210. සිහිනය...01

සූට්කේසයක් සූදානම් කරමින් සිටිනා තරුණයෙකුගේ සේයාරුවකි

"අයියෙ!"

තරිඳු ඇඳ මත අසුන්ගෙන සිටියේ දොරට පිටු පා වුවද ඒ කතා කළේ තම ඥාති සොයුරිය වූ සමාධි නොහොත් චුට්ටී බව හඳුනාගන්නට ඔහුට අපහසු වූයේ නැත. මඳ වේලාවකට පෙර ගේට්ටුව අසළින් ඇසුණු ත්‍රීරෝද රථයෙන් බසින්නට ඇත්තේ මාමාත් චුට්ටීත් විය යුතු බව ඔහු අනුමාන කළේ ඔවුන් අද දින පැමිණෙන බව පෙරදී දන්වා තිබූ බැවිනි. නමුත් ඔහු හිස පමණක් නොව කඳද හරවා හැරී බැලුවේ ඒ සාමාන්‍යයෙන් ඈ ඔහු අමතන, සත්ත්ව නාමාවලියක් බඳු ශබ්ධ කෝෂයෙන් පරිබාහිර වූ ඇමතුමක් වූ බැවිනි.

කාමරයේ දොර රෙද්ද සිරුරේ ඔතාගෙන, දෑත පිටුපසට බැඳගෙන බලා සිටි ඈ දුටු ඔහුට සිනහවක් පහල විය. දහසය හැවිරිදි වියේ පසුවන ඈ පසුගිය වසරේ කිරි අත්තාගේ පිංකමේදී අවසන් වරට දුටුවාට වඩා තවත් මදක් උස ගොස් ඇති බව තරිඳුට සිතුණි. "මොකද කොල්ලන්ගේ කාමරවලට එබෙන්නේ?" ඔහු එසේ අසමින් යළි සිය සූට්කේසය වෙත හැරුණේය. උසස් පෙළ ඉහළින්ම සමත් වූ ඔහු සරසවි වරම් අපේක්ෂාවෙන් සිටියදී එංගලන්තයේ විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය ලැබීමට ලැබුණු ශිෂ්‍යත්වය ඔහුගේ සිහිනයක් සැබෑ වීමක් විය. සැබැවින්ම කිවහොත් ඔහුගේ ජීවිතයේ ලොකුම සිහිනය සැබෑ කරගැනීමේ මාර්ගයේ වැදගත්ම සංධිස්ථානය විය. එංගලන්තය බලා පිටත්වීමට නියමිතව ඇත්තේ පසු දිනට එළි වන පාන්දර ය. ගමනට සියල්ල සූදානම් ය. තවත් සුළු අඩු වැඩියන් කිහිපයක් පුරවාගැනීමෙන් පසු ඔහුට විවේකයක් ගත හැක. දෙපා අද්දවමින් කාමරය තුළට ඇවිද ආ චුට්ටී ඔහුගේ ලියන මේසයට හේත්තු වුවද වදනක් හෝ දෙඩුවේ නැත. "අද මොකද රේඩියෝ එකේ බැට්‍රි බැහැලද?" තරිඳු යළිත් විමසුවේය.

"මං හිතුවෙ නෑ අයියා මෙච්චර ඉක්මනට යයි කියලා," ඇය මිමිණුවාය.

"මාත් හිතුවෙ නෑ හලෝ මෙච්චර ඉක්මනට පිං පළ දෙයි කියලා. තමුසෙත් ඔය කවි කොළ කුරුටු ගගා ඉන්නෙ නැතුව හොඳට විභාගෙ කරගන්නවා." කිරි අත්තාගේ පිංකමට ගමේ ගොස් සිටියදී අතට හසු වූ චුට්ටීගේ විකාර කවි පොත කියවා තමා සිනාසුණු තරම් සිහිපත් වී තරිඳු යළිත් සිනාසුණේය. "චූටි මල්ලි විභාගෙට ලෑස්ති වෙනවද?"

"මොන පිස්සුද. අනිද්දා ශිෂ්‍යත්වෙ කියලා එයාට ගාණක්වත් නෑ. අදත් අපිත් එක්ක කොළඹ එන්න ඕනෙ කියලා පොරේ. අම්මටත් දුකයි අයියා යන්න කළින් බලන්න එන්න බැරි වෙච්ච එකට." ඇය පාර්සලයක් දිගු කළාය. "මෙන්න අම්මා දුන්නා අයියට ගෙනියන්න දෙන්න කියලා."

"මොනවද?" තරිඳු එය අතට ගනිමින් ඇසුවේය.

"හැලපයි අග්ගලයි. තව අයියා ආස හින්දා අද කාලා යන්න කිරි කොස් මාළුවකුත් හදලා දුන්නා. ඒක මං නැන්දාට දීගෙන ආවේ."

පාර්සලය සූට්කේසය තුළ සීරුවට අසුරාගත් තරිඳු අනතුරුව එළැඹි නිහැඬියාව මධ්‍යයේ ලියකියවිලි රැගත් ලිපිගොනු කවරය යළිත් වරක් පෙරළා බලා එය කුඩා ගමන් මල්ල තුළ තැන්පත් කරගත්තේය.

ඔහු දෙස නිහඬව බලා සිටි සමාධි යළිත් හඬ අවදි කළාය. "අයියාට මෙහෙ හොඳම කැම්පස් එකකින් ඩිග්‍රි එක කරගන්න පුළුවන්කම තියෙද්දි අපරාදෙනෙ අනේ. අඩුගානේ ඒකවත් ඉවර කරගෙන යන්න තිබ්බනේ."

"එහෙමයි කියලා මේ ස්කොල් එක අත අරින්න පුළුවනෑ මෝඩියේ! මේක හරියට කරගත්තොත් මට එහෙංම මාස්ටර්ස් එකත් කරගන්න පුළුවන්. මුළින් පොඩියට හරි ජොබ් එකක් හොයාගෙන හෙමීට එහෙම සෙට්ල් වුණාම ඇති. පස්සෙ ඉබේම පාර හැදෙයි."

තරිඳුගේ සිහිනයේ කෙළවර ගැන සමාධිද දැන සිටියාය. ඔවුන් එක්ව කෙළි සෙල්ලම් කළ බාල වියේ පටන්ම ඔහු බොහෝ වර ඈ හා ඒ ගැන පවසා තිබුණි. යාන්තමින් සිනහවක් පෑ ඇය හිස සැලුවාය. "අයියගේ ඉතිං පොඩි කාලේ ඉඳම්ම හීනෙ තිබ්බේ පී එච් ඩී එක කරන්නනේ."

"හ්ම්." කුඩා ගමන් මල්ල වසා දැමූ තරිඳු එය පසෙකින් තැන්පත් කොට සමාධි දෙස හිස හරවා බැලුවේය. "මං මගේ ජීවිතේට ටාර්ගට් එකක් තියං හිටියා. මං ඒ ගමන කොහොම හරි යනවා. දැං මට කියනවා දැංවත් තමුසෙගෙ ජීවිතේ ටාර්ගට් එකක් තියනවද?" සමාධිගේ ජීවිතයේ බොහෝ දිගු දුර විහිදුණු සිහින කිසිදාක තිබුණේ නැත. ඇගේ සෑම සිහිනයක්ම අලුතෙන් පළ වූ පොතක් මිළ දී ගැනීම, අලුතෙන් ඉගෙනගත් ආහාර වට්ටෝරුවක් නිවැරදිව අත් හදා බැලීම, කොහේ හෝ ඉන් පෙර නොගිය තැනකට යාම වැනි සරල, විකාර, අරුත් සුන් සිහිනයන් පමණක් විය. ඇගේ උල් වී ගිය මුහුණ දෙස බලා විරිත්තූ ඔහු යළිත් හඬ නගා සිනාසුණේය. තමා මෙතරම් සිනාසුණු දිනයක් ඔහුට මතක නැත. එංගලන්ත ගමන ගැන ඔහු සිටියේ ඉමහත් සතුටිනි. "දැන්වත් හැදෙනවා ඕයි!" ඔහු සූට්කේසයද ළඟට ඇදගෙන වසා දමන්නට සූදානම් විය.

"මෙන්න මේකත් දාලම වහන්න." ඈ එතෙක් පිටුපසින් සඟවාගෙන සිටි තවත් කුමක්දෝ දිගු කළාය.

"ඒ ගමන මොනවද?"

"ගන්නවකො ඉතිං ප්‍රශ්න අහන්නෙ නැතුව."

තරිඳු එයද අතට ගෙන ඒ මේ අත හරවා බැලුවේය. සිහින් පැතලි යමක් බ්‍රවුන් පේපර් කඩදාසියකින් ඔතා සෙලෝ ටේප්ද අලවා තිබුණි. "මොකද්ද ඕයි මේ?" ඔහු එහි කවරය ගලවන්නට උත්සාහ කළේය.

"හා හා, දැම්ම ගලවන්න එපා!" ඔහුගේ අතින් එය උදුරාගත් සමාධි එය සූට්කේසයේ වූ ඇඳුම් අතරට ඔබා එහි පියන වසා, සිප් එකද වසා දැම්මාය.

"මාව එයාපෝර්ට් එකේදි චෙක් කරලා හොර බඩු ගෙනියනවා කියලා අල්ලගත්තොත් තමයි වැඩේ!"

"එහෙම එකක් නෙමෙයි ඔය." නිකට අහසේ හොවමින් ඉවත බලාගෙන තෙපලූ ඇය කාමරයේ දොරටුව වෙත පය එසවූවාය. "ඉතිං යං පල්ලෙහාට."

"ඔයගොල්ලොත් එයාපෝර්ට් යන්න එනවා නේද?" තරිඳු නැගී සිටිමින් ඇසුවේය.

"අප්පච්චි එයි."

"චුට්ටි එන්නෙ නෑ?"

"අනේ මට බෑ ඔය පාන්දර එළි වෙනකල් නිදි මරන්න. මං මෙහෙට වෙලා නිදාගන්නවා." ඇය එසේ කියමින් කාමරයෙන් පිට වූ අතර තරිඳුද ඈ පසුපසින් පහළ මාලයට බසින්නට පටන් ගත්තේය.


- මතු සම්බන්ධයි -








17 comments:

  1. හීන කොටස් කර කර දකින්න බැරියෝ.ඉක්මනට අනික් කොටසත් දෙන්නෝ.

    ReplyDelete
    Replies
    1. හීනෙ ඉතිරි කොටස මට පෙනිච්ච දාක තමයි ඔයගොල්ලන්ට කියවන්න දෙන්න වෙන්නේ. :P

      Delete
  2. හම්මේ ඇති යන්තම් කියවන්න කතාවක්! නියමයි නියමයි!!

    ඒක නෙවෙයි ඔයාලගේ අර අන්දිරිස් මල්දම ලියන්නේ නැද්ද? අය්යෝ මම ඒකට වහ වැටිලානේ

    ReplyDelete
    Replies
    1. මේ කතාවනම් හදිසියේ ලිව්වෙ ලිඛිතො, එච්චර මහන්සියක් නොවී, කාලෙකින් මොකවත් ලියාගන්න බැරි වෙච්ච හිතේ කාන්සිය ගෙවාගන්න ලිව්වේ.

      ඒ මල්දම් ගොතපු අය දැන් ගොඩක් කාර්යබහුලයි... ඉතිං කාලෙකට ආයෙ ලියවෙයිද කියන්න බෑ... මටත් දුකයි ඉතිං. :(

      Delete
    2. ඒවා ඔහොම ලේසියෙන් ලිස්සලා අරින්ට බෑනේ.... අපි පාඨකයෝ වෙච්චිකොට! එව්වයින් වැඩක් නැහැ. මරණ තර්ජන කොරලා හරි අර රවියාවවත් එක්කාසු කරගන්න එකයි. හැබැයි ඉතින් මොන පොටක් අල්ලලා දුන්නත් රවියා ඉතින් ගම කනවනේ!
      (අනේ ඒක ලියන්නකෝ)

      Delete
    3. අපි ඉතිං කවදාහරි ඕක ආයෙ ලියයි... හැබැයි ඉතිං දැම්මම අමාරු වෙයි. මිස්ටර් රවි අයියාත් මේ දවස්වල ගොඩක් බිසීලුනේ. අනිත් අක්කලාත් එහෙමයි. මේ මමත් එහෙමයි. තනියම කතාවක් ලියනවා වගේ ලේසි නෑනේ ලිඛිතා, කට්ටියක් එකතු වෙලා ලියද්දි. තිරයෙන් පිටුපස සෑහෙන්න ලොකු සන්නිවේදනයකුත් තියාගන්න වෙනවා. අපි ආයෙ පස්සෙ කාලෙක ලියන්නම්කෝ. :)

      Delete
  3. බ්ලොග් එකත් අලුත් පාටයි... කතාවත් අලුත්....

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ පෙනුමත් අලුත්... කතාවත් අලුත්... ඒත් මංනං තාම පරණ සිත්තමීමයි... :D

      Delete
  4. යේ....... කතාවක් ලියලා. නියමයි ඈ. දිග කතාවක් ද මේකත්?

    ReplyDelete
  5. ම්ම්. මරු මරු.. අක්ක කතාවක් පටන් අරන්... එහෙනම් ආයෙත් ලියාගෙන යමු...
    ජයවේවා...

    ReplyDelete
  6. එක හුස්මටම කියවගෙන ගියා... බලමු නේද මොකද වෙන්නේ කියලා..

    ඉක්මනින්ම ඊලඟ කොටසත් ලියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම ලියන්නම්කෝ. ස්තූතියි තුශානි! :)

      Delete
  7. ඔය තරිඳුට ඉංගලාංතෙ නවතින්ට තරු පහේ හෝටලයක් වගෙ පොට් එකක් සැට් කොරන්නෙයි නෝනෙ? වෙනිං කොහෙවක්කත් නෙවෙයි ආය අපෙ නෙලුං අජ්ජගෙ ගෙදර හෙහ්..හෙහ්...එක පැන්සයකවත් ගන්න එහෙකුත් නෑ.... එහූ දානපතිය ඔය අජ්ජා...

    ගෙදර වියදමෙං සීයට විස්සක් විතර ගෙවන්ට කියයි සම්ටයිම්ස්..එච්චරයි....හැබැයි එකක් තියෙන්නෙ අය වැය විස්තරනං දෙන්නෙ නෑ ඔය ගොබිලා මැරූකොට..

    අජිය බැහ් ගෑවොත් බිය නොවනු මැන අපේ අරූත් ඉන්නව. ඕකනං ඉන්නෙ බකිංහැම් මාළිගාව ඔහොම මෙහෙම...රැජිනගෙ බල්ලො රෑ තිස්සෙ බුර න සද්දෙට අරූගෙ වයිෆ්ට නින්ද යන්නෙ නෑ කියල අරූ එක්කත් ඒ අම්මන්ඩි ටිකක් විතර නොරොක් වෙලා ඉන්නෙ.

    මම අහන්නෙ රැජිනගෙ බල්ලො බිරුවට අරූ මක් කොරන්ටද මම අහන්නෙ ...ෆෙමිනයින් ලොජික් එහෙම තමයි. ඔය ඔක්කොම බෑ කිව්වත් අන්තිමට ඉන්නව ඔයාගෙ බූරෝ අයිය...හෙහ්,හෙහ්,

    පලි - සෙක් වස අඩුපාඩුවක්නෙ බොලේ...කොයි මෙවුං දෙන්න පන්සලකට දක්කගෙන යන්නෙ නැතිය ඉංග්ලාන්ඩ් යන්ට ඉස්සරවෙලා? බොහොම කැතයි බොහොමත්ම කැතයි...:)

    ReplyDelete
    Replies
    1. මේ ඇවිත් ඉන්නේ අඩුපාඩුව!

      Delete
    2. ගුඩ්ඩයිඩියා! බුරම්පි අයියගෙං මුළිංම අහලා හිටින්ඩ ඕනෙ එහෙනං. මගෙ ෆිට් එකනෙ. එයැයි බැහ් කිව්වොත් ඉතිං අනිත් මහත්තුරු දෙන්නගෙං අහන්ඩ වෙනවා මේ තරිඳු කොළුවට නවාතැන් දෙන්ඩ පුළුහන්ද කියාලා.

      හා, දැං මොන පොතේද තියෙන්නේ ඔය හැම කතාන්දරේකම ඉන්න හැම උපාසක ජෝඩුවම පන්සල් දක්කන්ඩෝනෙ කියලා?

      @ ලිඛිතා:
      ආයෙත් අහලා, මුන්දැගෙ කොමෙන්ට් හරියට හොද්දට ලුනු ඇඹුල් වගේ. :)

      Delete