41. මිහි මත දිලි තරු කැට...

ඔහු පවුලේ දඟකාර සුරතලාය. අකුරු ලියන්නට, ගණන් හදන්නට එතරම් කැමැත්තක් නොදැක්වූ ඔහු ජීවත් වූයේ සිහින ලෝකයකය. ඔහුගේ එම සුන්දර සිහින වලට ඔහු ජීවය ලබා දුන්නේ සිතුවම් හරහාය. නමුදු අනෙකුත් විෂයන්ට එතරම් කැමැත්තක් නොදැක්වුවද, ඔහු එම විෂයන් ඉගෙනගැනීමට, අවබෝධ කරගැනීමට සිය උපරිම උත්සාහය දැරුවේය. නමුත් කිසිවෙකුත් ඔහුව තේරුම් ගත්තේ නැත. ඔහුගේ වැඩිමහලු සොයුරා පාසැලේ දීප්තිමත්ම සිසුවෙකු ලෙසින් බැබළෙද්දී  මෙම අහිංසක දරුවාට ගුරුවරුන්ගේ ඇණුම් බැණුම්, තර්ජන ගර්ජන වලට නිරන්තරයෙන්ම පාත්‍ර වන්නට සිදු විය.

අවසානයේදී ඔහුට දුරබැහැර වූ පාසැලක නේවාසිකව අධ්‍යාපනය ලබන්නට සිදු විය. එහිදී තත්ත්වය වඩාත් දරුණු විය. පෙරදී තමා අසළ වූ මව, පියා, සොයුරාද ඔහු අසළ නොවීය. ඔහුට සියල්ල එපා විය. කිසිවෙකුත් සමග, තම පවුලේ උදවිය සමග පවා, කතාබහ කිරීම නතර කර දැමුවේය. ඔහු බොහෝ සෙයින් ආදරය කළ සිතුවම්කරණයද අත් හැර දැමුවේය. 

ඔහු මේ ලොව තුළ අතරමංව යාමට සූදානම් වූවේය.

එම අපූරු ගුරුවරයා ඔහුට මුණගැසුණේ මේ මොහොතේදීය. එම සොඳුරු තාරුකාවට මිහිමඬලේ දුහුවිල්ලෙන් වැසී යාමට නොදී යළි ජීවය ලබා දුන්නේ එම ගුරුවරයාය.


මා මෙන්ම ඔබද බොහෝ සෙයින් ආදරය කරනා සොඳුරු සිනමා පටයක කතාන්දරය එලෙසින් සනිටුහන් කළෙමි. එය නරඹනා සෑම මොහොතකම දෑස් තෙත් වී යනු වළක්වා ගැනීමට නොහැකිය. එහි තේමා ගීතයේ ඉංග්‍රීසි අනුවාදය ඇසුරෙන් මම එය සිංහලයට නැගුවෙමි.

එම අසහාය ගුරුවරයා අපට කියා දෙන කතාවයි මේ... මිහි මත දිලෙනා තරු කැට වල කතාවයි මේ...


බලනු මැන ඔවුන් දෙස
හිමිදිරියේ මිහි මත පතිත වූ
පිණි බිඳු මෙන් වූ ඔවුන් දෙස
වෙනස් බව ඔවුන් පිළිගන්නේ
ඔවුනටම උරුම වූ විලසකිනි
තමන් වැටුණු කළ තමාටම සිනහ වන
මේ අමිල මුතු කැට
මේ මිහි මත අතරමං නොවේවා යන්න
මගේ පැතුමයි...

ශිශිරයේදී දැනෙන
උණුසුම් ලහිරු රැස් දහර මොවුන්ය
ඔබගේ නිවහනට රන් ආලෝකය ගෙන ඒමට
ඔවුන් සුර ලොවින් මෙහි පැමිණ ඇත
ඔබේ අඳුරු හදවත් එකළු කරනට
වෙවුළුම් දෙන අත්ලක ස්වභාවය වෙනස් කරනට
නින්දේදී දකින සිහිනයක් මෙන්
ඔබගේ සිහින දේව දූතිය හමු වන මොහොත මෙන්
අපූර්ව නාදයන්ගෙන් පිරුණු නලාවක් මෙන්
සුවඳැති මල් මත වැසූ සමනළුන් මෙන්
ආදරයෙන් පිරී ගිය අර්ථාන්විත සබැඳියාවක් මෙන්...

මේ බලාපොරොත්තුවේ රළ තරංගයි
සුභවාදී බවින් සපිරුණු හිමිදිරියයි
සොම්නසේ දිය දහරාවයි
අඳුරු නුබ ගැබට අභියෝග කරමින්
ගිනි දළු මෙන් පොපියනා 
ඔවුන්ගේ මුහුණු දෙස බලනු මැනැවි...

උද්‍යානයෙන් නෙළාගත් අම්බෝයා මලේ සුවඳ ඔවුන්ය
වීදුරු වළල්ලකින් ගිලිහුණු දිදුලණ කැබිලිති ඔවුන්ය

වන ලැහැබක් තුළින් ඇසෙනා 
මියුරු බටනලා නාදයක් මෙන් වූ ඔවුන්
සුමුදු සියුමැලි සළුපටක් මෙන් වූ ඔවුන්
ජීවිතයේ ගිගිරි නාදයයි
වසන්ත උද්‍යානයෙන් නැගී එන රාවයයි
ගම්මානයේ දීප්තියයි

පිපෙන්නට වෙර දරන මල් කැකුළු මෙන්
හමන මද පවන් රළක් මෙන්
ඔවුන් වැඩිහිටියන් වෙත ආශිර්වාදය ගෙන එනු ඇත

ඇතැම්විට අපගේ මුත්තනුවන් මෙන් බස් තෙපලනා ඔවුන්
තවත් විටෙක ඇල් දිය බඳුනක් මෙන් විසිරී පැතිරී යයි
ඇතැම් විටෙක ඔවුන් අවිහිංසක පැන පොඩි වලින් පිරුණු මල් ගොමුවකි
නිහැඬියාව මධ්‍යයේ ඇසෙනා සිනා හඬක් මෙන් වූ
වියළි දෙතොලක් මත නැගෙනා මඳ සිනහවක් මෙන් වූ
මේ මිණි මුතු හා කල් ගෙවන්නට ලැබීම ඔබගේ වාසනාවකි...

දිය මත ඇඳෙනා සඳේ ඡායාවක් මෙන්
නන්නාඳුනන ජනකායක් මැද හිතවතෙකුගෙන් ලැබෙන අත්වැලක් මෙන්
ගලන ගංගාවකින් මල් පොහොට්ටු මෙන් විසිරෙනා පෙණ කැටිති මෙන්
ඔවුන් කෙතරම් සුරතල්ද
ආදරයේ දයාබර ස්පර්ශයක් මෙන්
ඔබේ දෙසවනේ රැව් දෙන සප්තස්වරයේ මියුරු නාදය මෙන්...

මිහි මත මේ තරුකැට අතරමං නොවේවා යන්න
මගේ පැතුමයි...


9 comments:

  1. මේ සිතුවම්පටය ගැන මම ඔය ඇහුවමයි. තෑන්ක්ස් සෝ මච්, මයි ඩියර් මැඩම්, :) :)

    Slumdog Millionaire සිතුවම් පටයට ඔස්කා සම්මාන බරගනනක් ලැබුනු අවුරුද්දෙම, ඒ වගේම කතාවක්, ඒත් ඊට වඩා බොහොම සංවේදී කතාවක් රැගත් චිත්‍රපටයක් හොඳම විදේශීය චිත්‍රපට අංශයට ඉන්දියාවෙන් ඉදිරිපත් කලත් ඒකට කිසිම සම්මානයක් ලබුණෙ නැහැ කියල ඉන්දියාවෙ ලොකු ආන්දෝලනයක් ගියා මට මතකයි.ඒත් ඒ අදාල චිත්‍රපටය මේකෙයි කියල මම දැනගෙන හිටියෙ නැහැ.

    ඉෂාන්ට වැළඳිලා තියෙන රෝගය , Dyslexia කියන්නෙ ඉගෙනීමට විශේෂයෙන් ගණිතය සහ භාෂාව ඉගෙනීමට දක්වන නොහැකියාව...පොඩ්ඩක් හොයල බැලුවම බොලේ ලෝකෙ ඉන්න සුප්‍රසිද්ධ බහුශ්‍රැත , ඥාණවන්ත පුද්ගලයො බොහොමයකට ඒ රෝගය තිබිල තියනව නෙව.

    බලාගෙන ගියාම මම ආඅදරය කරන ගෞරව කරන හුඟ දෙනෙක් මේ ලිස්ට් එකේ ඉන්නව....හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන්, ලියනාඩෝ ඩා වින්සි, ස්ටීවන් ස්පීල්බර්ග්, පැබ්ලෝ පිකාසෝ,හැරී බෙලෆොන්ටේ, ටොම් කෲස්,කීනු රීව්ස්,ඇල්බට් අයින්ස්ටයි, මයිකල් ෆැරඩේ,ඇන්ඩි වාහෝල්,මුහම්මඩ් අලි,ජෝන් ලෙනන්, වින්ස්ටන් චර්චිල්, ජෝන් එෆ්. කෙනඩි, ජෝජ් වොෂිංටන්,අගතා ක්‍රිස්ටී...

    Dyslexia හැදුනම ඉගෙනුම බාල උනාට එයාලගෙ පරිකල්පන ශක්තිය ( Imagination ) ඉතාම විචිත්‍රවත් සහ උසස් මට්ටමක තියනවයි කියලයි කියන්නෙ…Gifted with Dyslexia නැත්නම් Blessed with Dyslexia….ආන්න එහෙමයි ඒ රෝගය වැළඳුන අය හඳුන්වන්නෙ....:)

    අඩේ..සිත්තමියෙ...මම මේ කම්පනා කලේ මටත් පොඩි කාලෙ ගනං අරහං..ඒ වගේම පරිකල්පනය කියන එක ආය කියල වැඩක් නෑ..හෙහ්, හෙහ්, ආය කියන්ටත් දෙයක්ය නේද බොලේ...මම ලියන බහුබූත කියවනකොට ඕන කෙනෙකුට ඒක තේරෙනව ..නැද්ද හොඳයි? ඉතිං බොලේ මට සීයට සීයක් ෂුවර් ඔය ලෙඩේ මටත් තියනව... අනිවා...:) :)

    ReplyDelete
    Replies
    1. /*මේ සිතුවම්පටය ගැන මම ඔය ඇහුවමයි*/

      ඉතිං අහලා විතරක් මදිනේ. දැං කොහොමහරි හොයාගෙන බලන්න මේක. මේක අයියේ 'බැලිය යුතුම' චිත්‍රපටයක්. :)

      Slumdog Millionaire එකට සම්මාන බර ගාණක් හම්බවෙන්න හේතු වෙච්ච ලොකුම හේතුව මං කියන්නද? ඒකෙන් ඉන්දියාවේ අඳුරු පැත්ත ලෝකෙට එළිදරව් වීම. ඔස්කාර් සංවිධායක බටහිරයන්ට ආසියානු රටක් ඒ වගේ තමන්ම තමන් ගැන එහෙම කතා කරගන්නවා තරම් සතුටු වෙන්න වෙන කාරණාවක් ඕනෙද. ලංකාවෙ උනත් විදේශීය සම්මාන හම්බවෙච්ච චිත්‍රපට අරගෙන බලන්නකෝ, වැඩි හරියක්ම ඒ සිද්ධාන්තයම තමයි.

      /*ලෝකෙ ඉන්න සුප්‍රසිද්ධ බහුශ්‍රැත , ඥාණවන්ත පුද්ගලයො බොහොමයකට ඒ රෝගය තිබිල තියනව නෙව.*/

      ඔව් අයියේ, ඒ වාගේ අය කීප දෙනෙක් ගැන ඒ චිත්‍ර ගුරුවරයාම චිත්‍රපටයේදී ළමයින්ට කියලා දෙනවා.

      /*Dyslexia හැදුනම ඉගෙනුම බාල උනාට එයාලගෙ පරිකල්පන ශක්තිය ( Imagination ) ඉතාම විචිත්‍රවත් සහ උසස් මට්ටමක තියනවයි කියලයි කියන්නෙ… Gifted with Dyslexia නැත්නම් Blessed with Dyslexia… ආන්න එහෙමයි ඒ රෝගය වැළඳුන අය හඳුන්වන්නෙ....*/

      ඇත්ත, ඒක එක්තරා විදිහක දායාදයක් තමයි. ඒත් වැදගත්ම දේ ඒ වගේ වටිනා මුතු කැට සමාජයේ, සමහරවිට තමන්ගේ සමීපතමයන්ගේම බලපෑම් නිසා මැලවිලා යන්න පුළුවන්. ඉෂාන්ට වෙන්න ගියෙත් ඒ වගේ දෙයක්. එහෙම අයට තමන්ම නැගී හිටින්න ශක්තියක් තිබුණොත් එයාගේ වගේම ලෝකයේත් වාසනාව. ඒත් එහෙම නැත්නම් එහෙම අයට අනිවාර්යෙන්ම කාගේ හරි මග පෙන්වීම උවමනා වෙනවා, මේ චිත්‍රපටයේ ගුරුවරයා, නිකුම්බ් සර් වගේ.

      /*ඉතිං බොලේ මට සීයට සීයක් ෂුවර් ඔය ලෙඩේ මටත් තියනව... */

      මං හිතන්නෙ අයියේ අයියට තියෙන ලෙඩේටනං තාමත් නමක් හොයාගෙන නෑ... :D :D :D

      Delete
    2. ඈ බං රවි අයියෙ, උඹට Dyslexia විතරයිය තියෙන්නෙ.!? එතකොට Bulimia, Amblyopia, Achalasia, Neuralgia එහෙම නැද්ද.?? :P

      Delete
    3. මං හිතුවේ බූරෝ අයියා මේ කියලා තියෙන්නේ නිකං හිතිච්ච වචන ටිකක් කියලා. ජාලෙ පීරලා බැලුවහමනේ දැක්කේ එව්වා හැබෑම අසනීප කියලා. :)

      Delete
    4. බොලාට කියන්ට සිත්තමියේ, ඔය රවියට තියෙන අසනීප කන්දරාවෙ හැටියට, මූ බෙහෙත් ගන්න ඩොකෙක් ගාවට ගියාම ඩොකා වුනත් අසනීපෙට කියන නම ‍හොයාගන්ට ජාලෙ පීරනවා.. ;)

      Delete
  2. මම බලපු ලස්සන චිත්‍රපටියක් සිත්තමී. අඬ, අඬ තමයි බැලුවේ. පියෙකුට තමන්ගේ ලමයෙකුට එහෙම සලකන්ට පුලුවන්ද, දෙමව්පියන් දරුවන්ගෙන් බලාපොරොත්තුවෙන්නේ මොනවද, අම්මා කෙනෙකුගේ නොබිඳෙන ආදරේ, සැමියා නිසා ඇගේ නිදහස සීමා වෙන හැටි ... මේ හැමදේම මේ ෆිල්ම් දකින්ට පුලුවන් උනා.

    ඒ වගේම තමා නියම ගුරුවරයෙකුගේ කැපවීම සහ ආබාධිත දරුවෙකුගේ යලි ඉපදීම...
    අරුත්බර ගීයක්. ලස්සන පෝස්ටුවට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අක්කා කිව්වා වගේම මේ චිත්‍රපටය කොයිතරම් වාරයක් බැලුවත් ඒ බලන හැම වතාවෙදිම ඇඬෙන එක නවත්තගන්න බෑ. අර අන්තිමට චිත්‍ර තරඟේ තෑගි දෙන වෙලාව, අන්න එතනදි තමයි මට හැමදාම ඇඬෙන්නේ. මේ සටහන ඊයේ ලියලා රෑ සිත්තරාත් එක්ක මම මේ පරිවර්තනය කරපු ගීතය ආපහු බැලුවා යූ ටියුබ් එකෙන්. ඒ රූපරාමු දිහා මම බලං හිටියෙත් කඳුළු පුරෝගෙන. ඒකේ හරි තේරුම දැන් දන්න නිසා තදින්ම හිතට දැනුණා.

      බොහොම සංවේදීව, ඒ වගේම සුන්දරව, හුඟක් දේවල් ගැන කතා කරපු හරිම ලස්සන චිත්‍රපටයක්. ඒ වගේ චිත්‍රපටි හරිම අඩුයි නේද.

      අක්කටත් ස්තූතියි මේ කමෙන්ට් එකට. :)

      Delete
    2. මේ චිත්‍රපටයෙ මට අහන් ඉන්න ෙකාට දරා ගන්නම බැරි සින්දුව තමා "තුම් සබකො පතා හෙනා මා..." කියන සින්දුව ඒයාව ඒෙක් තනි කරල යත්දි පසුබිමින් යන්නෙ ඒක අැහෙන ෙකාට පපුව හිරවෙනව වගෙයි දැනෙන්නෙ

      Delete
    3. ඔව්, ඒ සින්දුව හරිම සංවේදියි තමයි දිමුතු. ගොඩාක් දුක හිතෙනවා. අම්මයි තාත්තයි අයියයි එක්ක හුරතල් වෙවී ඉඳලා, දන්න අඳුරන කවුරුත් නැති නේවාසිකාගාරයක තනියම නවතින්න උනාම පුංචි හිතකට කොයිතරම් අමාරු ඇත්ද. ඉෂාන්ගේ චරිතයට පණ පොවපු දර්ශිල් සෆාරි කියන පොඩි දරුවා ඇත්තටම පුදුම දක්ෂයෙක්.

      ගොඩාක් ස්තූතියි දිමුතු මේ පැත්තේ ආවට. සාදරයෙන් පිළිගන්නවා. :)

      Delete