30. අපේ කතාව...



මිහිරි මතක මකරන්ද පවන් රළ
හැමූ සුවඳ මල් මාවතේ...

සසර පුරා ඔබ හා මා ආ මග
ඒ මල් ගොමු මැද හමු වූයේ...

පෙර අත්බැව් සුපුරුදු ඒ පැතුමන්
හද තුළ පිබිදී සිනාසුණා...

කුළුඳුල් මා හද ඔබෙ ආදර හද
එක් වූවා පෙම් කිරුළු දරා...

මව්පිය සෙවණේ ලද රැකවරණය
දෙමි සැමදා ඔබ මා දිවියයි...

සෙවණැල්ලක් වී ලඟින් රැඳෙන්නම්
මා හද පිදුවේ ඔබෙ නමටයි...

බැතියෙන් පෙරුමන් පුරමින් සසරේ
අප හදවත් එකිනෙක බැඳුනා...

මතු අත් භවයක නිවන් දකින තුරු
හැම අත් බැව් අප එක් වේවා...



8 comments:

  1. / මතු අත් භවයක නිවන් දකින තුරු
    හැම අත් බැව් අප එක් වේවා.. /

    '' මේ ..ඒයි????...''

    '' ඇයි ළමයො….මොකෝ? ''

    '' මම අපි දෙන්න ගැන කවියක් ලිව්ව…''

    '' ඒ කොහෙද?...''

    '' මගෙ බ්ලොග් එකේ..ඉන්න මම පෙන්නන්න..ආ. මේ තියෙන්නෙ..හරි ඔයා ඕක කියවන්ටකො මම තේ එකක් හදාගෙන එන්නම්.. ''

    '' හරි …''

    *****************************

    '' ආ, මෙන්න තේ එක..ඈ..මොකෝ මේ ඔයා මූණ එල්ලගෙන?..''

    '' නෑ මොකුත් නෑ…..''

    '' නෑ, නෑ..නැති වෙන්ට බෑ....ඇයි කවිය හොඳ නැද්ද? ''

    '' නෑ...හොඳයි… ''

    '' එහෙනං? ''

    '' අපොයි දෙයියනේ…..නිවන් දකින කල්ම මට බේරිල්ලක් නෑ නේද කියල හිතුන ඔයාගෙ කවිය දැක්කම.... ''

    '' හුහ්.......''

    ප,ලි. - ප්‍රබන්ධයක අවසානය නොලියා එය පාඨක ඔබට සිතාගැනීමට ඉඩ හැරීම මම බොහෝවිට අනුගමනය කරන්නකි. මෙහි ද අවසානය සිතා ගැන්ම ඔබටම භාර කරමි.:) :)

    ReplyDelete
    Replies
    1. ආයෙ තව මොනවා අවසන් කරන්ඩද? ඔය තියෙන්නෙ අවසන් කරලා! :P

      Delete
  2. ලස්සන කවි සිත්තමී...ඔයාගේ හිතේ සිත්තරාට තියන ආදරේ මේ කවි ටිකෙන් හොඳටම පේනවා.

    මතු අත් භවයක් නිවන් දකින තුරු, හැම අත් බැව් අප එක්වේවා...මොන තරම් සුන්දර ප්‍රාර්ථනාවක්ද?

    කීවත් වගේ එයාට ඔය කතාව කියලා බැලුවද? එයා මොනා කියයිද දන්නේ නෑනේ. මම නම් ඉතින් ඔය වගේ කතා දැන්ම කියන්ට බලාපොරොත්තු නෑ. පොඩ්ඩක් ඉඳලා බලලා තමයි කියන දෙයක් කියන්නේ හී හී...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි අක්කේ. :)

      එයාට ඉතිං මං ඕක කියලා තියෙන්නේ කවි වලින්ම තමයි. ඉතින් ඒවා කියවලා මෙන්න මෙහෙම එව්වා තමයි කියන්නේ...
      ෂා ලස්සන කවිය!
      මෙයා හරි දස්සයිනේ!
      ලස්සනයි ඒ වචන!
      ඔයා කවි විතරක් ලියන්න අනේ. අර වාගෙ මෝඩ කතන්දර ලියන්න එපා! ;D

      ඔය ඇරෙන්න කවියේ කියලා තියෙන දේවල් ගැනනම් එක වචනයක්වත් කියන්නෙ නෑ. ඊයෙ අඬගහන් ඇවිල්ලා රවි අයියා ඔය උඩින් දාලා තියෙන කමෙන්ට් එක පෙන්නුවා මම, ඒක කියවලා මුකුත් නොකියා තනියම හිනා වෙවී යන්න ගියා. :D

      Delete
    2. සිත්තරා තනියම හිනාවෙවී හිත හිත ගියෙ මොකක්ද දන්නවය?

      " අම්මප මේ රවියයි කියන එකා තමයි දවසකටවත් මිනිහ. මූ කියල තියෙන්නෙ සම්පූර්ණ ඇත්ත නෙව.ඔය මේ සංසාරෙදි නං අපේ මහගෙගෙං ආය නම් ගැලවෙනව බොරුය කියල මට හිතුනෙ මුල්ම දවස්වලයි. ඔය උන්දැම කියල තියෙන්නෙ...නිකම්ම නෙවෙයි කවියකුත් ගොතල...සසර වසන තුරු මුද්දරේ ඇලෙව්ව වගෙ පස්සෙං එනවයි කියල..හපොයි..මතක් වෙන කොටත් හීං දාඩියයි මහ දාඩියයි එකටම දානව...උන්දැගෙං ගැලවෙන්ට එකෝම කෙරේමයයි තියෙන්නෙ. පුළුවං විගැහිං නිවං දකින්ට ඕන. මේ ආත්මෙම පුළුවන් නම් ඒ තරමට හොඳයි.අම්මප ඒකත් නරකම නෑ. මේ සිත්තරා ඉතිහාස ගත වෙයි බාරියාවගෙං ගැලවෙන්ට නිවං ගිය පලවෙනිය කියල...හෙහ්, හෙහ්,..."

      එකල ලංකාද්වීපයෙහි වාණිජ අගනගරය වූ කොළොම් පුරවරයට ගිණිකොණ දෙසින් පිහිටි පසල් දනව්වෙක සිත්තර කලාවෙහි මහත් සේ නිපුණාවු බැවින්ම සිත්තරා යැයි වියුණු ලොවෙහි පසිඳු වූ එක් කෙළෙඹි පුත්‍රයෙක් ද කව් පබැඳීමෙහි බුහුටි වූ සිතුවිලි සිත්තමට නැඟෙනා කවි පොත නොහොත් වැහැරට පහසු සේ සිත්තමී යයි නම් ලද මනවිකාවක් ද විවාහ බන්ධනයෙන් බැඳුනේ වී වාසය කරන්නෝය.

      එක් දිනෙක සිත්තමී තොමෝ සසර වසන තුරු මම තොප හැර නොයන්නමෝදැයි පවසා කව් පෙලක් ගොතාලා වියා තම සමණුන් හට දක්වා ලූය. ඒ කියවූ සිත්තර තෙමේ බලවත් සේ මුසුප්පුවැ මෙසේ සිතුවෝය ... අහෝ, මේ නම් බලවත්වූ ඛෙදයෙකි. මේ ආත්ම භවයෙහි මෑ සමඟ ගත කරනුයේ කෙළෙසකදැයි අහස පොළොව ගැටලීමට සේ දිවා රෑ නිදි වර්ජිතව සිතමින් මම පසුවෙමි. එසඳ මෑ කියන්නක් බලනු මැන. ඕ මා පසුපස සසර අවසන තෙක් පැමිනෙන බවෙක් ඉඳුරාම පවසයි.මෑ වනාහී ඉතා දැඩි සිත් ඇත්තියකි.සිතට යමක් වන්නේද ඒ එලෙසින්ම ඉටු කරගැනීමෙහිලා කෙසේ හෝ සමත් වන්නෝය. එබැවින් ඕ සසර වසන තුරු මා පසුපස පැමිණෙන බවට කිසිදු සැකයෙක් නැත. මැගෙන් ගැලවීමට ඇත්තේ එක්කම මාර්ගයෙකි. එසේය. මම අද පටන් ඒ කාර්යයෙහි යෙදෙන්නමෝවේදැයි සපථ කලාහුය.

      ඒ කෙසේද යත් එදින පටන්මැ අනලස්වැ උතුම් වූ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයෙහි ගමන් කොට භාවනාවෙහි යෙදී ඒ ආත්ම භාවයෙහිම නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගත්තාහුය. එසේ කොට සිත්තමියගෙන් ගැලවී ගත්හ.එසේ හෙයින් ඒ සිත්තරා නම් වූ කෙළෙඹි පුත්‍රයාණෝ හුදෙක් තම බිරින්දෑගෙන් ගැලවී ගනු උදෙසාම නිවනට සපැමිණි ප්‍රථමයා වශයෙන් වංශ කතා වල සඳහන් වේමය.

      Delete
    3. හෙහ්, තනියෙං නිවන් යන්ඩ? එව්වා කරන්න හම්බ වෙන්නෙ නෑ එයාට මාත් එක්ක! :D

      Delete
  3. කවියට වඩා කොමෙන්ට් පෝලිමට හිත ගියාලු ඉතිං :D

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං අහන්නත් දෙයක්ය. අපේ මේ ලොකු උන්නැහෙ කොමෙන්ට් කරන කොතැනත් ඔහොම තමා. :D

      Delete