උඹ ම මේකට නමක් තියාපං අයියෙ... මං දන්නෙ නෑ මේකට තියන්න නමක්...

 


හිතාදර රවි අයියා බොහොම දුර ගමනක් යන්න පිටත් වුණ බව ආරංචි වුණ දවසේ මම ෆේස්බුක් අවකාශයේ තබපු සටහන තමයි මේ:

මට කතන්දර ලියන්න පුලුවන් කියලා මම අඳුනගත්තේ සිංහල බ්ලොග් අවකාශය හින්දා. ඒ ගැන ම‍ම නිතරම කියනවා. පොඩි කුමාරිහාමිගේ වළව්වේ කමෙන්ට් තීරුවල තමයි මං මුලින්ම කතන්දර ලිව්වේ. ඒ වළව්වේ කවිකාර නිළමේ තමයි ඒ කමෙන්ට්-කතන්දර ලියැවිල්ලේ මූලිකයා. ඒක බොහොම සොඳුරු ඉසව්වක් - දැනුමත්, රසවින්දනයත්, සහෝදරත්වයත් පිරුණු තැනක් වුණා. 

ඔහොම කමෙන්ට්වල කතන්දර ලිය ලියා හිටපු මං අන්තිමට මගේම බ්ලොග් අඩවියකුත් පටන්ගත්තා. බ්ලොග් සහෘදයෝ හය දෙනෙක් - ලේඛිකාවෝ පස් දෙනයි, එක ලේඛකයයි - එකතු වෙලා වෙනම බ්ලොග් අඩවියක 'අන්දර මල්දම්' පවා ගෙතුවා.

අද... අද සිංහල බ්ලොග් අවකාශයම දුකින් අඳුරු වුණ දවසක්. ඒ වළව්වේ කවිකාර නිළමේ, අන්දර මල්දමේ අපි එක්ක කතන්දර ගොතපු ලොකු අයියා, සිංහල බ්ලොග් අවකාශයේ 'නිදහස් සිතුවිලි' ලියූ රවි අයියා හදිසියේම යන්න ගිහින්. හිතාගන්න, දරාගන්න හරිම අමාරුයි.

බ්ලොග් අවකාශයෙන් ටික ටික ඈත් වෙලා බ්ලොග් ලියපු වැඩි දෙනෙක් පසුකාලීනව ලිව්වේ ෆේස්බුක් අවකාශයේ. වළව්වට යන පාරත් වැහිලා ගිහින් තිබුණා. ඒත් පැරණි හිතමිතුරුකම් ඈත් වුණේ නැහැ. මගේ ලිවීමේ මුල් ගැඹුරට විහිදුණේ සිංහල බ්ලොග් අවකාශයත්, හැබැහින් මුණගැහෙන්නටත් කලින් අකුරු මතින් බැඳුණු සොඳුරු සිත් ඇති බ්ලොග් සහෘදයනුත් නිසා. රවි අයියා ඇතුළු මා එක්ක අන්දර මල්දම ලියපු සහෘදයින් මට එතනින් හුඟක් විශේෂයි. ඒ නිසා දුක වැඩියි.

මගේ බ්ලොග් අඩවියේ නම හරි දිගයි. මම කමෙන්ට් ලිව්වේත් ඒ නමින්. දවසක් මේ කවිකාර නිළමේ ඒ නම කෙටි කරලා 'සිසිනැකපො' කිව්වා. ඒකට මං රණ්ඩු අල්ලගෙන ආවාම කිව්වා ඒ කිව්වේ 'සිත්තරාට සිත්-බැඳි නැතක් කවි-පබැඳි පොඩි-කෙලී' කියලලු. ඉතින් කොහොමද තරහා ගන්නේ.

මගේ පළ වෙන හැම පොතක්ම ගන්න, හොඳ වගේම අඩුපාඩුත් පෙන්නලා දුන්න, බාගෙට ලියපු පරණ කතන්දර ඉවර කරන්නම් කියලා බොරු පොරොන්දු දුන්න, මගේ අලුත් කතාවටත් කොටසක් ලියන්නම් කියපු එයා යන්න ගිහින් ඉතින්.

හිතාදර රවි අයියාට සුබ ගමන්! 🙏

සුවපත් භව ගමනක් ලැබේවා! 🙏

නොපමාව නිවන් සුවයෙන් සැනසේවා! 🙏

~ සිත්තමී

+++++++++++

ඒ සටහනෙන් පස්සේ කියන්න තව බොහෝ දේවල් මේ ගෙවුණ දවස් කීපය ඇතුළත මගේ මතකයට ආවා. දුර ගමනක් ගිය මගේ තාත්තා ආයෙමත් පුරුදු සද්දෙන් ගේට්ටුවේ අගුල ඇරගෙන එයිද කියලා අවුරුදු තුනක් තිස්සේ මටත් හොරෙන් මග බලාගෙන ඉන්න මගේ හිත, රවි අයියාත් ඇවිත් මේ සහෘදයන් ලියපු සටහන්වලට පුරුදු හිනාවෙන් උත්තරයක් ලියයි කියලා බලාගෙන ඉන්නවා.

පරිවර්තනයක් කරද්දි අමාරුවේ වැටෙන හුඟක් වෙලාවට මං උදව් ඉල්ලන්නේ රවි අයියාගෙන්. එයා තරම් සිංහලයයි, ඉංග්‍රීසියයි එක වගේ ලේඛනයේදී ලස්සනට හසුරුවන්න දන්න බොහොම අල්පයයි මට මුණගැහිලා තියෙන්නේ. මේ දවස්වල කරගෙන යන පරිවර්තනයේදිත් මට ගිය සතියේ අමාරු තැනක් හම්බවුණා. මුලින් ම ඔළුවට ආවේ 'රවි අයියාගෙන් අහලා බලන්න ඕනේ' කියලා. ඉන් පස්සේ තමයි ඉතිරි ටික මතක් වුණේ.

හිතුණ ගමන් එහෙම උදව් ගන්න කෙනෙක් මට නෑ දැන්. 

උඹ - බං කියලා ගමේ වහරෙන් මට කමෙන්ට් කරන්න කෙනෙක් නෑ දැන්. 

'දේශපාලනේ පැත්තක තියලා පරණ කතා ලියලා ඉවරයක් කරාපං අයියෙ' කියලා රණ්ඩු අල්ලන්න කෙනෙක් නෑ දැන්.

මගේ අලුත් පොතක් පළ වුණ ගමන් නුවර සරසවියේ පොත හොයන්න ගිය රස කතා මට කියලා එවන්න කෙනෙක් නෑ දැන්.

අනිත් හැමෝම සැදී පැහැදී බරපතල කමෙන්ට් පළ කරන පෝස්ට් එකක් අස්සේ ඇවිදින් මොකක් හරි විකාරයක් කියලා හිනා වෙලා අපිවත් හිනස්සන්න කෙනෙක් නෑ දැන්.

සිංහල බ්ලොග් අවකාශයේ පායා තිබුණ 'ඉර' අහසේ පේන්න නෑ දැන්.

කවදාවත් ඇහැට නොදැක, අකුරු මතින් ම විතරක් බැඳුන සහෘද හිත්වලත් මිහිරි-මතක විතරක් ම ඉතුරු කළේ කොහොමද ඇත්තට ම? මේ ලියනා අතරෙදි පවා, උගුරේ බරට දැනෙන ඉකිය අතරින්, ඇහේ බොඳ වෙන තරමට නැගෙන කඳුළු අතරින්, අපේ මූණේ පුංචි හිනාවක් අඳින්න පුළුවන් වුණේ කොහොමද ඇත්තට?

එහෙම කරන්න පුළුවන් වැඩි දෙනෙක් නෑ මං හිතන්නේ මේ ලෝකේ.

අහසේ පායපු 'ඉර'ක් වගේ බැබළෙන ආත්මයකට විතරයි එහෙම කරන්න පුළුවන්.

රවි අයියා එහෙම කෙනෙක්.

සුබ ගමන් රවි අයියේ... 🙏

සතුටෙන් සුවෙන් පරිස්සමෙන් සංසාර මගේ පිය නගන්න... 🙏

මේ ගෞතම බුදු සසුනේ දී ම උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න... 🙏