නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුවේ මධ්‍යහ්න දොළහේ කණිසම නාද විය. එහි හඬින් අවදි වූ ජෝ ඇඳ මත වැතිරගෙනම ඇඟමැලි කැඩුවේය. බලාපොරොත්තු වූවාට වඩා වාර ගණනක් ඔරලෝසුවේ නාදය ඇසෙන අතරේ ඇඳ මත හිඳගත් ඔහු කවුළුවෙන් ගලා එන සූර්යාලෝකය දෙස බලා සිටියේය. අනතුරුව සිය සීනු ඔරලෝසුව (alarm clock) අතට ගත් ඔහු එහි වෙලාව බලා අනතුරුව සොළවාද බැලුවේය. "හත් ඉළව්වයි! රජ කුමාරිගෙ සාකච්ඡාව-"
කවිච්චිය මත දැඩි නින්දේ පසු වූ ඈන් කුමරිය "හ්ම්ම්ම්?" යැයි නින්දෙන්ම හඬගෑවාය.
"-එකොළහයි හතළිස් පහට!" කුමරිය තවත් මොනවාදෝ මැසිවිලි කෙඳිරිලි කිහිපයක් පිට කළාය. "කට වහගන්නවා!" ජෝ බැණ වැදුණේය. වහා සිය අල්මාරිය වෙත ගිය ඔහු ඇඳුම් තෝරන්නට පටන් ගත්තේය.
***
ඇමරිකානු පුවත් සමාගම් ගොඩනැගිල්ලේ කවුළුවකින් එහි සංස්කාරකවරයා වූ හෙනසි මහතා පිටත බලා සිටියේය. කුළී රථයකින් බැස කඩිනමින් රියැදුරුට මුදල් ගෙවනා ජෝ බ්‍රැඩ්ලි දුටු ඔහු යළිත් සිය අසුනේ වාඩි වී උදෑසන පුවත්පත් එකිනෙක පෙරළා බලන්නට පටන්ගත්තේය. ඈන් කුමරියගේ ඡායාරූපයක්ද සහිතව එම පුවත්පත් බොහොමයක ඈ හදිසියේ අසනීප වූ බවත් එදිනට නියමිත පුවත්පත් සාකච්ඡාව අවලංගු වූ බවත් සටහන්ව තිබුණි.
පුවත් මැදිරියට ඇතුළු වූ ජෝට සංස්කාරකවරයාගේ ලේකම්වරියගෙන් දැනගන්නට ලැබුණේ සංස්කාරකවරයා ඔහු බලාපොරොත්තුවෙන් සිටිනා බවයි. ඇගේ කෝපි කෝප්පයෙන් උගුරක්ද බී, ඇගේ පාන් කැබැල්ලෙන්ද වැඩි ප්‍රමාණයක් ඩැහැගත් ජෝ ඇයට ස්තූති කර සංස්කාරකවරයාගේ කුටියේ දොරටුවට තට්ටු කළේය.
"එනවා!" හෙනසි මහතාගේ කෝපාන්විත හඬ ඇසුණි.
ලේකම්වරිය සමග අසරණ බැල්මක් හුවමාරු කරගත් ජෝ හරිබරි ගැසී සිත දැඩි කරගෙන ඇතුළට පිවිසුණේය. එහි ඇතුළු වී දොරටුව වසනා අතරේ විශාල පාන් කැබැල්ලක් මුවේ රුවාගත් ජෝ එය සපමින්ම කතා කළේය. "සර් මාව හෙව්වද?"
"ආ, මේ වැඩට එන ගමන් වෙන්න ඇති?"
"කවුද, මම?" ජෝ අහිංසක ලෙසින් ඇසුවේය.
"මේ කන්තෝරුවේ අපි වැඩ පටන්ගන්නේ උදේ අටහමාරට; අපේ පැවරුම් බාරගන්නේ-"
"ආ මගේ පැවරුම මං ඊයෙ රෑම බාරගත්තා," ජෝ විගසින් කීවේය.
"ඒ මොන පැවරුමද?"
"අර රජ කුමාරි, එකොළහයි හතළිස් පහට."
හෙනසි මහතාගේ මුවද විවර විය. "තමුන් ඒ සාකච්ඡාවටත් ගිහිල්ලද ආවෙ?"
"නැත්තං. මේ ඒකට ගිහිං ආවා විතරයි." ජෝ තවත් පාන් කැබැල්ලක් කටේ ඔබාගත්තේය.
"හැබෑද. සමාවෙන්ඩ ඕනෙ එහෙමනං."
ජෝ ආපසු යාමට හැරුණේය. "ආ, ඒකට කමක් නෑ සර්," ඔහු කීවේය.
නමුත් සංස්කාරකවරයා ඔහුව වළක්වමින් කතා කළේය: "ඒත් මේක මාර වැඩක්නෙ."
"අපොයි නෑ, ඕවා අපිට පුරුදුයිනේ," ඔහු යළිත් පිටව යාමට සූදානම් විය.
"කියනවා කියනවා ඉතිං මට විස්තර: එයා ලැයිස්තුවෙ ඔක්කොම ප්‍රශ්නවලට උත්තර දුන්නද?"
"අපොයි ඔව්," ඔහු සිය සාක්කු අතපත ගෑවේය, "මේ කොහෙහරි මං දාගත්තා ඒ ලියාපු විස්තර ටික."
"ආ, නෑ නෑ, කරදර වෙන්න එපා; මට පිටපතක් හම්බවුණා." ඔහු තමා ඉදිරියේ වූ පුවත්පතක් වෙත නෙත් යොමු කළේය. "යුරෝපා සමූහාණ්ඩුව ගැන එයා මොකද කිව්වෙ?"
"ඒක හොඳයි කියලා තමයි කිව්වෙ."
"ඇත්තට?"
තමාගේ විශ්වාසය රැකගැනීම පිණිස තමා තවත් විස්තර ඉදිරිපත් කළ යුතු බව වටහාගත් ජෝ කල්පනාකාරීව මේසය මතට බර විය. "මෙහෙමයි, එයා කිව්වා ඒකේ... බලපෑම් දෙක තියෙනවා කියලා."
"දෙකක්?"
"මේ, ඍජු බලපෑමයි... අනිත් එක වක්‍ර බලපෑමයි."
"ෂහ්! මරුනේ!"
"කුමරිය හිතන හැටියට වක්‍ර එකෙන් ඍජු එක තරම්ම ඍජු බලපෑමක් වෙන්නෙ නැති වෙයිලු. කෙළින්ම. පස්සෙ ඉතිං මොනවා වෙයිද කියලා කාටවත් කියන්න බෑනේ."
"ඒකනම් මහ කපටි උත්තරයක්. ඔය රජ පවුල්වල කොල්ලො කෙල්ලො ඔහොමමයි, අපේ කනෙං රිංගන්නමයි හදන්නේ." හෙනසි මහතා යළිත් පුවත්පත දෙස නෙත් යොමු කළේය. "අනාගතයේදී ජාතීන් අතර මිත්‍රත්වය මොන තත්ත්වයක තියෙයි කියලද එයා කිව්වෙ?"
"තාරුණ්‍යය."
"ඔව්?"
"එයා හිතන්නේ, මේ," දෙගිඩියාවෙන් කල්පනා කරමින් ජෝ මේසය වටා ගොස් එහි කෙළවරක හිඳගත්තේය, "ලෝකයේ තාරුණ්‍යය මග පෙන්වන්න ඕනෙලු වඩා හොඳ..." ජෝ අවසිහියෙන් මෙන් හෙනසි මහතාගේ මේසය මත වූ උපකරණ එහා මෙහා කළේය. "...ලෝකයකට."
"හ්ම්ම්-හ්ම්ම්." හෙනසි මහතා ජෝ වෙනස් කළ උපකරණ යළි මුල් ස්ථානයෙන්ම තැබුවේය. "ඇත්ත තමයි. මේ, ඒක නෙවෙයි, කුමරිය මොනවද ඇඳං හිටියෙ?"
ජෝ මොහොතක් හිස් බැල්මෙන් බලා සිටියේය. "ඇඳං හිටියෙ."
"ඔව්, ඔව්?" ජෝ නොසන්සුන් ලෙසින් සිය කමිස කර සකසමින් හිඳ උන් මේසය මතින් නැගිට සිටියේය. "මොකද, මේක ඇතුළේ රස්නෙයි වගේද?" හෙනසි මහතා අනුකම්පාසහගත ස්වරයෙන් ඇසුවේය.
"නෑ නෑ, මං මේ ඉක්මනට ඉක්මනට ඇවිල්ලා මහන්සියි, ඒකයි."
"මේ වගේ ලොකු කතාවක් අතේ තියෙද්දි ඉතිං එහෙම නැතුව පුළුවනෑ නේද? තමුන් කිව්වෙ කුමාරිකාව අළු පාට ඇඳගෙන හිටියා කියලද?"
"නෑ මං එහෙම කිව්වෙ නෑ."
"එයා නිතරම අඳින්නෙ අළු පාටනෙ."
"ආ, ඔව් මේ... ඒක ටිකක්... අළු පාටට හුරුයි තමයි."
"ආ, මං දන්නවා ඔය කියන ගවුම; අර කර වටේට රත්තරන් පාට-"
"අන්න හරි, ඒක තමයි. මට මේ ඒක හරියට විස්තර කරගන්න බැරුව හිටියේ."
"අපොයි තමුන් ඒක හොඳට විස්තර කළා," හෙනසි මහතා සැහැල්ලුවෙන් කීවේය. නමුත් යළිත් එක් වරම අසුනෙන් ඉදිරියට නැවී සිටගන්නා අතරේ ඔහුගේ පෙනුම වෙනස් විය. "කුමාරිකාවුන් වහන්සේ අද පාන්දර තුනේ ඉඳන් සහළෝලා උණ අරගෙන ඇඳට වෙලා ඉන්දැද්දි, එයාගේ අද දවසේ හමුවීම් එහෙම පිටින්ම අවලංගු කරලා දාලා තියෙද්දි, තමුසෙ මේ වගේ කතන්දරයක් ගෙතුවෙ කොහොමද අයිසෙ!"
ජෝ අසරණ ලෙසින් ගොත ගැසුවේය: "එහෙම පිටින්ම?"
"ඔව්! එහෙම පිටින්ම!"
ඉදිරියේ වූ පුවත්පත දිගු කොට මුල් පිටුවේ සිරස්තලය ගෙන හැර පාමින් දිගින් දිගටම එල්ල කෙරෙනා හෙනසි මහතාගේ බැණුම් හමුවේ ජෝ අවසානයේදී වරද පිළිගත්තේය. "හරි ඉතිං, මට දවල් වෙනකල් නිද ගියා. ඕන කෙනෙකුට එහෙම වෙන්න පුළුවන්නේ!"
"අඩු ගානේ උදේ පත්තරේවත් බලන්න තරං වේලාසනිං නැගිටිනවානං කෙනෙකුට කොච්චර දේවල් දැනගන්න පුළුවන්ද!" හෙනසි මහතා පුවත්පත් ලිපිය වෙත අත දිගු කරමින් දිගටම කෑ ගැසුවේය. එහි වූ රජ කුමරියගේ රුව දෙස බොහෝ වේලා බලා සිටි ජෝ ඒ තම කාමරය තුළ නිදා සිටිනා තරුණියම බව හැඳිනගත්තේය. "අඩුගානේ එතකොටවත් තමුසෙට ඔය කට්ට කයිරාටික, වෙට්ට පිත්තල, තරු පහේ බේගල් ඇදබාන්න ඕන වෙන්නෙ නෑනේ! මං තමුසෙ වුණානං මෙලහට වෙන රස්සාවක් හොයාගෙන, ඇඳං මෙට්ට පරීක්ෂාව වගේ වෙන මොකක් හරි."
ඒ කිසිවක් නෑසුණ ලෙසින් මුවද විවර කරගෙන පුවත්පත දෙස බලා සිටි ජෝ අවසානයේදී කතා කළේය: "මේ ඉන්නෙ ඒ කුමාරිකාවද?"
"නැතුව! ඔය තමයි කුමාරිකාව. නැතුව ඔය ඇනී ඕක්ලිවත්, ඩොරති ලේමර්වත්, චියෑං කායි ෂෙක් නෝනාවත් නෙවෙයි. හොඳට බලාගන්නවා!" ජෝ අවිශ්වාසයෙන් යුතුව දෑස් පියාගත්තේය. "ආයෙ දවසක තමුසෙට එයත් එක්ක කතා කරන්න වෙනවා, මීළඟ වතාවෙදි හැබැහින්ම!"
"මාව අස් කළාද?" ජෝ විමසුවේය.
"නෑ. මං තමුසෙව අස් කරලා දාන දවසට ආයෙ තමුසෙට ඒක අහ අහ ඉන්න වෙන්නෙ නෑ, දැනගන්නවා!"
ඔහු කතා කර අවසන් වීමටත් පෙර ජෝ පුවත්පතද රැගෙන සංස්කාරකවරයාගේ කාමරයෙන් පිටව ගියේය. ඔහු පුවත් කාමරයද පසු කර එක එල්ලේම පොදු දුරකථන කුටිය වෙත ගියේය. එතැනින් ආ කිසිවෙකු කාර්යාලය තුළට ඇතුළු වන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටි ජෝ දුරකථනය අතට ගත්තේය. ඔහු ඇමතුම ලබාගත්තේ ඔහුගේ කුළී නිවාස හිමියා වූ ගියෝවානි හට ය. තම කාමරය විවර කොට එතුළ කිසිවෙක් නිදා සිටින්නේදැයි බලනා ලෙසට ජෝ ගියෝවානි හට උපදෙස් දුන්නේය. ඔහු ඒ ගැන සෝදිසි කර පැමිණෙන තෙක් දුරකථනයේ එල්ලී නොඉවසිල්ලෙන් සිටි ජෝ හට අවසානයේදී ගියෝවානි හෙළි කළේ සුන්දර තැනැත්තියක් එහි නිදා සිටිනා බවයි. අනතුරුව ජෝ ඔහුට උපදෙස් දුන්නේ තුවක්කුවක් හෝ පිහියක් හෝ ඕනෑම ආයුධයක් අතැතිව තමා පැමිණෙන තෙක් කිසිවෙකුත් ඉන් ඇතුළට හෝ පිටතට නොයනා ලෙසින් එහි දොරටුව මුර කරනා ලෙසටයි.
ඇමතුමෙන් පසු යළිත් සිය සංස්කාරකවරයා සොයා ගිය ජෝ වාද විවාද සංවාද බොහොමයකට පසුව ඉන් පිටතට පැමිණියේ ඈන් කුමරියගේ පෞද්ගලික හැඟීම්, ආශාවන්, සිතුවිලි පිළිබඳව වූ ඩොලර් පන්දහසක් වටිනා පුවත්පත් ලිපියක් තමා ලියනා බවට සංස්කාරකවරයා සමග ඔට්ටුවක් අල්ලා ය. තමා උණකටුවක් ලෙසින් වෙස්වළාගෙන රෝගාතුරව සිටිනා ඇගේ කාමරයට ඇතුළු වී මෙම සම්මුඛ සාකච්ඡාව ලබාගන්නා බව හැරෙන්නට වෙනත් වැඩිදුර විස්තරයක් හෙළි නොකළ ජෝ එයට ඡායාරූපද ඇතුළත් කරන බවට එකඟ විය. එසේම, තමා එයට අසමත් වුවහොත් පෙරදී ගෙවන්නට ඉතිරිව තිබූ ඔට්ටුවක මුදල්ද ඇතුළුව සම්පූර්ණ ඩොලර් දහසක් ජෝ තමා හට ගෙවිය යුතු බවටද හෙනසි මහතා ඔහු පොරොන්දු කරවාගත්තේය.
***
ජෝ යළි නිවස බලා යන විට ගියෝවානි ඔහුගේ කුටියේ දොරටුව ඉදිරිපිට තුවක්කුවක්ද කර තබාගෙන මුර භටයෙකු සේ සක්මන් කරමින් සිටියේය. ඔහුට විහිළු තහළු කරමින් තරප්පු පෙළ දිගට හිඳ සිටි කොළු ගැටයන්ගෙන් එකෙකුට රෝල් කළ පුවත්පතෙන් පහරක්ද දීගෙන ජෝ ඔවුන් පසු කර ගියෝවානි වෙත ගියේය. කිසිවෙකුත් දොරටුවෙන් පිටතට හෝ ඇතුළට නොගිය බවට තහවුරු කළ ගියෝවානි එතැනින් පිටව යන්නට පෙර ජෝ ඔහුගේ කර වටා අතක් දමා නතර කරගත්තේය. "සල්ලි ටිකක් හොයාගන්න කැමතිද ගියෝවානි?" ඔහු ඇසුවේය.
"සල්ලි?"
"ඔව්. මේකයි, මේක හොඳ විශ්වාසවන්ත වැඩක්. දවස් දෙකෙන් සල්ලි දෙගුණ වෙලා හම්බවෙනවා."
"දෙගුණ වෙලා?"
"ඔව් ඔව්. මට තව පොඩී ගාණක් මදි වෙලා තියෙනවා මුල් ගෙවීමට යොදවන්න. බැරිද මට පොඩි ගතමනාවක්, මේ-"
"මේ මේ, ඔහේ මට දැන් මාස දෙකකින් කුළී ගෙව්වෙ නෑ. තවත්නං මගෙං සල්ලි ඉල්ලන්න එපා. බෑ කිව්වොත් බෑමයි!"
ජෝ සිය අතේ වූ පුවත්පත ඔහු වෙත උරුක් කළේය. "හෙට වෙද්දි ඔහේට හිතෙයි අපරාදෙ කියලා!" නමුත් ගියෝවානි ඔහුගේ බස් නොසළකා එතැනින් පිටව ගියේය.
***
සිය කාමරය තුළට ඇතුළු වූ ජෝ ඒ වනතුරුද නිදා සිටිනා කුමරිය දෙස බැලුවේය. නිහඬව දොර වසා දමා උළුවස්සේ වූ ඇණයකට දම්වැලද දමා වඩාත් ආරක්ෂිත කළ ඔහු ඇඳ වටා ගොස් කුමරිය නිදනා කවිච්චිය වෙත ගියේය. මොහොතක් වේලා ඈ දෙස හොඳින් බලා සිටි ඔහු පුවත්පතද අතට ගෙන එහි වූ කුමරියගේ රුව හා නිදා සිටිනා තරුණියගේ මුහුණ සසඳන්නට උත්සාහ කළේය. නමුත් ඇගේ මුහුණට වැටී තිබූ කෙස් රොද හා මුහුණ අසළින් වැටී තිබූ අත ඔහුට බාධාවක් විය. හෙමින් සීරුවේ කෙස් රොද ඇගේ මුහුණ මතින් ඉවත් කළ ජෝ ඇගේ අතද සෙමෙන් ඉවතට කළේය. අනතුරුව වඩාත් ඈ වෙත නැඹුරු විය. "උත්තමාවියනි?" ඔහු මිමිණුවේය. "ම්ම්ම්-ම්ම්ම්ම්" ඇය කෙඳිරි ගෑවාය. "කුමරියනි?"
කුමරිය සුසුමක් හෙළා අනෙක් පසට හැරුණාය. "ඇයි... මොකද?"
ජෝ පුළුල් සිනහවකින් යුතුව නැගී සිටියේය. ඔහුගේ හඳුනාගැනීමේ පෙරෙට්ටුව සාර්ථක වී ඇත. අනතුරුව යළි ඇඳ වෙත ගොස් එය අස් පස් කර දමා පිළිවෙළට සකස් කළ ජෝ කවිච්චිය මත හුන් කුමරිය ඇතිරිලි පොරෝණාද සමගම ඔසවාගෙන විත් ප්‍රවේශමෙන් ඇඳ මතින් තැබුවේය. ඒ අතර පොලිස් සයිරන් නළා හඬක් ඇසුණු අතර කවුළුව වෙත ගොස් එදෙස බැලූ ජෝ යළි කුමරිය වෙත පැමිණියේය.
"දොස්තර බොනාකොවෙන්..." ඇය නින්දෙන් මිමිණුවාය.
"හ්ම්ම්?" කළ හැකි වෙනත් යමක් සිතාගත නොහැකි වූ ජෝ වෛද්‍යවරයා ලෙසින් කතා කළේය. "ඔව්, ඔව්, ඇයි. ඔව් හරි මේ... මේ, ඔයා හොඳින්; දැන් සනීපයි. ඔයාට මොනවත් ඕනෙද?"
"හ්ම්ම්? ගොඩක් දේවල්."
"ඔව්? ඉතිං කියන්නකෝ. ඔයාගෙ දොස්තරට හැම දේම කියන්න."
දෑස් විවර නොකරම ඇඳ මත දිග ඇදුණු කුමරිය කතා කළාය. "ම්ම්ම්ම්, මං දිග.... හීනයක් දැක්කා..."
"ඇත්තට? ඉතිං, ඔයා මොනවද හීනෙං දැක්කේ?" ඔහු වෛද්‍යවරයෙකු රෝගියෙකු පරීක්ෂා කරන ලෙසින් ඇගේ අතින් අල්ලාගත්තේය.
"මං දැක්කා මං මහ පාරේ නිදං ඉන්නවා. එතකොට... කවුද තරුණ හාදයෙක් ආවා. එයා උසයි, හොඳට ශක්තිමත් හැබැයි-" ඇය මුහුණ හකුළාගත්තාය. "-එයා මහ නපුරුයි."
"එහෙමද?" ඔහු ඇගේ අත අතහැරියේය.
"ම්ම්ම්." ඇය ප්‍රමෝදයෙන් යුතුව සිය දෑස් මතින් අතක් දමාගෙන ඇඳ මත යළිත් දිග ඇදුණාය. "ඒක හරි ෂෝක් හීනයක්." අනතුරුව තම අත ඉවත් කළ ඇය දෑස් මදක් විවර කොට සීලිම දෙස බැලුවාය. එහි ගෘහ අලංකරණය තානාපති කාර්‍යාලයේ නිදන කාමරයේ ස්වභාවයට වඩා බොහෝ සෙයින් වෙනස් වූ බව හඳුනාගත් ඇය තම ඇඳ අසළ සිටගෙන සිටිනා තැනැත්තා දෙස බැලුවාය. එහි සිටි ජෝ දුටු ඇය යළිත් සිනාසෙමින් දෑස් පියාගන්නේ තමා තවමත් සිහින දකිමින් සිටිනවා විය යුතුයැයි සිතා ය. නමුත් යළිත් දෑස් විවර කරන විටද ඔහු එතැනම එලෙසම සිටි බැවින් ඇගේ මුහුණට බැරෑරුම් බවක් එක් විය.
"සුබ උදෑසනක්!" ජෝ ප්‍රියමනාප හඬින් තෙපළේය.
"දොස්තර බොනාකොවෙන් කොහෙද?" කුමරිය චකිතයට පත් හඬින් ඇසුවාය.
"ම්ම්, මං එහෙම කෙනෙක් දන්නෙ නෑනේ."
කුමරියගේ මුහුණ ගැටළුකාරී බවින් පිරුණි. "මං එයත් එක්ක නෙවෙයිද කතා කර කර හිටියෙ?"
"නෑනෙ."
එක්වරම බියපත්ව ඇය තම දෙපා අල්ලා බැලුවාය. "මට මොනවාහරි අනතුරක් වුණාද?"
"නෑ."
"එහෙනං මට කෙළින් ඉඳගන්න පුළුවන්ද?"
"අපොයි ඔව්." ජෝ ඈ වෙත නැවී එසවූ කොට්ටය මත ඇය හේත්තු වූවාය. ඇය ඔහු දෙස බලා සිටියේ තරමක අවිශ්වාසය රැඳි දෙනෙතිනි. ජෝ ඇඳ පහළ වූ රාක්ක තට්ටුවට බර දී සිටගත්තේය.
"ස්තූතියි," කුමරිය කීවාය. ජෝ මද සිනහවකින් ප්‍රතිචාර දැක්වීය. තමා හැඳ සිටින ඇඳුම් කුමරියගේ අවධානයට ලක් වූයේ ඒ මොහොතේදීය. "මේවා ඔයාගෙද?" ඔහු හිස සැලුවේය. කුමරිය එක්වරම තැතිගත් ලෙසින් සිය පොරෝණාව තුළට අත යවා තමා පිජාමාව සම්පූර්ණයෙන්ම ඇඳ සිටින්නේදැයි සොයා බැලුවාය.
"මේ, මොනවත් නැතිවෙලාද?" ජෝ විමසුවේය.
මහත් සැනසිලිදායක සිනහවක් පෑ කුමරිය "නෑ, නෑ" යනුවෙන් පිළිතුරු දුන්නාය. "කරුණාකරලා මට කියන්න පුළුවන්ද මම මේ ඉන්නේ කොහෙද කියලා?"
පෙර දිනයේ ඇය තම කාමරය සෝපානයකට සම කළ බව මතකයේ තිබූ ජෝ "මේ තමයි මගේ දැක්කම හිනා යන කාමරේ" යැයි පිළිතුරු දුන්නේය.
කුමරිය එක්වරම ඇඳ මත කෙළින් විය. "ඔයා මාව බලෙන් මෙහෙ එක්කගෙන ආවද?"
"නෑ, නෑ, අපොයි නෑ..." ජෝ සිනාසී පිළිතුරු දුන්නේය. "ඇත්තටම ඒකෙ අනිත් පැත්ත තමයි සිද්ද වුණේ."
"මං මුළු රෑම මෙහෙද හිටියෙ... තනියම?"
"මාව ගණං ගන්නෙ නැත්තං ඉතිං, ඔව් එහෙම තමයි."
"ඒ කියන්නේ මං මුළු රෑම මෙහෙ හිටියා - ඔයත් එක්ක," කුමරිය බැරෑරුම් මුහුණින් විමසුවාය.
ජෝ ක්ෂණිකව ඈ අස්වසන්නට උත්සාහ කළේය. "අයියෝ මෙහෙමයි, මං - මං දන්නෙ නෑ ඒ වචන එහෙමම පාවිච්චි කරන එක හරිද කියලා, ඒත් එක විදිහකට බැලුවොත් ඒක එහෙම තමයි."
ඈන් කුමරිය මොහොතක් පහළ බලාගෙන කල්පනා කළාය. අනතුරුව සියල්ල හොඳින් ඇති බව වටහාගෙන සිනහවක් පා ඔහු වෙත අත දිගු කළාය. "කොහොමද?"
ඔහුද ඇගේ අත ගෙන ප්‍රතිචාර දැක්වීය.
"ඔයා කවුද?"
"බ්‍රැඩ්ලි. ජෝ බ්‍රැඩ්ලි."
"හමුවීම සතුටක්."
"ඔයාව හමුවෙච්ච එක මට කොච්චර සතුටක්ද කියලා ඔයාට හිතාගන්නවත් බෑ."
ඇය අසළ වූ අසුනක් වෙත අත දිගු කළාය. "ඉඳගන්න."
"බොහොම ස්තූතියි." නමුත් ජෝ හිඳගත්තේ ඈ පෙන්වූ අසුන මත නොව ඇඳ පාමුල ය. තැතිගත් කුමරිය වහා සිය දෙපා හකුළාගත්තාය. "ඔයාගෙ නම මොකද්ද?"
ඇය පිළිතුරු දීමට පෙර මදක් කල්පනා කළාය. "මම ආන්‍යා," අවසානයේදී ඇය කීවාය.
ඉන් අනතුරුව ඇති වූ පිළිසඳර කතාබහකට පසුව තමා පිටව යා යුතු බව ඈන් කුමරිය පැවසුවාය. ඇයට සූදානම් වීමට ඉඩ ලබා දෙමින් කුටියෙන් පිටව ගිය ජෝ පිටත වැඩපොළක වූ දුරකථනය වෙත ගොස් සිය මිතුරු ඡායාරූප ශිල්පියා අර්වින් හට දුරකතන ඇමතුමක් ලබා දුන්නේය. දුරකතනයෙන් පැහැදිලි කළ නොහැකි ඉතාමත් වටිනා වැදගත් කටයුත්තක් සඳහා විනාඩි පහක් ඇතුළත නම නවාතැනට පැමිණෙන ලෙස ජෝ ඔහුගෙන් ඉල්ලා සිටියද, එම මොහොතේ නිරූපණ ශිල්පිනියකගේ ඡායාරූප ගනිමින් සිටි අර්වින් තමා කාර්යබහුල බවත්, එය කළ නොහැකි බවත්, තවත් පැය භාගයකින් රොකා අවන්හළේදී ෆ්‍රැන්සෙස්කා මුණගැසීමට ඇති බවත් කියමින් ජෝගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
ඒ අතර නිවාස පිරිසිදු කරන්නිය පැමිණ ජෝගේ නවාතැන පිරිසිදු කරන්නට පටන්ගත් අතර නානකාමරය තුළින් ආ හඬ හේතුවෙන් ජෝ මහත්මයා අමතකව වතුර කරාමය හැර ගොස් ඇතැයි සිතා හිස දෙපසට වනමින් ගොස් එහි දොරටුව විවර කළාය. කලබල වූ ඈන් කුමරිය යටිගිරියෙන් කෑ ගසා තුවාය තවත් තදින් සිරුර වටා ඔතාගත්තාය. පිරිසිදු කරන්නියගේ රොස් පරොස් බස් වටහාගත නොහැකි වූ ඇය යළිත් නානකාමරයේ දොර වසාගත් අතර ඉන් පසුවද පිරිසිදු කරන්නියගේ බැණ අඬගෑම් නොනැවතී ඇසෙමින් තිබුණි.
මඳ වේලාවකට පසු පියගැටපෙළ නැග යළි සිය නවාතැන කරා පැමිණි ජෝ දුටුවේ නිසි පිළිවෙලට අස් වී පිරිසිදු වී තිබූ සිය කාමරයයි. ඈන් කුමරිය පෙනෙන්නට නොසිටියෙන් වටපිට බැලූ ඔහු දුටුවේ සඳළුතලයට පිවිසෙන දොරටුව විවෘතව ඇති බවයි. ඈන් කුමරිය එහි විය.
"මේ ඉන්නේ," ඔහු ඈ වෙත එමින් කීවේය.
"මං මෙතන ඉඳන් මිනිස්සු දිහා බලං හිටියා," ඔහු දෙස හැරී බැලූ ඇය මඳ සිනහ පාමින් අනෙකුත් ගොඩනැගිලි පෙන්වමින් කීවාය. "මේ වගේ තැනක ජීවත්වෙන එක හරි විනෝදයි නේද."
"අපොයි ඔව්. මට ඕනෙනං ඔය හැම නවාතැනක් ගැනම සජීවී විස්තර විචාරයක් දෙන්න පුළුවන්."
ඒ මොහොතේදී ඇය බැරෑරුම් මුහුණෙන් ඔහු දෙස බැලුවාය. "මං දැන් යන්න ඕනෙ."
"හ්ම්ම්?"
"මං හිටියෙ ඔයාට කියලා යන්න."
"යන්න? අපි මේ හම්බවුණා විතරයිනෙ. උදේ කෑම ටිකක්වත් කමු?"
"බෑ, මට වෙලාව නෑ."
"බොහොම ලොකු වැඩක් වෙන්න ඇති කන්නෙවත් නැතුව දුවන්න හදන්නෙ."
"ඔව්."
"ඉතිං මාත් එන්නං ඔයත් එක්ක යන තැනකට."
"නෑ, ඒකට කමක් නෑ; මට පාර හොයාගන්න පුළුවන්." ඔවුන් දෙදෙනා යළිත් කුටිය තුළට පිවිසුණෝය. "මට ඇඳේ නිදාගන්න දුන්නට බොහොම ස්තූතියි."
මොහොතකට තුෂ්නිම්භූත වූ ජෝ අනතුරුව සිහි එළවාගත්තේය. "ආ, ඒක සුළු දෙයක්; එච්චර හිතන්න දෙයක් නෑ."
"ඔයා හරි කරුණාවන්තයි-" ඇය කවිච්චිය වෙත හිස දිගු කළාය. "අරකෙ නිදාගන්න ඇත්තෙ හරි අමාරුවෙන් වෙන්න ඇති නේද."
"නෑ, නෑ, මං නිතරම ඕකෙ නිදියනවා." ජෝ දොරටුව විවර කළේය.
දොරටුවෙන් පිටතට ආ ඈන් කුමරිය ජෝ වෙත අත දිගු කළාය. "එහෙනං මං ගිහිං එන්නං බ්‍රැඩ්ලි මහත්මයා."
"හොඳයි. සුබ ගමන්," ඇයට අත දෙමින් ජෝ සුබ පැතුවේය. කොයි අත යා යුතුදැයි ඈ දෙගිඩියාවෙන් පසු වන බව දුටුවෙන් ඔහු පියගැට පෙළ බැසගොස් භූමියෙන් පිට වන අන්දම කියා දුන්නේය. ඈ පිටව යන අන්දම බැලීමට යළි සඳළුතලය වෙත දිව ගිය ජෝ ඈ නික්ම ගිය බව නිසැකවම තහවුරු කරගෙන වහා පියගැටපෙළ බැස දිව ගියේය. නමුත් ඒ මොහොතේ ඈන් කුමරිය ආපසු ඔහු සොයා එමින් සිටි අතර දෙදෙනා එකිනෙකාගේ ඇඟේ නොහැපී බේරුණේ යාන්තමිනි.
"ආයෙ හම්බවුණා නේද," ජෝ සිනාසෙමින් ඇසුවේය.
"මං මේ ආවේ, මට සල්ලි ටිකක් ඉල්ලගන්න පුළුවන්ද අහන්න?"
"ආ ඔව්නෙ, ඔයා ළඟ ඊයෙ අහද්දි සල්ලි තිබ්බෙ නෑනේ, නේද?" ජෝ එසේ පවසන අතරේ ගියෝවානි ඔවුනට ඉදිරියෙන් වූ ගොඩනැගිල්ලේ කවුළුවකින් එබීගෙන සිටිනා අන්දම දුටුවේය.
"ම්ම්ම්," ඈන් කීවාය.
"කීයක්ද?" ජෝ සිය පසුම්බිය පිටතට ඇදගන්නා අතරේ ගියෝවානි දෙස අපහසුවට පත් බැල්මක් හෙලුවේය. "කීයක් ඕනෙද?"
"මන්දා. ඔයා ගාව කීයක් විතර තියනවද?"
"මේ," ජෝ යළිත් ගියෝවානි දෙස බැලුවේය. "අපි මේක දෙකට බෙදමු: මෙන්න ලීරා දාහක්."
"දාහක්? මං එච්චර ගොඩක් ගත්තට කමක් නැද්ද?"
"ලීරා දාහක් කියන්නේ ඩොලර් එකහමාරයි."
"එහෙමද... හරි එහෙනං, මං - මං මේක ආපහු එවන්නංකො. ඔයාගෙ ලිපිනය මොකද්ද?"
"මේ, මාර්ගුටා බංගලාව, නොම්බර පණස් එක."
ඔහුගේ ලිපිනය යළිත් පවසා මතකයේ සටහන් කරගත් ඇය ඔහුට ස්තූති කර සමු දී පිටව ගියාය. ගියෝවානි දෙස යළිත් බැලූ ජෝ ද ඈ පසුපසින් ඇයට රහසෙන් පියගැටපෙළ බැස යන අතරේ ඔහුගේ මුදල් දෙගුණ කිරීමේ සෙල්ලම ගැන ගියෝවානි උපහාස මුඛයෙන් බස් දෙඩුවේය. නමුත් එය ප්‍රෝඩාවක් නොවන බවත්, හෙට ඒ ගැන කතා කරනා බවටත් තහවුරු කළ ජෝ ප්‍රධාන දොරටුවෙන් පිටව නොපෙනී ගියේය.
- මතු සම්බන්ධයි -





මං හිතුවේ නිදහස් ජීවිතේ ගත කරන්න කැමැත්තෙන් ඈන් කුමාරි ටික දවසක් ඉදීවි කියලා... කමක්නෑ... ඊට වඩා රසවත්, වෙනස් දෙයක් ඉදිරියට සිදුවේවි.... ඔයා එහෙමයිනෙ අක්කේ:D
ReplyDeleteඒකනේ නංගෝ, මෙයා ගියානේ ටටා බායි කියලා, නේද?
Deleteමං ගැන විශ්වාසය තිබ්බාට ගොඩාක් ස්තූතියි. බලමුකො ඉස්සරහට මොනවා වෙයිද කියලා. :)
ඔයාව විස්වාසයි. දැන් කතා කීපයක්ම කියෙවුව නිසා දන්නවා හිතනවටත් වඩා ලස්සන සිදුවීමක් ඉදිරියට වෙනව ඇති කියලා හිතෙනවා...
ReplyDeleteබලමු නේ. :)
Delete/ඍජු /
ReplyDeleteනිවැරදි වදන වනාහී - සෘජු
/කුමරිය එක්වරම තැතිගත් ලෙසින් සිය පොරෝණාව තුළට අත යවා තමා පිජාමාව සම්පූර්ණයෙන්ම ඇඳ සිටින්නේදැයි සොයා බැලුවාය./
This is hilarious...:)
Unicode realtime converter එකේ ඔය වචනේ ඔහොමනෙ ටයිප් වුනේ. :(
Deleteඇයි අර මුළදිම තානාපති මන්දිරේ ඉඳන් වියර්බර්ග් ආදිපාදවරියට කිව්වෙ මේ කුමාරිකාවුන්නාන්සේ පිජාමා අඳින්න තියෙන ආසාව සහ අඳින්න ආස විදිහ ගැන. ඉතින් බය හිතෙන්න ඇති නිදිමරගාතේ ඒක ඒ ආස විදිහට ඇන්දාද දන්නෙ නෑ කියලා.
DeleteI use Unicode realtime converter too. try typing s...r...u...j...u
හප්පා... මම එන්න පරක්කු වෙච්ච ටිකට මේ කුමාරිය ටටා බායි කියලත් ගිහින්.... චා චා....
ReplyDeleteගියානම් අර මනුස්සයට අලාබයක් නොකර ආපු එක නම් මට හොඳටම හිතට මදි.. අඩුම තරමේ හොම්බට දෙකතුනක් අනින්නවත් තිබ්බ.. හේතුව? ඕකට ඉතින් අහවල් හේතුවක්ද... රාජ නියෝගයක්නේ! නැද්ද?
නියමයි කතාව... ඔන්න ඉතින් අපි වගේ ඉතින් නරක ළමයි නෙවෙයිනේ.. හ්ම්ම් හ්ම්ම් ලියන ගානට කියෝනව
අනේ අර අහිංසක ජෝ ට? ඇයි අප්පා, පව් නැද්ද?
Deleteඔන්න පහුගිය කොටස් එක්කම කියෙව්වා.
ReplyDeleteඅර අරයා කියනවා වගේ මමත් ඔන්න "අපුරුයි" කියලා කිව්වා එහෙනම්.
අතුරු ප්‍රශ්නය..
ඔය "ජෝ" ලංකාවේ හිටපු පත්තරකාරයෙක්ද ?
ෆිල්ම් එකේනම් මේ උන්නැහේ රෝමයේ පිහිටලා තියෙන ඇමරිකානු ප්‍රවෘත්ති සමාගමක වාර්ථාකරුවෙක්. ෂා, මේ පසුබිම ලංකාවට ආදේශ කරලාත් නියම කතාවක් ගොඩනගන්න පුළුවං. මට මැවිලා පේනවා!
Deleteමිස් ගාර්බර්: "අපූඌඌඌඌරුයි!" :D