වෝල්ටර් ස්ටෙලිං පූජකවරයා යටතේ කිංස් ලෝටන් හි ගෙවුණු ටොම් ටුලිවර්ගේ පළමු පාසැල් වාරය එතරම් සතුටුදායක නොවීය. ඔහු පෙරදී ගිය පාසැලේ සෙල්ලම් කිරීමට ඕනෑ තරම් මිතුරන් සිටි අතර, සෑම ක‍්‍රීඩාවකින්ම දස්කම් පෑ මිත‍්‍රශීලී බවින් යුතු වූ ටොම් සෑම දෙනාම අතර ජනප‍්‍රියත්වයට පත්ව සිටියේය. නමුත් මෙම කිංස් ලෝටන් පාසැලේ වෙනත් කිසිම සිසුවෙකු නොවූ අතර ටොම් බොහෝ විට කල් ගත කළේ පාළුවෙනි. ඔහුගේ පාඩම් කටයුතු වලදී ඔහු එතරම් දස්කම් නොපෑ අතර, ස්ටෙලිං පූජකතුමාගේ ක‍්‍රමවේදයන් ඇතැම්විට වටහාගැනීමට අපහසු බවක් ඔහුට දැනුණි. වෝල්ටර් ස්ටෙලිං පූජකවරයා අධ්‍යාපන ක්ෂෙත‍්‍රයේ නමක් ගොඩ නගාගැනීමේ සැබෑ අධිෂ්ඨානයකින් පසු වූ අතර එහි මූලිකම පියවර වශයෙන් ටොම් ටුලිවර්ගේ පළමු වාරය තුළ ඔහුව දැනුමෙන් හා බුද්ධියෙන් පොහොසත් කිරීමට වෙහෙසුණේය. එම වටාපිටාවෙන්ම තවත් සිසුවෙකු ඔහු වෙත පැමිණීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබූ අතර, ඔහු සිය බිරිඳට රහසෙන් පැවසූ අන්දමට දඩබ්බර කොළුවෙකු වූ ටුලිවර් යෞවනයා කෙටි කළකින් කැපී පෙනෙන සංවර්ධනයක් ලැබුවහොත් එය ස්ටෙලිං පූජකවරයාගේ වාසියට හේතු වනු ඇත. එබැවින් ඔහු ටොම්ගේ පාඩම් පිළිබඳව කටයුතු කළේ රළු, දරදඬු ලීලාවකිනි. නමුත් ස්ටෙලිං පූජකවරයා නිතර කෝපයට පත් වන අකාරුණික තැනැත්තෙකු නොව - සැබැවින්ම එහි විරුද්ධ ගතිගුණ වලින් යුතු වූවෙකු විය: ආහාර ගන්නා අතරතුරේදී ඔහු ටොම් සමග විහිළු කළ අතර, ඔහුගේ පිටිසර ගතිපැවතුම් ඉතාමත් විනෝදකාමී අන්දමින් වෙනස් කළේය. නමුත් ස්ටෙලිං පූජකතුමා වැන්නවුන්ගේ විහිළු තහළු වලට පුරුදු නැති අසරණ ටොම් එයින් තව තවත් අවුලට පත් වූවේය; ජීවිතයේ පළමු වතාවට තමා සම්පූර්ණයෙන්ම වැරදියැයි වේදනා සහගත සිතුවිල්ල ඔහුගේ සිතෙහි පහළ විය. එයින් ඔහු සිටියාටත් වඩා මෝඩයෙකු ලෙසින් පෙනී ගිය අතර ඔහුගේ උනන්දුව සහ අධිෂ්ඨානය මඳ බව ගැන ස්ටෙලිං පූජකවරයා ඔහුට බැරෑරුම් දේශනා පැවැත්වූවේය.
ටොම්ගේ පැත්තෙන් සලකා බැලූ කළ - ඔහු සිය උපරිමයෙන් උත්සාහ කළේය. නමුත් පාසැලේදී ඔහු අත්විඳි ක‍්‍රියාශීලී බව හා සසඳා බැලූ කළ ඔහුට ස්ටෙලිං වරුන් සමග ගෙවන ජීවිතය මහත් සේ නීරස විය. සගයෙකුගේ පැමිණීම ඔහු අපේක්ෂා කළ තරම්! ඔහුගේ යටි සිත මැගීවද එහි ගෙන්වාගැනීමට උවමනාවෙන් සිටි අතර, සැබැවින්ම එම බියකරු සය මස ගෙවී යන්නට පෙර ඇය එහි ආවාය.
ස්ටෙලිං මහත්මිය මැගීට එහි විත් සොයුරා සමග දින කිහිපයක් නතර වීමට ආරාධනා කළ බැවින් ඔක්තොම්බරයේ අග භාගයේදී ටුලිවර් මහතා කිංස් ලෝර්ටන් වෙත එන විට ව්නෝද චාරිකාවක යෙදෙන තරමේ සතුටකින් මැගීද ඔහු සමග ආවාය. ටොම් නිතර නිවස ගැන සිතීමට පෙළඹවීමෙන් වැළැක්විය යුතු බැවින් එය ටුලිවර් මහතා ඔහු දැකීමට පැමිණි පළමු අවස්ථාව විය.
"ඉතිං මගේ කොල්ලෝ," ඔහු ටොම් ඇමතුවේය. ස්ටෙලිං පූජකවරයා ඔවුන්ගේ පැමිණීම ගැන සිය බිරිඳට දැනුම් දීම පිණිස එතැනින් පිටව ගොස් සිටියේය. "ඔයා බොහොම හොඳට ඉන්නවානේ, ඉස්කෝලේ අල්ලලා ගිහින් වගේ."
තමා අසනීප ස්වරූපයකින් සිටියේනම් වඩා අගනේ බව ටොම් කල්පනා කළේය.
"මංනං හිතන්නෙ නෑ මං හොඳින් කියලා තාත්තේ," ඔහු කීවේය. "තාත්තට බැරිද පූජකතුමාට කියන්න මට ඉයුක්ලිඞ් උගන්නන්න එපා කියලා? ඒක මහ දත් කැක්කුම හැදෙන වැඩක්නේ."
"ඉයුක්ලිඞ්? ඇයි ඒ? මොකද්ද ඒ?" ටුලිවර් මහතා ඇසුවේය.
"අනේ මං දන්නෙ නෑ - ඒකෙ තියෙන හැඳින්වීම්, ගැටළු, ත‍්‍රිකෝණ, තව එක එක ජාති. ඒ මට ඉගෙනගන්න තියෙන පොතක්. ඒ උනාට ඒ කිසිම දේක කිසිම තේරුමක් නෑ."
"එහෙම කියන්න එපා!" ටුලිවර් මහතා දිරිගන්වනසුළු හඬකින් කීවේය. "එහෙම කියන එක හොඳ නෑ. ඔයා ඔයාගේ ගුරුතුමා කියලා දෙන දේ ඉගෙනගන්න ඕනේ."
"මං ඔයාට උදව් කරන්නං අයියේ," ලෙංගතු ස්වරයකින් මැගී කීවාය. "මං ආවේ ඕනෙනං ගොඩක් කල් වුනත් මෙහෙ නවතින්න බලාගෙන, ස්ටෙලිං නෝනා ඉන්න කිව්වොතින්."
"ඔයා උදව් වෙයි මට, පුංචි මෝඩි!" ටොම් කොක් හඬලා සිනාසෙමින් කීවේය. ඉයුක්ලිඞ් පොතේ එක පිටුවක් පෙන්නනකල් ඉන්නකෝ කොහොමද බලන්න! "ඔයා මගේ පාඩම් ඉගෙනගන්න හැටි බලන්න මට හරි ආසයි. මං ලතින් බාසාවත් ඉගෙනගන්නවා! ගෑණු ළමයි කවදාවත් ඒ වගේ දේවල් ඉගෙනගන්නේ නෑ. ඒගොල්ලෝ හරිම මෝඩයි."
නමුත් ඔවුන් දෙදෙනාට තව දුරටත් වාද කරගැනීමට ඉඩක් ලැබෙන්නට පෙර ස්ටෙලිං මහත්මිය එහි පැමිණි අතර මැගීට දෙසතියක් සිය සොයුරා සමග නතර වන ලෙස පැවසුවාය. ඒ අනුව, දෙසතියකට පසු මැගීව නැවත කැඳවාගෙන යාමට පැමිණෙන බව පවසමින් ටුලිවර් මහතා තම දරු දෙදෙනාට සමු දී පිටව ගියේය.
"එන්න මාත් එක්ක පාඩම් කාමරේට මැගී," ටොම් කීවේය. "දැං මගේ පාඩම් කරන වෙලාව. මේ බලන්න මට කරන්න තියෙන වැඩ." ඔහු ඇයට සිය ජ්‍යාමිතික සිද්ධාන්ත සහිත පොත පෙන්වන අතරේ ඇය සිය හිසකෙස් දෙකන් පිටුපස රඳවමින් ඔහුට ඉයුක්ලිඞ් පාඩමට සහය වීමට සූදානම් වූවාය. ඇය තම හැකියාවන් පිළිබඳව දැඩි විශ්වාසයකින් එය කියවන්නට පටන් ගත්තද ටික වේලාවකින් කලබලයට පත් වූ ඇගේ මුහුණ නොසන්සුන්ව රත් පැහැයට හැරුණි.
"මේ ඔක්කොම හරිම විකාරයක්නේ!" අය කීවාය. "මෝඩ දේවල් - මේවයින් කියන්නේ මොනවද කියලා දැනගන්න ඕනෙ කාටද!"
"අන්න දැක්කනේ මැගී පුංචි නෝනා!" පොත නැවත අරගනිමින් ටොම් සිනාසෙමින් කීවේය. "පේනවද, ඔයා හිතං ඉන්න තරං නුවණක්කාරියෙක් නෙවේ ඔයා. දැං සද්ද නැතුව ඉඳගෙන ඉන්න, මට වැඩ කරන්න තියෙනවා."
එදින සන්ධ්‍යාව ඔවුන් විසිත්ත කාමරයේ ගත කළ අතර මැගී ස්ටෙලිං පූජකවරයා සමග බෙහෙවින් කුළුපගව කතාබස් කළාය. ඔහු තමාගේ නුවණැති බව අගය කළ බව මැගීට දැනුණද ටොම් ඇගේ බිය නැති බව පිළිබඳව පුදුමයටත් කලබලයටත් පත් වූවේය. කෙසේ හෝ එම දෙසතිය ඉතාමත් ප‍්‍රීතියෙන් ගෙවී ගිය අතර අවසානයේ ලූක් මාමා පැමිණ ඇයව කැඳවාගෙන ගිය පසු (ඒ සඳහා ටුලිවර් මහතාට පමිණීමට නොහැකි විය) ටොම්ට මහත් පාළුවක් දැනුණි.
කෙසේ හෝ අවසානයේදී එම බියකරු සය මස නිමා විය. ශිශිරයේ සීතල සුළඟට පෙර ගස් අතු වල රැඳි තිබූ අවසන් කහ පැහැති පත‍්‍ර සෙලවෙන අන්දම ටොම් බලා සිටියේ කෙතරම් සතුටකින්ද! අඳුරු සන්ධ්‍යාවන් සහ දෙසැම්බරයේ පළමු හිම පතනය අගෝස්තුවේ හිරු එළියට වඩා ප‍්‍රබෝධයක් ඔහු වෙත ගෙන ආවේය.
එසේම නිවස බලා යන ගමන පිළිබඳ උද්‍යෝගයත්, හිමෙන් වැසුණු පාළම මතින් අශ්ව කරත්තය ඇදී යද්දී ඈතින් පෙනෙන නිවසේ සාලයේ කවුළුව තුළින් ගලා එන උණුසුම් ආලෝකය පිළිබඳ මතකයත් ඔහුගේ සතුට වැඩි කළේය. සීතලෙන් මිදී නිවහනේ උණුසුම විඳීමට හැකි වීමද, පවුලේ උදවියගෙන් ලැබෙන හාදු සහ සිනහවන්ද, නත්තල වෙනුවෙන් ඔහුගේත් මැගීගේත් නොයෙකුත් සැලසුම්ද එම සතුටට එකතු විය.
නමුත් නත්තල් දිනයේදී නිවසේ සිටීමට හැකි වීම පිළිබඳව ටොම්ගේ ප‍්‍රීතිය එසේම වුවද, පෙර නත්තල් දිනයන්හිදී නිවසේ වූ සතුට මෙවර එලෙසින්ම නොමැති බවක් ඔහුට දැනුණි. හෝලි පත‍්‍ර මත සුපුරුදු ලෙස රත් පැහැති බෙරි ගෙඩි කැපී පෙනුණි; නත්තලට පෙර සන්ධ්‍යාවේ ඔහුත් මැගීත් ජනේල සියල්ලක්මද, ගිනි උඳුනද, පින්තූර රාමුද හෝලි හා අයිවි පත‍්‍ර වලින් සැරසූහ. රෝස්ට් කළ කළුකුම් මස් ප‍්‍රණීත රසයෙන් යුතු වූ අතර මිදි හා මුද්දරස්පලම් යෙදූ නත්තල් පුඩිම සුපුරුදු හුරුබුහුටි වටකුරු බවින් යුතු විය.
නත්තල සැමදාම පැවැති අංගයන්ගෙන් යුතු වුවද ටුලිවර් මහතා එසේ නොවීය. ඔහු කෝපයෙන් පසු වූ අතර ඔහුගේ නොරිස්සුම් සහගත කතාබහ අඬදබර වලට කැමත්තක් නොදැක්වූ ටොම්ව අපහසුවට පත් කළේය.
ටුලිවර් මහතාගේ මෙම නොරිස්සුම් සහගත බවට හේතු වී ඇත්තේ ගංගාවේ ඉහළින් ඒ ආසන්න දිනකදී ඉඩමක් මිළට ගත් පිවාර්ට් නැමැත්තෙකු රිප්ල් ගංගාවේ ජලය යොදාගෙන එය අස්වද්දන්නට සූදානම් වීමයි. එය තම තිරිඟු මෝලේ ක‍්‍රියාකාරීත්වයට මහත් සේ බලපානු ඇති බවට දිවුරන ටුලිවර් මහතා අවශ්‍ය වුවහොත් නඩු මගට බැසීමට පවා සූදානමින් සිටියේය. ඔහු නොනවත්වාම ඒ ගැන අවලාද නගමින් හා සාකච්ඡා කරමින් සිටියේය. මෙම නත්තල් දිනයේදී ඔහුට සිය මස්සිනා වූ තිරිඟු මෝල් පිළිබඳව කිසිවක් නොදත් මොස් මහතා හැරෙන්නට වෙනත් වැඩිහිටි පිරිමි අමුත්තෙක් සිටියේ නැත. ඔහුටද, ටුලිවර් මහතා පවසන දෑ සමගින් එකඟ වනවා හැරෙන්නට වෙනත් කරන්නට දෙයක් තිබුණේ නැත. එසේ කිරීම ආචාරශීලී වනු ඇති බව ඔහුට සිතුණි. මොස් මහතාත්, ටුලිවර් මහතාගේ සොයුරිය වූ ඔහුගේ බිරිඳත් නත්තල් දිනය ඩෝල්කොට් මෝලේ ගත කිරීමට පැමිණ සිටි අතර ප‍්‍රණීත භෝජනයකට පසුව ඇති වන නිදිබර ගතිය පලවා හරිමින් දෑස් විවර කරගෙන සිටීමට මොස් මහතා දැඩි වෙහෙසක් දැරුවේය. නමුත් සිය සොයුරාට බලපෑ සෑම දෙයක් කෙරෙහිම අවංකවම උනන්දු වූ මොස් මහත්මිය ඔහුට සවන් දී සිටි අතර ඉඳහිට තමාගේ අදහස්ද ප‍්‍රකාශ කළාය.
"පිවාර්ට් කියන්නේ මේ පැත්තට අළුත් නමක් නේද අයියේ?" ඇය ඇසුවාය. "තාත්තාගෙ කාලෙවත්, මං බඳින්න කළින්වත් එහෙම කෙනෙක් මේ පැත්තේ හිටියේ නෑ."
"අළුත් නමක්? ඒක අළුත් නමක් නේන්නං," ටුලිවර් මහතා කුපිත වූ ස්වරයකින් කීවේය. "ඩෝල්කොට් මෝල අපේ පවුලට අයිති වෙලා තිබුණේ අවුරුදු සීයකටත් එහා ඉඳලා. ඒ කාලෙ ඉඳං කවුරුවත් අහලා තිබ්බද මේ පිවාර්ට් කෙනෙක් ඇවිල්ලා අපේ ගඟත් එක්ක පැටලෙන්න යනවා කියලා? මේ මිනිහා තමයි මේ බින්කොම්ගේ ගොවිපොළ අරගෙන දැං ඇවිල්ලා ඉන්නේ. මං පෙන්නන්නංකෝ උන්දැට මං කවුද කියලා!" ඔහු එකතු කළේය.
"අයියට ඒ මිනිහත් එක්ක නඩු කියන්න යන්න වෙන එකක් නෑ නේද?" මොස් මහත්මිය තැවුල් සහගත හඬින් ඇසුවාය.
"මට මොනවා කරන්න වේවිද කියලා මං දන්නෙ නෑ. ඒත් ඒ මිනිහට මොනවා කරන්න වේවිද කියලනං මං දන්නවා, ඔය හදන්න හිතං ඉන්න ඇළ වේලිත් එක්ක! ඕක පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා මං හොඳට දන්නවා; වැකම් තමයි ඔය මිනිහට උදව් කරන්නේ. වැකම් කියලා ඇති නීතියෙන් ඔය ගැන මුකුත් කරන්න බෑ කියලා, ඒත් වැකම්ට වඩා නීතිය ගැන කතා කරන්න දන්න මිනිස්සු ඉන්නවා. අනික වතුර කියන්නේ බොහොම විශේෂ දෙයක්. වතුර ගැන තියෙන හරි වැරැද්ද බොහොම පැහැදිලියි; ගඟක් කියන්නේ ගඟක්, කෙනෙකුට මෝලක් තියෙනවනං ඒක වැඩ කරවගන්න වතුර ඕනේ. පිවාර්ට්ගේ කාණුයි අනිත් විකාරයි වලිං මගේ මෝල නවතින්නේ නෑ කියලා කවුරුවත් මට කියන්න ආවට වැඩක් වෙන්නෙ නෑ: ඒ ගැන මං ඊට වඩා හොඳට දන්නවා. පිවාර්ට්ගේ බැම්ම හින්ද මට පාඩු වෙනවා කියන එක සාමාන්‍ය බුද්ධිය තියෙන ඕන කෙනෙකුට තේරෙන දෙයක්."
පසුව, පවුල් දෙකේ කාන්තාවන් දෙදෙනා තනි වූ මොහොතක, "අයියා මේ වතුර ප‍්‍රශ්නේ නිසා හරි හිත් අමාරුවෙන් ඉන්න එක ගැන මට දුකයි," යැයි මොස් මහත්මිය ටුලිවර් මහත්මියට කීවාය.
"ඒ ඉතිං ඔයාගෙ අයියගේ හැටිනේ," ටුලිවර් මහත්මියගේ කටහෙඬ් සියුම් දෝෂාරෝපණයක්ද ගැබ්ව තිබුණි.
"එයා නඩු කියන්න යන එකක් නෑ කියලා මං හිතනවා," මොස් මහත්මිය කීවාය. "ඒවා කොහෙන් කෙළවර වෙයිද කියලා කවුද දන්නේ. අනික හැම වෙලාවෙම හරි පැත්ත දිනන්නෙත් නෑ. මේ පිවාර්ට් කියන්නේ පෝසතෙක් මං හිතන්නේ, ගොඩක් වෙලාවට සල්ලි තියෙන කෙනාට ඕන විදිහටයි වැඩ සිද්ද වෙන්නේ."
"අනේ මන්දා, දැං අපිට උදේ නැගිට්ට වෙලාවේ ඉඳං රෑට නිදාගන්න යනකල් නීතියයි, කාණු අගල් ගැනයි ඇරෙන්න වෙන මුකුත් ඇහෙන්නේ නෑ," ටුලිවර් මහත්මිය කීවාය. "මං ඒවාට විරුද්ධව මුකුත් කියන්නෙ නෑ. මං කියන්නේ - ඔයාට ඕනෙ දෙයක් කරගන්න මහත්තයෝ. ඒ මොනවා කළත් නඩු කියන්නනං යන්න එපා - කියලයි."
අප පෙරදී දුටු පරිදිද, ටුලිවර් මහත්මිය ඇගේ සැමියා කෙරෙහි කිසිදු බලපෑමක් නොකළ තැනැත්තියක නොවීය. කිසිදු කාන්තාවක් එසේ නොමැත; ඇය ඔහු ලවා තමාට උවමනා දෙය කරගනු ඇත, එසේ නැතහොත් හාත්පසින්ම එයට විරුද්ධ දෙය කරගනු ඇත. ටුලිවර් මහත්මියගේ නොනවතින අයැදුම් නිසැකවම ටුලිවර් මහතා ඉක්මණින්ම නඩු මගට බැසීමට යම් තරමකින් හෝ හේතු වන්නට ඇත. එය ඇතැම් විට, පෙර ගොඩ ගසා තිබූ පිදුරු බරින් පීඩා විඳිමින් සිටි ඔටුවාගේ කොන්ද කැඞීමට සමත් වූ පිදුරු ගසට සමාන කළ හැකි වනු ඇත.
නමුත් ඔහුගේ බිරිඳ සමග ඒ පිළිබඳව එක එල්ලේ ඇති වූ විවාදයක් වුවද, සෑම පොළ දිනකදීම දකිනා වැකම්ගේ දසුනින් ඇති වන කෝපය තරම් ටුලිවර් මහතාව නීතිය දෙසට තල්ලූ නොකරනු ඇත. ඔහු දැන සිටි අන්දමට සිය ඉඩම සඳහා ගංගාවෙන් ජලය ලබා ගන්නා ලෙස පිවාර්ට්ට උපදෙස් දී ඇත්තේ වැකම් ය. පෙර පැවති නඩු හබ වලදී ටුලිවර් මහතාට වැකම්ගෙන් බොහෝ කරදර සිදුව ඇත. සෑම නීතීඥයෙකුම අඩු වැඩි වශයෙන් අධමයෙකු වන බව ඔහු සැලකූ අතර වැකම් ඒ සැවොම අතරින් ලොකුම අධමයා විය. මෙම දුරස් බව තව තවත් වැඩි කරලමින් ඒ ආසන්න දිනකදී පවුම් පන්සියයක් ණයට ගැනීමට සිදු වූ ටුලිවර් මහතාට එම කටයුතු වැකම්ගේ කාර්යාලය හරහාම කරගැනීමට සිදු විය.
සතියෙන් සතිය ගෙවී යද්දී පිවාර්ට් හා වැකම් කුළුපග මිතුරන් බව සනාථ වන සාධක සෑමවිටෙකම හමු වන බවක් පෙනී ගියේය.
එබැවින්, නිවාඩුව අවසන් වීමට ආසන්න දිනකදී ටොම් බලාපොරොත්තු සහගතව සිය පියා ඇමතුවේය, "තාත්තේ, ග්ලෙග් මාමා කිව්වා වැකම්ගේ පුතාවත් ස්ටෙලිං පූජකතුමා ලඟට එවන්න ලෑස්ති වෙනවා කියලා. වැකම්ගේ පුතා යන ඉස්කෝලෙටම මාවත් යවන්න තාත්තා කැමති නෑ නේද?"
නමුත් ඔහුගේ බලාපොරොත්තු සුන් විය. "ඒකට කමක් නෑ මගෙ කොල්ලෝ," ටුලිවර් මහතා කීවේය. "එයාගෙන් නරක දේවල් මුකුත් ඉගෙන නොගෙන ඉන්න, එච්චරයි. ඒ කොල්ලා අංග විකලයි. එයා තාත්තා වගේ නෑ එච්චරම. වැකම් තමුන්ගේ පුතාවත් එතනට එවනවා කියන්නේ ස්ටෙලිං පූජකතුමා හොඳයි කියලා මිනිහත් හිතනවා. බලාගෙන ගියාම මිනිටත් මොළේ තියෙනවා."
වැකම්ගේ පුත‍්‍රයාට ලැබෙන දේ එලෙසින්ම තම පුත‍්‍රයාටත් ලබාදීමට හැකි වීම ගැන ටුලිවර් මහතා සැබැවින්ම ආඩම්බර වූ නමුත් ටොම්නම් ඒ ගැන කිසිසේත්ම සතුටු නොවීය. නීතීඥයාගේ පුත‍්‍රයා ආබාධිතයෙකු නොවුයේනම් කටයුතු එයට වඩා පහසු වනු ඇත; එසේ වූයේනම් ටොම්ට ඔහු හා උරෙනුර ගැටී තරඟ කරන්නට තිබිණ. එසේ වූයේ නම් ධාවන තරඟ හෝ සටන් ආදියෙන් තමාද වැකම්ට නොදෙවෙනි බව ඔප්පු කරන්නට හැකි වනු ඇත; නමුත් පාඩම් කටයුතු සම්බන්ධයෙන්නම් එවැනි විශ්වාසයක් අසරණ ටොම් තුළ තිබුණේ නැත.
- මතු සම්බන්ධයි -

සමහර ගුරුවරුන්ගේ විහිළු වලට මේ ලෝකෙ එකෙක්ට හිනා යන්නෙ නෑ.මාත් ටික කාලයක් ගියා එහෙම කෙනෙක්ගෙ ක්ලාස් එකාකට, මොනව හරි කියල තනියම හිනා වෙලා අන්තිමට පලුයනකං බනිනව කවුද දන්නෙ ඒවා විහිළු කියල :)
ReplyDeleteඒ මොකද බණින්නෙ? ළමයි ටික හිනා වුනේ නෑ කියලද? :D
Deleteඉස්සරහට හොඳ හොඳ වලිත් බලාගන්න පුලුවන් වෙන හැඩයි.
ReplyDeleteවලිත් නැත්තෙම නෑ ඉතිං, අපි බලමුකො. :D
Deleteනඩු හබ වලට නම් පැටලෙන්න එපා ටුලිවර් මහත්තයෝ.ඔය ඉඩම් නඩු එහෙම සෑහෙන කල් ඇදෙනවා...ලු..:D
ReplyDeleteඅසරණ ටොම්ගේ උපායත් වැරදුනා එහෙනම්.
ඒකනෙ. ටොම් පව් අප්පා. මේ ජෝර්ජ් එලියට් නෝනා මැගී ගැන වගේ ලස්සනට ටොම් ගැන ලියලා නෑනේ.
Delete/ තමා අසනීප ස්වරූපයකින් සිටියේනම් වඩා අගනේ බව ටොම් කල්පනා කළේය. /
ReplyDeleteහෙහ්..ටොම් පව් අනේ...:)
ඒකනෙ, මේ එලියට් නෝනාට තව හොඳට එයා ගැන ලියන්න තිබ්බෙ නැද්ද මං අහන්නේ.
Delete