282. Roots and Wings...

"THERE ARE TWO GIFTS WE SHOULD GIVE OUR CHILDREN: ONE IS ROOTS. AND THE OTHER  IS WINGS."


ඇතිනම් මා වෙත වරයක්
පතන්නට පැතුමන් ද්විත්වයක්
පතමි සුරැකිව බදා වැළඳ හිඳුමට - මූලයක්
විදා හැර නිදහස සොයා යන්නට - පියාපත් යුවළක්
ඇතුළාන්තය පෝෂණය කරනා වටිනාකමින් හරබර - මූලයක්
ගමනාන්තය සොයා නිදහසේ පියාසරන්නට - පියාපත් යුවළක්.

සදාතනිකව තුරුළුව හිඳුමට
මා සුරකින්නට, දිරිමත් කරනට
මා අතින් වරදක් සිදු වූ විටෙක
ඔබේ ආදරය මා තනි නොකරනා බවට,
යා යුතු මග මේ යැයි හඳුනාගන්නට,
අයහපතින් අයපත වෙන් කර දැකගන්නට,
සැමදා ඒ උතුම් අභිමතාර්ථයේ ගැලී හිඳිනට,
ජීවිතයෙන් පරදින්නට නොව දිනන්නට,
ඇවැසිය මට - මූලයක්.

මා හට ඔබ උවමනා වූ විටෙක
හිඳිනු මැන මා අසළම
සනසනු මැනැවි මා හද
සියල්ල හොඳින් විසඳෙනු ඇති බවට
පියාසරන්නට පියාපත් විහිදනා කළ
ඇද වැටෙන විට සුවපත් කරලනු මැන මාගේ බියපත් සිත
මල් පෙති මතින් ගොඩ නගන්නට අවැසි නැත මා දිවිය
උත්සාහ කරන්නට ඉඩ දෙන්න මා හට
වැටි වැටී නැගිටින්නට උගන්වනු මැනැවි මා හට
පියාසරන්නට උගන්වනු මැනැවි මා හට.

ඇතිනම් මා වෙත වරයක්
පතන්නට පැතුමන් ද්විත්වයක් - ද්විත්වයක් පමණක්
එම වරය මා වෙත ලබා දිය හැක්කේ
මව්නි පියාණෙනි - ඔබට ම ය
ඇවැසි නැත මුදල් මා හට
සොබමන් විසිතුරු දෑද නොපතමි කිසි විට
මා ඉල්ලා සිටිනා උතුම් දායාද වන්නේ
මෙපමණකි, ඒ 'මුල් සහ පියාපත්' ය.

~ Translation of 'Roots and Wings' by Denis Waitley



281. අකුරු...


රුදු විස පිරි කටු අකුලේ සුවඳැති මල් පුබුදුවන්න
ගිනියම් වූ අඟුරු මතට වැහි පොද වී ඇද හැලෙන්න
හඳ නැති රෑ කළුවර මැද තරු එළියක් වී දිලෙන්න
අකුරුවලට ඇහැකිය ඒ අරුමැසි විසිතුරු මවන්න

චණ්ඩව මහ රළ නගනා සමුදුර මැද රුවල් ලන්න
ගිගුරුම් දෙන අසනි සරට මල්මද මුදු සිනහ දෙන්න
දුම් දමනා ගිනි කන්දක ලෝදිය කඳ නිවාලන්න
අකුරුවලට ඇහැකිය ඒ අරුමැසි මායම් මවන්න




280. අවසානයට පසු...

කාලෙකට කළින් උත්සන්න වෙලා තිබුණ රෝගයක්, පහුගිය කාලේ අමාරුවෙන් සනීප කරගෙන හිටියේ. බැලින්නං සනීප වෙලා නෑ තවමත්. ඔය තියෙන්නේ මේ වතාවේ ඒ රෝගය උත්සන්න වෙච්ච හේතුව තමයි: 614. සමණල තටු සැළිණ......When The Butterfly Wings Fluttered...

රවි අයියාට වගේම මටත්, පොඩි කුමාරිහාමිගේ වළව්ව කියන්නේ බොහොම වටින තැනක්. ඒ කාලේ කවි විතරක් ලිය ලිය හිටපු මට කතන්දර ලියන්නත් පුළුවංය කියලා මං දැනගත්තේ ඒ වළව්වේ පොඩි මැණිකේ ඇතුළු ආදරණීය යාළුවන්ගෙන්. ඉතින් එහෙනම් කියවන්න අද මේ ලියපු කතාව. රවි අයියා ඔය පෝස්ට් එකේ ලියාපු මුල්ම කතාවේ, අර යතුරුපැදිය අන්තිම වතාවට ගෑනු ළමයාගේ ගේ ළඟින් හරවගෙන ගියාට පස්සෙ දිග ඇරෙන කතාන්දරේ තමයිලු මේ. මේ කතාවේනම් butterfly effect එකක් නෑ. හැබැයි නැත්තෙමත් නෑ. :)

***


දින ගණනක් පුරා උණෙන් පෙළුනු ගත විඩා ගෙන දුන්නද එදින රැයේ නින්ද ඈ අහලකටවත් පැමිණියේ නැත. තම නැගණිය පැවසූ යතුරුපැදිකරු කවුරුන්දැයි ඇයට සිතාගන්නට අපහසු නැත. ඔහු බොහෝ වේලාවක් ඔවුන්ගේ නිවස අද්දර දෙවැට අයිනේ බලා හිඳ ඇත. පසුගිය දින ගණනාව පුරාද ඒ අසළ ගැවසී ඇත. ඒ කුමකටදැයි සිතා ගැනීමටද ඇයට අපහසු වූයේ නැත. 

ඒ අඳුරු මූසල සන්ධ්‍යාවේ උන්හිටි ගමන් නතර වූ බස් රථය තව දුරටත් යන්නට බැරි බව කියනා බව රියදුරු මහතා මගියන් වෙත දැනුම් දුන්නේ සමාව අයදිනා ස්වරයෙනි. කොන්දොස්තර කොළුවාගෙන් මුදල් ආපසු රැගෙන මැසිවිලි නගිමින් ඇද හැලෙන වැහි පොද මැදට බට මගීන් අතර, නගරයේ පැවැත්වෙන අමතර පංතියට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි ඇයද වූවාය. තවත් එහි බලා හිඳ තේරුමක් නැත. එය එදින ඇගේ ගම් පියස බලා දිවෙන අවසන් බසය විය. නිවසේ වූ එකම අකුලන කුඩය තමාගේ තනි පාවිච්චියට රැගෙන එන්නට තරම් අවශ්‍යතාවයක් සති ගණනකින් වැසි නොවැටුණු, දහවල චණ්ඩ හිරු රැසින් බැබළුණු අහසෙන් දිස් වූයේද නැත. නමුත් මේ වනවිට, වැහි අඳුර වෙනදාටත් කළින් රාත්‍රිය රැගෙන විත් ඇත. ඒ කළුවරේ තනිව ත්‍රීරෝද රියකට ගොඩවන්නටද ඇගේ කැමැත්තක් තිබුණේ නැත. එවැන්නකට ගෙවන්නට මුදල්ද ඈ සතුව නැත. එබැවින්, වර්ෂාවද එතරම් තදව නොතිබුණෙන්, එකම විකල්පය වූ පා ගමනින් නිවස බලා පිටත් වීමට ඈ ගමන් ඇරඹුවාය. නමුත් අතර මගදී මඳ වැස්ස, ධාරාණිපාත වර්ෂාවකට හැරුණි. අසළ වූ වසා දැමුණු කඩ පිළක් හැරෙන්නට ඇයට සෙවණ වන්නට වෙන කිසිවක් එහි නොවීය. පාරේ කිසිවෙකුත් නැත. අසළක ගෙයක් දොරක් හෝ පෙනෙන්නට නැත. ඇගේ නිවස පිහිටි ගම්මණ්ඩියට ළඟා වන්නට තව සැතපුම් දෙකකට ආසන්න දුරක් ගෙවා යා යුතු ය. ඇයටත් නොදැනී වැසි දියෙන් තෙත්ව තිබූ ඇගේ දෙකොපුල් ඔස්සේ කඳුළු කඩා හැලෙන්නට විය.

සුරුස් ගා මඩ විසුරුවමින් ත්‍රී රෝද රියක් ඈ ඉදිරියෙන් ඇදී ගියේ ඒ මොහොතේදීය. කඩ පිළ පසු කර මඳ දුරක් ඇදී ගිය එහි වේගය අඩු වී නැවත පසු පසට ඇදෙන්නට වූ විට ඈ බොහෝ සෙයින් බියට පත් වූවාය. ඈ ඉදිරියෙන්ම නතර වූ ත්‍රී රෝද රථයේ රියදුරු අසුනෙන් එබුණේ හැඩපළු ගෙතුණු රැවුලකින් හා කෙස්වැටියකින් හෙබි බිහිසුණු මුහුණකි. ඇගේ මුව කෙල සිඳී ගොස් වැහි හීතල මධ්‍යයේම හීන් දහදියකින් නළල වැසී ගියේය. ඇය ඇගේ පියා පැමිණෙන තුරු එතැන හිඳිනා බව පවසා සිටියත් ත්‍රී රෝද රථ රියදුරා එතැනින් නික්ම යන හැටියක් පෙනෙන්නට නැත. ඔහු ඈ හා චාටු කතාවේ පැටලෙන්නට උත්සාහ දරයි. අඳුර කපා පැමිණෙන තවත් රියක එළියක් නෙත් කොණින් දුටු ඈ මහත් බලාපොරොත්තු සහගත මුහුණකින් ඉදිරියට නැඹුරු වී "අන්න තාත්තා" යැයි කියමින් ඒ දෙස බලා සිටියේ එවිට හෝ කරදරකාරයා පිටව යනු ඇතැයි සිතාය. නමුත් ඇගේ භීතිය දෙගුණ කරවමින් ත්‍රී රෝද රථ රියදුරා එතැනින් යනු වෙනුවට කෙමෙන් ලඟා වූ යතුරු පැදි ආලෝකය ඈ සිටි කඩ පිළ වෙත හැරවුණි. දිය බේරෙමින් ඉන් බැස ආ යතුරුපැදි කරුවා ඈ දෙසත් ත්‍රී රෝද රථ රියදුරු දෙසත් හොඳින් බලා යළි ඈ දෙස බැලුවේය. එක් කරදරකාරයෙකු මදිවට දැන් තවත් එකෙක්!

"මැට්ටි!" අමුත්තා එක් වරම හඬ අවදි කළේය. "එන්න රෑ වෙන දවසට ෆෝන් එක අරං යන්ඩ කියලා කොච්චර කිව්වත් අහන්නෙ නෑ. අම්මා අහරේ හොඳටම බය වෙලා!"

හැඬීමෙන් රත් පැහැ ගැන්වී තිබූ ඇගේ දෑස් පුදුමයෙන් විසල් විය. අනතුරුව ත්‍රී රෝද රථය වෙත ඉක්මන් බැල්මක් හෙලූ ඇය කඩපිළට ගොඩ වී හිස් ආවරණය ගලවන අමුත්තා දෙස බලා ප්‍රවේශමෙන් හඬ අවදි කළාය. "තාත්තා කෝ?" අනවශ්‍ය ගැටුමකට මැදි නොවී ත්‍රී රෝද රථ රියදුරා එතැනින් එළවා ගතහොත් මේ අලුත් යකා පරණ යකා තරම් කළු නැති බවක් ඇයට දැනෙමින් තිබුණි. ඔහුද ඇගේ සොහොයුරෙකු බව හඟවමින් ඇගේ සහයට පැමිණියේ මැරවර පෙනුමක් ඇති ත්‍රී රෝද රථ රියදුරා සමග ඔහුටද අනවශ්‍ය ගැටුමක් පටන් ගැන්මට වුවමනා නොවූ නිසා වන්නට ඇත. 

"තාත්තට හැන්දෑවේ හිසේ ඇම්මක් අල්ලලා. මට කතා කරලා කිව්වා ඔෆිස් ඇරිලා එන ගමන් ඔයාවත් එක්කං එන්න කියලා. බලනවා, ෆෝන් එක ගෙනාවනං මේ රස්තියාදුව නෑනේ!" තවමත් තුන් රෝද රථ රියදුරාට එතැනින් පිටව යන්නට සිතක් නැතියෙන්දෝ අමුත්තා ඈ ආවරණය කරගනිමින් ත්‍රී රෝද රථයට අතක්ද තබාගෙන ඔහු වෙත නැඹුරු විය. "අයියට බොහොම පිං මං එනකල් අපෙ නංගිව බලාගත්තට. කෙල්ලෙකුට තනියෙං පාරෙ බැහැලා යන්න පුළුවං වෙලාවක්ද මේ. ඊටත් මහ වැස්සෙ. අයියා වාගෙ මේ මනුස්සකමට මෙතන ඉඳං තනි රැක්කට, නැත්තං අපේ මෝඩිත් ඔය ඕන එකෙක් ගෙදරිං බස්සන්නං කියලා කතා කරපු ගමං විශ්වාස කරලා යයි!"

ඒ වදන් ඇසීමෙන් පසුවද තවත් එතන රැඳී සිටින්නට නොහැකි නිසාවෙන්දෝ රථය පණ ගන්වාගත්තද රියදුරා අමුත්තාට ඔබ්බෙන් දෑස් පොවා යළිත් ඈ දෙස විපරමෙන් කිහිප විටක් බැලුවේය. එවර කෙළින් වූ අමුත්තා සිය දිය බේරෙන කබාය ගලවා ඈ වෙත පා "ඇඳගන්නවා ඕක!" යැයි ගිගිරුවේය. කොහෙ යන චණ්ඩියෙක්ද මන්දා! ඇය නොසතුටින් සිතුවාය. ත්‍රීවිල් කාරයට බටර් ගාලා මෙතන මට ගොරවනවා! ඇය එය රැගෙන එතෙක් තුරුළු කරගෙන සිටි පොත් බෑගය මතින් පපුවට තුරුල් කරගත්තා විනා ඔහු අණ දුන් ලෙසින් ඇඳගත්තේ නැත. කෙසේ හෝ යළිත් රියදුරු වෙත නැඹුරු වී මොන මොනවාදෝ කුටු කුටු ගා ඔහු හා කතා කොට ඔහුව එතැනින් පිටත් කර හරින්නට අමුත්තා සමත් වීම ඇගේ මහත් සහනයට හේතු විය. ඔහු යළිත් ඈ වෙත හැරුණේ වෙහෙසකර සුසුමක්ද පිට කරමිනි. "කාලකණ්ණි තිරිසන්නු!" ඔහු වැහි දියට හසු වූ තම හිස කෙස් සුරතින් පිස දමාගනිමින් දත්මිටි කෑවේය.

දැන් බණිනවා! එවෙලෙ අල්ලලා දෙකක් දෙන්නෙ නැතුව! කළින් යකා පෙනුමෙනුත් කළුය, ඇතුළතිනුත් කළුය. මේ යකා පෙනුමෙන් කළු නැත. ඇතුළතින් කොහොමදැයි සිතාගන්නට බැරිය. වඩා භයානක එවැන්නන් බව ඈ අසා තිබේ. එතෙක් බියටම මිදී තිබූ ඇගේ කඳුළු නැවතත් දිය වී දෙනෙත් මුළ පිරෙන්නට විය. නමුත් එවර ඇසුණේ ඈ මෙතෙක් ඇසූ සැරපරුෂ ගෝරනාඩු කටහඬට වඩා බොහෝ සෙයින් කාරුණික කටහඬකි. "නංගි තාත්තා එනකල්ද ඉන්නෙ?" 

ඇගේ සිතේ වූ බිය බොහෝ දුරට අඩු කිරීමට එම කටහඬ සමත් විය. "නෑ," ඈ ඔහු දෙස නොබලාම මිමිණුවාය. "මං අර මිනිහට එහෙම කිව්වෙ බොරුවට. මං ආපු බස් එක මගදි කැඩුණා. නැත්තං මං වෙනදට මේ වෙද්දි ගෙදර ගිහිං." බිය දුරු වූ සිතින් එසේ පවසාගෙන ගියද, ඒ මිනිහාට බොරු කියූ තමා මේ මිනිහාට ඇත්ත පවසන්නේ මන්දැයි ඇගේ සිතේ කොණක් ඇගෙන්ම විමසන්නට විය. කළු යකාව එළවා දැම්මාට මේකාද යකෙක් වන්නට බැරි නැති බව එම සිතේ කොණ ඇයට ටොකු අනිමින් පවසන්නට විය.

"එහෙමද? ඉතින් දැන් ඊළඟ බස් එක කීයටද?"

"ආයෙ නෑ. ඒ අන්තිම බස් එක."

"හප්පා! දැන් මොකද කරන්නෙ? නංගිගෙ ගෙවල් කොහෙද?"

එවැනි පැනයන්ට පිළිතුරු දිය යුත්තේ බොහෝ පරිස්සමෙනි. "තව ටිකක් දුර."

"ගෙදරට කතා කරලා කිව්වද මෙහෙම කරදරයක් වුණා කියලා?"

ඇය හිස දෙපසට සැලුවාය. 

එවර ඔහුගේ මුවින් පිට වූයේ සමච්චල් සිනහ හඬක් බව ඇයට ඇසුණි. ඇය ඔහුගේ ජැකට්ටුවද සමග පොත් බෑගය තවත් තදින් සිරුරට තද කරගත්තාය. "මොකද, අර කිව්වා වගේම ෆෝන් එක ගෙදර දාලා ආවද?"

ඇය නිහඬවම සිටියාය. එතෙක් ඈතින් ඇසුණු අකුණු ගිගුරුම් හඬ ඒ මොහොතේදී වඩාත් ආසන්නයෙන් ඇසෙන්නට විය. තිගැස්සී හිස ඔසවා අහස දෙස බැලූ ඇය කඩ පිළේ තවත් කෙළවරට වූවාය. 

"මගෙ ෆෝන් එක දෙන්නං පණිවිඩේ දෙන්න ඕනෙනං?" ඔහු යළිත් සමච්චල් කටහඬ අත් හැර කාරුණික හඬින් කතා කළේය.

"අපේ ගෙදර ෆෝන් එකක් නෑ..." ඈ යළිත් මිමිණුවාය. ඇගේ නිවසේ හෝ නිවසේ කිසිවෙකුත් සතුව හෝ දුරකථනයක් තිබුණේ නැත. 

ඔහු මොහොතක් නිහඬව සිටියේය. "ළඟ ගෙදරකවත්?"

ඇය යළිත් හිස දෙපසට වැනුවාය. "ඉස්කෝලෙ මහත්තයලගෙ ගෙදර තියෙනවා, ඒත් අපේ ගෙදරින් සෑහෙන්න දුර. ඒ ඇරෙන්න තැපැල් කන්තෝරුවේ තමයි. ඒක දැන් වහලනෙ." එවර අමුත්තා මඳ වේලාවක් නොව බොහෝ වේලාවක් නිහඬව සිටියේය. ඇය හිස ඔසවා බලනවිටද ඔහු ලොකු කල්පනාවකය. ඒ වන විට වර්ෂාව යළිත් තුරල් වන්නට පටන්ගෙන තිබුණි. ඇය සිතට දිරි ගත්තාය. "වැස්ස අඩු වේගෙන එනවා වගේ. මං යන්නං එහෙනං..." ඇය අතේ වූ ඔහුගේ කබාය යළි ඔහු වෙත පාමින් කීවාය.

ඔහු එය අතට ගත්තේද කල්පනාකාරී මුහුණිනි. "තව කොච්චර දුර යන්න තියනවද?"

"ටිකක් දුර..."

"කිලෝ මීටරයක් විතර?"

"ඊට වැඩියි..."

"ඉතිං තනියම ඔච්චර දුර පයින්? මේ කළුවරේ? අනික වැස්සත් ආයෙ කඩං වැටෙන්න බැරි නෑ?"

"කමක් නෑ. මං ඉක්මනට යන්නං." ඇය සිය ගමන් මල්ලද උර මත සකසාගෙන කඩ පිළෙන් එළියට බසින්නට සූදානම් වූවාය. "අයියට ගොඩක් පින් මාව අර කරදරකාරයාගෙන් බේරගත්තට."

ඔහුද ඈ සමගින් එළියට බැස්සේය. "අකමැත්තක් නැත්තං මං ගිහින් බස්සන්නං?"

ඇගේ සිරුරේ හීගඩු පිපුණි. "නෑ කමක් නෑ, මට මේ ටික ගිය හැකි."

ඔහු එවර ඇගේ මග අඩක් ඇහිරෙන සේ හිටගත්තේය. "මේ, මං ඉස්සල්ලා අරූට ඔය බණ ඩිංගක් කිව්වා තමයි. ඒවුණාට ඔයා එහෙම මෝඩ ළමයෙක් නොවෙන බව මට තේරෙනවා. මං මේ මනුස්සකමට කියන්නේ. මට ඔයා වගේ නංගිලා දෙන්නෙක්ම ඉන්නවා. දැනටමත් ඔය හොඳ හැටි තෙමිලා ඉන්නේ. මේ මහ දවාලක වුණානං මට ඔයාව මෙතන දාලා යන්න තිබ්බා. ඒත් මේ රෑ එහෙම කරන්න බෑ. මං යකෙක් නෙවෙයි. අර ඉස්සල්ලා මෙතනට වෙලා හිටිය එකා වගේ නරුමයෙකුත් නෙවෙයි." ඔහුගේ කටහඬට පෙරදී බලෙන් ආරෝපණය කරගෙන සිටි කෝපය මෙවර නිරායාසයෙන්ම එකතු වී තිබුණි.

ඔහුගේ බස් විශ්වාස කළ හැකි බවක් ඇයට පිළිගන්නට උවමනා වුවද ඇගේ සිතේ අඳුරු කොණ යළිත් ඇගේ කනෙන් අදින්නට විය. ඕනෑම යකෙකුට ඔවැනි වදන් කියන්නට බැරි නැත. විශ්වාසය දිනාගන්නට එවැන්නන් ඕනෑම චාටු කතාවක් කියනු ඇත.

"නංගි, මට ඔයාට කරදර කරන්න ඕනෙනං මගෙ මේ බයිසිකලේ නග්ගගෙන යන්න ඕනෙ නෑ. පොඩ්ඩක් වටපිට බැලුවනං තේරෙයි පේන තෙක් මානෙක කවුරුවත් නෑ කියලා. ගෙදරක එළියක් තියා අඩුගානේ තරු එළියක්වත් නෑ. තව ටිකකින් අපි දෙන්නාට අපි දෙන්නාවවත් පේන්නෙ නැති තරමට කළුවර වෙනවා. ආයෙ මග ලයිට් කණුවක්වත් තියෙනවද මේ කට්ට කළුවරේ තනියම යන්න හදන්නේ?"

ඇය නිරුත්තර විය. ඔහු කියන බස සැබෑවකි. නමුත් ඇගේ සිතේ කොණකින් දනවන බිය රෑ කළුවරට වඩා බිහිසුණුය. "කමක් නෑ. අයියට ආයෙමත් ස්තූතියි. ආයෙ වැස්ස තද කරන්න කළින් මං යන්නම්." ඈ සූදානම් වූයේම එතැනින් නික්මී විගසින් ගමන් අරඹන්නටය. නමුත් ඒ මොහොතේ ඔවුනට නුදුරු ඕවිටක් අසබඩ වූ පුවක් ගසක් වෙත මහ හඬින් ගුගුරමින් පතිත වූ අකුණු සැරයෙන් සියල්ල වෙනස් විය. දෑතින් දෙකන් වසාගෙන දෑසද තද කොට පියාගත් ඇය මොහොතක් එතැනම ගල් ගැසුණාය. ඊළඟ මොහොතේ ඇයට හිස මතින් දැනුණේ බරැති උණුසුම් අතක ස්පර්ශයයි. "බය වෙන්න එපා..." ඇය දෑස් විවර කළාය. ඔහුගේ දෑස් ඉතාමත් කාරුණික විය. අවංක විය. "නංගිට මාව විශ්වාස කරන්න පුළුවන්..." 

ඇගේ සිතේ අනතුරු අඟවන අඳුරු කෙළවර නින්දට යන්නට ඇත. සිතුවිලිවල බාධාවකින් තොරව එවර ඈ සුසුමක් පිට කරන අතරේ අපහසුවෙන් මඳ සිනහවක් පෑවාය. "මට බයිසිකල්වල ගිහිං පුරුදු නෑ..."

"ඕකෙ ආයෙ පුරුදු වෙන්න දෙයක් නෑ... මේක ඇඳගෙන ඉන්නකො..." ඔහු යතුරු පැදිය මතින් දමා තිබූ කබාය ගෙන යළිත් ඈ අතට දුන්නේය. තෙතබරිත වූ ඇඳුම් මතින් දැනෙන හීතල හුළඟට ඈ ඒ වනවිටත් වෙව්ලමින් සිටියෙන් එවර ඇය එය රැගෙන ඇඳගත්තාය. ඒ අතරේ හිස් වැස්මද අතට ගත් ඔහු එයද ඇගේ හිසේ පැළඳුවේය. "පටිය දාගන්න," යැයි කියමින් යතුරු පැදිය මත හිඳගත් ඔහු එය පණගන්වන්නට උස්තාහ කළේය. ඔහු දෙතුන් වරක් උත්සාහ කළද උත්සාහය සාර්ථක වූයේ නැත. "වැස්සකට අහුවුණොත් ඔහොමමයි මේක, පොඩි එකෙක් වගේ ලෙඩ වෙනවා..." ඔහු යළිත් වෙර ගෙන යතුරු පැදිය පණගන්වන්නට උත්සාහ කළේය. එවර එංජිම ක්‍රියාත්මක විය. "දැන් පරිස්සමෙන් මාව අල්ලගෙන නගින්න."

කෙතරම් අකමැති වුවද ඇයට ඔහුගේ උරහිසට බර දී ආධාරය ලබා ගැනීමෙන් තොරව එයට ගොඩවන්නට හැකියාවක් තිබුණේ නැත. දෙවරක්ම පය ලිස්සා යාමෙන් පසු ඇය අවසානයේ ඔහු කියා දුන් අන්දමට යතුරු පැදියට ගොඩ වූවාය. "හයියෙන් අල්ලගන්න." යතුරුපැදිය ගමන් ඇරඹුණි. තරමක් වේලා යනතුරු ඇගේ පූර්ණ අවධානය යොමු වූයේ සුළඟ කපාගෙන ඇදෙනා යතුරුපැදියෙන් නොවැටී ඉන්නේ කෙසේදැයි සිතමින් තැතිගැන්මෙන් වේගවත්ව තිබූ සිය හෘද ස්පන්ධනය යථා තත්ත්වයට පත් කරගන්නටය.

"නංගි, මෙතනින් කොහෙටද?"

"වමට..." ඈ අඩ සිහියෙන් මෙන් පිළිතුරු දුන්නාය. යතුරු පැදිය මඳක් නැවී වංගුව ගනිද්දී එතෙක් දෑතින්ම අල්ලාගෙන සිටි යතුරුපැදියේ පසුපස රාමුව අත හැරී ඈ තවමත් නමවත් නොදන්නා අරුම පුදුම අමුත්තාගේ ගෙල දෙපසින් අල්ලාගත්තාය.

"මගෙ බෙල්ල මිරිකනවා එහෙම නෙවෙයි ඔන්න, හරිද?" ඔහුගේ මුවින් ඇසුණේ හාස්‍යය මුසු හඬකි.

ඇයට දැනුණේ මහත් ලැජ්ජාවකි. ඇය විගසින් යළිත් දෑත් පසුපසට ගෙන පිටුපස රාමුවෙන් අල්ලාගත්තාය.

"මේ, ඔය හැටි පිටිපස්සට වෙලා ඉන්නකොට මේක බැලන්ස් නැතුව යනවා. පොඩ්ඩක් ඉස්සරහට වෙලා ඉන්ඩ!" 

ඇය සෙළවුණේවත් නැත. තමා අඟලක් හෝ සෙළවුණහොත් ඔවුන් දෙදෙනාත් සමගින් යතුරු පැදිය පෙරළී යනු ඇතැයි ඇයට සිතුණි. එවැන්නක් සිදු වුවහොත් - හිස් ආවරණයක් පැළඳ සිටින්නේ ඈ පමණි - ඇගේ මේ කාරුණික ගැලවුම්කරු... වැහි අඳුර මැදින් ආ දේව දූතයා... තුවාළ ලබනු ඇත. එවැන්නක් වුවහොත් ඇයට-

"මේ මැඩම්, ගෙදර යන්ඩ ඕනෙනං මට පාර කියන්ඩ. හරියට මගෙ ගෙදර එක්කං යනවා වගේනේ මෙයා සද්ද නැතුව ඉන්නේ..."

ඇය යළිත් ලැජ්ජාවෙන් රතුව ගියාය. "දකුණට හැරෙන්න ඕනෙ..." එතැනින් ඔබ්බට ඈ මංසන්ධියකට ළඟා වන්නට කළින්ම හැරවිය යුතු දිශාව පවසා සිටියාය. වර්ෂාවද නැවත මඳක් වැඩි වන්නට වූයෙන් ඔහුද ගමනේ වේගය මඳක් වැඩි කර නිහඬවම යතුරු පැදිය පැදවූවේය. 

අවසන ඇගේ නිවස පෙනෙන මානයේ දෙවැට අද්දර නතර වූ යතුරු පැදියෙන් බසිද්දී ඇගේ සිත පිරී ගොස් තිබුණේ මහත් වූ ගෞරවය මුසු කෘතුගුණ පූර්වක හැඟීමකිනි. ඇය හිස් වැස්මද, කබායද ගලවා ඔහු අතට දුන්නේය. එවිගසින් ඒවා පැළඳගත් ඔහුගේ මුහුණේ වූ සිනහව, එතෙක් කිසිදා ඈ අත් විඳ නොතිබූ ලැජ්ජාව පරයා ගිය කෝල බවක් සිතේ ඇති කරලීය. "මං ඔය මගදි කියපුවා ඒ හැටි ගණං ගන්න එපා. ඔයාගෙ බය අඩු කරන්නයි ඒවා කිව්වේ..." ඔහු මඳ සිනහවෙන් යුතුවම කීවේය. ඔහුට කෙසේ ස්තූති කරන්නදැයි සිතාගත නොහැකි වූ ඇගේ මුවින් පිට වූයේ "ස්තූතියි අයියෙ," යන වදන් දෙපළ පමණි. ඔහුට නිවසට ඇරයුම් කොට මව්පියන්ට හඳුන්වා දී උණුසුම් තේ කෝප්පයකින් හෝ සංග්‍රහ කිරීමට ඇයට උවමනා වුවද ඈ ඒ සඳහා සිත තුළ වදන් ගලපන අතරේ "ආ ඒක මොකද්ද නංගි, මම ගිහිල්ල එන්නම්," ලෙසින් පවසා ඒ වනවිටද පණ ගැන්වීම තිබුණු යතුරු පැදිය හරවාගෙන නික්ම ගියේය.

ඒ එදා රාත්‍රියයි. මේ වන විට එය සිදු වී පුරා සතියක් ගෙවී ගොස් ඇත. උණෙන් පෙළුණු දින ගණනාව පුරාද සිතින් බැහැරව නොගිය එම කාරුණික ආදරණීය සිනහවේ හිමිකරු මෙතෙක් දිනක් ඈ වෙනුවෙන් මග බලා හිඳ ඇති බව ඇගේ සිත වේදනාවෙන් පිරවීය. පව්... නමවත් අහගන්න බැරි වුණා එදා... කොහෙ ඉන්නවද දන්නෙත් නෑ... අදත් එයිද? එදත් මේ සියල්ල සිදු වූයේ සෙනසුරාදා හවස පංති ගොස් එන විටය. අදත් පන්ති ගොස් එන විට ඔහු මුණ ගැසෙනු ඇත්ද? ඈ දන්නේ නැත...

වේදනාවෙන් බර වූ සිතින්ම ඈ සෙනසුරාදා උදෑසනින්ම පිටව ගියේ පෙර දින අතපසු වූ සිය මිතුරියගෙන් සටහන් පොත් ඉල්ලා ගැනීමේ කටයුත්ත ඉටු කරගැනීම පිණිසය. නමුත් මිතුරිය නිවසේ සිටියේ නැත. ඇය පුස්තකාලයට ගොසිනි. පාසලේ උසස් පෙළ පංතියේ එකම විෂය ධාරාවේ ඉගෙනුම ලැබූ මිතුරිය පුස්තකාලයට ගොස් තිබුණේ පාඩම් පොත්ද රැගෙන බව ඇගේ මව පැවසීය. ඇයද යළි නිවසට ගොස්, නිවසේ තිබූ පුස්තකාල පොත් දෙකද, ඇගේ සටහන් පොත්ද රැගෙන මවගෙන් අවසර ගෙන නගරයේ වූ පුස්තකාලය බලා පිට වූවාය.

ඇයට මිතුරිය හමු විය. නගරයේ පාසලක සිසුවෙකු වූ මිතුරියගේ පෙම්වතාද හමු විය. අඩ හෝරාවක පමණ කාලයක් සටහන් පිටපත් කරගැනීමේ යෙදුණු ඇය මඳ විවේකයක් ගැනීමට සිතා රැගෙන ආ පුස්තකාල පොත් දෙකද රැගෙන කවුන්ටරය වෙත ගියාය. එහිදී ඈ වෙත තොරතුරු සටහන් කර දීමට ආකෘති පත්‍රයක් ලබා දෙන ලදි. "අලුත් සර් තමයි ඔය ෆොර්ම් එක කට්ටියට දීලා පුරවගන්න කිව්වේ..." පොත් බාර දෙන කවුන්ටරයේ සිටි තැනැත්තිය වැඩි දුරටත් කියා සිටියාය.

එය පිරවීමේ කටයුත්ත පසෙක තබා ඇය පොත් තෝරාගන්නට පොත් රාක්ක අතරට ඇවිද ගියාය. නොදැනීම ඈ පොත් අතර අතරමං විය. සිතාගෙන ආවේ මෙවර විෂයානුබද්ධ පොත් දෙකක් ආපසු රැගෙන යන්නට වුවත් ඇගේ සිත අතරමංව තිබුණේ නවකතා හා පරිවර්තන අතර ය. ඇය රාක්කයක් අසළ හිටගෙනම අලුතෙන් පැමිණ තිබූ පොතක පිටු දෙක තුනක් කියවන්නට වූවාය. එය කියවනා අතරේම රාක්කයේ වූ තවත් සිත් ගන්නාසුළු කවරයක් දැක ඇය එයද අරගන්නට සූදානම් වූවාය. පොත් ගොන්නක් අතර සිර වී තිබූ එය පිටතට ඇද ගත යුතු වූයේ සීරුවෙනි. නමුත් ඒ මොහොතේදී ඇගේ අවධානය බිඳෙන යමක් සිදු විය. ඇයට පිටුපසින් වූ රාක්කයට ඔබ්බෙන් ඇසුණු ඒ කටහඬ ඇගේ කන අසළින්ම නැගුණු ලෙසින් ඇයට ඇසුණි. "මේ අලුත් පොත් ටික ඔක්කොම ලේබල් කළා නේද? කැටලොග් එකට හරි පිළිවෙලට ඔක්කොම ඇතුල් වෙන්න ඕනේ..." ඈ නොදැනුවත්වම රාක්කයේ වූ පොත තවත් පොත් ගොන්නක්ද පෙරලාගෙන එළියට ඇදී ආවේය. මොහොතකින් පෙරදී ඇසුණු හඬේ අයිතිකරුද, පුස්තකාලයේ පැරණි ලිපිකාරිනියක්ද රාක්කය පිටුපසින් මතු වූහ. "මේ ළමයින්ට සීරුවට පොතක්වත් තෝරගන්න බැරි හැටි!" ලිපිකාරිනියගේ බැණ වැදුම ඇරඹෙන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. 

නමුත් ඇයට ඒ හඬ ඇසුණේ යන්තමිනි. ඇය ගල්ගැසී බලා සිටියේ ලිපිකාරිනියට පිටුපසින් සිටගෙන සිටි ඇගේ දේවදූතයා දෙසය. ඔහුගේ මුහුණේ පිරී ඉතිරෙන්නට නළියන, ඔහු අපහසුවෙන් වළක්වාගෙන සිටි සිනහව දෙසය.

*****


279. සුබ උදෑසනක් වේවා... ඔබට සුබ උදෑසනක් වේවා.....

උදෑසන තේමා කරගත් සොඳුරු ගීත කිහිපයක්... අහන්න... රසවිඳින්න... කැමතිනම් ඔයාලත් කැමති ඕනෙම තේමාවකින් මේ වගේ ගීත එකතුවක් අපිත් එක්ක බෙදාගන්න.....  :)

1. මම ඉස් ඉස්සල්ලාම ඉගෙනගත්ත ගීතය. නන්දා මාලිනියන්ගේ හඳහාමී ගීත එකතුවේ ආනන්ද රාජකරුණා කිවිඳුන් රචනා කළ උදය නැමැති ගීතය.

සිලි සිලී හඬ ඇසේ - කොළ අතූ සෙළවිලා
සිටි සිටී හඬ ඇසේ - පිණි වැටී ඉහිරිලා
කපුටු කා කා ඇසේ - ඉර නැගී එළි වෙලා
අ යනු ආ යනු ඇසේ - පොඩි ළමෝ ඇහැරලා

මේ වීඩියෝ සබැඳියේ මුළින්ම තියෙන්නේ ඒ ගීතය. ඉන් එහාට තියෙන ඒ ගීත එකතුවේ අනිත් ගීතත් රසවින්දාට කිසිම පාඩුවක් නැහැ. :)



2. උදෑසන ගැනම නෙමෙයි වුණත්, උදේ පාන්දර අහන්න, දවසම වාසනාවන්ත කරගන්න මහා ආශිර්වාදයක් බඳු වුණ ගීතයක්. 

බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ
නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී //

තණ්හා උපාදාන පරිදේව වියැකී
අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ
හඬවා නුවන් දැල් මංගල්‍ය ප්‍රීතී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී

බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී...

භෘංගාවලී රාව ප්‍රතිරාව නංවා
බන්දා ප්‍රශංසා ජය කේතු කේලී
දසතින් ගලා ක්ෂීර පායාස ධාරා
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී

බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී...

ගායනය, සංගීතය - නන්දා මාලිනී
පද රචනය - සුනිල් ආරියරත්න



3. උදෑසන නැග එන හිරු සමගින් පිපෙනා පැතුම් පොදි ගැනයි මේ ගීතය.

සිරි සමනොළ සිරසින් මුදුන් වන
දහසක් අපගේ ප්‍රාර්ථනා
මහාවැලිය මහ ගඟ උතුරා යන 
සුවිපුල් නිවහල් ප්‍රාර්ථනා

අලුත් ඉරෙන් මුළු රටට උදා වන
අමයුරු සුමියුරු ප්‍රාර්ථනා
යව්වනියන්ගේ හද තුළ නලියන
ආදරයේ රස ප්‍රාර්ථනා
ප්‍රාර්ථනා ප්‍රාර්ථනා
ආදරයේ රස ප්‍රාර්ථනා

මල් ගොමුවට බිඟු මිණි දැල් බන්දා
පිපී පිපී එන ප්‍රාර්ථනා
ගෙන් ගෙට යා වන බිළිඳු සිනාවෙන්
දිව එන සුරතල් ප්‍රාර්ථනා
ප්‍රාර්ථනා ප්‍රාර්ථනා
දිව එන සුරතල් ප්‍රාර්ථනා

ගායනය: පණ්ඩිත් අමරදේව ඇතුළු පිරිස



4. පිනිබර යාමයේ අවදිවෙලා ඉරටත් කළින් ගෙදරට ඉරේ ආලෝකය බෙදන අම්මා... කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියාගේ 'ගමට කළින් හිරු' ගීතයත් මීට සමාන තේමාවකින් යුතු වුණ ගීතයක්.

පිනිබර යාමේ සැවුලන් හඬලනවා
අම්මා වටකර ලිප ගිනි මැලවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනක එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා....//

පුතුනේ අකුරට යන්න පමාවී
ගුරු සිත රිදිලා වේවැල් හඩවාවී
ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා
මුරණ්ඩු වුදා.... දුක්වේවී අම්මා...

පිනිබර යාමේ....

වේල දෙව්ලේ කුසගිනි නොබලා
කඩමලුඇන්දත් පින්කඳ බැබලෙනවා
කලට රුවන් වැසි වස්සන කාලේ
ශිල්ප උගත් දා... නුඹ සක්විති වෙනවා.....

පිනිබර යාමේ...

ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - ලූෂන් බුලත්සිංහල 
ගී තනුව - වික්ටර් රත්නායක




5. වැඩිය ඇහෙන්නේ නැති, මම ආසම ගීතයක්.

අරුණු වළා පෙළ නැගෙනු බලා
රණඹර අවදි වෙලා
කිරණ සලා මිහිමඬල දොවා
සූරිය මල පිපිලා //

ගලා හැලේ මේ උදේ සිතෙන් සිත
පහන් හැඟුම් පිරිලා
පොළෝ තලේ සත් පියුම් ලෙසින් ඇත
මිනිස් මහිම පිපිලා

අරුණු වළා පෙළ නැගෙනු බලා...
දොරින් දොරට සුබ පැතුම් පුදා යන
සිහිල් නළින් සැරසී
පහන් දොරින් හිරු එබී බලා
නව ලොවෙන් සිනා අයදී

ගායනය: අමරසිරි පීරිස්
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය: රෝහණ වීරසිංහ


6. මේ මිහිරි ගීතය මේ පරණ සංගීතයත් එක්ක හොයාගත්තෙ අමාරුවෙන්. මෑත කාලීන සංගීතයත් එක්ක තියෙනවා මේ වගේ මිහිරිව අහං ඉන්න බැහැ.

ඉර පායා - ඉර පායා
කළුවර හදකට - අවපස සඳකට
ඉර පායා - ඉර පායා
අලුත් දවසකට - නව මං පෙතකට
ඉර පායා - ඉර පායා

එදා මෙදා තුර බිය සැක රැන්දූ
රුදුරු වෙසක් හද තුළ නිති රැන්දූ
අඳුරු තිමිරපට ඉරා දිනින්දූ
සොඳුරු හෙටක් සාදයි මන බැන්දූ

ඉර පායා.....

ගිමන නිවන සිහිලැල් ගඟුලක් සේ
දසත දිවෙන මහනෙල් සුවඳක් සේ
දැවෙන ගතට සුව දෙන ඔසුවක් සේ
ඉර පායා ඇත අඳුර මියෙන සේ//



7. සුබ උදෑසනක් වේවා... ඔබට සුබ උදෑසනක් වේවා...

සුබ උදෑසනක් වේවා
ඔබට සුබ උදෑසනක් වේවා
අලුත් ඉරක් පායයි අද අහසේ
අලුත් දිනට පිබිදෙනු මැන සුවසේ
සුබ උදෑසනක් වේවා
ඔබට සුබ උදෑසනක් වේවා

ගුණ නුවණින් මුළු දවස ගෙවන්නට
මොහොතක් හෝ අපතේ නො යවන්නට
සිත කය වෙහෙසා වැඩෙහි යෙදෙන්නට
සැරසෙමු අද දින සරු කර ගන්නට

රටට දැයට මෙහෙයක් සලසන්නට
මිනිස් වගට සැනසීමක් දෙන්නට
දිරියෙන් සවියෙන් බල ලැබ ගන්නට
ඉටා ගනිමු අද සතුටින් ඉන්නට
සුබ උදෑසනක් වේවා...

සුබ උදෑසනක් වේවා
ඔබට සුබ උදෑසනක් වේවා
සුබ උදෑසනක් වේවා ////

පද රචනය: පයස් ප්‍රනාන්දු
සංගීතය හා ගායනය: අයිවෝ ඩෙනිස්



8. මෙත් මල් පිබිදේවා...

මෙත් මල් පිබිදේවා 
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා 
සිත් තුල කරුණා ඉතිරේවා //

තණ්හා අශා වෛරේ ක්‍රෝධේ 
සංකා නැති වේවා //
පාපේ ද්වේශේ මෝහේ මානේ 
මෙලොවින් දුරු වේවා

මෙත් මල් පිබිදේවා 
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා 
සිත් තුල කරුණා ඉතිරේවා

සමගිය සාමේ දෑ අනුරාගේ
යුතුකම් රජවේවා //
හොර බොරු වංචා බිය සැක දුරු වී 
සැමටම සෙත් වේවා

මෙත් මල් පිබිදේවා 
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා 
සිත් තුල කරුණා ඉතිරේවා //

ගායනය - මොරිස් දහනායක
පද රචනය - සිරිල් ඒ. සීලවිමල
සංගීතය - ස්ටන්ලි එම්. ප්‍රනාන්දු


9. දුක සැප දෙක පෙරළි පෙරළි යයි... යන කාලය නැත නවතින්නේ...

අවදිවන්න අවදිවන්න දීප්තිමත්
දිනකි උදා වෙලා තියෙන්නේ
සිතනවාට වඩා සොඳුරු
විනෝද බර ලෝකෙක අපි ජීවත් වෙන්නේ //

සුසුම් හෙළන කලට දුක් වෙලා
ඔබත් සමග කවුද හඬන්නේ
ටිකක් සතුටු වන්න සැනසිලා
දහසක් ඒ ලෙස හිනැහෙන්නේ

අවදි වන්න අවදි වන්න...

බලනු මැනවි කුරුලු කැදැල්ලේ
සතුට සැපත රස ඉතිරෙන්නේ //
එහෙම ඉඳිමු සිත සැනසිල්ලේ
දුකිනි මිනිස් කම ලැබ ගන්නේ

අවදි වන්න අවදි වන්න...

දුක සැප දෙක පෙරළි පෙරළි යයි
යන කාලය නැත නවතින්නේ //
ඊයෙ වගෙද අද ටිකක් සුබයි
අදට වඩා හෙට හොඳ වෙන්නේ

අවදි වන්න අවදි වන්න...

පද රචනය: කරුණාරත්න අබේසේකර
සංගීතය: පැට්‍රික් දෙනිපිටිය
ගායනය: සී. ටී. ප්‍රනාන්දු


10. සමනළ මුදුනේ සිරිපද සිඹ සිඹ.....

සමනළ මුදුනේ සිරිපද සිඹ සිඹ
උදා ඉරක් පායයි
සැනසිලි සුව දෙන නව මල්සුවඳින්
දැහැමි දැයක් පිබිදෙයි

කුලමල ධනබල නොතකන හෙළදැය
සුදු බුදුරැස් පැතිරෙයි
සම මෙත්කරුණා බුදුබණ පදයක
සිහිලෙන් රට සැනැහෙයි

මිනිසා මිනිසකු විලසින් එළඹෙන
නව යුගයක් ඇරැඹෙයි
තුන් සිංහලය ම අත්වැල් බැඳගෙන
නිවහල් සුවය විඳියි

ගැයුම - එච්. ආර්. ජෝතිපාල සමග ලතා වල්පොල
ගේයපද - ආර්. පේ‍්‍රමදාස
ගීතනුව සහ සංගීතය - සරත් දසනායක



11. Morning Has Broken - Original singer is Cat Stevens, but my favorite version is by Nana Mouskouri.

Morning has broken like the first morning
Blackbird has spoken like the first bird
Praise for the singing
Praise for the morning
Praise for them springing fresh from the world

Sweet the rain's new fall, sunlit from heaven
Like the first dew fall on the first grass
Praise for the sweetness of the wet garden
Sprung in completeness where his feet pass

Mine is the sunlight, mine is the morning
Born of the one light Eden saw play
Praise with elation, praise every morning
God's recreation of the new day

Morning has broken like the first morning
Blackbird has spoken like the first bird
Praise for the singing
Praise for the morning
Praise for them springing fresh from the world


12. Classical Music - 'Morning Mood' Composed by Edward Grieg (1843-1907)



ඔයාලා හැම දෙනාටම සුබ උදෑසනක්! සුබ දවසක්! :)



278. හැපි බර්ත්ඩේ ටූ මී...



අද සිත්තමීගේ උපන් දිනේ. කීවෙනි එකද කියලා අහන්න එපා ඉතිං, හරි නෑනේ. අද මං ඔයාලට රහසක් එළි කරන්නයි යන්නේ. රහසක් කිව්වට මේක මේ වෙද්දි හුඟක් දෙනෙක් දන්නවා. ඒ වුණාට කමක් නෑ අහං ඉන්ඩකො.

සිත්තමී මේ වෙද්දි මේ බ්ලොග් එකේ නව කතා තුනක් ලියලා තියෙනවා. මුල් දෙකනම් දැනට ඔයාලට පේන්න නැහැ, ඒවා මම කාලෙකට පස්සේ හංගගත්තා. තුන් වෙනි එක මේ ළඟදී ලියපු 'හද වෙණ සත්සර'. මං ඒ මුල් දෙක හංගගත්ත හේතුව වුණේ, මම ඒ කතන්දරවලින් පොත් පෙළක් කරන්න හිතපු නිසා. පළවෙනි කතාන්දරේ මතක අය ඉන්නවානම්, එඩ්වඩ්-වැනේසා දෙන්නාව ඔයාලාට හම්බවුණේ ඒ කතාවෙන්. එකෝමත් එක කාලෙක. 2016දී තිබුණ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලේදී මට බ්ලොග් නවකතා අංශයෙන් දෙවෙනි ස්ථානය ලැබුණේත් ඒ කතාවට. දෙවෙනි කතාව තමයි ජේම්ස්-ලීසල් දෙන්නාව ඔයාලට මුණගැහුණ කිරුළක උරුමය. ඉතින් දැන් ඔය කතන්දර දෙකෙන් පළවෙනි එක ඔන්න පොතක් වෙලා තියෙනවා. සරසවි ප්‍රකාශනයක් විදිහට ඒ පොත නිකුත් වුණේ මේ සතියේ.




ඉතින් දැන් රහස දැක්කනේ. ඔය තියෙන්නේ සිත්තමීගේ හැබෑ නම. පහුගිය කාලේ මහ රෑ නිදි මරාගෙන 'හද වෙණ සත්සර' ලියන අතරෙදි ඔයාලගෙ කමෙන්ට්වලට නිදි මරගාතේ උත්තර දෙද්දී වැරදිලා සිත්තමීගේ නමින් නැතුව මගේ හැබෑ නමින්ම ඒවාට උත්තර වැටුණා. විගහට ඒවා මකලා ආපහු සිත්තමීගේ නමින් උත්තර දුන්නා වුණත් ඒවා දැකපු අය ඇති ඔයාලා අතර නොවැරදීම. 2016, 2017 නෙළුම් යාය උත්සවවලදිත් මගේ හැබෑ නම ඇහෙන්න ඇති කට්ටියට. 

ඒත් ඉතිං තව දුරටත් මේ හැංගි මුත්තම ගැන හිත හිත ඉන්නේ නැතුව, මේ වෙලාවෙදි මේ පොත ගැන ඔයාලට කියන එක මගේ යුතුකමක් කියලා මට හිතුණා. මේ කතාව සම්පූර්ණ කතාවක් විදිහට ලියාගන්න මට පුළුවන් වුණේ, එතනින් නවතින්නේ නැතුව දෙවෙනි කතාවකටත් යන්න පුළුවන් වුණේ, ඉස්සරහට කතන්දර පෙළක්ම ලියන්න තරම් හිතට දිරියක් ලැබුණේ මේ බ්ලොග් ලෝකේ ඉන්න මගේ ආදරණීය යාළුවෝ ඔයාලා හැම දෙනාම නිසා. ඉතිං ඔයාලා හැම දෙනාටම ගොඩාක් ස්තූතියි. 

මේක මගේ මුල්ම ස්වතන්ත්‍ර කෘතිය. මේ පොතේ, බ්ලොග් එකේ ලියපු කතාවේ චරිතවලට වඩා නම් එහෙම ටිකක් වෙනස්. සිදුවීම්වලත් පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. ඒ නිසා පොත කියවලා රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. මීට කළින් 2015 අවුරුද්දෙදි මම පරිවර්තනයක් කළා. ඒකත් සරසවි ප්‍රකාශනයක්. මේ තියෙන්නේ ඒක. කළින් වතාවකදි මම මේ ගැන නිකම් බොහොම පොඩියට කිව්වා. 



දැන් ඉතින් ඔයාලා මගේ නම දැනගත්තා වුණාට, බ්ලොග් ලෝකෙදි මම කැමති 'සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත' නමින් ම ඉන්න. එහෙමත් නැත්තම් ඔයාලා මට කියන 'සිත්තමී' නමින් ම ඉන්න. ඒ නිසා ඒ නමින්ම විතරක් මට මෙහෙදි කතා කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් එහෙනම් ඔයාලා හැමදෙනාටම ආයෙමත් ගොඩාක් ස්තූතියි. :)




277. මගේ පොත් හත...

අර බිත්තිය පුරා හිතෙන දේ ලියන පැතුම් මහත්තැන්ගේ අලුත් පෝස්ටුව දැකලා තමා මටත් මං ඔය බුකී චැලේන්ජ් එකට තෝරපු පොත් හත ගැන මෙතන ලියන්න හිතුණේ. මට ඒ චැලේන්ජ් එක කළේ කළින් රාජකාරි කරපු තැනක මල්ලි කෙනෙක්. බොහෝම අමාරුවෙන් දවස් ගාණක් හිතලා හිතලා පුංචි කාලේ ඉඳං ආසාවෙන් කියවාපු, හිතේ මුල් ඇදගෙන තියෙන ආසම පොත් ගොන්න අතුරෙන් හතක් තෝරගත්තේ. මං ඒ පොත් හතත් එක්ක ආපහු චැලේන්ජ් කොළේ ඒ කාලේ හිටංම මං දන්න අඳුනන පොත් ගුල්ලියො හත් දෙනෙක්ට. ඒක එක දිගට දවස් හතක්ම ඇදං ගියේ අපරාදෙ කියන්න බෑ මගේ නගා විතරයි. තව එකියක් පළවෙනි දවස විතරක් දාලා දැන් පේන හැටියට වැඩේ අත ඇරලා දාලා. තවත් එකියක් චැලේන්ජුව ඇක්සෙප්ට් කළාය, මට බොහෝම ඉස්තූතිය කියලාත් කියලා දැං මිසිං ඉන් ඇක්ෂන්. අනිත් එව්වොංගෙන් නෝ කතා නෝ සිනා. ඕං ඔහොමයි මට ඉන්න ආදරණීය යාළුවො. මං වගේමයි. :D

පොත් රාක්කේ අවුස්සලා ෆොටෝ ගන්ඩ තියෙන කම්මැලිකොමට මං මේ පින්තූරනං ඉස්සුවේ ජාලෙන් තමයි ඈ.

මේං මගේ පළවෙනි දවසේ පොත: Biggles - Capt. W. E. Johns



චැලේන්ජ් එකේ හැටියට පොතක කවරය විතරක් දාන්න වෙච්ච නිසා, මං මේ එක පොතක කවරයක් විතරක් හොයලා දැම්මා වුණාට බීගල්ස් කතා මාලාවේ හැම කතාවකටම මම එක වගේ කැමැතියි. එයාව මුළින්ම මට හමුවුණේ තාත්තාගේ පොත් එකතුවේ ඉඳලා. පිටු ගැලවිච්ච, පුංචි ඉංග්‍රීසි අකුරු තියෙන පරණ පොත බොහොම අමාරුවෙන් අකුරු ගැට ගහගෙන කියවන්න ගත්තත්, අන්තිමට පොත බිම තියන්න හිතුණෙ නැති තරම් මාව කතාවට ඇදිලා ගියා. ඊට පස්සේ බීගල්ස්ගේ පොත් හොය හොයා මම කියෙව්වා. එතනින් නවතින්නේ නැතුව ගුවන් හමුදා වික්‍රම පොත් හොය හොයා කියෙව්වා. පරණ පොත් කඩවල්වලින් ඒ ජාතියේ පොත් තොග පිටින් උස්සන් ආවා. ප්ලේන්වල, ෆයිටර් ජෙට්වල පිංතූර හොයාගෙන කාමරේ බිත්ති වැහෙන්න අලවගත්තා. මට ඕනවුණේ කවදාහරි ඒ වගේ පියාඹන්න. ඒක තමයි ඒ කාලේ මගෙ හීනේ වෙලා තිබුණේ. මගේ ඉස්කෝලේ යාළුවෝ හිතාගෙන හිටියෙත් මං කවදාහරි ඒ පැත්තෙන් ඉස්සරහට යයි කියලා. ඒක ඉතිං මගේ හැබෑ නොවිච්ච හීනයක්. හැබැයි කවදාහරි, මගේ අකුරුවලින් හරි මම ඒ හීනෙට ආපහු පණ දෙනවා. :)

දෙවෙනි දවස: The Mill on the Floss - George Elliot



කියවපු කතාන්දරේක හිටපු හැම චරිතයකටම මම කැමති වෙච්ච කතාන්දරයක් තියෙනවානම් ඒ තමයි මේක. මේ ගැනත් මං මීට කළින් ලියලා තියෙන නිසා වැඩි විස්තර ආයෙමත් කියන්න යන්නේ නැහැ. මේ තියෙන්නේ ඒ කළින් තොරතුරු: හැඳින්වීම කියවලා කැමතිනම් මම පරිවර්තනය කරපු ඒ සංක්ෂිප්ත කතාන්දරයත් කියවලාම එන්නකෝ.

තුන්වෙනි දවස: මාවතේ ගීතය - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය



පුංචි කාලේ ඉඳන්ම, ඉඳගන්න පුටුවේ ඉඳන් අඳින ඇඳුමට වෙනකල් ගහ මරාගත්ත නංගියි මායි රණ්ඩු නොවිච්ච කාරනා දෙකක් තිබ්බා. ඒ තමයි ඉන්දියානු සාහිත්‍යය සහ ඉන්දියානු සිනමාව. අපි දෙන්නාම රාජේශ් ඛන්නාට දන්න කාලේ ඉඳන්ම ලව්. ඊට පස්සේ හිටපු නළුවොන්ගෙන් අපි දෙන්නාම වැඩියෙන්ම කැමති වුණේ අක්ෂේ ඛන්නාට. අපි දෙන්නාම පරණ හින්දි සින්දු ඇහැව්වේ රේඩියෝ එක ළඟ එකට ඉඳගෙන. ඒ වෙලාවටනං ටීවී එක ඉස්සරහා පුටුවට තිබ්බ රණ්ඩු අපි අතරේ තිබ්බෙ නෑ. ඉතිං ඔය ඇරෙන්න අපි දෙන්නාම ආදරේ කරපු අනිත් කෙනා තමයි 'අපූ'. මේ විභූතිභූෂණයන් අකුරුවලින් පණ දීපු අපූ එහෙමත් නැත්නම් ශ්‍රී අපූර්ව රායි කුමාර් අපිට පුංචි දරුවෙක් විදිහට මුළින්ම හම්බවෙන්නේ මේ 'මාවතේ ගීතය' පොතෙන්. ඊට පස්සේ අපූ ඉගෙනගන්න කාළේ ගැන කියවෙන 'අපරාජිත ජීවිතයක්' සහ වැඩිහිටියෙකු වූ අපූ ගැන කියවෙන 'අපූගේ ලෝකය' අපිව සුන්දර බෙංගාලය පුරා බොහොම සංවේදී ගමනක් එක්ක යනවා. මේ තුන් ඈඳුතු කතාන්දරය සත්‍යජිත් රායි සිනමාවේදියාණන් අපූරුවට සිනමාවට නැගුවා. මගේ මුල්ම ආදරය රාජේශ් ඛන්නා වුණත්, සාහිත්‍ය ලෝකයෙන් හමුවුණු වීරයන්ගෙන් මගේ මුල්ම ආදරය වුණේ අපූ. විවාහය ගැන හිතන කාලෙකදි - මහ ලොකු කාලෙකදි නෙවෙයි ඉතින්, අවුරුදු දාහතර පහළොව විතර කාලෙදි - මං හිතාගෙන හිටියේ මං කවදාහරි බඳින්නේ අපූ වගේ කෙනෙක්ව කියලා. මගේ සිත්තරා ඉතින් අපූට වඩා වෙනස් වෙන්නේ බොහොම අඩුවෙන්. :)

හතරවෙනි දවස: Pollyanna - Eleanor H. Porter



මේ පොත මං කියෙව්වේ බොහොම මෑතකදි. 'මෙච්චර කාලයක් ඇයි දෙයියනේ මං මේක කියෙව්වේ නැත්තේ' කියලා මටම මගෙන් අහගන්න හිතුණ ජාතියේ කියවීමක් ඒක. මේ පොත මට අඳුන්වලා දුන්නේ පොලියානාගේ සතුටු සෙල්ලම ඇත්තටම ප්‍රගුණ කරපු, කොයිතරම් ගැටළුකාරී අවස්ථාවක වුණත් හිනාවෙලා අනිත් අයවත් සතුටින් තියන්න පුළුවන්, සතුට බෙදන ආදරණීය අක්කා කෙනෙක්. දැනට ජීවතුන් අතර නැති ප්‍රවීණ පරිවර්තක මහත්මයෙකුගේ දියණියක්. ලොකු පොඩි හැම දෙනාම නොවැරදීම කියවිය යුතු පොතක් විදිහට මං දකින, ජීවිතයට වටිනා දේවල් ගොඩක් එකතු කරගන්න පුළුවන් පොතක්. මේ පොතේ දෙවෙනි පොත තමයි Pollyanna Grows Up. මේ පොත් දෙක, 'පොලියානා', 'සතුට බෙදන පොලියානා' සහ 'ජිමී සහ පොලියානා' නම්වලින් පොත් තුනක් ලෙස සිංහලයට පරිවර්තනය වෙලා තියෙනවා.

පස්වෙනි දවස: Just William - Richmal Crompton



මේ විලියම් උන්නැහැගෙයි මගෙයි තියෙන ඇයි හොඳයිය ගැන මං මීට කළිනුත් කියලා තියෙනවනේ. ඒ ගැන මතක නැති අයට ඔන්න ආයෙමත් ගිහින් කියවලා බලන්න:

පිට්ටු - 01 කොටස, 02 කොටස
කාර්යබහුල දිනයක් - 01 කොටස, 02 කොටස
කඩාකප්පල්කාරයා - 01 කොටස, 02 කොටස

හයවෙනි දවස: මහරජ ගැමුණු - ජයන්ත චන්ද්‍රසිරි



ඓතිහාසික නවකතාවලට ඉස්සර ඉඳන්ම පෙම් බැන්ද මං මේ තරම් ප්‍රබල විදිහට ගොඩනැගුණු, මගේ ප්‍රියතම ඓතිහාසික වීරවරයා ගැන - ගැමුණු රජුන් ගැන - ලියවුණු කතාන්දරයකට ආසා වීම පුදුමයක් නෙවෙයි. ජයන්ත චන්ද්‍රසිරි 'මහරජ ගැමුණු' නමින් චිත්‍රපටයක් කරන්නට යන බව ආරංචි වූ කාලයේ ඉඳන්ම මං පුලපුලා බලාගෙන හිටියේ ඒක බලන්න. ඒත් යම් යම් බාධක හේතුවෙන් ඒක එතුමා බලාපොරොත්තු වෙච්ච කාලයේදී කරන්නට බැරිවුණ නිසා මුළින් පුවත්පත් ලිපි පෙළක් විදිහටත්, පස්සේ මේ පොත විදිහටත් ඒ කතාන්දරය පළ වුණා. සංසාරය නැමැති ගංගාවෙන් එගොඩ වීම තමයි බෞද්ධයන් හැටියට අප හැමදෙනාගේම අවසන් ප්‍රාර්ථනාව. නමුත් මේ එගොඩවන්නට තිබෙන 'ඔරුව' යම් යම් කාලවලදී දැඩි අනතුරුවලට, තර්ජනවලට මුහුණපානවා. එවැනි අවස්ථාවලදී කවුරුන් හෝ ඉදිරිපත් වී ඒ 'ඔරුව' ආරක්ෂා කරගත්තේ නැත්නම්, අනාගතයේ කිසිවෙකුට එගොඩවන්නට නොහැකි ලෙස ඒ 'ඔරුව' විනාශවෙලා යනවා. නිවන් මග වෙත යොමු වී, මරණාසන්නව සිටි සාමණේරයන් වහන්සේ විහාර මහා දේවියගේ ආරාධනයෙන් ගැමුණු කුමරු විදිහට ඇගේ කුස පිළිසිඳගන්නේ අන්න ඒ 'ඔරුව සුරැකීමේ' වගකීම දරන්නට. ගැමුණු කුමරුන් මගේ වීරයෙක් වන්නේ අන්න ඒ නිසා. එය ඉතාමත් ලස්සනට පෙළ ගස්වා ඉදිරිපත් කර ඇති මේ පොත මා වඩාත් ආදරේ කරන කෘතියක් වන්නේත් අන්න ඒ නිසා.

හත්වෙනි දවස: A Walk to Remember - Nicholas Sparks



මේ කතුවරයාගේ පොත්වලට මං සෑහෙන්න කැමතියි. මේක තමයි මම කියවපු නිකලස් ස්පාර්ක්ස්ගේ පළවෙනි පොත. සිංහලෙන් ලියවුණු ආදර කතා වැඩිය කියවලා නැති මං ඉන් පස්සේ මේ කතුවරයා ලියාපු එව්වා හොය හොයා කියවන්න ගත්තා. ඒ තරමට හදවතට සමීපව දැනෙන රටාවකට ආදරේ ගැන කතා කරන්න මේ කතුවරයා දක්ෂයි. ඒ අකුරුවල 'ආදරේට තියෙන ආදරේ' කැටි වෙලා තියෙනවා. දුක්බර අවසානයක් වුණත් හිතේ පීඩාකාරී බරක් ඉතුරු නොකර 'bitter-sweet feeling' එකකින් ඒ අවසානය බාරගන්න කියවන්නන් පෙළඹෙනවා. නිකලස් ස්පාර්ක්ස්ගේ කතන්දර ගොන්න අතරෙන් මේක මගේ කැමතිම කතාව වෙන්න හේතුව තමයි මේ කතාවෙන් හිතට දනවන භාවනාවක් වගේ හිත පහන් කරවන ගතිය. ආක්‍රමණශීලී, ආවේගශීලී කිසිම දෙයක් නැති, හිත බොහොම සුවපත් කරවන කතාන්දරයක්. 

ඉතින් ඔය තමයි මං කියවලා තියෙන පොත් අතරෙන් මගේ හිත තදින්ම ඇද බැඳගත්ත පොත් විදිහට මට මතක් වෙච්ච පොත් හත. ෆේස්බුක් එකේ කවරේ විතරක් දාලා නැවතුණ මේ පොත් කතාව, වැඩි විස්තර ඇතුව බ්ලොග් අවකාශයට ගෙනාපු පැතුම්ටත්, එයට මුල් පියවර තියලා තිබුණ දේශකතුමාටත් මගේ ස්තූතිය. :)




276. පිළිතුරක්...

The universe always falls in love with the stubborn heart! - Meghana Khurana


මං නිතර යන එන, ලස්සන සටහන් පිරුණ ඉසව්වක් තමයි හෂාන් රන්දිකගේ 'The Traverlers Blog'. මේ එතන හෂාන් ලියලා තිබුණ පැදි පෙළක් සහ, මං එකතු කරපු පිළිතුර.

හෂාන්ගේ පැදි පෙළ - 'තවමත් එහෙම ද?':

රාත්‍රිය කලුවරට 
තනිකමක් දැනෙනව ද?
මද සුළඟ මේ දැනුත්
සුවඳ ගෙන හමනව ද?
වාරුවට උරහිසක්
නැති අඩුව දැනෙනව ද?
තාරකාවෙන් තවත්
මග නොමග අහනව ද?

මල් නැතත් ඒ උයනෙ 
ලිය මඩුලු එතෙනව ද?
කණාමැදිරින් රෑන
ඔහේ සැරිසරනව ද?
මගහැරී ගිය යමක්
උන් අදත් හොයනව ද?
මං නැතත් තවම ඔහෙ
හඳ එළිය වැටෙනව ද?

මං ලියාපු පිළිතුර:

රැයේ කලුවර - නැතේ තනි කම
පිපේ ගිනිකණ - වැටෙන එළි වට
මද සුළං පොද - ගෙනෙන වා රළ
මුසුව ඇත්තෙද - පාසි මුඩු ගඳ
වාරු ගන්නට - උරහිසක් මොට
දෑත ඇත මට - හිස හොවන්නට
මග අසන්නට - තරු ඇවැසි නැත
හිස හැරුණු අත - වේය හරි මග

මල් වැරූ ලිය - මඩුලු උදුරා
ගිනි තබා අළු - වළ දමා ඇත
කණා මැදිරින් - සරා දස අත
සොයයි නැති වූ - එළිය කොයිබද
මිලින සඳ වත - අතු පතර සර
බිඳුනු හද හැඩ - මවයි ගෙමිදුල
තනි කමක් නැත - පාළුවක් නැත
තවම එහෙම ය - මුරණ්ඩුය මම





275. ඇසෙනා අමයුරු සදහම් රාවේ ඉසිපතනේ මිගදායේ...


ඇසළ පෝය සඳ - නුබ හිස බැබැළෙන
බෙදනා සිහිලස - මුදු නළ පහසක
සුපහන් කරවයි - කම්පිත වූ මන
ඇසෙනා අමයුරු සදහම් රාවේ
ඉසිපතනේ මිගදායේ.....

සුදු ඇත් පොව්වෙකු වී - මව් මහමායා
කුස වෙත වැඩියා සුර කුමරා
ඇසළ පෝය සඳ - දිලෙන අහස යට
සිදුහත් බෝසත් සුර කුමරාණන්
මිහිකත නැළැවූවා.....

කිරිකැටි රන් පුතු - රාහුල කුමරුන්
හැරදා සෙනෙහැති යශෝදරාවන්
ඇසළ පෝය සඳ - දිලෙන අහස යට
මහ අභිනික්මන් කළ නිරිඳාණන්
තුන් ලොව සැනැසූවා.....


264. Together Forever...



ඇය පසු වූයේ මහත් නොඉවසිල්ලෙනි. සති ගණනාවකට පසු ඇගේ ප්‍රේමවන්තයා ඈ හමුවන්නට පැමිණෙන්නේ එදින ය. අවසන්වරට හමු වූ දින ඔහු වෙත ලබා දුන් සමරු පොතේ ද ඔහු යමක් සටහන් කරගෙන එනු ඇත. නොඉවසිල්ලෙන් ගෙවුණු හෝරා ගණනකට පසු අවසන ඒ මොහොත උදා විය. ඇගේ කාර්යාලය අසළ සුපුරුදු අවන්හළේදී ඔහුත් ඇයත් මුණ ගැසුණි. ආගිය තොරතුරු කතාබස් කරමින් ක්‍රීම් බනිස්, කිඹුලා බනිස්, මාළු බනිස් ආදිය කා ඔහු උණු උණු ප්ලේන්ටියක්ද, උණුසුම් පානයන්ට වැඩි කැමැත්තක් නැති ඇය සීතල කිරි පැකට්ටුවක්ද බී තවත් වේලා දොඩමින් කල් ගෙවූහ. අවසන සමුගන්නට මොහොත ආසන්න වූ කළ, එතෙක් ඔහුම දෝතට පත් කරනු ඇතැයි සිතමින් පුල පුලා බලා සිටි සමරු පොත පිළිබඳව ඇය විමසුවාය. එවෙලේ සිහිපත් වූ ලෙසින් ඔහු එය ඒ මොහොතේදී සිය ගමන් මල්ල තුළින් පිටතට ගත්තේය. අනතුරුව ඇගේ මිතුරියන් එහි ලියා ඇති ඕපාදූප පිළිබඳව ඔහු පිටුවෙන් පිටුවට පැන විචාරන්නට පටන්ගත්තේය. පාසැල් වියේ කෙළි කවටකම් ගැන සොඳුරු මතක මිතුරියන්ගේ අකුරින් සටහන් වූ සමරු පොතේ ඔහුගෙන් සැඟවිය යුතු කිසිවක් තිබුණේ නැත. (තිබුණානම් එය ඔහු අතට ඈ දෙන්නේද නැත.) ඔහුගේ පැනයන්ට රතු වූ මුහුණින්, විටෙක විරිත්තමින්, විටෙක මිහිරි මතකයන්ගෙන් දෑස් බොඳ කරගනිමින් ඇය පිළිතුරු ලබා දුන්නාය. සියල්ල අවසන ඔහු පොත ඈ අතට ලබා දුන්නේය. "ඉතින් කෝ දැන් අයියා ලියපු එක?" ඇය එය අතට ගනිමින් විමසුවාය.

"මං මුකුත් ලිව්වෙ නෑ..." ඔහුගේ පිළිතුර විය.

"ඈ?"

"ඇයි?"

"මෙච්චර දවස් මේක තියං ඉඳලා මුකුත්ම ලිව්වෙ නෑ?"

"මං ඕවායේ ලියන්න දන්නෙ නෑ අනේ..."

ඇගේ මුහුණ හොඳ නැත. වැහිබර වූ අහසක් මෙනි. "ඇයි ඉතිං මං මේක දෙද්දි කිව්වෙ නැත්තේ... දන්නෙ නැත්තං මොනවාම හරි ලියන්න තිබුණානේ හිතලා... මං කොච්චර ආසාවෙන්ද බලං හිටියේ ලියපු එක කියවන්න... එක්කො දෙනකොටම කියන්න ඕනෙ බැහැයි කියලා... එහෙනං මං නොදී ඉන්නවනේ... එතකොට මට මෙච්චර ආසාවෙන් බලං ඉන්න වෙන්නෙ නෑනේ..." ඇය කියාගෙන ගියාය.

"එහෙම වුණානං මං කොහොමද ඔයාගෙ යාළුවෝ ඔය ලියලා තියෙන ඒවා කියවන්නේ..." ඔහුට ගණනක් නැත. ඇගේ නෝක්කාඩු ගැන, ඇගේ බලාපොරොත්තු කඩ වූ සිත ගැන, ඇගේ තැලුණු රිදුණු හදවත ගැන ඔහුට ගණන නැත. ඔහු සිනාසේ.

"මගේ හොර අල්ලන්න ඕවා කියවන්න ඕනෙ නෑ... අල්ලගන්න හොරයක් මගෙ ඇත්තෙත් නෑ..."

"ඕක කියෙව්වෙ නැත්තං ඉතිං මං හරියටම දන්නෙ නෑනේ ඒ ගැන..."

"මාව විශ්වාස නෑ එතකොට?"

"මොකද නැත්තෙ... ඕක කියෙව්වාම ඒ විශ්වාසේ තව වැඩි වුණා..."

"මං යනවා යන්න!" ඇය තරහින් නැගිට සමරු පොතද බෑගයේ ඔබාගෙන ආපසු නොබලා ම යන්නට ගියා ය. ඇගේ බස් රථය පැමිණෙන තුරු ඔහුද පාරෙන් අනික්පස සිය යතුරුපැදිය අසළට වී සිටගෙන සිටියද ඈ නිකමටවත් ඔහු දෙස බැලුවේ නැත. මෙවන් සුළු දෙයකට එපමණ තරහා වී සිටිය යුතු නැති බව ඈ දැන සිටියද ඇගේ සිත් තැවුල ගණනකතවත් නොගෙන ඔහු සිනාසෙමින් සිටි අන්දම ඈ වඩාත් කෝප ගැන්වීය. එබැවින් ඈ දිගටම එලෙසින්ම සිටියාය. ඈ යාමට නියමිත බස් රථය බස් නැවතුම් පොළට ආසන්න වන මොහොතේදී පමණක් ඈ යාන්තමට ඔහු දෙස බැලූ අතර ඔහු සුපුරුදු සිනහවෙන් යුතුව ම සිය සුරත ඔසවා ඇයට අත වැනුවේය. ඒ මොහොතේදීම බස් රථය ඔවුන් දෙදෙනාගේ දර්ශන පථය ආවරනය කළෙන් තමාද අත වැනිය යුතුද නැත්දැයි සිතා වෙහෙසෙන්නට ඇයට ඉඩක් නොවීය. කෙසේ හෝ සෙනග අතරින් රිංගා ඔහු සිටි දෙසට මුහුණ ලා සිටගත් මොහොතේදී ඔහුත්, ඔහුගේ යතුරුපැදියත් තව දුරටත් එහි පෙනෙන්නට නොමැති බව ඇය දුටුවාය. ඔහුද ඈ හා උරණ වූවාදැයි හැඟීමක් පළමුවරට ඇගේ සිතෙහි ඇති විය.

නිවසට ගොස් එදින සියලු කටයුතු නිමා කර නිදන්නට ආ මොහොතේදී ඇය සිය ගමන් මල්ල තුළින් සමරු පොත පිටතට ගත්තාය. බොහෝ දිනකින් එහි ඇති සොඳුරු මතක තුළ කිමිදෙන්නට ඉඩක් නොලද්දෙන් ඇය පිටු එකින් එක පෙරළමින් තනිවම සිනාසෙන්නට වූවාය. බොහෝ සටහන් ලියැවී තිබුණේ තනි පිටුවකය, නැතහොත් දෙකක ය. නමුදු ඇගේ සමීපතම මිතුරියන් හත් දෙනා ම පිටු දහය දොළහ බැගින් අයිති කරගෙන තිබුණි. ඒ සියල්ල යළි මතකයට කැඳවා ගනිමින් ඇය අවසන් පිටුව දක්වාම සමරු පොතේ පිටු පෙරළාගෙන ගියාය. පෙරදී එහි නොවූ යමක් එහි අවසන් පිටුවේ සටහන්ව තිබුණි.

එය ඇගේ අති සුන්දර ආලේඛ්‍ය සිතුවමකි. ජීවමානව එතරම් කිව යුතු සුන්දරත්වයක් නොමැති ඇයගේ සුන්දර සිතුවමකි...
එයට යටින් සටහන් කොට තිබුණේ 'මගේ' යන හිමිකාරීත්වයද එක් කරමින්, ඔහුම පමණක් ඈ අමතනා ඒ සොඳුරු ඇමතුමයි...

ඇගේ දෑසින් සට සට ගා කඳුළු කඩා හැලෙන්නට විය. කිසිවක් නොලියූ බව පැවසූ ඇගේ සමරු පොතේ ඔහු සිය සිතැඟි සියල්ල කැටි කොට එම සිතුවම ඇඳ තිබුණි... ඇය නොපමාව සිය ජංගම දුරකතනය අතට ගත්තාය...


***

ආ, දැං බලං හිටියේ කෝල් කරපු ඒවත් අහගන්නද? ඒවා ඕන නෑ ඔයැයිලාට. ඒ ඇවිල්ලා සිත්තමීගෙයි, සිත්තරාගෙයි ප්‍රේම පුරාණයේ පුංචි කතාවක්. හද වෙණ සත්සර ගැන නොකියා මේවා කියන්නේ මොකටදැයි අහලා බණිනවා නෙවෙයි ඔන්න. අද ඇවිල්ලා සිත්තරාගේ උපන් දිනේ. හෙට ඇවිල්ලා අපි දෙන්නාගේ විවාහ සංවත්සරේ. ඉතිං අපි දෙන්නාට සුබ පතන්ඩලා. :D


රිදුම් දෙන රුදු තියුණු කටු තුඩු රළු ඉපල් රැල් සහසකි
සුවඳ විහිදන සිනා පුබුදන සුමුදු මල් දස දහසකි
විටෙක සහසම පරයමින් දස දහස අහසට නැගි සැටි
සිතා ගන්නට තවම බැරි මේ මහරු අසිරිය අරුමැති



HAPPY NAUGHTY FORTY TO MY LOVING HUSBAND!!!