Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

306. තරු අහසක් යට...


"ඒ ගෙවල් පේළිය තියෙන්නේ තරු පිරිච්ච අහසක් යට. රෑ දවල් කියලා වෙනසක් නැහැ, ඒ අහසේ හැම වෙලාවෙම තරු පිරිලා තිබුණා. ඒ ගෙවල්වල ලන්තෑරුම් පත්තු කරන වෙලාවට තමයි ඒගොල්ලෝ අවදි වෙන්නේ. දන්නවද කවුද කියලා? භූතයෝ! හරි අපූරු යාළු භූතයෝ! ලොකු මහත දුම් බටේ තියෙන ගෙදර තමයි යෝධ භූතයා ඉන්නේ. තොප්පි රාළ ඉන්නේ ගෙවල් පේළියේ උසම ගෙදර. හීන්දෑරියාගෙ ගෙදර සෝල්දරයක් තියෙනවා. ඒකට පිටිපස්සේ තියෙන තනි තට්ටුවේ ගෙදර තමයි කෝළම් පාල ඉන්නේ. ගෙවල් පේළිය කෙළවරේ තියෙන පුංචි ගෙදර ඉන්නේ පුංචි යාළු භූතයා. ඒගොල්ලෝ හරි විනෝදයි. හැම වෙලාවෙම හිනා වෙවී ඉන්නේ. යෝධ භූතයාගෙ වැඩේ කොච්චරවත් කන එක. ඉතින් එයාට කොච්චරවත් ගුඩුස් යනවා. තොප්පි රාළ හරි ආසයි හැම වෙලාවෙම තොප්පිය උස්සලා දකින හැමෝටම ආචාර කරන්න. හීන්දෑරියා හරි විහිළුකාරයා. එයාගෙ කටේ හැම වෙලාවෙම විරිත්තන හිනාවක් තියෙනවා, දකින අයටත් හිනා යනවා. කෝළම් පාලගේ වැඩේ කරණම් ගහන එක. වෙලාවක එයාව තරු පිරිච්ච අහසටම විසි වෙලා යයිද කියලා හිතෙන තරමට උසට එයා කරණම් ගහනවා. පුංචි යාළු භූතයා හරි අහිංසකයි. එයා ආස සින්දු කියන්න. අහසේ හැම තරුවක් ගැනම එයා සින්දු හදලා තියෙනවා. එයාගෙ සින්දු අහගෙන ඒ හැම තරුවක්ම සතුටින් හිනා වෙනවා..."

"ඉතින් ඕක තමයි ඔයාගෙ කතන්දරේ නේද?" කතන්දරයක් කියලා පුංචි දෝණිව නිදි කරන්න ආපු තාත්තාට සිද්ධවුණේ දෝණිගේ කතාන්දරයක් අහගෙන ඉන්න. "ඒක හරිම ලස්සනයිනේ!"

"අම්මානම් කියන්නේ මං හීනෙන් බය වෙලා කියලයි..." මාසයකට පස්සේ ගෙදර ආපු තාත්තා එක්ක කියන්න අවනඩු නැත්තේ මොන පුංචි කෙල්ලටද? "මම කොච්චර කිව්වත් අම්මා පිළිගන්නේ නෑ ඒ ගොල්ලෝ ඇත්තම ඇත්ත අය කියලා..."

"ආ... ඔව්... අම්මා කිව්වා තමයි මටත් එහෙම කතාවක්..." ඇත්තටම අම්මාත් තාත්තා එක්ක කියලා තිබුණේ අවනඩුවක්ම තමයි. තාත්තා ගෙදර නැති සාංකාවට දෝණිට හීන පේනවය, ඒ නිසා ඔය දුර බැහැර කරන රාජකාරි නවත්තලා ළඟපාතින් රස්සාවක් හොයාගන්නය, නැත්තම් ඒගොල්ලන්වත් තාත්තා ඉන්න දිහාවකට එක්ක යන්නය කියලා. 

"ඉතින් තාත්තාත් හිතන්නේ මං හීන දැක්කා කියලද...?" දෝණිගේ යටි තොල නොපිට හැරිලා.

තාත්තා ඩිංගක් කල්පනා කළා. ඊළඟට පොඩි හිනාවක් දැම්මා. "එහෙමම නැහැ... මට කියන්නකෝ බලන්න ඔය ගෙවල් පේළිය තියෙන්නේ හරියටම කොහෙද කියලා...?"

"තරු පිරිච්ච අහස යට!"

"හ්ම්ම්..." තාත්තා ඒ බව තේරුම් ගත්ත විදිහට ඔළුව වැනුවා. "ඔය තරු පිරිච්ච අහසෙ එක පැත්තක ලොකු පොත් රාක්කයක් එහෙම තියෙනවද?" දෝණිගෙ කට පුදුමෙන් ඇරුනා. "ම්ම්ම්..." තාත්තා ආයෙමත් ඔළුව වැනුවා. "ඒ ළඟින් මහා විසාල ග්‍රහලෝකයක් වගේ දුඹුරුපාට ලොකු ඇඳි පුටුවක් එහෙම තියෙනවා නේද...?" දෝණිගේ ඇස් දෙක දිලිසෙන්න පටන්ගත්තා. "මං හිතන්නේ මං දන්නවා ඔය කියන පාර!"

"තාත්තත් ඒගොල්ලන්ව දැකලා තියෙනවද? මගේ යාළු භූතයන්ව?"

"ම්හ්." තාත්තා ඔළුව දෙපැත්තට වැනුවා. "මං පොඩි කාලෙදි ඒ ගෙවල් හදලා තිබ්බෙ නැහැ. එතකොට එතන තිබ්බේ කැලෑවක්..." තාත්තාගේ කට කොණක ඇඳිලා තිබුණේ මිහිරි මතකයක හිනාවක්. "ඔයයි අම්මයි ඉඳගෙන පොත් කියවන පුටුවෙම ඉඳගෙන ඉස්සර මං මගේ අම්මත් එක්ක, ඒ කියන්නේ ඔයාගේ ආච්චි අම්මාත් එක්ක පොත් කියෙව්වා..."

ඒක දෝණිට හිතාගන්නවත් බැරි තරමේ අලුත්ම ආරංචියක්. "ඒ කැලෑවේ කවුද හිටියෙ?"

ඒකට උත්තර දෙන්න කළින්නම් තාත්තා පොඩ්ඩක් උගුර පෑදුවා. "සුරංගනාවො."

"සුරංගනාවො?"

"ෂ් ෂ්! හෙමින්, හෙමින්! අම්මාට ඇහෙයි!"

"සුරංගනාවො ඉන්නේ ගෑනු ළමයින්ගෙ කතන්දරවලනේ?"

"කවුද කියන්නේ?"

"මම එහෙමනේ අහලා තියෙන්නේ!"

"ආ එහෙනං ඔයා දැකපු භූතයෝ ඉන්නේ පිරිමි ළමයින්ගේ කතන්දරවලනේ?"

ඒ ගමන දෝණි ඩිංගක් වෙලා සද්ද නැතුව ඉඳලා ඔළුව වැනුවා. "ඔව් නේද... ඉතින් ඒ සුරංගනාවො ලස්සනයිද තාත්තේ?"

"ඔව්! හරිම ලස්සනයි!"

"අනේ මට ඒගොල්ලෝ ගැන අහන්න ඕනේ!"

"හරි..." ලස්සන කැලෑවක් මැද පුංචි පොකුණක මල් නෙළන්න ආපු සුරංගනාවක් ගැන කතාවක් තාත්තා කියන්න පටන්ගත්තා. ඒත් ඒ කතාවේ මැද හරියට යන්නත් කළින් දෝණි නින්දට වැටුණා. දෝණිගේ හිනාවෙන් පිරිච්ච හුරතල් මූණ දිහා බලාගෙන ටිකක් වෙලා හිටපු තාත්තා දෝණිගේ නළලට පුංචි හාදුවක් දීලා පොරෝණය පොරවලා පුස්තකාල කාමරය පැත්තට ගියා. 

ලොකු ඇඳි පුටුව ළඟ ලන්තෑරුම දැල්වුවාම තරු පිරිච්ච අහස හරි ලස්සනට එළිය වැටුණා. ඒ එළියෙන් තාත්තා පුංචි කාලේ දැකපු ලස්සන කැලෑව ආයෙත් මැවුණා. ඒ උඩින් සුරංගනාවො හිනාවෙවී පාවුණා. තමුන්ගේ සිතුවිලි මේ අපූරු මායාවන් මවාගැනීම නතර කළේ කොයි කාලේද කියලා තාත්තාට මතකයක් තිබ්බේ නැහැ. ඒත් දැන් ආයෙමත් ඒ මායාවන් අවදි වෙලා. තාත්තා බිත්තිය අයිනේ තිබුණ ලොකු පොත් රාක්කය ළඟට ගියා. දෝණිගේ සීයා ලියපු පොත් තමයි ඒ රාක්කේ උඩම තට්ටුව පිරෙන්න තිබ්බේ. ඒ දිහා බලා ඉඳපු තාත්තා තීරණයක් ගත්තා.

ඒ සතිඅන්තයෙන් පස්සේ ආපහු රාජකාරියට පිටත්වෙලා යන තාත්තා දිහා බලාගෙන හිටපු දෝණිත් අම්මාත් නොදන්න රහසක් තාත්තා ළඟ තිබුණා. තාත්තාගේ ගමන් මල්ලේ අනිත් බඩු මුට්ටු අතර, සුරංගනා ලෝකයක් ගැන ලියැවෙන ළමා කතන්දර පෙළක පළමුවෙනි කතාන්දරයක අකුරු ඇමිණිලා තිබුණා. සමහරවිට මේ රාජකාරි ගමනෙන් පස්සේ ඊළඟ නිවාඩුවට එද්දී ආපහු නොයන්න තීරණයකුත් තාත්තා අරගෙන එන්න බැරි නැහැ. කවුරු දන්නවද.

සමහරවිට තරු පිරිච්ච අහස යට කැලෑ මණ්ඩියේ සුරංගනාවොයි, ගෙවල් පේළියේ යාළු භූතයොයිනම් දන්නවා ඇති!

305. ආදර චෙරි මල...


මා ඇය පළමුවරට දුටුවේ එම අහසට දිවුණු පියගැට පෙළ මුදුණේ චෙරි ගස පාමුලදී ය. ඈ එම චෙරි ගස පාමුල නිවසේ පදිංචිකාරියකි. මා එම වෙරළබඩ ගම්මානයට අලුත පත් වී ආ ලියුම් බෙදන්නා විය. නුපුරුදු නම් ගම් කියවමින්, දොරින් දොරට එබෙමින්, හති දමමින් පියගැට පෙළ නැග ආ මා අත වූ ලියුම් කවරයේ ඇත්තේ එම නිවසේ ලිපිනය බව හිස වනා තහවුරු කළ ඇය එයද රැගෙන ගෙතුළට යන අතරේ මා එම දොරකඩ උස් පඩියක් මතින් වාඩි වූයේ ගිමන් හරින්නටය. මොහොතකින් ඈ යළි මා ඉදිරියේ සිටගෙන සිටියේ වතුර වීදුරුවක්ද අතැතිවය. එය මා ජීවිතයටම පානය කර තිබූ සිසිල්ම, රසවත්ම වතුර වීදුරුව විය. හිස් වීදුරුව යළි ඈ අතට ලබා දී හිස සලා, මටද හරි හැටි නොවැටහුණු මොනවාදෝ මුමුණා ස්තූතිය පළ කළ මම පියගැට පෙළ පහළට පියාඹා ආවෙමි.
ඉන් පසු මා එහි ගිය සෑම දිනෙකම එම වතුර වීදුරුව මාගේ පිපාසය සංසිඳවීය. නොබෝ දිනෙකින් එය රසවත් සිසිල් බීම වීදුරුවක් බවට පත් විය. මා සුපුරුදු උස් පඩිය මත හිඳ එය රසවිඳින අතරේ ඇය චෙරි ගස වටා දෑත් යවා පහළින් දිස් වන මහ සයුර දෙස බලා සිටියාය. මා ඇගේ නම ගම ආදිය විමසා සිටියද ඒ කිසිවක් නෑසුණු ලෙසින් නිහඬවම මුහුණ සඟවාගෙන හිඳ, මා අත වූ වීදුරුව හිස් වූ විගස එයද ඩැහැගෙන ගෙතුළට දිව යාම ඇගේ පුරුද්ද විය. එම නිහඬ නිමේෂයන් තුළ දැනුණු මහත් වූ අපූර්ව මායාවක් හේතුවෙන් මාගේ සිසිල් බීම පානය කිරීමේ වේගය දිනෙන් දින බෙහෙවින් මන්දගාමී වන්නට විය.
මා ඈ ගැන කෙතරම් කුහුලින් පසු වුවද, මාගේ වෙහෙස සංසිඳුවීම විනා වෙනත් කතාබහකට ඇගේ කිසිදු සූදානමක් නොවීය. මා රැගෙන එන ලියමන්හි සඳහන් නමෙහි හැටියට නිවසේ පුරුෂයෙකු සිටිනා බව මා දැන සිටි අතර ඒ ඇගේ පියා ලෙසින්ද, ඉඳ හිට දිනෙක කවුළුව අසළින් ඔබ මොබ යන්නේ ඇගේ මව විය යුතුයැයිද මම අනුමාන කර සිටියෙමි. දිනෙන් දින ගතවද්දී අප අතර වූ නිහැඬියාව බිඳිමින් මා ආගිය තොරතුරු කතා කරන්නට පටන්ගත් අතර ඇයද මුහුණ සඟවා නොගෙන උනන්දුවෙන් මා කියන දෑ අසා සිටින්නට වූවාය. ඇගේ මුහුණෙන් ප්රතිචාර ලෙසින් පළවන ඉරියව් බලා සිටින්නට ලස්සනය. සුන්දර දෙබැම අතරමැද නළල් තලය රැළි නැංවෙන අන්දම, විටෙක එම දෑස් විස්මයෙන් විසල් වන අන්දම, විටෙක අප්රසාදය හඟවමින් නහය හැකිලෙන අන්දම, ඒ සියල්ලට වඩා සිනහ කැල්මෙන් එම සොඳුරු වුවන විකසිත වන අන්දම කොතෙක් බලා සිටියද මට මදිය.
හදිසියේම දිනක අහම්බයකින් - ඉතාමත් අහම්බයකින් - හිස් වූ වීදුරුව යළි ඈ අතට දෙන මොහොතේ මගේ අත ඇගේ අතැඟිලිවල ගැටුණි. එදින චෙරි ගසත්, එය පාමුලත් රෝස පැහැයෙන් වැසී ගොස් තිබූ අන්දම මෙනෙහි කරමින් මා පියගැට පෙළ මතින් පා වී පහළට ආ බව මා හට මතකය. එයින් පසු රාජකාරිය අතරතුරේදීද, නවාතැන් පොළේදීද මා හට හිටි හැටියේ උන්හිටි තැන් අමතක වන්නට පටන්ගැනුණි; කිසිසේත් සිතින් ගලවාගත නුහුණු චෙරි මල් සුගන්ධයකින් හදවත වෙළී ඇති බවක් දැනෙන්නට පටන් ගැනුණි. මම තීරණයක් ගතිමි.
පුරා දිනයක් රාජකාරියෙන් නිවාඩු ගෙන මම නවාතැනේ කාමරය තුළට වී ලිපියක් ලීවෙමි. මගේ ආදර චෙරි මල... ඈගෙ නම හෝ නොදැන සිටි මා ලිපියේ ඈ ඇමතූවේ එලෙසිනි. කෙනෙකු වෙනුවෙන් හද පත්ලේ පැන නැගුණු ආදරයක් අකුරු කරන්නට ඒ තරම් අපහසු වේ යැයි මා දැන සිටියේ නැත. කවියන් හා කතුවරුන් එතරම් අපූරුවට එම භාවයන්ට අකුරින් පණ පොවන්නේ කෙසේදැයි මා දන්නේ නැත. කෙසේ හෝ අවසන, ඈ වෙනුවෙන් මා සිත පත්ලේ වූ හැඟීම මා දන්නා හැඩැතිම අත් අකුරින්, සුවඳ කැවූ වර්ණවත් කඩදාසියක සටහන් කරන්නට මම සමත් වූයෙමි. බිම විසිරී තිබූ පණහකට ආසන්න ඉරා දැමුණු කඩදාසි සියල්ල එකතු කොට ගුළි කොට කුණු කූඩයේ බහාලූ මම ඇඳේ දිගා වී යළි යළිත් ලිපිය කියැවූයෙමි. කටපාඩම් වනතුරුම එය කියැවූයෙමි. අනතුරුව එයට හාදුවක්ද පිරිනමා ප්රවේශමෙන් කොට්ටය යටින් තබාගතිමි.
එය ඈ අත පත් කරන්නට කෙතරම් නොඉවසිල්ලකින් සිටියද, නැවත එම පියගැට පෙළ මුදුනට ළඟාවන්නට මා හට ඉඩක් ලැබුණේ එයින් දෙදිනකට පසුවය. එදිනද ඇගේ රසවත් බීම වීදුරුව සෙමින් තොල ගානා අතරේ මම වෙනසක් නොමැතිව රට තොට තොරතුරු, කාලගුණය, දේශගුණය ගැන, තැපැල් කන්තෝරුවේ රස කතා ගැන කතා කළෙමි. ඇය සුපුරුදු ලෙස හිනැහෙමින් එය අසා සිටියාය. අවසන, ඇය හිස් වීදුරුව මා අතින් ගන්නට සූදානම් වූ මොහොතේදී මම එය අත් නොහැර ඈ දෙස බලාගෙනම සාක්කුවෙන් ගත් ලිපිය එතුළට දැමුවෙමි. ඇය පුදුමයෙන් එදෙස බැලුවාය. "ලියුම් බෙදන එක මගේ රාජකාරියනේ ඉතින්..." යැයි කියා මම වීදුරුව අත් හැරියෙමි. "ඕක එහෙම තාත්තාට ගිහින් දෙන්න එපා. ඔය ලියුම ඔයාට..." මගේ ආදර චෙරි මල හැබෑ චෙරි මලකටද වඩා රෝස පැහැ ගැන්වෙන බව මා දැනගත්තේ එදිනය. ඇගෙන් සුබවාදී පිළිතුරක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් මා පියගැට පෙළට අඩි ගණනක් ඉහළින් එය බැස ආවෙමි.
එය මා ඈ දුටු අවසන් දිනය විය.
මා එහි ගිය ඊළඟ වතාවේදී මා හමුවට ආවේ ඇගේ මවයි. දුර බැහැර ප්රදේශයක තැපැල් මුද්රාවද සහිතව මා ගෙන ආ ඝනකම් ලියුම් කවරය ඈ අත පත් කරන අතරේ මම බර වූ සිතින් යුතුව වටපිට බැලීමී. ඈ පෙනෙන්නට නැත. ලිපිය භාරගත් බවට මව අත්සන යොදන අතරේ මා ඉහළ මාලය දෙසට හිස හැරවූයෙමි. තිර රෙද්දක් වේගයෙන් ගැස්සී ගිය අන්දම මගේ දෑසට හසු විය. "ඔය ළමයාට මහන්සිද? මම බොන්න මොනවත් ගේන්නද?" මව අසනු ඇසුණි.
"නෑ - එපා - ස්තූතියි... මේ..." ඈ පිළිබඳව විමසා සිටින්නේ කෙසේදැයි සිතමින් මා වචන ඇහිඳින අතරේ මව යළිත් කතා කළාය.
"මේ පැත්තේ වැඩිය නෑවිත් හිටියානම් හොඳයි!" එසේ පවසා එවිගසින් ඇය ගෙතුළට ගියාය.
මගේ ආදර චෙරි මල මට කැමති නැත... නැතහොත් ඇගේ දෙමාපියන් මට කැමති නැත... කුමක් හෝ හේතුවක් නිසා චෙරි මල මගේ වන්නට කැමති නැත... මම පඩි පෙළ බැස ආවෙමි. එහි පියගැට තැනින් තැන කැඩී, ඉරිතලා ගොස් ඇත. ඒ අතරින් පතර කුඩා තණ පඳුරු හිස් ඔසවා ඇත. එහි එක් තැනෙක ගුලකින් පිටතට ඇදුණු ඇඹලයන් පේළියක් පියගැටපෙළෙන් එපිට නිවසක කණුවක් වෙත ඇදී ගියේය. එක් විටෙකදී ගොළුබෙල්ලෙකු මා පසු කර පඩි දෙකක් තරණය කළේය. එදින සන්ධ්යා වරුවමද, ඉර බැස ගොස් බොහෝ වේලා ගත වන තුරුද මම ජැටියේ අත්වැටට බර දී නිමක් නොමැතිව නැගෙනා සයුරු රළ දෙස බලා සිටියෙමි.
පෙරදී ඔවුන්ගේ නිවසට ලියමන් නොතිබුණද, ඒ ආසන්නයට ඉහළට නැගුණු දිනවලද මම එහි ගියෙමි. නමුත් ඉහළ මාලයේ කවුළුවේ තිර රෙද්ද ඈ මා වෙතින් සඟවාගත් පසු මා එහි ගියේ ඔවුන්ගේ ලිපියනට ලිපි තිබුණහොත් පමණි. ඒ සෑම දිනකම මා හමුවට පැමිණියේ ඇගේ මවයි. නමුදු එයද තවත් සති කිහිපයක ඇවෑමෙන් නිම වනු ඇති බව දැන සිටියානම් මා හට තවත් එක් වරක් හෝ උත්සාහ කරන්නට තිබුණි.
නමුත් මා ප්රමාද වැඩි විය. මගේ ආදර චෙරි මල මාගේ ලිපියට කිසිදු පිළිතුරක් - සුබවාදී හෝ අසුබවාදී හෝ කිසිදු පිළිතුරක් - නොදී මා හැර දමා සිය දෙමාපියන්ද සමග දුර ඈතක ඉගිළ ගොස් තිබුණි.
මා හට දැනුණු වේදනාව මෙතෙකැයි කිව නොහැක. පියගැට පෙළ මුදුණේ වූ චෙරි ගසේ මල් පිපී ආදරයේ පැහැයෙන් හාත්පස වසාගනිද්දී, අතීත මතකයන්ගේ වේදනාව මා සිත දවාළීය. ඒ පියගැට පෙළේ එක් පඩියක් පඩියක් පාසා මාගේ එම වේදනාවට සාක්ෂි දරණු ඇත. මුළදී මා හට උවමනා වූයේ එතැනින් පළා යන්නටය. නමුත්, රාජකාරියෙන් එයට ඉඩක් නොවීය. සේවය ආරම්භ කොට යාන්තම් අවුරුද්දක් සපුරන්නට ආසන්නව සිටි මා ස්ථාන මාරුවක් ලබා ගැනීමටනම් තවත් දෑවුරුද්දක් ඉවසා සිටිය යුතු විය. නමුත්, එම දෙවසර ගෙවී යද්දී මා හට ඇගේ මතකය හැර දමා යන්නට ලෝබ සිතක් ඇති විය. අනෙකුත් උදවිය වෙරළේ රැස් වී විනෝද වනවිට, බැස යන හිරු දෙස බලා සිටිනා විට මා සිදු කළේ සයුරට පිටු පා ජැටියේ අත් වැටට හේත්තු වී පියගැට පෙළ මුදුණේ වූ චෙරි ගස දෙස බලා හිඳීමය. එහි මල් පිපී, ඵල දරා, කොළ හැලී හිස්ව යන අන්දමද, යළිදු වසන්තයේ උදාවත් සමග මලින් බරවන අන්දමද මම බලා සිටියෙමි. නමුදු මාගේ ජීවිතයට යළිත් වසන්තයක් උදා වනු ඇතැයි කිසිදු බලාපොරොත්තුවක් මා වෙත නොවීය.
ඈ මා හැර දමා ගොස් දැනට පස් වසරකි. පියගැට පෙළ දෙපස නිවෙස්වලට ලියුම් බෙදා දෙමින්, ඔවුන් හා සුපුරුදු සුහද පිළිසඳරෙහි යෙදෙමින් මම පඩි නගිමින් සිටියෙමි. එක්වරම පඩියක් මග හැරී ගොස් මා නොවැටී බේරුණේ යාන්තමිනි. පස් වසරකට පසුව මාගේ අතෙහි වූයේ චෙරි ගස පාමුල නිවසේ ලිපිනය සඳහන් වූ ලියමනකි. මම ඉහළ බැලුවෙමි. පියගැට පෙළෙහි මුදුණ රෝස පැහැයෙන් වැසී ගොස් තිබුණි. එම ආදරයේ පැහැය මුදුණත වසන්තය උදා වී තිබුණි!
මට සිතුණේම ආපසු හැරී පඩිපෙළ බැස දිව යන්නටය. නමුත් රාජකාරිය ඉටු කළ යුතුව ඇත. මම එහි ගියෙමි. දොරටුව විවර කරගෙන සුරංගනාවක් ලෙසින් සුන්දරව මා වෙත ඇවිද ආවේ ඇයයි! මඳක් මුහුකුරා ගිය පෙනුමින් යුතු, එහෙත් පෙර ලෙසම සුන්දර වූ ඇයයි! ඇගේ දෑසේ වූයේ පුදුමයක්ද? සතුටක්ද? ශෝකයක්ද? පසුතැවිල්ලක්ද? වශීකෘතව ගත වූ නිමේශයකට පසු යළි ප්රකෘති සිහියට පැමිණි මම, ඈ නාඳුනනා ලෙසින් ඉවත බලාගෙනම ඇගේ පියාගේ නමට වූ ලියමන අසළ පඩිය මත තබා ආපසු හැරෙන්නට සූදානම් වූවෙමි. ඒ මොහොතේ ඉක්මන් පියවර දෙකකින් මා වෙත ළඟා වූ ඇය දෑතින්ම මගේ බාහුව අල්ලාගත්තාය. අධි බලැති විදුලි සැරය හේතුවෙන් මා එතැනම ගල් ගැසී ගියද එක් මොහොතකට හෝ ඈ දෙස නොබලා හිඳින්නට මම ප්රවේශම් වූවෙමි. ඈ හා කතා කරන්නට කිසිවක් මා හට ඉතිරිව නැත. පස් වසරකට පෙරදී කියන්නට ඇති සියල්ල කියා මා දුන් ලියමනට කිසිදු පිළිතුරක් නොදී මා දමා පිටව ගියේ ඇයයි. පිළිතුරු දිය යුත්තේ ඇයයි. මාගේ සිතැඟි තේරුම් ගත් ලෙසින්දෝ ඇය මාගේ මග අවුරමින් මා ඉදිරියට ආවාය. මම යළිත් ඉවත බලාගතිමි.
ඈ සමාව ඉල්ලන්නට සූදානම් වනවා විය යුතුය. ගැහැනුන් සතු ප්රබලතම අවිය - කඳුළුද - ඇය භාවිතයට ගනු ඇත. නමුත් ඒ කිසිවකින්වත් කිසිවක් වෙනස් වන්නේ නැත. සමාව දෙන්නට බැරි කමක් නැත. නමුත් ඈ මාගේ සිත රිදවූ තරම අමතක කර දමන්නේ කෙසේදැයි මා දන්නේ නැත. නමුත් ඇය සමාව ඉල්ලා සිටියේ නැත; හඬා වැළපුණේද නැත; ඒ වෙනුවට මාගේ හුස්ම හිරව යන තරම් තදින් මා වැළඳගත්තාය. "කොහොමද මං වගේ ගොළු කෙල්ලෙකුට ඒ තරම් ආදරේ කළේ...?" ඇය මිමිණුවාය. ජීවිතයේ පළමුවතාවට ඇසුණු ඇගේ කටහඬේ වූ ගොරහැඬි බවින් වික්ෂිප්තව මා කුමක් සිතන්නටදැයි නොදැන ඇගේ ග්රහණයේ සිරව සිටියදී ඇය යළිත් කතා කළාය. "අපි ඊයෙ ආවේ. එන ගමන් තැපැල් කන්තෝරුවට ගියා ඔයා ගැන අහන්න. ඔයා තවමත් මෙහෙ වැඩ කරන බව දැනගත්තාම මට හරිම සතුටු හිතුණා. මට ඔයාගෙ යාළුවා හම්බවුණා, ඔයා ඉස්සර නිතරම මට කියන්නේ..." ඇය හිනැහුණාය.
මා හට කිසිවක් සිතාගන්නට නොහැකි විය. "කවුද? බෙනී? ඒකා එහෙම දෙයක් කිව්වේ නෑනේ මට?"
"මං කිව්වා ඔයාට කියන්න එපා කියලා..." ඇය යළිත් හිනැහුණාය. "ඔයා නිසයි මං අද මෙහෙම ඉන්නේ මාර්ලන්... ඔයා නිසයි මං කතා කරන්නේ... ජීවත් වෙන්නේ... ඔයාගෙ ආදරේ නිසයි....."
මගේ ආදර චෙරි මල සූදානම්ව හිඳ ඇත්තේ පරව යන්නටය. ඇගේ මියුරු හඬ උදුරාගත් රුදුරු පලිබෝධ කෙමෙන් ඇයවද සිය වසඟයට ගන්නට සූදානම්ව සිටියදී ලැබුණු මාගේ ලිපිය හේතුවෙන් ඇයට ජීවිතය පිළිබඳ නව බලාපොරොත්තු ගොඩ නගාගන්නට සිතී ඇත. සිහින දැකීම අත් හැර දමා තිබූ ඇයට ආදරයෙන් පිරුණු සිහින පෙනෙන්නට පටන්ගෙන ඇත. නොබෝ දිනකින් ඔවුන් සැත්කම් හා ප්රතිකාර සඳහා විදෙස්ගත වීමට නියමිතව තිබුණද, ඒ කිසිවක් මා හට නොදන්වා රහසේම පිටව යන්නට තීරණය කළේ මාගේම යහපතට බව ඈ පවසා සිටියාය. යම් හෙයකින් ප්රතිකාර අසාර්ථක වුවහොත්, ආදරය කරන්නෙකු මියැදෙමින් ජීවත් වනු බලා හිඳීමට වඩා ආදරයෙන් පරාජය වීමේ වේදනාව දරාගැනීම මා හට පහසු වනු ඇති බව ඇගේ නිගමනයව තිබුණි. නමුත් ඈ අද ජය ගෙන ඇත. පලිබෝධයන් පරදා දමා මගේ ආදර චෙරි මල වසන්තයේ පිපෙන්නට සූදානම්ව ජීව්යෙන් පිරිපුන්ව හිනැහෙමින් බලා හිඳින්නීය. අනාගතය පිළිබඳ සොඳුරු සිහින දකිමින් හිඳින්නීය.
ඔවුන්ගේ නිවසේ විසිත්ත කාමරයේ ඇයටත්, ඇගේ දෙමාපියන්ටත් මැදිව මේ සියල්ල අසා සිටි මම මහා බරැති සුසුමක් පිට කළෙමි. තවත් වේලා ඔවුන් හා කතාබස් කරමින් හිඳ තේ පැන් සංග්රහයක්ද භුක්ති විඳීමෙන් අනතුරුව මා නිවසින් පිටතට බට මොහොතේ ඇයද මා සමගින් පිටතට පැමිණියාය. මම හිස ඔසවා අප අසළම වූ චෙරි තුරු හිස දෙස බැලුවෙමි. රෝස පැහැ මලින් පිරි චෙරි ගස වසන්තයේ මිහිරියාවෙන් පැහැබරව ඇත. පියගැට පෙළෙහි ඉහළ පියගැට සියල්ල වසාගෙන පැතිරි රෝස පැහැය පාවඩයක් මෙන් ආදරවන්තයන් පිළිගන්නට සැදී පැහැදී සිටියි. මම මගේ ආදර චෙරි මල දෙස බැලුවෙමි. ඇය ලැජ්ජාවෙන් පිරි සිනහවක් පෑවාය. පෙරදී ඈ මා වැළඳගත්තාටද වඩා තදින් මම ඇය වැළඳගතිමි. "මට කියලා තිබුණානම්, මටත් ඔයාට ශක්තියක් වෙන්න තිබ්බා... මගේ චෙරි මල තනියම ලොකු සටනක් කරලා....." මම කීවෙමි.
"ඔයාගේ ආදරේ තමයි මගේ ලොකුම ශක්තිය වුණේ... ඔයාගේ ආදරේ හැමදාමත් මගේ ළඟ තිබුණා....." ඇය මිමිණුවාය.
මම නිහඬව ඇගේ හිස අතගෑවෙමි. "මං ඔයාව දකින්න නැතුව පාළුවෙන් හිටියේ... ඔයා වෙනුවට මේ චෙරි ගහ දිහා බලං ඉඳලා තමයි මං පාළුව නැති කරගත්තේ..." මම ඈ වෙතින් මෑත් වී ඇගේ මුහුණ දෙස බැලුවෙමි. "ඉතින්... කවදද මගේ ලියුමට උත්තර දෙන්න හිතාගෙන ඉන්නේ...?"
"මම දැනටම උත්තර දීලානේ තියෙන්නේ....." ඇය ප්රශ්නාර්ථය පිරි මුහුණින් පැවසුවාය. "මමත් ඔයාට ආදරෙයි... ගොඩාක්..."
මම හිස දෙපසට සැලුවෙමි. "අන්තිම ප්රශ්නෙට තවම උත්තර දුන්නෙ නෑනේ................. මාව බඳින්න කැමතිද...?"
ඇය මා මෙලොව දැක ඇති සුන්දරම සිනහව පෑවාය. අනතුරුව හිස ඉහළ පහළ වැනුවාය. මම සෙමින් ඇගේ මුහුණ වෙත සමීප වූයෙමි. චෙරි ගසේ පිපී ඇති මල් සියල්ලේ රුව පරයන රෝස පැහැයක් මාගේ තුරුළේ බබළද්දී මම මහත් සෙනෙහසින් ඇගේ මුව සිපගතිමි.



304. සතුටු බෝල...


පාට පාටින් දිලිහෙමින් පාවෙවී පාවේවී අහසට නගින සබන් බෝල දිහා චූටි පුතා බලාගෙන හිටියේ හරිම සතුටින්. ලොකු උත්සවේට ඇවිත් හිටපු වැඩිහිටියන්ට ලොකු ලොකු වැඩ තිබුණට, පොඩිහිටියන්ටනම් තිබුණ ලොකුම වැඩේ තමයි මේක. ලොක්කෙක් වගේ ජැන්ඩියට ඇඳගෙන හිටපු චූටි පුතාත් සබන් බෝල පිඹින අයියලා අක්කලා මැද්දට වෙලා සතුටින් උඩ පැන්නා, අත්පුඩි ගැහැව්වා; ඒක හරිම පුදුම මායාවක්! ඇත්තටම!

සබන් බෝල! ඒවා කොහොමද උඩ යන්නේ? මෙහෙම ලස්සනට... පාට පාටට... මට බැරි වෙයිද ඒවා අල්ලගන්න? චූටි පුතා සබන් බෝල අල්ලගන්න උඩ පැන්නා. එයාගෙ චූටි අත් පොඩි වැදුණ ගමන් ඒවා 'ප්ලොප්' ගාලා පිපිරුවා. චුට්ටකට මූණු පොඩිය බෙරි වුණත් ඒ එක්කම පාවෙලා ආපු ඊළඟ සබන් බෝල පේළිය නිසා ආයෙමත් ඒ මූණේ හිනාව පිරුණා. ඒ මායා බෝල චූටි පුතාව වට කරගෙන වටේට නටන්න පටන්ගත්තා... ඒවා ඇතුළේ සුරංගනාවියො ඉන්නවද දන්නෙ නෑ... මූණ ළඟටම පා වෙලා ආපු එක ලොකුම ලොකු බෝලයක් එක මොහොතකට චූටි පුතා ළඟ නතර වුණා... චූටි පුතා හෙමින් හෙමින් අත ළං කළා... ඒ වෙලාවෙදි ඒ මායා බෝලය පිපිරෙන්නේ නැතුව චූටි පුතාගේ අත උඩට ආවා... ඒක හරිම ලස්සනයි... සුරංගනාවියෙක්නම් පේන්න නැහැ... ඒක ඇතුළේ පිරිලා තියෙනවා ඇත්තේ සතුට... චූටි පුතාට එහෙම හිතුණා... හිත සතුටින් පිරුණාම අපිටත් පියාඹන්න හිතෙන්නේ ඒකයි... සතුටින් පිරිලා ඉන්න නිසා තමයි මේ සබන් බෝල උඩ යනවා ඇත්තේ... දුකෙන්, තරහෙන් බර වෙච්ච සමහර සබන් බෝල නිකම්ම බිමට බැහැලා යන හැටිත් චූටි පුතා දැක්කා. සුරංගනාවියො ඕන නෑ, අපිම හැම වෙලාවෙම සතුටින් හිනාවෙලා ඉන්න හේතු හොයාගත්තානම් හරි... චූටි පුතා අතේ තිබ්බ සබන් බෝලෙට පුංචි කට උල් කරලා හෙමීට පිම්බා... ඒ මායා බෝලය චූටි පුතාගෙන් සමු අරගෙන හිනා වෙවී බැබළි බැබළි ඉහළට ඉහළට පාවෙලා ගියා... ඔව්, සතුට අපි ළඟම විතරක් තියාගෙන ඉන්නවට වඩා ඒ සතුට බෙදාගත්තාම සතුට වැඩියි...

සතුටයි, හිනාවයි පිරුණු ලස්සන හෙට දවසක එළියෙන් බැබලෙන පුංචි ඇස් අහසට නගින සතුටු බෝල දිහා ම බලාගෙන හිනාවුණා... ඒ හුරතල් හිනාව දැකපු හැමෝගෙම මුහුණු හිනාවෙනුත්, සතුටිනුත්, ආදරයෙනුත් පිරුණා...




303. ඉබිහාමි...



ඇළ කණ්ඩියට පහළින් තිබුණ ගල් පොත්ත උඩට වෙලා දැන් සෑහෙන වෙලාවක් තිස්සේ ඉබිහාමි බලාගෙන ඉන්නවා. දෙල් ගහට හේත්තු වෙලා පොතක් කියව කියව ඉන්න ගෑනු ළමයා දිහෑ. ඉබිහාමි සාමාන්‍යෙන් ඔය ඕපදූප හොයන කෙනෙක් නෙවෙයි. ඒත් මේ දිහාවෙනං උන්දැට නොබලා ඉන්නම බැරි වුණා. ඒ ළමයා හරියටම මල්කාන්ති වගේමයි. ඒකයි.

මල්කාන්ති කියන්නේ ඉබිහාමිගේ මුල් ම ආදරේ. ඉබිහාමිවත් නොදන්නා කොහේදෝ දිහාවකින් එයාව මෙහෙට එක්කගෙන ආවේ මල්කාන්ති. ඔය උඩහා තියෙන ගෙදර තමයි මල්කාන්ති හිටියේ. එතකොට එයා හිච්චි කෙල්ල. ගේ ළඟම පොකුණකුත් හදවගෙන ඉබිහාමිව ඒකේ තියාගෙන මල්කාන්ති දවසෙම ඉබිහාමිත් එක්කමයි. ඉබිහාමිට කැව්වෙ, පෙව්වෙ, නිදිකෙරෙව්වෙ මල්කාන්තිමයි. එයා ඉබිහාමිට කතන්දර පොතුත් කියලා දුන්නා. ඒවා අහං ඉඳලා ඉබිහාමිත් හරි හරි දේවල් ඉගෙනගත්තා. ගෙවල්වල ඉන්න අනිත් සත්තුන්ට ලස්සන ලස්සන නම් තියෙනවා කියලා ඉබිහාමි දැනගත්තෙත් ඔය පොතකින්මයි. එදා තමයි ඉබිහාමි මුල්ම වතාවට මල්කාන්ති එක්ක තරහා වුණේ. ඇයි එයාට ඒ වගේ ලස්සන නමක් දාන්න බැරි? ඉබිහාමි! චික්, ඒ නමේ කැත විතරක්! ඕන්න ඔහොමයි ඉබිහාමිට හිතුණේ. ඒත් දවසක් දෙකක් නොකා නොබී තරහා වෙලා ඉඳලා ඉබිහාමි හිතහදාගත්තා. කමක් නෑ, වෙන කාටවත් නැති ජාතියේ නමක් තියෙන එකත් ලොකු දෙයක්නේ! තව දවසක් ඉබිහාමි පොතකින් ඉගෙනගත්තා කුමාරිකාවකගෙන් හාදුවක් ලැබිලා ගෙම්බෙක් මනුස්සයෙක් වෙච්ච කතාවක්. ඒක අහපු දා ඉඳං ඉබිහාමිටත් දැනුණේ නිකං එයා කුමාරයෙක් වගේ. ගෙම්බොන්ට පුළුවන්නම් ඉබ්බොන්ට බැරි මොකද! කුමාරයෙක්ද නැද්ද කියලා බලන්න හාදුවක් දීලාම බලන්න එපෑ! මල්කාන්තිත් කොහොමත් කිය කියා හිටියේ එයා ලොකු වුණාම කුමාරිකාවක් වෙනවා කියලා. ඉතිං එයා ලොකු වෙලා ඉබිහාමිට හාදුවක් දෙයි කියලා ඉබිහාමි බලං හිටියා.

ටික ටික කාලෙ ගෙවිලා ගියා. හදිසියේම දවසක ඉබිහාමිගේ නවාතැන මාරු වුණා. මල්කාන්තිගේ කාමරේ ළඟ ම පොකුණ වෙනුවට ඉබිහාමිට වත්ත පහළ ඇළට යන්න වුණා. එයාව ගෙනිහින් ඇළට අතඇරියේ මල්කාන්තිගේ අප්පච්චි. අනේ එදා මල්කාන්ති කාමරේට වෙලා ඉකි ගගහා අඬන හැටි ඉබිහාමි අහගෙන හිටියේ හරි දුකෙන්. ඒත් කමක් නෑ, වැඩි දුරක් නෑනේ. ඉබිහාමි හැමදාම ගියා මල්කාන්තිව බලන්න. මල්කාන්තිත් හැමදාම ඇළ ළඟට ආවා ඉබිහාමිව බලන්න. කාලය ටිකෙන් ටික ගෙවිලා ගියා. මල්කාන්ති ඇළ ළඟට එන ගමන් දවසෙන් දවස අඩු වෙන්න ගත්තා. ඉබිහාමිට හිතාගන්න බෑ ඒ මොකද කියලා. ඒත් එයා වෙනස් වුණේ නැහැ. එයා හැමදාම ඇළෙන් ගොඩ වෙලා හෙමින් හෙමින් කන්ද නැගගෙන ගියා මල්කාන්ති බලන්න. ඒ සමහර දවසට මල්කාන්තිට ඉබිහාමි එක්ක කතා කරන්නවත් වෙලාවක් තිබ්බෙ නැහැ. තව සමහර දවසට එයාට ඉබිහාමි ඇවිත් ඉන්න බවවත් පෙනුණෙ නෑ. එයාට එච්චරට වැඩ. කුමාරිකාවක් වෙන එකත් ලේසි නැහැනෙ! ඉබිහාමිට හිතුණා.

ඉතින් දවසක්දා මල්කාන්ති ඇත්තටම කුමාරිකාවක් වුණා. දෙයියනේ, එදා එයාගෙ ලස්සන! ඇළ ඉහත්තාවට ඒ හැටි මොකවත් පෙනුණෙ නැති හන්දා ඉබිහාමි හෙමින් හෙමින් ගේ දිහාවට කිට්ටු වෙලා බලං හිටියා. හැබෑම ලස්සනයි! ඔව්! හැමෝගෙනම එයාට හරි සැලකිලි! මල්කාන්ති හිටියෙ හරිම සතුටින්. ඉබිහාමිට ඒ බව හොඳටම තේරුණා. ඉතින් ඉබිහාමිටත් සතුටුයි. කවුදෝ හාදයෙක් එයාට ළං වෙලා හිටියානං ඕනවට වැඩියි හැබැයි. ඒකට මක් වෙනවද. දැන් ඉබිහාමිගෙ මල්කාන්ති කුමාරිකාවක්. එයා ඉක්මනටම එයි ඉබිහාමිවත් කුමාරයෙක් කරගන්න. ඉබිහාමි එහෙම හිතාගෙන බලාගෙන හිටියා. මහ හයියෙන් මොනවාදෝ පුපුරන සද්දයක් ඇහෙද්දි ඉබිහාමි පුරුදු වේගෙට වඩා කඩිමුඩියෙ ආපහු ඇළ දිහාවට පල්ලම් බැස්සාට මල්කාන්ති ඉක්මනටම එයාව හොයාගෙන එයි කියන බලාපොරොත්තුව එයාගෙ හිතේ තිබ්බා. ඒ හිතුවිල්ලෙන් ඉබිහාමි දවස් ගාණක් බලාගෙන හිටියා. ඒත් ඉන් පස්සේ ආයෙ කවදාවත් ඉබිහාමි මල්කාන්තිව දැක්කේ නැහැ.

ඒ ඔක්කොම වෙලා දැන් සෑහෙන කාලයක්. ඉබිහාමිටත් දැන් සෑහෙන්න වයසයි. අවුරුදු ගණනිං වයස ගණින්න ඉබිහාමි දැනගෙන උන්නෙ නැතත්, මල්කාන්ති යන්න ගිහිං හුඟ දොහකට පස්සේ ඇළ දිගේ පීනගෙන ඇවිදිං ඉබිහාමි උන්නු ඉසව්වේ නතර වෙච්ච ඉබි කෙලී, ඉබිහාමිගේ හාමිනේ වෙලා දෙන්නත් එක්ක පැටවු ගාණකට මවුපියො වෙලත් දැන් සෑහෙන කාලයක්. පවුල් පන්සල් වුණාට පස්සේ ඉතිං ඉබිහාමිත් අඩු තරමේ කන්ද නැගලා ගෙට ළංවෙලා මල්කාන්ති ගැන හෝඩුවාවක්වත් තියෙයිද කියලා හෝදිසි කරන එකත් නතර කරලා දැම්මා. ඉබි හාමිනේ ඔව්වා කොහොම තේරුං ගනියිද කවුද දන්නේ. මොකටද නිකං නැති පුරස්න ඇති කරගන්නේ. හාමිනෙත් ඉතිං ඉබිහාමිව දාලා නො එන ගමං ගිහිං දැන් පෝය හතරක් පහක් වෙනවා. පැටවු ටිකත් උන්ගෙම ගෙවල් හදාගෙන යන්න ගිහිල්ලා. උන් එක්ක යන්ට කතා කළාට ඉබිහාමි මේ ගල්පොත්ත දාලා යන්න කැමති වුණේ නෑ. බැරි වෙලාවත් - බැරි වෙලාවත් මල්කාන්ති ආපහු ආවොතින්? කොච්චර කොහොම කවුරු මොන කතා කිව්වත් පළවෙනි ආදරේ කියන්නේ එහෙම අමතක කරනන් පුළුවන් දෙයක් නෙවෙයි. ඔව්. ඉබ්බන්ටත් ඒක එහෙමම තමයි.

ඒ වුණාට ඉතිං මේ ඉන්න දැරිවි රූප සොබාවෙන් කොයි තරම් මල්කාන්ති වාගේම වුණත් ඒ එයා නෙවෙයි කියලා ඉබිහාමිට දැනෙනවා. කොණ්ඩෙත් වෙනස්. ඇඳුම පැළඳුමත් වෙනස්. මල්කාන්තිගෙ කොණ්ඩෙ දණිහ ළඟට දිගයි. ඇන්දෙ ලස්සනම ලස්සන ගවුම්. ඒත් ඉබිහාමිට ගල්පොත්තෙන් ඩිංගක් ඉහළට ඉස්සිලා බලන්න හිතෙන එක නවත්තගන්නම බැරි වුණා. හාමිනේ උන්නානං කියයි නාකි විසේ ගෙටත් උසේ කියලා. එයැයි ඔයාකාර මහප්‍රාණ කතා එමට දන්නවා. ඇයි කොච්චරවත් ඇළ පහළ මංකඩින් නාන ළිඳ ළඟට ගොඩවෙලා එතන ගමේ ගෑනු කතා වෙන ඕපදූප අහං ඉන්න එක නෙව තිබුණු රාජකාරිය! ඉබිහාමිට එව්වා මතක් වෙද්දි තනියම හිනා.

ජබොහ්!

හපොයි මදැයි වෙච්චි හරිය! ඇළ කණ්ඩියේ එල්ලීගෙන හිනාවෙන්න ගිහිං ඉබිහාමි ඇළට පතබෑවෙච්චි! ඉලන්දාරි කාලේ කොරපු හපංකම් දැන් කරන්න පුළුවනෑ! දෙල් ගහට හේත්තු වෙලා උන්නු දැරිවි දනිපනි ගාලා නැගිටගෙන ආවා. ඇළ කණ්ඩියෙන් පාතට හිනා මූණකුත් එක්ක එබිලා ඒ දැරිවි දෝත දික් කරද්දි ඉබිහාමිටනං ඕන වුණේ පණ එපා කියලා පැනලා දුවන්න. දුවනවා තියා එක අඩියක් තියාගන්ට බැරුවා. ඉතිං වෙන මක් කරන්නද, ඉබිහාමි ජීවිතේ පළවෙනි වතාවට කටුව අස්සේ හැංගුනා. මොන නව නිංගිරාවක්ද! මෙතුවක් කාලෙකට කාටවත් බය නොවිච්චි ඉබිහාමි. හපොයි! ඉස්සිලා පැද්දිලා අඩමානෙට කොහේදෝ පාවෙනවා වාගේ දැනෙද්දී ඉබිහාමි කටුව ඇතුළටම වෙලා ඇස් දෙකත් වහගත්තා. තමුන්ට මොකකින් මොකක් වෙන්න යනවද කියලා ඉබිහාමිට හිතාගන්න බැරුව ගියා.

තරමක් වෙලා පැද්දි පැද්දි පාවුණාට පස්සේ ඉබිහාමි කොහෙදෝ මට්ටම් පොලවක හිටගෙන හිටියා. හිටගෙන හිටියා කිව්වාට එයාගෙ අත් කකුල් ඔක්කොමත් තිබ්බේ කටුව ඇතුළේ. ඒත් අර අඩමාන ගමනට වඩා මේ ඉන්න තැනනම් ඉබිහාමිට හිතට සැනසිල්ලක් ගෙනාවා. තෝන්තු වෙච්ච ඔළුව ඉබි කටුව ඇතුළෙම එහෙට මෙහෙට කරකැවෙන අස්සේ ඉබිහාමි හෙමීට ඇස් ඇරියා. ඔළුව ඉස්සරහින් තිබුණ හිලෙන් එබීගෙන හිටියේ අර දෙල් ගහට හේත්තුව දාගෙන උන්නු පුංචි නෝනා. දෙන්න හිතයි හොම්බට දෙකක්! ඒකනං ඉබිහාමි බාල කොලූගෙන් ඉගෙනගත්තු එකක්. ඒකාව සැරයක් එක්ක ගිහිං තිබුණා බයිස්කෝප් එකක රඟපාන්න. අන්න එව්වැයිං තමයි ඒකා ඔවා ඉගෙනගෙන තියෙන්නේ.
 
ඊළඟට ඉබිහාමිට ආපහු වටයක් කරකැවෙනවා දැනෙද්දි නොදැනීම ආයෙමත් ඇස් දෙක පියවුනා. ඉබිහාමිට කේන්තියෙ බෑ. කේන්තියි කියලා මක් කරන්නද ඉතිං. ඉබිහාමි කටුව ඇතුළෙම හැංගිලා හිටියා. ඒත් එක්කම ඉබිහාමි දිහාට ඇදිලා ආවේ හරි පුරුදු සුවඳක්. ඉබිහාමි හොඳට ඉව ඇල්ලුවා. වයසත් එක්ක ඇස් පෙනීම, කං ඇහීම වාගෙම ඉව දැනීමත් ටික ටික අඩුවෙලා ගිහිං තිබුණත් ඉබිහාමිට මේ සුවඳ කවදාවත් අමතක වෙන්නේ නැහැ... ඔව්... ඒ... ඉබිහාමි ඇස් ඇරියා. හරි පුරුදු ලතාවකට ඉබිකටුව පිරිමැදෙනවා ඉබිහාමිට දැනුණා. ඉබිහාමි සුටුස් ගාලා කටුවෙන් එළියට ආවා.

මල්කාන්ති!!!

එයත් සෑහෙන්න වයසට ගිහිල්ලා. ඉබිහාමි වගේම. ඒත් ඉස්සර වගේම හරි පිං පාටයි. ඒ ළඟින් ඇවිල්ලා හිටගත්තේ දෙල් ගහ ළඟ උන්නු ගෑනු ළමයා. "එයා හරි ලස්සනයි නේද ආච්චි අම්මේ?" ඒ දැරිවි අහනවා ඇහුණා. මල්කාන්ති ඉබිහාමිව අත් දෙකෙන්ම උස්සලා ළඟට ගත්තා. එයාගේ අත් දෙකත් වෙව්ළනවා. ඉබිහාමි ඒ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා. ඒ ආදරේ තාමත් එහෙමමයි. ඉබිහාමිට ඉහිළුම් නැහැ. සන්තෝසෙට පපුව පැලෙන්න තරමයි.

"ඉබිහාමි?" මල්කාන්තිගේ ඒ ලස්සන කටහඬ, වයසට ගියත් තාමත් හරි ලස්සනයි. ඉස්සර වගේම ලස්සන තාලයක් තියෙනවා. ඉබිහාමි ඔව් කියන්න හෙමීට ඔළුව වැනුවා. මල්කාන්තිගේ මූණේ ලස්සන හිනාවක් ඇඳුනා. එයා ඉබිහාමිව මූණ ළඟටම ගත්තා. "මගේ ඉබිහාමි..." මල්කාන්ති ඉබිහාමිගේ ඉස් මුදුණට හාද්දක් දුන්නා.

ඉබිහාමිට ඒ ආදරේ දරාගන්න බැරි තරම්. එයා පාවෙන්න ගත්තා. ටික ටික ඉබිහාමිගේ ඇස් දෙක බොඳ වෙන්න පටන්ගත්තා. තමුන් කුමාරයෙක් වෙන්න යන බව ඉබිහාමිට දැනුණා......



302. සොෆී...



සොෆී... එන්නකො මාත් එක්ක තරු බලන්න... කම්මැලියා වාගේ දොයියගෙන ඉන්නෙ නැතුව... 

අද හඳ නැහැ. ඒකට මොකද මේ තරු තියෙන්නේ අහස පිරෙන්නම. බලන්නකො කොච්චර ලස්සනයිද කියලා... සමහර තරු පියාඹනවලු, ඔයා දන්නවද සොෆී? සීයා තමයි කිව්වේ... මං ඒත් දවසක්දා එළියක් අරගෙන පියාඹන පුංචි කුරුමිණියෙක්ව පෙන්නලා ඇහැව්වා එයා පියාඹන තරුවක් නෙමෙයිද කියලා. නෑ ලු, එයා කණාමැදිරියෙක්ලුනේ... පියාඹන තරු තියෙන්නේ අහසෙ ම ලු... ඒ වුණාට මට හිතෙන්නේ කණාමැදිරියෝ එන්නේ තරුවල ඉඳලා වෙන්න ඕනෙ... ඒකනේ වෙන කාටවත් නැතුව, එයාට විතරක් ඒ වගේ ලස්සන එළියක් ලැබෙන්න ඇත්තේ... ඔය අහසෙ ඉඳං දිලිසෙන හැම තරුවකටම ලොකු කතාන්දරයක් ඇති කියන්න, ආන්න ඒ කතන්දර අපිට ඇවිත් කියන්න තමයි ඒගොල්ලෝ එන්නේ... අර දැක්කද සොෆී... අර රෑට පිපෙන සුව...ඳ මල් වැල ළඟ...? ඒ පියාඹන්නේ කණාමැදිරියො තමයි... තරු කුරුමිණියො......

ඉස්සර ඉඳංම ඔයයි මායි මෙහෙම ඇඳ උඩ නැගගෙන ජනේලෙන් එළිය බලාගෙන ඉන්නවා නේද? ඒ කාලෙදි ඔයා මටයි අක්කාටයි දෙන්නාටම වඩා උසයි. මං ඔයාගෙ කරට අතත් දාගෙන මෙහෙම බලාගෙන ඉන්න පින්තූරත් තියෙනවා අම්මා ළඟ. අපි සමනල්ලු මල් පැණි බොන හැටි, කුරුල්ලො පියාඹන හැටි, ලේන්නු ජම්බු කන හැටි, හුළඟට ගස් හෙළවෙන හැටි, වැස්ස වහින හැටි, වළාකුළු අහසෙ දුවන හැටි, ඉර බහින හැටි, හඳ නගින හැටි, තරු දිලිසෙන හැටි - ඕවා දිහා කොච්චර වෙලා බලං හිටියද, නේද? අපි දවසක් දේදුන්නකුත් දැක්කා, මතකද? දේදුන්නේ අනිත් කෙළවරේ මොනවා තියෙනවද දන්නෙ නෑ කියලා මායි අක්කයි එදා ගොඩක් වෙලා කල්පනා කළා..... අක්කානං කිව්වේ ඒක වළාකුළු මැදින් දිව්‍ය ලෝකෙට යනවා ඇති කියලා... ඒත් මටනං හිතෙන්නේ ඒක ඉවර වෙන්නේ ගඟකින්... ඒ ගඟේ වතුරත් දේදුන්න වගේ පාට පාටින් ඇති... ඒ පාට පාට වතුරෙන් තමයි මේ මල්වලට, සමනළුන්ට පාට ලැබෙනවා ඇත්තේ..... අපි හැමදාම එහෙම බලාගෙන ඉමු... දවසින් දවස අපිට අලුතෙන් ඉගෙනගන්න අලුත් දේවල් කොච්චර තියෙයිද......

හානේ... මේ බලන්නකෝ සොෆී..... ජනෙල් පඩිය දිගේ කූඹි පේළියක් යනවා... ඇඳටත් ඇවිල්ලද? ආ නෑ නෑ, ඒගොල්ලෝ උඩ වහලේ ඉඳන් බිත්තිය දිගේ බැහැලා ජනෙල් පඩිය දිගේ ඇවිත් මේ වතුර බටේ දිගේ අර මල් පාත්තියට බහිනවා..... හරි හරි, මං දන්නවා ඒගොල්ලෝ මල් පාත්තිය යට අලුත් ගෙයක් හදනවා ඇති.... ඒගොල්ලන්ගේ ගෙවල් හරී......ම ලොකුයි, ඔයා දන්නවද? කාණු කාණු කාණු කාණු ගොඩා....රියක් තියෙනවාලු... ඒවායෙ කෑම පරිස්සම් කරගෙන අරංතියාගෙන ඉන්නවලු ඒගොල්ලෝ සීත කාලෙට, වැස්ස කාලෙට කන්න. අර කෑම එකතු නොකර කම්මැලිකමට සින්දු කිය කිය හිටපු පළඟැටියාටත් මේ කූඹියෝ තමයි කෑම දුන්නේ... අර අප්පච්චි ගෙනත් දීපු අලුත් කතන්දර පොතේ තිබ්බේ, මතකද ඔයාට.....?

සොෆී... මේ... තරුවලට දොයිමත හැදෙන්නෙ නැද්ද? ඒගොල්ලො කොහොමද රෑ තිස්සෙම දිලිසි දිලිසි ඔහොම ඉන්නෙ? සමහරවිට දවල්ට නිදාගන්නවා ඇති නේද? මටනං දවලුයි, රෑයි එක දිගට කොච්චර ඇහැරිලා හිටියත් මදි, බලන්න කොච්චර ජාති තියෙනවද, ඉගෙනගන්න කොච්චර ජාති තියෙනවද... නේද සොෆී..... අර අඹ ගහේ බෙනේ ඉන්න ගිරා පවුලත් දැන් දොයි ඇති නේද...? අර ජම්බු කන්න එන ලේන් අප්පුලා දෙන්නත් දොයි ඇති... ආ සොෆී... අපේ අක්කාගෙ අද වැටිච්ච දත ඒ ලේන් හාමිලා අරං යන්න ඇති නේද? ඒගොල්ලෝ ඒවා කොහෙටද අරං යනවා ඇත්තේ? ඒගොල්ලෝ කොහෙන්ද අලුත් දතක් අරගෙන එනවා ඇත්තේ? මගේ දත් වැටුණාම, අක්කාගෙ දත් අරං ගිය ලේන්නුම එයිද ඒවත් අරං යන්න? සොෆී, ඔයාගෙ දත් වැටිලා නැද්ද? ඔයාගෙ දත් අලුතෙන් ගෙනත් දුන්නෙ කවුද?

හා.........! දැන්නම් දොයිමතයි සොෆී... ඔයාටත් දොයි මතයි නේද? ඔය ඔයාටත් ඈණුමක් ගියේ... ඔයා දන්නවද... හෙට ඉඳන් මං මොන්ටිසෝරි යනවනේ... අක්කත් එක්ක, අක්කාගෙ මොන්ටිසෝරියටමයි යන්නේ... එහෙ ටීචර්ලා දැනටම මට ආදරෙයි... ඒ හින්දා මමනම් අඬන්නෙ නෑ හෙට... අක්කානං ඉස්සෙල්ලාම මොන්ටිසෝරි ගිය දවසෙදි ඇඬුවාලු... අක්කා වාගෙ මටත් අලුත් අලුත් දේවල් ගොඩාරියක් එහෙදි ඉගෙනගන්න පුළුවන් වෙයි... මං ඇවිත් ඔයාටත් ඒවා කියලා දෙන්නංකෝ... ඒත් මට ඔයා නැතුව එහෙදි පාළු දැනෙයි සොෆී... ඔයාටත් එන්න බැරිද එහෙ? අර සින්දුවක තියෙන්නේ බැටළු පැටියෙකුත් ඉස්කෝලේ ගියා කියලා..... මං අම්මාගෙන් අහලා බලන්නද ඔයාවත් එක්කං යන්න බැරිද කියලා? ඒත් බැහැයි කිව්වොත් මොකද කරන්නේ? ඔයාටත් මං එනකල් පාළු දැනෙයි නේද...? හ්ම්ම්ම්... ඔයා දන්නවද, එහෙ අක්කයි මායි විතරක් නෙවෙයි තව චූටි ළමයි ගොඩක් ඉන්නවනේ... ඉතිං මට අලුත් යාළුවොත් ගොඩක් හම්බවෙයි... අපිට එකතු වෙලා සෙල්ලම් කරනන් පුළුවන්, කෑම බෙදාගෙන කන්න පුළුවන්, එකතු වෙලා අලුත් දේවල් ඉගෙනගන්න පුළුවන්, ගොඩාක් විනෝද වෙන්න පුළුවන්.... ඒත් ඒ කවුරු හම්බවුණත් හැමදාමත් මගේ හොඳම යාළුවා වෙන්නේ ඔයයි සොෆී..... ඔයාව මං කවදාවත් අමතක කරන්නේ නෑ..... ඔයත් එක්ක මේ කතා කරපු දේවල් අමතක කරන්නෙත් නෑ..... මං ඒවා ඔහේ කියවනකල් ඔයා ලස්සනට අහගෙන හිටපු හැටි අමතක කරන්නෙත් නෑ.... මං ඔයාට හැමදාමත් ආදරෙයි මගේ සොෆී.......


301. දිනපොතක සටහනක්...


මේක වැඩකට නැති ලියමනක්. කියවන්න එපා.

මං මේක ලියන්නේ මගේ ඔළුව නිදහස් කරගන්න. කාටවත් කියවන්න නෙවෙයි.

කියන මගුලක් අහන්න බැරිනං ඕන එකක් කරගන්න එකයි ඇත්තේ! හැබැයි පස්සෙ මට බැණගෙන එහෙම එන්න එපා මේ මොන මගුලක්ද ලියලා තියෙන්නේ කියලා.

මගුලක්ම තමයි මේක. කිසිම වැඩකට නැති, මෙලෝ රහක් නැති මගුලක්.

මේ මළ මගුල මගේ ඇඟේ ගැහැව්වේ අපේ අම්මයි නැන්දායි එක්ක එකතු වෙලා. ඒක මහා කුමන්ත්‍රණයක්. මාව අමාරුවේ දාන්නම කරපු කුමන්ත්‍රණයක්. ඒ නැන්දාගෙ හොඳ...ම යාළුවෙකුගෙ හතුමුතු පරම්පරාවක එහා කෙළවරෙං හොයාගත්ත උගත්, බුද්ධිමත්, රූමත්, සුවච කීකරු, ගුණවත්, සැදැහැවත් මහෝපාසිකාවක්ලු. එහෙමයි නැන්දා මුළිංම අම්මත් එක්ක කියලා තිබුණේ. කෑමක් උයද්දි විතරක් නෙවෙයි තේකක් හැදුවත් අල්ලපු ගෙදරටත් එක්ක සුවඳ දැනෙනවලු. කනට ඇහෙන්න කතා කරන්නෙ නෑලු. හැබැයි මංනං අහලා තියෙන්නේ එහෙම කියාගෙන එන අය තමයිලු බැන්දැයිං පස්සේ අහළ ගං හතටම ඇහෙන්න සුවාමි පුරුසයාව අමතන්නෙ.

මට අර උන්නු විදිහටම ඉන්න දුන්නනං ඉවරයිනෙ. දෙයියනේ කියලා මගෙ පාඩුවෙ, නිවී සැනසිල්ලෙ, කනක් ඇහිල්ලේ හිටිය මං. අනේ අපොයි කියලා හීල්ලෙනවා මට ඇත්තමයි. වාසනාත් එක්ක අවුරුදු දොළහක් තිස්සේ තිබ්බ ඇයි හොඳයියට හෙණ ගැහුවැයින් පස්සේ මං මහසෝනා ගැහැව්වා වගේ හොල්මං වෙලා හිටිය කාලයක් තිබ්බ බව ඇත්ත. ඒ වුණාට ඉතිං ඊට කළිනුත් මට ඔහොම යකා ගහපු වෙලාවල් තිබ්බේ. මං ඒ වුණාට යසට හිටියේ. නෑ හරි ඉතිං, ඒ කළිං එව්වා ඔය වාසනා ව ගිලපු මහසෝනා තරං දරුණු වුණේ නෑ තමයි. එහෙමයි කියලා ඉතිං මේ මෝහිණීව ගෙනත් මගේ බෙල්ලේ එල්ලන එක හරි නෑ කියලා අම්මාට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑනේ. කොටින්ම ඔය මගුල බලන්නවත් ගියේ මං කැමැත්තෙන් නෙවෙයි. අම්මාගෙන් බේරෙන්නම බැරි තැන. මාව බිල්ලට දෙන්නනෙ ඕනෙ අම්මටත්!

ඒකට මොකද අම්මාටත් ඉතිං දැං ඊට උඩිං වෙන කවුරුත් නෑ. කොටිංම අම්මාගේ එකම පුත්තර රත්නය වෙච්ච මේ මාවත් දැං අම්මාට ඕන නෑ. ඉනා බේත් දීලා, ඔව් අර කටට රසට උයනවයි කිව්ව ඒවට ඉනා බේත් දාලා අපේ අම්මව වශී කරගෙන. සුදු මැණිකේ! ඕන්න අපේ අම්මාට ඒ අම්මණ්ඩිව පේන හැටි! මේ මං ඉන්නවා, මෙච්චර කාලෙකට මට සුදු මහත්තයා කියලා තියෙනවද අපෙ අම්මා? නෑනෙ! නෑනෙ! මෝඩයා, බූරුවා, ගොං තඩියා - ඔන්න ඔහොම එව්වනං ඇහිලා තියෙනවා මට.

ඔය සුදු මැණිකෙය කියලා කියන එක්කෙනාට ඉන්නවා මහ නසරාණි අයියලා දෙන්නෙකුත්. හිට්ලරුයි නැපෝලියනුයි මැද්දෙ ක්ලියෝපැට්‍රාව තිබ්බා වගෙයි තුන් දෙනාව එකට තිබ්බාම. උන් දෙන්නා මට ඔරවං හිටපු හැටි විතරක් එදා! හරියට මං උංගෙ මේ නල්ලමලේ නංගි පොඩ්ඩව බලෙං උස්සං යන්ඩ ඇවිත් වගේ! වෙන නැතුවට හොඳයි!

රස්සාවට කරන්නෙ ඉස්කෝලෙක උගන්නන එකලුනෙ. ඒකත් මේ අහළ පහළ. එච්චර ඈතක ඉඳං මේ අම්මණ්ඩිට මෙහෙටම එන්ඩ ඕන වුණානේ රස්සාවට. මාවම හොයාගෙන ආපු උරචක්කරමාලයක්. අනේ දෙයියංගෙම පිහිටයි එයැයිගෙන් ඉගෙනගන්න ළමයින්ට. 'පූහ්' ගාල පිම්බොත් විසි වෙලා වැටෙන සයිස් එකෙන් ඉන්නෙ. කළු ලෑල්ලෙ අකුරු ලියන්නෙ පත්තරයක් උඩ හිටගෙන වෙන්ටැ.

මගෙ හිත් අමාරු ඉතිං මෙහෙම ලියනවා ඇරෙන්න මොකෝ කා එක්කවත් කියන්ඩ කියලද? බැරි වෙලාවත් අපෙ අම්මගෙ කනට ගියොත් හෙම  මාසෙකට සැරයක් හරි ගෙදර එන ගමනත් ඉවරයි. මොනවා කරන්නද ඉතිං. කරුමයක් තියෙනවනං ගෙවන්නම එපෑ.

ඉතිං ඒ කරුමෙ ගෙවන්න මං දැන් හිත හදාගෙන ඉන්නේ. තව මාස දෙකකින් අපේ කසාදෙ සිද්ද වෙන්නයි යන්නේ. ඔව් අර මගුල තමයි. ඒකටත් රටේ නැති විච්චූරණ කරන්ඩ ඕන වෙයිද දන්නෙ නෑ. මං දන්න එකෙක්ට මගුලට ලෑස්ති වෙන්න මාස ගාණක් තිස්සෙ නටපු සමයං දැකලාම මගුල එපා වුණා. මටනං කොහොමටත් එපා වෙලා තියෙන්නේ. අපෙ අම්මාටනේ ඕන වෙලා තියෙන්නේ. නැන්දම්මලා ලේලිලා ඔහෙ ඕන මගුලක් කරගත්තදෙන්.

*****

ඇතිද කියෙව්වා? ඔයා ගැන තමයි මේ ලිව්වේ, ඔව්! අඬනවද දැං හොටු පෙරාගෙන?  හොඳ වැඩේ! අඬපිය! තව අඬපිය! හිතං හිටියෙ මගෙ නෝට්බුක් එක හොරෙන් කියෙව්ව බව මට අහු නොවී තියෙයි කියලද?  මේ මං එක්ක ඒ හොර වැඩ ඔට්ටු නෑ නංගි, හරි? සුමානෙට දෙතුන් සැරයක් දවල්ට ඉස්කෝලේ ඉඳං ඇවිත් තනියෙං ඉන්න අපෙ අම්මාගෙ දුකසැප බලලා යන එක වෙනම කාරණාවක්. ඒකට බොහොම පින්. ඒවුණාට මගෙ  කාමරේ අස්කරන්නයි කියලා අම්මාට බොරු ගහලා ඇවිත් මගේ හොර අල්ලන්න මං තාම අවසර දීලා නෑ. ඒකට තව මාස දෙකක් ඉවසං ඉන්න වෙනවා, තේරුණාද? ගිය සෙනසුරාදා ඇවිත් කාමෙරේට අඩිය තිබ්බ ගමන් මට තේරුණා වැඩේ. මේක ලියලා තිබ්බේ ඔය හොරෙන් කියවන එකීට කියවන්නම තමයි!

දැන් ඉතින් අඬලා ඉවරනං ඔය නෝට්බුක් එක වහලා තිබ්බ තැනම තියලා ඊට පහළ ලාච්චුවේ තියෙන චොකලට් පෙට්ටිය අරං කන එකයි ඇත්තේ!

ආයෙ එහෙම මගේ බඩු ඇදලා තිබ්බොත් බලාගෙනයි!

අපෙ අම්මගේ සුදු මැණිකේ එහෙනම් පරිස්සමෙන් ඉන්න. මේ මාසේ අන්තිමේ ගෙදර ආවාම මං එහෙත් ඇවිත් යන්න එන්නම්. බුදු සරණයි!

ප/ලි: ආ, වාසනාද? ඒ අපේ දිහා හිටපු බලු පැටික්කි. අපෙ අම්මගෙන් අහගන්නකො එයා ගැන.

299. වෛර(ස)ය...




ලැප්ටොප් පරිගණකයේ යතුරු පුවරුව මතින් බොහෝ වේලාවක් පුරා වේගයෙන් සැරිසැරූ කාර්ල්ගේ දෑත් මඳ ඉසිඹුවක් ලබාගත්තේය. ඔහු කට කොණකට නැගුණු සිනහවකින් - නැත එය වියරු විරිත්තීමකි, වසරකට එපිටදී ඔහුගේ ලෝකය ම සුනුවිසුණු වී ගොස් ඝන අන්ධකාරයකින් වැසී ගිය පසු තමා සිනාසුණු දිනයක් ඔහුට මතක නැත - විරිත්තීමකින් යුතුව අසුනේ පසුපසට බර වී දෑත් හිස මත බැඳගත්තේය. තවත් හෝරා කිහිපයක ඇවෑමෙන් මෙය අවසන් වනු ඇත. ඔහුගේ මාස ගණනක මහන්සියේ ප්‍රතිඵලය සයිබර් අවකාශයට මුදාහැරෙනු ඇත.

කාර්ල් ස්වාධීන මෘදුකාංග ඉංජිනේරුවෙකි. ක්ෂේත්‍රයේ ජනප්‍රියව ඇති අන්දමට 'ෆ්‍රීලාන්සර්' කෙනෙකි. ඒ ලෝකයා හමුවේ ඔහුගේ ප්‍රතිරූපය විය. නමුත්, ලෝකයාට විවර නොකෙරුණු ඔහුගේ රහස් ජීවිතය තුළ ඔහු සයිබර් අවකාශය තුළ අදිසි විවරයන් සොයා යන සොර දෙටුවෙකු විය. එනමුදු මෙතෙක් කලක් ඔහුට එය හුදු විනෝදාංශයක් පමණක් විය. කිසිදු විනාශකාරී කටයුත්තක් උදෙසා මෙතෙක් තම ප්‍රාගුණ්‍යය මෙහෙයවා නොතිබූ කාර්ල් වරෙක තම හැකියාවෙන් රාජ්‍ය බුද්ධි අංශයටද සහය වී ඇත. නමුත් එම අවකාශයේ ඇති අතිශය සීමා සහිත බව හේතුවෙන් ඔහු එක් ව්‍යාපෘතියකින් ම එම භාරදූර වෘත්තියට සමු දී සිය සුපුරුදු සැහැල්ලු ස්වාධීන ජීවිතයට පිළිපන්නේය.

ඔහු නීතිරීතිවලට යටත්වන්නට, රාමුවක් තුළ කොටුවන්නට පුරුදු වූවෙකු නොවී ය. බාල වියේ පටන් ඔහු ජීවත් වූයේ ස්වාධීන ව ය, නිදහස් ව ය. හරිත මිටියාවතක් හරහා සුළඟට එරෙහි ව දිව යන වල් වැදුණු අශ්වයෙකු සේ අයාළේ - එසේම නිදහසේ - සැහැල්ලුවෙන් ජීවිතය ගෙවමින් සිටි කාර්ල්ගේ ජීවිතය එක් දිනෙක, නොසිතූ මොහොතක එක් සොඳුරු බන්ධනයක පැටලින. වීණා එම හැල්මේ දිව ගිය තුරඟාගේ හිස මත හිඳ ගී වයන්නට පටන්ගත්තාය. සිය නිමක් නැති ධාවනය මඳකට නතර කළ කාර්ල් එම වැයුම අසා හිඳින්නට පුරුදු වූවේය. ඇගේ බසින් ඇගේ නමේ අරුත ඈ කියා දුන් ලෙසින් ම ඇය වීණාවක් වූවාය. එතෙක් කිසිදු බන්ධනයකට යටත් නොවූ කාර්ල්ගේ ජීවිතය ඇගේ වීණාවේ සප්ත ස්වර අතර සදාතනිකව ම බැඳී ගියේය. 

එතැන් පටන් ඔහුගේ මුළු ලොව ම බවට පත් වූයේ වීණායි. බාල වියේදී ම මව්පියන් සමග ශ්‍රී ලංකාවේ සිට එංගලන්තයේ පදිංචියට පැමිණ සිටි ඇය පවුලේ එක ම දරුවා වූවාය. එක ම සරසවියේ පරිගණක අංශයේ සහ කලා අංශයේ විද්‍යාර්ථීන් දෙදෙනෙකු වූ ඔවුන් හට ඇගේ මවුපියන්ගෙන් විරෝධයක් එල්ල නොවීය. ඔහුගේ පාර්ශවයෙන් විරෝධය පාන්නට හෝ කැමැත්ත ලබා දෙන්නට හෝ කිසිවෙකුත් නොවීය. කාර්ල් සහ වීණා විවාහ වූහ. සොඳුරු යුග දිවියක් ගෙවූහ. කාර්ල් ඈ හා ගෙවෙනා එම දිවියෙන් පරිපූර්ණ තෘප්තියක් අත්වින්දේය. නමුත් ඈ හට එය ප්‍රමාණවත් නොවිණි. ඇයට තුන්වැන්නෙකු උවමනා විය. එහි ප්‍රතිඵලයක් ලෙස අවසන ඔහුට ඈ අහිමි විය. කාර්ල් හුදෙකලාව, අසරණව දින ගණනක් පුරා හඬා වැළපුනේය. එම දීර්ඝ වැළපුමෙන් ඉක්බිති ඔහු ඈගේ මතක සටහන් සියල්ලෙන් ඈත් වී පලා ගියේය. නුහුරු නුපුරුදු අඳුරු නගරයක, පාළු නවාතැනක හුදෙකලා වී ලෝකයට වෛරය පතුරුවන්නට සිතාගත්තේය.

එතෙක් කල් ඔහුගේ සිත පෙලූ වෛරය, පරිගණක වෛරසයක්ව සයිබර් අවකාශයට එක් වන්නට සූදානම් ය. ඔහු තමා නිමැවූ පිසාචයාගේ හැඩ බැලුවේය; තව තවත් බිහිසුණු බව එයට එක් කළේය. අවසන යළිත් වරක් තෘප්තිමත් සිතින් සිය නිර්මාණය දෙස බලාගෙන විරිත්තුවේය. අනතුරුව අවසන් බොත්තම ඔබා සිය පිසාචයා මුදා හැර දිගු සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගත්තේය.

ඔහු සෑදූ පිසාචයා ගම් දනව් සිසාරා පියාඹා ගොස් තුන්වැන්නන් සොය සොයා බිය වැද්දුවේය; ගිල දැම්මේය. දත් විලිස්සමින්, ගොරවමින් ඔවුන් පසුපස හඹා ගියේය. පිසාචයාට බිය වූ තුන්වැන්නන් යටි ගිරියෙන් හඬා වැළපෙන අන්දම දැක පිසාචයාගේ මුවගේ හුරු පුරුදු වියරු විරිත්තීමක් ඇඳී ගියේය. හැඩපළු ගෙතුණු රැවුලින් හා හිසකෙසින් යුතු තමාගේ වර්තමාන පෙනුමද පිසාචයාගේ රුදුරු පෙනුමට බොහෝ සෙයින් සමාන වූ බව කාර්ල් ඒ අතරේ සිතුවේය. පිසාචයා තවත් ගොදුරක් වෙත හැරුණි. මේසයක් මත සිනහවෙමින් හිඳ සිටි තුන්වැන්නා වෙත වූයේ බෙහෙවින් හුරු පුරුදු පෙනුමකි. පිසාචයා ඔහු වෙත ළ‍ං විය. අඳුරු දුමාරයක් පැතිරෙන්නට විය. හැඩි දැඩි අතක් දුමාරය මැදින් තුන්වැන්නා වෙත ඇදී ආවේය. වීණාගේ වේදනාබර විළාපයත් සමගින් කාර්ල් හති දමමින් අවදි විය.

ඔහු සිටියේ පරිගණකය ඉදිරියේ අසුන මතය. කුසගින්නේ අරගල කරනා උදරය සුපුරුදු කෙඳිරිය අරඹා ඇත. නින්ද නොයෑමෙන් පෙළෙනා තමා වෙත ඉඳහිට අවේලාවේ ළඟාවන කුකුළු නින්ද යළිත් වරක් තමා වෙත පැමිණෙන්නට ඇති බව කාර්ල් වටහාගත්තේය. නමුත් පුදුමයනම්, මතක ඇති කාලයකින් සිහිනයක් දැක නැති ඔහුට කිසිදා අමතක නොවන අන්දමේ සිහිනයක් පෙනීමයි. ඔහු තවමත් හති දමමිනි. අසළ මේසය මත වූ වතුර බෝතලය ගෙන එක හුස්මට බී අවසන් කළ කාර්ල් සිය මුහුණ දෑතේ හොවාගත්තේය. මොහොතක් එලෙස සිටි ඔහු දෑතේ ඇඟිලි අතරින් සිය පිසාච වෛරසයේ නිමැවුම් කේතය දෙස බැලුවේය. එය තවමත් එලෙසමය. තවමත් සයිබර් අවකාශයට එකතු වී නොමැත. ඒ මොහොතේ ඔහුගේ මුවින් පිට වූ වෙහෙසකර සුසුම තුළ යම් සැනසුමක් ද ගැබ්ව නොතිබිණියැයි ඔහුට කිව නොහැක.

කාර්ල් අසුනින් නැගිට සිටියේය. මාස ගණනාවකට පසු පළමුවරට ඔහුගේ අඳුරු නවාතැනින් පිටත පිරිසිදු වාතාශ්‍රයට පා තැබුවේය. ඔහුට වීණා මුළින් ම හමු වූ නගරය බලා පිටව ගිය කාර්ල් එතැන් පටන් ඔවුන් දෙදෙනා එක්ව මිහිරි මතක බෙදාගත් සෑම තැනකම ඇවිද ගියේය. 

පුරා සතියකට පසු ඔහු නැවත සිය නවාතැන වෙත පැමිණියේය. යළි පරිගණකය ඉදිරියේ හිඳගත් ඔහු එහි තමා නිමවමින් සිටි වෛරසයේ කේත සටහන් සියල්ල මුළ සිට අගට පිරික්සමින් වෙනස්කම් කළේය. පිසාචයා වෙනුවට වෛරසයට ආදරණීය මුහුණුවරක් ලබා දුන්නේය. ඒ වෙනුවෙන් ඔහු යොදාගත්තේ ඔහු සතුව තිබූ වීණාගේ ආදරණීය ම ඡායාරූපයයි. 

තවත් මසක ඇවෑමෙන් එය නිම විය. සයිබරය පුරා සැරිසරමින් ළමා වීඩියෝපට තුළට රිංගා ඒ අතරමැදින් තිරය පුරා පැතිරී ළමුන් බිය වද්දන්නට තැනූ තම වෛරී සහගත වෛරස පිසාචයා පළවා හැරි කාර්ල් ඒ වෙනුවට වීණාට, ඇගේ ආදරයට, යළි පණ දුන්නේය. තමා වෙනුවෙන් පමණක් වෙන්ව තිබූ ඇගේ ආදරය ලෝකයට මුදා හැරියේය. 

ඔහුගේ දත්ත ගබඩා අතර තිබූ ඇගේ ළයාන්විත නැළවිලි ගී ස්වරය මුසු කොට, ඩිජිටල් තිරය හරහා ඒ ඉදිරියේ බොහෝ වේලා රැඳී ඉන්නන් හට සිය ආදරණීයතමයන් සිහිපත් කරවමින් ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කළ යුතු බවට ඔවදන් ලබා දෙන ආදරණීය වෛරසයක් ඔහු අතින් බිහි විය. 

එය එලෙසින් නිමා කොට ඔහු දිගු ගමනකට සූදානම් වූවේය. ඒ වනවිට යළි ශ්‍රී ලංකාව බලා පිටව ගොස් සිටි වීණාගේ මව්පියන් භාරයේ වූ, කිසිදු වග විභාගයකින් තොරව තමා ඔවුනට ම භාරකාරීත්වය ලබා දුන්, ඇගේ සෙනෙහස තමාගෙන් උදුරාගෙන අහිමි කළ තුන්වැන්නා - මෙතෙක් ඇහැටවත් දැක නොතිබූ ඔවුන්ගේ ආදරයේ සංකේතය - බලන්නට යන්නට කාර්ල් අවසානයේදී හිත හදාගෙන සිටියේය. 

ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔහු රැගත් ගුවන් යානය ළඟා වන මොහොතේ, වසරකට අධික කාලයකට පසු කාර්ල්ගේ මුවග වියරු විරිත්තීමක් වෙනුවට, සැහැල්ලු මන්දස්මිතියක් රැඳී තිබුණි. ඔහුගේ හදවතේ වීණා වෙනුවෙන් වූ අමරණීය ආදරයත්, ආගන්තුක තුන්වැන්නා වෙනුවෙන් ලබා දෙන්නට නියමිත වූ පීතෲ ස්නේහයත් සුරැකිව රැඳී තිබුණි. 

ඔහු ලෝකයට මුදා හළ ආදරණීය වෛරසය ඩිජිටල් තිරය මත මව් ස්නේහයද, ආදරයද පතුරවමින් සැරිසරමින් තිබුණි.

*****

Facebook සමූහයක කෙටිකතා තරගයක් උදෙසා ලබා දී ඇති පින්තූරයට ලියූ කතාන්දරයකි. පෙර සටහනේ පළ කළ 'වියපත් නොවූ ප්‍රේමය' එම තරගයේ පළමු වටයට මා ඉදිරිපත් කළ කතාවයි. අවසාන වටයට පළ කළ කතාන්දරය ඉතා සුළු වෙනස්කම් කිහිපයකින් අනතුරුව මෙලෙස පළ කරමි. :)



298. වියපත් නොවුණු ප්‍රේමය...




ගුණදාස සිය උපන් ගමට යළි පය තැබුවේ අවුරුදු ගණනාවකට පසුව ය. මහ පාළම අද්දර බස් නැවතුම්පොළෙන් බැසගෙන තේ කහට උගුරක් බොන්නට හෝ පමා නොවී ඔහු විගසින් සිය ගම්මානය වෙත පිවිසෙන ගුරු පාර වෙත පා තැබුවේ ඈ දකින්නට ඇති නොඉවසිල්ල නිසා ම ය. වෙල් ඉපනැලි පිසගෙන හමා එන සුළං රැල්ලෙන් දැනුණු උණුසුම් පිළිගැනීමෙන් ඔහුගේ හේ බා ගොස් තිබූ ගත මඳ අස්වැසිල්ලක් ලැබුවද එම පිළිගැනීම එලෙසින්ම ගම්මුන්ගේ සිත් තුළ ද ඇත්දැයි ඔහුට එතරම් විශ්වාසයක් තිබුණේ නැත. කාරි නැත. වෙන කවුරුන් කෙලෙසින් ප්‍රතිචාර දැක්වුවද ඈ ඔහු එන තෙක් බලා සිටිනා බව ඔහු දනියි. ඇළ පාර හා සමාන්තරව දිවෙනා ගුරු පාර ඔස්සේ පිය මැන යන අතරේ ගුණදාසගේ සිත නිතැතින් ම අතීතයට දිව ගියේය.

"මොකද ඔය ළමයට ඔහොම ගහන්නේ???!!!" තමා වට කරගෙන ගුටිබැට දෙමින් සිටි පෝරිසාද නඩය බිම පෙරළා නැගී සිටින්නට වෙර දරමින් සිටි ගුණදාස එය අමතක කර දැමුවේ එම හඬ කන වැකීමෙනි. "ලැජ්ජ නැද්ද තනි එකෙක් වට කරගෙන ඔහොම තඩිබාන්ඩ!!!" ඔහුගේ සිතුවිලි සේ ම ඔහු වට කර උන් පිරිසගේ අත් පා ද එසැණින් නතර වූ හැඩකි. ඔහු මෙන් ම ඔවුන්ද ඈ දෙස දෑස් දල්වා බලා සිටියේ එක සේ පුදුමයෙනි. "දුවන්ඩයි කිව්වෙ මං ලොකු ඉස්කෝලෙ මහත්තයාට කියන්ඩ කළිං!!!"

ලීලා. ඇය පාසලට අලුත පත් වී ආ විදුහල්පතිවරයාගේ දියණියයි. දෙසතියකට පෙරාතුව පාසලට ඇතුළත් වූ ඈ වෙත බැලූ බැල්මට කැපී පෙනෙන සුන්දරත්වයක් නොවූවද කුමක්දෝ සිත් ඇදගන්නසුලු බවක් ඇගේ පෞරුෂත්වය තුළ විය. පොර බදන කොළු රැළ අභියස දෑත් ඉණෙහි තබාගෙන බලා සිටි ඈ පිටුපසින් සිසුවියන් පස් හය දෙනෙකුගෙන් යුතු පිරිවරක් විය. ගුණදාස මත නැගී සිටි එවුන් එකා දෙන්නා ඔහු වෙතින් ඉවත්ව නැගිට පසෙකට වන අන්දම ඔහුට දැනුණි. ඔහුටද, ඔහු හා පොර බැදි ඔහුගේ ම සගයන්ටද වඩා වසරකින් බාල වූ ඈ හමුවේ එම කොළු රැළ දමනය වූ හැටි පිළිබඳව පුදුමයෙන් කල්පනා කරමින් ගුණදාස හිස ඔසවා කෙළින් වී හිඳගත්තේය. ගතම ඇදුම්කමින් දැනෙන වේදනාව පසෙක ලා ඔහු සූදානම් වූයේ නැගී සිටින්නටය. නමුත් ඒ මොහොතේ ලීලාගේ පිරිවර අතරින් මතුව ඔහු වෙත ළං වූ සිරිමලී හේතුවෙන් ඔහු එලෙස ම හිඳගෙන වේදනාබර මුහුණකින් යුතුව සිය පාවහන් රහිත දෙපය අතගාන්නට විය. "ඔයාට තුවාළද?" සිරිමලී ඇසෙන නෑසෙන හඬින් විමසුවාය. කනට ඇසෙන්නට වදනක් පවසාගන්නට බැරි, හරි හැටි මුහුණ බලා කතා කරන්නට දන්නේ නැති සිරිමලී හා ඔහුට කිසිදු ගනුදෙනුවක් නොතිබුණද, මේ මොහොතේ ඔහු ඇගේ සමාගමය මහත් අභිරුචියෙන් පිළිගත්තේ ඈ වෙත කලක පටන් බැලුම් හෙලමින් සිටිනා පියදාසගේ ඇහේ කටු අන්නවන්නට ම ය. "ඔව්, මං හිතන්නේ කකුල කැඩිලා..." ඔහු පිළිතුරු දුන්නේය.

"තොගෙ කකුල නෙවෙයි කඩන්ඩ තිබුණේ....." සිතූ පරිදි ම පියදාසගේ කඩාපැනීමද, අනිත් සගයන් ඔහුද ඇදගෙන එතැනින් ඉවත්ව යන හඬද ගුණදාසට ඇසුණි.

"දැං මොකද ඔය ගුටි ඇනගැනිල්ලට කාරණාව?" ගුණදාස කෙල්ලන් මැද තනි වූ පසු ඔහුගේ ගැලවුම්කාරිය විමසා සිටියාය.

සැබෑ හේතුව කියන්නට බැරිය. මුල් ගුරු නිළ නිවසේ අඹ ගසට පොලු ගැසීමද, එමගින් නිවසේ උළු කැට හතරක් කඩා දැමීමද යන චෝදනාව මත පෙර දිනයේ පියදාස ප්‍රමුඛ නඩය දඬුවම් ලැබූ බව ඈ පමණක් නොව මුළු පාසල ම දන්නා බව ඔහු දන්නේය. නමුත් එම වීරක්‍රියාව යෝජනා කළ, පොලු ගැසීමෙන් බිම පතිත වූ පළමු අඹ ගෙඩිය ම ඩැහැගෙන එතැනින් අතුරුදහන් වූ තමා එයට කිසි සේත් සම්බන්ධ බවක් කොළු නඩය ඇර වෙන කිසිවෙකුත් දන්නේ නැත. ඔහු පිළිබඳව කළ පැමිණිලි ඔප්පු කරන්නටද කොළුවන්ගෙන් කිසිවෙකුත් සමත් වූයේද නැත. එබැවින් ඔහු පිළිබඳව ඇති නිකැළැල් ප්‍රතිරූපයට හානි කරගත යුතු නැත. "ඔය මං උන්ගෙ පෝරිසාදකංවලට උඩගෙඩි දෙන්නෙ නැහැයි කියලනේ. ඊයෙ අඹ කඩාපු එක ගැන ලොකු ඉස්කෝලෙ මහත්තයාට කිව්වෙ මංය කියලයි උං හිතාන ඉන්නේ..."

ලීලා අමුතු සිනහවක් පෑවාය. ඒ මොහොතේදී විවේක කාලය අවසන් වන සීනුව නාද වූයෙන් ඇය කියන්නට ගිය කුමක් හෝ ගිලගත් බව ගුණදාස දුටුවේය. "සිරිමලී එහෙනං ඔය අලි බබාලාව නළවලා එන්ඩකෝ. අපි යන්නං..." ඇය ආපසු හැරී අනෙක් කෙල්ලන්ද සමග කනිෂ්ඨ ශ්‍රේණි ශාලාව වෙත ඇවිද යන අතරේ සිරිමලීද ඔහුව තනිකොට විගස ඔවුන් වෙත දිව ගියාය.

වැට මායිමේ සෙරෙප්පු අඩි සමග සටහන්ව තිබූ පාවහන් රහිත අඩි සටහන් පියාගේ නිරීක්ෂණයට හසුවන්නට පෙර තමා මකා දැමූ බව ලීලා ගුණදාස හා පැවසූවේ ඉන් කලකට පසුවය.

ජ්‍යෙෂ්ඨ විභාගයට පෙර ම පාසල් ගමනට සමු දී සිටි ගුණදාස ඒ වන විට ටවුමේ ගරාජයක අත් උදව්කරුවෙකු ලෙසින් සේවය කරමින් සිටියේය. ඉගෙනුමට එතරම් ලැදියාවක් නොදැක්වූ ඔහු, සෑම වාරයකදීම පන්තියේ අන්තිමයා නොවී සිටීමට මහත් වෙහෙසක් දරමින් ගෙවනා නිශ්ඵල උත්සාහය, දෑතේ කර්මාන්තයක් ඉගෙනීමට යෙදවීම වඩාත් උචිත වේ යැයි ඔහුගේ පියා හට පවසා සිටියේද විදුහල්පතිවරයා ම ය. තමා පිළිබඳ එතුමාගේ සිතෙහි යම් අපැහැදීමක් වෙතොත් එය දුරු කරගැනීමට ඔහුගේ බස් එලෙසින් ම පිළිපැදීම සුදුසුයැයි සිතූ ගුණදාස මහත් ප්‍රීතියෙන් එම යෝජනාවට එකඟ වූවේය. ලීලා ඒ වනවිට ජ්‍යේෂ්ඨය සමත්ව විශ්ව විද්‍යාලට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටියාය. ඒ මොහොතේ ඔවුන් සිටියේ මහ කන්නයේ ගොයම් නෙළීමෙන් අනතුරුව, වෙළ ඉස්මත්තේ කුඹුක් ගස් හෙවණේ දහවල් බත සප්පායම් වෙමිනි. ඒ, මුළු ගම්මානය ම සතුටින් පසු වූ මොහොතකි.

"ඔය දුරුරටවල ගියහම අපිවත් අමතක වෙලා යාවි..." ගුණදාස බරක් පතලක් නොමැති හඬකින් කීවද, ඈ ගම්මානයෙන් පිටව යන්නට සූදානම් වන බව ඇසූ දා පටන් ඔහු කල් ගෙවූයේ මහත් විස්සෝපයකිනි.

"නැතුව ඉතිං... අලුතෙන් මතකෙ තියාගන්ඩ එව්වා මුණගැහෙනකොට පරණ එව්වා අමතක වෙනවා තමා..." ඇයද ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නාය.

"ගෙදර ඉඳං යන්ඩ පුළුවන් දුරක එකක් හොයාගත්තානං ඉවරයිනේ..."

"අප්පච්චිටනේ මාව ගෙදරින් එළවගන්ඩ ඕන වෙලා තියෙන්නේ..."

"අර මොකෝ?"

"අප්පච්චිට ආරංචි වෙලා..."

"මොනවද?"

"මං අවුරුදු ගාණකට කළිං වැට මායිමේ අඩි සටහන් වගයක් මකපු විත්තිය..."

ගුණදාසගේ මුව විවර විය. "ඒ කොහොමෙයි ඒක ආරංචි වුණේ?"

"මං කිව්වනේ..."

ගුණදාසගේ විවර වූ මුව යළි වැසුණි. "මොළේ හොඳ නැතුවද?"

"නැත්තං ඉතිං මං කොහොමද අප්පච්චිලාට තේරුං කරන්නේ මට මේ ගමේ දාලා යන්ඩ බැරි තව අය ඉන්න වග..." ඇගේ වදන් හමුවේ ඔහුගේ මුවින් එතෙක් වේලා සිර කරගෙන සිටි බවක් ඔහු ම නොදත් දිගු සුසුමක් පිට විය.

බොහෝ දිගු නිහැඬියාවකට පසු ඔහු යළි හඬ අවදි කළේය. "අප්පච්චිට කියන්ඩ දෝණියන්දැව ගෙදර තියාගන්ඩ බැරිනං මට දෙන්ඩය කියලා, මං බලාගන්නං කියලා..." ඔවුන් දෙදෙනා එකිනෙකා වෙත ඇති ඇඟෑළුම්කම එළි පිට හැඟවූ පළමු අවස්ථාව එය විය. නමුදු, වදනින් නොකීවද තමා ඇයටත්, ඈ තමාටත් මහත් සේ ස්නේහවන්ත බව ඔහු දැන සිටියේය. ඔහු පාසැලේ සිටි කාලයේදී මෙන් නොව දැන් ඔවුනට නිතර මුණ ගැසෙන්නට අවකාශයක් ලැබෙන්නේද නැත. ඔවුන් යළි මුණගැසුණේ ඈ ගම්මානයෙන් නික්ම යන්නට පෙර සතියේ එළැඹි පොහොය දිනයේදීය. එදින ගමේ පන්සලේ පූජා පිංකම් මධ්‍යයේ, සියල්ලන්ගේ ම නෙත්වලට වසන් වී ඔවුහු දෙදෙනා එක්ව පහනක් දැල්වූහ. "මොනවද හිතුවෙ?" දෑස් පියා වැඳගෙන හුන් ලීලා යළි දෑස් විවර කළ මොහොතේදී ගුණදාස ඇසුවේය.

"මං ආයෙ ගමේ එනකල් කාගෙන්වත් ගුටි නොකා ඉන්ඩ ලැබේවා කියලා... මං නෑනෙ බේරගන්ඩ..."

ඔහු සිනහවක් පෑවේය. "එහෙදිත් ඔය එක එකාව බේරගන්ඩ ගිහිල්ලා දැපනෙ දාගන්නවා එහෙම නෙවෙයි!"

"වැඩේමයි දැපනෙ දාගන්ඩ... අර අපේ පස්සෙන් ඇවිදිං එක එක්කෙනා අතේ එවාපු ලොසිංජර කොළ ගාණ එහෙම මං ගැනලා කියන්නං ඕනෙනං... එහෙම උවමනාවක් ආවොත් කියලා මං එව්වා හොඳ පරිස්සමෙං අරං තියාගෙන ඉන්නේ එකක්වත් අඩු නැතුව..."

ඈ පිටව යන්නට පෙර රාත්‍රියේ ඔහු ඈ සොයා මුල් ගුරු නිළ නිවාස භූමියට හොරෙන් ඇතුළු විය. "යමු මා එක්ක..." ඔහුගේ රහස් ඇමතුම අසා ඈ සිය කාමරයේ කවුළුව විවර කළ සැණින් ඔහු කෙඳිරුවේය.

"කොහෙද?" ඇය මහත් පුදුමයෙන් විමසුවාය.

"ගමෙන් යමු..."

"කොහෙටද?"

"දන්නෙ නෑ... කොහෙ හරි... ඔයා මාව දාලා මෙහෙන් ගියොත් මට ඔයාව සදහටම නැති වෙයි කියලා මට හිතෙනවා..."

ඇය මොහොතක් ඔහු දෙස කවුළුවේ ගරාදි අතරින් බලා සිටියාය. "මං එන්නං..." ජීවිතයේ පළමු වතාවට ඇගේ හඬ වෙව්ළුම්කනු ඔහුට ඇසුණි. ඔහු බලා සිටියදීම කවුළුව වසා දැමූ ඇය මොහොතකින් බෑගයක්ද අතැතිව නිවසේ පිටුපස දොරින් මතු විය. නිහඬවම තාප්පය වෙත දිව ගිය දෙදෙනා ඉන් පැන ගුරුපාර ඔස්සේ ඇවිද ගියේද නිහඬව ම ය. අන්ධකාර අහසේ තරු කැට පමණක් ඔවුනට තනි රැක්කෝය. මුල් පියවර කිහිපය තුළදී ගුණදාසගේ හදවත වේගයෙන් උඩ පනිමින් සිටියේ ජයග්‍රාහී හැඟීමෙනි. අනතුරුව එළැඹියේ සතුටත්, සෙනෙහසත් මුසු වූ උත්තරීතර ප්‍රේමවන්තයෙකුගේ සිතුවිලිවලින් ඔහුගේ සිත අරක්ගත් පියවර කිහිපයයි. එනමුදු, ගම්මානයෙන් පිටමංවන ප්‍රධාන ගුරු පාරට සේන්දු වුණු මොහොතේ පටන් තබන අඩියක් පාසා තම හදවත බොහෝ සෙයින් බර වන බව ගුණදාසට දැනෙමින් තිබුණි. අවසන ඔහු, ගම්මානයේ විහාරය වෙත දිවෙන අරලියා තුරු පෙළකින් සැදි අතුරු මාවත අද්දර නතර විය. එතෙක් වළාවකට ඔබ්බෙන් සැඟවී සිටි සිහින් හඳ පළුව ඉන් එබිකම් කර ඔවුන් දෙස බලා හිඳින්නට විය. එම සිහිල් සඳ එළියෙන් සිත එක්තැන් කරගත් ගුණදාස ඔවුනට ඉහළින් තුරු හිස් අතර ගැවසි නිදා සිටිනා අරලියා මල් පොහොට්ටු දෙස බලා හිඳින්නට විය.

"ඇයි මෙතන නැවතුනේ?" ලීලා විමසුවාය.

ගුණදාස බරැති සුසුමක් පිට කළේය. "ඔයා ඉගෙනගන්න යන්න..." ඔහු ඇගේ නෙත් දෙස බලාගෙන කීවේය. "මං ඔයාව ඒකෙන් වළක්වන එක වැරදියි..." ඇය නෙතු අයා බලා සිටියාය. "මං ඉගෙනගන්න එක අතරමග නවත්තලා දාලා ගරාජ්කාරයෙක් වුණා කියලා මං ඔයාවත් ඒ තත්ත්වෙට ඇදලා දාන එක වැරදියි..." ඔහු ඇගේ හිස මතින් සුරත තැබුවේය. "හෙට පාන්දර එහෙම සුබ ගමනක් යන්න තියෙද්දි මං මේ කතා කරපු ගමන් ආවට ඔයාට ගොඩක් පින්... මගේ හිතේ අමාරුවට එහෙම ඇවිත් කතා කළාට ඒක වැරදියි..." පපුව තුළ රිදුම් දෙන මහා වේදනාව මැඩගන්නට ඔහු දිගු සුසුමක් ගත්තේය. "ඔයා යන්න... ගිහින් හොඳට ඉගෙනගන්න..." ඇගේ දෑසේ දිලිසෙමින් තිබූ කඳුළු බිඳු දෙකක් තරු කැට දෙකක් ලෙසින් බිමට කඩා හැලුනි. "අඬන්න එපා ඉතිං..." ඔහු නුහුරු ලෙසින් ඇගේ දෙකොපුල් පිරිමැද කඳුළු පිසදැමුවේය. "ඔය අවුරුදු තුන හතර නිකම්ම ගෙවිලා යන්නෙ නැතෑ... මං ඉවසං ඉන්නං එතකල්... ඒ ඉවර වෙලා ලොකු නෝනා කෙනෙක් වෙලා එනකොට මේ ගරාජ්කාරයාව එපා වෙලා තිබ්බෙ නැත්තං අපි එතකොට බලමුකෝ..." ඇය ඔහුගේ උරහිසේ හිස හොවාගත්තාය. ඇගේ කඳුලින් සිය කමිස කර තෙමී යන අතරේ ඇගේ හිස් මුදුණත් කම්මුලත් සිපගත් ඔහු මහත් විරියකින් තමා පාලනය කරගෙන ඈ වෙතින් ඈත් වූවේය. "යමු ගෙදර..." ඔහු මුළු ගමන පුරා ඇගේ අත අල්ලාගෙන ම සිටියේය. නැවත යළි කෙදිනක ඇගේ අත අල්ලාගැනීමට ඉඩක් ලැබේදැයි ඔහු දැන සිටියේ නැත.

පසුවදා ඇය ගම්මානයෙන් පිටව ගියාය.

කාලය පියාඹා සිව් වසරක් ගෙවී ගියේය. ලීලා යළි ගමට පැමිණියාය.

ලොකු නෝනාට ගරාජ් කාරයා එපා වී තිබුණේ නැත. නමුත් ඔහු තම බෑණා කරගැනීමට ඇගේ මව්පියන්ගේ කිසිදු අදහසක් තිබුණේ නැත. ඔවුහු ඇයට මනමාළයෙකු සෙවූහ. ලීලාගේ සමාජ තරාතිරමට සරිලන 'ලොකු මහත්තයෙකු' ඔවුන්ගේ තෝරාගැනීම විය. ගුණදාස සේවය කළ ගරාජයට නුදුරු පාවහන් වෙළඳසැලක හිමිකරුවෙකු හා ලීලාගේ විවාහය සිදු කිරීමට තීන්දු විය.

ගුණදාස තම අයිතිය වෙනුවෙන්, තම ආදරය වෙනුවෙන් යුද්ධ ප්‍රකාශ කළේය. නමුදු ලීලාගේ පියාණන්ට ඔහුගේ යුධ ප්‍රකාශවලට හෝ ලීලාගේ ශෝක ප්‍රකාශවලට හෝ සවන් දීමේ උවමනාවක් නොවීය. ඔහුගේ තීරණය අවසාන තීරණය විය.

ලීලාගේ යෝජිත මනාළයා ඇයද, ඇගේ මවුපියන්ද කැටුව ප්‍රධාන නගරයේ සංදර්ශනයක් නරඹන්නට යමින් සිටි මොහොතක අරලියා ගසින් සෙවණ වූ මංසන්ධියේදී ගරාජයේ සිට යළි නිවස බලා එමින් සිටි ගුණදාස මුණගැසුණි. රථයේ ඉදිරිපස හිඳගෙන සිටි විදුහල්පතිවරයා දැක ඒ කවුරුන්ගේ වාහනයදැයි හඳුනාගත් ගුණදාසගේ පාපැදිය එහි නොගැටී බේරුණේ අනූ නවයෙනි. ඔහුට නොදැනීම දත්මිටි කැවින. නමුත් ගුණදාසව නොහඳුනනා මනාළයා ගුණදාසට බැණ වදින්නට විය. "ඔහොමද මිනිහො පාරෙ යන්නෙ? හොඳ වෙලාවට මං නවත්තගත්තෙ. නැත්තං එහෙම-"

පාපැදියෙන් බැසගත් ගුණදාස එය පසෙකට කර නවත්වා, මෝටර් රථය වෙත පැමිණ රියදුරු අසුන අසළින් පහත් වූයේ දන්නා සුද්ධ සිංහල වදන් සියල්ල භාවිතා කොට රියදුරුටත් ඔහුගේ මාමාණ්ඩියටත් ඇමතීමටය. නමුත් ඒ මොහොතේ පසුපස අසුනේ හිඳ සිටි ලීලා දුටු ඔහුගේ දෑස් විසල් විය. ඈ ගම්මානයට යළි පැමිණි දා පටන් හරි හැටි වදනක් හෝ දෙඩීමට අවකාශයක් නොලැබීමෙන් තමා මෙතරම් සිත් තැවුලින් පසු වන අතරේ ඈ මෙලෙස ඔහුගේ එදිරිවාදීන් සමග සවාරි ගැසීම පිළිබඳව ඔහුගේ සිතේ ඇති වූයේ කෝපයකි. "දැන් ලොකු ලොකු වාහනවල නේද ගමන් යන්නෙ?" ඔහු රළු හඬින් ඈ ඇමතුවේය.

ඈ නිහඬව අසරණ දෑසින් ඔහු දෙස බලා සිටියදී විදුහල්පතිවරයා කතා කළේය. "ගුණදාස, මෙතන ප්‍රශ්න ඇති නොකර තමන් යන්න ආපු ගමන යනවා..."

"ඔව්, මං මීට අවුරුදු ගාණකට කළින් යන්න ආපු ගමන එහෙම ම ගියානං ඉවරයි! ලීලා!" ඔහු යළිත් ඈ ඇමතුවේය. "එදා මෙතනදි නතර වෙච්ච ගමන - ඒක අද යනවා... බැහැලා එනවා යන්න..."

එවර රියදුරු අසුනේ සිටි ප්‍රතාපවත් දේහධාරියා ගුණදාසව තල්ලු කරගෙන රථයේ දොරටුව විවර කරගෙන බිමට බැස්සේය. "තමුසෙ කාටද ඔය කතා කරන්නෙ ඕයි??? තමුසෙ කවුරු කියලද හිතාගෙන ඉන්නේ???"

"මං කවුද කියලා අහගන්නවා අර ඇතුළේ ඉන්න අයගෙන්!!! ලීලා!!!" ගුණදාස බෙරිහන් දුන්නේය. "බැහැලා එනවා කිව්වාම අහලා!!!" නමුත් ඈ වෙනුවට රථයෙන් බැස්සේ විදුහල්පතිවරයාය.

"ගුණදාස! අපිට නීතිය අතට ගන්න ඉඩ තියන්න එපා. මේ ගමේ ඉන්න, මගෙන් ඉගෙනගත්ත දරුවෙක් නේද කියලා මං මෙච්චර කල් ඉවසගෙන හිටියේ. ඒත් මෙහෙම කරදර කරන්න එනවනං මට තමුන් ගැන පොලිසියට කියන්න සිද්ධ වෙනවා!!!" අනතුරුව ඔහු අනෙකා වෙත හැරුණි. "නිශ්ශංක පුතා, නගින්න කාර් එකට. අපි යමු!"

ගුණදාස ඔහු වෙත හැරී ක්‍රෝධයෙන් දරදඬු වූ මුහුණෙන් යුතුව දෑත් එකතු කළේය. "සර්! මං පුළුවන් හැම විදිහකටම සර්ට පැහැදිලි කරලා දෙන්න හැදුවා. ඒත් සර්ට ඇහුම්කන් දෙන්න කිසිම උවමනාවක් තිබ්බෙ නෑ... මං මේ අන්තිම වතාව්ට ඉල්ලන්නේ... එක වතාවකට - එකම එක වතාවකට ලීලාගෙන් අහන්න එයාගෙ කැමැත්ත... පිං සිද්ධ වෙයි - එකම එක වතාවකට අහන්න... තමුන්ගෙ දුවගෙ හිතේ සතුට ගැන හිතනවානං අහන්න ලීලාගෙ කැමැත්ත මොකද්ද කියලා..."

නමුත් එයට පිළිතුරු බැඳීමට විදුහල්පතිවරයාට ඉඩක් ලැබුණේ නැත. ගුණදාසගේ කමිස කරෙන් අල්ලාගත් නිශ්ශංක ඔහුව මෝටර් රථයේ බඳට තද කරගත්තේය. "ඒ ගොල්ලෝ කරන්න ඕනෙ මොනව්ද නැත්තෙ මොනවද කියලා තමුසෙ කියලා දෙන්න ඕනෙ නෑ මිනිහෝ! තමුසෙ වගේ අම්බරුවෝ-"

ඉවසීමේ සීමාව කෙළවර වූ ගුණදාස සුරත මිටි මොළවා අනෙකාගේ මුහුණට ප්‍රහාරයක් එල්ල කළේය. ගුටි කෙළියක් ඇරඹුණි. ලීලා රථයෙන් බැස්සාය. පියා ඇයට සොයා දුන් මනාළයා අතොරක් නැතිව ඇගේ ප්‍රේමවන්තයාට පහර දෙන අයුරුද, ගුණදාසද ඔහුට නොදෙවෙනිව ප්‍රතිප්‍රහාර එල්ල කරන අයුරුද ඈ මොහොතක් බලා සිටියාය. ඈ හැඬුවේ නැත. ගෙවුණු දින ගණනාව පුරා හඬා වැළපෙමින් කල් ගෙවූ ඇයට තවත් හඬන්නට කඳුළු ඉතිරිව තිබුණේ නැත. ඇය ගුණදාසව ආවරණය කරගනිමින් ඔවුන් දෙදෙනා අතරට පා තැබුවාය. නිශ්ශංකගේ ඊළඟ මුෂ්ටි ප්‍රහාරය එල්ල වූයේ බලාපොරොත්තු රහිත මොහොතක ඔවුන් මැදට පැමිණි ලීලාගේ හිසටය. එම ප්‍රහාරයේ වේගය දරාගත නොහැකිව ඇය විසි වී ගොස් ගුණදාසගේ බයිසිකලයද පෙරළාගෙන ඇද වැටුණාය. ඇගේ හිස ඒ අසළ වූ ලයිට් කණුවේ වැදී පැලී ලේ ගලන්නට විය. එම බියකරු දසුන දැකීමෙන් අනතුරුව සිදු වූ කිසිවක් ගුණදාසට මතක නැත.

නඩුව අවසානයේ, හදිසි කෝපය මත පැන නැගුණු ආරවුලක් හේතුවෙන් නිශ්ශංක විජේනායක නමැති පාවහන් වෙළඳසැල් හිමිකරු දැඩි සත්කාර ඒකකයේ ගත කළ දින දෙකක කාලයකින් පසුව මිය ගිය බවත්, මිනීමැරුම් චෝදනාව යටතේ රත්නායක මුදියන්සේලාගේ ගුණදාස නැමැත්තා ජීවිතාන්තය තෙක් සිර දඬුවමට යටත් වූ බවත් තීන්දු වනු ඔහුට ඇසුණි.

ජීවිතාන්තය තෙක් ලැබූ සිර දඬුවම තිස් වසරකට පසු නිමා වේ යැයි ඔහු බලාපොරොත්තු වූයේ නැත. යහපත් කල්ක්‍රියාව හේතුවෙන්, පසුගිය නිදහස් දිනයේ ජනාධිපති සමාව ලැබූ සිරකරුවන් අතරට එකතුවන්නට ඔහුද වාසනාව ලැබුවේය. ඔහුට ඈ බලන්නට යා හැකි වනු ඇත; ඇගෙන් සමාව ඉල්ලා සිටින්නට හැකි වනු ඇත; ඇගේ සොහොන් කොතට හෝ අවසන් ගෞරව දක්වා ඇගෙන් සමුගත හැකි වනු ඇත.

එම අවාසනාවන්ත සිද්ධිය සිදු වූ මංසන්ධියේ අරලියා සෙවණ යට ඔහු මඳකට නතර වූවේය. ඈ බලන්නට හිස් අතින් යා නොහැකිය. ඔහු ඇගේ කම්මුල සිපගත් එම රාත්‍රියේ සඳ එළියේ රටා මැවූ අරලියා ගස සොයාගත් ගුණදාස එදින රාත්‍රියේ නිදා සිටි පරිද්දෙන් ම හැකිලී සිටි මල් පොහොට්ටුවලින් යුතු කිණිත්තක් කඩා ගත්තේය. ඇයද නොපිපී ම මිලිනව ගිය අරලියා මලකි. එයද රැගෙන ඔහු ඉන් මඳක් ඔබ්බෙන් වූ අතුරු පාරෙන් හැරී නිසල සුසාන භූමිය වෙත පා එසැවූවේය.

ඈ කොහිද...? ඔහු හාත් පස නෙත් යොමමින් පරම්පරා ගණනක සොහොන් කොත් පිරික්සමින් ඇවිද ගියේය... ඈ නිදා සිටින්නේ කොහිද...? වසර ගණනකින් පාවහන් පහසක් නොලැබ ගොරෝසුව ගිය ඔහුගේ දෙපයට කටු පඳුරුවලින් හානියක් නොවීය... එවැනි වේදනා තව දුරටත් ඔහුට දැනුණේ නැත... හදවතින් ලබන්නට හැකි උපරිම වේදනාව ලැබූවෙකුට ශාරීරික වේදනාවක් දැනෙන්නේම නැති තරම් බව ඔහු පසක් කර සිටියේය... ඔහුගේ සුරතේ අරලියා පොහොට්ටු කිණිත්ත සුරැකිව රැඳී තිබුණි...

සුසාන භූමිය තුළ තමා හුදෙකලා නොමැති බව ඔහු මොහොතකින් දුටුවේය. සුදු ඇඳුමින් සැරසුණු වයෝවෘද්ධ මහල්ලෙක් සොහොන් කොතක් අසළ නැමී ඒ අවට තණ පඳුරු ඉවත් කරමින් සිටියි. ගුණදාස ඒ වෙත යන්නට පා එසවූවේය. සොහොන් කොත අසළ තැන්පත් කර තිබූ මල් සහ ඉටිපන්දම් දෙස බලමින් ඒ වෙත ළඟා වූ ගුණදාස යළිත් මහල්ලා දෙස බැලුවේය. ඔහුගේ පා හඬ ඇසීමෙන්දෝ ඔහු හැරී බැලුවේය. ඒ කවුරුන්දැයි ඔහු හඳුනාගත්තේ ඒ මොහොතේදීය. ඒ විදුහල්පතිවරයායි. ගුණදාසගේ හදවත මොහොතකට නතර විය. එසේනම්... ඔහු ඒ සිටින්නේ ලීලාගේ සොහොන් කොත අසළ විය යුතුය...

"ලොකු ඉස්කෝලෙ මහත්තයා....." ගුණදාස මිමිණුවේය. මහල්ලා දෑස් කුඩා කර බලා සිටියා පමණි. ගුණදාසද නිහඬව ම දෙදණ නමා පහත් වී තම අත වූ පොහොට්ටු කිණිත්ත සොහොන අසළින් තැන්පත් කළේය. අනතුරුව සිය පෙම්බරියගේ ආදරණීය සිනහව සිහිපත් කොටගෙන දෑස් පියාගෙන දෑත් එකතු කොට වන්දනා කළේය. ඉදිරි අත්භවයන්හිදී හෝ ඔහුටත් ඇයටත් එක් වන්නට පින් ලැබේවා යන්න ඔහුගේ එක ම පැතුම විය.

"ඔය දරුවා අපේ හාමිනේගෙන් ඉගෙනගෙන තියෙනවද?"

ගුණදාසගේ නෙත් එක් වරම විවර විය. ඔහුගේ දෑස් යොමු වූවේ සොහොන් කොතේ වූ නම හා දින වකවානු වෙතට ය. එහි වූයේ ලීලාගේ මවගේ තොරතුරුය. ගුණදාස සුටුස් ගා නැගිටගත්තේය. විදුහල්පතිවරයා තවමත් ඔහු දෙස විමතියෙන් බලා සිටියි. "ලීලා කෝ?" ගුණදාස ඇසුවේය.

"ලීලා?"

"ඔව්? මං එයාව බලන්න ආවේ..."

"මේ..... ගුණදාසද...?" විදුහල්පතිවරයා අපහසුවෙන් බස්තමට බර දී නැගිට සිටින අතරේ විමසුවේය. ඔහුට සහය වන්නට හෝ ගුණදාසට සිහියක් තිබුණේ නැත.

ඔහු අවසිහියෙන් මෙන් හිස සැලුවේය. "ලීලා කෝ සර්...?"

විදුහල්පතිවරයා බස්තමට බර දී සුසාන භූමියේ පිවිසුම දෙසට පා ඔසවන්නට විය. "අර ඉන්නේ ඉස්කෝලේ..."

"ඉස්කෝලේ???" ඇගේ සොහොන් කොත ඉදි කෙරුණේ පාසැල් භූමිය තුළද? ඇතැම්විට ඈ මිය යන විට ඇගේ පියා පාසලේ විදුහල්පතිවරයා වූ බැවින් එසේ සිදු කරන්නට ඇත. ගුණදාසද ඔහු හා සෙමින් ඇවිද යන්නට විය.

"වෙනදාට සති අන්තෙට එද්දි ලීලාත් එනවා මෙහෙ... අද ඔන්න ඔය කලාපෙන් කවුදෝ එනවා කියලා නතර වුණා....."

ගුණදාස හිටිවනම නතර විය. තමාට පිටු පා බස්තම අනිමින් හෙමින් ඇවිද යන විදුහල්පතිවරයා දෙස මොහොතක් තුෂ්ණිම්භූතව බලා සිටි ගුණදාස අනතුරුව ඔහුව පසු කර හැල්මේ දිව යන්නට විය. ඇය... තවමත්... ජීවතුන් අතර...... තිස් වසරක් පුරා ඔහු සිතා සිටියේ ඈ එදා නො එන ගමන් ගිය බවයි... තමා අතින් නිශ්ශංකගේ දිවි තොර වූයේද ඒ නිසාවෙනි... නමුත් ඇය ජීවතුන් අතරය..... ඒ බව දැන සිටියානම් - ඒ බව දැන සිටියානම් - ඔහු හිරෙන් පැන විත් හෝ ඈ බලා සැනසෙනු නියතය.....

අරලියා ගස් මංසන්ධිය වෙත පැමිණි ගුණදාස නතර විය. තමා විදුහල්පතිවරයා අතරමග හැර දමා දිව යාම සුදුසු නැත. එය එතුමන් කෙරෙහි තවමත් සිත පතුළේ ඇති ගෞරවයට කෙරෙනා හානියක් වන්නා සේ ම, ගුණදාසව නොහඳුනනා ගම්මුන් බොහොමයක් මැද එලෙස පිස්සෙකු මෙන් දිව යාම, මෙතෙක් කලක් සිපිරි ගෙදර ගත කර පැමිණි තමාට ජීවිතයේ ඉතිරි කාලය මානසික රෝහලක ගත කරන්නට සිදු වීමට හේතුවක් වන්නටද බැරි නැත. ඔහු ආපසු හැරී විදුහල්පතිවරයා වෙත පැමිණියේය. ඔහුගේ මන්දගාමී ගමනින් ගුණදාසද ඔහු හා ඇවිද යන්නට පටන්ගත්තේය.

අවසන, මුල් ගුරු නිළ නිවාසය වෙත ළඟා වන විට ගුණදාසගේ හදවත ඔහු හැර දමා කිහිප ගමනක් ලීලා මුණ ගැසෙන්නට ගොස් පැමිණෙන්නට තරම් වේගයකින් ගැහෙමින් තිබූ අතර ඔහුගේ සුරතේ තවත් අරලියා කිණිත්තක් විය. මෙවර එහි පිරී පැවතුණේ නිදා සිටිනා පොහොට්ටු නොව, සුන්දරව පිපී හිනැහෙන මල් ය. ඔහුගේ නිරුවත් පා සටහන්, විදුහල්පතිවරයාගේ පාවහන් ලූ පිය සටහන් අසළින් මුල් ගුරු නිළ නිවස මිදුලේ තෙත පස් මත සටහන්ව තිබුණි...




297. දිවිය පසු කර ගලන කාලය...

දැරියන් තිදෙනෙකුගේ රූ රැගත් සිතුවමකි. රූපය අන්තර්ජාලයෙනි.


පණස් වසරකට පෙරාතුව ඔවුන් තිදෙනා සොයුරි-බන්ධනයේ දිවුරුම් දුන්නේ අයිලින්ගේ නිවස පිටුපස මිදුලේදීය. එය, තිදෙනාගෙන් වැඩිමහල් දැරිය වූ අයිලින්ගේ ම අදහසක් විය. දොළොස් වැනි විය පසු කරමින් දහතුන් වැනි වියට එළැඹෙමින් සිටි ඔවුහු සිය මව්වරුන්ගෙන් උරුම වූ මාවෝ කබා යාන්තමට පිරෙන තරමට වැඩුණු සිරුරුවලින් යුතු වූහ. එකල, අනෙකුත් බොහෝ සම්ප‍්‍රදායන් මෙන්ම දිවුරුම් සොයුරි බන්ධනයද පිළිගැනුණේ කිසිදු සෙතක් ලබා නොදෙන වැඩවසම් යුගයෙන් පැවත ආ උරුමයක් ලෙසිනි. එබැවින්, විපරම් දෑස්වලින් ගැලවී හිඳිනු පිණිස අයිලින්ගේ බාල සොයුරු සොයුරියන් නිවසින් පිටතට කැටුව යන ලෙසට අසල්වැසියෙකුගේ දියණියකට අල්ලස් ගෙවීමටද ඔවුනට සිදු විය. පොළට කැටුව ගොස් උක් දඬු මිලට ගෙන දුන් විට ඒවායේ එක් කොණක සිට අනෙක් කොණට සපා නිම කිරීම පිණිස ඔවුනට සැලකිය යුතු වේලාවක් ගත වනු ඇත. මෙයි සිය පියාගේ පෙට්ටගමෙන් අල වර්ගයකින් සෑදූ මධ්‍යසාර පානයක් හොරෙන් රැගෙන විත් තිබූ අතර, ඔවුන් තිදෙනාම එම සැර පානයෙන් බිඳ බැගින් පානය කිරීමෙන් අනතුරුව එය පොළොව මතට වත් කෙරූහ. "දෙව් ලොවත්, මහ පොළොවත් අපගේ ඉදිරි ජීවිතයේ මෙම සමාරම්භය පිළිබඳ සාක්ෂි දරනු ඇත." ලේ ඥාතිත්වය අභිබවා ගිය දිවුරුම් සොයුරු බන්ධනයන්ට එළැඹුණු මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ කථා රැගත් පැරණි නවකතාවලින් උපුටාගත් ප‍්‍රතිඥාවක් අයිලින් කියැවූවාය. මෙයි සහ ලාන් ඇගේ වදන් පුනරුච්චාරණය කරමින් ඔවුන්, ඒ මොහොතේ පටන් දිවුරුම්-සොයුරියන්, දිනෙක තිදෙනා ම මේ මිහිතලය හැර යන මොහොත උදාවන තෙක්ම දුකේදීත් සැපේදීත් එක්ව හිඳිනා බවට ප‍්‍රතිඥා දුන්හ.

පසුව, ඔවුහු ඡායාරූපයක් ගැනීම පිණිස නගරයේ වූ එකම ඡුායාරූප ශිල්පියා වෙත ගියහ. ඔවුන් සැරසී සිටියේ හඳ මෙන් සුදු පැහැති බ්ලවුස, ගෙතූ කොණ්ඩ කරල් අග බැඳුණු සුදු පැහැති පීත්ත පටි සැරසිල්ල සහ මෘදු පැහැති මල් මෝස්තරයෙන් සැරසුණු කලිසම්වලින් යුතු ඔවුන් සතු ඉස්තරම් ම ඇඳුම්වලිනි. හතළිස් වැනි වියට ආසන්න තනිකඩයෙකු වූ ඡායාරූප ශිල්පියා ආලෝකය ලබා දෙන ලාම්පු සකසන අතරේ දැරියන් තිදෙනා මහත් උද්යෝගයෙන් සිනහ සලනා දෙස බලා සිටියේය. ඔවුන්ගේ මුහුණුවල වූ, ඔවුන් තවමත් නොදන්නා කුමක්දෝ කරුණක් අරභයා ඔහුගේ සිත සසල වී තිබිණ. මුද්‍රණය කළ අවසාන ඡුායාරූපයේ කෙළවරක ඔහු හැඩැති අත් අකුරෙන් පෞරාණික කාව්‍ය ඛණ්ඩයක් උපුටා සටහන් කළේ එහෙයිනි: "දිවිය පසු කරමින් ගඟක් මෙන් හැල්මේ ගලා යන කාලය ගැන නොදත් අහිංසක මල් කැකුළු." මහත් සේ ලැජ්ජාවට පත් වුවද, ඡුායාරූප ශිල්පියාට සත්‍යය හෙළි කරන්නට මැළි වූ දැරියෝ තම දිවුරුම් සොයුරි බන්ධනය පිළිබඳව ලියැවුණු ඔහුගේ වදන් පෙළ නොදුටුවා සේ සිටියෝය.

ඉන් වසර නවයකට පසු, ඔහු සතුව තිබූ ජර්මනියේ නිෂ්පාදිත කැමරා යන්ත‍්‍ර සාක්ෂි ලෙස ගනිමින් එම ඡායාරූප ශිල්පියා ධනවාදීන්ගේ ඔත්තුකරුවෙකු ලෙසින් අත් අඩංගුවට ගැනුණි. එම නගරයේ තරුණ රතු භතයින්ගෙන් මිය යනතුරු පහර කෑමේ දඬුවම ලැබූ පළමු තැනැත්තා ඔහු විය. ඒ වනවිට මෙයි සහ ලාන් දෙදෙනාම සිය පළමු දරු ප‍්‍රසූතියට සූදානම්ව සිටියහ. ඔවුන් දෙදෙනාට සාපේක්ෂව තමාගේ ජීවිත ගමනේ මන්දගාමී බව පිළිබඳව නොසන්සුන්ව සිටි අයිලින්ද, ඈ එතරම් දන්නා හඳුනන්නේ නැති මනාලයෙකු සමග, ඔහු හා ආදරයෙන් බැඳීමට තමාට වසර ගණනාවක් ගත වනු ඇති බව දැන සිටියද, විවාහ දිවියට එළැඹෙන්නට තීරණය කළාය. ඒ මඟුල් කපුවා රැගෙන ආ පළමු විවාහ යෝජනාව නොවූවා සේම, වටිනාම විවාහ ගිවිසගැනීමේ ත්‍යාග ප‍්‍රමාණය පිරිනමන්නට සූදානම්ව සිටි පවුලද නොවීය. නමුත්, පැරණි කියමනක පැවසෙනා පරිද්දෙන් ම නිසි වේලාවට පැමිණෙන තැනැත්තාට ඉන් පෙර පැමිණි උදවියද අභිබවා යෑමේ හැකියාවක් ඇති බව එහි දී ද සනාථ විය.

විවාහය දින උදෑසන, ඇගේ දිවුරුම් සොයුරියන් දෙදෙනා ඈ හැඩ ගන්වන අතරේ, පුදුමයකට මෙන් ඇයට සිහිපත් වූයේ වසර ගණනාවකට ඉහතදී ඡායාරූපයට පෙනී සිටීමට පෙර ඇගේ නිකටින් අල්ලා මුහුණේ කෝණය සකස් කළ ඡායාරූප ශිල්පියාගේ දිගු අතැඟිලිවල මෘදු ස්පර්ශයයි. දෑස් පියාගත් කල ඇයට, අති දීප්තිමත්ව දැල්වෙමින් තිබූ ලොකු කුඩා විදුලි පහන් ආලෝකය ඔහුගේ එසැවුණු දෑතින් ආවරණය වී ලැබුණු සෙවණෙන් දැනුණු සිසිලස ඒ මොහොතේ දී ද දැනෙන්නාක් මෙන් විය. ඔහු එදින ඔවුන්ගේ ඡායාරූපයේ ලියූ සටහන මතකදැයි ඇය අනෙක් දෙදෙනාගෙන් විමසා සිටියාය. එසේම, ඔහු පැවසූ පරිද්දෙන්ම ඔවුනට නොදැනීම කාලය ඔවුන් පසු කොට පියාඹා ගොස් ඇති බවද ප‍්‍රකාශ කළාය. නව මාතෲත්වයේ දීප්තියෙන් බැබළෙමින් සිටි මෙයි සහ ලාන්, ඇගේ බොළඳ භාවාත්මක කල්පනා පිළිබඳව සිනහ පළ කළහ. ඇයට ජීවිතයේ මගහැරුණු තැන් එදින රාත‍්‍රියේදී සොයාගත හැකි වනු ඇති බව මෙයි සිය සුපුරුදු මුඛරි හඬින් ම ප‍්‍රකාශ කළ අතර, රත් පැහැයට හැරුණු ලාන් ද කෝල සිනහවකින් එය අනුමත කළාය. එක් මොහොතකට, ඇගේ දිවුරුම් සොයුරියන්ට නොවැටහුනු ගුප්ත පාළුවකින් අයිලින්ගේ සිත ඇළලී ගියේය.

ඇගේ යොවුන් වියේ ඇඳුම් කැඩුම් කිහිපයක්ද සමග එම ඡායාරූපයද ට‍්‍රන්ක පෙට්ටියක් තුළ සැඟව ගියේය. ඇගේ විවාහ දිවිය තුළදී එය විවර කෙරුනේ ඉතාමත් කලාතුරකින් වූ අතර ඊළඟ වතාවේදී එය විවර වූයේ අයිලින්ගේ දෑතින් නොව ලිස්බන් සිට ගිම්හාන නිවාඩුවට පැමිණි ඇගේ දහ හතර හැවිරිදි මිනිබිරිය වූ යිංගේ දෑතිනි. එම දැරියන් කවුරුන්දැයි සිය මිත්තණියගෙන් විමසන අතරේ ඡායාරූපය පසෙක තැබූ යිං, ට‍්‍රන්ක පෙට්ටියෙන් ගත් බ්ලවුසයක් ඇඳ හැඩ බැලූවාය. සඳේ සුදු පැහැයෙන් යුතුව තිබූ එම සේද ඇඳුමද ඒ වනවිට පණස් වසරකට පෙරාතුව ගත් ඡායාරූපය මෙන් ම කහ පැහැයෙන් දුර්වර්ණව තිබුණි. නමුත් දැරිය එම පැරණි විලාසිතාවට අයත් වස්ත‍්‍රයෙන් කුල්මත්ව සිටියාය. රත්-කහ පැහැයකින් වර්ණ ගන්වා තිබූ තම කෙස් කළඹ මධ්‍යයෙන් දෙකට බෙදා ගොතන්නට උත්සාහ කළද කැරළි ගැන්වී තිබූ කෙස් රොද ඇයට අවනත නොවූ නිසාවෙන්, කිහිප වරක් උත්සාහ කිරීමෙන් අනතුරුව එය අතහැර දැමූ යිං දැති කිහිපයක් කැඞී ගොස් තිබූ කැස්බෑ ලෙලි පනාවක් අතට ගත්තාය.

තමාද අනෙක් දැරියන් දෙදෙනාද හොඳම මිතුරියන්ව සිටි බව පමණක් පැවසූ අයිලින් සිය මිනිබිරියගේ සිනහවට ලක් වන්නට සිදු වේයැයි බියෙන් දිවුරුම් සොයුරි බන්ධන චාරිත‍්‍රය පිළිබඳව කිසිවක් නොකීවාය. සැබැවින්ම, ඇය සිය අතීතය පිළිබඳව මිනිබිරිය හා කතාබස් කරනා බොහෝ විට එසේ ඇගේ සිනහවට ලක් වන්නට අයිලින්ට සිදු විය. ඡායාරූපය නැවතත් අතට ගත් යිං එය හොඳින් පරීක්ෂා කළාය. "හරි ෂෝක්!" ඇය කෙනෙකු බලූ පැටවෙකු පිළිබඳ කතා කරනා අන්දමේ ස්වරයකින් ප‍්‍රකාශ කළාය.

ඇගේ මිනිබිරිය පැමිණ සිටින්නේ කතන්දර අසන්නටනම් ඇයට ඕනෑතරම් කතන්දර කියා දෙන්නට අයිලින් ඕනෑම මොහොතකදී සූදානම් ය. නමුත්, යිං රැගෙන විත් තිබූ මහේශාක්‍ය පෙනුමින් යුත් ගොඩනැගිලි, ගාම්භීර ප‍්‍රතිමා, සුදු පැහැති බෝට්ටු නවතා ඇති නිල් පැහැති වරායන් සහිත විදෙස් නගරය පසුබිම් කරගත් ඡායාරූප දෙස බලමින් යිංගේ බාල වියේ මිතුරු මිතුරියන් විස්මයෙන් පසසද්දී උදාසීනව ප‍්‍රතිචාර දැක්වූ සිය මිනිබිරිය වෙත ඇයගේම කතන්දර ඕනෑ තරම් ඇති බව අයිලින් දැන සිටියාය. පස් වසරකට පෙර අයිලින්ගේ සැමියා මිය යාමෙන් පසුව, ඇගේ එකම පුත‍්‍රයා පෘතුගාලයට සංක‍්‍රමණය වන්නට තීරණය කර තිබුණි. ඒ පිළිබඳ ඇගේ අදහස ඔහුට කිසිසේත් වැදගත් නොවන බව දැන සිටි අයිලින් කිසිදු විරෝධයක් නොපා ඔහු ඉල්ලා සිටි මුදල ලබා දුන්නාය. ඔවුන්ගේ එකම දියණිය හදාවඩාගැනීම පිණිස තමාට බාර දී යන මෙන් ඉල්ලා සිටින්නට ඇයට උවමනා වුවද, යිං විදෙස් රටකට පිටව යෑමට කෙතරම් උනන්දුවෙන් ආශාවෙන් බලා සිටියාද යන්න වටහාගත් අයිලින් එම අදහස අත් හැර දැමුවාය.

නොබෝ කලෙකින්ම ඇගේ පුත‍්‍රයා කතා කොට දැනුම් දුන් අන්දමට යිං ඔවුන්ගේ අවන් හළේ හොඳ අත් උදව්කාරියක බවට ඒ වනවිට පත්ව සිටියාය. එසේම ඈ පෘතුගීසි බස ඉගැනීමෙන් අනතුරුව ලේඛන හා කාර්යාල කටයුතු සඳහා ඇගෙන් මනා සහයෝගයක් ඇගේ දෙමාපියන් හට ලැබී තිබුණි. දිනෙන් දින දියුණු වන අවන් හළ වෙනුවෙන් ඈ සිදු කරනා කැප කිරීමට ත්‍යාගයක් වශයෙන් සෑම ගිම්හාන කාලයකදීම දෙසතියක නිවාඩුවක් සඳහා ඇයට සිය මිත්තණිය වෙත පැමිණීමට ඉඩ ප‍්‍රස්තාව ලැබී තිබුණි. එම කාලය තුළදී තම ඡායාරූප පැරණි මිතුරන්ට සහ අසල්වැසියන්ට පෙන්වමින් සිය අලුත් ජීවිතය පිළිබඳව නිහඬ පුරාජේරුවක නියැලීමට අමතරව, සැරසිලි මැහුමෙන් අලංකාර කෙරුණු, අතින් නිම කළ මේස රෙදි සහ අත්පිස්නා මිළට ගැනීමද ඇගේ රාජකාරියක් විය. වසර දහස් ගණනක් පුරා එම පළාත ඒ සඳහා ප‍්‍රසිද්ධියක් ඉසිලූ අතර නිසි අවබෝධයකින් යුතුව නිවැරදි තැන සොයා ගියහොත් අදටද ඉතාමත් අඩු මිළට ඒවා ලබා ගැනීමට හැකියාව ඇත.

ජීවිතය හොඳින් ගෙවෙනා බවත්, ව්‍යාපාරය ඉන් පෙර කිසිදාටත් වඩා සාර්ථකව සිදු කෙරෙනා බවටත් සෑම ගිම්හානයකදීම යිං සිය මිත්තණියට දැනුම් දුන් අතර, ඈ වාර්තා කරනා දෙයට අමතරව කිසිවක් නොවිමසිය යුතු බව අයිලින් දැන සිටියාය. දැරියට කතන්දර කියන්නට උවමනා වූ විට අයිලින් ඉතා උනන්දුවෙන් ඇගේ බස් අසන්නට සැදී පැහැදී සිටියද, යතාර්ථයත් පරිකල්පනයත් අතර රේඛාව බොඳව පෙනෙනා වයසක පසු වූ යිං ඉතා රසවත් යැයි සිතමින් කියූ බොහෝ දෑ මිත්තණියට නීරස විය. නමුත් ඒ බව නොපෙන්වා සිටින්නට අයිලින් ප‍්‍රවේශම් වූවාය.

යිංගේ නිවාඩුව අවසන් වන්නට ආසන්න එක් දිනෙකදී ඇය අයිලින් ඇගේ දිවුරුම් සොයුරියන් සමඟ සිටිනා ඡායාරූපයේ විශාලනය කරන ලද පිටපතක් රැගෙන ආවාය. මුද්‍රණාලයේ උදවිය එය පරිගණක මෘදුකාංග භාවිතයෙන් වඩාත් සුන්දරව පෙනෙන සේ සැකසූ බව යිං පැහැදිලි කළාය. දුඹුරු පැහැයේ ළා - තද වර්ණ සංයෝජනයෙන් හැඩ ගන්වා තිබූ ඡායාරූපයේ වූ දැරියන් තිදෙනාගේ සිනහවේ වූයේ ඔවුන් ම පමණක් දත් අභිරහසක මායාවෙන් සෙසු ලෝකයෙන් සැඟවගත් බව හඟවනා ස්වප්නමය භාවයකි. එය කුමකටදැයි අයිලින් විමසා සිටි අතර, එය ඔවුන්ගේ අවන් හළේ ප‍්‍රධාන තලයෙන් වෙන් කරගත් කොටසක නව සැරසිලි සඳහා බව යිං දැනුම් දුන්නාය. ඒ වෙනුවෙන් ඈ ඇගේ මිතුරන්ගේ දෙමාපියන්ගෙන් ඉල්ලාගෙන එකතු කරගත් තවත් පැරණි ඡායාරූප ඇති බවද, මුද්‍රණාලය මගින් තවත් දිනක් හෝ දෙදිනක් ඇතුළත එම රූප ද සකසනු ඇති බවද යිං හෙළි කළාය.

අයිලින් ඡායාරූපය දෙස බලා සිටියාය. ගල් බංකුවක් මත හිඳගෙන සිටි ඇය ඡායාරූප ශිල්පියා උපදෙස් දුන් අන්දමට දෙපා ඒ මතට ගෙන දෑතින් දණහිස් වැළඳගෙන සිටියාය. කවුරුන් හෝ කතා කරනා ලෙසින් මඳක් ඉහළට දෑස් යොමු කර සිටිනා ලෙසට ඔහු පවසා සිටියද, කතා කරන්නේ කවුරුන්දැයි ඔහු කීවේ නැත. මෙයි සහ ලාන් ඇයට පිටුපසින් හිටගෙන ඇගේ උරහිස් මතින් එක් අත බැගින් තබාගෙන, අනෙක් අත් ඔවුන් තිදෙනා ම බලා සිටිය යුතු වූ දෙසට යොමු කරගෙන සිටියහ. ඒ සියල්ලම උස්ව නැංවුණු කුඩා වේදිකාවක් මත සිදු කෙරුණු අතර පසුතලයේ වූ, පණස් වසරකට පෙරදී ද වර්ණ ගෙවී ගොස් තිබූ උණ පඳුරුවලින් සහ දිය ඇල්ලකින් සමන්විත තිර රෙද්ද මෙම නව මුද්‍රණයේ බොහෝ සෙයින් නොපෙනී ගොස් තිබුණි. ඒ ගැන දැන සිටි අයිලින්ගේ දෑසට පමණක් එය යාන්තමින් හසු කරගත හැකි විය. එනමුදු, බොහෝ කල් අමතකව ගොස් තිබූ බොහෝ දෑ එම විශාලනය කරන ලද නව මුද්‍රණයද සමගින් නැවතත් මතුපිටට නැංවී තිබුණි: යාන්තමට පිළිස්සී තිබුණද ඡායාරූපයේ ඒ බවක් පෙනෙන්නට නොමැති ඇගේ ගෙතූ කොණ්ඩ කරලේ වක් ගැසුණු කෙළවරට හේතු වූයේ රත් කළ අඬුවකින් කලබලයෙන් කෙස් කැරළි ගන්වාගන්නට ගත් උත්සාහය ය; ඔවුන්ගේ ඉහළ බොත්තම් කාසවල රැඳවී තිබුණු පිච්ච මල් පොහොට්ටු ලබා දුන්නේ ඔවුන්ගේ වයසේ ම පසු වූ, ලැජ්ජාශීලී සිනහවකින් යුතු වූ මෙයිගේ අසල්වැසි පිරිමි ළමයා ය. සිය මවගේ ගෙවත්තේ පිපුණු මල් මෙයි වෙත පිළිගැන්වීම ඔහුගේ පුරුද්දක්ව තිබුණද, එම සුවඳැති ත්‍යාගයන්ගේ ආධාරයෙන් ඔවුන් අතර සැලකිය යුතු අන්දමේ හිතවත් කමක් ගොඩනැගෙන්නට පෙර ම, ඔහුගේ වැන්දඹු මව පිට පළාතක තැනැත්තෙකු හා විවාහ වූයෙන් ඔහුට නගරයෙන් පිට වී යන්නට සිදු විය. තිදෙනාගෙන් සුන්දර ම දැරිය වූ ලාන්ගෙන්, ඉවත නොබලා සිටිනා ලෙසට ඡායාරූප ශිල්පියාට එක් වතාවක් නොව දෙවතාවක් ම ඇයැද සිටින්නට සිදු විය. නමුත් රූපය හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට ඇය කැමරා කාචය හමුවේ ලැජ්ජාවෙන් ඉවත බලන්නට සූදානම් වන බව පෙනෙනු ඇති වුවද, ඡායාරූප ශිල්පියා ඉතාමත් සූක්ෂම අන්දමින් ඇගේ දෑස් ඉවතට යොමු වීමට පෙර ඡායාරූපය ගැනීමට සමත් වී ඇත.

"මේක හදන්න කීයක් විතර ගියාද?" නව මුද්‍රණය සිදු කර තිබූ රෙදිකඩ මතින් අතැඟිලි ගෙන යමින් අයිලින් විමසුවාය.

යිං ලබා දුන් පිළිතුර අයිලින්ගේ මහත් පුදුමයට හේතු වූ අතර, එතරම් මුදලක් වියදම් කළද එම රූපය පෙරදී තිබුණාටද වඩා පැරණි ස්වභාවයක් උසුළන බව ඇය ප‍්‍රකාශ කළාය.

"ඉතිං එහෙම තමයි මට ඕන වුණේ."

"ඔයා මේක මෙහෙම හදවන්න කළින් අම්මලාගෙන් අහලා බැලූවද?"

"ඒ මොකටද?" යිං ඇසුවාය. "අපේ අමුත්තන්ට ඕන වෙලා තිබ්බේ මෙහෙම දෙයක් තමයි කියලා මං කිව්වාම අම්මලා කොහොමත් මේකට කැමති වෙනවා. ඒ නැතත් අම්මලා කොහොමත් කියන්නේ කඩේ දවසක මට අයිති වෙනවා කියලානේ. ඉතිං දැන්ම ඉඳන්ම කඩේ ගැන මං තීරණ ගත්තාම මොකද වෙන්නේ?"

වැඩිහිටියන්ට ගරු කිරීම පිළිබඳව තම මිනිබිරියට දේශනයක් පවත්වන්නට අයිලින්ට සිතුණද, යිං සිය දෑස් කරකවා මිත්තණියගේ යල් පැන ගිය නිශ්ඵල ප‍්‍රඥාවට සිනාසීමෙන් පමණක් එයට ප‍්‍රතිචාර දක්වනු ඇති බව ඇය දැන සිටියාය. "මට තේරෙන්නෙ නෑ ඔයාලගෙ කෑම කඩේට එන කාටවත් කෑම කන ගමන් ඔය අවුරුදු ගාණකට උඩදි ගෑනු ළමයි කාණ්ඩයක් ගත්ත පින්තූරයක් දිහා බලං ඉන්න ඕන වෙන්නෙ ඇයි කියලා."

"ඔයාලා තුන් දෙනා ම හරිම පොඩියි, අහිංසක පාටයි. හරිම චීන පෙනුමයි."

"අපි ඔය පින්තූරෙ ගත්තෙ ඔය කොහෙවත් ඉන්න පිට දේසක්කාර යක්කු රැළකට විනෝදයක් සපයන්න නෙවෙයි," අයිලින් ශෝකයෙන් පීඩිතව කීවාය.

"ඒ වුණාට ඉතිං කමක් නෑනෙ, නේද?" යිං පැවසුවාය. "එතකොට ආච්චි අම්මාගෙ යාළුවෝ - ඔයා එයාලට මේ ගැන කියන්නෙ නෑ නේද? ඒගොල්ලෝ මාව හොයාගෙන ඇවිල්ලා සල්ලි ඉල්ලයිද දන්නෙ නෑ."

එවැනි දෑ ගැන කරදර වීමට තරම් තම මිනිබිරිය තවමත් ළාබාල වැඩි නොවේදැයි කල්පනා කරන අතරේ අයිලින් තමා එම වයසේදී භුක්ති විඳි තරම් සිහින දැකීමේ අවකාශයක් තම මිනිබිරියට නොමැති වීම පිළිබඳව දුක් වූවාය. තමා මිතුරියන්ට රහස හෙළි නොකරන බව අයිලින් පැවසුවද යිංගේ මුහුණේ වූයේ අවිනිශ්චිත බවකි.

"ඒත් බැරි වෙලාවත් ආච්චි අම්මාට අමතක වුණොත්," ඇය කීවාය. "මං දන්නවානේ වයසක උදවියගේ හැටි. ඔන්න අද පොරොන්දුවක් දෙනවා, ඒත් ඊළඟ දවසෙදි ඒක එහෙම පිටින්ම අමතකයි. මොකද ඔයගොල්ලන්ට ඕන තරං වෙලාව තියෙනවනේ කියව කියව ඉන්න. ඉතිං හැම ඕපදූපයක්ම හැමෝම එක්ක කියවනවා."

"මට එයාලව ආයෙ කවදාවත් හම්බවෙන්නෙ නෑ."

"ඒගොල්ලො මැරිලද?"

නගරයෙන් බැහැරව විසුවද ඔවුන් දෙදෙනා ම පදිංචිව සිටියේ හෝරා දෙකක බස් ගමනකින් පහසුවෙන් ගෙවා යා හැකි දුරක ය. එසේ වුවද අයිලින් තම සැමියාගේ අභාවය පිළිබඳව ඔවුනට දැන්වූවේ නැත. ඔවුන්ද ඇගෙන් එවැනි අහිමිවීම් පිළිබඳ පුවත් සඟවා තබාගන්නට ඇතැයි යන්න ඇයට අවබෝධ වූවේ ඒ මොහොතේදීය. ඒ වනතුරු ඈ සිතා සිටියේ කෙතරම් දුරක සිටියද ඔවුන් තිදෙනා අතර සිදුවන මරණයක ආරංචිය නිසැකවම අනෙක් දෙදෙනා සොයා යනු ඇති බව ය. තමා එලෙස අන්ධ විශ්වාසයක එල්බගෙන සිටියේ මන්දැයි අයිලින් කල්පනා කරන අතරේ ඈ දෙස අනුකම්පා සහගත බැල්මකින් බලා සිටි යිං ඇගේ මිතුරියන් ඈ අසළදී මරුමුවට පත් වූවාදැයි නැවතත් විමසා සිටියාය. ඔවුන් දැනටත් හොඳ ශරීර සුවයෙන් පසු වනු ඇති බවටත්, එකම ගැටළුව ඔවුන් තව දුරටත් එකිනෙකා හා කතාබස් නොකිරීම පමණක් බවත් අයිලින් පිළිතුරු ලෙස පැවසූවාය. නමුත් ඒ මන්දැයි යිං විමසා සිටියාය. කරුණු කාරණා සිද්ධ වූවේ එලෙසින් බවත්, පණස් වසරක් තරම් දිගු කාලයක් තුළදී සියල්ල එක ලෙස පවත්වාගැනීම අපහසු බවත් අයිලින්ගේ පිළිතුර විය.

නමුත් යිං එයින් සෑහීමකට පත් බවක් පෙනෙන්නට තිබුණේ නැත. "මොන විදිහේ කරුණු කාරණා සිද්ධ වුණත් එහෙම යාළුකම් නැති වෙන්නෙ නෑනේ," ඇය කීවාය. අන්තර්ජාල දුරකථන සබඳතා, උපන්දින සුබපැතුම්පත් හුවමාරු, සහ එක්ව ගතකරන නිවාඩු දින සමග සමීප මිතුරු සබඳතා පවත්වාගෙන ගිය මිතුරන් කිහිප දෙනෙකු යිංටද විය. සෑම ගිම්හාන කාලයකදීම, ඇය තමා උපයාගත් මුදලින් මිලට ගත්, යුරෝපයේ විලාසිතා ලෙසින් ඈ හඳුන්වා දුන් ඇඳුම් සහ පාවහන් එම මිතුරන්ට තෑගි කළාය.

කෙතරම් ඉහළ තත්ත්වයෙන් පැවැතුණු මිත‍්‍රත්වයක් වුවද උදාසීන මධ්‍යස්ථභාවයකට පත් කරවීමට සමත් කුඩා කණස්සලුවලින් ජීවිතය පිරී ඇත - ඊළඟ කෑම වේල සූදානම් කිරීම, මාරු කරන්නට - සෝදන්නට ඇති ළදරු ඇඳුම්, සතුටු කරන්නට අපහසු අනෙක් පාර්ශවයේ නෑදෑයන් සහ කාර්යාල ප‍්‍රධානීන්, රෝග පීඩාදී මේ සියල්ලකගෙන්ම ජීවිතය ගොඩ ගැසී ඇහිරී ඇත. ඒ සියල්ල හැරුණු කොට ඡායාරූප ශිල්පියා පැවසූ තමන් පසු කර හැල්මේ දිව යන කාලයද එයට වගකිව යුතුය. නමුත් යිං එක් දෙයක් පිළිබඳව නිවැරදිය. කරුණු කාරණාවල සුළු සුළු වෙනස්කම් හේතුවෙන් දිවුරුම්-සොයුරි බන්ධනයක් බිඳී යන්නේ නැත. "කාලෙකට උඩදි යමක් සිද්ධ වුණා," අවසානයේදී අයිලින් හෙළි කළාය. "මං මහ නරක විහිළුවක් කළා. ඉන් පස්සේ ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් මා එක්ක යාළුකම් තියාගන්න කැමති වුණේ නෑ."

"තුන්-කට්ටුවක් කියන්නේ යාළුකමක්වත් හරියට තියාගන්න බැරි, සමාව දීමක් ගැන දන්නේ නැති කණ්ඩායමක්නේ. යාළුවො කාණ්ඩෙකට ඒ ගාන හරියන්නේ නෑ," යිං කීවාය. "ඒක මොන විදිහේ විහිළුවක්ද?"

"මට ඔයාගේ තාත්තාව ලැබෙන්න කළින් ඒ දෙන්නාටම දරුවො ලැබුණා - පුතෙකුයි, දුවෙකුයි. ඉතිං මං නිකමට කිව්වා ඒ දෙන්නා ලොකු වුණාම කසාද බන්දන්න කතා කරලා තිබ්බානං හරි කියලා," අයිලින් කීවාය. "ඒක මං නිකමට කිව්වේ, විහිළුවක් හැටියට."

"එහෙනං ඉතිං ඒ පවුල් දෙකෙන් එකක් ඒක ඇත්තට බාරගන්න ඇති. ඒක ඇත්තට ටිකක් මෝඩ විහිළුවක්නං තමයි. ඒත් ඉතිං ඔහොම පොඩි විහිළුවක් හින්දා යාළුකම් අත් අරින එකනං ඊටත් වඩා මෝඩයි. ඉතිං ආච්චි අම්මාට වරද පටවගන්න ඕනෙ නෑ, ආච්චි අම්මාගේ වැරැද්දක් නෑනේ," යිං කීවාය. සිය මිනිබිරියගෙන් එවැනි සුරක්ෂිත සැනසුමක් දනවන වදන් අයිලින් ඉන් පෙර අසා නොතිබුණි. එවැන්නක් ඈ වෙතින් බලාපොරොත්තු විය හැකිව තිබුණේ ඈ තමා ගැන හෝ සිය මවුපියන් ගැන පවසනා විටෙකදී පමණි. "මේ මෝඩ තීරණ ගන්න මෝඩ මිනිස්සු හිටියේ නැත්තං මේ ලෝකේ කිසි ප‍්‍රශ්නයක් ඇති වෙන්නේ නෑනේ ඇත්තට," යිං එකතු කළාය.

නමුත් වැදගත්ම කාරණාවනම්, එය අයිලින් පැවසුවේද, ඇගේ දිවුරුම්-සොයුරියන් එය භාරගත්තේද විහිළුවක් ලෙසින් නොවීම ය. එක් දිනෙක පරතරයක් ඇතිව ඉපැදුණු දරුවන් දෙදෙනා සිය මවුවරුන් සේ ම සුන්දර වූහ. එම පවුල් ත‍්‍රිත්වයට ඉදිරියේදී තවත් දරුවන් එකතු වනු ඇති වුවද පළමු දරුවන් දෙදෙනා සුවිශේෂී විය. ඔවුන්ගේ මවුවරුන් අතර වූ දිවුරුම්-සොයුරි බන්ධනය වඩාත් තහවුරු කරන්නට දරුවන් අතර විවාහයක් සිදු කිරීමට වඩා උචිත වෙනත් දෙයක් තිබේද? එම දරුවන් දෙදෙනා කෙළි සෙල්ලම් කරනා සගයෙකුට, සොයුරෙකුට - සොයුරියකට වඩා බැඳීමකින් එකිනෙකා වෙත සෙනෙහස දක්වනු ඇත. එවැනි ආදරයකින් හැදී වැඩෙනු ඇත. ළදරුවන් දෙදෙනා වෙනුවෙන් නාම මාත‍්‍රිකව හෝ එවැන්නක් පිළියෙල කෙරුණු මොහොතේ ඇගේ එම සිතුවිලි වඩාත් සනාථ විය; එය අයිලින් ම යෝජනා කිරීම නිසා මෙයි සහ ලාන් වඩාත් සතුටට පත්ව සිටියෝය. ඇයට එම අවස්ථාවේදී හුදෙකලාවක්, පිටස්තර බවක් දැනේදෝයි ඔවුන් දෙදෙනා කණස්සල්ලෙන් පසු වූ බව ඇයට වැටහී තිබුණි. එබැවින් එම මවුවරුන් දෙදෙනාටද වඩා බලවත් උද්‍යෝගයකින් ඇය එම කුඩා උත්සවය සඳහා ආහාර පිළියෙල කළාය. තිදෙනාගෙන් කිසිවෙකුගේවත් සැමියන් උත්සවයට සහභාගි වූවේ නැත. ස්ත‍්‍රීන්ගේ අවිහිංසක මනෝ විකාරයක් ලෙසින් ඔවුන් එය නොතකා හැර තිබුණි. සැමියන් තිදෙනා අතර හොඳ මිතුරු සබඳතාවයක් ගොඩනැගී තිබූ නමුත් බිරින්දෑවරුන් නිසා නොවන්නට ඔවුන් අතර එවන් මිත‍්‍රත්වයක් ගොඩනැගෙන්නට හේතුවක් නැත. එසේම ඔවුන් තිදෙනාගෙන් කිසිවෙකුත් දිවුරුම්-සොයුරියන් පිළිබඳ රහස දැන සිටියේද නැත.

"මොකද්ද වුණේ ඉතිං?" යිං විමසුවාය. "පවුල් දෙකෙන් එකක් පස්සෙ අදහස වෙනස් කරගත්තාද?"

"මහ අපරාධයක් සිද්ධ වුණා," අයිලින් කීවාය. "කොල්ලා අතින් වෙච්ච අත් වැරැුද්දකින් කෙල්ල මැරුණා."

යිංගේ මුවින් අදහාගත නොහැකි බවක් දනවන සිහින් රාවයක් පිට වූ නමුත් ඉක්මනින්ම ඇගේ කම්පනය දුරු වී මහත් උනන්දුවකින් මුහුණ පිරී ගියේය. "ඒක කොයි කාලෙද වුණේ? ඇයි එයා එහෙම දෙයක් කළේ? එතකොට ඒගොල්ලන්ට වයස කීයද?"

"ඔයාට වඩා ටිකයි ලොකු," අයිලින් කී අතර, ඒ සමගම එවන් සංසන්දනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇගේ සිතේ පසුතැවිල්ලක් ඇති විය. "එතකොට ඒගොල්ලන්ට දාසයයි වයස. ඒ දෙන්නා තනියම චාරිකාවක් ගිහිල්ලා. අත්වැරදීමකින් අර දරුවා අතින් කෙල්ලගේ හුස්ම හිර වෙලා."

යිං විදෙස් හුරුවකින් විස්මයට පත් රාවයක් පිට කළාය. "ඒක කොහොමද අත් වැරැද්දක් වෙන්නේ? ඔන්න ගඟට තල්ලූ වුණානං ඒක බැරි වෙලා වුණා කියන්න පුළුවන්. ඒත් මේ හුස්ම හිර කරන එක? එහෙම දෙයක් අත් වැරැද්දකින් වෙන්නෙ කොහොමද?"

අයිලින් හිස දෙපසට වැනුවාය. එම යෞවනයාගෙන් විමසන්නට තරම් දෙයක් ඒ මොහොතේදී ඉතිරිව තිබුණේ නැත. ඔහු අතින් යෞවනියගේ ඇඳුම ඉරී ගොස් තිබූ ආකාරයම ප‍්‍රමාණවත් සාක්ෂි සපයා තිබුණි. එම දරුවන් දෙදෙනා මුළු ජීවිතයම ගත කළේ ඔවුන් අතර නියම වී තිබූ විවාහය පිළිබඳව දැනුම්වත් ව ය. ස්වභාවිකවම යෞවනයා තුළ යම් බලාපොරොත්තු ගොඩ නැගී තිබෙන්නට ඇත. නමුත් යෞවනිය එයට විරෝධය පා සටන් කොට ඔහුගේ මුහුණද, දෑත්ද සූරා තිබිණ. යෞවනයා තුළ ඒ මොහොතේදී සිටි නාඳුනන සත්ත්වයාගේ හදිසි නොහික්මුණු ස්වභාවයට ඈ බිය වන්නට ඇත.

"එයා ඒ ගෑනු ළමයාට බලහත්කාරකම් කළාද?"

යිං එය විමසූ සරල සැහැල්ලූ විලාශය පිළිබඳව අයිලින්ගේ සිත කැළඹුනි. දහ හතර වැනි වියේදී අයිලින් සහ ඇගේ දිවුරුම්-සොයුරියන් හට නම් ජීවිතය හමුවේ ඇති එවන් කුරිරුකම් පිළිබඳව එතරම් අවබෝධයක් තිබුණේ නැත. "එයා ඒ දැරිවිට කරදරයක් කරන්න හිතන්න නැතුව ඇති," අයිලින් ඔහු වෙනුවෙන් කතා කළාය. ඇය පෙර පටන් ම එම පිරිමි දරුවාට බොහෝ සෙයින් ආදරය කළාය. ඔහුට වඩා සය වසරකින් බාල වූ ඇගේ පුත‍්‍රයා හට ඔහු ඉතාමත් හොඳ වැඩිමහළු සොහොයුරෙකුව සිටි අන්දම ඇයට අමතක නැත. එම නින්දිත මිනී මැරුම ගැන පුවත් පත් පිරී ගිය වකවානුවේ ඒ කිසිවක් වටහා ගන්නට තරම් වයසක් තම පුතුට නොවීම ගැන අයිලින් ආත්මාර්ථකාමී සැනසීමක් අත්වින්දාය.

"ඒත් ඒ කොල්ලා එයාව මැරුවානේ. ඔන්න මෙහෙමයි වෙන්න ඇත්තේ මං කියන්නේ. එයාට මේ ගෑනු ළමයාව ඕනෙ වුණා, එයත් එක්ක එකතු වෙන්න ඕන වුණා. ඒත් ඒ ගෑනු ළමයා කැමති වුණේ නෑ. ඉතිං කොල්ලාට තමුංව පාලනය කරගන්න බැරි වුණා," යිං කීවාය. "එයාට මරණ දඬුවම හම්බවුණාද?"

අයිලින් එසේ බව හඟවන්නට හිස සැලූවාය.

"එයාගෙ අතින් වරදක් වෙන්න ඇති. ඒත් මරණ දඬුවම ලබන්න තරම් වරදක්ද මන්දා ඒක," යිං සිය අදහස ප‍්‍රකාශ කළාය. "ඒත් ඉතිං මේ චීනෙනේ. මෙහෙදි කියන්නේ 'ජීවිතයට ජීවිතයක්' කියලනේ."

මෙයිගේ පුත‍්‍රයා කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරන ලෙසට අයිලින් ලාන්ගෙන් ඇයැද සිටි මොහොතේ ඇගේ පිළිතුර වූයේද එය ම ය. 'ජීවිතයට ජීවිතයක්.' අයිලින්ගේ දෑස් මග හරිමින් ලාන් පවසා සිටියේ එලෙස ය. තමන්ගේ දියණියට අනාගතයක් නොමැති කල, තමා මෙයිගේ පුත‍්‍රයාගේ අනාගතය පිළිබඳව සිතන්නේ කුමකටදැයි ඇය වැඩිදුරටත් විමසා සිටියාය. පිළිතුරක් දීගත නොහැකි වූ අයිලින් නිහඬව ම කළු පැහැති රාමුවක් යොදා තිබූ දැරියගේ ඡායාරූපය ඉදිරියේ හඳුන් කූරු කිහිපයක් දල්වා ඇගේ දෙමාපියන්ගේ හදවත් සුවපත් කර දෙන ලෙසට ප‍්‍රාර්ථනා කර සිටියාය. ඡායාරූපයේ සිටි දැරියට ලාන්ගේ සුන්දර මුහුණුවරද, ලැජ්ජාශීලී සිනහවද උරුම වී තිබූ අතර, එම අවාසනාවන්ත සිදුවීමේදී දැරියගේ බලවත් විරෝධයට හේතු වූයේ ඔවුන් කිසිවෙකුත් නොදත් වෙනත් පිරිමි දරුවෙකුදැයි අයිලින්ගේ සිතෙහි පළමුවරට සැකයක් ඉපැදිණි.

මරණ දණ්ඩනය නියම කිරීමෙන් පසු උසාවිය ඉදිරියේදී සිදු වූ සියල්ලට ම වගකිව යුත්තේ අයිලින් බවට මෙයි ඇගේ මුහුණට ම කෑගසා ප‍්‍රකාශ කළාය. ඇය අයිලින්ට එලෙස චෝදනා කරන අතරේ නඩුවෙන් ජයග‍්‍රහණය කළද තව දුරටත් සිය දිවුරුම්-සොයුරියන් හා බෙදාගන්නට කිසිවක් ඉතිරිව නොතිබූ ලාන් ඉවත බලාගෙන විගසින් එතැනින් නික්ම ගියාය. අයිලින් ඔවුන් දෙදෙනා දුටු අවසන් අවස්ථාව එය විය. එම පවුල් දෙක ම නගරයෙන් පිටව ගිය බව ඔවුන් පිටව ගොස් බොහෝ කලකට පසුව ඇගේ සැමියා ඇයට දන්වා සිටියේය. අනතුරුව ඇයට හුදෙකලාව තම වේදනාව විඳ ගැනීමට නිදහස ලබා දෙමින් ඔහු ඔවුන්ගේ පුත‍්‍රයා සමග පිටුපස මිදුලේ අලසව කෙළි දෙලෙහි යෙදිමින් බොහෝ වේලා ගත කළේය.

යළිත් දිවුරුම්-සොයුරියන්ගේ ඡායාරූපය දෙස හොඳින් බලා සිටි යිං, මිය ගිය දැරියගේ මව හා මිනීමරු පුත‍්‍රයාගේ මව කවුරුන්දැයි විමසා සිටියාය. "ආච්චි අම්මාගෙ යාළුවන්ගෙන් කොයි එක්කෙනා අනිත් එක්කෙනා එක්ක වැඩියෙන් තරහයිද මන්දා."

"ඔයා හිතන තරං ඒ දෙන්නා අතර තරහක් නෑ," අයිලින් කීවාය. ඇය මෙයිට පුත‍්‍රයෙකුත් තමාට දියණියකුත් ණය බව ලාන් දස වසරකට පෙරදී ඇයට ලියා එවූවේ ඔවුන්ගේ සබඳතාවය යළි අලූත් කරගැනීමට යෝජනා කරමින් අයිලින් ඇයට යැවූ ලිපියට පිළිතුරක් වශයෙනි. තමාගේ නිදොස් බව දක්වන්නට අයිලින් කුමන හේතුවක් ඉදිරිපත් කළද ඔවුන් තිදෙනා අතරින් එක ම ණයකාරිය වන්නට සිදු වූයේ ඇයට ය. "ඒ දෙන්නා ම වැරැද්ද පැටෙව්වේ මට," ඇය කතාව අවසන් කළාය.

අයිලින්ගේ මිතුරියන් එලෙසින් සිතීම සැබැවින් ම විකාරයක් බවත්, තමාට කිසිදු අදාළත්වයක් නැති සිදුවීමක වගකීම අයිලින් බාරගැනීම පිස්සුවක් බවත් යිං පවසා සිටියාය. හිස දෙපසට වැනූ අයිලින් දැරිය සමග වාද නොකර නිහඬ වූවාය. ඇගේ වයසටත් වඩා දැනුම් සම්භාරයක් ඈ උකහාගෙන ඇති බව සැබෑ වුවද, ආදරය සේ ම වෛරයද හේතු ප‍්‍රත්‍යයන් මත ඇති වෙන්නක් නොව කෙනෙකුගේ දැනුමෙන් පරිබාහිර වූ යම් බලවේගයකින් කරනා කොළොප්පමකින් ඇති වන්නක් බව වටහා ගැනීමට තරම් ඈ ළාබාල වැඩි විය. මෙයිගේ සහ ලාන්ගේ දරුවන් අහිමි වීම ම පමණක් මෙම වෛරය නොසිඳී තැබීමට තරම් හේතුවක් නොවනා බව අයිලින් දැන සිටියාය. එම විවාහය යෝජනා කළේ අයිලින් ය; එයටත් පෙර, දිවුරුම්-සොයුරි-බන්ධනය ඇති කරගැනීමේ යෝජනාවද ඇයගේ ම ය. යිං තව දුරටත් සිය මිත්තණිය හා වාද කිරීමේ උවමනාවෙන් පසු වුවද, තමාට නොවැටහෙන දෙයක් පිළිබඳව තර්ක කරන්නට ඇයට අනුබල ලබාදීමට තරම් මානසික තත්ත්වයක් ඒ මොහොතේ අයිලින් වෙත නොවීය. සැමියෙකු සොයාගන්නට උනන්දුවක් නොමැති තරමට ම ඇය සිය ළමා විය සහ තම දිවුරුම්-සොයුරියන් වෙත බැඳී මුරණ්ඩු සිතින් පසු නොවුනානම්, එම වකවානුව වන විට ඇයද විවාහ වී මෙයි හා ලාන් සමග ම මවු පදවිය ලබන්නට ඉඩ තිබුණි. එසේ වූවානම් ලාන්ගේ දියණිය හා විවාහ යෝජනාව සිදු කෙරෙන්නේ ඇගේ පුත‍්‍රයාට වන්නට ඉඩ තිබිණ. දැරියගේ කැමැත්ත හෝ අකැමැත්ත කවරක් වුවද අයිලින්ගේ පුත‍්‍රයා එම පවුල් ත‍්‍රිත්වය මෙවන් ඛේදවාචකයකට ඇද දමන්නට හෝ නොදමන්නට ඉඩ තිබිණ. යිං වෙනුවට ඇගේ නම රැගත් වෙනත් දැරියක් ඇගේ මිනිබිරිය වන්නට ඉඩ තිබූ අතර ඇය ඇතැම්විට මෙම ග‍්‍රාමීය නගරයේ ජීවිතය ගෙවන්නට සතුටු වන්නට ඉඩ තිබිණ. යිං වටා ඇති සෑම දෙයක්ම, කෙතරම් සජීවීව හා තාත්විකව පෙනෙන්නට තිබුණද, පණස් වසරකට පෙර එම වසන්ත සන්ධ්‍යාවේදී ජීවිතාන්තය තෙක් පැවතෙනා සොයුරි-බන්ධනයක් පිළිබඳ මනෝ මායාවක් අයිලින්ගේ සිතට නොනැගෙන්නට, ඒ සියල්ල වෙනස් වී තිබිය හැකි බව ඇය මෙම දැරියට වටහා දෙන්නේ කෙසේද?

බොහෝ වේලා බලා හිඳීමෙන් පසු යිං අදහස අත් හැර දැමූ බවක් පෙනුණි. "හරි එහෙනං, ඔය කියන තරම් ම ඒගොල්ලන්ට ආච්චි අම්මාව පේන්න බැරිනං ඒගොල්ලන්ගේ මේ පින්තූරේ අපේ කඩේ එල්ලන එකමයි හොඳ. ඒගොල්ලො දන්නෙත් නැතුව ඒගොල්ලෝ දිහා කට්ටිය බලං ඉන්නවානෙ එතකොට," ඇය කීවාය.

පණස් වසරකට පෙරාතුව ඡායාරූප ශිල්පියාගේ ඉඩ ඇහිරුණු කුටිය තුළදී කාලය නතර වූ ලෙසකින් ඔවුනට බිත්තියේ හිඳ අනේක විධ නන්නාඳුනනා විදේශිකයන්ගේ දෑස් තුළට සිනහ පාන්නට හැකි වනු ඇති බව අයිලින් කල්පනා කළාය. ඇගේ දිවුරුම්-සොයුරියන් ඇගේ දෙනෙතට ඉනූ කඳුළු දකින්නට පෙර ඇය ඔවුන් තිදෙනාගේ සේයාරුව රැගත් පෝස්ටරය වෙතින් ඉවතට හැරුණාය.


Yiyun Li විසින් රචිත Sweeping Past නමැති කෙටි කතාවේ සිංහල පරිවර්තනයයි.