සමුගැනීමේ සටහනක්...



තොම්සන් ඒ. වැන්දබෝනා... සිංහල පාඨකයන් හට අමතක නොවන නාමයක්... එතුමන්ගේ තුරුණු වියේදී ලියූ ස්වතන්ත්‍ර නවකතාවන්ට පෙම් බැඳි අපගේ වැඩිහිටි පරම්පරාව අදටත් එම නිර්මාණ සිහිපත් කරන්නේ මහත් සෙනෙහසිනි... එතුමන් අපගේ පාරම්පරාවට සමීප වන්නේ ලොව පුරා ජනාදරයට පත් කෘතීන් සිංහල පාඨකයන් වෙත ළඟා කළ පරිවර්තන තුළිනි... එයිනුදු නොනැවතුණු එතුමන් ඉතා වටිනා බෞද්ධ ග්‍රන්ථද, පර්යේ‍ෂණ කෘතීන්ද දැයට දායාද කොට ඇත... පරම්පරා ගණනක් පුරා සිංහල පාඨකයන් වෙනුවෙන් අනූපමේය සාහිත්‍ය මෙහෙවරක් කළ එතුමන් අද දින දැයෙන් සමුගත්තේය...

එම නිහතමානී උදාර යුග පුරුෂයාණන් මාගේ සාහිත්‍ය ගමන් මගේ පෙරමග තාරුකාවයි... එතුමන්ගේ ආශිර්වාදයත්, සහයෝගයත් නොවන්නට මා ඉදිරියේ මෙතරම් දිගු මගක් විවරව තිබෙනු ඇතැයි මට සිතිය නොහැකිය... මින් දස වසරකට පමණ පෙර 'මතකයේ රැඳි පිය සටහන්'හි අත් පිටපතද රැගෙන මාගේ පියා සමග එතුමන් හමු වීමට ගිය දින එතුමන් ලබා දුන් ආශිර්වාදයත්, පසුගිය වසරේදී මා ඉතා කුඩා තරගයකින් ජය ලැබූ පුවත කන වැකුණු සැණින් සතුට පළ කරන්නට අප නිවසට පැමිණි එතුමන් ලබා දුන් සුභාශිංසනයත් එක සේ ලෙන්ගතුය, ආදරණීය ය...

අද දින එතුමන් අපගෙන්ද, එතුමන්ගේ අකුරුවලට ආදරය කළ සැමගෙන්ද සමුගෙන ගියේය... මේ වදන් පෙළ මා ගලපාගත්තේද බොහෝ අපහසුවෙන් වුවද, නිහඬ දැහැමි දිවි පෙවෙතක් ගත කළ එතුමන් නිසැකවම යහපත් තැනකට යන්නට ඇත... එතුමන්ගේ කෘතීන් පමණක් නොව, මා ලියනා කෘතීන් වෙතින්ද යමෙක් රසවින්දනයක් ලබයිද, ඒ පින ද එතුමන්ට ම ය... ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයාණෙනි, ආදරණීය දෙටු පියාණෙනි, ඔබට සුබ ගමන් පතමි!!! සසර සැරිසරනා තුරා ඔබතුමන්ගෙන් ගුරුහරුකම් ලබන්නට මා වාසනාවන්ත වේවා යි පතමි!!!



14 comments:

  1. එතුමාට සුබ ගමන්.

    ReplyDelete
  2. ඔහු පැතූ සැපත ලැබේවායි පතමි... සුබ ගමන්...

    ReplyDelete
  3. සුව නින්දක් පතමු

    ReplyDelete
  4. එතුමාගෙ නවකථාවක් කොටස් වශයෙන් පලවුනා 72/73 කාලෙ විතර සිළුමිණ පත්‍රයේ..."තදා ඉමා - මං ආවා..." කතාව ගැන නම් කිසිදෙයක් මතක නෑ..ජපානයෙ සිද්ද වෙච්චි එකක් කියල විතරක් මතකයි...එතුමාට සුබ ගමන්!!!

    ReplyDelete
    Replies
    1. ඒ දශක ගණනක් පැරණි පුවත්පත් ලිපි ඔක්කොම එතුමා බොහොම පරිස්සමට එකතු කරලා තියෙනවා අයියේ. 'තදා-ඉමා' මම කියවලා නැහැ. ඒ වාගේම ඒ කාලයේදී පුවත්පත්වල කොටස් වශයෙන් පළ වුණ කතාවක් තමයි 'පැරිසියේ කතාවක්'. ඒක එතුමා ලියලා තියෙන්නේ පැරිසියේ තානාපති කාර්යාලයේ සේවය කරන ගමන්. ඒකත් ප්‍රංශය පසුබිම් කරගෙන ලියපු කතාවක්. ඒ පොතනම් මම කියෙව්වා.

      Delete