187. මගේ කතන්දර ලිවීම...

බ්ලොග් ගැන හාංකවිසියක්වත් නොදන්න කාලේ මං ලියන්න පටන්ගත්තු කතන්දර දෙක තුනක් තාමත් මගේ පරණ පොත් පත්තර ගොන්න අස්සේ පුස් කකා තියෙනවා. ඊටත් පස්සේ පරිගණකය හරහා අකුරු කරලා බාගෙට ලියපු කතන්දර කීපෙකුත් බැකප් කරගෙන අරන් තියාගෙන ඉන්නවා. තවත් කෙනෙකුට කියවන්න පුළුවන් විදිහකට මම මුළින්ම කතන්දර ලියන්න ගත්තේ පොඩි කුමාරිහාමිගේ වළව්වේ. ඊට කළින් මගේම බ්ලොග් අඩවියක් තිබ්බත් ඒකේ මම පළ කළේ කවි, පරිවර්තන වගේ දේවල් විතරයි. මගේම කතන්දර නොලියපු තරම්. මගේ හිතේ කතන්දර මැවෙන තරමට අනුභූතීන්, පෙළඹවීම් මට ලැබුණේ වළව්වෙන්. මාව දිරිමත් කරවපු, කවදාවත් ඇහැට නොදැකපු ආදරණීය යාළුවෝ රොත්තක් මට මුණගැහුණේ වළව්වෙන්. දැන්නම් ඒ වළව්වට යන පාරවත් හොයාගන්න නෑ. ගොඩාක් දුකයි ඒ ගැනනම්.

ඊටපස්සෙ ඒ මුණගැහුණ යාළුවොත් එක්ක අන්දර මල්දමේ කතන්දර ගොතන්න පටන්ගත්තා. ඒ එක්ක මගේ ඇඟිලි වලට ලොකු පිපාසයක් දැනෙන්න පටන්ගත්තා. ඒ හින්දා මම ආයෙමත් මගේම බ්ලොග් එක - මේක - පටන්ගත්තා. ඒ 2012 දි. ඒත් මුළ කාලෙදි ගොඩක් පළ කළේ මම කළින් ලියලා තිබ්බ ඒවා. අලුත් ලිපි ලියන්න ගත්තේ ටික කාලෙකට පස්සේ.

ඒ අතරින් මගේ අතින් ලියවිච්ච, දිගම කතන්දර දෙක තමයි 'එකෝමත් එක කාලෙක' සහ 'කිරුළක උරුමය'.

ඊට කළින් ලියපු අනිත් ඔක්කොම පොඩි පොඩි කතන්දර. වැඩිය හිතන්න ඕන වුනේ නැති, ලියන්න ගත්තාම ඉබේම ලියවිච්ච ඒවා. සමහර ඒවාට ඉතිහාසය ටිකක් හදාරන්න වුනා, එච්චරයි. ඒත් මේ දෙක එහෙම ලේසි වුනේ නෑ.

එකෝමත් එක කාලෙක කතාව මම අකුරු කරන්න පටන්ගෙන තියෙන්නේ 2012 දි. පරණ ෆෝල්ඩර් අවුස්සලා බැලුවාම මුල් කෙටුම්පත් හම්බවුනා ඒ ඉතිහාසයත් එක්ක. මට මතකයි මම ඒක ලියන්න ගත්තේ ඉංග්‍රීසියෙන්. මොකද, මගේ හිතේ ගොඩනැගීගෙන ආපු සමහර දෙබස් වලට මට දෙන්න ඕන වුන ජීවය දැනෙන්නේ ඉංග්‍රීසියෙන්ම ඒක කිව්වාම. පරිවර්තනයේ යෙදෙන කෙනෙක් හැටියට මම එහෙම කියන එක හරිද මන්දා. ඒත් කොහොමහරි ඒක මට දැනුණේ එහෙමයි. ඒත් ටික දුරක් ලියාගෙන ගිහිල්ල මම වැඩේ අත ඇරලා දැම්මා නොදන්න මගුල් කරන්න ගිහිල්ලා වරිගේ නහගන්න ඕන නැති හින්දා. හැබැයි ඒ මගේ හිත ඇතුළේ ගොඩනැගුණ චරිත මට පාඩුවේ ඉන්න දුන්නෙ නෑ. ඉතින් ඒ ගමන මං ඒක ආපහු සිංහලෙන් ලියන්න පටන්ගත්තා. ඒ මනඃකල්පිත රාජධානි ඇතුළේ, රොබින් හුඩ් කාල වකවානුවට අයිති කතාවක් තමයි මට ගොඩ නගන්න ඕන වුනේ. පිටු ගාණක් ලියාගෙන ගියාට පස්සේ කතන්දරේ එහෙමම නතර වුනා. අවුරුදු ගාණක් එහෙමම තිබ්බා. 2015දි තමයි මම ඒකෙන් පොඩි කොටසක් නිකමට බ්ලොග් එකේ දාලා බැලුවේ. ලැබුණ ප්‍රතිචාර වලින් මට ගැම්මක් ආවා. ලියන්න ගත්තා ආපහු. පිටු තිස් ගානකින් නතර වෙලා තිබ්බ කතාව පිටු සීයකට කිට්ටු වෙනකල් ලිව්වා. ලියලා ඔයාලට කියවන්න දුන්නා.

කාලයක් ගියාට පස්සේ මගේ හිතේ ඒ ගොඩනැගුණ ලෝකයට ආයෙමත් මට යන්න ඕන වුනා. ඔයාලා බලලා ඇති නේද Epic Animated Movie එක? ඒකේ Tara කියන රැජිණයි, Ronin කියන ප්‍රධාන ආරක්ෂකයායි තමයි මට මේ කිරුළක උරුමය ගොඩ නගන්න වස්තු බීජය සපයලා දුන්නේ. ඒ එක්කම, මේක ලියවුණ විදිහ ගැනත් කියන්න ඕනේ. ලීසල් කුමරියගෙයි, ජේම්ස්ගෙයි දෘෂ්ඨි කෝණ වලින් මම මේක ලිව්වේ. එකක්, ඒ විදිහට දෘෂ්ඨි කෝණ වලින් ලියවිච්ච ඉතාමත් අපූර්ව බටහිර කෘති කීපයක්ම පහුගිය කාලයේ මම කියවලා තිබුණ නිසා ඒ විදිහ මට අත් හදා බලන්න හිතුණා, අනිත් එක, ඒ විදිහට ලියන කොට චරිත ආරූඪ කරගෙන වඩාත් සාර්ථකව චරිත වල පෞරුෂය එළි කරන්න පුළුවන් කියලා මට තේරුණා. ඉතින් මම ඒ විදිහටම ලිව්වා. ලියාගෙන යද්දි තේරුණා මේ කතාව 'එකෝමත් එක කාලෙක' ලිව්වා වගේ ලියන්න බෑ කියලා. ඒ කතාව එක දිගට ගලාගෙන ගිය සිදුවීම් පෙළක් එක්ක ගොඩ නැගුණ කතාවක්. ඒත් මේක එහෙම බෑ. අතීතයයි වර්තමානයයි අතර තියන සම්බන්ධතාවය අන්තිම වෙනකල් රහසක් විදිහට තියාගන්න පරිස්සම් වෙන්න ඕන කතාවක්. කතාව එක දිගට ලියාගෙන යන්න කළින් මගේ හිතේ තියෙන සැලැස්ම පිළිවෙලකට සකස් කරගෙන ඉන්න ඕනෙ කියලා මං කල්පනා කළේ ඒ නිසයි. ඒකට මං පොඩි මෙවලමක් උදව් කරගත්තා. මේ කියන්න යන්නේ ඒ ගැන.

WorkFlowy කියන්නේ Google Chrome App එකක්. Offline වැඩ කරන්න පුළුවන්, internet connect වුනාම තමන්ගේ WorkFlowy account එකේ content එක save වෙනවා. මේක මම පාවිච්චි කළේ මෙහෙමයි. මුළින්ම සැකැස්ම point form එකෙන් ගොඩ නගා ගන්නවා. ඒ එක එක point එකක් යටතේ විස්තර වෙන්න ඕන ඒවා ඒ points යටතේ ආයෙමත් ලියනවා. ඒ වගේ අපිට කැමති තරම් දුරකට levels structure කරගන්න පුළුවන්. ඒ අදාළ points වලට කෙටි සටහන් එකතු කරගන්නත් පුළුවන්. ඕනෙම වෙලාවක ලියපු කරුණු එහා මෙහා කරගන්න, අතර මැදට කරුණු එකතු කරගන්න එහෙම හරි ලේසියි. සමහර තැන් වලදී මම හිතේ තිබුණ දෙබස් පවා ඒ සැකැස්මේ ලිව්වා. කැමතිනම් view / edit permission එක්ක අපේ ඒ සටහන් තව කෙනෙකුට බලන්න share කරන්නත් පුළුවන්. මම කිරුළක උරුමය කතාව බ්ලොග් එකේ පළ කරන්න පටන්ගත්තේ ඔන්න ඔය සැකැස්ම සම්පූර්ණයෙන්ම ගොඩ නගලා ඉවර වුනාට පස්සෙයි.

ඊට පස්සෙ මං කතාව නවත්තපු තැන ඉඳලා ලියන්න පටන්ගත්තා. සමහර තැන් වලදි සැකැස්මේ ලියපු දේවල්ම එහෙමම උපුටලා අරගන්න පුළුවන් වුනා. සමහර තැන් වලදි සැකැස්මේ ලියපු එක එහෙමම පැත්තකට දාලා වෙනම එකක් ලිව්වා. ඒත් කොහොමහරි, මට කතාවත් එක්ක අතරමං නොවී ඔයාලට කතාව කියන්න ඒ සැකැස්ම ගොඩක් උදව් වුනා. අදාළ කොටස් කතාවේ ලියලා ඉවර වුනාට පස්සේ සැකැස්මේ ඒ කොටස් complete කියලා සලකුණු කළා. ඒක එක අතකින් පොඩි project management tool එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන් කැමති කෙනෙකුට.මේ අපූරු මෙවලම මට වගේම ඔයාලටත් උදව්වක් වෙයි කියලා හිතුණ නිසා මේ විදිහට බෙදාගත්තා.

ඒ එක්කම, කාලෙකට කළින් කියවලා තිබුණ මේ වටිනා ලිපියත් කතාවක් සැලසුම් කිරීම ගැන මට ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ සටහන ලියපු දසුනිටත්, ඒ ලිපියට යන පාර මට පෙන්නපු රන්දිකා අක්කාටත් ගොඩක් ස්තූතියි.

ඒ තමයි ඉතිං මගේ කතන්දර ලිවීම. මගේ ලිවීම ගැන මීට කළින් ලියපු සටහනක් තමයි මේ.




19 comments:

  1. මේක නම් හරිම වටිනා විස්තරයක් සිත්තමී...බොහොම ස්තුතියි මේ තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තට...මේ මෙවලම් උදව් කරගෙන ලියන තවත් රසවත් කතාවත් කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. තවත් කතාවක් නේද.... හ්ම්ම්ම්.... බලමුකෝ..... :) ස්තූතියි පොකුරු, මේ ලිපියෙන් ඔයාලටත් වටිනා යමක් ලැබුණානම් ඒක තමයි මගේ සතුට. :)

      Delete
  2. සොඳුරු සටහන් පිරුණු තැනක් බව පේනවා. ස්තූතියි පාර කිව්වාට. :)

    ReplyDelete

  3. ඔයාට හොඳ අනාගතයක් තියනවා... සුභපතනවා ඔයාට...

    ReplyDelete
  4. අනේ සිතූ මම නම් බ්ලොග් ලිවිල්ල ගැන මළපොතේ අකුරක් දන්නේ නැහැ. මේ කමෙන්ට් කරන්න විතරක් මේ නමින් යන්තම් දන්නවා. හිටපු ගමන් බ්ලොග් එකක් ලියන් ආසාවක් එන්නේ නැතිවත් නෙමෙයි ඉතිං.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්න කැමතියිනම් පටන්ගන්න උදව් කරන්න පුළුවන්. :) මේ මගේ ඊමේල් එක - sithumkavipotha@gmail.com

      Delete
    2. ගොඩක් ස්තූතියි සිතූ. මම මේල් එකක් දාන්නම්කෝ.

      Delete
  5. කතන්දර ගැන කතන්දරයක්.. එකෝමත් එක කාලෙක කතන්දර වලට සම්මානයක් හම්බුන වගක් කියල නෑනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ නෙළුම් යාය සම්මානෙත් මගේ මේ ලිවීම නොනැවතී ඉදිරියට ගෙනියන්න ලොකූ දිරිගැන්වීමක් වුනා අයියේ. ඒක අමතක වෙලා එහෙම නෙවෙයි නොලියා හිටියේ. ඒ වගේ වටිනා ඇගයීමක්වත්, ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච හිතවතුන්වවත් අමතක වෙන්නෙ නෑ කවදාවත්. :)

      Delete
  6. කොටස් වශයෙන් පළවෙන කතන්දර කියවන්න සාමාන්‍යයෙන් මම කැමති නැහැ. එහෙම ඊළඟ කොටසක් එනකං බලන් ඉන්න මම කැමති නැති නිසා. හැබැ‍යි මේකත් කියන්න ඕනේ. මුලින්ම මග ඇරලා හිටියට, කියවන්නම දෙයක් නැති වෙලාවක මම අර බුරා සහ පොඩ්ඩී ට්‍රාන්ස්ලේට් කල, ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියවන්න ගත්තා. අන්තිමට නතර වුණේ, මම පොත් පහම කියවලා, ටීවී සීරීස් හයම බලලා... ඊළඟ පොත එනකං ඉන්නවා දැන්.. ඒක තමා එපාම කරපු වැඩේ.... දැන් නම් කතාව ඉවර නිසා මේක කියවන්න පුළුවන් නේද, බලන් ඉන්නෙ නැතුව.. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්, පොඩ්ඩි අක්කාගේ සැඳෑ අඳුර කියවගෙන යද්දි මටත් ඒකම වුනා. පොත් හතරම කියෙව්වා. ෆිල්ම් ටිකත් ඔක්කොම බැලුවා. සිහසුනට තරග වැද කියවන්න ගත්තට පස්සේ බ්ලොග් එකේ ඊලඟ කොටස පළ වෙනකල් ඉන්න බැරුව පොත හොයාගෙන නිදි මරාගෙන කියෙව්වා. ටී. වී. සීරීස්නම් බලන්න ගත්තෙ නෑ, ඒක කොටි වලිගයක් වෙන බව දන්න නිසා. මේ කතාව ලියපු Point of View style එක මම ලස්සනටම දැකපු තැනක් තමයි ඒ Game of Thrones පොත් පෙළ.

      කියවන්න කියවන්න, කොටස් විසි හතක්ම තියෙනවා කියවන්න. කියවලා මට කියන්නකෝ අදහස්, හරිද? අයියා මගේ කළින් කතාව කියෙව්වෙත් නෑ නේද? තාම කියෙව්වේ නැත්තං ඒක 'එකෝමත් එක කාලෙක' මුළින් කියවලා ඊට පස්සෙ 'කිරුළක උරුමය' කියවන්න.

      Delete
  7. වලවුවෙ අලියා මලානෙ සිත්තමී.. සිරිබිරිසාත් දයාවතීත් එක්ක කොහෙදෝ මන්දා පැනලා ගියා.. ආරස්සාව බාර නි‍ළමේතුමාට වෙන වෙන වැඩත් එක්ක වලවුවෙ ආරස්සාව හරිහැටි බලාගන්ට බැරුව ගියා.. වලවුව අභාවයට ගියා.. ඒකෙ හිටපු උදවිය වෙස්ටෙරෝසෙ පදිංචියට ගියා.. ඕන්න ඔහොමයි වුනා කියන්නෙ..

    ඔයාගෙ කතාව හරියටම හරි.. සමහර වෙලාවල් තියෙනවා අපට කියාගන්ට ඕන දේවල් සිංහලෙන් කියාගන්ට බෑ, ඉංගිරිසියෙන් විතරයි පුළුවන්.. ඒකෙම අනිත් පැත්ත වෙන වෙලාවලුත් තියෙනවා..

    දැන් ඉස්සර වගේ බ්ලොග් කියවන්ට හිතෙන්නෙ නෑ.. ඒකට තිබුන ආසාව ගියා.. ඒත් ඉතින් මතක් වෙච්චි වෙලාවක මේ වගේ ඇවිත් එබිකං කරලා යනවා.. :-D

    ReplyDelete
    Replies
    1. ඔයත් එක්කයි අර පොඩි මැණිකෙත් එක්කයි මං තරහම තරහයි!

      ඇයි බ්ලොග් කියවන්න තියෙන ආසාව ගියෙ? ඒ ගැන ඇහැව්වාම හෝස් ගාලා පපුව පත්තු වෙලා ගියා. මං මේ ළඟදි අන්තිමට ඉවර කරපු කතාව අන්තිමේදි මං අයියගෙන් කමෙන්ට් එකක් බලාපොරොත්තු වුනා. හිතුවෙ නෑ මෙහෙම එපාම වෙලා ගිහින් කියලා. මෙහෙම හරි ඇවිත් කතා කළාට ස්තූතියි.

      If you still have contacts with Podi Menike please tell her that I really really miss her. Hope she is doing fine.

      Delete
    2. ඔන්න ඔයා කියපු නිසා කතාව ඩවුන්ලෝඩ් කරන් එක හුස්මට කියෙවුවා. මේ පහළින් තියෙන්නෙ කතාව කියවන් යද්දි මගේ හිතට නැගුන අදහස්.

      පලි: මම කිසිම කමෙන්ට් එකක් කියවන්නැතුවයි මේක ලියන්නෙ. ඒක නිසා මේ ප්‍රශ්නවලට කලින් උත්තර දීලා තියෙනවා නම් සමාවෙන්නෝනැ.

      -නාන කාමර සහිත කාමර ඇති නැවතුම්පළවල්? නාන කාමරවල වතුර මල්? මේ කොයි කාලෙ වගේ කතාවක් ද?
      -චරිත පැතැළියි නේ. කළු/ සුදු චරිත නෙවෙයි අළු පාට චරිත නැද්ද?
      -කතාව තව කෙනෙක් කියවන කොට අහන් ඉන්නවා වගෙයි දැනෙන්නෙ. චරිත විසින්ම කතාව කියන්න දෙන්නෙ නැත්තෙ ඇයි?
      -POV එකකට දෙන දිග මදි නේ. පුළුවන් නම් එක චැප්ටර් එකක් එක POV එකක් යටතේ ලියන්න උත්සාහ කලොත් මොකද?
      -රාජ්‍යයෙන් රාජ්‍යයට එහෙම ඕන ඕන විදියට යන්න පුළුවන්ද? මුරකපොලු නැද්ද? සෙබළු නැද්ද? අවසරපත් ඕන නැද්ද?
      -චාලි නෝනාගෙ දිරා ගිය ගෙදර පොත් රාක්කයක්? ඒකෙ ප්‍රබන්ධ කතා, චරිත කතා මෙන්ම ඓතිහාසික වාර්තා හා විදෙස් කෘති?
      -පුවත්පත්?
      -ලී මෝලේ යන්ත්‍රය? මේ කාර්මික යුගයද?
      -චාලි නෝනා අහන්නෙ දරුවක් හදන්නෙ නැත්තෙ ඇයි කියලා, දරුවෙක් නැත්තෙ ඇයි කියලා නෙවෙයි. මේ කාලෙ එහෙම උපත් පාලනයක් තිබුනද? හරිනම් කතා කරන්න ඕන දරුවො නැති එකට බේතක්-හේතක් ගුරුකමක් කරගන්න එක ගැන නේද?
      -නැවු වල කාලතුවක්කු වෙඩි? මුලදි රැජින මැරෙන්නෙ ඊතල පාරක් කාලා. ඒ කියන්නෙ 14-15 සියවස් විතර?
      -‍මේ කතාවක් අර සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර් වගේ පොත් 5-6කින් ලියන්න ඕන කතාවක්. මෙච්චර ඉක්මනට/ කෙටියෙන් ලියන්නෙ නැතුව තව ලියන්න තිබුනා. චැප්ටර්ස් තව අදින්න තිබුනා. ජේම්ස්ගෙයි ලීසල්ගෙයි හැඟීම් දැනීම්/ අදහස් උදහස්/ මත ගැටුම්/ චිත්ත වික්ෂෝප තව ලස්සනට විස්තර කරන්න තිබුනා.
      -සිත්තමියා කම්මැලි වෙලා. කතාවක් ලියද්දි ඒක ඉක්මනින් ඉවර කරන්න බලනවා මිසක් කතාව රසවත්ව පුරවන්න බලන්නෙ නෑ.

      Delete
    3. මම බ්ලොග් ලෝකෙ අවුරුදු 5කට වඩා සැරිසැරුවනෙ සිත්තමියො.. ඉතින් කාලයක් යද්දි ඒක ගැන තියෙන ආසාව අඩුවෙලා යන එක සොබාවිකයි නෙවැ..

      Delete
    4. බුදු අම්මේ මෙයාගෙ ප්‍රස්න පත්තරේ දිග! තැන්කිව් තැන්කිව් ඔන්න ඉක්මණටම කතාව කියවලා අදහස් දැක්වුවාට. මේ ප්‍රශ්න ටිකනම් කවුරුවත් මගෙන් ඇහැව්වෙ නෑ.

      1. ඒ වගේ පහසුකම් සහිත නැවතුම්පොළවල් තියෙනවා ඒ රාජධානි වල ප්‍රධාන නගර වල. ඒ මනඃකල්පිත රාජධානිනේ.

      2. හ්ම්, චරිත ගැන කෙළින්ම එහෙම නිගමන වලට එන්න පුළුවන් නේද. චාලි ගැන පොඩ්ඩක් මුලින් හිතාගන්න අමාරු වුනත් අන්තිමේදි එයත් සම්පූර්ණ සුදු චරිතයක් වෙනවා. බලන්නම්කෝ මම ඊලඟ කතා වලදි අළු චරිත ටිකකුත් අඳුන්නලා දෙන්න.

      3. චරිත විසින්ම කතාව කියන කොට පරිච්ඡේද ඔක්කොම උත්තම පුරුෂයෙන් ලියන්න වෙනවනේ. එතකොට ලීසල්ගේ පරිච්ඡේදි 'මං' වයි ජේම්ස්ගේ පරිච්ඡේදෙදි 'මං' වයි පැටලෙන එකක් නැද්ද? මං එහෙම උත්සාහ කරලා බැලුවෙනම් නෑ. මෙහෙම වඩා පහසු නිසා, සහ මේ විදිහට ලියවුණු කතා කීපයක්ම ගොඩක් සාර්ථකව මගේ හිතට දැනුණ නිසා (ඉන් එකක් තමයි 'සිහසුනට තරග වැද') මේ විදිහට ලියන්න හිතුණා. අයියා කියපු විදිහටත් උත්සාහ කරලා බලන්න ඕනේ.

      4. චැප්ටර්ස් එහෙම තමයි ලිව්වේ. එතකොට සමහර චැප්ටර්ස් ගොඩක් පොඩි වුනා. එතකොට සමහර පෝස්ට් වලට ඒ චැප්ටර්ස් කීපයක් එකතු කරලා දැම්මා. සමහර සිදුවීම් මට ලීසල්ගේ PoV එකෙන්ම කියන්න ඕන වුනා, සමහර සිදුවීම් ජේම්ස්ගේ PoV එකෙන්ම කියන්න ඕන වුනා. ඉතින් ඒක බැලන්ස් කරන්න ගිහින් තමයි ඒ සමහර චැප්ටර්ස් ගොඩක් පොඩි වුනේ.

      5. රාජධානි අතර ගමනාගමනයේදී (මගේ මේ මනඃකල්පිත වෘතාන්තයේදී) තවමත් එහෙම අවසරයක් උවමනා නැහැ. ෆැසිනෝඩියා - නෝවෙල්ස්ට්‍රයින් ඇරුණාම තවමත් ඒ රාජධානි එකිනෙක අතර ගැටුම් ඇති වෙලා නෑ. සාමකාමීව දේශ සීමා අර්බුධ නැතුව, රාජ්‍ය තාන්ත්‍රික අභියෝග නැතුව සුහදව වැඩේ ගෙනියනවා. අර රෝමියස් රාජධානියෙන් එක සැරයක් යුද්ධ ප්‍රකාශ කරන්න හැදුවත් නිකලස් රජතුමාගේ පියරජතුමා ඒක ශේප් එකේ ගොඩදාගෙන තියෙනවනේ. ඒ නිසා ප්‍රශ්නයක් නෑලු. කතාව ලියද්දි මම සලකලා බලපු කාරණාවක් මේක. ස්තූතියි අයියට ඒ ගැන මට කරුණු පැහැදිලි කරන්න අවස්ථාව සලසලා දුන්නාට.

      6. ඇයි මොකෝ එහෙම ගෙදරක පොත් තියෙන්න බැරිද? චාලි නෝනා උගත් කෙනෙක්. වෘත්තිය වින්නඹු මාතාවක් විදිහට කටයුතු කරපු කෙනෙක්. චාලිත් එහෙ මෙහෙ ඇවිදලා පොත් පත් කියෝලා දැනුම දියුණු කරගත්ත කෙනෙක්. ඉතින් ඒක අමුත්තක් විදිහට දැනුණෙ ඇයි අයියට?

      7. ඒ තරම්ම සුලභ නැති වුනත් පුවත්පත් ඒ රාජධානි වල ඒ කාලේ පුවත් සන්නිවේදනය සිදු කෙරුණ මාධ්‍යයක් වුනා (ලු).

      8. හිතන්නකෝ ඒ රාජධානි වල කාර්මික විප්ලවය සිද්ද වෙන්න ආසන්න වකවානුවක් කියලා. යන්ත්‍රයක් කිව්වට මහා ලොකු ගැජමැටික් තියෙන යන්ත්‍රයක් නෙමෙයි වෙන්න ඇති. ලී ඉරාගන්න, පහසු වෙන විදිහේ අර කවාකාර කියතක් භ්‍රමණය කරන්න පුළුවන් විදිහේ, මිනිස් ශ්‍රමයත් සෑහෙන්න ඕන යන්ත්‍රයක් වෙන්න ඇති.

      9. අනේ මන්දා මේකටනං කොහොම උත්තර දෙන්නද කියලා. අයියා මේ කියන එකත් හරි වගේ තමයි කියලා හිතෙනවා.

      10. 14-15 සියවස් වල මොනවද වුනේ? අනේ හැබැයි අපි දන්න ශිෂ්ටාචාර, රාජධානි වල ඒ කාලෙදි සිද්ද වෙච්ච ඒවයි මගේ මේ මනඃකල්පිත රාජධානි වල සිද්ද වෙච්ච ඒවයි සමපාත කරන්න හදන්න එපා. ඒවා වෙනස්. සමහර දේවල් වලින් අපිට වඩා ඉස්සරහින් ඉන්න පුළුවන්, සමහර දේවල් වලින් අපිට වඩා පිටිපස්සේ ඉන්න පුළුවන්.

      11. අර මම ලිව්ව එකෝමත් එක කාලෙක කතාවට මුල් වෙච්ච රාජධානි දෙකෙත්, ඒ ආශ්‍රිත අනෙක් රාජධානි වලත් කතාවක් අයියේ මේක. මේක ලියලා ඉවර වේගෙන එද්දි මට හිතුණා මේකෙන් කතා මාලාවක් ගොඩනගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මේ 'කිරුළක උරුමය' නමින් ලියපු එක මීටත් වඩා දික් වුනානම් නීරස වෙන එකක් නැද්ද? බ්ලොග් නව කතාවක් විදිහට ලියන කොට? ඊළඟ කොටස එනකල් කියවන අයට බලාගෙන ඉන්න වුනාම? ඇත්තටම සමහර චැප්ටර්ස් සම්පූර්ණයෙන්ම ලියලත් මම අයින් කරලා දැම්මා කතාව ඕනැවට වඩා දික් කරන එක හොඳ නැහැයි කියලා හිතුණ හින්දා.

      12. මේ බලන්නකෝ, ජීවිතේටම ලියපු දිගම කතාව ලිව්වට පස්සෙ කියනවා කම්මැලි වෙලා කියලා. ඉතිං මං කාට කියන්නද! (මං කම්මැලියා බව ඉතිං වෙනම කතාවක්.) :P

      අයියට ගොඩාක් ස්තූතියි කතාව සම්පූර්ණයෙන්ම කියවලා අවංක අදහස්/ගැටළු ඉදිරිපත් කළාට. අනිවාර්යයෙන්ම මගේ අඩුපාඩු ඇති, මම දැනුවත්වම කතාවේ මට අඩුපාඩු පේන තැනුත් තියෙනවා. ඒවා ටික ටික හදාගෙන ඉස්සරහට යන්න ඔයාලාගේ මේ අදහස් මට ගොඩක් වටිනවා. ආයෙමත් ගොඩක් ස්තූතියි. :)

      ඒ එපා වීම, ටික කාලෙකින් දුරු වෙලා ගිහින් ආයෙමත් බ්ලොග් ගැන ආසාවක් පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා!

      Delete
  8. වලව් අභාවයට ගියා මැණිකේලා ඉන්න ඕන...:)

    සිතතමි නෝනාගේ කතා කියවන්න පටන් ගත්තේ පහු වෙලා නොව.පරණ කතාත් පුලුපුලුවන් විදියට හොයාගෙන බලන්නට ඕන.

    ReplyDelete
    Replies
    1. ඈ? මට මතක මල්ලි ඉස්සර ඉඳන්ම මගේ බ්ලොග් එක කියෝපු කෙනෙක් වගේනේ! :D

      Delete