Showing posts with label කලාව. Show all posts
Showing posts with label කලාව. Show all posts

51. කලාව අත්විඳීම...


මදකට සිතන්න - ඔබ මේ මොහොතේ නිව්යෝක් නගරයේ ගමන් කරන්නෙකු ලෙසින්. ඔබ කලාගාරයක විශාල ජනේල පසු කරමින් යන අතර, එක්සත් ජනපද මහද්වීපයේ හුරුපුරුදු සිතියම් අනුරූ දසුනක් ඔබේ නෙත් කොණට හසු වේ. වඩාත් හොඳින් නැරඹීම සඳහා මදක් නවතින ඔබ, එය සම්පූර්ණ බිත්තියක් වසාගෙන සිටින බව දකින අතර, ජනපද වල සීමාවන් දීප්තිමත් නියොන් වලින් සලකුණු වී ඇති අයුරුද දකියි. ඔබ සිටිනා තරම් දුරට මදක් පැහැදිලි එහෙත් ස්ථිරවම නිශ්චය කරගැනීමට අපහසු සෙලවෙන වර්ණ ආලෝක සමූහයක් ඔබ දකියි. එහි ඇති නුහුරු නුපුරුදු වස්තූන් හා ආකෘතීන් එකම මොහොතේදී ඔබේ අවධානය ඒ වෙත යොමු කරගන්නට හැදුවද, සිතියම් රූපයේ ඇති සමීප හුරුපුරුදු බව ඔබේ අපහසුතාව දුරලයි. මෙම සිතියම කලා නිර්මාණයක්ද? ඔබ දන්නා පරිදි කෞතුකාගාරයක අරමුණ වනුයේ කලා නිර්මාණයන් ප්‍රදර්ශනය කිරීම හා සංරක්ෂණය කිරීමයි - නමුත් මෙවන් වාණිජමය කලාගාරයන් කලා කෘතීන් වෙළඳාම් කිරීමට සූදානම් බැවින් මෙම කුතුහලය දනවන සිතියම වඩාත් හොඳින් නැරඹීම පිණිස එතුලට යාමට ඔබ පසුබට වෙයි. නමුත් එහි ඇති තදබල සිත් ඇදගන්නා සුළු භාවය නිසා පසුබෑම බැහැර කරන ඔබ දොර විවෘත කරයි. කලා භවනේ කාර්ය මණ්ඩලය ඔබේ පැමිණීම සාදරයෙන් යුතුව පිළිගනියි.

දීප්තිමත් වර්ණයෙන් යුතු බිත්තිය වෙත ඔබ ලඟා වෙත්ම, මුළු සිතියමම පසුබිම් කොටගෙන ඇත්තේ විවිධ ප්‍රමාණයෙන් යුත් වීඩියෝ ප්‍රදර්ශක (video monitors) බව ඔබට පෙනේ - ඔබ මුලින් දුටු සෙළවෙන රූප පිළිබඳව මෙවිට ඔබට පැහැදිලි වෙයි. සෑම ජනපදයකම සීමාව තුල මෙවන් වීඩියෝ ප්‍රදර්ශක කිහිපය බැගින් රැස් කොට ඇති අතර, ඒවායේ දිස්වන රූප රාමු ජනපදයෙන් ජනපදයට වෙනස් වෙයි. සමස්ථයක් ලෙස ගත් කළ මෙම නිර්මාණය නොතකා හිටිය නොහැකි තරමේ ප්‍රබලත්වයක් උසුලයි; නියොන් වල ඇති ස්ථාවර දීප්තිය, ජනපදයෙන් ජනපදයට දර්ශන තිර මත රඟන වර්ණ රටාවන් හා චලනයන් සමඟ සංසන්දනාත්මකව කැපී පෙනේ. ඔබේ අවධානය යොමු කරගත හැකි එකම රූපාවලියක් සොයා ඔබේ දෑස් බිත්තිය පුරා දිව යයි. මෙම අනපේක්ෂිත නිර්මාණයේ සංකීර්ණ භාවය අවබෝධ කරගැනීමට එය රුකුලක් වනු ඇතැයි ඔබ සිතයි.

නියොන් සීමාවන් තුල ඇති එක් ජනපදයක් දෙස බලා සිටින විට ඇතැම් රූප කිහිපයක් හඳුනා ගැනීමට ඔබ සමත් වෙයි. ඇලබාමා ජනපදයේ ගරු මාර්ටින් ලුත(ර්) කිං සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපාරයේ මුල් අරගලයන් ඔබ දකින අතර, ඔබේ වම් පසට වන්නට 1945 රොජ(ර්)ස් (1945 Rodgers) හා හැම(ර්)ස්ටයින් සංගීතමය ඔක්ලහෝමල් (Hammerstein musical Oklahomal) හි දර්ශන මගින් එම ජනපදය හඳුන්වා දෙයි. අමිහිරි යතාර්ථයන් හා මානව ජයග්‍රහණ එලෙස සංකල්පනාත්මක මහා මාර්ග සංගීත චිත්‍රපටයකට ඈඳා ඇත. ඔබ ජනපදයෙන් ජනපදය නරඹන විට තව තවත් ඝට්ටනකාරී රූප ඔබට හමුවෙයි. ඉලිනොයිසියේ ඒබ්‍රහම් ලින්කන් හා ටෙක්සාස් හි ඇලාමෝ ආදීන්ගේ රූප මගින් ඇමරිකානු ඓතිහාසික සම්ප්‍රදායන් පිළිබඳව කියා පායි - එසේම ටෙක්සාස් වීඩියෝ පටයන්හි වැකෝ (Wako) අසල බ්‍රාන්ච් ඩේවිඩියන් (Branch Davidian) හි 1993දි ඇති වූ ගින්නද අන්තර්ගතය. කෙමෙන් කෙමෙන් එම ප්‍රදර්ශක වල ඇති දෘශ්‍ය තොරතුරු ඔබ අවබෝධ කර ගනියි; ජනපද වල දැක්වෙන රූප තව තවත් හඳුනා ගැනීමට ඔබට හැකිවෙයි. නමුත් ඔබ එහි ඇති දෘශ්‍යමය හා මතවාදී සංකීර්ණභාවයට හුරුවත්ම ඔබ නැවතත් විශ්මයට පත් වෙයි. ඔබ නිව් යෝක් ජනපදය නරඹන විට ඔබට දිස් වන්නේ මේ මොහොතේ මෙම නිර්මාණය නරඹන ඔබේම රුවයි. මූලික වශයෙන් ඓතිහාසික සිදුවීම් හා සොභා දර්ශන නිරූපණය වන අනෙකුත් ජනපද තුල ඇති ප්‍රදර්ශක මෙන් නොව නිව් යෝක් ජනපදයේ සීමාවන් තුල ඇති වීඩියෝ ප්‍රදර්ශක කලාගාරයේ නරඹන්නන් වෙත යොමු වී ඇති සංවෘත පරිපථ වීඩියෝ කැමරා සමග සම්බන්ධ වී ඇත. වර්තමාන මොහොතේ ඇති ක්ෂණික භාවය එලෙස නිර්මාණය තුලට ඇතුලත් කර ඇත; ඔබේ රූපය හා සිතියම සමග ඔබේ අන්තර් ක්‍රියාවන් ක්ෂණිකවම නිර්මාණයේම කොටසක් බවට පත්වෙයි: ඔබ එය නරඹන විට ඔබ එහි කොටසක් බවට පත්වෙයි.

මෙම නිර්මාණය පිළිබඳව ඔබේ නවතම සොයාගැනීම බෙහෙවින්ම ආකර්ෂණීයයි; ඔබ මෙයට පෙර කලා නිර්මාණ දැක ඇතත් ඒවා ඔබට නිහඬ අවලෝකනයකට ඉඩ දෙමින් නිශ්චල වස්තූන් ලෙසම පැවතුනි. ක්ෂණිකව එකම මොහොතේ තොරතුරු රැගත් තල රූප රැසක් ඔබ වෙත එල්ල කරමින් මෙම නිර්මාණය ඔබ සහ කලා නිර්මාණයක් අතර ඇති වන සාම්ප්‍රදායික සම්බන්ධයට අභියෝගයක් එල්ල කරයි: නිර්මාණය දැන් පවතින ආකාරයෙන් පැවතීමට ඔබේ සහභාගීත්වය නොමැතිව නොහැකිය.



ඔබ මෙතෙක් කියැවූ කතාන්දරය සුරංගනා කතාවක් නොව සැබැවින්ම පවත්නා අති විශිෂ්ඨ කලා නිර්මාණයකි. Nam June Paik නැමැති කොරියාවේ උපන් ඇමරිකානු නිර්මාණ ශිල්පියා විසින් නිර්මාණය කරන ලද Electronic Superhighway නැමැති මෙම අගනා කලා කෘතිය දැනට ස්මිත්සෝනියානු ඇමරිකානු කලා කෞතුකාගාරයේ (Smithsonian American Art Museum) තැන්පත් කර ඇත. අඩි 15 x 32 x 4 විශාලත්වයකින් යුතු මෙම නිර්මාණය සඳහා video monitors 313ක් භාවිතා කර ඇත.

~ ඉංග්‍රීසි සඟරාවක පළ වූ ලිපියක් ඇසුරෙන් වසර කිහිපයකට උඩදී පරිවර්තනය කරන ලදි


43. එන්න අළුත් සිහින දකින්නට...


මිහි මත දිලි තරු කැට නමින් මා ලියූ සටහනෙන් කියැවුනු ඒ සුන්දර සිනමා සිත්තමේ එන තවත් ලස්සන ගීතයක් ගැන මට අදත් කතා කරන්න හිතුණා. ඒ එහි නිල වෙබ් අඩවියෙන්ම සියලුම ගීත වල පද රචනා හා ඉංග්‍රීසි පරිවර්තන මට හමු වූ නිසා.

අර අපූරු චිත්‍ර ගුරුවරයා සිසුන් හමුවට එන මුල්ම මොහොත මතකද? අර අපූරු ගීතය? මට ඒකනම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. අන්න ඒ ගීතය විතරක් දාලා මං මේ සිනමා සිත්තම ගැන කතා කරන එක නවත්තන්නම්. අනෙක් ගීතත්, ඒ චිත්‍රපටය ගැන වැඩිපුර තොරතුරුත් ඒ නිල වෙබ් අඩවියෙන් ඔයගොල්ලන්ටම බලාගන්න පුළුවන්.




අන්න බලන්න, ඒ ගහක්ද?
නැතිනම් ලෝගුවක් පොරවාගත් කෙනෙක්ද?
අර වහිනවද? එහෙමත් නැතිනම්
වතුර පයිප්පය වහන්න අහසට අමතක වෙලාද?

ලෝකය කියන්නේ ඔබ එය දකින ආකාරයටයි
එය පවතින්නේ ඔබේම ඇස තුළයි

එනිසා මුදාලන්න ඔබේ මනස
විදාලන්න ඔබගේ පියාපත්
වර්ණ සැණකෙළිය තුළ
එන්න
අළුත් සිහින දකින්නට...

ඇයි මාළුන්ට පියාඹන්න බැරි?
හිතන්න...
ඉර හැමදාම නානවාද?
නැතිනම් හිසකෙස් විතරක් තෙමාගෙන 
අපට පෙනෙන්නට බොරුවට සිටිනවාද?

මේ තාරුකා, සැබවින්ම බැබළෙනවාද?
නැතිනම් තරහින් එකිනෙකා හා බැණගන්නවාද?

මුදාලන්න ඔබේ මනස
විදාලන්න ඔබගේ පියාපත්
වර්ණ සැණකෙළිය තුළ
එන්න
අළුත් සිහින දකින්නට...

හිස පිරෙන තෙක් පාඩම් කරන්නේ කුමටද?
අන්තිමේදී මොනවද මතක තියෙන්නේ?
ඒ වෙනුවට විවර කරන්න ඔබේ මනසේ දොරගුළු 
නොබියව පියාසරන්න

මා ඔබ සමගයි
ඔබ මා සමගයි

ඔබත් මමත් අපි සැවොම එක් වී
විනෝද වෙමු

ඇයි මේ ලොව මෙතරම් වර්ණවත්
කිසිදා කල්පනාකර තිබේද ඒ ගැන?

මෙතරම් අපූරු අන්දමින් වර්ණ තෝරාගෙන
කවුරුන් හෝ මේ ලොව සරසා ඇත
අපගේ විශ්වය ඉතාමත් සුන්දරයි
මෙහි නිර්මාණකරුවා සැබැවින්ම කලා කරුවෙකුම විය යුතුයි

මුදාලන්න ඔබේ මනස
විදාලන්න ඔබගේ පියාපත්
වර්ණ සැණකෙළිය තුළ
එන්න, එන්න, එන්න
අළුත් සිහින දකින්නට...



41. මිහි මත දිලි තරු කැට...

ඔහු පවුලේ දඟකාර සුරතලාය. අකුරු ලියන්නට, ගණන් හදන්නට එතරම් කැමැත්තක් නොදැක්වූ ඔහු ජීවත් වූයේ සිහින ලෝකයකය. ඔහුගේ එම සුන්දර සිහින වලට ඔහු ජීවය ලබා දුන්නේ සිතුවම් හරහාය. නමුදු අනෙකුත් විෂයන්ට එතරම් කැමැත්තක් නොදැක්වුවද, ඔහු එම විෂයන් ඉගෙනගැනීමට, අවබෝධ කරගැනීමට සිය උපරිම උත්සාහය දැරුවේය. නමුත් කිසිවෙකුත් ඔහුව තේරුම් ගත්තේ නැත. ඔහුගේ වැඩිමහලු සොයුරා පාසැලේ දීප්තිමත්ම සිසුවෙකු ලෙසින් බැබළෙද්දී  මෙම අහිංසක දරුවාට ගුරුවරුන්ගේ ඇණුම් බැණුම්, තර්ජන ගර්ජන වලට නිරන්තරයෙන්ම පාත්‍ර වන්නට සිදු විය.

අවසානයේදී ඔහුට දුරබැහැර වූ පාසැලක නේවාසිකව අධ්‍යාපනය ලබන්නට සිදු විය. එහිදී තත්ත්වය වඩාත් දරුණු විය. පෙරදී තමා අසළ වූ මව, පියා, සොයුරාද ඔහු අසළ නොවීය. ඔහුට සියල්ල එපා විය. කිසිවෙකුත් සමග, තම පවුලේ උදවිය සමග පවා, කතාබහ කිරීම නතර කර දැමුවේය. ඔහු බොහෝ සෙයින් ආදරය කළ සිතුවම්කරණයද අත් හැර දැමුවේය. 

ඔහු මේ ලොව තුළ අතරමංව යාමට සූදානම් වූවේය.

එම අපූරු ගුරුවරයා ඔහුට මුණගැසුණේ මේ මොහොතේදීය. එම සොඳුරු තාරුකාවට මිහිමඬලේ දුහුවිල්ලෙන් වැසී යාමට නොදී යළි ජීවය ලබා දුන්නේ එම ගුරුවරයාය.


මා මෙන්ම ඔබද බොහෝ සෙයින් ආදරය කරනා සොඳුරු සිනමා පටයක කතාන්දරය එලෙසින් සනිටුහන් කළෙමි. එය නරඹනා සෑම මොහොතකම දෑස් තෙත් වී යනු වළක්වා ගැනීමට නොහැකිය. එහි තේමා ගීතයේ ඉංග්‍රීසි අනුවාදය ඇසුරෙන් මම එය සිංහලයට නැගුවෙමි.

එම අසහාය ගුරුවරයා අපට කියා දෙන කතාවයි මේ... මිහි මත දිලෙනා තරු කැට වල කතාවයි මේ...


බලනු මැන ඔවුන් දෙස
හිමිදිරියේ මිහි මත පතිත වූ
පිණි බිඳු මෙන් වූ ඔවුන් දෙස
වෙනස් බව ඔවුන් පිළිගන්නේ
ඔවුනටම උරුම වූ විලසකිනි
තමන් වැටුණු කළ තමාටම සිනහ වන
මේ අමිල මුතු කැට
මේ මිහි මත අතරමං නොවේවා යන්න
මගේ පැතුමයි...

ශිශිරයේදී දැනෙන
උණුසුම් ලහිරු රැස් දහර මොවුන්ය
ඔබගේ නිවහනට රන් ආලෝකය ගෙන ඒමට
ඔවුන් සුර ලොවින් මෙහි පැමිණ ඇත
ඔබේ අඳුරු හදවත් එකළු කරනට
වෙවුළුම් දෙන අත්ලක ස්වභාවය වෙනස් කරනට
නින්දේදී දකින සිහිනයක් මෙන්
ඔබගේ සිහින දේව දූතිය හමු වන මොහොත මෙන්
අපූර්ව නාදයන්ගෙන් පිරුණු නලාවක් මෙන්
සුවඳැති මල් මත වැසූ සමනළුන් මෙන්
ආදරයෙන් පිරී ගිය අර්ථාන්විත සබැඳියාවක් මෙන්...

මේ බලාපොරොත්තුවේ රළ තරංගයි
සුභවාදී බවින් සපිරුණු හිමිදිරියයි
සොම්නසේ දිය දහරාවයි
අඳුරු නුබ ගැබට අභියෝග කරමින්
ගිනි දළු මෙන් පොපියනා 
ඔවුන්ගේ මුහුණු දෙස බලනු මැනැවි...

උද්‍යානයෙන් නෙළාගත් අම්බෝයා මලේ සුවඳ ඔවුන්ය
වීදුරු වළල්ලකින් ගිලිහුණු දිදුලණ කැබිලිති ඔවුන්ය

වන ලැහැබක් තුළින් ඇසෙනා 
මියුරු බටනලා නාදයක් මෙන් වූ ඔවුන්
සුමුදු සියුමැලි සළුපටක් මෙන් වූ ඔවුන්
ජීවිතයේ ගිගිරි නාදයයි
වසන්ත උද්‍යානයෙන් නැගී එන රාවයයි
ගම්මානයේ දීප්තියයි

පිපෙන්නට වෙර දරන මල් කැකුළු මෙන්
හමන මද පවන් රළක් මෙන්
ඔවුන් වැඩිහිටියන් වෙත ආශිර්වාදය ගෙන එනු ඇත

ඇතැම්විට අපගේ මුත්තනුවන් මෙන් බස් තෙපලනා ඔවුන්
තවත් විටෙක ඇල් දිය බඳුනක් මෙන් විසිරී පැතිරී යයි
ඇතැම් විටෙක ඔවුන් අවිහිංසක පැන පොඩි වලින් පිරුණු මල් ගොමුවකි
නිහැඬියාව මධ්‍යයේ ඇසෙනා සිනා හඬක් මෙන් වූ
වියළි දෙතොලක් මත නැගෙනා මඳ සිනහවක් මෙන් වූ
මේ මිණි මුතු හා කල් ගෙවන්නට ලැබීම ඔබගේ වාසනාවකි...

දිය මත ඇඳෙනා සඳේ ඡායාවක් මෙන්
නන්නාඳුනන ජනකායක් මැද හිතවතෙකුගෙන් ලැබෙන අත්වැලක් මෙන්
ගලන ගංගාවකින් මල් පොහොට්ටු මෙන් විසිරෙනා පෙණ කැටිති මෙන්
ඔවුන් කෙතරම් සුරතල්ද
ආදරයේ දයාබර ස්පර්ශයක් මෙන්
ඔබේ දෙසවනේ රැව් දෙන සප්තස්වරයේ මියුරු නාදය මෙන්...

මිහි මත මේ තරුකැට අතරමං නොවේවා යන්න
මගේ පැතුමයි...


13. වසන්ත සිහිනයේ සිත්තරා...




සීතල අඳුර දසත වසාගෙන
සුව දනවන සිහිල් මඳ පවන
හෙමි හෙමින් ඇද හැලෙන
වැහි බිඳු මුමුණයි මොනවද...
දසත නිසලයි මමයි වැස්සයි
පියා ගතිමි දෑසද දෙකනද
පා තැබුවෙමි ඒ සොඳුරු කෙම් බිමට
මගේ සිහින ලෝකයට...
පිණි දියෙන් වැසී ගිය
හරිත වන් තණ නිල්ල
මල් සුවඳ පිරී ගිය
සිත්කළු සමනළ උයන
හා මුවන් කෙළි දෙලෙන්
සියොත් ගී රාවයෙන්
එකළු වී ගිය සොඳුරු වන ගැබ
ඈතින් පෙනෙනා නිල්වන් කඳු වැටිය
සුදු වළා රොද සිප සනහන
වැහි බිඳු රැඳුණු සියපත් සුපිපුණු
ගලා බසිනා සීත දිය දහර
අසබඩ විසල් රුක් සෙවණක හිඳ
මේ සොඳුරු වසන්ත සිහිනය
සිතුවමට නගනා
සිත්තරා කවුරුන්ද... 

~ පින්තූරය මෙතනින්: http://www.royal-painting.com


05. සුළඟේ පැහැයන්...












ඔබ පා තබනා සෑම බිම් කඩක්ම
ඔබේ යැයි ඔබ සිතන්නෙහිය
මහ පොළොව ඔබට අජීවී වස්තුවක් පමණි
නමුත් මම දනිමි
සෑම ගලක්ම, ගසක්ම, සෑම සත්වයෙක්ම
ජීවයකින්, ප්‍රාණයකින් හා නාමයකින් යුතු වන බව

ඔබ මිනිසුන් යැයි සිතන්නේ
ඔබ මෙන්ම සිතන පතන අය පමණි
නමුත් ඔබ අමුත්තෙකුගේ පා සටහන් පසු පස ගියහොත්
ඔබ නොදන්නා බවවත් ඔබ නොදන්නා බොහෝ දෑ ඔබ දැනගනු ඇත

ඉරිඟු කරල් හරිත පැහැයෙන් පීදීගෙන එන කාලයේදී
සඳට හඬගාන වෘක හඬ ඔබ අසා තිබේද?
සිනාසෙන කැලෑ බළලාගෙන්
සිනාසෙන්නේ ඇයිදැයි අසා තිබේද?
කඳුකරයේ සෑම නාදයකින්ම ඔබට
ගී ගැයීමට හැකිද?
සුළඟේ හමා එන සෑම පැහැයකින්ම
සිතුවම් කිරීමට ඔබට හැකිද?

එන්න වනයේ සැඟවුණු මාවත් දිගේ දිව යන්න
එන්න හිරු එළියේ ඉදුණු ගඩා ගෙඩි රස විඳින්න
එන්න ඔබ වටා ඇති මේ සුව පහසුව විඳගන්න
මොහොතකට, එහි වටිනාකම කෙතරම්දැයි අමතක කරන්න

වැහි කුණාටුවත් ගංගාවත් මගේ සොයුරන්ය
කොස්වා ලිහිණියන් හා දිය කාවන් මගේ මිතුරන්ය
කිසිදා නිමා නොවෙනා එකම කවයක

ඉරිඟු කරල් හරිත පැහැයෙන් පීදීගෙන එන කාලයේදී
සඳට හඬගාන වෘක හඬ ඔබ අසා තිබේද?
උකුස්සෙකුගෙන් ඔහු සැඟව සිටියේ කොහිදැයි අසා ඇත්ද?
කඳුකරයේ සෑම නාදයකින්ම ඔබට
ගී ගැයීමට හැකිද?
සුළඟේ හමා එන සෑම පැහැයකින්ම
සිතුවම් කිරීමට ඔබට හැකිද?

සයිකැමෝර් ගස කොතෙක් උස යන්නේදැයි ඔබ දන්නවාද?
ඔබ එය කපා දැමුවහොත් ඒ රහස ඔබ දැනගන්නේ නැත
ඉරිඟු යාය හරිත පැහැයෙන් දිලෙන කාලයට
හඳට හඬගාන වෘක හඬද ඔබට ඇසෙන්නේ නැත

අප සුදු වුවද තඹ පැහැ වුවද
අපි කඳුකරයේ සෑම හඬක්ම හඳුනන්නෙමු
ඒ සෑම නදකින්ම ගී ගයන්නෙමු
සුළඟේ හමා එන සෑම පැහැයකින්ම
සිතුවම් කිරීමට ආසාවෙන් සිටින්නෙමු

ඔබට මහ පොළොව අයිති කරගත හැකිය
එහෙත්, සුළඟේ පැහැයෙන් සිතුවම් කිරීමට
ඉගෙන ගන්නා තෙක්ම ඔබ
මහ පොළොවේ පමණක් හිමි කරුවා වනු ඇත

'Pocahontas' කාටූන් චිත්‍රපටයේ 'Colours of the Wind' ගීතයේ සිංහල පරිවර්තනයයි