එකපාරටම විලියම්ට තමන් දිහා බලන් ඉන්න කොළ පාට ඇස් දෙකක් ගැන ඉවෙන් වගේ දැනුණා. පූසාත් ඇතුළේ! හපොයි! පූසාත් ඇතුළේ! තමුන්ගේ ජන්මාන්තර වෛරක්කාරයාව දැක්ක පූසා වලිගෙත් පුම්බගෙන සටනට ලෑස්ති වෙලා ලතෝනියක් දුන්නා. විලියම් බයෙන් හීතල වුනා. ගඳ ගහන නාකි පූස් තඩියා වැඩේ කන්නයි හදන්නේ!
"සේ සේ පූස්! හොඳ පූසියෝ!" එයා රහසෙන් මුර ගෑවා. "හොඳ පූසියානේ! ලස්සන පූසි!"
පූසා පුදුම වෙලා විලියම් දිහා බැලුවා. එන පොටනම් හොඳ නැති බව පූසාට තේරෙන්න ඇති.
"ෂෝක් පූසා!" විලියම් උණ විකාරෙන් වගේ කියවනවා. "කට වහගෙන ඉන්න හොඳේ. මෙන්න ඔයාට රසම රස කිරි දෝසි තියෙනවා. පොඩි කටක් කන්නකෝ. කන්න කන්න, එකම එක කටක් කාලා කට වහගෙන ඉන්න."
විලියම් පූසගෙ ඉස්සරහින් කිරි දෝසි බාජනේ බිමින් තිබ්බා. සැරයක් දෙසැරයක් ලෙව කෑවට පස්සේ ඒක බොහොම රසවත් කෑමක් බව පූසට තේරුණා. විලියම් ටිකක් වෙලා බලං හිටියා. ඊට පස්සේ, කාලය නාස්ති කරලා දාන එක අපරාදයක්නේ කියන නිගමනයකට එලඹුනා. එයා වටේට තිබ්බ එක එක කෑම ජාති වල රස බලන්න පටන්ගත්තා. එයා මුලු ජෙලි බාජනයක්ම කෑවා, සැන්විච් හතරක් කෑවා, කේක් කෑලි හතරකුයි හැම පෙසිට්‍රි ජාතියෙන් එක ගානෙයි කෑවා. කළින් වතාවේ පාටියෙන් එයා ගොඩක් දේවල් ඉගෙනගෙන තිබ්බා. ඒ අතරේ පූසා කිරි දෝසි බාජනේ ලෙව කකා හිටියේ පුළුවන් හැම ආකාරයෙන්ම ඒක රස විඳිමින්. ඒකා පුරු පුරු ගාන්නත් පටන්ගෙන තිබ්බා. පූසාගේ සන්තෝසේ වැඩි වෙන්න වැඩි වෙන්න පුරු පුරුවත් එන්න එන්නම වැඩි වුනා. ඒක බොහොම අරුම පුදුම කන් කඩාගෙන යන විදිහේ පුරුපුරුවක්.
"කෝකියෝ!" එමා කුස්සියේ ඉඳං කෑ ගැහැව්වා.
මල් වැල් එල්ලන්න උදව් කර කර හිටපු කෝකියා පුස්තකාලෙන් එබුනා. "මොකද?"
"අර ගබඩාව ඇතුළෙන් අමුතු ගුමු ගුමු සද්දයක් එනවනේ."
"ඉතිං ගිහිං බලන්න මොකද්ද කියලා. මී මැස්සෙක් වෙන්න ඇති සමහර විට."
එමා යතුරත් අරන් ගබඩාවේ දොර ලඟට ආවා. විලියම් කිරි දෝසියත් තුරුළු කරගෙන දොර පිටිපස්සෙ හැංගිලා සපත්තුත් ගලවගෙන සූදානම් ශරීරයෙන් බලාගෙන හිටියා.
"අනේ පව් පූසියා!" එමා දොර ඇරියාම පෙනිච්ච පූසාගේ ඔළුව අතගෑවා. "ඔයා කොහොමද මේකට ගියේ? කවුද ඔයාව මේකට දාලා වැහැව්වේ?"
එයා හිටියේ විලියම්ට පිටිපස්ස හරෝගෙන, පූසගේ ඔළුව අත ගගා. විලියම් අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න හිතාගත්තා. එයා මේස් පිටින් විදුලි වේගෙන් එමාව පහු කරගෙන දුවගෙන ගිහිල්ලා පඩි පෙල නැගලා අතුරුදහන් වුනා. ඒත්, පූසා දිහාට නැමිලා හිටපු එමාගේ ඇස් කොනට පියාඹගෙන යන අඳුරු හෙවණැල්ලක් අහු වුනා. එයා මර ලතෝනි දුන්නා. පුස්තකාලෙ ඉඳන් විලියම්ගේ අම්මයි, විලියම්ගේ අක්කයි, විලියම්ගේ අයියයි කෝකියයි දුවගෙන ආවා.
"කෑම ගබඩාවේ හොරෙක්!" එමා හති දදා කිව්වා. "මං දැක්කා, ඇත්තටම දැක්කා! මං කෙළින් වෙලා බලන කොට එයා එතන නෑ. කුස්සිය මැද්දෙන් විදුලියක් වගේ පියාඹලා ගියා. අනේ දෙයියනේ! අනේ දයියනේ!"
"මොන පිස්සුවක්ද!" විලියම්ගේ අම්මා කිව්වා. "එමා, හරියට කියන්න වෙච්ච දේ!"
"මමත් ගියානේ ඔය කෑම ගබඩාවට නෝනා," කෝකියා කේන්තියෙන් කිව්වා, "මං අර මල් වැල් එල්ලන්න උදව් වෙන්න එන්න කළින්. ඒකෙ මොකෙක්වත් හිටියෙ නෑ. මේ මෝඩ එමාගෙ බොරුවක්! පොඩ්ඩ ඇත්තං බය වෙලා කෑ ගහනවා--"
"විලියම් කොහෙද?" විලියම්ගේ අම්මාට එකපාරටම සැකයක් පහළ වුනා. "විලියම්!"
විලියම් එයාගෙ කාමරේ ඉඳං එළියට ඇවිත් ගරාදි වැට අස්සෙන් එබිලා බැලුවා. "ඇයි අම්මා," අහිංසක බවේ ප්‍රතිමූර්තියක් වගේ මූණකිනුත්, පුදුමාකාර අහිංසක කටහඬකිනුත් විලියම් ඇහැව්වා.
"ඔයා මොකද කරන්නේ?"
"මගේ කාමරේ ඉඳන් පොතක් කියව කියව හිටියේ."
"අනේ එහෙනං දෙයියන්ගෙ නාමෙට එයාට බාධා කරන්න එපා," විලියම්ගේ අක්කා කිව්වා.
"එමා, ඔයා අර කියවන මෝඩ පොත් හින්දා තමයි ඔහොම මනස්ගාත මැවිලා පේන්නේ. ඒ මෝඩ පොත් වෙනුවට මං අර කියපු පොත් ඔයා කියවනවනං----"
විලියම්ගේ අම්මා එයා බොහොම කැමති විනෝදාංශයක් පටන්ගත්තා. විලියම් හෙමින්සැරේ ආපහු කාමරේට ගිහිල්ලා කිරි දෝසි බාජනේ පරිස්සමෙන් ඇඳ යට හැංගුවා. ඊලඟට අමුත්තෝ එන වෙලාව වෙනකල් විලියම් කාමරේටම වෙලා බලාගෙන හිටියා. පල්ලෙහා අමුත්තන්ව පිළිගන්න කතාබහට කාමරේ දොරත් ඇරගෙන කන් දීගෙන හිටපු විලියම් එයාගෙ අක්කා අමුත්තන්ව පිළිගත්ත විදිහයි කටහඬයි හොඳට මතක තියාගත්තා. ඒ මතකය පස්සේ බොහොම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. පොදුවේ ගත්තාම මුළු ලෝකයටමත්, විශේෂයෙන් ගත්තාම විලියම්ගේ පවුලටත් සමච්චල් කරන්න පුළුවන් විදිහේ කිසිම ආයුධයක් අපතේ අරින්න දෙන්න හොඳ නෑ. අමුත්තෝ හැම දෙනාම විසිත්ත කාමරේ අර පරිස්සමෙන් රැස් වුනාට පස්සේ විලියම් කාමරේ ඉඳගෙනම පෙරහුරුවක යෙදුනා.
"අනේ, කොහොමද ග්‍රීන් නැන්දේ?" විලියම් කාන්තා කටහඬ අනුකරණය කරන්න උත්සාහ කරමින් බොහොම උච්ඡ ස්වරයකින් කිව්වා. "අනේ කොහොමද චූටි බබා? තාර පැටියෙක් වගේ! අනේ, ඩෙලියා බබෝ! කොහොමද! ඔයාට එන්න පුළුවන් වෙච්ච එක ගැන හරිම සතුටුයි! කොච්චර ලස්සන ගවුමක්ද අනේ. මං දන්නවා ඔයාට අද බැල්ම හෙලන්නේ කවුද කියලා! ආනේ, තොම්සන්!"--මේ මොහොතේදී විලියම් එකම මොහොතේ සුදුමැලි වෙමින්, බැබළෙමින්, ඇස් කොණින් බැලුම් හෙලුවේ එයාගේ අක්කා පිරිමියෙක් එක්ක කතා බහ කරන විදිහ විලියම් අනුකරණය කරලා පෙන්නන අවස්ථාවකදී ඇර වෙන මොනම අවස්ථාවකදීවත් මේ ලෝකේ කොතනකින්වත් දකින්න ලැබෙන්නේ නැති ලතාවකට. හරි වෙලාව බලලා අක්කා ඉන්න තැනක මේක ආපහු කරලා පෙන්නුවොත් අක්කා නොවැරදීම පිස්සු වැටෙන බව විලියම් දන්නවා. "මට හරිම සතුටුයි ඔයාව දකින්න ලැබුනට. මේ ඇත්තමයි, බොරු නෙවෙයිනේ. මං මොකටද ඔයාට බොරු කියන්නේ!"
විසිත්ත කාමරේ දොර ඇරෙන සද්දෙත් ඊට ටිකකට පස්සේ සාලේ පැත්තෙන් ආපු කතාබස් හඬත් විලියම්ට ඇහුනා. ඔන්න! ඒගොල්ලෝ කෑම කන්න ලෑස්ති වෙන්නේ. ඔව්, කෑම කාමරේ දොර වැහුනා; ගමන් මග බාධක වලින් තොර වුනා. විලියම් අබලන් පෙනුමෙන් තිබ්බ ප්‍රණීත ආහාරය ඇඳ යටින් අරගෙන ඒ ගැන ටිකක් සැලකිල්ලෙන් කල්පනා කරලා බැලුවා. බාජනේ ලොකුයි, ඒකේ හැඩෙත් මහ අමුතුයි. ඊට වඩා හොඳට එයාගේ කෝට් එක අස්සේ හංගගන්න පුළුවන් මොකක් හරි එයාට හොයාගන්න වෙනවා. කිරි දෝසි බාජනයක් උස්සගෙන එයාට සාලෙ මැද්දෙන් ගිහිල්ලා ඉස්සරහා දොර ඇරගෙන යන්න බෑනේ. ඒක හරියට ඇඳුම් නැතුව ඇවිදිනවා තරම්ම ලැජ්ජා නැති වැඩක්. කුස්සිය පැත්තෙන් ගිහිල්ලා පිටිපස්සේ දොරෙන් යන එක ගැනත් හිතන්නවත් බෑ. අන්තිමට විලියම් බොහොම පරිස්සමෙන් කිරි දෝසිය ඒ බාජනෙන් අයින් කරලා එයාගේ සබන් පෙට්ටියට දාගත්තා. ඒක කොච්චර උද්වේගකර මොහොතක්ද කියනවනං එයාට සබන් පෙට්ටියෙන් සබන් කෑල්ල අයින් කරලා ඉන්නත් අමතක වුනා. ඒත් කමක් නෑ, ඒකේ ඉතුරු වෙලා තිබ්බේ බොහොම පොඩි සබන් කෑල්ලක් විතරයි. ඇත්තම කිව්වොත් සබන් පෙට්ටිය කිරි දෝසියට පොඩි වැඩියි, ඒත් කෝට් එක ඇතුලෙන් ඇඟට හේත්තු කරගෙන එළියෙන් අත තියාගත්තාම ඒක අරන් යන්න පුළුවන්. එයා බොහොම පරිස්සමෙන් පඩිපෙළ බැස්සා. යාන්තමට ඇරිලා තිබ්බ කෑම කාමරේ දොර අතරින් ආපු වැඩිහිටියන්ගේ උච්ඡස්වර, ඝොෂාකාරී, තේරුමක් නැති කතාබස් වලට බාගෙට කන් දෙමින් විලියම් ඇඟිලි තුඩු වලින් ඇවිදගෙන ගියා. එයා ඉස්සරහා දොරේ අගුලට අත තියනවත් එක්කම එක පාරටම දොරේ යතුරක් කරකැවෙන සද්දේ ඇහුනා.
විලියම්ගේ හදවත කිඳා බැස්සා. එයාගේ තාත්තා වැඩ ඇරිලා ගෙදර එන්නේ මේ වෙලාවට කියන කාරනේ එයාට සම්පූණයෙන්ම අමතක වෙලා තිබුණේ.
විලියම්ගේ තාත්තා සාලෙට ඇතුල් වෙලා තමන්ගේ බාලම දරුවා දිහා සැක මුසු බැල්මෙන් බැලුවා.
"ආ, කොහොමද!" තාත්තා කිව්වා, "කොහෙද ඔයා යන්නේ?"
විලියම් විචිකිච්ඡාඑන් උගුර පෑදුවා.
"මං?" එයා සැහැල්ලු කටහඬකින් ඇහැව්වා. "ආ, මං මේ -- මං මේ ඇඳට යන්න කළින් පොඩ්ඩක් ඇවිදලා එන්න යන්නයි හැදුවේ තාත්තේ. එච්චරයි, මං වෙන මුකුත් කරන්න හැදුවේ නෑ."
ෆ්ලොප්! සීග්‍රයෙන් දිය වෙමින් තිබ්බ කිරි දෝසි ගොඩෙන් ලොකු කෑල්ලක් ඒක වට කරගෙන හිටපු විලියම්ගේ අතෙන් බේරිලා ඇවිත් බිමට වැටුනා. ස්තූති පූර්වක සිතුවිලි වලින් හිත පිරීගෙන එද්දී පාදයක් පෙරට තියපු විලියම් ඒක කකුලෙන් වහගත්තා. කබා රාක්කය ලඟ බස්තම රඳවමින් හිටපු විලියම්ගේ තාතා සුළි කුණාටුවක් වගේ ආපහු හැරුනා.
"ඒ මොකද්ද ඒ?"
විලියම් මුළු සාලේ වටේටම ඇස් යැව්වා. "මොකද්ද තාත්තේ?"
විලියම්ගේ තාත්තා මේ වෙලාවේදී විලියම් දිහා හොඳට බැලුවා.
"මොකද්ද ඔය ඔයාගේ කෝට් එක ඇතුලේ තියෙන්නේ?"
"කෝ කොහෙද?" විලියම් ඇහැව්වේ පුදුම වෙලා වගේ.
ඊලඟට පළවෙනි වතාවට දැක්කා වගේ එයාගේ කෝට් එකේ තෙතබරි වෙච්ච ඉලිප්පීම දිහා බලලා සතුටක් ගෑවිලාවත් නැති හිනාවක් දාලා "ආ, ඒකද!" කියලා කිව්වා. "තාත්තා ඇහැව්වේ ඒදද? ආ, ඒක මේ -- ඒක මේ මං එළියට අරං යන දෙයක්, එච්චරයි."
විලියම්ගේ තාත්තා ආයෙමත් උගුරෙන් අමුතු සද්දයක් පිට කළා.
"හරි," තාත්තා කිව්වා, "ඔයා දැං ඇවිදින්න යන්න හැදුවා කියලනේ කිව්වේ. එහෙනං ඉතිං ඇවිදින්න නොයා මෙතන කකුල් පණ නැති වෙලා වගේ හිටගෙන ඉන්නේ මොන එහෙකටද?"
විලියම්ගේ තාත්තා එයාට පිටිපස්ස හරෝගෙන උඩු කබාය එල්ල එල්ල හිටියේ. ඉස්සරහා දොරත් ඇරලා. තව තත්පරයක්වත් නාස්ති කරන්න විලියම්ට ඕන වුනේ නෑ. විලියම් වෙඩිල්ලක් වගේ ඉස්සරහා දොරෙන් පිට වෙලා මිදුල හරහා දුවගෙන ගියත්, එක පාරටම 'තඩ්' සද්දෙන් කෙනෙක් ඇදගෙන වැටෙන සද්දයත්, සුදුපාට ඇලෙනසුළු සාරුවක් දිගේ ලිස්සාගෙන ගෙදර ගෘහ මූලිකයා සාදයට ආපු අමුත්තෝ ඒ වෙද්දී රැස් වෙලා හිටපු කෑම කාමරයට ඇතුල් වෙන අතරේ කටින් පිට කරපු සාපයත් විලියම්ට ඇහුනා.
"හපොයි!" දුවන අතරේම විලියම් හති දදා මිමිණුවා.
අල්ලපු ගෙදර ගෑණු ළමයා විලියම් එද්දී හැන්දකින් සන්නද්ද වෙලා සෙල්ලම් ගෙදරට වෙලා බලාගෙන හිටියා. එයාගෙ වටිනා බර පොදිය මේ වෙද්දී එයාගෙ කමිසයත් තෙමාගෙන සීතලට ඇඟට ඇලිලා තිබ්බේ. ඒක කබාය ඇතුලෙන් අරගත්ත විලියම් බොහොම ආඩම්බරෙන් ඉදිරිපත් කළා. කිරි දෝසියක තියෙන්න ඕන සුදුපාට වටකුරු හුරුබුහුටිබවනම් ඇත්තටම ඒකේ තිබ්බේ නෑ, පූසා ලෙවකාපු පාරවල් බොහොම පැහැදිලිව පෙනුනා; විලියම්ගේ කබායෙ කළු පාට ඒකට එකතු වෙලා තිබ්බා; ඒක බොහොම අප්‍රාණික පෙනුමෙන් සබන් පෙට්ටිය උඩ ඒ මේ අතට පැද්දුනා, ඒත් ඒක දැකපු ගමන් ගෑණු ළමයාගේ ඇස් දෙක දීප්තියෙන් බැබලෙන්න පටන්ගත්තා.
"අනේ විලියම්, ඔයා ඇත්තටම මේක අරන් එයි කියලා මං හිතුවෙම නෑ! ඔයා හරිම හොඳයි! අනික මට ඒවමයි ලැබුණේ!"
"මොනවද?"
"රෑ කෑමට පිට්ටු, ඒත් මං ගනං ගත්තේ නෑ, මං හිතුවා -- මං බලාපොරොත්තු වුනා ඔයා මට මේවා ගෙනත් දෙයි කියලා. අනේ විලියම්, ඔයානං ඇත්තටම ගොඩක් හොඳ පිරිමි ළමයෙක්!"
විලියම් ආඩම්බරෙන් බැබලුනා.
"විලියම්!" එකපාරටම විලියම්ගේ ගේ දිහාව්වෙන් ඇහුනේ කේන්තියෙන් පිරිච්ච බෙරිහන් දීමක්.
විලියම් ඒ කටහඬ අඳුරනවා. ඒ තමයි පළිගන්න මාන බලාගෙන ඉන්න තාත්තා කෙනෙකුගේ හඬ. එයාලා පෙයාර්ස් වලට වෙච්ච දේ දැනගන්න ඇති! අප්පා! එයාලා පෙයාර්ස් ගොඩ දකින්න ඇති! ලැබෙන්න පුළුවන් ඵල විපාක ගැන හිතුවත් විලියම්ට ඒ දර්ශනය ගැන හිතීමෙන් ඇති වෙන සන්තෝසය යටපත් වුනේ නෑ.
"අනේ විලියම්," අල්ලපු ගෙදර ගෑණු ළමයා කතා කළේ බොහොම දුකෙන්, "ඒගොල්ලෝ ඔයාට කතා කරනවා නේද? ඔයාට යන්න වෙනවද?"
"අපොයි නෑ," විලියම් අවංකවම කිව්වා. "මංනං යන්නෙ නෑ. ඒගොල්ලොම ඕන්නං ඇවිත් මාව එක්කං ගියදෙං. මෙන්න! ඔයා කන්න. මට ඕන නෑ. මං වෙන ජාති ගොඩක් කෑවා. ඔයා ඔක්කොම කන්න."
ගෑණු ළමයා රස කෑමක් රස විඳින්න ලැබෙන බලාපොරොත්තුවෙන් බැබලි බැබලී හැන්ද අතට ගත්තා.
විලියම් ආඩම්බරය පිරිච්ච පරිත්‍යාගශීලී මූණක් හදාගෙන හොඳට හේත්තු වෙලා ඉඳගත්තා. ඒත් ඊලඟ මොහොතෙදී විලියම් දැක්කේ ගෑණු ළමයාගේ මූණෙ තිබ්බ හිනාව එහෙමම ගල් වෙලා කේන්තියකින් වැහිලා යන හැටියි. හදවතට එක පාරටම දැනිච්ච මහා භයංකාර සැකයක් හින්දා විලියම් ගෑණු ළමයාගේ අතින් හැන්ද උදුරලා අරගෙන කටක් කාලා බැලුවා.
එයා කිරි දෝසි කියලා වැරදිලා අරං ඇවිත් තියෙන්නේ පිට්ටු!
***
පසු සටහන:
මේ කතාන්දරේ කියවලා රසවිඳපු ඔයාලා හැම දෙනාටම ගොඩාක් ස්තූතියි. මේක රිච්මාල් ක්‍රොම්ප්ටන් කියන අසහාය ලේඛිකාවගේ විලියම් කතා මාලාවේ එන More William විලියම් පොතේ දෙවෙනි පරිච්ඡේදය වෙන Rice Mould කියන කතාවේ පරිවර්තනය. ඒකේ පළවෙනි පරිච්ඡේදය තමයි මම කාලෙකට කළින් කලබල දවසක් කියලා පරිවර්තනය කළේ. පිට්ටු කියලා මම අපිට හුරු කෑමකට හරවගත්තේ මේ rice mould කියන වචනේ. ඒ වගේම තව පොඩි වෙනසක් මම කළා. කිරි දෝසි කියලා මම හරවගත්ත වචනේ මුල් පොතේ තියෙන්නේ blancmange කියලා. ඒකේ සිංහල තේරුම ගත්තොත් මධුර කියන්නේ 'කිරෙන් සෑදූ පුඩිමක්' කියලා. මේ දෙකම මටනම් නුහුරු කෑම වර්ග නිසා තමයි මම ඒවා පුරුදු නම් දෙකකට හරවගත්තේ. මගේ මේ සුළු වෙනස්කිරීම් ඔයාලට කතාව රසවිඳින්න බාධාවක් නොවෙන්න ඇති කියලා මම හිතනවා. ආයෙමත්, ගොඩාක් ස්තූතියි. :)

cool.... was expecting this!!! lol
ReplyDelete:D But normally, Willy is unpredictable.
Delete"සේ සේ පූස්! හොඳ පූසියෝ!" එයා රහසෙන් මුර ගෑවා. "හොඳ පූසියානේ! ලස්සන පූසි!"
ReplyDeleteමුරගෑවා කියන්නෙ බොලේ කෑගැව්ව කියන එක නේද? එතකොට කොහොමෙයි රහසින් මුරගාන්නෙ?...:)
ඈ? රහසින් මුරගාන්න බෑ කියලද අයියා හිතං ඉන්නේ? කෝ ඔය කන හරවන්ඩ මං රහසින් මුරගාලා පෙන්නන්ඩ! :P
DeleteAgain you are correct sir, I have wrongly translated 'whispered hoarsely'. BTW ayya, what is the English word for 'මුර ගෑවා'?
"සේ සේ පූස්! හොඳ පූසියෝ!" එයා දත්මිටි කාගෙන රහසෙන් කෙඳුරුවා.. "හොඳ පූසියානේ! ලස්සන පූසි!"
Deleteඑහෙම හොඳෙයි බාං? Whispered hoarsely කියන එක බැරෑඬි හඬකින් කෙඳුරුවා කියලත් කිව්වැකි. ඒත් ඊට වඩා දත්මිටිකාගෙන කිව්වම හොඳයි කියලයි මට හිතෙන්නෙ
මුර ගෑවා = Yell, Bellow, Holler
ඔන්න දැන් තමයි කියවලා ඉවර කලේ. තව තියෙනවා නේද? විලියම් තමයි පොර.
ReplyDeleteනෑ අයියේ, මෙතනින් පිට්ටු කතාව ඉවරයි. :)
Delete