"ඒ ගෙවල් පේළිය තියෙන්නේ තරු පිරිච්ච අහසක් යට. රෑ දවල් කියලා වෙනසක් නැහැ, ඒ අහසේ හැම වෙලාවෙම තරු පිරිලා තිබුණා. ඒ ගෙවල්වල ලන්තෑරුම් පත්තු කරන වෙලාවට තමයි ඒගොල්ලෝ අවදි වෙන්නේ. දන්නවද කවුද කියලා? භූතයෝ! හරි අපූරු යාළු භූතයෝ! ලොකු මහත දුම් බටේ තියෙන ගෙදර තමයි යෝධ භූතයා ඉන්නේ. තොප්පි රාළ ඉන්නේ ගෙවල් පේළියේ උසම ගෙදර. හීන්දෑරියාගෙ ගෙදර සෝල්දරයක් තියෙනවා. ඒකට පිටිපස්සේ තියෙන තනි තට්ටුවේ ගෙදර තමයි කෝළම් පාල ඉන්නේ. ගෙවල් පේළිය කෙළවරේ තියෙන පුංචි ගෙදර ඉන්නේ පුංචි යාළු භූතයා. ඒගොල්ලෝ හරි විනෝදයි. හැම වෙලාවෙම හිනා වෙවී ඉන්නේ. යෝධ භූතයාගෙ වැඩේ කොච්චරවත් කන එක. ඉතින් එයාට කොච්චරවත් ගුඩුස් යනවා. තොප්පි රාළ හරි ආසයි හැම වෙලාවෙම තොප්පිය උස්සලා දකින හැමෝටම ආචාර කරන්න. හීන්දෑරියා හරි විහිළුකාරයා. එයාගෙ කටේ හැම වෙලාවෙම විරිත්තන හිනාවක් තියෙනවා, දකින අයටත් හිනා යනවා. කෝළම් පාලගේ වැඩේ කරණම් ගහන එක. වෙලාවක එයාව තරු පිරිච්ච අහසටම විසි වෙලා යයිද කියලා හිතෙන තරමට උසට එයා කරණම් ගහනවා. පුංචි යාළු භූතයා හරි අහිංසකයි. එයා ආස සින්දු කියන්න. අහසේ හැම තරුවක් ගැනම එයා සින්දු හදලා තියෙනවා. එයාගෙ සින්දු අහගෙන ඒ හැම තරුවක්ම සතුටින් හිනා වෙනවා..."
"ඉතින් ඕක තමයි ඔයාගෙ කතන්දරේ නේද?" කතන්දරයක් කියලා පුංචි දෝණිව නිදි කරන්න ආපු තාත්තාට සිද්ධවුණේ දෝණිගේ කතාන්දරයක් අහගෙන ඉන්න. "ඒක හරිම ලස්සනයිනේ!"
"අම්මානම් කියන්නේ මං හීනෙන් බය වෙලා කියලයි..." මාසයකට පස්සේ ගෙදර ආපු තාත්තා එක්ක කියන්න අවනඩු නැත්තේ මොන පුංචි කෙල්ලටද? "මම කොච්චර කිව්වත් අම්මා පිළිගන්නේ නෑ ඒ ගොල්ලෝ ඇත්තම ඇත්ත අය කියලා..."
"ආ... ඔව්... අම්මා කිව්වා තමයි මටත් එහෙම කතාවක්..." ඇත්තටම අම්මාත් තාත්තා එක්ක කියලා තිබුණේ අවනඩුවක්ම තමයි. තාත්තා ගෙදර නැති සාංකාවට දෝණිට හීන පේනවය, ඒ නිසා ඔය දුර බැහැර කරන රාජකාරි නවත්තලා ළඟපාතින් රස්සාවක් හොයාගන්නය, නැත්තම් ඒගොල්ලන්වත් තාත්තා ඉන්න දිහාවකට එක්ක යන්නය කියලා.
"ඉතින් තාත්තාත් හිතන්නේ මං හීන දැක්කා කියලද...?" දෝණිගේ යටි තොල නොපිට හැරිලා.
තාත්තා ඩිංගක් කල්පනා කළා. ඊළඟට පොඩි හිනාවක් දැම්මා. "එහෙමම නැහැ... මට කියන්නකෝ බලන්න ඔය ගෙවල් පේළිය තියෙන්නේ හරියටම කොහෙද කියලා...?"
"තරු පිරිච්ච අහස යට!"
"හ්ම්ම්..." තාත්තා ඒ බව තේරුම් ගත්ත විදිහට ඔළුව වැනුවා. "ඔය තරු පිරිච්ච අහසෙ එක පැත්තක ලොකු පොත් රාක්කයක් එහෙම තියෙනවද?" දෝණිගෙ කට පුදුමෙන් ඇරුනා. "ම්ම්ම්..." තාත්තා ආයෙමත් ඔළුව වැනුවා. "ඒ ළඟින් මහා විසාල ග්‍රහලෝකයක් වගේ දුඹුරුපාට ලොකු ඇඳි පුටුවක් එහෙම තියෙනවා නේද...?" දෝණිගේ ඇස් දෙක දිලිසෙන්න පටන්ගත්තා. "මං හිතන්නේ මං දන්නවා ඔය කියන පාර!"
"තාත්තත් ඒගොල්ලන්ව දැකලා තියෙනවද? මගේ යාළු භූතයන්ව?"
"ම්හ්." තාත්තා ඔළුව දෙපැත්තට වැනුවා. "මං පොඩි කාලෙදි ඒ ගෙවල් හදලා තිබ්බෙ නැහැ. එතකොට එතන තිබ්බේ කැලෑවක්..." තාත්තාගේ කට කොණක ඇඳිලා තිබුණේ මිහිරි මතකයක හිනාවක්. "ඔයයි අම්මයි ඉඳගෙන පොත් කියවන පුටුවෙම ඉඳගෙන ඉස්සර මං මගේ අම්මත් එක්ක, ඒ කියන්නේ ඔයාගේ ආච්චි අම්මාත් එක්ක පොත් කියෙව්වා..."
ඒක දෝණිට හිතාගන්නවත් බැරි තරමේ අලුත්ම ආරංචියක්. "ඒ කැලෑවේ කවුද හිටියෙ?"
ඒකට උත්තර දෙන්න කළින්නම් තාත්තා පොඩ්ඩක් උගුර පෑදුවා. "සුරංගනාවො."
"සුරංගනාවො?"
"ෂ් ෂ්! හෙමින්, හෙමින්! අම්මාට ඇහෙයි!"
"සුරංගනාවො ඉන්නේ ගෑනු ළමයින්ගෙ කතන්දරවලනේ?"
"කවුද කියන්නේ?"
"මම එහෙමනේ අහලා තියෙන්නේ!"
"ආ එහෙනං ඔයා දැකපු භූතයෝ ඉන්නේ පිරිමි ළමයින්ගේ කතන්දරවලනේ?"
ඒ ගමන දෝණි ඩිංගක් වෙලා සද්ද නැතුව ඉඳලා ඔළුව වැනුවා. "ඔව් නේද... ඉතින් ඒ සුරංගනාවො ලස්සනයිද තාත්තේ?"
"ඔව්! හරිම ලස්සනයි!"
"අනේ මට ඒගොල්ලෝ ගැන අහන්න ඕනේ!"
"හරි..." ලස්සන කැලෑවක් මැද පුංචි පොකුණක මල් නෙළන්න ආපු සුරංගනාවක් ගැන කතාවක් තාත්තා කියන්න පටන්ගත්තා. ඒත් ඒ කතාවේ මැද හරියට යන්නත් කළින් දෝණි නින්දට වැටුණා. දෝණිගේ හිනාවෙන් පිරිච්ච හුරතල් මූණ දිහා බලාගෙන ටිකක් වෙලා හිටපු තාත්තා දෝණිගේ නළලට පුංචි හාදුවක් දීලා පොරෝණය පොරවලා පුස්තකාල කාමරය පැත්තට ගියා.
ලොකු ඇඳි පුටුව ළඟ ලන්තෑරුම දැල්වුවාම තරු පිරිච්ච අහස හරි ලස්සනට එළිය වැටුණා. ඒ එළියෙන් තාත්තා පුංචි කාලේ දැකපු ලස්සන කැලෑව ආයෙත් මැවුණා. ඒ උඩින් සුරංගනාවො හිනාවෙවී පාවුණා. තමුන්ගේ සිතුවිලි මේ අපූරු මායාවන් මවාගැනීම නතර කළේ කොයි කාලේද කියලා තාත්තාට මතකයක් තිබ්බේ නැහැ. ඒත් දැන් ආයෙමත් ඒ මායාවන් අවදි වෙලා. තාත්තා බිත්තිය අයිනේ තිබුණ ලොකු පොත් රාක්කය ළඟට ගියා. දෝණිගේ සීයා ලියපු පොත් තමයි ඒ රාක්කේ උඩම තට්ටුව පිරෙන්න තිබ්බේ. ඒ දිහා බලා ඉඳපු තාත්තා තීරණයක් ගත්තා.
ඒ සතිඅන්තයෙන් පස්සේ ආපහු රාජකාරියට පිටත්වෙලා යන තාත්තා දිහා බලාගෙන හිටපු දෝණිත් අම්මාත් නොදන්න රහසක් තාත්තා ළඟ තිබුණා. තාත්තාගේ ගමන් මල්ලේ අනිත් බඩු මුට්ටු අතර, සුරංගනා ලෝකයක් ගැන ලියැවෙන ළමා කතන්දර පෙළක පළමුවෙනි කතාන්දරයක අකුරු ඇමිණිලා තිබුණා. සමහරවිට මේ රාජකාරි ගමනෙන් පස්සේ ඊළඟ නිවාඩුවට එද්දී ආපහු නොයන්න තීරණයකුත් තාත්තා අරගෙන එන්න බැරි නැහැ. කවුරු දන්නවද.
සමහරවිට තරු පිරිච්ච අහස යට කැලෑ මණ්ඩියේ සුරංගනාවොයි, ගෙවල් පේළියේ යාළු භූතයොයිනම් දන්නවා ඇති!

“Logic will get you from A to Z; imagination will get you everywhere.”
ReplyDelete― Albert Einstein
"Imagination is a palette of bright colors. You can use it to touch up memories -- or you can use it to paint dreams."
Delete-- Robert Brault
මේක කියවද්දී මට මතක් උනේ ලස්සන වසිලිස්සා එකේ කතා ටික
ReplyDeleteස්තූතියි! ලස්සන වසිලිස්සා මමත් කැමති පොතක්. ආදරෙන් පිළිගන්නවා මගේ කවි පොතට! :)
Deleteඒකටත් මාර හැකියාවක් ත්යෙන්න ඕන නෙව? පිංතූරයක් දුන්නාම කතාවක් දෙන එක.
ReplyDeleteමමත් පිංතූරක් දෙන්නද? පුළුවන්නම් බලන්න .
සුරංගනාවක්ද මන්දා?
තැන්ක් යූ බස්සො! මම මේකටත් ලියන්නම්කො අනිවාර්‍යෙන්ම. ලස්සන පින්තූරෙටත් ස්තූතියි! 😊💗
Delete