Showing posts with label මගේ මඤ්ඤං. Show all posts
Showing posts with label මගේ මඤ්ඤං. Show all posts

278. හැපි බර්ත්ඩේ ටූ මී...



අද සිත්තමීගේ උපන් දිනේ. කීවෙනි එකද කියලා අහන්න එපා ඉතිං, හරි නෑනේ. අද මං ඔයාලට රහසක් එළි කරන්නයි යන්නේ. රහසක් කිව්වට මේක මේ වෙද්දි හුඟක් දෙනෙක් දන්නවා. ඒ වුණාට කමක් නෑ අහං ඉන්ඩකො.

සිත්තමී මේ වෙද්දි මේ බ්ලොග් එකේ නව කතා තුනක් ලියලා තියෙනවා. මුල් දෙකනම් දැනට ඔයාලට පේන්න නැහැ, ඒවා මම කාලෙකට පස්සේ හංගගත්තා. තුන් වෙනි එක මේ ළඟදී ලියපු 'හද වෙණ සත්සර'. මං ඒ මුල් දෙක හංගගත්ත හේතුව වුණේ, මම ඒ කතන්දරවලින් පොත් පෙළක් කරන්න හිතපු නිසා. පළවෙනි කතාන්දරේ මතක අය ඉන්නවානම්, එඩ්වඩ්-වැනේසා දෙන්නාව ඔයාලාට හම්බවුණේ ඒ කතාවෙන්. එකෝමත් එක කාලෙක. 2016දී තිබුණ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලේදී මට බ්ලොග් නවකතා අංශයෙන් දෙවෙනි ස්ථානය ලැබුණේත් ඒ කතාවට. දෙවෙනි කතාව තමයි ජේම්ස්-ලීසල් දෙන්නාව ඔයාලට මුණගැහුණ කිරුළක උරුමය. ඉතින් දැන් ඔය කතන්දර දෙකෙන් පළවෙනි එක ඔන්න පොතක් වෙලා තියෙනවා. සරසවි ප්‍රකාශනයක් විදිහට ඒ පොත නිකුත් වුණේ මේ සතියේ.




ඉතින් දැන් රහස දැක්කනේ. ඔය තියෙන්නේ සිත්තමීගේ හැබෑ නම. පහුගිය කාලේ මහ රෑ නිදි මරාගෙන 'හද වෙණ සත්සර' ලියන අතරෙදි ඔයාලගෙ කමෙන්ට්වලට නිදි මරගාතේ උත්තර දෙද්දී වැරදිලා සිත්තමීගේ නමින් නැතුව මගේ හැබෑ නමින්ම ඒවාට උත්තර වැටුණා. විගහට ඒවා මකලා ආපහු සිත්තමීගේ නමින් උත්තර දුන්නා වුණත් ඒවා දැකපු අය ඇති ඔයාලා අතර නොවැරදීම. 2016, 2017 නෙළුම් යාය උත්සවවලදිත් මගේ හැබෑ නම ඇහෙන්න ඇති කට්ටියට. 

ඒත් ඉතිං තව දුරටත් මේ හැංගි මුත්තම ගැන හිත හිත ඉන්නේ නැතුව, මේ වෙලාවෙදි මේ පොත ගැන ඔයාලට කියන එක මගේ යුතුකමක් කියලා මට හිතුණා. මේ කතාව සම්පූර්ණ කතාවක් විදිහට ලියාගන්න මට පුළුවන් වුණේ, එතනින් නවතින්නේ නැතුව දෙවෙනි කතාවකටත් යන්න පුළුවන් වුණේ, ඉස්සරහට කතන්දර පෙළක්ම ලියන්න තරම් හිතට දිරියක් ලැබුණේ මේ බ්ලොග් ලෝකේ ඉන්න මගේ ආදරණීය යාළුවෝ ඔයාලා හැම දෙනාම නිසා. ඉතිං ඔයාලා හැම දෙනාටම ගොඩාක් ස්තූතියි. 

මේක මගේ මුල්ම ස්වතන්ත්‍ර කෘතිය. මේ පොතේ, බ්ලොග් එකේ ලියපු කතාවේ චරිතවලට වඩා නම් එහෙම ටිකක් වෙනස්. සිදුවීම්වලත් පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. ඒ නිසා පොත කියවලා රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. මීට කළින් 2015 අවුරුද්දෙදි මම පරිවර්තනයක් කළා. ඒකත් සරසවි ප්‍රකාශනයක්. මේ තියෙන්නේ ඒක. කළින් වතාවකදි මම මේ ගැන නිකම් බොහොම පොඩියට කිව්වා. 



දැන් ඉතින් ඔයාලා මගේ නම දැනගත්තා වුණාට, බ්ලොග් ලෝකෙදි මම කැමති 'සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත' නමින් ම ඉන්න. එහෙමත් නැත්තම් ඔයාලා මට කියන 'සිත්තමී' නමින් ම ඉන්න. ඒ නිසා ඒ නමින්ම විතරක් මට මෙහෙදි කතා කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් එහෙනම් ඔයාලා හැමදෙනාටම ආයෙමත් ගොඩාක් ස්තූතියි. :)




209. පැංචාගේ රස කතා...

දෑතේ තීන්ත තවරාගෙන දඟකාර සිනහවක් පා සිටින පැංචෙකුගේ සේයාරුවකි.

පැංචා සහ මං සාලයේ වෙසක් කූඩු සාදමින්. සීයා රූපවාහිනිය බලමින්. එක් වරම විදුලිය විසන්ධි වේ.

සීයා: ලයිට් ගියානේ.

පැංචා: එහා ගෙදරට ගියාද දන්නෙ නෑ.


*****

ආච්චි පැංචාව දොයි කරමින්.

ආච්චි: බුද්ධං සර...ණයි පුතු හට
          ධම්මං සර...ණයි පුතු හට
          සංඝං සර...ණයි පුතු හට -

පැංචා: ආච්චී... 'නයි පුතු' කියන්නෙ මොකද්ද?


*****

පැංචා සහ මං සාලයේ. පැංචාගේ පියතුමා ඉගෙනගත් විශ්වවිද්‍යාලය පිළිබඳ වැඩසටහනක් රූපවාහිනියේ විකාශය වනු ඇසේ.

මං: පුතේ අන්න තාත්තිට කියන්න තාත්තිගෙ කැම්පස් එක ටීවී එකේ පෙන්නනවා කියලා.

පැංචා: (සාලයේ සිට ගෙදරටම ඇසෙන්න කෑ ගසාගෙන දිව යමින්) තාත්තී... අන්න තාත්තිගෙ පැම්පස් එක ටීවී එකේ පෙන්නනවා...


*****

පැංචා: මං ආවෙ කොහෙන්ද?

මං: රෝස කැලෙන්නෙ.

පැංචා: නෑ නෑ... මං - ආ...වෙ - කොහෙන්ද?

මං: රෝස කැලෙන් තමයි ඉතිං.

පැංචා: නෑ... මං ආවෙ කොහෙන්ද? (අම්මාට තේරෙන හැටියකට පැනය අසාගන්නට බැරි වීමෙන් මූණ නාලු වී ඇත.)

මං: අම්මිගෙ බඩෙන්නේ.

පැංචා: හ්! මං එග් (egg) එකකින් නෙමෙයිද ආවෙ?


*****

මං පැංචාව නාවන තැනට පැමිණ සිත්තරා මොකද්දෝ විකාරයක් කියා ගියේය. එයට කෝප ගැන්වී මං කුටු කුටු ගානා අතර...

පැංචා: තාත්ති මොන මගුලක්ද කියනවා.

මං: (කොහෙන් අහුලාගත්තාදැයි සිතාගත නොහැකිව තැති ගැන්වී තරවටු මුහුණින්) චූටි බබාලා එහෙම කියන්නෙ නෑ!

පැංචා: ඇයි ඒ?

මං: ඒවා නෝටි කතා. එහෙම කියන්න හොඳ නෑ.

ටික දිනකට පසු. මං කුස්සියේ වැඩක. පැංචා සිත්තරා සමග කාමරයේ. සිත්තරා දුරකතනයෙන් හිතවතෙකු සමග කතා කරන හඬ ඇසේ. එක්වරම පැංචා කුස්සියට දුවගෙන එයි.

පැංචා: අම්මී... මගුලක් කියන්න හොඳ නැත්තේ චූටි බබාලා විතරද?

මං: බබාලයි ලොකු අයයි කවුරුත් කියන්න හොඳ නෑ.

පැංචා: තාත්ති දැං කිව්වනේ!


*****

නැන්දා: (මං සහ සිත්තරා දෙදෙනාම සිටිනා තැනකදී පැංචා සමග කතා කරමින්) බබා වැඩියෙන්ම ආදරේ අම්මිටද තාත්තිටද?

පැංචා: (අප දෙදෙනාගේම මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලා) ආච්චිට!


*****

මං: බබා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති?

පැංචා: මං ලොකු වුණාම මංම වෙන්න තමයි කැමති.


*****

පැංචා සහ මං හිඳ සිටි සැටි පුටුව වෙත අමුතු සතෙක් බිම දිගේ ඇවිදගෙන එයි. අප දෙදෙනාම දෙපා උඩට ගෙන හූ තියන්නට සූදානම් වුණෙමු. ඒ මොහොතේදී මා ඒ මොකෙකුදැයි අඳුනාගත් අතර ඌද මොකක් හෝ ඉදිරි මාර්ගයේ ඇති අනතුරක් ගැන ඉව වැටී වමට කපා සීයාගේ කාමරය වෙත ගොස් අතුරුදහන් විය.

පැංචා: ඒ මොකෙද්ද ඒ?

මං: ඒ කැරපොත්තෙක්නේ, මකුළුදැල් ගොඩක් පටලවගෙන.

පැංචා: ඒ මොකද ඒ කැපෝ මකුළුදැල් පටෝගෙන යන්නේ.

මං: එයාටත් ලස්සන ඇඳුමක් ඇඳලා බලන්න ආස හිතෙන්න ඇති.

පැංචා: ඒ මොකටද ලස්සන ඇඳුමක් අඳින්නෙ? මගුල් ගෙදරක යන්නද?

මං: (සිනාව විකාගෙන) ආ, ඒක වෙන්න ඇති එහෙනං. මගුල් ගෙදරක යනවා වෙන්න ඇති ඒ කැපෝ.

පැංචා: සීයගේ කාමරේද මගුල් ගෙදර තියෙන්නෙ? 

මං: වෙන්න ඇති නේද? එයා සීයගෙ කාමරේටනෙ ගියෙ.

පැංචා: එතකොට මොකද අනිත් කැපෝලා එහෙ ගියෙ නැත්තෙ?

මං: අනිත් කැපෝලට මගුල් ගෙදරට එන්න කියන්න නැතුව ඇති.

පැංචා: ඒ මොකද අනිත් කැපෝලට මගුල් ගෙදර එන්න කියලා නැත්තෙ?


මගුල් ගෙදරට ආරාධනා නොලැබූ අනිත් කැපෝලා ගැන දුක සිතී පැංචා මූණ බෙරි කරගත්තෙන් මම වෙන කතාවක් පටන්ගත්තෙමි.


*****


තවත් රස කතා ඉදිරියේදී බලාපොරොත්තු වන්න. :D

187. මගේ කතන්දර ලිවීම...

බ්ලොග් ගැන හාංකවිසියක්වත් නොදන්න කාලේ මං ලියන්න පටන්ගත්තු කතන්දර දෙක තුනක් තාමත් මගේ පරණ පොත් පත්තර ගොන්න අස්සේ පුස් කකා තියෙනවා. ඊටත් පස්සේ පරිගණකය හරහා අකුරු කරලා බාගෙට ලියපු කතන්දර කීපෙකුත් බැකප් කරගෙන අරන් තියාගෙන ඉන්නවා. තවත් කෙනෙකුට කියවන්න පුළුවන් විදිහකට මම මුළින්ම කතන්දර ලියන්න ගත්තේ පොඩි කුමාරිහාමිගේ වළව්වේ. ඊට කළින් මගේම බ්ලොග් අඩවියක් තිබ්බත් ඒකේ මම පළ කළේ කවි, පරිවර්තන වගේ දේවල් විතරයි. මගේම කතන්දර නොලියපු තරම්. මගේ හිතේ කතන්දර මැවෙන තරමට අනුභූතීන්, පෙළඹවීම් මට ලැබුණේ වළව්වෙන්. මාව දිරිමත් කරවපු, කවදාවත් ඇහැට නොදැකපු ආදරණීය යාළුවෝ රොත්තක් මට මුණගැහුණේ වළව්වෙන්. දැන්නම් ඒ වළව්වට යන පාරවත් හොයාගන්න නෑ. ගොඩාක් දුකයි ඒ ගැනනම්.

ඊටපස්සෙ ඒ මුණගැහුණ යාළුවොත් එක්ක අන්දර මල්දමේ කතන්දර ගොතන්න පටන්ගත්තා. ඒ එක්ක මගේ ඇඟිලි වලට ලොකු පිපාසයක් දැනෙන්න පටන්ගත්තා. ඒ හින්දා මම ආයෙමත් මගේම බ්ලොග් එක - මේක - පටන්ගත්තා. ඒ 2012 දි. ඒත් මුළ කාලෙදි ගොඩක් පළ කළේ මම කළින් ලියලා තිබ්බ ඒවා. අලුත් ලිපි ලියන්න ගත්තේ ටික කාලෙකට පස්සේ.

ඒ අතරින් මගේ අතින් ලියවිච්ච, දිගම කතන්දර දෙක තමයි 'එකෝමත් එක කාලෙක' සහ 'කිරුළක උරුමය'.

ඊට කළින් ලියපු අනිත් ඔක්කොම පොඩි පොඩි කතන්දර. වැඩිය හිතන්න ඕන වුනේ නැති, ලියන්න ගත්තාම ඉබේම ලියවිච්ච ඒවා. සමහර ඒවාට ඉතිහාසය ටිකක් හදාරන්න වුනා, එච්චරයි. ඒත් මේ දෙක එහෙම ලේසි වුනේ නෑ.

එකෝමත් එක කාලෙක කතාව මම අකුරු කරන්න පටන්ගෙන තියෙන්නේ 2012 දි. පරණ ෆෝල්ඩර් අවුස්සලා බැලුවාම මුල් කෙටුම්පත් හම්බවුනා ඒ ඉතිහාසයත් එක්ක. මට මතකයි මම ඒක ලියන්න ගත්තේ ඉංග්‍රීසියෙන්. මොකද, මගේ හිතේ ගොඩනැගීගෙන ආපු සමහර දෙබස් වලට මට දෙන්න ඕන වුන ජීවය දැනෙන්නේ ඉංග්‍රීසියෙන්ම ඒක කිව්වාම. පරිවර්තනයේ යෙදෙන කෙනෙක් හැටියට මම එහෙම කියන එක හරිද මන්දා. ඒත් කොහොමහරි ඒක මට දැනුණේ එහෙමයි. ඒත් ටික දුරක් ලියාගෙන ගිහිල්ල මම වැඩේ අත ඇරලා දැම්මා නොදන්න මගුල් කරන්න ගිහිල්ලා වරිගේ නහගන්න ඕන නැති හින්දා. හැබැයි ඒ මගේ හිත ඇතුළේ ගොඩනැගුණ චරිත මට පාඩුවේ ඉන්න දුන්නෙ නෑ. ඉතින් ඒ ගමන මං ඒක ආපහු සිංහලෙන් ලියන්න පටන්ගත්තා. ඒ මනඃකල්පිත රාජධානි ඇතුළේ, රොබින් හුඩ් කාල වකවානුවට අයිති කතාවක් තමයි මට ගොඩ නගන්න ඕන වුනේ. පිටු ගාණක් ලියාගෙන ගියාට පස්සේ කතන්දරේ එහෙමම නතර වුනා. අවුරුදු ගාණක් එහෙමම තිබ්බා. 2015දි තමයි මම ඒකෙන් පොඩි කොටසක් නිකමට බ්ලොග් එකේ දාලා බැලුවේ. ලැබුණ ප්‍රතිචාර වලින් මට ගැම්මක් ආවා. ලියන්න ගත්තා ආපහු. පිටු තිස් ගානකින් නතර වෙලා තිබ්බ කතාව පිටු සීයකට කිට්ටු වෙනකල් ලිව්වා. ලියලා ඔයාලට කියවන්න දුන්නා.

කාලයක් ගියාට පස්සේ මගේ හිතේ ඒ ගොඩනැගුණ ලෝකයට ආයෙමත් මට යන්න ඕන වුනා. ඔයාලා බලලා ඇති නේද Epic Animated Movie එක? ඒකේ Tara කියන රැජිණයි, Ronin කියන ප්‍රධාන ආරක්ෂකයායි තමයි මට මේ කිරුළක උරුමය ගොඩ නගන්න වස්තු බීජය සපයලා දුන්නේ. ඒ එක්කම, මේක ලියවුණ විදිහ ගැනත් කියන්න ඕනේ. ලීසල් කුමරියගෙයි, ජේම්ස්ගෙයි දෘෂ්ඨි කෝණ වලින් මම මේක ලිව්වේ. එකක්, ඒ විදිහට දෘෂ්ඨි කෝණ වලින් ලියවිච්ච ඉතාමත් අපූර්ව බටහිර කෘති කීපයක්ම පහුගිය කාලයේ මම කියවලා තිබුණ නිසා ඒ විදිහ මට අත් හදා බලන්න හිතුණා, අනිත් එක, ඒ විදිහට ලියන කොට චරිත ආරූඪ කරගෙන වඩාත් සාර්ථකව චරිත වල පෞරුෂය එළි කරන්න පුළුවන් කියලා මට තේරුණා. ඉතින් මම ඒ විදිහටම ලිව්වා. ලියාගෙන යද්දි තේරුණා මේ කතාව 'එකෝමත් එක කාලෙක' ලිව්වා වගේ ලියන්න බෑ කියලා. ඒ කතාව එක දිගට ගලාගෙන ගිය සිදුවීම් පෙළක් එක්ක ගොඩ නැගුණ කතාවක්. ඒත් මේක එහෙම බෑ. අතීතයයි වර්තමානයයි අතර තියන සම්බන්ධතාවය අන්තිම වෙනකල් රහසක් විදිහට තියාගන්න පරිස්සම් වෙන්න ඕන කතාවක්. කතාව එක දිගට ලියාගෙන යන්න කළින් මගේ හිතේ තියෙන සැලැස්ම පිළිවෙලකට සකස් කරගෙන ඉන්න ඕනෙ කියලා මං කල්පනා කළේ ඒ නිසයි. ඒකට මං පොඩි මෙවලමක් උදව් කරගත්තා. මේ කියන්න යන්නේ ඒ ගැන.

WorkFlowy කියන්නේ Google Chrome App එකක්. Offline වැඩ කරන්න පුළුවන්, internet connect වුනාම තමන්ගේ WorkFlowy account එකේ content එක save වෙනවා. මේක මම පාවිච්චි කළේ මෙහෙමයි. මුළින්ම සැකැස්ම point form එකෙන් ගොඩ නගා ගන්නවා. ඒ එක එක point එකක් යටතේ විස්තර වෙන්න ඕන ඒවා ඒ points යටතේ ආයෙමත් ලියනවා. ඒ වගේ අපිට කැමති තරම් දුරකට levels structure කරගන්න පුළුවන්. ඒ අදාළ points වලට කෙටි සටහන් එකතු කරගන්නත් පුළුවන්. ඕනෙම වෙලාවක ලියපු කරුණු එහා මෙහා කරගන්න, අතර මැදට කරුණු එකතු කරගන්න එහෙම හරි ලේසියි. සමහර තැන් වලදී මම හිතේ තිබුණ දෙබස් පවා ඒ සැකැස්මේ ලිව්වා. කැමතිනම් view / edit permission එක්ක අපේ ඒ සටහන් තව කෙනෙකුට බලන්න share කරන්නත් පුළුවන්. මම කිරුළක උරුමය කතාව බ්ලොග් එකේ පළ කරන්න පටන්ගත්තේ ඔන්න ඔය සැකැස්ම සම්පූර්ණයෙන්ම ගොඩ නගලා ඉවර වුනාට පස්සෙයි.

ඊට පස්සෙ මං කතාව නවත්තපු තැන ඉඳලා ලියන්න පටන්ගත්තා. සමහර තැන් වලදි සැකැස්මේ ලියපු දේවල්ම එහෙමම උපුටලා අරගන්න පුළුවන් වුනා. සමහර තැන් වලදි සැකැස්මේ ලියපු එක එහෙමම පැත්තකට දාලා වෙනම එකක් ලිව්වා. ඒත් කොහොමහරි, මට කතාවත් එක්ක අතරමං නොවී ඔයාලට කතාව කියන්න ඒ සැකැස්ම ගොඩක් උදව් වුනා. අදාළ කොටස් කතාවේ ලියලා ඉවර වුනාට පස්සේ සැකැස්මේ ඒ කොටස් complete කියලා සලකුණු කළා. ඒක එක අතකින් පොඩි project management tool එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන් කැමති කෙනෙකුට.මේ අපූරු මෙවලම මට වගේම ඔයාලටත් උදව්වක් වෙයි කියලා හිතුණ නිසා මේ විදිහට බෙදාගත්තා.

ඒ එක්කම, කාලෙකට කළින් කියවලා තිබුණ මේ වටිනා ලිපියත් කතාවක් සැලසුම් කිරීම ගැන මට ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ සටහන ලියපු දසුනිටත්, ඒ ලිපියට යන පාර මට පෙන්නපු රන්දිකා අක්කාටත් ගොඩක් ස්තූතියි.

ඒ තමයි ඉතිං මගේ කතන්දර ලිවීම. මගේ ලිවීම ගැන මීට කළින් ලියපු සටහනක් තමයි මේ.




122. තිස් වසරක මං සලකුණු...

0 - අවුරුදු ගාණකට එපිට - අද වාගේ එක දවසක


5 - ඉස්කෝලේ මුල්ම දවස - මතකයි තාමත් හොඳටම


10 - සිස්සත්තෙන් පාස් වුනා - ඉස්කෝලෙත් මාරු වුනා


11 - කළු සුදු කොටු කොටු අතරේ - යුද හරඹෙකි ඇරඹුනේ 


15 - පෑනට අත හුරු වුනා - අකුරෙන් සිත්තම් ගෙතුවා


16 - ඒ දහයයි - හරි සතුටුයි 


19 - යාන්තමින් ගොඩ ගියා - මදෑ ඔයින් බේරුණා


19 - කොම්පියුටර් පන්තියේ - පෙර මග තරු දිලිසුණේ


20 - පළවෙනියට රස්සාවට - පිටත් වුනා සුබ මොහොතින


21 - හඳුන් පොත ගැහෙන නද - වෙනස් විය නොසිතු ලෙස 




24 - සුළැඟිලි එකිනෙක බැඳුනා - රන් මුදු අත පැළැඳවුනා


28 - කිරි සුවඳින් හද පිරුණා - රන් පුතු දෝතට ආවා



29 - පළමු රන් අස්වැන්න - මතකයේ රැඳි පිය සටහන


ප/ලි: දැන් මේ සිත්තමීගේ පිංතූර කතාව කියවලා යමක් කමක් ඉගෙනගත්තු ළමයි ඉන්නවනං, සිත්තමීගේ හැබෑ නම වගේ දේවල්, ආයෙ ඉතිං නොදන්නවා වගේම ඉන්න එකයි ඇත්තෙ. සිත්තමී බ්ලොග් ලෝකෙදි ඉන්න කැමති සිත්තමී විදිහටමයි. වයස ගැනනං කිසි අවුලක් නෑ. සිත්තමීගේ අදට වයස හරියටම අවුරුදු තිහයි. මෙච්චර කල් අයියා අක්කා නංගී මල්ලී ආමන්ත්‍රණ වැරදියට යෙදුනානං එහෙම ඕං දැන් නිවැරදි කරගන්න පුළුවං. :D



99. සිත්තමීගේ ප්‍රථම ප්‍රේමය...

බ්‍රහස්පතින්දා. සතියේ බ්‍රහස්පතින්දා දවස උදා වෙනකල් තමයි සිත්තමී පුල පුලා බලං ඉන්නේ. ඇත්තම කියනවනං බ්‍රහස්පතින්දා රෑ 9.30 උදා වෙනකල්. ඒ මොකද කියනවනං, සිත්තමීගේ වීරයා රූපවාහිනී තිරය හරහා ඉගිල්ලෙන වෙලාව ඒක නිසා. මේ ඇවිල්ලා 1999. සිත්තමී ළමා කතන්දර වල ඉඳන් යොවුන් කතන්දර වලට, ප්‍රේම කතන්දර වලට මාරු වෙලා වැඩි කාලයක් නෑ. අර කුච් කුච් හෝතා හේ තදටම දැනෙන කාලේ. ඒ කාලේ ඔය කියපු වෙලාවට, ඒ කියන්නේ බ්‍රහස්පතින්දා රෑ 9.30ට රූපවාහිනී තිරය හරහා සිරස නාලිකාව ඔස්සේ පියාඹලා ගියේ... සුපර් මෑන්. Lois & Clark: The New Adventures of Super Man...



ඒ කාලේ සිත්තමී ලොයිස් ලේන්ට ඉරිසියා කරපු තරමක්!!!

ඇයි සිත්තමීගෙ යාළුවෝ! ඉස්කෝලේ ගියාම ඕක ඇරෙන්න ඒ දවස් වල සිත්තමීටයි යාළුවන්ටයි කියවන්න වෙන මාතෘකාවක් ඇත්තෙම නෑ. වෙන එකක් තියා සිත්තමී ඔය කතාන්දරේ පින්තූර එකතු කරලා අලවලා පොතකුත් හැදුවා. සුපර් මෑන්ගේ ලාංඡනේ ඇඳලා පාට කරලා මේසේ උඩ පොත් ගොඩට යටින් පරිස්සමෙන් අරන් තියාගෙන හිටියා. ඒකට ලස්සන දිලිසෙන ඉෆෙක්ට් එකක් දෙන්න කැරම් බෝඩ් එකට දාන පවුඩර් අරගෙන ඒකෙ ඇතිල්ලුවා. එදා ඉඳන් සිත්තමීගෙ ගෙදර කැරම් බෝඩ් එක එළියට ගත්තු ගමන් එතන සිත්තමීට සුපර් මෑන්ව මැවිලා පේනවා.

ඒ ඇවිල්ලා සිත්තමීගේ හිරිමල් යොවුන් වියේදී සිත්තමීට තදටම, උණ සන්නිපාතෙ හැදෙන තරමටම දැනිච්ච ලව් එක. හැබැයි ඒ සිත්තමීගේ ප්‍රථම ප්‍රේමය කිව්වොත් ඒක වැරදියි. සිත්තමීගේ ප්‍රථම ප්‍රේමය සිත්තමී තුන වසරේ හිටපු කාලෙට තරං ඈතකට දිව යනවා. 

සිත්තමී තුන වසරේ ඉන්න කාලෙදි සිත්තමීගෙ තාත්තා සිත්තමීට අත් අකුරු ලියන්න දීලා තිබුනා දවසට පේළි පහ ගානේ. ඕක ඉතිං මහ කම්මැලි හිතෙන වැඩක්නේ. 

සිත්තමීගෙ වැඩේ ඉතිං ඕක ලියන්න එක එක අල්ලස් ඉල්ලනවා. ඉල්ලන හැම එකම ලැබෙන්නෙ නෑ තමයි. ඒත් ඔය අල්ලස් ඉල්ලන්න හිතේ තියාගෙන ඉන්න වෙලාවක සිත්තමී දැක්කා අලි ඉන්න ෆිල්ම් එකක ඇඩ් එකක්. තාත්තත් එතන හිටියා. සිත්තමී ගත් කටටම කියපි අකුරු ලියන්නනං ඒක බලන්න ඕනේ කියලා. ඒ දවස් වල අයි. ටී. එන්. එකේ බදාදා රෑ 9.30ට ගියා හින්දි චිත්‍රපට. තාත්තත් පරණ හිදි චිත්‍රපට වලට ගොඩක් කැමතියි. සිත්තමියි සිත්තමීගේ නගායි පරණ හින්දි සින්දු වලට ආදරේ කරන්න ගත්තේ තාත්තා නිසා. ඉතින් කොහොමහරි සිත්තමීට ජීවිතේ පළවෙනි හින්දි චිත්‍රපටය ඒ විදිහට නරඹන්න අවස්ථාව උදා වුනා.



හාති මෙරේ සාති.

ඒ චිත්‍රපටයේ අලි එක්ක සෙල්ලම් කරපු ඒ ලස්සන නළුවා තමයි සිත්තමීගෙ ප්‍රථම ප්‍රේමය.



රාජේශ් ඛන්නා

එදා මෙදා තුර හින්දි සිනමාවේ සිත්තමීගේ ප්‍රියතම හින්දි නළු ලයිස්තුවෙ මෙයා තමයි උඩින්ම ඉන්නේ. සිත්තමීගේ පණ තියෙනකල් ඊට වඩා උඩට ඒ ලැයිස්තුවේ වෙන කෙනෙක් එන එකක් නෑ. මෙයාට වඩා රඟපෑම අතින් ගොඩක් දක්ෂ අය හිටියා, ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් මේ මූණ, ඇස් දෙක. 



ඒවා පරද්දන්න ඒ කාටවත් බෑ. බලන්න, වයසට ගියත් ඒ ඇස් දෙක එහෙමමයි.



1966දී Aakhri Khat චිත්‍රපටයෙන් සිනමාවට පිවිස චිත්‍රපට 180ක පමණ රඟපෑ එතුමන් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී තෙවතාවක්ම හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත් අතර දහ හතර වතාවක්ම ඒ සඳහා වූ නිර්දේශිත නාම අතරට ඇතුළත් විය. වසර 25ක් තුළදී තම සමකාලීනයන් අතුරින් වැඩිම වාර ගණනක් ප්‍රධාන චරිතය රඟපෑ නළුවා එතුමන් වූ අතර 1991දී ෆිල්ම්ෆෙයාර් විශේෂ සම්මානයටද පාත්‍ර විය. 2005 වසරේදී 'Filmfare Lifetime Achievement' සම්මානයද එතුමන්ට හිමි විය. සැමගේම ආදරය දිනාගත් නළුවෙකු ලෙස පමණක් නොව නිශ්පාදකයෙකු හා පසුබිම් ගායකයෙකු ලෙසද එතුමන් භාරත සිනමාව පෝෂණය කරන්නට දායක විය. (තොරතුරු මූලාශ්‍රය: Wikipedia - Rajesh Khanna)


Aakhri Khat - 1966
Aradhana - 1969
Kati Patang - 1971
Anand - 1971
Amar Prem - 1972
Apna Desh - 1972
Riyasat - His last film - Released on 18th July 2014 on his 2nd death anniversary

අද ජූලි 18. 2012 ජූලි 18 වෙනිදා තමයි මෙතුමා අප අතරින් වියෝ වුනේ. වයස අවුරුදු 69දී.





මේ සටහන එතුමන්ට උපහාරයක්ම වේවා.








භාරත රිදී තිරයේ සිහින කුමරාණෙනි... ඔබ සදා අමරණීයයි...

ප. ලි.: සිත්තමීගේ ප්‍රියතම හින්දි නළු ලැයිස්තුවේ රාජේෂ් ඛන්නා තවමත් ඉහළින් වැජඹුනාට, ඊටත් වඩා ලස්සන ඇස් දෙකක් තියෙන කෙනෙක් තමයි සිත්තමීගේ සිත්තරා. එයාව ගෑණු ළමයින්ගෙන් බේරගන්න තිබ්බ අමාරුව දන්නේ සිත්තමී විතරයි. සිත්තමී සිත්තරාව අඳුනන්නේ නැති කාලෙදි ගත්තු, සිත්තරාගේ කැම්පස් අයි ඩී එකේ තියෙන ෆොටෝ එකේ තමයි තමයි සිත්තමී මේ ලෝකේ දැක්ක ලස්සනම පිරිමියා ඉන්නේ.

සිත්තමී මේ සටහන ලියන්න පින්තූර හොයන අතරේ සිත්තරාටත් පෙන්නුවා ඒ පින්තූර. එයා දන්නවා සිත්තමීට තියෙන ඔල්මොරොන්දං ගැන හොඳට.

සිත්තමී: මේ 18 වෙනිදට එයා නැති වෙලා අවුරුදු තුනයි. ඒකට මං පෝස්ට් එකක් දාන්න මේ ලෑස්ති වෙන්නේ.

සිත්තරා: න්නෑ..හ්???!!! මං හිතුවේ දානයක්වත් දෙන්න ලෑස්ති වෙනවා ඇති කියලා!





85. යාළුවෝ...



යාළුවෝ... අපේ ජීවිත වලට තදින්ම බලපාන පිරිසක්. සමහර වෙලාවට පවුලේ අයටත් වඩා අපිට සමීප වෙනවා. ලේ නෑ කමක් නැතත් හෘදයාංගම සහෝදරත්වයකින් බැඳෙනවා. ඒ එක්කම අපිව නරක පාරේ ඇදගෙන යන යාළුවෝ ඉන්නත් පුළුවන්. මේ දෙගොල්ලන්ම ගැන අපේ බුදු දහමේ හරි අපූරුවට විස්තර වෙලා තියෙනවා - කල්‍යාණ මිතුරන් හතර දෙනෙක් ගැනත්, පාප මිත්‍රයන් හතර දෙනෙක් ගැනත්. මම අද කියන්න යන්නේ ඕන්න ඔය අට දෙනා ගැන. කවියෙන් ඔන්න හොඳද. අහගෙන ඉන්ඩලාකෝ.

කල්‍යාණ මිතුරන් හතරදෙනා


උපකාරක මිත්‍රයා: 

දෙමව්පියන් සේ රැකවරණය දී - සැමදා පිහිටට එයි
උපකාරය සොයනා මොහොතකදී - මග නොහැරම කර දෙයි
මෙවන් මිතුරු දන ඇසුරු කරන්නට - පෙර පින් තිබිය යුතුයි
දිවි මග සරු වී වාසනාව ලැබ - මිතු දම් තව දළු ලයි

සමාන සුඛ දුක්ඛ මිත්‍රයා:

විශ්වාසය මත රැඳෙනා නෑ කම - මොහු අඩු නැතිව රකියි
සියලු රහස් රැක සිත සන්සුන් කර - අවංක කම රජයයි
දුකත් සැපත් එක ලෙසටම සලකන - කිසි දා පිටු පා නොයයි
මිතු දම වෙනුවෙන් දිවි වුව කැප කර - මිතු දම සදා රකියි

අත්ථක්ඛායී මිත්‍රයා:

පාප සිතින් ඔබ නිති මුදවාගෙන - දැහැමි මගට යොමවයි
මෙවන් මිතුරු දන ඇතිනම් ඔබ හට - නිති පින් දම් රැස් වෙයි
මිතුරු සිතින් ඔබ යහ මග යවනට - විටෙක තදින් කියතෙයි
මේ මිතු දම ඔබ නිසි ලෙස රැක්කොත් - පරලොව සුගතියෙ යයි

අනුකම්පක මිත්‍රයා: 

මිතුරු තොමෝ විපතට පත් වූ කළ - නිති ලඟින්ම හිඳිතෙයි
සිත සනසා ඔවදන් බස් දී - අත් නොහැරම සෙත සලසයි
ගුණ වයනා විට තව තව පසසා - මිතුරු නාමෙ රැක දෙයි
නරකක් කී විට එහි දොස් දක්වා - තම මිතුරා රැක ගයි

පාප මිත්‍රයන් හතරදෙනා


අඤ්ඤදත්තුහර:

අත වන වන විත් යමක් රැගෙන යන
සුළු දෑ දී ලොකු දෙයක්ම පතමින
විපතට පත් කළ පිටු පා සැඟවෙන
තම වාසිය පමණක් තකනා දන

වචී පරම:

ඊයේ කීවානම් පිහිටට එන
දැන්නම් බැහැ පසුවට කල් දමමින
ඵලක් නොමැති දේ පමණක් දීමෙන
ඕනෑ වූ විට මග හරිනා දන

අනුප්පියභාණි:

වැරදි වැඩට නිති අනුබල දීමෙන
හොඳ වැඩටද ඒ ලෙසින්ම කියමින
ඇති තැන මුහුණට ගුණ වරුණා කර
නැති තැන දොස් පවසා තුටු වන දන

අපාය සහායක:

මිතුරා වරදට පොළඹා තුටු වන
සුරාවෙ සූදුවෙ මිතුරා ගිල්වන
බියකුරු ලෝකෙට මිතුරා ගෙන යන
අපායෙ මාවත නිසි ලෙස දත් දන

තේරුණාය ඔය ළමයින්ට? ඒ එක්කම ධම්ම පදයෙන් කියලා දෙන මෙන්න මේ පාඩමත් ජීවිතේට බොහෝම වටිනවා. 

ධම්ම පදයෙන්:
චරංවේ නාධිගච්ජෙය්‍ය - සෙය්‍යං සදිස මත්තනෝ
ඒකචරියං දල්හං කයිරා - නත්ථි බාලෝ සහායතා

අර්ථය:
ඇසුරු කරන්නට කිසිවෙකු නොමැති කළ
නොයන් දුදන ඇසුරට කිසිදා කෙලෙස
කලණ මිතුරු ඇසුරක් නැතිනම් අසළ
තනිව හිඳුම යහපත් බව දැනගන්න


මේ යාළුවො ගැන වැඩියෙන් විස්තර දැනගන්න ඕනෙනං මේන්න ගිහින් කියවන්ඩකෝ:
හොඳ යාළුවෝ
නරක යාළුවෝ







82. Conscience...


I hope you all know the famous cartoon character Tin Tin and his pet Snowy, and of course their friend Captain Haddock, am I correct? If you know them very well it would not be difficult to visualize this situation I am going to explain. Imagine, while three of them are climbing up a hill, a half filled bottle of wine fell off from Captain Haddock's backpack. Snowy sees this and he starts sniffing the bottle. Suddenly, two figures appear. One is a red colored devil, and the other one is an angel with fairy wings. The devil is encouraging Snowy to taste the nice smelling drink. And the angel is reminding Snowy about his responsibility to follow his master. Who are they – this devil and the angel? Both of them look just like Snowy. That means, both of them are belonged to Snowy. 

Like wise, we also have such characters within ourselves too. This devil is no one else but our own greedy and selfish mind. If we follow the words of the devil, we would become the slaves of our mind. And who is this angel? That is our conscience – our knowledge that helps us to decide what is right and wrong.

The word conscience comes from the Latin word conscire, which means 'to know together with'. It has two moral functions: antecedent and sequent. Antecedent means that our conscience is guiding us to do the right and avoid the evil, before we do something. One day, a small boy saw a tortoise and picked up a stone to hit it. Suddenly, he heard a voice saying 'that is wrong!'. Not knowing where the voice came from, he went to his mother. After hearing his story, mother hugged him and explained: 'That is called conscience. If you listen to it and obey, it will continue to speak clearer and always guide you; but if you turn a deaf ear and rebel against it, its voice will fade little by little and leave you in moral and spiritual darkness. The growth of your spiritual life depends upon your hearing and obeying this little voice.'

And the second moral function, sequent, means that our conscious will act as a judge after we did something, either by rewarding or blaming. I will explain it with a story of another little boy. This boy was staying at a children's hospital  and was a very stubborn trouble maker. One day, a visitor came and told him 'if you are a good boy for a week, I will give you ten rupees when I come back.' A week passed and the visitor came again. She said, 'I am not going to ask from the nurse how you have behaved. You must tell me yourself. Do you deserve to have the ten rupees?' After a moment of silence, the little boy said 'I'll take only a rupee.' He felt that he should listen to his conscience.

The best judge and the guide in the world is  right here with us. 

But there is one thing we have to be careful. Does our conscience always judge and guide us correctly? No. Why? I told earlier that it is a knowledge – a knowledge that helps us to decide what is right and wrong. Where does this knowledge come from? It comes from our education, from our living background and our culture. And as a Buddhist, I believe that our routines we have practiced through out this long journey also play a major role on this knowledge. 

So if we can make sure that what our conscience believes is right, and if we live with a principle to follow it, I am sure we all would be able to become valuable human beings.

Finally, I would like to quote a saying from one of my favorite movies 'Legends of the Fall'. “Some people hear their own inner voices with great clearness. And they live by what they hear. Such people become crazy... or they become legends.”


81. Challenges...


Have you ever seen a little toddler trying to stand up on his own? Trying really hard to take his first step towards his cheering happy parents? He is facing his first ever biggest challenge in his life. All of us have passed that moment sometime ago.

Since then, we are facing challenges. Some simple, some harder – coming on our way one after the other. Have we been brave enough in front of them, just as we faced our first challenge as a toddler? Some might say yes, and some might say no. 

Think of all the exams and competitions we have faced since our childhood, and finishing our tasks at office before the target date, bearing others' conflicting ideas with patience – all of them are nothing else but challenges. And balancing our home life and office life, knowing and fulfilling our duties and responsibilities to our family, society and nation – they too are challenges.

The biggest challenge I came across most recently is this speech. I was looking for a topic for my second speech for about three weeks and browsed and browsed through the internet looking for some idea that I can talk with a passion. But I couldn't find one until yesterday. I even thought of postponing my chance, but I felt ashamed to do so. Then suddenly, it came to my mind. I knew I could speak of what I was doing right at the moment. I was preparing to face my challenge.  

Why do we have to face the challenges? Can't we escape? Sometimes, may be we can, if we really want to escape. But that would lose us something in our life. Once, Martin Luther King, Jr said that “The ultimate measure of a man is not where he stands in moments of comfort and convenience, but where he stands at times of challenge and controversy.” That means, that you would see a person's true colors when they are going through hard times.  They prove who they really are not when things are going well, but when times are difficult in their lives. Until you let the challenges to come your way, neither you nor others will know who really you are.

Every successful person has gone through a challenge one way or another, which has enabled them to become who they are today. Think of great leaders, inventors, or your own loved ones who have been able to inspire you as great personalities. They all have won something in life because they were able to face the challenges with courage.

The life is not just a bed of flowers, that's true. And neither is a mere thicket. This journey of life – wearing a smile at a time and a tear at another – would become a more wonderful and adventurous journey by all the challenges coming on our way; just like a river flowing towards its destination, clashing against rocks, falling from high, and making the world beautiful.

Don't be afraid of challenges. Be brave, and face them. Be a challenge to your challenges. They will bring out the best in you.



P. S. - My second speech at Toastmasters program. Couldn't find a time to translate it.

80. මගේ ලිවීම...


"කියවීම මිනිසා සම්පූර්ණ කරයි." ඒ අප සැමදෙනාම අසා ඇති කියමනකි. බාල වියේදී මගේද ප්‍රියතම විනෝදාංශය වූයේ පොත් කියවීමය. නමුත්, මා පාසලේ දහ වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලයේදී එයට වඩා බොහොමත්ම අපූරු වූ යමක් මට හමු විය. මම සාහිත්‍යය ඉගෙනීමට පටන් ගතිමි. මා කියවන ඕනෑම ලියවිල්ලක සිටිනා චරිත සහ සිදුවීම් මාගේ සිත තුළ ගොඩනගාගන්නා අන්දම මම උගත්තෙමි. එම ඉගෙනීම මාගේ කියවීමේ ස්වභාවය වෙනස් කළේය. පෙරදී දින දෙකකින් කියවා නිම කළ හැකි වූ පොතක් දැන් මා හට කියවීමට අවම වශයෙන් දින පහක් හෝ ගත වේ. මා කියවන පොතෙහි සෑම වදනක්ම සජීවී ය, එම වදන් සමස්ථ කතාන්දරයම මාගේ සිත තුළ මවා පායි. වටපිටාව සම්පූර්ණයෙන්ම අමතකව ගොස් මම මා කියවන කතාන්දරයේ සජීවී නරඹන්නෙකු බවට පත් වෙමි. පරිකල්පනය යනු කුමක්දැයි මම එම අපූරු අත්දැකීම තුළින් උගත්තෙමි. කතුවරුන් තමන්ගේ හැඟීම් වදන් බවට පරිවර්තනය කරනා අන්දම මා පුදුමයට පත් කළේය. එය මායාවකි. මටද එය උත්සාහ කර බැලීමට - එය කිරීමට උවමනා විය.

එබැවින් මම ලිවීම ඇරඹුවෙමි.

මම සිතට එන සෑම දෙයක්ම දින පොතක සටහන් කළෙමි; කවි - බොහෝ විට සොබාදහම පිළිබඳව - එසේම මාගේ ප්‍රියතම පොත් සහ චිත්‍රපට පිළිබඳව සටහන් ලියුවෙමි. මාගේ මිතුරියන් මා ඔවුන්ගේ සමරු පොත් වල තබන සටහන් කියැවීමට මහත් සේ ප්‍රිය කළ බව මට මතකය. අපගේ සොඳුරු මතකයන් මා අකුරු කළ ආකාරයට ඔවුහු ආශා කළහ. මම දිරිමත් වුණෙමි. කිසිඳු වෙහෙසකින් තොරව මම දිගින් දිගටම ලියුවෙමි. මාගේ ලේ තුළට කිඳා බැස ඇති දෙය මට හමු වූ බව මම දැනගතිමි.

ස්වභාවයෙන් මම කතාබහ අඩු තැනැත්තියක්මි. එබැවින් ලිවීම මාගේ හැඟීම් හා චිත්තවේග ප්‍රකාශ කරනා මාධ්‍යය බවට පත් විය. සිත්තරෙකු සිතුවමක් ඇඳීමෙන් ලබන වින්දනයද, සංගීතඥයෙකු නව නාද රටාවක් නිමැවීමෙන් ලබන වින්දනයද මම අත්වින්දෙමි. පරිකල්පනය විසින් මා කාලය හරහා කැඳවාගෙන යනු ලැබූ අතර, ලිවීම මාගේ සිහින වලට ජීවය ලබා දුනි. ඒ සමගම, මා පසුව උගත් අන්දමට, ලියැවුණු වදන් මතින් සමනළ ආචරණයක් වුවද හටගැනීමට ඉඩ ඇත. එසේය, ලියැවුණු වදන් තුළ එතරම් බලයක් ගැබ්ව ඇත, මම එය අත්විඳ ඇත්තෙමි.

මම හොඳ ලේඛිකාවක නොවෙමි. නමුත්, කෙදිනක හෝ එවැන්නියක වීමට බලාපොරොත්තු වෙමි.

අවසන් වශයෙන් මම ඔබට රේයිනර් මරියා රිල්ක් ගේ කියමනක් උපුටා දක්වමි. බොහිමියානු - ඔස්ට්‍රියානු සම්භවයක් ඇති කවියෙකු වූ එතුමා පවසන්නේ මෙවැන්නකි: "ඔබට ලිවීමට අණ කරනා හේතුව සොයාගන්න; විමසා බලන්න එහි මුල් ඔබේ හදවත තෙක් පැතිරී ඇත්දැයි කියා; ඔබට ලිවීමට තහනම් කළහොත් ඔබ මියයනු ඇති බවක් ඔබට හඟවන්නේදැයි කියා." ඔබට ලිවීමට අණ කරනා එම හේතුව සොයාගැනීමට හැකි වුවහොත්, නිසැකවම ඔබ සැම දෙනාටම ලියන්නට හැකි වනු ඇත - හදවත තෘප්තියෙන් පිරී ඉතිරී යන ලෙසින් ලියන්නට හැකි වනු ඇත.



P. S. - This is the translation of the speech I delivered few months ago for the Ice Breaking at Toastmasters program in our company.



78. නිබ්බුතා නූන සා නාරී...


ඔහු දන්නා හඳුනන කොයි කාගේත් ආදරය ඉහළින්ම දිනාගත්තෙකි. කෙළිලොල් කතාබහත්, සුහද මිතුරු ඇසුරත් නොවේනම් විටෙක ඔහු මුණිවරයෙකුදෝයි කෙනෙකුට සිතෙනු ඇත. ඔහුට ඇත්තේ එතරම්ම කරුණාභරිත වූ හදවතකි. තමාට වරදක්, නපුරක් කළ කෙනෙකුට වුවද සමාව දීමට ඔහු හේතු සොයාගන්නා අන්දම අපූරුය. පිළිගත හැකි හේතුවක් නොමැතිනම් එසේ කරන්නේ ඔවුන්ගේ නොදැනුවත් කම නිසා කියා හෝ එය නොසලකා හරින්නට ඔහු සමත්ය. 

කෙනෙකුගේ මුවට සිනහවක් ගෙන ඒම ඔහුගේ ඉහළම සතුටයි. බොහෝ දෙනා ඔහුගේ ගායනයට වශී වන අන්දම මා දැක ඇත. සැබැවින්ම මාද ඔහුගේ ගායනයට වශී වූ බව නොකියා බැරිය.

ඔහුගේ ශබ්ධ කෝෂයේ නැහැ - බැහැ යන වදන් නොමැත. කෙනෙකුට උදව්වක් ඇවැසි වූ විට ඔහු එය තමාගේ කටයුත්තක් බවට පත් කරගෙන සහය වෙයි. තමාගේ කටයුතු අතපසු වුවද ඔහුට කම් නැත. ඒ ඔහු වෙනෙකෙකු නොවී ඔහුම වූ බැවිනි.

ඔහු පැමිණියේ අසීරු ගමනකය. ඔහුගේ දිරිය පිළිබඳව මා හට පුදුම සිතේ. ඔහු ඔහුගේ වයසට වඩා බොහෝ ජීවිත අත්දැකීම් ලද්දෙකි. ඔහුගේ නැගණියන් ඔහුට සළකන්නේ පියෙකුට මෙනි. ඒ ඔහු ඔවුන් වෙනුවෙන් සිදුකළ දෑ ඔවුන් හොඳින්ම දත් බැවිනි. අද ඔහු සතුටිනි, එසේ යැයි මම සිතමි. අද ඔහු ආදරණීය සැමියෙකි, ආදරණීය පියෙකි, දහසක් සිසුන්ගේ නැණැස පාදන දයාබර ගුරු පියෙකි. මිනිසත් බවේ ප්‍රතිමූර්තියකි. මිල මුදල් නොව හදවත් උපයන්නෙකි. 

මා හට කිසා ගෝතමියගේ නිබ්බුත පද සිහිපත් වේ.

එසේම ඔහු වෙනුවෙන් එහි තෙවෙනි පදයේ හිමිකාරිය මා ම වන බවද සිහිපත් වේ.

ඔහු වැන්නෙකුගේ සෙනෙහස ලබන්නට, ඔහු වැන්නෙකුගේ බිරිඳ වන්නට සැබැවින්ම මම පින් කර ඇත්තෙමි.


"You are every reason,
Every hope,
And every dream I've ever had...
And no matter what happens
To us in the future,
Every day we are together
Is the greatest day of my life.
I will always be yours,
And you will always be mine."

Happy Birthday
&
Happy Anniversary!!!

I LOVE YOU!!!




74. විභාගය...

හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! මෙන්න අවුරුදු තෑග්ගට කට්ටියටම ඉඳගෙන කියවන්න මගේ මඤ්ඤමක්. :D


ජීවිතය එක්තරා අන්දමක විභාගයකි. විවිධාකාර විෂය කරුණු ඇසුරින් සැදුම්ලත් විවිධාකාර ගැටළු ඒ තුළ අන්තර්ගතය. ඇතැම් ගැටළු බොහෝ පහසුය - ඒවා විසඳීම විනෝදාත්මකය, වින්දනීයය. ඇතැම් ගැටළු වෙහෙසකරය - විසඳීමට කල් ගත වේ. තවත් ඇතැම් ගැටළු නොමග යවන සුළුය - ගැටළුව එක් අන්තයකට දිව ගියද පිළිතුර ඇත්තේ තවත් අන්තයකය.

එලෙස එක් එක් අන්දමේ ගැටළු වලට පිළිතුරු ලබා දිය යුතු අන්දමද එකිනෙකට වෙනස්ය. ඇතැම් ගැටළුවකට පිළිතුරු වන්නේ විකල්ප කිහිපයක් අතුරින් තෝරාගත්තකි. ඇතැමකට හිස් තැන් පිරවිය යුතු වේ. තවත් ඇතැම් ගැටළුවකට පිළිතුර වන්නේ දීර්ඝ රචනාවකි. සෛද්ධාන්තික මූලධර්ම ඇසුරින් විසඳිය යුතු ගැටළුද ඇත. අපිළිවෙලට ඇති කරුණු කිහිපයක් නිසි පිළිවෙලට සකස් කිරීම, රටා හඳුනා ගැනීම, නොගැලපෙන දෑ ඉවත් කිරීම පිළිතුරු දීමේ තවත් ආකාර කිහිපයකි.

මෙහිදී පෙර උගත් දෑ පිළිතුරු වශයෙන් සැපයීමට මෙන්ම අළුතින් සිතා බලා පිළිතුරු සැපයීමටද සිදු වේ. ඇතැම් විට මෙම ආකාර දෙකම සංකලනය කොට නිර්මාණාත්මක හැකියාව හා පරිකල්පන ශක්තියද උපයෝගී කර ගැනීමට සිදු වේ. ඇතැම් විට පිළිතුරු සැපයීමට ලැබෙන්නේ සීමිත කාලයක් පමණි. ඇතැම් විට උපකාරක මූලාශ්‍ර ඇසුරින් පිළිතුරු සැපයීමට ඉඩ ලැබේ. ඇතැම් ගැටළු අනිවාර්යයෙන් විසඳිය යුතුය. ඇතැම් ගැටළු අතුරෙන් කිහිපයක් පමණක් විසඳා අනෙක් ගැටළු මගහැර යා හැක.

නමුත් මේ සෑම ගැටළුවකටම විසඳුමක් කොතැනක හෝ සැඟවී ඇත.

එම විසඳුම් සොයා යන ගමන් මග තීරණය කරන්නේ ඔබ විසින්මය. මෙම ගමන් මගේ ඇවිද යනවාද, හති දමමින් දිව යනවාද නැතහොත් විසඳුම් ඔබ දෝතටම පතිත වන තුරු එකම තැන නැවතී බලා සිටිනවාද යන්න තීරණය කළ යුත්තේ ඔබමය. ඔබට ඇවැසිනම් ඉදිරියේ ඇති මාවත ඔස්සේ දෑස් මානයේ පෙනෙනා විසඳුම් බාර ගනිමින් නීරස ගමනක පිය මැන යා හැක. නැතහොත් විසඳුම් සෙවීම පසෙක ලා මග දෙපස තුරු අතු පත් මල් ගඩා ගෙඩි කඩමින් හෝ අන් අය මාවතේ කොතෙක් දුර ගොස් ඇත්දැයි විපරම් කරමින් හෝ ගමන් කළ හැක. එසේත් නැතිනම් ඔබ ගමන් කරනා මග දෙපස ඇති මල් වල සුවය විඳිමින්, ඒවා තව තවත් සුවඳවත් වන්නට දිය පොහොර දමමින්, තුරු හිස් වල සැඟවී සිටින කුරුල්ලන්ගේ ගී අසමින්, විටෙක මාවතෙන් මඳක් බැහැර වී විවේක සුව විඳිමින් ගමන් කළ හැක. එම මල් පඳුරු අතර, තුරු පත් අතර, කුරුළු ගී තුළ ඔබ නොසිතනා ආකාරයේ අපූරු විසඳුම් සැඟවී තිබීමට ඉඩ ඇත. 

කෙසේ හෝ අවසානයේදී විභාගය අවසන් වේ. ඇතැමෙක් මෙම විභාගයෙන් සමත් වේ; ඇතැමෙක් අසමත් වේ.

“Life, he realize, was much like a song. In the beginning there is mystery, in the end there is confirmation, but it's in the middle where all the emotion resides to make the whole thing worthwhile.”
― Nicholas Sparks, The Last Song



40. හීන ලෝකය සහ හැබෑ ලෝකය...


හීන බල බල නිදාගත්ත හොඳ සැප නින්දකට පස්සේ උඩ විසි වෙලා ඇහැරෙන්නේ අම්මගේ කෑගැහිල්ලට. දෙතුන්වතාවක් හොඳින් කතා කළාට ඇහැරෙන ජාතියේ නෙවෙයි මම. ඉතිං ඔන්න උඩ විසිවෙලා ආපහු ඇඳට වැටිලා බිමට බැහැලා නිදිමතේම ගිහිං කට හෝදලා තේත් බීලා බාත් රූම් එකට රිංගගෙන දතුත් මදිනවා. මෙන්න අම්මා ආයෙත් කෑගහනවා ඇහෙනවා. ඇයි අනේ, තාම මගේ වෙලාව ඉවරත් නෑනේ. අපි හැමෝටම උදේට බාත් රූම් එකේ ඉන්න ලැබෙන විනාඩි ගාණක් තියෙනවා. ටයිම් ටේබල් එකක්. ඕක විනාඩියක් හරි පැන්නුවොත් ඉතිං ගෝරි තමයි. ඉතිං මගෙ වෙලාව පහු වෙන්නත් කළිං මොකද මේ ආයෙ කෑ ගහන්නේ.....

දඩෝං!!! මං ඇඳෙං බිමට වැටෙනවා...

අර මුළින්ම ඇහැරුණ වෙලාවේ ඉඳලා මගේ එක කකුලක් විතරයි ඇඳෙන් බිමට බැහැලා ඉඳලා තියෙන්නේ. මං ඇඳ උඩම ඉඳගෙන හීනෙන් තමයි කට හෝදලා, තේ බීලා බාත් රූම් එකට ගිහින් තියෙන්නේ....

හැබැයි ඉතිං හීනෙ දකිනකල් මං දන් නෑ මං මේ දකින්නේ හීනයක් කියලා. ඔයාලටත් වෙලා ඇති ඕනතරං මෙහෙම දේවල්. මං මේ කිව්වේ මට වෙච්ච එව්වැයිං එකම එකක් විතරයි. හැබැයි මේ වැඩේ එක දවසක්නං නෙවෙයි, මට ගණං කරන්න බැරි තරං දවස් ගාණක වෙලා තියෙනවා. තව එකක් මට මතකයි මං ඉස්කෝලේ ලොකු පන්තියක ඉන්න කාලෙක දවසක් මට හීනෙං පෙනුනා මං මුළින්ම එක වසරේ ඉස්කෝලේ ගිය දවස. හීනෙ ඇතුළෙදි මං හිටියේ ආපහු එක වසරේ ළමයෙක් වෙලා. හීනෙ දකිනකල් මං ජීවත් උනේ ඒ හීනේ ඇතුළේ.

ඒ මගේ හැබෑ ජීවිතයට සම්බන්ධ හීන. ඇයි තව ඕන තරං දැකලා තියෙනවා බය හිතෙන එව්වත්. හොඳ වෙලාවට ඒවනං අර වගේ මතක නෑ.

ඉඳලා හිටලා පේන සමහර හීන තියෙනවා, ඒවා පෙනෙද්දි මං දන්නවා මේ හීනයක් තමයි කියලා. ඒක හරියට පොතක් කියවනවා වගේ, චිත්‍රපටයක් බලනවා වගේ. මං දන්නවා මේක පොතක තියෙන, චිත්‍රපටයක කතාන්දරයක් කියලා, ඒත් මං ඒක ඇතුලේ ජීවත් වෙවී රසවිඳින්නේ. අන්න එහෙම පේන හීන වලදිනං මට ඇතියි කියලා හිතුණ තැනිං හීනෙ නවත්තලා ඇහැරෙන්න මට පුළුවං. හරියට පොත වහලා දැම්මා වගේ, චිත්‍රපටය බලන එක මගදි නතර කරනවා වගේ.

මං මේ හීන ගැන මෙච්චර කිව්වේ හීන දකින අතරෙදී අපි ඒ හීන ඇතුළේ ජීවත් වෙන හැටි ඔයාලට මතක් කරන්නයි. ඒ එක්කම ඒ ගැන කතා කරන්න පුළුවන් සංකල්පයක් ගැන කියන්නයි.

මේ සංකල්පය මගේ අදහසක් නෙමෙයි. මගේ පාසැල් වියේ ගුරුවරයෙකුගේ. එතුමාත් ඒ සංකල්පය කොහෙන් හෝ අහපු, කියවපු දෙයක්ද කියලනම් දන්නෙ නෑ.

මේ හැම දෙයක්ම හීනයක් වෙන්න බැරිද? අපි මේ දකින, අහන හැම දෙයක්ම? අපි ආදරේ කරන අය, අපේ ගෙදර, අපේ පාසල, අපේ රැකියා ආයතනය - මේ හැමදෙයක්ම අපේ ඒ හීනයේ කොටස් විතරක් වෙන්න බැරිද? අපි මේ අපේ ස්වරූපය කියලා හිතාගෙන ඉන්න මිනිස් රූපයත් ඒ හීනයෙන්ම අපේ හිතේ මැවිච්ච දෙයක් විතරක් වෙන්න බැරිද? මේ ගහ කොළ, සතුන්, කඳු වැටි, මහ මුහුද - මේ හැම දෙයක්ම අපේ පරිකල්පනයෙන් අපේ හීනයට ඇතුල් කරපුවා විතරක් වෙන්න බැරිද? මම මේ ලියන ඒවා කියවන ඔයාලා මගේ හීනය ඇතුළේ මම මවාගත්ත පිරිසක් විතරක් වෙන්න බැරිද? අපි මේ ඉගෙනගන්න දේවල්, ගණිතය, විද්‍යාව, සාහිත්‍යය - ඒවාත් මගේ ඒ හීනය තුළින්ම මගේ හිතේ කොතැනක හෝ හැංගිලා තියෙන දෙයක් මම ආපහු මතක් කරනවා විතරක් වෙන්න බැරිද?

කොහොමද බැහැයි කියලා කියන්නේ මම තාම ඉන්නේ හීනේ ඇතුළෙනම්? ඒ හීනෙන් අවදි වෙනකල් මම දන්නෙ නෑ මම දකින්නේ හීනයක් බව.

මේ සංකල්පය අහද්දී මම බොහොම පොඩියි, හත වසරේ නැතිනම් අට වසරේ විතර ඇති. එදා ඒ දේ තේරුම් ගියාට වඩා යම් ගැඹුරකින් අද ඒ දේ ගැන හිතන්න පුළුවන්කම ලැබුණත් අදටත් මට සියයට සියයක් සම්පූර්ණයෙන් ඒක තේරුම් ගන්න අමාරුයි. හැබැයි ඒක පුදුම ඇත්තක් කියලානම් තේරෙනවා. මම කැමතියි මේ ගැන ඔයාලගේ අදහසුත් දැනගන්න.