203. ගණිත විනෝදය.....09

ඕන්න කාලෙකට පස්සේ ගණිත ගැටළු ටිකකුත් අරගෙන ගණං ටීච ආවලු. බලමු අද කවුද මේ ටික මුළින්ම විසඳන හපනා කියලා. :)

***

1. 

බූවලු ලෝකේ රජ්ජුරුවන්ට හිටියා කකුල් හයේ, හතේ, අටේ සේවකයෝ. මේ සේවකයන්ගෙන් කකුල් හතේ අය කිව්වොත් කියන්නේ බොරුමයි. කකුල් හයේ අයයි අටේ අයයි කියන්නේ ඇත්ත විතරමයි.

දවසක් මේ සේවකයෝ හතර දෙනෙක් හම්බවුණා.

  • නිල් පාට බූවල්ලා කිව්වා 'අපි හතරදෙනාගෙම කකුල් ගණන එකතු වුණාම කකුල් 28ක් තියෙනවා' කියලා.
  • කොළ පාට බූවල්ලා කිව්වා 'අපි හතරදෙනාගෙම කකුල් ගණන එකතු වුණාම කකුල් 27ක් තියෙනවා' කියලා.
  • කහ පාට බූවල්ලා කිව්වා 'අපි හතරදෙනාගෙම කකුල් ගණන එකතු වුණාම කකුල් 26ක් තියෙනවා' කියලා.
  • රතු පාට බූවල්ලා කිව්වා 'අපි හතරදෙනාගෙම කකුල් ගණන එකතු වුණාම කකුල් 25ක් තියෙනවා' කියලා.

මේ හතර දෙනාගෙන් ඇත්ත කියන්නේ මොන පාට බූවල්ලාද කියන්න බලන්න.

***

2.

අමරයි මාලායි අයියයි නංගියි. මාලාට ඉන්න සහෝදරයන් ගාණටම සහෝදරියනුත් ඉන්නවා. අමරට ඉන්න සහෝදරයන් ගණන වගේ දෙගුණයක් සහෝදරියන් ඉන්නවා. ඒ පවුලේ මුළු සහෝදරයන් ගණන කීයද? සහෝදරියන් ගණන කීයද?

***

3.

ඒකෝමත් එක ගමක තිබුණ ලොකු චතුරශ්‍රාකාර පොකුණක් මැද්දේ චතුරශ්‍රාකාර දූපතක් තිබුණා. මේ දූපතට පොකුණේ ඉවුරේ ඉඳලා හතර පැත්තෙන්ම තිබුණේ අඩි 20ක දුරක්. දවසක් එක මනුස්සයෙකුට මේ දූපතට යන්න ඕන වුණා. ඒත් එයා ළඟ තිබුණේ අඩි 19ක් දිග, අඩියක් විතර පළල ශක්තිමත් ලෑලි දෙකක් විතරයි. එයා කොහොමද තෙමෙන්නේ නැතුව ඒ දූපතට යන්නේ?

***

4.

දවසක් ළමයි පස් දෙනෙක් පිට්ටනියක ක්‍රිකට් ගහ ගහ හිටියා. එක්කෙනෙකුගේ අතින් බෝලෙ වැදිලා ළඟ තිබුණ ගේක ජනේලයක් බිඳුනා. ඒ ගැන අහපු වෙලාවේ ළමයි පස් දෙනා එක්කෙනෙක් වාක්‍ය තුන ගානේ කිව්වා. ඒ වාක්‍ය තුනෙන් 2ක් ඇත්ත, එකක් බොරු. මේ තියෙන්නේ ඒ එක එක්කෙනා කියපු වාක්‍ය.

ජන්තු:
1. මං නෙවෙයි ඒක කළේ.
2. සිඟිති කියයි ඒක කළේ කවුද කියලා.
3. අපෙන් එක්කෙනෙක් ලොකු අමාරුවක වැටෙන්නයි යන්නේ.

මහතුන්:
1. ටිකිරි තමයි ඒක කළේ.
2. මං නෙවෙයි ඒක කළේ.
3. මං ක්‍රිකට් ගහන්න ආසත් නෑ.

බිංදු:
1. මං නෙවෙයි ඒක කළේ.
2. ටිකිරියි මමයි හොඳ යාළුවෝ.
3. සිඟිති දන්නෙ නෑ ඒක කළේ කවුද කියලා.

ටිකිරි:
1. මං ඒක කළා කියලා මහතුන් කිව්වෙ බොරු.
2. මං මීට කළින් කවදාවත් බිංදුව දැකලා නෑ.
3. මං ජීවිතේට කවදාවත් ජනේලයක් කඩලා නෑ.

සිඟිති:
1. මං දැක්කා ටිකිරි ජනේලෙ කඩනවා.
2. මංනං ජනේලෙ කැඩුවේ නෑ.
3. මට ගෙදර යන්න ඕනෙ.

කවුද ඇත්තටම ජනේලෙ කඩලා තියෙන්නේ?

***

කමෙන්ට් පස්සෙ පබ්ලිෂ් කරන්නං. බය නැතුව උත්තර ලියලා යන්ඩ. :)



202. විල් අද්දර පිපි සියපත් යාය...

ලිවීම සිත්තමීගේ ප්‍රියතම විනෝදාංශය; ඒ වගේම, ආතතිය මුදා හැරීමේ මාධ්‍යය. කොළ කෑලි වල, දින පොත් වල කුරුටු ගගා හිටිය සිත්තමීට බ්ලොග් කියන මේ අරුම පුදුම ලෝකයට පය තියන්න හිතුණේ, කාලෙකට කළින් බ්ලොග් හරහා ලෝකය අමතපු, දැනට ජීවතුන් අතර නැති, සිත්තමීගේ ආදරණීය ගුරු පියාණන් කෙනෙක් නිසා. එතනින් පටන්ගත්ත බ්ලොග් ලිවීම මෙතනට එනකල් ආපු ගමනෙදි අතර මගදි නොකැඩුණාම නෙවෙයි. ඒ මාර්ග බාධකයෙදී මට ආයෙමත් පාර පෙන්නුවේ මගේ මුල්ම බ්ලොග් මිතුරු මිතුරියන් පිරිස. ජනූ අක්කා, රවි අයියා, පොඩි කුමාරිහාමි - ඉන් පස්සේ අන්දර මල්දමෙන් මාත් එක්ක එකතු වෙච්ච සොයුරියන් දෙන්නා - රන්දි අක්කා, අමා අක්කා. ඔයාලා පස් දෙනාටම බොහෝම පින්. ඒ වගේම පොඩ්ඩි අක්කාගේ වළව්වේ මම ලියපු ඒවා කියවලා දිරි දීපු, ඒ දවස්වල ඒ වළව්වට ගොඩ වෙච්ච හිතවතුන්ටත් පින්. 2012 මේ බ්ලොග් අඩවිය පටන්ගත් දා ඉඳන් මේ ඉසව්වට ගොඩ වෙමින්, කමෙන්ට් කරමින් මාව දිරි ගන්වාපු ආදරණීය හිතවතුන් හැම දෙනාටමත් බොහෝම පින්.


මේ වතාවේ සිත්තමී නෙළුම් යායට සහභාගි වුණේ දෙවැනි වතාවට. ගිය අවුරුද්දේ තිබුණ දෙවැනි නෙළුම් යායේදී සිත්තමීගේ ලිපියක් බ්ලොග් නව කතා අංශයෙන් නිර්දේශ වෙලා දෙවැනි ස්ථානය දිනාගත්තා. ඒ වතාවට සාපේක්ෂව මේ වතාවේ උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු බව කියන්නේ ඉතාමත් සතුටින්. ඒ උත්සවය සංවිධානය කරන්න කාලයෙන්, ධනයෙන්, ශ්‍රමයෙන් කැප වුණ හැම දෙනාටම මගේ ප්‍රණාමය. හොඳම බ්ලොග් අඩවිය ලෙසින් සම්මාන ලැබූ නිදහස් සිතුවිලි අඩවියේ මගේ ආදරණීය අක්කණ්ඩිය සහ අයියණ්ඩිය ඇතුළු සම්මානලාභී සියලු දෙනාට මගේ හදපිරි සුබ පැතුම් එක් කරන්නත් මේක මම අවස්ථාවක් කරගන්නවා. 

මේ වතාවේදීත් බ්ලොග් නව කතා සහ පරිවර්තන අංශ දෙකකින් නිර්දේශ වෙලා පරිවර්තන අංශයෙන් දෙවැනි ස්ථානය සිත්තමීගේ මේ 'සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත' බ්ලොග් අඩවියට ලැබුණා. ඒ ගැන නිහතමානී සතුටක් දැනෙනවා. (මගේ ලීසල්ටයි ජේම්ස්ටයි වැලේ වැල් නැති වෙච්ච එක ගැනනං දුකකුත් නැතිවාම නෙවෙයි. ඒ වුණාට මං දන්නවා, මං ඒ කතාව ලිව්වා තරම්ම කැපවීමකින් තමයි අනිත් හැම දෙනාමත් තමුන්ගේ කතන්දර ලියන්න ඇත්තේ. මගේ ආදරණීය නිර්මාණි නංගි ගැන හරිම සතුටුයි. සම්මාන ලබපු සොයුරු සොයුරියන් තිදෙනා ගැනවත්, විනිශ්චය ගැනවත් කිසිම අහිතක් නෑ. සිත්තමීගේ රහත් නොවිච්ච හිතට දැනුණ දුක ගැන කිව්වා විතරයි. :) )

ගිය සැරේ සම්මාන උළෙලට සිත්තමී තනියම ආවාට, මේ වතාවේ සිත්තරායි සිත්තර පැංචායිත් ආවා. සෙනසුරාදාට තියන අමතර පංතියේ ගෝලයන්ට නිවාඩු දීලා මගේ සතුට බෙදාගන්න මාත් එක්ක ආවාට සිත්තරාටත් ගොඩාක් පින්. පැංචාත් සෑහෙන්න සතුටින් හිටියා. ශාලාව වටේට ලස්සනට තරු බැබළුන විදිහට පැංචා හුඟක් ආස වුණා. ශාලාවේ අත්පොළසන් හඬ ඇහෙද්දී පැංචාත් හිනා වෙලා පුළුවන් විරියෙන් අත්පුඩි ගැහැව්වා. මට වේදිකාවට නගින්න වෙච්ච වෙලාවේ පැංචායි තාත්තායි ශාලාවේ හිටියේ නැහැ, දෙන්නත් එක්ක පල්ලෙහා ඇවිදින්න ගිහින් හිටියේ. ආපහු උඩට ඇවිත් මට හම්බවුණ ඒවා දැක්කාම පැංචා ගොඩාක් සතුටු වුණා. 'මේක මටද?' කියලාත් එයා ඇහැව්වා. කොළේකින් ඔතලා තිබ්බ පාර්සලේත් එයාට එවෙලේම ලිහලා බලන්න ඕන වුණා. ඒක ඇතුළේ ලොකු පොඩි සටහන් පොත් දෙක ඇරුණාම කිසිම දෙයක් නොතේරෙන තනිකරම දෙමළෙන් තිබුණ තව මොකද්ද පොත් පිංචක් තිබ්බේ ඇයිද කියලානම් අපිට හිතාගන්න බැරි වුණා. හැබැයි ඉතිං දඟයා කෑ ගගහා බිම පෙරළි පෙරළි දඟත් කළා. එයාගේ දඟ වැඩ වලින් උත්සව සභාවට පුංචි හරි බාධාවක් වුණානම් මම ඒ ගැන සමා වෙන්න කියලා ඉල්ලනවා. 

උත්සවයේ විශේෂාංගත් හොඳින් රස වින්දා. විශේෂයෙන්ම 'අපි මචං'ලාගේ ගායනය. ඔපෙරාව සොක්‍රටීස්ගේ මරණයට සම්බන්ධ දෙයක් බව ඇරෙන්න වෙන කිසිම දෙයක් නොතේරුණාට බලා ඉන්න රසවත් රංගනයක් වුණා. ඒත් තවත් කීප දෙනෙක්ම කියලා තිබුණා වාගේ, විශේෂාංග වලට වෙන් වුණ කාලය වැඩි බවක් මටත් දැනුණා. ඒ නිසා උත්සවය වෙනුවෙන් ඕනැවටත් වඩා වැඩි කාලයක් ගත වුණා කියලා මට හිතුණා. අන්තිම වෙද්දි පැංචාට නිදි මත වෙලා, අවසානයට තිබුණ නාට්‍යයවත් රස විඳින්නේ නැතුව අපිට යන්න වුණා. ඒ ගැන දුකයි. ඒකත් ගිය වතාවේ 'ආණ්ඩුවේ රස්සාවක්' වාගේම හුඟක් ලස්සන නිර්මාණයක් වෙන්න ඇති නොවැරදීම. සංග්‍රහය හොඳින් පිළියෙල වෙලා තිබුණත්, ඒ වෙද්දි හුඟක් ප්‍රමාද වෙලා තිබ්බ නිසා බඩගිනි වැඩි කමට කට්ටිය උත්සවය අමතක කරලා සංග්‍රහය රසවිඳින්න එකතුවුණා වගේ දැනුණා. සිත්තමීලාත් එහෙම තමයි. :)

කොහොමවුණත්, මේ හැම දේටම වඩා වටිනා දේ වුණේ සිත්තමීගේ බ්ලොග් යාළුවෝ කීප දෙනෙක්ම හමුවෙලා කතා කරන්න ලැබුණ එක. රන්දි අක්කා, නිර්මාණි නංගි, සිතූ, තුෂානි, තරු අක්කානම් මීට කළිනුත් මුණගැහිලා කතා කරලා තියෙනවා. බෝධි අක්කේ, ඔයාව මුණ ගැහිලා කතා කරන්න ලැබුණ එකනම් ගොඩක් වටිනවා. ඒ වගේම, අයිතිකාරයන් මුණ ගැහිලා කතා කරන්න ඉඩක් නොලැබුණත් තව වටින බ්ලොග් කීපයක් ගැනම දැනගත්තා මේ නෙළුම් යාය හින්දා. ඒ ගැන හරිම සතුටුයි.

කොහොම වුණත්, මේ හැම සතුටක් මැද්දේම, සිත්තමීගේ හිතේ තරමක කනගාටුවක් තියෙනවා. ඒ තමයි, සිත්තමී අකමැති, සිත්තමීගේ ගෞරවය දිනාගත්තේ නැති කෙනෙකු අතින් වේදිකාව මතදී සම්මානය ගන්න සිද්ධ වීම. ඒ තැනැත්තාව අනවශ්‍ය ආකාරයෙන් වර්ණනා කෙරෙනවා ඇහුණ ගමන්ම හිතට ආවේ ලොකු කළකිරීමක්. කීයටවත් හිතුවේ නැහැ ඔහු අතින් සම්මාන ගන්න වෙයි කියලා. මොකද අජිත් ධර්මකීර්ති මහත්මයා තමන්ගේ පෝස්ටුවකම කමෙන්ටුවක් විදිහට කළින් කියලා තිබුණා ඒ තැනැත්තා අතින් සම්මාන දීම සිදු වෙන්නේ නැති බව. අජිත් මහත්මයා මේ උත්සවයේ ප්‍රධාන සංවිධායක මණ්ඩලයේ කෙනෙකු හැටියටයි  මා හඳුනාගෙන හිටියේ. ඔහු එවැනි දෙයක් කියා තිබියදීත් මෙවැනි දෙයක් සිදු වුන නිසා මගේ හිතට ලොකු කනගාටුවක්, කළකිරීමක් දැනුණ බවනම් නොකියා බැහැ. ඒ 'අනවශ්‍ය ලෙස වර්ණනා වූ' පුද්ගලයා ඇරෙන්න එතැන සිටි අනෙක් අමුත්තන් සියලු දෙනා මගේ ගෞරවය දිනූවන්. ඒ වාගේ විශ්වාසය කඩ වන සිදුවීම් මීළඟ නෙළුම් යායේදී සිදු නොවනු ඇතැයි මම හිතනවා.

නෙළුම් යායටත්, සිංහල බ්ලොග් කලාවටත්, ආදරණීය බ්ලොග් සහෘදයන් සියලු දෙනාටමත් ජයෙන් ජයම වේවා!



201. පැටළුණු සිත්...

මකුළු දැල් බැඳෙන්ට ඔන්න මෙන්න තිබ්බ බ්ලොගේට අලුත් ලිපියක් එක්කාසු කරන්ට මග පාදාපු සිතූ නගාට බොහෝ පින්. සිතූ ලියපු 'පැටළුණු කවි' කතාන්දරයට මං එකතු කරපු දිගුව තමයි මේ. මේ කතාව වෙනම කියවන කෙනෙකුට අපහසුවක් නොදැනෙන්න, මම නංගිගේ කතාවේ තියෙන කවි දෙක එහෙමම උපුටලා මෙතනට ගන්නවා, සිතූ තරහා නොවන බව දන්නවා. ආයෙමත් වතාවක්, ගොඩාක් ස්තූතියි නංගි. :)

***

තමා ඉදිරියේ වූ හිස් පරිගණක තිරය දෙස ප්‍රදීප් බලා සිටියේ හිස් දෑසිනි. හෝරාවකට වැඩි කාලයක් පුරා ඔහු උත්සාහ දරමින් සිටියේ, එදින සන්ධ්‍යාවේ එළි දැක්වීමට නියමිත සුලාරිගේ නවතම කාව්‍ය ග්‍රන්ථය වෙනුවෙන් සුබ පැතුම් ලිපියක් ලියාගැනීමටය. ඇගේ පළමු ග්‍රන්ථය එළි දැක්වුණු දා පටන්ම ඔහු එය සිරිතක් ලෙසින් සිදු කළේය. නමුදු ඒ ඉතාමත් ප්‍රවේශමිනි. තමාගේ එක් කුඩා නොසැලකිලිමත් වදනකින් හෝ ඔහු ඇයට තමා හඳුනාගැනීමට ඉඩක් තැබුවේ නැත. ඈ තම අත් අකුරු නිසැකවම හඳුනන බැව් දත් ඔහු ලිපිය මෙන්ම ලියුම් කවරයේ ලිපිනය පවා පරිගණකයෙන්ම සකස්කොට මුද්‍රණය කර යැවීමට කටයුතු කළේ එහෙයිනි. ඔහු ලිපි අත්සන් කළේද ව්‍යාජ නාමයකිනි. ඈ වෙනුවෙන්, ඇගේ නිර්මාණ වෙනුවෙන් ඔහුගේ සිත තුළ වූ හෘදයාංගම ශුභාශිංසනය හා ඇගේ මතු සාර්ථකත්වය වෙනුවෙන් වූ ප්‍රාර්ථනාවන් පමණක් සිය වදන් තුළින් හැඟවෙන බවට ඔහු බොහෝ සෙයින් සැලකිලිමත් විය.

නමුත් මෙවර එය එතරම් පහසු වූයේ නැත.

පරිගණක තිරය වෙතින් මෑත් කරගත් දෙනෙත් ඔහු යතුරු පුවරුව අසළ වූ පුවත්පත් ලිපිය වෙත නැවත යොමු කළේ කී වැනි වතාවටදැයි ඔහුම දැන සිටියේ නැත. එහි වූයේ එළි දැක්වෙන කාව්‍ය ග්‍රන්ථය පිළිබඳව පුවත්පත මගින් ඈ හා කළ කෙටි පිළිසඳරක සටහන්ය. එහි වූ ඇගේ ඡායාරූපය දෙස මොහොතක අනිමිසලෝඡනයේ යෙදුණු ඔහු තවමත් රූමත් බව නොසිඳුණු ඇගේ මුහුණ සිතෙහි ධාරණය කරගනිමින් දෙනෙත් පියාගත්තේය. හිසට දැනුණු බර වැඩි වූ නිසාවෙන්දෝ අසුනේ ඇඳි මත රඳවාගත් දෙවැලමිටේ ආධාරයෙන් ඔහු නළලතෙහි බර මුහුණ ඉදිරියෙන් එක් කරගත් අතැඟිලි වලට භාර දුන්නේය. එසැණින් ඔහුගේ සිත විසි වසරක අතීතයට පියමං කළේය.

"මට හරිම සතුටුයි ප්‍රදීප්!" පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා ඔහුට ලැබුණු විදෙස් ශිෂ්‍යත්වය ගැන හෙළි කළ මොහොතේ ඈ එසේ කීවේ හැඬුම්බරවය. 

"සතුටුනං ඔය අඬන්නේ මොකටද?" ඔහු සරදම් ස්වරයෙන් පිළිතුරු දුන්නේය. නමුත් ඈ හඬන්නේ දැනටමත් දුර බැහැර වෙසෙමින් එකිනෙකා දැකගන්නට අපහසුවෙන් සිටින ඔවුන් අතරට මහා සමුදුරද බාධකයක් වන්නට යන නිසා බව ඔහු දැන සිටියේය. ඇය පේරාදෙණියේ ය. ඔහු කොළඹ ය. ඔහු ඒ වන විට කොළඹ ඉංජිනේරු සමාගමක පුහුණු නිලධාරියෙකු වශයෙන් සේවය කරමින් සිටි අතර, ගුරු පත්වීමක් අපේක්ෂාවෙන් අයදුම්පත් යොමු කර සිටි ඇය එය ලැබෙන තෙක් ඈ උගත් ගමේ පාසැලේ ස්වේච්ඡාවෙන් සේවය කරමින් සිටියාය. ජංගම දුරකථන සුඛෝපභෝගී මෙවලමක් වූ එම වකවානුවේ සරසවියෙන් නික්ම ගිය පසු ඔවුන් දෙදෙනාගේ සන්නිවේදනය බොහෝ සෙයින් සිදු වූයේ ලිපි මගිනි. කවි පදවැල් හා සෞන්දර්යාත්මක වදන් පිරුණු ඇගේ පිටු හතරක් පහක් දිගැති ලිපි වලට බොහෝ විට ඔහුගේ පිළිතුරු ලැබුණේ තනි පිටුවක ලිපියකින් වුවද ඈ ඉන් උරණ නොවීය. ඒ ඔහුගේ හැටි බව ඈ දැන සිටියාය. ඔහු සිටින්නේ ඈ ලියනා දෑ කියවන්නටය, අගයන්නටය. දෙදෙනාම ලියන්නට ගියොත් එය හරි යන වැඩක් නොවන බව ඔහුගේ මතය විය. අපහසුවෙන් මුදල් එකතු කරගෙන මිළදී ගත් කුඩා ජංගම දුරකථනයක් ඔහු සතුව වූ අතර සතිය පුරා එකතු කරගත් මාරු කාසි පාරේ වූ කාසි පෙට්ටියකට දමා ඈ ඔහු වෙත ඇමතුමක් ලබා දෙන තුරු ඔහු සතිපතා බලා සිටියේ නො ඉවසිල්ලෙනි. "අඬන්න එපා සුලාරි. අවුරුදු දෙකයිනේ. ඕක ඉක්මනට ගෙවිලා යයි," ඔහු ඈ අස්වැසුවේය.

ඉංජිනේරු පීඨයේ ඔහුගේත් ශාස්ත්‍ර පීඨයේ ඇයගේත් ප්‍රේමය සෙසු සරසවි සිසුන්ට අරුමයක් විය. ඔවුන් දැන හඳුනාගත් මුල් අවධියේදී ඇගෙන් ඈත් වී හිඳිනා ලෙසට ශාස්ත්‍ර පීඨයේ සිසුන්ගෙන් එල්ල වූ තර්ජන ඝර්ජන හා අඩන්තේට්ටම් බොහෝය. වරක් සිදු වූ ගුටි බැට හුවමාරුවකින් ප්‍රදීප් තුවාල ලැබීමෙන් පසුව එය පීඨ ද්විත්වය අතර අරගලයක් දක්වා ඔඩු දුවන්නට පටන්ගත් මොහොතේ සුලාරි මෙන්ම ඔහුද සමුදෙන්නට සූදානම් වූයේ ආදරයට නොව සරසවියටය. ඔවුන් දෙදෙනාම සරසවියේ දීප්තිමත්ම සිසුන් අතර වූයෙන් අවසානයේදී ආචාර්යවරුන්ද මැදිහත් වී ගැටළුව සමථයකට පත් කරන ලදි. ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය සරසවියෙන් පිටව යන තෙක්ම නොසිඳී, දිනෙන් දින ලියලමින්, සෙනෙහසින් වැඩෙමින් පැවතුණි. දෙදෙනාගේම ප්‍රාර්ථනාව වූයේ හැකි ඉක්මනින් මව්පිය ආශිර්වාදය මැද පෝරු මස්ථකප්‍රාප්ත වී ඔවුන්ගේ බැඳීම තව තවත් ශක්තිමත් කරගැනීමට ය.

"මං යන්න කළින් අපි බඳිමු." ඔහු යෝජනා කළේය.

"මේ හදිසියෙ?" ඇය විමතියෙන් ඇසුවාය.

"ලොකුවට නෙවෙයි. පවුල් වල අය එක්ක විතරක් පොඩි උත්සවයක් අරගෙන රෙජිස්ටර් වෙමු."

"ම්ම්ම්... මං අම්මලාගෙන් අහලා බලන්නං."

"මං ඇවිත් අහන්නං."

"මෙහෙ එනවද?" ඇය යළිත් විමතියට පත් ස්වරයෙන් විමසුවාය. 

"ඔව්." ඔහු සිනාසුණේය. "ඇයි එපාද?"

"කවදද?"

"ඉක්මනටම. ඒත් ඊට කළින්, ඔයයි මායි විතරක් හම්බවෙන්න ඕනෙ." සරසවියෙන් සමුගත් දා පටන් සය මසකටත් වැඩි කළක් ගතව තිබුණද එතෙක් ඔවුනට මුණගැසීමට ඉඩක් ලැබී තිබුණේ නැත.

"ඒ කොහොමද?"

"මේ සිකුරාදා, මොකද්ද නිවාඩුවක් තියෙනවා. නුවර එන්න පුළුවන්ද?"

"තනියම?"

"මහ දුරක් යැ? මාළිගාවට යන්නත් ඕනෙ."

"හා එහෙනං."

හමු වීමට තැනත් වේලාවත් ඈ හට පැවසූ ඔහු සිකුරාදා වන තෙක් ඇඟිලි ගණින්නට පටන්ගත්තේය. 

නමුත් සිකුරාදාට පෙර සියල්ල උඩු යටිකුරු විය.

ඔහුත් ඇයත් එම සිකුරාදා නුවරදී මුණගැසුණේ නැත. ඔවුන්ගේ විවාහය ගැන විමසන්නට ඔහු ඇගේ නිවසට ගියේද නැත. ඉන්පසු මෙතෙක් කලකට කිසිම දිනෙක මුණගැසුණේද නැත. ඇය එදින යොදාගත් ලෙසින් නුවර පැමිණ ඔහු එනතෙක් වැව රවුමේ බලා හිඳින්නට ඇත. ඔහු දන්නේ නැත. තම දෛවය ලියැවී ඇත්තේ කෙසේදැයි අවබෝධ කරගත් පළමු ඇසිල්ලේම ඔහු තම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර දැම්මේය. ඇගෙන් ඉන් මතු ලැබුණු ලිපි ගණනාවට ඔහු අවසානයේදී පිළිතුරක් ගලපා ලියුවේ සය මසකට පසු විදෙස් සරසවියේ නේවාසිකාගාරයේ හිඳගෙනය.

හදවතෙන් ඉපිද සියොලඟ පුරා දිව යන වේදනාවෙන් දෑත් වෙව්ළුම්කද්දී ඔහු තම නියම නමින් ඇයට ලියූ අවසන් ලිපිය ලියුවේය. එම ලිපියෙන් ඇගේ සිතේ ඔහු වෙනුවෙන් වූ ආදරයට නැවතීමේ තිත තබන්නට ඔහුට උවමනා විය.

ඒ ඔහු, ඇයට බොහෝ සෙයින් ආදරය කළ නිසාවෙනි.

"සර්!" දොරට තට්ටු කර ඇතුළට එබුණු සහායිකාවගේ හඬින් ප්‍රදීප්ගේ කල්පනා දැහැන බිඳ වැටුණි. හිස සැලීමෙන් ඇයට ප්‍රතිචාර දැක්වූ ප්‍රදීප් හට සිය සිතුවිලි යළි වර්තමානයේ පෙළ ගස්වාගැනීමට තරමක පරිශ්‍රමයක් දැරීමට සිදු විය.

"සර් මේ අද හවස මීටිං එකේ ඩොකියුමන්ට්ස්. ඊමේල්ස් ටිකත් ඔක්කොම ප්‍රින්ට් කරලා මේකේ ඇටෑච් කරලා තියෙන්නේ. මහේෂි කිව්වා ප්‍රසන්ටේෂන් එකත් රෙඩී කියලා. සර්ට ඊමේල් කරන්න කියන්නද?"

ඔහු යළිත් හිස සැලුවේය. අනතුරුව තමා යමක් කිව යුතු බව සිහිපත් කරගත්තේය. "ඔව්, හරි, එහෙම කියන්න. මං ෆයිල් එක බලන්නං. ඔහොම තියලා යන්න. තෑන්ක්ස්." ඔහු යළි පරිගණක තිරය දෙසට දෑස් යොමු කළේය. ඒ මත ඒ මේ අත දිව යන බුබුළු සමුදාය මෙන් ඔහුගේ සිතද විසිරී ඇත. සහායිකාව පිටව ගොස් ඇති බව පවා ඔහු දුටුවේ මොහොතකට පසුය.

ඔහු සැඟව හිඳගෙන හොර රහසේම සුලාරි ගැන සොයා බැලුවේය. ඈ තමා අමතක කර දමා වෙනෙකෙකු හා අතිනත ගන්නා තෙක් ඔහු බලා සිටියේය. නමුත් ඔහුට එම සැනසීම ලැබුණේ නැත. ඇගේ පළමු නව කතාව දොරට වැඩුණේ ඔහු විදෙස්ගතව සිටියදීම ය. ඔහු වහා එම පොත ගෙන්වාගත්තේය. එය පිළිබඳව ලංකාවේ පුවත්පත්වල පළ වූ ලිපි සියල්ලක්ම එකතු කරගත්තේය. ඇගේ වදන් තුළින් ඔහු ඔහුවම දුටුවේය. ඒ ගැන සතුටු වීමටදැයි දුක් වීමටදැයි ඔහු නොදත්තේය. නමුදු ඔහු ඇගේ හිතවත් පාඨකයෙකු ලෙසින් ඇයට සුබපතා ලිපියක් යැව්වේය. එය ශ්‍රී ලංකාවෙන් තැපෑලට යොමුකරවන්නට තරම් ඔහු ප්‍රවේශම් සහගත විය. ඇගේ දෙවැනි, තුන්වැනි නොව සයවැනි පොත දක්වාම ඔහු ඇගේ චරිත තුළ වැජඹුණු බව ඔහු නිරීක්ෂණය කළේය. ඔහුගේ අරමුණ ඉටු වී නැත. නමුත් ඒ වන විටත් ඇයට කල් තිබුණි. එබැවින් ඔහු සිය ප්‍රතිපත්තියේම නොවෙනස්ව සිටියේය.

කෙමෙන් කෙමෙන් ඈ මවන චරිත රටාව වෙනස් වන්නට පටන්ගත් බව වටහාගත් මොහොතේ ඔහු සැනසුම් සුසුමක් හෙලුවේය. ඇගේ නම සම්මානලාභී රචිකාවියක් ලෙසින් සඳහන්ව ඇති බව දුටු මොහොතේ තමා තරම් මෙලොව වෙනත් කිසිවෙකු හෝ සතුටු වන්නට ඇතිදැයි ඔහු සැක කළේය. අවසානයේ ඈ ඔහු අමතක කරන්නට සූදානම්ව ඇත. ඔහුගේ කැපවීමට අරුතක් ලැබී ඇත. ඔහු එලෙස සිතුවේය.

ඔවුන්ගේ අවසන් හමුවෙන් වසර විස්සකට පසු උදා වූ ඇගේ උපන් දිනය අද ය.

ඇගේ සොළොස් වැනි කෘතිය කාව්‍ය ග්‍රන්ථයක් ලෙසින් එළි දකින්නට නියමිත අද සන්ධ්‍යාවේ ය.

නමුදු සුපුරුදු ලෙසින් ඈතින් හිඳ ඇයට ඒ ගැන සුබපැතීමෙන් පමණක් සැනසීමට ඔහුට හැකියාවක් නැත. පුවත්පතේ සටහන්ව තිබූ කෙටි පිළිසඳර ඒ සඳහා ඔහුට ඉඩක් ලබා දුන්නේ නැත. ඇගේ නව කෘතියේ නම 'අහසටම ඉගිලෙන්න' විය. එය දුටු මොහොතේ තම ඉහ මොළ රත් වී හිස ගිනිගත් සැටි ඔහුට මතකය. ඒ විසි වසරකට පෙර ඈ ඔහුගේ සටහන් පොතේ පසු පිටේ තැබූ මතක සැමරුම් සටහනේ මුල් පදයයි. 

"අහසටම ඉගිළෙන්න
තරු දෙකක් ඔබ ගන්න
අමාවක රැයක මට
එළිය විතරක් දෙන්න
ඔබ ආයෙ දැකගන්න
මට ආයෙ හිනැහෙන්න
ඔබ ආයෙ දිනෙක යළි
ඒවි දැයි පවසන්න
නිල් අහස සරසන්න 
හිරු ආයෙ පායන්න
ඈතටම නොයා මට 
පෙනෙන දුරකින් ඉන්න"

තමා වෙනුවෙන් ලියැවුණු එවැනි සොඳුරු වදන් පෙළක් මතකයෙන් පළවා හැරිය හැක්කේ කවරෙකුටද? සංවාදය අවසානයේ සටහන්ව තිබූ පද පේළි කිහිපය ඔහුගේ හිස නොව හදවතද ගින්නෙන් දවාලන්නට සමත් විය. 

"හුදෙකළා වූ වෙරළ අබියස 
නැගෙන ඒ සිඳු දිය රැළී
වෙහෙස සැනෙකින් ගෙන යාවි
ඒ හමා එන මඳ පවනැලී
සිනහවක් යට සැඟවිලා ගිය
කඳුළු බිඳු ඇත සැලි සැලී
අදත් මං මේ ලියන කවි වල
තවම ඇත නුඹෙ සෙවණැලි"

එය ඈ ලියා ඇත්තේ කා වෙනුවෙන්දැයි ඔහුට වෙහෙසෙමින් කල්පනා කරන්නට ඇවැසි වූයේ නැත. ඈ තවමත් අවිවාහකව පසුවන්නේ ඈ තවමත් ඔහුට ආදරය කරනා නිසා බව අවසානයේ ඔහුට පිළිගන්නට සිදු විය.

ඔහු දැන් කුමක් කළ යුතුද? ඔහුට සිතාගැන්මට නොහැක. මේ වනවිට දිවයිනේ සුප්‍රසිද්ධ ඉංජිනේරු සමාගමක ජ්‍යේෂ්ඨ ඉංජිනේරුවරයෙකු ලෙසින් කටයුතු කළද, වෘත්තිමය වශයෙන් සාර්ථකත්වයට ළඟා වී සිටියද තම ජීවිතයේ හිස් අවකාශයක් ඇති බව ඔහු දනියි. ඇගේ මතක සුවඳ මිහිදන් කරගත් ඒ හිස් අවකාශය වෙනෙකෙකුගෙන් පුරවාගන්නට ඔහුට කිසිදා ඇවැසි වූයේ නැත. නමුත් ඒ මිහිදන් කරගත් ආගාධය තුළම ඇගේ ජීවයද කෙමෙන් වැළලෙමින් ඇති බව ඔහු අවබෝධ කරගත්තේය.

ඔහු මේසය මත වූ දුරකථනය අතට ගත්තේය. සහායිකාවට කථා කොට සවස යෙදී තිබූ රැස්වීම කල් දමන ලෙස දැන්වූවේය. 'අහසටම ඉගිලෙන්න' කෘතිය ගැන සඳහන් වූ පුවත්පත අතෙකින් ගත් ඔහු තම රියදුරු අමතා රථය සූදානම් කරගන්නා ලෙස පැවසුවේය.

සුලාරි... විසි වසරකට පසු ඔහු ඈ හමුවන්නට යන්නේය... පාඨකයෙකු ලෙසින් ව්‍යාජ නාමයෙන් එවූ සුබ පැතුම් ලිපි වෙනුවට ඔහු ඈ වෙනුවෙන් වූ සුබ පැතුම් ඈ හමුවේම හෙළි කරනු ඇත... සිදු වූ සියල්ල පැහැදිලි කර සිටිනු ඇත... ඒ වෙනුවෙන් සමාව ඇයැද සිටිනු ඇත...

ඇගේ ග්‍රන්ථ එළි දැක්වීමේ උත්සවය පැවැත්වෙන දේශන ශාලාවට රුකුල් සැරයටියක ආධාරයෙන් ඇතුළු වූ මොහොතේ ප්‍රදීප්ගේ දෑස් බැබළෙමින් තිබුණි. විසි වසරකට උඩදී, සියල්ල උඩු යටිකුරු කළ රිය අනතුර සිදු වන්නට මොහොතකට පෙර ඈ වෙනුවෙන් ඔහු මිළදී ගත් මංගල මුදුව ඔහුගේ සාක්කුව තුළ රැඳී තිබුණි.