157. මෙයද අවසන් වනු ඇත...



එක් රටක සිටි රජ කෙනෙක් වරක් තමන්ගේ මැති ඇමති වරුන් හා උපදේශක වරුන් රැස් කරලා මෙන්න මෙහෙම ඇහැව්වා: "ඕනෑම වෙලාවකදී, ඕනෑම තැනකදී, ඕනෑම මොහොතකදී, මුහුණ දෙන්න වෙන ඕනෑම අවස්ථාවකට හොඳින් ගැලපෙන මන්තරයක් තියනවාද? ඔබලා කිසිවෙකුත් මා ලඟ නොමැති වෙලාවක ඒ මන්තරය මට පිහිට වෙන්න ඕනේ. තියෙනවාද එහෙම මන්තරයක්?"

රජතුමාගේ පැනයෙන් උපදේශක වරු බරපතල කල්පනාවකට වැටුණා. 'හැම ප්‍රශ්නයකටම එකම උත්තරයක්? හැම තැනකටම, හැම අවස්ථාවකටම හරි යන මන්තරයක්? හැම සතුටකටම, හැම දුකකටම, හැම ජයකටම, හැම පරාජයකටම උත්තරයක්?'

ඒ උදවිය දිගින් දිගටම කල්පනා කළා. දිගු වේලාවක් කතා බහ කළාට පස්සේ එක් වැඩිහිටි උපදේශක වරයෙක් අනෙක් හැම දෙනාටම එකඟ වෙන්න පුළුවන් විදිහේ අදහසක් ඉදිරිපත් කළා. ඉතින් රජතුමා වෙත ගිය උපදේශක පිරිස කඩදාසියක සටහන් කරපු යමක් එතුමාගේ අතට දුන්නා. නමුත් කුතුහලය නිසා ඒ කඩදාසිය දිග ඇරලා නොබැලිය යුතුයි කියන කොන්දේසියත් ඉදිරිපත් කළා. රජතුමා අතිශයින්ම භයානක තත්ත්වයකට මුහුණ දීලා, තනි වෙලා ඉන්න මොහොතක, කිසි සේත්ම ගැලවීමක් නැහැයි කියලා හිතෙන වෙලාවක විතරයි ඒ කඩදාසිය දිග ඇරලා බලන්න අවසර තියෙන්නේ. කොන්දේසිය පිළිගත්ත රජතුමා කඩදාසිය තමන්ගේ දියමන්ති මුද්දේ සැඟවූවා.

දින කීපයකට පස්සේ අසල්වැසි රජ කෙනෙක් මේ රාජධානිය වැටළුවා. ඒක බලාපොරොත්තු නොවූ ආක්‍රමණයක්. කොයි තරම් නිර්භය ලෙස සටන් කළත් රජතුමත් සෙබළ පිරිසත් පරාජයට පත් වුනා. අසු පිට නැගුණු රජතුමා පළා ගියා. සතුරන් දිගටම ඔහු පසු පස්සේ ලුහුබැන්දා. රජතුමා නොදැනීම කැලෑවේ ඇතුළටම පලා ගියා. ලුහුබැඳ එන පිරිසගේ හඬ ලඟ ලඟම ඇසෙන්නට වුනා. හදිසියේම තමා පාරේ කෙළවරට ලඟා වී ඇති බව රජතුමා දැක්කා. කෙළවරේ තිබුණේ මහා ප්‍රපාතයක්. එයින් පැන්නොත් එය තමාගේ අවසානය වනු ඇති බව රජතුමාට තේරුණා. ඒ පටු පාරේ ආපසු හැරෙන්නටත් ඉඩක් තිබුණේ නැහැ. සතුරු හඬ ලඟ ලඟම ඇසුණා. රජතුමා බොහොම නොසන්සුන් වුනා. තමාට කිසිසේත්ම ගැලවීමක් නැතැයි ඔහුට සිතුණා.

හදිසියේම අව්වට දිලිසෙන තමාගේ දියමන්ති මුදුව ඔහුගේ ඇස ගැටුණා. එහි සඟවා ඇති කඩදාසිය ඔහුට සිහිපත් වුනා. ඔහු එය පිටතට රැගෙන කියවූවා. ඒ පණිවිඩය බොහොම කෙටි, ඒත් බොහොම ගැඹුරු එකක්. 'මෙයද අවසන් වනු ඇත.' රජතුමා එය නැවත නැවතත් කියවූවා.

හදිසියේම ඔහුට යමක් වැටහුණා - ඔව්! මේකත් අවසන් වෙයි. දවස් කීපයකට කළිං මම මගේ රාජධානියේ සැප විඳිමින් හිටියා. මම තමයි බලවත්ම පාලකයා වුනේ. ඒත් අද රාජධානියත් එහි සෞභාග්‍යයත් නැති වෙලා ගිහිල්ලා. මම මෙතන සතුරන්ගෙන් බේරෙන්න පලා යනවා. ඉතින් ඒ දවස් ගණන ගෙවිලා ගියා වගේම මේ දවසත් ගෙවිලා යයි. ඔහු සන්සුන් වුනා. ඔහු සිටි තැනම සිටගෙන අවට සුන්දරත්වය නරඹන්නට වුනා. මේ තරම් සොඳුරු පරිසරයක් තමාගේ රාජධානියට අයත් වූ බව ඒ රජතුමා කවදාවත් දැනගෙන හිටියේ නැහැ.

ඒ පුංචි පණිවිඩය ඔහු වෙත මහත් වෙනසක් ඇති කළා. ඔහු සැහැල්ලු සිතින්, තමා පසු පස හඹා එන සතුරන්වද අමතක කොට සිටියා.

මිනිත්තු කිහිපයකට පසු තමා පසු පස හඹා ආ සතුරන්ගේ හඬ කෙමෙන් අඩු වී යන බව ඔහුට දැනුණා. ඔවුන් කඳුකරයේ වෙනත් ඉසව්වක් බලා ඇදෙන බව රජතුමාට වැටහුනා. මේ රජතුමා ඉතාමත් නිර්භීත හා එඩිතර කෙනෙක්. නැවතත් සේනාව සංවිධානය කරගත්ත රජතුමා සතුරන් සමග සටනට පිවිසුනා. ඔහු සතුරන්ව පරදවලා තමන්ගේ රාජධානිය නිදහස් කරගන්න සමත් වුනා. යුද්ධය දිනා ආපසු එන රජතුමාව පිළිගන්න රටවැසියෝ නගර දොරටුවේ රැස් වෙලා උත්සව පවත්වමින් හිටියා. මුළු අගනුවරම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වෙලා හිටියේ. හැම කෙනෙක්ම ඉතාම ප්‍රීතියෙන් සිටියා. හැම නිවසකින්ම, හැම කෙළවරකින්ම රජතුමා වෙත මල් වැසි ඇද හැලුනා. හැමදෙනාම නටමින්, ගීත ගයමින් හිටියා.

මොහොතකට, මේ උත්සවශ්‍රීයෙන් සතුටට පත් රජතුමාට මෙහෙම හිතුණා: 'මම බොහොම නිර්භීත ශ්‍රේෂ්ඨතම රජ කෙනෙක්. මාව කාටවත් ලේසියෙන් පරද්දන්න බෑ.'

මේ සියළු උත්සව හා සැමරුම් මැද තමා තුළ මමත්වයක් ගොඩ නැගීගෙන එන බව රජතුමාට සිතුණා. එක් වරම ඔහුගේ දියමන්ති මුදුව අව්වට දිලිසුනා. ඒ එක්කම රජතුමාට ඒ තුළ වූ පණිවිඩය සිහිපත් වුනා. ඔහු එය නැවතත් දිග ඇරලා බැලුවා: 'මෙයද අවසන් වනු ඇත.'

ඔහු නිහඬ වුනා. ඔහුගේ මුහුණ බෙහෙවින් වෙනස් වුනා - උඩඟු මමත්වයෙන් ඔහු නිරහංකාර නිහතමානි පුද්ගලයෙකු බවට පත් වුනා.

මෙයද අවසන් වීමට නියමිත දෙයක් නම්, එය ඔබට හිමි දෙයක් නොවේ. පරාජය ඔබේ නොවූවා සේම ජයග්‍රහණයද ඔබේ නොවේ. ඔබ නරඹන්නෙකු පමණි! හැම දෙයක්ම අවසානය කරා ලඟා වේ. අප ඒ හැම දෙයකම සාක්ෂි කරුවන්ය, එය ප්‍රත්‍යක්ෂයෙන් වටහා ගන්නන්ය. ජීවිතය පැමිණ යළි ආපසු යයි. සතුට හා දුකද එසේමය.


~ පරිවර්තනයකි


10 comments:

  1. ///මෙයද අවසන්වනු ඇත///
    අකුරු කීපයකින් කියපු පුංචි වචනයක් උනාට.. ගොඩක් දේ කරන්න පුලුවන් උනු වචනයක්..

    අපූරුයි....

    ReplyDelete
  2. ඔහු නිහඬ වුනා. ඔහුගේ මුහුණ බෙහෙවින් වෙනස් වුනා - උඩඟු මමත්වයෙන් ඔහු නිරහංකාර නිහතමානි පුද්ගලයෙකු බවට පත් වුනා.

    එක් වරම ඔහුගේ දියමන්ති මුදුව දිලිසුනා. ඒ එක්කම රජතුමාට ඒ තුළ වූ පණිවිඩය සිහිපත් වුනා. ඔහු එය නැවතත් දිග ඇරලා බැලුවා: 'මෙයද අවසන් වනු ඇත.'

    මෙයද අවසන් වීමට නියමිත දෙයක් නම්, එය ඔබට හිමි දෙයක් නොවේ... :D

    ReplyDelete
  3. //මෙයද අවසන්වනු ඇත//

    නමුත් හැම අවසානයම නව අරම්භයකට මගක් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත මල්ලි. ඒත් කතාවේ අදහස වුනේ, හිත කරදරයට පත් වෙච්ච වෙලාවකදි මේක කොයි වෙලේ හරි ඉවර වෙයි කියලා හිත සනසවගන්න පුරුදු වෙන්නත්, හිත උද්දාමයට පත් වෙච්ච වෙලාවට මේකත් කොයි වෙලාවෙ හරි ඉවර වෙයි කියලා උපේක්ෂා සහගතව හිතන්න පුරුදු වෙන්නත් කියන එකයි.

      Delete

  4. /මෙයද අවසන්වනු ඇත/
    කියලා හිතාගෙන තව මාස හයක් විතර ඉන්ඩ වෙනව :O

    ReplyDelete
    Replies
    1. අර මොකෝ, විභාගෙ ඉවර වෙනකල්වත්ද? කාරණාව විභාගයක්නං සිම්පල් ප්ලෑන් එකක් තියෙන්නේ. දැම්ම විභාගෙ ගැන හිතන්ඩ එපා. ෆුල් ජොලියෙ ඉන්ඩ. ඒ ඉන්න ගමන් ඒ ජොලියද අවසන් වනු ඇත කියලා විතරක් හිතන්න. :D

      Delete
    2. විභාගයක් නම් නෙමේ, හරියට සිග්නල් නැති පැත්තක වැඩබිමකට එව්වා මලයාලි ස්ටාෆ් එකක් එක්ක එකට වැඩකරන්ඩ :(

      Delete
    3. හපෝයි!!!

      දුක් නොවන්න දරුවා, එයද අවසන් වනු ඇත! :P

      Delete