220. රෝමයේ නිවාඩුවක්...02

ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ කාමරය තුළ ජෝ බ්‍රැඩ්ලි, අර්වින් රැඩෝවිච් සහ තවත් කිහිප දෙනෙක් මේසයක් වටා හිඳගෙන පෝකර් කාඩ් ක්‍රීඩාවේ නියැළී සිටියෝය. අර්වින් විශාල මුදලක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහු ක්‍රීඩාව අවසන් කරන්නට සූදානම් වනවිට අනෙක් හිතවතුන් විරෝධය පළ කළහ.



"මට හෙට උදේ පාන්දරම නැගිටින්න තියනවා: අර කුමාරිකාවුන් වහන්සේගේ ලස්සන ෆොටෝ ටිකක් ගන්න යන්න," ඔහු කුමරියගේ ඉරියව් අනුකරණය කරමින් පැවසුවේය.

"උදේ පාන්දරම?" ජෝ විමසුවේය. "මට ලැබිච්ච ආරාධනාවේ තිබ්බේ එකොළහයි හතළිස් පහ කියලනේ."

ක්‍රීඩාව අවසන් කිරීමට ජෝ හැර අනෙක් පරාජිතයින්ගේ එතරම් සූදානමක් නොතිබූ අතර සිය අවසන් පන්දාහේ මුදලද හයිනාවන්ට බිල්ලට දීමට අකමැති වූ ජෝ ඔවුන් සැමගෙන් සමුගෙන ගොඩනැගිල්ලෙන් පිටව වීදියට පිවිසුණේය.

දෑත් සාක්කු තුළ රුවාගෙන වීදිය ඔස්සේ ඇවිද ආ ජෝ උද්‍යාන බංකුවක් අසළදී සිය ගමන් වේගය අඩු කළේය. ඒ මත තරුණියක් වැතිර සිටි අතර ඔහු කුතුහලයෙන් යුතුව ඈ දෙස බැලුවේය. ඒ කවුරුන්දැයි ජෝ දැන නොසිටියද, එලෙස බංකුව මත වැතිර සිටියේ ඈන් කුමරිය ය. නිදි ඔසුවේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් මත් බවින් පසු වූ ඇය තනිවම දෙඩුවාය. "මට හරීරීරීරීරී සතුටුයි." සිය ගමන සම්පූර්ණයෙන්ම නතර කළ ජෝ ආපසු හැරී ඈ දෙස හොඳින් බැලුවේය. "කොහොමද අද හැන්දෑව? ම්ම්ම්ම්ම්ම්.... හ්ම්ම්ම්ම්ම්ම්ම්.... ම්ම්ම්ම්ම්ම්..." ඇය සුව පහසු සයනයක වැතිර සිටින්නාක් මෙන් බංකුව මත රෝල් වූවාය.

ජෝ වහා ඈ අසළට දිව ආවේය. "හෝව්! හෝව්, හෝව්, හෝව්." ඈ බංකුවෙන් වැටෙන්නට පෙර අල්ලාගත් ඔහු යළි ඈ අනෙක් පසට හැරවූවේය. "ඒයි, නැගිටින්න!"

"බොහොම ස්තූතියි, මට හරිම සතුටුයි."

"නැගිටිනවා."

"එපා, ස්තූතියි," ඈන් කුමරිය සිය අත්වැසුම් පැලඳූ අතක් ඔහු වෙත නින්දෙන්ම දිගු කළාය. "හමු වීම සතුටක්."



ජෝ ඇගේ අත ගෙන සෙලවූයේ මද චකිතයකින් යුතුවය. "මටත් සතුටක්."

මඳ නිහඬතාවයකට පසුව ඈන් කුමරිය යළිත් කතා කළාය. "ඉඳගන්න."

"මං ඉඳගන්න නෙවෙයි, තමුන් දැන් නැගිට්ටොත් හොඳයි. පොලිසියෙ ලගින්න තරං ඒ හැටි වයසක් නෑනේ." ඔහු ඇයට කෙළින් හිඳ ගැනීමට සහය විය.

"පොලිසිය?"

"ඔව්, පො-ලි-සි-ය."

"දෙකයි කාලට ආයි එනවා ඇඳුම් මාරු කරගන්න. දෙකයි හතළිස් පහට..." හරි හැටි අවදිව නොසිටි ඈන් කුමරිය සිහිනෙන් දෙඩවූවාය.

ජෝ බංකුව මතින් පයක් තබාගත්තේය. "මේ ඇහුණද, ඔය සැර ජාති දිරවගන්න බැරි අය ඒවා නොබී හිටියනං ඉවරයිනෙ."





ඈන් කුමරිය ඔහු දෙස බැලුවාය. "මා මියගොස් මිහිදන් කළ පසු ඔබේ හඬ පස් පිඬැල්ල මතින් ගලා ඒ නම්, මාගේ දුහුවිලි බවට පත් හදවත වුවද සතුටින් උද්දාමයට පත්වනු ඇත. ඔයා ඒ කවිය අහලා තියනවද?"

"ඈ?" ජෝ ද බංකුව මතින් හිඳගත්තේය. "ඔය ඔක්කොම ජාති දන්නවා. ඇති වෙන්න පොත් කියවලා තියනවා, ජැන්ඩි පහට ඇඳගෙනත් ඉන්නවා; හැබැයි මේ මහ පාරෙ නිදි කිරා වැටෙනවා. ඒ ගැන මුකුත් කියන්න නැද්ද?"

"මේ ලෝකයට උවමනා කරන්නේ මිහිරියාවට සරිලන ප්‍රතිචාරය හා, මිහි මත තරුණ හදවත් තුළට විනීත බව-" නිදිමත දරාගත නොහැකි වූ ඈන් කුමරිය ඔහුගේ උරහිස මත හිස තබාගෙන යළිත් නින්දට වැටුණාය.

ඈ දෙස සැකමුසු දෑසින් බැලූ ජෝ සිය කමිස සාක්කුවේ වූ මුදල් අතට ගෙන කලිසම් සාක්කුවේ රුවාගත්තේය.



"ඔව්, මේ, ඒක හරි, ඒත් මේ-" කුලී රථයක් පැමිණෙන හඬ ඇසී ඔහු සිවුරුහන් හඬක් පිට කර එය නතර කරගත්තේය. බංකුව මතින් නැගිටගත් ඔහු කුමරියගේ උරහිසට තට්ටු කළේය. "මේ, ගිහිං කෝපි ටිකක් බොන්න; එතකොට ඕක හරි යයි." ඔහු කුලී රථය වෙත ගොස් ආපසු හැරී බැලූ විට ඇය යළිත් බංකුව මත පෙරළී නිදා සිටියාය. රියදුරාද ඈ දෙස එබී බැලූ නමුත් ජෝ ඔහු දෙස බැලූ මොහොතේ යළිත් ඉවත බලාගත්තේය. ජෝ යළිත් කුමරිය වෙත පැමිණ ඈ අවදි කරන්නට උත්සාහ කළේය. "මේ අහන්න: අර කාර් එකේ නැගලා යන්න." නමුත් අවදි නොවූ කුමරිය කෙඳිරිලි හඬක් පිට කළාය. ජෝ රියදුරා දෙස හැරී බැලූ අතර ඔහු නොඉවසිල්ලෙන් රථයේ කවුළුව මත අතක් තබාගෙන ඉදිරිය බලාගෙන සිටියේය. "මෙහෙ එන්න," ඔහු ඇගේ අතින් ඇද්දේය, "අර කාර් එකේ නැගලා ගෙදර යන්නකො."



කුමරිය සිහිනෙන් ඇවිදින්නියක මෙන් ඔහු පසුපස ඇදී ආවාය. "ම්ම්ම්ම්.... ම්ම්ම්ම්ම්ම්ම්ම්, මට හරි සතුටුයි."

"සල්ලි තියෙනවද?" ජෝ ඇසුවේය.

"මං කවදාවත් සල්ලි අරං යන්නෙ නෑ."

"මහ නරක පුරුද්දක්නෙ."

"ම්ම්."

"හරි, මං ඔයාව බස්සන්නං; එන්න දැං." ජෝ ඇයව කුලී රතය වෙත කැඳවාගෙන ගියේය.



එය මුල්වරට දුටු කුමරිය ප්‍රීතිමත් හඬින් කතා කළාය: "හානේ! මේ ටැක්සියක්නේ!"

"නැතුව ඉතිං රාජකීය අස්ස කරත්තෙයැ." ජෝ ඈ පසුපසින් රථය තුළට ගොඩ විය.

ඉතාලි බසින් කිසිවක් මිමිණූ රියදුරා "කොහාටද" යි විමසුවේය.

ජෝ ඈන් වෙත හැරුණි. "ඔයා කොහෙද ඉන්නෙ?"

"ම්ම්ම්ම්?" ඇය දෑස් පියාගත්තාය. "කොලෝසියමෙ."

"අනේ මේ, ඔය හැටි බීලා වෙන්න බෑනේ."

ඈන් කුමරිය සිනාසුණාය. "අයියෝ මම බීලා නෑ. මං මේ-" ඇගේ හිස යළිත් ඔහුගේ උරහිස මතට කඩා වැටුණි. "-හරීඊඊ සතුටින්න්න්න්න්න්න්න්න්......."

"මේ, ආයෙ නිදාගන්න එපා."

රියදුරා යළිත් ඉතාලි බසින් කුමක්දෝ කියා "කොහෙටද අපි - අපි යන්නෙ?" යැයි ඇසුවේය. ජෝ ද කිසිවක් ඉතාලි බසින් තෙපලූ පසු "හරි," යැයි කී රියදුරු යළිත් ඉදිරිය බලා ගත්තේය.

"මේ අහන්න," ජෝ යළිත් ඈන් කුමරිය ඇමතුවේය. "කොහෙටද යන්න ඕනෙ? ඈ? මං කොහෙටද ඔයාව එක්ක යන්න ඕනෙ?" ඔහු ඇගේ නිකටින් අල්ලා මුහුණ සෙළවූ නමුත් ඇය කරදරයට පත් වූ ලෙසින් කෙඳිරි ගෑවාය. "කොහෙද - කොහෙද - කොහෙද ඔයා ඉන්නෙ? ඈ? ඈ? හයියෝ. නැගිටිනවකෝ." ඔහු සෙමින් ඇගේ කම්මුලට තට්ටු කළේය. "කොහෙද හත් ඉළව්වේ ගෙවල් තියෙන්නේ?" රියදුරා යළිත් වරක් හැරී බැලුවේය. "කොහෙද ඔයා ඉන්නේ?"

"මං..." ඈන් කුමරිය මිමිණුවාය. "ආ..... කොලෝසියමෙනේ."

ජෝ බලාපොරොත්තු සුන් වූ මුහුණෙන් රියදුරා වෙත හැරුණේය. "එයා ඉන්නෙ කොලෝසියමෙලු."

රියදුරා හිස දෙපසට වැනුවේය. "ඒක වැරදියිනෙ. මේ බලන්න මහත්තයෝ, මං මෙච්චර රෑ වෙනකල් වාහන පදින්නෙ නෑ..." ඔහු ඉතාලි බසින් මොනවාදෝ කීවේය. "... මගේ නෝනා..." යළිත් ඔහු ඉතාලි බසින් දෙඩවූවේය... "මට ඉන්නවා පොඩි පැටවු තුන් දෙනෙක්, දන්නවනේ පැටවු, පැටවු?" ඔහු කුඩා බිළිඳෙකු හඬනා අන්දම අනුකරණය කර පෙන්වුවේය. මං වාහනේ අරං ගෙදර යන්න ඕනෙ. මහත්තයෝ-"

සුසුමක් හෙලූ ජෝ අසුනේ පසුපසට වී හේත්තු විය. "මාර්ගුටා බංගලාව, නොම්බර පණස් එක."

සැනසුම් සුසුමක් හෙලූ රියදුරා ඔහු කී ලිපිනය වෙත රථය රැගෙන ගියේය. ඔහු ඉල්ලූ ලීරා දහසට අමතරව තවත් මුදලක්ද රියදුරු අතට දුන් ජෝ ඔහු සමගම සිහිනෙන් නන් දොඩවන තරුණියවද පිටත් කර හැරීමට උත්සාහ කළේය. නමුත් රියදුරා එයට එකඟ වූයේම නැත.

"එයා නැගිට්ට වෙලාවක කියයිනේ ඉන්න තැනක්. එතකොට එතනට ගිහිං බස්සනවකෝ," ජෝ පිණ්සෙණ්ඩු විය.

"මහත්තයා, මගේ වාහනේ නිදාගන්න කුලියට දෙන්නෙ නෑ. තේරුණාද?"

"මේ බලනවා යාළුවා: මේක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. මං මේ යෝදිව මීට කළිං ඇහැට දැකලවත් නෑ. තේරුණාද?"

"ඔය මහත්තයගෙ ප්‍රශ්නයක් නෙවෙයි, මගේ ප්‍රශ්නෙකුත් නෙවෙයි," රියදුරු නොඉවසිලිමත් හඬින් කතා කළේය. "මහත්තයටත් මේ කෙල්ල එපා. මටත් එපා. මං අර පොලිසියෙන් අහලා බලන්නද? එහෙටනං ඕනෙ වෙයි සමහරවිට." 

"හරි හරි හරි හරි, කලබල නොවී ඉන්නවා, කලබල නොවී ඉන්නවා..." අවසානයේ රියදුරාට යටත් වූ ජෝ රථයේ දොරටුව විවර කර ඈන් ඉන් පිටතට ඇදගත්තේය. බංගලාව තුළ උඩු මහලේ වූ සිය කාමරය වෙත මෙම නින්දෙන් ඇවිදින තරුණිය කැඳවාගෙන යාමට ඔහුට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය. අඩ නින්දේ ඇඳ විට්ටම අල්ලාගෙන හිටගෙන නිදා වැටෙනා තරුණිය වෙත ඔහු සිය අල්මාරියෙන් ගත් පිජාමා ඇඳුමක් ලබා දුන්නේය. 

"පිජාමා!" ඈන් කුමරිය මහත් සතුටින් කීවාය. ඔහු ලන්තෑරුම අසළ තවත් රාක්ක තට්ටුවක් විවෘත කරන අතරේ ඇය යළි කතා කළාය. "මට ඇඳුම් මාරු කරන්න උදව් කරන්න පුළුවන්ද?" ඇය මාළිගයේදී සුපුරුදු රාජකීය ක්‍රියා පටිපාටියට සූදානම්ව බලා සිටියාය.



මොහොතක දෙගිඩියාවෙන් බලා සිටි ජෝ සෙමෙන් ඈ වෙත ළඟා විය. "හරි... හොඳයි." ඔහු ඇගේ බ්ලවුසයේ කර වටා වූ කෙටි කර පටිය ලිහිල් කොට ඈ වෙත දිගු කළේය. "මේ... ඔන්න හරිනෙ. ඉතිරි ටික ඔයාට පුළුවන්නෙ." ඒ දෙස හිස් බැල්මෙන් බැලූ ඈන් කුමරිය එය අතට ගත් අතර ඉදිරිපස දොර අසළ වූ මේසයක් මත වූ බෝතලයකින් පානයක් වීදුරුවකට වත් කරගත් ජෝ එය එක උගුරට ගිල දැමුවේය.

"මටත් ටිකක් දෙනවද?" ඈන් කුමරිය සිය අත් වැසුම් ඉවත් කරමින් ඇසුවාය.

"බැහැ," ජෝ දැඩි හඬින් කීවේය. අනතුරුව ඔහු ඈ වෙත පැමිණියේය. "මේ බලනවා-"

"මේකනං මහ අමුතුයි," ඈන් කුමරිය හිස දෙපසට වනමින් කීවාය. ඇය සිය බ්ලවුසයේ යටම බොත්තමද, දෑත්වල බොත්තම්ද ගැලවූවාය. "මං මීට කළින් කවදාවත් මිනිහෙක් එක්ක කාමරේක තනියෙං ඉඳලා නෑ, ඇඳුම් ඇඳගෙනවත්." ඇය සිය සායට යට කොට තිබූ බ්ලවුසය පිටතට ඇදගත්තාය. "ඇඳුම් නැතුව එහෙම ඉන්න එක ඊටත් වඩා අමුතුයි." ඇය අඩ සිනහවක් පෑවාය. "හ්ම්, ඒත් මං හිතන්නේ ඒකට කමක් නෑ, මං ගණං ගන්නෙ නෑ." ඇය ඔහු වෙත සිනහ මුසු මුහුණින් බැලුවාය. "ඔයා මොකද හිතන්නෙ?"

"මේ, මං හිතන්නෙ මං ගිහිං කෝපි කෝප්පයක් බීලා ආවොත් හොඳයි."

"හ්ම්."

ජෝ ඇඳ මතින් කොට්ටයක් අතට ගත්තේය. "ඉක්මනට නිදාගන්න." ඇය ඇඳ මතට ඇද වැටෙන්නට පටන්ගත් නමුත් ඔහු විගසින් ඈ අල්ලාගත්තේය. "අපොයි නෑ නෑ," ඔහු ඈ ඇඳට පහළින් වූ කවිච්චිය වෙත කැඳවාගෙන ගියාය. "මෙන්න මේකෙ."

"ෂෝක්නෙ."

අනතුරුව ඔහු කුඩා දරුවෙකුට අවවාද කරනා ලෙසින් පිජාමා හැඳ ගන්නා ලෙසටත්, ඇඳ මත නොව කවිච්චිය මත නිදාගත යුතු බවටත් උපදෙස් දුන්නේය.

"ඔයා දන්නවද මගෙ ආසම කවිය මොකද්ද කියලා?"

"ඇයි ඔයා මට ඉස්සල්ලත් ඒක කිව්වෙ."

ඔහු ඇගේ කවිච්චිය මත ඇතිරිලි අතුරා සකස් කරනා අතරේ ඇය තවත් කවියක් මතකයෙන් කීවාය. අවසානයේ එහි නිර්මාපකයා පිළිබඳව ඇති වූ වාදයකට පසුව ඔහු සිය කෝපි කෝප්පය පානය කිරීම පිණිස මිනිත්තු දහයකට පිටතට ගොස් එන බව පවසා පිටව ගියේය. ඔහු පිටව යාමට පෙර ඇය සිය රාජකීය සිරිතට අනුව "ඔබට යාමට අවසර"ද ඔහු වෙත ලබා දුන්නාය.

***

මේ අතර තානාපති කාර්යාලය තුළ හටගෙන තිබුණේ බලවත් අර්බුදයකි. තානාපතිවරයාද, වියර්බර්ග් ආදිපාදවරියද, ජනරාල්වරයාද සිය නිදන ඇඳුම්වලින්ම රැස්ව සිටියහ. කුමරිය සොයන්නට නියම වූ සේවකයන් හට ඈ ගැන කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකිව තිබුණි. අවසන් තීරණය ලෙසින් උතුමාණන්ට දැන්විය යුතු බව තානාපතිවරයා ප්‍රකාශ කළ නමුත් ආදිපාදවරියගෙන් හෝ ජනරාල්වරයාගෙන් හෝ එයට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

***

යළි සිය කුළී නිවාසය වෙත පැමිණි ජෝ කාමරයේ දොරටුව විවර කරමින් යමක් පවසන්නට සූදානම් වුවද, බීමත් තරුණිය තම ඇඳ මත සුවසේ නිදා සිටිනා අන්දම දැක නොසතුටට පත් විය. ඔහු මහ හඬින් දොරටුව වසා දැමුවද ඇය බිඳකුදු සෙළවුණේ නැත. අනතුරුව ඇඳ වටා ගොස් ඒ පසෙකින් වූ මේසය ඉවතට තල්ලු කොට එතැනට කවිච්චිය ඇදගෙන ආ ඔහු සිය කබාය ඉවත් කොට කර පටිය ලිහිල් කරගත්තේය. අනතුරුව ඈ හිස තබා සිටි කොට්ටයට යටින් එක් කොට්ටයක් ඉවතට ඇදගත් ජෝ එය කවිච්චිය මතට විසි කොට ඇඳේ ඇතිරිල්ලේ පසෙකින් ඔසවා එක් වරම ගසා දැමුවේය. රෝල් වී ගොස් කවිච්චිය මතට ඇද වැටුණු කුමරිය යළිත් හරි බරි ගැසී සුව නින්දට වැටුණාය. "හරි සතුටුයි," ඇය මිමිණුවාය.


"සුළු දෙයක්," ජෝ දත්මිටි කෑවේය. තම කොට්ටය ඇඳේ අනෙක් කෙළවරින් තැබූ ඔහු තනිවම මුමුණමින් ඇඳුම් මාරු කිරීම පිණිස කාමරයේ පසෙකට ඇවිද ගියේය.


- මතු සම්බන්ධයි -








20 comments:

  1. ටැංකියු ඈ.. කියෝන ගමන්

    ReplyDelete
    Replies
    1. හි හි හි.... ඔහොම නිදිමරගාතේ ඉඳල විකාර කරපු ඉතිහාසයක් තිබ්බ කෙනෙක් විදියට... මට මේ... නෑ මේ.. මම කිව්වේ ඈන් කුමාරිට පිස්සුද කොහෙද නේ?

      Delete
    2. එයැයිට පිස්සු එකනං හරි. අර ජෝ ට පිස්සු නොහැදී බේරුණා මදැයි. :D

      කියවන්ඩ කළින් කමෙන්ට් එකක් දාලා දුවන්ඩ ඕනෙ නෑ ලිඛිතෝ, ඔයා ඒක කියවලා එනකල් මේක ඒ තිබ්බ විදිහටම තියෙයි අලුත් කමෙන්ට් නොවැටී. මේක ඒ හැටි කට්ටිය යන එන තැනක් නෙවෙයිනේ. :)

      Delete
  2. හික්ස්... හිතුවෙවත් නැති දෙයක්නෙ උනේ... අපරාදෙ කියන්න බෑ ඈන් කුමාරිට උනේ මරු වැඩේ... ඊටත් වඩා ජෝට... සිහිය ආවම මොනව කරයිද දන්නෑ...
    ඉක්මනින් ඉතුරු කොටසත් දාමු අක්කේ..
    හරිම රසවත්...

    ReplyDelete
    Replies
    1. ජෝ වෙරි ගුඩ් ජෙන්ටල්මන් නේ? අර කුමාරිව ඇඳේ ඉඳන් කවිච්චියට විසික්කරලා දාපු හැටි තමයි නියම. :D

      පුළුවන් ඉක්මනට දාන්නම්කෝ ඉතුරු ටිකත්. දෙබස් අවශ්‍යම තැන්වලදී දාලා අනිත් හරිය පුළුවන් තරම් කෙටි කර කර මේ ලියන්නේ. නංගි පළවෙනි කොටසත් කියෙව්වා නේද? ඒක සිකුරාදා දැම්මේ.

      Delete
  3. ඔව් අක්කේ ඒ කොටස කියෙව්වට කොමෙන්ට් කරන්න විදිහක් තිබුනෙ නෑ...

    ඒක නෙවෙයි... මාත් දැන් කතාව සම්පූර්නෙන් ලියල ඉවර කරල තමයි පබිලිස් කරන්නේ... ඒක ඔයාගෙන් ඉගෙණගත්ත දෙයක්:d

    ReplyDelete
    Replies
    1. ෂා! ඒක හොඳ දෙයක්. හැබැයි මමනම් මේ සැරේ ඒක අනුගමනය කළේ නෑ. මමම ලියන කතාවක් නොවන නිසා ඉතිං කමක් නෑ. :)

      Delete
    2. හෑ ! එහෙමත් ආදුරුස ගන්ට පුලුවන්ද හැබෑට?? මට නම් බැරිම දේ තමයි ලියා තබා පසුවට පබිලිස් කිරීම!! මේ ලිව්වා.. මේ දැම්මා... ආ.. ඔව් නේන්නම්.. එකම වතාවක් එහෙම උනා. ඒත් ඉතින් ඒ කතාවත් ඩිජිටල් වලට එන පරක්කුවට දැම්මා මිසක් ඔක්කොම ලිව්වට පස්සේ දැම්මාමත් නෙවෙයි.

      ඔන්න අපිට එහෙම බෝ උනොත් අපි දන්නේ නැහැ හරිද?

      Delete
    3. බෝ කරගන්ඩ නරක ලෙඩක් නෙවෙයි ඉතිං, ඇඟට බොහොම ගුණදායක ලෙඩක්. :P

      මං එහෙම කරපු හේතු කීපයක් තියෙනවා ලිඛිතා. එකක්, මම කියන්න යන කතාව ඔක්කොටෝම ඉස්සල්ලා මම හොඳට දැනගෙන ඉන්න ඕනෙ. සමහර වෙලාවල් තියෙනවා අපිට අන්තිමේදි කියන්න ඕන වෙන දේකට මුළදිම පසුබිම සකස් කරන්න ඕන. ඉතිං කතාව කියන්න පටංගන්න කළින් ඒක හරියට ගොඩනගාගෙන හිටියොත් ලියන මමත්, කියවන අයත් අතරමං නොකර වැඩේ කරගෙන යන්න පුළුවන්. ඔයා මං ලියාපු දිග-නවකතා දෙක කියෙව්වද? එකෝමත් එක කාලෙක සහ කිරුළක උරුමය? ඒ දෙක අන්න එහෙමයි මම මේකේ පළ කළේ.

      දෙවෙනි කාරණාව තමයි, මේ බ්ලොග් අවකාශයේ පළ වෙන දිග කතන්දර කියවද්දි මම ගොඩක් වෙලාවට ඊළඟ කොටස එනකල් ආසාවෙන් බලාගෙන ඉන්නවා, කුතුහලයයි නොඉවසිල්ලයි හිතේ පුරවගෙන. ඒ ආසාව සංසිඳෙන්න සමහරවිට සති ගාණක්, මාස ගාණක් යනවා. සමහරවිට කතාව හිටි අඩියෙම නතර වෙනවා. මං මගේ කතන්දර කියවන්න එන යාළුවන්ට එහෙම කරන්න කැමති නෑ. බොහෝ විට, මම කතාව සම්පූර්ණයෙන්ම ලියලා ඉවරවෙලා මේකේ පළ කරනකොට දවසට එක ගානේම දාන්න පුළුවන්. ඔටෝ පබ්ලිෂ් වෙන්න ෂෙඩියුල් කරලා පාඩුවෙ ඉන්න පුළුවන්. එතකොට කට්ටියට ඊළඟ කොටස එනකල් නොඉවසිල්ලෙන් බලං ඉන්න වෙන්නෙ නෑ.

      හැබැයි ඉතින් ඒකේ එක අවාසියකුත් තියෙනවා. බොහෝ විට එක දිගට කතන්දර කියවන්න එන්න වෙලාව නැති අයට ලිපි මග ඇරිලා කියවන්න එන්න හිතෙන්නෙ නැති වෙන්නත් පුළුවන්. :)

      Delete
    4. බොරු කියන්නේ මොකටද.. මම නම් කතාවක් ලියන්නේ එහෙම නෙවෙයි....

      එක්කෝ කට පියා ගන්නම්... මොකටද ආය ඉතින්... නේ?

      Delete
    5. අපි නොදන්නවයැ මේ ලිඛිතාගේ ලියැවිල්ල. කතන්දර මැල්ලුං නොවැ ලියන්නේ. මේ, මෙතන කොට කොට ඉන්නෙ නැතුව ගිහිං අර තුන්වෙනි කොටසත් කියෝනවද කරුණාකරලා?

      Delete
    6. මේ බලනව..... මේ බලනව...

      Delete
  4. ඔයා හරිම අපූරු කතා හොයාගන්නෙ අක්කෙ.. මේ කතාවත් කියල වැඩක් නැ.. සරලවම කියුවොත් මරු....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි. ගොඩාක් ස්තූතියි. :)

      Delete
    2. @ ලිඛිතා..
      එහෙම එකක් නම් ඔයාටත් බෝ වෙනවනම් හොඳයි.. එතකොටවත් අර කතා දෙක ඉක්මනින් දායිනෙ...

      Delete
  5. / එකක්, මම කියන්න යන කතාව ඔක්කොටෝම ඉස්සල්ලා මම හොඳට දැනගෙන ඉන්න ඕනෙ./

    හෙහ්..හරියටම හරි..ලියන්ට පටන්ගන්ට කලින් අඩුගානෙ කතාවෙ රාමුවවත් හදාගෙන ඉන්න ඕන. අවසානය මේ වගේ වෙන්න ඕන කියල හිතලත් තියෙන්න ඕන. නැත්නම් අනාත පිණ්ඩික ආරාමේ අතකෝ අඤ්ඤතරා තමයි.

    මගෙ දඩයක්කාරයගෙ කතාවට උනේ ඒ සන්තෑසියනෙ..බොට මතකෙයි? අවසානයක් ගැන පැහැදිලි අදහසක් නැතුව එදා වේල ටුවර්ස් කෑල්ල කෑල්ල ලියාගෙන ගියා. අන්තිමට පිටසක්වල ජීවියොයි, අද්භූත බලවේගයි රටේ නැති ජෝගි ඈඳිල පාඨකයින්ටත් එපා වෙලා මටත් එපා වෙලා ගියා කතන්දරේ..අහෝ තුකකි බේදයකි ලේබකයා මලේය!!

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නවය ඉතින් ඒ හරිය නම්

      Delete
    2. දඩයක්කාරයා? හුහ් මතක්කරන්ඩ එපා ඔය තලගොයාව! බොලේ, අර නිර්මාණි නංගි ලියන කතාවේ කෝලියා මේ දඩයක්කාරයාව දන්නවද දන්නෑ නේද?

      Delete
  6. මගේ හෑල්ල කියන්ට ගිහිල්ල බොගෙ කතාව ගැන මොකවත් කියන්ට උනේ නෑ නෙව...නියමයි..පරිවර්තනය නම් අති රමණීයයි....කමණීයයයි

    ReplyDelete