89. තොප්පි...


තොප්පි වෙළෙන්දෙක් දවසක් තොප්පි ගෙනැල්ලා
ගහක් යටදි නින්ද ගිහිං මහන්සි දැනිලා
බලන විටදි ඇහැ ඇරිලා තොප්පි කූඩෙ හිස් වීලා
ගහේ උන්නු වඳුරු රෑන තොප්පි දමාලා

රවුං තොප්පි දාර තොප්පි වේවැල් තොප්පි
නංගිලාට මල්ලිලාට ලස්සන තොප්පි
පාට පාට හැඩට වැඩට අව්වට වැස්සට තාලෙට
අනේ වෙළෙන්දා ගෙනාපු පිට රට තොප්පි

පරණ කතන්දරේ යළිත් මතකෙට නැගිලා
දාං උන්නු හම් තොප්පිය හිසෙන් ගලවලා
වීසි කෙරුව ගහ මුළටම වඳුරු රෑන ඒ දැක දැක
තොප්පි එකින් එක අරගෙන ගැහුවා දමලා

රවුං තොප්පි දාර තොප්පි වේවැල් තොප්පි
නංගිලාට මල්ලිලාට ලස්සන තොප්පි
පාට පාට හැඩට වැඩට අව්වට වැස්සට තාලෙට
අනේ වෙළෙන්දා ගෙනාපු පිට රට තොප්පි

ඒ එක්කම මහ වේගෙන් හුළඟක් හමලා
විසි වෙන තොප්පිත් අරගෙන ඈතට දුවලා
ඔළුවෙ අත ගහං වෙළෙන්දා අනේ අපොයි වැළපෙන්නා
වඳුරු රැළත් ඒ දැක වැළපෙයි හූල්ලලා

රවුං තොප්පි දාර තොප්පි වේවැල් තොප්පි
නංගිලාට මල්ලිලාට ලස්සන තොප්පි
පාට පාට හැඩට වැඩට අව්වට වැස්සට තාලෙට
අනේ වෙළෙන්දා ගෙනාපු පිට රට තොප්පි

තරඟෙට හුළඟේ පාවෙන තොප්පි ඉගිලිලා
කැරකි කැරකි අහස උඩින් ගොස් පියඹාලා
බිම හැම තැන ගස් ගල් වල ගඟේ මූදෙ පීන පීන
වෙළෙන්දාගෙ තොප්පි ලෝකෙ පුරා විසිරිලා

රවුං තොප්පි දාර තොප්පි වේවැල් තොප්පි
නංගිලාට මල්ලිලාට ලස්සන තොප්පි
පාට පාට හැඩට වැඩට අව්වට වැස්සට තාලෙට
අනේ වෙළෙන්දා ගෙනාපු පිට රට තොප්පි

වීසි වෙවී තියෙන තොප්පි දැකපු උන්දැලා
මේ ලස්සන තොප්පි හොඳයි කියලා හිතලා
අරගෙන ඔළුවේ දාගෙන මේ අපෙ තොප්පිය කිය කිය
දුවන විටදි ගහ උඩ උන් වඳුරන් දැකලා

අන්න බොලේ තොප්පි හොරුන් අල්ලගනිල්ලා
නෑ නෑ මේ අපේ තොප්පි වෙඩි තියපල්ලා
මුලින් තොප්පි හොරෙන් ගත්තු හුළඟේ ගිය තොප්පි දාපු
රණ්ඩුව දැකලා වෙළෙන්දා ගියාලු හැරිලා

ඔය ඇති දැං මං වික්කා ලාබෙට තොප්පි
ආයෙත්නං විකුණන් නෑ ඔය වගෙ තොප්පි
වෙළෙන්දා මූදට ගිහිල්ලා තොප්පි කූඩෙ මූදෙ ඔබලා
අහුළං ආවා ලස්සන බෙලි කටු සිප්පි






6 comments:

  1. මේක හොඳයි බයිලාවකට :)

    ReplyDelete
  2. අම්මට වූඩු තාත්තට ගෝයා කිව්වලු...නියමයි මැඩම්...යටි අරුතත් එක්ක තියන දේශපාලන උපහාසය විශිෂ්ඨයි.ඔය ගණිත සීන් , විලියම් වගෙ එව්ව එව්ව අතරෙ මේ වගෙ එව්වත් ලියන්ට...මගේ සුබ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි, මේකෙ එහෙම එව්වත් තියෙනවද? මං දන්නෙත් නෑනෙ බොලේ! :D

      Delete
  3. මාර තොප්පියනේ!

    ReplyDelete