"ගාමිණී..."
මාළිගා බරාඳයේ ගැඹුරු කල්පනාවක ගැලී ගමන් කරමින් සිටි ඔහු එක් වරම ආපසු හැරුණේය. තමා ඔහු පසුපසින් එමින් සිටි බවක් දකිනු තබා බරාඳය දෙපස සිට ඔහුට ආචාර කළ මුර සෙබළුන්ට ප්‍රතිචාර දැක්වීමට තරම් හෝ ඔහු නිසි අවධානයකින් නොසිටි බව ඇයට වැටහුණි. උදෑසන රාජසභාවට පැමිණි මොහොතේද ඔහුගේ මුහුණේ දිස් වූ බැරෑරුම් කල්පනාකාරී බව, වේදනාකාරී බව ඔහුගේ මුහුණේ එවෙලේද දිස් විය.
"මෑණියනි!" ඔහු හිස නමා ඇයට ආචාර කළේය.
"නුඹ රාජසභාවෙන් පිට වූ මොහොතේ පටන් මා නුඹ පසුපසින් ආවා."
"මා දුටුවේ නැහැ මෑණියනි, සමාවන්න." ඇගේ දෑස් මගහරිමින් ඔහු තෙපළේය. "නමුත් කා අතේ හෝ පණිවිඩයක් එවුවානම් මා පැමිණෙනවානේ ඔබ හමුවීමට. ඇයි මේ ලෙසින් කරදර වුනේ?"
පිළිතුරු දීමට පෙර ඇය වඩාත් ඔහු වෙත ලං වූයේ අසළ සිටි මුර සෙබළුනට ඔවුන්ගේ කතාබහ නෑසෙන පරිද්දෙනි. "මට උවමනා වුනා නුඹව නිරීක්ෂණය කරන්නට."
ත්‍රිවිධ රත්නය හැරුණු කොට ඔහුගේ හිස බිමට නැඹුරු කරන්නට සමත් එකම සාධකය වූයේ හෙළයේ මහා වීර කාන්තාව වූ විහාර මහා දේවිය පමණි. නිරුත්තරව බිම බලා සිටිනා ඔහු දෙස මොහොතක් බලා සිටි ඇය බරාඳයෙන් නික්ම මලින්, දිය සීරාවෙන් ගැවසීගත් උයනට පිවිස එහි වූ ශෛලමය අසුනක් මත හිඳගත්තාය. සිය මෑණියන්ගේ නිහඬ ආඥා පිළිබඳව හොඳින් දැන සිටි ගාමිණීද ඈ වෙත පැමිණ ඒ අසළින් අසුන් ගත්තේය.
"නුඹේ සිත පෙළන යම් කරුණක් ඇති හැඩයි පුත ගාමිණී..." සුසුමක් හෙළා ගල් අසුනේ ඇන්දට බර දුන් ඔහු වේදනාවෙන් රැළි ගැන්වුනු සිය නළල පිරිමැද්දේය. "ඊයේ රාත්‍රිය පිළිබඳවද?" ඔහුගේ නිහඬතාවය හමුවේ ඇය යළිත් විමසුවාය. නළල පිරිමදිමින්ම දෑස් පියාගත් ඔහු සෙමින් හිස සැලුවේය. "ඔබ නොකළ යුතු කිසිවක් කළේ නෑ."
"නමුත් මා ඇගේ සිත බින්දා."
"කතී?"
ඔහු යළිත් හිස සැලුවේය. "මා ඇයට ද්‍රෝහී උනා."
"ඔබ මහරජ කෙනෙක්. ඈ එවන් දේ බලාපොරොත්තු විය යුතුයි."
"ඇයි ඔබ - " ගාමිණී මැඩගත් ආවේගයෙන් යුතුව කතා කළේය. "ඇයි මෑණියනි ඔබ මෙතරම් ඇයට අකමැති?"
පළමුව පුදුමයෙන් පිරී ගිය විහාර මහා දේවියගේ මුහුණ අනතුරුව මඳ සිනහවකින් එළිය විය. "ඇයි ඔබ හිතන්නේ මා ඇයට අකමැති බවක්?"
"එසේ නැතිනම් ඇයි ඇය මේ මාළිගාව තුළ හුදෙකලාව හිඳින්නේ? ඇයි මා හට ඈ සමග ඉන්නට - ඈ සමග පමණක් ඉන්නට ඉඩ නොදෙන්නේ? ඇයි ඊයේ රාත්‍රියේ මා අන් තැනැත්තියක වෙත පිටත් කර හැරියේ. මෑණියනි, ඔබ දන්නවා මා ඔබට කිසි විටෙක අකීකරු නොවෙනා බව. නමුත් ඒ හේතුව නිසා මගේ කතී මේ මාළිගාව තුළ තව තවත් අසරණ වෙනවානම් - " ඔහු කියන්නට ගිය දෙය නොකියා නතර කළේය.
"මා ඔබට ඒ මොහොතේම පැවසුවා ඔබ ඔවුන් වෙත යා යුතු හේතුව. එසේම ඔබත් දන්නවා ඒ සියල්ල එසේ සිදුවන්නට හේතුව. ඔබ මේ හෙළ ද්වීපයේ මහ රජ. ඒ බව අමතක කරන්න එපා ගාමිණී."
"ඒ බව අමතක නොකර සිටින්නට මට මාගේ කතීව අමතක කරන්නට වෙනවානම් මට එය කළ නොහැකියි." ඔහු මුරණ්ඩු ස්වරයෙන් පැවසීය. "ඔටුන්න තිස්සට බාර දී මා ඈ කැටුව නැවතත් ඌරුපැලැස්සටම යනවා නැවත නො එන්නටම."
විහාර මහා දේවියගේ සිනහව පුළුල් විය. "ඌරුපැලැස්සේ ගම්වාසීන්ට ඔබ තව දුරටත් ගුත්තා නොවෙයි පුත, මහරජ ගාමිණී අභය."
"ඇයට සැපතක් නොලැබෙන මාළිගයක් තුළ මට විසිය නොහැකියි." අනතුරුව ඔහු කිසිවක් සිහිපත් වූ ලෙසින් කතා කළේය. "මා මාළිගයෙන් පිටමන්ව සිටි අවදියේදී මා සමග සිටියේ ඇයයි. ඇය ආදරය කළේ මහරජ කෙනෙකුට නොවෙයි, සාමාන්‍ය ගැමියෙකුට. ඇය ආදරය කළේ රාජ සම්පත් වලට නොවෙයි මට. ඇගේ අක්කණ්ඩිය පවා කාත් කවුරුවත් නැත්තෙකු ලෙසින් මා හෙළා දැක කතා කරද්දී මා සමග සිටියේ රන් මැණිකා පමණයි මෑණියනි, මගේ කතී පමණයි. මේ සිටිනා අනෙක් එක් කුමාරිකාවක් හෝ ආදරය කරන්නේ මේ රාජ සම්පත් වලට නොව, මා හට බව ඔබට නිසැකවම පැවසිය හැකිද මෑණියනි? පවසන්න මට." ඔහු ඉල්ලා සිටියේය.
විහාර මහා දේවිය සුසුමක් හෙලුවාය. අසුනේ අත්වාරුව මත වූ පුතුගේ වමත පිරිමදිමින් ඇය කතාකරන්නට පටන්ගත්තාය. "පුත ගාමිණී, ඔබේ සන්තාපය මට වැටහෙන්නේ නැතිව නොවේ. කතී ගැන ඇත්තෙන්ම මම ගැහැණියක්, බිරිඳක් විදිහට හොඳ පැහැදීමකින් ඉන්නේ. ඈ ගැන මගේ අකමැත්තක් නැහැ. ඔබ සාමාන්‍ය මිනිසෙකු වුනානම්, ඌරුපැලැස්සේ ගම ගෙදර ගුත්තා ලෙසින්ම සිටියානම් ඔබට කතීට වඩා හොඳ බිරිඳක් ලැබෙන්නේ නැහැ. ඇයයි සැම අතින්ම ඔබේ ගති පැවතුම් වලට, ඔබේ රුචි අරුචිකම් වලට, ඔබේ සිතුවිලි ආකල්ප වලට ගැලපෙන බිරිඳ. නමුත් පුත, ගුත්තා ලෙසින් ගත කළ ඒ ජීවිතය ඔබේ ගමනේ එක් සන්ධිස්ථානයක් පමණයි. ඔබට එතැන නැවතී සිටින්නට බැහැ. රජෙකු වශයෙන් වගකීම් සම්භාරයක් දරන්නටයි, යුතුකම් රාශියක් ඉටු කරන්නටයි ඔබ මගේ කුසින් එළිය දුටුවේ. මේ රට එක්සේසත් කරන, සම්බුද්ධ ශාසනය රැක ගන්න වගකීම තිබෙන්නේ ඔබේ අතේ මා ආදර පුතනුවණි."
"නමුත් දැන් එළාර කෙනෙකු නැති බැවින් මා තවත් කුමට ඒ ගැන වද වෙන්නද මෑණියනි?"
"සතළිස් වසරක් පුරා සම්බුද්ධ ශාසනයේ පැවැත්මට අකුල් හෙලූ ඒ තර්ජනය ඔබ ඉවත් කළ බව සැබෑය ගාමිණී. එහෙත් එය පමණක් ප්‍රමාණවත් නැහැ, තර්ජනය ඉවත් කළා සේම එහි චිරස්ථිතිය උදෙසාද කටයුතු කළ යුතුයි.
"ඉදින් මහා ථූපය?"
"එවන් දෑ තව තවත් කළ යුතුයි. මහා ථූපය ගැන කී විට මට සිහිපත් වුනේ, පුත, තිස්සයන් පැවසුවා ඊයේ ඒ අසළදී නුඹලාට බාල වියේ මිතුරියක මුණ ගැසුණු වග?"
"එසේය මෑණියනි, උත්තරා මුණ ගැසුණා."
"නා රජුන්ගේ දියණිය?"
"එසේය. ථූපයට මුල් ගල් තැබූ පුවත අසා එය බලන්නට ආ බව පැවසුවා."
"ප්‍රවේශමෙන් ගාමිණී, ඈ අතිනත් ගත්තේ ඉතා දරුණු නාග රාජයෙකු සමග."
"ඈ සතුටු උනා මා හා තිස්ස දැකීමෙන්. මා කතීටත් ඈ ගැන පැවසුවා." ඔහුගේ මුහුණ නැවතත් අඳුරු විය. "මෑණියනි, මගේ රාජ්‍යත්වය සම්බන්ධයෙන් ඔබ පැවසූ සියල්ල නිවැරදියි. නමුත් ඇයි කතී මෙලෙසින් දුක් විඳිය යුත්තේ?"
"මෙහි හිඳීම ඇයට දුකක් නොවේ."
"යුද්ධය පැවතුණ කාලය පුරා මා හට ඇගෙන් ඈත්ව ඉන්නට සිදු වුනා. දැනුදු එලෙස හිඳින්නේ කෙසේද? මා හුදෙකලා වූ මොහොතේ මා සමග සිටි ඇයව මෙලෙස තනි කරන්න බැහැ මට."
"ගාමිණී, සම්බුද්ධ ශාසනයේ පැවැත්මට, අප ජාතියේ ආරක්ෂාවට නුඹ රාජ්‍යත්වයේ රැඳිය යුතුයි. නමුත් ඇය, ඌරුපැලැස්සේ ගුත්තාගේ බිරිඳ වන්නට සෑම අතින්ම සුදුසු ඇය, මහරජ ගාමිණී අභයගේ අග මෙහෙසිය වන්නට තරම් පින් කොට නැහැ." එම වදන් ගාමිණීගේ දෙසවනට යවුලකින් අනින්නාක් බඳු වේදනාවක් ගෙන ආවේය. ඔහුගේ හදවත පැලී යන තරම් වේදනාවකින් පෙලෙන්නට විය. විහාර මහා දේවිය තව දුරටත් කතා කළාය. "රජ පෙළපතකට අයත් නොවන ඇය නුඹේ අග මෙහෙසිය වීම සම්ප්‍රදායට පටහැනියි. නුඹ දරා සිටින කිරුළේ අනාගතය ගැන නුඹ සිතිය යුතුයි."
ගාමිණී වේදනාව පිරි දෑසින් සිය මව දෙස බලා සිටියේය. ඈ පවසන සෑම වදනක්ම සත්‍යය බව ඔහු දනියි. රට දැය වෙනුවෙන් තමා තුළ වූ වගකීම ඔහු හොඳ හැටි දනියි. රාජ්‍යත්වයේ කිරුළ, ඌරු පැලැස්සේ මහ ගොවි රාළගේ හිසේ බැඳි රෙදි කඩට වඩා බෙහෙවින් බරැති බව ඔහු දනියි.
"මා ඈ හා කතා කරන්නම්." මෑණියන්ගේ වදන් පෙළින් ඔහුගේ සිතුවිලි දැහැන බිඳ වැටුනි. "එපා," ඔහු එක්වරම කීවේය. සිය මෑණියන්ගේ වදන් අසරණියගේ සිත තවත් පාරවනු ඇතැයි ඔහුට සිතුණි. ඔහුගේ සිතැඟි වටහාගත් විහාර මහා දේවිය යළිත් සිනාසුණාය. "බිය වන්නට හේතුවක් නැහැ ගාමිණී, මා ඇගේ සිත රිදවන්නේ නැහැ. ඇය බුද්ධිමත්. ඈ මෙය තේරුම් ගනීවි."
"නැහැ," ඔහු තොල් මැතිරුවේය.
"ඔබත් පැමිණෙන්න මා සමග. ඔබ දෙදෙනාටම පවසන්නට යමක් තිබෙනවා." විහාර මහා දේවිය නැගී සිටියාය. ගාමිණීද ඈ අනුව නැගිට කතී සොයා යහන් ගැබ වෙත ඈ සමග පිය මැන්නේය. පෙරදින රාත්‍රියේ සිය මෑණියන්ට කීකරුව කතීගෙන් සමුගෙන නික්ම ගිය මොහොතේ පටන් මෙතෙක් ඔහු ඈ හමුවට ගියේ නැත. ඔහුගේ සිත පසුතැවිල්ලෙන් පිරී තිබුණි. වරදකාරී හැඟීමෙන් යුතුව එතෙක් ඈ හමුවට නොගොස් සිටියද ඈ තමා දැකගැනීමේ උවමනාවෙන් යුතුව සන්තාපයෙන් පසු වනු ඇති බව ඔහුට එක්වරම සිහිපත් විය. ඔහුට තමා අසළින් පැමිණෙන මෑණියන් අමතක විය. ඉක්මන් ගමණින් යහන් ගැබ වෙත ඇවිද ගිය ඔහු කුටිය සිසාරා දෙනෙත් යැව්වේය.
ඇය කවුළුව අසළ සිටගෙන සිටියාය. එදා මෙන්ම සුන්දර, අවිහිංසක ඇය. "කතී..." ඔහුගේ හදවතේ වූ වේදනාව කටහඬට මුසුව ඈ ආමන්ත්‍රනය කළේය. එම ඇමතුම ඇසෙන්නටත් පෙරම ඈ හැරුණේ ඔහුගේ පා හඬ ඇසීමෙනි. අන් රාජකීය ලඳුනට මෙන් ඈ අසළ පරිවාර කාන්තාවන් නොවීය. විසල් මාළිගාව තුළ ඈ සිටියේ හුදෙකලාවමය. නිදි වර්ජිතව හඬමින් ගෙවූ රැයක ලකුණු ඇගේ මුහුණේ විය. ඉක්මන් ගමණින් ඈ වෙත පැමිණි ගාමිණී ඈ තුරුළු කරගත්තේය. "කතී... ඔබ ලඟට නැවත එන්නට මේ තරම් ප්‍රමාද උනාට සමාවෙන්න. මට උදෑසනින්ම රාජ සභාවට යන්නට වුනා. ඊයෙ රාත්‍රියේ - ඊයෙ රාත්‍රියේ ඔබ වෙතින් යන්නට සිදු උනා - මගේ මෑණියන්ට කීකරු විය යුතු නිසා. නමුත් මා අදිටන් කරගෙන සිටියේ ඔබට ද්‍රෝහී වන යමක් කරන්නේ නැති බවට. නමුත් - නමුත් කතී -- මට ඔබට බොරු කියන්නට බැහැ... මාදිනී හමුවේ මගේ පාලනය ගිලිහී ගියා. මට සමා-" කතී සියතින් ඔහුගේ මුව වැසුවාය. සසල වූ හදවත නිසල කර ගැනීමට මොහොතක් බිම බලාගත් ඇය කඳුළු පනින්නට නොදී වළක්වාගත් දෑස් ඔහු වෙත නැවතත් යොමු කරමින් ආයාසයෙන් මඳ සිනහවක් මුව'ගට නගාගත්තාය. "ඔබ මේ රටේ මහ රජු."
ඇගේ සිත අතීතයට දිව ගියේය.
"අයියණ්ඩි, ආං බලන්ට ගිරා රෑනක් කුඹුරට පාත් වෙනවා."
"නියර දිගේ ඔහොම දුවන්ට එපා මෝඩියෙ, කකුල ලිස්සලා වැටෙයි! මඩ නාගෙන තමයි පොළේ යන්ට වෙන්නෙ!"
එදවස් කෙතරම් සොඳුරුද, සැහැල්ලුද. නමුත් දැන්? දැන් ඔහු මේ රටේ මහ රජු. තමා ඌරුපැලැස්සේ මහගමරාළගේ දුව කතී. තවමත්. ඈ කිසි දින රජසැප පැතුවේ නැත. සිය උකුලේ හිස තබා නිදා සිටි පෙම්බරයා රටේ මහ රජු ලෙසින් කිරුළු පලඳින්නට යන වග ඇසී ඈ සිහිසුන්ව වැටුනේ එබැවිනි.
"කතී, මා වැඩි වෙලා ඈ ලඟ රැඳුනෙ නෑ. ඉතිරි මුළු රැයම මම ගත කළේ විහාර මන්දිරයේ. මට නැවත ඔබ ලඟට එන්නට හිත එකඟ කරගන්නට බැරි උනා."
ඇය නැවතත් සිනහවක් මුහුණේ පැලැඳගත්තාය. "ඔබ වරදක් කළේ නෑ."
කොත්මලේ සිටියදී ඔහු වරක් පන්සලේ හමු වූ තරුණියක හා සිනාසුණු දිනෙක තමා ඔහු හා අමනාප වී සිටි අයුරු ඇයට සිහිපත් විය. "එන්න එහෙම එපා ලඟට! අර හිනාවෙච්ච එකීවම ගෙහුං බැඳගන්න එකයි ඇත්තේ!"
එම මොහොතේ විහාර මහා දේවිය ඔවුන්ගේ යහන් ගැබට පිවිසියාය. ගාමිණීත් කතීත් වහා ඉදිරියට පැමිණ ඇගේ දෙපා නැමැද අසුන් පැනැවූහ. "මෑණියනි, සමාවන්න, මට ඉක්මණින්ම කතී දැකගන්නට උවමනා වූ නිසා ඔබ එන තෙක් රැඳුනේ නෑ." ගාමිණී කියා සිටියාය.
"මා පැවසූ දෑ ගැන ඔබ ඇයට කීවාද?"
"තවම නැහැ."
"හ්ම්, ඉඳගන්න." ඇය දෙදෙනා දෙසම බලා කීවාය.
ගාමිණී සිය මව අසළින් අසුන් ගත් අතර, පහත් අසුනක් අසළක නොවූයෙන් කතී බිම වාඩි වූවාය. "කතී, මෙහෙන් වාඩි වෙන්න," ගාමිණී තමා අසළින් වූ හිස් අසුන පෑවේය, "මේ රාජ සභාව නෙවෙයි."
"මෙතැන පහසුයි රජතුමනි," කතී හිස බිමට යොමාගෙන පිළිතුරු දුන්නාය.
ගාමිණීද නැගිට ඈ සමග බිම වාඩි වන්නට සූදානම් වුවද "ගාමිණී!" යනුවෙන් ඇසුණු මෑණියන්ගේ අවධාරණාත්මක ඇමතුම හේතුවෙන් නතර විය. "මෑණියනි, මම පියාණන්ටනම් බොහෝ වර අකීකරු වී තිබෙනවා. නමුත් මා ඔබට අකීකරු වීමට කැමති නෑ. මා වෙනුවෙන් මෙතරම් කැපවීමක් කරන කතී වෙනුවෙන් මේ සුළු දෙය කරන්නට මට ඉඩ දෙන්න," ඔහු ඉල්ලා සිටියේය. මෑණියන්ගේ නිහඬ බව හමුවේ ගාමිණී කතී අසළින් බිම හිඳගත් පසු විහාර මහා දේවිය කටහඬ අවදි කළාය.
"ගාමිණී මගේ කුස තුළ පිළිසිඳගන්නට පෙර මා බැහැදකින්නට ගියා ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සාමණේරයන් වහන්සේ නමක්. උන්වහන්සේ සංසාර ගමන කෙටි කරගැනීමේ පූර්ණ අධිෂ්ඨානයකින් පසු වූයේ. නමුත්, මා උන්වහන්සේට ආරාධනා කළා කළුරිය කිරීමෙන් පසුව මගේ පුතු ලෙස ඉපදෙන්නට. මේ රට ජාතිය වෙනුවෙන්. උන්වහන්සේගේ ගමන මඳකට කල් දමන මෙන්. ඒ ගමන් මග මතු පරම්පරාව වෙනුවෙන් රැකගත යුතු හේතුව නිසාවෙන්. දෙතුන් වරක් ඇයැදීමෙන් පසුව උන්වහන්සේ ආරාධනය පිළිගත්තා." ඇය ගාමිණී වෙත හිස හැරවූවාය. "ඒ ඔබයි ගාමිණී."
විස්මයෙන් දෑස් අයාගත් කතී ගාමිණී දෙසට හැරී දොහොත් මුදුන් දී වැන්දාය. තමා පිළිබඳව මෙතෙක් නො අසා තිබූ කතාන්දරය ඔහුද අසා සිටියේ පුදුමයෙනි.
"ඔබ ගාමිණී අභය ලෙසින් මගේ කුසේ පිළිසිඳගත්තේ යම් අරමුණකින් පුත. එයට පරිභාහිර යමක් සිදු වුවහොත් ඔබේ ගමනට එය බාධාවක් වනවා සේම, එම ගමන් මගෙන් ඉවතට ඔබව ඇදගත් මමද මහා පවුකාරියක වනු ඇති." ඒ අසා සිටි කතීගේ දෑසින් සට සට ගා කඳුළු කඩා හැලෙන්නට විය. "ඔබට මා පවසන්න වැටහෙනවා නොවෙද කතී?" ඒ දුටු විහාර මහා දේවිය ඇසුවාය.
"එසේය දේවීන් වහන්ස. මා එතුමන්ගේ ගමනට බාධාවක් වන්නේ නැහැ. එසේ වුවහොත් ඒ පව මට කිසිදා ගෙවා නිම කරන්නට නොහැකි වේවි."
"කතී..." ඔහු වේදනාබර හඬින් ඈ ඇමතුවේය.
ඇය කඳුළු සලමින්ම ඔහු වෙත හැරුණාය. "ඔබතුමන්ගේ ගමන ඔබතුමන් යා යුතුයි. ඔබතුමන් රාජ්‍යත්වයට, සිහසුනට, කිරුළට සුදුසු දෑ කළ යුතුයි. නුසුදුසු දැයින් අත්මිදිය යුතුයි." අනතුරුව ඇය ඔහු දෙස බලා සිනහවක් පෑවාය. "මා ගැන දුක් වන්න එපා. ඔබතුමන්ගේ ගමනට බාධාවක් නොවී හිඳිනා පිනෙන් මටද මේ සසරින් එතෙර වීමට ඉඩ ලැබේවා කියලා මම පතන්නම්."
"කතී..." ගාමිණී කතා කළේ අපහසුවෙනි. විහාර මහා දේවියගේ මුහුණද අනුකම්පාවෙන් හා සෙනෙහසින් පිරී තිබුණි. "ඔබට ගෙදර යන්නට උවමනාද? ආපසු? ඌරු පැලැස්සට?" ගාමිණි ඇසුවේ මාළිගය තුල හුදෙකලා වීමට වඩා ඇයට එය සැනසීමක් වනු ඇතැයි සිතාය. නමුත් ඇගේ කඳුළු සැලීම එක් වරම වැලපීමකට පෙරලුනි. නොදැනුවත්වම ඇගේ දෑත් ඇගේ උදරය වටා වෙලී ගියේය. "කතී..." ගාමිණී සෙමින් ඇගේ දෙවුරින් අල්වා තමා වෙත හරවාගත්තේය. ඔහුගේ අත අල්ලාගත් ඇය එය රැගෙන තම උදරය මතින් තබාගන්නා අතරේ ඉකි ගසමින් වැළපෙන්නට විය. ගාමිණීගේ දෑස් විසල් විය. ඔහු සිය මෑණියන්ගේ මුහුණ දෙස බැලුවේය. අනතුරුව යළිත් කතී දෙස බැලුවේය. "ඇයි මට කිව්වෙ නැත්තෙ?" ඔහු මෘදු හඬින් ඇසුවේය.
කාරුණික සිනහවකින් ඔවුන් දෙදෙනා දෙස බලා සිටි විහාර මහා දේවිය නැගී සිටියාය. "කමක් නැහැ. අපි මේ ගැන වෙන වෙලාවක කතාබස් කරමු එහෙමනම්." ඇය ඔවුන්ගේ යහන් ගැබෙන් නික්ම ගියාය.
ගාමිණී කතීව නැගිටුවාගත්තේය. "මාව ගමේ යවන්ට එපා - මට ඔබතුමන්ගේ මෙහෙකාරියක් වෙලා හරි ඔබතුමා ලඟම ඉන්ට දෙන්ට..." ඇය ඉකි ගසමින් හඬා වැටුනාය.
"මොනවද මේ කියන්නේ? කතී... මා දිහා බලන්න..." ඔහු ඇගේ නිකටින් අල්ලා මුහුණ තමා වෙත හරවාගත්තාය. "නගා මුළින්ම කැමති දුවෙකුටද පුතෙකුටද?"
ඇගේ දෑස් විසල් විය. ඌරු පැලැස්ස ගම්මානයේදී පෙම් බැඳි ඒ තරුණයා අද රටක් දිනූ රජ කෙනෙකි. එහෙත් ඔහු තුළ සිටි තම ආදරවන්තයා තවමත් එලෙසමය. එහෙත් ඔහු වෙනුවෙන් තමා තුළ ඇති වගකීම ඇයට සිහිපත් විය. "මේ විහිළු කරන්ට වෙලාවක් නෙවෙයි. මව් දේවීන් වහන්සේ කීව දේවල් අහන්න ඕනෙ."
"ඒත් ඒවා මගෙ කතීට දරාගන්න අමාරු වෙයි."
"මං ඉවසන්නම්. සතුටින් ඒවා දරාගන්නම්. ඔබතුමා වෙනුවෙන්, අපි වෙනුවෙන්, මේ දරු පැටියා වෙනුවෙන්." ඇය මහත් සෙනෙහසින් සිය උදරය මතින් අත තබාගත්තාය. මේ භවයේදී මට ඔබවහන්සේගේ සෙවණේ ඉන්ට දෙන්ට. ඒ ඇති. ඊලඟ භවයෙදි අපිට අපේම විතරක් වෙන්ට පුළුවන් වේවි."
ගාමිණී සුසුමක් හෙලුවේය. "මට දුකයි කතී අපේ දරුවාටත් ඔබට මෙන්ම අසාධාරණකම් සිදු වේවිද කියා."
ඇය සුන්දර මඳ සිනහවකින් යුතුව කතා කළාය. "ඒ අසාධාරණයක් නොවෙයි හිමියනි. අපගේ දරුවාට ඔබතුමන්ගේ රාජකීය උරුමය ලැබුණත්, නොලැබුණත් එහි වෙනසක් නැහැ. මා පතනා එකම දෙයනම් අපගේ දරුවාද ඔබතුමන් මෙන්ම මනුෂ්‍යත්වයෙන් පිරුණු, ආදරය සෙනෙහස හඳුනන සොඳුරු හදවතක උරුමකරුවෙකු වීම පමණයි."
ගාමිණී ඈ දෙස බලා සිටියාය. එම අපරිමිත සෙනෙහස හමුවේ තමා කිනම් රජෙකුදැයි ඔහුට සිතුණි. ඔහු ඇගේ නළලත සිපගත්තේය. "දැන් දෙන්න මා අහපු පැනයට පිළිතුර."
ඇය ඔහු දෙස හිස ඔසවා බැලුවාය. යළිත් බිම බලාගත්තාය. "මට ඕනෙ අයියණ්ඩි වගේ පුතෙක්." ඌරුපැලැස්සේ ගුත්තාට පෙම් බැඳි කතී පිළිතුරු දුන්නාය.
ප. ලි.: වළව්වෙදි ලිව්වට වඩා අවසානයට තව පොඩි කොටසක් එකතු කළා. සාලිය කුමාරයාගේ උපත සිදු වුනේ කුමන කාල වකවානුවකද කියලා මම හරියටම කියන්න දන්නෙ නෑ. මගේ මේ නිර්මාණයට අනුවනම් එය සිදුවෙන්නේ ගැමුණු මහ රජුන් එළාර පරදවා සිරි ලක එක්සේසත් කිරීමෙන් පසුව. එය සමහරවිට වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා මෙය නිර්මාණයක් ලෙසින් පමණක් සලකා රසවිඳින මෙන් මේ කියවන ඔයාලා හැමෝගෙන්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
පින්තූරය මෙතනින්:
http://www.photos.lk/picture.php/202-moonstone/category/16-anuradhapura

මේක හිමින් සැරේ කියවලා කමෙන්ට් කරන්නම් සිත්තමී. නැත්නම් රස විඳින්ට බෑ.:)
ReplyDeleteහරි අක්කේ, කමක් නෑ, කතාව රසවිඳලාම කමෙන්ට් කරන්නකෝ. :)
Deleteලස්සනට ලියලා තියනවා සිත්තමී...
ReplyDeleteම්..ලස්සන කෙටි කතාවක් වගේ..
ගොඩාක් ස්තූතියි රූ. :) වළව්වෙදි පොඩ්ඩි අක්කා ලියපු පෝස්ට් එක දැකලා මේක එතන ලියන්න ටික කාලෙකට කළින් තමයි මම ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ මහරජ ගැමුණු පොත කියෙව්වේ. ඒ වදන් හුරුවත් ලැබෙන්න ඇති මේකට සමහරවිට.
Deleteකියල වැඩක් නෑ බං..උඹ නම් මාරම මාරයි......Brilliant, Excellent and simply out of this world……it’s the truth my dear….. honestly…:) :)
ReplyDeleteගාමිණී කියන චරිතය ඇත්තටම කියනවනම් මට හිතෙන්නෙ උභතෝකෝටික ගැටළුවකට මැදිවෙලා අසරණ වෙච්ච චරිතයක්...තම සිත පුරාවට පිරී උතුරායන ආදරය සහ තමන්ගෙන් රට දැය සමය වෙනුවෙන් වියයුතු යුතුකම...ඒ අතර අතරමං වුනු පෘථග්ජන පුද්ගලයෙක් විදිහට ගාමිණී දකින්නයි මම වඩාම කැමති.
පොඩ්ඩීස්ගෙ ඔය වියුණු සටහනටම මම ලියපු ටීකාව මෙහෙමයි.
ප්‍රේමයේ මුල් අදියර - කොත්මලේ කඩදොර කඳු පාමුලදී ඇය හිස තම උර මත හොවා ඔහු කියූ කවිය......
සෙනෙහස සොඳුර ඔබ වෙත පිදු හද සපිරි,
කඩදොර කඳුවැටිය සදිසිය නිල දැවටී,
නෙතුඅග රැඳෙන කඳුලක සිසිලස දැනුනි,
සසරක පැතුම හදවත ගැස්මෙක රැඳුනී,
මාගම අතැර ආයෙමි සිත් බිඳුනු නිසා,
පායන සඳ රැසින් ගනඳුර මැකුනු නියා,
පීදෙන ගොයම සේ නුඹ හසරැලින් දිනා,
පේමය විඳිමි නුඹ පිදු අන් කිසිත් එපා,
ප්‍රේමයක අවසානය? - රුවන්වැලි සෑය පෙනෙන තෙක් මානයේ මරණ මංචකයේ හිඳ හුදකලාව ඔහු කියූ කවිය -
උපතින් උරුම විය රට දැය රැකගන්ට,
ඉරණම නියම විය බැඳි පෙම ගිලිහෙන්ට,
සෙනෙහස එසඳ හඳ බැඳි නුඹ නමින් ලෙද,
කෙලෙසක මකා දමනෙම් මම් මා පියඹ,
දැය රැක ගැනුම මේ බවයෙදි උරුමය වී,
පෙම පුද කලෙමි ඒ වෙනුවෙන් සිත් තැවුලී,
මතු අත් බවේ නුඹ වෙනුවෙන් ඉපිද යලී,
සෙනෙහේ සපිරි වත ළඳ මම සිඹින්නෙමි.
Thank you so much Ravi Ayya. Your heartiest praise made me speechless. :)
Deleteඅයියගේ මේ ලස්සන ටීකාව මට මතකයි. ඒක ලියන්න කළින් එතන ලියපු විකාර ටීකාවත් මතකයි. :) ඒක කියවලා මං අසූ හාරදාහට තද වෙලා බණින්න කට හදාගෙන ඉන්න අල්ල පනල්ලෙ තමයි අයියා ඔය ලස්සන කතාව දැම්මේ. එතන දැම්මේ අයියගේ හිතේ තියෙන කතාවෙන් බාගයයිනේ. මුළු කතාවම ඉක්මණට කියවන්න මං ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ. ඉතිහාසයේ මං වැඩියෙන්ම ආදරේ කරන චරිතය මේ. ඊලඟට එතුමන්ගේ මෑණියන්.
මේ කවි පුදුම ලස්සනයි අයියේ. අයියගෙ කවි කොහොමත් ලස්සනයි තමයි. මේ කවි පන්ති දෙක එක පෙළට කියෙව්වාම, ඒ අවස්ථා දෙකේදී ඒ චිත්ත රූප හිතේ මවාගෙන කියෙව්වාම ඇහැට කඳුලක් එනවා.
/*මතු අත් බවේ නුඹ වෙනුවෙන් ඉපිද යලී,
සෙනෙහේ සපිරි වත ළඳ මම සිඹින්නෙමි.*/
හැම ආදරවන්තයෙකුගේම ප්‍රාර්ථනාව...
/ ඒක ලියන්න කළින් එතන ලියපු විකාර ටීකාවත් මතකයි. :) /
Deleteඒ විකාර කතාව ලිව්වෙ පොඩි කුමාරිස්ගෙ ඔය පෝස්ට් එකට නෙවෙයි බොල...ඔයිට කලින් උන්දැ ලිවෙ අසෝකමාලා ගැන ..ආන්න ඒකට....හෙහ්, හෙහ්,
මේ ඊට පස් සෙ මම එතනම ලියපු ගාමිණීගෙ කතාවෙ අන්තිම හරිය...
කඩදොර සහ තිස්පනේ කඳු වැටි වෙනදා මෙන්ම මිහිදුම් සළු තිර පටලාගෙන සිටියේ ලජ්ජාශීලී යොවුන් තරුණියන් යුවලක සේය.දැඩිව හිරු පායා මුදුන් වී තිබුනද වරින් වර ඒ වසා පැතිරීයන වලාවන් කරණ කොටගෙන හාත්පස පතිර පැවතියේ ගතට සුවදායක වූ සිසිලසකි.
පහල මාස්වෙල වෙල්යාය අස්වැද්දීම් කටයුතු වල නිරත වන්නාවූ තම පියාණන් ඇතුලු පිරිසට දිවා ආහාරයද රැගෙන මහ නියර ඔස්සේ සෙමෙන් සෙමෙන් පිය මනින්නාවූ රන්මැණිකාගේ සිතෙහි එකිනෙක පරයා ඉස්මතුවන ඒ හා සමඟම යලි කිඳාබසිනා සහස් සංඛ්‍යාත වූ හැඟුම් සමුදායකි.
කාත් කවුරුවත් නැති අනාථ වූ කොළු ගැටයකුසේ කෘශ වී ගිය සිරුරින් සහ උරතෙක් වැඩුනු අපිරිසිදු කෙස්සෙන් යුතුව, මීට වසර පහකට පමණ පෙර එක් අනෝරා වැසි වැටෙන, ගොම්මන් අඳුර තිස්පනේ කඳු මුදුන මතින් නිම්නයට පහත්ව එය ගිල ගන්නා සැඳෑ යාමයක, ඔහු සපැමිණි අයුරු....මුලුතැන්ගෙයි රත්වන් ගිනිදළු විහිදුවමින් දැල්වෙන ලිප අසල ඇණ තබා හිඳගෙන, සීතලෙන් ගැහෙන දෑත් උණුසුම් කර ගැනීමට අසාර්ථක තැතක් දරමින් උන් ඔහු වෙත මෑණියන්ගේ සහ වැඩිමහල් සොහොයුරියගේ විරෝධතාවයන් මධ්‍යයේ රෙදි කඩක් ගෙන ගිය අයුරු...
'' මේ..... මේ රෙදි කෑල්ලෙන් වත් ඔය තෙත මාත්තු කර ගන්ට හොඳා ''
'' පින්සිද්දවෙච්චාවෙ මේ නංගිට....'' දැළි රැවුළු වැඩීගිය මුහුනෙහි ඔහු සුදුවන් වූ සම දසන් දක්වා සිනාසුනු විට මතුවූ සිරියාව..ඒ සමඟම ඒ කාන්තිමත් දෑසෙහි වූ අනන්තය තෙක් විහිද යතැයි එදින ඒ මොහොතේම ඇයට උදක්ම හැඟීගිය ගැඹුරු වූ බැල්ම....
ගුත්තා...ඔව් ඔහු ගුත්තා....තම ගෙදරම වාසය කරමින් තම පියාණන්ගේ ගොවිතැන් කටයුතු වලට සහයවූ ඔහු කෙරෙහි තම සිත දිනෙන් දින ඇදී ගිය අයුරු....සසර සරනා තුරාවට පෙර බවයන් දහස් ගනනක දී මෙලෙසම ඔහු හා එක් මඟ පියමැන ඇති බවට කිසිදු සැකයකින් තොරව තම සිතට ස්ථිරසාර ලෙස ම ඇතුළු වී යලි නොමැකෙන සේ පැලපදියම් වූ ඒ නුපුරුදු වූ හැඟීම...ඒ ආදරයද?....ඒ සෙනෙහස ද?...අයාලේ පැමිණි නන්නාඳුනනා කොළු ගැටයෙකුට...කාගේ කවුරුදැයි කිසිවකුත් නොදන්නා වූ කොළු ගැටයෙකුට....උපන් දා සිට මහත් ආදරයෙන් සෙනෙහසින් හදා වඩා ගත් හදාවඩාගත් මව්පියන් පවා අත හැරදමා යා හැකි පමන ඇතිවූ මේ හැඟීම නැතහොත් මේ බන්ධනය...ඒ ආදරයද?...ඒ සෙනෙහසද?
ඔහු හා පෙමින් වෙලී ගොස් ගෙවූ ඒ සොඳුරු අතීතය...
එක් දිනෙක ඉතා කලබලෙන් පැමිණි ඔහු කඩුල්ල අසල වූ රුක් අත්තන ගස අසලට කැඳවාගෙන ගොස් මෙසේ පැවසූ අයුරු...
'' රනී....කාවන්තිස්ස රජ්ජුරුවො මියගියා කියල මට පන්සලේදි ආරංචි උනා...මම හෙටම මාගම් පුරේ යන්න ඕන...''
'' ඒ මොකටද එහෙ යන්නෙ?.....අයියගෙ කවුද එහෙ ඉන්නෙ?...මට ඔය විස්තර මොකවත්ම මේ වෙනකල් කියල නැහැනෙ...''
'' මම යන්න ඕන කිව්වෙ මේකයි..දැන් ගැමුණු කුමාරය අනිවාර්යයෙන් රට බේරාගන්න යුද්දෙ පටන් ගන්නව...මමත් ඒක එකතුවෙන්න ඕන...ඒකයි මම මේ යන්න හදන්නෙ...''
Delete'' ඔය අයිය ගැමුණු කුමාරයව දන්නවද?....ඔන්න මට පහුගිය දොහක ආරංචි උනා ගැමුණු කුමාරය රජ වාසලින් පැනල ගිහිල්ලය කියල...''
'' නෑ.... මම එහෙමට අඳුනන්නෙ නම් නෑ...'' ඔහු පැවසුයේ ඉවත බලාගෙනය..
පසුදින උදෑසනම තමා බැඳ දුන් බත් මුලද ඔලගුවක ලාගෙන ඔහු පිටත්ව ගිය අයුරු....
තම නලලත දැඩි සෙනෙහසින් සෙමින් සිපගෙන ඔහු තෙපලූ වදන්...
'' රනී.....සේනාවත් අරගෙන අනුරාදපුරේ යන්න කලින් මම එනව ඔයාව එක්කගෙන යන්න. ඒක පොරොන්දුවක්...මම පොරොන්දු කඩ කරන්නෙ නෑ..විශේෂයෙන් ඔයාට වෙන පොරොන්දු මම කඩ කරන්නෙ නෑ...''
මෙතෙක් ඔහු කෙරේ නොදුටු අපූර්ව තේජස්වී භාවයක් එක්වරම දුටු හෙයින් තමා වික්ශිප්තව ඔහුගෙන් මෙසේ විමසූ අයුරු...
'' මේ... සේනාව අරන් අනුරාදපුරේ යනවය කියන්නෙ හරියට ඔයා යනව වගේනෙ...දැන් මේ ඔයාද රට බේරගන්න යන්නෙ...නැත්නම් ගැමුණු කුමාරයද? ''
ඒ පැනයට පිළිතුරු නොදී ඈත කඳු වලල්ල ඉහලින් අඳුර කෙමෙන් පහව යන අයුරු මොහොතක් බලා සිටි ඔහු ඉන්පසු කතා කලේ ඉවත බලාගෙනමය..
'' ගැමුණු කුමාරයගෙ අරමුනයි මගේ අරමුනයි දෙකම එකයි ...මේ රට බේර ගන්න එක...ඒත් මේ ගුත්තගෙ තවත් අරමුනක් තියනව....ඒක තමයි......''
ඔහු කතාව නවත්වා මොහොතක් තමාගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටි අයුරු...
'' ඒ අරමුන තමයි කවදා හරි මගෙ රනීව හොයාගෙන ආපහු එන එක..මා එනකල් බලා ඉන්න හොඳේ..'' අවසන් වරටද තම නලල නැවත වරක් සිපගත් ඔහු හිමිදිරි අඩ අඳුරේම නොපෙනී ගිය අයුරු...
ඒ මීට මාස හයකට පමන පෙරය....
එදාසිට අදවෙන තෙක් ඔහු එනෙතෙක් තමා බලාසිටිඅයුරු..එසේම කවදා හෝ ඔහු එන තුරු කල්ප කාල අවසන්වනතුරු හෝ බලා සිටිමැයි තමන්ටම සපථ කල අයුරු...
මඳක් වෙහෙස දැනෙන්නට වූයෙන් මහ නියර අසලම වූ නුග ගසෙහි සෙවනෙහි හිඳගත් ඕ තොමෝ රිදුම් දෙන තඩිස්සි වූ දෙපා දිග හැරගත්තීය. එකෙනෙහිම ඇගේ කුස තුල වසන්නාවූ අමුත්තා තමා පිළිබඳව විටින් විට කරන දැනුම් දීමක් මෙවිටද කල හෙයින් සිනාමුසු මුහුනින් යුතුවූ ඕ නෙරාගිය කුස පිරිමදින්නට වූවාය.මෙසේ කොපමන වේලාවක් ගතවූයේදැයි ඇය ද නොදන්නීය. බොහෝවිට නුග සෙවණේ සිසිලස කරන කොටගෙන ඇය අඩ නින්දකට පත්වූවාද විය හැක.
'' රනී......''
ඇය එක්වරම සිහිනයක් දුටුවාද නැතහොත් ඒ හඬ සත්‍ය වශයෙන් සවනට පතිතවූයේද යන්න පිළිබඳව සිහි එලවා ගත නොහුනු ඈ විගස දෙනෙත් විවර කලාය.
ඔහු ඇවිත්.......ඔහු ඇවිත්....කිව්වා වගේම ඔහු ඇවිත්...
'' අයියණ්ඩි...ආයෙම ආවා....'' ඈ කොහොමදෝ කියා ගත්තාය.
'' ඔව් රනී මම කිව්වනෙ මම ආයෙම එනවයි කියල...ඔන්න මම ආයෙම ආව...අයෙ කවදාවත් නොයන්නම......''
හපොයි ඇත්ත නේන්නං. මට ඒ දෙක ටැපලිලානේ. අනේ මේ ලස්සන කතාව ඔක්කොම කියවන්න ලැබෙනකල් කොහොම ඉවසං ඉන්ඩද... :(
Deleteස්තූතියි නංගි...මේ කතාව ඉතුරු ටිකත් ලියන්නම ඕන...එහෙම ලියන්න අභිප්‍රේරණ ( Motivation ) තමයි උඹලගෙ මේ පැසසුම්....හෙහ්, හෙහ්,
Deleteතව කතාවක් තියනව මතකෙයි?....විජය කුවේණි කතාව...හෙහ්, හෙහ්,
මතකයි මතකයි. ඒ කතාවනෙ අයියා ඔහොම බාගෙට ලියලා නවත්තපු පළවෙනි එක. තව කීයක්නං ඔහොම තියෙනවද මං අහන්නෙ.... අනේ අර දඩයක්කාරයව සුද්දිත් එක්කම කළු කුහරෙකට තල්ලු කරලා දාලා මෙව්වා ලියන්ඩකෝ.......
Delete