34. මනමාල යකා...

වළව්වට යක්කු ආව දොහේ තමා ඕං මං මේ කතාව ලීවේ... :)


"සිරිමලී... දෝණියේ... විගහට කිරි ටික දොවාගෙන ආවනං... සුනංගු නොවී කමතට යන්ට එපායැ මේ ටිකත් ඇන්න..."

අම්මගෙ කතාව ඉවර වෙනකොටත් සිරිමලී හිටියෙ පිටිපස්සෙ මිදුලෙ. එදා සිරිමලීගේ අප්පච්චියි මල්ලියි දෙන්නම සියදෝරිස් මාමලායෙ කුඹුරු වඩට උදව් දෙන්ට ගොහිල්ලා. ඒ හන්දයි වෙනදා අප්පච්චී කරන කිරි දොවන රාජකාරිය සිරිමලීට බාර උනේ.

කුකුළන්ගෙ හැඬලීම ඇහිලා වටින් ගොඩින් ඉර එළිය එබිකං කරන්න පටංගන්න හිමිදිරි පාන්දරට එළියට බහින්න එයා කොහොමත් හරිම ආසයි. යාන්තමට පැතිරීගෙන එන ඉර එළියෙන් දිලිහෙන පිණි බින්දු එයාට පෙනුනේ රෑ අහසේ පායලා තිබ්බ තරු කැට බිමට බැහැලා වාගෙ. කහ පාට පැතිරිච්ච රතු පාට ආකාහෙ පසුබිම් කරගෙන සිරිපාද කන්ද සිරිමලීලගෙ ගෙදරට යස අපූරුවට පේනවා.

ගව මඩුව තිබ්බේ ගෙයින් ටිකක් ඈත, ඒත් ගේ පේන දුරින්. සුද්දි හිටියේ මඩුවෙ වම් පැත්තෙ. රත්තයි, සුද්දිගෙ පැටියා පැඟිරයි හිටියේ මඩුවෙ දකුණු පැත්තේ. පැඟිරට ඇති වෙන්න කිරි ඉතුරු කරලා තමයි හැමදාම සුද්දිගෙන් ගම ගෙදර කිරි දොවාගන්නේ. කිරි දොවාගෙන අහකලා පැඟිරව ලෙහුව හැටියේ අම්මා ලඟට එක පිම්මට පනින හැටි දැක්කම සිරිමලීට මතක් වෙන්නෙම මල්ලිගෙ පුංචි සන්දියෙ දඟ වැඩ.

සිරිමලී මඩුවට යද්දි රත්තා ලඟ පිදුරු ගොඩට හේත්තු වෙලා පැඟිරා හොඳ සැපට නිදි. රත්තාත් ඒ ලඟින් නිදා වැටි වැටී වමාරලා කකා හිටියේ. සුද්දි හිටියේ සමනළ කන්ද දිහාවට හැරිලා. සිරිමලී එන බව දැනගෙන හිටියා වගේ එයා ලඟට එද්දිම සුද්දි එයා දිහා බලලා ඔළුව වැනුවා. "කොහොමද සුද්දියේ..." සිරිමලී අතේ තිබ්බ පනිට්ටුව බිමින් තියද්දී නැගිච්ච සද්දෙට පැඟිරා ඇහැරුණා. ඒ එක්කම මඩුවේ එහා කෙළවරේ මොකද්දෝ කලබලයක් සිරිමලීට දැනුණා. සුද්දිගෙයි රත්තාගෙයි ඔළුත් ඒ පැත්තට හැරුණ බව සිරිමලී ඇස් කොණෙන් දැක්කා. පනිට්ටුව බිම තිබ්බ සිරිමලී කෙළින් වෙලාවත් හිටියෙ නෑ මේ හැමදෙයක්ම දැනෙද්දි. එයා සුද්දිට මුවා වෙලා හෙමින් හෙමින් කෙළින් උනා.

කළුම කළු පාට යකෙක්!!! පිදුරු ගොඩ උඩ හිටගෙන!!! හපෝයි!!!

සිරිමලීගේ අතේ තිබ්බ කලේ බිම වැටිලා කුඩු උනා. යටි ගිරියෙන් කෑ ගැහෙන්න ආපු හින්දා අත් දෙකෙන්ම කට වහගෙන සිරිමලී පස්සෙන් පස්සට ගියේ ආපහු හැරිලා ගෙදර දුවන්න හිතාගෙන. ඒත් මඩුවෙ ගැට්ටක කකුල හැපිලා එයා ඇදගෙන වැටුනා. යකා හෙමින් හෙමින් සිරිමලී දිහාවට එන්න ගත්තා. "ලඟට එන්න එපා.. අනේ එපා...." සිරිමලීගේ මිමිණීම ඇහුණේ එයාටම විතරයි.

පිදුරු ගොඩ ගහලා තිබ්බ අඳුරු මුල්ලෙන් එළියට ආපු යකා හිතපු තරම්ම කළු නෑ කියලා සිරිමලී දැක්කා. හතර රියනක් විතර උස බොහොම තරුණ පුරුසයෙක්. උඩට ඇඳුමක් ඇඳලා උන්නෙ නෑ. ඇඳං උන්නු සුදු පාට සරම දණිහ ලඟින් දෙකට නවලා. ඉනේ බැඳං උන්නු කළු පටියට වඩා තරමක් හීනි කළු පටියක් නලල වටේ ඔතං හිටියා. සිරිමලීට දැනුනා තමංගේ මිමිණිල්ල නතර වෙලා වග. ඒ වෙනුවට පපුව මහා හයියෙන් ගැහෙන සද්දේ එයාට ඇහුනා. කවුද මේ... මෙහෙ මොකද කරන්නේ... වැටිච්ච හැටියෙංම එහෙමම ඉඳගෙන සිරිමලී කල්පනා කළා.

ගොපලු යකා!!!

සිරිමලීට එකපාරටම මතක් උනා. පපුවෙ ගැස්ම තවත් වැඩි උනා. කෝ එතකොට කෙවිට... දෙයියනේ... මේ එන්නෙ උස්සගෙන!!! යකා අතේ මිටමොලවගෙන හිටපු කෙවිට දිහා සිරිමලී ඇස් ලොකු කරගෙන බැලුවා. දැං ඕකෙන් ගහලා මාව මරයි! නැත්තං මාවත් යකෙක් කරයි! අම්මේ.... සිරිමලීගේ ඇස් දෙකට කඳුළු උනාගෙන ආවා. එයා හෙමිහිට ඔළුව හරෝලා සුද්දී දිහා බැලුවා. සුද්දි ලඟ කිරි කඳුලක්වත් ඉතිරි වෙලා නැති බව එයාට එක බැල්මෙන්ම තේරුණා. ඔක්කොම බීලා!! පැඟිරටවත් තියලා නෑ!!! යකෙක්නේ, කොහෙද පැඟිරා ගැන හිතන්නේ!!!

යකා දැං ලඟ ලඟම. මේ ගොපළු යකා තමයි කියලා සිරිමලීට දැන් කිසිම සැකයක් නෑ. තව එක අඩියක් යකා තමුන් දිහාවත තිබ්බ හැටියේ එච්චර වෙලා සිරිමලීගේ යටි ගිරියේ හිර වෙලා තිබ්බ කෑ ගැහිල්ල එළියට පැන්නා. ඒ එක්කම යකා නතර උනා. දැං දැං ඇඟට පනින විදිහේ බැල්මකින් සිරිමලී දිහා ඔරවලා බලපු යකා මඩුව පිටිපස්සේ වැටිලා තිබ්බ වේලිච්ච දෙල් කොළ කොස් කොළ පාගගෙන කැලේ කඩාගෙන දුවන සද්දෙ සිරිමලීට ඇහුනේ හීනෙන් වගේ. කෑගැහිල්ල ඇහිලා අම්මා දුවගෙන එද්දි සිරිමලීට සිහියත් නෑ.

වෙද මාමගෙ බේත් කසාය බීලා තුන් දොහකට පස්සෙ උණ බැහැලා ගියාට සිරිමලීගෙ තෝන්තු ගතිය ඇරිලා ගියේ පන්සලේ හාමුදුරුවො පිරිත් කියලා නූලකුත් ගැටගැහුවට පස්සෙයි. ඒ සිද්දියෙන් පස්සේ අම්මා සිරිමලීව කොයිම මොහොතකදිවත් තනි පංගලමේ ගෙයින් එළියට බැස්සුවේ නෑ. ඒ අතර ගොපලු යකාගේ කතාව සිරිමලී දැකපු, කියපු විස්තර විතරක් නෙවෙයි, නොදැකපු නොකියපු විස්තරක් එක්කාසු වෙලා ගම පුරාම පැතිරිලා ගියා.

ඔහොම අවුරුද්දක් විතර ගෙවුනා. සිරිමලීගේ කල වයසත් හරි. අම්මයි අප්පච්චියි සිරිමලීට මඟුල් තුලා හොයන අතරේ ගෙදරට කපු මහත්තයෙක් ආවා බොහොම දුර බැහැරින්. ඒ කතා කරපු පවුලෙ උදවිය ඊලඟ සුමානෙ එහෙ ඇවිත් ගියා. සිරිමලීගේ හිත ගියා මනමාලයාට. එහෙනුත් දන්නලා එව්වා එහෙන් මනාප බව. සිරිමලීගේ අම්මයි අප්පච්චියිත් කදමළු බැඳගෙන එහෙ ගිහිං ආවා. මාස දෙකකින් මඟුල් උත්සවේ ගන්න තීන්දු උනා.

ඒ අතර දවසක්දා මනමාලයා සිරිමලීලගෙ ගෙදර ආවා. දවල්ට කෑම එහෙම කාලා දෙන්නා තනි වෙච්ච වෙලාවක් බලලා මනමාලයා කතා කළා.

"මලී කාලෙකට කළින් ගොපලු යකාට බය උනයි කියන්නේ හැබෑද?"

"බණ්ඩාර අයියට කවුද කීවෙ?" සිරිමලී ඇහැව්වෙ ලැජ්ජාවෙන්.

"මලයා."

"ඒකටත් ඕන් නැති දෙයක් නෑ."

"ඕක උනේ ඒ අවුරුද්දෙ දුරුත්තෙ පෝයට පහුවෙනිද නේද?" බණ්ඩාරගේ මූණෙ තිබ්බෙ තේරුං ගන්න බැරි අමුතු බැල්මක්.

"මේ කොළුවා අකුරක් නෑර ඔක්කොම කීවද?" සිරිමලී කම්මුලේ අතකුත් තියාගත්තා.

"නෑ නෑ, අක්කා ගොපලු යකාට බය උනා කීවා ඇරෙන්න වෙන මොකවත් මලයා කීවෙ නෑ.."

"එහෙනං? මේ දින වකවානු හිටං හරියටම දන්නේ?"

"ඒ පෝය දොහේ මහ කපොල්ල ගාවදි සුද්ද්දංගෙ අස්ස කරත්තයක් මංකොල්ලකාපු ආරංචියක් ආවා නේද?"

"හප්පොච්චියේ, පෝයකටවත් මේ මංකොල්ලකාරයන්ට නිකා ඉන්ට බැරි හැටි!"

"මමයි බොල කෙල්ලේ එදා උංව මංකොල්ල කෑවේ!"

"ඈ?!" සිරිමලී ඉඳං උන්න බංකුවෙනුත් නැගිට්ටා.

"අපේ රට හූරගෙන කන එවුංගෙන් එව්වා ආපහු අරගත්තහම මක් වෙනවද?"

"අයියා ගොවිතැන් කිව්වෙ කරන්නෙ? දෙයියනේ, මංකොල්ලකාරයෙක් වග දන්නවනං අප්පච්චිලා දැම්මම අයියව ගහලා පන්නාවි!"

"මං ගොවිතැන් තමයි කරන්නේ. ඒක බොරු නෙවෙයි. මයෙ යාළුවො කාණ්ඩෙත් එක්ක එක්කාසු වෙලා ඉඳ හිට ඔහොම වැඩත් කරනවා."

"හා ඉතිං දැං ඔය මංකොල්ල කතාවෙයි, ගොපලු යකාගෙ කතාවෙයි සම්බන්දෙ මොකද්ද?"

ඒ ගමන බණ්ඩාරගෙ මූණෙ ඇඳුනෙ ලස්සන හිනාවක්. "හිතාගන්ට බැරිද?"

"මං කොහොමෙයි හිතාගන්නෙ? මට දිවැස් තියෙන එකක්ය?"

"මමයි මලී එදා ගව මඩුවෙ හිටියෙ. ඔයා බය උනේ මට." එහෙම කියලා බණ්ඩාර මහ හයියෙන් හිනාවෙන්න ගත්තා.

සිරිමලී ටිකක් වෙලා එයා දිහාවෙ ඇස් ලොකු කරගෙන බලා හිටියා. ඊලඟට හීන් හිනාවකුත් එක්ක ආයෙ ඉස්සරහට හැරුණා. "යන්ඩ මෙතන බොරු නොකියා."

"බොරු නෙවෙයි... ඔයා මට බයවෙලා දුවන්න හදද්දි වැටුණහම මං ලඟට එන්න හැදුවෙ තුවාල උනාද බලන්න. කොහෙද, මෙතන මරහඬ දෙන්න තියාගත්තනෙ."

එ ගමනනං මලීට සැක හිතුනා. සිද්ද වෙච්ච දේ ඒ හැටියෙන්ම දන්නවා. ඒ උනාට... "එදා උන්න යකා අයියට වඩා කළුයි."

"මං එදා ඇඟ පුරා දැලි ගාගෙන උන්නේ."

"සුද්දි ලඟ කිරි බින්දුවක්වත් ඉතිරි වෙලා තිබ්බෙ නෑ. මනුස්සයෙකුට පුළුවනෑ ඔහොම කිරි බොන්න?"

"එදා - ඊට කළිං දා - හැන්දෑවේ මං මහ කපොල්ලේ ඉඳං දුවන්න ගත්තු ගමන ඔයගොල්ලන්ගෙ ගමට එනකල්ම එක හුස්මට දිව්වා. කරත්තෙ කොල්ලකන්න ගද්දි මං දැක්කෙ නෑ පිටිපස්සෙන් තව එවුන් රොත්තක්ම එනවා. උන් සේනාවම මයෙ පස්සෙන් එළවන්න ගත්තා. දුවලා දුවලා ඇවිත් මේ ගම්මානෙට සේන්දු වෙද්දි පහුවදා එළිවෙන්නත් ලඟයි. ඇවිදලා ඇවිදලා මං නතර උනේ නගාලයෙ ගව මඩුව ලඟ. මහන්සියටත්යි, බඩගින්නටයි මං එළදෙනගෙ කිරි ටික බීගෙන බීගෙන ගියා. ඩිංගක් මහන්සි ඇරලා ආපහු යන්න හිතා උන්නත් මට එහෙමම නින්ද ගිහිං. ඇහැරුණේ නගාගෙ බාල්දියෙ සද්දෙට."

"මදෑ!"

"එදා ඔයාව දැක්ක වෙලාවෙ හිතේ ඇති වෙච්ච කැමැත්තට තමා මං අපෙ මාමව එව්වෙ මෙහාට."

"හප්පොච්චියේ! කෙවිටකුත් අතේ තිවුන හන්දා මං උන්නෙම ගොපලු යකා තමා කියලා."

"ඇයි හත්වලාමේ, මයෙ කඩුව පෙනුනේ කෙවිටක් වගේය?" බණ්ඩාර ආයෙමත් හිනාවෙන්න ගත්තා. ඒ වෙලාවේ ගව මඩුව දිහාවෙන් ඇහිච්ච උම්බෑ සද්දෙත් එක්ක ආපහු ඒ පරණ සිද්දිය මතක් වෙච්ච සිරිමලීත් ඒ හිනාවට එකතු උනා.



8 comments:

  1. මට මතකයි ආපු යකා...:)

    ආපහු සැරයක් වලව්වේ ගත කරපු ඒ අහිංසක, කාලෙට ගියා සිත්තමී...

    මේකට රවිගෙන් වැටෙන කමෙන්ටුව ගැන මම මේ කල්පනා කලේ. මේ දවස්වල උන්දෑ ඉන්නේ නිකං කරකවලා අත ඇරලා වගේ. :D

    ReplyDelete
    Replies
    1. /*ආපහු සැරයක් වලව්වේ ගත කරපු ඒ අහිංසක, කාලෙට ගියා සිත්තමී...*/

      වැඩි ඈතක නෙවෙයිනේ අක්කේ ඉතිං මේ ගිය අවුරුද්දේ මැද හරියෙදි විතර මං වළව්වෙ ලියපු එකක්නෙ මේ. තව ලියමු ඉතිං මේ වගේ ඒවා. මං කිව්වනේ, අක්කගෙ සමහර පෝස්ට් තියෙනවා මට කතන්දර ඉබේ ලියවෙන. :)

      /*මේකට රවිගෙන් වැටෙන කමෙන්ටුව ගැන මම මේ කල්පනා කලේ. මේ දවස්වල උන්දෑ ඉන්නේ නිකං කරකවලා අත ඇරලා වගේ. :D*/

      හැබෑව හැබෑව, මාත් මේ බලං ඉන්නේ ඒක තමයි. හැබැයි අක්කේ මේ දවස් වල විතරක් නෙවෙයි කොහොමත් උන්දෑ ඉන්නේ ඔය වගේ තමයි. අර පෝස්ට් එකයි, වළව්වෙ කමෙන්ට් එකයි දැක්කහම හිතුනේ ඒ කැරකිල්ල වැඩි වෙලා කියලා තමයි ඕං. :D :D :D

      Delete
  2. / පනිට්ටුව බිම තිබ්බ සිරිමලී කෙළින් වෙලාවත් හිටියෙ නෑ මේ හැමදෙයක්ම දැනෙද්දි. /

    කොහේද බං පනිට්ටු තිබ්බෙ සුද්දගෙ කාලෙ?.....ඉඳහං මම මෙතන වෙච්චි දේ කියන්න ආය නෑ කිරි ගහට ඇන්න වගෙ..

    අර ජානිස්ගෙ බාල්දි කතාව මේ දවස්වල උඹේ යටි හිතේ වැඩ කරනව.ඔෆිස් එකේ හිටියත බස් එකේ යද්දිත්, සිත්තරා එක්ක බයික් එකේ යද්දිත් උඹට පේන්නෙ බාල්දි. කොටිම්ම නිදාගත්තත් හීනෙං පේන්නෙත් බාල්දි...ඕකට කියන්නෙ නඟේ අවිඥාණික චිත්ත පරිවේෂණීය සංකූලතාව ( Sub conscious mental obsession syndrome)... ඔන්න ඔය නිසා උඹ නොදැනුවත්වම උඹේ කතාවට ආව බාල්දියක්..ඉස්සරහට උනත් එහෙම වෙන්ට ඉඩ තියෙනව

    ඔය අසනීපෙ නිට්ටාවටම සුව වෙන්ට නඟේ එකම ප්‍රතිකාරයයි තියෙන්නෙ...දන්නවනෙ අර මකුළුවන්ට බය නැති කරන්ට ඕන ප්ලාස්ටික් මකුළුවෙක් වගෙ එකෙක් අරගෙන අතේ තියාගෙන ඉන්න එකය කියල...ඒ නිසා සිත්තමියෙ උඹේ Obsession with Buckets වැඩේට කරන්ට තියෙන්නෙ ගෙදර හැම තැනම නිතරම ඇහැට පේන්ට තියාපං බාල්දි..එහෙම තියන එක අජූවයි වගේ නං සිත්තරාට කියාපං ඒ බාල්දි වල අඳින්ට කියාල සිත්තර...නොයෙක් පාට යොදල...මූණු...ගංගා . ඉර බැහැගෙන යන එව්ව ..ඔන්න ඔය වගෙ...කියන්ටත් බෑ බොල කාලෙකදි ඒකත් එක කලාවක් වෙයිද කියල...දන්නවනෙ චන්ද්‍රගුප්ත තේනුවරගෙ Barrelism...ඒ වගෙ මේකට අපි දාමු Bucketism කියල..:) :)

    ඕන්න සිත්තරාගෙ නම ලෝක ප්‍රසිද්ද වෙයි ......කාටද ඉතිං ආඩම්බර?....හෙහ්, හෙහ්,

    ReplyDelete
    Replies
    1. ඕං කිව්වා ඉතිං. හරි හරි, මේ සිරිමලී කෙල්ල පනිට්ටුවත් අරං තකහනියෙම හරක් ගාලට ගියේ ඒක උඩ නැගලා ගොපලු යකාට හාද්දක් දෙන්න තමයි. :P

      Bucketism. ෂා, නියම අයිඩියා එක අයියේ. ඔන්න මේක මං සිත්තරාට කියන්නං. වැඩේ නැගලා ගියොත් එහෙම අයියට අපි ගානේ බාල්දියක් තැපෑලෙං එවන්නංකෝ හරිද? තේනුවර සර් අපේ සිත්තරාගෙ ගුරුන්නාන්සේ කෙනෙක් තමා.

      Delete
  3. මාර රොමෑන්ටික් කතාවක්..ලියලා තියන විදිහට කතාව මැවිලා පේනවා..

    ReplyDelete
    Replies
    1. මැවිලා පේනවා? බලාගෙන ඈ, ගොපලු යකාව දැකලා බය හිතෙයි... :D

      ගොඩාක් ස්තූතියි රූ. :)

      Delete
  4. අවිඥාණික චිත්ත පරිවේෂණීය සංකූලතාව :-o දෙයියනේ එහෙම ගරු ගාම්භීර ලොකු ලෙඩක් හැදිලා මලත් මොකෝ කියලා හිතුනා මට ;) භාෂාව අමුතුයි .. වෙනස් ලියවිල්ලක් .. වෙනස ලස්සනයි .. !!

    ReplyDelete
    Replies
    1. /*අවිඥාණික චිත්ත පරිවේෂණීය සංකූලතාව :-o දෙයියනේ එහෙම ගරු ගාම්භීර ලොකු ලෙඩක් හැදිලා මලත් මොකෝ කියලා හිතුනා මට*/

      නැතුව නැතුව, ඒකනේ මං ඔය ලෙඩේ තියාගෙන කිසි බයක් හැකක් නැතුව ඉන්නේ. ඔය රවි අයියටත් තියෙනවලු ඔය ජාතියෙම ලෙඩක්, ඒකට කියන්නේ 'රචක තිරිංග ක්‍රියා විරහිත වීමේ ව්‍යාධිය' කියලලු. ඒ ලෙඩේ නමත් එතුමාගෙම තමයි ඕං. :D :D :D

      ස්තූතියි යාළුවේ. මේ වෙනසට මාත් ආසයි. අතීතයට ගිහිං ඉඳගෙන ලිව්වේ. :)

      Delete