Showing posts with label සල රූ සිතුවම්. Show all posts
Showing posts with label සල රූ සිතුවම්. Show all posts

227. රෝමයේ නිවාඩුවක්: ජෝ බ්‍රැඩ්ලිගේ වාර්තා ලිපිය

මට තාම මේ රෝම නිවාඩුව ඉවරයක් කරන්න හිතක් නෑ. ඔයාලත් එක්කම ඒ  නිවාඩුවට එකතුවෙන්න හිතාගෙන මං ඔන්න ඔයාලට පොඩි හෝම්වර්ක් එකක් දෙන්නයි යන්නේ. මේක කරන්නනම් හැබැයි මම මේ වෙනකල් ලියපු රෝම නිවාඩුවේ කොටස් අටම කියවලා එන්න ඕනෙ.

රෝමයේ නිවාඩුවක් (හැඳින්වීම)
රෝමයේ නිවාඩුවක්...01
රෝමයේ නිවාඩුවක්...02
රෝමයේ නිවාඩුවක්...03
රෝමයේ නිවාඩුවක්...04
රෝමයේ නිවාඩුවක්...05
රෝමයේ නිවාඩුවක්...06
රෝමයේ නිවාඩුවක්...07
රෝමයේ නිවාඩුවක්...08 (අවසන් කොටස)

ඉතිං මේකයි වැඩේ. අපේ ජෝ බ්‍රැඩ්ලි දැන් අර ඩොලර් පන්දාහක් වටින 'අති විශේෂ' ලිපිය ලියන්නෙ නෑනේ. ඒත් එයා අර පොදුවේ පැවැත්වුණු පුවත්පත් සාකච්ඡාවට ගියා, රාජකාරිය නිසා. එයාට ඒ සාකච්ඡාව ඇසුරෙන් ලිපියක් ලියන්න වෙනවා පත්තරේට.



ඔයාලාට තියෙන්නේ ජෝ ලියන අන්න ඒ ලිපිය ලියන්න. මේකට කමෙන්ට් එකක් විදිහට ලිව්වත් කමක් නෑ, කැමතිනම් පින්තූර එහෙමත් දාලා තමන්ගේ බ්ලොග් එකේ ලිව්වත් කමක් නෑ. ඔයාලා එහෙම ලියන ඒවා අතරින් එකක් තෝරගෙන මම මේ ලියලා ඉවර වෙච්ච චිත්‍රපටයේ කතාවට ඈඳුතුවක් (sequel) ලියන්නයි හිතාගෙන ඉන්නේ. :)

හරි එහෙනං, කට්ටියගෙන් ලස්සන වාර්තා ලිපි ලැබෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා. Happy Writing! :)






226. රෝමයේ නිවාඩුවක්...08 (අවසන් කොටස)

පසුදින ජෝ හුදෙකලාව තම නවාතැනේ කවුළුවෙන් පිටතට නෙතු යොමාගෙන හිඳගෙන සිටියේය. මඳවෙලාවකින් කිසිවෙකු දොරට තට්ටු කරන හඬක් ඇසුණි. විගසින් දොර වෙත හැරුණු ජෝ එදෙස මොහොතක් බලා සිටියේය. අනතුරුව නැගිට විත් ඔහු දොරටුව විවර කළේ බලාපොරොත්තු දැල්වුණු දෑසිනි. නමුත් එවිගසින්ම ඔහු යළිත් බලාපොරොත්තු කඩ වූ මුහුණින් ඉවතට ඇවිද ගියේය. දොරටුවෙන් නවාතැන තුළට කඩාවැදුණේ ඔහුගේ කාර්යාල ප්‍රධානි හෙනසි මහතා ය.

"අයිසෙ ජෝ, ඒක ඇත්තද: තමුසෙට හැබෑවටම ඒ විස්තර හම්බවුණාද?" ඔහු නොඉවසිල්ලෙන් ඇසුවේය.

ජෝ දෑත් සාක්කු තුළ රුවාගෙන හෙනසි මහතා වෙත හැරුණේය. "මොන විස්තරද?"

"අර කුමාරිකාවගෙ කතාන්දරේ - අර අති විශේෂ වාර්තා ලිපිය: ඒක හරිද?"

"නෑ," ජෝ හිස දෙපසට වනමින් ඉවතට හැරුණේය. "මට ඒක කරගන්න බැරිවුණා."

"මොකා? ඒත් එහෙම වෙන්න බෑනේ!"

"කෝපි හරි මොනවාහරි බොනවද?"

හෙනසි මහතා ජෝ වෙත ඇඟිල්ලක් උරුක් කළේය. "ජෝ, මගෙන් ඒක හංගන්න ලෑස්ති වෙන්න එපා."

"කවුද මොනවත් හංගං ඉන්නේ?"

"තමුසෙ!"

ජෝ තම මේසය මත වූ කිසිවක් එහා මෙහා කරමින් කාර්යබහුලව සිටියේය. "මට තේරෙන්නෙ නෑ සර් මේ මොනවද කියන්නෙ කියලා?"

"මං තමුසෙ හිතං ඉන්නවට වඩා දේවල් දන්නවා ජෝ: ඉස්සෙල්ලාම තමුසෙ මගේ ඔෆිස් එකට ඇවිල්ලා ඔට්ටු ඇල්ලුවා කුමාරිකාව ගැන විශේෂ ලිපියක් ලියනවා කියලා; ඊළඟට තමුසෙ අන්තරස්දාන වුණා; ඊටත් පස්සෙ මට තානාපති කාර්යාලෙ ඉන්න මගේ ඔත්තු කාරයෙක්ගෙන් ආරංචි වුණා කුමාරිකාව අසනීපෙන් නෙවෙයි, එයා නගරෙ පුරා ඇවිදිනවා කියලා."

"අනේ මං දන්නෑ ඔබතුමා මොනවිදිහේ පුවත්පත් සංස්කාරකවරයෙක්ද කියලා? ඔය කනට ඇහෙන තුට්ටු දෙකේ ඕපදූප ඔක්කොම ඔබතුමා විශ්වාස කරනවද?"

"නැතුව? ඒ විතරක් නෙවෙයි: ගඟේ බෝට්ටු සාදෙක මහ ගාලගෝට්ටියක් වෙලා තියෙනවා - " හෙනසි මහතාට සවන් දී සිටින අතරේ මිහිරි මතක ආවර්ජනය හේතුවෙන් ජෝ ගේ දෑස් බැබළෙන්නට විය. "- කොහෙන්දෝ මන්දා රටකින් ආපු රහස් නිලධාරීන් අට දෙනෙක් අත් අඩංගුවට අරගෙන. ඊට පස්සෙ හදිසියෙම කුමාරිකාවට සනීප වෙලා. ඉතිං ඔය ඔක්කොම කෑලි එකට එකතු කළාම පිංතූරෙ ලස්සනට හැදෙනවනේ! මේ, ඔහොම අගේ කර කර ඉඳලා කතන්දරේ ගාණ ඉස්සුවා කියන්නෙ එහෙම නෑ, තේරුණාද? ගනුදෙනුවක් කියන්නේ ගනුදෙනුවක්, අපි ඒ ගාණට එකඟ වුණා!" හෙනසි මහතා කතා කරන අතරේ ජෝගේ මේසය වෙත ගොස් ඒ මත ඇති දෑ අවුස්සන්නට විය. "කෝ මිනිහෝ, කොහෙද කොහෙද, පෙන්නනවකෝ මට: කෝ කතන්දරේ?"

"මං එහෙම එකක් ලිව්වෙ නෑ." ජෝ හෙනසි මහතා පසු කර කුඩා මේසය වෙත ගොස් වයින් වීදුරුවක් වත් කරන්නට පටන්ගත්තේය.

"එහෙනං මොකද තමුසෙ-" 

හෙනසි මහතාගේ කතාවට බාධා කරමින් ඒ මොහොතේදී මහ හඬින් දොරටුව විවර කරගෙන නවාතැන තුළට කඩා වැදුණේ අර්වින් ය. "ජෝ!" ඔහුගේ අතේ විශාල ලියුම් කවරයක් විය. "මේ බලනවා ඕයි මේවා දිහා!"

"අර්වින්." ජෝ අවධාරණාත්මක හඬින් ඔහු ඇමතුවේය.

අර්වින් හෙනසි මහතා වෙත ගියේය. "හලෝ හෙනසි මහත්තයා, ෂා, ඔබතුමාත් නියම වෙලාවට ඇවිත් තියෙන්නේ." "අර්වින්!" ජෝ වඩාත් දැඩි හඬින් ඔහු ඇමතුවේය. නමුත් මිතුරාගේ තර්ජනාත්මක හඬ වටහා නොගත් අර්වින් දිගටම කතා කරන්නට සූදානම් විය: "මේ බලන්නකො-" ඔහු ලියුම් කවරය විවර කරන්නට සූදානම් වනවාත් සමගම ජෝගේ අතේ වූ වයින් වීදුරුව අර්වින්ගේ සිරුර පුරා හැළී ගියේය. අර්වින් කෝපයෙන් යුතුව වහා ජෝ වෙත හැරුණේය. "ඒ මොකටද එහෙම කළේ?"

"මොකක්?" ජෝ පුදුමයෙන් මෙන් කතා කරන අතරේ අර්වින්ගේ අතේ වූ ලියුම් කවරය උදුරා ගත්තේය. "තමුසෙනෙ මගේ කාමරේට කඩං වැදිලා මෙතන බඩු පෙරලන්න ගත්තේ!"

"කවුද බඩු පෙරළුවේ?"




"තමුසෙනේ. ඇයි ඕයි මතක නැද්ද, මං ඒ ගැන මීට කළිනුත් තමුසෙ එක්ක කතා කළා?"

"ජෝ, බලනවා මගෙ කලිසම දිහා!"

ජෝ අර්වින්ගේ අතින් ඇදගෙන නාන කාමරය දෙසට යන්නට විය. "ඔව් ඔව්, මේ පැත්තට ඇවිත් ඕක වේලගන්නවා අර්වින්."

නමුත් එයට විරෝධය පෑ අර්වින් ඔහුගේ ග්‍රහණයෙන් මිදුණේය. "ඕන නෑ. මේ ඒක නෙවෙයි, තමුසෙ හෙනසි මහත්තයාට කිව්වද ස්මිත් ගැන?"

"අර්වින්." ජෝ අනතුරු ඇඟවූවේය.

මිතුරන් දෙදෙනාගේ කෝලහාලය දෙස සැකමුසුව බලා සිටි හෙනසි මහතා කුතුහලයෙන් ඔවුනට සවන් දී සිටියේය. "ස්මිත්?" 

"හප්පා! හෙනසි මහත්තයෝ-" අර්වින් ජෝ අතේ වූ ලියුම් කවරය උදුරාගත්තේය. "අර්වින්!" ජෝ යළිත් අනතුරු ඇඟවූවේය. අර්වින් හෙනසි මහතා වෙත යන්නට පටන්ගත්තේය. "මේ බලන්නකෝ-" ජෝ පය දිගු කර අර්වින්ගේ ගමනට බාධා කළ අතර ඔහු පය පැකිළී ඇද වැටුණේය. 

"අයියෝ අර්වින්," ජෝ අහිංසක හඬින් කීවේය. "ඔය බලාපංකො ඉතිං ආයෙත්."

අර්වින් දුම් දමමින් නැගිටගත්තේය. "ජෝ. මේ අහපං-" ඔහු මිතුරාට පහර දීමට සූදානම් විය.

නමුත් ජෝ විගසින් ඔහු වළක්වාගත්තේය. "හරි හරි, ඕක පස්සෙ බැරියැ; තමුසෙ කොහොමටත් මෙහෙ ආවා කළිං වැඩියි. දැං ගෙදර ගිහිං රැවුළවත් බාගනිංකෝ!"

අර්වින් සිය රැවුළ අතගෑවේය. "රැවුළ?"

"ඔව්, එහෙම බැරිනං අඩු ගානේ මායි හෙනසි මහත්තයයි කතා කරලා ඉවර වෙනකල් කට පියාගෙන හිටපං."

හෙනසි මහතා සිය හිස් වැස්ම පැළඳගනිමින් ඔවුන් වෙත ආවේය. "තමුසෙලා දෙන්නා මොකටද මේ ලෑස්ති වෙන්නේ?" ඔහු සිය දෑත් ඉණ මත තබාගත්තේය. "කවුද ස්මිත් කියන්නේ?"

ජෝ වහා පිළිතුරු දුන්නේය. "ඒ අපිට ඔය පාරෙදි හම්බවෙච්ච මිනිහෙක්; ඔබතුමාට උගෙන් වැඩක් නෑ."

ඒ මොහොතේදී හෙනසි මහතා අර්වින්ගේ අතේ වූ ලියුම් කවරය උදුරාගත්තේය. "මොනවද අර්වින් මට පෙන්නන්න හැදුවේ?" ඔහු එය විවර කරන්නට සූදානම් විය.

ජෝ වහා එය ඔහුගෙන් උදුරාගත්තේය. "ආ, ඔය අර්වින්ගේ නැට්ටුක්කාරියොන්ගෙ පින්තූරනේ; ඔබතුමා මෙහෙම ඒවට කැමති නෑ." නමුත් හෙනසි මහතාගේ සැකමුසු බැල්ම හමුවේ ඔහු මුවට සිනහවක් නගාගත්තේය. "ආ එක්කෝ ඕනමනං බලමු ඉතිං," ඔහු කවරය විවර කරන්නට මෙන් සූදානම් වූවේය.

නමුත් හෙනසි මහතා නොඉවසිල්ලෙන් ඔහු වැළැක්වුවේය. "කතාව වෙන පැත්තකට හරවන්න හදන්න එපා අයිසෙ! තමුසෙ ඊයෙ මගේ ඔෆිස් එකට ආපු වෙලාවේ-"

"හරි, මං දන්නවා, ඊයෙ දවල් මං හිතං හිටියේ මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා, ඒත් මං හිතං හිටියා වැරදියි! එච්චරයි ඉතිං; මට ඒ කිව්ව විදිහේ කතන්දරයක් ලියාගන්න බැරි වුණා." හෙනසි මහතාට පිටුපසින් සිටි අර්වින්ගේ මුව පුදුමයෙන් විවර විය.

"හරි එහෙනං," හෙනසි මහතා පිටව යාමට සූදානම් විය. "අද තියෙනවා අර ඊයෙ අවලංගු වෙච්ච පුවත්පත් සාකච්ඡාව. ඒ වෙලාවටම, එතනම. ඒකටවත් ගිහිං මොනවාහරි ලියාගන්නවා." දොර වෙත ඇවිද ගිය හෙනසි මහතා ආපසු හැරී ජෝ වෙත ඇඟිල්ල උරුක් කළේය. "මතක තියාගන්නවා තමුසෙ මට තව ඩොලර් පන් සීයක් ණයයි දැන්!"

"මගේ පඩියෙං කපාගන්න, සතියකට පණහ ගානේ." ජෝ ඔහු දෙස නොබලා පිළිතුරු දුන්නේය.

"හිතන්න එපා මං එහෙම නොකරයි කියලා!" හෙනසි මහතා පිටව ගියේය.

එතෙක් වේලා තුෂ්නිම්භූතව බලා සිටි අර්වින් ජෝ දෙස බැලුවේය. "ඕයි, මොකද වුණේ? අපිට හෙනසි උන්නැහේට වඩා ගෙවන්න කැමති කෙනෙක් හම්බවුණාද?"

"අර්වින්..." ජෝ තැතනුවේය. "මං, මං දන්නෙ නෑ මේක උඹට කොහොමද කියන්නෙ කියලා, ඒත්-"

"ඔහොම හිටපං පොඩ්ඩක් මං වාඩි වෙනකල්." අර්වින් අසළ පුටුවක් මතින් හිඳගත්තේය.

"මේකයි, ඔය පින්තූරත් එක්ක ලියවෙන්න තිබ්බ කතාව ගැන කියනවනං: එහෙම කතාවක් නෑ."

"මො-මොකක්?"

ජෝ තවත් වයින් වීදුරුවක් වත් කරගත්තේය. "මං කිව්වෙ, මං එහෙම එකක් ලියන්නෙ නෑ."

ජෝ දෙස මොහොතක් වේලා බලා සිටි අර්වින් අවසානයේදී සිය මිතුරාගේ සිතැඟි අවබෝධ කරගත්තේය. "මේ, හරි, අර - මේ, පින්තූර ටික මාර ලස්සනට ආවා බං. උඹ අඩු ගානේ මේ ටික හරි පොඩ්ඩක් බලාපං." ඇඳ වෙත ගිය අර්වින් ඒ මත කවරයෙන් ගත් ඡායාරූප එකින් එක ඇතිරුවේය. ඒ අසළට පැමිණි ජෝ වෙත ඔහු එක් ඡායාරූපයක් ඔසවා පෙන්නුවේය. "කොහොමද මේක?" 

ජෝද මඳ සිනහ රැඳි මුහුණින් එය අතට ගෙන බැලුවේය. අනතුරුව ඔහු ඇඳ මතින් තවත් ඡායාරූප කිහිපයක් අතට ගත්තේය. "හෙහ්, එයාගෙ පළවෙනි සිගරට් එක!" ඔහු ඉන් එකක් දෙස බලමින් හිනැහුණේය.




"ආ ඔව්, රොකා අවන්හළේදි ගත්ත එක," අර්වින්ද එයට එබෙමින් කීවේය.

ජෝ ඊළඟ ඡායාරූපය දෙස බැලුවේය. "මෙන්න, සත්‍යයේ මුහුණත ළඟ." ඊළඟ ඡායාරූපය දුටු මොහොතේදී ඔවුන් දෙදෙනාම හඬනගා සිනාසුණෝය. එහි වූයේ කුමරිය සහ මාරියෝගේ නර්තනයයි. ජෝ ඇඳ මතින් තවත් ඡායාරූපයක් අතට ගත්තේය. "මෙන්න මේක තමයි මං ලිපියේ ප්‍රධාන පින්තූරෙ විදිහට දාන්න හිතං හිටියේ," ඔහු එය අර්වින්ට පෙන්වමින් කීවේය. එහි වූයේ ඈන් කුමරිය ප්‍රාර්ථනා පවුර දෙස බලා හිඳිනා දසුනකි. "'ප්‍රාර්ථනා ඉටු වන පවුර අභියස,'" ඔහු තමා සිතා සිටි සිරස්තලයද ඉදිරිපත් කළේය.

"ජෝ, ඒක නියමයිනේ!" අර්වින් සතුට පළ කළේය. "ඒක උඩින්ම දාලා ඊළඟට මේ එකින් එක එයාගෙ ඉෂ්ඨ වෙච්ච ප්‍රාර්ථනා විදිහට එකතු කරන්න පුළුවන්, නේද?"

"හ්ම්."

අර්වින් තවත් රූපයක් අතට ගත්තේය. "මේ, මේක මං වෙන ලිපිගොණුවකින් හොයාගත්තේ: 'කුමරිය පොලිසිය පරීක්ෂා කරමින්'."

"ඔව්, ඒත්-"

අර්වින් තවත් ඡායාරූපයක් ජෝ අතට ලබා දුන්නේය. එහි වූයේ ස්කූටර වික්‍රමයෙන් පසු අත් අඩංගුවට ගැනුණු කුමරිය හා පොලිස් නිලධාරීන්ගේ රූපයකි. "එතකොට මේක: 'පොලිසිය කුමරිය පරීක්ෂා කරමින්'. කොහොමද ඒක?"

දෙදෙනාම යළිත් සිනාසුණෝය. "නියමයි, නියමයි," ජෝ කීවේය. 

අර්වින් ඊළඟ ඡායා රූපය මිතුරා අතට දුන්නේය. එහි වූයේ කුමරිය පුටුවක් මතට නැග ගිටාරය ඔසවා රහස් සේවා නිලධාරියාට පහර දෙන අන්දම ය. "ෂහ්!" ජෝගේ මුහුණ විශ්මයෙන්ද ප්‍රීතියෙන්ද බැබළෙන්නට විය.

"ඒක නියමයි නේද?"

"ආයෙත් අහලා! මාර පින්තූරයක්නේ!"

ඔවුන් දෙදෙනා හඬ නගා සිනාසෙමින් එයට ගැලපෙන සිරස්තල යෝජනා කරන්නට විය. අර්වින් සිය මිතුරා අවසානයේදී ලිපිය ලියන්නට සිත එකඟ කරගෙන ඇති බව සිතන්නට වූ මොහොතේදීම ජෝගේ මුහුණෙන් එළිය අතුරුදහන්ව ගියේය. අර්වින්ගේද සිනහව වියැකී ගියේය. "මොනවද බං ජෝ," ඔහු මිතුරා උනන්දු කරවන්නට උත්සාහ කළේය. "මේ කුමාරිකාවක්නේ. ඔය හැටි හිතන්න දෙයක් තියෙනවැයි." නමුත් ජෝගේ සම්පූර්ණයෙන්ම අඳුරුව ගිය මුහුණ දෙස බලමින් අර්වින් අවසානයේදී හිස දෙපසට වැනුවේය. "උඹෙනං ඔළුව හොඳ නෑ!"

"ඔව්, මං දන්නවා," ජෝ කීවේය. "ඒත් මේ, අහපං, උඹට ඔය පින්තූර විකුණගන්න ඕනෙනං මට උඹව නවත්තන්න බෑ. උඹට හොඳ ගාණක් හොයාගන්න පුළුවං වෙයි."

"ඔව් මොකද නැත්තෙ!" නුරුස්නා හඬින් එසේ පැවසූ අර්වින් ඇඳ මතින් ඡායා රූප ගොන්න එකතු කරගන්නට විය.

"උඹ සාකච්ඡාවට යනවද?" ජෝ ඇසුවේය.

"උඹ යනවද?"

"නොගිහිං බෑනේ. රස්සාවෙ වැඩක්නේ."

"ඒක හරි." ඡායාරූප ගොන්න ලියුම් කවරය තුළට දමාගත් අර්වින් දොරටුව වෙත ගොස් සිය තෙත් වූ කලිසම දෙස බලා ජෝ වෙත එරෙව්වේය. "හම්බවෙමු එහෙනං," ඔහු පිටව ගියේය.

***

තානාපති කාර්යාලයේ විශාල ශාලාව පුරා වාර්තාකරුවන් හා ඡායාරූපශිල්පීන් රැස්ව සිටියෝය. ජෝ සහ අර්වින් ද එහි ඇතුළු වූහ. ශාලාවේ ඉදිරිපස වූ වේදිකාව මතට පැමිණි අයෙක් පිරිසට නිහඬවන ලෙස සංඥා කළේය. "නෝනාවරුනි මහත්වරුනි: කරුණාකර ඉදිරියට පැමිණෙන්න," ඔහු නිවේදනය කළේය. ඉදිරියේ සීමාව දක්වා තිබූ තාවකාලික වැට ආසන්නයට සියල්ලන්ම රැස් වූ අතර ජෝ සහ අර්වින්ද පිරිස අතරින් රිංගා ගොස් ඉදිරි පෙළ දකුණු කෙළවරට ආසන්නව සිටගත්තෝය. ඒ මොහොතේදී වේදිකාව මතට පැමිණි පරිනායකවරයා කුමරියගේ පැමිණීම නිවේදනය කර සිටියේය. මොහොතකින් ඈන් කුමරිය තානාපතිවරයාද, වියර්බර්ග් ආදිපාදවරියද, ජනරාල්වරයාද, ඒ පසුපසින් තවත් පිරිසක්ද පිරිවරාගෙන ඇතුළු කුටියක සිට වේදිකාව වෙත සැපත් වූවාය. ඈ දැකීමෙන් ජෝ මඳ සිනහවක් පෑවේය. වේදිකාව ඉදිරියට පැමිණි කුමරිය ඒ මධ්‍යයේ වූ ප්‍රභූ අසුන ඉදිරියේ සිටගත්තාය.

තානාපතිවරයා ඈ ඉදිරියට පැමිණියේය. "රාජකීය උත්තමාවියනි: ප්‍රවෘත්ති ආයතන නියෝජනය කරමින් මෙහි පැමිණ සිටින මහත්ම මහත්මීන්," ඔහු පිරිස වෙත අත දිගු කරමින් හිස නමා ඇයට පැවසුවේය. ඔවුන් දෙස බැලූ මඳ සිනහ පාමින් හිස යාන්තමින් ඉහළ පහළ යවමින් පිරිස සිසාරා දෙනෙත් ගෙන ගියාය. ඉදිරිපස කෙළවරක සිටගෙන සිටි ජෝ දැකීමෙන් තිගැස්සුණු ඇගේ මුහුණේ වූ සිනහව එක්වරම මැකී ගියේය. ඒ මොහොතේදී තානාපතිවරයා ඇයට හිඳගන්නට සංඥා කළෙන් සිත එකඟ කරගත් කුමරිය අසුනේ වාඩි වී යළිත් ජෝ දෙස බැලුවාය. ජෝ ද ඈ දෙසම බලාගෙන සිටියාය. මොහොතකින් සිය හිස පරිනායකවරයා වෙත හැරවූ කුමරිය ඔහු වෙත හිස සැලුවාය. 




හිස නවා ඇගේ නිහඬ විධානය පිළිගත් පරිනායකවරයා කතා කළේය: "නෝනාවරුනි මහත්වරුනි, රාජකීය උත්තමාවිය ඔබලාගේ පැනයන්ට පිළිතුරු දීමට සූදානම්."

"පළමුවෙන්ම උත්තමාවියනි," ඉදිරිපස වම් කෙළවරේ සිටි එක් තලතුනා මාධ්‍යවේදියෙක් හඬ අවදි කළේය, "ඔබතුමියට රෝගාතුර බවින් අත්මිදී ඉක්මන් සුවය ලැබීමට හැකිවීම ගැන අප හැමදෙනාගේම සතුට ප්‍රකාශ කරන්නට මම කැමතියි."

අනෙක් කෙළවරේ සිටි ජෝ වෙත ඉක්මන් බැල්මක් හෙලූ කුමරිය යළිත් වහාම තලතුනා මාධ්‍යවේදියා දෙස බැලුවාය. "බොහොම ස්තූතියි," ඇය සිනහමුසු මුහුණින් තෙපළා ය.

"උත්තමාවියනි," පිරිස අතරින් තවත් අයෙක් කතා කළේය, "ඔබතුමිය විශ්වාස කරනවාද සමූහාණ්ඩුව යුරෝපයේ ආර්ථික ගැටළුවලට ගැලපෙන විසඳුමක් බව?"

"යුරෝපයෙ සබඳතාවයන් වඩාත් ඉහළ නංවන ඕනෑම විසඳුමකට මගේ කැමැත්ත ලැබෙනවා," කුමරිය පිළිතුරු දුන්නාය.

"ජාතීන් අතර මිත්‍රත්වය කුමන ආකාරයකින් තිබිය යුතු බවද ඔබතුමියගේ අදහස?"

"ඒ ගැන මගේ සම්පූර්ණ විශ්වාසය තියෙනවා-" ඇය ප්‍රශ්නය විමසූ තැනැත්තා වෙතින් දෙනෙත් මෑත් කරගෙන ජෝ දෙස බැලුවාය. "-හරියටම මිනිසුන් අතර සබඳතාවයන් ගැන මං විශ්වාස කරනවා වගේම." පෙර සූදානම් වූ පිළිතුරුවලට පරිබාහිර යමක් ඇගේ මුවින් පිට වූයෙන් වේදිකාව මත වූ අනෙක් පිරිස මුහුණින් මුහුණ බලාගත්තෝය.

මෙවර හඬ අවදි කළේ ජෝ ය. "මම කියන්න කැමතියි, මං - මගේ පුවත් සේවා ආයතනය - වෙනුවෙන්, ඔබතුමියගේ විශ්වාසයට කුමන ලෙසකින්වත් අසාධාරණයක් සිදු නොවෙනු ඇතැයි අපි විශ්වාස කරනා බව," ඔහු මඳ සිනහ රැඳි මුවින් ඈ දෙස බලාගෙනම පැවසුවේය.




ඈන් කුමරියගේ මුහුණේ මහත් සැනසිලිදායක සිනහවක් ඇඳී ගියේය. "ඔබෙන් එවැනි ප්‍රකාශයක් අහන්න ලැබීම ගැන මට හරිම සතුටුයි," ඇය කීවාය.

"ඔබතුමිය සංචාරය කළ නගර අතුරින් වඩාත්ම ඔබතුමියගේ සිත්ගත්තේ කුමන නගරයද?" සභාවෙන් තවත් පැනයක් ඉදිරිපත් විය.

ඈන් කුමරිය ඒ වනවිටද සිටියේ ජෝ දෙස බලාගෙන ම ය. ඇගේ පිළිතුර පමා වූයෙන් ඉදිරියට නැමුණු ජනරාල්වරයා ඇයට පෙර සූදානම් වූ පිළිතුර සිහිපත් කළේය: "හැම නගරයක්ම..."

කුමරිය අවසිහියෙන් මෙන් සිය මතකයේ තැන්පත්ව තිබූ වදන් පෙළ දොඩන්නට වූවාය. "හැම නගරයක්ම මගේ සිත් ගත්තා... ඒවාටම ආවේණික වුණ විශේෂ හේතු නිසා. ඇත්තටම මට අමාරුයි ඒ අතරින්-" ඒ මොහොතේදී ඈ නතර විය. ඇගේ මුහුණේ මෘදු මඳහසක් ඇඳී ගියේය. "රෝමය; හැම අතින්ම මගේ වඩාත්ම සිත්ගත් නගරය රෝමය." වේදිකාව මත උන් පිරිස යළිත් වරක් නොසන්සුන්තාවයට පත්ව උනුන් දෙස බලාගන්නා අතරේ කුමරිය ජෝ දෙස බැලුවාය. "මේ නගරයේදී මම අහපු, දැකපු, විඳපු හැමදෙයක්ම, මගේ මතකයේ රැඳිලා තියෙයි, මම ජීවත් වෙනකල්ම."

"ඔබතුමිය මෙහෙදී අසනීපවුණා වුණත්?" තවත් අයෙකු විමසුවේය.

"එහෙම වුණත්," කුමරිය පෙර ස්වරයෙන්ම තහවුරු කළාය.

ඉන් අනතුරුව පරිනායකවරයා ඡායාරූප ගැනීම සඳහා අවසර ලබා දුන්නේය. ඡායාරූප ශිල්පීන් තාවකාලික වැටෙන් ඉදිරියට රැස් වූ අතර අසුනින් නැගී සිටි කුමරිය වේදිකාව ඉදිරියට පැමිණියා ය. අනෙකුත් ඡායාරූප ශිල්පීන් අතරින් ඉඩක් ලබාගත් අර්වින් ඈ ඉදිරියට පැමිණ සිය ලයිටරය අතට ගෙන කුමරිය වෙත සිනහවක් පා එහි යතුරක් ක්‍රියාත්මක කළේය. මුළදී කුමරිය ඔහුගේ සිනහවට ප්‍රතිචාර දක්වමින් සිනාසුණද ඔහුගේ ලයිටරය සැබැවින්ම කැමරාවක් බව වැටහුණු මොහොතේදී ඇගේ සිනහව අතුරුදහන් විය. අර්වින්ගේ මුහුණේ සිනහව දිගටම රැඳී තිබූ අතර චකිතයට පත් කුමරිය ජෝ දෙස බැලුවාය. ඔහුගේ මුහුණේ වූ සුරක්ෂිත බව තහවුරු කෙරෙන මඳ සිනහවෙන් සිත සැහැල්ලුවට පත් කරගත් කුමරිය යළිත් සිය සිනහව මුවගට නගාගත්තාය.

ඡායාරූප ගැනීම අවසන් කර ශිල්පීන් යළිත් තාවකාලික වැටෙන් පසුපසට ගිය මොහොතේ ජනරාල්වරයා සාකච්ඡාව නිමා කෙරෙනා බව හඟවමින් මාධ්‍යවේදීන්ට සමු දුන්නේය. නමුත් ඒ මොහොතේදී කුමරිය කතා කළාය: "මං කැමතියි මාධ්‍යවේදී මහත්ම මහත්මීන්ව මඳක් මුණගැහෙන්න." ඇය වේදිකාවේ පියගැටපෙළ බැස එන අතරේ ආදිපාදවරිය හා ජනරාල්වරයාද ඈ පසුපසින් එන්නට සූදානම් වුවද ඔවුන් නතර කළ කුමරිය තනිවම පිරිස ඉදිරියට පැමිණියාය. වම් කෙළවරේ සිට මාධ්‍යවේදීන් එකිනෙකා හා කතාබස් කරමින් මඳ සිනහවෙන් යුතුව ඔවුනට අතට අත දෙමින් කෙමෙන් දකුණු පසට ඇවිද ආ කුමරිය අර්වින් ඉදිරියට පැමිණියාය.

"අර්වින් රැඩෝවිච්, සී. ආර්. ඡායාරූප සේවා ආයතනය," අර්වින් තමා හඳුන්වා දුන්නේය.

"කොහොමද ඔබට?" ඔහුට අතට අත දෙන අතරේ කුමරිය කීවාය. 

සිය කබා සාක්කුව තුළින් කවරයක් පිටතට ගත් අර්වින් එය ඈ වෙත පෑවේය. "මේ ඔබතුමියගේ රෝම සංචාරයේ අනුස්මරණ ඡායාරූප කිහිපයක් පිළිගන්වන්න මට අවසර."

එය විවර කර යාන්තමින් එහි වූ රූපයක් දෙස බැලූ කුමරිය තම මුවේ ඇඳී ගිය සිනහව සඟවාගත්තාය. කවරයේ ඉහළින්ම වූයේ ඇය ගිටාරයෙන් රහස් සේවා නිලධාරියාට පහර දුන් ඡායාරූපයයි. "ඔබට බොහොමත්ම ස්තූතියි." ඔහුට ස්තූති කළ කුමරිය ඉන් අනතුරුව ජෝ වෙතට හැරුණාය.

"ජෝ බ්‍රැඩ්ලි, ඇමරිකානු පුවත් සේවය," ජෝ තම සම්පූර්ණ අනන්‍යතාවය හෙළි කළේය. ඔවුන් දෙදෙනා අතට අත දෙන අතරේ ජෝ හෘදයාංගම මඳ සිනහවකින් යුතුව ඈ දෙස බලා සිටියේය. කුමරිය මහත් වෑයමකින් තම හැඟීම් පාලනය කරගෙන සිටියාය. "මට හරිම සතුටුයි, බ්‍රැඩ්ලි මහත්මයා," ඇය කීවාය.




ජෝගෙන් අනෙක් පස වූ මාධ්‍ය වේදියා දෙස බැලීමට කුමරියට මඳ වේලාවක් ගත විය. ඉදිරිපස පේළියේ අවසන් තැනැත්තා සමගද කතාබස් කළ කුමරිය ආපසු හැරී වේදිකාවේ පියගැට පෙළ නැග ගියා ය. ඇය යළිත් ඔවුන් වෙත හැරී සිනහවක් පෑ මොහොතේදී මාධ්‍යවේදීහු අත්පොළසන් දී ඈ වෙනුවෙන් ඔවුන්ගේ සතුට පළ කළ හ. පිරිස සිසාරා බැල්මක් හෙලූ ඇගේ දෑස යළිත් වරක් ජෝ වෙත නතර විය. එවර ඇගේ දෑසට එතෙක් අපහසුවෙන් යටපත් කරගෙන සිටි සන්තාපය මුසු විය. ඔහු දිරිමත් කරවනසුලු මඳ සිනහවක් පාමින් යාන්තමින් හිස සලා සිය සමුගැනීමේ ආචාරය ඈ වෙත පුද කළේය. යළිත් වරක් මඳ සිනහවකින් මුව සරසාගත් ඈන් කුමරිය ඔවුනට පිටු පා සිය නිලධාරීන්ද කැටුව රාජකීය ලීලාවෙන් ඇවිද ගොස් ඇතුළු කාමරයේ දොරටුව අසළින් නොපෙනී ගියා ය.

ඈ පිටව යන දෙස බලා සිටි ජෝගේ දෙතොල් තදින් පියවී තිබුණි. අනෙක් මාධ්‍යවේදීන් පිටව යන්නට පටන්ගත් පසුද ඔහු එලෙසම නොසෙල්වී බලා සිටියේය. ඔහු හා අවසානය තෙක්ම රැඳී සිටි අර්වින්ද, වේදිකාව දෙස ඇසි පිය නොහෙලා බලා සිටිනා සිය මිතුරා දෙස මොහොතක් බලා සිට පිටවීමේ දොරටුව දෙසට ඇවිද ගියේය.

තාවකාලික වැට අසළ හුදෙකලාව සිටගෙන සිටි ජෝ, කුමරිය අවසන්වරට දර්ශනය වූ දොරටුව දෙස හැඟීම් රාශියක් කැටි වූ බැල්මෙන් බලා සිටියේය. බොහෝ වේලාවක් එලෙස හිඳීමෙන් අනතුරුව අවසානයේදී ආපසු හැරුණු ජෝ සෙමෙන් සෙමින් පිටවීමේ දොරටුව කරා ඇවිද ආවේය. දෑත් සාක්කු තුළ රුවාගෙන බර අඩි තබමින් සෙමින් ඇවිද එන අතරේ විශාල ශාලාව තුළින් ඇසුණේ ඔහුගේ අඩි ශබ්ධයේ දෝංකාරය පමණි. දොරටුව අසළදී මොහොතකට නතර වූ ජෝ ආපසු හැරී දිගු ශාලාව කෙළවර හිස් වේදිකාව දෙස මඳ වේලාවක් බලා සිටියේය. අනතුරුව ආපසු හැරී දොරටුවෙන් පිටව නික්ම ගියේය.






- සමාප්තයි -



දැන් අහන්න, ඇස් දෙක පියාගෙන, මේ සින්දුව:

"That's how it is with me
And you'll always be
The only love I ever knew
I'll forget many things in my life time
But my darling I won't forget you."







225. රෝමයේ නිවාඩුවක්...07

ජෝ සිය නවාතැනට පිවිස කබාය ගලවා දොර වසා දැමුවේය. ගුවන් විදුලියෙන් මෘදු වාදනයක් නිකුත් වෙමින් තිබුණි. නානකාමරය තුළ නිදන ලෝගුවකින් සැරසී හිස පීරමින් සිටි ඈන් කුමරිය ඔහු පැමිණි බව ඇසී ඉන් පිටතට පැමිණියාය. මේසය අසළ වයින් පානයක් මිශ්‍ර කරමින් සිටි ජෝ ඈ දෙස බලා සිනහවක් පෑවේය. "ඇඳුම ගන්න දෙයක් නැද්ද?"

"නෑ, ඒවා ඉක්මනට වේලෙයි."

"ඕක හොඳට ගැලපෙනවා ඔයාට - ඔයා හැම වෙලාවෙම මගේ ඇඳුම් ඇන්දානං හරි."

"ඒක තමයි නේද," ඈන් කුමරිය මඳ සිනහවක් පෑවාය.

සිනහවක් පෑ ජෝ ඈ අතට වයින් වීදුරුවක් ලබා දුන්නේය. "වයින් පොඩ්ඩක් බිව්වනං හොඳ වෙයි කියලා හිතුණා."

එය අතට ගත් කුමරිය වටපිට බැලුවාය. "මං මොනවාහරි උයන්නද?"

"කුස්සියක් නෑ; උයන්න දෙයක් නෑ; මං නිතරම කන්නෙ එළියෙන්."

"ඔයා එහෙමද කැමති?"

"ජීවිතේ ඉතිං සිද්ධ වෙන හැම දෙයක්ම අපි කැමති විදිහට වෙන්නෙ නෑනේ," ජෝ කීවේය. ඔහු මොහොතක් වේලා කුමරිය දෙස බලා සිටියේය. "එහෙම වෙනවද?"

"නෑ," ඉවත බලාගත් කුමරිය ඇඳ මතින් හිඳගත්තාය.

"මහන්සිද?"

"ටිකක්."




"අද මහ පුදුම දවසක්නෙ ඉතිං."

"ලස්සන දවසක්," කුමරිය මඳ සිනහවක් පාමින් කීවාය. 

ගුවන් විදුලියේ සංගීත නාදය නිමා වී නිවේදකයෙකුගේ හඬ ඇසෙන්නට විය. "මේ විශේෂ පුවත් නිවේදනය ඔබ වෙත ගෙන එන්නේ රෝමයේ ඇමරිකානු විකාශන සේවයෙන්. අද රාත්‍රිය වනතුරුද රෝමයේ සංචාරයක නිරත වන-" ඈන් කුමරිය නැගිට ගුවන් විදුලිය වෙත ඇවිද ගිය අතර ජෝ නොසෙල්වී ඇයට පිටුපා සිටගෙන සිටියේය. "- ඊයේ දිනයේ හදිසියේ රෝගාතුර වූ ඈන් කුමරියගේ ශරීර සෞඛ්‍යය පිළිබඳව කිසිදු තොරතුරක් මාධ්‍යයට අනාවරණය වී නොමැත. යුරෝපා රටවල් අතර කෙරුණු ඇයගේ සුහද චාරිකාවේ අවසන් නවාතැන වූයේ රෝමයයි. ඇගේ තත්ත්වය බරපතල බවට කටකතා පැතිරෙමින් ඇති අතර ඇගේ රටේ ජනතාව මහත් තැතිගැන්මටත් නොසන්සුන්තාවයටත් පත්ව ඇතැයි සැළ වේ. මෙන්න එම පුවත් නිවේදනය නැවතත්-" ඈන් කුමරිය ගුවන් විදුලිය වසා දැමුවාය. "හෙට වෙනකල් ඉන්න බැරියැ ඕකට," ඇය කීවාය.

"ඔව්," ජෝ එකඟ විය.

ඇය ඔහු වෙත පැමිණියාය. "මට තව වයින් ටිකක් දෙනවද?" ඔහු ඇගේ වීදුරුවට තවත් වයින් වත් කළේය. "අපරාදෙ මට අපි දෙන්නට කන්න මොනවාහරි උයන්න විදිහක් නැත්තෙ," කුමරිය කීවාය.

"ඉස්කෝලෙදි උයන්න ඉගෙනගත්තද?"

"ම්ම්ම්, මට හොඳට උයන්න පුළුවන්; මට කෑම උයලම හම්බ කරගන්නත් පුළුවන් ඕනෙනං. මට මහන්නත් පුළුවන්, ගෙවල් අස් කරන්නත් පුළුවන්, ඇඳුම් මදින්නත් පුළුවන් - මං ඒ හැමදේම ඉගෙනගෙන තියෙනවා. ඒත් මට කවදාවත්-" ඇගේ හඬ මඳක් අඩු වූ අතර ඇය ඉවතට හැරුණාය. "-කා වෙනුවෙන්වත් ඒවා කරන්න ඉඩක් ලැබිලා නෑ."

ජෝ නිසල දෑසින් ඈ දෙස බලා සිටියාය. "මට නවාතැන මාරු කරන්න වෙයි වගේ එහෙනං; කුස්සියක් තියෙන අලුත් තැනකට යන්න වෙයි වගේ," ඔහු කීවේය.

කුමරිය බිඳී ගිය හදවතින් යුතුව ඔහු වෙත හැරුණේය. "ඔව්," නොදැනීම ඇගේ මුවින් පිට විය. ඔවුන් දෙදෙනා බොහෝ වේලා එකිනෙකා දෙස බලා සිටි අතර අවසානයේ සිය දෑස් ඔහුගේ බැල්මෙන් මුදවාගත් කුමරිය අතේ වූ වයින් වීදුරුව හිස් කර අපහසුවෙන් මුව විවර කළාය. "මං... මට යන්න වෙනවා දැං." මොහොතක් එලෙසම හිටගෙන සිටි කුමරිය අනතුරුව ඔහු වෙත දිවවිත් ඔහු වැළඳගෙන උරහිසේ හිස හොවාගෙන වැළපෙන්නට වූවාය.




ජෝ ඈ වැළඳගෙන මහත් සෙනෙහසින් ඇගේ මුහුණ සිපගත්තේය. "ආන්යා... මට... ඔයාට කියන්න දෙයක් තියෙනවා," ඔහු කීවේය.

"එපා, අනේ එපා." ඇය හිස ඔසවා ඔහුගේ මුහුණ සිපගත්තාය. "මුකුත් කියන්න එපා." තවත් මොහොතක් වේලා එකිනෙකා වැළඳගෙන සිටීමෙන් අනතුරුව කුමරිය ඔහු වෙතින් ඈත් වූවාය. "මං ලෑස්ති වෙන්න ඕනෙ," ඇය කීවාය. ඇය නාන කාමරය වෙත ඇවිද යන අතරේ ඇයට පිටුපා මහත් වේදනාවෙන් දෑස් පියා සිටි ජෝ අනතුරුව සුසුමක් හෙලා සිය කබාය රැගෙන ඇඟලාගත්තේය.

මඳ වේලාවකට පසුව ඔවුන් දෙදෙනා සිටියේ මෝටර් රථයක් තුළ ය. ජෝ නිහඬව රිය පදවමින් සිටි අතර කුමරිය ඔහු පසෙකින් හිඳ නිහඬව ඉදිරියට දෑස් යොමු කරගෙන සිටියාය. "අර වංගුව ළඟින් නවත්තන්න," ඇය එක් මොහොතකදී ජෝට පැවසුවාය.

හිස සැලූ ජෝ රථයේ වේගය අඩු කොට ඉදිරියට හමු වූ වංගුවේදී එය නතර කළේය. ඉදිරියට නැවී වංගුවෙන් එපිටට නෙත් යොමු කළ ඔහු වීදියේ කෙළවර වූ තානාපති කාර්යාලයේ ගේට්ටුව දුටුවේය. "මෙතනද?"

කවුළුවෙන් පිටතට නෙත් යොමු කළ කුමරිය "ඔව්" යැයි පැවසුවාය. අනතුරුව ඔහු දෙස නොබලා බිම බලාගෙන මහත් අපහසුවෙන් කතා කළාය: "මට දැන් ඔයාව දාලා යන්න වෙනවා. මං අර කෙළවරට ගිහින්, අර වංගුවෙන් හැරිලා යනවා. ඔයා කාර් එකේම ඉන්න, මං වංගුවෙන් හැරුණාට පස්සේ ආපහු යන්න. මං එතනින් හැරිලා ගියාට පස්සේ තවත් බලං ඉන්න එපා. යන්න, මාව දාලා යන්න," ඇය ඉකි බින්දාය, "මං ඔයාව දාලා යනවා වගේම."

"හරි," ජෝ සන්තාපය මුසු පහත් හඬින් කීවේය.

ඈන් කුමරිය ඇසි පිය හෙලමින් අපහසුවෙන් සිය කඳුළු වළක්වාගන්නට උත්සාහ කළාය. "මං දන්නෙ නෑ සමුගන්නෙ කොහොමද කියලා. මොනවා කියන්නද කියලා මට හිතාගන්න බෑ."

"මුකුත් කියන්න එපා," ඉදිරිය බලාගෙන එසේ තෙපලූ ජෝ ඈ දෙස බැලුවේය. තවත් ඉවසා සිටිය නොහැකි වූ ඈන් කුමරිය ඔහුගේ පපුවට තුරුළු වී ඉකි බිඳින්නට වූවාය. ඔහුද දෑස් පියාගෙන තරයේ ඈ වැළඳගත්තේය. මොහොතක් වේලා එකිනෙකා සිපගත් ජෝ සහ ඈන් කුමරිය තවත් මඳ වේලාවක් වේදනාවෙන් පිරි හදවත්වලින් යුතුව එකිනෙකා වැළඳගෙන සිටියෝය. 

අවසානයේදී ඔවුන් දෙදෙනා එකිනෙකා වෙතින් මිදුණු අතර කුමරිය හිස හරවා තානාපති කාර්යාලය වෙත විහිදුණු වීදිය දෙස බැලුවාය. අනතුරුව කුමරිය යළි ජෝ වෙත හැරුණාය. ඔහු දිරිගන්වනසුලු මඳ සිනහවක් ආයාසයෙන් මුවගට නගාගත්තේය. පෙනෙන නොපෙනෙන තරමේ මඳ සිනහවකින් ඔහුට ප්‍රතිචාර දැක්වූ කුමරිය අනතුරුව බිම බලා හිඳ, මොහොතකට පසුව රථයේ දොරටුව හර පිට වූවාය. යළිත් හැරී ඔහු දෙස බැලීමෙන් වැළකුණු කුමරිය වංගුව වෙත ඇවිද ගොස් වීදිය ඔස්සේ දිව යන්නට වූවාය. ජෝ ඈ නොපෙනී යන තුරුම ඇසි පිය නොහෙලා බලා සිටියේය. ඉන් අනතුරුවද තවත් මොහොතක් වේලා දෙගිඩියාවෙන් යුතුව තානාපති කාර්යාලයේ ගේට්ටුව දෙස බලා සිටි ඔහු අවසානයේදී සිය දෑස් ඒ වෙතින් මුදවාගත්තේය. අනතුරුව, උදාසීන ලෙසින් රථයේ එන්ජිම පණ ගැන්වූ ජෝ එතැනින් පිටව ගියේය.


***

තානාපති කාර්යාලය තුළ ඈන් කුමරිය නිදන ඇඳුමින් සැරසී සිටි තානාපතිවරයා, කඳුළු සළමින් සිටි වියර්බර්ග් ආදිපාදවරිය සහ මුහුණ ඇඹුල් කරගෙන සිටි ජනරාල්වරයා ඉදිරියේ සිටගෙන සිටියාය.

"කුමරියනි," තානාපතිවරයා කතා කළේය. "ගෙවුණු පැය විසි හතර සම්පූර්ණයෙන්ම හිස් වෙන්න බැහැ කියලා මං හිතනවා."

"නෑ, හිස් නැහැ."

"ඒත් මං මොනවද රජතුමාට කියන්නේ?"

"මං අසනීපෙන් හිටියා. දැන් සනීපයි."

"උත්තමාවියනි: ඔබතුමියට මං ගෞරවයෙන් සිහිපත් කරනවා මගේ වගකීම, ඒ වගේම ඔබතුමියගේ වගකීම-"

ඈන් කුමරිය ඔහුට බාධා කරමින් කතා කළාය. "තානාපතිතුමනි, ඔය වචනය ආයෙමත් පාවිච්චි කරන්න ඔබට කිසිම හේතුවක් ලැබෙන එකක් නැහැ කියලා මං විශ්වාස කරනවා. මගේ පවුල සහ මගේ රට වෙනුවෙන් මගේ වගකීම ගැන මං හොඳටම දන්න නිසා නෙවෙයිනං මං අද රෑ ආපහු එන්නෙ නැහැ." දරදඬු හඬින් එසේ පැවසූ ඈන් කුමරිය මඳක් සසළ වූ හඬින් "එහෙනම් කවදාවත්ම මං ආයෙ එන්නෙ නැහැ," යනුවෙන් එකතු කළාය. අනතුරුව ඇය රාජකීය ලීලාවෙන් කාමරය හරහා ඇවිද ගියාය. "අපිට හෙට ලොකු වැඩ සැලැස්මක් තියෙන බව මම දන්නවා. ඒ නිසා ඔබ හැම දෙනාටම මෙතැනින් පිටව යාමට අවසර."

මොහොතක් එලෙසම රැඳී සිටි නිලධාරීන් අනතුරුව කුමරියට හිස නමා ආචාර කොට දොරටුව වෙත ඇවිද ගියෝය. දොරටුව අසළදී සේවිකාවකගෙන් බන්දේසියක් අතට ගත් වියර්බර්ග් ආදිපාදවරිය එයද රැගෙන යළි කුමරිය වෙත එන්නට සූදානම් වත්ම "කිරි - විස්කෝත්තු - උවමනා නැහැ," යැයි කුමරිය පැවසුවාය. බන්දේසිය යළි සේවිකාවට දුන් ආදිපාදවරිය දොර වසා යළි කුමරිය වෙත එන්නට සූදානම් වත්ම "ඔබේ සේවාවට ස්තූතියි, හෙට මුණගැහෙමු," යැයි කුමරිය කීවාය. මොහොතක් විපිළිසරව බලා සිටි ආදිපාදවරිය කුමරියට ආචාර කොට කාමරයෙන් පිටව ගියාය. තානාපති කාර්යාලයේ නිදන කාමරය තුළ හුදෙකලා වූ කුමරිය කවුළුව වෙත ඇවිද ගොස් නිහඬව නගරය දෙස නෙතු යොමා සිටියා ය.



- මතු සම්බන්ධයි -





224. රෝමයේ නිවාඩුවක්...06

එදින සන්ධ්‍යාවේ අන්ධකාරය මධ්‍යයේ ශාන්ත ඇන්ජලෝව අසළ ටිබරීන් ගංගාවේ තොටුපොළ වෙතින් සංගීත නාදය විහිදෙමින් තිබුණි. ජෝ සහ ඈන් තොටුපොළේ පියගැටපෙළ බැස ප්‍රවේශපත්ද මිළදීගෙන යාත්‍රාව වෙත ළඟා වූහ. එහි ඒ වනවිටද කිහිපදෙනෙකු නර්තන භූමිය මත නර්තනයේ යෙදෙමින් සිටි අතර ජෝ සහ ඈන් කුමරියද වැයෙමින් තිබූ රාවයට නර්තනය ඇරඹූ හ. ඒ අසළ අත්වැටට බර දී තනි කළු ඇඳුමින් හා හිස්වැසුමින් සැරසුණු දෙදෙනෙකු උත්සව භූමියේ ගැවසෙන්නන් දෙස බලා සිටියෝය. ඉන් එකෙකුගේ අවධානය ජෝ හා ඈන් කුමරිය වෙත යොමු වූ අතර කෙළින් වී සිටගත් ඔහු අනෙකා සමග කිසිවක් පැවසුවේය. හිස සැලූ දෙවැන්නා වහා එතැනින් නික්ම පියගැට පෙළ නැග දිව ගියේය. ඒ අතර සංගීත රාවය වෙනස් වී වඩාත් ළයාන්විත රාවයක් වැයෙන්නට වූ අතර ඈන් කුමරිය සිය හිස ජෝගේ උරහිසට හේත්තු කරගෙන දෑස් පියාගෙන මඳ සිනහවෙන් යුතුව නර්තනයේ යෙදුණාය. මොහොතකට හිස එසවූ ඇගේ දෑස් ජෝගේ දෑස් හා ගැටී මඳ වේලාවක් එලෙසම රැඳුණු අතර තවත් මඳ වේලාවකින් සංගීතය අවසන් වූයෙන් ඔවුන් දෙදෙනාද නර්තන භූමියෙන් ඉවතට ඇවිද ගියෝය.




අසුනක් මත හිඳගන්නා අතරේදී ඈන් කුමරිය කතා කළාය. "බ්‍රැඩ්ලි මහත්මයා: මං හිතන්නේ ඔයත් හරියටම කපාපු පළුවක්."

"ඈ- මොක-?" අනතුරුව ඔහුට සිහිපත් විය. මඳ සිනහවක් පෑ ඔහුද ඈ අසළ අසුනකින් හිඳගත්තේය. "ආ, බොහොම ස්තූතියි."

"ඔයා අද මුළු දවසෙම මං කැමති දේවල් කර කර මාත් එක්කම හිටියා. ඇයි?"

ජෝ වරදකාරී හැඟීමෙන් යුතුව වදන් ගැලපුවේය. "මං දන්නෙ නෑ. මට හිතුණා එහෙම කරන්න."

"ඒ තරම් කරුණාවන්ත කෙනෙක් ගැන මං කවදාවත් අහලා නෑ."

සිය පශ්චාත්තාපය සඟවාගැනීමට ජෝ බිම බලාගත්තේය. "ඒක ඒ හැටි දෙයක් නෙවෙයි."

"හරිම පරාර්ථකාමියි."

ජෝ හිස එසවූයේ මඳ වේලාවකට පසුය. ඔහු බීමහළ වෙත හිස දිගු කළේය. "යමු, අපි ගිහිං මොනවාහරි බීලා ඉමු." ඔහු ඇගේ අතින් අල්ලාගත් අතර ඔවුන් දෙදෙනා බීමහළ වෙත ඇවිද ගියහ.

බීමහළ අසළ සිටි කරණවෑමියා ඈන් කුමරිය දැක මහත් ප්‍රීතියෙන් කතා කළේය. "හානේ! ඔයා ආවානේ!" තමා සමග සිටි තැනැත්තියගෙන් අවසර ගැනීමට ඔහුට සිහිපත් වූයේ ඉන් අනතුරුවය. ඈ හා වදනක් දෙකක් දෙඩූ ඔහු යළිත් වහාම ඈන් කුමරිය වෙත හැරුණි. "මං ගොඩක් වෙලා බලං හිටියා ඔයා එනකල් - මං ඒත් හිතුවා ඔයා එන්නෙ නැති වෙයිද කියලා." ඔවුන් දෙස බලාගෙන ඈ පිටුපසින් සිටි ජෝ ඔහුගේ ඇස ගැටුනේ එයිනුදු අනතුරුවය. ඈන් කුමරිය ඔහුගේ මුහුණ වෙත අත දිගු කළ අතර කරණවෑමියා පෙරදී සිය උඩු රැවුල පිහිටි, මේ වනවිට සම්පූර්ණයෙන්ම මුඩුව පැවැති සිය උඩු තොල අල්ලාගත්තේය. "ආ, මාත් කපලාම දැම්මා; මුළු රැවුලම කැපුවා!"

"ආ, රැවුල නැතුව හොඳයි, නේද?" සිය කරණවෑමි හිතවතා හඳුනාගත් කුමරිය ප්‍රීතියෙන් කීවාය. "හරි ලස්සනයි." අනතුරුව ඇය ඔහුට ජෝ හඳුන්වා දුන්නාය. "මේ බ්‍රැඩ්ලි මහත්මයා."

"මම මාරියෝ ඩෙලානි," කරණවෑමියා කීවේය.

"පරණ යාළුවොද?" ජෝ විමසුවේය.

"ඔව්, එයා තමයි හවස මගෙ කොණ්ඩෙ කැපුවේ. මේකට එන්න කියලා මට කිව්වෙත් එයා තමයි."

"එහෙමද?" ජෝ මහත් උනන්දුවෙන් කරණවෑමියාට අතට අත දුන්නේය. "මොකද්ද නම කිව්වෙ?"

"ඩෙලානි, මාරියෝ ඩෙලානි."

"මාරියෝ ඩෙලානි," ජෝ පුනරුච්ඡාරණය කළේය. "බොහොම සතුටුයි අඳුනගන්න ලැබුණට."

"මටත්," කරණවෑමියාද පිළිතුරු දුන්නේය. මේ අතර සංගීත කණ්ඩායමේ වාදනය නැවතත් ඇරඹුණි. මාරියෝ ඈන් කුමරිය දෙස බැලුවේය. "මේ, මට මේ ලස්සන නෝනාත් එක්ක නටන්න අවසරද?" නුහුරු බසින් කුමරියගෙන් එසේ විමසූ ඔහු ජෝ දෙස බැලුවේය. "කමක් නැද්ද?"

"අයියෝ කමක් නෑ; යන්න යන්න," ජෝ අවසරය ලබා දුන්නේය.

ඈන් කුමරියද කරණවෑමියාද මහත් ප්‍රීතියෙන් නර්තනයේ යෙදුණෝය. වයින් වීදුරුවක්ද අතැතිව ඒ දෙස බලා සිටි ජෝ විගසින් සටහන් පොතක් අතට ගෙන කරණවෑමියාගේ නම එහි සටහන් කරගත්තේය. මේ අතර අර්වින්ද තොටුපොළ වෙත පිවිසි අතර සිය කැමරාව පෙන්වමින් මාධ්‍ය ආවරණයකට පැමිණි බව පැවසූ ඔහු ප්‍රවේශ පත්‍ර නොමැතිවම යාත්‍රාවට පිවිසුණේය. ඈන් කුමරිය නර්තනයේ යෙදෙන අන්දම කළු ඇඳුම් හැඳි රහස් සේවා නිලධාරියාද බලා සිටියේය.

අර්වින් බීමහළ අසළ සිටි ජෝ වෙත ළඟා විය. "ඒයි, මට මොනවත් මග ඇරුණද?"

"නෑ නෑ, උඹ නියම වෙලාවට ආවේ," ජෝ පහත් හඬින් කීවේය.

"ස්මිත් නෝනා අර කාත් එක්කද නටන්නේ?"

"බාබර් එක්ක - හවස කොණ්ඩෙ කැපුවා, රෑට හම්බවෙන්න කතාකරගත්තා."

අර්වින් මහත් උනන්දුවෙන් හා ප්‍රීතියෙන් ඔවුන් දෙස යළිත් බැලුවේය. "'කුමරිය සහ කරණවෑමියා'" ඔහු යළිත් සිරස්තලයක් ගෙන හැර පෑවේය. අර්වින් බීමහළේ මේසයෙන් අනෙක් පසට ගොස් සිය කැමරාව මේසය මත අටවන අතරේ ජෝ එය නර්තන භූමියෙන් ආවරණය කරගෙන සිටගෙන සිටියේය. අනතුරුව අර්වින්ගේ සංඥාව ලැබුණු විගස පසෙකට වූ ජෝ කැමරාව ක්‍රියාත්මක වූ විගස යළි පෙර ස්ථානයට පැමිණ හදිසියේ අකුණක් පතිත වූයේ මන්දැයි කල්පනා කරන්නක් මෙන් අහස දෙස බලා සිටින්නට විය. විගසින් කැමරාව සැඟවූ අර්වින්ද වයින් වීදුරුවක් අතට ගෙන ජෝ අනුකරණය කරමින් පිටතට පැමිණියේය. ඔවුන් සිටි දෙස බැලූ ඈන් කුමරිය ඔවුන් හා සිනාසී අත වැනුවාය. ඔවුන් දෙදෙනාද සිය වීදුරු ඔසවා සිනා පෑ හ. මේ අතර තොටුපොළට ඉහළින් පාලම මත මෝටර් රථ කිහිපයක් නතර කෙරුණු අතර උත්සව යාත්‍රා භූමිය වටා රහස් සේවා නිලධාරීහු තැන් තැන්වල ස්ථානගත වූහ. 



වැයෙමින් තිබූ ගීතය අවසන් වූ අතර නිරීක්ෂණයේ යෙදී සිටි පළමු රහස් සේවා නිලධාරියා කුමරිය හා මාරියෝ වෙත පැමිණියේය. ඔහු පැමිණියේ සුන්දර තරුණිය හා නර්තන අවස්ථාවක් ලබාගැනීමටයැයි සිතූ මාරියෝ ආචාරශීලීව ඇගෙන් සමුගෙන නර්තන භූමියෙන් පිට විය. කළු ඇඳුමින් සැරසුණු නන්නාඳුනන අමුත්තා දෙස බලා මඳ සිනහවක් පෑවද කුමරිය ඔහු හා නර්ථනය ඇරඹුවේ නොසන්සුන් සිතිනි. මඳ වේලාවක් ඈ හා නර්ථනයේ යෙදුනු නිලධාරියා ඈ වෙත නැඹුරු විය. "උත්තමාවියනි." තියුණු බැල්මක් ඔහු වෙත හෙලූ කුමරිය ඔහු වෙතින් මිදෙන්නට සූදානම් වුවද ඔහු තදින් ඈ ග්‍රහණය කරගෙන සිටියේය. "කලබල නොකර පිවිසුම් දොරටුව ළඟට මේ විදිහටම යමු. එතන වාහනයක් නතරකරලා තියෙනවා."

කුමරිය ඔහුගෙන් මිදෙන්නට අරගල කළාය. "බැහැ."

"කුමරියනි, කරුණාකරලා මං කියන විදිහට කරන්න," ඔහු බලෙන්ම ඈ දොරටුව වෙත කැඳවාගෙන යන්නට උත්සාහ කළේය.

"ඔයාට - ඔයාට වැරදීමක් වෙලා." තමාට ඔහු කියනා දෙය නොවැටහෙන බවක් හඟවන්නට ඈ ඉතාලි බසින්ද දෙඩුවද එය සාර්ථක වූයේ නැත. "මට යන්න දෙන්න." අනතුරුව ඇය කෑ ගසන්නට විය. "මට යන්න දෙනවා! බ්‍රැඩ්ලි මහත්මයා!" බීමහළ අසළ සිටි ජෝ ඇගේ හඬ ඇසී වහා ඈ සොයමින් දිව එන්නට විය. "මට යන්න දෙනවද නැද්ද? බ්‍රැඩ්ලි මහත්මයා!" කලබලය ඇසුණු අර්වින්ද ජෝ පසුපස දිව ආවේය.

ඔවුන් දෙදෙනා පැමිණෙන විට රහස් සේවා නිලධාරීන් දෙදෙනෙක් කුමරිය යාත්‍රාවෙන් පිටතට ඇදගෙන එමින් සිටි නමුත් ජෝගේ පහර කෑමෙන් ඉන් එකෙකු ඇදගෙන වැටුණේය. ඔහු කුමරිය අතින් අල්ලාගෙන අනෙක් තැනැත්තාටද පහර දුන් අතර එම නිලධාරියා අනෙක් පස හැරී අර්වින් හට දුන් පහරින් ඔහු තොටුපොළේ අත්වැටෙන් ගඟට නොවැටී බේරුණේ යන්තමිනි. ජෝ සහ ඈන් කුමරිය නර්තන භූමියේ අනෙක් පසට දිව ගිය අතර එහි වූ පිරිස නර්තනය හා වාදනය නවත්වා අරගලය දෙස බලා සිටින්නට විය. තවත් රහස් සේවා නිලධාරීන් එහි ළඟා වෙමින් සිටිනු දුටු ජෝ කුමරියද කැටුව යළිත් අනෙක් පසට දිව ගියේය. ඔවුන් දෙදෙනා දෙපසින්ම වටව සිටි බැවින් කුමරිය පසෙක තබාගෙන ජෝ සටනට පිවිසියේය. ඔහුගේ පහර කෑ එක් නිලධාරියෙකු ගඟට ඇදගෙන වැටුණු අතර ඈන් කුමරිය වහා ඔහු වෙත වැටේ සවි කොට තිබූ ජීවිතාරක්ෂක වළල්ලක් ගලවා විසි කළාය. නරඹන්නෝ ප්‍රීති ඝෝෂා කළහ. ජෝගේ සහයට පැමිණි අර්වින්ද තවත් නිලධාරියෙකු හා පොර බදන්නට වූ අතර නිලධාරියා ඔහුගේ රැවුළෙන් ඇදි මොහොතේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය අර්වින් මිට මොළවා ඔහුගේ මුහුණ මැදට පහරක් එල්ල කළේය. මේ අතර නරඹන්නන් අතර සිටි මාරියෝද සිය කුඩා පනාව පිටතට ගෙන ඉතාලි බසින් මුමුණමින් සිය හිස කෙස් පීරා හොඳින් සකසාගෙන ජෝගේ සහයට පැමිණියේය. එතෙක් නතර වී තිබූ වාදනය යළිත් අරඹන ලෙස සංගීත කණ්ඩායමේ නියමුවාගෙන් විධානය ලැබුණු අතර වේග රිද්මයකින් යුතු සංගීතයක් වැයෙන්නට පටන්ගත්තේය. 




උත්සව යාත්‍රාවේ කලබලය දිගින් දිගටම ඇදී ගිය අතර ජෝද, අර්වින්ද, මාරියෝද හතර අතින් එන රහස් සේවා නිලධාරීන්ට පහර දෙමින් සිටියෝය. මේ අතර හොර රහසේම කුමරිය වට කරගත් රහස් නිලධාරීන් දෙදෙනෙක් ඈ ඇදගෙන යන්නට වූහ. ජෝ ඒ පසුපසින් දිව ගිය අතර අර්වින්ද සිය කැමරාව ඔසවාගෙන ඔහු පසුපස දිව ගියේය. ජෝ කුමරිය අල්ලාගෙන සිටි එකෙකුට පහර දී බිම දැමූ අතර අනෙකා ඔහුට පහර දීම පිණිස කුමරිය අත හැරියාය. නිදහස් වූ කුමරිය ජෝට සහය විය හැකි අන්දමක් සොයමින් බිම විසිරී තිබූ බෝතල් අතට ගෙන නිලධාරියා වෙත දමා ගැසුවාය. නමුත් ඉන් ඵලක් නොවූ තැන යළිත් වටපිට බැලූ කුමරිය පසෙක වැටී තිබූ ගිටාරයක් අතට ගෙන පුටුවක් මතට නැගගත්තාය. ඈ වෙතට තවත් නිලධාරියෙක් පැමිණෙන්නට වූ අතර කුමරිය ගිටාරය ඔසවා හොඳින් එල්ලය බලා ඔහුගේ හිස් මුදුනට පතබෑවාය. නිලධාරියා ඈ ඉදිරියේ හුන් තැනම ගල් ගැසී නතර විය. එම අනර්ඝ මොහොත සිය කැමරා කාචයෙන් මග හැරී යාම පිළිබඳව කණස්සලු වූ අර්වින්, යළිත් එයම සිදු කරන ලෙස කුමරියට පැවසුවේය. සිනහවෙන් පිරුණු මුහුණෙන් යළිත් ගිටාරය ඔසවාගත් ඈන් කුමරිය පෙරටත් වඩා හොඳින් එල්ලය ගෙන එයින් නිලධාරියාගේ හිස මතට පහර දුන්නාය. 




මේ අතර අවටින් ඉතාලි පොලිස් රථ වාහන ළඟා වන සයිරන් නළා හඬ ඇසෙන්නට වූ අතර, ජෝද, ඈන් කුමරියද, අර්වින්ද උත්සව යාත්‍රා භූමිය මග හැර තොටුපොළේ අනෙක් පසට පිවිසෙන්නට උත්සාහ කළෝය. නමුත් එදෙසින් පොලිස් නිලධාරින් ළඟා වෙමින් සිටියෙන් ඔවුන් තිදෙනා පාලමේ අනෙක් පසට දිව ගිය අතර රහස් සේවා නිලධාරියෙකු සමග පොර බැදීම පිණිස අර්වින්ට නතර වීමට සිදු විය.

බෝට්ටු මඩුවක් වෙත ළඟා වූ ජෝ සහ ඈන් කුමරිය එය වටා සීරුවෙන් ගමන් ගන්නා අතරේ කෙළවරක සැඟව සිටි රහස් නිලධාරියෙක් ජෝ එතැනින් එබී බලනවාත් සමග ඔහුගේ මුහුණ මැදට පහරක් එල්ල කළේය. ඉන් විසි වී ගිය ජෝ ගඟට ඇද වැටුණේය. වහා ක්‍රියාත්මක වූ ඈන් කුමරිය නිලධාරියාට පා පහරක් දී හුස්ම තද කරගෙන, නාසය වසාගෙන ජෝ අසළින්ම ගඟට පැන්නාය. 

උත්සව යාත්‍රාවට ළඟා වූ පොලිස් නිලධාරීහු ඇද වැටී තුවාළ ලබා සිටි විදෙස් රහස් සේවා නිලධාරීන් අත් අඩංගුවට ගෙන පොලිස් රථ වෙත රැගෙන ගියහ. ඉන් එක් නිලධාරියෙකුගේ කර වටා ගිටාරයක්ද පැටළී තිබුණි. 

ජෝ සහ ඈන් කුමරිය දිය බේරෙන සිරුරුවලින්, එහෙත් නිරුපද්‍රිතව ඉවුරේ අනෙක් කෙළවරට ළඟා වූහ. ශීතලෙන් වෙව්ළන කුමරිය තුරුළු කරගෙන අසළ ගලක් වෙත පැමිණි ජෝ එහි හිඳගෙන ඈ උණුසුම් කරමින් ඇගේ උරහිස් දෑතින් සම්බාහනය කළේය. "ප්‍රශ්නයක් නෑ නේද?" ඔහු ඇසුවේය.

"මං හොඳින්," කුමරිය පිළිතුරු දුන්නාය. "ඔයාට කොහොමද?"

"අපොයි මාත් හොඳින්!" ඔවුන් දෙදෙනා එක්ව සිය වික්‍රමය පිළිබඳව සතුටු සිතින් මොහොතක් සිනාසුණහ. අනතුරුව ජෝ කුමරිය දෙස බැලුවේය. "ඒක නෙවෙයි, එතනදි නියමයි ඈ, මාර පාරවල් ටිකක්නෙ දුන්නෙ," ඔහු යළිත් සිනාසුණේය.




"ඔයත් එහෙමනෙ-" කුමරිය කතා කරන්නට පටන්ගත් නමුත් ජෝගේ දෑසේ වූ බැල්ම දැක එක්වරම ඇගේ මුව ගොළු විය. ඈ වෙත නැඹුරු වූ ජෝ ඇගේ දෙතොල් සිපගත්තේය. මඳ වේලාවකින් යළිත් එකිනෙකා වෙතින් මිදුණු දෙදෙනා තවත් මොහොතක් වේලා ඔවුනොවුන් දෙස බලා සිටියෝය.

තරමක නිහඬතාවයකින් පසුව මුළින්ම හඬ අවදි කළේ ජෝ ය. "මේ... මං... මං හිතන්නේ... අපි මෙහෙං ගියොත් හොඳයි ඉක්මනට. අර්වින් වාහනේ ළඟ ඇති." 

කිසිත් නොපැවසූ කුමරිය ඔහු හා නැගී සිට ගං ඉවුරෙන් එපිටට ඇවිද ගියාය.




- මතු සම්බන්ධයි -




223. රෝමයේ නිවාඩුවක්...05

තානාපතිවරයා සහ ජනරාල්වරයා ගුවන් තොටුපොළ නැරඹුම් මැදිරියේ හිඳගෙන සිටියෝය. මොහොතකට පෙර ගොඩබට රාජකීය ලාංඡනයක් සහිත එන්ජින් හතරේ විශාල ගුවන් යානයක් ධාවන තීරුව ඔස්සේ පැමිණ නතර කෙරුනි. එහි විවර වූ දොරටුවෙන් එක හා සමාන කළු ඇඳුමින් හා හිස්වැසුම්වලින් සැරසුණු මිනිසුන් පෙළක් බැස එන්නට විය. පියගැටපෙළ පාමුල සිටි නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ඔවුහු පිළිගැනුණි. තානාපතිවරයා එදෙස බලා සිටියේ ඔරවාගත් දෑසිනි.

"බලනවා අරුන් දිහා!" තානාපතිවරයා කීවේය. "රහස් නිලධාරීන් ඔහොමත් එන සිරිතක් තියනවද? ඇඳුම් පැළඳුම්වලින් ලේසියෙන් අඳුරගන්න බැරිවෙන්න නේද ඉන්න ඕනෙ?"

"ඉතිං ඔබතුමානේ කිව්වේ වැඩිය කැපිලා පේන්නෙ නැති ඇඳුමක් ලෑස්ති කරන්න කියලා. ඉතිං කළු හොඳයිනේ," ජනරාල්වරයා ඇඟටපතට නොදැනී පිළිතුරු දුන්නේය.

***



මේ අතර කුඩා වෙස්පා ස්කූටරයක නැගි ජෝ ඈන් කුමරියද එහි පිටුපසින් හිඳුවාගෙන නගරය පුරා සංචාරය කරමින් සිටියේය. ඉදිරියෙන් දිස් වූ පෞරාණික රංග පීඨය හෙවත් කොලෝසියම වෙත ස්කූටරය ඇදී යන අතරේ ඇය සිය දෑතින් ඔහුගේ බඳ තරයේ අල්ලාගෙන ප්‍රීතියෙන් වටපිට බලමින් සිටියාය. කොලෝසියම වෙත ළඟා වීමෙන් පසු ඈන් කුමරිය මාර්ගෝපදේශකයෙකු හා ගමන් කරමින් එහි තොරතුරු අසාගන්නා අතරේ ජෝ ඔවුනට පසුපසින් ඒ ආසන්නයෙන්ම ඇවිද ගියේය. එහිදී අර්වින්ද යළි ඔවුනට එකතු විය. සිගරට්ටුවක් දල්වාගන්නා ලෙසින් ඈන් කුමරිය දෙස බලමින් ලයිටරය අතට ගත් අර්වින් එය ක්‍රියාත්මක කළේය. ජෝ ඔහු හා මිතුරා පමණක් දත් රහස් ඉඟියකින් එය අනුමත කළේය. 

කොලෝසියමෙන් පිටතට පැමිණීමෙන් පසු ජෝ සහ කුමරිය යළිත් ස්කූටරයට ගොඩ වූ අතර අර්වින් වහළය රහිත කුඩා මෝටර් රථයක නැගී ගමන් කළේය. ස්කූටරය පසු කර සිය රථය ඉදිරියට ගත් අර්වින්, ජෝ කුමරියගේ අවධානය වෙනතක යොමු කරන අතරේ පසුපස හැරී විගසින් ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් ගත්තේය. මාවතෙන් ඉවතට ඇදී යන්නට වූ වාහනය ඔහු යළි පාලනය කරගත්තේ අපහසුවෙනි. ස්කූටරය එහි හැපීමෙන් වළක්වාගැනීම පිණිස ජෝ හට මාර්ගයේ විසල් අන්තර් ඡේදනයක් වෙත එය යොමු කරන්නට සිදු විය. එහි රථ වාහන හසුරවමින් සිටි පොලිස් නිලධාරියා නළාව පිම්බේය. අර්වින්ද සිය රථය නතර කරගත්තේය. ජෝ සහ කුමරියද ස්කූටරයෙන් බිමට බැසි අතර ජෝ නිලධාරියා සමග කතා කිරීම පිණිස ඔහු වෙත ගියේය. අර්වින් කැමරාවක්ද අතැතිව වීදිය කෙළවරින් එබී බැලුවේය. ජෝ නිලධාරියා සමග කතා කරන අතරේ ඈන් කුමරිය ස්කූටරය පිරික්සා බැලීම පිණිස යළි එහි ගොඩ වී රියැදුරු අසුනේ හිඳගත්තාය. ඇය ලිහිල් ලෙස එහි පාලක යතුරු කරකවා බලන අතරේ අර්වින් ඡායාරූපයක් අරගත්තේය. නමුත් එක්වරම ස්කූටරය පණගැන්වී ඉදිරියට ඇදෙන්නට වූ අතර ඈන් කුමරිය යටි ගිරියෙන් කෑ ගැසුවාය. වහා හැරී බැලූ ජෝ පොලිස් නිලධාරියාගෙන් සමාව ඉල්ලමින් ස්කූටරය පසුපස දිව ගියේය. අර්වින් තුෂ්නිම්භූතව බලා සිටියේය. පදික වේදිකාව මතින් ඒ මේ අත වැනෙමින්, පදිකයන් බිය ගන්වමින් ඇදී ගිය ස්කූටරය පසුපස දිව ගිය ජෝ එය නවත්වන ලෙස කුමරියට කෑ ගැසුවේය. අර්වින්ද යළි සිය රථයට ගොඩ විය. ප්‍රීතියෙන් ඉපිළෙමින් සිටි කුමරිය සිනහසෙමින් නොනවත්වා ස්කූටරය පැදවූ අතර ජෝද අවසානයේ සිනාසෙමින් ඒ මතට පැනගත්තේය. ස්කූටරයේ වේගය එක්වරම වැඩි වූ අතර වංගුවකින්ද හැරී තව තවත් පදිකයන් බිය ගන්වමින් ඉදිරියටම ඇදී යන්නට විය.

"කෝ කෝ මට දෙන්න ඕක," ජෝ සිය දෑත් අත් පොලු මතින් තබාගනිමින් කීවේය.

නමුත් කුමරිය ඔහුගේ දෑත් ඉවතට තල්ලු කර ඒ මතින් යළි ඇගේ දෑත් තබාගත්තාය. "බෑ බෑ, මට පුළුවං, මට පුළුවං."



මෝටර් රථයක්ද බයිසිකලයක්ද යාන්තමින් මග හරිමින් ස්කූටරය රථ වාහන පිරි ප්‍රධාන මාවතට පිවිසුණි. එය මග හැරීමට ට්‍රෑම් රථයකට වැරදි මංතීරුවට පිවිසෙන්නට සිදු වූ අතර එහි රියැදුරු කෝපයෙන් නළාව ශබ්ධ කළේය. ස්කූටරය පසුපසින් අපහසුවෙන් සිය රථය පැද ආ අර්වින්ගේ මුහුණට වරෙක ජල නලයකින් විසි වී ආ දිය දහරාවක් හේතුවෙන් ඔහුගේ දර්ශන පථය වැසී ගියේය. යළිත් පදික වේදිකාවට ස්කූටරය නැංවූ ඈන් කුමරිය කඩ පිළක සිටි මිනිසුන් රොත්තක් මැදින්ද, තවත් කඩපිලක සිත්තරෙකු සිය ගැණුම් කරුවන්ට පෙන්වමින් සිටි සිතුවමක් මැදින්ද ස්කූටරය ධාවනය කළාය. පදික වේදිකා අවන්හළක හිඳ සිටි උදවිය නැගිටුවමින්, පළා යවමින්, මේස පුටු පෙරළමින් ඇදී ගිය ස්කූටරය යළි මාවතට පිවිස වටරවුම වටා කරකැවුණේ මාර්ග නීතිරීතිවලට පටහැණි අන්දමකිනි. ඒ සමගම ඔවුනට පසුපසින් පොලිස් නිලධාරියෙකුගේ විසිල් හඬද, ඉන් අනතුරුව පොලිස් වාහනවල නළා හඬද ඇසෙන්නට විය. පොලිස් නිලධාරීන් රැගත් යතුරු පැදි දෙකක් දෙපසින්ද, සයිරන් නළා හඬ නංවන පොලිස් රථවාහන පෙළක් පිටුපසින්ද පිරිවරාගෙන ඈන් කුමරිය හා ජෝ රැගත් ස්කූටරය නොනැවතී ඇදී ගියේය.

මඳ වේලාවකට පසු ඈන් කුමරිය, ජෝ සහ අර්වින් සිටියේ විනිසුරුවරයෙකුගේ මේසය පෙසෙකින් සිටගෙනය. ජෝගේ හා ඈන් කුමරියගේ ස්කූටර් වික්‍රමයෙන් අලාභහානි ලැබූවෝ මේසය ඉදිරියේ පෙළගැසී සිටියෝය.



විනිසුරුවරයාගේ පැනයන්ට පිළිතුරු දෙමින් සිටි ජෝ සිය හැඳුනුම්පත ඔහු වෙත ඉදිරිපත් කළේය. එහි ඇති ඔහුගේ ඡායාරූපය දෙසත් ඔහු දෙසත් විනිසුරුවරයා සැකමුසු දෑසින් බලන්නට වූයෙන් ජෝ සිය හිස ඇළ කර හැඳුනුම්පතේ ඡායාරූපයේ ඔහුගේ මුහුණ සටහන් වී ඇති කෝණයට මුහුණ හැරවූවේය. විනිසුරුවරයා එහි සඳහන් ජෝගේ කාර්යාලයේ නම උච්ඡාරණ කළ අතර ජෝ එයට පිළිතුරු දෙන අතරේ ඈන් කුමරිය වටා අතක්ද දමාගත්තේය. අර්වින්ද මැදිහත් වී යමක් පැවසූ නමුත් විනිසුරුවරයා ඉන් සෑහීමකට පත් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. අවසානයේ ජෝ විනිසුරුවරයාගේ මේසය මත වූ යමක් වෙත ඔහුගේ අවධානය යොමු කළ අතර එයින් විනිසුරුවරයාගේ මුහුණ එළිය වැටුණි. 

මොහොතකට පසු අර්වින්ද, අතිනත පටලාගත් ජෝ හා ඈන් කුමරියද සිනාසෙමින්, ඔවුනට විරුද්ධව සාක්ෂි දීමට ආ සාක්ෂිකරුවන්ට අත්ද වනමින් පිටතට ඇවිද ආවෝ ය. දොරටුව අසළ සිටි පොලිස් නිලධාරියාට නෑසෙන මානයට ඇවිද ගිය පසු ඔවුහු නතර වූහ. "ඇමරිකානු පුවත් සේවය?" ඈන් කුමරිය ජෝගෙන් විමසුවාය. "ඇයි එයා එහෙම කිව්වෙ?"

"ඈ? ආ, මෙහෙමයි: අපි මාධ්‍යයට සම්බන්ධ අය කියලා කිව්වහම ඔය ඕන තැනකින් ගැලවෙන්න ලේසියි, ඒකයි." ජෝ පිළිතුරු දුන්නේය.

ඒ වන තුරුද සිනහව නවතාගත නොහැකිව සිටි අර්වින්ද කතා කළේය. "ඒකනං නියම වැඩේ! ස්කූටරේක නැගලා පල්ලියට යන ගමං - කසාද බඳින්න! මූනං මහ පච මෝලක්!" ඈන් කුමරිය ඔවුන් දෙදෙනා දෙස ගැටළුකාරී මුහුණින් බලනා අතරේ පොලිස් ස්ථානය තුළින් පිටතට පැමිණි සාක්ෂිකරුවෝ සිනහමුසු මුහුණින් ඔවුන් වෙත පැමිණ ජෝට හා ඈන් කුමරියට සුබ පතන්නට වූහ. අවසානයට පැමිණි තරබාරු තැනැත්තෙක් ඈන් කුමරියගේ දෙතොල් සිඹ සුබ පැතූ අතර ජෝගේද මුහුණ දෙපසම සිපගත්තේය.

ඔවුන් සියල්ලෝම පිටව ගිය පසුද තිදෙනාම ගල් ගිල්ල ලෙසින් බලා සිටි අතර මුළින්ම මුව විවර කළේ ඈන් කුමරිය ය. "ඔහොම බලං ඉන්න ඕන නෑ ඉතිං," ඇය විපිළිසර මුහුණින් පසුවන ජෝට කීවාය. "මං ඔයාට වරද පටවන්නෙ නෑ."

"ඇති යන්තං. බොහොම ස්තූතියි."

"නෑ ඉතිං, ස්තූති කරන්න ඕනේත් නෑ!"

"හා එහෙනං."

තිදෙනාම සිනාසෙමින් ඇවිද යන අතරේ ඈන් කුමරිය යළිත් කතා කළාය. "මමත් නියම බොරුකාරියක් නේද?"

"ආයෙත් අහලා," ජෝ පිළිතුරු දුන්නේය. "මට හම්බවෙලා තියෙන හොඳම බොරුකාරි." අර්වින්ද එය අනුමත කළේය.

"බොහොම ස්තූතියි," ඈන් කුමරිය කීවාය.

ජෝ ඉදිරියේ වූ ගොඩනැගිල්ලක් වෙත දෑස් යොමු කළේය. "අන්න... එන්න මාත් එක්ක," ජෝ කුමරියගේ අතින් අල්ලාගෙන ඔහු පෙන්වූ ගොඩනැගිල්ල වෙත කැඳවාගෙන ගියේය. කුඩා අඳුරු කුටීරයක් බඳු වූ එතුළ බිත්තියේ දැවැන්ත පාශාණමය මුහුණක් කැටයම් කොට තිබුණි. "මේක අතමයි 'සත්‍යයේ මුහුණත'," ජෝ පැහැදිලි කළේය. ඔහු මුහුණෙන් එක් පසෙකද, ඈන් කුමරිය අනෙක් පසද සිටගෙන සිටි අතර අර්වින් දොරකඩ අසළ රැඳී හිඳිමින් තවත් සිගරට්ටුවක් පිටතට ගත්තේය. "කතන්දරවල කියවෙන හැටියට කෙනෙක් බොරුවක් කරනවනං, එයා මේ කට ඇතුළට අත දැම්මාම අත හපලා කඩාගන්නවාලු."

"හපොයි!"

"බලමු ඔයාට පුළුවන්ද කියලා අත බේරගන්න." ජෝ අභියෝග කළේය. මුළදී මදක් පැකිළුණු ඈන් කුමරිය අනතුරුව සිත දැඩි කරගෙන සෙමින් සෙමින් සිය අතක් පාශාණ මුහුණතේ මුව වෙත ළං කළාය. අර්වින් සිය සිගරට්ටුව 'දල්වා ගත්තේය'. ඈන් කුමරිය අත මුව ආසන්නයටම ගෙන ආවද අවසන් මොහොතේදී සිය ධෛර්යය සිඳී ගියෙන් සිනාසෙමින් යළිත් අත ඇදගත්තාය.

"ඔයාට පුළුවන්ද බලමු," ඇය කීවාය.

ජෝද මොහොතකට පැකිළුනි. නමුත් අනතුරුව සිය දකුණත මුව වෙත ගෙන ආ ජෝ සෙමින් සෙමින් මුව තුළට සිය අතැඟිලි ඇතුළු කළේය. ඈන් කුමරිය ඇසි පිය නොසලා බලා සිටියාය. කිසිවක් සිදු නොවූයෙන් ජෝ සිය මැණික් කටුවද නොපෙනී යන තුරුම අත ඇතුළු කළේය. නමුත් එක්වරම මරහඬ තැලූ ජෝ සිය අත ඉවතට ඇදගැනීමට උත්සාහ දරන්නට විය. නමුත් අත ඉවතට පැමිණියේ නැත. ඈන් කුමරියද වැළපෙමින් ඔහුට සහය වූ අතර අවසානයේදී පාශාණ මුහුණතේ මුව ලිහිල් වූ බවක් දැනුණි. ජෝ අත එළියට ගත්තේය. නමුත් එහි ඔහුගේ අතේ මැණික්කටුවෙන් පහළ කොටස තිබුණේ නැත. ඈන් කුමරිය භීතියෙන් තැතිගැන්වී සිය මුහුණ වසාගෙන ලතෝනි දුන්නාය. සිනාසෙන්නට පටන්ගත් ජෝ සිය කබා අත තුළ සඟවාගෙන සිටි අත පිටතට ගත්තේය.

විශ්මයට පත් ඈන් කුමරිය කඳුළු අතරින් සිනාසෙන්නට පටන්ගත් අතරේ ජෝ සිය දෑත් විවර කළේය. වහා ඔහුට ඔහු තුරුළට පිනූ ඈන් කුමරිය ඔහුගේ පපුවට මිටි කරගත් දෑතින් පහර දෙන්නට වූවාය. "නපුරා! බලන්න, අතට මුකුත් වෙලා නෑනේ!" ඇය වැළපෙමින් කීවාය. 



"සමාවෙන්න සමාවෙන්න, මං පොඩි විහිළුවක්නේ කළේ," ජෝ පැවසුවේය.

නමුත් ඈන් කුමරියගේ තැතිගැන්ම පහව ගොස් තිබුණේ නැත. ඇය නොනැවතී වැළපෙමින් සිනාසුණාය. "ඔයාගේ අතට මුකුත් වෙලා නෑනේ."

"අනේ හරි හරි ඉතිං, සමාවෙන්න, පුංචි විහිළුවක්නේ. හරිද?" ජෝ ඈ අස්වැසුවේය.

ඈන් කුමරිය තමා පාලනය කරගෙන මුහුණ පිසදාගත්තාය. "හරි."

"හරි එහෙනං, අපි යං."

ඉන් අනතුරුව තිදෙනාම අර්වින්ගේ රථයේ නැගී ගමන් ගත් හ. එක් නිහඬ මාවතක් අසළ අර්වින් රථය නතර කළේය. "මං මේක අයිනෙං නවත්තලා එන්නං," ඔහු කීවේය. ජෝ ඈන් කුමරියගේ දොර විවර කළ අතර ඇය පිටතට බැස්සාය. ජෝ වහළය රහිත රථයේ ඉහළින් බිමට පනින්නට සූදානම් වුවද කුමරිය තමා වෙනුවෙන් දොර විවර කර අල්ලාගෙන සිටිනා අන්දම දුටු ඔහු අපහසුවෙන් අසුන් අතරින් රිංගා බිමට බැසගත්තේය. අර්වින් රථය ඉවතට පැද යන අතරේ ඔවුන් දෙදෙනා පුළුල් මං තීරුවක් ඔස්සේ ඇවිද ගොස් විශාල පවුරක් ඉදිරියේ නතර වූහ. එය මුළුමණින්ම කුඩා ඵලක දහස් ගණනකින් වැසී ගොස් තිබුණි. ඔවුනට මදක් ඔබ්බෙන් පවුර අභියස දණ නමා යාඥා කරමින් සිටි කාන්තාවක් නැගිට කුරුසිය සිය පපුව මත සලකුණු කොට පිටව ගියාය.

"මේ මොනවද?" කුමරිය විමසුවාය.

ජෝ ඈ හා පවුර අසළින් ඇවිද යන්නට විය. "මේ හැම සටහනක්ම කාගේ හරි ඉෂ්ඨ වෙච්ච ප්‍රාර්ථනාවක්. මේක පටන්ගත්තෙ යුද්ධ කාළෙ. අහස් යාත්‍රාවලින් ඇවිත් බෝම්බ ගහන්න පටන්ගත්තා. හරියටම අන්න අතන-" ඔහු පවුරේ එක් තැනක් පෙන්වුවේය, "-එක තාත්තා කෙනෙක් එයාගෙ දරුවො හතර දෙනත් එක්ක හැංගිලා හිටියා. ඒ තාත්තා එතන ඉඳන් පවුලේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාර්ථනා කළා. ඒ ළඟටම බෝම්බ වැටුණත් කාටවත් මුකුත් වුණේ නෑ. පස්සෙ දවසක ඒ තාත්තා ඇවිත් තමුන්ගේ ඉෂ්ඨ වෙච්ච ප්‍රාර්ථනාව වෙනුවෙන් පළවෙනි ඵලකය මේ තාප්පේ හයි කළා. එදා ඉඳං ඉතිං මේක හරියට සිද්ධස්ථානයක් වගේ තමයි; මිනිස්සු එනවා, ප්‍රාර්ථනා කරනවා, ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙච්ච දවසක ආයෙ ඇවිත් මේ වගේ පුංචි සිහිවටනයක් එල්ලනවා."



ඈන් කුමරිය පවුර ඔස්සේ නෙත් යොමු කළාය. "හරි ලස්සන කතාන්දරයක්."

"කියවලා බලන්න ඔය ලියලා තියෙන ඒවා දෙක තුනක්," ජෝ ඈ පවුර ආසන්නයට යැවුවේය. ඈ හිස ඔසවා එහි ඇති සටහන් කියවනා අතරේ ඒ අසළම සිටි අර්වින් තවත් සිගරට්ටුවක් දල්වාගත් අතර ජෝ යළිත් ඈ අසළට පැමිණියේය. "ප්‍රාර්ථනාවක් කළාද?" ඈන් කුමරිය නෙතු බිමට යොමාගෙන හිස සැලුවාය. "දොස්තර මහත්තයාට කියන්න කැමති නැද්ද?" දහවල ඔහුගේ නවාතැනේදී ඔහු බොනාකොවේන් වෛද්‍යවරයා ලෙස සලකා ඈ ඔහුට සියල්ල පවසන්නට සූදානම් වූ අයුරු සිහිපත් කරමින් ජෝ කීවේය.

නමුත් කුමරිය ඉවතට හැරුණාය. "වැඩක් නෑ, ඒක හරි යන්න තියෙන ඉඩ බොහොම අඩුයි," ඇය කීවාය.

ඒ මොහොතේදී අර්වින් ඔවුන් වෙත ළඟා විය. "ඉතිං, දැං මොනවද අපි කරන්නේ?"

ඈන් කුමරිය උද්‍යෝගයෙන් හිස එසවූවාය. "මට ආරංචියි මෙහෙ බෝට්ටුවක නැටුම් සාදයක් තියෙනවලු, හරි ලස්සනයිලු."

"ආ, ඔය කියන්නේ ශාන්ත ඇන්ජලෝව ළඟ ගඟේ තියෙන උත්සව පාරුව."

"ඔව් ඔව්! අපි රෑට ඒකට යමුද?"

"මොකද බැරි?" අර්වින් කීවේය.

"ඔයා කැමති ඕන දෙයක්," ජෝද එකඟ විය.

"ඊට පස්සෙ රෑ දොළහට මං වට්ටක්කා ගෙඩියක් වෙලා, මගේ වීදුරු සපත්තුවත් දාගෙන අතුරුදහන් වෙනවා," කුමරිය හැඟීම් විරහිත මුහුණෙන් පැවසූවාය.

"එතනිං ඉතිං සුරංගනා කතාව ඉවරයි," ජෝ කීවේය. අනතුරුව ඔහු අර්වින් වෙත හැරුණේය. "උඹට දැන් ලොකු වැඩක් තියෙනවා කිව්වා නේද?"

"මට?" අර්වින් පුදුම වී ඇසුවේය.



"ඔව් අර ලොකු ව්‍යාපාර 'වර්ධන'-" ජෝ එහිදී හඬ මඳක් බර කළේය. "-වැඩේ? හෙට බාරදෙන්න තියෙන එක?"

එවර අර්වින්ට සිහිපත් විය. "ආ, හරි හරි, වර්ධන වැඩේ."

"ඔව්, ඒකට පළයං. නැත්තං අපරාදෙනේ."

"ඒක හරි," හිස සැලූ අර්වින් ඈන් කුමරිය වෙත අත දිගු කළේය. "පස්සෙ හම්බවෙමු ස්මිත් නෝනා."

"වර්ධන කටයුත්තට මගේ සුබ පැතුම්," කුමරියද ඔහුට අතට අත දෙමින් කීවාය.


- මතු සම්බන්ධයි -






222. රෝමයේ නිවාඩුවක්...04

ඈන් කුමරිය ජනාකීර්ණ වීදියට පිවිසුණාය. තමා වටා වූ සියල්ල දෙස පළමුව චකිතයෙන් යුතුව, එහෙත් වශී වූ ලෙසින් දෑස් යොමු කළ ඇය මඳ වේලාවකට පසුව මහත් විශ්වාසයෙන් යුතුව පා තබමින් තම වටපිටාව රසවිඳිමින් ඇවිද යන්නට වූවාය. ඇයට පසුපසින් වීදියට එබුණු ජෝ, ඈ සිය දර්ශන පථයෙන් බැහැර වීම වළක්වාගැනීමට ජනාකීර්ණ මාවත ඔස්සේ මිනිසුන් අතරින් රිංගමින් ඇවිද ගියේය. ඈන් කුමරිය කඩපොළට සේන්දු වූ අතර හෙමින් සීරුවේ එහි ඇති දෑ රසවිඳිමින්, වෙළඳ කුටි පසුකරමින් ඇවිද ගියාය. ඈ එක් සපත්තු වෙළෙන්දියක් අසළ නතර වූ මොහොතේදී ඈ පසුපසින් ආ ජෝටද පළතුරු වෙළෙන්දෙකු අසළ නතර වන්නට සිදු වූ අතර, ඈන් කුමරිය පාවහන් යුගළයක් දමා බලා ඒ සඳහා වෙළෙන්දියට මුදල් ගෙවන අතරේ පළතුරු වෙළෙන්දාද කෙසේ හෝ කොමඩු ගෙඩියක් ජෝගේ ඇඟේ ගසන්නට සමත් විය. එතැනින් නික්ම තවත් වීදියකට පිවිසුණු ඈන් කුමරිය තටාකයක් වටා විවිධ මූර්තීගෙන් අලංකාර වූ ගොඩනැගිල්ලක ඉදිරිපසට ළඟා වූ අතර ඈ එහි නතරව එහි අපූර්වත්වය රසවිඳිනා තෙක් ජෝ හට කොමඩු ගෙඩියද ඔසවාගෙන සැඟවී බලා සිටින්නට සිදු විය. යළිත් ගමන් ඇරඹූ ඈන් කුමරිය අනතුරුව නතර වන්නේ බාබර් සාප්පුවක් අභියස ය. එය ඉදිරියේ වූ කැටපතින් පෙනෙන තම මුහුණ දෙස නොසතුටු මුහුණින් බලා සිටි කුමරිය ඒ වටා සවිකර තිබූ විවිධාකාර කොණ්ඩා මෝස්තර දෙස බලා සිටියාය. ඒ මොහොතේ සාප්පුව තුළින් පිටව ගිය තැනැත්තියකගේ කොණ්ඩය දෙස බලා මඳ සිනහවක් පෑ ඇය එතුළට පිවිසුණාය. එහි දොරකඩට පැමිණි ජෝ, ඈ බාබර් සාප්පුව තුළට ගිය බව අවබෝධ කරගෙන සිනහවක් පෑවේය.


බාබර් සාප්පුව තුළදී කරණවෑමියා ඇගේ කෙස් කළඹ බොහෝ සෙයින් අගය කළේය. ඇය එය ඉතාමත් කෙටි කරන ලෙස පැවසූ මොහොතේදී ඔහු සැබැවින්ම දුක් විය. නැවත නැවතත් ඇගෙන් තීරණයේ වෙනසක් නොමැතිදැයි ඇසූ කරණවෑමියා අවසානයේ ඇගේ කොණ්ඩය කපන්නට අතරේ ඒ වනවිටත් කොමඩු ගෙඩිය ඔසවාගෙන සිටි ජෝ සාප්පුවේ තිර රෙදි අතරින් එබී බැලුවේය. කටයුත්ත ඉක්මනින් අවසන් වන බවක් නොපෙනුනෙන් ඔහු වීදිය ඔස්සේ මඳ දුරක් ඇවිද ගියේය. පොදු දුරකථනයක් අසළ නතර වූ ඔහු ඒ මොහොතේදී එහි එල්ලී ඉතාලි බසින් දොඩවමින් සිටි තැනැත්තාගේ ඇමතුම නිමා වන තෙක් සිය අතේ වූ කොමඩු ගෙඩිය පරීක්ෂා කරමින් නොඉවසිල්ලෙන් බලා සිටියේය. මඳක් වටපිට බැලූ ඔහු දිය තටාකය අසළ සෙල්ලම් කරමින් සිටි දරුවන් පිරිසක් දැක ඒ වෙත ආසන්න වී සිය කොමඩු ගෙඩිය එහි වූ කොළුවෙකු හට ලබා දුන්නේය. එතැන සිටි පාසැල් දැරියන් පිරිසක් අතර කැමරාවක් ගෙල පැලැඳ සිටින දැරියක දුටු ජෝ ඈ වෙත ආසන්න විය. "මේක හරි ලස්සන කැමරාවක්නෙ," ඔහු දැරියට කීවේය. "ෂා, හරි ලස්සනයි. ම්ම්ම්. මං පොඩ්ඩකට මේක ගත්තට කමක් නෑ නේද?" ඔහු එය දැරියගේ ගෙලින් මුදාගැනීමට උත්සාහ කළේය.

ඔහුගේ ක්‍රියාව දුටු වෙනත් දැරියක් ඔවුන්ගේ ගුරුතුමියට හඬගෑ අතර, කැමරාවේ හිමිකාරියද විරෝධය පෑවාය. ඒ මොහොතේ ඔහු වෙත ඔරවමින් පැමිණි ගුරුවරිය දැරිය ඉවතට කැඳවාගෙන ගිය අතර කැමරාව අතහැරි ජෝ ඉවතට හැරී ලැජ්ජාවෙන් හිස බදාගත්තේය.

මේ අතර බාබර් සාප්පුව තුළ කුමරියගේ කෙස් කළඹ කපා දැමීමේ මෙහෙයුම සාර්ථකව නිම වෙමින් තිබූ අතර අවසන් ප්‍රතිඵලයට කරණවෑමියාද සතුටුව සිටියේය. ඇයට එම කොණ්ඩා මෝස්තරය වඩාත් හොඳින් ගැලපෙන බව පැවසූ ඔහු එදින රාත්‍රියේ ටිබරීන් ගංගාවේ බෝට්ටුව මත නැටුම් සංදර්ශනයේදී තමා හා නටන්නට පැමිණෙන ලෙසට ඇයට ආරාධනා කළාය. "හඳ එළිය, සංගීතය, ප්‍රේමය!" ඔහු ඒ ගැන වර්ණනා කළේය. "ඒක හරිම, හරිම... හරිම... අනේ ඔයා එනවා නේද?"



ඇය නිසැකවම පොරොන්දුවක් නොදුන් නමුත් තමා රාත්‍රී නමයෙන් පසු එහි එන බවටත්, ඈ එහි පැමිණියහොත් තමාට එහි හිඳිනා සුන්දරතම ගැහැනු ළමයා හා නර්තනයේ යෙදිය හැකි වනු ඇති බවටත් ඔහු පැවසුවේය. පුදුමයෙනුත්, ලැජ්ජාවෙනුත් මදහසක් පෑ ඇය ඔහුට ස්තූති කර පිටව ගියාය. 

වීදියෙන් අනෙක් පස බලා සිටි ජෝ ඈ සාප්පුවෙන් පිට වූ බව දැක, සැලකිය යුතු තරමේ දුරක් තබාගෙන ඈ පසුපසින් ඇවිද ගියේය. ප්‍රධාන මාවත හරහා ගමන් කර හිම කිරම වෙළෙන්දෙකුගෙන් හිම කිරමක්ද මිළට ගත් ඈන් කුමරිය මල් වෙළෙන්දෙක් බලෙන්ම නතර කරගත්තේය. ඔහු ලීරා පන් දහසක් වටිනා මල් පොකුරක් එම සුන්දර තරුණියට විකුණන්නට සූදානම් වුවද තමා ළඟ මුදල් නොමැති බව ඈ පැවසූයෙන් මහත් දුකෙන් මල් පොකුර යළි ගෙන එක් මලක් ඇයට නොමිලේම ලබා දුන්නේය. ඔහුට බෙහෙවින් ස්තූති කළ ඇය තවත් මඳ දුරක් ඉදිරියට ඇවිද ගොස් පුළුල් පියගැට පෙළක් මන්ධ්‍යයේ වූ විශාල කැටයමක් මත හිඳගෙන සිය හිම කිරම රසවිඳින්නට පටන්ගත්තාය. ඒ වනවිට තම කෙටි කොණ්ඩා විලාසිතාවට ගැලපෙන පරිදි ඇය සිය බ්ලවුසයේ දිගු දෑතද කෙටි වන සේ නවාගෙන සිටියාය.

මේ සියල්ල දෙස රහසේම බලා සිටි ජෝ ඇයට නොපෙනෙන්නට පියගැටපෙළේ අනෙක්පසට ගොස් ඈ හිඳ සිටි තැන අසළින් බැස ආවේය. ඈ අසළදී හැරී බැලූ ඔහු අහම්බයකින් ඈ දුටු බවක් මවා පෑවේය. "හානේ, මේ ඔයානේ!" ඔහු විශ්මය පිරි හඬින් කීවේය.



ඇයද හිස ඔසවා බලා සිනාසුණාය. "ඔව් බ්‍රැඩ්ලි මහත්මයා!"

අනතුරුව ඔහු ඇගේ අලුත් කොණ්ඩා මෝස්තරය දෙස බැලුවේය. "ඔයාම නෙවෙයිද මන්දා?"

"හොඳයිද මගේ අලුත් කොණ්ඩේ?"

ජෝ ඈ අසළින් හිඳගත්තේය. "ඔව්... හරි ලස්සනයි. ඉතිං ඒකද ඔයාට කන්නෙත් නැතුව දුවලා ගිහිං කරන්න තිබ්බ වැඩේ?"

"බ්‍රැඩ්ලි මහත්මයා, මට පොඩි පාපොච්ඡාරණයක් තියෙනවා කරන්න."

"පාපොච්ඡාරණයක්?"

"ඔව්, මං... ඊයෙ රෑ පැනලා ආවා, ඉස්කෝලෙන්."

"අපොයි, ඒ මොකද: ඉස්කෝලෙ නෝනත් එක්ක ලෙඩක් දාගත්තද?"

"නෑ, එහෙම දෙයක් නෙවෙයි."

"එහෙම මුකුත් නැතුව ඉස්කෝලෙන් පැනලා එනවැයි කවුරුවත්."

"මං මේ පැයක් දෙකක් ඇවිදලා යන්න කියලා හිතාගෙන එළියට බැස්සේ. ඒත් ඒගොල්ලෝ මට දුන්නනේ මේ නින්ද යන බෙහෙතක්."

ජෝ සියල්ල වටහා ගනිමින් සිනහවක් පෑවේය. "ඒකත් එහෙමද."

මාවත දෙස බලමින් හිම කිරම නිම කළ කුමරිය සිය දෑත් පිසදමා ගත්තාය. "දැං ඉතිං මං ටැක්සියක් අල්ලගෙන ආපහු ගියොත් හොඳයි."

"කමක් නෑ, ඒත් මෙහෙම හිතුවොත්: ආපහු යන්න කළින් ඔයා පොඩි වෙලාවක් ඔයාටම වෙන් කළොත් මොකද?"

ඇය දෙගිඩියාවෙන් යුතුව හිස දෙපසට සැලුවාය. "එතකොට තවත් වෙලාව යයිනෙ."

ජෝ විනෝදබර හඬින් කතා කළේය. "ඉතිං මොකද: මුළු දවසම ගියත් මොකද!"

කුමරිය කල්පනා කළාය. "මං කොහොමත් කරන්න ආසාවෙන් ඉන්න දේවල් ටිකකුත් තියෙනවා..."

"මොන වගේ දේවල්ද?"

"අයියෝ ඔයාට හිතාගන්නවත් බෑ... මං ආසයි - මං ආසයි මං ආස දේවල් විතරක් කරන්න, මුළු දවස පුරාම!" ඇය සිනාසුණාය.

"හරියට කොණ්ඩේ කපාගන්න, ගෙලාටෝ අයිස්ක්‍රීම් එකක් කන්න වගේ දේවල්?"

"ඔව්, තව..." ඇය මාවත පහළට ගෙල දිගු කළාය. "... තව මං ආසයි පදික වේදිකා අවන්හලක ඉඳගෙන කෑම කන්න; සාප්පුවල ජනෙල් වලින් එබි එබි යන්න; වැස්සෙ ඇවිදින්න!" ජෝ අවිශ්වාසයෙන් යුතුව අහස දෙස බැලුවේය. ඈන් කුමරිය දිගටම කතා කළාය. "විනෝද වෙන්න, සමහරවිට මොනවාහරි ත්‍රාසජනක වැඩ කරන්න. ඔයාටනං මේවා ඒ හැටි දේවල් නෙවෙයි වෙන්න ඇති නේද?"

"ඒවා නියම වැඩනේ. මං කියන්නද: අපි දෙන්නත් එක්කම එකතුවෙලා ඔය කියපු දේවල් කරමු."

"ඒත් ඔයාට වැඩට යන්න නැද්ද?"

"වැඩ?" ජෝ නැගී සිටියේය. "නෑ! අද මට නිවාඩු."

කුමරිය විනෝදබර හඬින් කතා කළාය. "ඒත් ඔයාට සෑහෙන මෝඩ වැඩ කරන්න වෙයි."

ජෝ ඇගේ අතින් අල්ලාගත්තේය. "ඒකට මොකද. හරි, පළවෙනි වැඩේ: පදික වේදිකා අවන් හළ. මං දන්නවා හරියටම යන්න ඕන තැන:" ඔහු මෘදු ලෙස ඇගේ අතින් අල්ලාගෙන පියගැට පෙළ බැස යන්නට විය. "රොකා අවන් හළ."

අවන් හළ වෙත පිවිසුණු දෙදෙනා, ඔවුන් පසු කර ඇදී යන වාහන පෙළ දෙස බලමින් මේසයක් අසළින් අසුන් ගෙන සිටියහ. ඈන් කුමරිය ආහාර ගන්නා අතරේ ජෝ කතාව ඇරඹුවේය. "ඔයාගෙ අලුත් කොණ්ඩ මෝස්තරේ දැකලා ඉස්කෝලෙ කට්ටිය මොනවා කියයිද දන්නෙ නෑ නේද?"

ඈන් කුමරිය සිනාසුණාය. "ඒගොල්ලන්ට පපුවෙ අමාරුවත් හැදෙයි. මං රැයක් තිස්සෙ ඔයාගෙ කාමරේ හිටිය බව දැනගත්තොත් එහෙම ඒගොල්ලෝ මොනවා කියයිද කියලා හිතාගන්නවත් බෑ."

ජෝ වටපිට බලමින් අසුනේ ඉදිරියට බර විය. "මං කියන්නද: ඔයා ඔයාගෙ කට්ටියට කියන්නත් එපා ඒ ගැන, මං මගේ අයටත් නොකියා ඉන්නං."

"අන්න හොඳයි."

"ඉතිං, මොනවද බොන්න කැමති?"

"ෂැම්පේන්."

ඇගේ සෘජු පිළිතුර හමුවේ මදක් පසුබෑ ජෝ වේටර්වරයාට කතා කළේය. තරුණිය වෙනුවෙන් ෂැම්පේන් වීදුරුවක්ද, මහත්මයා වෙනුවෙන් ශීතල කෝපි පානයක්ද සඳහා ඇණවුම බාරගත් වේටර්වරයා පිටව ගිය පසු ජෝ යළිත් කතා කළේය. "ඔයත් මාර දේවල්නේ ඉස්කෝලෙදි පුරුදු වෙලා තියෙන්නේ - දවල්ට කාලා ෂැම්පේන්ද බොන්නේ?"

"විශේෂ අවස්ථාවලදි එහෙම තමයි."

"කොයි වගේද?"

"අන්තිමට මං ෂැම්පේන් බිව්වේ මගේ තාත්තාගේ සංවත්සරයේදී."

"විවාහ සංවත්සරයද?"

"නෑ, ඒක මේ..." කුමරිය මඳක් කල්පනා කළාය. "... හතළිස් වෙනි සංවත්සරේ... මේ... තාත්තාට රස්සාව ලැබිලා."

"රස්සාවේ අවුරුදු හතළිහක්! මාරයිනෙ!" ඔහු ඇයව තවදුරටත් අමාරුවේ දමන්නට සිතුවේය. "තාත්තා මොනවද කරන්නෙ?"

කුමරිය ප්‍රවේශමෙන් කල්පනා කළාය. "මේ... ගොඩක් වෙලාවට ඒ රස්සාවෙදි වැඩ කරන්න තියෙන්නේ... පොදු සබඳතා ගැන."

"හප්පා, අමාරු වැඩක්නෙ."

"ඔව්, මමනං ඒකට ඒ හැටි කැමති නෑ."

"තාත්තා කැමතිද?"

"මං... මට ඇහිලා තියෙනවා තාත්තත් ඉඳ හිට නහයෙන් අඬනවා."

"ඉතිං ඇයි ඒක අත් අරින්නෙ නැත්තෙ තාත්තා?"

"මෙහෙමයි, ඒ ජාතියේ රස්සා කරන අය සාමාන්‍යෙන් රස්සාවෙන් අයින් වෙන්නෙ නෑ - දිගටම ඒක කරන්න තරම් සනීපයක් නැති වුණොත් ඇරෙන්න."

වේටර්වරයා පැමිණ ඔවුන්ගේ ඇණවුම ලබා දුන්නේය. ජෝ සිය කෝපි පානය අතට ගත්තේය. "මෙන්න එහෙනං, ඔයාගේ තාත්තාගේ ශරීර සෞඛ්‍යය වෙනුවෙන්." 



"හැමෝම ඕක කියනවා." ඈන් කුමරිය අසුනේ පසුපසට වී සැහැල්ලුවෙන් හිඳගෙන සිය ෂැම්පේන් වීදුරුවේ බටය හා සෙල්ලම් කළාය. "ඔයා මොනවද කරන්නෙ?" ඇය ඇසුවාය.

ඒ ඔහුගේ ගොත ගැසීමේ වාරය විය. "ආ, මං මේ, බඩු විකුණනවනෙ."

"ඇත්තට? ෂෝක්නෙ."

"හ්ම්."

"මොනවද විකුණන්නෙ?"

මොහොතක් වේලා හිස් බැල්මෙන් බලා සිටි ජෝ ඔවුන් අසළ මාවතෙන් ඇසුණු අසෙකුගේ හඬ ඇසී යළි කුමරිය දෙස බැලුවාය. "මේ, පෝර; රසායනික පෝර, ඔයා දන්නවා නේද? ඒ වගේ ඒවා."

ඔහුගේ පිළිතුර එතරම් විශ්වාසයකින් භාර නොගත් කුමරිය බීම බටය සිය මුව තුළ රුවා එහි ආවරණය ඉවතට විසි වන සේ පිම්බාය. එය මේසය මතින් විසි වී ගොස් වැටෙනු දුටු ජෝ සිනා සී ඈ දෙස බැලූ අතර ඇයද බටය මුව තුළම රුවාගෙන මහත් සතුටින් සිනහසෙමින් සිටියාය.



ඒ මොහොතේදී ජෝගේ මිතුරු අර්වින් එතැනට පැමිණියේය. ජෝ ප්‍රීතිමත් මුහුණෙන් යුතුව නැගිට ඔහුට අත දුන්නේය. "අර්වින්! ලොකු සතුටක් උඹව දැක්ක එක."

"ඇයි මොකද උඹට පර්ස් එක අමතක වුණාද?"

ඔහු කළේ විහිළුවක් වූ නමුත් ජෝ සිනහවක් පෑවේ නැත. "මේ, පුටුවක් ඇදං මෙහෙං වාඩි වෙයං."

"මාව අඳුන්නලා දෙන්නෙ නැද්ද?"

"හරි," ජෝ කුමරිය වෙත හැරුණි, "මේ ඉන්නෙ මගේ හොඳ යාළුවෙක්, අර්වින් රැඩෝවිච්." ඈන් ඔහු වෙත අත දිගු කළාය. "මේ ආන්‍යා," ඔහු අර්වින්ට කීවේය.

"ආන්‍යා කවුද?" අර්වින් ඇගේ අත අත් නොහැරම ඇසුවේය.

"ස්මිත්," කුමරිය පිළිතුරු දුන්නාය.

"ඉතිං ඉතිං ස්මිත් නෝනා," අර්වින් කෙළිලොල් හඬින් පවසනා අතරේ අසළ මේසයකින් අසුනක් ඇදගත්තේය.

"හමුවීම සතුටක්," යැයි ආචාරශීලීව පැවසූ කුමරිය ජෝ සිය අසුන ඈ වෙත ආසන්න කරගන්නා දෙස චකිතයට පත් බැල්මෙන් බලා සිටියාය. 

කුමක් හෝ අනුමත කරනා ලෙසින් ජෝ වෙත හිස සැලූ අර්වින් යළි කතා කළේය. "ඒක නෙවෙයි මේ, ඔයාට කවුරුවත් කිව්වෙ නැද්ද ඔයානං ඇරපු අතක් නෑ, කපාපු පළුව අර-" ජෝ මේසයට යටින් අර්වින් හට පා පහරක් ගැසුවේය. අර්වින් වේදනාවෙන් කෑගැසූ අතර ජෝගේ රහස් ඉඟි කිසිවක් වටහාගත නොහැකි වූ ඔහු පිටව යාම පිණිස කෝපයෙන් නැගී සිටියේය.

"ඒයි ඒයි ඔහොම හිටපං," ජෝ ඔහුව සනසවමින් යළි හිඳුවාගත්තේය. "අපිත් එක්ක හිටපංකෝ."

"හරි, ෆ්‍රැන්සෙස්කා එනකල් විතරක් මං ඉන්නං," අර්වින් කෝපයෙන්ම කීවේය.

මේ අතර ඈන් කුමරිය හඬ අවදි කළාය. "මේ, රැඩෝවිච් මහත්මයා, මොකද්ද කපාපු පළුව කියන්නේ?"

අර්වින් වෙනුවට පිළිතුරු දුන්නේ ජෝ ය. "ඒක මේ, ඇමරිකාවෙදි කියන්නේ, මේ, බොහොම ප්‍රියමනාප ඕනෙම කෙනෙකුට එහෙදි එහෙම කියනවා."

විස්කි පානයක් ඇණවුම් කරමින් සිටි අර්වින් ජෝගේ හඳුන්වාදීම ඇසී මුවද විවර කරගෙන ඔහු වෙත හැරුණේය. "මොකා?"

ඈන් කුමරිය බෙහෙවින් සතුටට පත් වූවාය. "ඇත්තද. බොහොම ස්තූතියි," ඇය මඳ සිනහවකින් යුතුව අර්වින්ට පැවසුවාය.

"සුළු දෙයක්." වෙනත් කුමක් කියන්නටදැයි නොදත් අර්වින් පැවසුවේය. මේ සියල්ලේ අගමුළ ඔහු ජෝගෙන් විමසා සිටීමට සූදානම් වත්ම ඒ අසළින් ඇවිද ගිය ගැහැනුන් දෙදෙනෙක් අර්වින්ගේ හිසද උරහිසද අත ගා මුකුළු කර ඇවිද ගියාය.

ඔවුනටද එලෙසින්ම ප්‍රතිචාර දැක්වූ අර්වින් ආපසු හැරී, ප්‍රශ්නාර්ථයකින් යුතුව බලා සිටි කුමරිය හට "මගෙ නෑනලා," යැයි කීවේය.

"බ්‍රැඩ්ලි මහත්මයා මා එක්ක කිය කිය හිටියෙ එයාගෙ රස්සාව ගැන," කුමරිය කීවාය.

"ඇත්තට? මටත් ආසයි අහන්න."

"ඔයා මොනවද කරන්නෙ?"

"මාත් ජෝගෙ-" ජෝ සිය කෝපි පානය අර්වින් වෙත ආසන්නව තබාගෙන කහින්නට පටන්ගත්තේය. "-රස්සාවමයි, එකම දේ මං ෆොටෝ-" ජෝගේ කෝපි බඳුන අර්වින්ගේ ඇඟ පුරා හැලී ගියේය. යළිත් කෝපයට පත් අර්වින් නැගී සිටි අතර ඈන් කුමරිය අත්පිස්නාවක් රැගෙන ඔහුගේ ඇඳුම පිස දැමීමට සහය වූවාය.

"අඩේ, වැරදීමක් බං!" ජෝ කීවේය.

අර්වින් සිය වදන් කෝශය පාලනය කරගෙන සිටියේ මහත් අපහසුවෙනි. "මොන-? මොනවද ඕයි-?"

"සමාවෙයං බං."

"මේ බලාපං, යන්න කියලා නොකියා කියන්න ඕනෙ නෑ, මට හොඳට තේරෙනවා!" අර්වින් ඈන් වෙත හැරී මඳ සිනහවක් පා හිස නවා ආචාර කරමින් අත දිගු කළේය. "මං ගිහින් එන්නං, ආයෙ හම්බවෙමු."

"අනේ ඒත් මේ ඔයාගෙ බීම එකත් දැන් ආවා විතරයි," එම මොහොතේ අර්වින් ඇණවුම් කළ පානයද රැගෙන පැමිණි වේටර්වරයා පෙන්වමින් කුමරිය කතා කළාය. "ඉඳගෙන මේක බීලා ඉන්න."

"ඒකනෙ, ඒකනෙ," ජෝ ද කීවේය. "මේ උඹේ විස්කි වීදුරුව බීලා ඉඳපං අර්වින්; ඕක ගණංගන්න එපා." අර්වින් ඔහු දෙස බලා සිටියේ අවිශ්වාසයෙනි. "ඇඳුමෙ කෝපි හැලුණට බොහොම කණගාටුයි. මෙහෙං ඉඳගනිං ඔන්න ඔහොම හොඳ එකා වගේ." 

විස්කි වීදුරුව මේසය මතින් තැබූ වේටර්වරයා නික්ම ගියේය. හිඳගැනීමට පෙර පුටුව පිස දැමූ අර්වින් යළි ජෝ දෙස බැලුවේය. "මොකද යකෝ මගෙ අත අඹරන්නේ?"

හඬ නගා කිව නොහැකි යමක් සිය මිතුරාට ඇඟවීමට උත්සාහ කරමින් සිටි ජෝ තැතනුවේය. "මේ - මේ, උඹ ආයෙ ඕකත් ඇඳුමෙ හලාගත්තොත් එහෙම..."

"හලාගත්තොත්?! මමද මිනිහෝ ඉස්සල්ලා එක මගේ ඇඟේ හලාගත්තේ?"

"උඹ තමයි."

"මම?!"

ජෝ අඩ සිනහවක් පෑවේය. "ඔව්."



අර්වින් ඈන් කුමරිය වෙත හැරුණේය. "කොහෙන්ද ඔයා මේ ඔල්මාදකාරයාව හොයාගත්තෙ?" අනතුරුව යහපත් ආචාරවිධි සිහිපත් වීමෙන් ඔහු ඈ වෙත මඳ සිනහවක් පෑවේය. "ඔයානං අවුලක් නෑ; මෙන්න ඔයාට, ජය වේවා එහෙනං," ඔහු තම විස්කි පානය ඔසවා ආචාර කළේය. අනතුරුව ඔහු යළිත් ඈන් කුමරිය හා ජෝ දෙස මාරුවෙන් මාරුවට බැලුවේය. "මං මේ ඇත්තමයි කියන්නේ, ඔය කොණ්ඩෙ නිසා නෙවෙයිනං-" ජෝ අර්වින්ගේ පුටුවට දුන් පා පහරින් ඔහු පුටුවද පෙරළාගෙන ඇදගෙන වැටුණේය. තැතිගත් කුමරිය භීතියෙන් කෑ ගැසූ අතර අසළ සිටි මිනිසුන් දෙදෙනෙක් අර්වින් හට නැගී සිටින්නට සහය වූහ.

"මොකද වුණේ බං? පුටුවෙං වැටුණා නේද? තව පොඩ්ඩෙං තුවාළ කරගන්නවා නේද?" ඈන් කුමරිය හා ඔහු වෙත දිව එන අතරේ ජෝ විමසුවේය.

අපහසුවෙන් කෙළින් සිටගත් අර්වින් හට එවර සිය කෝපය පාලනය කරගැනීම අපහසු විය. "මං වැටුණා?! තව පොඩ්ඩෙං තුවාළ කරගන්නවා?! ජෝ, මං වැටුණෙ නෑ!-"

"මොකද නැත්තෙ, මේ බලාපං උඹෙ බෙල්ල..." ජෝ සිය මිතුරාගේ ගෙල පරීක්ෂා කරන ලෙසින් ඔහු කුමරිය වෙතින් ඉවතට කැඳවාගෙන ගියේය. 

අර්වින් ඔහුගේ දෑත් ගසා දැම්මේය. "පැත්තකට වෙයං. උඹට වැඩක් නෑ මගේ බෙල්ලට හෙණ ගැහුවත්."

ජෝ අවන්හල් ගොඩනැගිල්ල වෙත හිස දිගු කළේය. "අරක ඇතුළට ගිහිං ඕකට බෙහෙත් ටිකක් දාගමු."

එවර අර්වින් හට සිය මිතුරා කුමක් හෝ පවසන්නට වෙහෙසන බවට යාන්තමින් වැටහුණි. "හා හරි එහෙනං-"

අර්වින්ව වාරු කරගන්නා ලෙසින් ඔහුගේ කර වටා අතක් යැවූ ජෝ ඔහු සමග ගොඩනැගිල්ල වෙත ඇවිද යන අතරේ "අපිට පොඩි වෙලාවක් දෙන්න," යැයි කුමරියගෙන් හඬ නගා ඉල්ලා සිටියේය.

අසරණව බලා සිටි ඈගේ දෑසට හසු වන මානයෙන් ඉවත් වූ සැණෙකින් අර්වින් ජෝගේ ග්‍රහණයෙන් ඉවත් වන්නට උත්සාහ කළේය. "ඔහොම නැවතියං; ඔහොම නැවතියං; මට-; මේ බලාපං ජෝ, කියපං මට උඹ මොකද්ද මේ කරන්න ලෑස්ති වෙන්නෙ කියලා? අහකට ගනිං බං උඹේ ඔය අත් දෙක-!"

ජෝ සිය මිතුරා ගොඩනැගිල්ලේ හුදෙකලා කෙළවරකට කැඳවාගෙන යන තෙක් සිය අත ඉවත් කරගත්තේ නැත. "උඹේ ලයිටරේ තියෙනවද?"

"ඒකෙන් උඹට ඇති වැඩේ මොකද්ද?"

"තියෙනවද කියපංකො?"

"තියෙනවා! උඹ මොකද්ද යකෝ කරන්න ලෑස්ති වෙන්නේ?" අර්වින් සිය උරහිස මුදාගැනීමට දැඩි අරගලයක යෙදුණේය.

"මේ අහපං: ඩොලර් පන්දාහකට උඹ මොනවද කරන්න ලෑස්ති?"

අර්වින්ගේ අරගලය මඳක් අඩු විය. "ඩොලර් පන්දාහක්?"

"ඔව්." මිතුරාව අසුනක් වෙත තල්ලු කළ ජෝ ද පුටුවක් ඇදගෙන ඒ අසළින් හිඳගත්තේය. "මේ අහපං. එයා දන්නෙ නෑ මං කවුද මොනවද කරන්නෙ කියලා. අර්වින් මේ අහපං, මේක මගේ කතාව; මායි හොයාගත්තෙ, ඒක මං පරිස්සං කරගන්න ඕනෙ!"

"අඩේ, උඹ කියන්නෙ ඒ ඇත්තටම-?"

ජෝ චකිතයෙන් යුතුව වටපිට බැලුවේය. "ෂ්ෂ්ෂ්!" ඔහු පහත් හඬින් දිගටම කතා කළේය. "උඹේ ලයිටරේට පුළුවන් මගේ මේ වීර කාව්‍යයේ වටිනාකම දෙගුණ කරන්න."

"රජකුමරිය මුඩුක්කු සවාරියක!" අර්වින් ජෝ අතින් ලියැවීමට නියමිත ලිපිය සඳහා සිරස්තළයක් සැපයුවේය.

"උඹට සීයට විසිපහක් දෙනවා වැඩේ හරි ගියාම."

"දාහෙ ඒවා පහෙන් නේ?"

"ඒ අඩුම ගාන - හෙනසි උන්නැහේ අතට අත දීලම පොරොන්දු වුණා."

අර්වින් සිය අතැඟිලි ගැන්නේය. "...හතයි, පහයි; ඒ කියන්නේ - ඒ කියන්නේ ඩොලර් පහළොස්දාහක්!"

"දොළහමාරයි," ජෝ ස්ථිර හඬින් කීවේය.

අර්වින් මොහොතක් කල්පනා කළේය. "හරි, දැන් උඹ මටත් අත දීලා පොරොන්දු වෙයං."

ඔවුන් දෙදෙනා අතට අත දුන් අතර නැගී සිටින අතරේ ජෝ යළි කතා කළේය. "හරි, දැං මට තිස් දාහක් ණයට දියං."

"තිස් දා-? යකෝ ඒ කියන්නේ ඩොලර් පණහක්නේ; උඹ ඔටුන්නට මැණික් අරං දෙන්නද හදන්නේ?"

"එයා අර බිබී ඉන්න ෂැම්පේන් වීදුරුවටවත් ගෙවන්න මං ළඟ සල්ලි නෑ බං. අපි එයාව සතුටෙන් තියන්න එපැයි, නැද්ද?"

"අයිසෙ, අපිට මේ ටවුම පුරා ඇවිද්ද හැකියැ මේ වගේ... ලස්සන වෑහෙන කුමාරිකාවක් එක්ක!"

"ෂ්ෂ්! උඹට මේ වැඩේට එකතුවෙන්න ඕනෙද නැද්ද?"

අර්වින් ඔහු අතට මුදල් ලබා දුන්නේය. "මේක මට සෙනසුරාදා වෙද්දි ඕනෙ, තේරුණාද?"

"හරි, දැං කෝ උඹේ ලයිටරේ?" අර්වින් එය පිටතට ගත්තේය. "අපි වැඩ පටංගමු."

ඔවුන් දෙදෙනා ගොඩනැගිල්ලෙන් පිටව, මේසය පිසදමමින් සිටිනා වේටර්වරයා දෙස බලමින් සිය ෂැම්පේන් වීදුරුව රස විඳිනා කුමරිය වෙත යළි පැමිණියහ.

ඔවුන් එන හඬ ඇසී හැරී බැලූ ඇය සිනහවක් පෑවාය. "දැන් හරිද?" 

"ඈ?" අර්වින් ඇසුවේය.

"ඔයාගෙ කන?"

ජෝ සිය අසුනෙන් හිඳගත් අතර අර්වින් සිය කන අල්ලාගත්තේය. "මගෙ කන? ආ, හරි හරි, ඔව්, මේ, ජෝ ඒකට බෙහෙත් දැම්මා." ඔහු හිඳගන්නා අතරේ කුමරිය වෙත සිය සාක්කුවෙන් ගත් සිගරට් පැකට්ටුව දිගු කළාය. "මේ, බොනවද එකක්?"

"හා." කුමරිය ජෝ දෙස බලා මඳ සිනහවක් පා සිගරට්ටුවක් අරගත්තාය. "ඔයා විශ්වාස කරයිද මන්දා, මේ මං ජීවිතේටම බොන පළවෙනි සිගරට් එක."

"පළවෙනි සිගරට් එක?" අර්වින් වෙත බැල්මක් හෙලූ ජෝ එය පුනරුච්ඡාරණය කළේය. 



"ම්ම්-හ්ම්."

"ඉස්කෝලෙදි සිගරට් බොන්න තහනං වෙන්නැති, හ්ම්ම්?"

ඒ අතර අර්වින් සිය ලයිටරය අතට ගෙන එහි ස්විචයක් ක්‍රියාත්මක කර අනතුරුව ගින්දර දැල්වුවේය. "ඔන්න, ඔයාගෙ පළවෙනි සිගරට් එක." ඔහු එය කුමරියගේ සිගරට්ටුව වෙත ආසන්න කර එය දැල්වුවේය. ඇය එය උරමින් දුම් පිට කළාය.

ජෝ සිගරට් පානය පිළිබඳව ඇගේ අදහස් විමසූ නමුත් ඈ පැවසුවේ කිසිත් නොසිතෙනා බවයි. ඔහු හා අර්වින් සිනාසී එයට එකඟ වූ අතර ඔහු යාබද මේසය අසළ සිටි වේටර්වරයා සමග ඉතාලි බසින් කතා බස් කරන්නට පටන්ගත් අතරේ අර්වින් සිය පුටුව එක එල්ලේම කුමරිය ඉදිරියට රැගෙන ආවේය. "මේ පොඩ්ඩක් මගෙ කකුල් දෙක දිගඇරගන්න ආවා," ඔහු කීවේය. තමාටද සිගරට්ටුවක් අතට ගත් ඔහු එය මුව තුළ රඳවා ලයිටරය නිසි ලෙස ස්ථානගත කරවා දැල්වූවේය.

මේ අතර බිල ගෙවා දැමූ ජෝ කතා කළේය. "ඉතිං, අපි මොනවද ඊළඟට කරන්නෙ? නරකද අපි පොඩි වැඩ සැලැස්මක් හැදුවොත්?"

ඈන් කුමරිය මුහුණ හකුළාගත්තාය. "අයියෝ, ඔය වචනෙනං පාවිච්චි කරන්න එපා."

වේටර්වරයාට ඉතාලි බසින් ස්තූති කළ ජෝ වහා කුමරිය වෙත හැරුණි. "අපොයි මං රාජකා- මේ, පාසැල් වැඩ සැලැස්මක් ගැන නෙවෙයි කිව්වෙ, මං කිව්වෙ මේ - විනෝද වැඩ සැළැස්මක් ගැන."

කුමරිය සිනාසුණාය. "සැළසුම් මොකටද, අපි ඔහෙ යමු?"

"අර්වින් මොකද කියන්නේ?" ජෝ මිතුරාගෙන් විමසුවේය.

ඈන් කුමරිය යළිත් සිගරට්ටුව මුව තුළ රුවාගන්නා අතරේ සිය ලයිටරයේ යළිත් කිසිවක් සැකසූ අර්වින් "මං ලෑස්තියි," යැයි කීවේය.

මිතුරන් දෙදෙනා නැගී සිටි අතර අඩක් දැවුණු සිගරට් කොටය මේසය මත බන්දේසියෙන් තැබූ ඈන් කුමරියද නැගී සිටියාය. ඒ අතරේදී ඔවුන් වෙත පැමිණි කාන්තාවක් අර්වින් අසළට පැමිණ ඉතාලි බසින් කතා කළාය.

"ආ, ෆ්‍රැන්සෙස්කා!" අර්වින් සිය මුවෙහි වූ සිගරට්ටුව ඉවත් කරගත්තේය. "මේ - මේ ඉන්නේ..."

"ස්මිත් නෝනා," කුමරිය ඔහුට සිහිපත් කර දුන්නාය. 

"එයාව දාහකින්වත් හොයාගන්න බෑ අර්වින්," ජෝ ෆ්‍රැන්සෙස්කා හට අතට අත දී ආචාර කරනා අතරේ කීවේය. "පන්දාහකින්වත් හොයාගන්න බෑ." ඔහු කුමරියගේ අත ගෙන ඉවතට ඇවිද ගියේය. "අපි ගියා එහෙනං."

අර්වින්ද ඔවුන් පසුපස ඇදෙන්නට විය. "ජෝ!"

ෆ්‍රැන්සෙස්කා තුෂ්නිම්භූතව බලා සිටියාය. "ඔයා කොහෙද යන්නෙ අර්වින්?"

"අනේ වස්තුවේ, මට මේ ලොකු වැඩක් තියෙනවා. මං ඔයාට රෑට කතා කරන්නංකෝ." ඇයට හාදුවක් දුන් අර්වින් ජෝ හා කුමරිය පසුපසින් දිව ගියේය.


- මතු සම්බන්ධයි -