145. ෆ්ලොස් නදිය අසබඩ - 14 - හසුවීම

දින කිහිපයකට පසු එක් සන්ධ්‍යාවක ටොම් බොබ් ජේකින්ස් සමග කතා කරමින් රේගු තොටුපොළේ සිටගෙන සිටියේය.

"අන්න," බොබ් ඔවුන්ගේ සංවාදයට බාධා කරමින් ගංගාවෙන් අනෙක් පස වූ තිරිඟු යායට ඔබ්බෙන් දෙනෙත් යොමු කරමින් එක්වරම කීවේය. "අන්න යනවා වැකම් කුදා. මං නිතරම දකිනවා මිනිහා ඔය පැත්තේ යනවා."
 

ටොම්ගේ මනස තුළින් ක්ෂණික සිතුවිල්ලක් ඇදී ගියේය. පසුගිය ඉරුදින පල්ලිය මිදුලේදී වූ සිදුවීමක් ඔහුට සිහිපත් විය. ඔහුගේ මව සමග කතාබස් කරමින් සිටි පුලට් නැන්දා මෙවැන්නක් පැවසුවාය, "අර ඉන්නේ වැකම්ගේ අබ්බගාත පුතා. මදැයි! කොච්චර දේපලකට උරුම කියන කෙනෙක්ද; කට්ටිය කියනවා එයා හරි තනිවෙච්ච ගුප්ත කෙනෙක්ලූ - කොච්චරවත් රත් තැන්නේ ඇවිදින්න යනවලූ."
 

මෙම කියමනත්, එය වඩා තහවුරු කරමින් තමා ඔහු එහි යනු දෙවතාවක්ම දුටු බවට පුලට් නැන්දා පැවසූ කරුණත් මැගී තුළ අසාමාන්‍ය පෙරළියක් ඇති කිරීමට සමත් විය. ඉතා තදින් රතු වූ ඇය අපහසුවට පත් වූ අයුරින් බිම බලාගත්තාය. ටොම් ඈ දෙස බලා සිටි අතර හිස එසවූ ඇගේ දෑස් ඔහුගේ දෑස් හා ගැටිණ; නමුත් ඇය ඉක්මණින්ම හිස ඉවතට හැරවූවාය; පසු වතාවකදී වැසි දිනයන්හිදී රත් තැන්නේ ඇවිද රතු පසින් වැසී ගිය පාවහන් ඇතිව නිවසට පැමිණීම පිළිබඳව මව මැගීට දොස් කියනු ඔහුට ඇසුණි. කිසිදු තැනැත්තියක ආබාධිතයෙකුට ආදරය කරනු ඇතැයි ටොම්ට සිතිය නොහැකි විය; නමුත් මැගී ෆිලිප් සමග කුමන ආකාරයේ හෝ මිතුදමක් පවත්වාගෙන යනවානම් එය වහා නැවැත්විය යුතුය.
 

එබැවින් ඔහු බොබ් ජේකින්ස් වෙත හැරුණි. "මට දැන් යන්න වෙනවා බොබ්, ගෙදර පොඩි වැඩක් තියෙනවා."
 

බඩු ගබඩාව වෙත ඉක්මණින් ගිය ඔහු රේගුවේ කටයුතු සඳහා තමා වෙනුවට වෙනෙකෙකු යොදවා හදිසි කටයුත්තක් ඇති බව පවසා පිටව ගියේය.
 

හැකි ඉක්මණින් නිවස වෙත ලඟා වූ ඔහු ගේට්ටුව විවෘත කරන විටම මැගී සිය හිස්වැස්ම හා සාළුවද පැලඳගෙන ඉදිරි දොරටුවෙන් පිටතට ආවාය. ඔහුගේ අනුමානය නිවැරදි විය! ඔහු ඇය එන තෙක් ගේට්ටුව අසළට වී බලා සිටි අතර ඔහුව දුටු විගස ඇය මහත් තැතිගැන්මට පත් වූවාය.
 

"අයියේ, අද මොකද මේ තරං කළින්? මුකුත් කරදරයක්වත්ද?" ඇය පහත් හඬින් වෙව්ලන ස්වරයකින් ඇසුවාය.
 

"මං ආවේ ඔයත් එක්ක රත් තැන්නට ගිහින් ෆිලිප් වැකම්ව හම්බවෙන්න," ටොම් රෞද්‍ර ලෙස ඔරවාගත් බැල්මෙන් යුතුව කීවේය.
 

සුදුමැලිව දරදඬුව ගිය මැගී අසරණව බලා සිටියාය. ඇගේ සොයුරා කෙසේ හෝ සියල්ල දැනගෙන ඇත. "මං කොහෙවත් යන්නෙ නෑ," අවසානයේදී එසේ කී ඇය ආපසු නිවස වෙත හැරුණාය.
 

"මොකද නැත්තේ, ඔයා දැං යන්නම  ඕනේ," ඇගේ සොයුරා කීවේය. "ඒත් ඊට කළින් මට මෙන්න මේ ටික දැනගන්න  ඕනේ. කරුණාකරලා මේ මොහොතෙදිම මට කියන්න ඔයයි ෆිලිප් වැකමුයි අතර වෙච්ච හැම දෙයක්ම."
 

"තාත්තා මේ ගැන මොකවත් දන්නවද?" මැගී වෙව්ලමින් ඇසුවාය.
 

"තාම නෑ," ටොම් කීවේය. "ඒත් ඔයා මට තවත් බොරු කරන්න හැදුවොත් තාත්තත් මේවා දැනගනියි."
 

"මට  ඕනෙ නෑ කාටවත් බොරු කරන්න," මැගී කෝපයෙන් රතු වෙමින් කීවාය. "තාත්තා වෙනුවෙන් මං හැම දෙයක්ම කියන්නං."
 

"තාත්තා අකමැති දේවල් කර කර තාත්තා ගැන දිවුරන හැටිනං හරි අපූරුයි," ටොම් කීවේය.
 

"ඔයා ඉතිං වැරදි කරන්නෙම නෑනේ නේද?" මැගී කෝපය මුසු උපහාසයෙන් කීවාය.
 

"මට නොකර ඉන්න පුළුවන් දෙයක්නං මං කරන්නෙ නෑ තමයි," ටොම් උඩඟු විශ්වාසයකින් පිළිතුරු දුන්නේය. "දැං ඉතින්, කියන්න මට ඇත්ත. ඔයා මුළින්ම කවදද ෆිලිප් වැකම්ව රත් තැන්නෙදි හම්බවුනේ?"
 

"අවුරුද්දකට කළින්," මැගී සෙමින් පැවසුවාය. "අපි අවුරුද්දක් තිස්සෙ හම්බවුනා. අපි එකට ඇවිද්දා. එයා මට පොත් ගෙනත් දුන්නා."
 

"එච්චරද?" ටොම් ඇසුවේය.
 

මොහොතකට නිහඬ වූ මැගී අනතුරුව උඩඟු ස්වරයකින් කතා කළාය, "නෑ, එච්චර විතරක් නෙවෙයි. ගිය සෙනසුරාදා එයා කිව්වා මට ආදරෙයි කියලා. මං එහෙම දෙයක් ගැන හිතලා තිබ්බේ නෑ කළින් - මං එයා ගැන හිතුවේ පරණ යාළුවෙක් විදිහට විතරයි."
 

"ඉතිං ඔයා එයාට අනුබල දුන්නා?" ටොම් පිළිකුල් බැල්මක් හෙලමින් ඇසුවේය.
 

"මං කිව්වා මමත් එයාට ආදරෙයි කියලා."
 

ටොම් සිය දෑත් කලිසම් සාක්කු තුළ රුවාගෙන ඔරවාගත් දෙනෙත් බිමට යොමාගෙන මොහොතක් නිහඬව සිටියේය. අවසානයේදී හිස ඔසවා රළු හඬින් කතා කළේය, "හරි එහෙනං මැගී, ඔයාට මේ දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්: එක්කෝ ඔයා මට පොරොන්දු වෙන්න  ඕනේ ආයෙ කවදාවත් ෆිලිප් වැකම්ව හම්බවෙන්නෙවත් කතා කරන්නෙවත් නෑ කියලා, නැත්තං මං හැමදේම තාත්තට කියනවා. ඔයා කැමති මොකටද?"
 

මැගීට එයින් එකක්වත් තෝරා ගැනීමට නොහැකිය.
 

"අයියේ," ඇය ඇයැද සිටියාය. "මට ඔහොම කරන්න එපා. මං ෆිලිප්ව අත අරින්න පොරොන්දු වෙන්නං. එයාට මේ දේවල් පැහැදිලි කරලා දෙන්න ඔයා මට තව එක පාරක් එයාව හම්බවෙන්න ඉඩ දෙනවනං විතරක්. මං එයත් එක්ක යාළු වෙලා ඉන්න එක මගේ තාත්තට වේදනාවක් නිසා මං එයාව අත් අරින්නං... ඒත් මගේ හිතෙත් එයාට කැමැත්තක් තියෙනවා. එයා සතුටින් නෙවෙයි ඉන්නේ." ඇය ආයාචනාත්මක ලෙසින් සිය දෑත් එක් කළාය. "මං තව එක සැරයක් එයාව හම්බවෙන්න  ඕනෙමයි. එයාට පැහැදිලි කරලා නොදී ඈත් වෙන එක මහ නපුරුකමක්."
 

"ඔයා දැං මාත් එක්කම ගිහින් එයාට කතා කරන්න එහෙනං," ටොම් පැවසූ අතර ඔවුහු දෙදෙනා මගට පිවිසුණෝය.
 

ඇවිද යන අතරේ ඔවුන් දෙදෙනා අතර වදනක් හෝ හුවමාරු වූයේ නැත. මැගීගේ එකම බලාපොරොත්තුව වූයේ කුමන හෝ හේතුවක් නිසා ෆිලිප් එදින පැමිණ නොසිටීවා යන්නයි. එයින් සිදුවීම පමාවනු ඇති අතර ඇයට මේ සියල්ල පැහැදිලි කොට ෆිලිප්ට ලිපියක් ලියන්නට සොයුරාගෙන් අවසර ලබාගත හැකි වනු ඇත. ලඳු කැලෑවට ආසන්න වත්ම ඇගේ හද ගැස්ම වැඩි වූයේ ෆිලිප් නිතරම ඇයව හමු වූයේ එය පසු වූ විගස බැවිනි. ඔහු එහි සිටියේය. ටොම් හා ඔහු එකිනෙකා අතර යාරයක දුරක් තිබියදී නතර වූහ. මොහොතක නිහැඬියාවක් පැවති අතර ෆිලිප් මැගී වෙත විමසුම් බැල්මක් හෙලූවේය. ඇගේ සුදුමැලි මුහුණත්, විසල් දෑසේ වූ බියපත් බවත් ඔහුට පිළිතුරු සැපයුවේය.
 

"මේක පිරිමියෙකුගේ , මහත්මයෙකුගේ වැඩක් කියලා ඔහේ හිතනවද?" ටොම් අවඥාව පිරි රළු හඬකින් ඇසුවේය.
 

"තමුන් මොනවා ගැනද ඔය කතා කරන්නේ?" ෆිලිප් උඩඟු ස්වරයෙන් ඇසුවේය.
 

"කතා කරන්නේ? මේ අහගන්නවා! ඔහේ තනි වෙච්ච කෙල්ලෙක්ගේ අහිංසක කමෙන් අයුතු ප‍්‍රයෝජන ගන්න හදනවා. අන්න ඒක ගැනයි මං කතා කරන්නේ," ටොම් කෝපයෙන් කෑ ගැසුවේය.
 

"ඒ කතාව වැරදියි," ෆිලිප්ද ඒ හා සමාන කෝපයකින් කීවේය. "ඔහේගේ නංගිගෙන් මං කොහොමටවත් අයුතු ප‍්‍රයෝජනයක් ගන්නෙ නෑ. ඔහේ එයාට ආදරේ කරනවට වඩා මං එයාට ආදරෙයි. මගෙ ජීවිතේ වුනත් මං දෙනවා එයා වෙනුවෙන්."
 

"ඔය විකාර මට කියන්න එන්න එපා. සතියක් ගානේ මෙහෙම ඇවිත් හම්බවෙන එක එයාගෙ ගෞරවයට හානියක් කියලා දැනං හිටියේ නෑ කියලද ඔහේ කියන්නේ? එයාගේ තාත්තවත් ඔහේගේ තාත්තවත් කසාදෙකට ඉඩ තියන්නෙ නෑ කියලා දැන දැනම එයත් එක්ක ආදරේ ගැන කතා කරන්න ඔහේට අයිතියක් තියෙනවා කියලද කියන්නේ? අනික ඔහේ - ඔහේ ලස්සන කෙල්ලෙක්ගේ හිත ගන්න ලෑස්ති වෙන්නේ! ඔහේ වගේ අබ්බගාතයෙක් ආදරවන්තයෙක් වෙන එක ගැන හිනාවෙන්නෙ නැති කෙල්ලෙක්ගේ?"
 

"අයියේ  ඕක නවත්තගන්න. මට තවත් අහං ඉන්න බෑ," මැගී සිර වූ හඬින් පවසමින් හඬා වැටුණාය.
 

"ඉන්න මැගී," ෆිලිප් කතා කරන්නට දැඩි උත්සාහයක් දරමින් කීවේය. අනතුරුව ඔහු ටොම් දෙස බැලූවේය. "මට පේන්නේ ඔහේ නංගිව බලෙන්ම මෙතනට ඇදගෙන ඇවිල්ලා වගෙයි. එතකොට ඔහේ මට තර්ජනය කරන හැටි, අපහාස කරන හැටි එයාටත් බලං ඉන්න වෙනවනේ. ඔහේ හිතනවා ඇති මෙහෙම කරලා මගේ හිත වෙනස් කරන්න පුළුවන් කියලා. ඒත් ඔහේට වැරදිලා. ඉඩ දෙනවා ඔහේගේ නංගිට කතා කරන්න. එයා කියනවනං එයාට මාව අත් අරින්න වෙනවා කියලා මං එයා කියන දේට එකඟ වෙනවා."
 

"එහෙම කරන්න වෙන්නෙ මගේ තාත්තා වෙනුවෙන් ෆිලිප්," මැගී බැගෑපත්ව කීවාය. "අයියා කියනවා මං මේක නැවැත්තුවේ නැත්තං තාත්තට කියනවා කියලා - ඒක තාත්තට දරාගන්න බෑ. මං පොරොන්දු වුනා ඔයාව ආයෙත් හම්බවෙන්නෙ නෑ කියලා."
 

"ඒ ඇති මැගී. මං කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. ඒත් මට තේරෙනවා ඔයාට දැනෙන හැටි. ඔයාට කරදරයක් නොවී ඉන්න මං හැම උත්සාහයක්ම දරනවා කියලා පොරොන්දු වෙන්නං."
 

"අපොයි ඔව්," ටොම් උපහාසයෙන් කීවේය. "කරදරයක් නොවී ඉන්නං කියලා දැන් කියනවා; ඇයි ඒ ගැන කළින් හිතුවෙ නැත්තේ? මාව බොරු කතා වලින් රවට්ටන්න බෑ. මං බලන්නේ මිනිස්සු කරන දේවල් දිහා. මෙහෙ එනවා යන්න මැගී."
 

ඔහු කතා කරමින්ම මැගීගේ දකුණු අතින් අල්ලාගත් අතර ඇය සිය වමත ෆිලිප් වෙත දිගු කළාය. ෆිලිප් ආදරණීය දෑසින් බලා මොහොතකට එය අල්ලාගත් අතර ඊලඟ මොහොතේ ආපසු හැරී යන්නට ගියේය.
ටොම් සහ මැගී නිවස බලා ආවේ නිහඬවය. ඇය නිවසට ඇරලූ ටොම් ශාන්ත ඔග්ස් බලා ආපසු ගියේ ඞීන් මාමා සමග යොදාගෙන තිබූ කටයුත්තක් සම්පූර්ණ කිරීමටය. මැගී උඩුමහලේ සිය කාමරය වෙත ගොස් සිය සොයුරා නිසා හටගත් කෝපය කඳුළු ලෙසින් පිට කරමින් හඬා වැළපුනාය.


- මතු සම්බන්ධයි -




10 comments:

  1. බලන් යනකොට අයියලා කියන ජාතිය කොහෙත් එකයිනෙ

    ReplyDelete
    Replies
    1. අනෙ අපෙ අයියනං එහෙම නෑ. :D

      හැබැයි මං මේ ටොම්ගේ පර්සනැලිටි එකට හරි කැමතියි. එලියට් නෝනා ඒ චරිතය ලස්සනට විස්තර කරලා නැති එක ගැන මට හරි හිතට අමාරුයි. ඒත් සමහරවිට ලොකු පොතේ එයා ගැන හොඳට තියනවද දන්නෙ නෑ. ඒක ඉතින් කියවලාම තමයි බලන්න ඕනෙ.

      Delete
  2. ටොම් පිලිප්ට කතා කරපු විදිහ හරි නැ.. ඒකෙන් වෙන්නේ ඒ දෙන්නාගේ හිත් තවත් බැඳෙන එකයි..
    අපූරුයි..
    මේක ශෝකාන්තයක් නොව්නොත් හොඳයි..

    ReplyDelete
    Replies
    1. සමහර කතන්දර තියනවා නංගි ශෝකාන්තයක් වුනත්, පොත කියවපු කෙනාගේ හිතට පීඩනයක් එකතු නොකර 'අපරාදෙ ඒක එහෙම වුනේ' කියලා හිත හිත ඉන්න ඉතුරු නොකර ඉවර වෙන කතන්දර. ඒක අපි බලාපොරොත්තු වුන සුඛාන්තය නොවුනත් හිතට දුකක් දැනෙන්නෙ නෑ. අර මම පරිවර්තනය කරපු පොත 'A Walk to Remember' අන්න එහෙම එකක්. ඒ වගේ කතන්දර වලට මම හරි ආදරෙයි.

      Delete
    2. //ශෝකාන්තයක් වුනත්, පොත කියවපු කෙනාගේ හිතට පීඩනයක් එකතු නොකර 'අපරාදෙ ඒක එහෙම වුනේ' කියලා හිත හිත ඉන්න ඉතුරු නොකර ඉවර වෙන කතන්දර. ඒක අපි බලාපොරොත්තු වුන සුඛාන්තය නොවුනත් හිතට දුකක් දැනෙන්නෙ නෑ.//
      අන්න එහෙම කතා වලට අපිත් ආසයි.මොකද ගොඩක් වේලාවට ඕනෑම නිර්මාණයක් අපි රස විඳින්නේ ඒ නිර්මාණය තුලින් අමතර පීඩනයක් ගන්න නොවේනේ.ඒ නිසා කතාවක අවසානය යාථාර්තය එකම නොවුනත් සුඛාන්තයකින් අවසාන වෙනවා නම්.අඩුම වශයෙන් හිතට දුකක් නොදැනෙන අවසානයක් කරා ගෙන්න පුළුවන් නම් හොඳයි කියලා මටත් හිතෙනවා.

      "සුඛාන්තයේ කෙටි කතා රැජිණිය"තමයි ඔය උඩින් කමෙන්ට් කරලා තියෙන්නේ.මම කියන්නේ බොරු නම් ඔය "සඳ වියමනේ" කෙටි කතා කිහිපය කියවලා බලන්නකෝ. ඒ කෙටි කතා වලට මම ගොඩක් කැමති වෙන්න එක හේතුවක් හිතා ගන්න බැරි ඒ ලස්සන අවසානයන් නිසා.

      Delete
    3. අන්න හරි. හිතට නැති පීඩනයක් එකතු කරන පොත් කියවන්න, කතන්දර, චිත්‍රපටි බලන්න මමත් කැමතිම නෑ.

      සඳ වියමන්ගේ කතා ගැන ඔයා කියපු දේ හරියටම හරි. මමත් දැකපු ලස්සනම කෙටිකතා ලියන කෙනෙක් ඒ. මෙන්න සඳු මේ මලයා ඔයාට බොහොම ලස්සන නම්බු නාමයක් පිරිනමලා! :D

      Delete
  3. ඇරඹුමම කඳුලක් වෙලා :O

    ReplyDelete
  4. "ආදරයට කොහේදෝ බාධා නැත්තේ"

    මේ කියමන ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා ලියපු ,ශ්‍රීමතී තිලකරත්නමහත්මිය ගයන ගීයක එක පදයක්.

    ReplyDelete