157. මෙයද අවසන් වනු ඇත...



එක් රටක සිටි රජ කෙනෙක් වරක් තමන්ගේ මැති ඇමති වරුන් හා උපදේශක වරුන් රැස් කරලා මෙන්න මෙහෙම ඇහැව්වා: "ඕනෑම වෙලාවකදී, ඕනෑම තැනකදී, ඕනෑම මොහොතකදී, මුහුණ දෙන්න වෙන ඕනෑම අවස්ථාවකට හොඳින් ගැලපෙන මන්තරයක් තියනවාද? ඔබලා කිසිවෙකුත් මා ලඟ නොමැති වෙලාවක ඒ මන්තරය මට පිහිට වෙන්න ඕනේ. තියෙනවාද එහෙම මන්තරයක්?"

රජතුමාගේ පැනයෙන් උපදේශක වරු බරපතල කල්පනාවකට වැටුණා. 'හැම ප්‍රශ්නයකටම එකම උත්තරයක්? හැම තැනකටම, හැම අවස්ථාවකටම හරි යන මන්තරයක්? හැම සතුටකටම, හැම දුකකටම, හැම ජයකටම, හැම පරාජයකටම උත්තරයක්?'

ඒ උදවිය දිගින් දිගටම කල්පනා කළා. දිගු වේලාවක් කතා බහ කළාට පස්සේ එක් වැඩිහිටි උපදේශක වරයෙක් අනෙක් හැම දෙනාටම එකඟ වෙන්න පුළුවන් විදිහේ අදහසක් ඉදිරිපත් කළා. ඉතින් රජතුමා වෙත ගිය උපදේශක පිරිස කඩදාසියක සටහන් කරපු යමක් එතුමාගේ අතට දුන්නා. නමුත් කුතුහලය නිසා ඒ කඩදාසිය දිග ඇරලා නොබැලිය යුතුයි කියන කොන්දේසියත් ඉදිරිපත් කළා. රජතුමා අතිශයින්ම භයානක තත්ත්වයකට මුහුණ දීලා, තනි වෙලා ඉන්න මොහොතක, කිසි සේත්ම ගැලවීමක් නැහැයි කියලා හිතෙන වෙලාවක විතරයි ඒ කඩදාසිය දිග ඇරලා බලන්න අවසර තියෙන්නේ. කොන්දේසිය පිළිගත්ත රජතුමා කඩදාසිය තමන්ගේ දියමන්ති මුද්දේ සැඟවූවා.

දින කීපයකට පස්සේ අසල්වැසි රජ කෙනෙක් මේ රාජධානිය වැටළුවා. ඒක බලාපොරොත්තු නොවූ ආක්‍රමණයක්. කොයි තරම් නිර්භය ලෙස සටන් කළත් රජතුමත් සෙබළ පිරිසත් පරාජයට පත් වුනා. අසු පිට නැගුණු රජතුමා පළා ගියා. සතුරන් දිගටම ඔහු පසු පස්සේ ලුහුබැන්දා. රජතුමා නොදැනීම කැලෑවේ ඇතුළටම පලා ගියා. ලුහුබැඳ එන පිරිසගේ හඬ ලඟ ලඟම ඇසෙන්නට වුනා. හදිසියේම තමා පාරේ කෙළවරට ලඟා වී ඇති බව රජතුමා දැක්කා. කෙළවරේ තිබුණේ මහා ප්‍රපාතයක්. එයින් පැන්නොත් එය තමාගේ අවසානය වනු ඇති බව රජතුමාට තේරුණා. ඒ පටු පාරේ ආපසු හැරෙන්නටත් ඉඩක් තිබුණේ නැහැ. සතුරු හඬ ලඟ ලඟම ඇසුණා. රජතුමා බොහොම නොසන්සුන් වුනා. තමාට කිසිසේත්ම ගැලවීමක් නැතැයි ඔහුට සිතුණා.

හදිසියේම අව්වට දිලිසෙන තමාගේ දියමන්ති මුදුව ඔහුගේ ඇස ගැටුණා. එහි සඟවා ඇති කඩදාසිය ඔහුට සිහිපත් වුනා. ඔහු එය පිටතට රැගෙන කියවූවා. ඒ පණිවිඩය බොහොම කෙටි, ඒත් බොහොම ගැඹුරු එකක්. 'මෙයද අවසන් වනු ඇත.' රජතුමා එය නැවත නැවතත් කියවූවා.

හදිසියේම ඔහුට යමක් වැටහුණා - ඔව්! මේකත් අවසන් වෙයි. දවස් කීපයකට කළිං මම මගේ රාජධානියේ සැප විඳිමින් හිටියා. මම තමයි බලවත්ම පාලකයා වුනේ. ඒත් අද රාජධානියත් එහි සෞභාග්‍යයත් නැති වෙලා ගිහිල්ලා. මම මෙතන සතුරන්ගෙන් බේරෙන්න පලා යනවා. ඉතින් ඒ දවස් ගණන ගෙවිලා ගියා වගේම මේ දවසත් ගෙවිලා යයි. ඔහු සන්සුන් වුනා. ඔහු සිටි තැනම සිටගෙන අවට සුන්දරත්වය නරඹන්නට වුනා. මේ තරම් සොඳුරු පරිසරයක් තමාගේ රාජධානියට අයත් වූ බව ඒ රජතුමා කවදාවත් දැනගෙන හිටියේ නැහැ.

ඒ පුංචි පණිවිඩය ඔහු වෙත මහත් වෙනසක් ඇති කළා. ඔහු සැහැල්ලු සිතින්, තමා පසු පස හඹා එන සතුරන්වද අමතක කොට සිටියා.

මිනිත්තු කිහිපයකට පසු තමා පසු පස හඹා ආ සතුරන්ගේ හඬ කෙමෙන් අඩු වී යන බව ඔහුට දැනුණා. ඔවුන් කඳුකරයේ වෙනත් ඉසව්වක් බලා ඇදෙන බව රජතුමාට වැටහුනා. මේ රජතුමා ඉතාමත් නිර්භීත හා එඩිතර කෙනෙක්. නැවතත් සේනාව සංවිධානය කරගත්ත රජතුමා සතුරන් සමග සටනට පිවිසුනා. ඔහු සතුරන්ව පරදවලා තමන්ගේ රාජධානිය නිදහස් කරගන්න සමත් වුනා. යුද්ධය දිනා ආපසු එන රජතුමාව පිළිගන්න රටවැසියෝ නගර දොරටුවේ රැස් වෙලා උත්සව පවත්වමින් හිටියා. මුළු අගනුවරම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වෙලා හිටියේ. හැම කෙනෙක්ම ඉතාම ප්‍රීතියෙන් සිටියා. හැම නිවසකින්ම, හැම කෙළවරකින්ම රජතුමා වෙත මල් වැසි ඇද හැලුනා. හැමදෙනාම නටමින්, ගීත ගයමින් හිටියා.

මොහොතකට, මේ උත්සවශ්‍රීයෙන් සතුටට පත් රජතුමාට මෙහෙම හිතුණා: 'මම බොහොම නිර්භීත ශ්‍රේෂ්ඨතම රජ කෙනෙක්. මාව කාටවත් ලේසියෙන් පරද්දන්න බෑ.'

මේ සියළු උත්සව හා සැමරුම් මැද තමා තුළ මමත්වයක් ගොඩ නැගීගෙන එන බව රජතුමාට සිතුණා. එක් වරම ඔහුගේ දියමන්ති මුදුව අව්වට දිලිසුනා. ඒ එක්කම රජතුමාට ඒ තුළ වූ පණිවිඩය සිහිපත් වුනා. ඔහු එය නැවතත් දිග ඇරලා බැලුවා: 'මෙයද අවසන් වනු ඇත.'

ඔහු නිහඬ වුනා. ඔහුගේ මුහුණ බෙහෙවින් වෙනස් වුනා - උඩඟු මමත්වයෙන් ඔහු නිරහංකාර නිහතමානි පුද්ගලයෙකු බවට පත් වුනා.

මෙයද අවසන් වීමට නියමිත දෙයක් නම්, එය ඔබට හිමි දෙයක් නොවේ. පරාජය ඔබේ නොවූවා සේම ජයග්‍රහණයද ඔබේ නොවේ. ඔබ නරඹන්නෙකු පමණි! හැම දෙයක්ම අවසානය කරා ලඟා වේ. අප ඒ හැම දෙයකම සාක්ෂි කරුවන්ය, එය ප්‍රත්‍යක්ෂයෙන් වටහා ගන්නන්ය. ජීවිතය පැමිණ යළි ආපසු යයි. සතුට හා දුකද එසේමය.


~ පරිවර්තනයකි


156. කවියෙකුගේ උපත...


එලෙසින් පැමිණියේය... කවිය
මා සොයාගෙන
නොදනිමි කොතැනකින්
එය ආවේදැයි කියා
ශිශිරයෙන්ද, නැතහොත් ගංගාවකින්ද,
නොදනිමි.
කෙලෙසින් කවදාද,
නැත එය හඬක් නොනැගීය,
වදන් හෝ නිහඬතාවයක්ද එහි නොවීය,
මාවතක් විය එය මා කැඳවූ
රාත්‍රිය විහිද ගිය අතු පතරින්
විටෙක වෙනෙකෙකු වෙතින්
බිහිසුණු ගිනි ජාලා මැදින්
හුදෙකලා ආගමනයක,
සිටියෙමි මම නන්නාඳුනන්නෙක්ව
ලඟා විය එය මා වෙත.

නොදැන සිටියෙමි කුමක් කිව යුතුදැයි
මුව ගොළු විය,
දෑස් අඳ විය,
මාගේ ආත්මය තුළ ජනිත විය යමක්,
ඇවිස්සීමක්,
මතකයෙන් ගිලිහී ගොස් තිබූ පියාපත් යුවලක්,
මම මගේ ගමන් මග ඇරඹුවෙමි,
අරුත් ගන්වමින් ඒ ගිනි දළු
අකුරු කළෙමි කුළුඳුල් වදන් පෙළ
දුර්වල හරසුන්,
සුපිරිසුදු විකාරයක්,
කිසිවක් නොදත්තෙකුගේ
සුපිරිසුදු පාණ්ඩිත්‍යයක්.
එක් වරම
දුටිමි මම
බැමි ලිහුණු, දොරටු විවර වුනු
දෙව්ලොව,
ග්‍රහ තාරකාවන්,
හද ගැහෙන පැළ පොඩි,
සිදුරු වූ සෙවණැලි,
ඊතල, ගිනි දළු සහ මල් සමගින්
පෙරී ආ,
සුළං හමන රාත්‍රිය,
විශ්වය.

ඉදින් මම,
අති ක්ෂුද්‍ර ප්‍රාණියෙකුව
තරු පිරුණු රික්තයෙන් හා ආශාවෙන් මත්ව
අභිරහසේ පිළිබිඹුවක්ව
පතුලක් නොමැති ගැඹුරු ආගාධයේ
සුජාත විමි,
තාරුකා සමගින් සැරිසැරුවෙමි,
විවර වූ මගේ හදවත
හමනා සුළඟ හා මුසු කළෙමි.


***

මේ නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී පැබ්ලෝ නෙරුඩාගේ (Pablo Neruda 1904 - 1973) Poetry නමැති අති විශිෂ්ඨ පද්‍ය නිර්මාණයේ පරිවර්තනයයි. වසර ගණනාවකට කළින් මේ පද්‍ය නිර්මාණය පරිවර්තනය කරලා තිබිලා මට ආයෙ පරණ ලිපි බලන අතරෙදි හමු වුනා. ඒ පරිවර්තනයේ තිබුණ අඩුපාඩු කීපයක් නිවැරදි කරලා නැවත සංස්කරණය කරලා තමයි ඔයගොල්ලන්ට මේ කියවන්න දුන්නේ. ඒ එක්කම මතක් වුනා මේ වගේ මිණිමුතු මග නොඅරින නිදන් ආකරයක් ගැන - නිලූක කදුරුගමුව සොයුරාගේ පරිවර්තන. එතනට ගිහින් බැලුවාම මේ තියෙන්නේ එතනත්. ඒ සොඳුරු, කෘතහස්ත පරිවර්තනය දුටුවාම අයෙ වතාවක් හිතුනා මට තව කොච්චර දුරක් යන්න තියෙනවද කියලා.


155. ෆ්ලොස් නදිය අසබඩ - 24 - සමාප්ති සටහන

සොබාදහම නිරතුරුවම තමා සිදු කළ හානි හිරු එළිය හා මිනිස් ශ‍්‍රමය උපයෝගී කොටගෙන ප‍්‍රතිපූරණය කරයි. ගංවතුරෙන් සිදු වූ අලාභ හානි වල සලකුණු බොහොමයක්ද වැඩි දවසක් නොගොසින්ම යථා තත්ත්වයට පත් විය.

ඩෝල්කොට් මෝල යළි ඉදි කෙරුණි. ගංවතුර බැස ගොස් නොබෝ දිනකින්ම එකිනෙකාට තදින් තුරුළු වී හිඳගෙනම අවසන් ගමන් ගොස් සිටි දෙදෙනෙකු වෙනුවෙන් ඩෝල්කොට් සුසාන භූමියේ සොහොන් කොතක් ඉදි විය. එයට ගෞරව දැක්වීමට වෙන් වෙන්ව එහි නිතරම ආ ගිය දෙදෙනෙක් වූහ. ඔවුන් දෙදෙනාටම හැඟුණේ සිය ජීවිතයේ සතුටද සන්තාපයද එම සොහොන තුළ සදාතනිකව මිහිදන්ව ඇති බවයි.

ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් කලකට පසුව සුන්දර පෙනුමැති තැනැත්තියක සමගින් එහි පැමිණීමට පටන් ගත් නමුත් ඒ එම සොහොන් කොත ඉදි කොට බොහෝ කලකට පසුවය. අනෙක් තැනැත්තා සැමදාම හුදෙකලාවම සිටියේය. ඔහුගේ මිහිදන් වූ සදාතනික මිතුදම රත් තැන්නේ තුරු ලතා අතර සදා ජීවමාන බව ඔහු විශ්වාස කළේය.

එම සොහොන් කොතේ ටොම් හා මැගී ටුලිවර් යන නාමයන් සටහන්ව තිබූ අතර නම් වලට පහළින් එහි මෙසේද සටහන්ව තිබිණ-

'එම සොයුරු පෙම මරණයටද වෙන් කළ නොහැකි විය.'




- සමාප්තයි -

මෙතෙක් මා හා රැඳී සිටිමින් කතාව රසවිඳි මගේ ආදරණීය හිතවතුන් හැමදෙනාටම බොහොමත්ම ස්තූතියි. 



154. ෆ්ලොස් නදිය අසබඩ - 23 - අවසන් අරගලය

සැප්තැම්බරයේ දෙවන සතියේ දිනක මැගී යළිත් සිය හුදෙකලා කාමරයේ හිඳගෙන සිටියාය. මධ්‍යම රාත‍්‍රිය පසු වී බොහෝ වේලා ගතව තිබූ අතර පිටත ඉතා තදින් වැසි වහිමින් තිබිණ. ෆ්ලොස් නදියේ ඉහළ ගම්මාන වල දෙසතියක් පුරා වැසි වැටුණු අතර ගෙවුණු දින දෙක තුළ පහත් බිම් වලට නොකඩවා වැසි ඇද හැලෙමින් තිබුණි. වැඩිහිටියෝ වසර හැටකට පමණ එපිට මෙවැනිම වූ කාලගුණයක් යටතේ උදා වූ ගංවතුර තත්ත්වය මෙනෙහි කරමින් හිස් වනමින් කතාබස් කළහ. එම ගං වතුරේදී පාලමද කඩා වැටුණු අතර මුළු නගරයම මහත් සේ පීඩාවට පත් විය.

සැප්තැම්බරයේ මෙම රාත‍්‍රියේදී මැගී වැන්නන් කිහිප දෙනෙකු හැරුණු කොට අන් සැවොම නින්දේ පසු වූහ. ඇය එක් ඉටිපන්දමක් පමණක් දල්වාගෙන ඇගේ කාමරයේ රැඳී සිටියාය. එක්වරම ඇයට සිය දෙපා අසළින් තැතිගන්වනසුළු සීතලක් දැනුණි: ඇගේ දෙපා වසාගෙන ජලය පිරී තිබුණි. ඇය එක් වරම නැගී සිටියාය: දිය පහර බරාඳය ඔස්සේ ගලා විත් දොර හරහා ඇගේ කාමරයට ඇතුළු වී තිබුණි. ගංගාව පිටාර ගලා ඇති බවට ඇය අනුමාන කළාය.


උඩු මහලේ වූ බොබ්ගේ කාමරය වෙත ඉක්මණින් ගිය මැගී ඔහුගේ උරහිසින් සොලවා අවදි කළාය. "බොබ්, ගංවතුර ගලලා! ගෙටත් ඇවිල්ලා," ඇය කලබලෙන් කීවාය. "ඔරු දෙක බේරගන්න පුළුවන්ද කියලා බලමු." බොබ්ගේ නිවසේ ඉදිරිපස දොර අසළ රඳවා තිබූ ඔරු දෙකක් ඔහු සතුව තිබුණි. නිවාඩු කාල වලදී ඔහු ඒවා සංචාරකයන්ට කුලියට ලබා දුන්නේය. මේ මොහොතේදී ගංවතුරින් විපතට පත් වූවන් බේරා ගැනීමට ඒවා මහත් සේ ප‍්‍රයෝජනවත් විය හැක.
 

පහත මාලයෙන් විශාල හඬක් ඇසුණු අතර මැගී යළිත් එහි දිව ගියාය: එක් ඔරුවක් ජනේලය බිඳගෙන සාලයට ඇතුළු වී තිබුණි.
 

"අන්න ඔරුවක්!" මැගී කෑ ගැසුවාය. "බොබ්, එන්න ඉක්මණට!" තවත් මොහොතකුදු පමා නොවූ මැගී ජනෙල් පඩිය මතට නැග ඔරුවට ගොඩ වූවාය. ඈ පසුපසින්ම ආ බොබ් අනෙක් ඔරුවට ගොඩ වීමට සමත් විය. ඒ සමගම ආ රළ පහරින් ඔරු දෙකම ගංගාව වෙත ඇදී ගියේය.
 

මඳ වේලාවක් ගත වන තුරු මැගීට කිසිවක් හරි හැටි පෙනුණේ නැත: සැඩ ජල පහරට හසුව ඔරුව ඒ අතටත් මේ අතටත් කැරකෙද්දී ඔරු පතුළට කිඳා බැස්ස මැගී එක් හබලක් දෑතින්ම අල්ලාගෙන සිටියාය. ඇයට සිය සොයුරා හා මව සිහිපත් විය. නිවහනේ කෙබඳු තත්ත්වයක් ඇත්ද? වරක් ගංවතුරෙන් එයට දැඩි සේ අලාභ හානි සිදු විය. ඔවුන් සිටිනවා ඇත්තේ භයානක තත්ත්වයකය - බියපත්වය: ඇගේ මව හා සොයුරා, තනිවම, ඔරුවක් අසලකවත් නොමැතිව!
 

"අනේ දෙයියනේ, මේ කොහෙද? ගෙදර කොයි පැත්තෙද?" ඇය නොඉවසිල්ලෙන් තමාටම පැවසුවාය.
 

අඳුර අතරින් සිය දෙනෙත් වෙහෙසා බැලූ ඇයට ගස් හා නිවෙස් වල හැඩ යාන්තමින් දෙනෙතට හසු කරගැනීමට හැකි විය. ඒ වන විට ඇය සිටියේ ශාන්ත ජල තලයක් මතය - ඇය සිටින්නේ ගං වතුරට හසු වූ කුඹුරු යායේ විය යුතුය; ගංගාව ඇත්තේ කොයි පැත්තේද? අවසානයේදී එය දුටු ඇය දෙවැනි හබලද අතට ගෙන අළුත් වූ බලාපොරොත්තු වලින් යුතුව ඔරුව පදින්නට වූවාය. හිරු උදා වන ලකුණු පෙනෙන්නට වූ අතර කුඩා උස් බිමක රැඳී සිටි අසරණ බැටළු රැළක් ඇය දුටුවාය. ඇගේ තෙත ඇඳුම සිරුරට ඇලී තිබූ අතර දිය බේරෙන හිස කෙස් සුළඟට හසුව ඈ වටා විසිරී තිබිණ, නමුත් ඇයට ඒ කිසිවක් පිළිබඳව දැනුණේ නැත. සිය උපරිම වෙර යොදා දිය පිරි කුඹුරු යාය මතින් ඔරුව ගෙන ගිය ඇයට අවසානයේදී හුරුපුරුදු සලකුණු දිස් විය: පැරණි ස්කොච් පඳුරු දකුණු පසින්, කන්දේ එක් පසක වූ විසල් චෙස්ට්නට් රුක. නමුත් මෝලේ වහල - එය කොහිද? එය කොතැනකවත් නැත. මැගීගේ හදවත බියෙන් ගැහෙන්නට පටන්ගත්තේය. නමුත් අවසානයේදී ඇය සිය නිවස දුටුවාය - එය ස්ථාවරව තිබුණි; පළමු මහළම ජලයෙන් යටව තිබුණද නිවස ශක්තිමත්ව තිබුණි. 

ඉතිරිව තිබූ සියලූම ශක්තිය යොදා මැගී ඔරුව නිවස අසළට ගෙන ආවාය. පළමුව ඇයට කිසිඳු හඬක් ඇසුණේ නැත: කිසිවක් සෙලවෙන බවක් දුටුවේ නැත. ඔරුව උඩු මහළේ කවුළුවක් වෙත ආසන්නව තිබුණි. ඇය හැකි උපරිම හඬින් කෑ ගැසුවාය, "අයියේ! අම්මේ! ඔයාලා කොහෙද? මම මැගී!"


ඉක්මණින්ම අට්ටාලයේ කවුළුව විවර වූ අතර ටොම්ගේ කටහඬ ඇසුණි. "කවුද ඔය? ඔරුවක් තියෙනවද?"
 

"මේ මම අයියේ - මැගී. අම්මා කෝ?"
 

"අම්මා මෙහෙ නෑ ගැරම් වලට ගියා පෙරේදා. මං එන්නං පල්ලෙහා ජනේලේ ලඟට."
 

"මැගී, තනියම?" ඔරුව වූ මට්ටමේ වූ කවුළුව විවර කළ ටොම් ඉමහත් පුදුමයෙන් කීවේය.
 

"ඔව් අයියේ. නගින්න ඉක්මණට. තව කවුරුවත් ඉන්නවද?" ටොම් ඔරුවට නගින අතරේ මැගී ඇසුවාය.
 

"නෑ," ටොම් කීවේය. "මෝලෙන් කොටසක් කඩන් වැටිච්ච වෙලාවේ මෝලේ හිටපු කෙනා වතුරට අහු වෙන්න ඇති මං හිතන්නේ. මං කතා කළා, කතා කළා, උත්තරයක් නෑ. හබල් මට දෙන්න මැගී." ටොම් ශක්තිමත් දෑතින් ඔරුව හැසිරුවේය. එය යළිත් ඉක්මණින්ම ගංගාවේ දිය වැල සමග එකතු වූ අතර නොපමාව ඔවුන්ට යළිත් ශාන්ත ඔග්ස් බලා යා හැකි වනු ඇත. නමුත් ඔවුන් වෙත ගංගාව ඔස්සේ අළුත් අනතුරක් ලඟා වෙමින් තිබුණි. ගං වතුරට හසු වූ ගබඩාවකින් දිය වැලට එකතු වූ විශාල ලී කොටන් පෙළක් ගංගාව ඔස්සේ පා වී එමින් තිබුණි. ජලයෙන් යට වූ කුඹුරු මත ඔරුවක නැගී සිටි මිනිසුන් කිහිප දෙනෙක් අනතුර දැක "ඔරුව දිය වැලෙන් අහකට ගන්න!" යැයි කෑ ගසා ටොම්ට පැවසූහ.
 

නමුත් එය එක් වරම සිදු කළ හැකි දෙයක් නොවීය. ඉදිරියට නෙත් යොමු කළ ටොම් ඔවුන් වෙත වේගයෙන් ලඟා වෙමින් තිබූ මරණය දුටුවේය. විශාල ලී කොටන් එකිනෙක ගැටී දිය පහර හරහට විශාල බාධකයක් ලෙසින් වේගයෙන් ඉදිරියට ඇදී එමින් තිබුණි.
 


"ඒක එනවා, මැගී!" යැයි ගැඹුරු ගොරහැඬි හඬකින් කෑ ගැසූ ටොම් හබල් අත් හැර මැගීව තුරුළු කරගත්තේය.
 

ඊලඟ මොහොතේ ඔවුන්ගේ ඔරුව ජල තලය මත පෙනෙන්නට නොවීය - විශාල බාධකය පමණක් ජයග‍්‍රාහී ලීලාවෙන් නොනැවතී ඉදිරියට ඇදෙමින් තිබිණ.
 

ඔරුවේ පතුල යළිත් මතු වී උදා හිරු එළියෙන් රන් වන් පැහැ ගත් ජල තලය මත කළු ලපයක් සේ දිස් විය - නමුත් සොයුරාත් සොයුරියත් කිසිදා වෙන් නොවන සේ එකට වෙලී ජල කඳ තුළ අතුරුදන්ව ගොස් සිටියෝය.


- 'ෆ්ලොස් නදිය අසබඩ' කතාන්දරය මෙතැනින් අවසන් වේ. කෘතිය අවසානයේ සඳහන් වන සමාප්ති සටහන මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න. -




153. ෆ්ලොස් නදිය අසබඩ - 22 - යළි නිවසට පැමිණීම

ස්ටීවන් හා මැගී ශාන්ත ඔග්ස් වලින් පිටව ගොස් එළැඹුනු පස් වන දින සන්ධ්‍යාවේ ටොම් ටුලිවර් ඩෝල්කොට් මෝලේ පැරණි නිවස ඉදිරිපිට සිටගෙන සිටියේය. එහි වත්මන් හිමිකරු ඔහුය: ඩීන් මාමාගේ සහයද ඇතිව එය යළිත් වැකම් නීතීඥවරයාගෙන් මිළදී ගෙන ඔහුගේ පියාගේ අවසන් බලාපොරොත්තුව ඉෂ්ඨ කරලීමට ටොම් සමත් විය. එම සුබ ආරංචිය ඔහු සිය මවගෙන් හා මැගීගෙන් රහසක්ව තබාගත්තේ ඔවුන්ව එහි කැඳවාගෙන විත් පුදුම කරවීමෙන් ලැබිය හැකි ප‍්‍රීතිය ගැන සිතූ නිසාවෙනි.

නමුත්, මෙම උණුසුම් ගිම්හාන සන්ධ්‍යාවේ සිය නිවස ඉදිරිපිට සිටගෙන සිටි ටොම්ගේ මුහුණේ කිසිදු ප‍්‍රීතියක් හෝ ජයග‍්‍රාහී බවක් දක්නට නොවීය. ඔහුගේ මුවේ වූයේ බැරෑරුම් කල්පනාකාරී බවකි, දෙනෙතේ වූයේ එරවුමකි. මඩ්පෝට් සිට පැමිණි බොබ් ජේකින්ස් මැගී හා ස්ටීවන් එහිදී නැව් තොටුපොළේදී දුටු බවට ආරංචිය රැගෙන ආ පසු මෙතෙක් ඈ ගැන කිසිදු තොරතුරක් දැනගැනීමට නැත. එම පුවතින් ඔවුන්ගේ බෝට්ටුව පෙරලී දියේ ගිලෙන්නට ඇත්දැයි වූ බිය තුරන් වූ බව සැබෑ වුවද මීලඟ ආරංචිය කුමක් වනු ඇත්ද? ටොම්ගේ මනස සිදු විය හැකි දරුණුම දෙය - මරණය නොව නින්දාව - බලාපොරොත්තුවෙන් සිටියේය.
 

ටොම් ගේට්ටුවට පිටුපා සිටගෙන සිටින අතරතුරේදී උසැති, කළුවන් දෑසකට හිමිකම් කියන හුරුපුරුදු රුවක් ගේට්ටුව වෙත පැමිණ මඳක් නැවතී ඔහු දෙස ගැහෙන හදින් යුතුව බලා සිටියාය. ගෙවුණු දිනයේ අත්දකින්නට සිදු වූ වෙහෙසකර සිදුවීම් හේතුවෙන් තද හිස රදයකින් පෙළෙන්නට වූ මැගීට පුරා දිනක්ම යෝක් නගරයේ අවන් හලේ රැඳී සිටින්නට සිදු විය. දැනුදු ඇගේ දෑසින් හා නළලෙන් අසනීපයෙන් පෙළෙන බවට සලකුණු දිස් විය. දින කිහිපයක්ම ඇඳ සිටි ඇගේ ඇඳුම දුර්වර්ණව ඉරී ගොස් තිබුණි. ගේට්ටුවේ අගුල එසවූ ඇය සෙමින් වත්තට ඇතුළු වූවාය. හැරී බැලූ ටොම් ඔහුගේ බිය සනාථ කරන අන්දමේ පෙනුමකින් යුතු ඇගේ රුව දුටුවේය. ඔහු කෝපයෙන් හා පිළිකුළෙන් වෙව්ලමින් ඈ දෙස බලා සිටියේය.
 

මැගී යළිත් නතර වූවාය. ඔහුගේ මුහුණෙන් දිස් වූ අධික කෝපය ඇයට දැනුණද ඇය කතා කළ යුතු විය. "අයියේ," ඇය ඇසෙන නෑසෙන හඬින් කීවාය. "මං ආයෙත් ඔයා ලඟට ආවා - ඔයත් එක්ක ඉන්න - ඔයාට හැමදේම කියන්න."
 

"ඔයාට මෙහෙ ඉන්න බෑ," ටොම් අධික කෝපයෙන් යුතුව කීවේය. "ඔයා අපි හැමෝටම ලැජ්ජා කළා. ඔයාගෙ හොඳම යාළුවන්ට ඔයා සාපයක් වුනා. ඔයා මහ කපටි බොරුකාරියෙක්. ඔයාව මං සදහටම අතඇරලා දානවා. මින් පස්සේ ඔයා මගේ කවුරුවත් නෙවෙයි."
 

ඔවුන්ගේ හඬ ඇසුණු මව දොරටුව වෙත ආවාය. මැගීව දැකීමෙන්ද ටොම්ගේ වදන් ඇසීමෙන්ද ඇය මහත් පුදුමයටත් කම්පනයටත් පත් වූවාය.
 

"අයියේ," මැගී ධෛර්යය උපදවාගෙන කතා කළාය. "ඔයා හිතන තරම් ලොකු වැරැද්දක් මගෙ අතින් වෙලා නෑ. එදාම ආපහු එන්න බැරි තරං දුරකට එදා බෝට්ටුව ගිහින් තිබුණා. මට එන්න පුළුවන් වෙච්ච ගමන් තමයි මං මේ ආවේ."
 

"මට තවත් ඔයාව විශ්වාස කරන්න බෑ," ටොම් මුලින් හටගත් අධික කෝපයේ සිට දරදඬු බවට පත් වෙමින් කීවේය. "හැදිච්ච ගෑණු ළමයෙක් කරන දෙයක් නෙවෙයි ඔයා කරලා තියෙන්නේ. ඔයා ෆිලිප් වැකම්ව පාවිච්චි කළා ලුසීව රවට්ටන්න - ලුසී - ඔයාට හිටපු එකම හොඳම යාළුවා. ගිහිං බලනවා ඔයා එයාට කරලා තියෙන දේ: එයා ලෙඩ වෙලා - කතා කරගන්නවත් බෑ - මගේ අම්මටවත් එයා ලඟට යන්න විදිහක් නෑ අම්මව දැක්කම එයාට ඔයාව මතක් වෙන නිසා." ඔහු ඉවතට හැරුණේය. "ඔයාට කන්න අඳින්න සල්ලි  ඕනෙනං මං ඒවා දෙන්නං. ඒත් ඔයාට මාත් එක්ක එක ගෙදරක ඉන්න බෑ."
 

බිඳුනු හදින් යුතුව මැගී සෙමින් ආපසු හැරුණාය. නමුත් ඔවුන්ගේ අසරණ බියපත් මවගේ සිතේ ඈ වෙනුවෙන් වූ සෙනෙහස මේ මොහොතේදී බිය යටපත් කරමින් ඉස්මතු විය. සිය දියණිය වෙත දිව ගිය ටුලිවර් මහත්මිය ඇයව වැළඳගත්තාය. "මගෙ දරුවෝ, මාත් එනවා ඔයත් එක්ක. ඔයාට අම්මා ඉන්නවා," ඇය ඉකිබිඳිමින් කීවාය.
ටොම් ආපසු හැරී නිවස තුළට ගියේය.
 

"මං එනකල් ඉන්න," ටුලිවර් මහත්මිය රහසෙන් කීවාය. "මං ලෑස්ති වෙලා එන්නං ඔයත් එක්ක යන්න."
 

හිස් වැස්ම පැලඳගෙන පිටව යාමට සූදානමින් සිටි මව වෙත ආ ටොම් ඇගේ අතේ යම් මුදලක් තැබුවේය. " ඕන වෙලාවක මෙහෙ එන්න අම්මේ, මේක අම්මගෙ ගෙදර හැමදාටම," ඔහු කීවේය. "ඇවිත්  ඕන කරන හැමදෙයක්ම මට කියන්න  ඕන. ආපහු මා එක්ක ඉන්න එන්න  ඕනෙ ඉක්මණටම."
 

අසරණ ටුලිවර් මහත්මිය ඔහු දුන් මුදල අරගත්තද කිසිවක් පැවසීමට නොහැකි තරමට බියපත්ව සිටියාය. ඇගේ සිතේ පැහැදිලිව රැඳී තිබූ එකම කරුණ නම් ඇය එම මොහොතේ ඇගේ අසරණ දරුවා සමග සිටිය යුතුය යන්න පමණි.
 

ගේට්ටුවෙන් පිටත රැඳී සිටි මැගී සිය අම්මාගේ අතින් අල්ලාගෙන නිහඬවම ඇවිද ගියාය. "අම්මේ," අවසානයේදී ඇය කීවාය. "අපි බොබ් ජේකින්ස්ලාගේ ගෙදරට යමු. ඒගොල්ලන්ගේ ගෙදර අයියා නැවතිලා හිටපු කාමරේ අපිට ඉන්න පුළුවන් වෙයි."
 

එබැවින් ඔවුහු දෙදෙනා ශාන්ත ඔග්ස් හි ගංගාව අසබඩ වූ පැරණි නිවස වෙත ගියහ. බොබ් සහ ඔහුගේ කුඩා බිරිඳ ඔවුනට නවාතැන් දීමට මහත් කැමැත්තෙන් ඉදිරිපත් වූහ.
 

ටුලිවර් මෙනෙවිය යළිත් පැමිණ ඇති ආරංචිය ශාන්ත ඔග්ස් නගරය පුරා ඉක්මණින් පැතිර ගියේය: ඇය ස්ටීවන් ගෙස්ට් හා විවාහ වීමට පැන ගොස් නැත - ස්ටීවන් ගෙස්ට් ඇයව විවාහ කොටගෙන නැත. දරුණුතම කටකතා වියැකී ගියේ සති දෙකක පමණ කාලයකට පසුවය. එයින්ද සතියකට පමණ පසුව ස්ටීවන්ගෙන් ඔහුගේ පියාට ලිපියක් ලැබුණි. සිදු වූ සියල්ලත් තමා  ඕලන්දයට පිටව ගිය බවත් එහි සඳහන්ව තිබිණ.
 

ඒ අතර මැගී හැකි ඉක්මණින් යළිත් රැකියාවක් සොයාගැනීමට උත්සුක වූවාය. ඇය සිය මවට නැවත ගමට ගොස් ටොම් සමග හිඳිනා ලෙසට වරින් වර ඇවිටිලි කළාය. ඇයට ශාන්ත ඔග්ස් හි කෙසේ හෝ රැඳී සිටිය හැකි වනු ඇත. ඇය ශාන්ත ඔග්ස් දෙව් මැදුරේ දේවගැති වරයාව හමු වීමට ගිය අතර ඔහුද තමාගේ දරුවන් රැකබලා ගැනීමට කෙනෙකු සොයමින් සිටි බැවින් මැගීව නොපමාවම බඳවාගැනීමට කැමති වූවේය. මැගී බෙහෙවින් සතුටු වූවාය: ඇගේ හුදෙකලා දෛනික ජීවිතය ක‍්‍රියාකාරී වනු ඇත. ඇගේ මව තවත් සිය නිවසින් ඈත්ව ඈ සමග රැඳී සිටිය යුතු නැත, ඇය මවව ආපසු නිවසට පිටත් කර හැරියාය.
 

එනමුත් ඇගේ සිතට වධ දුන් තවත් කරුණක් විය. ඇයට ෆිලිප් ගැන කිසිදු ආරංචියක් දැනගැනීමට නොලැබුණි: ඔහු ගැන කිසිදු තොරතුරක් කිසිවෙකු හෝ දැන සිටියේ නැත. අවසානයේදී ෆිලිප්ගේ හුරු පුරුදු අත් අකුරින් ලිපිනය ලියැවුණු තැපැල් මුද්‍රාවක් නොමැති ලිපියක් ඈ වෙත රැගෙන ආවේ බොබ්ය.  එය කිසිදු ආත්මාර්ථකාමී බවකින් තොර දිගු ලිපියක් විය: එහි දොස් පවරනසුළු එකදු වදනක් හෝ නොවීය. "මැගී - මට ඔයාව විශ්වාසයි - මං දන්නවා ඔයා කවදාවත් මාව රවට්ටන්න හිතුවේ නෑ කියලා - මං දන්නවා ඔයා මගෙයි අනිත් අයගෙයි විශ්වාසය රකින්න ගොඩාක් උත්සාහ කළා කියලා," යනුවෙන් ඇරඹුනු එහි පිරී තිබුණේ මැගීගේ සිත සැනසෙන වදන්ය. ලිපිය කියවා අවසන් කළ මැගී සිය ඇඳ අසළ දණ නමාගෙන වැළපෙමින් තමාව කිසිදා අමතක නොකරන පාවා නොදෙන සිය කල්‍යාණ මිත‍්‍රයා වෙනුවෙන් දෙවියන්ට ස්තූතිවන්ත වූවාය.
 

ඇයට ඉක්මණින්ම තවත් නොසැලෙන හිතවත් බවක් අත් දකින්නට ඉඩ ලැබුණි. එක් සන්ධ්‍යාවක ඇය ගංගාව දෙසට විවර වූ කවුළුව අසළට වී අඩ අඳුරේ පිටතට දෙනෙත් යොමා සිටියාය. දොරටුව විවර වන හඬ ඇසුණද ඒ සුපුරුදු ලෙස තම රාත‍්‍රී ආහාරය රැගෙන ආ බොබ්ගේ බිරිඳ විය යුතුයැයි සිතූ මැගී හැරී බැලූවේද නැත. නමුත් ඊලඟ මොහොතේ ඇගේ උරහිස මත මෘදු ස්පර්ශයක් දැනුණු අතර ඇගේ නම කියා සෙමින් අමතන හඬක් ඇසුණි. ඒ ලුසීය.
 

"මං හොරෙන් ආවේ," මැගී අසළ හිඳගෙන ඇගේ අතින් අල්ලාගන්නා අතරේ ලුසී කීවාය. "ඒත් මට වැඩි වෙලා ඉන්න බෑ, දැන් රෑත් වෙලානේ."
 

මැගීගේ හදවත කෘතවේදී බවින් උතුරා යමින් තිබුණි. "ඔයා ආවට ගොඩාක් ස්තූතියි ලුසී," ඇය ඉකි ගසමින් කීවාය.
 


"අඬන්න එපා මැගී," ලුසී මෘදු හඬින් කීවාය.
 

"මං ඔයාව රවට්ටන්න හිතුවෙ නෑ ලුසී," කතා කරගත හැකි වූ විගස මැගී කීවාය. "ඔයා දැනගන්නවට අකමැති දෙයක් මට දැනෙන්න ගත්තහම මට ඒක මහා වරදක් බව දැනුණා. ඒත් මං හිතුවෙම ඒක හරියයි කියලා. ඔයාගෙ හිත රිදෙන දෙයක් සිද්ද වෙයි කියලා මං හිතුවෙම නෑ."
 

"මං දන්නවා මැගී," ලුසී කීවාය. "මං දන්නවා ඔයා මට වරදක් කරන්න හිතුවෙ නැති බව... ඔයාට වෙලා තියෙන දේවල් මට වුන දේට වඩා දරාගන්න ගොඩක් අමාරුයි - එහෙම තියෙද්දිත් ඔයා එයාව අතඇරියා... ඒක කරන්න අමාරුම වෙලාවෙදි."
 

"ලුසී," මැගී කීවාය, "එයත් ගොඩක් උත්සාහ කළා. එයාට  ඕනෙ වුනා ඔයාගෙ විශ්වාසය රකින්න. එයා ඔයා ලඟට එයි ආපහු. එයාට සමාව දෙන්න - එයා ඔයත් එක්ක සතුටින් ඉඳියි....." මෙම වදන් මිරිකා හැරුණේ මැගීගේ ආත්මය පතුලෙන්මය. එය ගිලෙන්නට යන මිනිසෙකුගේ වෙව්ලූම්කන ග‍්‍රහණයකට සමාන විය. සසල වූ ලුසී නිහඬ වූවාය. අවසානයේදී ඇය කතා කළාය.
 

"මං මේ සිකුරාදා යනවා මැගී. මාසෙකට දෙකකට විතර. හිත හදාගෙන මං ආපහු ආවම ඔයා කැමති වෙලාවක මං ඔයාව බලන්න එන්නං." මැගී ඇගේ දෑත් අතර රැඳී තිබූ සිය ඥාති සොයුරියගේ අත තදින් අල්ලාගෙන ඈ දෙස බැලූවාය. ලුසීට කිසිදා එම බැල්ම අමතක නොවනු ඇත. "මැගී," ඇය සිහින් හඬින් කීවාය, "ඔයා මට වඩා ගොඩක් ශක්තිමත්. මට බැහැ...."
 

ඇගේ හඬ බිඳී ගියෙන් ඉන් එහා කිසිවක් නොකී අතර එකිනෙකා වැළඳගත් සොයුරියෝ ඔවුනොවුන්ට සමු දුන්හ.

- මතු සම්බන්ධයි -





152. ෆ්ලොස් නදිය අසබඩ - 21 - අවදිවීම

නමුත් පසුදින උදෑසන මැගී අවදි වූයේ භීතියත් කම්පනයත් මුසු වූ තැවුල් සහගත සිතුවිලි සමුදායක් සමගිනි. ඇගේ ජීවිතය බොඳ කරවාලන නැවත නිවැරදි කළ නොහැකි පාපයක් ඈ අතින් සිදු වී ඇත - ඇගේ ජීවිතයට ආදරයෙනුත් විශ්වාසයෙනුත් බැඳී සිටියවුන්ගේ ජීවිත වලට ඇය දුක ලඟා කර දී ඇත. ගෙවුනු සති කිහිපයකදී ඉපදුනු හැඟුම් විසින් ඇයව විශ්වාසය කඩකරලීමේත්, ආත්මාර්ථකාමී බවේත් පාපයන් වෙත තල්ලූ කර දමා ඇත. මෙය ඇයව කොතැනකට කැඳවාගෙන යනු ඇත්ද? එය ඇයව කැඳවාගෙන විත් ඇත්තේ කොතැනකටද? ඇයට යළිත් ලූසීට හා ෆිලිප්ට මුහුණ දිය හැකි වනු ඇත්ද? ඇය ඔවුන්ගේ විශ්වාසය හා බලාපොරොත්තු සිඳ බිඳ දමා ඇත. ඇයට ස්ටීවන් හා පූජනීය ජීවිතයක් ගත කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත: මන්ද ඇයට එය සිදු කිරීමට වන්නේ ඇගේ ජීවිතයේ ප‍්‍රතිපත්ති සියල්ලක්ම පාවා දීමෙන් බැවිනි.
නැව් තට්ටුව මත තවමත් තද නින්දේ පසු වන ස්ටීවන් දෙස ඇය දෙනෙත් යොමු කළාය. ඔහුගේ දසුනින් ඇගේ සිතට යළිත් වේදනාකාරී සිතුවිලි ගලා ආවේය. ඔහුට උරුම වනු ඇත්තේ වේදනාබර සමුගැනීමක මතකය පමණි.


හිරු නැගෙමින් ඇත. වේදනාකාරී, විරෝධතා වලින් පිරි දිනයක් තමා ඉදිරියේ දිගහැරෙමින් ඇති බව කල්පනා කරමින් මැගී නැගී සිටියාය. ස්ටීවන්ද අවදි වී ඈ අසළට පැමිණ හිඳගත්තේය. කුමන හෝ හේතුවක්  නිසා ඇය පසුවන්නේ තමාට යළිත් සමීප කරගත නොහැකි දුරස් බවකින් බව ස්ටීවන්ට හැඟී ගියේය. නමුත් ඔහු ඇගේ අතින් අල්ලාගත් මොහොතේ එයට විරුද්ධ නොවූ ඇය ඔහු වෙත දුක්බර මඳ සිනහවක් පෑවාය. වෙන් වන මොහොත ආසන්න වන තෙක් ඔහුගේ සිත රිදවන කිසිවක් ඇයට පැවසිය නොහැක. තම තමන්ගේ සිතුවිලි වල ගිලී ඔවුහු එක්ව උදෑසන කෝපි පානය කළහ. ඔහුගේ සිතෙහි වූයේ අවිනිශ්චිත බියකි; නමුත් ඇගේ සිතෙහි වූයේ පැහැදිලි විසඳුමක් තුළ තමාව ස්ථාවර කරගැනීමට යෙදෙන නිහඬ අරගලයකි.
 

"ඔන්න අපි මඩ්පෝට් වලට ආවා," අවසානයේදී ස්ටීවන් කීවේය. "දැන් රත්තරනේ, ඔයාගෙ ගමනේ අමාරුම හරිය ඉවරයි. තව පැයක් ඇතුළත අපිට යන්න අස්ස කරත්තයක් හොයාගන්න පුළුවන් වෙයි."
 

තමා කතා කළ යුතු මොහොත එලඹ ඇතැයි මැගීට දැනුණි. ඇය සෙමින්, එහෙත් ස්ථාවර හඬින් කතා කළාය. "අපි තවත් දුර යන්නෙ නෑ. අපි දැන් වෙන් වෙන්න  ඕනේ," ඇය කීවාය.
 

ස්ටීවන්ගේ මුහුණ රත් පැහැ ගැන්වින. "බැහැ," ඔහු කීවේය. "ඊට කළින් මං මැරෙන්න  ඕන."
 

ඔහු බියෙන් සිටි කරුණ සැබෑ වී ඇත - අරගලයක පෙරනිමිති පහළ වෙමින් ඇත. නමුත් නෞකාව ඒ මොහොතේ තොටුපොළට ලඟා වූයෙන් ඔවුන්ට තව දුරටත් තනිවම කතා කිරීමට ඉඩක් නොවීය. ආපසු ශාන්ත ඔග්ස් බලා යන ගමනට නැවට ගොඩ වීම පිණිස සෙනග පොදි කමින් තොටුපොළේ රැඳී සිටියහ. ඔවුන් ගොඩ බට පසු ස්ටීවන් ඇගේ අතින් ඇදගෙන සෙනග පීරමින් යන අතරේ කවුරුන් හෝ තමා සමග කතා කිරීමට මෙන් ඉදිරියට පැමිණි බවක් මැගී නෙත් කොණින් දුටුවද ඒ කවුරුන්දැයි පැහැදිලිව දැක ගැනීමට ඇයට නොහැකි විය.
 

ඔවුන් ආසන්නයේම වූ අවන් හල වෙත ගිය අතර ඒ යන අතරේදී ස්ටීවන් අශ්ව කරත්තයක් සූදානම් කර තබන ලෙසද දැනුම් දුන්නේය. ඔවුන්ව කාමරයකට කැඳවාගෙන යනු ලැබුණු නමුත් මැගී එහි හිඳගැනීමට පවා කැමති නොවීය. ඒ වෙනුවට ඇය ස්ථිර හඬින් කතා කළාය, "මං එන්නෙ නෑ ඔයත් එක්ක යන්න. අපි මෙතනදි මේ මොහොතෙදි වෙන් වෙන්න  ඕනෙ."
 

"මැගී," ස්ටීවන් කීවේය, "ඔයා හදන්නේ මාව මරලා දාන්නද? අනික දැං එහෙම කළා කියලා මොකද්ද ඇති වැඩේ? හැමදේම වෙලා ඉවරයි."

"නෑ, හැමදේම නෙවෙයි," මැගී කීවාය. "ගොඩක් දේවල් වුනා තමයි, ඇත්තටම - ඒත් මං තවත් දුර යන්නෙ නෑ. ආයෙමත් මට බල කරන්න හදන්න එපා."
 

ස්ටීවන්ගේ ඇවිටිලි සියල්ලක්ම ඇය නෑසුණාක් මෙන් සිටියාය. ඈ ගත් තීරණයෙන් ඇයව බැහැර කරලීමට කිසිවක් සමත් නොවනු ඇත. අවසානයේදී නොඉවසිල්ලෙන් නැගී සිටි ස්ටීවන් මැඩගත් කෝපයෙන් යුතුව කාමරයේ ඒ මේ අත ඇවිදින්නට විය.
 

"දෙයියනේ!" ඔහු පුපුරා හැලූනේය. "මිනිහෙක්ගෙ ආදරේ එක්ක බලද්දි ගෑණියෙක්ගෙ ආදරේ කොයි තරං සවුත්තුද! මට  ඕනෙනං ඔයා වෙනුවෙන් හිරේ යන්න වුනත් පුළුවන් - ඒත් ඔයා මට ආදරේ නෑ: නැත්තං ඔයා මාව මෙහෙම අත ඇරලා දාන්නෙ නෑනේ."
 

මැගී සිය වෙව්ලන දෑත් වල ඇඟිලි තුඩු එකිනෙක තෙරපුවාය. "නෑ - මං ඔයාව අත ඇරලා දාන්නෙ නෑ - මට එහෙම කරන්න බෑ," ඇය හඬමින් කීවාය. "ඒත් මට අපි දෙන්නා එකට ඉන්න ජීවිතයක් ගැන හිතන්න බෑ - මට හිතෙන එකම දේ - අපි දෙන්නම දන්න දේ - අපි අනිත් අයට වරදක් කරනවා කියන එක විතරයි."
 

"ඒත් මැගී," ස්ටීවන් යළිත් ඈ අසළින් හිඳගනිමින් කීවාය, "ඔයාට තේරෙන්නෙ නැද්ද ඊයෙ වෙච්ච දෙයින් පස්සේ දැන් හැම දේම වෙනස් වෙලා ඇති කියලා? අපි කරන්න තිබ්බ දේ හරි, අපි කරන්න  ඕන දේ හරි ගැන කතා කරන්න දැන් පරක්කු වැඩියි. රත්තරනේ, ඔයා දැන් මගේ - මුළු ලෝකෙම ඒකයි පිළිගන්නේ. ඔයා කොහොමද මාව බඳින්නෙ නැතුව ආපහු යන්නේ? මිනිස්සු මොනවා කියයිද කියලා ඔයා දන්නෙ නෑ."
 

"මං දන්නවා. ඒත් ඒගොල්ලෝ මාව විශ්වාස කරයි. ලුසී මාව විශ්වාස කරයි - ඔයාටත් සමාව දෙයි, අනික - අනික - ඔව්, හරි දේ කළාම මොකක් හරි හොඳක් සිද්ධ වෙයි. අනේ, අනේ ස්ටීවන් මට යන්න දෙන්න! මේ වළට තවත් මාව ඇදලා දාන්න එපා. මගේ ආත්මය මං කවදාවත් පාවලා දීලා නෑ - දැනුත් ඒක කරන්නෙ නෑ."
 

ඇගේ අත අත් හැරි ස්ටීවන් යළිත් පුටුව තුළට කිඳා බැස්සේ බලාපොරොත්තු කඩවීම පිළිබඳව නැගුණු කෝපයෙන් යුතුවය. අවසානයේදී ඔහු කතා කළේ මැගීගේ මුහුණ දෙසවත් නොබලාය - "යනවා - යනවා යන්න එහෙනං - මට තවත් දුක් නොදී - තවත් බෑ මට මේක ඉවසන්න."
 

ආපසු හැරී දොරෙන් පිට වූ අන්දම මැගී නොදත්තාය. ඈ පසුකර ගිය පියගැට පෙල හෝ මිදුලේ නවතා තිබූ අස් රිය හෝ ඇගේ දෑසට හසු වූයේ නැත. වීදිය ඔස්සේ ඇවිද ගිය ඇය එහි නවතා තිබූ පොදු රථයකට ගොඩ වූයේ එය ඇයව නිවස වෙත කැඳවාගෙන යනු ඇතැයි බලාපොරොත්තුවෙනි.
 

නමුත් එය ඇයව කැඳවාගෙන ගියේ යෝක් නගරයටය - නිවසින් තව තවත් ඈතටය; නමුත් ඒ බව ඇය දැනගත්තේ මධ්‍යම රාත‍්‍රියේදී පොදු රථයෙන් පිටතට බැසි මොහොතේදීය. එයට කමක් නැත: එදින රාත‍්‍රිය එහි නතර වී ඇයට පසු දින නිවස බලා යා හැක. ඇගේ සාක්කුවේ මුදල් පසුම්බියක් ඇත. ඇය එම නන්නාඳුනන නගරයේ පැරණි අවන් හලක අඳුරු කාමරයක් තුළ කඳුළු හා සෝ සුසුම් මැද එදින රාත‍්‍රිය පහන් කළාය.

- මතු සම්බන්ධයි -





151. ෆ්ලොස් නදිය අසබඩ - 20 - දිය වැලකට හසුව

සතියකට පසුව මැගී ආපසු ශාන්ත ඔග්ස් බලා පැමිණියේ පාලිකාවක ලෙසින් ඇගේ නව රැකියාවේ වැඩ බාරගන්නා තෙක් වූ කාලය ලුසී සමග ගත කිරීමටය. ඇය ග්ලෙග් නැන්දාගේ නිවසට පැමිණීමට පොරොන්දු වී සිටි බැවින් දිවා කාලයේදී ලුසීව මගහැර සිටීම අපහසු නොවීය. එසේම පෙර සති කිහිපයට වඩා ඇය ඇගේ මව සමගද වැඩි වේලාවක් ගත කළාය. නමුත් සන්ධ්‍යා කාලයේදී ඇයට ලුසීගෙන් ගැලවීමක් නොවීය; "නැත්තං මං කොයි වෙලාවෙද ඔයාව හම්බවෙන්නේ?" ලුසී විමසා සිටියේ කඳුළු පිරි දෑසිනි. එය පිටු පෑමට නොහැකි කාරුණික හිතවත් ඉල්ලීමකි. එසේම ස්ටීවන් ගෙස්ට් ද හැකි සෑම විටෙකම ඩීන් නිවසින් රාත‍්‍රී ආහාරය ගැනීමට පුරුදුව සිටියේය. මුල් දින කිහිපයේදී ඔහු මැගී පිටව යන තුරු සන්ධ්‍යා කාලයේදී එහි නොයා සිටීමට තමාටම ශපථ කරගෙන සිටියේය. නමුත් සිව් වන දිනය වන විට ඔහු සිය අදහස වෙනස් කරගත්තේය: මැගීව ටික කළකට හෝ දැකගත හැකි මොහොතක්, තවත් එක් ස්පර්ශයක් හෝ බැල්මක් ලබාගත හැකි මොහොතක් අපතේ නොයැවිය යුතුයැයි ඔහු කල්පනා කළේය. ඔහු එසේ නොකර සිටිය යුත්තේ මන්ද? ඔවුන් දෙදෙනා අතර සැඟවීමට කිසිවක් නැත: ඔවුන් දෙදෙනා එකිනෙකා පිළිබඳ වූ හැඟීම් හෙළිදරව් කර ඇත: දැන් ඔවුහු වෙන් වන්නට සූදානම්ව සිටිති. සදහටම වෙන්ව යන්නට පෙර සෙනෙහසින් පිරි එක් බැල්මක් නොවැරදීම ඔවුන් අතර හුවමාරු වනු ඇත.

ෆිලිප් වැකම් එහි පැමිණියේ ඉඳහිටය. බෝට්ටු සවාරියක් පිළිබඳව ලුසී යෝජනා කළේ ඔහු එහි පැමිණ සිටි එක් සන්ධ්‍යාවකය. "අද ඉඳං මැගී යන දවස වෙනකල් අපි හැමදාම බෝට්ටු පදින්න යමු. මැගී හරිම ආස දෙයක් ඒක, නේද මැගී?"


මඳ සිනහවක් පෑ මැගී හිස සැලූ අතර ලුසී දිගටම කතා කළාය. "ඔයා කැමතිද එයාගෙ හවුල්කාරයා වෙන්න ෆිලිප්? එතකොට ඔයාටත් පුළුවන් අපිත් එක්ක ඇවිත් හබලක් ගන්න." ඇය සංවාදයට එකතු නොවී නිහඬව පසෙකට වී සිටිනා ස්ටීවන් දෙස බැලූවාය. මෑතක සිට ෆිලිප් එහි පැමිණි දින වල ඔහු හැසිරුණේ එලෙසිනි. "ඔයාටනං බෝට්ටු පදින්න යන්න  ඕනෙ නෑ වගේ," ලුසී කීවාය. "ඇයි ඔයා ආස නැද්ද ඒකට?"


"මං කැමති නෑ මහ ගොඩක් සෙනග පිරිච්ච බෝට්ටු වල යන්න," ඔහු නොරුස්නා හඬින් කීවේය. "වෙන කවුරුවත් නැති දවසක මං එන්නංකෝ."


ෆිලිප් රතු වූ මුහුණෙන් යුතුව දරදඬු හඬින් කතා කළේය. "මට ආරාධනා කළාම වෙන අයව මග ඇරෙන බව ලුසීට අමතක වෙලානේ. ප‍්‍රශ්නයක් නෑ, මං අයින් වෙන්නං."


"බැහැ බැහැ, කොහෙත්ම බෑ," ලූසී දැඩි අමනාප ස්වරයෙන් කීවාය. "ඔයා හෙට එන්නම  ඕනේ. දහයහමාරට විතර වතුර පාර හරි ගාණට ගලනවා." අනතුරුව ඇය ස්ටීවන් වෙත හැරුණාය. "හතර දෙනෙක් බෝට්ටුවේ එන එක මහ ගොඩක් කියලා ඔයාට දැනෙන්නේ කොහොමද?" ඇය ඔහුගෙන් ඇසුවාය.


"ඇත්තටම මං එන අය ගැන නෙවෙයි, එන ගාණ ගැන තමයි කතා කළේ," තමාගේ නපුරු බව පිළිබඳව ලැජ්ජා වෙමින් ස්ටීවන් කීවේය. "හතරවෙනියෙක් එක්ක යන්න පුළුවන්නං මං නොවැරදී
තෝරගන්නේ ෆිල්ව තමයි. ඒත් අපි මේ නෝනලාව එක්ක යන්න ලැබෙන සතුට එහෙම බෙදාගන්නෙ නැතුව මාරුවෙන් මාරුවට අවස්ථාව අරගමු. මං ඊලඟ දවසේ යන්නං."

නමුත් පසුදින උදෑසන ෆිලිප් උණෙන් පෙළෙන්නට වූ බැවින් එකඟ වූ පරිදි බෝට්ටු ගමන සඳහා පැමිණීමට හැකියාවක් තිබුණේ නැත. ඔහු ඒ බව පවසා සේවකයෙකු අතේ ස්ටීවන් වෙත පණිවිඩයක් යැව්වේය. ස්ටීවන් ඔහු වෙනුවට යුවතියන් හා බෝට්ටු ගමනට සහභාගි වනු ඇත්ද?


ඒ අතර ලුසීද ආදරණීය සැලසුමක් සූදානම් කොට තිබුණි. ඇගේ පියා එදින උදෑසන ලින්ඩම් නගරයට යෑමට සූදානම් වන බව ඇයට දැනගන්නට ලැබුණි. අත්‍යවශ්‍යම වූ භාණ්ඩ කිහිපයක් මිල දී ගැනීම සඳහා ඇයද කල් බලමින් සිටියේ එහි යාමට අවස්ථාවක් ලැබෙන තෙක්ය. එසේම ඇයට සහය වීම සඳහා ටුලිවර් නැන්දාද ඈ සමග යා යුතුම විය.


"අපි කතා කරගත්ත බෝට්ටු ගමන ඔයාට එහෙමම යන්න පුළුවන් හරිද," ඇය මැගීට කීවාය. "ෆිලිප් මෙහාට එයි දහය පහු වුනාම. අද හරිම ලස්සන දවසක්. දැං මේකට කැමති නැහැයි කියලා එක වචනයක්වත් කියන්නෙ එහෙම නෑ ඔන්න!"
 

මැගී විරුද්ධ වූයේ නැත. සැබැවින්ම ඇය එම සැලැස්ම පිළිබඳව සතුටු වූවාය; ෆිලිප් සමග යළිත් වරක් හුදෙකලා වීමට ලැබීමෙන් ඇගේ සිතට ශක්තියක් හා සැනසීමක් ලැබෙනු ඇතැයි ඇය සිතුවාය. ඇය ගමනට සූදානම් වී දහයයි තිහ වන විට විසිත්ත කාමරයට වී බලා සිටියාය.

දොරේ සීනුව වදින හඬ නියමිත වෙලාවටම ඇසුනි. නමුත් ඊලඟට ඇසුණේ ඉක්මණින් පියගැට පෙළ නැග එන හඬකි. ඒ ඇසුණු මොහොතේම ඒ පැමිණෙන්නේ ෆිලිප් නොවන බව මැගී වටහාගත්තාය: දොර විවර වූ අතර ස්ටීවන් ගෙස්ට් නිවස තුළට පිවිසියේය.
 

පළමුවෙන්ම ඔවුන් දෙදෙනාම කිසිවක් පවසාගත නොහැකිව විපිළිසරව බලා සිටියෝය. නිවසේ වෙනත් කිසිවෙකු නොමැති බව ස්ටීවන් ඒ වන විට සේවකයන්ගෙන් දැනගෙන තිබුණි. සිය හිස් වැස්ම හා අත් වැසුම් ගැලවූ ඔහු පැමිණ මැගී අසළින් වාඩි වූවේය. "ෆිලිප් එන්නෙ නෑ," ඔහු පහත් හඬින් කීවේය. "මමයි බෝට්ටුවෙ යන්නෙ අද."
 

"අපිට යන්න බෑ," මැගී යළිත් සිය අසුන තුළට කිඳා බසිමින් කීවාය. "ලුසී මෙහෙම වෙයි කියලා හිතුවෙ නෑ - එයාගෙ හිත රිදෙයි. ඇයි ෆිලිප් ආවෙ නැත්තේ?"
 

"එයාට සනීප නෑ. එයා වෙනුවට මට යන්න කිව්වා."
 

"ලුසී ලින්ඩම් ගිහිල්ලා," මැගී සිය වෙව්ලන අතැඟිලි වලින් ඉක්මණින් සිය හිස් වැස්ම ගලවමින් කීවාය. "අපිට යන්න බෑ."

"අපි යමුකෝ," ස්ටීවන් කෙඳිරිලි හඬින් ඇයැද සිටියේය. ඔහු නැගිට ඇගේ අතින් අල්ලාගත්තේය. "අපි වැඩි වෙලාවක් ගන්නෙ නෑනේ."
 

එලෙසම ඔවුහු පිටව ගියෝය. ඔවුන් රැගත් ඔරුව දිය රැළි මතින් යුහුසුළුව ඇදී ගියේය. වරින් වර ස්ටීවන්ගේ මුවින් ඇසෙන නෑසෙන හඬින් පිට වූ ආදරය මුසු වදන් හැරෙන්නට ඔවුන් අතර කිසිදු වදනක් හුවමාරු වූයේ නැත. ඔවුන් පසු කර යන වෙරළ තීරයන් වෙත මැගීගේ අවධානය යොමු වූයේ යන්තමිනි. ඔවුන් පසු කර ගිය ගම්මාන පිළිබඳව ඇයට කිසිදු නිනව්වක් නොවීය.

නමුත් අවසානයේදී සිය හබල් පසෙක දැමූ ස්ටීවන් ගං දිය දෙස බැරෑරුම් දෑසින් බලා සිටින්නට වූ මොහොතේ මැගී යළි පියවි ලෝකයට පැමිණියාය. ඇය සිය දෑසට නුපුරුදු ඈතට විහිදී ගිය කෙත්වතු දෙස බියපත් දෑසින් බැලූවාය.


"අනේ මේ කොහෙද අපි ඉන්නේ? අපි ගොඩක් දුර ඇවිල්ලා නේද?" ඇය බිය හා ප‍්‍රශ්නාර්තය රැගත් බැල්මක් ස්ටීවන් වෙත හෙලමින් ඇසුවාය.




ගලා යන ජල තලය දෙස දිගටම බලා සිටි ඔහු අමුතු කල්පනාකාරී හඬකින් කතා කළේය, "ඔව් - ගොඩක් දුර."
 

"අනේ මං දැං මොකද කරන්නේ?" මැගී වැළපුනාය. ඇය දෑත් එකතු කරගෙන ඉකි ගසන්නට පටන්ගත්තාය. ඇයට ලුසීගේ වේදනාවෙන් පිරි මුහුණේ සටහන් වූ පුදුමයත්, සැකයත් රැඳුණු බැල්ම හැරෙන්නට වෙන කිසිවක් ගැන කල්පනා කිරීමට හැකියාවක් නොවීය.

ස්ටීවන් නැගිට ඇය අසළින් වාඩි වී ඇගේ එකට බැඳි දෑත් සෙමින් පහත් කළේය. "මැගී," ඔහු තීරණයකට එලැඹි හඬකින් සෙමින් කතා කළේය, "අපි ආයෙ ගෙදර නොගිහින් ඉමු - අපිව කාටවත් වෙන් කරන්න බැරි වෙනකල් - අපි බඳිනකල්."
 

"මට යන්න දෙනවා!" මැගී මහත් සේ වික්ෂිප්තව කෑ ගැසුවාය. "ඔයා දැනගෙන හිටියා අපි මෙච්චර දුරක් ආපු බව - මං ඔයා ගැන තියපු විශ්වාසෙන් ඔයා අයුතු ප‍්‍රයෝජන ගත්තා. කොහොමද මාව මේ වගේ අමාරුවක දාන්න හිතුවේ?"
 

එම දෝශාරෝපණයෙන් සිත් වේදනාවට පත් ස්ටීවන් ඇගේ දෑත් අත් හැර ඔහු පෙර හිඳ සිටි අසුනට නැවතත් මාරු වූවේය. ඔහු කතා කළේ යටපත් කරගත් කෝපයෙනි. "අපි අන්තිම ගමත් පහු කරලා ටික වෙලාවක් යනකල් මමත් දැක්කෙ නෑ අපි එච්චර දුරක් ඇවිල්ලා කියලා; එවෙලෙදි මට හිතුණේ අපි තව ටිකක් දුර ගියාට කමක් නෑ කියලයි. මං ඔයාට ඒ ගැන කිව්වෙ නැති එක වැරැද්දක් තමයි. ඒ කියන්න බැරි වෙච්ච්ච හින්දා ඔයාට මාව එපා වෙන්න ඇති. ඔයා කොහොමත් මට ආදරේ නෑනේ. ඔයා මං වෙනුවෙන් මුකුත් කරන්න ලෑස්ති නෑනේ. මං බෝට්ටුව මෙහෙමම නවත්තලා ඔයාට යන්න අරින්නද? මං කියන්නං ලුසීට මට පිස්සු හැදිලා හිටියේ කියලා - ඔයාට මාව පේන්න බෑ කියලා."

මැගී කිසිවක් කර කියාගත නොහැකිව බලා සිටියාය. ස්ටීවන්ගේ කාරුණික මෘදු බව හමුවේ ඉවත බලාගැනීම ඔහුගේ මෙම කෝප සහගත සන්තාපය පිරි බැල්මෙන් දෑස් ඉවතට ගැනීමට වඩා පහසුය. ඇය ඔහු දෙස බලා සිටියේ කණගාටුව පිරි බයාදු බැල්මකිනි. "ඔයා දන්නවනේ ඒක එහෙම නෙවෙයි කියලා," ඇය කීවාය. ඇගේ බැල්මේත් කටහෙඬ්ත් පිරී තිබූ අනුකම්පාසහගත බව ස්ටීවන්ට දැනුණි. යළිත් දෙව්ලොව දොරටු විවර වෙමින් පවතී. ඔහු නිහඬවම යළිත් ඈ අසළින් වාඩි වී ඇගේ අතින් අල්ලාගත්තේය. යළිත් දෝශාරෝපණයක් හෝ ප‍්‍රතික්ෂේප කිරීමක් පැන නැගෙන්නට ඉඩ ඇති බැවින් වදනකුදු දෙඩීමට බිය වූ ස්ටීවන් නිහඬවම සිටියේය. 


තීරණාත්මක කිසිවක් සිදු කිරීමට තරම් පියවි කල්පනාවක් මැගීට නොවූ නමුත් ආපසු ගමනක් පිළිබඳව ඉන්පසු කිසිවක් කතා වූයේ නැත. මලානික නිහඬ බව මධ්‍යයේ ඔවුන් පාවී ගිය අතර එක්වරම ස්ටීවන් ඔවුන් පසුපසින් පැමිණෙන කුඩා නෞකාවක් දුටුවේය. ඔහු ඒ දෙස උනන්දුවෙන් බලා සිටියේ නව සිතුවිලි සමුදායක්ද සමගය.
"මැගී, රත්තරනේ!" ඔහු අවසානයේදී කීවේය. "මේ නැව මඩ්පෝට් වලටනං යන්නේ අපිවත් එක්ක යන්න කියන්න පුළුවන්. ඔයාට මහන්සියි - ඉක්මණටම කළුවරත් වැටෙයි - මේ පොඩි ඔරුවෙන් කොහෙටවත් යන්න හදන එක මහ භයානක වැඩක්. ඒ අය කැමති වෙයි අපිව එක්ක යන්න: මං ගාව ඇති තරං සල්ලි තියෙනවා."


මෙම නව යෝජනාවෙන් මැගීගේ සිත තුළ යළිත් අනතුරු ඇඟවීමේ සංඥා දැල්වෙන්නට පටන්ගත්තේය. එක් විකල්පයක් අනෙක් විකල්පය තරමටම අපහසුය. ස්ටීවන් නැවට සංඥා කළේය. සැබැවින්ම ඔවුන් මඩ්පොර්ට් වෙත යමින් සිටි අතර සුළං තත්ත්වය එලෙසින්ම පැවතුණහොත් පසුදින වන විට එහි යා හැකි වනු ඇති බව ඔවුහු පැවසූහ.
 

"අපිවත් එක්ක යනවද?" ස්ටීවන් ඇසුවේය. "ඔරුවත් දාගන්න. මං හොඳට ගෙවන්නං."

නැවේ පුද්ගලික කැබින් කාමරයක් නොවූ අතර කුෂන් කවර ඇතිරූ කවිච්චියක් මැගී වෙනුවෙන් නැව් තට්ටුව මත පිළියෙල කර දෙන ලදි. ස්ටීවන් ඇගේ අතින් අල්ලාගෙන ඈ අසළින් හිඳ සිටියේය. ඔහු පසු වූයේ ජයග‍්‍රාහී සතුටකිනි. අනෙක් සෑම සිතුවිල්ලක්ම, වගකීමක්ම නොතකා හැරි ඔහු මැගීව තමා සන්තක කරගත යුතුය යන දැඩි අධිෂ්ඨානයේ එල්බ සිටියේය. එහි පළමු පියවර දැනටමත් අරඹා ඇත!
 

හැඟුම්බර බවින් වෙහෙසටත්, ස්ටීවන් පිළිබඳව සිත තුළ ඇති ආදරයෙන් පීඩනයටත් පත්ව සිටි මැගී කිසිවක් පැහැදිලිව කල්පනා කළ නොහැකි තත්ත්වයකට පත්ව සිටියාය. ඈ වටා ඇසුණු ගං දියේ නැලැවිලි නාදයට කන් දෙමින් අවසානයේ ඇගේ අතැඟිලි ස්ටීවන්ගේ දෑත් සමග පැටලී තිබියදීම ඇය නින්දට වැටුණාය.

- මතු සම්බන්ධයි -





150. ෆ්ලොස් නදිය අසබඩ - 19 - ස්ටීවන්ගේ හෙළිදරව්ව

මැගී පළමුවෙන්ම ගියේ ඇගේ පියාගේ සොයුරිය වූ ග‍්‍රිටී මොස් නැන්දාව බැලීමටය. ඈ එහි ගොසින් එළැඹුනු සිව් වන දිනයේදී ඇයත්, නැන්දාත් නැන්දාගේ දරු පිරිසත් මිදුලේ කුකුල් පැටවුන්ට ආහාර දෙමින් සිටිනා අතර නැන්දා එක්වරම විස්මයට පත් හඬක් පිට කළාය. "දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ! අර කවුද අර එන මහත්තයා?"

උසැති දුඹුරු පැහැ අශ්වයෙකු පිට නැගි තැනැත්තෙකු ගේට්ටුවෙන් ඇතුළු වෙමින් සිටි අතර වේගවත් ගමනක යෙදුනු සලකුණු කියා පාමින් අශ්වයාගේ ගෙල අඳුරු පැහැයෙන් දිස් වුනි. මැගීගේ හිසත් පපුවත් සන්ත‍්‍රාසය මුසු වූ කම්පනයකින් වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේය.
 

"කවුද ඒ මගෙ දරුවෝ?" අමුත්තා මැගී හඳුනන්නෙකු බව ඇගේ මුහුණෙන් වටහාගත් නැන්දා ඇසුවාය.
 

"ඒ ස්ටීවන් ගෙස්ට් මහත්මයා," මැගී ඇසෙන නෑසෙන හඬින් කීවාය. "අපේ ලුසීගේ - ලුසීගේ හොඳ යාළුවෙක්."
 

ඔවුන් ආසන්නයට ආ ස්ටීවන් අසු පිටින් බිමට පැන සිය හිස්වැස්ම ඔසවා ආචාර කළේය.
 

"අස්සයාව අල්ලගන්න විලී," මොස් මහත්මිය ඇගේ දොළොස් හැවිරිදි පුත‍්‍රයාට කීවාය.
 

"නෑ, කමක් නෑ, ස්තූතියි," නොඉවසිල්ලෙන් හිස ගස්වන අශ්වයාගේ රැහැන් පටියෙන් අදිමින් ස්ටීවන් කීවේය. "මං ඉක්මණට යන්න  ඕනේ. මිස් ටුලිවර්ට පණිවිඩයක් තියෙනවා - පොඩ්ඩක් තනියම කතා කරන්න පුළුවන්ද?" ඔහු කලබලයෙන් කතා කළේ පවසන්නට ඇත්තේ හෙළිදරව් කිරීමට පහසු පණිවිඩයක් නොවන බව පසක් කරමිනි. කලබලකාර පෙනුමකින් යුතු අමුත්තාගේ හදිසි පැමිණීමෙන් චකිතයට පත්ව සිටි මොස් මහත්මිය ඔහුට නිවස තුළට ආරාධනා කළ යුතුදැයි සිතන අතරේ දැඩි ලෙස අපහසුවට පත්ව කිසිවක් කියාගත නොහැකිව සිටි මැගී නිහඬවම සිය හිස්වැස්ම පැලඳගෙන ගේට්ටුව දෙසට පිය නැගුවාය.
 

ස්ටීවන්ද ආපසු හැරී අශ්වයාද රැගෙන ඈ අසළින් ගමන් කරන්නට පටන්ගත්තේය. මාවතෙන් පිට වී යාර හතරක් පහක් පමණ පසු කරන තෙක් කිසිවෙකුත් කතා කළේ නැත. අනතුරුව, එතෙක් වේලා ඉදිරිය බලාගෙනම ගමන් කරමින් සිටි මැගී ආපසු හැරුණාය. ඇගේ කටහඬ කලබලකාරී විය. "මට  ඕනෙ නෑ තවත් ඉස්සරහට යන්න. මාත් එක්ක මෙහෙම තනියම කතා කරන්න  ඕනෙ කියලා මට ලැජ්ජා කරපු එක හොඳ දෙයක් කියලා ඔයා හිතං ඉන්නවද මං දන්නෙ නෑ."
 

"මං ආව එක ගැන ඔයා තරහෙන් ඉන්නෙ කියලා මං දන්නවා," ස්ටීවන් දුක්බර හඬින් කීවේය. "මිනිහෙක් කොයිතරං අමාරුවක වැටිලා ඉන්නවද කියන එක ඔයාට වැඩක් නෑනේ - ඔයා හිතන්නේ ඔයාගේ උජාරුව ගැන විතරයි!"
 

මැගී තැතිගත් මුහුණින් ඔහු දෙස බැලූ අතර ඔහු දිගටම කතා කළේය. "හරියට මට මේ වෙලා තියෙන දේවල් මදි වගේනේ - මං ඔයා ගැන ආදරෙන් පිස්සු වැටිලා - ඒත් මං මනුස්සයෙකුට දරුණුවටම දැනෙන ඒ හැඟීම් පාලනය කරගෙන ඉන්නේ, මොකද මං අනිත් අය ගැනත් හිතන නිසා, ඒගොල්ලන්ට අවංක වෙන්න  ඕනෙ නිසා! ඒ තියෙද්දිත්, ඔයා මට සලකන්නේ හරියට මං ඔයාට  ඕනකමින් නපුරුකං කරන මදාවියෙක් වගේනේ! මට  ඕන දේ කරන්න  ඕනෙනං මට පුළුවන් ඔයාට මාව කසාද බැඳගෙන මගේ දෙපලයි මගේ මුළු ජීවිතේමයි ඔයාගෙ කරගන්න කියන්න, ඒවායෙන් ඔයාට  ඕන දෙයක් කරන්න කියන්න!"
 

"ඔහොම කතා කියන්න එපා - මට අහං ඉන්න බෑ," මැගී සන්තාපයෙන් බිමට යොමාගත් දෑසින් යුතුව කීවාය.
 

"නෑ මං කියන්න  ඕනේ," ස්ටීවන් කීවේය. "බලන්න මං දිහා - මට මොකද වෙලා තියෙන්නේ කියලා! දවස ගානේ මං හැතැප්ම තිහක් විතර අස්සයා පිටේ නැගලා යනවා ඔයා ගැන හිතෙන එක නවත්තගන්න."
 

මැගී ඔහු දෙස බැලූවේ නැත. ඇය ඔහු දෙස බලන්නට බිය වූවාය. ඇය ඒ වන විටත් ඔහුගේ වෙහෙසකර බවින් මිරිකුණු මුහුණ දැක තිබුණි. නමුත් ඇය මෘදු කටහඬින් කතා කළාය. "මං ඔයා ගැන නපුරු විදිහට හිතන්නෙ නෑ."

"එහෙනං වස්තුවේ, බලන්න මගෙ දිහා," ස්ටීවන් සිය ආකර්ශනීය බවේ ගැඹුරුතම හා මෘදුතම හඬින් කතා කළේය, "දැන්මම යන්න එපා. මට එක මොහොතක සතුටක් දෙන්න - ඔයා මට සමාව දුන්න බව මට දැනෙන්න ඉඩ අරින්න."
 

"මං ඔයාට සමාව දෙනවා," එම හඬින් ඇති වූ කම්පනයෙන්ද, තමා ගැන වඩාත් වැඩි වූ බියකින්ද යුතුව මැගී කීවාය. "ඒත් අනේ දැන් මට යන්න දෙන්න. ඔයාත් දැන් යන්න!" ඇගේ දෑස් කෙවෙනි අතුරින් විශාල කඳුළු බිඳුවක් රූරා වැටුණි.
 

"මට යන්න බෑ - ඔයාව දාලා යන්න බෑ," ස්ටීවන් සෙනෙහසින් පිරුණු ආයාචනාත්මක හඬින් කීවේය. ගේට්ටුවෙන් එබී බැලූ විලී මොස්ගේ රුව දුටු ඔහු හඬගෑවේය, "ඒයි! මෙහෙ එන්න, විනාඩි පහකට මේ අස්සයව අල්ලගන්න."
 

"අනේ එපා," මැගී ඉක්මණින් කීවාය. "මගේ නැන්දා මොනවත් හිතයි."
 

"කමක් නෑ," ස්ටීවන් නොඉවසිල්ලෙන් කීවේය; "ඒගොල්ලෝ කාටවත් කියන එකක් නෑ." ඔහු එහි ආ විලී වෙත අශ්වයාගේ රැහැන් පටිය පෑවේය. "මේ අහළ පහළ පොඩ්ඩක් ඇවිද්දවන්න." ඔහු යළිත් මැගී වෙත හැරුණු අතර ඔවුන් දෙදෙනා යළිත් ගමනාරම්භ කළෝය. "මගේ අතින් අල්ලගන්න," ඔහු මෘදු ලෙස කීවේය.
 

"මේකනං කොහෙන් කෙළවර වෙයිද මං දන්නෙ නෑ," මැගී ඔහුගේ අත තුළින් සිය අත රුවාගනිමින් කීවාය. "මේක හොඳ නෑ. ලුසී ගැන හිතන්නකෝ!"
 

"මං එයා ගැන හිතනවා, එයා හුඟාක් හොඳයි. මං - " ස්ටීවන් සිය අනෙක් අතින් මැගීගේ අත අල්ලාගත් අතර කතා කිරීමට අපහසු බවක් දෙදෙනාටම දැනුණි.


"මටත් තව බැඳීම් තියෙනවා," අවසානයේ මහත් පරිශ‍්‍රමයක් දරා මැගී කීවාය. "ඔයයි ලුසීයි ගැන අමතක කළත්."
 

"ඔයා ෆිලිප් වැකම් එක්ක විවාහ ගිවිසගෙනද?" ස්ටීවන් ඇසුවේය. "එහෙමද?"
 

"මං ඒ ගැන එහෙමයි හිතන්නේ - මට වෙන කෙනෙක්ව බඳින්න බෑ."
හිරු රැසින් එළිය වූ මාවතෙන් අතුරු මාවතකට හැරෙන තෙක් ස්ටීවන් යළිත් නිහඬව සිටියේය. අනතුරුව එක්වරම පුපුරා හැලූනේය. "මේ මොන විකාරයක්ද - හිතාගන්නවත් පුළුවන් දෙයක්ද! මැගී, මං ඔයාට ආදරේ කරන තරමටම ඔයත් මට ආදරෙයිනං අපි දෙන්නා වෙනුවෙන් අපිට අනෙක් හැම දේම අත ඇරලා දාන්න පුළුවන් වෙන්න  ඕනේ. මොකක් හරි වැරදීමකින් ඇති වෙච්ච බැඳීම් බිඳලා දාලා අපි දෙන්නා කසාද බඳින්න  ඕනේ."
 

"ඊට හොඳයි මං මැරිලා යනවා," මැගී පහත් කටහඬකින් කීවාය.
 

"එහෙනං කියන්න මට ඔයා මං ගැන හිතන්නෙ නෑ කියලා," ඔහු වියරු වැටීමට ආසන්න වූවෙකු සේ කීවේය. "කියන්න ඔයා මට වඩා වෙන කෙනෙකුට ආදරේ කරනවා කියලා." නමුත් මැගී නිහඬවම සිටියාය. "ඔයා මට ආදරෙයිනං වස්තුවේ," ස්ටීවන් එවර වඩා කාරුණික හඬකින් කීවේය, "අපි දෙන්නා බඳින එකයි හොඳම දේ - හරි දේ. ඒකෙන් ඇති වෙන්න පුළුවන් හිත් අමාරුකම් ගැන අපි මොනවා කරන්නද? අපි මේ ආදරේ හොයාගෙන පස්සෙන් ගියෙ නෑනේ. ඒක වළක්වගන්න පුළුවන් හැමදේම අපි කළා. දැනට තියෙන බැඳීම් වල විශ්වාසය රකින්න මං උත්සාහ කරපු තරම දෙයියෝ විතරයි දන්නේ. ඒත් ඒකෙන් වුනේ හැමදේම තවත් නරක අතට හැරිච්ච එක. මුළදිම මේ ගැන කතා කරගත්තනං ඉවරයි. කියන්න මට ආදරෙයි කියලා මගෙ වස්තුවේ," ඇගේ මුහුණ දෙස බලමින් ඔහු ඉල්ලා සිටියේය. "අපි දෙන්නා අයිති අපි දෙන්නටනං ලෝකෙ වෙන අනිත් දේවල් ගැන මොකටද හිතන්නේ?" ඇගේ සුසුම් ඔහුගේ මුහුණේ වදින තරමටම ඔහුගේ දෙතොල් ඇගේ දෙතොල් වලට ආසන්නව තිබුණි. නමුත් ඔහු තුළ ඈ වෙනුවෙන් වූ ආදරයේ තිබුණේ මහත් බිහිසුණු බවකි. "කොහොමත් මං ලුසීට පොරොන්දු දීලා නෑ; එයාගෙන් පොරොන්දු අරගෙනත් නෑ: ලුසී වෙන කෙනෙක්ට ආදරේ කරන්න පටන්ගත්තොත් මට එයාට අයිතිවාසිකං කියන්න විදිහක් නෑ. ඔයත් ෆිලිප්ට එහෙම පොරොන්දුවක් දීලා නැත්තං අපි දෙන්නම නිදහස්."
 

"ඔයා ඔය කියන්නේ හිත රවට්ටගන්න - ඔයාට ඇත්තට දැනෙන දේ නෙවෙයි," මැගී අවංකව කීවාය. "ඔයාට දැනෙනෙන්නේ මට දැනෙන දේමයි - හැබෑ බැඳීම් තියෙන්නේ අපි අනිත් අයගේ හිත් වල ගොඩනගපු හැඟීම් මත, බලාපොරොත්තු මත. නැත්තං විශ්වාසය කියලා දෙයක් මේ ලෝකේ තියෙන්න විදිහක් නෑනේ." ඇය කතාව මඳකට නතර කළ අතර එය ස්ටීවන්ට නිහඬව සිටීමට වාරය විය. "මගේ ජීවිතේදී මට මූණදෙන්න වෙච්ච ගොඩක් දේවල් මට අමාරුයි, අපැහැදිලියි," මැගී වේදනාබර දෑසින් යළිත් කතා කළාය, "ඒත් එක දෙයක් මං බොහොම පැහැදිලිව දකිනවා - ඒ තමයි මගේ සතුට වෙනුවෙන් අනුන්ගේ සතුට නැති කරන්න මට බැරි බව. ආදරය ස්වභාවික දෙයක් තමයි; ඒත් අනුකම්පාවත්, විශ්වාසයත්, මතකයත් ඒ වගේමයි. මං වෙන කෙනෙකුගේ හිතේ දුකක් ඇති කළොත්, ඒ ගැන මං මුළු ජීවිත කාලෙම විඳවයි. අපේ ආදරය විසක් වෙයි. මට බල කරන්න එපා - මට උදව් කරන්න! මට උදව් කරන්න - මං ඔයාට ආදරේ නිසා."
 

මැගීගේ වදනක් පාසා ඇගේ කටහඬට එක් වූයේ අවංක බවයි; ඇගේ මුහුණ රත් පැහැ ගැන්වී තිබූ අතර විසල් වූ දෑසේ වූයේ ආදරයෙන් පිරුණු ආයාචනාවකි. ස්ටීවන් තුළ මහත්මා ගති යළි මතු කරලීමට ඇගේ වදන් සමත් විය. ඔහු නොපමාව ඇගේ අයැදුමට ප‍්‍රතිචාර දැක්වූවේය.
 

"රත්තරනේ," ඔහුගේ කටහඬ කෙඳිරීමකට වඩා වැඩි නොවීය, "මං කරන්නං, ඔයා කියන  ඕන දෙයක් කරන්නං. ඒත් - එක හාද්දක් - එකම එකක් - අන්තිම වතාවට - අපි වෙන් වෙන්න කළින්."
 

එක් හාදුවක් - අනතුරුව දිගු බැල්මක්. අවසානයේදී මැගී කටහඬ අවදි කළාය. "මට යන්න දෙන්න - අපි ඉක්මණට ආපහු යමු."
 

ඇය ඉක්මන් ගමනින් මාවත ඔස්සේ ආපසු ඇවිද ආ අතර තවත් වදනක් හෝ ඔවුන් අතරේ හුවමාරු වූයේ නැත. ඔවුන් විලී හා අශ්වයා පෙනෙන මානයට පැමිණි පසු නතර වූ ස්ටීවන් හිස වනා ඔහුට හඬ ගැසුවේය. නිවසේ දොර අසළ මොස් මහත්මිය රැඳී සිටියාය. සංවාදය දැඩි සේ වේදනාබර වූවක් බව මැගීගේ මුහුණ දුටු ඇය වටහාගත්තාය. "මෙහෙන් වාඩි වෙන්න මගෙ දරුවෝ," ඇය කාරුණිකව කීවාය. ඔවුහු ආලින්දය අසළ බංකුව මතින් වාඩි වූහ.
 

"අනේ ග‍්‍රිටී නැන්දේ, මං මහා නරකයි. අවුරුදු පහළොවේදීම මං මැරිලා ගියානං ඉවරයි. ඒ කාලෙදි දේවල් අත අරින්න ලේසියි - දැං අමාරුයි."
සිය නැන්දාගේ ගෙල වටා දෑත් යැවූ අසරණ යුවතිය හඬනගා වැළපෙන්නට පටන්ගත්තාය.



- මතු සම්බන්ධයි -




149. ෆ්ලොස් නදිය අසබඩ - 18 - ෆිලිප් ආපසු එයි

එළැඹුනු උදෑසන ඉතාමත් තෙත්බර විය: හිමිදිරියේ පටන් නොනවත්වාම වර්ෂාව ඇද හැලූණු අතර උදෑසන කෑම මේසයේදී ලූසී සතුටින් කතා කළාය, "අද ස්ටීවන් කළින් එයි. මං දන්නවා - වැස්ස දාට එයා කළින් එනවා."

නමුත් ස්ටීවන් වේලාසනින් නොපැමිණි අතර ඒ වෙනුවට එහි පැමිණියේ වෙනත් අයෙකි. ඒ ෆිලිප් වැකම්ය. කාමරයට ඇතුළු වූ ෆිලිප් තම හිතවත්කම රහසක්ව පවත්වාගත යුතුයැයි සිතා මැගී වෙත හිස සැලීමෙන් පමණක් ආචාර කරන්නට සූදානම් වුවද ඇය ඔහු වෙත අත දිගු කර සිටි බැවින් ලුසී ඇගේ විශ්වාසය දිනා ඇති බව තේරුම් ගත්තේය. එය ඔවුන් දෙදෙනාටම ඉතාම සංවේදී මොහොතක් විය; නමුත් ජීවිතයේ අනුකම්පාව අවම ලෙස බලාපොරොත්තු වූ බොහෝ උදවිය මෙන් ෆිලිප්ද තම හැඟීම් පාලනය කරගන්නට අසමත් වූයේ කලාතුරකිනි. සිය ඇතුළාන්තයේ ඇති වූ දරුණු කැලඹීම ඔහු පිට කළේ තරමක් වැඩිපුර සුදුමැලි වීමෙන් හා සුපුරුදු ස්වරයට වඩා උච්ඡ ස්වරයකින් කතා කිරීමෙන් පමණි. නමුත් ඔවුන් නිහඬව එකිනෙකාගේ දෑත් අල්ලාගන්නා අතරේ මැගීට තම දෑස් කඳුලින් පිරී යන අන්දම දැනුණි. එම දර්ශනය ලුසී එලෙසින්ම බලාපොරොත්තුව සිටි අතර ෆිලිප් හා මැගී යළි මුණගස්වන්නට හැකි වීම පිළිබඳව ඇගේ කාරුණික හදවත සතුටින් ඉපිලෙමින් තිබුණි.


දළ හා කෘතිම සංවාදයකින් යුතු වූ විනාඩි කිහිපයකට පසු එම ආතතිය අවසන් කිරීමට සිතූ ලුසී තමාට යමක් අමතක වූ බව පවසා ඉක්මණින් කාමරයෙන් පිටව ගියාය. මොහොතකින්ම මැගී හා ෆිලිප් ලං වී යළිත් එකිනෙකාගේ දෑත් අල්වාගත් හ. ඔවුන්ගේ දෑස් වල තිබුණේ මෑතකදී සිදු වූ දුක්බර සිදුවීමක මතකය සමග නැවත හමුවන මිතුරන් දෙදෙනෙකුගේ දෑස් වල පවතින අන්දමේ දුක්බර තෘප්තියකි.


"මං අයියට කිව්වා ඔයාව හම්බවෙනවා කියලා ෆිලිප්. මං මෙහෙ ඉන්නකල්
අපිට හම්බවෙන්න පුළුවන්. ඒත් මං ඉක්මණටම ආපහු යනවා අලූත් රස්සාවකට."

"ඔයා යන්නම  ඕනෙද?"
 

"ඔව්, මං වැඩි කාලයක් මෙහෙ ඉන්න හොඳ නෑ - මං කාටවත් බරක් වෙලා ඉන්න කැමති නෑ. මට අයියා එක්ක ඉන්නත් බෑ, එයා මට කොච්චර හොඳට සැලකුවත්. එයාට හැම වෙලාවෙම මට කන්න අඳින්න හොයලා දෙන්න වෙනවට මම කැමති නෑ."
 

මොහොතක් නිහඬව සිටි ෆිලිප් යළි කතා කළේය. "වෙන කරන්න කිසිම දෙයක් නැද්ද මැගී? ඒකද ජීවිතේ? ඔයා ආදරේ කරන අයගෙන් ඈත් වෙලා ඉන්න එක?"
 

"ඔව් ෆිලිප්," ආයාචනාත්මක බැල්මෙන් ඔහු දෙස බලමින් ඇය කීවාය. "අඩුගානේ දැනට. මං දන්නෙ නෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා. ඒත් දැන් මට හිතිලා තියෙන්නේ ආදරේ මට ආයෙ කවදාවත් සැනසීමක් අරගෙන එන එකක් නෑ කියලා. හැමදාමත් මට ආදරේ ලැබුණේ දුකත් එකතු වෙලා." ඇය යළි සිය මැහුම අතට ගෙන සිත එක්තැන් කරගෙන එහි නිරත වූවාය. ෆිලිප් නිහඬව ඈ දෙස බලා සිටියේය. වැඩි වෙලාවක් යාමට පෙර දොරටුවේ සීනුව නැවතත් නාද වූයේ හුරු පුරුදු තාලයකටය. එය ඇසෙන තෙක් මග බලා සිටි ලුසී ස්ටීවන්ව කාමරයට කැඳවාගෙන ආවාය.

"ඉතිං යාළුවා," ඔහු ෆිලිප් වෙත ගොස් හෘදයාංගම ලෙසින් අතට අත දෙමින් කීවේය. "ආපහු දකින්න ලැබුණට සතුටුයි. හැබැයි අර වහලේ උඩ වහලා ඉන්න ගේ කුරුල්ලෙක් වගේ ගෙදර මිනිස්සුන්ටවත් දන්නන්නෙ නැතුව එහෙ මෙහෙ යන එකනං අඩු කළොත් හොඳයි. කිසි වැඩකට නැතුව අර කෙළවරක් නැති තරප්පු පේළිය නැගගෙන මට අර චිත‍්‍ර කාමරේ හොයාගෙන යන්න වෙච්ච විසි වෙනි පාර මේ මං හිතන්නේ. ඔහේගේ වැඩකාරයෝ හිතං හිටියේ ඔහේ එතන ඉන්නවා කියලා!"


"මාව හම්බ වෙන්න අමුත්තෝ එන්නේ බොහොම අඩුවෙන් - ඉතිං මගේ ගමන් බිමන් ගැන දැනුම් දෙන එකේ ඒ හැටි තේරුමක් නෑ ගොඩක් වෙලාවට," ස්ටීවන්ගේ ප‍්‍රබෝධමත් ශක්තිමත් පෙනුමත්, ප‍්‍රාණවත් කෙළිලොල් කටහඬත් නිසා දැනුණු පීඩනයෙන් යුතුව ෆිලිප් කීවේය.


'මැගියි ෆිලිපුයි ඉන්නේ සතුටින් නෙවෙයි,' ලූසී කල්පනා කළාය. 'කාලෙකට පස්සේ මුණගැහුනම දුකක් දැනෙන්න ඇති.' ඇය ස්ටීවන් වෙත හැරුණාය. "මේ වැහි දවස් වල අපිට අස්සයො පිටේ යන්නත් බෑනේ. අපි සිංදුවක් අහමුද? ඔයයි ෆිලිපුයි එක තැනක ඉන්න වෙලාව නිකම්ම නාස්ති වෙන්න දෙන්න හොඳ නෑ. ලස්සන සිංදුවක් කියන්නකෝ."  




එම යෝජනාවෙන් ප‍්‍රබෝධමත් වූ ෆිලිප් නොපමාවම පියානෝව අසළින් හිඳ ගත්තේය. ස්ටීවන්ද ඔහුට එකතු වූ අතර ඔවුන් දෙදෙනා එක්ව ඉතාම අලංකාර ගීයක් ගැයූහ.

සංගීතය ඇරඹුනු මොහොතේ පටන් මැගී සිය මැහුම වෙත අවධානය යොමු කරන්නට දැඩි උත්සාහයක් දැරුවාය. ඇය ස්ටීවන්ගේ ගායනය කොතරම් ප‍්‍රිය කළාදැයි ස්ටීවන් දන්නා බවට කිසිදු සැකයක් නොවූ නමුත් ඇය ඒ බව නොපෙන්වා සිටීමට උත්සාහ කළාය. ඔහු ගායනා කරද්දී සැම විටම හිටගෙන සිටියේ එවිට ඈ ඔහුගේ ගායනය රසවිඳින අන්දම ඔහුට හොඳින් දැකගත හැකි වන නිසා බවද ඇය දැන සිටියාය. නමුත් ඇගේ උත්සාහයෙන් ඵලක් වූයේ නැත: ඉක්මණින්ම සිය මැහුම පහත හෙලූ ඇය ගීතය තුළ අතරමං වූවාය. අසරණ මැගී! සිහින දකිනා දෑසින් යුතුව හිඳගෙන සිටි ඇගේ දසුන ඉතාමත් සුන්දර වූ අතර ඇගේ මුහුණේ එතරම් සංවේදී බවක් මින් පෙර කිසිදා දැක නොමැති බව ෆිලිප් කල්පනා කළේය. "තව එකක්! තව එකක්!" ගායනය නිම වූ විගස ලුසී කීවාය. "වේග තාලෙක එකක් කියන්න. මැගී නිතරම කියනවා එයා සද්ද බද්ද වැඩි සින්දු වලට කැමතියි කියලා." 


"එහෙනං 'අපි පාර දිගේ යමු' සින්දුව හොඳයි," ස්ටීවන් කීවේය - "මේ වගේ වැහි දවසකටත් ගැලපෙනවා."


"ස්ටීවන් ඒකට ලෑස්ති වෙනකල් ඔයා වෙන එකක් කියන්නකෝ ෆිලිප්." ඔහුගේ අතැඟිලි පියානෝවේ ඒ මේ අත දුවනු දුටු ලූසී කීවාය. "ඔයා මොන සින්දුවද ඔය ගහන්නේ?"
 

"මතක නැද්ද?" ෆිලිප් වඩා පැහැදිලි ස්වරන් වාදනය කරමින් ඇසුවේය. "ඒක 'ලා සම්නම්බුලා' ඔපෙරාවෙන්. ඒකේ ප‍්‍රධාන ගායකයා ගෑණු ළමයට කියනවා ඒ ගෑණු ළමයා තමන්ව අත් ඇරියත් තමුන් එයාට හැමදාම ආදරෙයි කියලා. 'මං ආදරෙයි තවමත්' කියලා සිංදුවක් මං කියනවා ඔයා අහලා තියෙනවනේ. ඒ ඒ සිංදුවම අපේ බාසාවෙන්."

ෆිලිප් එම ගීතය තෝරාගත්තේ උවමනාවෙන්මය. මැගී වෙත එක එල්ලේම පැවසිය නොහැකි වූ කරුණු ඔහු ගීතය හරහා හඟවන්නට උත්සාහයක් දැරුවේය. එම ගීතයෙන් මැගී හැඟීම්බර වූවා මිස සතුටට පත් වූයේ නැත: එමගින් කියා පෑවේ විවිධාකාර දුක්බර මතකයන් සහ සිතුවිලි පිළිබඳව වූ අතර එය කුල්මත් බවක් වෙනුවට ගෙන ආවේ නිහඬ පසුතැවීමකි. අසරණ ෆිලිප්! මැගීගේ වටපිටාව පිළිබඳව බෙහෙවින් සංවේදී වූ ෆිලිප්ට ඈ හා ස්ටීවන් අතර අසාමාන්‍ය බැඳීමක් ඇති බවට සැකයක් පහළ විය. එක්වරම එතැනින් පිටවී යාමට ඔහුට සිතුණි. එවිට සිය සැකය පිළිබඳව වඩාත් හොඳින් කල්පනා කිරීමට ඔහුට ඉඩකඩ ලැබෙනු ඇත. නමුත් ඒ සමගම, ස්ටීවන් එහි රැඳී සිටින තාක් එහි හිඳීමට ඔහුට උවමනා විය - ස්ටීවන් හා මැගී එක්ව හිඳින සෑම මොහොතකම ඔවුන් හා හිඳීමට ඔහුට උවමනා විය. ෆිලිප්ට දැනුණු පරිදි මැගීව ඇසුරු කරන  ඕනෑම කෙනෙකු ඈ හා ආදරෙන් බැඳීම සාමාන්‍ය දෙයක් වුවද, ඇය ස්ටීවන් හට ආදරය කරන්නට පටන් ගතහොත් ඇගේ අනාගතය ප‍්‍රීතිමත් වනු ඇතිදැයි යන්න සැක සහිත විය.


කෙතරම් කඩවසම් හා ප‍්‍රියමනාප වුවද, බුද්ධිමත් බවෙන් තොර කෙළිලොල් බවට ප‍්‍රිය කළ තරුණයෙකු වූ ඔහු බුද්ධිමත් මැගී හට නොගැලපෙනු ඇත. ඒ ගැන තව තවත් සිතත්ම ෆිලිප් වඩ වඩාත් කලබල වූ අතර අවසානයේ පස්වරු එකට පමණ ඔහුට හා ස්ටීවන්ට පිටව යාමට කාලය එලැඹුනු මොහොතේ ෆිලිප් සැනසුම් සුසුමක් හෙලූවේය.
 

දිනෙන් දින ගත වත්ම ස්ටීවන් හා මැගී අතර වූ ආකර්ශනය වඩ වඩාත් ප‍්‍රබල විය. ලුසී නිවසේ නොමැති බව දැන දැනම ඔහු ඇතැම්විට ඩීන් නිවසට පැමිණීමට පටන්ගත්තේය; ඔහුට මැගීගෙන් ඈත් වී හිඳීමට නොහැකි බවක් දිස් විය. අනෙක් පසින් ඇය, ලුසී හා ෆිලිප් දෙදෙනාම වෙනුවෙන් තම හැඟීම් පාලනය කරගැනීමට හැකි උපරිම අන්දමින් උත්සාහ දැරුවද එය ඈ වෙත රැගෙන ආවේ නොසතුටක් පමණි. ස්ටීවන් ගෙස්ට් පිළිබඳව ඈ තුළ පැන නැගුණු මෙම ආකර්ශනය ඇයට සිය ජීවිත කාලය තුළ දැනී ඇති කිසිඳු හැඟීමකට සම කළ නොහැකි ප‍්‍රබල හැඟීමක් විය, ඇතැම් අවස්ථා වලදී එය පාලනය කරගත නොහැකි තරම් ප‍්‍රබල විය. අවසානයේදී මෙයට සුදුසුම පිළියම පිටව යෑම බවට තීරණය කළ ඇය ඒ සඳහා කටයුතු සූදානම් කිරීමට පටන්ගත්තාය. ඇය ඇගේ පැරණි පාසැල් පාලිකාවට ලිපියක් ලියූ අතර මව අහිමි දැරියන් තිදෙනෙකුව රැක බලාගැනීම සඳහා වූ තරනතුරක් ඇය මැගීට ඉක්මණින්ම සොයා දුන්නාය. එහි කටයුතු ඇරඹීමට නියමිතව තිබුණේ ජූනි විසිපස් වනදා වූ අතර එතෙක් මැගීට සිය නැන්දලා මාමලා බැලීමට යා හැක. එලෙස ඇයට ස්ටීවන් ගෙස්ට්ගේ බියකරු ආකර්ශනීය බවෙන් ඈත් වී සිටිය හැකි වනු ඇත.
 

- මතු සම්බන්ධයි -



148. ෆ්ලොස් නදිය අසබඩ - 17 - රහසිගත නිමේෂය

ගැහැණු ළමුන් දෙදෙනා එදින නිදන්නට සූදානම් වද්දී ලුසී යළිත් ෆිලිප් වැකම් ගැන කතා කළාය.

"අපිට හෙට හවස හොඳ සින්දු ටිකක් අහන්න පුළුවන් වෙයි," ඇය සතුටින් කීවාය. "ස්ටීවන් ෆිලිප්වත් එක්කං එයි."
 

"අනේ ලුසී, මට එයාව හම්බවෙන්න බෑ," මැගී සුදුමැලි වෙමින් කීවාය. "අඩුම ගානේ අයියගෙන් අහන්නෙ නැතුව එයාව හම්බවෙන්න බෑ."

"ටොම් අයියා ඒ තරමටම නපුරෙක්ද අනේ?" ලුසී පුදුමයෙන් ඇසුවාය. "මං වගකීම ගන්නං එහෙනං - එයාට කියන්න මමයි ෆිලිප්ව ගෙන්නගත්තේ කියලා."


"ඒත් ලුසී," මැගී තතනමින් කීවාය, "අපේ තාත්තා නැතිවෙන්න කළින් මං අයියට පොරොන්දු වුනා එයාගෙ අවසරයක් නැතුව ආයෙ ෆිලිප් එක්ක කතා කරන්නෙ නෑ කියලා."


"ඒත් මංනං ඒ වගේ අසාධාරණ කතාවක් අහලම නෑ. අසරණ ෆිලිප්ගෙන් මොකද්ද වෙන්න පුළුවන් හානිය? මං ටොම් අයියා එක්ක ඒ ගැන කතා කරන්නද?"
 

"අනේ එපා," මැගී කීවාය. "හෙට මමම ගිහින් එයාව හම්බවෙලා කියන්නං ෆිලිප් මෙහෙ එයි කියලා."
 

ඔවුන් දෙදෙනාම මොහොතක් නිහඬව සිටි අතර අනතුරුව මැගී කතා කළාය. "මං ඔයාට ෆිලිප් ගැන කියන්නං. ඒත් ලුසී මේ ගැන කාටවත් කියන්න එපා; අඩුගානේ ස්ටීවන් ගෙස්ට්ටවත්."

කතාව බොහෝ වේලාවක් පුරා දිග හැරුණි, කවුරුන් හෝ සමගින් තම හැඟීම් එලෙස බෙදාගැනීමෙන් දැනෙන සහනය මැගී ඉන් පෙර අත්විඳ තිබුණේ නැත: ඒ හැරෙන්නට ඈ වෙත යොමු වී තිබූ ලුසීගේ අනුකම්පාවෙන් හා උනන්දුවෙන් පිරි මුහුණ ඇයව තව තවත් දිරිමත් කළේය.


"ඔන්න ලුසී, මං ඔයාට ඔක්කොම කිව්වා!" කතාව අවසානයේදී මැගී මඳ සිනාවක් පාමින් කීවාය.


"ඔයා ෆිලිප්ට ආදරේ කරපු එක කොච්චර සුන්දර දෙයක්ද: මං කවදාවත් හිතුවෙ නෑ එයාට ඒ තරං සතුටක් ලැබෙයි කියලා," ලුසී කීවාය. "මංනං හිතන්නේ ඔයා එයාව අත් අරින්න  ඕනෙ නෑ. ඔයා හෙට උදේ ගිහිං ටොම් අයියව හම්බවෙලා එන්නකෝ." 


එසේම සිය සොයුරා හමුවීම සඳහා මැගී පසුදින උදෑසන පිටත් වූ අතර ඔහු දිවා ආහාර වේල සඳහා නැවත සිය නවාතැනට පැමිණීමට නියමිත මොහොතේ එහි ලඟා වූවාය.
 

ටුලිවර් මහතාගේ මරණය සිදු වූ කාල වකවානුවේදී ලුසීගේ මව බෙහෙවින් රෝගාතුරව සිටි අතර ටුලිවර් මහත්මිය ඇයට සත්කාර කිරීම සඳහා ඩීන් නිවසට පැමිණියාය. ඩීන් මහත්මිය මිය යාමෙන් පසුව ඇය නිවසත් ඇගේ යොවුන් දියණිය - ලුසීවත් බලා ගනිමින් එහිම නතර වූවාය. ටොම්ට ශාන්ත ඔග්ස් හි නවාතැනක් ලැබුණි. ඒ ඉන් අට මසකට පෙර විවාහ වූ බොබ් ජේකින්ස් හා ඔහුගේ බිරිඳ ජීවත් වූ ගංගාව අසළ පැරණි නිවසේ අමතර කාමරයකි. ඔවුහු ටොම්ව එහි නතර කරගත්තේ ඉතාමත් සතුටිනි.

මැගී වෙනුවෙන් දොර විවෘත කළේ බොබ්ගේ බිරිඳය. කුඩා සිරුරකින් යුතු වූ ඇගේ මුහුණ ලන්සි බෝනික්කෙකුගේ මෙන් විය. "මේ මැගී නෝනානේ. එන්න පුංචි නෝනා, ඇතුළට එන්න." ඇය එසේ කියමින් ටොම් ආහාර ගැනීමට සූදානම් වෙමින් සිටි සාලය වෙත මැගීව කැඳවාගෙන ගියාය.
 

"පරක්කු වෙන්න බෑ අයියේ," ටොම් ඇයව පිළිගැනීමට නැගී සිටිනා අතරේ මැගී කීවාය. "මං ඉක්මණට කියන්නං මං ආපු කාරණේ, නැත්තං ඔයාට කෑම කන්නත් පරක්කු වෙයි."
 

මැගීගේ තැතිගත් භාවය දුටු ටොම් ඈ කියන්නට යන්නේ කුමක් ගැනදැයි අනුමාන කළේය. එම සැකයෙන් ඔහුගේ කටහෙඬ් උණුසුම් බව පහව ගියේය. "මොකක් ගැනද?"
 

එම ස්වරය මැගී තුළ පෙරළිකාරී බවක් ඇති කළේය. සොයුරා දෙස කෙළින් බලාගෙන ඇය ස්ථිර හඬකින් කතා කළාය, "ෆිලිප් වැකම් ගැන මං ඔයාට වෙච්ච පොරොන්දුවෙන් මාව නිදහස් කරන්න කියන්නයි මං ආවේ."
 

"හරි එහෙනං," ටොම් පෙර සේම රළු හඬින් කීවේය. ඔහු ඔරවමින් මැගී වෙතින් දෙනෙත් ඉවතට හරවාගත්තේය. අනතුරුව යළිත් ඈ වෙත හැරී සෙමින් එහෙත් අවධාරණාත්මක හඬින් කතා කළේය. "ඒ ගැන මට දැනෙන විදිහ ඔයා දන්නවනේ මැගී. තාත්තා ජීවත් වෙලා ඉන්නකල් තාත්තාට ඔයාට අපි හැමෝටම ලැජ්ජා වෙන දෙයක් ඔයා අතින් වෙන එක වළක්වගන්න මට පුළුවන් හැමදේම මම කළා. දැං ඔයාට කැමති තීරණයක් ගන්න පුළුවන් - ඒත් මගේ ස්ථාවරයේ වෙනසක් නෑ. ෆිලිප් වැකම් ගැන ඔයා ආපහු ආදරවන්තයෙක් විදිහට හිතනවනං ඔයාට අයියා කෙනෙක් නෑ කියලා හිතාගන්න වෙයි."
 

"මට එහෙම කරන්න බෑ අයියේ - ඒක අපි හැමෝටම දුකක් වෙයි. මං ඉක්මණටම වෙන රස්සාවකට යනවනේ, එතකල් මම මෙහෙ ඉන්නකල් ආපහු එයාව යාළුවෙක් විදිහට ආශ‍්‍රය කරන්න කැමතියි. ලුසීත් කැමතියි අපි ආයෙ හම්බවෙනවට."
 

ටොම්ගේ මුහුණේ වූ දරදඬු බව මඳක් ලිහිල් විය. "මාමලාගෙ දිහාදි ඔයා එයාව ඉඳහිට හම්බවුනාට මට කමක් නෑ - ඒ ගැන එච්චර හිතන්න දෙයක් නෑ," ඔහු වඩාත් කාරුණික හඬකින් කීවේය. "එයා ලුසීලගේ ගෙදර එනවනං ඔයා එයාව මුණගැහුණට කමක් නෑ. එයා ලුසීගේ අමුත්තෙක්නේ. ඔයා හොඳට ඉන්නකල් මං ඔයාට හොඳ අයියෙක් වෙලා ඉන්නවා."
 

නැගී සිටි මැගී සිය සුරත ඔහුගේ උරහිස මතින් තැබුවාය. "අයියේ, මං දන්නවා ඔයාට ලොකු බරක් පැටවිලා තියෙනවා, ඉතිං මාත් ඔයාට තව කරදර වැඩි කරන්න කැමති නෑ - ඔයාගෙ හිත සතුටින් තියන්නයි මට  ඕනේ. ඒ වුනාට මං කොහොමත් හරි වදකාරියෙක් නේද?"
 

එම දයාබර මුහුණ දෙස බලා ටොම් මඳ සිනහවක් පෑවේය. "නෑ මැගී," ඔහු කීවේය.
 

"මං ඉඳහිට ඇවිත් ඔයාව බලලා ගියාට කමක් නැද්ද?"
 

"ඔව්, එන්න. ඒ වුනාට දැං දුවලා යන්න. මට ආපහු යන්න පරක්කු වෙයි," ටොම් සිය අත් ඔරලෝසුව දෙස බලමින් කීවේය.
 

"මට හාද්දක් දෙන්නවත් වෙලා නැද්ද?"
 

ටොම් නැවී ඇගේ කම්මුල සිප ගත්තේය. "ඔන්න! හොඳ ළමයෙක් වගේ ඉන්න!"
 

මැගී ආපසු ගියේ සැහැල්ලූ සිතිනි. එම සන්ධ්‍යාවේ යළිත් ෆිලිප්ව දකින තෙක් ඇය සිටියේ නොඉවසිල්ලෙනි.
 

නමුත් ෆිලිප් පැමිණියේ නැත. ඔහු නිවසින් බැහැරව ඇති බවට - බොහෝ දුරට දර්ශන තල සිතුවමට නැගීමට කොහේ හෝ ගොස් ඇති බවට - ස්ටීවන් ගෙස්ට් පණිවිඩය රැගෙන ආ අතර ඔහු යළි පැමිණෙන දිනක් පිළිබඳව කිසිවක් නොදත්තේය. සැබැවින්ම ෆිලිප් යළි නගරයට පැමිණ ලුසීගේ ලිපි දෙකම දුටුවේ ඉන් දෙසතියකට පසුවය. මැගී එහි පැමිණ ඇති බව දැනගැනීමට පෙරම ඔහු පිටව ගොස් තිබුණි.

එම දෙසතිය තුළ මැගීගේ සිතේ පිරී තිබූ හැඟීම් තේරුම් ගැනීමට ඇතැම්විට කෙනෙකුට යළිත් දහ අට හැවිරිදි වියට යාමට සිදු වනු ඇත. එම දින දහ හතර තුළ ස්ටීවන් ගෙස්ට් ලුසී අසළ නොරැඳුනු හෝරාවන් එතරම් තිබුණේ නැත. ඔහු ඈ අසළ හිඳගෙන සිටිමින් හෝ, ඇය පියානෝව වයන අතර ඈ අසළ සිටගෙන සිටිමින් හෝ එළිමහනේ ඈ සමග ඇවිදිමින් හෝ කල් ගත කළ අතර ඔහු තුළ ලුසී කෙරෙහි ඇති සැලකිලිමත් බව පැහැදිලිවම ස්ථාවර වෙමින් තිබුණි. ලුසී පසුවූයේ ඉතාමත් සතුටිනි: ඒ මැගීගේ පැමිණීමෙන් පසුව ස්ටීවන්ගේ ප‍්‍රියමනාප බව හා හාස්‍ය රසයද තවත් වැඩි වී තිබීම නිසාය. තෙවැන්නෙකු ඉදිරියේදී තම ආදරවන්තයාගේ සමාගමයෙන් සතුටක් ලබන, එසේම සංවාදය බොහෝ විට එම තෙවැන්නාට යොමු වීම පිළිබඳව කිසිසේත්ම ඊර්ෂ්‍යාවක් හට නොගන්නා යෞවනියක ගැන සිතාගත හැකිද? නමුත් ලුසී වැනි සියුමැලි හදවතක් ඇත්තියක සම්බන්ධයෙන් ඒ පිළිබඳව පුදුම විය යුතු නැත. අනෙක් අතට, ස්ටීවන් හිඳ සිටියේ ලුසී අසළය, ඔහු අල්ලාගෙන සිටියේ ඇගේ අතය; සෑම දිනෙකම ඈ වෙත සුපුරුදු මෘදු ආචාරශීලී භාවය ඔහු පිරිනැමුවේය, ඇගේ උවමනාවන් පිළිබඳව දැන සිටියේය. එය ස්ටීවන් පවා දැන නොසිටි ඔහුගේ හෘද සාක්ෂියේ ක‍්‍රියාකාරීත්වයකි. මැගී වෙත වූ ඔහුගේ පුද්ගලික අවධානය එයට සාපේක්ෂව ඉතාමත් අල්පය. ලූසී නොමැති විටෙක ස්ටීවන් එහි පැමිණියහොත් ඔවුන් දෙදෙනා එකිනෙකා හා කතා කරන්නේ පවා නැත: එවන් විටෙක ස්ටීවන් පොත් රාක්කය අසළ රැඳී සංගීතය පිළිබඳව වූ පොත් පෙරළා බලන අතර මැගී සිය මැහුම වෙත නැඹුරු වී සිටියි. ඇඟිලි තුඩු අගට පවා ඔවුන් දෙදෙනාට අනෙකා එහි සිටීම පිළිබඳව දැනුණද කිසිවෙකුත් ඒ ගැන කල්පනා කරන්නට හෝ නිහඬව මෙය කොතැනින් කෙළවර වනු ඇත්දැයි සිතන්නට හෝ පටන්ගෙන තිබුණේ නැත. මැගීට දැනුණේ ජීවිතය ඇයට අළුත් යමක් උගන්වන්නට සූදානම් වන බව පමණි; ඇය එක එල්ලේ ඇයට බලපෑ ආසන්න අත්දැකීම් තුළ ගිලී සිටි අතර එවැන්නකට අවසර දීමට හෝ තේරුම් ගැනීමට තරම් ශක්තියක් ඈ තුළ ඉතිරිව තිබුණේ නැත. ස්ටීවන් උවමනාවෙන්ම තමා පිළිබඳව, තමා තුළින් සිතට නැගෙන ප‍්‍රශ්න වළක්වාගත් අතර මැගීගේ ආකර්ශනය පිළිබඳව පිළිගැනීමට සූදානම්ව සිටියේ නැත.


නමුත් දිනෙන් දින තත්ත්වය වඩ වඩාත් බරපතල වූ අතර සියල්ල හෙළිදරව් වීමේ දිනය වැඩි ඈතක නොවීය.


- මතු සම්බන්ධයි -












147. ෆ්ලොස් නදිය අසබඩ - 16 - යොවුන් පෙම්වතුන්

වසර කිහිපයකට පසු...

ෆ්ලොස් නදිය අසබඩ පිහිටි ඩීන් මහතාගේ නිවස අලංකාර ගෘහ භාණ්ඩ වලින් හා පියානෝවකින් සැදුම් ලත් විසිත්ත කාමරයකින් යුතු විය. එහි කඩා හැලෙන කෙස් කලඹකින් යුතුව එම්බ‍්‍රොයිඩර් මැස්මක නිරත වී සිටි සුන්දර යුවතිය ලුසී ඩීන් විය; ඇගේ දෙපා අසළින් වාඩි වී ඇගේ කුඩා බලූ පැටවා හා සෙල්ලම් කරමින් සිටියේ සුප‍්‍රසිද්ධ ගෙස්ට් හා සමාගමේ උරුමකරු හා ශාන්ත ඔග්ස් හි ධනවත්ම තරුණයන් අතුරින් කෙනෙකු වූ ස්ටීවන් ගෙස්ට් ය.

එහි හිඳගෙන සිටි ඔවුන් දෙදෙනා අපූරු යුවළක් වූ අතර නිසැකවම එකිනෙකා කෙරෙහි හොඳින් පැහැදී සිටියහ. ලුසීගේ බොළඳ ගති පැවතුම් පිළිබඳව ස්ටීවන් විහිළු කරමින් සිටි අතර සිනාසුණු ඇය "ඔව් මං දන්නවා ඔයා මං මහා මෝඩියෙක් කියලා හිතං ඉන්න බව," යැයි කීවාය.

"මං හිතන්නේ ඔයා හරිම සීදේවී කෙල්ලෙක් කියලයි."

"මගේ මෝඩකමත් ඒකෙම කොටසක්?"

"මං එහෙම කිව්වෙ නෑනේ!" ස්ටීවන් සිනාසෙමින් පිළිතුරු දුන්නේය.

"ඒත් මං දන්නවා ඔයා මොළේ තියෙන කෙල්ලන්ට කැමති නෑ කියලා. ෆිලිප් වැකම් එහෙම කිව්වා."

"අපොයි මං දන්නවා, ෆිලිප් ඔය කාරණාව ගැන බොහොම තදින් හිතනවා," ස්ටීවන් කීවේය. "මං හිතන්නේ මිනිහා රහසෙම කාටහරි ආදරේ කරනවා - සමහරවිට රට ඉන්දැද්දි හම්බවෙච්ච මොළකාරියෙක්ට වෙන්නැති."

"ඒක නෙවෙයි," ලුසී කීවාය, "මට දැනුයි මතක් වුනේ, මට අහන්න අමතක වුනා මැගී අක්කත් එයාගෙ අයියා වගේ ෆිලිප්ව හම්බවෙනවට අකමැතිද කියලා. ටොම් අයියා ෆිලිප් ඉන්න කාමරේකටවත් ඇතුල් වෙන්න කැමති නෑ."

"මොනවා? ඔයාගෙ නෑනා මෙහෙ නවතින්න එනවද?" ස්ටීවන් මද අකමැත්තක් පාමින් ඇසුවේය.

"ඔව් - ඇයි මං කළින් කිව්වනේ ඔයාට! අවුරුදු දෙකකට කළින් ඒගොල්ලන්ගේ තාත්තා නැති වුණාට පස්සේ මැගී අක්කා ඉස්කෝලෙක උගන්නන්න ගියානේ. ලඟදි එයා ඒකෙන් අයින් වෙනවා; ඒ නිසා මාසයක් දෙකක් විතර මාත් එක්ක ඉන්න මෙහෙ එනවා."

"ඊට පස්සේ ඔයා ඉතිං එයත් එක්කම ඇලිලා ඉඳියි," ස්ටීවන් බුම්මාගෙන කීවේය. "ආයෙනං ඔයාව තනිපංගලමේ හම්බවෙන්න බැරි වෙයි, ඔයා එයාට කාව හරි හොයලා දුන්නෙ නැත්තං. ෆිලිප් හොඳයි වැඬේට. ඇයි එයා ෆිලිප්ට අකමැති?"

"ඒක ෆිලිප්ගේ තාත්තත් එක්ක වෙච්ච ප‍්‍රශ්නයක්. ටුලිවර් මාමාට හරිම අසාධාරණ විදිහට හැමදේම නැති වුනා, මං හිතන්නේ මාමා විශ්වාස කළා එහෙම සිද්ද වුනේ වැකම් නීතීඥතුමා නිසා කියලා. තාත්තා කියනවා ටුලිවර් මාමා ගොඩක් වෙලාවට වැඩ කරලා තියෙන්නේ හරියට හිතන්නෙ බලන්නෙ නැතුව කියලා: එයාගේ මෝළේ කුරුවල් වෙලාලූ. ටොම් අයියයි මැගී අක්කයි ගොඩාක් දුක් විඳලා තියෙනවා. ඒ නිසයි මං එයා මෙහෙ ඇවිත් දිගම දිග නිවාඩුවක් ගන්නවට කැමති."

"ඔයා හරිම සීදේවී දේව දූතියෙක්නේ," ස්ටීවන් ඈ දෙස අගය කරන අන්දමින් බලා කීවේය; "එයත් එයාගේ අම්මා වගේම කතා පෙට්ටියක්නං තමයි වැඬේ."

"අනේ පව් නැන්දා! ඔයා හරිම නපුරුයි එයාට ඒ විදිහට විහිළු කරන්න. කොහොමහරි නැන්දා මට කොච්චර උදව් කරනවද. ගෙදර ලස්සනට තියාගන්නවා - මං දන්නෙ නෑ අම්මා නැති වුනාට පස්සේ නැන්දා හිටියෙ නැත්තං මං කොහොම මේවා කරගන්නද කියලා."

"අපොයි මං ඒ ගැන මුකුත් කියන්නෙ නෑ. ඒත් එයාගෙ දෝණියන්දෑ හැමතිස්සෙම අපි එක්කම ගැවසෙනවටනං මගෙ කැමැත්තක් නෑ - දුඹුරු කොණ්ඩෙකුයි නිල් පාට රවුං ඇස් දෙකකුයි තියෙන මහත කෙල්ලෙක් අපි දිහා සද්ද නැතුව බලං ඉන්නවට."

"අපොයි ඔව්!" ලුසී දිලිසෙන දෑසින් යුතුව කීවාය. "මගේ මැගී අක්කා හරියටම ඒ වගේ තමයි. ඔයා මීට කළිං එයාව දැකලා ඇති!"

"අනේ නෑ. මං ටුලිවර් නෝනගේ දුව කොයි වගේ ඇතිද කියලා නිකං හිතුවා විතරයි. එයා හින්දා ෆිලිප් මෙහෙ එන එක නතර වෙනවනං ඒක තවත් පාඩුවක්."

"එහෙම වෙන එකක් නෑ කියලා මං හිතනවා," ලූසී කීවාය. "ඔයාට බැරිද ෆිලිප්ට කතා කරලා කියන්න හෙට මැගී මෙහෙ එනවා කියලා. එයා ටොම් අයියාගෙ හැටි හොඳට දන්නවා, ඉතිං එයා තේරුම් ගනියි."

"ඔයා මට පොඩි ලියුමක් ලියලා දෙන්නකෝ," ස්ටීවන් කීවේය. "ගෙදර යන ගමන් මං ඒක එයාගෙ ගෙදරට දීගෙන යන්නං. දැංනං මං ගියොත් හොඳයි."

ලූසීගේ අතින් අල්ලාගත් ඔහු එය මෘදු ලෙස සිපගත්තේය. ලුසීට ආඩම්බරයක් හා සතුටක් දැනුණි. ඇය හා ස්ටීවන් එකිනෙකා තුළ ඇති ආදරය පිළිබඳව හොඳින්ම දැන සිටියද ඒ පිළිබඳව කතාබස් කිරීමකින් තොරව ගෙවෙන අවදියක පසු වූහ. එය මහත් වූ ආනන්දජනක මොහොතක් වූ අතර එවන් කාලයක් ජීවිතයේ යළි යළිත් උදා වන්නේ නැත.

ස්ටීවන් සිය අසු පිට නැගී ආපසු යන අතරේ කල්පනා කරමින් සිටියේ තමාව විවාහ කරගැනීමට කැමතිදැයි ඇයව හමුවන ඊලඟ වතාවේදී විමසා සිටිය යුතු බවය. තමාව සතුටින් තැබිය හැකි බිරිඳක් තෝරාගැනීමට ඔහුට නිදහස තිබීම කෙතරම් වාසනාවක්ද. ඔහු ලුසීව තෝරාගැනීමට සිතා සිටි අතර ආදරණීය යෞවනියක වූ ඇය ඔහු සෑම කල්හිම අගය කළ අන්දමේ තැනැත්තියක වූවාය.

පසුදින මැගී එහි පැමිණි අතර ලුසී තම සතුට පිළිබඳව සියල්ල ඇයට පැවසුවාය.

"එයා හරිම නුවණක්කාරයි," ඇය අවසානයේදී කීවාය. "ඔයා එයාට කැමති වෙයි, මං දන්නවා."

"හැබැයි ඔන්න මං අකමැති වුනොත් එහෙම ඔයාට එයාව අත අරින්න වෙයි, තාම විවාහ ගිවිසගෙන නෑනේ," මැගී ඇගේ කළුවන් දෑසින් සිනාසෙමින් කීවාය.

"දැම්ම විවාහ ගිවිසගන්න මං කැමති නෑ. මිනිස්සු විවාහ ගිවිසගත්ත ගමන් ඊලඟට කසාද බඳින්න හිතනවා," මැගීගේ විහිළුව නොවැටහුණු ලුසී කීවාය; "මං කැමති මේ ඉන්න විදිහටම තව කාලයක් ඉන්න."

ලුසී පියානෝව වෙත ගියාය. "එක කාරණයක් තියෙනවා මං දන්න ඔයා එයාට කැමති වෙන," ඇය කීවාය. "සංගීතය. එයාට ලස්සන කටහඬක් තියෙනවා. ස්ටීවනුයි මමයි හරි කැමතියි එකට සින්දු කියන්න. සෙන්ට් ඔග්ස් වල සංගීතයට කැමති මහත්තුරු හරි අඩුයි. ඇත්තටම සංගීතය ගැන දැනුමක් තියෙන අයට ඉන්නේ ස්ටීවනුයි ෆිලිප් වැකමුයි විතරයි." ඇය අවසන් වැකිය පවසන් ගමන් මැගී දෙස බැලූ අතර ඇගේ මුහුණේ ඇති වූ වෙනස දුටුවාය. "ඒ නම අහන්න ඔයා අකමැතිද? එහෙමනං මං ආයෙ එයා ගැන කතා නොකර ඉන්නං. මං දන්නවා ටොම් අයියත් පුළුවන් හැම වෙලාවෙම එයාව මග අරිනවා."

"ඒ ගැන අයියා හිතන විදිහට කොහෙත්ම මං හිතන්නෙ නෑ," යැයි පැවසූ මැගී නැගී සිට කවුළුව වෙත ගොස් ඉන් පිටත පෙනෙන දර්ශනය දෙස බලා සිටින්නට වූවාය. නමුත් ඇයට තවත් යමක් කීමට ඉඩක් ලැබෙන්නට පෙර දොරෙහි සීනුව නාද වූ අතර "ඒ ස්ටීවන් වෙන්න  ඕනේ," යැයි ලුසී ප‍්‍රීතියෙන් කීවාය.

මැගීට කතා කරන්නට ඉඩක් නැත; විසිත්ත කාමරයේ දොරටුව විවර වූ අතර උසැති තරුණයෙක් ලූසී වෙත පැමිණ ඇගේ අතින් අල්ලාගත්තේය.

"මේ ඉන්නේ මගේ නෑනා, මිස් ටුලිවර්," කවුළුව වෙතින් මෑත්ව එතැනට ආ මැගීව ලුසී හඳුන්වා දුන්නේ කවට සිනහවකින් මුව සරසාගෙනය, "මැගී, මේ ඉන්නේ ස්ටීවන් ගෙස්ට් මහත්මයා."

උසැති, කළුවන් දෑස් ඇති සුන්දරිය දුටු මොහොතේ ස්ටීවන්ට සිය විශ්මය සඟවාගත නොහැකි විය.

"මං හිතන්නේ ඔයා ඊයේ හිතේ ඇඳගත්ත රූපෙට එයා කොයිතරං සමානද කියලා හිතනවා ඇති නේද," ලුසී ජයග‍්‍රාහී සිනහවකින් යුතුව ස්ටීවන්ට කීවාය. ඇය සිය ආදරවන්තයාට වැරදීමක් සිදුවීම පිළිබඳව අහිංසක සතුටක් ලැබුවාය - විහිළු කිරීමේදී අන් බොහෝ අවස්ථා වලදී ජය ලබන්නේ ස්ටීවන්ය.

"ඔයාගේ මේ කපටි නෑනා මාව රැුවැට්ටුවානේ මිස් ටුලිවර්," ස්ටීවන් ලුසී අසලින් හිඳගනිමින් කීවේය. "එයා කිව්වා ඔයාට තියෙන්නේ ලා පාට කොණ්ඩෙකුයි, නිල් පාට ඇසුයි කියලා."

"නෑ, ඔයයි එහෙම කිව්වේ," ලුසී කීවාය.

මැගී ස්ටීවන් වෙත නොපහන් බැල්මක් හෙලූවාය. ඔහු පෙරදිනයේදී තමා පිළිබඳව විසුළු ස්වරූපයකින් කතා කොට ඇති බව ඇයට පැහැදිලි විය.
'හරි සැර පාටයි,' යන්න ස්ටීවන්ගේ සිතේ ඈ පිළිබඳව ඇඳුණු පළමු සිතුවිල්ල විය. නමුත් ඇය යළිත් සිය මැස්ම වෙත නැඹුරු වූ විට ඔහුට සිතුණේ 'ආයෙ සැරයක් මේ පැත්ත බලනවනං,' යනුවෙනි. මෙම සංවාදයෙන් මැගී නොසතුටට පත් වූ බව තේරුම් ගත් ස්ටීවන් ඉක්මණින්ම පොදු කතාබහක් ආරම්භ කළේය. ඔවුන් පොත් හා සංගීතය පිළිබඳව කතා කළ අතර අවසානයේ ස්ටීවන් බෝට්ටු සවාරියක් යාමට යෝජනා කළේය.

වසර ගණනාවකින් බෝට්ටුවක යෑමට අවස්ථාවක් නොලද මැගී එයින් සතුටට පත් වූවාය. මැගී සිය හිස්වැස්ම ගෙන ඒමට ගිය මොහොතේදී ඇය ෆිලිප් වැකම්ව හමුවීමට අකමැත්තක් නැති බව ලූසී ස්ටීවන්ට හෙළි කළාය. ඇය පෙර දින යැවූ පණිවිඩය පිළිබඳව කණගාටු වූවාය.

"මං එයාට කතා කරලා කියන්නං," ස්ටීවන් කීවේය. "මං හෙට හවස එන කොට එයාවත් එක්කං එන්නං."

"අනේ ඔව්, එක්කං එන්න," ලුසී කීවාය. "ඔයා මැගීට කැමතියි නේද?" ඇය ආයාචනාත්මක ස්වරයකින් එකතු කළාය. "එයා හරිම හොඳ ලස්සන කෙල්ලෙක් නේද?"

"උස වැඩියි," ස්ටීවන් හිස පහතට යොමා ඈ දෙස බලමින් මඳ සිනහවක් පෑවේය. "අනික ටිකක් සැර පාටයි. එයා මං කැමති ජාතියේ නෙවෙයි, ඔයා දන්නවනේ." ස්ටීවන් සැබැවින්ම තමා සිතූ දෙයම කීවේය. ටුලිවර් මහත්මියගේ මෙම පුදුමාකාර දියණිය සිත් ඇදගන්නාසුළු තැනැත්තියකැයි ඔහු සැබැවින්ම සිතුවේ නැත. ඇගේ දිළිඳු බව හා ඈ මුහුණ දී ඇති දුක් කම්කටොළු ඇයට සුවිශේෂී බවක් එක් කළේය; ඥාති සොයුරියන් දෙදෙනා අතර ඇති බැඳීම සැබැවින්ම අපූරුය. ඔහුට සිතුණේ එපමණකි!

නමුත් පසුව, බෝට්ටු සවාරිය නිම වී බෝට්ටුවෙන් පිටතට බැසීමට සූදානම් වද්දී පය පැකිලී වැටෙන්නට ගිය මැගීගේ අත සුරක්ෂිත ලෙසින් අල්ලාගත් ස්ටීවන් ඇයව වැටෙන්නට නොදී බේරා ගත්තේය.

"ඔයාට තුවාල වුනේ නෑනේ?" ස්ටීවන් විමසිලිමත්ව ඇගේ මුහුණට එබෙමින් ඇසුවේය. එවැනි කාරුණික, ආචාර සම්පන්න සැලකිලිමත් බවක් තමන්ට වඩා උසින් හා ශක්තිමත් බවකින් යුතු කෙනෙකුගෙන් ලැබීම සැබැවින්ම අපූරු දෙයකි. එවන් හැඟීමක් මැගී තුළ ඉන් පෙර කිසිදා පහළ වී නැත.

එම සිදුවීමෙන් ස්ටීවන්ගේ සිතද සසල වී තිබුණි. එම සන්ධ්‍යාවේ ඔහු යළි අසු පිට නැගී නිවස බලා යන අතරේ ඔහුගේ සිතෙහි වූයේ ලුසී ඩීන් නොව මැගී ටුලිවර් ය.


- මතු සම්බන්ධයි -







146. ෆ්ලොස් නදිය අසබඩ - 15 - දුෂ්කර ජයග්‍රහණය

තෙසතියකට පසුව ටොම් සුපුරුදු වේලාවට පෙර වැඩ නිම කොට නිවසට පැමිණියේය. ඩෝල්කොට් නිවහනේ සාලයේ අසුන් ගෙන සිටි පිරිස තම තමන්ගේ කටයුතු වල නිරතව - දිගු ගමනකින් පසුව වෙහෙසට පත්ව සිටි ටුලිවර් මහතා සිය හාන්සි පුටුවේද, මැගී මසමින්ද, ඇගේ මව තේ පිළියෙල කිරීමට සූදානමින්ද - සිටියෝය. ටොම්ගේ සුපුරුදු අඩි හඬ ඇසෙත්ම ඔවුන් සියල්ලෝම පුදුමයෙන් හිස් ඔසවා බැලූහ.

"මේ මොකද ටොම්?" ඔහුගේ පියා ඇසුවේය. "අද වෙනදට වඩා කළින්?"


"ආ, මට තව කරන්න වැඩක් ඉතිරිවෙලා තිබ්බෙ නෑ, ඉතිං මං ආවා," ටොම් පුළුල් සිනහවකින් යුතුව කීවේය. සිය මව වෙත ගිය ඔහු ඇයට හාදුවක් දුන්නේය. එම තෙසතිය පුරාම ඔහු හා මැගී අතර වදනක් හෝ බැල්මක් හෝ හුවමාරු වූයේ නැති තරම්ය; නමුත් ටොම් ස්වභාවයෙන්ම එතරම් කතාබහට ලැදි වූවෙකු නොවූ නිසා ඔවුන්ගේ දෙමාපියන් ඒ පිළිබඳව සැක කළේ නැත.


තේ පානයෙන් අනතුරුව ටොම් සිය පියාගෙන් මුදල් ඉතුරුම් කැටය රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය. "අම්මත් ඔහොම ඉන්න, යන්න එපා," මව සාලයෙන් පිටව යාමට සූදානම් වනු දුටු ඔහු කීවේය.
 

"මැගීත් ඉන්න  ඕනෙද?" ටුලිවර් මහත්මිය ඇසුවාය. "මොකද කවුරුහරි තේ භාජන අස් කරන්න  ඕනෙනේ."
 

"එයාගෙ කැමැත්තක් කරපුදෙන්," ටොම් වෙනසක් නොමැතිව කීවේය.
එය මැගීගේ සිත් රිදවූවද තේ බන්දේසි රැගෙන ගොස් අස් කර දැමූ ඇය යළිත් විගසින් සාලයට පැමිණියාය. ටුලිවර් මහතා කැටයත් රැගෙන පහත මාලයට පැමිණ එය විවෘත කර ගනින්නට පටන්ගත්තේය. එය අවසන් වූ විට ඔහු කතා කළේ අධෛර්යයට පත් වූ දුබල කටහඬකිනි: "පවුම් එකසිය අනූ තුනක් විතරයි. තව තුන්සීයකටත් වඩා  ඕනේ - ඒ තරං ඉතුරු කරගන්න සෑහෙන කාලයක් යයි. ඊට කළින් මං පරලෝකෙට ගිහින් ඉඳියි."


"නෑ තාත්තේ," ටොම් කීවේය. "තාත්තගෙ ඔක්කොම ණය ගෙවනවා දකින්න තාත්තා ඉන්නවා, තාත්තගේ අතින්ම ඒවා ගෙවන්න පුළුවන්." ඔහු මඳ සිනහවක් පා මඳක් නතර වී යළිත් කතා කළේය. "කාලෙකට කලින් අපේ ග්ලෙග් මාමා මට සල්ලි ටිකක් දුන්නා වෙළඳාමක් පටන්ගන්න. ඒක හොඳට කෙරුනා. දැන් බැංකුවේ මගේ නමට තියෙනවා පවුම් තුන්සිය විස්සක්!" ටුලිවර් පවුලේ උදවියගේ සිත් තුළ ඇති වූ ප‍්‍රීතිය හා ආඩම්බරය ඉමහත්ය. ටුලිවර් මහත්මිය සතුටු කඳුළු හෙලූ අතර ටුලිවර් මහතා වෙව්ලමින් කතා කළේය, "අත දෙන්න මගෙ ඉලන්දාරියා. ආඩම්බර වෙන්න පුළුවන් හොඳ පුතෙක් ඉන්නවා කියන්නේ මිනිහෙක්ට ලොකු දෙයක්. මට අඩුගානේ ඒ වාසනාව හරි තිබ්බා! ඒත් ඔයා ඒවා මෙහෙ ගෙනාවනං මට බලන්න ටොම්! මට තාමත් හිතාගන්න බෑ."
 

"තාත්තට ඒවා හෙට දකින්න පුළුවන්," ටොම් කීවේය. "ඞීන් මාමා ණය හිමියන්ව මුණගැහෙන්න ලෑස්ති කරලා තියෙනවා හෙට දෙකට ගෝල්ඩන් ලයන් අවන් හලේ, ඒගොල්ලන්ට කෑමත් එක්ක. ඩීන් මාමයි ග්ලෙග් මාමයි දෙන්නම එනවා."

එබැවින් පසුදින ටුලිවර් මහතා සිය ණය හිමියන් හා එක් මේසයක හිඳගෙන සිටියේය. ඔහුගේ දෑස් දිලිසුණු අතර තමා නැවතත් ගෞරවාන්විත මිනිසෙකු බවට පත් වූ බවට හැඟීමෙන් යුතුව ඔහුගේ මුහුණ සතුටින් රතු වී තිබුණි. ඔහු නැවතත් පැරණි, ආඩම්බර, තමා ගැන විශ්වාස කළ, ප‍්‍රබෝධමත් ටුලිවර් බවට පත්ව සිටියේය. කතා පැවැත්වුණු අතර පිරිස සවස පහ වන විට විසිර ගියෝය. ටොම් වෙනත් කටයුත්තක් සඳහා ශාන්ත ඔග්ස් හි නතර වූ අතර ටුලිවර් මහතා නිවස බලා යාම සඳහා සිය අසු පිට නැගුණේය. ඔහු මෙදින කිසිදු අතුරු පාරක් තෝරාගත්තේ නැත. හිස කෙළින් තබාගත් ඔහු ප‍්‍රධාන මාවත ඔස්සේ සෙමින් අසු පැදවූවේය. ඔහුට වැකම්ව හමු නොවන්නේ මන්ද? එම කරුණ ඔහුව පීඩාවට පත් කළ අතර ඔහුගේ සිත මහත් කලබලකාරී බවකින් පිරී පැවතිණ. ඔහුට වැකම්ව මුණ ගැසුණහොත් ටුලිවර් මහතා ඔහු දෙස එක එල්ලේම බලනු ඇත, එවිට එම දුෂ්ඨයා ඔහුගේ සැහැල්ලූ ස්වභාවය පිළිබඳව අපහසුවට පත් වනු ඇත. මෙම අවංක මිනිසා තව දුරටත් ඔහුට සේවය නොකරන බව ඔහු ඉක්මණින්ම දැනගනු ඇත!


මෙලෙස සිතමින් ටුලිවර් මහතා ඩෝල්කොට් මෝලේ ගේට්ටුවට ආසන්න වූ අතර කළු අශ්වයෙකු පිට නැගි හුරුපුරුදු රුවක් ඉන් පිට වී ඔහු වෙත එමින් සිටිනු ඔහු දුටුවේය. ගේට්ටුවට යාර පණහක් පමණ තිබියදී ඔවුහු දෙදෙනා හමු වූහ.
 

"ටුලිවර්," වැකම් සුපුරුදු ස්වරයට වඩා උද්දච්ච ස්වරයකින් කතා කළේය. "මොන මෝඩ වැඩක්ද ඔහේ අර කරලා තියෙන්නේ - අර ඈත කුඹුරේ ලොකු ලොකු පෝර ගොඩවල් ඉහිරලා දාලා තියෙන්නේ? මං කිව්වේ එහෙම කරන්න එපා කියලයි; ඔහේලනං ගොවිතැන් කරන්න කවදාවත් ඉගෙනගන්නෙ නෑ."

"එහෙමද!" ටුලිවර් වහා කෝප ගැන්වෙමින් කීවේය. "වෙන කෙනෙක් හොයාගන්නවා ගොවිතැන් කරන්න එහෙනං."


"ඒකත් එහෙමද," වැකම් රළු හඬින් කීවේය. "හෙටම එහෙනං මගේ ඉඩමෙන් යන එකයි තියෙන්නේ. දැන් ඔය වාචාල කට වහගෙන මට යන්න දෙනවා."


"නෑ මං ඔහේට යන්න දෙන්නෙ නෑ," ටුලිවර් වඩාත් කෝප ගැන්වෙමින් කීවේය. ඔහු සිය අසු ඉදිරියට පන්නා කසය එසවූ අතර කලබල වූ වැකම්ගේ අසු පසුපස ගාත් වලින් සිටගෙන සිය අසරුවාව බිම හෙලුවේය. වැකම්ට නැගී සිටීමට ඉඩක් ලැබෙන්නට පෙර ටුලිවර් සිය අසු පිටින් බිමට බැස්සේය. තම එදිරිවාදියා බිම වැටී සිටිනු දැකීමෙන් ඔහුගේ සිත තුළ පළිගැනීමෙන් දිනුම ලැබීමේ ආශාවක් ඇති විය. වැකම් වෙත කඩා පිනූ ඔහු ඔහුගේ වමතින් අල්ලාගෙන පිට හරහා සිය කසයෙන් පහරක් එල්ල කළේය. වැකම් උදව් ඉල්ලා කෑ ගැසූ අතර කාන්තාවකගේ කෑ ගැසීමත්, 'තාත්තේ! තාත්තේ!' යන හඬකුත් ඈතින් ඇසුණි.


"යනවා යන්න!" ටුලිවර් කෝපයෙන් කෑගැසුවේය. නමුත් ඔහු එසේ කීවේ වැකම්ට නොවීය. නීතීඥවරයා නැගී සිට හැරී බැලූ අතර ගැහැණු ළමයෙකු ටුලිවර්ගේ දෑත් අල්ලාගෙන සිටිනු ඔහු දුටුවේය.


"ලූක් මාමේ - අම්මේ - ඇවිත් වැකම් මහත්තයට උදව් වෙන්න!" මැගී කෑ ගැසුවාය.


"මේ අස්සයා පිටට නැගගන්න පොඞ්ඩක් උදව් වෙන්න," ලූක් එහි පැමිණි විට වැකම් කීවේය. "මගේ අත ඇඹරිලා වගේ. ඒ වුනාට ඉතිරි ටික යාගන්න මට පුළුවන් වෙයි." මහත් අපහසුවෙන් වැකම්ව ඔහුගේ අසු පිටට නංවනු ලැබුණි. අනතුරුව ඔහු ටුලිවර් මහතා වෙතට හැරී කෑගැසුවේය. "ඔහේට මේකට වන්දි ගෙවන්න වෙයි. ඔහේ මට ගහපු බවට ඔහේගේ දුව සාක්කි."


"මට කමක් නෑ," ටුලිවර් ගොරෝසු, බිහිසුණු කටහඬකින් කීවේය. "ගිහිං කියනවා මං ඔහේට තඩිබෑවා කියලා. ගිහිං කියනවා මං මේ ලෝකේ ටිකක් සමබර කළා කියලා."


"තාත්තේ, යමු ගෙදර!" මැගී බැගෑපත්ව කීවාය. අනතුරුව, වැකම් පිටව ගිය බව දැක ඇය සිය ග‍්‍රහණය බුරුල් කොට ඉකි ගසන්නට පටන්ගත් අතර අසරණ ටුලිවර් මහත්මිය නිහඬව බියෙන් වෙව්ලමින් සිටියාය. නමුත් තමා ග‍්‍රහණය බුරුල් කරන අතර පියා ඇයව තදින් අල්ලාගෙන ඇයට වාරු වන බවක් දැනුනෙන් මැගී ඒ ගැන විමසිලිමත් වූවාය. එයින් ඇගේ ඉකිගැසීම මඳක් අඩු විය.


"මට අසනීපයි වගේ," ඔහු දුර්වල හඬින් කීවේය. "උදව් කරන්න බෙසී - මට කරකැවිල්ල වගේ  - මගේ ඔළුව රිදෙනවා."


ඔහු සිය බිරිඳ හා දියණියගේ සහය ඇතිව සෙමින් ඇවිද ගොස් සිය ඇඳි පුටුව මතට ඇදගෙන වැටුණේය. දම් පැහැයට ආසන්න වී තිබූ ඔහුගේ මුහුණ සුදුමැලි වෙමින් තිබූ අතර ඇඟ ශීතල විය.


"අපි දොස්තරව ගෙන්නුවොත් හොඳයි නේද?" ටුලිවර් මහත්මිය කී අතර ලූක් මාමා වෙත හැරුණු මැගී, "දැන්මම ගිහින් ටර්න්බුල් දොස්තර මහත්තයව එක්කං එන්න," යැයි කීවාය.


ටුලිවර් මහතා ගොරහැඬි හඬින් මිමිණුවේය, "දොස්තර? නෑ - දොස්තර  ඕන නෑ. ඔළුව කැක්කුමක්, එච්චරයි. මාව ඇඳට එක්ක යන්න." නමුත් අඩ හෝරාවකට පසු ටර්න්බුල් වෛද්‍යවරයා පැමිණි මොහොතේ ඔහුට පැවසීමට ඉතිරිව තිබුණේ "මේ තමයි මරණය," යන්න පමණි.


ටොම්ද ඒ වන විට නිවසට පැමිණ සිටි අතර ඔහු හා මැගී එක්ව පහත මාලයට පැමිණියහ. සාලයේ ඔවුන්ගේ පියාගේ හිස් වැස්ම ඔහුගේ පුටුව අසළ වැටී තිබුණි. ඔවුන් දෙදෙනාගේම දෑස් ඒ වෙත යොමු වූ අතර මැගී, "තාත්තා ආයි කවදාවත් ඒක දාන එකක් නෑ," යැයි පවසා හඬන්නට පටන්ගත්තාය. "අනේ අයියේ මට සමා වෙන්න - අපි ආයෙ කවදාවත් රණ්ඩු නොවී ඉමු!" ඔවුහු දෙදෙනා එකිනෙකා වැළඳගෙන වැලපෙන්නට පටන්ගත්තෝය.


- මතු සම්බන්ධයි -





145. ෆ්ලොස් නදිය අසබඩ - 14 - හසුවීම

දින කිහිපයකට පසු එක් සන්ධ්‍යාවක ටොම් බොබ් ජේකින්ස් සමග කතා කරමින් රේගු තොටුපොළේ සිටගෙන සිටියේය.

"අන්න," බොබ් ඔවුන්ගේ සංවාදයට බාධා කරමින් ගංගාවෙන් අනෙක් පස වූ තිරිඟු යායට ඔබ්බෙන් දෙනෙත් යොමු කරමින් එක්වරම කීවේය. "අන්න යනවා වැකම් කුදා. මං නිතරම දකිනවා මිනිහා ඔය පැත්තේ යනවා."
 

ටොම්ගේ මනස තුළින් ක්ෂණික සිතුවිල්ලක් ඇදී ගියේය. පසුගිය ඉරුදින පල්ලිය මිදුලේදී වූ සිදුවීමක් ඔහුට සිහිපත් විය. ඔහුගේ මව සමග කතාබස් කරමින් සිටි පුලට් නැන්දා මෙවැන්නක් පැවසුවාය, "අර ඉන්නේ වැකම්ගේ අබ්බගාත පුතා. මදැයි! කොච්චර දේපලකට උරුම කියන කෙනෙක්ද; කට්ටිය කියනවා එයා හරි තනිවෙච්ච ගුප්ත කෙනෙක්ලූ - කොච්චරවත් රත් තැන්නේ ඇවිදින්න යනවලූ."
 

මෙම කියමනත්, එය වඩා තහවුරු කරමින් තමා ඔහු එහි යනු දෙවතාවක්ම දුටු බවට පුලට් නැන්දා පැවසූ කරුණත් මැගී තුළ අසාමාන්‍ය පෙරළියක් ඇති කිරීමට සමත් විය. ඉතා තදින් රතු වූ ඇය අපහසුවට පත් වූ අයුරින් බිම බලාගත්තාය. ටොම් ඈ දෙස බලා සිටි අතර හිස එසවූ ඇගේ දෑස් ඔහුගේ දෑස් හා ගැටිණ; නමුත් ඇය ඉක්මණින්ම හිස ඉවතට හැරවූවාය; පසු වතාවකදී වැසි දිනයන්හිදී රත් තැන්නේ ඇවිද රතු පසින් වැසී ගිය පාවහන් ඇතිව නිවසට පැමිණීම පිළිබඳව මව මැගීට දොස් කියනු ඔහුට ඇසුණි. කිසිදු තැනැත්තියක ආබාධිතයෙකුට ආදරය කරනු ඇතැයි ටොම්ට සිතිය නොහැකි විය; නමුත් මැගී ෆිලිප් සමග කුමන ආකාරයේ හෝ මිතුදමක් පවත්වාගෙන යනවානම් එය වහා නැවැත්විය යුතුය.
 

එබැවින් ඔහු බොබ් ජේකින්ස් වෙත හැරුණි. "මට දැන් යන්න වෙනවා බොබ්, ගෙදර පොඩි වැඩක් තියෙනවා."
 

බඩු ගබඩාව වෙත ඉක්මණින් ගිය ඔහු රේගුවේ කටයුතු සඳහා තමා වෙනුවට වෙනෙකෙකු යොදවා හදිසි කටයුත්තක් ඇති බව පවසා පිටව ගියේය.
 

හැකි ඉක්මණින් නිවස වෙත ලඟා වූ ඔහු ගේට්ටුව විවෘත කරන විටම මැගී සිය හිස්වැස්ම හා සාළුවද පැලඳගෙන ඉදිරි දොරටුවෙන් පිටතට ආවාය. ඔහුගේ අනුමානය නිවැරදි විය! ඔහු ඇය එන තෙක් ගේට්ටුව අසළට වී බලා සිටි අතර ඔහුව දුටු විගස ඇය මහත් තැතිගැන්මට පත් වූවාය.
 

"අයියේ, අද මොකද මේ තරං කළින්? මුකුත් කරදරයක්වත්ද?" ඇය පහත් හඬින් වෙව්ලන ස්වරයකින් ඇසුවාය.
 

"මං ආවේ ඔයත් එක්ක රත් තැන්නට ගිහින් ෆිලිප් වැකම්ව හම්බවෙන්න," ටොම් රෞද්‍ර ලෙස ඔරවාගත් බැල්මෙන් යුතුව කීවේය.
 

සුදුමැලිව දරදඬුව ගිය මැගී අසරණව බලා සිටියාය. ඇගේ සොයුරා කෙසේ හෝ සියල්ල දැනගෙන ඇත. "මං කොහෙවත් යන්නෙ නෑ," අවසානයේදී එසේ කී ඇය ආපසු නිවස වෙත හැරුණාය.
 

"මොකද නැත්තේ, ඔයා දැං යන්නම  ඕනේ," ඇගේ සොයුරා කීවේය. "ඒත් ඊට කළින් මට මෙන්න මේ ටික දැනගන්න  ඕනේ. කරුණාකරලා මේ මොහොතෙදිම මට කියන්න ඔයයි ෆිලිප් වැකමුයි අතර වෙච්ච හැම දෙයක්ම."
 

"තාත්තා මේ ගැන මොකවත් දන්නවද?" මැගී වෙව්ලමින් ඇසුවාය.
 

"තාම නෑ," ටොම් කීවේය. "ඒත් ඔයා මට තවත් බොරු කරන්න හැදුවොත් තාත්තත් මේවා දැනගනියි."
 

"මට  ඕනෙ නෑ කාටවත් බොරු කරන්න," මැගී කෝපයෙන් රතු වෙමින් කීවාය. "තාත්තා වෙනුවෙන් මං හැම දෙයක්ම කියන්නං."
 

"තාත්තා අකමැති දේවල් කර කර තාත්තා ගැන දිවුරන හැටිනං හරි අපූරුයි," ටොම් කීවේය.
 

"ඔයා ඉතිං වැරදි කරන්නෙම නෑනේ නේද?" මැගී කෝපය මුසු උපහාසයෙන් කීවාය.
 

"මට නොකර ඉන්න පුළුවන් දෙයක්නං මං කරන්නෙ නෑ තමයි," ටොම් උඩඟු විශ්වාසයකින් පිළිතුරු දුන්නේය. "දැං ඉතින්, කියන්න මට ඇත්ත. ඔයා මුළින්ම කවදද ෆිලිප් වැකම්ව රත් තැන්නෙදි හම්බවුනේ?"
 

"අවුරුද්දකට කළින්," මැගී සෙමින් පැවසුවාය. "අපි අවුරුද්දක් තිස්සෙ හම්බවුනා. අපි එකට ඇවිද්දා. එයා මට පොත් ගෙනත් දුන්නා."
 

"එච්චරද?" ටොම් ඇසුවේය.
 

මොහොතකට නිහඬ වූ මැගී අනතුරුව උඩඟු ස්වරයකින් කතා කළාය, "නෑ, එච්චර විතරක් නෙවෙයි. ගිය සෙනසුරාදා එයා කිව්වා මට ආදරෙයි කියලා. මං එහෙම දෙයක් ගැන හිතලා තිබ්බේ නෑ කළින් - මං එයා ගැන හිතුවේ පරණ යාළුවෙක් විදිහට විතරයි."
 

"ඉතිං ඔයා එයාට අනුබල දුන්නා?" ටොම් පිළිකුල් බැල්මක් හෙලමින් ඇසුවේය.
 

"මං කිව්වා මමත් එයාට ආදරෙයි කියලා."
 

ටොම් සිය දෑත් කලිසම් සාක්කු තුළ රුවාගෙන ඔරවාගත් දෙනෙත් බිමට යොමාගෙන මොහොතක් නිහඬව සිටියේය. අවසානයේදී හිස ඔසවා රළු හඬින් කතා කළේය, "හරි එහෙනං මැගී, ඔයාට මේ දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්: එක්කෝ ඔයා මට පොරොන්දු වෙන්න  ඕනේ ආයෙ කවදාවත් ෆිලිප් වැකම්ව හම්බවෙන්නෙවත් කතා කරන්නෙවත් නෑ කියලා, නැත්තං මං හැමදේම තාත්තට කියනවා. ඔයා කැමති මොකටද?"
 

මැගීට එයින් එකක්වත් තෝරා ගැනීමට නොහැකිය.
 

"අයියේ," ඇය ඇයැද සිටියාය. "මට ඔහොම කරන්න එපා. මං ෆිලිප්ව අත අරින්න පොරොන්දු වෙන්නං. එයාට මේ දේවල් පැහැදිලි කරලා දෙන්න ඔයා මට තව එක පාරක් එයාව හම්බවෙන්න ඉඩ දෙනවනං විතරක්. මං එයත් එක්ක යාළු වෙලා ඉන්න එක මගේ තාත්තට වේදනාවක් නිසා මං එයාව අත් අරින්නං... ඒත් මගේ හිතෙත් එයාට කැමැත්තක් තියෙනවා. එයා සතුටින් නෙවෙයි ඉන්නේ." ඇය ආයාචනාත්මක ලෙසින් සිය දෑත් එක් කළාය. "මං තව එක සැරයක් එයාව හම්බවෙන්න  ඕනෙමයි. එයාට පැහැදිලි කරලා නොදී ඈත් වෙන එක මහ නපුරුකමක්."
 

"ඔයා දැං මාත් එක්කම ගිහින් එයාට කතා කරන්න එහෙනං," ටොම් පැවසූ අතර ඔවුහු දෙදෙනා මගට පිවිසුණෝය.
 

ඇවිද යන අතරේ ඔවුන් දෙදෙනා අතර වදනක් හෝ හුවමාරු වූයේ නැත. මැගීගේ එකම බලාපොරොත්තුව වූයේ කුමන හෝ හේතුවක් නිසා ෆිලිප් එදින පැමිණ නොසිටීවා යන්නයි. එයින් සිදුවීම පමාවනු ඇති අතර ඇයට මේ සියල්ල පැහැදිලි කොට ෆිලිප්ට ලිපියක් ලියන්නට සොයුරාගෙන් අවසර ලබාගත හැකි වනු ඇත. ලඳු කැලෑවට ආසන්න වත්ම ඇගේ හද ගැස්ම වැඩි වූයේ ෆිලිප් නිතරම ඇයව හමු වූයේ එය පසු වූ විගස බැවිනි. ඔහු එහි සිටියේය. ටොම් හා ඔහු එකිනෙකා අතර යාරයක දුරක් තිබියදී නතර වූහ. මොහොතක නිහැඬියාවක් පැවති අතර ෆිලිප් මැගී වෙත විමසුම් බැල්මක් හෙලූවේය. ඇගේ සුදුමැලි මුහුණත්, විසල් දෑසේ වූ බියපත් බවත් ඔහුට පිළිතුරු සැපයුවේය.
 

"මේක පිරිමියෙකුගේ , මහත්මයෙකුගේ වැඩක් කියලා ඔහේ හිතනවද?" ටොම් අවඥාව පිරි රළු හඬකින් ඇසුවේය.
 

"තමුන් මොනවා ගැනද ඔය කතා කරන්නේ?" ෆිලිප් උඩඟු ස්වරයෙන් ඇසුවේය.
 

"කතා කරන්නේ? මේ අහගන්නවා! ඔහේ තනි වෙච්ච කෙල්ලෙක්ගේ අහිංසක කමෙන් අයුතු ප‍්‍රයෝජන ගන්න හදනවා. අන්න ඒක ගැනයි මං කතා කරන්නේ," ටොම් කෝපයෙන් කෑ ගැසුවේය.
 

"ඒ කතාව වැරදියි," ෆිලිප්ද ඒ හා සමාන කෝපයකින් කීවේය. "ඔහේගේ නංගිගෙන් මං කොහොමටවත් අයුතු ප‍්‍රයෝජනයක් ගන්නෙ නෑ. ඔහේ එයාට ආදරේ කරනවට වඩා මං එයාට ආදරෙයි. මගෙ ජීවිතේ වුනත් මං දෙනවා එයා වෙනුවෙන්."
 

"ඔය විකාර මට කියන්න එන්න එපා. සතියක් ගානේ මෙහෙම ඇවිත් හම්බවෙන එක එයාගෙ ගෞරවයට හානියක් කියලා දැනං හිටියේ නෑ කියලද ඔහේ කියන්නේ? එයාගේ තාත්තවත් ඔහේගේ තාත්තවත් කසාදෙකට ඉඩ තියන්නෙ නෑ කියලා දැන දැනම එයත් එක්ක ආදරේ ගැන කතා කරන්න ඔහේට අයිතියක් තියෙනවා කියලද කියන්නේ? අනික ඔහේ - ඔහේ ලස්සන කෙල්ලෙක්ගේ හිත ගන්න ලෑස්ති වෙන්නේ! ඔහේ වගේ අබ්බගාතයෙක් ආදරවන්තයෙක් වෙන එක ගැන හිනාවෙන්නෙ නැති කෙල්ලෙක්ගේ?"
 

"අයියේ  ඕක නවත්තගන්න. මට තවත් අහං ඉන්න බෑ," මැගී සිර වූ හඬින් පවසමින් හඬා වැටුණාය.
 

"ඉන්න මැගී," ෆිලිප් කතා කරන්නට දැඩි උත්සාහයක් දරමින් කීවේය. අනතුරුව ඔහු ටොම් දෙස බැලූවේය. "මට පේන්නේ ඔහේ නංගිව බලෙන්ම මෙතනට ඇදගෙන ඇවිල්ලා වගෙයි. එතකොට ඔහේ මට තර්ජනය කරන හැටි, අපහාස කරන හැටි එයාටත් බලං ඉන්න වෙනවනේ. ඔහේ හිතනවා ඇති මෙහෙම කරලා මගේ හිත වෙනස් කරන්න පුළුවන් කියලා. ඒත් ඔහේට වැරදිලා. ඉඩ දෙනවා ඔහේගේ නංගිට කතා කරන්න. එයා කියනවනං එයාට මාව අත් අරින්න වෙනවා කියලා මං එයා කියන දේට එකඟ වෙනවා."
 

"එහෙම කරන්න වෙන්නෙ මගේ තාත්තා වෙනුවෙන් ෆිලිප්," මැගී බැගෑපත්ව කීවාය. "අයියා කියනවා මං මේක නැවැත්තුවේ නැත්තං තාත්තට කියනවා කියලා - ඒක තාත්තට දරාගන්න බෑ. මං පොරොන්දු වුනා ඔයාව ආයෙත් හම්බවෙන්නෙ නෑ කියලා."
 

"ඒ ඇති මැගී. මං කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. ඒත් මට තේරෙනවා ඔයාට දැනෙන හැටි. ඔයාට කරදරයක් නොවී ඉන්න මං හැම උත්සාහයක්ම දරනවා කියලා පොරොන්දු වෙන්නං."
 

"අපොයි ඔව්," ටොම් උපහාසයෙන් කීවේය. "කරදරයක් නොවී ඉන්නං කියලා දැන් කියනවා; ඇයි ඒ ගැන කළින් හිතුවෙ නැත්තේ? මාව බොරු කතා වලින් රවට්ටන්න බෑ. මං බලන්නේ මිනිස්සු කරන දේවල් දිහා. මෙහෙ එනවා යන්න මැගී."
 

ඔහු කතා කරමින්ම මැගීගේ දකුණු අතින් අල්ලාගත් අතර ඇය සිය වමත ෆිලිප් වෙත දිගු කළාය. ෆිලිප් ආදරණීය දෑසින් බලා මොහොතකට එය අල්ලාගත් අතර ඊලඟ මොහොතේ ආපසු හැරී යන්නට ගියේය.
ටොම් සහ මැගී නිවස බලා ආවේ නිහඬවය. ඇය නිවසට ඇරලූ ටොම් ශාන්ත ඔග්ස් බලා ආපසු ගියේ ඞීන් මාමා සමග යොදාගෙන තිබූ කටයුත්තක් සම්පූර්ණ කිරීමටය. මැගී උඩුමහලේ සිය කාමරය වෙත ගොස් සිය සොයුරා නිසා හටගත් කෝපය කඳුළු ලෙසින් පිට කරමින් හඬා වැළපුනාය.


- මතු සම්බන්ධයි -




144. ෆ්ලොස් නදිය අසබඩ - 13 - බොබ් ජේකින්ස්ගෙන් යෝජනාවක්


ටොම් යනු ඔහු දැඩි සේ බලාපොරොත්තු තබාගත් කිසිවකින් හෝ අසමත් වීමට කැමැති වූවෙකු නොවීය. මේ වන විට ඔහුගේ අධිෂ්ඨානය ඔහුගේ ප‍්‍රතිරූපයත්, මානයත්, සිය පවුල වෙනුවෙන් වූ සන්තාපයත්, ඔහුගේ පරමාර්ථයත් සමග එකට කැටි වී ඔහුගේ ධෛර්යය වඩවමින් හා පසුබෑම් අවම කරමින් එකම බලවේගයක් ලෙසින් ක‍්‍රියාත්මක වෙමින් තිබුණි. ඔහුව සමීපව නිරීක්ෂණය කරමින් සිටි ඩීන් මාමා ඉක්මණින්ම ඔහු කෙරෙහි දැඩි බලාපොරොත්තු තබාගන්නට පෙලඹුණු අතර සිය ඥාති පුත‍්‍රයා කෙරෙහි මහත් ආඩම්බරයට පත් විය. දෙවන වසර ගත වන විටම ටොම්ගේ වේතනය වැඩි කෙරුණු නමුත් ඔහුගේ ආහාර හා ඇඳුම් වල වියදම හැර ඉතිරි සියල්ලම නිවසේ ඔහුගේ පියාගේ කාමරයේ වූ කැටයට දමනු ලැබුණි. තරුණයාගේ අධිෂ්ඨානය හා කැපවීම ටොම්ගේ අනෙක් මාමාවරුද අගය කළෝය. විශේෂයෙන්ම ග්ලෙග් මාමා ටොම්ට අවශ්‍ය  ඕනෑම විටෙකදී උදව් කිරීමට කැමති බව නිතර පැවසුවේය. එසේම අවසානයේදී ග්ලෙග් මාමාගේ හිතවත් බව සනාථ කරගැනීමට අවස්ථාවක් ටොම්ට උදා විය.

එක් සන්ධ්‍යාවක ටොම් ශාන්ත ඔග්ස් සිට නිවස බලා එන අතරේදී බොබ් ජේකින්ස් ඔහු එන තෙක් පාලම මතට වී බලා සිටියේය. තොරොම්බල් කරුවෙකු ලෙස කටයුතු කළ ඔහු ගමට පැමිණි විටෙක ටොම් හා මැගීව හමු නොවී ආපසු ගියේ කලාතුරකිනි. ටොම් පොඩි මහත්මයා ගනුදෙනුවකින් මුදල් සොයනා ආකාරයක් ගැන සිතා ඇත්දැයි ඔහු ටොම්ව දුටු මොහොතේ ඇසුවේය. ඒ කෙසේදැයි ටොම්ට දැනගැනීමට උවමනා විය. ඒ විදෙස් වරායක් වෙත බඩු තොග යැවීම මගිනි. බොබ් වෙනුවෙන් එවැන්නක් සලසා දුන් මිතුරෙකු සිටි අතර එම මිතුරා ටොම් මහත්මයා වෙනුවෙන්ද එය සිදු කරන්නට කැමති වනු ඇති බව බොබ් කීවේය. එහි ලාභය සියයට දහයට වඩා අඩු නොවනු ඇති බවට බොබ් සහතික විය.
 

එම අදහස එක් වරම ටොම්ගේ සිත් ගත්තේය. සෙමින් සෙමින් සිදු වන මුදල් වර්ධනය ඉක්මන් කරගැනීමේ මගක් පෑදීම ගැන සතුටට පත් ටොම් ලාභයෙන් සියයට පහක් ලබා දීමේ පොරොන්දුව පිට ග්ලෙග් මාමාගෙන් පවුම් විස්සක් ඉල්ලා සිටීමට සිතුවේය.
 

එම සුන්දර අගෝස්තු සන්ධ්‍යාවේ ග්ලෙග් මහතා සිය උද්‍යානයේ අසුන්ගෙන සිටියේය. ටොම් ඔහුට නොගැලපෙන අන්දමේ පිරිවරක් - බඩු මල්ලක් කරේ එල්ලාගත් මිනිසෙකු සහ විශාල පුල්ලි සහිත ටෙරියර් බල්ලෙකු - සමගින් ගේට්ටුවෙන් ඇතුළු වනු දුටු ඔහු පුදුමයෙන් එදෙස බලා සිටියේය.
 

"ඒයි, ඒයි! ඔය බල්ලාව නවත්තගනින්!" ඔහු කෝටුවක් අතට ගෙන තමා ඉදිරියෙන් ආරක්ෂාව පිණිස අල්ලාගෙන කෑ ගැසුවේය.
 

"පස්සට වෙයං මම්ප්ස්," බොබ් සුනඛයාව ඇමතුවේය. "එයා බැටළු පැටියෙක් වගේ අහිංසකයි සර්," ඔහු කී අතර මම්ප්ස් සිය හාම්පුතාගේ දෙපා පිටුපස සැඟවෙන අතරේ පහත් හඬින් ගොරවමින් එය සනාථ කළේය.
 

"මොකද්ද මේකේ තේරුම ටොම්?" ග්ලෙග් මහතා නොපහන් හඬින් ඇසුවේය.
 

"මං පොඩි වෙළඳාමක් ගැන මාමාත් එක්ක කතා කරන්න ආවේ," ටොම් ආචාරශීලීව කීවේය.
 

"එහෙමද? එතකොට මේ බල්ලා මොකටද?" ග්ලෙග් මහතා යළිත් උදහස් වෙමින් ඇසුවේය.
 

"ඒ මගේ බල්ලා සර්,"  ඕනෑම මොහොතක ඉදිරිපත් වීමට සූදානම් බොබ් කීවේය. "මමයි ටොම් පොඩි මහත්තයාට මේ කාරණාව ගැන කිව්වේ: පොඩි කාලේ ඉඳන්ම ටොම් මහත්තයා මගේ හොඳ යාළුවෙක්. ඉතිං මට වාසියක් පෑදුණොත් මං හැමතිස්සෙම කල්පනා කරන්නේ පොඩි මහත්තයත් එක්ක ඒක බෙදාගන්නේ කොහොමද කියලයි. ඉතිං දැං මේ බඩු රට යවලා සල්ලි ටිකක් හොයාගන්න පුළුවංකම තියෙද්දි - කෙළින්ම සීයට දහයක දොළහක ලාබෙ - ඒකට යොදවන්න සල්ලි නැතුව ඒක නැතුව ගියොත් අපරාදෙ. මට පුළුවන් ලෝෂැම් වලට ගිහිං මගේ බඩු ගන්න ගමන් ටොම් මහත්තයා වෙනුවෙනුත් බඩු අරගන්න. ඒවා ගෙනියන නැවේ වෙළෙන්දා මං හොඳට අඳුරනවා; හොඳ මිනිහෙක්, පදිංචිය මේ ටවුමෙමයි. මිනිහගෙ නම සෝල්ට් - හොඳ මොළකාරයා - සර්ට මාව විශ්වාස නැත්තං අපිට ගිහින් එයාවම හම්බවෙලා කතා කරන්න පුළුවන්."
 

මෙම දීර්ඝ කතාවට ග්ලෙග් මාමා සවන් දී සිටියේ අයාගත් මුවින් යුතුවය. ඔහු බොබ් දෙස පළමුව සිය උපැස් යුවළ මතින්ද, අනතුරුව ඒ තුළින්ද, යළිත් උපැස් යුවළ මතින්ද බැලූවේය. "ඔහේ යමක් කමක් දන්න හාදයෙක් පාටයි," අවසානයේදී ග්ලෙග් මහතා කීවේය. "එන්නකො. එහෙනං ටොම් ඔය ගැන තව ටිකක් කතා කරලා බලමු අපි. මට හිතෙන්නේ වැඩේ පටන්ගන්න ඔයාට සල්ලි ටිකක්  ඕන කරනවා, එහෙම නේද? ඒත් ඔයාගෙ සල්ලි වලට මොකද වුනේ? ඒ ඔක්කොම වියදං කළේ එහෙම නෑනේ, ඈ?"

"නෑ මාමේ," ටොම් රතු වෙමින් කීවේය. "මගේ තාත්තා හැම පැන්සයක්ම ඉතුරු කරනවා, ඒ නිසා තාත්තගෙන් ඉල්ලන්න මං කැමති නෑ. මට මේක පටන් ගන්න පවුම් විස්සක් හරි තිහක් හරි ගන්න පුළුවන්නං, මට ටිකෙන් ටික මගේම ඉතුරුවක් හදාගෙන ආයෙ ණය ගන්නෙ නැතුව වැඬේ කරගෙන යන්න පුළුවන්."
 

"හ්ම්... හ්ම්ම්," ග්ලෙග් මහතා අනුමත කරන ස්වරයකින් කීවේය. "ඒකත් නරක නෑ. ඒත් මං ඔය කියපු සෝල්ට්ව හම්බවෙන්න  ඕනේ. ඉන්න මං මගේ තොප්පිය අරං එනකල්. ඊට පස්සේ කෙළින්ම යමු."
 

ඇන්කර් අවන්හලේ දුම් වළාවන් අතරින් සෝල්ට්ව සොයාගත් පසු ග්ලෙග් මහතා ඔහුගෙන් කරුණු විමසා ගනුදෙනුව පිළිබඳව පැහැදුනු බැවින් ටොම්ට අත්තිකාරම් ලෙස පවුම් පණහක් ලබා දුන්නේය. එම පරිත්‍යාගශීලී ආරම්භය සිය පියාගෙන් රහසක්ව තබාගත් ටොම් පියාගේ ණය ඉක්මණින්ම ගෙවා දැමිය හැකි වනු ඇති බවට බලාපොරොත්තු තබාගත හැකි ඉතුරුමක් ගොඩනගන්නට පටන්ගත්තේය. මැගී ෆිලිප්ව මුල් වරට හමු වූ කාලය වන විට ටොම්ගේ ඉතුරුවේ පවුම් එකසිය පණහක පමණ මුදලක් විය; ඔවුන් සැඳෑ හිරු එළිය විඳිමින් රත් තැන්නේ ඇවිද යන අතරේ එම සැඳෑ හිරු එළියේම ටොම් තවත් බඩු තොගයක් ගැනීම සඳහා ලෝෂැම් බලා යමින් සිටියේය. තවත් මාසයක් ඇතුළත තම ලාභය දෙගුණ කරගත හැකි බවටත්, ඔහුගේ පියා පත්ව සිටින නින්දාවෙන් ගලවාගත හැකි වනු ඇති බවටත් ඔහුගේ සිතේ බලාපොරොත්තු දැල්වී තිබුණි.
 

එයින් පසු වසරකට ආසන්න කාලයක් ගෙවී ගිය අතර එළැඹුනු අපේ‍්‍රල් මස එක් සන්ධ්‍යාවක මැගී නැවතත් රත් තැන්නට පා තැබුවාය. හමා ආ වසන්ත සුළෙඟ් ශීතලක් වෙලී තිබූ අතර සිය සළුව වඩාත් හොඳින් පොරවාගත් ඇය ඉක්මන් ගමනින් ඇවිද ගියාය. ඇගේ දෑසේ නොඉවසිලිමත් විමසුම් බැල්මක් වූ අතර මුවග රැඳි මඳ සිනහවෙන් දිස් වූයේ ඇගේ වදන් අසන්නටම සැදී පැහැදී සිටින්නෙකු වෙනුවෙන් වදන් පෙළක් සූදානමින් ඇති බවය. අසන්නා වැඩි දුරක් යන්නට පෙරම ඇයට හමු විය.

"මෙන්න ගන්න ඔයාගේ කොරීන්," මැගී සිය සළුව තුළින් ගත් පොතක් දිගු කරමින් කීවාය. "මං එයාට කැමති වෙන එකක් නැහැ කියලා ඔයා කියපු එක හරියටම හරි!" ෆිලිප් ගෙවුණු වසර පුරාම වරින් වර මැගී හට කියවීමට පොත් ගෙනැවිත් දී තිබුණි.


ෆිලිප් හඬනගා සිනාසුණේය. "කොරීන්ට කැමති නැති එක ගැන ඔයා මා එක්ක එකඟයි එහෙනං?" ඔහු කීවේය.


"මං පොත ඉවර කළේ නෑ," මැගී කීවාය. "අර දුඹුරු කොණ්ඩෙ තියෙන කෙල්ල උයනේ ඉඳං කියවන්න පටන්ගත්ත තැනට ආපු ගමන් මං පොත වහලා දැම්මා. මට කළින්ම තේරුණා ඒ සුදු ගෑණු ළමයා කොරීන්ගේ හැම සතුටක්ම, ආදරයක්ම උදුරගන්න බව. දුඹුරු පාට කොණ්ඩේ තියෙන කෙල්ලන්ටම හැම සතුටක්ම ලැබෙන විදිහේ පොත් ආයෙ මං කියවන්නෙ නෑ කියලයි මං හිතාගෙන ඉන්නේ. මට  ඕනේ කතාන්දර වල ඉන්න දුකෙන් පිරිච්ච කළු කෙල්ලන්ගේ පැත්ත ගන්න."


"එහෙනං ඔයාට පුළුවන් ඔයාගෙම පැත්ත අරන් ඔයාගේ නෑනා ලුසීගෙන් සතුට උදුරගන්න. සෙන්ට් ඔග්ස් වල හොඳ හැඩකාරයෙක් මේ දවස්වල එයාගෙ පස්සෙන් වැටිලා මං හිතන්නේ."
 

"ෆිලිප්, ඒ කියපු දේනං හරිම නරකයි," මැගී සිත් තැවුලට පත් වූ ස්වරයෙන් කීවාය. "මේ පරණ ගවුං ඇඳං ඉන්න, සමාජ ආශ‍්‍රයත් අඩු මං හින්දා, හැම වෙලාවෙම හොඳ දේවල් කරන, ඒවා ගැන හොඳට දන්න, මට වඩා දහ ගුණයක් විතර ලස්සන අහිංසක ලුසීට එහෙම දෙයක් වෙන්නෙ කොහොමද?"

"මැගී," ෆිලිප් පුදුමයෙන් කීවේය, "ඔයා විහිළුවට කියන දේවල් ඇත්තට ගන්න කෙනෙක් නෙවෙයිනේ. මං ඒ විහිළුවක් කළේ."


"හ්ම්," මැගී මඳ සිනහවක් පෑවාය, "ඔයා ඒ කළේ විහිළුවක්නං, ඒක නරක විහිළුවක්. ඒත් මේ අහන්න. මං සුදු කෙල්ලන් ගැන තරහින් කතා කළේ මං කළු හින්දා නෙවෙයි. මං හැම වෙලාවෙම දුකෙන් ඉන්න අය ගැන වැඩියෙන් හිතන නිසා. සුදු ගෑණු ළමයටනං එතනදි අසාධාරණේ වුනේ මං ගන්නෙ එයාගෙ පැත්තයි. කතාන්දර වල මං හැම තිස්සෙම ගන්නේ තනි වෙච්ච ආදරවන්තයාගේ පැත්ත."
 

"එහෙනං ඔයා කවදාවත් ඔයාට ආදරේ කරන කෙනෙක්ව තනි කරන එකක් නෑ නේද?" ෆිලිප් මඳක් රතු වෙමින් ඇසුවේය.
 

"ඒක ඉතිං එයාගේ හැටියට තමයි," මැගී සිනාසෙමින් කීවාය. "එයා අදහස් වලින් කොහෙත්ම නොගැලපෙන කෙනෙක් වෙන්න පුළුවන් - නැත්තං උද්දච්ඡ කෙනෙක් වෙන්න පුළුවන්. මගෙ හිතේනං ආඩම්බරකාරයො ගැන කිසිම අනුකම්පාවක් නෑ."

"ඒත් එයා එහෙම කෙනෙක් නෙවෙයිනං - ආඩම්බර වෙන්න කිසිම දෙයක් නැති කෙනෙක් - පොඩි කාලේ ඉඳං මොකක් හරි දෙයක් නිසා දුක් විඳින කෙනෙක් - ඔයාට ආදරේ කරන, වන්දනා කරන, ඔයාව ඉඳහිට හරි හම්බවෙන්න තියෙනවනං ඒක තමන්ගේ ලොකුම සතුට කියලා හිතන..." තම හෙළිදරව්ව නිසා එම සතුට නැත්තටම නැති වී යතැයි එක්වරම ඇති වූ බිය නිසා ෆිලිප් නතර විය. මෙම සන්ධ්‍යාවේ මැගීගේ හැසිරීම වෙනදා මෙන්ම සාමාන්‍ය විය.
 

නමුත් ඇය තව දුරටත් සාමාන්‍ය අන්දමින් සිටියේ නැත. දැඩි ලෙස නිහඬව සිටි ඇය, ඇද වැටුණු ගසක් වෙත ඇවිද ගොස් ඒ මත හිඳගත්තාය. ඇය වෙව්ළමින් සිටිනු ෆිලිප් දුටුවේය.
 

"මැගී," ගතවන නිහඬ මොහොතක් පාසාම තව තවත් බියට පත් වෙමින් ඔහු කතා කළේය. "මං මහ මෝඩයෙක් ඒ වගේ දෙයක් කියන්න - මං ඒ කියපු දේවල් අමතක කරලා දාන්න. අපි මේ ඉන්න විදිහටම ඉමු, මට ඒ හොඳටම ඇති."
 

ඔහුගේ තැතිගැන්ම නිසා මැගී තමා යමක් පැවසිය යුතුයැයි සිතුවාය. "මට හරිම පුදුමයි ෆිලිප්," ඇය මිමිණුවාය. "මං එහෙම දෙයක් ගැන හිතලා තිබ්බේ නෑ." එය පැවසීමට දරන්නට වූ ආයාසය නිසා මැගීගේ දෑසට කඳුළු උනා ආවේය.
 

"ඒකෙන් ඔයාට මාව එපා වුනාද මැගී?" ෆිලිප් විමසිලිමත්ව ඇසුවේය.
 

"අයියෝ ෆිලිප්!" ඇය කීවාය. "ඔයා කොහොමද එහෙම දෙයක් හිතන්නේ?  ඕනෙම ආදරේකට මං හරිම කැමතියි. ඒත් - ඒත් මං ඔයා ගැන ඒ විදිහට හිතං හිටියේ නෑ."
 

"එහෙනං දැං ඔයාට එහෙම හිතන්න පුළුවන්ද මැගී? මාව ඔයාගේ ආදරවන්තයා විදිහට පිළිගන්න පුළුවන්ද?" ෆිලිප් ඈ අසළින් හිඳගෙන ඇගේ අතින් අල්ලාගනිමින් ඇසුවේය. "ඔයා මට ආදරෙයිද?"
 

මැගී තව තවත් සුදුමැලි වූවාය. මෙම ඍජු පැනයට පිළිතුරු දීම එතරම් පහසු නැත. නමුත් අවසානයේදී ඇය පැකිලෙමින් කතා කළාය. "ඊට වඩා මට වෙන කාටවත් ආදරේ කරන්න බැරිවෙයි." මඳක් නතර වූ ඇය යළිත් කතා කළාය. "ඒත් අපි තවත් ඒ ගැන කතා නොකර ඉමු ෆිලිප්. ඔයා දන්නවනේ අපේ යාළුකම ගැන දැනගතොත් අපිට යාළුවො වෙලාවත් ඉන්න බැරි බව."
 

ෆිලිප් නැවත නැගී සිට නොඉවසිල්ලෙන් ඒ මේ අත ඇවිදින්නට පටන්ගත්තේය. "ඉස්සර දේවල් ගැන දැන් හිතන්න එපා මැගී; අපේ ආදරේ ගැන විතරක් හිතන්න," ඔහු කීවේය. "ඔයා ඇත්තටම මට ආදරෙයිනං හැම බාධාවක්ම කාලයත් එක්ක අයින් වෙලා යයි. අපිට ඉවසන්න විතරයි තියෙන්නේ." ඔහු යළිත් ඈ අසළින් හිඳගෙන සිය දෑත් ඇගේ උරහිස් මතින් තැබුවේය. "මේ බලන්න මැගී. ආයෙත් කියන්න ඔයා මට ආදරෙයි කියලා." ඇය සිය විසල් කළුවන් දෑසින් ඔහු දෙස බලා දුක්බර සිනහවක් පෑවාය. "ඔයා සතුටින් නෙවෙයි ඉන්නේ," ඔහු කීවේය. "ඔයා ඔයාට බල කරනවා ඒක කියන්න, අනුකම්පාව නිසා."
 

"නෑ ෆිලිප්," මැගී හිස දෙපසට වනමින් කීවාය. "මං ඇත්තමයි කියන්නේ. මේ හැම දේම මට අළුත්, නුහුරුයි; ඒත් මං හිතන්නෙ නෑ මං ඔයාට ආදරේ කරනවාට වඩා වෙන කිසිම කෙනෙකුට ආදරේ කරන්න මට පුළුවන් වෙයි කියලා. මං ඔයත් එක්ක ජීවිතේ ගත කරන්න කැමති වෙයි - ඔයාව සතුටින් තියන්න. ඒත් මං ඔයා වෙනුවෙන්වත් නොකරන එක දෙයක් තියෙනවා. මං කවදාවත් මගේ තාත්තගේ හිත රිද්දන්නෙ නෑ. මගෙන් ඉල්ලන්න එපා එහෙම කරන්න කියලා."
 

"මං මුකුත් ඉල්ලන්නෙ නෑ - මං හැමදෙයක්ම දරාගන්නං - එක හාදුවක් වෙනුවෙන් මං අවුරුද්දක් වුනත් බලං ඉන්නං," ෆිලිප් කීවේය.
 

"නෑ," මැගී මඳ සිනාවක් පාමින් කීවාය. "ඒකට ඔයාට එච්චර කල් බලං ඉන්න වෙන්නෙ නෑ." අනතුරුව ඇය නිහඬ මෘදු හාදුවක් ඔහුට පිරිනැමුවාය. "ෆිලිප්, මං හිතන්නේ මට කවදාවත් ඔයත් එක්ක ඉඳලා එපා වෙන එකක් නෑ."
 

ඔවුහු දෑත් වෙලාගෙන එකිනෙකා දෙස බලමින් ආපසු ගමන් ඇරඹූහ. ඔවුනට වෙන්ව යාමේ මොහොත උදා වූ විට කඳුළින් දිලිසෙන දෑසින් ඔහු දෙස බලා යළිත් මඳ සිනහවක් පෑ මැගී නැවත වරක් එම සුදුමැලි මුහුණ සිපගත්තාය. ඇගේ සිතේ එම මොහොතේ වූයේ සැබෑ සතුටකි - මෙම ආදරය තුළ යම්කිසි පරිත්‍යාගයක් ඇත්නම් එමගින් එය වඩා පොහොසත් හා සංතෘප්ත වූ බවට විශ්වාසයක් ඇගේ සිතේ එම මොහොතේ ගොඩනැගුණි. ආපසු හැරුණු ඇය ඉක්මන් ගමනින් නිවස බලා පිටත් වූ අතර, එම මාවතේම ඉන් හෝරවකට පෙර ගමන් ගනිද්දී තිබුණාට වඩා අළුත් ජීවිතයක් තමා ඉදිරියේ දිගහැරී ඇති බව ඇයට හැඟුණි.

- මතු සම්බන්ධයි -