ටොම්ව විද්‍යායතනයේ සිට කැඳවාගෙන ඒමට පියා සමග කරත්තයේ නැග යාමට ඉඩ නොලැබීම ගැන මැගී පසු වූයේ දැඩි නොසතුටකිනි. එය කුඩා දැරියකට සිය හොඳම හිස්වැස්මෙන් සැරසී පිටතට බැස යාමට නුසුදුසු තෙත් සහිත උදෑසනක් වූ බව ටුලිවර් මහත්මියගේ අදහස විය. මැගී මෙම විරෝධතාවය දැඩි ලෙස සිතට ගත් අතර, මව තමන්ගේ ඝන කළු කෙස් වැටිය පීරන්නට සූදානම් වූ මොහොතේ වහා දිව ගොස් සිය හිස වතුර බේසමක එබුවේද එම හේතුව නිසාමය. එදින සිය හිස කෙස් කැරලි වීමට කිසි සේත් ඉඩ නොතබන බවට ඇය අදිටන් කරගෙන සිටියාය.
"මැගී, මැගී," උකුල මත වූ හිස පීරන පනාව සමග අසරණව හිඳගෙන සිටි ටුලිවර් මහත්මිය පුදුමයෙන් කීවාය. "ඔයා ඔච්චර මුරණ්ඩු වෙද්දි අපි මොනවද ඔයාට කරන්න ඕන? ඊලඟ සතියේ ඔයාගේ ග්ලෙග් නැන්දයි, පුලට් නැන්දයි ආවම මං කියනවා, එතකොට ඒගොල්ලො කවදාවත් ඔයාට ආයෙ ආදරේ නැති වෙයි. හයියෝ! හයියෝ! බලන්න, මේ උඩ ඉඳන් යටටම තෙමිච්ච ඔයාගෙ මේ පිනෆෝ එක!"
නමුත් මැගී ඒ වන විටත් ඇගේ වදන් ඇසෙන මානයෙන් ඉවත්ව සිටි අතර, දිය නෑමකින් බේරී දිව යන ටෙරියර් බලූ පැටවෙකු මෙන් සිය කළු කෙස් කලඹ වනා එහි වූ වතුර ගසමින් ඇය පැරණි උස් වහළයට යටින් වූ සෝල්දරයට නගිමින් සිටියාය. එතරම් ශීතලක් නොදැනෙන වැසි දින වල මැගීගේ ප‍්‍රියතම නවාතැන වූයේ මෙම සෝල්දරයයි; මෙහිදී ඇගේ සෑම ආවේගයක්ම දුරු වී ගිය අතර පොළොවට හා මකුළු දැලින් වැසී ගිය රාක්ක හා අඳුරු බිත්ති වලට ඇය හඬ නගා කතා කළාය; ඇතැම් විටෙක ඇය මෙහිදී කණස්සල්ලෙන් යුතුව ඉකිබින්දාය. මෙම උදෑසනද ඇය කරමින් සිටියේ එයය. අනෙක් සෑම හැඟීමක්ම අමතක වන තරමේ දැඩි සිත් වේදනාවකින් ඇය හඬමින් සිටියාය - ඇගේ හැඬීමට හේතු වූ කණගාටුදායක සිදුවීම පවා ඒ මොහොතේ ඇගේ මතකයෙන් ගිලිහී ගොස් තිබුණි. අවසානයේදී ඉකි බිඳීම නතර වූ අතර, එක් වරම ගලා ආ හිරු එළිය හේතුවෙන් ඇය කවුළුව වෙත දිව ගියාය. හිරු වළාකුළු වෙතින් මෑත්ව තිබූ අතර මෝලේ හඬ එක් වරම ප‍්‍රබෝධජනක ලීලාවකින් ඇසෙන්නට විය. එසේම ඔවුන්ගේ සුදු හා දුඹුරු පැහැති ටෙරියර් වර්ගයට අයත් යැප් නැමැති සුරතලාද සගයෙකු සොයමින් ඒ මේ අත ඉව කරමින් හිඳිනා අන්දම ඇගේ දෑසට හසු විය. තවත් එතැනම රැඳී සිටීමට ඇයට අපහසු විය. සිය හිස කෙස් පසුපසට ගසා දමා පහත මාලයට දිව යන අතරේ ඇය සිය හිස් වැස්ම අතට ගත්තද එය පැළඳ ගත්තේ නැත. මව දකිනු ඇතැයි සිතමින් බරාඳය ඉක්මන් ගමනින් පසුකර ගිය ඇය මොහොතකින්ම මිදුලට පිවිස ගී ගයමින් කැරකෙමින් නටන්නට වූවාය. "යැප්! යැප්! අයියා ගෙදර එනවා!" යැප්ද මහ හඬින් බුරමින් ඈ සමග නැටුවේය.
"හා හා පුංචි නෝනා! කැරකිල්ල හැදිලා මඩ ගොඩට ඇදගෙන වැටෙයි," වයස හතළිස් ගණන් වල පසු වූ කළු වන් දෑසින් හා හිසකෙසින් යුත්, මෝලේ ප‍්‍රධාන කම්කරුවා වූ ලූක් මාමා පැවසුවේය.
සිනාසුණු මැගී නැටුම නැවැත්වූවාය. "ලූක් මාමේ, මාත් එන්නද ඔයත් එක්ක මෝල ඇතුලට යන්න?" ඇය ඇසුවාය.
මෝලේ විශාල ඉඩකඩ අතර ඇවිද යන්නට ආශා කළ ඇය බොහෝ විට ඉන් පිටතට පැමිණියේ සිය කළු වන් කෙස් කලඹ වසාගත් සුදු පැහැති මෘදු පිටි තට්ටුවක්ද සමගය. එවන් විටෙකදී ඇගේ කළු වන් දෑසේ දැල්වෙන දීප්තිය වඩාත් කැපී පෙනුණි. නොනවතින ශබ්දය, ඇඹරුම් ගල් වල අවිවේකී චලිතය, සෑම පෘෂ්ඨයක්ම මෘදු බවට පත් කරමින්, මකුළු දැල් වලට පවා විල්ලූද පෙනුමක් ලබා දෙමින් ඇද හැලෙන පිරිසිඳු සුදු පිටි; මේ සියල්ල විසින් මැගී සැමදා අත් විඳින ජීවිතයෙන් පරිබාහිර වූ වෙනමම කුඩා ලෝකයක් බවට මෝල පත් කරන ලදි.
මෝල තුළ වඩාත් ඇගේ සිත් ගත් ස්ථානය වූයේ ඉරිඟු ගබඩාවයි. එහි කඳු ගසා ඇති විශාල ධාන්‍ය ගොඩවල් මත නැගී පහතට ලිස්සා ඒමට හැකි වීම එයට හේතුවයි. තම තොරතෝංචියක් නැති කතා අසා සිටීමට ඕනෑම වේලාවක සූදානම් ලූක් මාමා සමග කතා කරමින් එය සිදු කිරීම ඇගේ පුරුද්ද විය. මෙදිනද එසේ ධාන්‍ය කන්දක් මත සිට ලිස්සා එන අතරේ ඇය කතා කළාය. "මං හිතන්නේ ඔයා බයිබලේ ඇරෙන්න වෙන පොතක් කියවලාම නැතුව ඇති, නේද ලූක් මාමේ?"
"නෑ පුංචි නෝනා - ඒකත් එච්චර කියවලා නෑ," ලූක් අවංකව කීවේය. "මං එච්චර කියවන්න කැමති කෙනෙක් නෙවෙයි."
"හනේ, ඔයත් මගේ අයියා වගේමනේ ලූක් මාමේ," මැගී කරුණාවෙන් කීවාය. "අයියත් පොත් කියවන්න කැමතිම නෑ. මං එයාට හරිම ආදරෙයි ලූක් මාමේ - මේ ලෝකෙ වෙන කාටවත් වඩා. ලොකු උනාම මං තමයි එයාගෙ ගේ බලාගන්නෙ. අපි හැම වෙලේම එකටම ඉන්නවා. එයා දන්නෙ නැති හැම දේම එයාට කියලා දෙන්න මට පුළුවන්. පොත් වලට කැමති නැති උනාට එයා හරි නුවණක්කාරයි. එයා හාවන්ට ලස්සන ගෙවල් හදලා දෙනවා."
"ආහ්," ලූක් මාමා කීවේය. "ඒත් හාවො ටික ඔක්කොම මැරිලා බව දැනගත්තොත්නං එයාට බොහොම තරහා යයි."
"මැරිලා!" ධාන්‍ය ගොඩ මතින් බිමට පනිමින් මැගී කෑ ගැසුවාය. "අනේ ලූක් මාමේ - අයියා කියලා ගියේ මට උන්ව බලාගන්න කියලා, මට අමතක උනා. එයාට මාත් එක්ක හොඳටම තරහා යයි, මං දන්නවා. මට හරි දුකයි එයාගෙ හාවො ගැන. අනේ මං දැන් මොකද කරන්නෙ?"
"ඒ ගැන ඒ හැටි හිතන්න එපා පුංචි නෝනා," ලූක් මාමා ඈ අස්වැසුවේය.
නමුත් මැගීට ඒ ගැන නොසිතා සිටීමට නොහැකි විය. ටොම් පැමිණෙන මොහොතේ කරත්තය දොරටුව වෙත එන තෙක් බලා සිටින මව අසළට වී සිටි මැගීගේ හදවත සතුටිනුත්, වරදකාරී හැඟීමෙනුත් යුතුව වේගයෙන් ස්පන්ධනය වෙමින් තිබුණි. ටුලිවර් මහත්මිය දෑත් විදහා බලා සිටියාය; මැගී එක් කකුලකින් අනෙක් කකුලට සිරුරේ බර මාරු කළාය; ඒ අතර කරත්තයෙන් බට ටොම් පුරුෂයන්ට ආවේණික වූ නිහඬ බවක් පළ කරමින් පවුලේ සුරතලා දෙස බලා, "කොහොමද යැප්! කොහොමද සැප සනීප?" යැයි පැවසුවේය.
එසේ වුවද ඔහු වැළඳගැනීම් හා හාදු වලටද රිසි සේ ඉඩ දුන්නේය. දොළොස් වැනි විය පසු කරමින් සිටි ටොම් ද එංගලන්තයේ අනෙකුත් සාමාන්‍ය පිරිමි දරුවන් මෙන් පාත්ත පැටවෙකුගේ පෙනුමින් යුතු විය: ලා දුඹුරු පැහැති හිස කෙසින්, රෝස පැහැය මුසු වූ කම්මුල්, පිරුණු තොල්, තියුණු බවින් තොර නාසය සහ දෙබැමින් යුතු කොළු ගැටයෙකි. තලෙළු පැහැති සමෙන් හා කළු හිස කෙස් වලින්ද, කළු දීප්තිමත් දෑස් වලින්ද යුතු වූ මැගීට වඩා ඔහුගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් විය.
"මැගී," මව ඔහුගේ ගමන් බෑගය අස් කරන්නට පිටව ගිය විගස ටොම් රහසින් සිය සොයුරිය ඇමතුවේය. "ඔයා දන්නෙ නෑනෙ මගෙ සාක්කුවෙ තියෙන්නෙ මොනවද කියලා!" ඔහු සිය දකුණු පස සාක්කුවේ වූ යමක් අඩක් පිටතට ඇද්දේය.
"මොකද්ද ඒ?" මැගී කොඳුරමින් ඇසුවාය. "මට කහපාට මොකද්ද එකක් විතරයි පේන්නේ."
"මේ, ඒක අළුත්ම... හිතන්න මැගී!"
"අනේ මට බෑ අයියේ," මැගී නො ඉවසිලිමත්ව කීවාය. "මට ඕවා හිතන්න බෑ. කියන්න මට."
"හරි, එහෙනං - " ටොම් කීවේය. " - ඒක අළුත්ම යොතක් - අළුත්ම දෙකක් - එකක් ඔයාට මැගී, තනිකරම ඔයාට. මං ඉඟුරු පාන්වත් ටොෆීවත් ගත්තෙ නෑ සල්ලි ඉතුරු කරගන්න ඕන නිසා. මෙන්න කොකුත් තියෙනවා. අපි වට පොකුණ දිහාවට හෙට මාළු බාන්න යමු. ඔයාටම පුළුවන් මාළු බාන්න එතකොට, බිලී කොක්කට ඇම අමුණන්න, ඒ හැම දෙයක්ම - හොඳයි නේද?"
මැගී පිළිතුරු ලෙසින් ඔහුගේ ගෙල වටා දෑත් යවා ඔහුව වැළඳ ගත්තාය. නමුත් එයින් ඉක්මණින්ම මිදුණු ටොම් නො ඉවසිලිවත්ව කතා කළේය. "දැං ඇතිනේ, යමු - මට මගෙ හාවො ටික බලන්න ඕනේ."
මැගීගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. සත්‍යය එක්වරම හෙළි කරන්නට බිය වූ මැගී ඔහුගේ සිතේ ඇති විය හැකි සන්තාපයත් කෝපයත් හැකිතාක් අවම වන ලෙසින් ඒ ගැන පවසන්නේ කෙසේදැයි කල්පනා කරමින් ඔහු පසුපසින් ගෑටුවාය. අන් කිසිම දෙයකට වඩා ඇය ඔහුගේ කෝපයට බිය වූවාය.
"අයියේ," ඇය බයාදු ලෙස කතා කළාය. "ඔයා ඒ හාවන්ට කොච්චර සල්ලි ගෙව්වද?"
"පැන්ස හැට හයයි," ටොම් නොපැකිලිව පිළිතුරු දුන්නේය.
"මං හිතන්නෙ උඩ තට්ටුවෙ මගෙ කැටේ ඊට වඩා සල්ලි ඇති. මං අම්මට කියන්නං ඒක ඔයාට දෙන්න කියලා."
"ඒ මොකටද?" ටොම් ඇසුවේය. "මට ඔයාගෙ සල්ලි එපා පිස්සියේ. ඔයාට වඩා ගොඩක් සල්ලි මට තියෙනවා, මං කොල්ලෙක්නේ."
"හරි, ඒත් අයියේ - මගේ කැටෙන් පැන්ස හැට හයක් අරන් ඔයාට දෙන්න අම්මා ඉඩ දුන්නොත් ඔයාට ඒකෙන් තව හාවො ගන්න පුළුවන්නේ."
"තව හාවෝ?" ගැටළු සහගත හඬින් සොයුරා ඇසුවේය. "මට තව හාවො ඕනෙ නෑ."
"අනේ අයියේ ඒත් - ඒගොල්ලො ඔක්කොම මැරිලා!" මැගී අඳෝනා නැගුවාය.
වහාම සිය ගමන නතර කළ ටොම් මැගී වෙත හැරුනේය. "ඔයා අමතක කළා නේද ඒගොල්ලන්ට කෑම දෙන්න!?" කෝපයෙන් මුහුණ රතු කරගනිමින් ඔහු ඇසුවේය. "හරි එහෙනං මැගී. හෙට ඔයා මා එක්ක මාළු බාන්න යන්නෙ නෑ. මං ඔයාට කිව්වෙ දවස ගානෙ ගිහිං ඒගොල්ලො ගැන බලන්න කියලා." ඔයු යළි ගමන ඇරඹුවේය.
"ඔව්, ඒත් මට අමතක උනා - අනේ මං ඒ ගැන මොනවා කරන්නද අයියේ. මට හරිම දුකයි," දෑසින් වේගයෙන් කඳුළු ගලා එන අතරේ මැගී කීවාය.
"ඔයා මහ නරක ගෑණු ළමයෙක්!" ටොම් සැරෙන් කීවේය. "මං අපරාදෙ ඔයාට අළුත් යොතක් ගෙනාවෙ. මං ඔයාට ආදරේ නෑ!"
"අනේ අයියේ, එහෙම කියන්න එපා," මැගී වැළපුණාය. "ඔයාට මොනවා හරි අමතක උනානං එහෙම මං ඔයාට සමාව දෙනවා - ඔයා මොනවා කළත් මං ගණං ගන්නෙ නෑ - මං ඔයාට සමාව දීලා ඔයාට ආදරෙන් ඉන්නවා." ඉකි ගසා වැළපෙමින් ඔහුගේ අතේ එල්ලූණු ඇය කඳුලෙන් තෙත් වූ සිය කම්මුල ඔහුගේ උරහිසේ රැුඳවූවාය. "අනේ මා එක්ක තරහා වෙන්න එපා අයියේ, මට එහෙම ඉන්න බෑ."
නමුත් ඈ වෙතින් මිදුණු ටොම් නැවත කතා කළේය, "ඔයා හරිම නරකයි, හෙට ඔයා මාළු බාන්න යන්නෙ නෑ." එම අවසන් නිවේදනයෙන් පසුව ටොම් ඇගෙන් ඉවත් වී මෝල වෙත දිව ගියේය.
ඉකි ගැසීම ඇරෙන්නට වෙනත් කිසිඳු හැලහොල්මනක් නොමැතිව මැගී එලෙසම විනාඩියක් හෝ දෙකක් සිටගෙන සිටියාය; අනතුරුව ආපසු හැරී නිවෙස තුළට දිව විත් සෝල්දරයට නැගගත් ඇය බිම වාඩි වී රාක්කයකට හිස හේත්තු කරගත්තේ හදවතේ නැගි වේදනාවෙන් මහත් සේ පීඩා විඳිමිනි. අයියා ඇයට ආදරය කරන්නේ නැතිනම් වෙනත් කිසිවකින්වත් වැඩක් නැත. ඔහු කතා කළේ කෙතරම් නපුරු ලෙසින්ද! ඇය තමන් බොහෝ සෙයින් දුක් වන බව පැවසුවා නොවේද. ඇය මුදල් පවා දෙන්නට සූදානම් වූවා නොවේද. ඇය කිසි දිනෙක හිතා මතා ඔහුට හිතුවක්කාර වන්නේ නැත.
"අනේ එයා හරි නපුරු වෙලා!" මැගී හඬ නගා වැළපුනාය. දිගු වේලාවක් ගත වන තුරු එසේ වැළැපුණු ඇයට තමා සෝල්දරය මත පැය ගණනක් ගෙවා ඇති බව හැඟුණි. ඔවුන් සියල්ලන්ම තමා අමතක කොට සවස තේ මේසය රස විඳිනවා විය යුතුය. එසේනම් තමා මෙලෙසින්ම හාමත් වන තුරු සිටිය යුතුය. එවිට ඔවුන් සියල්ලන්ම බිය වනු ඇත. අයියාට දුක සිතෙනු ඇත.
නමුත් මැගී ගැන හා තම කෝපය නිසා ඇය පත්වන්නට ඇති අසරණ බව ගැන සිතන්නට ඉස්පාසුවක් නොලැබෙන තරමට ටොම් ලූක් සමග කතාබහේ නියැලී සිටියේය. ඔහු තේ පානය සඳහා නිවෙස තුලට ගිය මොහොතේ මවත් පියාත් දෙදෙනාම එක වර කතා කළෝය. "කෝ පොඩි කෙල්ල?" පියා ඇසුවේය. "කෝ ඔයාගෙ නංගි?" මව ඇසුවාය. ඔවුන් දෙදෙනාම සිතා සිටියේ ටොම් සහ මැගී මුළු හවස් වරුවම එක්ව හිඳින්නට ඇති බවය.
"මං දන්නෙ නෑ," ටොම් කීවේය. ඔහු මැගී සමග කෝපයෙන් සිටියද ඈ පිළිබඳව කේලාම් කීමට ඔහු කැමති නොවීය.
"එයා මෙච්චර වෙලා ඔයා එක්ක නෙවෙයිද හිටියෙ?" පියා ඇසුවේය.
"මං එයාව පැය දෙකකින් විතර දැක්කෙ නෑ," කේක් කැබැල්ලක රස බලන්නට පටන්ගන්න අතරේ ටොම් කීවේය.
"දෙයියනේ! එයා වතුරෙ ගිලිලා ඇති!" යැයි එක්වරම මුර ගෑ ටුලිවර් මහත්මිය අසුනින් නැගිට ජනේලය වෙත දිව ගියාය.
"නෑ නෑ, එයා ගිලිලා නෑ!" ටුලිවර් මහතා කීවේය. "ඔයා එයාට නපුරු වෙන්න ඇති, එහෙම නේද ටොම්?"
"නෑ තාත්තේ," ටොම් කුපිත ස්වරයකින් කීවේය. "මං හිතන්නෙ එයා ගේ ඇතුලෙම ඇති."
"සෝල්දරේ වෙන්න ඇති එහෙනං," ටුලිවර් මහත්මිය කීවාය.
"ගිහිං එයාව එක්ක එන්න ටොම්," ටුලිවර් මහතා තියුණු හඬකින් කීවේය. කොලූවා ‘පොඩි එකිය‘ට නපුරු නොවුණානම් ඈ කෙලෙසකවත් ඔහු අසළින් ඈතට නොයන බව පියා දැන සිටියේය. "එයාට හොඳින් කතා කරන්න, ඇහුණද?"
ටොම් කිසි විටෙක සිය පියාට අකීකරු නොවුණේය. නමුත් ඔහු සිය කේක් කැබැල්ලත් රැුගෙන නැගිට ගියේ අලස ලීලාවකිනි.
තරප්පු පෙළ මත ටොම්ගේ පා හඬ ඇසෙන්නට වූ මොහොතේ බලාපොරොත්තුවෙන් පිරුණු මැගීගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. නමුත් ඔහු ඉහළම පඩිය මත නතර වී කතා කළේය, "මැගී, අන්න ඔයාට අඬගහනවා."
ඔහු වෙත දිව ගිය ඇය ඉකි ගසමින් ඔහුගේ බෙල්ලේ එල්ලූනාය. "අනේ අයියේ, මට සමාවෙන්න - මට ඒක ඉවසගන්න බෑ - මං හැමදාම හොඳ ළමයෙක් වෙන්නං - ආයෙ කිසිම දෙයක් අමතක කරන්නෙ නෑ. අනේ මට ආදරෙයි නේද අයියේ?"
ඇය මට්ටු වන තුරු දඬුවම් දීමට අදිටන් කරගෙන සිටි සිතුවිලි අමතක කර දැමූ ටොම් ඇයට හාදුවක් දී, "අඬන්න එපා මැගී - මෙන්න, කේක් කෑල්ලක් කන්න," යැයි කීවේය.
මැගීගේ ඉකි ගැසීම් අඩු වූ අතර ඇය මුව විවර කර කේක් කැබැල්ලක් කෑවාය; ඇයට සහය පළ කරමින් ටොම් ද කටක් කෑ අතර සුරතල් පෝනි පැටවුන් දෙදෙනෙකු මෙන් එකිනෙකාගේ කම්මුල් හා නාසයන් එකිනෙක අතුල්ලමින් ඔවුහු කේක් කැබැල්ල එක්ව රස වින්දෝය.
"එන්න මැගී, තේ බොන්න යමු," කේක් කැබැල්ල අවසන් වූ මොහොතේ ටොම් කීවේය.
එලෙසින් එදින සියලූ සන්තාපයන් නිමාවට පත් වූ අතර පසු දින උදෑසන බිලී පිත්ත එක් අතෙකින්ද, කූඩයේ එක් අණ්ඩක් අනෙක් අතින්ද රැගත් මැගී තමාට අඩිය තැබිය හැකි වූ සෑම මඩ වලකටම අඩිය තබමින් ඇවිද ගියේ සිත පුරා පැතිරුණු ප‍්‍රීතියකින් යුතුවය. ඇම ලෙසින් ගන්නා පණුවන්ට කිසිවක් නොදැනෙන බවට සොයුරා දුන් සහතිකය ඇය විශ්වාස කළද සිය බිලී කොකු වලට ඇම ඇමිණීමද මැගී ඔහුටම බාර කළාය. (පණුවන් පිළිබඳව සත්‍ය තත්ත්වය එසේ නොවූවද ඒ පිළිබඳව එතරම් ගණන් ගත යුතු නැති බව ටොම්ගේ පෞද්ගලික මතය විය.)
එය ඔවුන්ගේ ප‍්‍රීතිමත් උදෑසන වලින් එකක් විය. අරමුණක් නැතිව ඇවිද ගොස් එක්ව හිඳගෙන සිටින අතරේ අනාගතයේ තම ජීවිත මෙයට වඩා බොහෝ සෙයින් වෙනස් වනු ඇති බවට කිසිඳු සිතිවිල්ලක් ඔවුන් තුළ නොවීය; ඔවුන් වැඩිවියට පත් වී පාසැල් ගමන නතර වනු ඇති අතර සෑම දිනක්ම නිවාඩු කාලයට අයත් වනු ඇත; ඔවුන් සැමදා එකිනෙකාට ආදරයෙන් හිඳිනු ඇත.
නමුත් සත්‍ය වශයෙන්ම ටොම්ගේ හා මැගීගේ ජීවිත බොහෝ වෙනස්කම් වලට බඳුන් විය; එසේ වුවද, මෙම බාල වියේ මුල් බැසගත් ආදරය සහ සිතුවිලි ඔවුන්ගේ ජීවිත තුළ කොටසක් වනු ඇති බවට ඔවුන් තබාගත් විශ්වාසය කිසිදා වෙනස් නොවීය.
සැම දෙයක්ම සක්සුදක් සේ දත්, එම දන්නා බව නිසාම අපගේ සිත් තදින් වැළඳගත් ඒ සොඳුරු ඒකාකාරිත්වය තරම් අගනා නව්‍යතාවයක් කොහිද?
- මතු සම්බන්ධයි -

පරක්කු වෙලා ආව හිංදා එක දිගට කියවන්න හම්බුනා.
ReplyDeleteමැගී නම් කියවන ඇස් වලට කඳුළු අරං එනවා ,
ඊලඟ කොටස එනකල් බලං ඉන්නව ..
අති විශිෂ්ටයි!!
ගොඩාක් ස්තූතියි කසුන්! :) තව ඉස්සරහට ඔයා මැගීට ආදරේ කරන්නත් පටන්ගනියි, ඔන්න බලන්නකෝ. :)
Deleteදැනටමත් ආදරේ හිංද තමයි දුක හිතෙන්නේ :)
Deleteබොහෝම අපූරුයි.... ඊලඟ කොටස කියවනකල් ඉවසුමක් නෑ...
ReplyDeleteස්තූතියි නංගි. ඉක්මණට දාන්නම්කෝ ඉතුරු කොටස. :)
Deleteකොටස් දෙකම අද එක විට කියවූවා.
ReplyDeleteඅපුරුයි.
ගොඩාක් ස්තූතියි මනෝජ්! :)
Deleteහරි අපූරු කතාවක් වගේ.
ReplyDeleteකතාවනම් ඇත්තෙන්ම අපූරුයි. මගේ පරිවර්තනේ තමයි අවුල්. :/
Deleteමගේ ආදරණීය යාළුවන්ගෙන් සමාව ඉල්ලන්න කාරණාවක් තියෙනවා. මේ කොටසේ අන්තිම වාක්‍යය මගේ අතින් පරිවර්තනය වෙලා තිබුණේ අර්ථය සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙන විදිහට. ඒ වැරැද්ද පෙන්නලා දුන්න රවි අයියාට ගොඩක් ස්තූතියි. ඉංග්‍රීසි පොතේ ඒ වැකිය සඳහන් වෙන්නේ මේ විදිහට.
ReplyDeleteWhat novelty is worth that sweet monotony where everything is known, and loved because it is known?
එහි නිවැරදි පරිවර්තනය දැන් මම එකතු කළා, වැරදි කොටස අයින් කළා. මුළින් කියවපු මගේ යාළුවන්ට වෙච්ච අසාධාරණයට සමා වෙන්න.
ඔන්න සමාව දුන්නා.
Deleteආ, එහෙම පොඩි පොඩි බයි මිස්ටේක් ගනන් ගන්ට එපා..
Deleteඊවන් එලිපන්ට් ඩයි විත් ටේල්ස් ඉන්ටැක්ට් ඉන් ග්‍රේට් ෆොරස්ට්ස් නෝ?