142. ෆ්ලොස් නදිය අසබඩ - 11 - බයිබලයේ සටහන

ජනවාරියේ දෙවන සතිය අවසානයේදී ඩෝල්කොට් මෝල වෙන්දේසි කෙරුණු අතර මෝලත් ඉඩමත් මිල දී ගනු ලැබුවේ වැකම් විසිනි. ටුලිවර් මහතා ඒ ගැන කිසිත් නොදත් නමුත් දිනෙන් දින ගෙවී යද්දී වෛද්‍යවරයා නිරීක්ෂණය කළ අන්දමට ඔහු යථා තත්ත්වයට පත් වෙමින් සිටියේය.
 

ජනවාරි මස අග භාගයේ පැහැදිලි ශීතල දවසක ටුලිවර් මහතා පහත මාලයට බැස්සේය. ඔහුගේ කාමරයේ කවුළුවෙන් දිස් වූ තුරු හිස් හා වහළ මතට පතිත වූ හිරු එළිය හේතුවෙන් තමා තව දුරටත් කාමරය තුළ සිරගත වී සිටිය යුතු නැතැයි නොඉවසිල්ලක් ඔහුගේ සිත තුළ ජනිත විය: මෙම හිරු එළිය යට  ඕනෑම තැනක් තම නිදන කාමරයට වඩා ප‍්‍රබෝධමත් වනු ඇති බව ගෘහ භාණ්ඩ අලෙවිය සහ පහළ මාලයේ වූ හිස් බව පිළිබඳව කිසිත් නොදත් ඔහු සිතුවේය.
 

ටොම් සහ මැගී දිගින් දිගටම සාකච්ඡා කොට අවසානයේදී ඔහුට ඒ පිළිබඳව පෙර දැනුම්දීමක් සිදු කළ යුතු බවට තීරණය කළෝය. නැතහොත් එයින් ඇති වන කම්පනයෙන් ඔහුට යළිත් හෘදයාබාධයක් වැළඳීමට ඉඩ ඇත. දෙමසකට පෙර එම දෛවෝපගත දිනයේදී අසු පිටින් වැටීමෙන් පසු සිදු වූ කිසිවක් ඔහුගේ මතකයේ නොවූ අතර සිය දරුවන් තතන තතනා පැවසූ කරුණු වලින් ඔහු දැඩි සේ විශ්මයටත් කම්පනයටත් පත් වූවේය.
 

"මොනවා... උන් මාව බංකොලොත් කරලම දාලද?" ඔහු මහත් ආවේගයෙන් යුතුව ඇසුවේය.
 

"අනේ තාත්තේ, තාත්තේ!" මැගී හඬ ගෑවාය. "ඒ ගැන කලබල වෙන්න එපා - අපි තාත්තට ආදරේ නිසාම. තාත්තගෙ ණය ඔක්කොම අයියා ගෙවලා දායි, අයියා කියනවා එහෙම කරනවා කියලා එයා මිනිහෙක් වෙච්ච දාක."
 

පියා වෙවුලන බවක් ඇයට දැනුණි. ඔහු කතා කරන අතරේ ඔහුගේ කටහඬද වෙවුලුවේය. "අනේ මගේ පොඩි කෙල්ලේ, මේ හිටියා තරං කාලයක් මං තවත් ජීවත් වෙන්නෙ නෑ."
 

"ඒත් මං හැමෝටම ණය ගෙවලා දානකල් තාත්තා ඉන්නවනේ," හැඬීමට ආසන්නව සිටි ටොම් මහත් අපහසුවෙන් ඇසුවේය.
 

"ඔව් මගෙ කොල්ලෝ," ටුලිවර් මහතා සෙමින් හිස දෙපසට වනමින් කීවේය. "ඒත් වතාවක් කැඩිලා බිඳිලා ගිය දෙයක් ආපහු කවදාවත් සම්පූර්ණ කරන්න බෑ. ඒ දේ කරන්නේ ඔයානේ, මම නෙවෙයිනේ. ඔයාට තාම වයස දාසයයි - ඔයාට ලොකු අමාරු ගමනක් වෙයි ඒක." මිනිත්තුවක් දෙකක් ගත වන තෙක් නිහඬව සිටි ඔහු මනස නිරවුල් කරගන්නට උත්සාහ කළේය. "උන් මාව විකුණලාද එතකොට?" ඔහු ඇසුවේය.
 

"හැම දෙයක්ම විකුණලා තාත්තේ; ඒත් අපි තාම දන්නෙ නෑ මෝලයි ඉඩමයි ගැනනං," ඒවා මිලදී ගත්තේ වැකම් බව හෙළි කෙරෙන කිසිවක් සාකච්ඡා නොකෙරනු පිණිස ටොම් එසේ කීවේය.
 

"පල්ලෙහා කාමර හිස් වෙලා තියෙනවා දැකලා පුදුම වෙන්න එපා තාත්තේ," මැගී කීවාය. "ඒත් තාත්තගෙ මේසෙයි පුටුවයි තියෙනවා - ඒවා ගෙනිහිල්ලා නෑ."
 

"අපි යමු - මට පල්ලෙහාට යන්න උදව් කරන්න ටොම්. මං ගිහින් බලන්නම් මොකද වෙලා තියෙන්නේ කියලා," ටුලිවර් මහතා සිය සැරයටියට බර දී අනෙක් අත සිය පුතු වෙත දිගු කරමින් කීවේය.
ඉදිරියෙන් දිව ගිය මැගී බිහිසුණු සාලයේ සියල්ල නිසි පිළිවෙලට ඇත්දැයි සොයා බැලූවාය. පියාගේ පුටුව පසෙකට හැරවූ ඇය මේසය මඳක් තල්ලූ කොට පියාට එහි ලඟා වීමට ඉඩකඩ සලසා දුන්නාය. අනතුරුව ඔහු එහි ලඟා වී පළමු වරට හාත්පස නරඹනතුරු ගැහෙන හදින් යුතුව බලා සිටියාය.
 

ටුලිවර් මහතා දොරකඩ මඳක් නතර වී ටොම්ට වාරු වී හිඳිමින් අතුරුදන්ව ඇති භාණ්ඩ වල - ඔහුගේ ජීවිතයේ දෛනික සගයන්ගේ - අඳුරු සෙවණැලි ගැවසීගත් හිස් අවකාශය වෙත නෙත් යොමා බැලූවේය.
 

"ආහ්!" ඔහු සිය පුටුව වෙත යමින් සෙමින් කීවේය. "උන් මාව විකුණලා... උන් මාව විකුණලා." අසුන්ගෙන සැරයටිය පසෙකින් තැබූ ඔහු යලිත් අවට බැලූවේය. "අපේ ලොකු බයිබලේනං තියලා ගිහින් වගේ," ඔහු කතා කළේය. "ඒකෙ තියනවා හැම දේම - මං ඉපදිච්ච දවස, කසාද බැඳපු දවස - ඒක අරං එන්න ටොම්."
 

පවුලේ සුවිසල් බයිබලය ඔහු ඉදිරියේ දිග හැරුණි. ඔහුගේ දෑස් ඒ මත සෙමින් දිව යන අතරේ එහි පිවිසුනු ටුලිවර් මහත්මිය ඔහු පහත මාළයට බැස සිටිනුද, බයිබලය කියවමින් සිටිනුද දැක දොරකඩම සිටගෙන බලා සිටියාය.
 

"මෙන්න," ඔහු දබරැඟිල්ල නතර වී තිබූ ස්ථානය දෙස බලමින් කීවේය. "එළිසබෙත් ඩොඩ්සන් - ඒ ඔයාලගෙ අම්මා... අවුරුදු දහ අටක් වෙනවා මං එයාව කසාද බැඳලා."
 

"මාර්තු විසි පස් වෙනිදට අවුරුදු දහ අටයි," ටුලිවර් මහත්මිය ඔහු අසළට විත් බයිබලය දෙස බලමින් කීවාය.
 

ඇගේ සැමියා ඈ දෙස දයාවෙන් පිරි දෑසින් බැලූවේය. "අසරණ බෙසී," ඔහු කීවේය, "ඔයා ඒ කාලේ බොහොම හැඩකාර කෙල්ලෙක් - හැමෝම එහෙමයි කිව්වේ. මං ඔයාට හොඳට සලකන්න හිතාගෙන හිටියේ... අපි හොඳ කාලෙදිත් නරක කාලෙදිත් අනෙකා එක්ක ඉන්න පොරොන්දු වුනා..."
 

"ඒත් ඒක මේ තරං නරක කාලයක් වෙයි කියලනං මං හිතුවෙ නෑ," අසරණ ටුලිවර් මහත්මිය කඳුළු සලමින් කීවාය.
 

"අනේ අම්මේ," මැගී කීවාය, "එහෙම කතා කරන්න එපා."
 

"එහෙම කියන්න එපා බෙසී," ටුලිවර් මහතා නිහතමානීව පැවසුවේය. "මේවා හරිගස්සන්න පුළුවන් විදිහක් තියෙනවානං මං කරනවනේ."
 

"අපිට ඉතිං මෙහෙම නැවතිලා හම්බ කරන්න පුළුවන්නේ - ඒ ගොල්ලෝ කියනවා ඒකට කමක් නෑ කියලා - ඔයා තමයි මෙතන වැකම් එක්ක කෝන්තර තියාගෙන ඉන්නේ," ඔහුගේ බිරිඳ වැළපුණාය.
 

"අම්මේ," ටොම් සැරෙන් කීවේය. "මේ ඒ ගැන කතා කරන්න වෙලාව නෙවෙයි."
 

"එයාට කියන්න දෙන්න," ටුලිවර් මහතා කීවේය. "මොකද්ද බෙසී ඔයා කිව්වෙ?"
 

"ඇයි, දැං මෝලයි ඉඩමයි ඔක්කොම අයිති වැකම්ට, ඔක්කොම තියෙන්නෙ එයාගෙ අතේ. තවත් එයත් එක්ක හැප්පෙන එකේ තේරුම මොකද්ද? එයා කියලා තියෙනවා ඔයාට මෙහෙ ඉඳං මෝල බලාගෙන ඉන්න පුළුවන් කියලා, සතියට සිලිං තිහකුයි පොළට යන්න අස්සයෙකුයි දෙන්නං කියලා. අනික අපි වෙන කොහෙ ගිහිං ඉන්නද? ගමේ පැල් කොටේකට තමයි යන්න වෙන්නේ... මටයි මගේ දරුවන්ටයි ඒ වගේ පහත් තත්ත්වෙකට වැටෙන්න වෙනවා... ඔයා වැකම්ගෙන් උදව් ගන්න අකමැති නිසා."
 

ටුලිවර් මහතා වෙවුලමින් අසුනේ පසුපසට බර විය. "ඔයාට  ඕන දෙයක් මට කියන්න බෙසී," ඔහු පහත් කටහඬකින්  කීවේය. "මේ ලෝකෙ තවත් මට දරාගන්න අමාරුයි. මං බංකොලොත් වෙච්ච මිනිහෙක් - තව දුරටත් කිසිම දෙයක් වෙනුවෙන් පෙනී හිටලා වැඩක් නෑ."
 

"තාත්තේ," ටොම් කීවේය, "අම්මා කියන දේවල් අහන්න එපා - මං හිතන්නෙ නෑ තාත්තා වැකම්ට වැඩ කරන්න  ඕනෙ කියලා. මට දැං සතියකට පවුමක් හම්බ වෙනවා. තාත්තටත් සනීප වුනාම මොකක් හරි හොයාගන්න පුළුවන්නේ."
 

ලූසී ඇගේ පියාගෙන් කළ ඉල්ලීම් වලට පින් සිදු වන්නට ටොම් හට ඒ වන විට ගෙස්ට් සහ සමාගමේ බඩු ගබඩාවේ රැකියාවක් ලැබී තිබූ අතර ඔහු සෑම උදෑසනකම ශාන්ත ඔග්ස් බලා පිටත්ව ගියේය. ලෝකය සමග ගනුදෙනු කිරීමේ මෙම පළමු පියවර ශීතල, දුහුවිල්ලෙන් පිරුණු, ඝෝෂාකාරී අත්දැකීමක් වූ අතර තේ වේලාව මග හැර ඔහු පොත් තැබීම හා ගිණුම්කරණය ඉගෙනගැනීමට ගියේය. නමුත් එය ආරම්භය පමණක් වූ අතර ඉක්මණින්ම තවත් මුදල් ඉපයිය හැකි වනු ඇතැයි ටොම් බලාපොරොත්තු විය. නමුත් දැනට ඔහුට ලැබුණේ සතියකට එක් පවුමක් පමණි. එය පවුල නඩත්තු කිරීමට තරම් ප‍්‍රමාණවත් නොවූ අතර ඔහුගේ පියා කණගාටුවෙන් හිස වැනුවේය.
 

"ඔය ඇති ටොම්, ඔය ඇති," ඔහු නොඉවසිල්ලෙන් කීවේය. "මැගී, ගිහින් අරන් එන්න පෑනකුයි තීන්තයි."
 

ඒ කුමකටදැයි පුදුමයෙන් කල්පනා කරමින් මැගී ඔහුට කීකරු වූවාය.
 

"දැන් ඉඳගන්න හැමෝම," ටුලිවර් මහතා කීවේය. "ටොම්, පෑන අරගන්න. ඔයා මේ බයිබලේ යමක් ලියන්න  ඕනේ."
 

ඔවුන් තිදෙනාම ඔහු දෙස බලමින් අසුන් ගත් හ. ඔහු සෙමින් නමුත් ස්ථාවරව කතා කළේය. "මං හිත හදාගත්තා," ඔහු කීවේය. "මං මෙතනින් නවතිනවා, නැවතිලා මං වැකම් යටතේ වැඩ කරනවා - අවංක මිනිහෙක් වගේ වැඩ කරනවා." මඳක් නතර වූ ඔහු මොහොතක් බිම බලා සිටියේය. අනතුරුව එක්වරම හිස ඔසවා වඩාත් ගැඹුරු හඬකින් හඬ නගා කතා කළේය, "ඒත් මං ඒ මිනිහට සමාව දෙන්නෙ නෑ! ඒකා තමයි මේ හැමදෙයක්ම පිටිපස්සේ ඉන්නේ - මං දන්නවා, මං දන්නවා. මිනිස්සු මොනවද කියන්නෙ කියලා මං දන්නවා - මං නඩු කියන්න නොයා ඉන්නයි තිබ්බෙ කියලා. ඒත් මේ ලෝකේ සාධාරණය කියලා දෙයක් නැති ගාණට වැඩ කළේ කවුද? ඒ මිනිහා දුප්පතුන්ගෙ නඩු අහලා උන්ව හිඟන්නො කරලා ඊට පස්සෙ ආධාර දෙනවා. මං ඒ මිනිහට සමාවක් දෙන්නෙ නෑ! ඒ එක්කම මේකත් මතක තියාගන්න ටොම් - ඔයත් කවදාවත් ඒ මිනිහට සමාවක් දෙන්න එපා. දැං - ඒ ඔක්කොම ලියන්න බයිබලේ."
 

"මොනවද මං ලියන්න  ඕනේ?" ටොම් තැවුල් සහගත හඬින් ඇසුවේය.
 

"ලියන්න ඔයාගෙ තාත්තා, එඩ්වඩ් ටුලිවර්, තමුන්ව විනාස කරන්න මුල් වුන ජෝන් වැකම් යටතේ සේවය කරනවා, තාත්තා ඒ ගැන අම්මට පොරොන්දු වුන නිසාත්, තමන්ගේම ගෙදරදී මැරෙන්න  ඕන වුන නිසාත්. ඊලඟට ලියන්න මම එයාට සමාවක් දෙන්නෙ නෑ කියලත්. මං එයාට අවංකව සේවය කරනවා, ඒත් ඒ මිනිහට හොඳක් වෙන්න එපා කියලා පතනවා."


ටොම්ගේ පෑන කඩදාසිය මත දිව යද්දී එහි වූයේ දැඩි නිහැඬියාවකි. ටුලිවර් මහත්මිය බියපත්ව සිටි අතර මැගී ගසක කොළයක් මෙන් වෙවුළමින් සිටියාය. එලෙසින් ශාප කිරීම, විශේෂයෙන් බයිබලය මත, නුසුදුසු බව ඔවුහු සිතූහ.
 

"දැං කියවන්න බලන්න ලියපු ටික," ටුලිවර් මහතා කීවේය. ටොම් හෙමින් එය කියවූවේය.
 

"දැං ලියන්න - ලියන්න ඔයත් වැකම් ඔයාගේ තාත්තට කරපු දේ අමතක කරන්නෙ නෑ කියලා, ඒ වෙනුවෙන් ඔයා ඒ මිනිහට විඳවන්න සලස්සනවා කියලා. ඊට පස්සෙ අත්සන් කරන්න තෝමස් ටුලිවර්."
 

"අනේ එපා තාත්තේ," මැගී භීතියෙන් හුස්ම හිරවන්නට ආසන්නව මෙන් කෑ ගැසුවාය. "අයියට කියන්න එපා එහෙම දෙයක් ලියන්න කියලා."
 

"නිකං ඉන්න මැගී!" ටොම් කීවේය. "මං ඒක ලියන්න  ඕනේ." එසේම ඔහු එය බයිබලයේ ලිව්වේය.

- මතු සම්බන්ධයි -






4 comments:

  1. දෛවයවෙනස් වෙන හැටි..

    ReplyDelete
  2. තර්සය,භීතිය,කුතුහලය සමගින් ෆ්ලොස් නදිය අසබඩ.

    අනේ මන්දා මේ ටොම්ගේ තාත්තා නම්.

    ReplyDelete
    Replies
    1. එයාගෙ හිත තේරුම් ගන්න අපිට ලේසි නෑ. පරම්පරා ගාණක් තිස්සේ එයාගෙ පවුලට උරුම වෙලා තිබ්බ ගෙදරයි, ජීවත් වෙන්න තිබ්බ මෝලයි එයා දන්නෙම නැතුව එයාගෙ විනාසෙට මුල් වෙච්ච තරහාකාරයාට අයිතිවෙලා කියලා දැනගත්තම, පවුලක වගකීම තියෙන - ඒත් ඒ වගකීම තවත් උහුලන්න විදිහක් නැති තාත්තා කෙනෙක් හැටියට එයාට දැනුණ දේ සාධාරණ ඇති. :|

      Delete