213. වන මැදින් මං සොයා යන ලෙසින් ගණිතය අත්විඳි සුන්දරියකගේ නික්ම යාම...

Maryam Mirzakhani (1977 -2017)

ගණිතය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් සම්මානය ලෙසින්ද හැඳින්වෙන 'ෆීල්ඩ්ස් පදක්කම (Fields Medal)' දිනාගත් ප්‍රථම කාන්තාවද, එසේම 1936 වසරේ එම පදක්කම ප්‍රදානය කිරීම ඇරඹීමෙන් පසු මේ වන තුරු එය දිනා ඇති එකම කාන්තාවද වූ ඉරාන ජාතික මේරියම් මිර්සකානි (Maryam Mirzakhani) පසුගිය ජූලි 14 වන දින මෙලොවින් සමුගත්තාය. 1994 වසරේදී ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් (International Mathematical Olympiad) තරගාවලියේදී රන් පදක්කමක්ද, 1995 වසරේදී තවත් රන් පදක්කමක් හා පූර්ණ ලකුණු සංඛ්‍යාවද දිනා ගැනීමට ඇය සමත් වූවාය. විසි හත් වැනි වියේදී හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගත් ඇය මිය යන විට හතළිස් හැවිරිදි එක් දරු මවක වූවාය. 2008 වසරේ ස්ටැන්ෆොර්ඩ් විශ්ව විද්‍යාලයේ සේවයට බැඳුණු ඇය මිය යන තුරුම එහි ගණිතය පිළිබඳ මහාචාර්යවරියක ලෙසින් කටයුතු කළාය. ඇට මිදුළු දක්වා පැතිර ගොස් තිබූ පියයුරු පිළිකාව ඇගේ මෙම අවාසනාවන්ත නික්ම යාමට හේතු වී ඇත.

පහත දැක්වෙන්නේ 2014 වසරේදී ඇය එම ගණිතය වෙනුවෙන් පිරිනැමෙන විශිෂ්ඨතම සම්මානය දිනාගැනීමෙන් පසුව සිදු කරන ලද සාකච්ඡාවක සිංහල පරිවර්තනයයි.

ගණිතය පිළිබඳව ඔබේ පැරණිම මතකය කෙබඳුද?

පුංචි කාලයේදී මට උවමනා වුණේ ලේඛිකාවක් වෙන්න. ඒ කාලේ මගේ ප්‍රියතම විනෝදාංශය වුණේ පොත් කියවන එක; ඒ කාලේ අතට අහු වෙන ඕනෙම දෙයක් මම කියවනවා. උසස් විද්‍යාලයේ අවසන් වසර වෙනකල්ම මං කවදාවත් හිතලා තිබ්බෙ නෑ මට ගණිත අංශයෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. අපේ පවුලේ සහෝදර සහෝදරියෝ තුන් දෙනෙක් හිටියා. අපේ දෙමව්පියන් හැම වෙලාවෙම අපිට සහය වුනා, උනන්දු කළා. ඒගොල්ලන්ට ඕන වුණේ අපි තුන් දෙනා අපේ ජීවිතයට වටිනකමක් එකතු කරන, ඒ වගේම අපිට තෘප්තිමත් වෙන්න පුළුවන් වෘත්තීන් වල යෙදෙනවා දකින්න. අපේ දෙමව්පියන් සාර්ථකත්වය, ජයග්‍රහණය වගේ දේවල් ගැන ඒ තරම්ම කරදර වුණේ නැහැ.

ගොඩක් පැතිවලින් ඒක මට ඉතාමත් හොඳ පරිසරයක් වුණත්, ඉරාන-ඉරාක යුද්ධෙ නිසා ටිකක් අමාරු කාලයක් වුණා. විද්‍යාව පැත්තට මගේ හිත යොමු කෙරෙව්වේ ඇත්තටම මගේ අයියා. එයා ඉස්කෝලේ ඉගෙනගත්ත දේවල් ගෙදර ඇවිත් මට කිව්වා. ගණිතය ගැන මගේ මුල්ම මතකය තියෙන්නේ මං හිතන්නේ අයියා කියපු 1 ඉඳන් 100ට තියෙන ඉලක්කම් එකතු කරන ගණිත ගැටළුව ගැන. මං හිතන්නේ එයා මොකක් හරි විද්‍යා සඟරාවක කියවන්න ඇති ගවුස් ඒ ගැටළුව විසඳපු විදිහ ගැන. ඒ ගැටළුවේ විසඳුම මාව පුදුම කළා. ඒ ගැටළුව මට විසඳගන්න බැරි වුණත්, ඒ තමයි ගණිත ගැටළුවක විසඳුමක සුන්දරත්වය මට දැනුණ මුල්ම වතාව.

ඔබේ ගණිත අධ්‍යාපනයට බලපෑ අත්දැකීම් මොනවාද? එලෙස බලපෑම් කළ පුද්ගලයන් කවුරුන්ද?

මම ගොඩක් පැතිවලින් ගොඩක් වාසනාවන්තයි. මගේ ප්‍රාථමික අධ්‍යාපනය අවසන් වෙද්දී යුද්ධයත් ඉවර වුණා; බැරි වෙලාවත් මං ඊට අවුරුදු දහයකට විතර කළින් ඉපදුණානම් මට ඉන් පස්සේ ලැබිච්ච ගොඩක් අවස්ථා මග ඇරිලා යන්න තිබ්බා යුද්ධෙ හින්දා. මං ටෙහෙරානයේ ඉතාමත් හොඳ පාසලක් වෙච්ච ෆර්සනේගන් පාසලට ගියා. එහිදී මට ඉතාමත් හොඳ ගුරුවරුන් හමු වුණා. කනිෂ්ඨ ද්විතියික ශ්‍රේණිවලදී මට මගේ මිතුරිය රෝයා බෙහෙෂ්ඨි (Roya Beheshti) මුණ ගැහුණා. එක සමාන අභිරුචින් ඇති මිතුරු මිතුරියන් හමුවෙනවා කියන්නේ හිතට ලොකු ධෛර්යයක්. 

අපේ පාසැල පිහිටා තිබුණේ ටෙහෙරානයේ පොත් වෙළඳසැල් පිරුණ මාවතක් ළඟ. මට මතකයි සෙනග පිරිච්ච මේ පාර දිගේ ඇවිදගෙන ගිහින් පොත් කඩවල්වලට අපි ගිය හැටි. මෙහෙ පොත් කඩවලදි වගේ අපිට පොත් හොඳට පෙරළලා බලලා, ටිකක් කියවලා බලලා හොඳ පොත් තෝරගන්න ඉඩක් තිබුණෙ නෑ. ඒ හින්දා අපි එක එක ජාතියේ පොත් මහ ගොඩක් එක සැරේ අරගත්තා. අපේ පාසැලේ විදුහල්පතිනියත්, පිරිමි පාසැලේ ළමුන්ට ලැබෙන හැම අවස්ථාවක්ම අපිටත් ලබා දෙන්න පුළුවන් උපරිමයෙන්ම උත්සාහ කරපු කෙනෙක්.

පස්සෙ කාලෙකදි මං ගණිත ඔලිම්පියාඩ් තරඟවලට සහභාගි වුණා. ඒවායෙදී මං වඩාත් අමාරු ගැටළු ගැන හිත යොමු කරන්න පෙළඹුනා. යොවුන් කාලයේදී මං අභියෝගවලට මුහුණ දුන්නේ හරිම කැමැත්තෙන්. ඒත් වඩාත්ම වැදගත් වුණේ ශාරීෆ් විශ්ව විද්‍යාලයේදී මට මුණ ගැහුණ විශිෂ්ඨ ගණිතඥයන් සහ මිතුරු මිතුරියන්. ගණිතයත් එක්ක කාලෙ ගත කරන්න කරන්න, මං වඩ වඩාත් තෘප්තිමත් වුණා කියලා කියන්න පුළුවන්.

ඉරානයේත් ඇමරිකාවේත් ගණිත අධ්‍යාපනයේ ඇති වෙනස්කම් ගැන කියන්න පුළුවන්ද?

මේ ගැන මට වැඩි දෙයක් කියන්න අමාරුයි, මොකද මෙහෙ ඇමරිකාවෙදී මගේ අත්දැකීම් විශ්ව විද්‍යාල කීපයකට විතරක් සීමා වෙච්ච නිසා. ඒ එක්කම මෙහෙ උසස් විද්‍යාල අධ්‍යාපනය ගැනත් මම වැඩි දෙයක් දන්නෙ නැහැ. ඒත් මට කියන්න පුළුවන්, ඉරානයේ අධ්‍යාපන පද්ධතිය මෙහෙදී බලාපොරොත්තු වෙන දේට වඩා වෙනස් බව. හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගත් කෙනෙක් විදිහට මං කියන්න ඕනේ, ඉරාන ජාතික කාන්තාවක් හැටියට මට විශ්ව විද්‍යාලයකට ඇතුළත් වෙන්න සැලකිය යුතු තරමේ ඉඩක් තිබුණ බව. පිරිමි ළමයිනුත් ගැහැණු ළමයිනුත් ගියේ වෙන් වෙන් උසස් විද්‍යාලවලට බව ඇත්තක් වුණත්, ඔලිම්පියාඩ් තරගවලට, ගිම්හාන කඳවුරුවලට සහභාගි වෙන්න ඒක බාධාවක් වුණේ නැහැ.

ඒත් ගොඩක් වෙනස්කම් දකින්න පුළුවන් තැනුත් තියෙනවා: ඉරානයේදී අපි වැඩිදුර හදාරන්න බලාපොරොත්තු වෙන විෂයපථය තෝරාගන්න ඕනෙ ශාස්ත්‍රාලයට යන්න කළින්. විශ්ව විද්‍යාලයට ඇතුලුවෙන්න ජාතික මට්ටමේ ඇතුළත්වීමේ විභාගයකුත් තියෙනවා. ශාස්ත්‍රාලයේ මං ඉගෙනගන්න කාලෙදි අපිට වැඩිපුර තිබ්බේ ඉහළ මට්ටමේ පාඨමාලා හදාරනවාට වඩා ගැටළු විසඳීමේ ක්‍රියාකාරකම්වල නිරත වෙන්න.

ඔබ හැදෑරූ විෂය ගැටළු කෙරෙහි ඔබ යොමු වුණේ කුමන හේතු නිසාද?

හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුළුවෙන කාලයේදී මගේ පසුබිම වුණේ වැඩියෙන්ම සමායුක්ත (combinatorics) සහ වීජ ගණිතය (algebra). මම ගොඩක් වෙලාවට සංකීර්ණ විශ්ලේෂණවලට කැමැත්තක් දැක්වුවා, ඒත් මං ඒ ගැන වැඩි දෙයක් දැනගෙන හිටියෙ නැහැ. අද ඒ ගැන ආයෙත් කල්පනා කරද්දි මට තේරෙනවා මං ඒ කාලෙදි හිටියේ කිසිම දැනුම්තේරුම්කමක් නැතුව. මෙහෙ හොඳ විශ්ව විද්‍යාලවල උපාධි අපේක්ෂක සිසුන් දැනගෙන ඉන්න ගොඩක් දේවල් මට ඉගෙනගන්න තිබුණා.

මම කර්ට් මැක්මුලන් (Curt McMullen) සංවිධානය කරපු බාහිර සම්මන්ත්‍රණයකට සහභාගිවෙන්න පටන්ගත්තා. ගොඩක් වෙලාවට මට දේශකයා කියපු එක වචනයක්වත් තේරුණේ නෑ. ඒත් කර්ට් කියපු ගොඩක් දේවල් මං හුඟක් අගය කරනවා. එතුමා හැම දේම සරලව, පැහැදිලිව විස්තර කරපු විදිහට මම ගොඩක් කැමතිවුණා. ඒ නිසා මම ඒ වටිනා සාකච්ඡාවලදී මතු වෙන ප්‍රශ්න එතුමාගෙන් ඉඳ හිට අහන්න පුරුදු වුණා.

එතුමාගෙන් ලැබුණ ධෛර්යය ගැන කියා නිම කරන්න බැහැ. එතුමා එක්ක වැඩ කරන්න ලැබුණ එක මගේ ජීවිතයට ගොඩක් වැදගත්. ඒත් මට හිතෙනවා මට එතුමාගෙන් තවත් බොහොම දේ ඉගෙනගන්න තිබුණා කියලා. උපාධිය ලබද්දී මං ළඟ මට අත් හදා බලන්න උවමනා වෙච්ච දළ අදහස් මහ ගොඩක් එකතුවෙලා තිබුණා.

ඔබේ පර්යේෂණ ගැන සරලව පැහැදිලි කරන්න පුළුවන්ද? එම පර්යේෂණවලට අනෙකුත් ක්ෂෙත්‍රවල ඇති සබඳතාවය කෙබඳුද?

මම වැඩියෙන්ම කටයුතු කරන්නේ පෘෂ්ඨයන් මතුපිට ජ්‍යාමිතික ව්‍යුහයන් සහ ඒවායේ විරූපණය ගැන. විශේෂයෙන්ම මම කැමති බහුවලයික පෘෂ්ඨයන් (hyperbolic surfaces) ගැන හැදෑරීමට. සමහර වෙලාවට ස්ථාවර බහුවලයික පෘෂ්ඨයක පරාමිතීන් හොඳින් අඳුනගන්න පුළුවන් යම් ස්ථලක පෘෂ්ඨයක් (topological surface) මත සියලුම බහුවලයික ව්‍යුහයන් පරාමිතිකරණය කරන මොඩියුලී අවකාශය (moduli space) හැදෑරීමෙන්.

මෙම මොඩියුලී අවකාශයන් තුළම තිබෙනවා ඉතා හොඳ ජ්‍යාමිතියක්. ඒවා ස්වභාවිකවම, ඉතාමත් වැදගත් ආකාරවලින් අවකල ජ්‍යාමිතියේත්, බහුවලයික ජ්‍යාමිතියේත්, වීජීය ජ්‍යාමිතියේත් මතුවෙන අන්දම දකින්න පුළුවන්. ඒ වාගේම සෛද්ධාන්තික භෞතීය විද්‍යාවටත්, ස්ථල විද්‍යාවටත්, සමායුක්තවලටත් ඒවායේ සම්බන්ධතා තිබෙනවා. එකම ගැටළුව දිහා විවිධ දෘෂ්ඨි කෝණවලින් බලන්නට පුළුවන් වීමත්, ඒ වෙත විවිධ මාර්ගවලින් ළඟා වෙන්නට පුළුවන් වීමත් මට ලොකු සතුටක්.

වඩාත්ම ඉටුඵලදායී (rewarding), එහෙමත් නැත්නම් ප්‍රතිඵලදායී (productive) දෙය විදිහට ඔබ සලකන්නේ කුමක්ද?

අනිවාර්යයෙන්ම, වැඩියෙන්ම ඉටුඵලදායී දෙය විදිහට මට සලකන්න පුළුවන් අලුත් දෙයක් හොයාගත්තාම දැනෙන ආවේගය, අලුත් දෙයක් වටහාගත්තාම දැනෙන සතුට තමයි. කන්දක් මුදුනටම නැගලා ඈතටම යනකල් හැම දෙයක්ම පැහැදිලිව පේන වෙලාවට හිතට දැනෙන හැඟීම තමයි ඒ. ඒත් ගොඩක් වෙලාවට, ගණිතයත් එක්ක ගනුදෙනු කරනවා කියන්නේ මටනම් පාරක් පේන්න නැති, කෙළවරක් පේන්න නැති දිග ගමනක් වගේ.

මම ගොඩක් වෙලාවට වෙනස් පසුබිම් තියෙන මිතුරු මිතුරියන් සමග ගණිතය ගැන කතා කරනවා. ඒක ගමන් මගේ ඉදිරියට යන්න ගොඩක් ප්‍රතිඵලදායක දෙයක් විදිහට මම දකිනවා.

ගණිතය පිළිබඳව වැඩිදුරටත් දැනගන්න කැමති අයට ඔබ දෙන පණිවිඩය කුමක්ද - ගණිතය යනු කුමක්ද, සමාජය තුළ එහි භූමිකාව කුමක්ද ආදිය ගැන?

මෙය අමාරු ප්‍රශ්නයක්. මං හිතන්නේ නැහැ හැම කෙනාම ගණිතඥයෙක් විය යුතුයි කියලා, ඒත් මං දන්නවා ගොඩක් සිසු දරුවන් ගණිතයට නිසි අවස්ථාවක් දෙන්නෙ නැහැ කියලා. කනිෂ්ඨ ද්විතියික පාසලේදී මම ගණිතයට එතරම් සමත්කම් දක්වපු කෙනෙක් නෙවෙයි; ඒ ගැන මම ඒ තරම් උනන්දු වුණේ නැහැ. ඒ ගැන උද්‍යෝගයෙන් හිතුවේ නැත්නම් ගණිතය කියන්නේ කෙනෙකුට තේරුමක් නැති නීරස දෙයක් වෙන්න පුළුවන්. ගණිතය එහි සුන්දරත්වය පෙන්වන්නේ සැබැවින්ම ඉතා ඉවසීමෙන් ඒ පසුපස හඹා එන්නන්ට පමණයි.


***

සාකච්ඡාවේ අවසානය කඳුළු පිරි දෑසින් පරිවර්තනය කළ මා, ඈ වෙනත් සංවාදයකදී සිය ගණිත ක්‍රමවේදයන් ගැන පළ කළ අදහසක් මෙසේ ඔබට ගෙන හැර දක්වන්නම්:

“I don’t have any particular recipe [for developing new proofs]. … It is like being lost in a jungle and trying to use all the knowledge that you can gather to come up with some new tricks, and with some luck you might find a way out.” 


***

මේ ඈ ගැන, ඈ ගැන දත් උදවිය පවසා ඇති දෑ ය:

“The majority of mathematicians will never produce something as good. And that’s what she did in her thesis.” 
Benson Farb, a mathematician at the University of Chicago

"Maryam is gone far too soon, but her impact will live on for the thousands of women she inspired to pursue math and science." 
- Stanford University President Marc Tessier-Lavigne

“What’s so special about Maryam, the thing that really separates her, is the originality in how she puts together these disparate pieces.”
- Steven Kerckhoff, Professor of Mathematics at Stanford University

"A light was turned off today .... far too soon. Breaks my heart. A genius? Yes. But also a daughter, a mother and a wife."
- Former NASA scientist Firouz Naderi

“Unprecedented brilliance of this creative scientist and modest human being, who made Iran’s name resonate in the world’s scientific forums, was a turning point in showing the great will of Iranian women and young people on the path towards reaching the peaks of glory … in various international arenas.”
- Iranian President Hassan Rouhani

පරිවර්තනය කළ සංවාදයේ මූලාශ්‍රය:
https://www.theguardian.com/science/2014/aug/13/interview-maryam-mirzakhani-fields-medal-winner-mathematician

අනෙකුත් තොරතුරු මූලාශ්‍ර:

  • https://en.wikipedia.org/wiki/Maryam_Mirzakhani
  • http://news.stanford.edu/2017/07/15/maryam-mirzakhani-stanford-mathematician-and-fields-medal-winner-dies/
  • https://www.theatlantic.com/news/archive/2017/07/maryam-mirzakhani/533799/
  • http://edition.cnn.com/2017/07/15/us/mirzakhani-obituary-first-woman-win-math-prize/index.html
  • https://www.theguardian.com/world/2017/jul/16/maryam-mirzakhani-iranian-newspapers-break-hijab-taboo-in-tributes
  • http://www.npr.org/sections/thetwo-way/2017/07/15/537419982/maryam-mirzakhani-prize-winning-mathemetician-dies-at-40


212. සිහිනය...03 (අවසාන කොටස)


රෑ බෝවීගෙන එන අතරේ නිවස ඉදිරියේ නතර වූ මෝටර් රථයෙන් බැස ගෙට ගොඩ වූ ඔහු දැකීමෙන් මාමාද, නැන්දාද ඉමහත් පුදුමයට පත් වූවෝය. චුට්ටීද, චූටි මල්ලීද ගෙදර සිටියේ නැත. ඔවුන් පන්සලට ගිය බව දැනගත් තරිඳු මාමාටද නැන්දාටද ගෙන ආ තෑගි බෝග බෙදා දී පන්සලට යාමට මගට බැස්සේය.

ඔහුට ඔවුන් හමු විය. බෝ මළුව අසළ පහන් දල්වමින් සිටි චුට්ටී දුටු තරිඳුට හීල්ලුනි. ඈ තව දුරටත් ඔහුගේ මතකයේ සිටි හිරිමල් යොවුන් දැරිය නොව සුන්දර රූ සපුවකින් හෙබි ලාලිත්‍යය ගලා හැලෙන යුවතියක බවට පත්ව සිටියා ය. ගොම්මන් අන්ධකාරය මධ්‍යයෙන් මුහුණට වැටුණු දැල්වූ පහන් ආලෝකය නිසාදෝ ඈ වඩාත් සුන්දරව පෙනුණි. ඔහු එහි සිටිනා බව මුළින්ම දුටුවේ ඈ අසළ සිටි තරුණයා ය. ඔහු අනුව හිස එසවූ චුට්ටී හොල්මනක දුටු සේ දෑස් විසල් කරගත් අන්දමද තරුණයාගේ මුවේ මද සිනහවක් නැගෙනුද ඔහු දුටුවේය. "තරිඳු මහත්තයා!" තරුණයා කීවේය.

දැල්වූ පහන් සහිත පහන් වැටකි.

තරිඳුට ඔහු හඳුනාගත නොහැකි විය. තරුණයා ඔහු අසළට ඇවිද ආවේ චුට්ටීගේ අතින්ද අල්ලාගෙන ය. තරිඳු පෙනහළු තුළ පුරවාගත් හුස්ම පිටවන්නට නොදී සිර කරගෙන සිටියේය. "මහත්තයට මාව අඳුනගන්ඩ බෑ නේද?"

ඔවුන්ගේ එකට බැඳි දෑත් දෙස නොබලා සිටින්නට වෑයම් කරමින් තරිඳු මඳ සිනහවක් පෑවේය. "මූණුවරනං හොඳට මතකයි..."

"දේස දීපංකරේ ගියාට පස්සෙනං අඹ ගස්වලට කජු ගස්වලට ගල් ගහන්ඩ නැතුව ඇති මයෙ හිතේ..." ඔහු පුළුල් සිනහවෙන් යුතුව කීවේය. "වක්කලමෙ මාළු පැටවුංනුත් පාඩුවේ ඉන්නවා මහත්තයා ගමේ ඒම නැවැත්තුවාට පස්සේ."

"කපිල!" බාල වියේදී තමාට සිටි හොඳම මිතුරා හඳුනාගැනීමට මෙතරම් වේලා ගියේ මන්දැයි තරිඳුට සිතාගත නොහැකි විය. කපිල සිහිපත් කළේ කුඩා වියේදී ඔවුන් එක්ව සිදු කළ දඟකාරකම් අතුරෙන් ඉතාමත් ස්වල්පයක් පමණි. වෙන මොහොතකදීනම් තරිඳු ප්‍රීතියෙන් ඉපිළ ගොස් කලෙකින් නොදුටු මිතුරා වැළඳගනු ඇති නමුත්, මේ මොහොතේ ඔහුගේ අතේ පැටලී තිබූ චුට්ටීගේ අත තරිඳුගේ එම ප්‍රීතියට හරස් කැපුවේය.

"මදෑ අඳුනගන්ඩ ගිය වෙලාව! මෙහෙං ගියා ගියාමයි මහත්තයා ආයෙ පළාතෙ ආවෙ නෑ නොවැ."

"එන්න බැරි වුණානෙ කපිල..." තරිඳු යළි චුට්ටි දෙස බැලුවේය. ඇගේ දෑස් බිමට යොමු වී තිබුණි. "චුට්ටී..." සිතට දිරි ගෙන ඔහු ඈ ඇමතුවේය. ඇය හිස එසවූවා ය. "කොහොමද ඉතිං?"

ඇය මඳ සිනහවක් පෑවා ය. "හොඳින් තරිඳු අයියෙ..." ඇගේ ඇමතුමේ වූ දුරස් බව ඔහුගේ හදවතටම දැනුණි. "යන්තං නිවාඩුවක් හම්බවුණාද?"

ඔහු අපහසුවෙන් සිනහවක් පා හිස සැලුවේය. "ඔව්, පොඩි නිවාඩුවක් ගත්තා."

චුට්ටී පන්සලේ හිඳිනු ඇත්තේ තනිව නොවනු ඇති බව ඔහු දැන සිටියද, එහි සිටිනු ඇත්තේ තම බාල වියේ හොඳම මිතුරා වනු ඇති බවට කිසිදු බලාපොරොත්තුවක් ඔහු වෙත තිබුණේ නැත. තම දෛවය මෙතරම්ම තමාට සරදම් කරන්නේ මන්දැයි ඔහුට සිතාගත නොහැකි විය. එසේම සියල්ල මෙසේ සිදු වී ඇත්තේ තමාගේම වරදින් බවද ඔහු හොඳින්ම දත්තේය.

මව පැවසූ ලෙසින්ම ඔහු ප්‍රමාද වූවා වැඩි ය.

ඔහු තම සිහිනය පසුපස දිව ගොස් ඇත්තේ තරගයකය. නමුත් තමා තරග කොට ඇත්තේ තමා සමගම බව අවසානයේදී ඔහුට වැටහී ගියේය. එහිදී දිනුම සේම පරාජයද ලබා ඇත්තේ තමා ම බව ඔහුට පසක් විය. ඔහු ඔහුගේ සිහිනය ජය ගන්නා තුරා කාලය හෝ චුට්ටීගේ ජීවිතය හෝ නතර වී නොසිටිනා බව ඔහුට වැටහුණේ ඒ මොහොතේදී ය.

"අපිත් දැං ගෙදර යන්න කියලා හැදුවේ තරිඳු මහත්තයා," කපිල කතා කළේය. "මේ ටිකේම මෙයාට බෝධි පූජාවක් කරන්න ඕනෙ කියලා පන්සල පැත්තෙ ආවා... අපෙ මංගල්ලෙත් ළඟයිනේ..."

තරිඳු හිස සැලුවේය. "ඔව්, මට ආරංචි වුණා..."

ඔහුද ඔවුන් දෙදෙනා හා පන්සලේ ගේට්ටුව දෙසට ඇවිද ගිය අතර එතෙක් පොඩි හාමුදුරුවන් හා කතා කරමින් සිටි චූටි මල්ලීද දිව විත් ඔවුනට එකතු වූවේය.

"නැන්දලාත් ආවද තරිඳු අයියේ?" මඳ නිහැඬියාවකට පසු සමාධි ඇසුවාය.

"නෑ. තාත්තා ගාල්ලෙ ගිහිං, ඔෆිස් එකේ වැඩකට."

"අයියා අක්කලාගෙ වෙඩිං එකට ඉඳලා නේද ආපහු යන්නේ?" එවර චූටි මල්ලී ඇසූ පැනයෙන් තරිඳු අසරණ විය. කපිල තරිඳුගේ කරටද අතක් දමාගෙන එයට හවුල් විය. "ඉමු ඉමු, තව සති දෙකක්වත් නෑනේ..."

තරිඳු චුට්ටි දෙස බැලුවේය. ඇයද හිස ඔසවා ඔහු දෙස බැලුවාය. ඇය සැමදා සුපුරුදු, එහෙත් මින් පෙර කිසිදා මෙතරම් සුන්දර ලෙසින් ඔහුට නොදැනුණු, සිනහවක් පෑවාය. තරිඳු දුටු මොහොතේ ඈ තුළින් දිස් වූ කැලඹීම මේ වනවිට ඈ තුළ දක්නට නොවී ය. ඒ වන තුරුද කපිලගේ සුරතේ අතැඟිලි පටලාගෙන සිටි ඈ වෙතින් ඒ මොහොතේ දිස් වූයේ නොබෝ දිනෙකින් මනාලියක වීමට සිහින දකිනා යුවතියකගේ දීප්තියයි. "තරිඳු අයියා ඉන්නම ඕනෙ..." ඇය කීවාය.

බොහෝ වේලා කල්පනා කළ ඔහු අවසානයේදී හිස සැලුවේය. තමා වෙනුවෙන් වූ චුට්ටීගේ සිහිනය සුනුවිසුණු කර දැමූ තමා, ඈ වෙනුවෙන්, ඇගේ අලුත් සිහිනය වෙනුවෙන්, තම සිහිනය මදකට කල් දැමුවාට කම් නැතැයි ඔහු අවසානයේදී තීරණය කළේය.

එදින රාත්‍රියේම යළි කොළඹ ඒමට පිටත් වූ ඔහු සඳ එළියෙන් එකළු වූ වැව් බැම්මක් මත මෝටර් රථය නතර කළේය. එතෙක් කල් කාව්‍යමය වදන් තුළ ඔබ්බවා පැවසූ ඈගේ සිතැඟි සියල්ල ඉතාමත් පැහැදිලිව, කුඩා දරුවෙකුට වුවද වටහාගත හැකි සිංහලයෙන් ලියා එවා තිබූ ඈගේ අවසන් ලිපිය කියවනා අතරේ ඔහුගේ දෑස් රත් පැහැ ගැන්වී කඳුළු උනන්නට පටන්ගත්තේය. එම ලිපියටද ඔහුගෙන් පිළිතුරක්, අවම වශයෙන් ඉඟියක් හෝ නොලැබුණහොත් ඒ තමා හට ඔහු ගැන බලාපොරොත්තු අත් හැරගන්නා ලෙසට වූ ඔහුගේ පිළිතුර ලෙසින් ඈ හට බාරගන්නට සිදු වන බව පවසා තිබූ ලිපියේ අවසානය කියවන මොහොතේ එම කඳුළු කැට ඔහුගේ මුහුණ හරහා ගලා විත් ලිපිය මතට වැටී ඈගේ අත්සන බොඳ කර දැමුවේය.

අවසන, ඔහු ඇගේ මතක සුවඳ රැගත් කඩදාසිය දෑතින්ම ගුලි කොට මෝටර් රථයේ කවුළුව පහත් කොට රැළි නගන වැව් දිය මතට වෙර යොදා විසි කර දැමුවේය. හමා ආ සිහිල් සුළං රැල්ලෙන් ඔහුගේ ගතේ විඩාව මදකින් අඩු වුවද සිතෙහි වූ පීඩාව එතරම් ඉක්මණින් සමනය නොවන බව ඔහු දැන සිටියේය. මෝටර් රථයේ ගුවන් විදුලිය ක්‍රියාත්මක කළ ඔහු අසුනේ පිටුපසට බරව දෑස් පියාගත්තේය. ඉන් ගලා ආ ගීත රාවය එම මොහොතේ ඔහු සොයා ආවේ මන්දැයි ඔහු තවමත් දන්නේ නැත.

Joni was the girl who lived next door
I've known her I guess ten years or more
Joni wrote me a note one day
And this is what Joni had to say

Jimmy please say you'll wait for me
I'll grow up someday you'll see
Saving all my kisses just for you
Signed with love forever true

Slowly I read her note once more
Then I went over to the house next door
Her tear drops fell like rain that day
When I told Joni what I had to say

Joni, Joni please don't cry
You'll forget me by and by
You're just fifteen and I'm twenty two
And Joni I just can’t wait for you

Soon I left our little home town
Got me a job and tried to settle down
But these words kept haunting my memory
The words that Joni said to me

Jimmy please say you'll wait for me
I'll grow up someday you'll see
Saving all my kisses just for you
Signed with love forever true

I packed my clothes and I caught a plane
I had to see Joni I had to explain
How my heart was filled with her memory
And ask my Joni if she'd marry me

I ran all the way to the house next door
But things weren't like they were before
My tear drops fell like rain that day
When I heard what Joni had to say

Jimmy, Jimmy please don't cry
You'll forget me by and by
It's been five years since you've been gone
And Jimmy I’m married to your best friend John



~ සමාප්තයි ~




211. සිහිනය...02


සමාධි තරිඳුගේ ඇවැස්ස නෑනාය; ඔහුගේ මවගේ බාල සොයුරාගේ එකම දියණිය ය. බාල වියේදී තරිඳුගේ පවුලද වාසය කළේ කුරුණෑගල, මාමලා සිටි මහ ගෙදරට නිවෙස් තුන හතරකට එපිටින් වූ නිවසක ය. නමුත් ඔහු ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වී කොළඹ පාසලක අධ්‍යාපනය ලබන්නට පටන්ගත් පසුව, පුද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ තනතුරක් දැරූ ඔහුගේ පියාද කොළඹට මාරු වී ඔවුන්ගේ පවුලම කොළඹ පදිංචියට පිටව ගියෝ ය. ඒ වන විට හය හැවිරිදි වියේ සිටි සමාධිට ඔවුන්ගේ වෙන්ව යෑම දරාගත නොහැකි තරම් විය. එබැවින් මුල් කාලයේදී පාසැල් නිවාඩුවට සමාධි සිය මව සමග සතියක් පමණ කොළඹ පැමිණ නතර වන්නට පුරුදු වූවාය. නමුත්, ඇගේ බාල සොයුරා උපත ලැබීමෙන් පසුව තව දුරටත් එසේ කරන්නට හැකියාවක් ලැබුණේ නැත. ඉන්පසුව ඉඳ හිට සමාධි සිය පියා සමග කොළඹ පැමිණියද, එදිනම හෝ පසු දිනම ආපසු යාමට සිදු විය. තරිඳු සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් වසර වන තෙක් ඇතැම් නිවාඩු කාලවලදී ඔහු පැමිණ මාමලාගේ නිවසේ නතර වී සිටි නමුත් කෙමෙන් ඔවුන්ගේ එම යාම් ඊම් අඩු වී ගොස් අවසානයේදී සිංහල අවුරුද්දට නෑගම් යාම හා දනක්, බණක් හෝ පිරිත් පිංකමක් යනාදියට පමණක් සීමා විය.

තරිඳු නොනැවතී තම සිහිනය පසුපස හඹා යන අතරේ කාලයද සෙමින් ගලා ගියේය. ඔහු විදෙස්ගතව දැනට සත් වසරකි. ඉංජිනේරු උපාධියද, විද්‍යාපති උපාධියද සාර්ථකව නිම කර සිටි ඔහු ලන්ඩන් නගරයේ උසස් රැකියාවක නියුතුව සිටිනා අතරේ ආචාර්ය උපාධියද හදාරමින් සිටියේය. මුල් කාලයේදී විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේද, අනතුරුව මිතුරෙකුගේ නිවසකද නවාතැන් ගත් තරිඳු එංගලන්තයේ ස්ථීර පුරවැසිභාවය ලබාගැනීමෙන් පසු, කාර්යාලයට වඩා ආසන්න ස්ථානයක පදිංචියට ගියේය. එම සත් වසර පුරා ඔහු යළි ලංකාවට පා තැබුවේ එකම එක් වතාවක් පමණි. ඒ, ඔහුගේ උපාධි ප්‍රදානෝස්තවයට පැමිණි දෙමාපියන් හා ලංකාවට පැමිණි වතාවේ දී ය. නමුත් ඉක්මනින්ම ආපසු එංගලන්තය බලා පිටව යාමේ උවමනාවෙන් සිටි ඔහුට, මව්පියන් කෙතරම් පෙරැත්ත කළද කුරුණෑගල ගොස් ඥාතීන් බැහැ දැකීමට කාලයක් නොවීය.

ඔහුගේ මව ඉඳහිට ඔහුට ලිපි ලීවාය. මුල් වසර කිහිපය තුළදී සමාධිගෙන්ද ඔහුට බොහෝ ලිපි ලැබුණි. නමුත් කවරෙකුගෙන් ආ කවර ලිපියකට වුවද පිළිතුරු සැපයීමට ඔහුට වෙලාවක් නොවී ය. මව එවූ ලිපි කෙසේ වෙතත් සමාධිගේ ලිපි වල වූ කවි කතන්දරවලටනම් පිළිතුරු ලියන්නට ඔහු දැන සිටියේද නැත. ඔහුගෙන් පිළිතුරු නොලද නිසාදෝ ගෙවුණු වසර කිහිපය තුළදී ඈගේ ලිපි එවීමද බොහෝ සෙයින් අඩු වී ගොස් තිබුණි. ඉඳහිට නිවසට ලබා දෙන දුරකථන ඇමතුමකදී මාමලාත්, චුට්ටීත්, චූටි මල්ලීත් සිහිපත් කළ බව පැවසීමෙන් පමණක් සිය ඥාතීන් සතුටු වනු ඇතැයි ඔහු සිතුවේය.

මවගේ දුරකතන ඇමතුම ලැබෙන විට ඔහු සිටියේ ව්‍යාපෘති යෝජනාවක් සකසමිනි. ඔහු පරිගණක තිරයට දෑස් ඔබාගෙනම දුරකතනයට පිළිතුරු දුන්නේය. "හෙලෝ අම්මේ!"

දුරකථන ඇමතුමක යෙදෙන තරුණයෙකුගේ සේයාරුවකි

ඇගේ සුපුරුදු දයාවෙන් පිරි කටහඬ ඇසුණි. "කොහොමද පුතේ?"

"වරදක් නෑ. අම්මලාට කොහොමද?"

"මමනං ඔහෙ ඉන්නවා. තාත්තානං ඩිංගක් අසනීපෙන්."

"ඒ මොකද?"

"ප්‍රෙෂර් ඩිංගක් වැඩි වෙලා."

"පරිස්සං වෙන්න එපැයි."

"බෙහෙත් ගත්තා ඉතිං."

"හ්ම්ම්. මං මේ මාසෙදි වැඩිපුර සල්ලි ටිකක් දාන්නංකෝ."

මඳ නිහැඬියාවකට පසු ඇසුණේ මවගේ සුසුම් හඬකි.

"ඇයි අම්මේ?"

"නෑ පුතේ... මුකුත් නෑ..."

නමුත් ඇගේ හැඬුම් යටපත් කරගැනීමට දරනා උත්සාහය ඔහුට දැනුණි. "අම්මේ... තාත්තාට මොකද?"

"බය වෙන්න දෙයක් නෑ පුතේ... බෙහෙත් ගන්නවනේ..."

"එහෙනම් මොකද ඔය?"

"කලට වෙලාවට සල්ලි ලැබිලා විතරක් මක් කරන්නද දරුවෝ?"

"ඒ කියන්නේ?"

"පුතා ළඟදි එන්නෙ නැද්ද මෙහෙ?"

"ඇයි හදිසියෙම?"

ඈ යළිත් කතා කළේ තවත් මොහොතක් නිහඬව සිටීමෙන් පසුය. "අවුරුදු හතරකින් ආවෙ නෑ අම්මා තාත්තා බලන්න." ඇය නෝක්කාඩු ස්වරයෙන් කීවාය. "හදිසියෙම වෙන්නෙ කොහොමද?"

ඔහු මඳ සිනහවක් පෑවේය. "එන්නං අම්මේ, ලබන අවුරුද්දෙ පී එච් ඩී එක ඉවර කරපු ගමන් එන්නංකෝ."

යළිත් ඈගේ සුසුම් හඬ ඇසුණි. "චුට්ටිගෙ වෙඩිං එකටවත් එන්නෙ නැද්ද?"

තරිඳු තිගැස්සුනි. "ඈ?"

"ඇයි?"

"චුට්ටිගෙ වෙඩිං එක?"

"ඔව්, ඇයි චුට්ටිම දැං මාස ගාණකට උඩදි පුතාට විස්තර ලියලා එව්වයි කිව්වනේ. ඒ හින්දා මං ආයෙ කියන්න ගියෙ නෑ."

විභාග හා රාජකාරි ගොන්නක් මැද සිරවී සිටි දිනෙක ආ චුට්ටීගේ අත් අකුරෙන් ලිපිනය ලියැවුණු ලිපිය කියවීම පසුවට කල් දැමූ බවද, ඒ ගැන එහෙම පිටින්ම අමතකව ගිය බවද ඔහුට සිහිපත් විය. ඔහු මේසය මත වූ ලැප්ටොප් පරිගණකය වසා දැමුවේය. "මට ඒක කියවන්න බැරි වුණානේ... වැඩ අස්සෙ..." ඔහු වදන් ගලපාගත්තේය. ඒ ගැන අසා තමන් හට මෙතරම් අපහසුවක් දැනෙන්නේ මන්දැයි සිතමින් ඔහු මේසය මත වූ වතුර වීදුරුව අතට ගෙන වියළී ගොස් තිබූ උගුර තෙත් කරගත්තේය. "කවදද වෙඩිං එක?"

"ලබන මාසෙ මුළ. දිනේ තාම හරියට අපි දන්නෙ නෑ. මාමලා බුලත් දෙන්න එනවා කිව්වා අනිද්දාට."

"කොහෙ එක්කෙනෙක්ද බඳින්නේ? මොනවා කරන කෙනෙක්ද?"

"ගමේම කෙනෙක් කිව්වෙ. අර දරුවා එවපු ලියමනේ ඇතිනෙ විස්තර."

"ඉගෙනගත්තු කෙනෙක්ද?"

එවර තරිඳුගේ සවනට දුරකථනය හරහා ගලා ආවේ වෙහෙසකර සුසුම් හඬකි. "මෙච්චර කාලෙකට ඒ කෙල්ලගේ ලියමනකටවත් උත්තර යවන්නෙ නැතුව දැං මොකටද ඔය හැටි විස්තර අහන්නේ?"

තරිඳුගේ පපු කුහරය තුළ තියුණු නිය පහරකින් සූරන්නාක් වැනි වේදනාවක් ඇති විය. "ඇයි අම්මෙ චුට්ටි මෙච්චර ඉක්මනට බඳින්නේ… චුට්ටි තාම පොඩියිනේ..." ඔහු තම සිත පතුළේ තැන්පත්ව තිබූ දහසය හැවිරිදි චුට්ටිගේ රුව සිහිපත් කරගනිමින් කතා කළේය. "මං හිතුවෙ නෑ චුට්ටි මෙච්චර ඉක්මනට බඳියි කියලා... එයාට තව ඉගෙනගන්න තිබ්බනේ... එයාට කැම්පස් මිස් වුණේ යන්තමින්නේ... තව එක සැරයක් හරි ට්‍රයි කරන්න තිබ්බනේ... අපරාදෙනේ... ඇයි-"

ඔහු කතාව නතර කොට දෑස් පියාගත්තේය. තමා තෙපලූ වදන් මින් පෙර තමාද අසා ඇති බව ඔහුට සිහිපත් විය. නමුත් වසර ගණනාවකට පෙර ඇගේ මුවින් එම වදන් ඇසෙනා කල එහි සැඟව තිබූ ගැඹුර ඔහුට එකල වැටහුණේ නැත.

තමාට හිමිව තිබූ දෑ කොතෙක්දැයි එය අහිමි වන්නට යන බව දැනෙනා තුරා ඔහුට වැටහුණේ නැත.


***


පෙර දැනුම් දීමකින් තොරව හිටිහැටියේ හිමිදිරි පාන්දරක ගෙදර පැමිණි තරිඳු දුටු මව පළමුවෙන් මහත් පුදුමයට පත් වූවා ය. අනතුරුව මහත් ප්‍රීතියෙන් යුතුව සෙනෙහසින් ඔහු වැළඳගත්තාය.

"තාත්තා කෝ අම්මේ?" පියාගේ මෝටර් රථය නිවසේ තිබුණද ඔහු පෙනෙන්නට නොසිටියෙන් තරිඳු විමසුවේය.

"ඔන්න විවේක ගත්තා ඇති කියලා ආයෙ වැඩට යන්න පටන් ගත්තෙ ගිය සතියෙ ඉඳං. දවස් දෙකක වර්ක්ෂොප් එකක් කියලා ඊයෙ හවස ගාලු ගියා. ඔෆිස් වෑන් එකේ ගියෙ."

"දැන් අමාරුවක් නැද්ද?"

"නැහැයි කියන්නේ."

මවගේ සත්කාර ලැබ හෝරා දෙක තුනක විවේකයක් ගත් තරිඳු යළිත් හැඳ පැළඳගනු දුටු මව ඔහු වෙත ආවාය. "ආයෙ මේ කොහෙ දුවන්නද?"

"මාමලාගෙ දිහා."

"අර මොකද හිටි ගමන් ඒ පැත්ත මතක් වුණේ?"

තරිඳු වරක් මව දෙස බලා යළි ඉවත බලාගෙන සිය අත් ඔරලෝසුව පැළඳගත්තේය. අනතුරුව ඔවුනට ගෙනියන්නට සූදානම් කරගෙන සිටි තෑගි මල්ලක්ද අතට ගෙන ඔහු යළි මව වෙත හැරුණේය. "අම්මත් එනවද?"

"තාත්තා එනකල් ඉඳලා අනිද්දා දිහාට තාත්තත් එක්කම යමුකො පුතේ? මං තාත්තට කතා කරලත් කිව්වා පුතා ආපු බව. ඒත් ඉතිං වර්ක්ෂොප් එක මැදදි එන්න හැටියක් නෑනේ. හෙට පුළුවන් ඉක්මනට එන්නං කිව්වේ."

"තාත්තා ඔය දුර ගිහිං ඇවිත් ටිකක් රෙස්ට් කරපුදෙං. අම්මටත් එන්න කම්මැලිනං ඉන්නකො. මං තාත්තගෙ කාර් එකේ යන්නං, කමක් නෑ නේද? ඒකෙ ගියොත් අද රෑම හරි හෙට උදේම හරි මට ආපහු එන්න පුළුවන්."

"තනියම යන්න පාරවල් මතකද?"

"අපොයි ඔව්," තරිඳු සිනාසුණේය.

වෙනත් කිසිවක් නොකියූ ඔහු මවගේ දෙපා නැමැද කැබිනෙට්ටුව මතින් මෝටර් රථයේ යතුරද අතට ගෙන දොර විවර කරගෙන පිටව යන දෙස බලා සිටි ඇය යළිත් ඔහු ඇමතුවාය. "පුතේ..." නතර වුවද ඔහු හැරී බැලුවේ නැත. මව ඔහු අසළට ආවාය. "මොකද මේ?"

"ඇයි අම්මේ?" තමා ඈ වෙතින් දෑස් සඟවාගත්තද තම සිත ඇගෙන් සඟවාගත නොහැකි බව ඔහුට වැටහුණි.

"මොකද මේ හදිසියෙම එහෙ දුවන්නේ? මෙච්චර කාලයක් අමතක වෙලා වාගේ ඉඳලා?" ඔහු නිහඬව බිම බලා සිටියේය. "චුට්ටිගෙ මංගල්ලෙ ගැන දැනගත්තු හින්දද?"

ඈ කෙළින්ම එල්ලය බලා හී පහර විදි නමුදු ඔහු එය ප්‍රතික්ෂේප කරන්නට යළිත් උත්සාහ කරමින් ව්‍යාජ සිනහවක් පෑවේය. "එහෙම දෙයක් නෑ අම්මේ..."

"එහෙනං ලබන අවුරුද්දේ එන්නං කියපු මිනිහා තකහනියෙම සුමාන දෙකෙන්ම ගෙදර ආවෙ?"

"පොඩි බ්‍රේක් එකක් හම්බවුණා. ඉතිං ආවා."

මව ඔහු දෙස බොහෝ වේලාවක් බලා සිටියාය. "ඔය හැටි කැක්කුමක් තිබ්බනං මොකද ඒ ළමයගෙ එක ලියමනකටවත් උත්තර යැව්වෙ නැත්තෙ? මෙහෙ ආපු එකම එක වතාවෙදිවත් ඒ පැත්තට නොගිහිං හිටියෙ? අඩුගානේ ටෙලිෆෝන් පණිවිඩයක්වත් දුන්නෙ නැත්තෙ?"

ඔහු නොඉවසිල්ලෙන් හිස වැනුවේය. "අම්මේ..."

"දැන් එහෙ ගිහින් තේරුමක් නෑ පුතේ..."

"ඇයි ඒ?" ඉවත බලාගෙන සිටි තරිඳුට තම දෑස් රත් පැහැයට හැරෙමින් එන බව දැනුණි.

"දැන් පුතා පරක්කු වැඩියි..."

එවර ඔහු සෙමින් හිස හරවා මව දෙස බැලුවේය. තවත් මවගෙන් කිසිවක් සඟවා පලක් නැත. "මං හිතං හිටියේ චුට්ටි මගේ කියලා..." ඔහු මිමිණුවේය.

මව දිගු සුසුමක් හෙලුවාය. "අපිත් හිතං හිටියේ පුතා චුට්ටිව අපේ ගෙදරට එක්කං එයි කියලා... ඒත් පුතා ඒ ගැන කිසිම උනන්දුවක් පෙන්නුවෙ නැති හින්දා, මාමලා වෙන කටයුත්තක් ගැන බලන්නද කියලා අහපුවාම අපි කිව්වා කැමැත්තක් කරන්න කියලා..."

"ඇයි ඉතිං මගෙන් ඇහුවෙ නැත්තෙ?"

"කෙළින්ම අහපු නැති එක හරි. ඒත් මතක් කරලා බලන්න කෝල් කළාම, ලියුම්වල එහෙම මං කොයි තරම් චුට්ටි ගැන පුතාත් එක්ක කතා කරන්න හැදුවද කියලා. ඔයාට ඒ ගැන කිසිම උනන්දුවක් තිබ්බෙ නෑ… ඒ කෙල්ල දවස් ගාණක් පොළොවෙ හැපි හැපි අඬලා අඬලා තමයි අන්තිමට මාමලාගේ වදෙන් බේරෙන්න බැරුව ඔය කටයුත්තට කැමති වෙලා තියෙන්නේ..."

තරිඳු තමාටම සිතින් ශාප කරගනිමින් දිගු සුසුමක් හෙලුවේය. ඈ තම සින්නක්කර උරුමයක් සේ සලකා අමතකම කර දමා තිබූ ඔහුට, එය එසේ නොවන බව දැනෙනා තුරා ඈ ගැන සිතන්නට උවමනාවක් නොවීය. තවමත් විවර නොකළ ඇගේ අවසන් ලිපිය ඔහුගේ සාක්කුවේ සුරැකිව රැඳී තිබුණි. එය තමාට මග හැරී ගියේ මන්දැයි ඔහු නැවත නැවතත් තම දෛවයට ශාප කරමින් කල්පනා කළේය. දෙසතියකට පෙර ලැබුණු මවගේ දුරකතන ඇමතුමෙන් පසුව ඔහු පොත් පත්තර ගොඩක් තුළ අතරමංව තිබූ එම ලිපිය සොයාගත්තද එය විවර කර කියවන්නට බිය වූවේය. ඒ වෙනුවට පැරණි බඩු පෙට්ටියක් තුළ දුහුවිලි කමින් දිරාපත් වෙමින් තිබූ ඈ පෙරදී එවූ ලිපි සියල්ල සොයාගෙන කියවූවේය. එකල නොවැටහුණු, ඇගේ වදන් තුළ සැඟව තිබූ සැබෑ අරුත ඔහුට ඒ මොහොතේදී වැටහුණි. ඔහු මව් රටින් පිටව ඒමට පෙර ඈ ඔහුට තෑගි කළ, ඇගේ පණ මෙන් ඈ සුරැකි ඇගේ කවි පොතද ඔහු මුළ සිට අගටද, අග සිට මුළටද යළි යළිත් කියවූවේය. තව දුරටත් එම වදන් බොළඳ අරුත් සුන් විකාර ලෙස ඔහු සැලකුවේ නැත. එම සියල්ල, කරුණාබර දයාවෙන් පිරි යෞවනියකගේ හද පත්ලෙන් නැගි සෙනෙහසක සටහන් බව ඔහු මේ වනවිට පිළිගෙන තිබුණි. නමුත් ඈ එවා තිබූ අවසන් ලිපිය කියවන්නට ඔහුට සිත එඩි කරගත නොහැකි විය.

මව කුමක් පැවසුවද ඔහු එහි යා යුතුම විය. තමා සැබැවින්ම ප්‍රමාද වූවා වැඩිදැයි දැනගැනීමට ඔහුට උවමනා විය. එබැවින් ඔහු මවගෙන් සමුගෙන පිටව ගියේය.


- මතු සම්බන්ධයි -




210. සිහිනය...01

සූට්කේසයක් සූදානම් කරමින් සිටිනා තරුණයෙකුගේ සේයාරුවකි

"අයියෙ!"

තරිඳු ඇඳ මත අසුන්ගෙන සිටියේ දොරට පිටු පා වුවද ඒ කතා කළේ තම ඥාති සොයුරිය වූ සමාධි නොහොත් චුට්ටී බව හඳුනාගන්නට ඔහුට අපහසු වූයේ නැත. මඳ වේලාවකට පෙර ගේට්ටුව අසළින් ඇසුණු ත්‍රීරෝද රථයෙන් බසින්නට ඇත්තේ මාමාත් චුට්ටීත් විය යුතු බව ඔහු අනුමාන කළේ ඔවුන් අද දින පැමිණෙන බව පෙරදී දන්වා තිබූ බැවිනි. නමුත් ඔහු හිස පමණක් නොව කඳද හරවා හැරී බැලුවේ ඒ සාමාන්‍යයෙන් ඈ ඔහු අමතන, සත්ත්ව නාමාවලියක් බඳු ශබ්ධ කෝෂයෙන් පරිබාහිර වූ ඇමතුමක් වූ බැවිනි.

කාමරයේ දොර රෙද්ද සිරුරේ ඔතාගෙන, දෑත පිටුපසට බැඳගෙන බලා සිටි ඈ දුටු ඔහුට සිනහවක් පහල විය. දහසය හැවිරිදි වියේ පසුවන ඈ පසුගිය වසරේ කිරි අත්තාගේ පිංකමේදී අවසන් වරට දුටුවාට වඩා තවත් මදක් උස ගොස් ඇති බව තරිඳුට සිතුණි. "මොකද කොල්ලන්ගේ කාමරවලට එබෙන්නේ?" ඔහු එසේ අසමින් යළි සිය සූට්කේසය වෙත හැරුණේය. උසස් පෙළ ඉහළින්ම සමත් වූ ඔහු සරසවි වරම් අපේක්ෂාවෙන් සිටියදී එංගලන්තයේ විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය ලැබීමට ලැබුණු ශිෂ්‍යත්වය ඔහුගේ සිහිනයක් සැබෑ වීමක් විය. සැබැවින්ම කිවහොත් ඔහුගේ ජීවිතයේ ලොකුම සිහිනය සැබෑ කරගැනීමේ මාර්ගයේ වැදගත්ම සංධිස්ථානය විය. එංගලන්තය බලා පිටත්වීමට නියමිතව ඇත්තේ පසු දිනට එළි වන පාන්දර ය. ගමනට සියල්ල සූදානම් ය. තවත් සුළු අඩු වැඩියන් කිහිපයක් පුරවාගැනීමෙන් පසු ඔහුට විවේකයක් ගත හැක. දෙපා අද්දවමින් කාමරය තුළට ඇවිද ආ චුට්ටී ඔහුගේ ලියන මේසයට හේත්තු වුවද වදනක් හෝ දෙඩුවේ නැත. "අද මොකද රේඩියෝ එකේ බැට්‍රි බැහැලද?" තරිඳු යළිත් විමසුවේය.

"මං හිතුවෙ නෑ අයියා මෙච්චර ඉක්මනට යයි කියලා," ඇය මිමිණුවාය.

"මාත් හිතුවෙ නෑ හලෝ මෙච්චර ඉක්මනට පිං පළ දෙයි කියලා. තමුසෙත් ඔය කවි කොළ කුරුටු ගගා ඉන්නෙ නැතුව හොඳට විභාගෙ කරගන්නවා." කිරි අත්තාගේ පිංකමට ගමේ ගොස් සිටියදී අතට හසු වූ චුට්ටීගේ විකාර කවි පොත කියවා තමා සිනාසුණු තරම් සිහිපත් වී තරිඳු යළිත් සිනාසුණේය. "චූටි මල්ලි විභාගෙට ලෑස්ති වෙනවද?"

"මොන පිස්සුද. අනිද්දා ශිෂ්‍යත්වෙ කියලා එයාට ගාණක්වත් නෑ. අදත් අපිත් එක්ක කොළඹ එන්න ඕනෙ කියලා පොරේ. අම්මටත් දුකයි අයියා යන්න කළින් බලන්න එන්න බැරි වෙච්ච එකට." ඇය පාර්සලයක් දිගු කළාය. "මෙන්න අම්මා දුන්නා අයියට ගෙනියන්න දෙන්න කියලා."

"මොනවද?" තරිඳු එය අතට ගනිමින් ඇසුවේය.

"හැලපයි අග්ගලයි. තව අයියා ආස හින්දා අද කාලා යන්න කිරි කොස් මාළුවකුත් හදලා දුන්නා. ඒක මං නැන්දාට දීගෙන ආවේ."

පාර්සලය සූට්කේසය තුළ සීරුවට අසුරාගත් තරිඳු අනතුරුව එළැඹි නිහැඬියාව මධ්‍යයේ ලියකියවිලි රැගත් ලිපිගොනු කවරය යළිත් වරක් පෙරළා බලා එය කුඩා ගමන් මල්ල තුළ තැන්පත් කරගත්තේය.

ඔහු දෙස නිහඬව බලා සිටි සමාධි යළිත් හඬ අවදි කළාය. "අයියාට මෙහෙ හොඳම කැම්පස් එකකින් ඩිග්‍රි එක කරගන්න පුළුවන්කම තියෙද්දි අපරාදෙනෙ අනේ. අඩුගානේ ඒකවත් ඉවර කරගෙන යන්න තිබ්බනේ."

"එහෙමයි කියලා මේ ස්කොල් එක අත අරින්න පුළුවනෑ මෝඩියේ! මේක හරියට කරගත්තොත් මට එහෙංම මාස්ටර්ස් එකත් කරගන්න පුළුවන්. මුළින් පොඩියට හරි ජොබ් එකක් හොයාගෙන හෙමීට එහෙම සෙට්ල් වුණාම ඇති. පස්සෙ ඉබේම පාර හැදෙයි."

තරිඳුගේ සිහිනයේ කෙළවර ගැන සමාධිද දැන සිටියාය. ඔවුන් එක්ව කෙළි සෙල්ලම් කළ බාල වියේ පටන්ම ඔහු බොහෝ වර ඈ හා ඒ ගැන පවසා තිබුණි. යාන්තමින් සිනහවක් පෑ ඇය හිස සැලුවාය. "අයියගේ ඉතිං පොඩි කාලේ ඉඳම්ම හීනෙ තිබ්බේ පී එච් ඩී එක කරන්නනේ."

"හ්ම්." කුඩා ගමන් මල්ල වසා දැමූ තරිඳු එය පසෙකින් තැන්පත් කොට සමාධි දෙස හිස හරවා බැලුවේය. "මං මගේ ජීවිතේට ටාර්ගට් එකක් තියං හිටියා. මං ඒ ගමන කොහොම හරි යනවා. දැං මට කියනවා දැංවත් තමුසෙගෙ ජීවිතේ ටාර්ගට් එකක් තියනවද?" සමාධිගේ ජීවිතයේ බොහෝ දිගු දුර විහිදුණු සිහින කිසිදාක තිබුණේ නැත. ඇගේ සෑම සිහිනයක්ම අලුතෙන් පළ වූ පොතක් මිළ දී ගැනීම, අලුතෙන් ඉගෙනගත් ආහාර වට්ටෝරුවක් නිවැරදිව අත් හදා බැලීම, කොහේ හෝ ඉන් පෙර නොගිය තැනකට යාම වැනි සරල, විකාර, අරුත් සුන් සිහිනයන් පමණක් විය. ඇගේ උල් වී ගිය මුහුණ දෙස බලා විරිත්තූ ඔහු යළිත් හඬ නගා සිනාසුණේය. තමා මෙතරම් සිනාසුණු දිනයක් ඔහුට මතක නැත. එංගලන්ත ගමන ගැන ඔහු සිටියේ ඉමහත් සතුටිනි. "දැන්වත් හැදෙනවා ඕයි!" ඔහු සූට්කේසයද ළඟට ඇදගෙන වසා දමන්නට සූදානම් විය.

"මෙන්න මේකත් දාලම වහන්න." ඈ එතෙක් පිටුපසින් සඟවාගෙන සිටි තවත් කුමක්දෝ දිගු කළාය.

"ඒ ගමන මොනවද?"

"ගන්නවකො ඉතිං ප්‍රශ්න අහන්නෙ නැතුව."

තරිඳු එයද අතට ගෙන ඒ මේ අත හරවා බැලුවේය. සිහින් පැතලි යමක් බ්‍රවුන් පේපර් කඩදාසියකින් ඔතා සෙලෝ ටේප්ද අලවා තිබුණි. "මොකද්ද ඕයි මේ?" ඔහු එහි කවරය ගලවන්නට උත්සාහ කළේය.

"හා හා, දැම්ම ගලවන්න එපා!" ඔහුගේ අතින් එය උදුරාගත් සමාධි එය සූට්කේසයේ වූ ඇඳුම් අතරට ඔබා එහි පියන වසා, සිප් එකද වසා දැම්මාය.

"මාව එයාපෝර්ට් එකේදි චෙක් කරලා හොර බඩු ගෙනියනවා කියලා අල්ලගත්තොත් තමයි වැඩේ!"

"එහෙම එකක් නෙමෙයි ඔය." නිකට අහසේ හොවමින් ඉවත බලාගෙන තෙපලූ ඇය කාමරයේ දොරටුව වෙත පය එසවූවාය. "ඉතිං යං පල්ලෙහාට."

"ඔයගොල්ලොත් එයාපෝර්ට් යන්න එනවා නේද?" තරිඳු නැගී සිටිමින් ඇසුවේය.

"අප්පච්චි එයි."

"චුට්ටි එන්නෙ නෑ?"

"අනේ මට බෑ ඔය පාන්දර එළි වෙනකල් නිදි මරන්න. මං මෙහෙට වෙලා නිදාගන්නවා." ඇය එසේ කියමින් කාමරයෙන් පිට වූ අතර තරිඳුද ඈ පසුපසින් පහළ මාලයට බසින්නට පටන් ගත්තේය.


- මතු සම්බන්ධයි -