309. ගිනිගත් හිම...


සිසිල් සුදු හිමෙන් වැසි

සුළඟට රඟන තුරු හිසක් පාමුල

ඇවිලි ගිනි පුළිඟුවෙකි

තියුණු රුදු ගිනිදළු විහිදුවන...

හිම දියැව තුරු ගොමුව තෙත් කර

ගලා හැලුණි - සැඟැවුණි - ගිනි රැසින් වියැලුණි

අවසන එතුරු වදුලද

ගොළුව මිලිනව වියැලුණි

මියැදුණි... 




4 comments:

  1. තමන්ගේ අවසන් මොහොත ලංවී ඇති බව වටහාගත් ජහන්ගීර් සෙබල කණ්ඩායමේ නායකයා බණවා, කූඩාරම පිහිටි කඳු ගැටය මුදුනට තමන් රැගෙන යන ලෙස නියම කළහ. දෝලාව කඳු මුදුනෙහි පිහිටි රත් පැහැ දිගැටි පත්‍ර වලින් වැසීගත් චිනාර් වෘක්ෂයක් යට තැබූ ඉක්බිති, සන්තූරයද මත්පැන් කුසලාන ද රැගෙන ඉන් පිටතට පැමිණි ජහන්ගිර් වෘක්ෂය යට ගිණි මැළයක් අවුලුවන ලෙස සහ ඉන්පසුව කන්ද පාමුල කූඩාරමට ගොස් තමා දන්වන තෙක් ආපසු නො එන ලෙසද බණවා සෙබලුන් ආපසු පිටත් කොට හැරියේය.

    සෙබළුන් නික්ම ගිය ඉක්බිති චිනාර් වෘක්ෂයට පිටදී අසුන්ගත් ජෙහන්ගිර් මත්පැන් ස්වල්පයක් පානය කලේ, සන්තූරය ද වයමින් එදා සතළිස් වසරකට පෙර ඒ අවසන් රාත්‍රියේ ගැයූ ගීය,වසර සතලිසක් ගලේ කෙටූ අකුරක් මෙන් තම සිතෙහි නොමැකෙන සේ ඇඳී තිබුනු ඒ ගීය, තමන් විසින්ම තමා පණ මෙන් ආදරය කල ඈ වෙනුවෙන් ලියැවුනු ගීය ගයන්නට විය.

    සැලෙන ගිණි සිළු සේම රඟනා,
    කණක තරු දිලිසෙනා නයනා,
    නූපුරෙන් නැඟි රජත රාවය,
    මත් කරයි මා සවන ලෙලෙනා,

    පුළුලුකුල රන් සේල සැලෙනා,
    ලැම හසුන් නික්මෙනා විලෙනා,
    හදේ රඟනා නිළිය ඒ නුඹ,
    මා සිතේ සැමදාම රැඳෙනා,

    පිපුණු මානෙල් මලක් විලසා,
    පිණි කඳුළු පෙති මතින් ගලනා,
    ප්‍රේමයේ නොමැකෙනා සලකුණ,
    සොඳුර දුටුවෙමි සුනිල් නෙතිනා,

    රත් නෙළුම දිය මතින් පිපෙනා,
    පුන් සඳකි නිල් අහස දිලෙනා,
    සෙනෙහසේ මල් දමක් ගෙතුවෙමි,
    පලඳවන්නට ඔබේ ගෙලටා,

    ගිණි මැළයේ ගිණි දළු අතරින් අනර්කලී නූපුර සලමින් නර්තනයේ යෙදුනීය. දෑත් ලෙලවමින් නර්තනයේ යෙදුනීය. බඳ ලෙලවමින් නර්තනයේ යෙදුනීය.කිකිණි සිනා සලමින් නර්තනයේ යෙදුනීය.....අවසන අවසන් නූපුර රාවය කාශ්මීර මඳ අඳුරට එක්විය.අවසන් ගී රාවය හිම කඳු අතර මැකී ගියේය. අවසන් සන්තූර් නාදය චිනාර් ගසේ පත් අතර සැඟව ගියේය.

    ගිණි පුපුරු නංවමින් ඇවිලුනු ගිණි මැළයේ උණුසුම ටිකින් ටික නිවී යමින් තිබිණි.

    නිහඬ සන්තූරය මත චිනාර් ගසේ රත් පැහැ පත්‍රයක් පතිත විය,

    නිහඬවම චිනාර් ගසට පිටදී සිටි ජෙහන්ගීර් ගේ පියවුණු දෑස මත පතිත හිම පියල්ලක් එහි රැඳෙනු නොහැකිව පොළවට වැටී, ඊට පෙර වැටී තිබුණු ශත සහශ්‍ර සංඛ්‍යාත හිම පියලි වලට එකතු වී සැඟව ගියේය,

    අවසන වසර සතළිහකට පසුව......එසේය වසර සතලිහකට පසුව.....ඔවුන් දෙදෙන කාශ්මීරයේ හිම වැටෙනා ශීත සෘතුවේ එක සන්ධ්‍යාවක , රත්පැහැ පත්‍ර ගිනි ඇවිළි කලෙක මෙන් දිලෙන චිනාර් ගසක් සෙවනේදී නැවත වෙන් නොවන සේ එකතු වූහ

    ReplyDelete