මා ඇය පළමුවරට දුටුවේ එම අහසට දිවුණු පියගැට පෙළ මුදුණේ චෙරි ගස පාමුලදී ය. ඈ එම චෙරි ගස පාමුල නිවසේ පදිංචිකාරියකි. මා එම වෙරළබඩ ගම්මානයට අලුත පත් වී ආ ලියුම් බෙදන්නා විය. නුපුරුදු නම් ගම් කියවමින්, දොරින් දොරට එබෙමින්, හති දමමින් පියගැට පෙළ නැග ආ මා අත වූ ලියුම් කවරයේ ඇත්තේ එම නිවසේ ලිපිනය බව හිස වනා තහවුරු කළ ඇය එයද රැගෙන ගෙතුළට යන අතරේ මා එම දොරකඩ උස් පඩියක් මතින් වාඩි වූයේ ගිමන් හරින්නටය. මොහොතකින් ඈ යළි මා ඉදිරියේ සිටගෙන සිටියේ වතුර වීදුරුවක්ද අතැතිවය. එය මා ජීවිතයටම පානය කර තිබූ සිසිල්ම, රසවත්ම වතුර වීදුරුව විය. හිස් වීදුරුව යළි ඈ අතට ලබා දී හිස සලා, මටද හරි හැටි නොවැටහුණු මොනවාදෝ මුමුණා ස්තූතිය පළ කළ මම පියගැට පෙළ පහළට පියාඹා ආවෙමි.
ඉන් පසු මා එහි ගිය සෑම දිනෙකම එම වතුර වීදුරුව මාගේ පිපාසය සංසිඳවීය. නොබෝ දිනෙකින් එය රසවත් සිසිල් බීම වීදුරුවක් බවට පත් විය. මා සුපුරුදු උස් පඩිය මත හිඳ එය රසවිඳින අතරේ ඇය චෙරි ගස වටා දෑත් යවා පහළින් දිස් වන මහ සයුර දෙස බලා සිටියාය. මා ඇගේ නම ගම ආදිය විමසා සිටියද ඒ කිසිවක් නෑසුණු ලෙසින් නිහඬවම මුහුණ සඟවාගෙන හිඳ, මා අත වූ වීදුරුව හිස් වූ විගස එයද ඩැහැගෙන ගෙතුළට දිව යාම ඇගේ පුරුද්ද විය. එම නිහඬ නිමේෂයන් තුළ දැනුණු මහත් වූ අපූර්ව මායාවක් හේතුවෙන් මාගේ සිසිල් බීම පානය කිරීමේ වේගය දිනෙන් දින බෙහෙවින් මන්දගාමී වන්නට විය.
මා ඈ ගැන කෙතරම් කුහුලින් පසු වුවද, මාගේ වෙහෙස සංසිඳුවීම විනා වෙනත් කතාබහකට ඇගේ කිසිදු සූදානමක් නොවීය. මා රැගෙන එන ලියමන්හි සඳහන් නමෙහි හැටියට නිවසේ පුරුෂයෙකු සිටිනා බව මා දැන සිටි අතර ඒ ඇගේ පියා ලෙසින්ද, ඉඳ හිට දිනෙක කවුළුව අසළින් ඔබ මොබ යන්නේ ඇගේ මව විය යුතුයැයිද මම අනුමාන කර සිටියෙමි. දිනෙන් දින ගතවද්දී අප අතර වූ නිහැඬියාව බිඳිමින් මා ආගිය තොරතුරු කතා කරන්නට පටන්ගත් අතර ඇයද මුහුණ සඟවා නොගෙන උනන්දුවෙන් මා කියන දෑ අසා සිටින්නට වූවාය. ඇගේ මුහුණෙන් ප්රතිචාර ලෙසින් පළවන ඉරියව් බලා සිටින්නට ලස්සනය. සුන්දර දෙබැම අතරමැද නළල් තලය රැළි නැංවෙන අන්දම, විටෙක එම දෑස් විස්මයෙන් විසල් වන අන්දම, විටෙක අප්රසාදය හඟවමින් නහය හැකිලෙන අන්දම, ඒ සියල්ලට වඩා සිනහ කැල්මෙන් එම සොඳුරු වුවන විකසිත වන අන්දම කොතෙක් බලා සිටියද මට මදිය.
හදිසියේම දිනක අහම්බයකින් - ඉතාමත් අහම්බයකින් - හිස් වූ වීදුරුව යළි ඈ අතට දෙන මොහොතේ මගේ අත ඇගේ අතැඟිලිවල ගැටුණි. එදින චෙරි ගසත්, එය පාමුලත් රෝස පැහැයෙන් වැසී ගොස් තිබූ අන්දම මෙනෙහි කරමින් මා පියගැට පෙළ මතින් පා වී පහළට ආ බව මා හට මතකය. එයින් පසු රාජකාරිය අතරතුරේදීද, නවාතැන් පොළේදීද මා හට හිටි හැටියේ උන්හිටි තැන් අමතක වන්නට පටන්ගැනුණි; කිසිසේත් සිතින් ගලවාගත නුහුණු චෙරි මල් සුගන්ධයකින් හදවත වෙළී ඇති බවක් දැනෙන්නට පටන් ගැනුණි. මම තීරණයක් ගතිමි.
පුරා දිනයක් රාජකාරියෙන් නිවාඩු ගෙන මම නවාතැනේ කාමරය තුළට වී ලිපියක් ලීවෙමි. මගේ ආදර චෙරි මල... ඈගෙ නම හෝ නොදැන සිටි මා ලිපියේ ඈ ඇමතූවේ එලෙසිනි. කෙනෙකු වෙනුවෙන් හද පත්ලේ පැන නැගුණු ආදරයක් අකුරු කරන්නට ඒ තරම් අපහසු වේ යැයි මා දැන සිටියේ නැත. කවියන් හා කතුවරුන් එතරම් අපූරුවට එම භාවයන්ට අකුරින් පණ පොවන්නේ කෙසේදැයි මා දන්නේ නැත. කෙසේ හෝ අවසන, ඈ වෙනුවෙන් මා සිත පත්ලේ වූ හැඟීම මා දන්නා හැඩැතිම අත් අකුරින්, සුවඳ කැවූ වර්ණවත් කඩදාසියක සටහන් කරන්නට මම සමත් වූයෙමි. බිම විසිරී තිබූ පණහකට ආසන්න ඉරා දැමුණු කඩදාසි සියල්ල එකතු කොට ගුළි කොට කුණු කූඩයේ බහාලූ මම ඇඳේ දිගා වී යළි යළිත් ලිපිය කියැවූයෙමි. කටපාඩම් වනතුරුම එය කියැවූයෙමි. අනතුරුව එයට හාදුවක්ද පිරිනමා ප්රවේශමෙන් කොට්ටය යටින් තබාගතිමි.
එය ඈ අත පත් කරන්නට කෙතරම් නොඉවසිල්ලකින් සිටියද, නැවත එම පියගැට පෙළ මුදුනට ළඟාවන්නට මා හට ඉඩක් ලැබුණේ එයින් දෙදිනකට පසුවය. එදිනද ඇගේ රසවත් බීම වීදුරුව සෙමින් තොල ගානා අතරේ මම වෙනසක් නොමැතිව රට තොට තොරතුරු, කාලගුණය, දේශගුණය ගැන, තැපැල් කන්තෝරුවේ රස කතා ගැන කතා කළෙමි. ඇය සුපුරුදු ලෙස හිනැහෙමින් එය අසා සිටියාය. අවසන, ඇය හිස් වීදුරුව මා අතින් ගන්නට සූදානම් වූ මොහොතේදී මම එය අත් නොහැර ඈ දෙස බලාගෙනම සාක්කුවෙන් ගත් ලිපිය එතුළට දැමුවෙමි. ඇය පුදුමයෙන් එදෙස බැලුවාය. "ලියුම් බෙදන එක මගේ රාජකාරියනේ ඉතින්..." යැයි කියා මම වීදුරුව අත් හැරියෙමි. "ඕක එහෙම තාත්තාට ගිහින් දෙන්න එපා. ඔය ලියුම ඔයාට..." මගේ ආදර චෙරි මල හැබෑ චෙරි මලකටද වඩා රෝස පැහැ ගැන්වෙන බව මා දැනගත්තේ එදිනය. ඇගෙන් සුබවාදී පිළිතුරක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් මා පියගැට පෙළට අඩි ගණනක් ඉහළින් එය බැස ආවෙමි.
එය මා ඈ දුටු අවසන් දිනය විය.
මා එහි ගිය ඊළඟ වතාවේදී මා හමුවට ආවේ ඇගේ මවයි. දුර බැහැර ප්රදේශයක තැපැල් මුද්රාවද සහිතව මා ගෙන ආ ඝනකම් ලියුම් කවරය ඈ අත පත් කරන අතරේ මම බර වූ සිතින් යුතුව වටපිට බැලීමී. ඈ පෙනෙන්නට නැත. ලිපිය භාරගත් බවට මව අත්සන යොදන අතරේ මා ඉහළ මාලය දෙසට හිස හැරවූයෙමි. තිර රෙද්දක් වේගයෙන් ගැස්සී ගිය අන්දම මගේ දෑසට හසු විය. "ඔය ළමයාට මහන්සිද? මම බොන්න මොනවත් ගේන්නද?" මව අසනු ඇසුණි.
"නෑ - එපා - ස්තූතියි... මේ..." ඈ පිළිබඳව විමසා සිටින්නේ කෙසේදැයි සිතමින් මා වචන ඇහිඳින අතරේ මව යළිත් කතා කළාය.
"මේ පැත්තේ වැඩිය නෑවිත් හිටියානම් හොඳයි!" එසේ පවසා එවිගසින් ඇය ගෙතුළට ගියාය.
මගේ ආදර චෙරි මල මට කැමති නැත... නැතහොත් ඇගේ දෙමාපියන් මට කැමති නැත... කුමක් හෝ හේතුවක් නිසා චෙරි මල මගේ වන්නට කැමති නැත... මම පඩි පෙළ බැස ආවෙමි. එහි පියගැට තැනින් තැන කැඩී, ඉරිතලා ගොස් ඇත. ඒ අතරින් පතර කුඩා තණ පඳුරු හිස් ඔසවා ඇත. එහි එක් තැනෙක ගුලකින් පිටතට ඇදුණු ඇඹලයන් පේළියක් පියගැටපෙළෙන් එපිට නිවසක කණුවක් වෙත ඇදී ගියේය. එක් විටෙකදී ගොළුබෙල්ලෙකු මා පසු කර පඩි දෙකක් තරණය කළේය. එදින සන්ධ්යා වරුවමද, ඉර බැස ගොස් බොහෝ වේලා ගත වන තුරුද මම ජැටියේ අත්වැටට බර දී නිමක් නොමැතිව නැගෙනා සයුරු රළ දෙස බලා සිටියෙමි.
පෙරදී ඔවුන්ගේ නිවසට ලියමන් නොතිබුණද, ඒ ආසන්නයට ඉහළට නැගුණු දිනවලද මම එහි ගියෙමි. නමුත් ඉහළ මාලයේ කවුළුවේ තිර රෙද්ද ඈ මා වෙතින් සඟවාගත් පසු මා එහි ගියේ ඔවුන්ගේ ලිපියනට ලිපි තිබුණහොත් පමණි. ඒ සෑම දිනකම මා හමුවට පැමිණියේ ඇගේ මවයි. නමුදු එයද තවත් සති කිහිපයක ඇවෑමෙන් නිම වනු ඇති බව දැන සිටියානම් මා හට තවත් එක් වරක් හෝ උත්සාහ කරන්නට තිබුණි.
නමුත් මා ප්රමාද වැඩි විය. මගේ ආදර චෙරි මල මාගේ ලිපියට කිසිදු පිළිතුරක් - සුබවාදී හෝ අසුබවාදී හෝ කිසිදු පිළිතුරක් - නොදී මා හැර දමා සිය දෙමාපියන්ද සමග දුර ඈතක ඉගිළ ගොස් තිබුණි.
මා හට දැනුණු වේදනාව මෙතෙකැයි කිව නොහැක. පියගැට පෙළ මුදුණේ වූ චෙරි ගසේ මල් පිපී ආදරයේ පැහැයෙන් හාත්පස වසාගනිද්දී, අතීත මතකයන්ගේ වේදනාව මා සිත දවාළීය. ඒ පියගැට පෙළේ එක් පඩියක් පඩියක් පාසා මාගේ එම වේදනාවට සාක්ෂි දරණු ඇත. මුළදී මා හට උවමනා වූයේ එතැනින් පළා යන්නටය. නමුත්, රාජකාරියෙන් එයට ඉඩක් නොවීය. සේවය ආරම්භ කොට යාන්තම් අවුරුද්දක් සපුරන්නට ආසන්නව සිටි මා ස්ථාන මාරුවක් ලබා ගැනීමටනම් තවත් දෑවුරුද්දක් ඉවසා සිටිය යුතු විය. නමුත්, එම දෙවසර ගෙවී යද්දී මා හට ඇගේ මතකය හැර දමා යන්නට ලෝබ සිතක් ඇති විය. අනෙකුත් උදවිය වෙරළේ රැස් වී විනෝද වනවිට, බැස යන හිරු දෙස බලා සිටිනා විට මා සිදු කළේ සයුරට පිටු පා ජැටියේ අත් වැටට හේත්තු වී පියගැට පෙළ මුදුණේ වූ චෙරි ගස දෙස බලා හිඳීමය. එහි මල් පිපී, ඵල දරා, කොළ හැලී හිස්ව යන අන්දමද, යළිදු වසන්තයේ උදාවත් සමග මලින් බරවන අන්දමද මම බලා සිටියෙමි. නමුදු මාගේ ජීවිතයට යළිත් වසන්තයක් උදා වනු ඇතැයි කිසිදු බලාපොරොත්තුවක් මා වෙත නොවීය.
ඈ මා හැර දමා ගොස් දැනට පස් වසරකි. පියගැට පෙළ දෙපස නිවෙස්වලට ලියුම් බෙදා දෙමින්, ඔවුන් හා සුපුරුදු සුහද පිළිසඳරෙහි යෙදෙමින් මම පඩි නගිමින් සිටියෙමි. එක්වරම පඩියක් මග හැරී ගොස් මා නොවැටී බේරුණේ යාන්තමිනි. පස් වසරකට පසුව මාගේ අතෙහි වූයේ චෙරි ගස පාමුල නිවසේ ලිපිනය සඳහන් වූ ලියමනකි. මම ඉහළ බැලුවෙමි. පියගැට පෙළෙහි මුදුණ රෝස පැහැයෙන් වැසී ගොස් තිබුණි. එම ආදරයේ පැහැය මුදුණත වසන්තය උදා වී තිබුණි!
මට සිතුණේම ආපසු හැරී පඩිපෙළ බැස දිව යන්නටය. නමුත් රාජකාරිය ඉටු කළ යුතුව ඇත. මම එහි ගියෙමි. දොරටුව විවර කරගෙන සුරංගනාවක් ලෙසින් සුන්දරව මා වෙත ඇවිද ආවේ ඇයයි! මඳක් මුහුකුරා ගිය පෙනුමින් යුතු, එහෙත් පෙර ලෙසම සුන්දර වූ ඇයයි! ඇගේ දෑසේ වූයේ පුදුමයක්ද? සතුටක්ද? ශෝකයක්ද? පසුතැවිල්ලක්ද? වශීකෘතව ගත වූ නිමේශයකට පසු යළි ප්රකෘති සිහියට පැමිණි මම, ඈ නාඳුනනා ලෙසින් ඉවත බලාගෙනම ඇගේ පියාගේ නමට වූ ලියමන අසළ පඩිය මත තබා ආපසු හැරෙන්නට සූදානම් වූවෙමි. ඒ මොහොතේ ඉක්මන් පියවර දෙකකින් මා වෙත ළඟා වූ ඇය දෑතින්ම මගේ බාහුව අල්ලාගත්තාය. අධි බලැති විදුලි සැරය හේතුවෙන් මා එතැනම ගල් ගැසී ගියද එක් මොහොතකට හෝ ඈ දෙස නොබලා හිඳින්නට මම ප්රවේශම් වූවෙමි. ඈ හා කතා කරන්නට කිසිවක් මා හට ඉතිරිව නැත. පස් වසරකට පෙරදී කියන්නට ඇති සියල්ල කියා මා දුන් ලියමනට කිසිදු පිළිතුරක් නොදී මා දමා පිටව ගියේ ඇයයි. පිළිතුරු දිය යුත්තේ ඇයයි. මාගේ සිතැඟි තේරුම් ගත් ලෙසින්දෝ ඇය මාගේ මග අවුරමින් මා ඉදිරියට ආවාය. මම යළිත් ඉවත බලාගතිමි.
ඈ සමාව ඉල්ලන්නට සූදානම් වනවා විය යුතුය. ගැහැනුන් සතු ප්රබලතම අවිය - කඳුළුද - ඇය භාවිතයට ගනු ඇත. නමුත් ඒ කිසිවකින්වත් කිසිවක් වෙනස් වන්නේ නැත. සමාව දෙන්නට බැරි කමක් නැත. නමුත් ඈ මාගේ සිත රිදවූ තරම අමතක කර දමන්නේ කෙසේදැයි මා දන්නේ නැත. නමුත් ඇය සමාව ඉල්ලා සිටියේ නැත; හඬා වැළපුණේද නැත; ඒ වෙනුවට මාගේ හුස්ම හිරව යන තරම් තදින් මා වැළඳගත්තාය. "කොහොමද මං වගේ ගොළු කෙල්ලෙකුට ඒ තරම් ආදරේ කළේ...?" ඇය මිමිණුවාය. ජීවිතයේ පළමුවතාවට ඇසුණු ඇගේ කටහඬේ වූ ගොරහැඬි බවින් වික්ෂිප්තව මා කුමක් සිතන්නටදැයි නොදැන ඇගේ ග්රහණයේ සිරව සිටියදී ඇය යළිත් කතා කළාය. "අපි ඊයෙ ආවේ. එන ගමන් තැපැල් කන්තෝරුවට ගියා ඔයා ගැන අහන්න. ඔයා තවමත් මෙහෙ වැඩ කරන බව දැනගත්තාම මට හරිම සතුටු හිතුණා. මට ඔයාගෙ යාළුවා හම්බවුණා, ඔයා ඉස්සර නිතරම මට කියන්නේ..." ඇය හිනැහුණාය.
මා හට කිසිවක් සිතාගන්නට නොහැකි විය. "කවුද? බෙනී? ඒකා එහෙම දෙයක් කිව්වේ නෑනේ මට?"
"මං කිව්වා ඔයාට කියන්න එපා කියලා..." ඇය යළිත් හිනැහුණාය. "ඔයා නිසයි මං අද මෙහෙම ඉන්නේ මාර්ලන්... ඔයා නිසයි මං කතා කරන්නේ... ජීවත් වෙන්නේ... ඔයාගෙ ආදරේ නිසයි....."
මගේ ආදර චෙරි මල සූදානම්ව හිඳ ඇත්තේ පරව යන්නටය. ඇගේ මියුරු හඬ උදුරාගත් රුදුරු පලිබෝධ කෙමෙන් ඇයවද සිය වසඟයට ගන්නට සූදානම්ව සිටියදී ලැබුණු මාගේ ලිපිය හේතුවෙන් ඇයට ජීවිතය පිළිබඳ නව බලාපොරොත්තු ගොඩ නගාගන්නට සිතී ඇත. සිහින දැකීම අත් හැර දමා තිබූ ඇයට ආදරයෙන් පිරුණු සිහින පෙනෙන්නට පටන්ගෙන ඇත. නොබෝ දිනකින් ඔවුන් සැත්කම් හා ප්රතිකාර සඳහා විදෙස්ගත වීමට නියමිතව තිබුණද, ඒ කිසිවක් මා හට නොදන්වා රහසේම පිටව යන්නට තීරණය කළේ මාගේම යහපතට බව ඈ පවසා සිටියාය. යම් හෙයකින් ප්රතිකාර අසාර්ථක වුවහොත්, ආදරය කරන්නෙකු මියැදෙමින් ජීවත් වනු බලා හිඳීමට වඩා ආදරයෙන් පරාජය වීමේ වේදනාව දරාගැනීම මා හට පහසු වනු ඇති බව ඇගේ නිගමනයව තිබුණි. නමුත් ඈ අද ජය ගෙන ඇත. පලිබෝධයන් පරදා දමා මගේ ආදර චෙරි මල වසන්තයේ පිපෙන්නට සූදානම්ව ජීව්යෙන් පිරිපුන්ව හිනැහෙමින් බලා හිඳින්නීය. අනාගතය පිළිබඳ සොඳුරු සිහින දකිමින් හිඳින්නීය.
ඔවුන්ගේ නිවසේ විසිත්ත කාමරයේ ඇයටත්, ඇගේ දෙමාපියන්ටත් මැදිව මේ සියල්ල අසා සිටි මම මහා බරැති සුසුමක් පිට කළෙමි. තවත් වේලා ඔවුන් හා කතාබස් කරමින් හිඳ තේ පැන් සංග්රහයක්ද භුක්ති විඳීමෙන් අනතුරුව මා නිවසින් පිටතට බට මොහොතේ ඇයද මා සමගින් පිටතට පැමිණියාය. මම හිස ඔසවා අප අසළම වූ චෙරි තුරු හිස දෙස බැලුවෙමි. රෝස පැහැ මලින් පිරි චෙරි ගස වසන්තයේ මිහිරියාවෙන් පැහැබරව ඇත. පියගැට පෙළෙහි ඉහළ පියගැට සියල්ල වසාගෙන පැතිරි රෝස පැහැය පාවඩයක් මෙන් ආදරවන්තයන් පිළිගන්නට සැදී පැහැදී සිටියි. මම මගේ ආදර චෙරි මල දෙස බැලුවෙමි. ඇය ලැජ්ජාවෙන් පිරි සිනහවක් පෑවාය. පෙරදී ඈ මා වැළඳගත්තාටද වඩා තදින් මම ඇය වැළඳගතිමි. "මට කියලා තිබුණානම්, මටත් ඔයාට ශක්තියක් වෙන්න තිබ්බා... මගේ චෙරි මල තනියම ලොකු සටනක් කරලා....." මම කීවෙමි.
"ඔයාගේ ආදරේ තමයි මගේ ලොකුම ශක්තිය වුණේ... ඔයාගේ ආදරේ හැමදාමත් මගේ ළඟ තිබුණා....." ඇය මිමිණුවාය.
මම නිහඬව ඇගේ හිස අතගෑවෙමි. "මං ඔයාව දකින්න නැතුව පාළුවෙන් හිටියේ... ඔයා වෙනුවට මේ චෙරි ගහ දිහා බලං ඉඳලා තමයි මං පාළුව නැති කරගත්තේ..." මම ඈ වෙතින් මෑත් වී ඇගේ මුහුණ දෙස බැලුවෙමි. "ඉතින්... කවදද මගේ ලියුමට උත්තර දෙන්න හිතාගෙන ඉන්නේ...?"
"මම දැනටම උත්තර දීලානේ තියෙන්නේ....." ඇය ප්රශ්නාර්ථය පිරි මුහුණින් පැවසුවාය. "මමත් ඔයාට ආදරෙයි... ගොඩාක්..."
මම හිස දෙපසට සැලුවෙමි. "අන්තිම ප්රශ්නෙට තවම උත්තර දුන්නෙ නෑනේ................. මාව බඳින්න කැමතිද...?"
ඇය මා මෙලොව දැක ඇති සුන්දරම සිනහව පෑවාය. අනතුරුව හිස ඉහළ පහළ වැනුවාය. මම සෙමින් ඇගේ මුහුණ වෙත සමීප වූයෙමි. චෙරි ගසේ පිපී ඇති මල් සියල්ලේ රුව පරයන රෝස පැහැයක් මාගේ තුරුළේ බබළද්දී මම මහත් සෙනෙහසින් ඇගේ මුව සිපගතිමි.

දිනපොතක සටහනක්...තමා මං වැඩියම කැමති එක. ඊලඟට මේක. ස්තූතියි
ReplyDeleteතැන්කිව් බස්සෝ! :) මම ඉස්සර ලියපු කතන්දර කියවලා තියනවද?
Deleteඔව්, ඔව් කියවල තියනවා. ඒත් මේ වගේ එව්වා කියවලා, ආයෙත් කියවනවා.
Delete:D
Deleteඅර දාලා තියෙන පිංතූරෙ මරු. අහසට දිවුණු පියගැට පෙළ! :). කව්දැ ඒ වැන්දබෝනා නෝනා? එයත් බ්ලොග් ලියනවද?
ReplyDeleteපිංතූර කතාව 4 කියල තියෙන්නෙ, ඒ කියන්නෙ තව පිංතූර කතා තියනවද? මේ කතාවෙ අනිත් පිංතූර කෝ? facebook ? ඇයි අපිට කුඩම්මගෙ සැලකිලි?
හරි, හරි මං ප්‍රශ්ණ පත්තරයක්ම ඇහැව්වා තමා. ඒත් ඉතිං අහන්නෙ නැතුව කොහොමද?
ඒ නෝනා තමා මං නෝනා! :D
Deleteඒ තියෙන්නේ මගේ පේජ් එක. පහුගිය දවස්වල මං ඒ පැත්තට ගොඩවෙන අයට කිව්වා එයාලා කැමති පින්තූර මට එවන්න, මම ඒවාට කතන්දර ලියලා දෙන්නම් කියලා. එහෙම මට ආපු පින්තූරෙකට තමයි ඕක ලිව්වේ. ඔයත් ගොඩවෙලා බලන්නකෝ ඒ පැත්තේ. :)
ඒ ප්‍රොජෙක්ට් එකේ කළින් ලියපු කතන්දර තුනත් මේකේ දාලා තියෙන්නේ, ඒ විස්තරේ නැතුව. මේ සැරේ මේ පින්තූරෙම එහෙමම දාන්න හිතුවා බ්ලොග් යාළුවන්ටත් ඒ ගැන කියන්න. :)
පිංතූරෙකින් වචන දාහක් කියැවෙනවා කියන එක මට දැන් තේරෙනවා. කතාව ඒ ලස්සන පිංතූරෙ සම්පූර්ණ කරනවා.
Deleteමං facebook එක්ක පොඩි කෝන්තරයක් තියන නිසා එහෙ ගියේ නං නෑ. බලමු.
ඔව්, ඔය ෆේස්බුක් එක මටත් මේ බ්ලොග් තරම් හිතට අල්ලන්නෙ නෑ. ඒත් මගේ පාඨක ප්‍රජාව එතන ඉන්න හින්දා මමත් එතන ඉන්නවා, ලියනවා. :)
Deleteහරිම අපූරුයි සහ ආදරණීයයි......
ReplyDeleteඔයිට ටිකක් විතර සමාන කතාවක් මම කාලෙකට ඉස්සර කියෙව්ව..ඒකෙත් ඔය වගේම ගොළු යුවතියක් සැත්කමක් කරගෙන කතා කරන්ට පුළුවන් වෙලා ආපහු එනකොට ඇයට පෙම් කල තරුණයා අතුරුදන් වෙලා.
ඇය ඉතින් බොහොම දුකින් ඉන්නකොට ඔහු මාස දෙකකට විතර පස්සෙ ආපහු එනව..බලනකොට ඔහු රැකියාවෙන්යුත් අයින් වෙලා සැතපුම් දහස් ගණනක් දුර තිබුනු අගනුවරට ගිහිල්ල ඇයත් එක්ක කතා කරන්න සංඥා භාෂාව ඉගෙන ගෙන එන්න.... :)
ගොඩාක් ස්තූතියි අයියේ! ඒ කතාව මම කළින් අහලා නැහැ. ඒක හරි අපූරුවට ගොතන්න පුළුවන් අවසානයක්! :)
Delete“The irony of the human heart is that it’s tormented both by the presence and absence of it’s own soul’s counterpart.”
ReplyDelete― Crystal Woods
Thanks PJ! But I'm too tired to find a quote today. Sorry. :( Any feedback about the story?
DeleteThe story is very striking.
DeleteIt reminds me of something I've read a long time ago.
Oh, thank you! :D
Delete