79. නොමියෙන සෙනෙහසක අරුමය...

භාරතයේ සුන්දර ඒ නමුත් දුක්බර ආදර අන්දරයක් වුනු සලීම් - අනර්කලී කතා පුවත ගැන පොඩ්ඩි අක්කා කාලෙකට උඩදී ලස්සන සටහනක් ලිව්වා. ඒ සටහනට ලස්සන පසු කතන්දර අපේ රවි අයියත්, නීතාත් කමෙන්ට් වලින් එකතු කළා. ඒ කතන්දර පසුබිම් කරගෙන මගේ හිතේ මැවුණු කතාන්දරේ මමත් එදා එතන ලිව්වා. අද මේ පෝස්ට් එකක් විදිහට පළ කරන්නේ එදා මම ඒ ලියපු කතාවයි.




ගඩොලින් ගඩොල බැඳී මා ඉදිරියේ ගොඩ නැගුණු පවුරේ අවසන් ගඩොල තැන්පත් වද්දී හාත්පස පැතිර ගිය ගන අඳුරේ මම මොහොතකට හුදෙකලා වුනෙමි. එහෙත් ඒ විගසම ඔහුගේ සුන්දර සිනහව, ආදරණීය නෙතු යුග මගේ දෑස අභියස මැවී පෙනුණි. ඔහු වෙනුවෙන් වූ ආදරයෙන් හදවත පිරී ඉතිරී යන අතරේ දෙනෙතට නැගුණු කඳුළකුත් සමග මාගේ දෑස් පියවී ගිය බව මට මතකය. 

නැවත නෙත් විවර කරනා විට මා හුන්නේ කොහිදැයි එක්වනම සිහියට නගාගත නොහැකි විය. නමුත් එහි හුරුපුරුදු බවක් තිබිණ. ඔව්, මෙය මා කුඩා කළ පටන් මාගේ දෙපයේ ගිගිරි නාදයෙන් රාජකීයයන් පිනවූ උත්සව සභා මණ්ඩපයයි. ඔහුගේ දෙනෙත් දෙස මුල් වරට බලමින් ඔහුගේ දෙපා පාමුලින් ඒ සුවිශේෂී දිනයේ නර්තනය නිමා කෙරුණු ස්ථානයේ මම හිඳ සිටියෙමි. එහෙත් මා මෙතැනට ආවේ කෙසේද? මම සිහිපත් කළෙමි. දෑස් පියවී යන්නට පෙර මා සිටියේ අන්ධකාරයක් තුළ බව මතකය. දෑතත් දෙපයත් රිදුම් දෙන්නට වූ බැවින් මම එදෙස බැලුවෙමි. එකෙනෙහිම මා ගත දැවී පිළිසෙන්නාක් වැනි වේදනාවක් ඇති විය. ඔහුගේ දඟකාර සිනහව ඉදිරියේ ලෙලවූ වළලු මා දෑතේ තව දුරටත් නොවීය. එහි වූයේ යකඩ විලංගු කව දෙකකි. මාගේ නර්තනයෙන් සුවහසක් දනන් සිත් තුටු කරවනා අතරේ මාගේ දෙපය සැරසූ ගිගිරි එහි තව දුරටත් නොවීය. දකුණු පයේ රැඳී තිබූ විලංගුවේ ඇමිණී තිබූ දංවැල් කැබැල්ල ඉවත් කරන්නට උත්සාහ කළද මා අසමත් විය. විලංගු ලා මා වටා ඉදිකළ පවුර බිඳගෙන මා මෙතැනට පැමිණියේ කෙසේද? යළිත් වරක් ඔහු මා මුදාගන්නට සමත් වීද? එහෙත්.. එසේ වුවහොත් මරණ දඬුවමට මුහුණ පෑමට සිදුවන්නේ ඔහුටයි... ඒ සමගම මහා චණ්ඩ මාරුතයක් හමන්නට වූ අතර දැරිය නොහැකි සීතලකින් ගත වෙලී යන්නට විය. මොහොතකින් මා සිටියේ ඔහු ඉදිරියේය.

නිද්‍රා ඔසු මුසු කළ දෙළුම් යුෂ බඳුනෙන් නින්දට වැටුණු ඔහු තවමත් සුව නින්දේය. මගේ මුවග'ට නොඳැනීම සිනහවක් නැගුණි. කැරළි ගැසුණු කෙස් රොද අතරින් අතැඟිලි ගෙන ගිය ම මෘදු ලෙස ඔහුගේ නළල සිපගතිමි. ඒ සමගම ඔහුගේ දෙනෙත් විවර විය. "අනර්කලී!!!" ඔහු මහ හඬින් කෑ ගැසුවේය. ඔහුගේ සිරුර දහදියෙන් තෙත් වී තිබුණි.

මම සිනාසුණෙමි. "මං මෙතන ඉන්නවනේ..."

එහෙත් ඔහුට එය නෑසුණි. "අනර්කලී!!!" ඔහු යළිත් කෑගැසුවේ සයනයෙන් බසිමිනි. 

"කුමරුනි, ඔබේ අනර්කලී ඔබ අසළමයි," මම ඔහුගේ දෙපා මුල වැටී පැවසුවෙමි. 

එහෙත් ඔහු මා දුටුවේ හෝ ඔහුට මගේ හඬ ඇසුණේ හෝ නැත. ඔහු ඒ මොහොතේ කුටිය තුළට දිව ආ රාජපුරුෂයන් ඇමතුවේය. "කෝ නදීරා?" මුහුණින් මුහුණ බලාගත් රාජ පුරුෂයෝ අනතුරුව බිම බලාගත් හ. "ඇයි නිහඬ? කෝ මගේ අනර්කලී?" ඔහුගේ හඬින් කුටිය දෙවනත් විය.

කුමක් සිදුවන්නේදැයි සිතාගත නොහැකිව මම බලා සිටියෙමි. ඔහු වියරු වැටුණකු මෙන් කුටිය පුරා ඒ මේ අත සැරිසරන්නට විය. හදිසියේම ඔහුගේ දෙනෙත් සන්තූරය මත නතර විය. එහි තත් අතර රඳවා තිබූ කඩදාසිය ඔහු දුටුවේය. ඒ පිළිබඳව මා හට සිහිපත් වූයේද එවෙලේය. ඔහුව නිදිගන්වා හොර රහසේම පිටව යන්නට පෙරාතුව කඳුළු අතරින් අකුරු අමුණා මා ලියූ ලිපිය එය විය. එය දැන් ඇවැසි නැත. මා ඔහු අසළය. "කුමරුනි, ඔය ලිපිය ගැන සලකන්න එපා... මා ගිය ලෙසින්ම නැවත ඔබ අසළට පැමිණ සිටින්නේ, ඔබට නොපෙනේද?"

එහෙත් එයද ඔහුට නෑසුණි. මාගේ ලිපිය තත් අතරින් මුදා ගන්නා අතරේ ඔහුගේ අතැඟිලි වෙවුළනු මම දුටුවෙමි. ලිපිය කියවනා අතරේ යටිතොල විකාගත් ඔහුගේ දෑස් මැලවී යනු මම හොඳින්ම දුටුවෙමි. නැගී සිටින්නට දෙපා වාරු නැතිව ගිය කළෙක මෙන් ඔහු අසළ වූ සන්තූරය මතට වාරු විය. එයින් එහි කම්පනය වූ තත් වලින් නැගුණේ වෙනදා මෙන් මිහිරි රාවයක් නොවුණද නොදැනුවත්වම මාගේ දෙපය රඟන්නට සරසුණි. එහෙත්... පය බැඳි ගිගිරි වෙනුවට හඬ නැංවූයේ විලංගුවේ දම්වැලයි... එයින් නැගි කටුක මූසල නාදය දරාගැනීමට මටද අපහසු විය. ඔහුගේ දෑස් එක එල්ලේ මා වෙත යොමු විය. ඔහුට එය ඇසී ඇත. එතෙක් වේලා මා පැවසූ එකදු වදනක් හෝ නෑසුණද ඔහුට දම්වැලේ හඬ ඇසී ඇත. එහෙත් රාජපුරුෂයන් නිසලය. ඔවුනට එම හඬ කන වැකී නොමැති හැඩකි. මට සියල්ල අවබෝධ විය. මම වහා කුටියේ වූ කැටපත වෙත හැරුණෙමි. මට පිටුපසින් වූ කවුළුවෙන් ගලා ආ ආලෝකය කිසිඳු බාධාවකින් තොරව කැටපත මතට පතිතව ඇත. මා සිටින්නේ මළවුන් අතරය... එසේය... ලෝකයා හමුවේ නදීරා මිය ගොස් ඇත... කිරුළ හිමි රජ කුමරුට පෙම් බැඳීමේ වරඳට අනර්කලී මරණ දඬුවම ලබා ඇත... 

"අනර්කලී..." ඔහු මා අමතයි. එහෙත් ඔහුට මා නොපෙනෙන බව දැන් මම දනිමි. එනමුදු මා සිටිනා බව ඔහු දන්නා බව දැනගැනීම මා හට ප්‍රමාණවත්ය. "අනර්කලී.." ඔහු මා වෙත එයි. මෙය සුදුසු නැත... මා සිටිනා තැන ඔහුගේ ලෝකයෙන් බොහෝ ඈතය. මා ඔහු වෙත රැඳී සිටීම ඔහුට හිරිහැරයකි... ඔහුගේ අනාගතයට, ඔහුගෙන් මේ අධිරාජ්‍යය වෙත සිදු විය යුතු මෙහෙයට බාධාවකි... එසේ වුවහොත් මා කළ පරිත්‍යාගයේ අරුතක් නැතිව යනු ඇත... එසේ විය යුතු නැත... මා ඔහු වෙනුවෙන් බලා හිඳිමි... සදාකාලිකව ඔහුට ආදරය කරමි... කෙදිනක හෝ ඔහු මා වෙත ඒමට සූදානම් වූ විටෙක ඔහුගේ ඇමතුම මා හට ඇසෙනු ඇත... එවිට ඔහු කැඳවාගෙන යාමට මම එන්නෙමි... එයින් පෙරාතුව මා ඔහු ඇසුරේ ගැවසුණහොත් ඔහුගේ මෙහෙය නිම වීමට පෙර ඔහුට මා වෙත ඒමට සිතෙනු ඇත... එය සිදු නොවිය යුතුය...... මා අසළටම ආ ඔහු මා වෙත අත දිගු කළේය. එකෙණෙහිම මම ඔහු ඇතුළු අනෙක් පිරිසගේ හිස් මතින් ඉහළ නැගී ඔවුන් දෙස නෙත් යොමා සිටියෙමි. මා සිටියේ ඉහළ කවුළුවේ ජනෙල් පඩිය මතය. ඔහුගේ දුක්බර දෑස් සිතේ සනිටුහන් කරගත් මම එතැනින් නික්ම පළා ගියෙමි. ඈත කඳුකරයේ ඔහු හා එක්ව ගත කරන්නට සිහින මැවූ තුරු ලතා ගං දියඇලි වලින් හෙබි වන ලැහැබකට වී හුන්නෙමි.

විටෙන් විට පැමිණ ඔහුගේ සුව දුක් සොයා බලා ගියෙමි. එහෙත් ඒ කිසි විටෙක මා පැමිණි බවට කිසිඳු සලකුණක් හෝ ඔහු වෙත නොපෑවෙමි. අපගේ පිවිතුරු ආදරයට සීමා බන්ධන පැනැවූ අක්බර් රජුගෙන් පසුව අධිරාජ්‍යයේ බලයට පත් වූ ඔහු සාර්ථකව පාලන කටයුතු කරගෙන යනු දැකීම මා හට මහත් සැනසීමක් විය. එහෙත් ඔහුගේ හදවත දොම්නසින් පිරී ඇති බව වීණා වාදන, නැටුම් ගැයුම් නොමැති මාළිගාවෙන් පැහැදිලි විය. ඔහුගේ සන්තූරය ඔහු යන එන සෑම තැනකම රැගෙන ගියද ඔහුගේ ඇඟිලි තුඩු එහි තත් පිරිමැද්දේ නැත. ඔහු මත්පැනට ලොල් වී ඇති බව මා දැනගත්තේ ඔහු බැලීමට ගිය එක් රාත්‍රියකදීය. එයින් ඔහුව මුදාගැනීමට කළ හැකි සියලු දෑ කළද ඉන් පලක් නොවීය. මා බිඳින බිඳින මත් පැන් බෝතලයක් පාසා ඔහු තව තවත් ගෙන්වා ගත්තේය. වරෙක එම බිඳුනු වීදුරු කැබැල්ලකට ඔහුගේ අත තුවාල වීමෙන් පසු මම එය නවතා දැම්මෙමි. ඔහු මා වෙත එන්නට සූදානම් වන බව මා දැනගත් නමුත් ඔහු එයට සූදානම් වන ආකාරය මා සිත දවාලීය.

අවසානයේ, ඔහු මා අත මුලින්ම ස්පර්ශ කළ දිනයේ පටන් නිශ්චිතවම හතළිස් වසරක් ගෙවුණු දිනයේ මට එම නාදය ඇසුණි. සතළිස් වසරකට පසු ඔහුගේ සන්තූරය යළි පණ ලබා ඇත. මා ඔහුගෙන් වෙන් වූ එම රාත්‍රියේ ඔහු මා වෙනුවෙන් ගැයූ ගීය, එම වාදනය යළි ඇසුණි. එය මා උදෙසා ඔහුගේ ඇමතුම විය. ඔහු මා වෙත ඒමට සූදානම් බව මා අමතා කී අයුරු විය. මම වහා ඔහු සොයා ගියෙමි. සීතල කඳුකරයේ කුඩා කඳුගැටයක් මුදුනේ චිනාර් වෘක්ෂයකට පිට දී ඔහු සන්තූරය වයමින් ගායනා කරමින් සිටියේය. ගිණි මැලය පිටුපසින් හුන් මා දුටු ඔහුගේ මුව'ග නැගි සිනහව මම දුටුවෙමි. පුදුමයකි, එතෙක් කල් මා පය බැඳි දම්වැල් සහිත විලංගුව වෙනුවට එහි වූයේ මිහිරි නාදයෙන් සෙලවෙන ගිගිරි වැලකි. දෑතේ වළළු පිරී තිබුණි. මම ඔහු වෙනුවෙන් රැඟුවෙමි. අපගේ ආදරය වෙනුවෙන් රැඟුවෙමි. ගෙවී ගිය හතළිස් වසර වෙනුවෙන් රැඟුවෙමි. අවසානයේ ඔහු පාමුල දණින් වැටුණෙමි.

එම දෑස තවමත් එලෙසම ආදරණීයය... එම සිනහව තවමත් පෙර ලෙසම සුන්දරය... ඔහු අතක් ඔසවා මා දෑසේ වූ කඳුළු බිඳුවක් පිස දැම්මේය. එදින, ගලෙන් ගල බැඳුනු පවුර පිටුපස අවසන් වරට දෙනෙත් පියාගනිද්දී දෑසට නැගි කඳුළ එම සතළිස් වසර පුරා මගේ දෑසේ මිදී පැවතුණි. අද ඔහුගේ උණුසුම් ආදරය හමුවේ ඒවා නැවතත් උණු කඳුළු බවට පත් වී ඇත. මා ඔහුගේ ලෝකයට යළි පැමිණ ඇත... නැතහොත්, ඔහු මාගේ ලෝකයට පැමිණ ඇත...





78. නිබ්බුතා නූන සා නාරී...


ඔහු දන්නා හඳුනන කොයි කාගේත් ආදරය ඉහළින්ම දිනාගත්තෙකි. කෙළිලොල් කතාබහත්, සුහද මිතුරු ඇසුරත් නොවේනම් විටෙක ඔහු මුණිවරයෙකුදෝයි කෙනෙකුට සිතෙනු ඇත. ඔහුට ඇත්තේ එතරම්ම කරුණාභරිත වූ හදවතකි. තමාට වරදක්, නපුරක් කළ කෙනෙකුට වුවද සමාව දීමට ඔහු හේතු සොයාගන්නා අන්දම අපූරුය. පිළිගත හැකි හේතුවක් නොමැතිනම් එසේ කරන්නේ ඔවුන්ගේ නොදැනුවත් කම නිසා කියා හෝ එය නොසලකා හරින්නට ඔහු සමත්ය. 

කෙනෙකුගේ මුවට සිනහවක් ගෙන ඒම ඔහුගේ ඉහළම සතුටයි. බොහෝ දෙනා ඔහුගේ ගායනයට වශී වන අන්දම මා දැක ඇත. සැබැවින්ම මාද ඔහුගේ ගායනයට වශී වූ බව නොකියා බැරිය.

ඔහුගේ ශබ්ධ කෝෂයේ නැහැ - බැහැ යන වදන් නොමැත. කෙනෙකුට උදව්වක් ඇවැසි වූ විට ඔහු එය තමාගේ කටයුත්තක් බවට පත් කරගෙන සහය වෙයි. තමාගේ කටයුතු අතපසු වුවද ඔහුට කම් නැත. ඒ ඔහු වෙනෙකෙකු නොවී ඔහුම වූ බැවිනි.

ඔහු පැමිණියේ අසීරු ගමනකය. ඔහුගේ දිරිය පිළිබඳව මා හට පුදුම සිතේ. ඔහු ඔහුගේ වයසට වඩා බොහෝ ජීවිත අත්දැකීම් ලද්දෙකි. ඔහුගේ නැගණියන් ඔහුට සළකන්නේ පියෙකුට මෙනි. ඒ ඔහු ඔවුන් වෙනුවෙන් සිදුකළ දෑ ඔවුන් හොඳින්ම දත් බැවිනි. අද ඔහු සතුටිනි, එසේ යැයි මම සිතමි. අද ඔහු ආදරණීය සැමියෙකි, ආදරණීය පියෙකි, දහසක් සිසුන්ගේ නැණැස පාදන දයාබර ගුරු පියෙකි. මිනිසත් බවේ ප්‍රතිමූර්තියකි. මිල මුදල් නොව හදවත් උපයන්නෙකි. 

මා හට කිසා ගෝතමියගේ නිබ්බුත පද සිහිපත් වේ.

එසේම ඔහු වෙනුවෙන් එහි තෙවෙනි පදයේ හිමිකාරිය මා ම වන බවද සිහිපත් වේ.

ඔහු වැන්නෙකුගේ සෙනෙහස ලබන්නට, ඔහු වැන්නෙකුගේ බිරිඳ වන්නට සැබැවින්ම මම පින් කර ඇත්තෙමි.


"You are every reason,
Every hope,
And every dream I've ever had...
And no matter what happens
To us in the future,
Every day we are together
Is the greatest day of my life.
I will always be yours,
And you will always be mine."

Happy Birthday
&
Happy Anniversary!!!

I LOVE YOU!!!