ටොම් යනු ඔහු දැඩි සේ බලාපොරොත්තු තබාගත් කිසිවකින් හෝ අසමත් වීමට කැමැති වූවෙකු නොවීය. මේ වන විට ඔහුගේ අධිෂ්ඨානය ඔහුගේ ප‍්‍රතිරූපයත්, මානයත්, සිය පවුල වෙනුවෙන් වූ සන්තාපයත්, ඔහුගේ පරමාර්ථයත් සමග එකට කැටි වී ඔහුගේ ධෛර්යය වඩවමින් හා පසුබෑම් අවම කරමින් එකම බලවේගයක් ලෙසින් ක‍්‍රියාත්මක වෙමින් තිබුණි. ඔහුව සමීපව නිරීක්ෂණය කරමින් සිටි ඩීන් මාමා ඉක්මණින්ම ඔහු කෙරෙහි දැඩි බලාපොරොත්තු තබාගන්නට පෙලඹුණු අතර සිය ඥාති පුත‍්‍රයා කෙරෙහි මහත් ආඩම්බරයට පත් විය. දෙවන වසර ගත වන විටම ටොම්ගේ වේතනය වැඩි කෙරුණු නමුත් ඔහුගේ ආහාර හා ඇඳුම් වල වියදම හැර ඉතිරි සියල්ලම නිවසේ ඔහුගේ පියාගේ කාමරයේ වූ කැටයට දමනු ලැබුණි. තරුණයාගේ අධිෂ්ඨානය හා කැපවීම ටොම්ගේ අනෙක් මාමාවරුද අගය කළෝය. විශේෂයෙන්ම ග්ලෙග් මාමා ටොම්ට අවශ්‍ය ඕනෑම විටෙකදී උදව් කිරීමට කැමති බව නිතර පැවසුවේය. එසේම අවසානයේදී ග්ලෙග් මාමාගේ හිතවත් බව සනාථ කරගැනීමට අවස්ථාවක් ටොම්ට උදා විය.
එක් සන්ධ්‍යාවක ටොම් ශාන්ත ඔග්ස් සිට නිවස බලා එන අතරේදී බොබ් ජේකින්ස් ඔහු එන තෙක් පාලම මතට වී බලා සිටියේය. තොරොම්බල් කරුවෙකු ලෙස කටයුතු කළ ඔහු ගමට පැමිණි විටෙක ටොම් හා මැගීව හමු නොවී ආපසු ගියේ කලාතුරකිනි. ටොම් පොඩි මහත්මයා ගනුදෙනුවකින් මුදල් සොයනා ආකාරයක් ගැන සිතා ඇත්දැයි ඔහු ටොම්ව දුටු මොහොතේ ඇසුවේය. ඒ කෙසේදැයි ටොම්ට දැනගැනීමට උවමනා විය. ඒ විදෙස් වරායක් වෙත බඩු තොග යැවීම මගිනි. බොබ් වෙනුවෙන් එවැන්නක් සලසා දුන් මිතුරෙකු සිටි අතර එම මිතුරා ටොම් මහත්මයා වෙනුවෙන්ද එය සිදු කරන්නට කැමති වනු ඇති බව බොබ් කීවේය. එහි ලාභය සියයට දහයට වඩා අඩු නොවනු ඇති බවට බොබ් සහතික විය.
එම අදහස එක් වරම ටොම්ගේ සිත් ගත්තේය. සෙමින් සෙමින් සිදු වන මුදල් වර්ධනය ඉක්මන් කරගැනීමේ මගක් පෑදීම ගැන සතුටට පත් ටොම් ලාභයෙන් සියයට පහක් ලබා දීමේ පොරොන්දුව පිට ග්ලෙග් මාමාගෙන් පවුම් විස්සක් ඉල්ලා සිටීමට සිතුවේය.
එම සුන්දර අගෝස්තු සන්ධ්‍යාවේ ග්ලෙග් මහතා සිය උද්‍යානයේ අසුන්ගෙන සිටියේය. ටොම් ඔහුට නොගැලපෙන අන්දමේ පිරිවරක් - බඩු මල්ලක් කරේ එල්ලාගත් මිනිසෙකු සහ විශාල පුල්ලි සහිත ටෙරියර් බල්ලෙකු - සමගින් ගේට්ටුවෙන් ඇතුළු වනු දුටු ඔහු පුදුමයෙන් එදෙස බලා සිටියේය.
"ඒයි, ඒයි! ඔය බල්ලාව නවත්තගනින්!" ඔහු කෝටුවක් අතට ගෙන තමා ඉදිරියෙන් ආරක්ෂාව පිණිස අල්ලාගෙන කෑ ගැසුවේය.
"පස්සට වෙයං මම්ප්ස්," බොබ් සුනඛයාව ඇමතුවේය. "එයා බැටළු පැටියෙක් වගේ අහිංසකයි සර්," ඔහු කී අතර මම්ප්ස් සිය හාම්පුතාගේ දෙපා පිටුපස සැඟවෙන අතරේ පහත් හඬින් ගොරවමින් එය සනාථ කළේය.
"මොකද්ද මේකේ තේරුම ටොම්?" ග්ලෙග් මහතා නොපහන් හඬින් ඇසුවේය.
"මං පොඩි වෙළඳාමක් ගැන මාමාත් එක්ක කතා කරන්න ආවේ," ටොම් ආචාරශීලීව කීවේය.
"එහෙමද? එතකොට මේ බල්ලා මොකටද?" ග්ලෙග් මහතා යළිත් උදහස් වෙමින් ඇසුවේය.
"ඒ මගේ බල්ලා සර්," ඕනෑම මොහොතක ඉදිරිපත් වීමට සූදානම් බොබ් කීවේය. "මමයි ටොම් පොඩි මහත්තයාට මේ කාරණාව ගැන කිව්වේ: පොඩි කාලේ ඉඳන්ම ටොම් මහත්තයා මගේ හොඳ යාළුවෙක්. ඉතිං මට වාසියක් පෑදුණොත් මං හැමතිස්සෙම කල්පනා කරන්නේ පොඩි මහත්තයත් එක්ක ඒක බෙදාගන්නේ කොහොමද කියලයි. ඉතිං දැං මේ බඩු රට යවලා සල්ලි ටිකක් හොයාගන්න පුළුවංකම තියෙද්දි - කෙළින්ම සීයට දහයක දොළහක ලාබෙ - ඒකට යොදවන්න සල්ලි නැතුව ඒක නැතුව ගියොත් අපරාදෙ. මට පුළුවන් ලෝෂැම් වලට ගිහිං මගේ බඩු ගන්න ගමන් ටොම් මහත්තයා වෙනුවෙනුත් බඩු අරගන්න. ඒවා ගෙනියන නැවේ වෙළෙන්දා මං හොඳට අඳුරනවා; හොඳ මිනිහෙක්, පදිංචිය මේ ටවුමෙමයි. මිනිහගෙ නම සෝල්ට් - හොඳ මොළකාරයා - සර්ට මාව විශ්වාස නැත්තං අපිට ගිහින් එයාවම හම්බවෙලා කතා කරන්න පුළුවන්."
මෙම දීර්ඝ කතාවට ග්ලෙග් මාමා සවන් දී සිටියේ අයාගත් මුවින් යුතුවය. ඔහු බොබ් දෙස පළමුව සිය උපැස් යුවළ මතින්ද, අනතුරුව ඒ තුළින්ද, යළිත් උපැස් යුවළ මතින්ද බැලූවේය. "ඔහේ යමක් කමක් දන්න හාදයෙක් පාටයි," අවසානයේදී ග්ලෙග් මහතා කීවේය. "එන්නකො. එහෙනං ටොම් ඔය ගැන තව ටිකක් කතා කරලා බලමු අපි. මට හිතෙන්නේ වැඩේ පටන්ගන්න ඔයාට සල්ලි ටිකක් ඕන කරනවා, එහෙම නේද? ඒත් ඔයාගෙ සල්ලි වලට මොකද වුනේ? ඒ ඔක්කොම වියදං කළේ එහෙම නෑනේ, ඈ?"
"නෑ මාමේ," ටොම් රතු වෙමින් කීවේය. "මගේ තාත්තා හැම පැන්සයක්ම ඉතුරු කරනවා, ඒ නිසා තාත්තගෙන් ඉල්ලන්න මං කැමති නෑ. මට මේක පටන් ගන්න පවුම් විස්සක් හරි තිහක් හරි ගන්න පුළුවන්නං, මට ටිකෙන් ටික මගේම ඉතුරුවක් හදාගෙන ආයෙ ණය ගන්නෙ නැතුව වැඬේ කරගෙන යන්න පුළුවන්."
"හ්ම්... හ්ම්ම්," ග්ලෙග් මහතා අනුමත කරන ස්වරයකින් කීවේය. "ඒකත් නරක නෑ. ඒත් මං ඔය කියපු සෝල්ට්ව හම්බවෙන්න ඕනේ. ඉන්න මං මගේ තොප්පිය අරං එනකල්. ඊට පස්සේ කෙළින්ම යමු."
ඇන්කර් අවන්හලේ දුම් වළාවන් අතරින් සෝල්ට්ව සොයාගත් පසු ග්ලෙග් මහතා ඔහුගෙන් කරුණු විමසා ගනුදෙනුව පිළිබඳව පැහැදුනු බැවින් ටොම්ට අත්තිකාරම් ලෙස පවුම් පණහක් ලබා දුන්නේය. එම පරිත්‍යාගශීලී ආරම්භය සිය පියාගෙන් රහසක්ව තබාගත් ටොම් පියාගේ ණය ඉක්මණින්ම ගෙවා දැමිය හැකි වනු ඇති බවට බලාපොරොත්තු තබාගත හැකි ඉතුරුමක් ගොඩනගන්නට පටන්ගත්තේය. මැගී ෆිලිප්ව මුල් වරට හමු වූ කාලය වන විට ටොම්ගේ ඉතුරුවේ පවුම් එකසිය පණහක පමණ මුදලක් විය; ඔවුන් සැඳෑ හිරු එළිය විඳිමින් රත් තැන්නේ ඇවිද යන අතරේ එම සැඳෑ හිරු එළියේම ටොම් තවත් බඩු තොගයක් ගැනීම සඳහා ලෝෂැම් බලා යමින් සිටියේය. තවත් මාසයක් ඇතුළත තම ලාභය දෙගුණ කරගත හැකි බවටත්, ඔහුගේ පියා පත්ව සිටින නින්දාවෙන් ගලවාගත හැකි වනු ඇති බවටත් ඔහුගේ සිතේ බලාපොරොත්තු දැල්වී තිබුණි.
එයින් පසු වසරකට ආසන්න කාලයක් ගෙවී ගිය අතර එළැඹුනු අපේ‍්‍රල් මස එක් සන්ධ්‍යාවක මැගී නැවතත් රත් තැන්නට පා තැබුවාය. හමා ආ වසන්ත සුළෙඟ් ශීතලක් වෙලී තිබූ අතර සිය සළුව වඩාත් හොඳින් පොරවාගත් ඇය ඉක්මන් ගමනින් ඇවිද ගියාය. ඇගේ දෑසේ නොඉවසිලිමත් විමසුම් බැල්මක් වූ අතර මුවග රැඳි මඳ සිනහවෙන් දිස් වූයේ ඇගේ වදන් අසන්නටම සැදී පැහැදී සිටින්නෙකු වෙනුවෙන් වදන් පෙළක් සූදානමින් ඇති බවය. අසන්නා වැඩි දුරක් යන්නට පෙරම ඇයට හමු විය.
"මෙන්න ගන්න ඔයාගේ කොරීන්," මැගී සිය සළුව තුළින් ගත් පොතක් දිගු කරමින් කීවාය. "මං එයාට කැමති වෙන එකක් නැහැ කියලා ඔයා කියපු එක හරියටම හරි!" ෆිලිප් ගෙවුණු වසර පුරාම වරින් වර මැගී හට කියවීමට පොත් ගෙනැවිත් දී තිබුණි.
ෆිලිප් හඬනගා සිනාසුණේය. "කොරීන්ට කැමති නැති එක ගැන ඔයා මා එක්ක එකඟයි එහෙනං?" ඔහු කීවේය.
"මං පොත ඉවර කළේ නෑ," මැගී කීවාය. "අර දුඹුරු කොණ්ඩෙ තියෙන කෙල්ල උයනේ ඉඳං කියවන්න පටන්ගත්ත තැනට ආපු ගමන් මං පොත වහලා දැම්මා. මට කළින්ම තේරුණා ඒ සුදු ගෑණු ළමයා කොරීන්ගේ හැම සතුටක්ම, ආදරයක්ම උදුරගන්න බව. දුඹුරු පාට කොණ්ඩේ තියෙන කෙල්ලන්ටම හැම සතුටක්ම ලැබෙන විදිහේ පොත් ආයෙ මං කියවන්නෙ නෑ කියලයි මං හිතාගෙන ඉන්නේ. මට ඕනේ කතාන්දර වල ඉන්න දුකෙන් පිරිච්ච කළු කෙල්ලන්ගේ පැත්ත ගන්න."
"එහෙනං ඔයාට පුළුවන් ඔයාගෙම පැත්ත අරන් ඔයාගේ නෑනා ලුසීගෙන් සතුට උදුරගන්න. සෙන්ට් ඔග්ස් වල හොඳ හැඩකාරයෙක් මේ දවස්වල එයාගෙ පස්සෙන් වැටිලා මං හිතන්නේ."
"ෆිලිප්, ඒ කියපු දේනං හරිම නරකයි," මැගී සිත් තැවුලට පත් වූ ස්වරයෙන් කීවාය. "මේ පරණ ගවුං ඇඳං ඉන්න, සමාජ ආශ‍්‍රයත් අඩු මං හින්දා, හැම වෙලාවෙම හොඳ දේවල් කරන, ඒවා ගැන හොඳට දන්න, මට වඩා දහ ගුණයක් විතර ලස්සන අහිංසක ලුසීට එහෙම දෙයක් වෙන්නෙ කොහොමද?"
"මැගී," ෆිලිප් පුදුමයෙන් කීවේය, "ඔයා විහිළුවට කියන දේවල් ඇත්තට ගන්න කෙනෙක් නෙවෙයිනේ. මං ඒ විහිළුවක් කළේ."
"හ්ම්," මැගී මඳ සිනහවක් පෑවාය, "ඔයා ඒ කළේ විහිළුවක්නං, ඒක නරක විහිළුවක්. ඒත් මේ අහන්න. මං සුදු කෙල්ලන් ගැන තරහින් කතා කළේ මං කළු හින්දා නෙවෙයි. මං හැම වෙලාවෙම දුකෙන් ඉන්න අය ගැන වැඩියෙන් හිතන නිසා. සුදු ගෑණු ළමයටනං එතනදි අසාධාරණේ වුනේ මං ගන්නෙ එයාගෙ පැත්තයි. කතාන්දර වල මං හැම තිස්සෙම ගන්නේ තනි වෙච්ච ආදරවන්තයාගේ පැත්ත."
"එහෙනං ඔයා කවදාවත් ඔයාට ආදරේ කරන කෙනෙක්ව තනි කරන එකක් නෑ නේද?" ෆිලිප් මඳක් රතු වෙමින් ඇසුවේය.
"ඒක ඉතිං එයාගේ හැටියට තමයි," මැගී සිනාසෙමින් කීවාය. "එයා අදහස් වලින් කොහෙත්ම නොගැලපෙන කෙනෙක් වෙන්න පුළුවන් - නැත්තං උද්දච්ඡ කෙනෙක් වෙන්න පුළුවන්. මගෙ හිතේනං ආඩම්බරකාරයො ගැන කිසිම අනුකම්පාවක් නෑ."
"ඒත් එයා එහෙම කෙනෙක් නෙවෙයිනං - ආඩම්බර වෙන්න කිසිම දෙයක් නැති කෙනෙක් - පොඩි කාලේ ඉඳං මොකක් හරි දෙයක් නිසා දුක් විඳින කෙනෙක් - ඔයාට ආදරේ කරන, වන්දනා කරන, ඔයාව ඉඳහිට හරි හම්බවෙන්න තියෙනවනං ඒක තමන්ගේ ලොකුම සතුට කියලා හිතන..." තම හෙළිදරව්ව නිසා එම සතුට නැත්තටම නැති වී යතැයි එක්වරම ඇති වූ බිය නිසා ෆිලිප් නතර විය. මෙම සන්ධ්‍යාවේ මැගීගේ හැසිරීම වෙනදා මෙන්ම සාමාන්‍ය විය.
නමුත් ඇය තව දුරටත් සාමාන්‍ය අන්දමින් සිටියේ නැත. දැඩි ලෙස නිහඬව සිටි ඇය, ඇද වැටුණු ගසක් වෙත ඇවිද ගොස් ඒ මත හිඳගත්තාය. ඇය වෙව්ළමින් සිටිනු ෆිලිප් දුටුවේය.
"මැගී," ගතවන නිහඬ මොහොතක් පාසාම තව තවත් බියට පත් වෙමින් ඔහු කතා කළේය. "මං මහ මෝඩයෙක් ඒ වගේ දෙයක් කියන්න - මං ඒ කියපු දේවල් අමතක කරලා දාන්න. අපි මේ ඉන්න විදිහටම ඉමු, මට ඒ හොඳටම ඇති."
ඔහුගේ තැතිගැන්ම නිසා මැගී තමා යමක් පැවසිය යුතුයැයි සිතුවාය. "මට හරිම පුදුමයි ෆිලිප්," ඇය මිමිණුවාය. "මං එහෙම දෙයක් ගැන හිතලා තිබ්බේ නෑ." එය පැවසීමට දරන්නට වූ ආයාසය නිසා මැගීගේ දෑසට කඳුළු උනා ආවේය.
"ඒකෙන් ඔයාට මාව එපා වුනාද මැගී?" ෆිලිප් විමසිලිමත්ව ඇසුවේය.
"අයියෝ ෆිලිප්!" ඇය කීවාය. "ඔයා කොහොමද එහෙම දෙයක් හිතන්නේ? ඕනෙම ආදරේකට මං හරිම කැමතියි. ඒත් - ඒත් මං ඔයා ගැන ඒ විදිහට හිතං හිටියේ නෑ."
"එහෙනං දැං ඔයාට එහෙම හිතන්න පුළුවන්ද මැගී? මාව ඔයාගේ ආදරවන්තයා විදිහට පිළිගන්න පුළුවන්ද?" ෆිලිප් ඈ අසළින් හිඳගෙන ඇගේ අතින් අල්ලාගනිමින් ඇසුවේය. "ඔයා මට ආදරෙයිද?"
මැගී තව තවත් සුදුමැලි වූවාය. මෙම ඍජු පැනයට පිළිතුරු දීම එතරම් පහසු නැත. නමුත් අවසානයේදී ඇය පැකිලෙමින් කතා කළාය. "ඊට වඩා මට වෙන කාටවත් ආදරේ කරන්න බැරිවෙයි." මඳක් නතර වූ ඇය යළිත් කතා කළාය. "ඒත් අපි තවත් ඒ ගැන කතා නොකර ඉමු ෆිලිප්. ඔයා දන්නවනේ අපේ යාළුකම ගැන දැනගතොත් අපිට යාළුවො වෙලාවත් ඉන්න බැරි බව."
ෆිලිප් නැවත නැගී සිට නොඉවසිල්ලෙන් ඒ මේ අත ඇවිදින්නට පටන්ගත්තේය. "ඉස්සර දේවල් ගැන දැන් හිතන්න එපා මැගී; අපේ ආදරේ ගැන විතරක් හිතන්න," ඔහු කීවේය. "ඔයා ඇත්තටම මට ආදරෙයිනං හැම බාධාවක්ම කාලයත් එක්ක අයින් වෙලා යයි. අපිට ඉවසන්න විතරයි තියෙන්නේ." ඔහු යළිත් ඈ අසළින් හිඳගෙන සිය දෑත් ඇගේ උරහිස් මතින් තැබුවේය. "මේ බලන්න මැගී. ආයෙත් කියන්න ඔයා මට ආදරෙයි කියලා." ඇය සිය විසල් කළුවන් දෑසින් ඔහු දෙස බලා දුක්බර සිනහවක් පෑවාය. "ඔයා සතුටින් නෙවෙයි ඉන්නේ," ඔහු කීවේය. "ඔයා ඔයාට බල කරනවා ඒක කියන්න, අනුකම්පාව නිසා."
"නෑ ෆිලිප්," මැගී හිස දෙපසට වනමින් කීවාය. "මං ඇත්තමයි කියන්නේ. මේ හැම දේම මට අළුත්, නුහුරුයි; ඒත් මං හිතන්නෙ නෑ මං ඔයාට ආදරේ කරනවාට වඩා වෙන කිසිම කෙනෙකුට ආදරේ කරන්න මට පුළුවන් වෙයි කියලා. මං ඔයත් එක්ක ජීවිතේ ගත කරන්න කැමති වෙයි - ඔයාව සතුටින් තියන්න. ඒත් මං ඔයා වෙනුවෙන්වත් නොකරන එක දෙයක් තියෙනවා. මං කවදාවත් මගේ තාත්තගේ හිත රිද්දන්නෙ නෑ. මගෙන් ඉල්ලන්න එපා එහෙම කරන්න කියලා."
"මං මුකුත් ඉල්ලන්නෙ නෑ - මං හැමදෙයක්ම දරාගන්නං - එක හාදුවක් වෙනුවෙන් මං අවුරුද්දක් වුනත් බලං ඉන්නං," ෆිලිප් කීවේය.
"නෑ," මැගී මඳ සිනාවක් පාමින් කීවාය. "ඒකට ඔයාට එච්චර කල් බලං ඉන්න වෙන්නෙ නෑ." අනතුරුව ඇය නිහඬ මෘදු හාදුවක් ඔහුට පිරිනැමුවාය. "ෆිලිප්, මං හිතන්නේ මට කවදාවත් ඔයත් එක්ක ඉඳලා එපා වෙන එකක් නෑ."
ඔවුහු දෑත් වෙලාගෙන එකිනෙකා දෙස බලමින් ආපසු ගමන් ඇරඹූහ. ඔවුනට වෙන්ව යාමේ මොහොත උදා වූ විට කඳුළින් දිලිසෙන දෑසින් ඔහු දෙස බලා යළිත් මඳ සිනහවක් පෑ මැගී නැවත වරක් එම සුදුමැලි මුහුණ සිපගත්තාය. ඇගේ සිතේ එම මොහොතේ වූයේ සැබෑ සතුටකි - මෙම ආදරය තුළ යම්කිසි පරිත්‍යාගයක් ඇත්නම් එමගින් එය වඩා පොහොසත් හා සංතෘප්ත වූ බවට විශ්වාසයක් ඇගේ සිතේ එම මොහොතේ ගොඩනැගුණි. ආපසු හැරුණු ඇය ඉක්මන් ගමනින් නිවස බලා පිටත් වූ අතර, එම මාවතේම ඉන් හෝරවකට පෙර ගමන් ගනිද්දී තිබුණාට වඩා අළුත් ජීවිතයක් තමා ඉදිරියේ දිගහැරී ඇති බව ඇයට හැඟුණි.
- මතු සම්බන්ධයි -
ඕන්න සිතුවිලි නොකඩවා 13 වනි කොටසත් කියෙව්වා..
ReplyDeleteදැන් නම් කතාව අලුත් උනා වගේ දැනෙනවා..
අලුත් වුනා වගේ දැනුණානම් හොඳයි. මං හිත හිත හිටියේ කට්ටියට එන්න එන්න එපා වෙනවා වගේ දැනෙයිද කියලා. අර පොඩි කාලේ තිබ්බ දඟ වැඩ වගේ ජොලි නෑනේ මේ විස්තර. :)
Deleteදැනුයි කතාව පටන් ගන්න හදන්නෙ
ReplyDeleteබලමුකො මුළු කතාවම ඉවර වුනාට පස්සේ ඔයාට කොහොමද හිතෙන්නේ කියලා. මටනම් මේ කතාවේ මුළ, මැද, අග හැම තැනම අලුත් කතාවක ආරම්භයක් දැනෙනවා. :)
Deleteආදරෙයි මම ආදරෙයි මැගී
ReplyDelete"මැගී" තවමත් ආදරෙයි
මවා පියකරු සිහින සිතුවම්
මතුකලා රසබර හැගුම්
දයාවන්තය යොවුන් සිතුවිලි
රසකලා ඔබෙ නෙත් කැළුම්
ඒක ලස්සන සින්දුව නේද? :)
Deleteහරිම ලස්සන සින්දුවක්
Delete