140. ෆ්ලොස් නදිය අසබඩ - 9 - නිවසේ සිදුවීම්

නඩුවේ තීන්දුව තමාට විරුද්ධව ප‍්‍රකාශ වූ බවත්, පිවාර්ට් හා වැකම් ජය ගෙන ඇති බවත් මුල් වරට ඇසූ මොහොතේදී ටුලිවර් මහතා එය හොඳින් දරාගත් බව ඔහුව හමු වූ උදවිය සිතූහ. දිගු කලක් පුරා ඇදුණු නඩු හබය වෙනුවෙන් විශාල මුදලක් වැය වනු ඇති බව ඔහු දැන සිටි අතර ඒ වෙනුවෙන් නොයෙකුත් සැලසුම් ඔහු ඒ වන විටත් කල්පනා කොට තිබුණි. එබැවින්, තමාට ඩෝල්කොට් මෝලේ ටුලිවර් ලෙසින්ම රැඳී සිටිය හැකි අන්දමින් මුදලක් ණයට ලබාගත හැකි ආකාරයක් පිළිබඳව යුහුසුළුව සැලසුම් කිරීමට ඔහු කටයුතු කළේය. ෆර්ලි නැමැත්තා හට ඒ වන විටත් ඉඩමෙන් කොටසක් උකස් කොට තිබූ අතර, මුළු ඉඩමම මිළ දී ගෙන තමාට අඳයට මෝලේ වැඩ කරන්නට ඔහු ඉඩ දෙනු ඇති බවට ටුලිවර් මහතාට කිසිදු සැකයක් නොවීය.

එම අදහස සිතේ ඇතිව ෆර්ලි මහතා හමු වීම පිණිස ඔහු අසු පිට නැගී ශාන්ත ඔග්ස් බලා පිටත් විය. නමුත් ගමනින් අඩක් ගෙවීමටත් පෙරම ඔහුට සිය නීතීඥයවරයාගේ කාර්යාලයෙන් හසුනක් රැගෙන පැමිණි ලිපිකරුවෙකු මුණ ගැසුණි. ඔහුට ලිපිය බාර දුන් ලිපිකරු ආපසු නගරය බලා පිටව ගිය අතර එය විවෘත කළ ටුලිවර් මහතා එය කියවන්නට වූවේය. එය කෙටි ලිපියකි. එහි සඳහන් වූයේ හදිසි මුදල් අවශ්‍යතාවයක් මත ෆර්ලි සතු වූ සියලූම සුරැකුම් (ටුලිවර් මහතාගේ උකසද ඇතුළුව) වැකම් හට විකුණා ඇති බව නීතීඥවරයාට දැනගන්නට ලැබුණු බවය.

අඩ හෝරාවකට පසු ටුලිවර් නිවසේ ගැල්කරුට විවර වූ ලිපියක් අතැතිව මාවත අද්දර වැටී සිටි ටුලිවර් මහතාවද, ඒ අසළ නොසන්සුන්ව තණ කොළ උලා කමින් සිටි අළු පැහැති අසුවද හමු විය.

මැගීව ඉක්මණින්ම කැඳවනු ලැබූ අතර ඈ එහි පැමිණෙන විට ඇගේ පියා යළි සිහිය ලබා සිටි නමුත් ඇයව හඳුනාගත්තේ නැත. කරුණාවන්ත මහළු ටර්න්බුල් වෛද්‍යවරයා බියටත් කම්පාවටත් පත්ව සිටි ඇගේ සිත සනසන්නට උත්සාහ කළේය.

"කලබල වෙන්න එපා මගෙ දරුවෝ," ඇගේ අත අල්ලාගනිමින් ඔහු කීවේය. "ඔයාගෙ තාත්තට හදිසි කම්පනයක් ඇවිත් තියෙන්නේ, තාම ඒකෙන් පස්සෙ හරියට කල්පනාව ඇවිත් නෑ. ඒත් තාත්තා දිගටම ඔයාව ඇහැව්වා, ඒ නිසා ඔයා මෙතන ඉන්න එක එයාට හොඳයි. පුළුවන් තරම් නිශ්ශබ්දව ඉන්න. කිසිම දේකින් එයාව කලබල කරන්න එපා."

සැබැවින්ම අසරණ ටුලිවර් මහතා මැගී ඔහු අසළ සිටියදී කුඩා දරුවෙකු ලෙසින් සැනසීමෙන් සිටින බව පෙනුණි - ඔහුගේ ස්වරූපය තම කිරිමව තුරුළේ සුරැකිව හිඳිනා ළදරුවෙකු මෙන් විය.

ටුලිවර් මහත්මියට ටොම්වද කැඳවාගැනීමට උවමනා විය. ඇය තම සැමියා පිළිබඳව නොව එයට වඩා තම පුත‍්‍රයා පිළිබඳව තැවෙන බව පෙනී ගියේය. දෙවන දිනය අවසන් වන විට මැගී පියාගේ මතකය නොමැති බවටත්, ඔහු එම තත්ත්වයෙන් සුවපත් වනු ඇති බවට වූ බලාපොරොත්තුවටත් හුරු පුරුදු වී සිටි අතර සොයුරාගේ අවශ්‍යතාවය ඒ වන විට ඇයටද දැනෙන්නට විය. ඇගේ මව රාත‍්‍රියේ 'මගේ අසරණ පුතා... ගෙදර ආවනං කොච්චර දෙයක්ද,' යැයි කියමින් හඬන්නට වූ විට "මං ගිහිං අයියව එක්ක එන්නං අම්මේ," යැයි මැගී කීවාය. "තාත්තා මාව අඳුන ගත්තෙ නැත්තං, මාව හෙව්වෙ නැත්තං හෙට උදේට මං යන්නං. මේ මුකුත්ම දන්නෙ නැතුව අයියා ගෙදර ඇවිත් ඒවා දැනගන්න උනාම එයාට ගොඩක් දුක හිතෙයි."

එසේම අප පෙරදී දුටු පරිද්දෙන් මැගී පසු දින උදෑසන නිවසින් පිට වූවාය. ආපසු එන අතරේ පොදු මගී රථයේ අසුන් ගෙන සිටි සොයුරාත් සොයුරියත් දුක්බර හඬින් කොඳුරමින් සිටියෝය.

"කට්ටිය කියන විදිහට අපේ ඉඩමෙන් උකසක් හරි මොකක් හරි වැකම්ට අයිතියි අයියේ," මැගී කීවාය. "ඒ ගැන තිබ්බ ලියුම හින්දා තමයි තාත්තට අසනීප වෙලා තියෙන්නේ."

"මට පේන්නේ ඒ තකතීරුවා කාලෙක ඉඳං හොඳට ලෑස්ති වෙලා තියනවා වගේ අපේ තාත්තව වට්ටන්න," අපැහැදිලි සිතුවිලි මතින් එක්වරම ස්ථාවර නිගමනයකට එළඹෙමින් ටොම් කීවේය. "මං මිනිහෙක් වෙච්ච දාක එහෙම කරපු එක ගැන මිනිහට දුක් වෙන්න වෙයි. ආයෙ කවදාවත් ෆිලිප් එක්ක එහෙම කතාවට යනවා නෙවෙයි."

"අනේ අයියේ!" මැගී අසතුටු හඬින් කීවාය. නමුත් ඒ ගැන වාද කරන්නට හෝ එයට විරුද්ධ වී ටොම්ගේ සිත රිදවීමට හෝ මැගීට ශක්තියක් නොවීය.

ටොම්ව දුටු විගස ටුලිවර් මහත්මිය නැවතත් හඬන්නට පටන්ගත්තාය. ඇය ඇගේ රිදී සහ ලිනන් ආයිත්තම් තෝරමින් සිටි අතර ළමුන් දෙදෙනා නිවසට ඇතුළු වන විට රිදී තේ පෝච්චියක් අතැතිව සිටගෙන සිටියාය.

"හැමදේම දීලා දාන්න වෙනවා," ඇය වැළපුනාය. "මගේ හැම ලස්සන බඩුවක්ම - මේ තේ පෝච්චියත්. මේවා ඔයාගෙ තාත්තා සල්ලි දීලා ගත්ත ඒවා නෙවෙයි. අපි බඳින්න කළින් ඒවා මමයි - මගේ සල්ලි වලිනුයි අරගත්තේ. එයා මාව බැඳලා මාව මේ වගේ තත්ත්වෙකට පත් කළා කියලා හිතන කොට!" ඇය ලේන්සුව දෑසට තද කරගෙන මොහොතක් වැළපුණු නමුත් ඊලඟ මොහොතේදී මෙසේ පැවසුවාය, "අනික මං සැරෙන් සැරේට එයාට කිව්වේ 'මොනවා කළත් නඩු කියන්නනං යන්න එපා!' කියලයි. මං වෙන මොනවා කරන්නද? මට දැං මෙතන ඉඳගෙන මගේ වස්තුව විනාස වෙලා යන හැටි බලං ඉන්න වෙනවා, මටයි මගේ ළමයින්ටයි අයිති වෙන්න තිබ්බ සල්ලි. ඔයාට පැන්සයක්වත් ඉතුරු වෙන්නෙ නෑ මගෙ පුතේ - ඒක ඔයාගෙ අම්මගේ වැරැුද්දක්නං නෙවෙයි."

ඇය අනුකම්පාසහගතව සිය අසරණ, ළදරුවෙකුගේ වැනි වූ නිල් දෑසින් ටොම් දෙස බලා අතක් දිගු කළාය. ඈ වෙත ගිය ටොම් ඇයට හාදුවක් දුන් අතර ඇය සිය පුත‍්‍රයාව වැළඳගත්තාය. පළමු වතාවට ඔහු සිය පියා ගැන නොපහන් සිතින් කල්පනා කළේය.

"දුක් වෙන්න එපා අම්මා," ඔහු මෘදු ලෙස කීවේය. "මට ඉක්මණටම සල්ලි ටිකක් හොයාගන්න පුළුවන් වෙයි! මං මොකක් හරි රස්සාවක් හොයාගන්නං."

"දෙවි පිහිටයි පුතේ," ටුලිවර් මහත්මිය මඳක් සැනසිලි සහගත හඬින් කීවාය. අනතුරුව දුක්බර බැල්මෙන් අවට බලා, "ඒත් මගේම සල්ලි වලින් ගත්ත ඒවාවත් මට තියාගන්න පුළුවන් වුනානං මං මේ තරං දුක් වෙන්නෙ නෑ," යැයි එකතු කළාය.

මැගී මේ සියල්ල දෙස බලා සිටියේ කෙමෙන් නැගෙමින් ආ කෝපයත් සමගිනි. ජීවත් වුවද මිය ගියාක් මෙන් නිදා සිටින ඇගේ පියාට එරෙහිව නැගුණු මෙම දෝෂාරෝපණ මගින් විසිතුරු භාණ්ඩ හා රෙදි පිළි ගැන නැගුණු අඳෝනා පිළිබඳව ඈ තුළ ඇති වී තිබූ කණගාටුව අවලංගු කොට දමනු ලැබීය. අවසානයේදී ඇය කිපුණු හඬකින් පුපුරා හැලූනාය. "කොහොමද අම්මේ ඔය විදිහට කතා කරන්නේ? තාත්තා ගැන මුකුත්ම හිතන්නේ නැතුව හරියට අම්මගේ බඩු ගැන විතරක් කරදර වෙනවා වාගේ - තාත්තා අර වගේ තත්ත්වෙක ඉන්න කොට? ආයෙ කවදාවත් අපි එක්ක කතා කරයිද කියලාවත් දන්නෙ නැති කොට? අයියේ, කාටවත් ඉඩ තියන්න එපා මගේ තාත්තා ගැන බොරු වැරදි කියන්න!"

දුකෙන් සහ කෝපයෙන් උගුර හිර වන බවක් දැනුනෙන් එතැනින් පිටව ගිය මැගී පියාගේ ඇඳ අසළින් වාඩි වූවාය. මිනිසුන් ඔහුට අභූත චෝදනා එල්ල කරනු ඇතැයි යන සිතුවිල්ලෙන් ඇගේ හදවත තව තවත් ඔහුට සමීප විය. මැගී චෝදනා වලට වෛර කළාය; මුළු ජීවිත කාලය පුරාම මැගීට චෝදනා එල්ල වූ අතර එයින් කෝප සහගත සිතුවිලි හැරෙන්නට කිසිවෙකුටත් ලැබුණු වෙනත් දෙයක් නොවීය. ඇගේ පියා සෑමවිටම ඇගේ පැත්ත අරගත් අතර ඇයට සමාව දුන්නාය. ඔහු ඇයට දැක්වූ මෘදු බව පිළිබඳ මතකය ඔහු වෙනුවෙන්  ඕනෑම දෙයක් කිරීමට හෝ දරාගැනීමට තරම් බලගතු විය.

මැගීගේ හදිසි කෝපයෙන් ටොම් මඳක් පුදුමයට පත් විය - කළ යුතු නිවැරදි දේ පිළිබඳව ඔහුට හා මවට පවසා සිටීමට තරම් ඇගේ කෝපය ප‍්‍රබල විය! නමුත් පියාගේ කාමරයට ගිය පසු පියා හා මැගී සිටි අන්දම දුටු ඔහුගේ සිතේ පෙරදී ඇති වූ අල්පමාත‍්‍ර නොපහන් සිතුවිලි අතුරුදන්ව ගියේය. 

ඔහුගේ තැවුල් සහගත මුහුණ දුටු මැගී ඔහු වෙත ගොස් ඔහුව වැළඳගත් අතර ඔහු ඇඳ අසළින් වාඩි විය. තමුන් දෙදෙනා එකම පියාගේ දරුවන් බවත්, තමුන්ට ඇත්තේ එකම සන්තාපයත් බවත් හැරෙන්නට අන් සියල්ලම ඔවුනට ඒ මොහොතේදී අමතකව ගියේය.

- මතු සම්බන්ධයි -




139. ෆ්ලොස් නදිය අසබඩ - 8 - ළමා වියේ නිමාව

අසරණ ටොම් සිය වේදනාව එඩිතර ලෙස දරාගත් අතර පෝල්ටර් මහතා පිළිබඳව නොකියා සිටිය නොහැකි තරමට වඩා වදනක් හෝ හෙළි නොකරන බවට දැඩි අධිෂ්ඨානයක එල්බ සිටියේය. සැබැවින්ම, සිලිං පහ පිළිබඳ ගනුදෙනුව මැගීට පවා රහසක් විය. නමුත් ඒ සියල්ලටම වඩා ටොම්ගේ සිතට වධ දුන් එක් කරුණක් විය - ඒ ගැන ඔහු කෙතරම් බිය වූයේද කිවහොත් 'ඔව්' යන මාරක පිළිතුර ලැබෙනු ඇතැයි සිතා ඔහු ඒ ගැන වෛද්‍යවරයාගෙන් හෝ ස්ටෙලිං පූජකතුමාගෙන් හෝ විමසීමෙන්ද වැළකී සිටියේය. ඒ ඔහු ආබාධිතයෙකු වනු ඇතිද යන බියයි.
 

නමුත් ඔහු දෙස බලා සිටි ෆිලිප් ඔහුගේ සිතට වධ දෙන කරුණ පිළිබඳව අනුමාන කළේය. එක් දිනක ස්ටෙලිං පූජකවරයාගෙන් ඔහු ටොම් අසන්නට බිය වූ එම කරුණ පිළිබඳව විමසා සිටියේය. "සමාවෙන්න පූජකතුමනි - දොස්තර මහත්මයා හිතනවද ටුලිවර් ආබාධිතයෙක් වෙයි කියලා?"
 

"අපොයි නෑ, අපොයි නෑ," පූජකවරයා කීවේය. "හැමදාටම නෙවෙයි - ටික කාලෙකට විතරයි."
 

එම පිළිතුරත් සමග ෆිලිප් ටොම්ගේ කාමරයට ගියේය. "දොස්තර මහත්මයා කියනවා ටුලිවර් ඔයාට ඉක්මණට සනීප වෙයි කියලා, දන්නවද?" ඔහු සෙමින් ටොම්ගේ ඇඳ වෙතට ඇවිද එමින් කුලෑටි ලෙසින් කීවේය. "මං දැං පූජකතුමාගෙන් ඇහුවේ. එතුමා කියනවා වැඩි කල් යන්න කළින්ම ඔයාට පුරුදු විදිහට ඇවිදින්න පුළුවන් කියලා."
 

දිගු සැනසුම් සුසුමක් හෙලූ ටොම් සිය අළු නිල් පැහැති දෑස් එක එල්ලේම ෆිලිප් වෙත යොමු කළේය.
 

"ඒක හොඳයි," ඔහු කීවේය. මඳ නිහඬතාවයකට පසුව ඔහු නැවතත් සැහැල්ලූ හඬින් කතා කළේය. "පූජකතුමාට කියලා ඔයාට පුළුවන් වෙලාවට මෙහෙට ඇවිත් ඉන්න."
 

ඉන් පසුව ෆිලිප් ඔහුගේ පාඩම් වේලාව හැරුණු කොට ඉතිරි මුළු කාලයම ගත කළේ ටොම් හා මැගී සමගය; ඒ හැරෙන්නට ටොම්ගේ පාදයේ වෙළුම් පටි මාරු කරන විට හෝ ඔහුට විවේකය උවමනා වූ විට මැගී පාඩම් කාමරය වෙත ගොස් ෆිලිප් සමග එහි රැඳී සිටියාය. එක් දිනක, එහි වූයේ ඔවුන් දෙදෙනා පමණි. ෆිලිප් මේසය අසළ ඔහුගේ පාඩම් කටයුතු වල නිරත වී සිටි අතර මැගී ඒ වෙත ගොස් මේසයට බර දී ඔහු කරන්නේ කුමක්දැයි බලා සිටියාය. ඔවුන් දෙදෙනා ඒ වන විට කුළුපග මිතුරන්ව සිටියෝය.
 

"මැගී," ෆිලිප් ඈ ඇමතුවේය, "ඔයාට මං වගේ අයියා කෙනෙක් හිටියනං ඔයා එයාටත් ටොම්ට තරං ආදරේ කරයි කියලා ඔයා හිතනවද?"
 

"ඔව්, ඊටත් වඩා," මැගී ක්ෂණිකව පිළිතුරු දුන්නාය. "ඊටත් වඩා කියන්න බෑ හැබැයි, මොකද මං ටොම් අයියාට ආදරේ කරනවාට වඩා කිසිම කෙනෙකුට ආදරේ කරන්න පුළුවන් වෙයිද කියලා මං දන්නෙ නෑ. ඒත් මට ඔයා ගැන ආදරෙත් එක්කම දුකත් හිතෙයි." ෆිලිප් මඳක් රතු විය: ඔහු අනුකම්පාවට කැමති නොවීය. ඒ බව වටහාගත් මැගී යළිත් ඉක්මණින්ම කතා කළාය: "අනික ඔයා හරිම නුවණක්කාරයි ෆිලිප්. ඔයත් මගේ අයියා කෙනෙක් වුනානං කියලා හිතෙනවා. මං හරි කැමතියි ඔයාට."
 

"මාත් හරිම කැමතියි ඔයාට මැගී; මට ඔයාව කවදාවත් අමතක වෙන එකක් නෑ. මට ගොඩක් දුක හිතුණ වෙලාවට මං ඔයා ගැන හිතයි, ඔයා වගේ කළු ඇස් තියෙන නංගි කෙනෙක් මටත් හිටියනං කියලා හිතයි."
 

"ඇයි ඔයා මගේ ඇස් වලට කැමති?" මැගී ඉතා සතුටට පත්ව ඇසුවාය.
 

"මං දන්නෙ නෑ," ෆිලිප් කීවේය. "ඔය වගේ ඇස් දෙකක් වෙන කාටවත් නෑ. අනිත් අය මං දිහා වැඩිය බලනවට මං කැමති නෑ. ඒත් ඔයා මං දිහා බලනවට මං කැමතියි මැගී."
 

මැගී ඉදිරියට නැවී ඔහුගේ කම්මුලට හාදුවක් දුන්නාය. "ඔන්න එහෙනං," ඇය කීවාය, "මටත් ඔයාව හැමදාම මතක තියෙයි. ඒත් මං දැං යන්න  ඕනේ. දෝස්තර මහත්තයා අයියගේ කකුලට බෙහෙත් දාලා ඉවර ඇති."

මැගීව කැඳවාගෙන යාමට ඔවුන්ගේ පියා පැමිණි මොහොතේ ඇය ඔහුට ෆිලිප් ගැන කීවාය, "අනේ තාත්තේ, ෆිලිප් වැකම් හරිම හොඳයි, අයියටත් හොඳට සලකනවා - හරිම නුවණක්කාරයි, මං එයාට හරිම කැමතියි. අයියත් කැමතියි නේද එයාට?"
 

රත් පැහැ ගැන්වුණු ටොම් තැවුල් සහගත මුහුණින් සිය පියා දෙස බැලූවේය. "ඉස්කෝලෙන් අයින් වුනාට පස්සේ මං එයත් එක්ක යාළුකම් තියාගන්නෙ නෑ තාත්තේ," ඔහු කීවේය. "ඒත් මගේ කකුල තුවාළ වෙලා ඉන්න කාලේ එයා මට හොඳට සැලකුවා. එයා මට දාං අදින්නත් කියලා දුන්නා, දැන් මට එයාව පරද්දන්නත් පුළුවන්."
 

"හරි හරි ළමයිනේ," ටුලිවර් මහතා කීවේය, "එයා ඔයාලට හොඳින් සැලකුවනං ඔයාලත් එයාට කරුණාවන්ත වෙන්න  ඕනේ. එයා අසරණ අංග විකල ළමයෙක්. ඒත්  ඕනෙවට වඩා යාළුකං තියාගන්න එපා - එයාගෙ ඇඟේ දුවන්නෙත් එයාගෙ තාත්තගෙ ලේ."
 

ටොම් වයස දහසය වන තෙක් කිංස්ල් ලෝර්ටන් හි අධ්‍යාපනය ලැබූ අතර මැගී ලූසී සමග නේවාසික පාසලක හැදී වැඩුණාය. මුල් කාලයේ ඈ ටොම්ට ලියූ ලිපි වල ෆිලිප්ව සිහිපත් කොට ඔහු ගැන විස්තර අසා යැවුවාය. නමුත් ඔවුන්ගේ පියා සැබැවින්ම නඩුවට පැටලුනු පසු, පිවාර්ට්ගේ නීතීඥයා ලෙස වැකම් ඔවුනට විරුද්ධව පෙනී සිටින්නට ගත් පසු ඔවුනට ෆිලිප් සමග පෙර පරිදි මිතුරු ඇසුරක් පවත්වාගෙන යා නොහැකි බව දුකින් නමුත් මැගී කල්පනා කළාය. වැකම් යන නම පවා ඇගේ පියාව කෝප ගැන්වීමට සමත් විය.
 

ටොම් කිංස් ලෝර්ටන් හි සිය අවසන් වසරට ලඟා වන විට ජේකබ්ස් ඇකඩමියෙන් නික්ම ආ කොලු ගැටයාට වඩා බෙහෙවින් වෙනස් වී සිටියේය. ඔහු උසැති කඩවසම් තරුණයෙකුව සිටි අතර බයාදු කුලෑටි ගති වලින් තොර ආචාරශීලී පුද්ගලයෙකු බවට පත්ව සිටියේය. ෆිලිප් ඒ වන විටත් පාසලෙන් නික්ම ගොස් තිබුණි. එබැවින් පාසල හැර යාමට පෙර අවසන් මාස කිහිපය තුළ දැනෙන අස්ථාවර හැඟුම් ටොම්ට වැඩියෙන් දැනෙන්නට විය. පියාගේ නඩු හබය අවසන් වනු ඇති බවට බලාපොරොත්තුවක් තිබූ අතර එනිසා නිවසේ වාතාවරණය සාමකාමී වනු ඇති බව ඔහු සැනසුම් සහගතව සිතුවේය. නඩුව ගැන සිය පියාගේ අදහස් පමණක් අසා තිබූ ටොම් වෙත පිවාර්ට් පරාජය වනු ඇති බවට කිසිදු සැකයක් තිබුණේ නැත.
 

එය නොවැම්බරයේ අවසන් සතියේ එක් ශීතල අඳුරු උදෑසනක් විය. ටොම්ට සති ගණනකින් නිවසින් ආරංචියක් ලැබී තිබුණේ නැත - නමුත් ඔහු ඉන් පුදුමයට පත් වූයේද නැත, ඔහුගේ මව්පියන් ලියුම් ලිවීමට කැමැත්තක් දැක්වූවන් නොවීය. උදෑසන නවයට පමණ ටොම් පාඩම් කාමරයට පැමිණ නොබෝ වේලාවකින්ම ස්ටෙලිං මහත්මිය පැමිණ පවසා සිටියේ මැගී ඔහු හමු වීමට පැමිණ ඇති බවයි. පණිවිඩය කී සැණින් ඇය පිටව ගියෙන් ඔහුට විසිත්ත කාමරයට ඇතුළුවීමට සිදු වූයේ තනිවමය.
 

දහතුන් හැවිදිරි මැගීද ඒ වන විට ටොම් තරමටම උසින් යුතු වූවාය; එසේම ඔහු එම වයසේ සිටියාට වඩා මුහුකුරා ගිය බවින්ද යුතු වූවාය. ඇය හිස්වැස්ම ඉවත් කොට සිටි අතර කඩා හැලෙන කෙස් වැටිය නළලෙන් පසුපසට කොට එකතු කර තිබුණි. ටොම් දෙස හැරී බැලූ ඇගේ යොවුන් මුහුණේ වෙහෙසකර බවක් විය. ඔහු දුටු ඇය කිසිත් නොකියා පැමිණ ඔහුට හාදුවක් දුන්නාය.
 

"ඔයා කොහොමද මෙච්චර උදෙන් ආවේ මැගී? අස්ස කරත්තෙන්ද ආවේ?" ඇය සෝපාවේ අසුන් ගන්නා අතරේ ඇගේ පසෙකින් හිඳගනිමින් ටොම් ඇසුවේය.
 

"නෑ, මං කෝච්චියෙන් ආවේ," ඇය පිළිතුරු දුන්නාය. "පාර උඩහා ඉඳං පයින් ආවා."
 

"ඒත් ඔයා මේ වෙලාවේ ඉස්කෝලෙනේ ඉන්න  ඕනේ? තාම නිවාඩු කාලේ පටංගත්තෙ නෑනේ?"
 

"තාත්තට මාව  ඕනෙ උනා," මැගී පැවසූ අතර ඇගේ දෙතොල් මඳක් වෙව්ළුම් කෑවේය. "මං ගෙදර ඇවිත් දැනට දවස් තුන හතරක් වෙනවා."
 

"තාත්තා ලෙඩ වෙලාද?" ටොම් මඳක් කලබලයෙන් ඇසුවේය.
 

"ඔව්," මැගී කීවාය. "තාත්තා හරිම දුකෙනුත් ඉන්නෙ අයියේ. නඩුව ඉවර උනා. මං මේ ආවේ ඔයා ගෙදර ආවම දැනගන්නවට වඩා කළිං මේ ගැන දැනගන්න එක හොඳයි කියලා හිතපු නිසා."
 

"තාත්තා පැරදුණේ නෑනේ?" ටොම් හුනස්නෙන් නැගිටිමින් කෑ ගැසුවේය.
 

"පැරදුණා අයියේ," මැගී ඔහු දෙස දුකෙන් බලමින් කීවාය.
 

ටොම් බිමට යොමු වූ දෑසින් විනාඩියක් හෝ දෙකක් ගත කළේය. අනතුරුව, "තාත්තට ලොකු ගාණක් ගෙවන්න වෙයි එහෙනං?" යැයි කීවේය.
 

"ඔව්," මැගී සිහින් හඬින් කීවාය. මොහොතකින් ඇය වේගයෙන් කතා කරගෙන ගියේ වදන් ඇගේ මුවින් පිට වී විසිවෙන්නාක් මෙනි, "අනේ අයියේ, තාත්තට මෝලයි, ඉඩමයි හැම දේම විකුණන්න වෙනවා. මුකුත් ඉතුරු වෙන්නෙ නෑ."
 

ටොම් ඈ වෙත පුදුමයත් අවිශ්වාසයත් මිශ‍්‍ර වූ බැල්මක් හෙලා අනතුරුව සුදුමැලි විය. කිසිවක් නොකී ඔහු නැවතත් සෝපාවෙන් වාඩි වී කවුළුවෙන් පිටත ඉලක්කයකින් තොරව බලා සිටියේය. අනාගතය පිළිබඳ බියක් කිසි දිනෙක ටොම්ගේ සිතට ඇතුළු වී තිබුණේ නැත. ඔහුගේ පියා සැමවිටම හැසිරුණේ ඇති තරම් දේපල හිමි, මුදල් ප‍්‍රශ්න වලින් තොර තැනැත්තෙකු සතු ප‍්‍රබෝධයෙන් හා ස්ථාවර ස්වභාවයෙනි. ඔහුගේ පියා කිසි දිනෙක 'අසමත්' වනු ඇතැයි ඔහු සිහිනෙකිනුදු සිතුවේ නැත; එය දැඩි අවනම්බුවක් ගෙන දෙන අවාසනාවන්ත තත්ත්වයක් ලෙසින් ඔහු අසා තිබූ අතර අවනම්බුව යන වදන ඔහුට සිය පියා සමග තබා නෑදෑයෙකු සමග හෝ ඈඳීමේ හැකියාවක් තිබුණේ නැත.

ටොම්ගේ සුදුමැලිව දරදඬුව ගිය මුහුණත්, දීර්ඝ නිහඬතාවයත් මැගීව බියට පත් කළේය. ඔහුට පැවසීමට තවත් කරුණක් ඉතිරිව ඇත - එය වඩාත් බියකරු ආරංචිය විය. දෑත් විහිදා ඔහුව වැළඳගත් ඇය හැඬුම් හඬකින් කතා කළාය, "අනේ අයියේ - ඔයතරං දුක් වෙන්න එපා. කොහොමහරි ඒක දරාගන්න."
 

ඇයට මෘදු හාදුවක් දුන් ටොම් කතා කළේය. "මාත් ඔයත් එක්ක ගෙදර එන්නං මැග්. තාත්තා මට එන්න කිව්වෙ නැද්ද?"
 

"නෑ අයියේ," මැගී දුකෙන් කීවාය. ඇය ඔහුට සියල්ල පැවසූ පසු කුමක් සිදු වනු ඇත්ද? "ඒත් අම්මා කිව්වා ඔයාට එන්න කියලා - පව් අම්මා! - හරියට අඬනවා. අනේ අයියේ, මුළු ගෙදරම හරිම අවුල් වෙලා. තාත්තා... තාත්තා - " මැගීට එය පැවසීමට ශක්තියක් නොවීය.
 

"තාත්තා කොහෙද?" ටොම් තියුණු හඬකින් ඇසුවේය. ඔහුගේ සිතේ පහළ වෙමින් තිබූ බියකරු සිතුවී තුළින් මැවී පෙනුණේ ඔහුගේ පියා ගෙවිය යුතු මුදල වෙනුවෙන් සිරගත වී ඇති අන්දමය.
 

"තාත්තා ගෙදර ඉන්නවා," මැගී කීවාය, "ඒත් සනීප නෑ. තාත්තා අස්සයා පිටින් වැටුණා - එදා ඉඳං මාව ඇරෙන්න වෙන කාවවත් අඳුරන්නෙ නෑ. තාත්තගෙ මතකය නැති වෙලා වගේ." ඇය ඉකි ගසන්නට පටන්ගත්තාය.
 

ටොම් ඈ වටා එතී තිබූ සිය සුරතේ ග‍්‍රහණය දැඩි කළේය. ඇය ඉක්මණින්ම තම හැඬුම පාලනය කරගත්තාය.
 

"අපි ඉක්මණට යන්න  ඕනේ අයියේ. තවත් මෙතන පරක්කු වෙන එක හොඳ නෑ," ඇය කලබලෙන් කීවාය. "තාත්තට මං නැතුව පාළු දැනෙයි. කෝච්චිය අල්ලගන්නනං අපි දහය වෙද්දි පාර උඩහ ඉන්න  ඕනේ." ඇය නැගී සිට ඉක්මණින් සිය හිස් වැස්ම පැළඳගත්තාය.
 

ටොම්ද නැගිට්ටේය. "මිනිත්තුවක් ඉන්න මැගී," ඔහු කීවේය. "මං ස්ටෙලිං පූජකතුමාට කතා කරන්න  ඕනේ. ඊට පස්සෙ අපි යං." ඔහු පාඩම් කාමරය වෙත යාමට පිටත් වුවද අතර මගදී ඔහුට පූජකතුමාව හමු විය. මැගී සිය සොයුරාව හමු වීමට උවමනා බව පවසද්දී ඇගෙන් දිස් වූ කණගාටුදායක බව පිළිබඳව සිය බිරිඳගෙන් අසා දැනගත් පූජකවරයා සොයුරාත් සොයුරියත් තනිව ගත කළ කාලය ප‍්‍රමාණවත් බව සලකා ඔවුන් වෙත එමින් සිටියේ තමාගෙන් සිදු විය යුතු දෙයක් වේදැයි විමසන්නටත් සිය කණගාටුව ප‍්‍රකාශ කරන්නටත් ය.
 

"පූජකතුමනි, කරුණාකරලා මට ගෙදර යන්න ඉඩ දෙන්න," බරාඳයේදී පූජකතුමාව දුටු විගස ටොම් පැවසුවේය. "මං දැම්මම නංගිත් එක්ක යන්න  ඕනේ. තාත්තා නඩුව පැරදිලා - හැම දේම නැති වෙලා - තාත්තා හොඳටම අසනීපෙන් දැන්."
 

ස්ටෙලිං පූජකවරයා කාරුණික තැනැත්තෙකු ලෙසින් ක‍්‍රියා කළේය. තමාට ලැබීමට ඇති මුදල් ප‍්‍රමාණයක් නොලැබී යනු ඇති බව ඔහුට පෙනී ගියද, යොවුන් වියටත් දුක්ඛදායක අනාගතයකටත් එකම වකවානුවේදී මුහුණ දෙන්නට සිදු වූ සොයුරාත් සොයුරියත් දෙස කණගාටුව පිරි බැල්මෙන් බලා හිඳින අතරේ ඔහු ඒ ගැන සිතුවේ නැත. මැගී එහි පැමිණි අන්දමත්, ආපසු ඉක්මණට යාමට ඇයට ඇති උවමනාවත් දැනගත් ඔහු නොපමාව ඔවුනට සමු දෙන අතරේ ඒ අසළට පැමිණ සිටි සිය බිරිඳට යමක් රහසින් කෙඳිරුවේය. ඒ සමගම ඇය එතැනින් නික්ම යළිත් ඇතුළු ගෙට ගියාය.
 

ටොම් හා මැගී පිටතට බැසීමට සූදානම්ව දොරකඩ සිටින අතරේ ආපසු පැමිණි ස්ටෙලිං ආර්යාව මැගී අත කුඩා කූඩයක් තැබුවාය. "යන ගමන් මොනවාහරි කන්න දරුවනේ."
 

මැගී නිහඬව ඇයට හාදුවක් දුන් අතර ස්ටෙලිං පූජකතුමා ටොම්ගේ උරහිස මතින් අතක් තබමින් කතා කළේය, "දෙවි පිහිටයි මගෙ දරුවෝ: ඔයාගෙ විස්තර මට ලියලා එවන්න." අනතුරුව ඔහු මැගීටද අතට අත දුන්නේය; නමුත් එහි කිසිවෙකුත් වදනින් ප‍්‍රකාශ කොට සමුදීමක් සිදු කළේ නැත.
 

පාසලට සමු දුන් දිනෙක තමා කෙතරම් ප‍්‍රීතියට පත් වනු ඇත්දැයි යන්න ටොම් නිතරම කල්පනා කළ දෙයකි. නමුත් ඒ මොහොතේ ටොම්ට දැනුණේ පාසැලේ ගත කළ වසර කිහිපය යනු නිමාවට පත් වූ නිවාඩුවක් බවය. 

යොවුන් වියට පා තබමින් සිටි සොයුරු සොයුරියන් දෙදෙනාගේ රුව නොබෝ වේලාවකින්ම මාවතේ කෙළවරින් නොපෙනී ගියේය. දුක් කම්කටොළු වලින් පිරි ඔවුන්ගේ නව දිවියට මුහුණ දීම සඳහා ඔවුහු එක්ව ඉදිරියට ගියෝය. කටු අකුල් ගහන වන ලැහැබකට ඔවුන් පා තබා තිබූ අතර ඔවුන්ගේ ළමා වියේ රන් දොරටු ඔවුනටද නොදන්වාම වැසී ගොස් තිබුණි.


- මතු සම්බන්ධයි -





138. ෆ්ලොස් නදිය අසබඩ - 7 - අලුත් පාසැල් සගයා

ටොම් නැවත පාසලට ගියේ ශීතල තෙත්බර ජනවාරියේ උදෑසනකය. එම දිනයේ ඔහුගේ සිත නොයෙක් ව්‍යාකූල හැඟීම් වලින් පිරී තිබුණි.

"කොහොමද ටුලිවර්, ආපහු දකින්න ලැබීම සතුටක්," ස්ටෙලිං පූජකතුමා හෘදයාංගවම කීවේය. "කබාය අයින් කරලා එන්න පාඩම් කාමරේට. එතන හොඳට උණුසුම තියෙනවා, අළුත් යාළුවෙකුත් ඉන්නවා."
 

සිය කබාය ඉවත් කරන අතරේ ටොම් පසු වූයේ මහත් අපහසුවකිනි. ඔහු ශාන්ත ඔග්ස් හිදී ෆිලිප් වැකම්ව කිහිප විටක්ම දැක තිබූ නමුත් ඒ සෑම විටෙකම හැකි ඉක්මණින් සිය දෑස් ඔහුගෙන් ඉවතට හරවාගත්තේය. ෆිලිප් නරක පියෙකුගේ පුතෙකු බව පසෙක තැබුවද, ටොම් ආබාධිතයෙකු සිය සගයා වනවාට අකමැති විය. එසේම නරක පියෙකුගේ පුතෙකු හොඳ කෙනෙකු වීමේ හැකියාවක්ද ඔහු දුටුවේ නැත. එබැවින් ඔහු ස්ටෙලිං පූජකතුමා පසුපසින් පාඩම් කමරය වෙත ගියේ නොසන්සුන් බවත්, නොරුස්නා බවත් මිශ වූ හැඟීම් වලින් යුතුවය.
 

"මෙන්න ඔයාට අළුත් යාළුවෙක් ටුලිවර්," ස්ටෙලිං පූජකවරයා කීවේය, "ෆිල්ප් වැකම්." අනතුරුව ඔවුන් දෙදෙනාව එහි තනි කරමින් පූජක තුමා ඉක්මණින්ම එතැනින් පිටව ගියේය.
 

ටොම් විපිළිසරව දෙගිඩියාවෙන් යුතුව පසු වූ අතර නැගී සිටි ෆිලිප් කුලෑටි ලෙස ඔහු දෙස බලා සිටියේය. ඔහු වෙත ගොස් අතට අත දීමට ටොම් කැමති නොවූ අතර ෆිලිප්ද ටොම් වෙත ඇවිද ඒමට ලජ්ජාවෙනුත් උඩඟු බවිනුත් යුතුව බලා සිටියේය. ඔහුට දැනුණු ලෙසට ටොම් ඔහුව දැකීමට කැමති නොවීය; කිසිවෙකුත් ඔහු දෙස බැලීමට කැමති නොවීය; එසේම ඔහුගේ ආබාධිත බවද ගමන් කරන විට වැඩිපුර කැපී පෙනුණේය. එබැවින් ඔවුහු අතට අත දීමකින් හෝ කතාබහකින් තොරව සිටියහ. ටොම් ගිනි උඳුන අසළට ගොස් උණුසුම් වූ අතර කඩදාසියක කුමක්දෝ සිත්තම් කරමින් සිටි ෆිලිප් දෙස වරින් වර ඉක්මන් බැලූම් හෙලූවේය.
 

ෆිල්ප්ගේ විකෘති සිරුර දෙස නොබලා ඔහුගේ මුහුණ දැකගැනීමට හැකි තරම් ආසන්නයෙන් ඔවුන් දෙදෙනා සිටියෙන් ටොම් ඔහු දෙස වඩා දිගු වේලාවක් බලා සිටියේය. එය සැබැවින්ම අවලස්සන මුහුණක් නොවීය - ඔහුගේ මුහුණ හැඩකාර බව ටොම් සිතුවේය. ෆිලිප් තමාට වඩා කෙතරම් වැඩිමහලූ ඇත්දැයි ටොම් කල්පනා කළේය. ඔහු සුදුමැලි කෙට්ටු පිරිමි ළමයෙකු වූ අතර ඔහුට කිසිඳු එළිමහන් ක‍්‍රීඩාවකට සහභාගි විය නොහැකි බව ඉතාමත් පැහැදිලි විය; නමුත් ඔහු පැන්සල හැසිරවූයේ ඉතාමත් සුනම්‍ය ලෙසින් වූ අතර කිසිදු අපහසුවකින් තොරව එක් චිත‍්‍රයක් අවසන් වන විට තවත් චිත‍්‍රයක් පටන්ගන්නා බව පෙනුණි. ඔහු අඳින්නේ කුමක්ද? ටොම් වහා කාමරය හරහා ගොස් ෆිලිප්ගේ කඩදාසියට එබුණේය. 

"හනේ, ඒ බූරුවෙක්නේ! - මේ බල්ලෙක්, තිරිඟු යායක්!" ඔහු විශ්මයෙන් පැවසුවේය. පුදුමයත් අගය කිරීමත් මගින් එම වදන් ඔහුගේ මුවින් පිට වූයේ නිතැතිනි. "දෙයියනේ! මටත් ඒ වගේ අඳින්න පුළුවන් උනානං. කවුද ඔයාට ඉගැන්නුවේ?"


"ඒවා ඉගෙනගන්නෙ නැතුව අඳින්න පුළුවන්නේ," ෆිලිප් කීවේය. "මං කවදාවත් චිත‍්‍ර අඳින්න ඉගෙනගත්තෙ නෑ."
 

"කවදාවත් නෑ!" ටොම් යළිත් විශ්මයෙන් තෙපළුවේය. "මං බල්ලෝ අස්සයො වගේ ඒවා අඳිද්දී කවදාවත් ඔළු කකුල් නියම විදියට එන්නෙ නෑ." ඔහු ගරුසරු ඇතිව කතා කළේය. "ඔයා කවදාවත් කිසිමදෙයක් කාගෙන්වත් ඉගෙනගත්තෙ නැද්ද?"
 

"මොකද නැත්තේ," ෆිලිප් සිනාසෙමින් කීවේය. "මං ලතින්, ග‍්‍රීක් එහෙම ඉගෙනගන්නවා. තව ගණිතය, ලිවීම වගේ දේවල්."
 

"ආහ් ඔව්නේ; හබැයි මං කියන්නේ ඔයත් ලතින් වලට කැමති නෑ නේද?" ටොම් විශ්වාස සහගතව හඬ පහත් කරමින් කීවේය. "ඒ ව්‍යාකරණ ඔක්කොමනං මට කවදාවත් මතක හිටින එකක් නෑ."
 

"ආ, ව්‍යාකරණ මං ඉගෙනගෙන ඉවරයි," ෆිලිප් කීවේය.
 

"ඒ කියන්නේ ඔයයි මමයි එකම පාඩම් නෙවෙයිද කරන්නේ?" ටොම් බලාපොරොත්තු කඩ වූ හඬින් ඇසුවේය.
 

"නෑ, ඒත් මට ඔයාට උදව් කරන්න පුළුවන් වෙයි. මං හරි සතුටුයි එහෙම කරන්න පුළුවන්නං."
 

"ඔයා මට වඩා වැඩිමල් නේද?" ටොම් ඇසුවේය.
 

"ඔයාගෙ වයස කීයද? මට පහළොවයි," ෆිලිප් පිළිතුරු දුන්නේය.
 

"මට තාම දාහතරක් නෑ," ටොම් කීවේය. "ඒ උනාට මට ජේකබ්ස් ඇකඩමියෙ  ඕන කෙනෙක් එක්ක හැප්පෙන්න පුළුවන් - මෙහෙ එන්න කළිං මං එහෙට තමයි ගියේ. ස්ටෙලිං පූජකතුමා අපිට මාළු බාන්නවත් යන්න දුන්නොත් හොඳයි. මට පෙන්නන්න පුළුවන් ඔයාට මාළු බාන හැටි. ඔයාට පුළුවන් නේද ඒ වැඩේ? ඒක එක තැන ඉඳං කරන දෙයක්නේ."

ක‍්‍රියාකාරී කටයුතු කෙරෙහි තමාගේ ඇති දුබලතාවය එලෙසින් මතු කර දැක්වීම ගැන ෆිලිප් කැමති නොවීය. "මං කැමති නෑ මාළු බාන්න," ඔහු නොසතුටින් කීවේය. "පැය ගාණක් තිස්සේ මොකෙක්වත් අහුවෙන්නෙ නැතුව බිලී පිත්ත දිහා බලාගෙන ඉඳගෙන ඉන්න මිනිස්සුංව මටනං පේන්නේ මෝඩයෝ වගේ."


"ආ, ඒ උනාට ඒගොල්ලන්ට ලොකු ස්පයික් මාළුවෙක් අහු උනාමනං ඔයාට ඒගොල්ලන්ව මෝඩයෝ වගේ පේන එකක් නෑ. ඇත්තමයි මං මේ කියන්නේ," කිසිදා එතරම් විශාල මාළුවෙකු අල්ලා නැති ටොම් කීවේය.
 

වාසනාවකට මෙන් ඒ මොහොතේ ඔවුන්ව රාත‍්‍රී ආහාරය සඳහා කැඳවූවෙන් එම විවාදය ඉන් ඔබ්බට ගියේ නැත. නමුත්, වැකම්ගේ පුත‍්‍රයා තම අදහස් හා එකඟ නොවන අවස්ථා ඇති බවත්, තමා ඒ ගැන සැලකිල්ලෙන් පසුවිය යුතු බවත් ටොම් තමාටම අවධාරණය කරගත්තේය.
 

කෙසේ හෝ සමස්ථයක් ලෙස පිරිමි ළමුන් දෙදෙනා අතර යහපත් සම්බන්ධතාවයක් තිබූ අතර එම වාරයේදී ටොම්ගේ කැපී පෙනෙන සංවර්ධනයක්ද දක්නට ලැබුණි. එයට ෆිලිප්ගේ සහය මෙන්ම ස්ටෙලිං පූජකතුමාගේ වඩා කාරුණික පිළිවෙතද හේතු විය. ඔහු හට ටොම්ට වඩා දක්ෂ සිසුවෙක් ලැබී තිබුණෙන් පූජකතුමා ටොම්ට බැණ වැදීමට එතරම් කාලය මිඩංගු කළේ නැත; එසේම එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ටොම්ද ව්‍යාකූලත්වයෙන් හා කලබලයකින් තොරව පෙරට වඩා හොඳින් සිය වැඩ කටයුතු සිදු කිරීමට සමත් විය.
 

ඒ හැරෙන්නට ටොම්ගේ ශරීර සුවතාවයේද සැබැවින්ම වර්ධනයක් සිදු වූ අතර එයට හේතු වූයේ ඔහුට ව්‍යායාම හා හමුදා සරඹ පුහුණුව ලබා දීම සඳහා බඳවාගෙන සිටි නගරයේ විද්‍යාල ආචාර්ය පෝල්ටර් මහතා ය. පැරණි සොල්දාදුවෙකු වූ ඔහු ප‍්‍රංශය හා එංගලන්තය අතර 1808 - 1814 කාලය තුළ ස්පාඤ්ඤයේදී පැවති නැපෝලියන් විසින් මෙහෙයවන ලද පෙනින්සියුලර් යුද්ධයටද සහභාගි වූවෙකි. ඔහු අපූරු යුධ කතාන්දර පැවසූ අතර සිය කඩුවෙන් ප‍්‍රංශ සොල්දාදුවන්ගේ ගෙල සිඳ දැමූ ආකාරය පිළිබඳව පුරසාරම් දෙඩුවේය.
 

"පෝල්ටර් මහත්මයා," කඩුව පිළිබඳව කියැවෙන සෑම විටෙකම ටොම් ඔහුව ඇමතුවේය, "දවසක ඒ කඩුව අරං එන්නකෝ මට බලන්න."
 

බොහෝ දිනක් ගත වන තුරු පෝල්ටර් මහතා සිදු කළේ හිස වනා ඔහුගේ ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කිරීම පමණි. නමුත් එක් සන්ධ්‍යාවක ඔහු එය ටොම්ට පෙන්වීම සඳහා රැගෙන ආවේය.

"මේ කඩුව එක්කද ඔබතුමා ඒ හැම සටනක්ම කෙරුවේ?" ටොම් මහත් ගෞරවයෙන් යුතුව ඇසුවේය. "මේකෙන් ඇත්තටම ප‍්‍රංශකාරයෙකුගේ බෙල්ල කපලා තියෙනවද?"
 

"බෙල්ල? හහ්, බෙලි සීයක් විතර!" ව්‍යාජ නිහතමානී බවක් නොමැති පෝල්ටර් මහතා කීවේය.
 

"පෝල්ටර් මහත්මයා," ටොම් චාටු හඬින් යළිත් ඔහුව ඇමතුවේය. "ඔය කඩුව මට ටික දවසකට තියාගන්න දෙන්න බැරිද?"
 

"බෑ බෑ ඉලන්දාරියා," පෝල්ටර් මහතා දැඩිව කීවේය. "ඔයා තුවාල කරගනියි."
 

"සත්තකින්ම නෑ," ටොම් බල කර සිටියේය. "අනේ දෙන්නකෝ! මං මගේ සිලිං පහේ කාසිය ඔබතුමාට දෙනවා මේ කඩුව මට එක සුමානයක් තියාගන්න දෙනවානං. මේ බලන්න!" ඔහු ආකර්ශණීය රිදී පැහැති රවුම් කාසිය ඔසවා පෙනූවේය.
 

"අනේ මන්දා," පෝල්ටර් මහතා මඳක් යටත් වෙමින් කීවේය. "ඒත් ඒක හංගලා තියාගන්න  ඕනේ, තේරුණාද? නැත්තං පූජකතුමා මට මොනවා නොකියයිද?"
 

"අපොයි ඔව්, මං ඒක ඇඳ යට හරි වෙන කොහේ හරි හංගලා තියාගන්නංකෝ," ටොම් දැඩි ආශාවෙන් යුතුව කීවේය. ජයග‍්‍රාහී ලෙස කඩුව රැුගෙන සිය නිදන කාමරයට ගිය ටොම් මඳක් කල්පනා කොට එය අල්මාරියේ ඇඳුම් අතර සැඟවූවේය. ඔහු එදින රාත‍්‍රියේ නින්දට ගියේ මැගී එහි පැමිණි විට තමාට ඇයව ත‍්‍රාසයට පත් කළ හැකි බව සිතමිනි: ඔහු කඩුව තම බඳ පටියේ රඳවාගෙන එය තමාගේම බවත්, තමා හමුදාවට බැඳීමට යන බවත් පවසනු ඇත. මැගී හැර වෙනත් කිසිවෙකුත් ඔහුගේ බස් විශ්වාස කිරීමට තරම් මෝඩ නොවනු ඇත. සැබැවින්ම, ලූසී සමග නේවාසික පාසලක ඉගෙනීම ඇරඹීමට පිටව යාමට පෙර ඇය එළැඹෙන සතියේ ටොම් හමුවීමට පැමිණීමට නියමිත විය.
 

දින කිහිපයකට පසුව මැගී එහි පැමිණි අතර එය පාසැල පැවැත්වෙන වේලාව වූයෙන් ඇය නිහඬව හිඳගෙන ෆිලිප් ස්ටෙලිං පූජකතුමා සමග පාඩම් කටයුතු වල නිරත වන අන්දම බලා සිටියාය. ශාන්ත පෙනුමකින් යුතු ආබාධිත පිරිමි ළමයාගේ පෙනුමට ඇය කැමති වූවාය: ඇය සෑම විටම කරුණාව හා අනුකම්පාව අවශ්‍ය දුර්වල තැනැත්තන් කෙරේ මෘදු බවක් දැක්වුවාය.
 

"මං හිතන්නේ ෆිලිප් වැකම් හොඳ ළමයෙක් අයියේ," රාත‍්‍රී ආහාර වේල වන තෙක් උද්‍යානයේ රැඳී සිටීමට පාඩම් කාමරයෙන් පිටව යන අතරේ ඇය ටොම්ට පැවසුවාය. "කොහොම වුනත් එයාගේ තාත්තා නරක මිනිහෙක් වෙච්ච එකට එයා මොනවා කරන්නද. ඔයත් එයාට කැමතියි නේද?"

"එයා ටිකක් අමුතු හාදයෙක්," ටොම් කීවේය. "සමහර වෙලාවට මාත් එක්ක ඔරොප්පුවෙන්මයි ඉන්නේ."
 

"ඒ උනාට මංනං හිතන්නේ එයා හොඳයි," මැගී යළිත් කීවාය.
 

ඒ අතර පාඩම් කාමරයේ හිඳගෙන සිටි ෆිලිප් ටුලිවර්ගේ මෙම සහෝදරිය ඇගේ සොයුරාගෙන් බෙහෙවින් වෙනස් වූ අපූරු පුංචි කෙල්ලක බව සිතුවේය; තමාටද නැගණියක සිටියානම් කෙතරම් අගනේදැයි කල්පනා කළේය. රාත‍්‍රී කෑම මේසයේදී ඔහු හා මැගී එතරම් කතා නොකළද කිහිප විටක් එකිනෙකා දෙස බලා සිනාසුණෝය - සැබැවින්ම, ඒ සෑම විටකම ප‍්‍රශ්නාර්ථය පිරි කළු පැහැති දෑස් යුගලයක් තමා වෙතටම යොමු වී ඇති අන්දම ෆිලිප් දුටුවේය. මැගීගේ කළු පැහැති දෑස් ඔහුට සතුන් බවට හැරවුණු කුමාරිකාවන් පිළිබඳ කතාන්දර සිහිපත් කරන්නේ මන්දැයි ඔහු කල්පනා කළේය. ඒ ඇගේ දෑස් අතෘප්තිමත් බුද්ධියකින් හා අතෘප්තිමත් සෙනෙහෙ ඇයදුමකින් පිරී තිබූ නිසා වන්නට ඇතැයි ඔහු නිගමනය කළේය.
 

රාත‍්‍රී ආහාරයෙන් පසුව මැගීව ඉහළ මාලයේ තම කාමරය වෙත කැඳවාගෙන ගිය ටොම් මහත් ආඩම්බරයෙන් ඇයට කඩුව පෙන්වුවේය. ඔහු එය කොපුවෙන් ඉවතට ඇද මැගී වෙත එල්ල කළේය.
 

"මම තමයි වෙලිංටන් ආදිපාදවරයා. ගමනේ යා!" ඔහු බියකරු විලාසයක් මවාගෙන කීවේය.

"අයියේ, මටනං මේක බලං ඉන්න බෑ - මං කෑ ගහනවා!" මැගී හැඬුවාය. "ඔයා තුවාළ කරගනියි. ඔයාගෙ බෙල්ල කැපිලා යයි!"
 

"එක, දෙක!" ටොම් කඩුව වනමින් ගැන්නේය. නමුත් ඔහුගේ මැණික් කටුව මඳක් වෙවුලූවේය; කඩුව එතරම් බරැති බවක් ඔහු සිතා තිබුණේ නැත. ‘තුන‘ යැයි කියන විට ඔහුගේ අතින් ගිලිහුණු කඩුව බිම වැටුණු අතර මැගී විලාප නැගුවාය. කඩුවේ දාරය ටොම්ගේ පාදය මත පතිත වූ අතර මොහොතකින් ඔහුද බිම ඇද වැටුණේය. මැගී කෑ ගසමින්ම දොර වෙත දිව ගියාය. මොහොතකින් එහි දිව එන පා හඬවල් ඇසෙන්නට විය. කාමරයට ඇතුළු වූ ස්ටෙලිං පූජකවරයා දුටුවේ ළමුන් දෙදෙනාම බිම හිඳිනා අයුරුය. ටොම් සිහිසුන්ව සිටි අතර මැගී කෑ ගසමින් ඔහුව සොළවමින් සිටියාය. අසරණ දැරිය සිතා සිටියේ ඇගේ සොයුරා මියගොස් ඇති බවය. නමුත් ඊලඟ මිනිත්තුවේදී ඇය සතුටින් ඉකි ගසන්නට පටන්ගත්තේ ටොම් දෑස් හැර බැලූ නිසාය: ඔහුගේ පාදය තුවාළ වීම ගැන ඇයට ඒ මොහොතේ කණගාටුවක් දැනුණේ නැත: ඒ ගැන සිතන්නටවත් නොහැකි වන තරමටම ඔහු ජීවතුන් අතර සිටීම පිළිබඳව ඇය සතුටට පත්ව සිටියාය.

- මතු සම්බන්ධයි -






137. ෆ්ලොස් නදිය අසබඩ - 6 - ටොම්ගේ පළමු පාසැල් වාරය


වෝල්ටර් ස්ටෙලිං පූජකවරයා යටතේ කිංස් ලෝටන් හි ගෙවුණු ටොම් ටුලිවර්ගේ පළමු පාසැල් වාරය එතරම් සතුටුදායක නොවීය. ඔහු පෙරදී ගිය පාසැලේ සෙල්ලම් කිරීමට  ඕනෑ තරම් මිතුරන් සිටි අතර, සෑම ක‍්‍රීඩාවකින්ම දස්කම් පෑ මිත‍්‍රශීලී බවින් යුතු වූ ටොම් සෑම දෙනාම අතර ජනප‍්‍රියත්වයට පත්ව සිටියේය. නමුත් මෙම කිංස් ලෝටන් පාසැලේ වෙනත් කිසිම සිසුවෙකු නොවූ අතර ටොම් බොහෝ විට කල් ගත කළේ පාළුවෙනි. ඔහුගේ පාඩම් කටයුතු වලදී ඔහු එතරම් දස්කම් නොපෑ අතර, ස්ටෙලිං පූජකතුමාගේ ක‍්‍රමවේදයන් ඇතැම්විට වටහාගැනීමට අපහසු බවක් ඔහුට දැනුණි. වෝල්ටර් ස්ටෙලිං පූජකවරයා අධ්‍යාපන ක්ෂෙත‍්‍රයේ නමක් ගොඩ නගාගැනීමේ සැබෑ අධිෂ්ඨානයකින් පසු වූ අතර එහි මූලිකම පියවර වශයෙන් ටොම් ටුලිවර්ගේ පළමු වාරය තුළ ඔහුව දැනුමෙන් හා බුද්ධියෙන් පොහොසත් කිරීමට වෙහෙසුණේය. එම වටාපිටාවෙන්ම තවත් සිසුවෙකු ඔහු වෙත පැමිණීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබූ අතර, ඔහු සිය බිරිඳට රහසෙන් පැවසූ අන්දමට දඩබ්බර කොළුවෙකු වූ ටුලිවර් යෞවනයා කෙටි කළකින් කැපී පෙනෙන සංවර්ධනයක් ලැබුවහොත් එය ස්ටෙලිං පූජකවරයාගේ වාසියට හේතු වනු ඇත. එබැවින් ඔහු ටොම්ගේ පාඩම් පිළිබඳව කටයුතු කළේ රළු, දරදඬු ලීලාවකිනි. නමුත් ස්ටෙලිං පූජකවරයා නිතර කෝපයට පත් වන අකාරුණික තැනැත්තෙකු නොව - සැබැවින්ම එහි විරුද්ධ ගතිගුණ වලින් යුතු වූවෙකු විය: ආහාර ගන්නා අතරතුරේදී ඔහු ටොම් සමග විහිළු කළ අතර, ඔහුගේ පිටිසර ගතිපැවතුම් ඉතාමත් විනෝදකාමී අන්දමින් වෙනස් කළේය. නමුත් ස්ටෙලිං පූජකතුමා වැන්නවුන්ගේ විහිළු තහළු වලට පුරුදු නැති අසරණ ටොම් එයින් තව තවත් අවුලට පත් වූවේය; ජීවිතයේ පළමු වතාවට තමා සම්පූර්ණයෙන්ම වැරදියැයි වේදනා සහගත සිතුවිල්ල ඔහුගේ සිතෙහි පහළ විය. එයින් ඔහු සිටියාටත් වඩා මෝඩයෙකු ලෙසින් පෙනී ගිය අතර ඔහුගේ උනන්දුව සහ අධිෂ්ඨානය මඳ බව ගැන ස්ටෙලිං පූජකවරයා ඔහුට බැරෑරුම් දේශනා පැවැත්වූවේය.

ටොම්ගේ පැත්තෙන් සලකා බැලූ කළ - ඔහු සිය උපරිමයෙන් උත්සාහ කළේය. නමුත් පාසැලේදී ඔහු අත්විඳි ක‍්‍රියාශීලී බව හා සසඳා බැලූ කළ ඔහුට ස්ටෙලිං වරුන් සමග ගෙවන ජීවිතය මහත් සේ නීරස විය. සගයෙකුගේ පැමිණීම ඔහු අපේක්ෂා කළ තරම්! ඔහුගේ යටි සිත මැගීවද එහි ගෙන්වාගැනීමට උවමනාවෙන් සිටි අතර, සැබැවින්ම එම බියකරු සය මස ගෙවී යන්නට පෙර ඇය එහි ආවාය.

ස්ටෙලිං මහත්මිය මැගීට එහි විත් සොයුරා සමග දින කිහිපයක් නතර වීමට ආරාධනා කළ බැවින් ඔක්තොම්බරයේ අග භාගයේදී ටුලිවර් මහතා කිංස් ලෝර්ටන් වෙත එන විට ව්නෝද චාරිකාවක යෙදෙන තරමේ සතුටකින් මැගීද ඔහු සමග ආවාය. ටොම් නිතර නිවස ගැන සිතීමට පෙළඹවීමෙන් වැළැක්විය යුතු බැවින් එය ටුලිවර් මහතා ඔහු දැකීමට පැමිණි පළමු අවස්ථාව විය.

"ඉතිං මගේ කොල්ලෝ," ඔහු ටොම් ඇමතුවේය. ස්ටෙලිං පූජකවරයා ඔවුන්ගේ පැමිණීම ගැන සිය බිරිඳට දැනුම් දීම පිණිස එතැනින් පිටව ගොස් සිටියේය. "ඔයා බොහොම හොඳට ඉන්නවානේ, ඉස්කෝලේ අල්ලලා ගිහින් වගේ."

තමා අසනීප ස්වරූපයකින් සිටියේනම් වඩා අගනේ බව ටොම් කල්පනා කළේය.

"මංනං හිතන්නෙ නෑ මං හොඳින් කියලා තාත්තේ," ඔහු කීවේය. "තාත්තට බැරිද පූජකතුමාට කියන්න මට ඉයුක්ලිඞ් උගන්නන්න එපා කියලා? ඒක මහ දත් කැක්කුම හැදෙන වැඩක්නේ."

"ඉයුක්ලිඞ්? ඇයි ඒ? මොකද්ද ඒ?" ටුලිවර් මහතා ඇසුවේය.

"අනේ මං දන්නෙ නෑ - ඒකෙ තියෙන හැඳින්වීම්, ගැටළු, ත‍්‍රිකෝණ, තව එක එක ජාති. ඒ මට ඉගෙනගන්න තියෙන පොතක්. ඒ උනාට ඒ කිසිම දේක කිසිම තේරුමක් නෑ."

"එහෙම කියන්න එපා!" ටුලිවර් මහතා දිරිගන්වනසුළු හඬකින් කීවේය. "එහෙම කියන එක හොඳ නෑ. ඔයා ඔයාගේ ගුරුතුමා කියලා දෙන දේ ඉගෙනගන්න  ඕනේ."

"මං ඔයාට උදව් කරන්නං අයියේ," ලෙංගතු ස්වරයකින් මැගී කීවාය. "මං ආවේ ඕනෙනං ගොඩක් කල් වුනත් මෙහෙ නවතින්න බලාගෙන, ස්ටෙලිං නෝනා ඉන්න කිව්වොතින්."

"ඔයා උදව් වෙයි මට, පුංචි මෝඩි!" ටොම් කොක් හඬලා සිනාසෙමින් කීවේය. ඉයුක්ලිඞ් පොතේ එක පිටුවක් පෙන්නනකල් ඉන්නකෝ කොහොමද බලන්න! "ඔයා මගේ පාඩම් ඉගෙනගන්න හැටි බලන්න මට හරි ආසයි. මං ලතින් බාසාවත් ඉගෙනගන්නවා! ගෑණු ළමයි කවදාවත් ඒ වගේ දේවල් ඉගෙනගන්නේ නෑ. ඒගොල්ලෝ හරිම මෝඩයි."

නමුත් ඔවුන් දෙදෙනාට තව දුරටත් වාද කරගැනීමට ඉඩක් ලැබෙන්නට පෙර ස්ටෙලිං මහත්මිය එහි පැමිණි අතර මැගීට දෙසතියක් සිය සොයුරා සමග නතර වන ලෙස පැවසුවාය. ඒ අනුව, දෙසතියකට පසු මැගීව නැවත කැඳවාගෙන යාමට පැමිණෙන බව පවසමින් ටුලිවර් මහතා තම දරු දෙදෙනාට සමු දී පිටව ගියේය.

"එන්න මාත් එක්ක පාඩම් කාමරේට මැගී," ටොම් කීවේය. "දැං මගේ පාඩම් කරන වෙලාව. මේ බලන්න මට කරන්න තියෙන වැඩ." ඔහු ඇයට සිය ජ්‍යාමිතික සිද්ධාන්ත සහිත පොත පෙන්වන අතරේ ඇය සිය හිසකෙස් දෙකන් පිටුපස රඳවමින් ඔහුට ඉයුක්ලිඞ් පාඩමට සහය වීමට සූදානම් වූවාය. ඇය තම හැකියාවන් පිළිබඳව දැඩි විශ්වාසයකින් එය කියවන්නට පටන් ගත්තද ටික වේලාවකින් කලබලයට පත් වූ ඇගේ මුහුණ නොසන්සුන්ව රත් පැහැයට හැරුණි.

"මේ ඔක්කොම හරිම විකාරයක්නේ!" අය කීවාය. "මෝඩ දේවල් - මේවයින් කියන්නේ මොනවද කියලා දැනගන්න  ඕනෙ කාටද!"

"අන්න දැක්කනේ මැගී පුංචි නෝනා!" පොත නැවත අරගනිමින් ටොම් සිනාසෙමින් කීවේය. "පේනවද, ඔයා හිතං ඉන්න තරං නුවණක්කාරියෙක් නෙවේ ඔයා. දැං සද්ද නැතුව ඉඳගෙන ඉන්න, මට වැඩ කරන්න තියෙනවා."

එදින සන්ධ්‍යාව ඔවුන් විසිත්ත කාමරයේ ගත කළ අතර මැගී ස්ටෙලිං පූජකවරයා සමග බෙහෙවින් කුළුපගව කතාබස් කළාය. ඔහු තමාගේ නුවණැති බව අගය කළ බව මැගීට දැනුණද ටොම් ඇගේ බිය නැති බව පිළිබඳව පුදුමයටත් කලබලයටත් පත් වූවේය. කෙසේ හෝ එම දෙසතිය ඉතාමත් ප‍්‍රීතියෙන් ගෙවී ගිය අතර අවසානයේ ලූක් මාමා පැමිණ ඇයව කැඳවාගෙන ගිය පසු (ඒ සඳහා ටුලිවර් මහතාට පමිණීමට නොහැකි විය) ටොම්ට මහත් පාළුවක් දැනුණි.

කෙසේ හෝ අවසානයේදී එම බියකරු සය මස නිමා විය. ශිශිරයේ සීතල සුළඟට පෙර ගස් අතු වල රැඳි තිබූ අවසන් කහ පැහැති පත‍්‍ර සෙලවෙන අන්දම ටොම් බලා සිටියේ කෙතරම් සතුටකින්ද! අඳුරු සන්ධ්‍යාවන් සහ දෙසැම්බරයේ පළමු හිම පතනය අගෝස්තුවේ හිරු එළියට වඩා ප‍්‍රබෝධයක් ඔහු වෙත ගෙන ආවේය.

එසේම නිවස බලා යන ගමන පිළිබඳ උද්‍යෝගයත්, හිමෙන් වැසුණු පාළම මතින් අශ්ව කරත්තය ඇදී යද්දී ඈතින් පෙනෙන නිවසේ සාලයේ කවුළුව තුළින් ගලා එන උණුසුම් ආලෝකය පිළිබඳ මතකයත් ඔහුගේ සතුට වැඩි කළේය. සීතලෙන් මිදී නිවහනේ උණුසුම විඳීමට හැකි වීමද, පවුලේ උදවියගෙන් ලැබෙන හාදු සහ සිනහවන්ද, නත්තල වෙනුවෙන් ඔහුගේත් මැගීගේත් නොයෙකුත් සැලසුම්ද එම සතුටට එකතු විය.

නමුත් නත්තල් දිනයේදී නිවසේ සිටීමට හැකි වීම පිළිබඳව ටොම්ගේ ප‍්‍රීතිය එසේම වුවද, පෙර නත්තල් දිනයන්හිදී නිවසේ වූ සතුට මෙවර එලෙසින්ම නොමැති බවක් ඔහුට දැනුණි. හෝලි පත‍්‍ර මත සුපුරුදු ලෙස රත් පැහැති බෙරි ගෙඩි කැපී පෙනුණි; නත්තලට පෙර සන්ධ්‍යාවේ ඔහුත් මැගීත් ජනේල සියල්ලක්මද, ගිනි උඳුනද, පින්තූර රාමුද හෝලි හා අයිවි පත‍්‍ර වලින් සැරසූහ. රෝස්ට් කළ කළුකුම් මස් ප‍්‍රණීත රසයෙන් යුතු වූ අතර මිදි හා මුද්දරස්පලම් යෙදූ නත්තල් පුඩිම සුපුරුදු හුරුබුහුටි වටකුරු බවින් යුතු විය.

නත්තල සැමදාම පැවැති අංගයන්ගෙන් යුතු වුවද ටුලිවර් මහතා එසේ නොවීය. ඔහු කෝපයෙන් පසු වූ අතර ඔහුගේ නොරිස්සුම් සහගත කතාබහ අඬදබර වලට කැමත්තක් නොදැක්වූ ටොම්ව අපහසුවට පත් කළේය. 

ටුලිවර් මහතාගේ මෙම නොරිස්සුම් සහගත බවට හේතු වී ඇත්තේ ගංගාවේ ඉහළින් ඒ ආසන්න දිනකදී ඉඩමක් මිළට ගත් පිවාර්ට් නැමැත්තෙකු රිප්ල් ගංගාවේ ජලය යොදාගෙන එය අස්වද්දන්නට සූදානම් වීමයි. එය තම තිරිඟු මෝලේ ක‍්‍රියාකාරීත්වයට මහත් සේ බලපානු ඇති බවට දිවුරන ටුලිවර් මහතා අවශ්‍ය වුවහොත් නඩු මගට බැසීමට පවා සූදානමින් සිටියේය. ඔහු නොනවත්වාම ඒ ගැන අවලාද නගමින් හා සාකච්ඡා කරමින් සිටියේය. මෙම නත්තල් දිනයේදී ඔහුට සිය මස්සිනා වූ තිරිඟු මෝල් පිළිබඳව කිසිවක් නොදත් මොස් මහතා හැරෙන්නට වෙනත් වැඩිහිටි පිරිමි අමුත්තෙක් සිටියේ නැත. ඔහුටද, ටුලිවර් මහතා පවසන දෑ සමගින් එකඟ වනවා හැරෙන්නට වෙනත් කරන්නට දෙයක් තිබුණේ නැත. එසේ කිරීම ආචාරශීලී වනු ඇති බව ඔහුට සිතුණි. මොස් මහතාත්, ටුලිවර් මහතාගේ සොයුරිය වූ ඔහුගේ බිරිඳත් නත්තල් දිනය ඩෝල්කොට් මෝලේ ගත කිරීමට පැමිණ සිටි අතර ප‍්‍රණීත භෝජනයකට පසුව ඇති වන නිදිබර ගතිය පලවා හරිමින් දෑස් විවර කරගෙන සිටීමට මොස් මහතා දැඩි වෙහෙසක් දැරුවේය. නමුත් සිය සොයුරාට බලපෑ සෑම දෙයක් කෙරෙහිම අවංකවම උනන්දු වූ මොස් මහත්මිය ඔහුට සවන් දී සිටි අතර ඉඳහිට තමාගේ අදහස්ද ප‍්‍රකාශ කළාය.

"පිවාර්ට් කියන්නේ මේ පැත්තට අළුත් නමක් නේද අයියේ?" ඇය ඇසුවාය. "තාත්තාගෙ කාලෙවත්, මං බඳින්න කළින්වත් එහෙම කෙනෙක් මේ පැත්තේ හිටියේ නෑ."

"අළුත් නමක්? ඒක අළුත් නමක් නේන්නං," ටුලිවර් මහතා කුපිත වූ ස්වරයකින් කීවේය. "ඩෝල්කොට් මෝල අපේ පවුලට අයිති වෙලා තිබුණේ අවුරුදු සීයකටත් එහා ඉඳලා. ඒ කාලෙ ඉඳං කවුරුවත් අහලා තිබ්බද මේ පිවාර්ට් කෙනෙක් ඇවිල්ලා අපේ ගඟත් එක්ක පැටලෙන්න යනවා කියලා? මේ මිනිහා තමයි මේ බින්කොම්ගේ ගොවිපොළ අරගෙන දැං ඇවිල්ලා ඉන්නේ. මං පෙන්නන්නංකෝ උන්දැට මං කවුද කියලා!" ඔහු එකතු කළේය.

"අයියට ඒ මිනිහත් එක්ක නඩු කියන්න යන්න වෙන එකක් නෑ නේද?" මොස් මහත්මිය තැවුල් සහගත හඬින් ඇසුවාය.

"මට මොනවා කරන්න වේවිද කියලා මං දන්නෙ නෑ. ඒත් ඒ මිනිහට මොනවා කරන්න වේවිද කියලනං මං දන්නවා, ඔය හදන්න හිතං ඉන්න ඇළ වේලිත් එක්ක!  ඕක පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා මං හොඳට දන්නවා; වැකම් තමයි ඔය මිනිහට උදව් කරන්නේ. වැකම් කියලා ඇති නීතියෙන් ඔය ගැන මුකුත් කරන්න බෑ කියලා, ඒත් වැකම්ට වඩා නීතිය ගැන කතා කරන්න දන්න මිනිස්සු ඉන්නවා. අනික වතුර කියන්නේ බොහොම විශේෂ දෙයක්. වතුර ගැන තියෙන හරි වැරැද්ද බොහොම පැහැදිලියි; ගඟක් කියන්නේ ගඟක්, කෙනෙකුට මෝලක් තියෙනවනං ඒක වැඩ කරවගන්න වතුර  ඕනේ. පිවාර්ට්ගේ කාණුයි අනිත් විකාරයි වලිං මගේ මෝල නවතින්නේ නෑ කියලා කවුරුවත් මට කියන්න ආවට වැඩක් වෙන්නෙ නෑ: ඒ ගැන මං ඊට වඩා හොඳට දන්නවා. පිවාර්ට්ගේ බැම්ම හින්ද මට පාඩු වෙනවා කියන එක සාමාන්‍ය බුද්ධිය තියෙන  ඕන කෙනෙකුට තේරෙන දෙයක්."

පසුව, පවුල් දෙකේ කාන්තාවන් දෙදෙනා තනි වූ මොහොතක, "අයියා මේ වතුර ප‍්‍රශ්නේ නිසා හරි හිත් අමාරුවෙන් ඉන්න එක ගැන මට දුකයි," යැයි මොස් මහත්මිය ටුලිවර් මහත්මියට කීවාය.

"ඒ ඉතිං ඔයාගෙ අයියගේ හැටිනේ," ටුලිවර් මහත්මියගේ කටහෙඬ් සියුම් දෝෂාරෝපණයක්ද ගැබ්ව තිබුණි. 

"එයා නඩු කියන්න යන එකක් නෑ කියලා මං හිතනවා," මොස් මහත්මිය කීවාය. "ඒවා කොහෙන් කෙළවර වෙයිද කියලා කවුද දන්නේ. අනික හැම වෙලාවෙම හරි පැත්ත දිනන්නෙත් නෑ. මේ පිවාර්ට් කියන්නේ පෝසතෙක් මං හිතන්නේ, ගොඩක් වෙලාවට සල්ලි තියෙන කෙනාට  ඕන විදිහටයි වැඩ සිද්ද වෙන්නේ."

"අනේ මන්දා, දැං අපිට උදේ නැගිට්ට වෙලාවේ ඉඳං රෑට නිදාගන්න යනකල් නීතියයි, කාණු අගල් ගැනයි ඇරෙන්න වෙන මුකුත් ඇහෙන්නේ නෑ," ටුලිවර් මහත්මිය කීවාය. "මං ඒවාට විරුද්ධව මුකුත් කියන්නෙ නෑ. මං කියන්නේ - ඔයාට  ඕනෙ දෙයක් කරගන්න මහත්තයෝ. ඒ මොනවා කළත් නඩු කියන්නනං යන්න එපා - කියලයි."

අප පෙරදී දුටු පරිදිද, ටුලිවර් මහත්මිය ඇගේ සැමියා කෙරෙහි කිසිදු බලපෑමක් නොකළ තැනැත්තියක නොවීය. කිසිදු කාන්තාවක් එසේ නොමැත; ඇය ඔහු ලවා තමාට උවමනා දෙය කරගනු ඇත, එසේ නැතහොත් හාත්පසින්ම එයට විරුද්ධ දෙය කරගනු ඇත. ටුලිවර් මහත්මියගේ නොනවතින අයැදුම් නිසැකවම ටුලිවර් මහතා ඉක්මණින්ම නඩු මගට බැසීමට යම් තරමකින් හෝ හේතු වන්නට ඇත. එය ඇතැම් විට, පෙර ගොඩ ගසා තිබූ පිදුරු බරින් පීඩා විඳිමින් සිටි ඔටුවාගේ කොන්ද කැඞීමට සමත් වූ පිදුරු ගසට සමාන කළ හැකි වනු ඇත.

නමුත් ඔහුගේ බිරිඳ සමග ඒ පිළිබඳව එක එල්ලේ ඇති වූ විවාදයක් වුවද, සෑම පොළ දිනකදීම දකිනා වැකම්ගේ දසුනින් ඇති වන කෝපය තරම් ටුලිවර් මහතාව නීතිය දෙසට තල්ලූ නොකරනු ඇත. ඔහු දැන සිටි අන්දමට සිය ඉඩම සඳහා ගංගාවෙන් ජලය ලබා ගන්නා ලෙස පිවාර්ට්ට උපදෙස් දී ඇත්තේ වැකම් ය. පෙර පැවති නඩු හබ වලදී ටුලිවර් මහතාට වැකම්ගෙන් බොහෝ කරදර සිදුව ඇත. සෑම නීතීඥයෙකුම අඩු වැඩි වශයෙන් අධමයෙකු වන බව ඔහු සැලකූ අතර වැකම් ඒ සැවොම අතරින් ලොකුම අධමයා විය. මෙම දුරස් බව තව තවත් වැඩි කරලමින් ඒ ආසන්න දිනකදී පවුම් පන්සියයක් ණයට ගැනීමට සිදු වූ ටුලිවර් මහතාට එම කටයුතු වැකම්ගේ කාර්යාලය හරහාම කරගැනීමට සිදු විය.

සතියෙන් සතිය ගෙවී යද්දී පිවාර්ට් හා වැකම් කුළුපග මිතුරන් බව සනාථ වන සාධක සෑමවිටෙකම හමු වන බවක් පෙනී ගියේය.

එබැවින්, නිවාඩුව අවසන් වීමට ආසන්න දිනකදී ටොම් බලාපොරොත්තු සහගතව සිය පියා ඇමතුවේය, "තාත්තේ, ග්ලෙග් මාමා කිව්වා වැකම්ගේ පුතාවත් ස්ටෙලිං පූජකතුමා ලඟට එවන්න ලෑස්ති වෙනවා කියලා. වැකම්ගේ පුතා යන ඉස්කෝලෙටම මාවත් යවන්න තාත්තා කැමති නෑ නේද?"

නමුත් ඔහුගේ බලාපොරොත්තු සුන් විය. "ඒකට කමක් නෑ මගෙ කොල්ලෝ," ටුලිවර් මහතා කීවේය. "එයාගෙන් නරක දේවල් මුකුත් ඉගෙන නොගෙන ඉන්න, එච්චරයි. ඒ කොල්ලා අංග විකලයි. එයා තාත්තා වගේ නෑ එච්චරම. වැකම් තමුන්ගේ පුතාවත් එතනට එවනවා කියන්නේ ස්ටෙලිං පූජකතුමා හොඳයි කියලා මිනිහත් හිතනවා. බලාගෙන ගියාම මිනිටත් මොළේ තියෙනවා."

වැකම්ගේ පුත‍්‍රයාට ලැබෙන දේ එලෙසින්ම තම පුත‍්‍රයාටත් ලබාදීමට හැකි වීම ගැන ටුලිවර් මහතා සැබැවින්ම ආඩම්බර වූ නමුත් ටොම්නම් ඒ ගැන කිසිසේත්ම සතුටු නොවීය. නීතීඥයාගේ පුත‍්‍රයා ආබාධිතයෙකු නොවුයේනම් කටයුතු එයට වඩා පහසු වනු ඇත; එසේ වූයේනම් ටොම්ට ඔහු හා උරෙනුර ගැටී තරඟ කරන්නට තිබිණ. එසේ වූයේ නම් ධාවන තරඟ හෝ සටන් ආදියෙන් තමාද වැකම්ට නොදෙවෙනි බව ඔප්පු කරන්නට හැකි වනු ඇත; නමුත් පාඩම් කටයුතු සම්බන්ධයෙන්නම් එවැනි විශ්වාසයක් අසරණ ටොම් තුළ තිබුණේ නැත.

- මතු සම්බන්ධයි -







136. ෆ්ලොස් නදිය අසබඩ - 5 - ගැරම් ෆර්ස් වෙත ගමනක්

එළැඹුණු දිනයේ ළමුන් තිදෙනා සහ ටුලිවර් මහත්මිය පුලට් යුවළගේ නිවෙස වූ ගැරම් ෆර්ස් බලා කෙත් වතු මතින් ඇවිද ගියහ. පුලට් මහතා ඉතා සාර්ථක ගොවියෙකු වූ අතර ඔහුගේ ගොවිපොළ බැලීමට යාමට ළමෝ ඉතා ප‍්‍රිය කළහ. ඔවුහු එහි ලඟා වන විට මොණරෙක් ගොවිපොළේ කෙටි තාප්පය මත නැගී පිල් විදහන අයුරු දුටුවෝය. සමස්ථ ගොවිපොළ ජීවිතයම බොහෝ අපූරු විය - හබන් කුකුළන්, ෆ‍්‍රයිස්ලන්ඞ් කිකිළියන්; කෑගසමින් පියාඹමින් සිය වෛවර්ණ පිහාටු බිම හෙලන ගිනි කුකුළන්; පරවියන් සහ හීලෑ පොල්කිච්චෙක්; තවද එළුවෙක් සහ අර්ධ මස්තිෆ් වර්ගයේ සුන්දර සුනඛයෙක්, සිංහයෙක් තරම් විශාල වූ අර්ධ බුල් ඩෝග් සුනඛයෙක් එහි වූහ.

බලාපොරොත්තුවෙන් සිටි අමුත්තන් පැමිණෙනු දුටු පුලට් මාමා විගසින් පැමිණ ඉදිරි දොරටුව විවර කළේය. පුලට් නැන්දාද දොරකඩ පෙනී සිටි අතර තැතිගැන්මෙන් කතා කළාය, "ළමයින්ව නවත්තන්න බෙසී! පඩිපෙළ නගින්න දෙන්න එපා ඒගොල්ලන්ට. සැලී අරං එයි පරණ රෙද්දකුයි බුරුසුවකුයි එයාලගෙ සපත්තු පිහිදාන්න."

ටොම් සෑම විටම මෙම සපත්තු පිසදැමීමට අකැමැති වූ අතර ඔහු එම කටයුත්ත සැලකුවේ මහත් අගෞරවයක් ලෙසිනි. නමුත්, එය හොඳින් හිරු පායා තිබූ දිනයක් වූ බැවින් ඔවුනට එළිමහනේ සෙල්ලම් කළ හැකි බව මව පැවසූ නිසාත්, පුලට් නැන්දා එයට අවසර දුන් නිසාත් මෙම වතාවේදී ඔහු එම අවමානය ඉවසා සිටියේය. පෙර වතාවකදී මොණරෙකු බිය වද්දා පිහාටුවක් බිම හෙලාගන්න බලාපොරොත්තුවෙන් ටොම් මොණරෙකු පසු පස එළවා යනු වැඩිහිටියන්ගේ අතටම හසු වූ බැවින් මෙවර ඒ අසළට නොයන මෙන් පුලට් නැන්දා කල් ඇතුවම ඔවුනට පවසා සිටියාය.

හෝරා කිහිපයකට පසුව, තේ වේලාව ලඟා වී ඇති බව කල්පනා කළ පුලට් මහත්මිය, සැලී නැමැති සේවිකාවට තේ ගෙන එන ලෙස සංඥා කරමින් සීනුව නාද කළාය. සැබැවින්ම දොර එසැණින් විවර වුවද තේ බන්දේසිය වෙනුවට සැලී විසින් ඉදිරිපත් කරනු ලැබුවේ මහත් බියකරු දසුනකි. පුලට් මහත්මියත්, ටුලිවර් මහත්මියත් තැතිගැන්මෙන් කෑ ගැසූ අතර, පුලට් මහතා සපමින් සිටි රසකැවිල්ල - ඔහු පසුව පැවසූ පරිදි ජීවිතයේ පස් වන වතාවටත් - නොදැනීම ගිලූණි.

එම බියකරු දසුන නම්, සිරුරෙන් හරි අඩක්ම දෙපා සිට හිස් වැස්ම දක්වා මඩ දියෙන් තෙමී අවපැහැ ගැන්වී, කළු පැහැ දෑතකින් සහ කඳුළු පිරුණු දෙනෙතකින් යුතුව බලා සිටිනා පුංචි ලූසීය. පුලට් නැන්දාගේ සාලයේ දිස් වූ මෙම අස්වාභාවික අනපේක්ෂිත දසුන පිළිබඳව පැහැදිලි කරගැනීම සඳහා ළමුන් තිදෙනා සෙල්ලම් කිරීම පිණිස එළිමහනට ගිය මොහොත නැවතත් සිහිපත් කරගත යුතුව ඇත.

එදින උදෑසනම සොයුරාත්, සොයුරියත් අතර ඇතිව තිබූ දබරයක් හේතුවෙන් මැගීව නොසලකා හරිමින් සිටි ටොම් සිය ඥාති සොයුරිය ඇමතුවේය, "එන්න ලූසී, ඔයා යං මාත් එක්ක."

ටොම් තමා වෙත දැක්වූ කාරුණික බව හේතුවෙන් ලූසී බෙහෙවින් සතුටට පත් වූ අතර ඔහු නූල් කැබැල්ලක් ගෙන තරබාරු ඉබ්බෙකු සමග සෙල්ලම් කරනා අපූරුව දැක ඉතාමත් විනෝදයට පත් විය. මැගීද එය දැක විනෝද වීම ලූසීගේ බලාපොරොත්තුව වූ බැවින් ඇය මැගීට කතා කළාය, "අනේ මේ ඉබ්බා හරිම විහිළුකාරයෙක් මැගී, ඇවිත් බලන්නකෝ."

නමුත් කිසිවක් නොකියූ මැගී ඔරවාගත් මුහුණින් යුතුව ඉවතට හැරුණාය. සිය සොයුරාට තමාට වඩා ලූසීව වටිනා බව දැනුණු මොහොතේ පටන් ඇගේ සිත වේදනාවෙන්ද, ඊර්ෂ්‍යාවෙන්ද පිරී තිබුණි. ලූසී එහි නොසිටියානම් ඔහු මේ වන විටත් දබරය අමතක කර දමනු ඇති බව ඇයට හොඳ හැටි විශ්වාසය. මෙලෙස ටොම් ලූසී සමග ඇවිද යන අතරේ මැගී ඔවුන් පසුපසින් තනිවම ගෑටුවාය. ඔවුන් වත්තෙන් පිටව යනු දුටු ඇයට ඒ පසුපසින් නොගොස් සිටීම අපහසු විය. තාරා විල අසළට ඔවුන් දෙදෙනා ලං වන විට ඇය සිටියේ යාර කීපයක් පිටුපසිනි. මෙහිදී දිය මත වේගවත් චලනයක් දුටු ටොම් විල අද්දරටම ගොස් ඒ දෙස එබී බැලූවේය.

"මෙහෙ එන්න ලූසී!" ඔහු මුර ගෑවේය. "මෙහෙට එන්න! ඔය තණකොළ උඩින් එන්න - හරක් හිටපු මඩට අඩිය තියන්න එපා."

ඇයට උපදෙස් දුන් පරිදිම ප‍්‍රවේශමෙන් ඔහු වෙත පැමිණි ලූසී විල දෙස එබී බැලූවාය. ටොම් පැවසූ ලෙසට ඒ දිය නයෙක් වූ අතර අවසානයේ එම සත්ත්වයාගේ සිරුරේ චලනය ඇය දිය රැළි මතින් දුටුවාය. නයෙකුට පිහිනා යාමට හැකි වීම ඇගේ මහත් පුදුමයට හේතු විය. මැගී වඩ වඩාත් ආසන්නයට ආවාය - ඇයද එය දැකිය යුතුම විය. ඇය ටොම් සහ ලූසී ආසන්නයටම ආ අතර ඈ එහි සිටින බව ඒ වන විටත් දැන සිටි ටොම් එතෙක් පසු වූයේ ඇයව නොදුටු ලෙසිනි. නමුත් මෙම මොහොතේ ආපසු හැරුණු ඔහු කතා කළේය: "යන්න මැගී. මෙතන ඔයාට ඉඩක් නෑ. අනික ඔයාට කවුරුත් එන්න කිව්වෙත් නෑ."

එම මොහොතේ ග‍්‍රීක ඛේදාන්තයක් නිර්මාණය කිරීමට පෙළඹිය හැකි තරමේ ආවේගයක් මැගී තුළ ඇති විය; නමුත් ඇයට කළ හැකි වූ එකම දෙය වූයේ සිය කුඩා තලෙළු වන් දෑත දිගු කොට රෝස - සුදු පැහැති අසරණ කුඩා ලූසීව ගවයන් ලැගි මඩට තල්ලූ කිරීම පමණකි.

වහා මැගීගේ අතට පහර දෙකක් ගැසූ ටොම් අසරණව හඬමින් සිටිනා ලූසීව ගොඩ ගැනිම පිණිස දිව ගියේය. මැගී ඒ අසළ වූ විශාල ගසක පැතිරුණු මුල් වෙත ගොස් කිසිඳු වරදකාරී හැඟීමකින් තොරව බලා සිටියාය.

"මං අම්මට කියනවා, මැග් නෝනා!" ලූසීව නැගිටුවාගත් විගස ටොම් හඬ නගා අවධාරණයෙන් යුතුව කීවේය. කේලාම් කීම ටොම්ගේ පුරුද්දක් නොවූවද මෙහිදී සාධාරණය ඉටු වීමටනම් මැගී දඬුවම් ලැබිය යුතුම වූවාය. ඉකි ගසමින් හඬන ලූසීද කැටිව ඔහු නැවත නිවෙස බලා යන අතරේ මැගී ගසේ මුල් මත හිඳගෙන කෝපය පිරි කුඩා මුහුණින් ඔවුන් දෙස බලා සිටියාය.

"සැලී," ඔවුන් මුළුතැන් ගෙයි දොරටුව වෙත ලඟා වූ මොහොතේ ටොම් එහි වූ සේවිකාව ඇමතූ අතර ඇය කතා කරගත නොහැකි තරම් පුදුමයෙන් ඔවුන් දෙස බැලූවාය. "සැලී, අම්මට කියන්න මැගී ලූසීව විලට තල්ලූ කළා කියලා."

පෙරදී පැවසූ පරිද්දෙන්ම සැලී කිසිඳු පමාවකින් තොරව ලූසීව සාලය වෙත කැඳවාගෙන ගියාය.

"මගෙ දෙයියනේ!" පුලට් නැන්දා කෑ ගැසුවාය. "එයාව දොර ලඟම තියාගන්න සැලී! මොනවා කළත් එයාව කලාලේ උඩටනං ගේන්න එපා!"

"බලන්නකෝ, එයා මහ ජරා ගොඩක වැටිලා," ලූසී වෙත ගොස් ඈ දෙස හොඳින් බැලූ ටුලිවර් මහත්මිය කීවාය.

"මට කියන්න අවසර නෝනා, මැගී පුංචි නෝනා තමයි එයාව තල්ලූ කරලා තියෙන්නේ," සැලී කීවාය. "ටොම් පුංචි මහත්තයා එහෙමයි කිව්වේ. ඒගොල්ලෝ විල ලඟට යන්න ඇති, නැත්තං මෙච්චර මඩ ගෑවෙන්න විදිහක් නෑ."

තමා නරක මවක් ලෙසින් හැඟී ගිය ටුලිවර් මහත්මිය කතා කරගත නොහැකිව බලා සිටියාය. තම දඟකාර දරුවන් ඒ අසළම හිඳිනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඔවුනට තරවටු කිරීමට සිතා පිටතට ගියද ඇයට ටොම්ව සොයාගත හැකි වූයේ මඳ වේලාවක් විපරම් කිරීමෙන් පසුවය. ඔහු කුකුල් ගොවිපොළේ සුදු පැහැති අත්වැටට බර දී බලා සිටියේය.

"ටොම්, නරක කොල්ලා; කෝ ඔයාගෙ නංගි?" කණස්සලූ හඬකින් ටුලිවර් මහත්මිය ඇසුවාය.

"මං දන්නෙ නෑ," ටොම් කීවේය.

"ඇයි, ඔයා කොහෙද එයාව දාලා ආවේ?" වටපිට බලමින් ඔහුගේ මව යළිත් ඇසුවාය.

"විල ලඟ, ගහක් යට," ටොම් නොසැලකිල්ලෙන් පිළිතුරු දුන්නේය.

"එහෙනං දැම්මම ගිහිං එයාව එක්කං එනවා, නරක කොල්ලා." මැගී තනිවම විල අසළ හිඳ සිටින බව ඇසීමෙන් ටුලිවර් මහත්මියගේ සිත තුළ සුපුරුදු බියජනක සිතුවිලි පහළ වන්නට විය. "මේ ගොල්ලොනං වතුරටම ඉපදිච්ච දරුවෝ," ටොම් උවමනාවට එපාවට මෙන් විල දෙසට ඇවිද යන අතරේ ඇය තමාටම මුමුණාගත්තාය. "දෙන්නම දවසක වතුරේ ගිලිලා තමයි නතර වෙන්නේ."

නොබෝ වේලාවකින්ම ආපසු තනිවම එන ටොම්ව දුටු ඇය වහා ඔහු වෙත ගියාය.

"මැගී විල ලඟ කොහෙවත් නෑ අම්මේ," ටොම් කීවේය. "එයා ගිහිල්ලා."

තැතිගත් සිතින් යුතුව මැගීව සොයා ගත හැකි සෑම තැනකම විපරම් කිරීමටත්, ඇය විල තුළ නොමැති බව සිය මවට ඒත්තු ගැන්වීමටත් ටොම් හට දැඩි පරිශ‍්‍රමයක් යෙදීමට සිදු විය. අවසානයේදී ඇය තනිවම නිවෙස බලා යන්නට ඇති බව ටොම් පවසා සිටි අතර, සිය සිත සනසාගැනීම සඳහා ඔහුගේ මව වහා එම බලාපොරොත්තුවෙහි එල්බ ගත්තාය.

"නංගි, අනේ දෙවියන්ගෙ නාමෙන් ඔයාගෙ මිනිස්සුන්ට කියලා අස්සයා කරත්තෙ බැඳලා මාව ඉක්මණට ගෙදර යවන්න - අපිට එයාව පාරෙදි හම්බ වෙයි සමහර විට. ලූසීට කොහොමත් එයාගෙ කිලුටු ඇඳුම් එක්ක පයින් ආපහු යන්නත් බෑනේ," තුවායකින් ඔතා පාවහන් රහිත දෙපයින් සෝපාව මත හින්දුවා සිටි අනතුරට පත් අහිංසක දැරිය දෙස බලමින් ඇය පුලට් මහත්මියට පැවසුවාය.

ඇය එය ඉතාම කැමැත්තෙන් ඉටු කර දුන් අතර වැඩි වේලාවක් ගත වන්නට මත්තෙන් ටුලිවර් මහත්මිය කරත්තයේ නැගී ගෙල දිගු කරගෙන මාවත ඉදිරිපස බලමින් ගමනේ යෙදී සිටියාය. මැගීව සොයාගත නොහැකි වුවහොත් දරුවන්ගේ පියා කුමක් පවසනු ඇත්ද?

නමුත් මැගීගේ අරමුණු, සුපුරුදු පරිදිම, ටොම් සිතුවාට වඩා පුළුල් පරාසයකින් යුක්ත විය. ටොම් හා ලූසී ඇයව හැර දමා ගිය මොහොතේ ඈ ගත් තීරණය කිසිසේත් නැවත නිවෙස බලා යාම තරම් සරල වූවක් නොවීය. නැත! ඇය පලා ගොස් අභිගුණ්ඨකයින් හා එකතු වනු ඇති අතර ටොම් ඇයව නැවත කිසිදා නොදකිනු ඇත. ඇය කල්පනා කළ අන්දමින් අභිගුණ්ඨකයින් ඇයව සතුටින් පිළිගෙන ගරු සත්කාර කරනු ඇත.
වහා ගමන් ඇරඹූ ඇය, ටොම් නැවත විල අසළට ඈ සොයා ආ මොහොතේ, කෙත් වතු තුනක් පසු කර ගොස් ප‍්‍රධාන මාවත කරා දිවෙන පටු මාවතක ගමන් කරමින් සිටියාය. මේ වන විට ප‍්‍රධාන මාවත හරහා ගොස් සිටි ඇය විටෙක ගුරු පාරවල් ඔස්සේද, තවත් විටෙක කෙත් වතු හරහාද සිය ගමන නොනවත්වා ඇවිද ගියාය. තමා සැබැවින්ම දිගු වේලාවක් පුරා ගමන් කර ඇති බව කල්පනා කළ ඇය තවමත් අභිගුණ්ඨකයින්ගේ වාසස්ථාන දකින්නට නොලැබීම සම්බන්ධයෙන් පුදුම වූවාය. කෙසේ හෝ අවසානයේදී මැගී වඩා පුළුල් මාවතකට පිවිසියාය; එහිදී තම ගමනාන්තය එතරම් ඈතක නොවන බවට ඉඟියක් ඇය දුටුවාය.  පාදයක් ලී කොටයක බැඳ තිබූ කොටළුවෙකු මාවත අද්දර තණ කමින් සිටි අතර, අභිගුණ්ඨකයන් සිය සතුන් දිගේලි කරන්නේ එලෙසින් බව ඇය දැන සිටියාය. දිගටම ඇවිද ගිය ඇය ඊලඟ වංගුවෙන් හැරුණ මොහොතේ කළු පැහැති කූඩාරමක්ද, ඒ ඉදිරියේ දැල්වෙන ගිනි මැලයකින් නිකුත් වන නිල් පැහැති දුමාරයක්ද දුටුවාය. දරුවෙකු වඩාගත් තරමක් උස අභිගුණ්ඨක කාන්තාවක් කූඩාරම අසළ හිටගෙන සිටියාය. මැගීව දුටු ඇය ඈ එන පෙර මගට පැමිණියාය.

"පුංචි නෝනා, මේ කොහෙද යන්නේ?" ඇය ගෞරව සම්පන්න කටහඬකින් ඇසුවාය. එය මැගී බලාපොරොත්තුවෙන්ම සිටි මිහිරි වදන් විය. ඔවුහු තමා වැදගත් පවුලක පුංචි නෝනා කෙනෙකු බව හඳුනාගෙන තමාට එලෙසින් සත්කාර කිරීමට සැදී පැහැදී සිටිති.

"මං ආවේ ඔයගොල්ලොත් එක්ක නවතින්න," මැගී පිළිතුරු දුන්නාය.

"ඔයා ඇත්තටම කොච්චර අපූරු පුංචි නෝනා කෙනෙක්ද," අභිගුණ්ඨක කාන්තාව ඇගේ අතින් අල්ලාගනිමින් කීවාය. ඇය බෙහෙවින් කරුණාවන්ත කාන්තාවක් බව කල්පනා කළ මැගී ඇය මෙතරම් අපිරිසිඳු තත්ත්වයෙන් නොසිටියානම් කෙතරම් අගනේදැයි සිතුවාය.

ඔවුන් ගිනිමැලය අසළට ලඟා වන විට ඒ වටා අභිගුණ්ඨක කණ්ඩායමක්ම රැුඳී සිටියහ. බිම හිඳගෙන සිටි මහළු කාන්තාවක් රස මුසු සුවඳක් හමන මුට්ටියක් වරින්වර හැඳිගාමින් සිටියාය. අපිළිවෙල පෙනුමෙන් යුතු කොළුවෙකු තණබිස්සේ වාඩි වී සිටි අතර යාර කිහිපයක් එපිටින් කොටළුවෙක්, බිම දිගා වී සිට් උසැති ගැහැණු දරුවෙකු තමා වෙත දිගු කර සිටි සොරකම් කරන ලද පිදුරු මිටියක් නිවී සැනසිල්ලේ සපමින් සිටියේය. බැස යන හිරු වෙතින් එතරම් සැඩ රශ්මියක් ගලා නොපැමිණි අතර එම වටපිටාව ඉතාම සුන්දර හා සුවදායක බව කල්පනා කළ මැගී ඔවුන් ඉක්මණින්ම තේ සූදනම් කරනු ඇතැයි කල්පනා කළාය. නමුත් ඇයව මඳක් ගැටළු සහගත තත්ත්වයකට පත් කරමින් තරුණ කාන්තාව මැහැලිය සමග මැගී නොදන්නා භාෂාවකින් කතා කරන්නට පටන්ගත්තාය. අවසානයේදී මහළු කාන්තාව ඈ ඇමතුවාය, "මොනවා! පුංචි නෝනා අපිත් එක්ක නවතින්න ආවා? ඉතින් ඇවිත් මෙහෙන් වාඩිවෙලා ඔයා කොහෙ ඉඳන්ද ආවේ කියන්නකෝ අපිට..."

එය සැබැවින්ම පොතක තිබෙන කතාන්දරයක් මෙනි. ඔවුන් තමන්ව අමතන ආකාරයටත්, සලකන ආකාරයටත් මැගී ප‍්‍රිය කළාය. වාඩි වූ ඇය කතා කරන්නට පටන් ගත්තාය, "මං ගෙදර ඉන්න ආස නැති නිසා පැනලා ආවා. මට අභිගුණ්ඨකයෙක් වෙන්න  ඕනේ. ඔයගොල්ලෝ කැමතිනං මං මෙහෙ ඉන්නං. මට ඔයගොල්ලන්ට ගොඩක් දේවල් කියලා දෙන්න පුළුවන්."

"හරිම නුවණක්කාර පුංචි නෝනා කෙනෙක්," අතදරුවා වඩාගෙන සිටි කාන්තාව එසේ කියමින් මැගී අසළ වාඩි වී මැගීගේ හිස්වැස්ම ගලවා ඉවත් කර එහි හැඩ බැලූවාය. එය ඇගේ අතින් උදුරාගත් උසැති ගැහැණු ළමයා තමන්ගේ හිස මත එය පැළඳ ගත්තේ ඉදිරිපස පිටුපසට සිටින පරිදිය. බාල ළමුන් දෙදෙනා කොක් හඬලා සිනාසුණෝය.

"කොච්චර ලස්සන පුංචි නෝනා කෙනෙක්ද - ඒ වගේම පෝසත් පවුලක වගේ මට පේන්නේ," මහළු කාන්තාව කීවාය. ඒ අතර එහි හුන් බාල දරුවා මැගීට නොදැනීම ඇගේ සාක්කුවේ වූ දෑ පිටතට ගෙන පරීක්ෂා කරන්නට පටන් ගත්තේය. "ඔයා බොහොම දුර ඇවිදලා වගෙයි, වස්තුවේ, කොහෙද ඔයාගෙ ගෙදර තියෙන්නේ?"

"මගේ ගෙදර ඩෝල්කොට් මෝල," මැගී කීවාය. "මගේ තාත්තාගෙ නම ටුලිවර්. ඒත් තාත්තාට දැනගන්න දෙන්න බෑ මං මෙහෙ කියලා, එතකොට එයා ඇවිත් මාව එක්කං යයි." මඳකට කතාව නතර කළ මැගී නැවත එක් වරම හඬගෑවාය: "අනේ තාම තේ වෙලාව ආවේ නැද්ද?" ඇය සිටියේ සැබැවින්ම දැඩි කුසගින්නකින් පෙලෙමිනි.

"ආ, මෙන්න එහෙනං හොඳ කෑමක් ඔයාට," වැරහැලි වූ මල්ලක් තුලින් ගත් වියළි පාන් කැබැල්ලක් සහ මස් පෙත්තක් මැගී වෙත පාමින් මහළු කාන්තාව කීවාය.

"ස්තූතියි," එය අතට නොගෙන ඒ දෙස බලමින් මැගී කිව්වාය. "ඒත් මට පානුයි බටර් ටිකකුයි එක්ක තේ දෙන්න පුළුවන්ද? මං මස් වලට එච්චරම කැමති නෑ."

"අපි ලඟ බටර්වත්, තේවත් නෑ," ඈ දෙසට නෙත් යොමාගෙන මහළු කාන්තාව කීවාය.

"ආහ්, එහෙනං පැණි ටිකක් උනත් කමක් නෑ," මැගී කීවාය.

"අපි ලඟ පැණිත් නෑ," එවර මහළු කාන්තාව කීවේ මඳ නුරුස්නා බවකිනි. කුඩා පිරිමි ළමුන්ගෙන් එකෙක් පැමිණ වහා ඇගේ අතේ වූ පාන් කැබැල්ලත්, මස් පෙත්තත් උදුරාගෙන ගොස් කන්නට පටන්ගත්තේය. එම මොහොතේදී යාර කිහිපයක් ඈතට ගොස් සිටි උස ගැහැණු ළමයා කිසිවක් කියා කෑ ගැසූ අතර මිනිසුන් දෙදෙනෙක් ඔවුන් වෙත ආවෝය. ඒ අතුරින් වඩා වැඩිමහළු තැනැත්තා තමා අතේ වූ බෑගය පහත හෙලා චෝදනාත්මක ස්වරයකින් හඬ නගා කාන්තාවන් ඇමතුවේය. මැගී වෙත බුරමින් දිව ආ කළු පැහැති සුනඛයාව වළක්වාගත් අනෙක් මිනිසා තමා අතේ වූ විශාල මුගුරකින් සුනඛයාට පහර දුන්නේය. අනතුරුව මිනිසුන් දෙදෙනාම මැගී දෙස බලමින් සිය අමුතු භාෂාවෙන් ඈ පිළිබඳව තොරතුරු විමසන බව පෙනුණි. අවසානයේදී මහළු කාන්තාව, "මේ පුංචි නෝනා අපිත් එක්ක නවතින්න ඇවිල්ලා, සතුටු නැද්ද?" යැයි ඇසුවාය.

"හරිම සතුටුයි," මැගීගේ රිදී දිදාලය සහ ඇගේ සාක්කුවෙන් පිටතට ගෙන තිබූ අනෙකුත් ද්‍රව්‍ය දෙස බලමින් සිටි තරුණ මිනිසා කීවේය. දිදාලය හැර අනෙකුත් ද්‍රව්‍ය ඔහු තරුණ ගැහැණිය වෙත දුන් අතර ඇය ඒවා යළිත් මැගීගේ සාක්කුවට දැමුවාය. ගිනි මැලය අසළ වාඩි වූ මිනිස්සු දෙදෙනා මුට්ටිය තුළ වූ මස් හා අල මිශ‍්‍ර වූ, ඒ වන විට ලිපෙන් බා කහ පැහැති බඳුනක බහා තිබූ, හොද්දේ රස බලන්නට වූහ.

මැගී තුළ අභිගුණ්ඨකයන් පිළිබඳව තිබූ අදහස් ගෙවී ගිය විනාඩි පහක කාළය තුළ ක්ෂණික වෙනසකට බඳුන් වී තිබුණි. ඔවුන් ගෞරවාන්විත සගයන් පිරිසක් ලෙසින් වෙනුවට මේ වන විට ඇගේ මනසේ වූයේ අඳුරු වැටුණු සැනින් ඔවුන් තමාව මරා දමා කැබලි වලට කපා සෙමින් හැඳි ගාමින් පිසිනු ඇති බවට වූ බියකරු සිතුවිල්ලකි. තරුණ කාන්තාව ඇයටද හොදි බඳුනක් පිළිගැන්වූ විට, බිය විසින් ඒ වන විට ඇගේ කුසගින්න පළවා හැර දමා තිබුණද, එය ප‍්‍රතික්ෂේප කිරීමට ඇය බිය වූවාය. නමුත් ඉන් එක් කටක් හෝ තමාට රස විඳිය නොහැකි බව තේරුම් ගත් ඇය අවසානයේදී තමා තුළ වූ සියලූ ධෛර්යය එක් රැුස් කරගෙන හිඳ හුන් තැනින් නැගිට කතා කළාය, "මං හිතන්නේ මං දැන් ගෙදර ගියොත් හොඳයි. ආයෙ වෙන දවසක එන්නංකෝ."

නමුත් ඇගේ බලාපොරොත්තුව මහළු අභිගුණ්ඨක කතගේ වදන් වලින් කඩ වී ගියේය. "ටිකක් ඉන්න, ටිකක් ඉන්න! අපි ඔයාව පරිස්සමෙන් ගෙදර යවන්නං කෑම කාලා ඉවර උනාම."

මෙම පොරොන්දුව පිළිබඳව එතරම් විශ්වාසයකින් තොරව මැගී නැවත වාඩි වුවද, උසැති ගැහැණු ළමයා කොටළුවාට කටකලියාවක් පළඳනු දැකීමෙන් ඇය සැනසුම් සුසුමක් හෙලූවාය.

"හරි එහෙනං, පුංචි නෝනා," තරුණ මිනිසා නැගිට කොටළුවාව ඉදිරියට ගෙන එමින් කතා කළේය, "අපිට කියන්න ඔයා කොහෙද ඉන්නෙ කියලා - එතන නම මොකද්ද?"

"ඩෝල්කොට් මෝල," මැගී උනන්දුවෙන් පිළිතුරු දුන්නාය.

"ඒ අර මෙහෙයි ඔග්ස් නගරෙයි අතර තියෙන ලොකු මෝලද?" ඔහු ඇසූ අතර මැගී හිස සැලූවාය. ඔහු ඇයව ඔසවා කොටළුවා මතින් තැබූ අතර ඇගේ හිස්වැස්ම නැවත රැුගෙන ආ තරුණ කාන්තාව එය ඇගේ හිසෙහි පැලඳුවාය.

මේ මොහොතේදී මිනිසාද මැගීගේ පිටුපසින් කොටළුවා මත නැගීමට සූදානම් වන බව පෙනුනද, කොටළුවා මෙන්ම මැගීද ඒ පිළිබඳව කිසිඳු විරෝධතාවයක් පෑමට අපොහොසත්ව අසරණව බලා සිටියාය. කාන්තාව මැගීගේ පිටට තට්ටු කළාය, "ඔයා තාත්තට කියනවා නේද අපි ඔයාට හොඳින් සැලකුවා කියලා?" ඒ සමගම මිනිසාගේ කෙවිටෙන් ලැබුණු ඉඟියකින් කොටළුවා ගමන් ඇරඹුවේය.

අවසානයේදී, ලොව ඇති දිගම මාවත ලෙසින් මැගීට හැඟුණු මාවත කෙළවර වූ අතර 'ශාන්ත ඔග්ස් නගරයට - සැතැපුම් 2යි' යනුවෙන් සඳහන් වූ පුවරුවක් එහි සවි කර තිබුණි. ඔවුන් මංසන්ධියක් වෙත පිවිසි මොහොතේ මැගී එක්වරම සුදු පැහැති අශ්වයෙකු පිට නැගී යන්නෙකු දුටුවාය.

"අන්න, නවත්තන්න, නවත්තන්න!" ඇය කෑ ගැසුවාය. "අන්න මගේ තාත්තා! අනේ තාත්තේ, තාත්තේ!" ක්ෂණික ප‍්‍රීතිය දරාගැනීමට අපහසු තරම් වූ අතර පියා ඔවුන් වෙත එන විට ඇය සිටියේ හඬමිනි. ව්‍යාපාර කටයුතු සඳහා දිනය පුරාම නිවසින් බැහැරව සිටි ටුලිවර් මහතාට මෙය මහත් පුදුමයක් විය.

"මේ මොකද? කොහොමද මෙහෙම උනේ?" මැගී කොටලූවා පිටෙන් බැස ඔහු වෙත දිව එද්දී සිය අසු නවතාගත් ඔහු ඇසුවේය.

"මං හිතන්නේ පුංචි නෝනා අතරමං වෙලා," අභිගුණ්ඨකයා පැවසුවේය. "ඩන්ලෝව් පාර කෙළවරේ තියෙන අපේ කූඩාරමට එයා ආවා, මං මේ එයාව ගෙදර එක්ක යන ගමන්."

"මෙන්න එහෙනං ඉලන්දාරියා," සිලිං පහක් ඔහු වෙත පාමින් ටුලිවර් මහතා කීවේය. "ඔහේ මෙච්චර කාලෙකට කරපු හොඳම වැඬේ මේක තමයි. මේ කෙල්ල නැති උනානං මං ඉඳලා මොකටද. මෙන්න, එයාව උස්සලා මගේ ඉස්සරහින් තියන්න."

"ඇයි මැගී, මොකද උනේ?" ගමන් ඇරඹු පසු ඔහු ඇසුවේය.

"අනේ තාත්තේ," මැගී ඉකි ගැසුවාය. "මං දුකෙන් හිටපු නිසා මං පැනලා ගියා - අයියා මං එක්ක හොඳටම තරහෙන් හිටියේ."

"ඔන්න, ඔන්න," ටුලිවර් මහතා මෘදු ලෙස කීවේය. "ඔයා කොහොමද එහෙම තාත්තවත් දාලා පැනලා යන්නේ? ඔයා නැතුව මං මොනවා කරන්නද?"

එම සන්ධ්‍යාවේ ඔවුන් නැවත නිවෙසට ගිය මොහොතේ ටුලිවර් මහතා දැඩි අවධාරණාත්මක හඬකින් කතා කළ අතර එහි වටිනා ප‍්‍රතිඵලයක් වශයෙන් ඇයට සිය නිවෙසින් පලා යාමේ අනුවණ ක‍්‍රියාව පිළිබඳව මවගේ තරවටු වදන් වලට හෝ සොයුරාගේ උසුළු විසුළු වලට හෝ මුහුණ පෑමට සිදු වූයේ නැත. සැබැවින්ම එළැඹුණු සති කිහිපයේ ටොම් ඇයට විශේෂයෙන් කරුණාවන්ත වූ අතර එම හේතුව නිසාම නොබෝ දිනකින්ම ඔහු තමාගෙන් වෙන් වී නැවත වතාවක් නව පාසලකට යාම පිළිබඳව මැගීගේ සිත තුළ පැවැති සන්තාපය තව තවත් වැඩි විය.

- මතු සම්බන්ධයි -





135. ෆ්ලොස් නදිය අසබඩ - 4 - නැන්දලා මාමලාගේ පැමිණීම

එය පාස්කු සතිය වූ අතර ටුලිවර් වරුන් පවුලේ සාදයක් පවත්වන්නට සූදානම් වූහ. එයට විශේෂයෙන්ම හේතු වූයේ ටොම් ව නව පාසැලකට යැවීම පිළිබඳව ටුලිවර් මහත්මියට සිය සොයුරියන්ගේ අදහස් දැනගැනීමට උවමනා වීමය. ඇගේ සොයුරියන් තිදෙනාම විවාහක වූ අතර, නමින් ග්ලෙග් මහත්මිය, පුලට් මහත්මිය සහ ඩීන් මහත්මිය වූහ. මෙවර ඩීන් මහත්මියට ආරාධනය කිරීමට ටුලිවර් මහත්මිය එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. "එයා හරිම ඉරිසියයි," ඇය කීවාය, "හැම තිස්සෙම මගෙ අහිංසක දරුවන්ගෙ වැරදි හොයනවා."

"ඔව්, ඔව්, මං දන්නවා," ටුලිවර් මහතා කීවේය, "ඒත් එයාටත් එන්න කියන්න. මට ලඟඳි ඩීන් මස්සිනා එක්ක කතා බහ කරන්නත් බැරි උනා. මාස හයකින් විතර අපි හම්බ උනේ නෑනේ. එයා මොනවා කිව්වත් මොකද? එයාගෙ ලූසී තරම්ම අපේ දරුවො දෙන්නා හොඳයි."


එබැවින් ග්ලෙග් පවුල, පුලට් පවුල මෙන්ම ඩීන් පවුලද සාදයට ආරාධනා ලැබූහ. පළමුවෙන්ම පැමිණියේ ග්ලෙග් පවුලය. ටුලිවර් මහත්මිය ඇතුළු සොයුරියන් පිරිස සැබැවින්ම සුන්දරත්වයට උරුමකම් කී පවුලකට අයත් විය. ග්ලෙග් මහත්මිය පැමිණ ටුලිවර් මහත්මියගේ ඇඳි පුටුවේ අසුන් ගත් විට, පනස් හැවිරිදි කතක් වශයෙන් ඇයට ඇත්තේ ඉතාම සුන්දර මුහුණක් හා සිරුරක් නොවනා බව කිසිවෙකුට පැවසිය නොහැකි විය. නමුත් ටොම් හා මැගී ඒ කිසිවක් ගැන සැලකුවේ නැත. ඔවුන්ගේ ග්ලෙග් නැන්දා සෑම විටම සෑම දෙයක්ම විවේචනය කළාය. ඇයට කිසිවෙකු ගැන පැවසීමට කිසිදු යහපත් දෙයක් නොතිබූ අතර, ඇගේ මුහුණේ ඉරියව් වල ඇති අප‍්‍රසන්න බව නිසාම ළමුන් දෙදෙනා ඈ වෙතින් සුන්දරත්වයක් දුටුවේ නැත. මෙදින, ඇය නරක හාස්‍ය රසයක් සිය හැසිරීමට එක් කරගෙන ඇති බව පෙනෙන්නට තිබූ අතර, එය දවස ගත කිරීමට එතරම් ප‍්‍රසන්න වාතාවරණයක් සැලසූවේ නැත.


වාසනාවකට මෙන්, ඇයට කිසිවක් පවසන්නට ඉඩක් ලැබෙන්නට පෙර, පිටතින් කරත්තයක හඬ ඇසෙන්නට වූ අතර ටුලිවර් මහත්මිය සිය පුලට් සොයුරිය පිළිගැනීම පිණිස වහා පිටතට දිව ගියාය. සිය සොයුරිය වූ පුලට් මහත්මිය සමග උඩු මහළට යාමටත්, ඇගේ හිස් වැස්ම හොඳින් නිරීක්ෂණය කරන අතරේ ඇඳුම් පැළඳුම් ගැන කතාබහ කිරීමටත් ටුලිවර් මහත්මිය බෙහෙවින් ආශා කළාය. මෙම බොළඳ ක‍්‍රියාව, නිරන්තරයෙන් ග්ලෙග් මහත්මියගේ ගර්හාවට ලක් විය. 


තමා විසින් ලබා දෙන ලද ඉවත දමන ඇඳුමින් මැගීව සරසන්නට එකඟ නොවීමට තරම් ටුලිවර් මහත්මිය ආඩම්බර වීම ග්ලෙග් මහත්මියට නුරුස්සන්නක් විය. ඉඳ හිට මිලදී ගෙන දෙන සපත්තු කුට්ටමක් හැරුණු කොට එම දරුවාට වෙනත් කිසිවක් අළුතෙන් මිලට ගෙන දීම අපරාධයක් ලෙසින් ඇය සැලකුවාය. එහෙත් මෙම කාරණාව සම්බන්ධයෙන් කෙසේ හෝ ඇය සිය සොයුරිය පිළිබඳව සිතා සිටි අන්දම සැබැවින්ම නිවැරදි නොවීය. මන්ද යත්, ග්ලෙග් නැන්දා විසින් ලබා දෙන ලද පිදුරු තොප්පියක් හා වර්ණ ගල්වන ලද සේද ගවුමක් මැගීට ඇන්දවීමට ටුලිවර් මහත්මිය වරක් දැඩි උත්සාහයක යෙදුණු බැවිනි. එහෙත් ඇය අසාර්ථක විය. ගවුම දැඩි කෘතිම වර්ණ ගන්ධයකින් යුතු වූ බවට පැමිණිලි කළ මැගී එය හැඳි පළමු ඉරිදාවේම එහි ඉදිරිපස පුරා හොදි හලා ගත්තාය; එම සැලැස්මේ සාර්ථකත්වය දුටු ඇය ඉන් පසුව හිස් වැස්ම දියෙන් පිරී තිබූ අශ්ව ඔරුවට අත හැරියාය. එය පැලැඳ සිටිනා විට ඇය මහළු කාන්තාවක් ලෙසින් දිස් වන බව පවසමින් ටොම් සිනාසුණු බැවින් ඇයට එවැන්නක් කිරීමට සිතීම පුදුමයක් නොවීය.


පුලට් නැන්දාද තෑගි වශයෙන් ඇඳුම් ලබාදුන් නමුත් ඒවා මැගී මෙන්ම ඇගේ මවද සතුටට පත් කිරීමට සමත් වීය. සිය සොයුරියන් අතුරින් ටුලිවර් මහත්මිය වඩාත් අගය කළේ පුලට් මහත්මියව ය. මැගී සහ ටොම්ද පුලට් නැන්දාට ලැදි වූ අතර එයට ප‍්‍රධානතම හේතුව වූයේ ඇය ඔවුන්ගේ ග්ලෙග් නැන්දා මෙන් නොවීමය. පුලට් මහත්මිය සෑම විටම ටුලිවර් දරුවන් ඇගේ ඩීන් සොයුරියගේ දරුවා වූ ලූසී තරම් පියකරු නොවීම සම්බන්ධයෙන් අනුකම්පා කළ නමුත්, ලූසීට කිසිදු විශේෂත්වයක් නොදැක්වීමටද වග බලා ගත්තාය. සැබැවින්ම, සොයුරියන් සිව් දෙනා අතුරින් කෙට්ටුම සහ පැහැයෙන් අඳුරුම පෙනුමකින් යුතු වූ ඩීන් හට එවැනි දරුවෙකු ලැබීම පුදුමයක් විය. ඈ දකින  ඕනෑම කෙනෙකු සිතනු ඇත්තේ ඇය ටුලිවර් මහත්මියගේ දරුවෙකු බවය. එසේම මැගීගේ පෙනුම, ඇගේ සාමාන්‍ය පෙනුමට වඩා දෙගුණයක් අඳුරු බවකින් යුතුව ඈ ලූසී අසළදී සිටිනා විට දිස් විය.


සිය ඥාති සොයුරිය පිළිගැනීමට ටොම් සමග මිදුලේ සිට පැමිණි මොහොතේද ඇගේ පෙනුම එසේම විය. නොසැලකිල්ලෙන් සිය හිස්වැස්ම ගලවා දමා කැරලි රහිත අවුල් වූ හිස කෙසින් යුතුව ඉක්මන් ගමනින් පැමිණි මැගී සිය මව අසළට වී සිටි ලූසී වෙත ආවාය. ඔවුන් දෙදෙනා රළු, අඳුරු, පමණට වඩා වැඩුණු බලූ පැටවෙකු සහ සුදු පූස් පැටවෙකු මෙන් දිස් වූහ. මැගීට හාදුවක් දීම පිණිස ලූසී රෝස කැකුළක් බඳු වූ සිය හුරුබුහුටි කුඩා මුව දිගු කළාය. ඇගේ සෑම දෙයකම පිළිවෙලක් විය - කොරල් පබළු වැළකින් සැරසුණු කුඩා රවුම් ගෙල; කෙළින් පිහිටි කුඩා නාසය; තමාට වඩා අවුරුද්දකින් පමණක් වැඩිමහල්, නමුත් අඟල් ගණනාවකින්ම තමන්ට වඩා උස් වූ මැගී දෙස ලැජ්ජාව මුසු සතුටකින් බලා සිටිනා ඇගේ රතු දුඹුරු පැහැති දෑසට මනා ලෙස ගැලපුණු, ඇගේ හිසකෙස් කැරළි වලට වඩා මඳක් අඳුරු වූ පැහැදිලි කුඩා ඇහි දෙබැම.


"ලූසී!" ඇයට හාද්දක් දීමෙන් අනතුරුව මැගී එක්වරම කතා කළාය. "ඔයා අපිත් එක්ක ටික දවසක් ඉන්නවා නේද?"


නමුත් ලූසීට පිළිතුරක් දීමට ඉඩක් ලැබෙන්නට පෙර ග්ලෙග් නැන්දා මහ හඬින් කතා කළාය: "හනේ හනේ! නැන්දලා මාමලා ඇවිත් ඉන්න බව නොදැක මේ ළමයි මෙහෙමත් හැසිරෙනවද? මංනං පොඩි කාලෙදි එහෙම හැදුණෙ නෑ."

"ගිහිං ඔයාලගෙ නැන්දලා මාමලාට කතා කරන්න මගෙ දරුවනේ," කලබලයට පත් ටුලිවර් මහත්මිය කීවාය. මැගීට කාමරයට ගොස් හිස පීරාගන්නා ලෙසටද පැවසීමට ඇයට උවමනා වූ නමුත් ඇයට ඒ සඳහා ඉඩක් ලැබුනේ නැත. 


"මගෙ පැටවුනේ, ඔයගොල්ලො ඉක්මනට ලොකු වෙලානේ. ඒත් මං හිතන්නේ දුවගෙ කොණ්ඬේ තව ටිකක් අඩු උනානං හොඳයි," පුලට් නැන්දා ඔවුන්ගේ හිස් මතින් ඔවුන්ගේ මව දෙස බලා කීවාය. "එතකොට එයාගෙ හමට ටිකක් එළිය වැටෙයි, නේද ඩීන් අක්කේ?"


"මංනං හිතන්නෙ නෑ," දෙතොල් තදින් පියාගෙන මැගී දෙස විවේචනාත්මක බැල්මක් හෙලමින් ඩීන් මහත්මිය පිළිතුරු දුන්නාය.


එම මොහොතේ මැගී භයානක තීරණයක් ගත්තාය. නමුත් එය ක‍්‍රියාත්මක කිරීමට පළමුව ඩීන් නැන්දා ලූසීව ඔවුන් හා නතර කිරීමට කැමතිදැයි දැනගැනීමට ඇයට උවමනා විය; ඇය ඔවුන් බැලීමට ලූසීව කැඳවාගෙන එන්නේ ඉතාම කලාතුරකිනි. අකැමැත්ත පළ කිරීමට විවිධ හේතු ඉදිරිපත් කළ ඩීන් මහත්මිය අවසානයේදී ලූසීගෙන්ම අකැමැත්ත ලබා ගැනීමට උත්සාහ ගත්තාය. 


"ඔයා අම්මා නැතුව ඉන්න කැමති නෑ නේද ලූසී?" ඇය ඇසුවාය.


"අනේ අම්මා, මං ඉන්නංකෝ," කුඩා ගෙල වටා මුළුමණින්ම රෝස පැහැ ගැන්වෙද්දී ලූසී පැකිලෙමින් කීවාය.


"අන්න හරි ලූසී! එයා හිටපුදෙං නෝනා, එයා හිටපුදෙං!" ප‍්‍රබෝධමත් පෙනුමකින් හා තරබාරු සිරුරකින්ද, මුඩු හිසකින් හා රතු වන් උඩු රැුවුලකින්ද යුතු වූ ඞීන් මහතා කීවේය. ශාන්ත ඔග්ස් හි ඔහුට වඩා උසස් ලෙස පිළිගැනුණු වෙනත් අයෙකු නොවීය. සුප‍්‍රසිද්ධ මෝල්-හිමි, නැව්-හිමි ව්‍යාපාරයක් වූ ගෙස්ට් සහ සමාගමේ ඉහළ තනතුරක් දැරූ ඔහු වසර කිහිපයක් ගත වීමට මත්තෙන් එහි හවුල්කරුවෙකු වනු ඇති බව මිනිසුන්ගේ විශ්වාසය විය.


"මැගී," සිය දියණියට හිස වනා ලඟට කතා කරමින් ටුලිවර් මහත්මිය කීවාය. "දැම්මම ගිහින් කොණ්ඩෙ පීරගෙන එන්න. මං කිව්වනෙ ඔයාට මාර්තා ලඟට ගිහිං මිසක් මෙතනට එන්න එපා කියලා."


"අයියේ, එන්න මාත් එක්ක," මවට කීකරු වී සාලයෙන් පිටව යන අතරේ අසළ සිටි සිය සොයුරාගේ කමිස අතින් අදිමින් මැගී කීවාය. ටොම්ද ඉතාම කැමැත්තෙන් ඈ පසුපසින් ගියේය. "උඩට යං මාත් එක්ක," දොරින් පිට වූ විගස ඇය සිය සොයුරාට කීවාය. "කෑමට කළින් මට කරන්න වැඩක් තියෙනවා."

"කෑම වෙලාවට කළින් මුකුත් කරන්න දැං වෙලාවක් නෑ," ටොම් කීවේය.


"අපෝ මේ වැඩේට  ඕන තරම් වෙලාව තියෙනවා - එන්නකො."
මැගී පසුපසින් ඔවුන්ගේ මවගේ කාමරය වෙත ගිය ටොම්, ඇය නොපමාව ලාච්චුවක් වෙත ගොස් එතුළින් විශාල කතුරක් පිටතට ගන්නා අයුරු බලා සිටියේය.


"ඒක මොකටද?" ඔහු කුතුහලයෙන් විමසුවේය.


සිය ඉදිරිපස කෙස් රොදක් ඉදිරියට ඇදගෙන නළල ඉදිරියෙන් එය 'සරස්' ගා කපා දැමීමෙන් ඇය පිළිතුරු ලබා දුන්නාය.


"ඒයි මැගී! ඔයාට බැණුං අහගන්න වෙයි!" පුදුමයට පත්ව සිටි ටොම් මුරගෑවේය. "ඔයා තව නොකපා හිටියොත් හොඳයි!"


සරස්! ටොම් කතා කරගෙන යන අතරේ කතුර නැවතත් හඬ නැගුවේය. එය මහත් විනෝදජනක ක‍්‍රියාවක් බව නොසිතා සිටීමට ටොම්ට අපහසු විය. මැගීගේ පෙනුම විකාරයක් වනු ඇත!
 

"මෙන්න අයියේ, පිටිපස්සේ ටික කපන්න," තම නිර්භීත බව පිළිබඳව කුල්මත් සිතින් හා පටන්ගත් ක‍්‍රියාව ඉක්මණින් අවසන් කිරීමේ උවමනාවෙන් යුතුව මැගී කීවාය.

"ඔයාට බැණුං අහන්න වෙයි, දන්නවද," මඳ පැකිලීමකින් යුතුව කතුර සිය‘තට ගනිමින් ටොම් නැවතත් කීවේය.


"ඒකට කමක් නෑ, ඉක්මණට!" අඩිය සෙමින් පොළොවේ ගසමින් මැගී කීවාය. ඇගේ දෙකොපුල් බොහෝ සෙයින් රතුව තිබුණි.




කලූ හිසකෙස් ඉතාම ඝන බවින් යුතු විය - ටොම්ගේ වයසේ වූ කොළුවෙකුට එයටත් වඩා විනෝදජනක කටයුත්තක් තිබිය නොහැක! එය පෝනියෙකුගේ වලිගය කපා දමන්නාක් මෙනි! හොඳින් කතුරට හසු කරගත් කෙස් වැටිය එක් වරක් හුරුබුහුටි ලෙසින් කැපී යයි, අනතුරුව තවත් වරක් සහ තවත් වරක්! දිගු කෙස් තීරු එක මත එක බිම පතිත විය. එක් එක් පැත්තෙන් එක් එක් ප‍්‍රමාණයෙන් හිස කෙස් කැපී යද්දී සැහැල්ලූ හා නිදහස් සිතින් යුතුව මැගී බලා සිටියාය.

"හයියෝ මැගී," සිනහව වළක්වාගත නොහැකිව සිය දණහිස් වලට තට්ටු කරන අතරේ ඈ වටා උඩ පනිමින් ටොම් කීවේය. "ඔයානං හරිම විකාරයක් වගේ!"


මැගී එක්වරම කලබලයට පත් වූවාය. ඇය මුලින් කල්පනා කළේ කරදරකාරී කොණ්ඩයෙන් සහ ඒ පිළිබඳව නැගෙන කරදරකාරී විවේචන වලින් ගැලවීම පිළිබඳව පමණි. නමුත් දැන්, ටොම් ඇයට සිනාසෙන්නට පටන්ගත් විට තත්ත්වය වඩා වෙනස් බව ඇයට වැටහුණි. ඇය කණ්ණාඩිය දෙස බැලූ අතර, එතෙක් රත් පැහැ ගැන්වී තිබූ ඇගේ මුහුණ සුදුමැලි වී දෙතොල් වෙවුලන්නට පටන්ගත්තේය.
 

"මට හිනාවෙන්න එපා අයියේ," කෝපයෙන් නැගුණු කඳුළු වලින් යුතුව ඇය ආවේගශීලී හඬකින් කීවාය. අඩි පොළොවේ හැප්පූ ඇය කේන්තියෙන් ඔහුව තල්ලූ කළාය.

"ඒයි, ගිනි බෝම්බෙ!" ටොම් කීවේය. "ඔයා මොකටද එහෙනං  ඕක කපලා දැම්මෙ? මං පහළට යනවා. කෑම සුවඳ දැනෙනවා."


මැගී සෑම දිනකම පාහේ ලබන අත්දැකීමක් වූ නැවත නිවැරදි කළ නොහැකි සිදුවීමක අමිහිරි වාතාවරණය තුළ ඇයව හුදෙකලා කොට ටොම් ඉක්මන් ගමනින් තරප්පු පෙළ බැස ගියේය. සිදු වූ දේ සිදු වී අවසන් බවත්, එය ඉතාම අනුවණ ක‍්‍රියාවක් බවත්, ඇගේ කොණ්ඩය පිළිබඳව පෙරටත් වඩා දරා සිටින්නට අපහසු කතා පැන නැගෙනු ඇති බවත් ඇය පැහැදිලිව වටහාගත්තාය. කැටපත ඉදිරියේ හිඳ හඬමින් ඇය තමාට රාත‍්‍රී කෑම මේසයට සහභාගි විය නොහැකි බවත්, එහිදී ඇගේ නැන්දලාගේ අවඥාසහගත වදන් සහ මුහුණු වලට මුහුණ දිය නොහැකි බවත්, ඒ අතරේදී සිය සොයුරාත්, ලූසීත්, මේසයේ කටයුතු පිළියෙළ කරන සේවිකාව වූ කෙසියාත්, ඇතැම් විට ඇගේ පියා සහ මාමාවරුත් ඇයට සිනාසෙනු ඇති බවත් ඇය කල්පනා කළාය. ඇයට හඬනවා හැරෙන්නට වෙන කළ හැක්කේ කුමක්ද?

"මැගී, පුංචි නෝනා, පහළට එන්න කිව්වා," මේ මොහොතේ එසේ කියමින් ඉක්මන් ගමනින් කාමරය තුලට පිවිසියේ කෙසියාය. "දෙයියනේ! මේ මොනවද කරලා තියෙන්නේ? මේ තරං භයානක දෙයක් මං කවදාවත් දැකලා නෑ."


"යන්න කෙසියා; මට කෑම  ඕනෙ නෑ," මැගී කීවාය. "මං එන්නෙ නෑ."

"හොඳයි එහෙමනං, මට මෙතන නතර වෙලා ඉන්න වෙලාවක් නෑ. මට මේසෙ ගැන බලන්න යන්න තියෙනේවා," කෙසියා කීවේ නැවත පිටව යන අතරතුරේදීය.

"මැගී, මෝඩ කෙල්ල," ඉන් විනාඩි දහයකට පසු කාමරයට එබෙමින් ටොම් කතා කළේය. "ඇයි ඇවිල්ලා කෑම කන්නෙ නැත්තෙ? රස ජාති ගොඩාක් තියෙනවා, අම්මා කිව්වා ඔයාට එන්න කියන්න කියලා. කස්ටඩ් තියෙනවා - තව කජු, වයින් එහෙමත් තියෙනවා."

මැගී සැබැවින්ම දැඩි කුසගින්නකින් පෙළුනු බැවින් ඇයට මෙය ප‍්‍රතික්ෂේප කළ නොහැකි විය. ඇගේ විසිරුණු කෙස් අතුරින් නැගී සිටි ඇය සෙමින් පහත මාලය කරා බසින්නට වූවාය. කෑම කාමරය වෙත ගිය ඇය හිස්ව තිබූ තම අසුන වෙත ගියාය. එහෙත් එහි හිඳගත් සැනින් ආපසු උඩුමහළට දිව යන්නට ඇයට සිතුණි.
 

ඇය දැකීමෙන් තිගැස්සුණු හඬක් මුවින් පිටකළ ටුලිවර් මහත්මියගේ අතේ තිබූ හොදි පිරුණු හැන්ද මේස රෙද්ද පුරා හොදි විසිරුවමින් නැවත බඳුන තුළට වැටුණි. සෑම දෙනාම ඇය දෙස බලන අතරේ සුදු පැහැති හිස කෙසින් හා කරුණාවන්ත පෙනුමකින් යුතු ග්ලෙග් මාමා කතා කළේය, "මෙන්න! මේ කවුද මේ ගෑණු ළමයා? මං අඳුරන්නෙ නෑනේ. ඔයා පාරෙ ඉඳලා එක්කං ආපු කෙනෙක්ද කෙසියා?"

"එයා තනියම කොණ්ඩෙ කපාගෙන," නිහඬව සිනාසෙමින් ටුලිවර් මහතා පහත් හඬින් ඩීන් මහතාට පැවසුවේය. "මේ වගේ පුංචි නෝනා කෙනෙක්ව වෙන දැකලා තියෙනවද?"


"බලන්නකෝ පුංචි නෝනා, ඔයා හරිම විහිළුවක් වෙලානේ," පුලට් මාමා කී අතර එය ඔහුගේ ජීවිත කාලය තුල ඔහු පැවසූ වඩාත්ම හිත් රිදවන ප‍්‍රකාශය වන්නට ඇත.


"මොන ලැජ්ජාවක්ද!" ග්ලෙග් නැන්දා කීවාය. "තමුංගෙම කොණ්ඩෙ කපාගන්න ගෑණු ළමයින්ට වේවැල් පාර දීලා පානුයි වතුරයි විතරක් කන්න බොන්න දෙන්න  ඕනේ."


"හරි හරි," විසුළු ස්වරයෙන් ග්ලෙග් මාමා කීවේය. "එයාව හිරේ යවන්න  ඕනේ. එහෙදි එයාගෙ ඉතුරු කොණ්ඩෙ ටිකත් කපලා දායි!"


මැගීට දැනුණේ තමා දෝෂාරෝපණ අත්වැල් ගායනයකට සවන් දී සිටින්නාක් මෙනි. වේදනාවෙන් බර වූ හදවතින් යුතුව අසුනින් නැගී සිටි ඇය සිය පියා වෙත දිව ගොස් ඔහුගේ උරහිසේ මුහුණ සඟවාගෙන මහ හඬින් හඬන්නවට විය.
 

"ඔන්න ඔන්න මගේ පුංචි කෙල්ල," ඇය වටා දෑත යවමින් පියා කරුණාවන්ත හඬින් කතා කළේය. "ඒවා ගණං ගන්න එපා; කොණ්ඩෙ ඔයාට කරදරයක්නං ඔයා ඒක කපලා දාපු එක හරියටම හරි. අඬන්න එපා; තාත්තා ඔයාගෙ පැත්තෙනේ."

මිහිරිතම මෘදු වදන්! ඇගේ පියා මෙලෙස ‘ඇගේ පැත්ත අරගත්‘ අවස්ථා කිසිවක් ඇය කිසිදා අමතක කළේ නැත; ඒවා සිය හදවතේ තැන්පත් කරගත් ඇය වසර ගණනාවකට පසුව වුවද ඇගේ පියා සිය දරුවන් පිළිබඳව නොතැකූ බවක් අන්‍යයන් පවසද්දි ඒ පිළිබඳව සිහිපත් කළාය.


එලෙස එදින තව දුරටත් බැණුම් හා සමච්චල් වලින් මැගී ගැලවුණු අතර, ඉක්මණින්ම සිය කරදර අමතක කර දමා ඇයද, ටොම් හා ඔවුන්ගේ ඥාති සොයුරිය වූ ලූසීද සතුටින් මිදුලේ සෙල්ලම් කරමින් සිටියෝය.



- මතු සම්බන්ධයි -




134. ෆ්ලොස් නදිය අසබඩ - 3 - ටොම් ගෙදර එයි


ටොම්ව විද්‍යායතනයේ සිට කැඳවාගෙන ඒමට පියා සමග කරත්තයේ නැග යාමට ඉඩ නොලැබීම ගැන මැගී පසු වූයේ දැඩි නොසතුටකිනි. එය කුඩා දැරියකට සිය හොඳම හිස්වැස්මෙන් සැරසී පිටතට බැස යාමට නුසුදුසු තෙත් සහිත උදෑසනක් වූ බව ටුලිවර් මහත්මියගේ අදහස විය. මැගී මෙම විරෝධතාවය දැඩි ලෙස සිතට ගත් අතර, මව තමන්ගේ ඝන කළු කෙස් වැටිය පීරන්නට සූදානම් වූ මොහොතේ වහා දිව ගොස් සිය හිස වතුර බේසමක එබුවේද එම හේතුව නිසාමය. එදින සිය හිස කෙස් කැරලි වීමට කිසි සේත් ඉඩ නොතබන බවට ඇය අදිටන් කරගෙන සිටියාය.

"මැගී, මැගී," උකුල මත වූ හිස පීරන පනාව සමග අසරණව හිඳගෙන සිටි ටුලිවර් මහත්මිය පුදුමයෙන් කීවාය. "ඔයා ඔච්චර මුරණ්ඩු වෙද්දි අපි මොනවද ඔයාට කරන්න  ඕන? ඊලඟ සතියේ ඔයාගේ ග්ලෙග් නැන්දයි, පුලට් නැන්දයි ආවම මං කියනවා, එතකොට ඒගොල්ලො කවදාවත් ඔයාට ආයෙ ආදරේ නැති වෙයි. හයියෝ! හයියෝ! බලන්න, මේ උඩ ඉඳන් යටටම තෙමිච්ච ඔයාගෙ මේ පිනෆෝ එක!"

නමුත් මැගී ඒ වන විටත් ඇගේ වදන් ඇසෙන මානයෙන් ඉවත්ව සිටි අතර, දිය නෑමකින් බේරී දිව යන ටෙරියර් බලූ පැටවෙකු මෙන් සිය කළු කෙස් කලඹ වනා එහි වූ වතුර ගසමින් ඇය පැරණි උස් වහළයට යටින් වූ සෝල්දරයට නගිමින් සිටියාය. එතරම් ශීතලක් නොදැනෙන වැසි දින වල මැගීගේ ප‍්‍රියතම නවාතැන වූයේ මෙම සෝල්දරයයි; මෙහිදී ඇගේ සෑම ආවේගයක්ම දුරු වී ගිය අතර පොළොවට හා මකුළු දැලින් වැසී ගිය රාක්ක හා අඳුරු බිත්ති වලට ඇය හඬ නගා කතා කළාය; ඇතැම් විටෙක ඇය මෙහිදී කණස්සල්ලෙන් යුතුව ඉකිබින්දාය. මෙම උදෑසනද ඇය කරමින් සිටියේ එයය. අනෙක් සෑම හැඟීමක්ම අමතක වන තරමේ  දැඩි සිත් වේදනාවකින් ඇය හඬමින් සිටියාය - ඇගේ හැඬීමට හේතු වූ කණගාටුදායක සිදුවීම පවා ඒ මොහොතේ ඇගේ මතකයෙන් ගිලිහී ගොස් තිබුණි. අවසානයේදී ඉකි බිඳීම නතර වූ අතර, එක් වරම ගලා ආ හිරු එළිය හේතුවෙන් ඇය කවුළුව වෙත දිව ගියාය. හිරු වළාකුළු වෙතින් මෑත්ව තිබූ අතර මෝලේ හඬ එක් වරම ප‍්‍රබෝධජනක ලීලාවකින් ඇසෙන්නට විය. එසේම ඔවුන්ගේ සුදු හා දුඹුරු පැහැති ටෙරියර් වර්ගයට අයත් යැප් නැමැති සුරතලාද සගයෙකු සොයමින් ඒ මේ අත ඉව කරමින් හිඳිනා අන්දම ඇගේ දෑසට හසු විය. තවත් එතැනම රැඳී සිටීමට ඇයට අපහසු විය. සිය හිස කෙස් පසුපසට ගසා දමා පහත මාලයට දිව යන අතරේ ඇය සිය හිස් වැස්ම අතට ගත්තද එය පැළඳ ගත්තේ නැත. මව දකිනු ඇතැයි සිතමින් බරාඳය ඉක්මන් ගමනින් පසුකර ගිය ඇය මොහොතකින්ම මිදුලට පිවිස ගී ගයමින් කැරකෙමින් නටන්නට වූවාය. "යැප්! යැප්! අයියා ගෙදර එනවා!" යැප්ද මහ හඬින් බුරමින් ඈ සමග නැටුවේය.

"හා හා පුංචි නෝනා! කැරකිල්ල හැදිලා මඩ ගොඩට ඇදගෙන වැටෙයි," වයස හතළිස් ගණන් වල පසු වූ කළු වන් දෑසින් හා හිසකෙසින් යුත්, මෝලේ ප‍්‍රධාන කම්කරුවා වූ ලූක් මාමා පැවසුවේය.

සිනාසුණු මැගී නැටුම නැවැත්වූවාය. "ලූක් මාමේ, මාත් එන්නද ඔයත් එක්ක මෝල ඇතුලට යන්න?" ඇය ඇසුවාය.

මෝලේ විශාල ඉඩකඩ අතර ඇවිද යන්නට ආශා කළ ඇය බොහෝ විට ඉන් පිටතට පැමිණියේ සිය කළු වන් කෙස් කලඹ වසාගත් සුදු පැහැති මෘදු පිටි තට්ටුවක්ද සමගය. එවන් විටෙකදී ඇගේ කළු වන් දෑසේ දැල්වෙන දීප්තිය වඩාත් කැපී පෙනුණි. නොනවතින ශබ්දය, ඇඹරුම් ගල් වල අවිවේකී චලිතය, සෑම පෘෂ්ඨයක්ම මෘදු බවට පත් කරමින්, මකුළු දැල් වලට පවා විල්ලූද පෙනුමක් ලබා දෙමින් ඇද හැලෙන පිරිසිඳු සුදු පිටි; මේ සියල්ල විසින් මැගී සැමදා අත් විඳින ජීවිතයෙන් පරිබාහිර වූ වෙනමම කුඩා ලෝකයක් බවට මෝල පත් කරන ලදි. 

මෝල තුළ වඩාත් ඇගේ සිත් ගත් ස්ථානය වූයේ ඉරිඟු ගබඩාවයි. එහි කඳු ගසා ඇති විශාල ධාන්‍ය ගොඩවල් මත නැගී පහතට ලිස්සා ඒමට හැකි වීම එයට හේතුවයි. තම තොරතෝංචියක් නැති කතා අසා සිටීමට  ඕනෑම වේලාවක සූදානම් ලූක් මාමා සමග කතා කරමින් එය සිදු කිරීම ඇගේ පුරුද්ද විය. මෙදිනද එසේ ධාන්‍ය කන්දක් මත සිට ලිස්සා එන අතරේ ඇය කතා කළාය. "මං හිතන්නේ ඔයා බයිබලේ ඇරෙන්න වෙන පොතක් කියවලාම නැතුව ඇති, නේද ලූක් මාමේ?"

"නෑ පුංචි නෝනා - ඒකත් එච්චර කියවලා නෑ," ලූක් අවංකව කීවේය. "මං එච්චර කියවන්න කැමති කෙනෙක් නෙවෙයි."

"හනේ, ඔයත් මගේ අයියා වගේමනේ ලූක් මාමේ," මැගී කරුණාවෙන් කීවාය. "අයියත් පොත් කියවන්න කැමතිම නෑ. මං එයාට හරිම ආදරෙයි ලූක් මාමේ - මේ ලෝකෙ වෙන කාටවත් වඩා. ලොකු උනාම මං තමයි එයාගෙ ගේ බලාගන්නෙ. අපි හැම වෙලේම එකටම ඉන්නවා. එයා දන්නෙ නැති හැම දේම එයාට කියලා දෙන්න මට පුළුවන්. පොත් වලට කැමති නැති උනාට එයා හරි නුවණක්කාරයි. එයා හාවන්ට ලස්සන ගෙවල් හදලා දෙනවා."

"ආහ්," ලූක් මාමා කීවේය. "ඒත් හාවො ටික ඔක්කොම මැරිලා බව දැනගත්තොත්නං එයාට බොහොම තරහා යයි."

"මැරිලා!" ධාන්‍ය ගොඩ මතින් බිමට පනිමින් මැගී කෑ ගැසුවාය. "අනේ ලූක් මාමේ - අයියා කියලා ගියේ මට උන්ව බලාගන්න කියලා, මට අමතක උනා. එයාට මාත් එක්ක හොඳටම තරහා යයි, මං දන්නවා. මට හරි දුකයි එයාගෙ හාවො ගැන. අනේ මං දැන් මොකද කරන්නෙ?"

"ඒ ගැන ඒ හැටි හිතන්න එපා පුංචි නෝනා," ලූක් මාමා ඈ අස්වැසුවේය. 
නමුත් මැගීට ඒ ගැන නොසිතා සිටීමට නොහැකි විය. ටොම් පැමිණෙන මොහොතේ කරත්තය දොරටුව වෙත එන තෙක් බලා සිටින මව අසළට වී සිටි මැගීගේ හදවත සතුටිනුත්, වරදකාරී හැඟීමෙනුත් යුතුව වේගයෙන් ස්පන්ධනය වෙමින් තිබුණි. ටුලිවර් මහත්මිය දෑත් විදහා බලා සිටියාය; මැගී එක් කකුලකින් අනෙක් කකුලට සිරුරේ බර මාරු කළාය; ඒ අතර කරත්තයෙන් බට ටොම් පුරුෂයන්ට ආවේණික වූ නිහඬ බවක් පළ කරමින් පවුලේ සුරතලා දෙස බලා, "කොහොමද යැප්! කොහොමද සැප සනීප?" යැයි පැවසුවේය.

එසේ වුවද ඔහු වැළඳගැනීම් හා හාදු වලටද රිසි සේ ඉඩ දුන්නේය. දොළොස් වැනි විය පසු කරමින් සිටි ටොම් ද එංගලන්තයේ අනෙකුත් සාමාන්‍ය පිරිමි දරුවන් මෙන් පාත්ත පැටවෙකුගේ පෙනුමින් යුතු විය: ලා දුඹුරු පැහැති හිස කෙසින්, රෝස පැහැය මුසු වූ කම්මුල්, පිරුණු තොල්, තියුණු බවින් තොර නාසය සහ දෙබැමින් යුතු කොළු ගැටයෙකි. තලෙළු පැහැති සමෙන් හා කළු හිස කෙස් වලින්ද, කළු දීප්තිමත් දෑස් වලින්ද යුතු වූ මැගීට වඩා ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් විය.

"මැගී," මව ඔහුගේ ගමන් බෑගය අස් කරන්නට පිටව ගිය විගස ටොම් රහසින් සිය සොයුරිය ඇමතුවේය. "ඔයා දන්නෙ නෑනෙ මගෙ සාක්කුවෙ තියෙන්නෙ මොනවද කියලා!" ඔහු සිය දකුණු පස සාක්කුවේ වූ යමක් අඩක් පිටතට ඇද්දේය.

"මොකද්ද ඒ?" මැගී කොඳුරමින් ඇසුවාය. "මට කහපාට මොකද්ද එකක් විතරයි පේන්නේ."

"මේ, ඒක අළුත්ම... හිතන්න මැගී!"

"අනේ මට බෑ අයියේ," මැගී නො ඉවසිලිමත්ව කීවාය. "මට  ඕවා හිතන්න බෑ. කියන්න මට."

"හරි, එහෙනං - " ටොම් කීවේය. " - ඒක අළුත්ම යොතක් - අළුත්ම දෙකක් - එකක් ඔයාට මැගී, තනිකරම ඔයාට. මං ඉඟුරු පාන්වත් ටොෆීවත් ගත්තෙ නෑ සල්ලි ඉතුරු කරගන්න  ඕන නිසා. මෙන්න කොකුත් තියෙනවා. අපි වට පොකුණ දිහාවට හෙට මාළු බාන්න යමු. ඔයාටම පුළුවන් මාළු බාන්න එතකොට, බිලී කොක්කට ඇම අමුණන්න, ඒ හැම දෙයක්ම - හොඳයි නේද?"

මැගී පිළිතුරු ලෙසින් ඔහුගේ ගෙල වටා දෑත් යවා ඔහුව වැළඳ ගත්තාය. නමුත් එයින් ඉක්මණින්ම මිදුණු ටොම් නො ඉවසිලිවත්ව කතා කළේය. "දැං ඇතිනේ, යමු - මට මගෙ හාවො ටික බලන්න  ඕනේ."

මැගීගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. සත්‍යය එක්වරම හෙළි කරන්නට බිය වූ මැගී ඔහුගේ සිතේ ඇති විය හැකි සන්තාපයත් කෝපයත් හැකිතාක් අවම වන ලෙසින් ඒ ගැන පවසන්නේ කෙසේදැයි කල්පනා කරමින් ඔහු පසුපසින් ගෑටුවාය. අන් කිසිම දෙයකට වඩා ඇය ඔහුගේ කෝපයට බිය වූවාය.

"අයියේ," ඇය බයාදු ලෙස කතා කළාය. "ඔයා ඒ හාවන්ට කොච්චර සල්ලි ගෙව්වද?"

"පැන්ස හැට හයයි," ටොම් නොපැකිලිව පිළිතුරු දුන්නේය. 

"මං හිතන්නෙ උඩ තට්ටුවෙ මගෙ කැටේ ඊට වඩා සල්ලි ඇති. මං අම්මට කියන්නං ඒක ඔයාට දෙන්න කියලා."

"ඒ මොකටද?" ටොම් ඇසුවේය. "මට ඔයාගෙ සල්ලි එපා පිස්සියේ. ඔයාට වඩා ගොඩක් සල්ලි මට තියෙනවා, මං කොල්ලෙක්නේ."

"හරි, ඒත් අයියේ - මගේ කැටෙන් පැන්ස හැට හයක් අරන් ඔයාට දෙන්න අම්මා ඉඩ දුන්නොත් ඔයාට ඒකෙන් තව හාවො ගන්න පුළුවන්නේ."

"තව හාවෝ?" ගැටළු සහගත හඬින් සොයුරා ඇසුවේය. "මට තව හාවො  ඕනෙ නෑ."

"අනේ අයියේ ඒත් - ඒගොල්ලො ඔක්කොම මැරිලා!" මැගී අඳෝනා නැගුවාය.

වහාම සිය ගමන නතර කළ ටොම් මැගී වෙත හැරුනේය. "ඔයා අමතක කළා නේද ඒගොල්ලන්ට කෑම දෙන්න!?" කෝපයෙන් මුහුණ රතු කරගනිමින් ඔහු ඇසුවේය. "හරි එහෙනං මැගී. හෙට ඔයා මා එක්ක මාළු බාන්න යන්නෙ නෑ. මං ඔයාට කිව්වෙ දවස ගානෙ ගිහිං ඒගොල්ලො ගැන බලන්න කියලා." ඔයු යළි ගමන ඇරඹුවේය. 

"ඔව්, ඒත් මට අමතක උනා - අනේ මං ඒ ගැන මොනවා කරන්නද අයියේ. මට හරිම දුකයි," දෑසින් වේගයෙන් කඳුළු ගලා එන අතරේ මැගී කීවාය.

"ඔයා මහ නරක ගෑණු ළමයෙක්!" ටොම් සැරෙන් කීවේය. "මං අපරාදෙ ඔයාට අළුත් යොතක් ගෙනාවෙ. මං ඔයාට ආදරේ නෑ!"

"අනේ අයියේ, එහෙම කියන්න එපා," මැගී වැළපුණාය. "ඔයාට මොනවා හරි අමතක උනානං එහෙම මං ඔයාට සමාව දෙනවා - ඔයා මොනවා කළත් මං ගණං ගන්නෙ නෑ - මං ඔයාට සමාව දීලා ඔයාට ආදරෙන් ඉන්නවා." ඉකි ගසා වැළපෙමින් ඔහුගේ අතේ එල්ලූණු ඇය කඳුලෙන් තෙත් වූ සිය කම්මුල ඔහුගේ උරහිසේ රැුඳවූවාය. "අනේ මා එක්ක තරහා වෙන්න එපා අයියේ, මට එහෙම ඉන්න බෑ."

නමුත් ඈ වෙතින් මිදුණු ටොම් නැවත කතා කළේය, "ඔයා හරිම නරකයි, හෙට ඔයා මාළු බාන්න යන්නෙ නෑ." එම අවසන් නිවේදනයෙන් පසුව ටොම් ඇගෙන් ඉවත් වී මෝල වෙත දිව ගියේය.

ඉකි ගැසීම ඇරෙන්නට වෙනත් කිසිඳු හැලහොල්මනක් නොමැතිව මැගී එලෙසම විනාඩියක් හෝ දෙකක් සිටගෙන සිටියාය; අනතුරුව ආපසු හැරී නිවෙස තුළට දිව විත් සෝල්දරයට නැගගත් ඇය බිම වාඩි වී රාක්කයකට හිස හේත්තු කරගත්තේ හදවතේ නැගි වේදනාවෙන් මහත් සේ පීඩා විඳිමිනි. අයියා ඇයට ආදරය කරන්නේ නැතිනම් වෙනත් කිසිවකින්වත් වැඩක් නැත. ඔහු කතා කළේ කෙතරම් නපුරු ලෙසින්ද! ඇය තමන් බොහෝ සෙයින් දුක් වන බව පැවසුවා නොවේද. ඇය මුදල් පවා දෙන්නට සූදානම් වූවා නොවේද. ඇය කිසි දිනෙක හිතා මතා ඔහුට හිතුවක්කාර වන්නේ නැත.

"අනේ එයා හරි නපුරු වෙලා!" මැගී හඬ නගා වැළපුනාය. දිගු වේලාවක් ගත වන තුරු එසේ වැළැපුණු ඇයට තමා සෝල්දරය මත පැය ගණනක් ගෙවා ඇති බව හැඟුණි. ඔවුන් සියල්ලන්ම තමා අමතක කොට සවස තේ මේසය රස විඳිනවා විය යුතුය. එසේනම් තමා මෙලෙසින්ම හාමත් වන තුරු සිටිය යුතුය. එවිට ඔවුන් සියල්ලන්ම බිය වනු ඇත. අයියාට දුක සිතෙනු ඇත.

නමුත් මැගී ගැන හා තම කෝපය නිසා ඇය පත්වන්නට ඇති අසරණ බව ගැන සිතන්නට ඉස්පාසුවක් නොලැබෙන තරමට ටොම් ලූක් සමග කතාබහේ නියැලී සිටියේය. ඔහු තේ පානය සඳහා නිවෙස තුලට ගිය මොහොතේ මවත් පියාත් දෙදෙනාම එක වර කතා කළෝය. "කෝ පොඩි කෙල්ල?" පියා ඇසුවේය. "කෝ ඔයාගෙ නංගි?" මව ඇසුවාය. ඔවුන් දෙදෙනාම සිතා සිටියේ ටොම් සහ මැගී මුළු හවස් වරුවම එක්ව හිඳින්නට ඇති බවය.

"මං දන්නෙ නෑ," ටොම් කීවේය. ඔහු මැගී සමග කෝපයෙන් සිටියද ඈ පිළිබඳව කේලාම් කීමට ඔහු කැමති නොවීය.

"එයා මෙච්චර වෙලා ඔයා එක්ක නෙවෙයිද හිටියෙ?" පියා ඇසුවේය.

"මං එයාව පැය දෙකකින් විතර දැක්කෙ නෑ," කේක් කැබැල්ලක රස බලන්නට පටන්ගන්න අතරේ ටොම් කීවේය.

"දෙයියනේ! එයා වතුරෙ ගිලිලා ඇති!" යැයි එක්වරම මුර ගෑ ටුලිවර් මහත්මිය අසුනින් නැගිට ජනේලය වෙත දිව ගියාය.

"නෑ නෑ, එයා ගිලිලා නෑ!" ටුලිවර් මහතා කීවේය. "ඔයා එයාට නපුරු වෙන්න ඇති, එහෙම නේද ටොම්?"

"නෑ තාත්තේ," ටොම් කුපිත ස්වරයකින් කීවේය. "මං හිතන්නෙ එයා ගේ ඇතුලෙම ඇති."

"සෝල්දරේ වෙන්න ඇති එහෙනං," ටුලිවර් මහත්මිය කීවාය.

"ගිහිං එයාව එක්ක එන්න ටොම්," ටුලිවර් මහතා තියුණු හඬකින් කීවේය. කොලූවා ‘පොඩි එකිය‘ට නපුරු නොවුණානම් ඈ කෙලෙසකවත් ඔහු අසළින් ඈතට නොයන බව පියා දැන සිටියේය. "එයාට හොඳින් කතා කරන්න, ඇහුණද?"

ටොම් කිසි විටෙක සිය පියාට අකීකරු නොවුණේය. නමුත් ඔහු සිය කේක් කැබැල්ලත් රැුගෙන නැගිට ගියේ අලස ලීලාවකිනි.

තරප්පු පෙළ මත ටොම්ගේ පා හඬ ඇසෙන්නට වූ මොහොතේ බලාපොරොත්තුවෙන් පිරුණු මැගීගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. නමුත් ඔහු ඉහළම පඩිය මත නතර වී කතා කළේය, "මැගී, අන්න ඔයාට අඬගහනවා."

ඔහු වෙත දිව ගිය ඇය ඉකි ගසමින් ඔහුගේ බෙල්ලේ එල්ලූනාය. "අනේ අයියේ, මට සමාවෙන්න - මට ඒක ඉවසගන්න බෑ - මං හැමදාම හොඳ ළමයෙක් වෙන්නං - ආයෙ කිසිම දෙයක් අමතක කරන්නෙ නෑ. අනේ මට ආදරෙයි නේද අයියේ?"

ඇය මට්ටු වන තුරු දඬුවම් දීමට අදිටන් කරගෙන සිටි සිතුවිලි අමතක කර දැමූ ටොම් ඇයට හාදුවක් දී, "අඬන්න එපා මැගී - මෙන්න, කේක් කෑල්ලක් කන්න," යැයි කීවේය.

මැගීගේ ඉකි ගැසීම් අඩු වූ අතර ඇය මුව විවර කර කේක් කැබැල්ලක් කෑවාය; ඇයට සහය පළ කරමින් ටොම් ද කටක් කෑ අතර සුරතල් පෝනි පැටවුන් දෙදෙනෙකු මෙන් එකිනෙකාගේ කම්මුල් හා නාසයන් එකිනෙක අතුල්ලමින් ඔවුහු කේක් කැබැල්ල එක්ව රස වින්දෝය.

"එන්න මැගී, තේ බොන්න යමු," කේක් කැබැල්ල අවසන් වූ මොහොතේ ටොම් කීවේය.

එලෙසින් එදින සියලූ සන්තාපයන් නිමාවට පත් වූ අතර පසු දින උදෑසන බිලී පිත්ත එක් අතෙකින්ද, කූඩයේ එක් අණ්ඩක් අනෙක් අතින්ද රැගත් මැගී තමාට අඩිය තැබිය හැකි වූ සෑම මඩ වලකටම අඩිය තබමින් ඇවිද ගියේ සිත පුරා පැතිරුණු ප‍්‍රීතියකින් යුතුවය. ඇම ලෙසින් ගන්නා පණුවන්ට කිසිවක් නොදැනෙන බවට සොයුරා දුන් සහතිකය ඇය විශ්වාස කළද සිය බිලී කොකු වලට ඇම ඇමිණීමද මැගී ඔහුටම බාර කළාය. (පණුවන් පිළිබඳව සත්‍ය තත්ත්වය එසේ නොවූවද ඒ පිළිබඳව එතරම් ගණන් ගත යුතු නැති බව ටොම්ගේ පෞද්ගලික මතය විය.)

එය ඔවුන්ගේ ප‍්‍රීතිමත් උදෑසන වලින් එකක් විය. අරමුණක් නැතිව ඇවිද ගොස් එක්ව හිඳගෙන සිටින අතරේ අනාගතයේ තම ජීවිත මෙයට වඩා බොහෝ සෙයින් වෙනස් වනු ඇති බවට කිසිඳු සිතිවිල්ලක් ඔවුන් තුළ නොවීය; ඔවුන් වැඩිවියට පත් වී පාසැල් ගමන නතර වනු ඇති අතර සෑම දිනක්ම නිවාඩු කාලයට අයත් වනු ඇත; ඔවුන් සැමදා එකිනෙකාට ආදරයෙන් හිඳිනු ඇත. 

නමුත් සත්‍ය වශයෙන්ම ටොම්ගේ හා මැගීගේ ජීවිත බොහෝ වෙනස්කම් වලට බඳුන් විය; එසේ වුවද, මෙම බාල වියේ මුල් බැසගත් ආදරය සහ සිතුවිලි ඔවුන්ගේ ජීවිත තුළ කොටසක් වනු ඇති බවට ඔවුන් තබාගත් විශ්වාසය කිසිදා වෙනස් නොවීය.

සැම දෙයක්ම සක්සුදක් සේ දත්, එම දන්නා බව නිසාම අපගේ සිත් තදින් වැළඳගත් ඒ සොඳුරු ඒකාකාරිත්වය තරම් අගනා නව්‍යතාවයක් කොහිද?

- මතු සම්බන්ධයි -