317. නැවතුමක් ගත නුහුණු නැවතුමක්...

 



බරසාර ආටෝපෙන්

සිඟිති වහළ පොඩ්ඩ

ඔසවාගෙන යකඩ කුළුණු

විච්චූරණ පින්තූර සමගින්

හිස් බස් නැවතුමෙක

සොබමන් අසුන් පෙළ

ගිනිගහන මද්දහනේ

අව් කූටකේ

නෙතු යොමාගෙන

ඉරිසියාවෙන්


ඉන් මඳක් ඔබ්බෙන්

තාප්පයක් මතින් එබි

ජෑම් තුරු හිසක

සිහිල් සෙවණ යට

ඊළඟ බසය එන තුරු

දෙපයින් නැගී ඉසිඹුලන 

සෙනඟ දෙස





සටහනක්:

බ්ලොග් සින්ඩිකේටරයක් කියන්නේ බොහොම වටින තෝතැන්නක්. බ්ලොග් ගැන දැන හඳුනාගත්ත මුල් කාලයේ මම කියෙව්වේ මගේ ගුරුතුමන්ගේ බ්ලොග් අඩවිය පමණයි. මම දැනගෙන සිටියේ ඒ ගැන පමණයි. නමුත් ඒ ගැන මඳක් සොයා බලද්දි මට හමුවුණ එකල පැවතුණු සිංහල බ්ලොග් සින්ඩිකේටරය නිසා තමයි මම මේ අපූර්ව සුවිශල් අවකාශය ගැන හරියටම දැනගත්තේ; අනේකවිධ ලියමන් රටාවන්ගෙන් පිරිපුන්, විවිධාකාරයේ හැඩවැඩ සැරසිල්ලෙන් සැරසුණ බ්ලොග් අඩවිවලට ගොඩවැදී කමෙන්ට් කරන්නට, හිතවතුන් හඳුනාගන්නට පටන්ගත්තේ. මගේ ලියමන් මුවහත් කරගන්නට බ්ලොග් අවකාශයෙන් සහ මගේ බ්ලොග් අඩවිය ගැන ප්‍රචාරණය ලබා දුන් එදා මෙදාතුර තිබූ සින්ඩිකේටරවලින් ලැබුණ පිටිවහල මෙතෙකැයි කියන්නට බැහැ. 

ඉතින් මේ සටහන දැනටත් එබඳු මෙහෙවරක යෙදෙනා බ්ලොග් සින්ඩිකේටරයක් ගැනයි. සඳකඩපහණ. https://sandhakadapahana.blogspot.com/ සියලුම බ්ලොග් එකම තැනක. අලුත් ලියන්නන්, පරණ ලියන්නන් සැවොම එක තැනක. ඔබත් ගොඩ වී බලන්න. අදහස් බෙදාගන්න. ඔබේ ලිවීමේ හැකියාවන්ද උරගා බලන්න, මුවහත් කරගන්න.

ස්තුතියි!




316. Trust your instincts...


 

ඉඳහිට විටෙක

නැගේ සිත් කොණට

සිතිවිල්ලක්

ඇහි දෙබැම යා කෙරෙන

නළල රැළි නඟාලන

කුහුලින් පිරි ඉවක්

කුකුසක්


'කළ යුතුද මෙය'

'පිළිගත යුතුද මෙය'


නොකර සිටින්නට

නොපිළිගන්නට

ඉදිරිපත් කළ හැකි

හේතුවක් සිතට නොනැගෙන

එනිසාම

අකමැත්තෙන් හෝ

කරන්නට, පිළිගන්නට

පෙළැඹෙන


එනමුදු

මතු යම් මොහොතක

එළැඹෙනු ඇත නිමේශයක්

ඔබේ සහජාශය

පෙන්වූ මග නිවැරදි බව

ඔබට පසක් වන...


TRUST YOUR INSTINCTS!



315. පිළිතුරු කවක්...

බ්ලොග් ඉසව්වේ අවන්හළට ගොඩවැදුණු වෙලාවකදි නෙත ගැටුන 'කවි මී මදු' පෙළකට මගේ අතින් ලියවුණා පිළිතුරු කවියක්.

මේ තියෙනේ අවන්හළේ මහේශ් සොයුරාගේ කවි සිත්තමේ සබැඳිය. කවිය සටහන් කෙරුණු සේයාරුව උපුටාගත්තේ ද ඔහුගේ අවන්හළෙන්. 🙏



මේ තියෙන්නේ මගේ පිළිතුර.

එ'කුහුඹු සඳ
විරහවෙන් මත්ව
ඇල්මැරුණු දියට පැනැ
ශේෂ වූ මණ්ඩි මත
අවසන් සුසුම් හෙළනට
මොහොතකින් අංශු මාත්‍රයකට පෙර
පියැවෙනා නෙතු මත
ඇඳුනි හසකැල්මක්
කිරි කෝපි කෝප්පයට ඇද හැලුණු
අනෝරා කඳුළු වැස්සක
උණුහුමින්
නැගි සැනැහුමෙන්...



314. හිමිදිරිය...


 

උදා රන් ගිර වලා පෙළ මැද වැඩී දිනිසුරු දෙවිඳු තෙද බල

මහා මෙරු පව් මතින් පැනැ නැග සුළං දහරා මැවී මද නල

විදා සුකොමල කුසුම් පෙති මල් සුවඳ නල හා මුසු වනා කල

ගයා විහඟුන් උදා ගී සර පෙළ ගැසී තුරු හිස'ග සුලකළ


නිශා යම මිහි සිරිය දකිනුව පැමිණි තරු ලෙද දිලුණු පිණි රැළ

සොයා ගගනත යළිඳු දිව ගිය අසිරි දැක තණ පත් සිනා සල

බදා තුරු බඳ ලතා වැල් මත සුපිපි කුසුමන් හිනැහෙනා කල

මුදා වරලස ගලන ගඟුලෙක ඉල්පෙනා මන්මත් මසුන් කැළ


නිදා උන් රත් පියුම් පෙති හැරැ අවදි වී මුදු සිනහ පෑ කල

අහා ආ හැඩ අනඟ බිඟු කැළ සමනලුන් පිරිවරා මනකල

සොබා ඉඳුදුනු පැහැය මුසු කර දිනය පැහැසර වණින් එළි කළ

ප්‍රභා කැල්මෙන් සතුටු සිත් ඇති දනන් අවදිව දියත සුවිපුල



313. මායාකාරියක්...

ගිනි පුළිඟු ඇවිලෙනා බැල්මක්

එ'ගිනි නිවනා සුපෙම්වත් හසකැල්මක්

එක විට එකම මුහුණෙක

සිත්තම් කරවනා මායාකාරියක්




312. දයාබර සොයුරිය ජේන් වෙත...


පෙම්බර්ලි මන්දිරය,

ඩර්බිශයර් ප්‍රාන්තය.


දයාබර සොයුරිය ජේන් වෙත,


ඔබට පවසන්නට ඇති දෑ බොහෝ වන නමුත් කෙලෙසින්, කොතැනින් අරඹන්නටදැයි මා හට සිතාගත නොහැක. කෙළිදෙළෙන් ඇදී ගිය සිහිලැල් දොළ කඩිත්තක් නොසිතූ විරූ මොහොතක දියඇල්ලකින් ඇද හැලී මහා ගංගාවකට එක් වී ඇති බවක් මට හැඟේ. එය මහා වෙනසකි; නමුදු සිත තෘප්තියෙන් පුරවාලන, ප්‍රේමයෙන් සනහාලන වෙනසකි.


එසේය මා සොයුරිය. කලෙක බොහෝ සෙයින් අප්‍රිය කළ පුද්ගලයෙකු හා මා මෙලෙසින් පෙමින් වෙලුනේ කෙසේදැයි යන්න මට තවමත් සිතාගත නොහැක. නෙදර්ෆීල්ඩ් මන්දිරයේ නෘත්‍යෝත්සවය දා අප මුල්වරට දුටු එම උඩඟු මාන්නක්කාර උද්දච්ච මිනිසා සතුව මෙතරම් ම දයාබරිත හදවතක් ඇති බව මා සිහිනෙකිනුදු බලාපොරොත්තු වූයේ නැත. ඔබගේ බිංග්ලි මහතා වැනි ප්‍රියමනාප තැනැත්තෙකු, එවැන්නෙකු සිය සමීපතම මිතුරා කරගත්තේ මන්දැයි අප පුදුම වූ සැටි ඔබට මතකද? මම තවදුරටත් ඒ ගැන පුදුම නොවෙමි. ඔහු තරම් තම සමීපතමයන් වෙනුවෙන් හෘදයාංගමව කැපවන වෙනත් අයෙකු මා දැක ඇත්නම්, ජේන් ඒ ඔබම පමණි. ඔබගේ දයාබරිත බව ඔහු මෙම මන්දිරයේ සේවකයන් වෙත දක්වනා හිතවත් බව තුළ, සිය නැගණිය වෙනුවෙන් දක්වනා සෙනෙහස තුළ මම දකිමි. ආදරණීය ජෝර්ජියානා මා හට නිබඳවම අපගේ කුඩා නැගණියන් සිහි කරන්නීය. ලිඩියාගේ වියෙහි ම පසු වුවද ජෝර්ජියානා ඈ තරම් දඟකාර නැත, සිය සොයුරාට බෙහෙවින් ම කීකරු ය, මටද ඉතාමත් ලැදි ය. ඇගේ පියානෝ වාදනය නම් ඔබ ඇසිය යුතුමය.


මා ඔහුට බොහෝ දොස් නගා ඇත. ඔබ හා එක්ව ඔහු හෙළා දකිමින් කතා කොට ඇත. ඒ සියල්ල ගැන මම අද පසුතැවෙමි. පෙරදී ඔහු කෙරෙහි මා සිතෙහි වූ ප්‍රතිරූපය කොතෙක් සාවද්‍යදැයි යන්න ඔහු මට දිනෙන් දින පසක් කර පෙන්වන්නේය. විකම් හා එක්ව අපගේ ලිඩියා සිදු කළ හිතුවක්කාර ක්‍රියාව, අප පවුලට අපවාදයක් නොනැගෙන සේ විසඳාලන්නට ඔහු මැදිහත් වූ අන්දම ඔබ දැනටමත් දන්නා නිසා මම ඒ ගැන නැවත මෙහි සඳහන් නොකරමි. නමුත්, විකම්ගේ දුර්දාන්ත ඉතිහාසය පිළිබඳ හොඳින්ම දන්නා තැනැත්තෙකු ලෙස ඩාර්සි නිරන්තරයෙන් ඔවුන් ගැන සොයා බලමින් ඔවුන්ගේ යහ පැවැත්ම තහවුරු කරන්නට කටයුතු කරනා බව මා පවසන්නේ ආඩම්බරයෙනි. කැතරින් ආර්යාව ඔහු සිය ඥාති පුත්‍රයා වීමෙන් පමණක් නොසෑහී සිය දියණියද ඔහුට අවාහ කර දෙන්නට එතරම්ම වෙහෙසුණේ දේපළ උරුමය නිසාම පමණක් නොවන්නට ඇතැයි දැන් මට සිතේ. පවුලකට ඔහු ලබා දෙන වටිනාකම, එම සියලු දේපළ උරුමයන් පරයන අන්දමේ වටිනාකමකි.


ජේන්, හර්ට්ෆොර්ඩ්ශයර් හි ඔබ ද, නැගණියන් ද සමග මවුපිය සෙවණේ එක්ව ගෙවූ ඒ කෙළිලොල් සමය, නොසිතූ විරූ ලෙස මෙබඳු වෙනස් මාවතක් වෙත යොමු වනු ඇතැයි මා කිසිදා බලාපොරොත්තු වූයේ නැත. ඔබ, ලිඩියා පමණක් නොව, මා හට ගැලපෙන සහකරුවෙකු සොයාගන්නට මේරි සහ කිටීද විවාහ දිවියට එළැඹෙන තුරු හැකි වනු ඇතැයි මා සිතුවේ නැත. නමුත් ඩාර්සි, මාගේ ඩාර්සි, ඒ සියල්ල වෙනස් කළේය. ඔහු මා ද, මාගේ සිතුවිලි ද උඩුයටිකුරු කළේය. පොතපත කියැවීමෙන් මා ලබා සිටියේයැයි මා සිතා සිටි 'පාණ්ඩිත්‍යය', ඔහු අභියස හුදෙක් හරසුන් අගතිගාමී මුග්ධ බවක් බවට පත් විය. පොතපත පමණක් නොව, මිනිසුන්ද ජීවිතයද කියැවීමට මා උගත යුතු බව ඔහු මට කියා දුන්නේය.


මේ සියලු මානව හිතවාදී ගුණාංගයන් මැද ඔහු මා වෙත දක්වන ප්‍රේමණීය බව ගැන ඔබට සිතාගත හැකිද? බිංග්ලි මහතාගෙන් ඔබද ඉතා භාග්‍යවන්ත ප්‍රේමයක් අත්විඳිනා බව මම දනිමි. නමුදු ඔහු එදා පටන් ම ඔබ වෙත දැක්වූ ප්‍රේමණීය ගෞරවය පිළිබඳ දන්නා මම ඒ ගැන පුදුම නොවෙමි. ඔබ සෑම සියලු ආකාරයකින්ම එම මාහැඟි ප්‍රේමයට උරුමකම් කියන්නියකි. නමුත් මා? ගෙවුණු දිනෙක සන්ධ්‍යාවේ මන්දිරයට නුදුරින් ගලා යන කුඩා අතු ගංගාවේ මා ද කැටුව ඔරුවක් පැද ගිය ඔහු, නිසල තොටුපොළක ඔරුව නවතා මා හා තරු දෙස බලමින් කතා කියූ බව මා පැවසුවහොත් ඔබ පිළිගන්නවාද? එසේය, ඔබ මෙන්ම මා ද මා ගැන තවම පුදුමයෙනි. 


සුවිසල් පෙම්බර්ලි වතුයාය මධ්‍යයේ පිහිටි මෙම නිවහන සැබැවින්ම සොඳුරු කලාගාරයකි. එහි හිමිකරුගේ පියඹ ලෙස මා මෙහි සපැමිණ ගෙවුණු දෙමසකට ආසන්න කාලය පිළිබඳ සියල් තොරතුරු මෙලෙසින් අකුරු කිරීම අපහසු කරුණකි. එබැවින්, නුදුරු දිනෙකදී ඔබ හමු වී ඉතිරි ඕපාදූප සියල්ල දොඩන්නට මම මාගේ ඩාර්සි සමගින් පැමිණෙමි. එතෙක් මා හිතාදර සොයුරිය, ඔබට ආයුබෝවන්. සුවෙන්, සතුටින් වෙසෙන්න.


මේ ඔබේ සදාදරණීය,

ලිසී

(එලිසබත් බෙනට් ඩාර්සි)




311. The King of Smoke and Fog...





මායා දුමාරය මැද
සිහිලැල් ගුප්ත මිහිදුම
වෙළාගන්නා සඳ හාත්පස
තියුණු නෙත්සරය
විහිදි ගිනිපුළිඟු ලෙද
ඈත අනන්තය වෙත
විනිවිද මිහිදුම් දුමාරය

මෙ ඉම කුමරෙකි
අනන්තය කෙළවර නිරිඳෙකි 


***

ඔයාලා හැම දෙනාම සුවෙන් නේද? මේ කවිය, ෆේස්බුක් කවි පැදුරකට මං ගොතාපු වියමනක්. මේ තියෙන්නේ ඒ පැදුර වියාපු නිමිත්ත.



ඔය රූපෙ හැටියට උපන් මාස, නමේ මුලකුරු ගලපලා මට ආපු Fantasy Book Title එක තමා ඔය උඩිංම මාතෘකාවේ තියෙන්නේ. මේක එතන මුළිංම පළ කරලා තියෙනවා මං දැක්කේ කවි කාරියකගේ බිත්තියේ, එයැයිට ලැබුණු මාතෘකාවට අපූරු පද ගැලපුමකුත් එක්ක. ඉන් පස්සේ ඕක තව කවියට පෙම් බැන්ද කීප දෙනෙකුටම බෝ වෙලා තිබුණා. මටත් බෝ වුණා. මං ඔයාලටත් බෝ කරන්න මෙතනට අරගෙන ආවා. ඉතිං එහෙනම් ලියමු!

මේ වගේ සොඳුරු ඇබ්බැහියන් පමණක් බෝ වන, අනෙක් සියලු රෝගාබාධයන්ගෙන් ඈත් වුණ සුබ හෙට දවසක් ඔයාලට. පරිස්සමෙන් ඉන්න!

310. චන්ද්‍ර ද්වාරය...

 




ඝනැති කළුවන් ඉමක් නොපෙනෙන
හුදෙකලා රෑ ගුවන් තලයේ
අනන්තය වෙත ඇරුණු දොරටුව
සඳ ය මුදු රැස් දහර විහිදූ

අනන්තයෙ සිට ගලා ආ ඒ
සුමුදු මුදු ආලෝක දහරා
බැලී තුරු පත් මතින් එබෙමින්
හිස් නොවූ හිස් ඇත්ද කියලා

තුරු හිසෙක බැඳි හේන් පැල මත
පියා හා තනි නොතනියට සිටි
සිහින සිත්තර හිස පුරාගත්
පුංචි කොළුවා දිටී සඳ දොර

"තාත්තේ අර බලන් සඳ දෙස
මහා කළු ඇතිරිල්ල මැද්දෙන්
දොරක් ඇරිලා ගලා එන්නේ
සුර ලොවේ රන් එළිය නොවෙදෝ"

"නිදාගං කොලු පැටියො නොදොඩා
හැමදාම පායනා හඳ ඔය
බලන් හාවත් ඇතිය කොහෙ හරි
සක් දෙවියො නොවැ උන්දැ ඇන්දේ"

වලා දොර පියනකට සැඟැවී
චන්ද්‍ර ද්වාරය සිනහ සඟවා
සිහින සිත්තරයක් මවා යස
එවී මඳ නල රොදක දවටා

ඒ සිහිල් මද නලෙන් නැළැවී
පුංචි කොළුවා වැටී නින්දට
සිහිනයෙන් සඳ දොරෙන් නික්මී
පියෑඹී හිනැහෙමින් ඈතට


පින්තූරය: freeimages.com වෙතිනි

 

309. ගිනිගත් හිම...


සිසිල් සුදු හිමෙන් වැසි

සුළඟට රඟන තුරු හිසක් පාමුල

ඇවිලි ගිනි පුළිඟුවෙකි

තියුණු රුදු ගිනිදළු විහිදුවන...

හිම දියැව තුරු ගොමුව තෙත් කර

ගලා හැලුණි - සැඟැවුණි - ගිනි රැසින් වියැලුණි

අවසන එතුරු වදුලද

ගොළුව මිලිනව වියැලුණි

මියැදුණි...