228. හදවත සපුරා පවසමි ඉඳුරා...

පෝරුව මතදී අතපැන් වත්කරන ඡායාරූපයකි

වළ ගොඩැලි ගහන ගුරු පාරේ ගැස්සෙමින් පැද්දෙමින් ඇදී යන ගැල් පෙරහැරකි. මල් ලියකමින් සැරසුණු දෙවන ගැල තුළ වූයේ අළුත විවාපත් වූ මනාල යුවලයි. පෙරමුණේ වූ ගැල තුල මනාලයාගේ මව් පියන්ද, පසුපසින් වූ සෙසු ගැල් තුළ මනාලයාගේ බාල සොයුරා ඇතුළු ඥාතීන් පිරිසද, මනාලියගේ මව්පියන් විසින් ලබාදෙන ලද දායාදයන්ද විය.

මනාලියගේ දෑස් යොමුව තිබුණේ උකුල මත වූ තම දෑත් වෙතය. සැබැවින්ම කිවහොත් වම'තේ පැලැඳ හුන් රන් මුදුව වෙතය. දෙපෝයකට පෙර සිය බාල සොයුරියන් හා වෙල් ඉපනැල්ලේ ඇවිද ගොස් කටත් මුහුණත් දම් පැහැ ගැන්වෙන තුරු දැං බෝවිටියා රස බලා වැහි මන්දාරමේ නිවෙසට දුව ආ මොහොතේ අත්තම්මාගෙන් ලැබූ තරවටුව ඇයට සිහිපත් විය. "අනේ අනිච්චං, දීගෙක යන්ඩ ඉන්න ලමිස්සියෙක් නේද මේ?" ඇය අන්දමන්දව බැලුවේ සිය මව දෙසය. "දරුවො, අනිද්දා දිහාට කාණ්ඩයක් එනවා, ඔය නැටිල්ල පැත්තක තියලා අර කපු ඔසරිය හෙම අරං මැදලා කරලා ලෑස්ති වෙලා හිටියනං..." මව කීවේ එපමණකි. එළැඹුණු දිනට පසුදා ඔවුහු පැමිණියහ. බුලත් හෙප්පුව දෝතින් දරා ඔහු අභියසට ගිය ඇය හෙමිහිට දෑස් පියන් ඔසවා බැලුවාය. එදින ඈ ඔහු දෙස බැලූ පළමු සහ අවසාන වතාව එය විය. ඇගේ සිත තුළ සිටි සිහින කුමරාගේ රුව ඔහු අසළකවත් නොවීය. ගෙවී ගිය දින සති පුරා ඈ බලා සිටියේ වැඩිහිටියන් ඇගෙන් කැමැත්ත අකැමැත්ත විමසන තුරුය. ඇගේ අකැමැත්ත ප්‍රකාශ කිරීමටය. එහෙත්...

දෙතුන් වරක් හඬගෑ මවගේ ඇමතුම ඇසී ඇය මව සොයා යන විට ඈ සිටියේ බරැ'ති සාරියක් ඇඳ මත අතුරා එහි හැඩ බලමිනි. දොර රෙද්ද අතරින් එබුණු ඈ දුටු මව හිස වනා ඈ ලඟට කැඳවූවාය. "මේක හොඳද බලන්න දූ."

"මොකද්ද අම්මා මේ?"

"මගේ මගුල් සාරිය. ඇයි මතක නැද්ද, අර සාලෙ පින්තූරෙ තියෙන්නෙ..."

"ඔව්මයි, මට අඳුනගන්න බැරි උනා..." ඇයද ඇඳ අසල බිම දණගසාගෙන එහි රේන්ද සැරසිලි මතින් අතැ'ඟිලි ගෙන ගියාය.

"ඔයාටත් මේක ලස්සනට තියෙයි." මව ඈ දෙස බලා කීවේ ආදරයෙනි.

"මට?" ඇගේ දෑස් විසල් විය.

"ඔව්... දැං ඔයාගෙ කසාදෙටත් ලෑස්ති වෙන්න එපැයි..."

"මං කාවද බඳින්නේ?"

"ඇයි අර එදා මෙහෙ ආවෙ ඒ උදවිය?"

ඇගේ මුහුණ හැකිළුනි. "අනේ අම්මා... මම ඒ මනුස්සයට කැමති නෑ..."

"ඒ මොකද? මොකද්ද ඒ ළමයගෙ අඩුපාඩුව? කච්චේරියෙ වැඩ කරන්නේ, දැන උගත් කමයි, හැදිච්ච කමයි අඩුවක් නෑ ඒ ළමයගෙ. කේන්දරත් හොඳ හැටි පෑහෙනවා... ලබන මාසෙට නැකත් බලලත් ඉවරයි ළමයෝ..."

"අනේ, මගෙං අහන්නෙත් නැතුව?"

"වැදගත් පවුල් වල හැදිච්ච ගෑණු ළමයි අම්මා අප්පච්චිගෙ කීමට පිටිං යන්නෙ නෑ... ඇරත් ඔයා ඒ ගැන වචනයක්වත් කිව්වෙ නැති නිසා අපි කොහොමත් හිතුවෙ අකමැත්තක් නැතුව ඇති කියලා..."

තමා ඒ ගැන වචනයක්වත් නොකීවේ තමාගේ හැදිච්ච කම නිසාම නොවේද? වැඩිහිටියන් අසන තෙක්ම තමා ඒ ගැන කියන්නට බලා සිටියේ වැදගත් පවුලක සිරිත එයයැයි තමා සිතූ නිසා නොවේද. තමා ඔහුව දුටුවේද එකම එක් දිනක් පමණි... ඇයට හැඬුම් එන්නට විය.

"හ්ම්, හ්ම්, ඔය මදෑ. පවුලෙ ලොකුම ගෑණු දරුවා වෙච්චි, නංගිලාට ආදුරුසයක් වෙන්ඩ එපැයි..." කතාව නිමා කළ මව ඇයව මංගල සාරිය සමග තනි කොට කාමරයෙන් පිටව ගියාය.

පසු දින ඇගේ වැඩිහිටියන් ඔහුගේ ගම් රටවල් බලා ගියේ කරත්තයක් පුරවා බඩු පටවාගෙනය. ඇගේ වැඩිමහළු නැගණියන් දෙදෙනාද ඒ සමග ගිය අතර ඇය බාල නැගණිය හා නිවසේ තනි විය. බලාගත් අත බලා සිටිනා අක්කණ්ඩිය තම සෙල්ලම් වලට ඈඳා ගැනීමට ගත් කිසිඳු උත්සාහයක් සාර්ථක නොවූ තැන තනිවම දොඩමින් සෙල්ලම් කරන්නට වූ නැගණිය දෙස බලා හිඳිද්දී ඇගේ දෑසට යළිත් කඳුළු ගලා එන්නට විය. නිවසේ උදවිය යළි පැමිණියේ බොහෝ රෑ බෝ වීය. කිසිවෙකුත් ඈ හා ගමන් විස්තරය කියන්නට පෙළඹුනේ නැති අතර, ඒ පිළිබඳව විමසා සිටින්නට ඈ තුළද උවමනාවක් නොවීය. නැගණියන් දෙදෙනා හෝ තමා හා යමක් පවසාවියැයි ඈ තුළ සුළු බලාපොරොත්තුවක් වුවද ඔවුන්ද ඈ මග හැර තමන්ගේම කතාවක නිරත වූහ. 'ඒ දෙන්නත් එයාට කැමති නැතුව ඇති... මට ඒ වගේ තැනකට යන්න වෙනවට ඒ දෙන්නටත් දුක ඇති...' ඇය තනිවම කල්පනා කළාය. ඉතිරි දින කිහිපය ඈ ගෙවා දැමුවේ දංගෙඩියට නියම වූ සිරකාරියක ලෙසිනි.

කරත්ත රෝදය ගලක් මතින් ඇදී ගියෙන් ගැස්සුණු ඇය යළි පියවි ලෝකයට ආවාය. තමා වෙතටම යොමු වී ඇති දෙනෙතක රශ්මිය වැදීමෙන් තම දකුණු පස කම්මුල රත් පැහැ ගැන්වීගෙන එන බව ඇයට දැනුණි. ඇය යටැසින් එම මුහුණ දෙස බැලුවාය. එතෙක් වේලා කරත්තය පැද්දෙන තාලයට නැලැවෙන ඇගේ දකුණු කනේ පැලැඳි රන් තෝඩුව වෙත යොමු වී තිබූ ඔහුගේ දෑසද ඒ මොහොතේ ඈ වෙත යොමු විය. ඔහු පෑ හෘදයාංගම සිනහවෙන් ලැජ්ජාවට පත් ඇය යළිත් බිම බලාගත්තාය. එදින උදෑසන පෝරුව අසළදී එම මුහුණ ඈ දුටුවේ දෙවන වතාවටය. රැකියාවෙන් පමණක් නොව පෙනුමෙන්ද සාම්ප්‍රදායික ලිපිකරුවෙකුම වන් වූ ඔහුගෙන් දිස් වූයේ බැරෑරුම් වැඩිහිටියෙකුගේ තලත්තෑනි ස්වභාවයකි. මුල් දිනයේ හරි හැටි දැක බලාගන්නට නොහැකි වූ ඔහුගේ මුහුණ දෙස ඇය වඩාත් උවමනාවෙන් බැලුවාය. තමා සිතූ තරම් වරදක් එහි නැත. සැබැවින්ම, ජාතික ඇඳුම හැඳ සිටි ඔහු වෙතින් මුල් දින නොදුටු අපූර්වත්වයක් දිස් විය. උත්සවය නිමා වන තෙක් කාලය පියාඹා ගියේ ඇයටත් නොදැනීමය. සිය පවුලේ උදවියගෙන් සමුගන්නා මොහොතේ, ඈ කිසි දිනෙක නො එලඹේවායි පැතූ මොහොතේ, තම හදවත පැලී යනු ඇතැයි ඇයට සිතුණි. අම්මාගේත්, අප්පච්චිගේත් දෙපා නැමැද හැඬූ කඳුලින් යුතුව ඔවුන්ගේ ආශිර්වාදය ලබාගෙන නිමවූ සැණින් ඈ වෙත දිව විත් සිරුරේ එල්ලුනු නැගැණියන් තිදෙනාගෙන් ඈ සමුගත්තේ මහත් අපහසුවෙනි. වැළඳගැනීම්, සිපගැනීම්, රහස් කෙඳිරිලි, අවවාද, නෝක්කාඩු සියල්ලම නිම වී තමා නැගණියන්ගෙන් සමු ගෙන පැමිණෙන තෙක් ඉවසීමෙන් පසෙකට වී බලා සිටි ඔහුද ඔවුන් තිදෙනාගේ හිස් අතගා යමක් පවසනු ඈ කඳුළු අතරින් බලා සිටියාය.

"දැං අහක බලාගෙන හිටියට මොකද, පෝරුව උඩදිනං මයෙ දිහා කන්න වගේ බලං හිටියෙ..." කන ලඟින්ම ඇසුණු එම වදන් පෙළින් ඇය තිගැස්සී ගියාය. අනතුරුව විළියෙන් රතු වූ මුහුණින් යුතුව ඉදිරිය බැලුවේ ගැල පදවන්නාටද ඔහුගේ වදන් ඇසුණේදැයි දැන ගැනීමටය. එහෙත් ඔහු කිසිවක් නෑසුණ ලෙසින් සිය කටයුත්තේ නිරත වෙයි. ඇය නැවතත් ඔහු දෙස බැලුවාය. ඔහුගේ මුහුණේ වූවේ කවට සිනහවකි. තමා සැබැවින්ම ඔහු කී අයුරින් හැසිරුණේද? වස ලැජ්ජාවකි. එසේම මේ ඔහු තමා අමතා කළ පළමු ප්‍රකාශය බවද ඇයට සිහිපත් විය. දිනය පුරාම ඔහුගේ කටහඬ ඇසුණද, ඒ තමනට සුභ පතන්නට ආ නෑදෑ හිතමිතුරන් හා කතාබස් කිරීමේදී පමණක් විය. තමන් අමතා කළ මුල්ම ප්‍රකාශය මෙවන් සරදමක් වීමෙන් ඇය මඳක් උරණ වූවාය. ඒ සමගම කරත්ත රෝදය තරමක් විශාල වලක වැටී ගොඩ ආවේය. ඈ නොවැටී සිටියේ ඉතා අපහසුවෙනි.

"පාර හොඳටම සවුත්තු වෙලා නේද මාමේ?" ඔහු ගැල පදවන්නාගෙන් එසේ අසමින් ඈ සිටි අසුනට මාරු වූවේය.

"ගන්ඩ දෙයක් නෑ පුංචි මහත්තයෝ, සේරෝම හේදිලා - " ගැල් කරුවාට කතාව අවසන් කරන්නට ඉඩක් ලැබුණේ නැත. පිටුපස ගැල දෙසින් ඇදී ආවේ මහා සිනා හඬකි. "පොඩ්ඩක් ඉවසං ඉන්ඩෝ - තව ටික දුරා...යි..." ගැල් කරුවාද පිටුපස හැරී බලා සිනාසෙමින්ම යළිත් ඉදිරියට හැරුණේය.

ඇගේ මුහුණ යළිත් විළියෙන් බර විය. "යන්ඩ අතනට..." ඇය බිම බලාගෙනම ඇසෙන නෑසෙන හඬින් කීවාය.

"ඇයි? ආයෙ වැටෙන්ඩ ගියොත් මං අල්ලගන්නං."

"අර පිටිපස්සෙ කට්ටිය කෑ ගහනවා..."

"ඒ ගොල්ලො කෑගැහුවට මොකද? උන්ට ඔළුවෙ අමාරුව..."

"යන්ඩ අතනට..." ඇය යළිත් ඉල්ලා සිටියාය.

දෙතොල් තද කර පියාගත් ඔහු සිය පුරුදු අසුන වෙත ගියේය. යළිත් පිටුපස ගැල වෙතින් මහා සිනාහඬක් ඇසුණි. "අයියෙ මොකෝ??? එළෙව්වදෝ???"

ඔහු ඔරවාගත් මුහුණින්ම කරත්තය පිටුපස අව් වැසි ආවරණයට සවි කොට ඇති පැලැල්ල ඇද දැමුවේය. පසු පස ගැල වෙතින් කෑ කොස්සන් සිනා හඬත් හූ හඬත් නැගී එන්නට විය. ඇයට ඔහු පිළිබඳව දුක සිතුණි. ඔහු තමාගේ විවාහක සැමියා නොවේද. තමා අසළින් හිඳ යෑමට ඔහුට සෑම අයිතියක්ම ඇත. සිය නෑදෑ හිතවතුන්ගේ කොළොප්පම් ඔහුට ඉවසිය හැකිනම් තමා ඒ පිළිබඳව කලබල වූයේ ඇයි. ඇයට තමා පිළිබඳවම කෝපයක් පහළ විය. ඇය සෙමින් ඔහු දෙස බැලුවාය. "තරහද?" ඔහු ඈ දෙස වරක් බලා කට කොණකට සිනාවක් නගා නැවත ඉවත බලාගත්තේය. ඔහු තමා පිළිබඳව කළකිරී ඇත. මෙලෙසින් ඔහුගේ නිවසට යා නොහැක. ඔහුගේ මව්පියන් කුමක් නොසිතාවිද. ඇගේ හදවත බියෙන් තැතිගෙන ගැහෙන්නට විය. එම තැතිගැන්මත් සමගම ඇය ඔහු හිඳ සිටි අසුනට මාරු වූවාය. ඔහු පුදුම වී ඈ දෙස බැලුවේය. "තරහා ගන්න එපා." ඇය බිම බලාගෙනම මිමිණුවාය. එහෙත් ඔහුගෙන් ප්‍රතිචාරයක් නැත. ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. සිනහවකින් එළිය වැටී තිබූ ඔහුගේ පිටුපස පැලැල්ලේ හිඩැස් අතරින් දිස් වූ ආකාශය වෙත යොමු වී තිබුණි. එම සිනහව ඇගේ සිත සැනසෙන්නට ප්‍රමාණවත් විය.

මඳ වේලාවකින් හොඳින් හරි බරි ගැසී ඈ දෙසට හැරුණු ඔහු අසුනේ ඇන්ද මතින් සිය සුරත තබාගත්තේය. "ඉතිං... මට කියන්න ඔයා ගැන..." ඔහු ඉල්ලා සිටියේය.

"මොනවද මං ගැන කියන්නෙ?" සබකෝලය මඳින් මඳ පළවා හරිමින් සිටි ඇය පෙරට වඩා කුළුපග ලීලාවකින් කතා කළාය.

"හැම දෙයක්ම..."

"ම්...." ඇය මඳක් කල්පනා කළාය. "...මගේ නම සෙව්වන්දි. මගෙ වයස විසි එකයි. මට නංගිලා තුන් දෙනෙක් ඉන්නවා. මගේ ගම - "

එම තොරතුරු සියල්ලක්ම ඒ වන විටත් දැන සිටියද ඔහු ඇයට බාධා නොකර අසා සිටියේය. එම කතා බහ බොහෝ දුර ඇදී ගියේය. ගැල ගැස්සී යන වරක් පාසා ඔවුන්ගේ උරහිස් එකිනෙක ස්පර්ශ වූ අතර නැවතත් ගැල් රෝදය වළක වැටුණු මොහොතක අසුනේ ඇන්ද මත වූ ඔහුගේ සුරත ඇගේ උරහිස වටා තදින් වෙළී ගියේ ආරක්ෂාකාරී හැඟීමකින් යුතුවය. සැබැවින්ම එම ශක්තිමත් සුරතෙන් ඇයට සුරක්ෂිත බවක් දැනුණි. තමා ආගන්තුක නිවෙස තුල හුදෙකලාව අසරණ වනු ඇතැයි එතෙක් ඈ තුළ පැවැති බිය කෙමෙන් කෙමෙන් දුරු වන්නට විය. ගමනාන්තයට ලඟා වන තෙක් ඔහුගේ සුරත ඇගේ උර මතම රැඳී තිබුණි.

නතර කළ ඔවුන්ගේ ගැල පසු කොට වත්ත තුළට ඇතුල් වන සෙසු ගැල් වෙතින් නැවතත් සමච්චල් සිනා හඬ ඇදී ආවේය. නව යුවළට ගැලෙන් බැසීමට අවසර ලැබුණේ මනාලයාගේ මව පිච්ච මල් සහිත වතුර වීදුරුවක් සමග ආලින්දයේ සූදානම් වූවාට පසුවය. රතිඤ්ඤා හඬ කන් බිහිරි කරවමින් දසත පැතිරෙද්දී කරත්තයෙන් බට ඔහු ඇයටද ඉන් බැසීම සඳහා සහය වූවේය. එය තම නිවෙස මෙන්ම පැරණි, තරමක් විශාල නිවහනක් බව ඇය දුටුවාය. සිනාමුසු මුහුණින් පෙර මග බලා සිටි ඔහුගේ මව දුටු ඇගේ නෙතට කඳුලක් උනා ආවේ ඇගේ මව සිහිපත් වීමෙනි. මේ වන විට ඔවුන් තමා නැති පාළුවෙන් කල් ගෙවනවා විය යුතුය. පොල් තෙල් පහන දල්වා, කිරිබත් කැපීමෙන් අනතුරුව කෙළින්ම රාත්‍රී ආහාර ගැනීමට සිදු වූයේ හිරු බැස ගොස් ඒ වන විටත් හෝරා තුනක් පමණ ගතව ගොස් තිබූ නිසාවෙනි.

"එළියෙ සංගීත මඩුවක්ද?" ආහාර ගන්නා අතරවාරයේදී ඇය ඔහුගෙන් විමසා සිටියේ මිදුලේ වූ මණ්ඩපය තුලින් ඇසෙන්නට වූ බෙර නාද හා ඒ වටා එක් රොක් වෙමින් සිටි අමුත්තන් පිරිස නිසාය.

"හ්ම්... අපේ ගමේ මඟුලක් උනහම ඔහොම තමයි..." ඔහු පිළිතුරු දුන්නේය.

"එහෙනං අද නිදාගන්න වෙන්නෙත් නෑ," ඇය කීවේ මහත් වෙහෙසකාරී බවකිනි. උදෑසන සිට බරැති ආභරණ වලින් සැරසී හිඳීමට සිදු වීමද, දීර්ඝ වූ ගැල් ගමනද නිසා ඇය හෙම්බත්ව සිටියාය.

"අද කොහොමත් නිදාගන්ට වෙන්නෙ නෑ තමා!" ඔහු ඇඟට පතට නොදැනී දුන් පිළිතුරෙන් රතුව ගිය මුහුණ පිඟාන වෙතම යොමාගත් ඇය ඉන් අනතුරුව නිහඬවම සිටියාය.

ආහාර ගෙන අවසන්ව ඔවුන් දෙදෙනා හිඳ සිටි තැනට පැමිණි ඔහුගේ මව මනමාලියගේ හිස අතගාමින් තම පුතු අමතා කතා කළාය. "ලොකු පුතේ, මේ දරුවට මහන්සිත් ඇති. උදේ ඉඳංම මෙහෙමනේ. උඩට එක්කං ගියානං. ඇඟපත හෝදගෙන, ඇඳුම් හෙම මාරු කරගෙන ආයෙ ඕනනම් එන්න බැරියෑ පහළට."

"අපි උඩට යන්න කියලා තමයි හිත හිත හිටියේ අම්මේ. මෙයාට විතරක් නෙවෙයි, අච්චර දුර කරත්තෙ ඇවිත් මටත් මහන්සියි." ඔහු පිළිතුරු දුන්නේය.

මවගෙන්ද, සංගීත මණ්ඩපයේ ගීතයක් ඇරඹීමට සූදානම්ව සිටි අප්පච්චීගෙන්ද සමුගෙන ඔවුහු මිදුලේ සාදයට රැස්ව සිටි හිතවතුන්ගෙන් අපහසුවෙන් ගැලවී උඩු මහළ වෙත ගියෝය.

ඔහුගේ තුදුස් හැවිරිදි බාල මලණුවන් කාමරයට එබෙන විට එතුල සිටියේ ඈ පමණි. තෙත කොණ්ඩය පිසදමමින් සිටි ඇය ඔහු දැක සිනහවක් පෑවාය. "ආ මේ ඉන්නේ... අපි අහරෙ හැමතැනම හොයනවා... කෝ මනමාල මහත්තයා?" ඔහු කාමරය තුළට පිවිසෙමින් ඇසුවේය.

"අයියා පල්ලෙහාට ගියා මල්ලි නාගෙන එන්න..."

"එහෙනං ඔයා යං සිදුවක් කියන්න..."

"අනේ බෑ මල්ලි, මහන්සියි..."

"මේ, ඔන්න මං අක්කට රහසක් කියන්න අක්කා මොනවද මට දෙන්නෙ?"

"මොකද්ද රහස?"

"අපෙ අයියා ගැන..."

"අයියා ගැන?" ඇය පුදුමයෙන් යළිත් ඇසුවාය.

"ඔව්... ඉතිං කියන්න මට මොනවද දෙන්නෙ?"

ඇය කණ්ණාඩි මේසය මත වූ සිය වළල්ලක් රැගෙන ඔහු වෙත පෑවාය.

"ඒයියා, මට මොකටද ගෑණු ළමයි දාන වළලු. කමක් නෑ, මේ මුල්ම වතාව හන්දා මං අක්කට නොමිලේම රහස දෙන්නංකෝ. ඔන්න ආයෙනම් බෑ හරිද?"

"හරි ඉතිං මොකද්ද රහස?"

"අපේ අයියා තේ බොන්න හරිම ආසයි. හැබැයි සීනි නැතුව තමයි බොන්නෙ."

"ඇත්තමද?"

"ඇත්තමයි!" පොඩි එකා පැවසුවේ අවංක මුහුණකිනි.

ඇය නිහඬව කල්පනාවක ගැලුණාය. "ආ, ඔහෙ හිටපිය! උඹ අහු වෙනකං තමයි මං හිටියෙ!" එක් වරම ඇසුණු කටහඬින් ඇගේ කල්පනාව බිඳ වැටුණි. හැරී බැලූ ඇය දුටුවේ වැඩිමහල් සොයුරාගේ අතට හසු වූ සිය කන බේරාගැනීමට ඇඹරෙන මලණුවන්ය. "මොනවද අර කරත්තෙ එන ගමං කිය කිය කෑ ගැහැව්වෙ? කොහෙන්ද ඕවා ඉගෙනගත්තෙ?"

"බණ්ඩාර අයියලානෙ කෑ ගැහැව්වෙ.. මං මොකවත් කිව්වැයි?" පොඩි එකාගේ මුහුණ බෙරි වී ඇත.

"ඔය මල්ලිට යන්න අරින්නකෝ, පව්නේ..." ඇගේ බසින් ඔහු සොයුරාගේ කන අතහැරියේය.

"අක්කා විතරයි හොඳ.. අපරාදෙ මට - "

"දුවන්නයි කිව්වෙ මෙතනිං මගෙං ගුටි නොකා!!!" මිමිණීම නැවැත්වූ පොඩි එකා එසැණින් අතුරුදහන් විය.

දොර වසා දමා සිනාසෙමින් පැමිණි ඔහු අතේ වූ උණු වතුර බඳුන මේසය මතින් තැබුවේය. "මොනවද මිනිහා කියන්නෙ?"

"මුකුත් නෑ." ඇය ඔහු මේසය මතින් තැබූ උණු වතුර බඳුන දෙස බැලුවාය. "අරකෙ මොනවද?"

"අම්මා දුන්නා උණු වතුර, තේ බොන්න ඕනනං කියලා."

ඇයට ඔහු පුදුම කරවන්නට අවස්ථාව ලැබී ඇත. "මං තේකක් හදන්නද?"

"නිකං තේකක් තිබ්බනං හොඳයි. ඔය මේසෙ උඩම ඇති තේකොළ එහෙම." ඔහු නැගිට සඳළුතලය වෙත ඇරුණු කවුළුව වෙත ගියේය. ඈත කඳු පෙළ මතින් නැගී ආ සඳ නිල් අහස එළිය කරමින් බැබළෙමින් ඇත. ඇය විගසින් තේ කෝප්පයක් සාදා ඔහු වෙත ගෙන ආවාය. ඇයට සිනහවක් පා කෝප්පය අතට ගත් ඔහු ඉන් උගුරක් පානය කළේය. එසැනින් ඔහුගේ මුහුණ වෙනස් විය. ඇගේ මුහුණද වෙනස් විය. "ඇයි?" ඇය ඇසුවාය. හිස වනා සිනාසුණු ඔහු කෝප්පය ඔසවා අඩිය දෙස බැලුවේය. "ඇයි රස නැද්ද?" ඇය දෑස් විසල් කරගෙන ඇසුවාය.

"නැහ්, ඔයා බොන් නැද්ද?"

"මං මේ වෙලාවට තේ බොන් නෑ."

"හ්ම්," ඔහු කට පිච්චෙන අතරම තේක බීගෙන බීගෙන ගියේය. "කවුද කිව්වෙ මං සීනි බොන්නෙ නෑ කියලා, මල්ලිද?" ඔහු හිස් කෝප්පය ඈ අතට දෙන ගමන් ඇසුවේය.

"ඔව්," ඇය මඳ අස්වැසිල්ලක් ලබමින් පිළිතුරු දුන්නාය.

"අහුවෙච්චදෙංකො ඕකව මට!" ඔහු දත්මිටි කෑවේය.

"අනේ ඇයි, මල්ලිට බණින්න එපා..."

"හයියෝ, ඔයත් අහු වෙනවනේ මේ පෝරිසාදයාගෙ ගැට වලට."

"මල්ලි මට බොරුද කියලා තියෙන්නෙ?"

"බොරු නේන්නං! මෙහෙ ඉන්නවනං ඔන්න මස්සිනා පොඩ්ඩගෙ තරම දැනගෙන ඉන්න වෙයි. ආයෙ එහෙම සීනි නැතුව තේ හදන්න එපා හරිද?"

"අනේ ඉන්න එහෙනං මං තව එකක් හදලා දෙන්නං..." ඇය පැවසුවේ මහත් සිත් තැවුලෙනි.

"නෑ නෑ දැං ආයෙ එපා," ඔහු ඇගේ අතින් අල්ලා ඇයව නවත්වාගත්තේය. පහළ මිදුලේ සංගීත සාජ්ජය ජයටම කෙරීගෙන යන හඬ ඇසුණි. "ඔයාට මහන්සියි නේද?" ඔහු ඇසුවේය. ඇය විඩාබර සිනහවක් පෑවාය. "එන්ඩකො, යං එළියට." ඔහු සඳළුතලයට යොමුව තිබූ දොර විවර කරගෙන පිටතට ගියේය. ඇයද ඔහු පසුපසින් එහි ගියාය. කඳු තලය පිටුපසින් දිස් වන පුර පෝය හඳ මනස්කාන්ත දර්ශනයක් විය. පහළින් පෙනුන වෙලද සඳ එළියෙන් නැහැවී ගොස් තිබූ අතර ඉන් ඔබ්බෙහි වූ පන්සලේ දාගැබ කිරි සුදු පැහැයෙන් බැබළෙන අපූරුව ඇගේ සිත වසඟ කළේය.

"හඳ හරිම ලස්සනයි නේද?" ඇගේ මුහුණේ ඉරියව් පිරික්සමින් සිටි ඔහු ඇසුවේය.

"ඔව්, පෝයනෙ."

"ගිය පෝය දවසෙත් මං ඔයාව දැක්කා..." ඔහු රහසක් හෙළි කළේය.

"ඒ කොහෙදිද?" ඇය පුදුම වී ඇසුවාය.

"මං ඔයාව බලන්න ආවා.. ඔයගොල්ලන්ගෙ ගමේ...."

"බොරු..." ඇය අවිශ්වාසයෙන් යුතුව කීවාය.

"ඇත්ත. පන්සලට වෙලා මං බලං හිටියා ඔයා එනකල්."

"ඉතිං කතා නොකළේ?"

"ඒක හොරෙන් ආව ගමනක්නේ. ඉතිං කොහෙ කතා කරන්නද?"

"ඉතිං ඇයි එහෙම ආවෙ?"

"නිකං..." ඔහු මඳක් නිහඬව සිටියේය. අනතුරුව සත්‍යය හෙළි කළේය. "එදා ඔයගොල්ලන්ගෙ ගෙදර කට්ටිය එන දවසෙ මං හිතං හිටියේ ඔයත් එයි කියලා. පස්සෙයි දැනගත්තේ සිරිතෙ හැටියට මනමාලි එහෙම එන්නෙ නෑ කියලා. ඒත් මට ඔයාව දකින්නම ඕන උනා, ඒ නිසා පෝය දවසෙ පන්සලට ආවා."

ඇය විස්මයෙන් දෑස් විසල් කරගෙන ඔහු දෙස බලා සිටියාය. "එතකොට එදා රෑ කොහෙද හිටියෙ?"

"පන්සලේ." ඔහු සිනාසී පිළිතුරු දුන්නේය.

ඇය කුමක් සිතන්නටදැයි නොදැන සුසුමක් හෙලුවාය. "ඉතිං ගෙදරට එන්න තිබ්බනේ? ඒ වෙද්දි මේ ඔක්කොම තීන්දු වෙලානෙ තිබ්බේ."

"ගෙදර ඇවිත් ඔයාගෙ ආඩම්බර බලන්න!" ඔහු සමච්චල් හඬින් කීවේය. "මුල් දවසෙ මගෙ දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ තියෙන ආඩම්බර කමට!" ඇය පසුතැවිලි සහගත මුහුණින් බිම බලා සිටියාය. "ඔන්න ඔයාට ඇත්තම කියන්න මට මේ මගුල එපා කියලා මං හිටියේ එදා ඔයාගෙ නංගිලා දෙන්නා එක්ක කතා කරනකල්." ඔහු තවත් රහසක් හෙළි කළේය.

ඇය වහා හිස එසවූවාය. "නංගිලා දෙන්නා??? මොනවද ඒගොල්ලො කිව්වේ?"

ඔහු හඬ නගා සිනාසුණේය. "ඇයි මොකද, හිතං හිටියේ ඔත්තුකාරයෝ හම්බුනේ ඔයාට විතරයි කියලද?"

"මට කිව්වෙවත් නෑනේ එ දෙන්නා ඔහොම කතාවක්."

"ආ, ඒවට මං පගාව දීලා තියෙන්නෙ."

"මොනවද ඒ ගොල්ලො කිව්වෙ?"

"කිව්වා... ම්...... අක්කට ගස් නගින්න පුළුවං කිව්වා..." ඇය දෑතින්ම ඇරුණු මුව වසාගත්තාය. "තව... කැලේ ඇවිද ඇවිද ඉන්න ආසයි කිව්වා... පොතක් අතට ගත්තොත් වෙන වැඩක් ගැන සිහියක් නෑ කිව්වා... වැස්සෙ තෙමෙන්න, මඩේ නටන්න ආසයි කිව්වා........ තව....." ඇගේ මුහුණ දුටු ඔහු නැවතත් සිනාසුණේය. "මොකද බොරුද?"

"ඉතිං ඕවා අහලද එපා වෙලා හිටපු මඟුල ඕනෙ උනේ?"

"නැත්තං???" ඔහු යළිත් සිනාසුණේය.

පොතකින් හෝ මෙතෙක් කල් හමු වී නොතිබූ මෙම අරුම පුදුම සැමියා පිළිබඳව ඇය පුදුමයෙන් කල්පනා කරමින් "මං අල්ලගන්නංකො දෙන්නව ගෙදර ගියාම!" යැයි ඇය මිමිණුවාය.

සිනාසුණු ඔහු කතාව වෙනස් කළේය. "ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා, යමුද?"

"කොහෙද?"

"වෙලෙන් එගොඩහ."

"හෙට යං."

"දැං තමයි ලස්සන, හඳ පායපු වෙලාවට."

"ඉතිං කොහොමද දැං යන්නෙ, රෑ වෙලානේ?"

"හඳ එළිය ඇති ඔය ටික යන්න."

"පල්ලෙහා සෙනග බලයි අපි මේ රෑ කොහෙ යනවද කියලා."

"ඉතිං කවුද ඉස්සරහෙන් යන්නෙ. මෙතනින් පැනලා යමු." ඔහු සඳළුතලය අසළ වූ විසල් කොස් ගස පෙන්නුවේය.

"ගහ දිගේ?"

"ඔව්. ගහ දිගේ බිමට බැහැලා තාප්පෙට නැගලා පනිමු." මේ කතා කරන්නේ තමා හා විවාහ වූ, බැරෑරුම් වැඩිහිටි බවකින් යුතු කච්චේරියේ ලියන මහත්මයාමදැයි ඇයට මොහොතකට සැකයක් ඇති විය. "මොකද කියන්නේ? යංද?" ඔහු නැවතත් ඇසුවේය.

"මේ පැත්තට කවුරුවත් ආවොත්?"

"කවුරු එන්නද? ඔක්කොමල්ලා ඉස්සරහා මිදුලෙ. මේ වෙලාවට මේ පැත්තට කවුරුවත් එන්නෙ නෑ." ඔහු සඳළු තලයේ කෙලවරට ගොස් පා වහන් යුවල ගලවා බිමට දමා කොස් ගසට ගොඩ විය. "මගෙ පස්සෙන් එන්න."

ඇයද ඔහු අනුගමනය කරමින් පැලැඳ සිටි සෙරෙප්පු කුට්ටම බිමට දමා ප්‍රවේශමෙන් අත්තකට ගොඩ විය. එවන් ක්‍රියා සැබැවින්ම ඇයට නොපුරුදු නොවීය. එහෙත් ඇයට අදහාගත නොහැකි වූවේ තම සැමියාද එවන් දෑ වලට අනුබල දීම පිළිබඳවය. කොස් ගසෙන් බිමට බැස තාප්පය වෙත දිව ගිය දෙදෙනා එහි උස සිතින් මැන බැලූහ. දෙදෙනාගේම පාවහන් තාප්පයෙන් පිටට විසි කළ ඔහු ඇයට තම දණහිස මත නැගී තාප්පය මත හිඳ අනිත් පැත්තට පනින ලෙස සන් කළේය. ඔහු පැවසූ ලෙසින් තාප්පයට නැගගත්තද ඇයට ඉන් බැස ගැනීම අසීරු විය. ඉක්මණින්ම තාප්පයට නැගී අනිත් පසට පැනගත් ඔහු ඇයට නොබියව පනින ලෙස කීවේය. මේ වන විට තම සැමියා කෙරෙහි පූර්ණ විශ්වාසය ගොඩනගාගෙන සිටි ඇය දෑස් වසාගෙන ඔහු වෙත පැන්නාය. තණබිස්සේ පෙරළී ගිය දෙදෙනා දණිපණි ගා නැගිට දුහුවිලි පිසදමාගෙන පාවහන් පැලඳ ගත්තෝය.

"අළුත ගෙනා මනමාලි තාප්පෙ උඩ නැගලා ඉන්නවා කවුරුවත් දැක්කනං තමයි වැඩේ," ඇගේ අත රැගෙන වෙල් යාය දෙසට දිව යන අතරේ ඔහු කීවේය.

"අනේ එහෙනං අපි ආපහු යං..." මඳක් පසුබෑ ඇය ඉල්ලා සිටියාය.

"යං යං, මං නිකං කිව්වේ." ඔහු ඇගේ අතින් අල්ලාගෙනම නියර දිගේ ඇවිද ගියේය. සඳ රැසින් නැහැවුනු වෙල් යාය ඉතාම සුන්දරව දිස් විය.

"ගොඩක් දුරද?"

"අර පේන්නෙ වෙලෙන් එහා ලන්දක්. අන්න ඒක මැද්දෙ ලස්සන විලක් තියෙනවා. එතනට තමයි අපි යන්නෙ..."

"අනේ මේ රෑ ඔය ලඳු අස්සෙ යන්න බෑ, සත්තුත් ඇති..." ඇය ආපසු අතින් ඇද්දාය.

"බය වෙන්න එපා, මෙතන මං නිතර එන තැනක්."

වෙලෙන් එගොඩ වූ ඔවුහු ලන්ද මැදින් වැටී තිබූ අඩිපාර ඔස්සේ පියමං කොට එළිමහනකට පිවිසියෝය. ඔවුන්ගේ දෑස අභියස වූයේ පූර්ණ චන්ද්‍රයාගේ ඡායාව වැටී, ලෙල දෙන දිය රැළි මත පිපුණු කුමුදු මලින් පිරී ගිය විලකි. ඒ අසළ වූ ගල් තලාව මත ඇයට හින්දවුනේ ඉබේමය.

"අනේ අපේ ගමේ නෑනේ මෙච්චර ලස්සන තැනක්!" ඇය සිහිනෙන් දොඩවන්නියක සේ මිමිණුවාය.

"හඳ පිරිච්ච පෝය දාට තමයි මෙතන මෙච්චර ලස්සන," ඔහුද ඈ අසළින් වාඩි වෙමින් කීවේය.

"මං හරිම ආසයි මේ වගේ ලස්සන තැන් දකින්න." ඇය ඔහු දෙස ස්තූති පූර්වකව බලමින් කීවාය.

"ඒකනෙ මං මේ රෑම එක්ක ආවේ."

"ගෙදර හිටියනං අර සාජ්ජෙත් එක්ක කනක් ඇහිල්ලේ ඉන්ඩ නෑ."

"ඔයා සංගීතෙට ආස නැද්ද?"

"ආසයි. ඒත් අද මේ මහන්සි වෙලා ඉන්න අස්සේ එච්චර සද්දෙ තියෙන කොට හරි අමාරුයි."

"ඒක හරි." ඔහු දෙපයින් දිය කැලැත්තුවේය.

"එපා, මාළු නිදි ඇති."

"ඔයාටත් හිතෙන ඒවා." ඔහු සිනාසුණේය.

"මෙතන පුරුදු තැනක් කිව්වෙ - හැමතිස්සෙම එනවද?" මඳ නිහැඬියාවකට පසු ඇය ඇසුවාය.

"හැම පෝයටම වගේ එනවා."

"කා එක්කද?"

"තනියම."

"තනියම?"

"ඔව්, ඇයි?"

"ඒ ඇවිත් මොකද කරන්නේ?"

"ඔහේ හඳ දිහා බලාගෙන ඉන්නවා. සමහර දවසට මෙතනම නින්ද යනවා."

"ගෙදර අය බය වෙන් නැද්ද?"

"මුලම වතාවෙනං බය වෙලා හැම තැනම හොයන්න ගිහිං තිබ්බා. එතකොට මං අපෙ මල්ලිගෙ වයසෙ විතර ඇති. රෑ තිස්සෙ මේ කැලෑව අස්සෙ හිටියෙ කිව්වහම අප්පච්චි මාව කෝටු මස් කළේ නැති ටික විතරයි."

විලේ එහා ඉවුරේ සිටි මැඬියෙක් 'ටොක්' හඬින් දියට පැන්නේය. රැළි නැගී බොඳ වී ගිය සඳේ ඡායාව යළිත් එක් වී දිය තලය නිසල විය. ඇය ඈනුමක් හැරියාය. "නිදි මතද?" ඔහු ඇසුවේය. අනතුරුව ඇගෙන් පිළිතුරක් ලැබෙන තෙක් නොසිට ඇගේ හිස ගෙන සිය උරහිසේ සතපවාගත්තේය. ඇයද සිය හිමියන්ගේ උණුසුමේ ගැලී ඔහුගේ හදවතේ රිද්මයට කන් දුන්නාය. ඔහු සෙමින් ඇගේ හිස අතගාන්නට පටන් ගත්තේය. "අපි අද මෙතනද ඉන්නෙ?" ඇය නිදිබර හඬින් විමසුවාය.

"කොහොමද හොඳ?"

"මෙතන හොඳයි." ඇය මුහුණ මඳක් ඔසවා ඔහු දෙස බලා මඳ සිනහවක් පෑවාය.

ඈ වෙතින් මඳකට මිදුණු ඔහු විලට බැස කුමුදු මල් කිහිපයක් නෙලාගෙන දිය බේරෙන දෑත දෙපයින් යුතුව යළි ගොඩට ආවේය.

"ඔය මොකටද?" ඇය ඇසුවාය.

"ඉන්ඩකො ඔහොම." ඔහු එකින් එක මල් රැගෙන ඇගේ හිසේ පැලැඳුවේය. අනතුරුව පොඩි එකෙකු මෙන් සිනාසුණේය. ඇගේ හදවත ජීවිතයේ මෙතෙක් කල් නොලැබූ මිහිරියාවකින් පිරී යන්නට විය. වෙහෙස පළවා හැරි ඇයද ඔහු හා සිනාසුණාය.

"සෙව්වන්දි..." ඔහු මුල් වරට ඇගේ නමින් ඇමතුවේය. එම ඇමතුම තුළ ගැබ්ව තිබූ විස්තර කළ නොහැකි හැඟීම් සමුදාය එම මොහොතේ ඔහුගේ දෙනෙත තුළින්ද ඇය දුටුවාය. "මට ආදරෙයිද?"

ඇය විසල් වූ දෙනෙතින් ඔහු දෙස බලා සිටියාය. තමා ඔහුට අකැමැත්තෙන් සිටි සැටිත්, උදෑසන පෝරුව අසළදී ඔහු වෙතින් දුටු වෙනසත්, ගමන මුළුල්ලේ ඔහු හා කළ කතාබහත්, කාටත් හොරෙන් ඔහු තමා දකින්නට පැමිණ පන්සලේ රාත්‍රිය ගෙවූ දිනයත් ඇගේ මනසට එකින් එක යළි ඇතුල් විය. ඇගේ කැමැත්තක් නොවිමසාම වැඩිහිටියන් විසින් තීන්දු කෙරුණ මෙම විවාහය පෝරුව මතදී අතැඟිලි බැඳ චාරිත්‍රානුකූලව තහවුරු වී ඇත, නීත්‍යානුකූලව සටහන් වී ඇත. ඒ සියල්ල සිදු වූයේ එකිනෙකා කෙරෙහි බැඳුණු ආදරයකින් තොරව නොවේද. ඔහු මෙතරම් ආදරණීය, ප්‍රේමණීය පුද්ගලයෙකුයැයි ඇය කිසිසේත් බලාපොරොත්තු වූයේ නැත. තම අවංක කුළුඳුල් ආදරය තම සැමියා වෙත මෙලෙසින් පුද කරන්නට වරම් ලැබීම කෙතරම් භාග්‍යයක්දැයි ඇයට සිතුණි. ඇගේ විසල්ව තිබූ දෑසට කඳුළු උනා ආවේය. "ආදරෙයි...." ඇය යළිත් තම වමතේ පැලැඳි මුදුව දෙස බලා සිහින් හඬින් කීවාය.

ඔහු ඇගේ නළලත සිපගත්තේය. විල් ඉවුරේ වූ විසල් තුරු බඳ වටා එතී ගිය ලතා මඬුළු සඳ එළියේ හිනැහෙනු ඇය දුටුවාය. සඳුගේ තනියට මෙන් කුඩා තරුවක් ඈත අහසේ දිලිසුණි. රැහැයියන්ගේ හඬ පරදා ඇසෙන මැඬියෙකුගේ නාදයටත්, මඳක් ඈතින් එයට ලැබුණු පිළිතුරු නාදයටත් ඇය කන් දී සිටියාය.

"ගෙඹි ජෝඩුවක් කෑ ගහනවා, ඇහෙනවද?" ඔහු ඇගේ කනට කොඳුරා ඇසුවේය.

"හ්ම්, මාත් අහගෙන හිටියෙ." ඇයද එම ස්වරයෙන්ම පිළිතුරු දුන්නාය.

ඇගේ නළලතට සිය නළලත හේත්තු කරගත් ඔහු යළිත් එම හඬට කන් දී සිටියේය. "දන්නවද ඒ කියන්නෙ මොනවද කියලා?"

"ම්හ්," ඇය හිස සෙමින් සෙලවූවාය.

"පිරිමි සතා අඬගහනවා ගෑණු සතාට."

"ඒ ඇයි?" එසේ විමසුවද ඇය පිළිතුර දැන සිටියාය.

ඒ බව දත් ඔහු ඇයට පිළිතුරක් නොදී ඇගේ කම්මුලකට දිගු ආදරණීය හාදුවක් දුන්නේය. මොහොතින් මොහොත ඇගේ සිත තුළට එතෙක් කිසිදා නොපිවිසි හැඟීම් සහ සිතුවිලි ගලා එන්නට විය. මෙය ආදරයද? නැතහොත් නුහුරු පරිසරයක ලබන මෙම නුහුරු අත්දැකීමේ කැටි වූ මිහිරියාවද? එසේත් නැතිනම් මංගල රාත්‍රියට මුහුණ දීමට පෙර යුවතියකගේ සිත තුළ ඇති වන කැළඹීමද? ඇයට වැටහීමක් තිබුණේ නැත. "සද්දෙ නැවතිලා." ඇය මඳ අස්වැසිල්ලක් ලබාගන්නා අටියෙන් කීවාය.

"ඔව්," ඔහු ඇගේ මුහුණ තමා වෙත හරවාගත්තේය. "ඒ දෙන්නා හම්බ වෙන්න ඇති."

සඳ වළාවකින් වැසී හාත්පස අඳුරේ ගිලී ගියේය.





227. රෝමයේ නිවාඩුවක්: ජෝ බ්‍රැඩ්ලිගේ වාර්තා ලිපිය

මට තාම මේ රෝම නිවාඩුව ඉවරයක් කරන්න හිතක් නෑ. ඔයාලත් එක්කම ඒ  නිවාඩුවට එකතුවෙන්න හිතාගෙන මං ඔන්න ඔයාලට පොඩි හෝම්වර්ක් එකක් දෙන්නයි යන්නේ. මේක කරන්නනම් හැබැයි මම මේ වෙනකල් ලියපු රෝම නිවාඩුවේ කොටස් අටම කියවලා එන්න ඕනෙ.

රෝමයේ නිවාඩුවක් (හැඳින්වීම)
රෝමයේ නිවාඩුවක්...01
රෝමයේ නිවාඩුවක්...02
රෝමයේ නිවාඩුවක්...03
රෝමයේ නිවාඩුවක්...04
රෝමයේ නිවාඩුවක්...05
රෝමයේ නිවාඩුවක්...06
රෝමයේ නිවාඩුවක්...07
රෝමයේ නිවාඩුවක්...08 (අවසන් කොටස)

ඉතිං මේකයි වැඩේ. අපේ ජෝ බ්‍රැඩ්ලි දැන් අර ඩොලර් පන්දාහක් වටින 'අති විශේෂ' ලිපිය ලියන්නෙ නෑනේ. ඒත් එයා අර පොදුවේ පැවැත්වුණු පුවත්පත් සාකච්ඡාවට ගියා, රාජකාරිය නිසා. එයාට ඒ සාකච්ඡාව ඇසුරෙන් ලිපියක් ලියන්න වෙනවා පත්තරේට.



ඔයාලාට තියෙන්නේ ජෝ ලියන අන්න ඒ ලිපිය ලියන්න. මේකට කමෙන්ට් එකක් විදිහට ලිව්වත් කමක් නෑ, කැමතිනම් පින්තූර එහෙමත් දාලා තමන්ගේ බ්ලොග් එකේ ලිව්වත් කමක් නෑ. ඔයාලා එහෙම ලියන ඒවා අතරින් එකක් තෝරගෙන මම මේ ලියලා ඉවර වෙච්ච චිත්‍රපටයේ කතාවට ඈඳුතුවක් (sequel) ලියන්නයි හිතාගෙන ඉන්නේ. :)

හරි එහෙනං, කට්ටියගෙන් ලස්සන වාර්තා ලිපි ලැබෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා. Happy Writing! :)






226. රෝමයේ නිවාඩුවක්...08 (අවසන් කොටස)

පසුදින ජෝ හුදෙකලාව තම නවාතැනේ කවුළුවෙන් පිටතට නෙතු යොමාගෙන හිඳගෙන සිටියේය. මඳවෙලාවකින් කිසිවෙකු දොරට තට්ටු කරන හඬක් ඇසුණි. විගසින් දොර වෙත හැරුණු ජෝ එදෙස මොහොතක් බලා සිටියේය. අනතුරුව නැගිට විත් ඔහු දොරටුව විවර කළේ බලාපොරොත්තු දැල්වුණු දෑසිනි. නමුත් එවිගසින්ම ඔහු යළිත් බලාපොරොත්තු කඩ වූ මුහුණින් ඉවතට ඇවිද ගියේය. දොරටුවෙන් නවාතැන තුළට කඩාවැදුණේ ඔහුගේ කාර්යාල ප්‍රධානි හෙනසි මහතා ය.

"අයිසෙ ජෝ, ඒක ඇත්තද: තමුසෙට හැබෑවටම ඒ විස්තර හම්බවුණාද?" ඔහු නොඉවසිල්ලෙන් ඇසුවේය.

ජෝ දෑත් සාක්කු තුළ රුවාගෙන හෙනසි මහතා වෙත හැරුණේය. "මොන විස්තරද?"

"අර කුමාරිකාවගෙ කතාන්දරේ - අර අති විශේෂ වාර්තා ලිපිය: ඒක හරිද?"

"නෑ," ජෝ හිස දෙපසට වනමින් ඉවතට හැරුණේය. "මට ඒක කරගන්න බැරිවුණා."

"මොකා? ඒත් එහෙම වෙන්න බෑනේ!"

"කෝපි හරි මොනවාහරි බොනවද?"

හෙනසි මහතා ජෝ වෙත ඇඟිල්ලක් උරුක් කළේය. "ජෝ, මගෙන් ඒක හංගන්න ලෑස්ති වෙන්න එපා."

"කවුද මොනවත් හංගං ඉන්නේ?"

"තමුසෙ!"

ජෝ තම මේසය මත වූ කිසිවක් එහා මෙහා කරමින් කාර්යබහුලව සිටියේය. "මට තේරෙන්නෙ නෑ සර් මේ මොනවද කියන්නෙ කියලා?"

"මං තමුසෙ හිතං ඉන්නවට වඩා දේවල් දන්නවා ජෝ: ඉස්සෙල්ලාම තමුසෙ මගේ ඔෆිස් එකට ඇවිල්ලා ඔට්ටු ඇල්ලුවා කුමාරිකාව ගැන විශේෂ ලිපියක් ලියනවා කියලා; ඊළඟට තමුසෙ අන්තරස්දාන වුණා; ඊටත් පස්සෙ මට තානාපති කාර්යාලෙ ඉන්න මගේ ඔත්තු කාරයෙක්ගෙන් ආරංචි වුණා කුමාරිකාව අසනීපෙන් නෙවෙයි, එයා නගරෙ පුරා ඇවිදිනවා කියලා."

"අනේ මං දන්නෑ ඔබතුමා මොනවිදිහේ පුවත්පත් සංස්කාරකවරයෙක්ද කියලා? ඔය කනට ඇහෙන තුට්ටු දෙකේ ඕපදූප ඔක්කොම ඔබතුමා විශ්වාස කරනවද?"

"නැතුව? ඒ විතරක් නෙවෙයි: ගඟේ බෝට්ටු සාදෙක මහ ගාලගෝට්ටියක් වෙලා තියෙනවා - " හෙනසි මහතාට සවන් දී සිටින අතරේ මිහිරි මතක ආවර්ජනය හේතුවෙන් ජෝ ගේ දෑස් බැබළෙන්නට විය. "- කොහෙන්දෝ මන්දා රටකින් ආපු රහස් නිලධාරීන් අට දෙනෙක් අත් අඩංගුවට අරගෙන. ඊට පස්සෙ හදිසියෙම කුමාරිකාවට සනීප වෙලා. ඉතිං ඔය ඔක්කොම කෑලි එකට එකතු කළාම පිංතූරෙ ලස්සනට හැදෙනවනේ! මේ, ඔහොම අගේ කර කර ඉඳලා කතන්දරේ ගාණ ඉස්සුවා කියන්නෙ එහෙම නෑ, තේරුණාද? ගනුදෙනුවක් කියන්නේ ගනුදෙනුවක්, අපි ඒ ගාණට එකඟ වුණා!" හෙනසි මහතා කතා කරන අතරේ ජෝගේ මේසය වෙත ගොස් ඒ මත ඇති දෑ අවුස්සන්නට විය. "කෝ මිනිහෝ, කොහෙද කොහෙද, පෙන්නනවකෝ මට: කෝ කතන්දරේ?"

"මං එහෙම එකක් ලිව්වෙ නෑ." ජෝ හෙනසි මහතා පසු කර කුඩා මේසය වෙත ගොස් වයින් වීදුරුවක් වත් කරන්නට පටන්ගත්තේය.

"එහෙනං මොකද තමුසෙ-" 

හෙනසි මහතාගේ කතාවට බාධා කරමින් ඒ මොහොතේදී මහ හඬින් දොරටුව විවර කරගෙන නවාතැන තුළට කඩා වැදුණේ අර්වින් ය. "ජෝ!" ඔහුගේ අතේ විශාල ලියුම් කවරයක් විය. "මේ බලනවා ඕයි මේවා දිහා!"

"අර්වින්." ජෝ අවධාරණාත්මක හඬින් ඔහු ඇමතුවේය.

අර්වින් හෙනසි මහතා වෙත ගියේය. "හලෝ හෙනසි මහත්තයා, ෂා, ඔබතුමාත් නියම වෙලාවට ඇවිත් තියෙන්නේ." "අර්වින්!" ජෝ වඩාත් දැඩි හඬින් ඔහු ඇමතුවේය. නමුත් මිතුරාගේ තර්ජනාත්මක හඬ වටහා නොගත් අර්වින් දිගටම කතා කරන්නට සූදානම් විය: "මේ බලන්නකො-" ඔහු ලියුම් කවරය විවර කරන්නට සූදානම් වනවාත් සමගම ජෝගේ අතේ වූ වයින් වීදුරුව අර්වින්ගේ සිරුර පුරා හැළී ගියේය. අර්වින් කෝපයෙන් යුතුව වහා ජෝ වෙත හැරුණේය. "ඒ මොකටද එහෙම කළේ?"

"මොකක්?" ජෝ පුදුමයෙන් මෙන් කතා කරන අතරේ අර්වින්ගේ අතේ වූ ලියුම් කවරය උදුරා ගත්තේය. "තමුසෙනෙ මගේ කාමරේට කඩං වැදිලා මෙතන බඩු පෙරලන්න ගත්තේ!"

"කවුද බඩු පෙරළුවේ?"




"තමුසෙනේ. ඇයි ඕයි මතක නැද්ද, මං ඒ ගැන මීට කළිනුත් තමුසෙ එක්ක කතා කළා?"

"ජෝ, බලනවා මගෙ කලිසම දිහා!"

ජෝ අර්වින්ගේ අතින් ඇදගෙන නාන කාමරය දෙසට යන්නට විය. "ඔව් ඔව්, මේ පැත්තට ඇවිත් ඕක වේලගන්නවා අර්වින්."

නමුත් එයට විරෝධය පෑ අර්වින් ඔහුගේ ග්‍රහණයෙන් මිදුණේය. "ඕන නෑ. මේ ඒක නෙවෙයි, තමුසෙ හෙනසි මහත්තයාට කිව්වද ස්මිත් ගැන?"

"අර්වින්." ජෝ අනතුරු ඇඟවූවේය.

මිතුරන් දෙදෙනාගේ කෝලහාලය දෙස සැකමුසුව බලා සිටි හෙනසි මහතා කුතුහලයෙන් ඔවුනට සවන් දී සිටියේය. "ස්මිත්?" 

"හප්පා! හෙනසි මහත්තයෝ-" අර්වින් ජෝ අතේ වූ ලියුම් කවරය උදුරාගත්තේය. "අර්වින්!" ජෝ යළිත් අනතුරු ඇඟවූවේය. අර්වින් හෙනසි මහතා වෙත යන්නට පටන්ගත්තේය. "මේ බලන්නකෝ-" ජෝ පය දිගු කර අර්වින්ගේ ගමනට බාධා කළ අතර ඔහු පය පැකිළී ඇද වැටුණේය. 

"අයියෝ අර්වින්," ජෝ අහිංසක හඬින් කීවේය. "ඔය බලාපංකො ඉතිං ආයෙත්."

අර්වින් දුම් දමමින් නැගිටගත්තේය. "ජෝ. මේ අහපං-" ඔහු මිතුරාට පහර දීමට සූදානම් විය.

නමුත් ජෝ විගසින් ඔහු වළක්වාගත්තේය. "හරි හරි, ඕක පස්සෙ බැරියැ; තමුසෙ කොහොමටත් මෙහෙ ආවා කළිං වැඩියි. දැං ගෙදර ගිහිං රැවුළවත් බාගනිංකෝ!"

අර්වින් සිය රැවුළ අතගෑවේය. "රැවුළ?"

"ඔව්, එහෙම බැරිනං අඩු ගානේ මායි හෙනසි මහත්තයයි කතා කරලා ඉවර වෙනකල් කට පියාගෙන හිටපං."

හෙනසි මහතා සිය හිස් වැස්ම පැළඳගනිමින් ඔවුන් වෙත ආවේය. "තමුසෙලා දෙන්නා මොකටද මේ ලෑස්ති වෙන්නේ?" ඔහු සිය දෑත් ඉණ මත තබාගත්තේය. "කවුද ස්මිත් කියන්නේ?"

ජෝ වහා පිළිතුරු දුන්නේය. "ඒ අපිට ඔය පාරෙදි හම්බවෙච්ච මිනිහෙක්; ඔබතුමාට උගෙන් වැඩක් නෑ."

ඒ මොහොතේදී හෙනසි මහතා අර්වින්ගේ අතේ වූ ලියුම් කවරය උදුරාගත්තේය. "මොනවද අර්වින් මට පෙන්නන්න හැදුවේ?" ඔහු එය විවර කරන්නට සූදානම් විය.

ජෝ වහා එය ඔහුගෙන් උදුරාගත්තේය. "ආ, ඔය අර්වින්ගේ නැට්ටුක්කාරියොන්ගෙ පින්තූරනේ; ඔබතුමා මෙහෙම ඒවට කැමති නෑ." නමුත් හෙනසි මහතාගේ සැකමුසු බැල්ම හමුවේ ඔහු මුවට සිනහවක් නගාගත්තේය. "ආ එක්කෝ ඕනමනං බලමු ඉතිං," ඔහු කවරය විවර කරන්නට මෙන් සූදානම් වූවේය.

නමුත් හෙනසි මහතා නොඉවසිල්ලෙන් ඔහු වැළැක්වුවේය. "කතාව වෙන පැත්තකට හරවන්න හදන්න එපා අයිසෙ! තමුසෙ ඊයෙ මගේ ඔෆිස් එකට ආපු වෙලාවේ-"

"හරි, මං දන්නවා, ඊයෙ දවල් මං හිතං හිටියේ මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා, ඒත් මං හිතං හිටියා වැරදියි! එච්චරයි ඉතිං; මට ඒ කිව්ව විදිහේ කතන්දරයක් ලියාගන්න බැරි වුණා." හෙනසි මහතාට පිටුපසින් සිටි අර්වින්ගේ මුව පුදුමයෙන් විවර විය.

"හරි එහෙනං," හෙනසි මහතා පිටව යාමට සූදානම් විය. "අද තියෙනවා අර ඊයෙ අවලංගු වෙච්ච පුවත්පත් සාකච්ඡාව. ඒ වෙලාවටම, එතනම. ඒකටවත් ගිහිං මොනවාහරි ලියාගන්නවා." දොර වෙත ඇවිද ගිය හෙනසි මහතා ආපසු හැරී ජෝ වෙත ඇඟිල්ල උරුක් කළේය. "මතක තියාගන්නවා තමුසෙ මට තව ඩොලර් පන් සීයක් ණයයි දැන්!"

"මගේ පඩියෙං කපාගන්න, සතියකට පණහ ගානේ." ජෝ ඔහු දෙස නොබලා පිළිතුරු දුන්නේය.

"හිතන්න එපා මං එහෙම නොකරයි කියලා!" හෙනසි මහතා පිටව ගියේය.

එතෙක් වේලා තුෂ්නිම්භූතව බලා සිටි අර්වින් ජෝ දෙස බැලුවේය. "ඕයි, මොකද වුණේ? අපිට හෙනසි උන්නැහේට වඩා ගෙවන්න කැමති කෙනෙක් හම්බවුණාද?"

"අර්වින්..." ජෝ තැතනුවේය. "මං, මං දන්නෙ නෑ මේක උඹට කොහොමද කියන්නෙ කියලා, ඒත්-"

"ඔහොම හිටපං පොඩ්ඩක් මං වාඩි වෙනකල්." අර්වින් අසළ පුටුවක් මතින් හිඳගත්තේය.

"මේකයි, ඔය පින්තූරත් එක්ක ලියවෙන්න තිබ්බ කතාව ගැන කියනවනං: එහෙම කතාවක් නෑ."

"මො-මොකක්?"

ජෝ තවත් වයින් වීදුරුවක් වත් කරගත්තේය. "මං කිව්වෙ, මං එහෙම එකක් ලියන්නෙ නෑ."

ජෝ දෙස මොහොතක් වේලා බලා සිටි අර්වින් අවසානයේදී සිය මිතුරාගේ සිතැඟි අවබෝධ කරගත්තේය. "මේ, හරි, අර - මේ, පින්තූර ටික මාර ලස්සනට ආවා බං. උඹ අඩු ගානේ මේ ටික හරි පොඩ්ඩක් බලාපං." ඇඳ වෙත ගිය අර්වින් ඒ මත කවරයෙන් ගත් ඡායාරූප එකින් එක ඇතිරුවේය. ඒ අසළට පැමිණි ජෝ වෙත ඔහු එක් ඡායාරූපයක් ඔසවා පෙන්නුවේය. "කොහොමද මේක?" 

ජෝද මඳ සිනහ රැඳි මුහුණින් එය අතට ගෙන බැලුවේය. අනතුරුව ඔහු ඇඳ මතින් තවත් ඡායාරූප කිහිපයක් අතට ගත්තේය. "හෙහ්, එයාගෙ පළවෙනි සිගරට් එක!" ඔහු ඉන් එකක් දෙස බලමින් හිනැහුණේය.




"ආ ඔව්, රොකා අවන්හළේදි ගත්ත එක," අර්වින්ද එයට එබෙමින් කීවේය.

ජෝ ඊළඟ ඡායාරූපය දෙස බැලුවේය. "මෙන්න, සත්‍යයේ මුහුණත ළඟ." ඊළඟ ඡායාරූපය දුටු මොහොතේදී ඔවුන් දෙදෙනාම හඬනගා සිනාසුණෝය. එහි වූයේ කුමරිය සහ මාරියෝගේ නර්තනයයි. ජෝ ඇඳ මතින් තවත් ඡායාරූපයක් අතට ගත්තේය. "මෙන්න මේක තමයි මං ලිපියේ ප්‍රධාන පින්තූරෙ විදිහට දාන්න හිතං හිටියේ," ඔහු එය අර්වින්ට පෙන්වමින් කීවේය. එහි වූයේ ඈන් කුමරිය ප්‍රාර්ථනා පවුර දෙස බලා හිඳිනා දසුනකි. "'ප්‍රාර්ථනා ඉටු වන පවුර අභියස,'" ඔහු තමා සිතා සිටි සිරස්තලයද ඉදිරිපත් කළේය.

"ජෝ, ඒක නියමයිනේ!" අර්වින් සතුට පළ කළේය. "ඒක උඩින්ම දාලා ඊළඟට මේ එකින් එක එයාගෙ ඉෂ්ඨ වෙච්ච ප්‍රාර්ථනා විදිහට එකතු කරන්න පුළුවන්, නේද?"

"හ්ම්."

අර්වින් තවත් රූපයක් අතට ගත්තේය. "මේ, මේක මං වෙන ලිපිගොණුවකින් හොයාගත්තේ: 'කුමරිය පොලිසිය පරීක්ෂා කරමින්'."

"ඔව්, ඒත්-"

අර්වින් තවත් ඡායාරූපයක් ජෝ අතට ලබා දුන්නේය. එහි වූයේ ස්කූටර වික්‍රමයෙන් පසු අත් අඩංගුවට ගැනුණු කුමරිය හා පොලිස් නිලධාරීන්ගේ රූපයකි. "එතකොට මේක: 'පොලිසිය කුමරිය පරීක්ෂා කරමින්'. කොහොමද ඒක?"

දෙදෙනාම යළිත් සිනාසුණෝය. "නියමයි, නියමයි," ජෝ කීවේය. 

අර්වින් ඊළඟ ඡායා රූපය මිතුරා අතට දුන්නේය. එහි වූයේ කුමරිය පුටුවක් මතට නැග ගිටාරය ඔසවා රහස් සේවා නිලධාරියාට පහර දෙන අන්දම ය. "ෂහ්!" ජෝගේ මුහුණ විශ්මයෙන්ද ප්‍රීතියෙන්ද බැබළෙන්නට විය.

"ඒක නියමයි නේද?"

"ආයෙත් අහලා! මාර පින්තූරයක්නේ!"

ඔවුන් දෙදෙනා හඬ නගා සිනාසෙමින් එයට ගැලපෙන සිරස්තල යෝජනා කරන්නට විය. අර්වින් සිය මිතුරා අවසානයේදී ලිපිය ලියන්නට සිත එකඟ කරගෙන ඇති බව සිතන්නට වූ මොහොතේදීම ජෝගේ මුහුණෙන් එළිය අතුරුදහන්ව ගියේය. අර්වින්ගේද සිනහව වියැකී ගියේය. "මොනවද බං ජෝ," ඔහු මිතුරා උනන්දු කරවන්නට උත්සාහ කළේය. "මේ කුමාරිකාවක්නේ. ඔය හැටි හිතන්න දෙයක් තියෙනවැයි." නමුත් ජෝගේ සම්පූර්ණයෙන්ම අඳුරුව ගිය මුහුණ දෙස බලමින් අර්වින් අවසානයේදී හිස දෙපසට වැනුවේය. "උඹෙනං ඔළුව හොඳ නෑ!"

"ඔව්, මං දන්නවා," ජෝ කීවේය. "ඒත් මේ, අහපං, උඹට ඔය පින්තූර විකුණගන්න ඕනෙනං මට උඹව නවත්තන්න බෑ. උඹට හොඳ ගාණක් හොයාගන්න පුළුවං වෙයි."

"ඔව් මොකද නැත්තෙ!" නුරුස්නා හඬින් එසේ පැවසූ අර්වින් ඇඳ මතින් ඡායා රූප ගොන්න එකතු කරගන්නට විය.

"උඹ සාකච්ඡාවට යනවද?" ජෝ ඇසුවේය.

"උඹ යනවද?"

"නොගිහිං බෑනේ. රස්සාවෙ වැඩක්නේ."

"ඒක හරි." ඡායාරූප ගොන්න ලියුම් කවරය තුළට දමාගත් අර්වින් දොරටුව වෙත ගොස් සිය තෙත් වූ කලිසම දෙස බලා ජෝ වෙත එරෙව්වේය. "හම්බවෙමු එහෙනං," ඔහු පිටව ගියේය.

***

තානාපති කාර්යාලයේ විශාල ශාලාව පුරා වාර්තාකරුවන් හා ඡායාරූපශිල්පීන් රැස්ව සිටියෝය. ජෝ සහ අර්වින් ද එහි ඇතුළු වූහ. ශාලාවේ ඉදිරිපස වූ වේදිකාව මතට පැමිණි අයෙක් පිරිසට නිහඬවන ලෙස සංඥා කළේය. "නෝනාවරුනි මහත්වරුනි: කරුණාකර ඉදිරියට පැමිණෙන්න," ඔහු නිවේදනය කළේය. ඉදිරියේ සීමාව දක්වා තිබූ තාවකාලික වැට ආසන්නයට සියල්ලන්ම රැස් වූ අතර ජෝ සහ අර්වින්ද පිරිස අතරින් රිංගා ගොස් ඉදිරි පෙළ දකුණු කෙළවරට ආසන්නව සිටගත්තෝය. ඒ මොහොතේදී වේදිකාව මතට පැමිණි පරිනායකවරයා කුමරියගේ පැමිණීම නිවේදනය කර සිටියේය. මොහොතකින් ඈන් කුමරිය තානාපතිවරයාද, වියර්බර්ග් ආදිපාදවරියද, ජනරාල්වරයාද, ඒ පසුපසින් තවත් පිරිසක්ද පිරිවරාගෙන ඇතුළු කුටියක සිට වේදිකාව වෙත සැපත් වූවාය. ඈ දැකීමෙන් ජෝ මඳ සිනහවක් පෑවේය. වේදිකාව ඉදිරියට පැමිණි කුමරිය ඒ මධ්‍යයේ වූ ප්‍රභූ අසුන ඉදිරියේ සිටගත්තාය.

තානාපතිවරයා ඈ ඉදිරියට පැමිණියේය. "රාජකීය උත්තමාවියනි: ප්‍රවෘත්ති ආයතන නියෝජනය කරමින් මෙහි පැමිණ සිටින මහත්ම මහත්මීන්," ඔහු පිරිස වෙත අත දිගු කරමින් හිස නමා ඇයට පැවසුවේය. ඔවුන් දෙස බැලූ මඳ සිනහ පාමින් හිස යාන්තමින් ඉහළ පහළ යවමින් පිරිස සිසාරා දෙනෙත් ගෙන ගියාය. ඉදිරිපස කෙළවරක සිටගෙන සිටි ජෝ දැකීමෙන් තිගැස්සුණු ඇගේ මුහුණේ වූ සිනහව එක්වරම මැකී ගියේය. ඒ මොහොතේදී තානාපතිවරයා ඇයට හිඳගන්නට සංඥා කළෙන් සිත එකඟ කරගත් කුමරිය අසුනේ වාඩි වී යළිත් ජෝ දෙස බැලුවාය. ජෝ ද ඈ දෙසම බලාගෙන සිටියාය. මොහොතකින් සිය හිස පරිනායකවරයා වෙත හැරවූ කුමරිය ඔහු වෙත හිස සැලුවාය. 




හිස නවා ඇගේ නිහඬ විධානය පිළිගත් පරිනායකවරයා කතා කළේය: "නෝනාවරුනි මහත්වරුනි, රාජකීය උත්තමාවිය ඔබලාගේ පැනයන්ට පිළිතුරු දීමට සූදානම්."

"පළමුවෙන්ම උත්තමාවියනි," ඉදිරිපස වම් කෙළවරේ සිටි එක් තලතුනා මාධ්‍යවේදියෙක් හඬ අවදි කළේය, "ඔබතුමියට රෝගාතුර බවින් අත්මිදී ඉක්මන් සුවය ලැබීමට හැකිවීම ගැන අප හැමදෙනාගේම සතුට ප්‍රකාශ කරන්නට මම කැමතියි."

අනෙක් කෙළවරේ සිටි ජෝ වෙත ඉක්මන් බැල්මක් හෙලූ කුමරිය යළිත් වහාම තලතුනා මාධ්‍යවේදියා දෙස බැලුවාය. "බොහොම ස්තූතියි," ඇය සිනහමුසු මුහුණින් තෙපළා ය.

"උත්තමාවියනි," පිරිස අතරින් තවත් අයෙක් කතා කළේය, "ඔබතුමිය විශ්වාස කරනවාද සමූහාණ්ඩුව යුරෝපයේ ආර්ථික ගැටළුවලට ගැලපෙන විසඳුමක් බව?"

"යුරෝපයෙ සබඳතාවයන් වඩාත් ඉහළ නංවන ඕනෑම විසඳුමකට මගේ කැමැත්ත ලැබෙනවා," කුමරිය පිළිතුරු දුන්නාය.

"ජාතීන් අතර මිත්‍රත්වය කුමන ආකාරයකින් තිබිය යුතු බවද ඔබතුමියගේ අදහස?"

"ඒ ගැන මගේ සම්පූර්ණ විශ්වාසය තියෙනවා-" ඇය ප්‍රශ්නය විමසූ තැනැත්තා වෙතින් දෙනෙත් මෑත් කරගෙන ජෝ දෙස බැලුවාය. "-හරියටම මිනිසුන් අතර සබඳතාවයන් ගැන මං විශ්වාස කරනවා වගේම." පෙර සූදානම් වූ පිළිතුරුවලට පරිබාහිර යමක් ඇගේ මුවින් පිට වූයෙන් වේදිකාව මත වූ අනෙක් පිරිස මුහුණින් මුහුණ බලාගත්තෝය.

මෙවර හඬ අවදි කළේ ජෝ ය. "මම කියන්න කැමතියි, මං - මගේ පුවත් සේවා ආයතනය - වෙනුවෙන්, ඔබතුමියගේ විශ්වාසයට කුමන ලෙසකින්වත් අසාධාරණයක් සිදු නොවෙනු ඇතැයි අපි විශ්වාස කරනා බව," ඔහු මඳ සිනහ රැඳි මුවින් ඈ දෙස බලාගෙනම පැවසුවේය.




ඈන් කුමරියගේ මුහුණේ මහත් සැනසිලිදායක සිනහවක් ඇඳී ගියේය. "ඔබෙන් එවැනි ප්‍රකාශයක් අහන්න ලැබීම ගැන මට හරිම සතුටුයි," ඇය කීවාය.

"ඔබතුමිය සංචාරය කළ නගර අතුරින් වඩාත්ම ඔබතුමියගේ සිත්ගත්තේ කුමන නගරයද?" සභාවෙන් තවත් පැනයක් ඉදිරිපත් විය.

ඈන් කුමරිය ඒ වනවිටද සිටියේ ජෝ දෙස බලාගෙන ම ය. ඇගේ පිළිතුර පමා වූයෙන් ඉදිරියට නැමුණු ජනරාල්වරයා ඇයට පෙර සූදානම් වූ පිළිතුර සිහිපත් කළේය: "හැම නගරයක්ම..."

කුමරිය අවසිහියෙන් මෙන් සිය මතකයේ තැන්පත්ව තිබූ වදන් පෙළ දොඩන්නට වූවාය. "හැම නගරයක්ම මගේ සිත් ගත්තා... ඒවාටම ආවේණික වුණ විශේෂ හේතු නිසා. ඇත්තටම මට අමාරුයි ඒ අතරින්-" ඒ මොහොතේදී ඈ නතර විය. ඇගේ මුහුණේ මෘදු මඳහසක් ඇඳී ගියේය. "රෝමය; හැම අතින්ම මගේ වඩාත්ම සිත්ගත් නගරය රෝමය." වේදිකාව මත උන් පිරිස යළිත් වරක් නොසන්සුන්තාවයට පත්ව උනුන් දෙස බලාගන්නා අතරේ කුමරිය ජෝ දෙස බැලුවාය. "මේ නගරයේදී මම අහපු, දැකපු, විඳපු හැමදෙයක්ම, මගේ මතකයේ රැඳිලා තියෙයි, මම ජීවත් වෙනකල්ම."

"ඔබතුමිය මෙහෙදී අසනීපවුණා වුණත්?" තවත් අයෙකු විමසුවේය.

"එහෙම වුණත්," කුමරිය පෙර ස්වරයෙන්ම තහවුරු කළාය.

ඉන් අනතුරුව පරිනායකවරයා ඡායාරූප ගැනීම සඳහා අවසර ලබා දුන්නේය. ඡායාරූප ශිල්පීන් තාවකාලික වැටෙන් ඉදිරියට රැස් වූ අතර අසුනින් නැගී සිටි කුමරිය වේදිකාව ඉදිරියට පැමිණියා ය. අනෙකුත් ඡායාරූප ශිල්පීන් අතරින් ඉඩක් ලබාගත් අර්වින් ඈ ඉදිරියට පැමිණ සිය ලයිටරය අතට ගෙන කුමරිය වෙත සිනහවක් පා එහි යතුරක් ක්‍රියාත්මක කළේය. මුළදී කුමරිය ඔහුගේ සිනහවට ප්‍රතිචාර දක්වමින් සිනාසුණද ඔහුගේ ලයිටරය සැබැවින්ම කැමරාවක් බව වැටහුණු මොහොතේදී ඇගේ සිනහව අතුරුදහන් විය. අර්වින්ගේ මුහුණේ සිනහව දිගටම රැඳී තිබූ අතර චකිතයට පත් කුමරිය ජෝ දෙස බැලුවාය. ඔහුගේ මුහුණේ වූ සුරක්ෂිත බව තහවුරු කෙරෙන මඳ සිනහවෙන් සිත සැහැල්ලුවට පත් කරගත් කුමරිය යළිත් සිය සිනහව මුවගට නගාගත්තාය.

ඡායාරූප ගැනීම අවසන් කර ශිල්පීන් යළිත් තාවකාලික වැටෙන් පසුපසට ගිය මොහොතේ ජනරාල්වරයා සාකච්ඡාව නිමා කෙරෙනා බව හඟවමින් මාධ්‍යවේදීන්ට සමු දුන්නේය. නමුත් ඒ මොහොතේදී කුමරිය කතා කළාය: "මං කැමතියි මාධ්‍යවේදී මහත්ම මහත්මීන්ව මඳක් මුණගැහෙන්න." ඇය වේදිකාවේ පියගැටපෙළ බැස එන අතරේ ආදිපාදවරිය හා ජනරාල්වරයාද ඈ පසුපසින් එන්නට සූදානම් වුවද ඔවුන් නතර කළ කුමරිය තනිවම පිරිස ඉදිරියට පැමිණියාය. වම් කෙළවරේ සිට මාධ්‍යවේදීන් එකිනෙකා හා කතාබස් කරමින් මඳ සිනහවෙන් යුතුව ඔවුනට අතට අත දෙමින් කෙමෙන් දකුණු පසට ඇවිද ආ කුමරිය අර්වින් ඉදිරියට පැමිණියාය.

"අර්වින් රැඩෝවිච්, සී. ආර්. ඡායාරූප සේවා ආයතනය," අර්වින් තමා හඳුන්වා දුන්නේය.

"කොහොමද ඔබට?" ඔහුට අතට අත දෙන අතරේ කුමරිය කීවාය. 

සිය කබා සාක්කුව තුළින් කවරයක් පිටතට ගත් අර්වින් එය ඈ වෙත පෑවේය. "මේ ඔබතුමියගේ රෝම සංචාරයේ අනුස්මරණ ඡායාරූප කිහිපයක් පිළිගන්වන්න මට අවසර."

එය විවර කර යාන්තමින් එහි වූ රූපයක් දෙස බැලූ කුමරිය තම මුවේ ඇඳී ගිය සිනහව සඟවාගත්තාය. කවරයේ ඉහළින්ම වූයේ ඇය ගිටාරයෙන් රහස් සේවා නිලධාරියාට පහර දුන් ඡායාරූපයයි. "ඔබට බොහොමත්ම ස්තූතියි." ඔහුට ස්තූති කළ කුමරිය ඉන් අනතුරුව ජෝ වෙතට හැරුණාය.

"ජෝ බ්‍රැඩ්ලි, ඇමරිකානු පුවත් සේවය," ජෝ තම සම්පූර්ණ අනන්‍යතාවය හෙළි කළේය. ඔවුන් දෙදෙනා අතට අත දෙන අතරේ ජෝ හෘදයාංගම මඳ සිනහවකින් යුතුව ඈ දෙස බලා සිටියේය. කුමරිය මහත් වෑයමකින් තම හැඟීම් පාලනය කරගෙන සිටියාය. "මට හරිම සතුටුයි, බ්‍රැඩ්ලි මහත්මයා," ඇය කීවාය.




ජෝගෙන් අනෙක් පස වූ මාධ්‍ය වේදියා දෙස බැලීමට කුමරියට මඳ වේලාවක් ගත විය. ඉදිරිපස පේළියේ අවසන් තැනැත්තා සමගද කතාබස් කළ කුමරිය ආපසු හැරී වේදිකාවේ පියගැට පෙළ නැග ගියා ය. ඇය යළිත් ඔවුන් වෙත හැරී සිනහවක් පෑ මොහොතේදී මාධ්‍යවේදීහු අත්පොළසන් දී ඈ වෙනුවෙන් ඔවුන්ගේ සතුට පළ කළ හ. පිරිස සිසාරා බැල්මක් හෙලූ ඇගේ දෑස යළිත් වරක් ජෝ වෙත නතර විය. එවර ඇගේ දෑසට එතෙක් අපහසුවෙන් යටපත් කරගෙන සිටි සන්තාපය මුසු විය. ඔහු දිරිමත් කරවනසුලු මඳ සිනහවක් පාමින් යාන්තමින් හිස සලා සිය සමුගැනීමේ ආචාරය ඈ වෙත පුද කළේය. යළිත් වරක් මඳ සිනහවකින් මුව සරසාගත් ඈන් කුමරිය ඔවුනට පිටු පා සිය නිලධාරීන්ද කැටුව රාජකීය ලීලාවෙන් ඇවිද ගොස් ඇතුළු කාමරයේ දොරටුව අසළින් නොපෙනී ගියා ය.

ඈ පිටව යන දෙස බලා සිටි ජෝගේ දෙතොල් තදින් පියවී තිබුණි. අනෙක් මාධ්‍යවේදීන් පිටව යන්නට පටන්ගත් පසුද ඔහු එලෙසම නොසෙල්වී බලා සිටියේය. ඔහු හා අවසානය තෙක්ම රැඳී සිටි අර්වින්ද, වේදිකාව දෙස ඇසි පිය නොහෙලා බලා සිටිනා සිය මිතුරා දෙස මොහොතක් බලා සිට පිටවීමේ දොරටුව දෙසට ඇවිද ගියේය.

තාවකාලික වැට අසළ හුදෙකලාව සිටගෙන සිටි ජෝ, කුමරිය අවසන්වරට දර්ශනය වූ දොරටුව දෙස හැඟීම් රාශියක් කැටි වූ බැල්මෙන් බලා සිටියේය. බොහෝ වේලාවක් එලෙස හිඳීමෙන් අනතුරුව අවසානයේදී ආපසු හැරුණු ජෝ සෙමෙන් සෙමින් පිටවීමේ දොරටුව කරා ඇවිද ආවේය. දෑත් සාක්කු තුළ රුවාගෙන බර අඩි තබමින් සෙමින් ඇවිද එන අතරේ විශාල ශාලාව තුළින් ඇසුණේ ඔහුගේ අඩි ශබ්ධයේ දෝංකාරය පමණි. දොරටුව අසළදී මොහොතකට නතර වූ ජෝ ආපසු හැරී දිගු ශාලාව කෙළවර හිස් වේදිකාව දෙස මඳ වේලාවක් බලා සිටියේය. අනතුරුව ආපසු හැරී දොරටුවෙන් පිටව නික්ම ගියේය.






- සමාප්තයි -



දැන් අහන්න, ඇස් දෙක පියාගෙන, මේ සින්දුව:

"That's how it is with me
And you'll always be
The only love I ever knew
I'll forget many things in my life time
But my darling I won't forget you."