උඩ යන්න හදන සරුංගලේ ආපහු නූලෙන් ඇදලා බිමට බාගත්තා. "යන්ඩ පුළුවං වෙයි කියලා හිතන්ඩ බැහැ... එච්චර හොඳට ලියාගන්ඩ බැරි වුණා..."
"අපි බලමුකො..."
"ඒ දවස්වල මං කියපු කරපු නපුරු වැඩවලට තරහා නෑ නේද?" හරිනං මං මීට බොහොම කළිං කියන්ඩ තිබුණ වචන පෙළක් කියාගත්තා.
"අපෝ මොකද නැත්තෙ? එව්වට වාඩුව මං ගන්නංකො පස්සෙ වෙලාවක!" වික්‍රම හිනා වෙවී දීපු උත්තරේට මටත් හිනා ගියා. "හම්මේ, මට දැනෙන සන්තෝසෙ!" එයා ලොකු හුස්මක් පිට කරගන ගමං හිනාවෙවීම කිව්වා.
"අර මොකෝ?"
"නාහෙට අහන්නෙ නැති අස්ස වෙළඹක් මේච්චල් කරගත්තහම ගොපළු කොළුවෙකුට දැනෙන්නෙත් මෙහෙම වෙන්ට ඇති!"
ඉස්සර හිටපු මමනං, මෙයාත් එක්ක බලෙංම හිතේ කෝන්තර ගොඩගහගෙන හිටිය මමනං, ඒ කතාවටත් කේන්ති ගනියි. ඒත් ඒ කිව්වත් වගේ ඒ කුලප්පු වෙච්ච අස්ස වෙළඹ දැන් හීලෑ වෙලා. මේ ගොපළු කොළුවාට. මං හිනාවුණා. ඒ එක්කම ආයෙමත් මගෙ හිතට දුකක් ආවා. "මට සිත්තර දීලා යනවා, මං මොනවද දෙන්නේ මතක් වෙන්ඩ?"
එයා හිනාවෙලා ආපහු සැරයක් මගේ ඔළුව අතගෑවා. "මුතූව මතක් වෙන්ට මට ආයෙ අමුතුවෙන් මොකවත් ඕන නැහැ... හැමදාම ඔහොම හිනාවෙලාම ඉන්ට..." ඒ අත එහෙමම මගෙ ඔළුවෙන් තියාගෙන ටිකක් වෙලා එහෙමම හිටියා. "මං යන්ටද එහෙමනං දැං?"
මටත් අඩුගානේ ඒ අතින්වත් අල්ලගන්න තියෙනවානං. ඒත් අම්මල ඉස්සරහා එහෙම කරන්ඩ මට ලැජ්ජයි. මං හෙමීට ඔළුව වැනුවා. "පරිස්සමෙන් ගිහිං ඉක්මනට එන්ඩ... මං බලාගෙන ඉන්නවා..."
මගෙ ඇස් දෙකේ ආපහු කඳුළු පිරීගෙන එන අතරේ වික්‍රම ආපහු හැරුණා. එයා විජේ අයියා එක්ක කඩුල්ල පැනලා යන හැටි බලාගෙන ඉන්න අතරේ මං ඉස්තෝප්පු කණුවට හේත්තු වුණා. එයාගෙ හිත මං ළඟ තියලා, මගේ හිතත් අරගෙන, බලාපොරොත්තු ගොඩක් මගේ හිතේ පුරවලා, පොරොන්දු ගොඩක බරත් අරගෙන එයා කන්දෙවත්ත ගමෙන් යන්ඩ යනවා... ආයෙ ඒවි පුළුවං ඉක්මනින්ම... එතකල්, අල්මාරියේ මගේ තට්ටුවේ අඩියට එළලා තියෙන කැලැන්ඩර් කොළේට යටින්, එයාගේ ලේන්සුවේ එතිලා පරිස්සමට තියෙන, එදා එයා පන්සලේදි ගේට්ටුව එහා පැත්තේ කහළගොඩට විසි කරලා තිබිලා මං එමිං ගමන් අහුළගත්ත ලොසිංජර දෙකේ කොළ, මගේ පාළු මකාවි... පන්සලේ ඝාණ්ඨාර නාදෙයි හඳුන්කූරු සුවඳයි මුහු වෙච්ච හුළඟ මගේ පණිවිඩ එයා ළඟට අරගෙන යාවි... රෑ ආකාහෙ බැබළෙන හඳ එළියයි, තරු එළියයි, ඒ මොකවත්ම නැති දාට කණාමැදිරි එළියයි එයාගෙ මුතු මැණිකෙගේ ආදරේ එයාට මතක් කරලා දේවි...
- සමාප්තයි -
"වළාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි
මහා කතරක ගෙවූ තනි මග
නිමා කල ඉම ඔබ නෙතයි"

Anneeeee, iwaraida??
ReplyDeleteඉවරයිනෙ. :D
Deleteගෙදරත් සිත්තරෙක් ඉන්න එකේ අර කිව්වා වගේ මුතු ඇටේ සිත්තරයක් ඇඳලා දාන්න තිබ්බේ අපිට බලන්න.
ReplyDeleteඅක්කාට ඔහොම අසනීපයක් තමයි කියලා මම දැනගත්තා නගා එක්ක අඹ කන්න යන්න දගලනකොට.
කතාව නම් නියමයි අක්කේ.කුතුහලයක් ගන්න තරම් දෙයක් නැතත් කතාව ලියවෙච්චි විදියට,ඒ ගලාගෙන ගිය විදියට හරි කැමතියි මමත්.ගැලපෙනම සිංදුවකුත් දාලාම තියෙන්නේ.කොටින්ම කියනවා නම් ඒ සින්දුව තරමටම කතාව සරලයි,ලස්සනයි.
ආ ඉඳි ආප්ප,කිරි හොඳි පොල් සම්බෝල නියමයි.....:)
Deleteස්තූතියි මල්ලි. මේ කතාව වැඩිය දික් කරගන්නේ නැතුව ඉවර කරගන්නයි ඕන වුණේ මට. ඔය සින්දුව මට මේකේ අගට එකතු කරන්න හිතුණේ අද උදේ බස් එකේදි ඒක ඇහුණාම. ඊයෙ මේ අන්තිම කොටස දැම්මානං ඉතින් සින්දුව නෑ. :D
Deleteදැන් තමයි හුස්ම ටික බිමට දැම්මේ....
ReplyDeleteහම්මේ.....
දැන් තියෙන්නේ කොහෙන් හරි දුෂ්ඨයෙක් හොයාගෙන ඇදගෙන යන එකයි. එක්කෝ එපා අනේ... මේක හරි ලස්සන අවසානයක්.
ආසාවෙන් කියෙව්වා. අන්දර මල්දම නතු උනාට පස්සේ මේ එක දිගට ලස්සන ගලායාමක් තියෙන කතාවක් කියෙව්වමයි. ස්තුතියි
ස්තූතියි ලිඛිතෝ! ඔයා මගේ හද වෙණ සත්සර කියෙව්වෙ නැද්ද? :)
Deleteහද වෙණ සත්සර ඔයා බ්ලොග් එකෙන් අයින් කලාද? මම මේ ලඟදි එක අයෙත් කියවන්න අසා හිතිලා හෙව්වට හම්බුනේ නැහැ.
Deleteඅයින් කළා වරා මලී. :(
Deleteඒ කතාව කියෙව්වා. පුද්ගලික හේතුවක් නිසා නොකියවා අතහැරියා.
Deleteඒ කතාව ඔයා ඉවත් කලාද?
ඔක්කෝම ලියලා ඉවර කරලා ටික කාලෙකින් බ්ලොග් එකෙන් අයින් කළා. පස්සෙ කාලෙක ටිකක් සංස්කරණය කරලා මුද්‍රිත්‍ර මාධ්‍යයෙන් නිකුත් කරන්න හිතාගෙන. අපරාදෙ, කියවන්නනෙ තිබුණේ. මම ආසාවෙන්ම ලියපු, තාමත් සතුටින් මතක් කරන කතාවක්.
Deleteහුටා!
ReplyDeleteකෙලිය නේද, පාත්තරේට? ඉතිං මොකේදෑ දං වළඳන්නෙ?
ඇයි අනේ? ඔයා බලං හිටියේ මේ ඩබල සෙට් නොවී දිගටම කාගෙන කාගෙන ගිහිණ් අන්තිමට නැටි දෙක විතරක් ඉතුරු වෙනකල්ද? :P
Deleteඒ කා ගැනිල්ලෙත් පොඩි මෙව්වා එකක් නැත්තෙමත් නෑ:)
Deleteමං කිව්වෙ ඒක ගැන නෙමෙයි. දැන් ඉතිං හෙට උදේට කියවන්නෙ මොකක්ද?
උදේට? බස්සො කවදද බොලේ උදේ නැගිට්ටේ? :D :D :D
Deleteආසාවෙන් කතාව කියෙව්වා .... තව ටිකක් දිග උනානම් හොඳයි කියලත් හිතෙනවා...
ReplyDeleteස්තූතියි නංගි. මේ සැරේ දිග නැති කතාවක් ලියන්න ඕනෙ කියලයි හිතුණේ. ඒත් open ends ටිකක් ඉතුරු කළා පස්සෙ කාලෙක දික් කරන්න හිතුණොත් කියලා. :)
Delete“Never marry at all, Dorian. Men marry because they are tired, women, because they are curious: both are disappointed.”
ReplyDelete― Oscar Wilde
“When two people are under the influence of the most violent, most insane, most delusive, and most transient of passions, they are required to swear that they will remain in that excited, abnormal, and exhausting condition continuously until death do them part.”
Delete― George Bernard Shaw, Getting Married
“Love, n. A temporary insanity curable by marriage.”
Delete― Ambrose Bierce
Your first quote and the second one are bit contradictory. :P
Delete“I believe that truth has only one face: that of a violent contradiction.”
Delete― Georges Bataille
“It's a most distressing affliction to have a sentimental heart and a skeptical mind.”
― Naguib Mahfouz
//අස්ස වෙළඹක් මේච්චල් කරගත්තහම ගොපළු කොළුවෙකුට දැනෙන්නෙත් මෙහෙම වෙන්ට ඇති!//
ReplyDeleteහොඳවෙලාවට උදාහරණෙ එතනින් නැවැත්තුවෙ
ඇත්තට? :D
Deleteහ්ම්ම්. රවි ආවනම් උදාහරණය අශ්වාරෝහක පැත්තට ගෙනියයි
Deleteමේ මේ, අර මගේ කළින් කතාවෙත් අවසන් කොටසෙදි දෙන්නත් එක්ක මෙතන ඇවිල්ලා වනසලා දැම්මා. අශ්වාරෝහක බැරිනං ඕන එකක් ගැන උදාහරණ කියාගන්න මෙතන හැඩි කරන්නේ නැතුව, තේරුණාද? සිත්තමීට කේන්ති ගියොත් දරුණුයි ඈ?
Deleteහරි හරි. මටත් පේන්න බෑ ඔය රවිගේ මවුත් බ්‍රෝකන් කතා. ඒ නිසා ඔබතුමිය මට අනුකම්පාකරල කොල්ලො වෙලඹන් මේච්ච්ල් කරන සම්භාව්‍ය ක්‍රමය ඔබතුමියගේ වචනවලින් කියාදෙන්න රවි එන්න ඉස්සෙල්ල
Deleteකොල්ලො වෙලඹන් මේච්ච්ල් කරන සම්භාව්‍ය ක්‍රමය
ReplyDeleteඅන්නාආආආ... තැන්කිව් බස්සො! මයි ෆේවරිට් ඩිස්නි මූවි.
DeleteSorry Siths, I don't read blogs nowadays. Not interested anymore plus so much stress (work related & many many more matters). Probably you guys won't see me in blogs in the future, however will pop-in once in a while like this to satisfy my nostalgia.
ReplyDeleteDidn't read the story. So sorry for that! But felt like I must write a comment for the sake of the old friendship.
I didn't see this. I don't want to see this.
Delete/වහිනකල් ආකාහෙ දිහා බලාගෙන ඉන්න වැහි ලිහිණි වගේ.../
ReplyDeleteවැහි ලිහිණි නෙවෙයිනෙ අනේ වහිනකල් අහස දිහා බලාගෙන ඉන්නවයි කියල කියන්නෙ කෑදැත්තො. අපෙ අත්තම්ම කිව්ව හැටියට පිපාසෙ නිවාගන්ට කවුරුහරි වතුර ඉල්ලුවම නොදුන්න අය ඊළඟ ආත්මෙ කෑදැත්තො වෙලා උපදිනවලු. උංට වතුර ටිකක් බොන්ට වහිනකල්ම ඉන්ට ඕනලු. වහිනකොට උඩබලාගෙන කටඇරගෙන හිටියම වැටෙන වතුරටික තමයි බොන්නෙ. ඒකට හේතුව වතුර කඩිත්තකට ගියාම උංට වතුර පේන්නෙ ලේ පාට වෙලාලු.
/අස්ස වෙළඹක් මේච්චල් කරගත්තහම ගොපළු කොළුවෙකුට දැනෙන්නෙත් මෙහෙම වෙන්ට ඇති!.../
වෙළඹකගෙ තියෙන මොරෝම ගතියට මම නම් කැමතියි..මේච්චල් උනහම වෙළඹකගෙන් කිසි වැඩක් නෑනෙ...:)
*************************
එතකොට මෙහෙම තමයි මුතූගෙ කතාව ඔබතුමිය ලියන්ට හිතාහිටියෙ නේද? මම කිව්වෙ අර අපි කට්ටිය එකතුවෙලා ඇන්ඩෲ මල්ඩූම් එකේදි ඒ කතන්දරේ එහාට මෙහාට ඇදගෙන ගිහිල්ල දහ විහිලි කරල දාන්ට ඉස්සරවෙලා...හෙහ්..හෙහ්...
හෙහ්..ආයම අන්දර මල් දමේ මුතූගෙ කතාව ගිහිල්ල කියෙව්ව බං...
ReplyDeleteකියාගන්ට බැරි සතුටකුයි දුකකුයි එක විඩෙම දැනුන කිව්වම ඔන්න.
සන්තෝසෙ ඒ කාලෙ අන්දර මල් දම ලිව්ව අපේ මානවිකාවියො කණ්ඩායම මතක් වෙලා..රන්දිල්, පොඩ්ඩි, අමා, ජනූ සහ සිත්තමී...දෙයියම්පල්ල අර පංච මහා බලවේගෙ වගේ හෙහ්..හෙහ්...
කණගාටුව උන්දලගෙන් දැන් ලියන්නෙ උඹ විතරයිනෙ කියල මතක් උනහම..මොකක් කොරන්නද නේද? ජීවිතේ එහෙම තමයි...ලයිෆ්ස් ලයික් දැට්...
අප්පා, ඒ කෑදැත්තාද? මදෑ. මට වරදිද්දි එහෙම නෙවෙයි බං මෙහෙමයි කියල පෙන්නලා දෙන්න මෙහෙම දැනුමැත්තෝ ඉන්න එක කොච්චර වටිනවද! තැන්කිව් අයියෙ! :)
Deleteමුතූගෙ කතාවෙ ඔය පළවෙනි කොටස දෙදාස් බර ගණංවලදි ලියලා මල්දමේ අමුණද්දි මෙහෙමයි වෙන්ඩ ඕනෙ කියලා හිතලා තිබ්බෙ නෑ අයියෙ. මට ඕන වෙලා තිබ්බ එකම දේ ඒ දෙන්නා කතාවෙ අන්තිමට එකතු වෙන්න ඕනෙ කියන එක විතරයි. අර මතකද මං ඔයගොල්ලන්ට කොන්දේසියකුත් දැම්මා එහෙම කියලා. හපොයි අපේ අමාරිස් ඒකට කියලා තිබ්බ එව්වා! ඔයාලා ඒ කතන්දරේ ගෙනිච්ච විදිහ හරි ලස්සනයි. කොටින්ම මේ කතාවෙදිත් අර මුතූට වැට අයිනෙ ඉඳං විජේ අයියා විහිලු කරන හරිය මම ඒ කළින් කතාවෙදි අයියා ලියපු කොටස්වලින් තමයි අරගත්තේ. ඉතින් ආයෙම අලුතෙන් ලියන්න ඕනෙ කියලා හිතිච්ච වෙලාවක තමයි ඔය ආපහු මේකෙත් ලියන්න ගත්තේ. ඔය ලියලා තියෙන ඔක්කොම එහෙම ලියන්න ගත්තාට පස්සෙ හිතිච්ච ඒවා තමා. :)
එකතු වෙලා කතන්දර ලියද්දි ඒ කතන්දර හරියට පෙළගස්සගන්න අපේ ගෲප් මේල් එකේ ගිය සංවාද කොහොමද? මතක් වෙද්දිත් මට ඇඬෙනවා, දුකට නෙවෙයි, සතුටට. :'D
I terribly miss those lovely days... :'(
සද්ද නොකර හිටියට හැමදාමත් හැම කොටසම කියෙව්වා.ඉක්මාට ඉවරවෙන කතාවක් කිව්ව නිසා අන්තිම කොටසටම කමෙන්ට් කරනවා කියලා හිතන් හිටියේ. ඒත් ඒකත් ටිකක් පහු උනා. බ්ලොග් එන්න බැරි කේස් එකක් වීම නිසා.
ReplyDeleteලස්සනයි සිත්තමී මේ කතාව හරිම සරලයි සුන්දරයි මම ආසයි මේ බාසාව හසුරවලා තියෙන විදියටත්.කොටින්ම හද වෙණට වඩා මගේ හිත ගත්තා මේ කතාව
ගොඩාක් ස්තූතියි සඳවතියේ! :)
Deleteඅනේ සොරි සිත්තමී. මං මේ අද තමයි කියෝලා ඉවර කරේ කතාව. ලස්සනයි. ආසාවෙන් කියෙව්වා. මොකද දැන් ලියන්නේ නැත්තේ කලින් වගේ. අපිට දවසට එක කොටසක් ගානේ කියවන්න දෙන්න කතාවක් වත් ලියනවද හොරා වගේ ඉඳගෙන. අනේ වාසනාවන් එහෙම නම්. මේ වගේ ලස්සන කතා තව තව ලියන්න කාලය සහ හැකියාව ලැබේවා.
ReplyDeleteඅනේ දෙය්යනේ මෙයා කතාවක් ලියල ඉවරත් කරලා මන් දන්නෙත් නෑ . මොනා කරන්න ද එක හුස්මට ඔක්කෝම කියොලා දැම්මා. කතාව ලස්සනයි නන්ගි. මට මාස ගානකින් බ්ලොග් පැත්තෙ එන්න බැරි උනා මගේ රස්සාව මාරු වෙලා කම්පියුටර් එකෙන් ඈත් වෙන්න වෙච්ච නිසාත් සෑහෙන වැඩ වැඩි වෙච්ච නිසාත්. ෆෝන් එකෙන් ෆේස් බුක් ගියාට බ්ලොග් බැලෙන්නෙ නෑ අප්පා. අනේ ඉතින් ආය් කතාවක් ලියන්න ගත්‍තම පුළුවන් නම් මූනු පොතෙ පොඩි මැසේජ් එකක් දාන්න. කොහොම හරි දුවන් එනවා කියවන්න .
ReplyDelete