205. කඩාකප්පල්කාරයා.....02

රොබර්ට් හිටියේ පිස්සු වැටිලා. එයා කී සැරයක් කොණ්ඩෙ අස්සෙන් ඇඟිලි යවලා තිබුණාද කිව්වොත් එයාගෙ කොණ්ඩෙ ඉත්තෑ කූරු වගේ කෙළින් වෙලා තිබුණා. "එයා නැතුව කොහොමද අපි තේ මේසේ පටන්ගන්නේ," රොබර්ට් කිව්වා. "අපි මහ නපුරු මිනිස්සු කියලා එයා හිතයි. එහෙම වුණොත් - මට එයාව නැත්තටම නැති වෙලා යයි. එයාට වෙන කවුරුවත් කවදාවත් එහෙම සලකලා නැතුව ඇති. ඒ වගේ ගෑනු ළමයෙක් තේ බොන්න එනවා කියලා තියෙද්දි වෙන කවුරුවත් එයා නැතුව තේ මේසෙ අරින එකක් නෑ. මං මගෙ මුළු ජීවිත කාලෙටම දැකපු ලස්සනම ගෑනු ළමයා එයයි. එහෙම තියෙද්දිත් අම්මා - මගේම අම්මා - එයාට මෙහෙමයි සලකන්නේ. අම්මට ඕනෙ මගෙ ජීවිතේ කාලකණ්ණි කරලා දාන්න. මේක මට දැනෙන්නෙ කොහොමද කියලා අම්මාට කිසිම හැඟීමක් නෑ. අම්මා එයාව තාම දැකලා නෑනේ, ඒකයි ඔය. අම්මා එයාව දැකලා තිබ්බානං කවදාවත් ඔහොම දෙයක් කරන්නේ නෑ. ඇත්තටම මං එයා ගැන විස්තර කරන්නෙ කොහොමද - මට -----"

"මං කිව්වෙ හතරට කියලනේ රොබර්ට්," අම්මා දරදඬු හඬින් කිව්වා. "දැන් හතර පහු වෙලා පැය බාගෙකුත් ගෙවිලා. ඊතල්, එමාට කියන්න තේ මේසේ සීනුව ගහලා තේ අරං එන්න කියලා."

රොබර්ට්ගේ නළලට හීන් දාඩිය දාලා. "මගේ හැම බලාපොරොත්තුවක්ම සුන්නද්දූලි වෙලා යන්නයි හදන්නේ," එයා හිර වෙච්ච කටහඬින් කිව්වා.

ඉන් ටික වෙලාවකට පස්සේ, තේ මේසේ සීනුවේ දෝංකාරෙත් අඩු වෙලා ගියාට පස්සේ, ඉස්සරහා දොරේ සීනුව බොහොම තියුණු හඬකින් නාද වෙනවා ඇහුණා. රොබර්ට් තමුන්ගේ ඉස් මුදුනේ කෙළින් වෙලා තිබ්බ කොණ්ඩේ අත් දෙකෙන් තලලා පොඩි කරලා සමතලා කරගෙන, හිරේ ඉඳං එළියට ආපු හිර කාරයෙක් වගේ හිනාවක් මූණෙ අලවගත්තා.

මන මෝහනීය මිස් කැනොන් එළිපත්ත උඩ ලැජ්ජාවෙන් හිටගෙන හිටියා. "මං හරිම නරකයි නේද?" එයා හීන් හිනාවක් දාගෙන ඇහැව්වා. "ඇත්තම කියන්න, මට මගදි හම්බවුණා ආන්ටිගෙ පොඩි පුතාව, මං ටිකක් වෙලා එයත් එක්ක ඉඳලයි ආවේ. එයා හරිම හුරතල් පොඩි එකෙක් නේද?"

එයාගේ දුඹුරු ඇස් රොබර්ට් දිහාට හැරුණා. රොබර්ට් වේලිච්ච තොල කට දිවෙන් තෙමාගෙන හිරකාරයාගේ හිනාව දැම්මා, ඒත් එයා වචනයක්වත් කතා කරගන්න පුළුවන් තත්ත්වෙකනම් නෙවෙයි හිටියේ.

"ආ හරි, මං ඊතල්ව දන්නවා, ආන්ටිගෙ මේ පුතාවත් මට -- ඊයෙ නේද අපි හම්බවුණේ?"

රොබර්ට් මොනවදෝ නොතේරෙන භාෂාවකින් මුමුණන අතරේ හුස්ම ගන්න බැරි තරමට හිර වෙලා තිබ්බ කමිස කර අත ගාන ගමන් ඔළුව වනලා ආචාර කළා.

ඊළඟට කට්ටියත් එක්කම තේ බොන්න ගියා.

ටික වෙලාවකින් කුකුල් පිහාටු අයින් කරලා කොණ්ඩෙ හොඳට පීරගෙන, මූණෙ දැලි බාගෙට හෝදගෙන විලියමුත් ඇවිත් එයාලට එකතු වුණා. වැඩිපුරම කතාබහ කළේ මිස් කැනොනුයි ඊතලුයි. තමුන්ව අනිත් සාමාන්‍ය කොල්ලන්ගෙන් සෑහෙන්න උඩට උස්සලා තියන්න පුළුවන් විදිහේ කියන්න හොඳ දෙයක් ගැන රොබර්ට් මොළේට වද දිදී කල්පනා කළා. ඒත් කිසිම දෙයක් ඔළුවට ආවේ නෑ. ඒත් කොහොමහරි එයාගේ ලස්සන දුඹුරු ඇස් තමුන් දිහාට හැරෙන හැම වෙලාවකම අමාරුවෙන් හරි හිනාවක් දාගෙන හුස්ම හිර කරන කමිස කර අතින් හදන්න තරමට රොබර්ට්ට සිහි කල්පනාව තිබ්බා. ඒත් ගෙවෙන හැම තත්පරයක් ගානෙම මේ උදා වෙලා තියෙන වටිනා මොහොත නැති වේගෙන යනවා වගේම, තමුන්ගේ හිතේ තියෙන කිසිම දෙයක් ඇස් දෙකෙන් ඇරෙන්න වෙන මොනම විදිහකින්වත් හෙළි කරගන්න තවමත් බැරි වුණ බව ගැන රොබර්ට් බොහොම බයෙන් හිටියේ. ඒ ඇස් දෙකෙන් කියවුණ දේවත් මිස් කැනොන්ට හරි හැටි තේරුණාද කියලා රොබර්ට්ට විශ්වාසයක් තිබ්බෙ නෑ.

තේ මේසෙන් නැගිටින වෙලාවේ විලියම් අම්මා දිහාට හැරිලා තරමක් කේන්ති ගිය, හැමෝටම ඇහෙන රහස් හඬකින් මෙන්න මෙහෙම ඇහැව්වා. "ඇයි මටත් මගේ හොඳම ඇඳුම දාගන්න කිව්වෙ නැත්තේ?"

මිස් කැනොන්ගේ ඇස් දෙක ලැජ්ජාවෙන් දිස්නෙ ගහන අතරේ රොබර්ට් විලියම් දිහාවට දාපු එරවිල්ලට, එතන විලියම් නැතුව වෙන කෙනෙක් හිටියානං වාශ්ප වෙලා යනවා.

තේ බීලා ඉවර වෙච්ච ගමන් ආපහු අන්තරස්දාන වෙන්න ඕනෙ කියලා කළින් ලැබිලා තිබ්බ ආඥා විලියම්ට ඒ වෙද්දි අමතක වෙලා. ඒ ගැන මතක් කරන්න හතර අතින් ආපු ඉඟි එකක්වත් විලියම් නෙවෙයි ගණනකටවත් ගත්තේ. මිස් කැනොන්ව විසිත්ත කාමරේට කැන්දාගෙන ගිය පෙරහැරට එකතු වෙච්ච විලියම්, තමුන්ගේ ප්‍රියාදරිය ළඟින් වාඩි වෙලා හිටිය රොබර්ට් අයියා ළඟින්ම සෝපාවෙන් ඉඳගත්තා.

"මිස් කැනොන් - මේ - පොත් කියවන්න කැමතිද?" රොබර්ට් බොහොම අමාරුවෙන් කතාව පටන්ගත්තා.

"මං එක සැරයක් - ලිව්වනේ කතාවක්." මිස් කැනොන්ට උත්තරයක් දෙන්න ඉඩක් ලැබෙන්න කළිම රොබර්ට්ගේ ඇඟට උඩින් එබිලා විලියම් බොහොම ආඩම්බරෙන් කිව්වා. "ඒක හරිම විහිලු කතාවක්. මං කීප දෙනෙක්ටම ඒක පෙන්නුවා. ඔයා කැමතිනං ඔයාටත් ඕනෙනං පෙන්නන්න පුළුවන්. ඒක පටන්ගන්නේ පාරුවක යන මුහුදු කොල්ලකාරයෙක්ගෙන්. එයා රජ කෙනෙක්ගෙන් ආභරණ කොල්ලකාගෙන යනවා, රජ්ජුරුවො දුම් බෝට්ටුවක නැගලා එයාගෙ පස්සෙ එළවනවා. රජ්ජුරුවො ළං වෙනකොටම මුහුදු කොල්ලකාරයා හොරකං කරපු බඩුත් අරගෙන වතුරට පනිනවා. එහෙදි මාළුවෙක් ඒ බඩු ටික ගිලිනවා. රජ්ජුරුවෝ ඒ මාළුවා අල්ලගන්නවා. ඊට පස්සෙ-" විලියම් හුස්ම ගන්න පොඩ්ඩක් නතර වුණා.

"අනේ මං හරි ආසයි ඒක කියවන්න!" මිස් කැනොන් කිව්වා.

රොබර්ට් කරදරකාර විලියම්ව වැහෙන විදිහට පැත්තට හැරිලා, දණිස්සට අතකුත් තියාගෙන පහත් හඬකින් කතා කළා. "මිස් කැනොන් කැමතිම මල මොකද්ද?"

විලියම්ගේ පුංචි ඔළුව රොබර්ට්ගේ අතට එහායින් එබුණා. "මට මල් වත්තක්ම තියෙනවා. ඒකෙ හැම තැනම වර්ජිනියා ස්ටොක් වැවිලා තියෙනවා. ඒවා හරි ඉක්මනට වැවෙනවා. මංනං හරි කැමතියි ඒ වගේ ඉක්මනටම වැවෙන මල් ජාති වලට, ඔයා කැමති නැද්ද? අනිත් ජාති වැවෙනකල් බලා ඉන්නකොට එපා වෙනවනේ, නේද?"

සෝපාවේ හිඳ සිටින මිස් කැනොන්, රොබර්ට් සහ රොබර්ට්ගේ කර මතින් එබී හිඳිනා විලියම් 

නහුතෙට තද වෙච්ච රොබර්ට් නැගිට්ටා. "වත්තයි, හරිතාගාරයි බලන්න යන්න ඔයා කැමතිද මිස් කැනොන්?" එයා ඇහැව්වා.

"මං හරි ආසයි," මිස් කැනොන් උත්තර දුන්නා.

විලියම් දිහා තර්ජනාත්මක එරවිල්ලකින් බලපු රොබර්ට් පෙරමුණ ගත්තා. කිසිම දෙයක් නොදන්න අහිංසක විලියමුත් ඒ පිටිපස්සෙන් ඇදුණා. "ඔයාට පුළුවන්ද ලිහාගන්න බැරි විදිහට ගැට දාන්න?" විලියම් ඇහැව්වා.

"අයියෝ බෑනේ," මිස් කැනොන් කිව්වා.

"මටනං පුළුවන්. මං කියලා දෙන්නංකෝ ඔයාට. නූලක් අරගෙන මං කරලා පෙන්නන්නං පස්සෙ. ඒ වැඩේ හරි ලේසියි, ඒත් කරලා පුරුදු වෙන්න ඕනෙ, එච්චරයි. තව මං ඔයාට කියලා දෙන්නං කඩදාසි වලින් ප්ලේන් හදලා හුළඟ මැද්දෙන් ඒවා යවන්නෙ කොහොමද කියලා. ඒකත් හරිම ලේසියි. හරි සයිස් එකට හදාගන්න විතරයි තියෙන්නේ. මට ඒවා හදන්න පුළුවන්, තව ගිනි පෙට්ටි වලින් එක එක ජාති හදන්න පුළුවන්, තව-----"

ඒ වෙද්දි පුපුරන්න ඔන්න මෙන්න හිටපු රොබර්ට් විලියම්ගේ කතාවට බාධා කළා. "මේ තියෙන්නේ අපේ තාත්තාගේ රෝස පාත්තිය. තාත්තා හරි ආදරෙයි මේකට, ඒ වගේම හරියට ආඩම්බර වෙනවා මේක ගැන."

"ඒවා හරිම ලස්සනයි."

"හා, ඉන්නකො ඔයා මගේ වර්ජිනියා ස්ටොක් ටික දකිනකල්! එතකොට තේරෙයි ඒවද මේවද වැඩිය ලස්සන කියලා. ඉන්නකො-----"

"මේ ටී-රෝස් මලට ඔයා කැමතිද මිස් කැනොන්?" රොබර්ට් ඒ මල දික් කරද්දි එයාගෙ මූණ දම් පාට වෙලා තිබුණේ. "ඒක - ඒක - මේ - ඒක ඔයාට හොඳට ගැලපෙනවා. ඔයා - මේ - මලුයි ඔයායි - ඒක මේ - සහතිකයි - ඔයා මල් වලට කැමතියි - ඔයා මේ - මලක් ගහගෙන හිටියනං - ඒක ඔයාට ගැලපෙනවා. මං මේ -----"

"මං ඔයාට දෙන්නං අර රතු ඒවයි, අර සුදු ඒවයි," රොබර්ට් තරමටම පුපුරන්න ළං වෙලා හිටපු විලියම් කිව්වා. කතාබහෙන් පැත්තකට විසි වෙන්න එයාට කිසිම අදහසක් තිබුණෙ නෑ. "ඔයාට මං මගේ වර්ජිනියා ස්ටොක් මලුත් දෙන්නං. මං එහෙම ලේසියෙන් මගේ වර්ජිනියා ස්ටොක් මල් කාටවත් දෙන්නෙ නෑ," එයා අන්තිම ටික එකතු කළේ බොහොම බරසාර හඬින්.

ආපහු විසිත්ත කාමරේට එද්දි මිස් කැනොන්ගේ අත් දෙක පුරෝලා තිබ්බ වර්ජිනියා ස්ටොක් මල් ගොන්නයි, සුදු පාට රතු පාට රෝස මලුයි නිසා රොබර්ට්ගේ ටී-රෝස මල එහෙම පිටින්ම වැහිලා ගිහින් තිබුණා. එයත් එක්ක කට කමසෙයියාවක් නැතුව කියව කියව ළඟින්ම ආවේ විලියම්. ඒ පිටිපස්සෙන් පිළිමයක් වගේ සුදුමැලි වෙච්ච රොබර්ට් ඇවිදගෙන ආවා.

රොබර්ට්ගේ වේදනාවෙන් පිරිච්ච බැල්මට උත්තරයක් විදිහට බ්‍රවුන් නෝනා විලියම්ව සාලේ කොනකට අඬගහගත්තා. රොබර්ට් මිස් කැනොන් එක්ක ආපහු සෝපාවෙන් වාඩි වුණා.

"මං හිතන්නේ - මං හිතන්නේ," රොබර්ට් තැතනුවා, "මං හිතන්නේ ඔයා මෙහෙ ගොඩ දවසක් ඉන්නවා නේද?"

"ඇයි මොකද මට එයත් එක්ක කතා කරන්න බැරි?" විල්යම්ගේ කෙඳිරිලි හඬ සෝපාව ළඟට හොඳට ඇහුනා.

"ෂ්, වස්තුවේ!" අම්මා කිව්වා.

"මං ඔයාට අපේ පළාත පෙන්නන්නං." විලියම් කේන්තියෙන් පිපිරි පිපිරී අම්මා ඉස්සරහා හිටගෙන ඉන්න මුල්ල දිහා ඔරවලා බලපු රොබර්ට් කිව්වා. "ඒක මට ලොකු සතුටක් - මේ - ලොකු ගෞරවයක්."

"මං එයත් එක්ක කතා කළා විතරයිනේ," විලියම්ගේ රහස් කෙඳිරිල්ල ආයෙමත් ඇහුණා. "මං කිසි වැරැද්දක් කළේ නෑනේ, නැද්ද? මං එයත් එක්ක කතා කළා විතරයි!"

විසිත්ත කාමරේ පිරිලා තිබුණේ බොහොම භයානක නිහඬතාවයක්. දම් පාටට හැරිලා හිටපු රොබර්ට් මොනවාහරි කියන්න කට ඇරියා, ඒ අපායෙන් ආපු සද්දෙ යටපත් කරන්න පුළුවන් මොනවා හරි, ඒත් කිසිම සද්දයක් එයාගේ උගුරෙන් එළියට ආවේ නෑ. මිස් කැනොන් විලියම් කියන දේට හොඳින් ඇහුම් කන් දීගෙන ඉන්නවා, ආයෙ සැකයක් නෑ.

"එයත් එක්ක වෙන කාටවත් කතා කරන්නම බැරිද." ආයෙමත් කේන්තියෙන් පිරිච්ච කෙඳිරිල්ලකින් කාමරේ පිරුණා. "අයියා එයාට ආදරෙයි කියලා වෙන කාටවත් එයත් එක්ක කතා කරන්නම බැරිද?"

ඒ මොහොතේ දැනුණ බය හින්දා ඊළඟ සති ගාණක් යනකල් රොබර්ට රෑට නින්ද යන්නෙත් නැතුව ගියා.

අම්මාට ඒ වෙලාවේ ආපු තද කැස්ස අමාරුවෙන් නවත්තගෙන ඊට පස්සෙ මහත්තයා වැඩියෙන්ම ආදරේ කරන රෝස මල් ගහට දළඹුවෝ කරලා තියෙන විනාසෙ ගැන ඕනැවටත් වඩා ලොකු විස්තරයක් කරන්න පටන්ගත්තා.

විනාඩියකට පස්සේ මූණ අහසට උස්සගත්ත විලියම් කා දිහාවත් බලන්නෙ නැතුව එතනින් පිට වෙලා වත්තට ගියා. ඒ එක්කම මිස් කැනොන් සෝපාවෙන් නැගිට්ටා.

"දැංනං මං ගියොත් හොඳයි," එයා හිනාවෙලා කිව්වා.

කරකියාගන්න දෙයක් නැතුව හිටපු රොබර්ට් දුකෙන් නැගිට්ටා. "වෙලාවක එන්න ආයෙමත්," එයා දුර්වල කටහඬින්, හිතේ තිබුණ කියාගන්න බැරි හැඟීම හින්දාම දැනුණ නිර්භීතකමකින් කිව්වා.

"එන්නංකෝ," එයා උත්තර දුන්නා. "මට හරි ආසයි ආයෙත් දවසක විලියම්ව හම්බවෙන්න. මං හරිම කැමතියි එයාට!"

***

රොබර්ට්ගේ ඉරිතැලුන හදවත සුවපත් කරන්න ගෙදර කට්ටිය පුළුවන් හැම දේම කළා. ඒත් කොහොම හරි අන්තිමට එයාගේ මූණට හිනාවක් ගෙනාවේ ඊතල් යෝජනා කරපු දෙයක් හින්දා. ඊළඟ බ්‍රහස්පතින්දා එළිමහනේ විනෝද ගමනක් යන යෝජනාව. ඒ මිස් කැනොන් ඒ පළාතේ නතර වෙලා ඉන්න අන්තිම දවස වගේම රොබර්ට්ගේ උපන් දිනයත් යෙදිලා තිබුණ දවස. විනෝද ගමනට රොබර්ට්, ඊතල්, ක්ලයිව් නෝනා, මිස් කැනොන් සහභාගි වෙන්න නියමිත වුණා. විලියම්ට අඩුමගානේ කට්ටිය යන්නෙ කොහෙද කියලාවත් කියන්න හොඳ නෑ කියලා කට්ටිය තීරණය කළා. එදා හැන්දෑවෙම ක්ලයිව් ගෙදරට ආරාධනාව යැව්වා. රොබර්ට් ඒ මුළු සතියෙම ඒ වගේ ගමනකට ගෙනියන්න හොඳ කෑම ජාති ගැන හිත හිත කෝකියා ජීවිතේට අහලාවත් නැති කෑම ජාති ගැන කියෙව්වා. තමුන් බ්‍රවුන් ගෙදර කෝකි රස්සාවෙන් අස් වෙනවා කියලා කෝකියා තර්ජනය කළාට පස්සෙයි රොබර්ට් අන්තිමේදී කෑම හදන වැඩේ එයාටම බාර දීලා පැත්තකට වුණේ. එයාගෙ සුදට සුදේ තිබ්බ සුදු ෆ්ලැනල් සූට් එක රොබර්ට් ලොන්ඩරියට යැව්වේ, ඒවා එක තිතක්වත් නැති වෙන්න හෝදලා බ්‍රහස්පතින්දා උදේට කළින් නොගෙනාවොත් නඩු දාන බවට ලියාපු තර්ජනාත්මක සටහනකුත් එක්ක. තමුන්ගෙ මූණෙ පෙනුම ගැන, ඉරියව් වලින් හැඟීම් ප්‍රකාශ කරන විදිහ ගැන එහෙම එයා ඒ දවස් කීපය ඇතුළතදි සෑහෙන්න හැදෑරුවා. ඒ සතිය රොබර්ට් ගෙව්වේ විලියම්ව දැක්කෙවත් නැති ගාණට. පරණ පොත් කඩේකින් කවි පොතකුත් සල්ලි දීලා අරගත්ත රොබර්ට් ඒක එයාගේ ඇඳ ළඟම මේසෙ උඩින් තියාගෙන හිටියා.

ඒ කාලෙ ඇතුළතදි කාටවත් මිස් කැනොන් මුණගැහුණේ නෑ. අන්තිමේදී රොබර්ට් පුල පුලා බලා හිටපු ලස්සන බ්‍රහස්පතින්දාව උදා වුණා. උපන් දිනේ හින්දා එයාට තාත්තාගෙන් අත් ඔරලෝසුවකුයි මාලෙකුයි, අම්මාගෙන් බයිසිකලේකුයි, විලියම්ගෙන් ටොෆී පෙට්ටියකුත් හම්බවුණා. ඒ ටොෆී පෙට්ටියෙනං හැබැයි යටි අරමුණක් නැති වෙන්නම බෑ.

විනෝද ගමන යන කට්ටිය කළින් කතා කරගෙන තිබ්බ විදිහට දුම්රිය නැවතුම්පොළේදී මුණ ගැහුණා. ගං ඉවුරක නිසන්සල වටපිටාවක ඉඳගෙන තමුන්ගේ එළිමහන් විනෝද සවාරිය ගත කරන්න හිතාගෙන හිටපු, හැතැප්ම කීපයක් එහා තිබුණ පුංචි ගම්මානෙට ඒගොල්ලෝ ප්‍රවේශ පත්‍ර අරගත්තා.

තමුන්ව මග ඇරලා කට්ටිය ගමනක් ගිහින් බව දැනුණට පස්සේ විලියම් හිටියේ ටිකක් හිත් අමාරුවෙන්. ඒත් ඉක්මනටම ඒක අල්ලලා දාපු විලියම් උදේ වරුවේ මුල් කොටස රතු ඉන්දියානු නායක රක්ත හස්ත විදිහට රත්මල් ගස් අස්සේ සැරිසැරුවා. එයාගේ රතු ඉන්දියානු හිස් වැස්මට ඒ වෙද්දි ඊතල්ගේ කාමරෙන් හොයාගත්ත පැස්බර පිහාටුවකුත් එකතු වෙලා තිබුණා. එයාගේ කරේ එල්ලගෙන හිටියේ කළින් දවසක මුව හම විදිහට ගත්ත පාපිස්ස.

පැණි කැවිලි දහයක් දුම් දාන ගිනි මැලේ උඩ තියපු කල්දේරමේ දාලා වැහි වතුරේ දිය කරලා අරගෙන ඒකට දොඩං ඉස්ම ටිකකුත් මිරිකලා රස බැලුවට පස්සේ එයාට ඒ සෙල්ලම ඇති වුණා. ඊට පස්සෙ එයා හෙමින් සැරේ උඩ තට්ටුවේ රොබර්ට්ගේ කාමරේට රිංගුවේ අයියට උපන් දිනේට හම්බවෙච්ච තෑගි බලන්න. එයා දීපු ටොෆී පෙට්ටිය ඇඳ ළඟ මේසෙ උඩ තිබ්බා. නිකමට ඒකට අත දාලා ටොෆී දෙක තුනක් අරගත්ත විලියම් ඒ ළඟ තිබුණ ආදර කවි පොත අරගෙන කියවන්න පටන්ගත්තා. ටික වෙලාවකින් දන්නෙම නැතුව ටින් එක හිස් වෙලා ගියා. ඒත් ඉතිං මුකුත් නොවිච්ච ගාණට මූඩිය ආපහු වහලා විලියම් හිස් පෙට්ටිය ආපහු මේසේ උඩින් තිබ්බා. කවුරු කෑවද කියලා අයියා දන්නෙ නෑනේ. එයා දැනගත්තොත් හැබැයි හරි වැඩේ වෙන්නේ. ඒ වුණාට එයාට ඒවා දුන්නෙත් විලියම්මනේ. අනික, එයා ඕනකමින් හිතා මතා ඒ ඔක්කොම ඉවර කළායැ.

ඊළඟට විලියම් කණ්ණාඩි මේසේ ළඟට ගිහින් අත් ඔරලෝසුවයි මාලෙයි දාගෙන, ඒ මේ අතට හැරි හැරි හැඩ බැලුවා. මුළු දවසම ඒවා අතේ කරේ දාගෙන ඉන්න දැනිච්ච ආසාව අමාරුවෙන් යටපත් කරගෙන විලියම් ඒව ආපහු ගලවලා කණ්ණාඩි මේසේ උඩින්ම තිබ්බා.

ඊළඟට එයා පල්ලෙහාට ගිහින් අයියාගේ බැබලෙන අලුත් බයිසිකලේ නවත්තලා තිබ්බ මඩුව පැත්තට ගියා. ඒකේ කුණු දූවිලි පැල්ලමක්වත් තිබ්බෙ නෑ. විලියම් ඒක දිහා බලාගෙන හිටියෙ හරිම ආසාවෙන්. ඒක පරිස්සමෙන් ගේ වටේ පොඩ්ඩක් අරං ගියා කියලා ඒකට මුකුත් වෙන එකක් නෑ කියන නිගමනේට බහින්න විලියම්ට වැඩි වෙලාවක් ගත වුණේ නෑ. අම්මත් කඩේ ගිහින් නිසා, හිතේ පුංචි දෙගිඩියාවක් හරි තිබුණානම් ඒකත් අමතක කරලා දාපු විලියම් බයිසිකලේ ගේ වටේ රවුම් දෙක තුනක් තල්ලු කරගෙන ගියා. ඒක අල්ලගෙන ඉන්දැද්දි දැනිච්ච උජාරු ගතියට විලියම්ට ආස හිතුණා. ඒක අත අරින්න එයාට ලෝබ හිතුණා. ඒක පදින්න සෑහෙන්න අමාරු ඇතිද කියලා විලියම් කල්පනා කළා. එක සැරයක් නැන්දා කෙනෙක් ළඟ නතර වෙලා ඉන්දැද්දි විලියම් බයිසිකලයක් පදින්න හදලා තියෙනවා. වත්තේ බංකුවක් උඩ හිටගත්ත විලියම් බොහොම අමාරුවෙන් බයිසිකලේ සීට් එක උඩට මාරු වුණා. බයිසිකලෙත් පෙරලගෙන ඇදගෙන වැටෙන්න කළින් යාර දෙක තුනක් පැදගන්න පුළුවන් වෙච්ච එක ගැන එයාටම පුදුමයි. ආයෙමත් නැගලා ටිකක් දුර යද්දි ආයෙමත් ඇදගෙන වැටුණා. ඊළඟ වතාවෙදි නැගලා කෙළින්ම කටු පිරිච්ච හෝලි පඳුර අස්සට බයිසිකලෙත් එක්කම ගියා. බයිසිකල් පැදීමේ කලාව ප්‍රගුණ කිරීමේ අධිෂ්ඨානය හින්දා විලියම්ට අනිත් හැම දේම අමතක වුණා. එයා ආයෙ ආයෙමත් උත්සාහ කළා. ඇදගෙන වැටුණේ නැත්තං කෙළින්ම හෝලි පඳුරට බයිසිකලෙත් එක්ක පැන පැන විලියම් තව තවත් උත්සාහ කළා. බයිසිකලේ දිලිසෙන කළු ආලේපනය හීරිලා, ඉස්සරහා යන්තමට නැවිලා, මොට්ට වෙලා; විලියම් හීරිලා, තුවාල වෙලා, තැලිලා, පොඩි වෙලා. ඒත් එයාගේ අධිෂ්ඨානයනං එක බිඳකින්වත් අඩු වෙලා තිබුණේ නෑ.

අන්තිමේදී හෝලි පඳුරේ චුම්භක බලය අතික්‍රමණය කරන්න විලියම්ට පුළුවන් වුනා. එයා බයිසිකලේ අනිත් පැත්තට හරවගෙන පැද්දි පැද්දි අක්වක් හැඩේට ගේට්ටුව ළඟට වෙනකල් ගිහිල්ලා එතනින් පාරට ආවා. එයාට කිසිම අදහසක් තිබුණේ නෑ පාරේ බයිසිකල් පදින්න. වෙන එකක් තියා එයා එයාගෙ පිහාටු පිරිච්ච රතු ඉන්දියානු තොප්පියයි, කරේ තිබ්බ පාපිස්සයිවත් ගලවලා තිබ්බෙ නෑ. මූණෙ දැලි අඟුරුත් එහෙමම. ඒත් බයිසිකලේ පාරට වැටුණට පස්සෙයි එයාට තේරුණේ බයිසිකලේ ආපහු හරවගන්නවත්, නවත්තගන්නවත්, ඒකෙන් බැහැගන්නවත් එයාට බැරි බව.

එතනින් එහාට සිද්ද වෙච්ච දේවල් විලියම්ටනං හීනයක් වගේ. ඉස්සරහට එන ලොරියක් දැකලා බිරාන්ත වෙච්ච විලියම් මුකුත් හිතන්නෙ නැතුව කෙළින්ම බයිසිකලේ පැත්තක තිබ්බ අතුරු පාරකට හරවලා එතනින් තවත් අතුරු පාරකට හැරෙව්වා. එයා වීදි හරයා ඇදීගෙන යන හැටි බලන්න මිනිස්සු ගෙවල් වලිනුත් එළියට බැස්සා. පාරෙ සෙල්ලං කර කර හිටපු සමහර ළමයි එයාට හූ කිව්වා, සමහරු හුරේ දැම්මා, තව සමහරු රංචු පිටින් එයා පස්සෙන් දුවගෙන ආවා. ඒ කිසිම දෙයකින් සැලෙන්නෙ නැති ගාණට විලියම් හැටට හැටේ බයිසිකලේ පැද්දා, නවතින විදිහක් දන්නෙ නැති නිසා. එයාගේ යකඩ හිත එයාව අත ඇරලා දාලා ගිහිල්ලා. බයිසිකලෙන් වැටෙන්නවත් එයාට සිහියක් තිබ්බෙ නෑ. එයා එහෙම පිටින්ම අතරමං වෙලා. එයාට හුරු පුරුදු ටවුම පහු වෙලා විලියම් ගොඩක් දුර ඇවිත්, බයිසිකලේ එයාව කොහෙ අරං යනවද කියලා එයා දන්නෙ නෑ. ඒත් කොහෙ ගියත් එයා දිහා තමයි හැමෝම බැලුවේ. දාඩියට හේදුණ දැලි වලින් වයිරං වැටිච්ච මූණක් තියෙන, හුළඟට පියාඹන පාපිස්සක් කරේ එල්ලගෙන, ඉඳ හිට පිහාටු එක දෙක හුළඟට ගහගෙන යන පිහාටු තොප්පියකුත් දාගෙන යන මේ අමුතු සතා බලන්න මිනිස්සු පාරට බැස්සා. සමහරු කිව්වෙ ඒ පිස්සන් කොටුවෙන් පැනලා ආපු එකෙක් කියලා, සමහරු කිව්වේ ඒ වෙළඳ ප්‍රචාරණයක යෙදෙන එක්කෙනෙක් කියලා. ළමයි හිතුවේ එයා සර්කස් සංදර්ශනයක කෙනෙක් කියලා. විලියම් හිටියේ කිසි දෙයක් හිතාගන්න පුළුවන් මට්ටමක නෙවෙයි. දැලි වලින් වැහිලා නොතිබුණානං එයාගේ මූණ සුදුමැලි වෙලා දරදඬු වෙලා තිබුණ හැටි අනිත් අයටත් දකින්න තිබ්බා. මුළින් හිතට දැනිච්ච බය නැති වෙලා මේ වෙද්දි මේක කවදාවත් ඉවර නොවෙන ගමනක් කියන හිතුවිල්ලෙන් හිත හිරි වැටිලා තිබ්බේ. මේ බයිසිකලේ කවදාවත් නවත්තගන්න බැරි වෙයි. එයා මේ විදිහට මුළු එංගලන්තෙ හරහාම යයි. දැන් මූදට ළඟද දන්නෙ නෑ. වැඩි ඈතක වෙන්න බෑ. එයාට ආයෙ කවදාවත් එයාගෙ අම්මවයි තාත්තවයි දැකගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. බයිසිකලේ කොහොම පෑගුණාද කියලාවත් විලියම්ට නිච්චියක් නෑ. එයාගේ කකුල් බයිසිකලේ පැඩල් කැරකුණ මුළු වටයම කැරකෙන්න තරම් දිග නෑ. රවුමේ පහළදි පැඩලය විලියම්ගේ කකුලෙන් ඈත් වෙලා තනියම ටිකක් කැරකිලා ආයෙ උඩට එද්දි ආපහු විලියම්ගේ කකුලේ හැප්පිලා පුළුවන් වීරියෙන් ආයෙ පහළට යනවා.

දැන්නං හොඳටම මහන්සියි; එයා පාර මැද්දේ මැරිලා වැටුණොත් මිනිස්සුන්ට දුක හිතෙයිද දන්නෙ නෑ.

විලියම් යන තැන එයා දැනගෙන හිටියෙ නැති වුණාට, විලියම්ගේ දෛවය දැනගෙන හිටියා.

විනෝද ගමන ගිය කට්ටිය කෝච්චියෙන් බැහැලා හෙමීට කන්ද බැහැගෙන ගං ඉවුර දිහාවට ඇවිදගෙන ආවා. ඒක ලස්සන උදෑසනක්. උඩ පනින හදවතයි බලාපොරොත්තුයි එක්ක රොබර්ට් එයාගේ දිව්‍යාංගනාව ළඟින් ඇවිදගෙන ගියා. එයාට එච්චර ළඟින් ඇවිදගෙන යන්න ලැබුණ එක ගැන රොබර්ට් කොච්චර උද්දාමයෙන් හිටියද කියනවනං එයා ඒ ටිකට එක වචනයක්වත් කතා කළේ නෑ. ඒත් ඊතලුයි ක්ලයිව් නෝනායිනං ඉවරයක් නැතුව කියෙව්වා.

"අපි මල්ලිට පොඩි ලණුවක් දුන්නා," ඊතල් හිනා වෙවී කිව්වා. "අපි කොහෙ ආවද කියලා එයාට හිතාගන්නවත් බැරුව ඇති!"

"පව් අනේ," මිස් කැනොන් කිව්වා, "මං හරි ආසයි එයත් අපිත් එක්ක හිටියනං."

"ඔයා තාම දන්නෙ නෑනෙ එයාගෙ හැටි," ඊතල් හරිම උනන්දුවෙන් මිස් කැනොන්ට ඒත්තු ගන්නන්න හැදුවා.

"අද හරිම ලස්සන දවසක් නේද!" තමුන් මොනවා හරි කියන්න ඕනෙ බව දැනිච්ච රොබර්ට් මිමිණුවා. "මං ඇවිදිනවා වේගේ වැඩිද මිස් කැනොන්?"

"අයියෝ නෑ."

"මං ඔයාගේ කුඩේ අල්ලගන්නද?" රොබර්ට් දෙකට තුනට නැවිලා ඇහැව්වා.

"ආ, එපා, ස්තූතියි."

දවල් කෑමෙන් පස්සේ ගඟේ බෝට්ටු සවාරියක් යන්න රොබර්ට් යෝජනා කළා. මිස් කැනොන් ඒකට කැමති වුණත් ඊතලුයි ක්ලයිව් නෝනායි ඉවුරෙම ඉන්නං කියලා කිව්වා.

රොබර්ට්ගේ වාසනාවනං හරිම ඉහළයි. එයත් එක්ක යාවජීව මිතුරුකමක් ගොඩනගාගන්න මේක තමයි හොඳම අවස්ථාව. ඉන් පස්සේ ලියුම් කියුම් වලින් ගනුදෙනු කරන්නත් බැරියෑ. එතනින් එහාට වෙන්න ඕනෙ දේවල් ඊට පස්සෙ වැඩිය අමාරු නෑ. එයාට කියන්න පුළුවන්නේ තාම ඉගෙනගන්න නිසා දැම්මම අත-හිත තියාගන්නම දෙන්න බැරි වුණත් - මිස් කැනොන්ට තව ටිකක් කල් ඉවසන්න පුළුවන්නං ----- රොබර්ට් හිත ඇතුළෙන් තමුන් කියන්න ඕන දේවල් පෙළ ගස්වන්න පටන්ගත්තා.

ඒගොල්ලෝ ගං ඉවුරට ළඟා වෙලා කෑම කූඩ දිග ඇරගත්තා. රොබර්ට්ගේ කරදර නැතුව කෝකියා බොහොම ලස්සනට වැඩේ කරලා තිබුණා. ගහක් යටින් සුදු ඇතිරිල්ල එළාගෙන කට්ටියම ඒ වටේට ඉඳගත්තා.

සැන්විච් පිඟානක් අතට ගත්ත රොබර්ට් බොහොම ආචාරශීලී විදිහට ඒක මිස් කැනොන්ට පිළිගන්නන්න ලෑස්ති වෙන කොටම එයාගේ ඇස් දෙක ගම්මණ්ඩියේ ඉඳං ගඟ දිහාට ඇදෙන දිග පාර දිහාට හැරුණා. ඊළඟට ඒ ඇස් දෙක එහෙමම නතර වුණා. එයාගෙ මූණ බයෙන් ගල් ගැහිලා සුදුමැලි වෙලා ගියා. පිඟාන අල්ලගෙන හිටපු අත පණ නැති වෙලා ආපහු රෙද්ද උඩටම වැටුණා. අනිත් අයත් එයා බලං හිටපු පැත්ත හැරිලා බැලුවා. අමුතු පෙනුමක් තියෙන භූතයෙක් පාර දිගේ බයිසිකලයක් පැදං එනවා -- කළු මූණකුයි, ඔළුවෙන් ගැලවිලා පියාඹන පිහාටුයි, හුළඟට අහුවෙලා ලෙල දෙන පාපිස්සකුයි. ඒ පස්සෙන් හූ තියාගෙන දුවං එන කොල්ලො කුරුට්ටො රංචුවකුයි. ඒ භූතයාගේ පෙනුම මේ ගං ඉවුරේ වාඩි වෙලා හිටපු කට්ටියටනං හැබැයි නුහුරු පෙනුමක් නෙවෙයි.

හැටට හැටේ බයිසිකලය පැද එන පාපිස්සෙන් හා කුකුළු පිහාටු හිස් වැස්මෙන් සැරසුණු කළු මුහුණෙන් යුතු විලියම්

"මේක වෙන්න බෑ," රොබර්ට් නළල අත ගගා යටි ගිරියෙන් කිව්වා.

කවුරුවත් කතා කළේ නෑ.

භූතයා තවත් ළඟට ආවා. දැන්නං ඒ භූතයා කවුද කියලා කාටවත් සැකයක් නෑ.

"විලියම්!" හතර දෙනාම එක සැරේ කිව්වා.

විලියම් පාරේ කෙළවරට ආවා. එයා එතනින් වමටවත් දකුණටවත් හැරුණේ නෑ. එයා ගං ඉවුරේ හිටපු අය දිහා බැලුවෙවත්, ඒ අයව අඳුර ගත්තෙවත් නෑ. ඉද්ද ගැහුවා වාගේ ඉස්සරහා බලාගෙන හිටපු සුදුමැලි මූණත් එක්ක එයා කෙළින්ම ගං ඉවුරටම බයිසිකලේ පැදගෙන ආවා, කෙළින්ම එළිමහන් භෝජනයට ලෑස්ති වෙලා හිටපු කණ්ඩායම මැද්දට. එයා එතනට එන්න කළින් හතර දෙනාම නැගිටලා අහකට දිව්වා. ඇතිරිල්ල උඩින්, සැන්විච්, පැටිස්, රෝල්ස්, කේක් හැම එකක්ම යට කරගෙන බයිසිකලේ පැදගෙන ගිය විලියම් බයිසිකලෙත් එක්කම ගඟට ඇදන් වැටුණා.

***

විලියම්වයි බයිසිකලෙයි කොහොමහරි ගොඩට ගත්තා. දෛවය එතනදිත් රොබර්ට්ට හරස් වෙලා. ඒ වීරක්‍රියාව කළේ තොටියෙක්. හෙම්බත් වෙච්ච තෙමිච්ච කුකුළෙක් වගේ වෙව්ල වෙව්ල හිටියත් විලියම් හිටියෙ වීරයෙක් වගේ. කට්ටියව දැක්කා කියලා එයා පොඩ්ඩක්වත් පුදුම වුණේ නෑ. වෙච්ච දේවල් වල හැටියට එයාට තවත් කිසිම දේකින් පුදුම වෙන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. රොබර්ට් පැත්තක ඉඳං තැලිච්ච බයිසිකලේ පිහදාන අතරේ විලියම්ගේ තෙත බේරෙන ඔළුව ඔඩොක්කුවේ තියාගෙන මිස් කැනොන් එයාට සැන්විච් කව කව කෝපි පොව පොව "පව් මගේ රක්ත හස්ත උතුමාණන්!" කිය කිය විලියම්ව නැළෙව්වා.

මිස් කැනොන්ට ඉක්මනටම එයාව ගෙදර එක්ක යන්න ඕන වුණා. මුළු ගමන පුරාම එයා රතු ඉන්දියානු නායකතුමාගේ යටහත් සේවිකාව විදිහට විලියම් වෙනුවෙන් හැම දේම කළා. ඊළඟට, රොබර්ට්ටයි ඊතල්ටයි වෙලාවක එහෙ එන්න කියලා එයා ආපහු ක්ලයිව් නෝනලාගේ ගෙදර ගියා ගෙදර යන්න ඇඳුම් ලෑස්ති කරගන්න.

විලියම්ගේ කාමරේ ඉඳන් බාගයක් කාලා ඉවර වෙච්ච පුඩිම් බාජනේකුත් අරගෙන පඩිපෙළ බැහැලා එද්දි අම්මාට රොබර්ට්ව හම්බවුණා. "රොබර්ට්, මොකද ඔය මූණ එල්ලගෙන?" අම්මා ඇහැව්වා.

රොබර්ට් අම්මා දිහා බුකවගෙන බලලා ඊළඟට බය හිතෙන හිනාවක් දැම්මා. "මූණ එල්ලගෙන!" තමුන්ගෙ හිතේ තියෙන කේන්තිය ඒ වගේ සුළු වචන දෙකකින් නිරූපණය කරපු එකෙන් එයාගෙ කේන්තිය වැඩි වුණා. "කෙනෙක්ගේ ජීවිතේ කාලකණ්ණි වුණාම ඒ කෙනා වෙන කොහොමද ඉන්න ඕනේ! මට හැම අයිතියක්ම තියෙනවා මූණ එල්ලගෙන ඉන්න." ඒ වෙද්දිත් හෙණ ගැහැව්වා වගේ අවුල් වෙලා තිබ්බ කොණ්ඩේ එයා අත් දෙකෙන් තවත් අවුල් කරගත්තා.

"ඔයා ඉතිං අද හවසට එහෙ යනවනේ තේ බොන්න," අම්මා මතක් කළා.

"ඔව්," එයා මූණ ඇඹුල් කරගෙන කිව්වා, "එහෙ තවත් කට්ටිය ඉන්නවනේ. එච්චර සෙනග පිරිලා ඉන්දැද්දි කොහොමද මං එයත් එක්ක කතා කරන්නේ? ඒක කරන්න වෙන්නෙ නෑනේ. මට කොච්චර ලස්සනට එයත් එක්ක ගඟ ලඟදි කතා කරන්න්ත තිබ්බද? මං කොච්චර දේවල් කතා කරන්න ලෑස්ති වෙලා හිටියද. අර මූසලයා ඇවිල්ලා මාව කෑවා -- මගෙ බයිසිකලෙත් කෑවා. එයා තමයි මං ජීවිතේටම දැකලා තියෙන ලස්සනම ගෑනු ළමයා. මං අච්චර ආසාවෙන් හිටපු බයිසිකලෙන් මට එක අඩි දෙකක්වත් පදින්න බැරි වෙන තැනට මේකා වැඩේ කළා."

"ඒත් පව් පුතේ, මල්ලිට හොඳටම සනීප නෑ. එයා එක්ක කේන්ති ගන්න එපා. ඔයාගෙ බයිසිකලේ හදාගන්න එයා ගෙවයි. එයාගෙ පොකට් මනී වලින් ඒ ගාන අපි අඩු කරගන්නවා."

"ඊට පස්සෙ," රොබර්ට් කෑම මේසේ දිහාට හැරිලා ඒකත් එක්ක කතා කරනවා වගේ කියෙව්වා, "ඊට පස්සෙ අම්මලා හිතං ඉන්නේ මේ ගෙදර ඉන්න ලොකු මිනිස්සු හතර දෙනාට ඒ පෝරිසාදයාව ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් වෙයි කියලාද? එයා ඉන් පස්සේ මිනිස්සුන්ගේ ජීවිත කාලකණ්ණි නොකර ඉඳියි කියලාද? මිනිස්සුන්ගේ බයිසිකල් පාඩුවෙ තියෙන්න අරියි කියලාද? ඔව්, හරි, එයා ඒ කිසි දෙයක් ආයෙ කරන එකක් නෑ," රොබර්ට් කතාව ඉවර කළේ රකුසු මූණකින්.

අම්මා කුස්සිය දිහාට යන්න පටන්ගත්තා. "රොබර්ට්," අම්මා බොහොම කරුණාවෙන් කිව්වා. "මල්ලි අසනීපෙන් ඉන්න කොට ඔයා එයත් එක්ක සමාදානෙන් ඉන්නවා නේද?"


"සමාදානෙන්?" රොබර්ට් බෙරිහන් දුන්නා. එයා අම්මා දිහා හැරිලා බැලුවේ එයාට ඇහුණේ වැරදියටවත්ද කියලා හරියටම දැනගන්න. "සමාදානෙ! මං ඉවසං ඉන්නං. ඕකා ආයෙ ඇඳෙන් බහිනකල් මං ඉවසං ඉන්නං; මං එතකල් මුකුත් කරන්නෙ නෑ. ඒත්--සමාදානෙ! නෑ, ඒක සමාදානයක්නං නෙවෙයි. සටන් විරාමයක්! එච්චරයි."



-----------------------------



Richmal Crompton කතුවරියගේ Just William කෘතියේ දෙවැනි පරිච්ඡේදය වූ William the Intruder හි සිංහල පරිවර්තනය මෙතෙකින් සමාප්තයි.






204. කඩාකප්පල්කාරයා.....01


"එයා මේ ලෝකේ අනිත් හැමෝටම වඩා වෙනස්," රොබර්ට් කතා කළේ කියාගන්න බැරි තරම් සතුටකින්. "එයා ගැන කියන්න මට වචන නෑ. මේ ලෝකේ කාටවත් බැරි වෙයි එයාව වර්ණනා කරන්න වචන හොයාගන්න!"

ඒ ළඟ ඉඳගෙන මේස් කකුලක් අණ්ඩ දම දම හිටපු අම්මා එයාගේ වචන නෑහුණ ගාණට හිටියා. රොබර්ට්ගේ මල්ලි විලියම් විතරයි රොබර්ට් කියපු දේ ගැන උනන්දු වුණේ. "කොහොමද එයා මේ ලෝකේ අනිත් හැමෝටම වඩා වෙනස් වෙන්නේ?" විලියම් ගත් කටටම ඇහැව්වා. "ඇයි එයා නොණ්ඩි ගහනවද? නැත්තං වෙන මොකක් හරි අවුලක් තියෙනවද?"

රොබර්ට් විලියම් දිහා බැලුවේ යක්ෂාරූඪ වෙලා. "මේ, කෑ නොගහා ගිහිල්ලා තමුසෙගෙ කෝච්චිය එළෝනවා!" රොබර්ට් බෙරිහන් දුන්නා. "තමුසෙ වගේ පොඩි එවුන්ට මේවා තේරෙන්නෙ නෑ."

අයියාට ඔරවගෙන නහයත් අහසෙ තියාගෙන ජනේලේ ළඟට ගියත් විලියම්ගේ කන් දෙක තිබ්බේ අම්මයි අයියයි ළඟ.

"හරි, ඉතිං මේ කවුරු ගැනද ඔය හැටි කියවන්නේ?" අම්මා අන්තිමේදී ඇහැව්වා. "රොබර්ට්, මට හිතාගන්නවත් බෑ ඔයා මේ තරං අලි හිල් මේ මේස් කකුල් වල කොහොම හදාගන්නවද කියලා!"

රොබර්ට් පිස්සු හැදිලා වගේ තමුන්ගේ කොණ්ඩෙ අස්සෙන් අතේ ඇඟිලි යැව්වා. "මං කිව්වනෙ අම්මේ ඒ කවුද කියලා," එයා කිව්වා. "මේ සාලෙට ආපු වෙලාවේ ඉඳලා මං කිව්වේ එයා ගැනනේ."

"ඔව් පුතේ, ඒත් ඔයා එයාගෙ නමවත්, එයාව අඳුනගන්න පුළුවන් වෙන කිසිම දෙයක්වත් කිව්වෙ නෑනේ."

"හරි," අසාමාන්‍ය ඉවසිලිවන්ත කටහඬකින් රොබර්ට් කිව්වා, "එයාගෙ නම මිස් කැනොන්, එයා ඉන්නේ ක්ලයිව්ලාගේ ගෙදර, මට එයාව හම්බවුණේ අද උදේ එයා ක්ලයිව් නෝනා එක්ක එළියට ඇවිත් හිටපු වෙලාවක, ක්ලයිව් නෝනා එයාට මාව අඳුන්නලා දුන්නා, එයා තමයි මං දැකලා තියෙන ලස්සනම ගෑනු ළමයා-----"

"හරි හරි," අම්මා ඉක්මනින් කිව්වා, "ඒ හරිය ඔයා කිව්වා."

"හරි," රොබර්ට් කතා කළේ වෙරි වෙලා වගේ, "අපි එයාට හවසක එන්න කියන්න ඕනේ තේ බොන්න. මං දන්නවා තාම මං කසාද බඳින වයසට ඇවිල්ලා නෑ -- මං තාම ඉගෙනගන්නවනේ -- ඒත් මට එයාව අඳුනගෙන ඉන්න පුළුවන්නේ. එයා මං දිහා බලයිද කියලාවත් මං දන්නෙ නෑ. එයා ඉන්නෙ මට වඩා සෑහෙන්න උඩින් -- මේ ලෝකේ අනිත් හැමෝටම වඩා ගව් ගාණක් උඩින්. එයා තමයි මං දැකපු ලස්සනම ගෑනු ළමයා. අම්මට එයාගෙ රූපෙ ගැන හිතාගන්නවත් බැරි වෙයි. මං එයාගෙ ලස්සන ගැන වචන වලින් කිව්වාට අම්මා විශ්වාස කරන එකක් නෑ. කාටවත් බෑ එයාගෙ ලස්සන වචන වලින් කියන්න. එයා-----"

අම්මා ආයෙමත් රොබර්ට්ගේ කතාවට බාධා කළා. "මං කියන්නංකෝ ක්ලයිව් නෝනාට දවසක එයාව මෙහෙ එක්කං එන්න කියලා. මගෙ නිල් පාට වූල් කැරැල්ලත් ඉවරයි රොබර්ට්. ඔයා මොකට මේ පාට පාටින් මේස් ගන්නවද මං දන්නෙ නෑ. ඉතුරු ටිකට මට දාන්න වෙන්නේ දම් පාට. විලුඹ යටමනේ, ඒක එළියට පේන්නේ නෑ."

රොබර්ට් හුස්ම හිර වෙච්ච සද්දයක් පිට කළා. "අනේ අම්මේ එපා. අම්මා කොහොමද කියන්නේ ඒක එළියට පේන්නෙ නෑ කියලා? අනික ඒක පෙනුනෙ නැතත්, ඒක එහෙම වෙන පාටකින් තියෙනවා කියලා දැන දැනම දාගෙන යන්නෙ කොහොමද මං---! මට මේ වගේ ගෑනු ළමයෙක් හම්බවුණාටත් පස්සේ මං එහෙම වැඩ කරන එක මොන අපරාදයක්ද අම්මේ. පිස්සෙක් වගේ ඇඳගෙන යන්න බෑ මට."

"ඈ," විලියම් කටත් ඇරගෙන ඇහැව්වා. "ඔයා එයාට මුක්කුවක් ගහන්නද හදන්නේ?"

"විලියම්, ඔය වචන ඔයාට පාවිච්චි කරන්න හොඳ වචන නෙවෙයි," අම්මා සැර කළා. "අයියා ඒ ළමයාව අඳුනගන්න කැමතියි, යාළුවෙක් විදිහට, එහෙම නේද රොබර්ට්?"

"‍යාළුවෙක් විදිහට!" රොබර්ට් බලාපොරොත්තු කඩ වෙච්ච හඬින් ගෙරෙව්වා. "කාටවත් තේරෙන්නෙ නෑනේ මං මේ කියන්න හදන දේ. මං එයා ගැන මෙච්චර විස්තර කිව්වට පස්සෙත්, මං දැකලා තියන ලස්සනම ගෑනු ළමයා එයයි කිව්වට පස්සෙත්, එයා මට වඩා, අනිත් හැමෝටමත් වඩා ගව් ගාණක් උඩ අහසෙ ඉන්නෙ කියලා කිව්වට පස්සෙත් - අම්මට හිතෙන්නෙ මං එයාව 'යාළුවෙක් විදිහට' අඳුනගන්න කැමතියි කියලනේ. තේරෙන්නෙ නැද්ද අනේ - මේක - මේක - මගේ ජීවිතේ - මට පිස්සු හැදිලා තියෙන්නේ! මේක-----"

"හරි," අම්මා බොහොම ශාන්තව කිව්වා. "මං කතා කරන්නංකෝ ක්ලයිව් නෝනාට. කතා කරලා අහන්නං හෙට හවස මුකුත් වැඩක් තියෙනවද කියලා."

රොබර්ට්ගේ ඛේදාන්තයක් වෙලා තිබ්බ ඉලන්දාරි මූණ බැබළෙන්න පටන්ගත්තා. ඊළඟට කල්පනා කර කරම නැගිට්ටා. බොහොම ඉක්මණින් ඒ මූණ ආයෙමත් කරදරකාර අඳුරු වළාවකින් වැහුණා.

"මගේ දුඹුරු පාට සූට් එකේ කලිසම අද රෑට මැදලා තියන්න එලන්ට පුළුවන් වෙයි නේද? අනේ අම්මේ, හෙටට කළින් මට අලුත් මේස් කුට්ටමකුයි ටයි එකකුයි ගෙනත් දෙන්නකෝ, පුළුවන් නේද? නිල් පාට, අර ලස්සන නිල් පාට හොඳයි. අම්මා දන්නවානේ - අර ගොඩක්ම දිස්නෙ ගහන්නෙ නැති, ඒත් හොඳට ඇහැට කැපිලා පේන අර ලස්සන නිල් පාට. අපේ ඇඳුං අපුල්ලන කට්ටිය මාරු කරන්න ඕනෙ මං හිතන්නේ අම්මේ. අම්මා දන්නවනේ, අලුත් කමිසයක් ඇන්දාම මනුස්සයෙක්ගේ කර දිස්නේ ගහන හැටි. මේ රෙදි අපුල්ලන අයට ඒ වැඩේ බෑ. හෙටට අලුත් කමිසෙකුත් තිබ්බනං හොඳයි මං හිතන්නේ. අම්මට තේරෙනවනේ, කෙනෙක්ගේ පෙනුම බොහොම වැදගත් ඔය වගේ වෙලාවකදි. එයා---මං කිව්වෙ මේ මිනිස්සු, කෙනෙක්ගේ පෙනුමෙන් ගොඩක් දේවල් හිතාගන්න පුළුවන්නේ. ඒගොල්ලෝ-----"

අම්මා කර කර හිටපු වැඩේ පැත්තකට දැම්මා. "හරි, මං මේ දැම්මම ගිහින් ක්ලයිව් නෝනාට කතා කරන්නංකෝ," අම්මා නැගිටින ගමන් කිව්වා.

අම්මා ආපහු එද්දි විලියම් පේන්න හිටියේ නෑ. ජනේලේ ළඟ හිටගෙන හිටපු රොබර්ට්ගේ මූණ දෙගිඩියාවෙන් සුදුමැලි වෙලා තිබුණා. එයාගේ ඇස් දෙකේ තිබුණ එරවිල්ල හරියට නැපෝලියන් බොනපාට්ගේ පෙනුම වගේ.

"ක්ලයිව් නෝනාට එන්න වෙන්නෙ නෑ," අම්මා සුපුරුදු සැහැල්ලුවෙන් කිව්වා, "ඒත් මිස් කැනොන් එයි. එයාට ඊතල්වත් කළින් දවසක හම්බවෙලා තියනවලු. ඉතිං ඔයා තවත් හිත කරදර කරගන්න ඕන නෑ පුතේ."

රොබර්ට් අමුතු හිනාවක් දැම්මා. "හිත කරදර කරගන්න!" එයා කිව්වා. "හිත කරදර කරගන්න ඕන තරං හේතු තියෙනවා. විලියම්ට මොකද කරන්නේ?"

"ඇයි, එයාට මොනවා කරන්නද?"

"එයාව හෙට වෙන කොහෙට හරි යවන්න බැරිද? එයා ළඟ පාත ඉන්න කොට කිසි දෙයක් හරියට වෙන්නෙ නෑ. අම්මම දන්නවානේ ඒ බව."

"මල්ලි පව්, ඔහොම කතා කරන්න එපා. එයා අපිත් එක්ක තේ මේසෙට හිටපුදෙන්. එයා හොඳ ළමයෙක් වගේ ඉඳියි, මට විශ්වාසයි. ඊතලුත් ගෙදර ඉඳියිනේ. මං මල්ලිට කියන්නං ඔයාට කරදර කරන්න එපා කියලා. එයා හොඳට ඉඳියි."

***

විලියම්ට උපදෙස් මාලාවක්ම හම්බවුණා. තේ මේසේ පටන් ගන්න සීනුව වදිනකල් එයාට ගෙට එන්න අවසර නෑ. තේ බීලා ඉවර වෙච්ච ගමන් එයා ආපහු වත්තට ගිහින් සෙල්ලම් කරන්න ඕනේ. එයා ඒ උපදෙස් වලට කීකරු වෙන්න සැදී පැහැදී ලෑස්ති වෙලා හිටියා. අයියා ආදරවන්තයෙක් විදිහට රඟපාන්න ලෑස්ති වෙන එක ගැන විලියම් සෑහෙන්න පිනා ගිහිල්ලා හිටියේ. මේක බොහොම බැරෑරුම් අවස්ථාවක් විදිහටයි එයාට දැනුණේ.

විශේෂ අමුත්තිය හැන්දෑවේ අඩි පාර දිගේ ඇවිදගෙන එද්දි විලියම් හිටියේ ගෙවත්තේ. අමුත්තිය ඉස්සරහට පැනලා එයාව බය කරන්න එපා කියලා කළින්ම උපදෙස් ලැබිලා තිබුණ නිසා විලියම් සද්ද නැතුව රත්මල් පඳුර අස්සෙන් එබීගෙන හොරෙන් එයා එන දිහා බලාගෙන හිටියා. එදා දවසේ එයාගේ සෙල්ලම වෙච්ච රතු ඉන්දියානු නායකයාගේ භූමිකාව හරියට රඟපාන්න පරිසරයත් හරියටම ලෑස්ති වෙලා හිටියා වාගෙයි.

මිස් කැනොන් ඇත්තටම හරි ලස්සනයි. දුඹුරු පාට කොණ්ඩෙයි ඇසුයි එක්ක එයාගේ රෝස පාට කම්මුල් පෙනෙන නොපෙනෙන තරමට වළ ගැහෙන හැටි ලස්සනට ගැලපුණා. එයා ඇඳගෙන හිටියේ සුදු ගවුමක්, අතේ පුංචි කුඩේකුත් තිබුණා. එයා ඉස්සරහාම බලාගෙන ඇවිදගෙන ආවත් අයිනක තිබ්බ පඳුරක් යාන්තමට හෙළවෙන හැටි එයාට දැනුණා. ඉක්මණින්ම හැරිලා බලපු අමුත්තිය දැක්කේ දැලි අඟුරු වලින් සම්පූණයෙන්ම කළු කරගත්තු පොඩි කොල්ලෙකුගේ මූණක්. ඒ මූණ වටේට ටේප් පටියකින් අලවගෙන හිටියේ කුකුල් පිහාටු. ඒ ගමනනං එයාගේ මූණ හොඳට පේන්නම වළ ගැහුණා.

"සැරදේවා උතුමාණෙනි!" අමුත්තිය කිව්වා.

විලියම් කටත් ඇරගෙන එයා දිහා බලං හිටියා. මේ තරං බුද්ධිමත් වැඩිහිටියෙක් එයා දැක්කමයි. "රක්ත හස්ත නායක උතුමාණන්," විලියම් භයානක හඬකින් ගෙරෙව්වා.

රත් මල් පඳුර මැදින් එබීගෙන හිඳිනා නායක රක්ත හස්ත උතුමාණන් සහ කුඩයක් අතින් ගත් සුරූපී කැනොන් මෙනෙවිය

අමුත්තිය දෙකට නැවිලා ආචාර කළා. එයාගේ දුඹුරු ඇස් විනෝදයෙන් දිලිසුණා. "උතුමාණන්ගේ හස්තකප්‍රාප්ත වුණ අසරණියට ලැබෙන මරණ දඬුවම කුමක්ද?"

"මගේ කූඩාරමට ඇවිත් බලන්න කියලා මං අණ කරනවා," නායක රක්ත හස්ත කිසිම අනුකම්පාවක් නැතුව කිව්වා.

ගේ දිහාවට යොමු වෙච්ච අඩි පාරේ වංගුව දිහා බැල්මක් හෙලපු අමුත්තිය හීන් හිනාවක් දාලා රතු ඉන්දියානු නායකයා පස්සෙන් පඳුරු අතරින් ඇවිදගෙන යන්න පටන්ගත්තා.

මේ අතරේ ගෙදර විසිත්ත කාමරයේ ජනේලේ එල්ලිලා, සාංකාවෙන් සුදුමැලි වෙච්ච මූණෙන්, තමුන්ගේ ප්‍රියාදරිය අඩි පාරේ වංගුවෙන් මතු වෙනකල් මග බලාගෙන හිටියේ රොබර්ට්. අලුත මැදපු කලිසමේ කකුල්, අලුත් නිල් මේස් දෙක හොඳට පේන තරමට උඩට නවලා තිබුණා. ඉඳහිට උඩට එන අතක් අලුත් ටයි පටියයි දිලිසෙන කමිස කරයි අත ගෑවා. ඒ කමිස කර ඕනෑවට වඩා උසට තදට තිබ්බත්, කරදරකාර ගැනුම්කරුවා ඉක්මනින් කඩෙන් එලවගන්න ඕන වෙලා හිටිය වෙළෙන්දා ඒ 'අලුත්ම විලාසිතාව සහ ඉලන්දාරින්ට හොඳට කැපෙන හැඩය' කියලා කියපු නිසා රොබර්ට් හිත හදාගෙන හිටියා.

ඒ වුණත් එයාගේ ප්‍රියාදරිය ඒ වෙද්දි හිටියේ විලියම්ගේ 'බිං ගෙයි'. ගස් වලින් කපාගත්ත අතු වලින් ඒ බිං ගෙය හදාගත්තේ විලියම්මයි. එයා එයාගේ යාළුවොත් එක්ක පැය ගණං ඒ බිං ගේ ඇතුළේ සෙල්ලං කරලා තියෙනවා.

"මේ තමයි මගේ කූඩාරම පාණ්ඩු සුද්දියේ." විලියම් කතා කළේ අවමංගල නිවේදනයක් ප්‍රකාශයට පත් කරනවා වගේ හඬකින්. "මං සර්ප මුහුණා සහ අනිත් නායකයින් එක්ක තමුන් ගැන කතා කරලා එනකල් මෙතනම හිටගෙන ඉන්න ඕනේ. ඔය ඉන්නේ සර්ප මුහුණායි අනිත් නායකයිනුයි." අන්තිම ටික විලියම් කිව්වේ එයාගේ සාමාන්‍ය කටහඬින්. එයා අත දික් කරලා පෙන්නුවේ පඳුරු ගොන්නක්.

මේ පඳුරු ගොන්නට ළං වෙච්ච විලියම් විනාඩි ගාණක් යනකල් බොහොම බය හිතෙන නොතේරෙන භාෂාවකින් මොනවදෝ කියෙව්වා. විටෙන් විට බය හිතෙන අඟුරු මූණෙන් අමුත්තිය දිහා ඔරවලා බලන අතරේ එයා දිහාට ඇඟිල්ලත් දික් කළේ තමුන් අල්ලගත්ත සත්ත්වයා ගැන හිතවත් රතු ඉන්දියානුවන්ට විස්තර කරනවා වගේ.

අන්තිමේදී එයා ආපහු අමුත්තිය ළඟට ආවා.

"මං ඒ කතා කළේ රතු ඉන්දියානු භාෂාව," එයා තමුන්ගේ සාමාන්‍ය කටහඬින් පැහැදිලි කළා. ඊළඟට අර ගොරහැඬි කටහඬෙන් ආපහු කිව්වා "සර්ප මූණා කියනවා පාණ්ඩු සුද්දිව හම ගහලා උයලා කන්න ඕනෙ කියලා!"

එයා දැලි පිහියක් ඇදලා අරගත්තේ වැඩේට ලෑස්ති වෙන්න වගේ. "ඒත් මායි අනිත් අයයි කිව්වා තමුන් අපේ රතු ඉදියානු ගෝත්‍රයට බැඳිලා, අපිට කෑම බීම උයලා දෙන්න කැමතිනං අපි තමුන්ට ජීවත් වෙන්න ඉඩ දෙමු කියලා."

මිස් කැනොන් දණින් වැටුණා. "ඔබතුමන්ලාට බොහොමත්ම ස්තූතියි රක්ත හස්ත නායක උතුමාණෙනි," එයා කිව්වා. "මං බොහොම සතුටින් ඔබතුමන්ලාගේ ගෝත්‍රයේ සේවිකාවක් වෙන්නං."

"මේ පැත්තේ තියෙනවා ගිණිමැලයක්," විලියම් ආඩම්බරෙන් එහෙම කියලා අමුත්තියව කූඩාරමේ පිටිපස්සට එක්ක ගියා. එතන තිබ්බා යාන්තමට පණ ඇද ඇද පත්තු වෙන දර කොටේකුයි කළුම කළු පාට මොනවාදෝ දමාපු ලොකු කල්දේරමකුයි.

"අර ඉන්නේ," තාලෙට කියන ගමන් පොඩි නැටුමකුත් දාලා විලියම් දර කොටේ දිහාට අත දික් කරලා කිව්වා, "ඊයේ රෑ අපි අල්ලගත්ත පාණ්ඩු සුද්දා!"

අලුත් රතු ඉන්දියානු සේවිකාව අත් දෙක එකතු කරගත්තා. "අනේ හරි ෂෝක්!" එයා කිව්වා. "ඒ එයාව උයනවද?"

නායක රක්ත හස්ත ඔව් කියන්න ඔළුව වැනුවා. ඊළඟට, "ඉන්නකෝ මං ඔයාටත් පිහාටු ටිකක් දෙන්න," එයා කරුණාවෙන් කිව්වා. "ඔයාට ඒවා ලස්සනට තියෙයි."

කූඩාරමේ ඇතුළටම ගිය විලියම් ආපහු ආවේ කුකුල් පිහාටු වලින් අත් දෙක පුරවගෙන. තමුන්ගේ ලස්සන හිස් වැස්ම අයින් කරපු මිස් කැනොන්, හිනා වෙවී එයාගේ පිරුණ දුඹුරු පාට කොණ්ඩේ කුකුල් පිහාටු හයි කරගත්තා.

"මේක නියමයි!" එයා කිව්වා. "මං හරිම කැමතියි රතු ඉන්දියානුවන්ට!"

"මං ගාව තව අඟුරුත් තියෙනවා ඔයාගේ මූණෙත් ගාගන්න," විලියම් නිර්භීත පරිත්‍යාගශීලී හිතකින් කිව්වා.

මිස් කැනොන් ගස් අතරින් පේන ගෙදර දුම් කවුළුව දිහා බැලුවා. ඊළඟට දුකෙන් වගේ ඔළුව දෙපැත්තට වැනුවා. "අපි ඒ වැඩේ දැනට නොකර ඉමු," එයා දුකෙන් කිව්වා.

"හරි," විලියම් කිව්වා. "මං දැන් දඩයමේ යනවා. ඔයා පාණ්ඩු සුද්දාව හැඳි ගාන්න. මං ආපහු ආවට පස්සේ අපි එයාව කමු. මං යනවා. බලන්න මං යන දිහා."

ලේ පිපාසිත බැල්මකින් දැලි පිහිය ඇදලා ගත්ත විලියම් භයානක බැල්මකින් වට පිට බල බල අත් කකුල් හතරෙන්ම පඳුරු අස්සට දණ ගාගෙන ගියා. අලුත් රතු ඉන්දියානු හිතවතියට පේන හරියෙදිම විලියම් වටයක් කැරකුණේ එයාට වැඩ පෙන්නන්න. හිතවතිය කල්දේරම හැඳි ගාන ගමන් විලියම් ආසාවෙන් බලාපොරොත්තු වෙච්ච අගය කිරීමේ බැල්මෙන් කීප වතාවක්ම එයා දිහා බැලුවා.

දඩයක්කාරයා ඉක්මනින්ම ආපහු ආවේ පරණ පාපිස්සකුත් කරේ තියාගෙන. එයා හිතවතියගේ කකුල් දෙක ළඟ පාපිස්ස අත ඇරියා.

"මුව මස්," එයා ලොක්කෙක් වගේ කිව්වා. "ඕක උයන්න. මං ඕක අරගත්තෙ උදේ," ඊළඟට එයා කතා කළේ සාමාන්‍ය කටහඬින්. "ඒගොල්ලො තාම දන්නෙ නෑ ඕක නැති වෙලා කියලා."

විලියම් කූඩාරම ඇතුළෙන් කඩතොලු වෙච්ච ටින් දෙකක් අරගෙන ඇවිත් ගිනි මැලේ උඩින් ලොකු කල්දේරම අරගෙන ඒකේ තිබ්බ කළු දියරයෙන් ටික ටික ටින් දෙකට දැම්මා. "ඔන්න," එයා කිව්වා, "ඔයාටත් පාණ්ඩු සුද්දාගෙන් ටිකක්."

"හානේ," රතු ඉන්දියන් හිතවතිය කිව්වා, "එයානං හරි රසට ඇති, ඒත්-----"

"බය වෙන්න එපා," විලියම් බොහොම ආරක්ෂාකාරී හඬකින් කිව්වා. "ඒක නියමෙට තියනවා, මංනේ කියන්නේ." එයා ගස් අස්සෙන් සුප් පැකට් එකක කවරේ අහුලගත්තා. "ඕකේ තියෙන්නේ මේවායි වතුරයි විතරයි, මාර රසයි!"

"කොච්චර ෂෝක්ද! ඒගොල්ලෝ ඔයාට මේවා කරන්න-----?"

"ඒ ගොල්ලො මට මේවා කරන්න දෙන්නෙ නෑ," විලියම් මැද්දෙන් පැන්නා. "ඒ වුණාට ඕවා අහරෙ කෑම ගබඩාවේ ගොඩ ගහලා තියෙන්නේ, ඔය ඉඳලා හිටලා එකක් දෙකක් අඩු වුණා කියලා කාටවත් තේරෙන්නෙ නෑ. බීලා බලන්නකෝ ඉතින්!" විලියම් කතා කළේ දිරි ගන්වන හඬකින්. "ඔයා ඔය ටිකක් බිව්වට මං මුකුත් කියන්නෙ නෑ, ඇත්තමයි. මට තව ඕන තරං පස්සෙ එතනින් ගන්න පුළුවන්නේ."

මිස් කැනොන් බොහොම නිර්භීත විදිහට ටින් එක කටේ තියාගෙන උගුරක් බීලා බැලුවා. "නියමයිනේ!" එයා ඇස් දෙක පියාගෙන කිව්වා. ඊළඟට මුළු ටින් එකම හිස් කළා.

විලියම්ගේ මූණ ආඩම්බරෙනුත් සතුටෙනුත් බැබළුනා. ඒත් තේ ලෑස්තියි කියන සීනුව ඒ වෙලාවෙම ගේ දිහාවෙන් ඇහෙන්න ගත්ත නිසා ඒ මූණ ආයෙමත් කළු වුණා. "අනේ අන්න තේ ලෑස්තියිලු!"

මිස් කැනොන් කලබලෙන් කොණ්ඩෙ තිබ්බ කුකුල් පිහාටු ගලවලා තොප්පිය ආපහු දාගත්තා. "ඔබතුමාගේ කූඩාරමේ කණ්ණාඩියක් නැතුව ඇති මං හිතන්නේ?" එයා ඇහැව්වා.

"නෑනේ," විලියම් කිව්වා. "ඒත් ඊළඟ වතාවේ මං එකක් ගෙනත් තියාගන්නං. ඊතල් අක්කාගෙ කාමරෙන් මට එකක් ගත හැකි."

"එයා මුකුත් කියන එකක් නැද්ද?"

"අයියෝ කවුද එයාට කිය කිය ගන්නෙ," විලියම් බොහොම සරලව උත්තර දුන්නා.

මිස් කැනොන් නැගිටලා ගවුම අතින් හදාගත්තා. "මං සෑහෙන්න පරක්කුයිනේ. ඔයාගෙ ගෙදර අය මං ගැන මොනවා හිතයිද මන්දා. ඔයත් එක්ක ඇවිල්ලා මං හරි වැඩක් තමයි කරගත්තේ. කොයි වෙලෙත් මං ඔහොම වැඩමයි කරන්නේ. ඔන්න මේක ඔයයි මායි අතරේ රහසක්, හරිද?" එයා විලියම්ගේ ඇස් නිලංකාර වෙන විදිහේ හිනාවක් දැම්මා. "දැං යමු ඉතිං, ගිහින් පරක්කු වුණාට සමාව ඉල්ලගමු."

"බෑ," විලියම් කිව්වා. "මට ඇඟ හෝදගෙන හොඳට ඇඳගෙන තමයි එන්න වෙන්නේ. මං ඒගොල්ලන්ට පොරොන්දු වුණා එහෙම කරනවා කියලා. අද විශේෂ දවසක්නේ. අපේ අයියට. ඔයාට තේරෙනවනේ. අපේ අයියට අද බොහොම විශේෂ දවසක්!"

අමුත්තියගේ ප්‍රශ්නාර්ථයෙන් පිරුණ මූණ දිහා බොහොම බැරෑරුම් විදිහට බලලා විලියම් ඔළුව වැනුවා.




~ මතු සම්බන්ධයි ~