285. සිත්තමක ලියැවුණු කවිය...02

ලොසිංජර

කන්දෙවත්තෙ මහ පන්සලේ සිත්තර අඳින වැඩේ මට පංගාර්තු කළේ මයෙ ගුරුන්නාන්සේ. ගුරුන්නාන්සේ දන්නා අඳුරන ලොකු හාමුදුරුවන්නාන්සේ නමක් උගන්නන පිරිවෙනේ තමයි ඔය මේ කන්දෙවත්ත පන්සලේ පොඩි හාමුදුරුවො ඉගෙනගන්නේ. ගුරුන්නාන්සේ වෙනුවට ගෝලයා වෙච්චි මං ආව එක ගැනනං ලොකු හාමුදුරුවන්ගෙ හිතේ ඒ හැටි මනාපයක් මුළදි තිබ්බෙ නෑ මට දැනුණ හැටියට. ඒත් ඉතිං සතියක් දෙකක් ගත වෙද්දි, බුදු ගෙයි රූප ටික මං පින්තාරු කරගෙන යන අතරෙදි ඒ නොමනාපෙනං දුරු වෙන්ටැති මයෙ හිතේ. ගුරුන්නාන්සෙත් ඉතිං බයක් හැකක් නැතිව මාව එව්වෙ මට ඒ විශ්වාසෙ රකින්ට පුළුවං බව දන්න හින්දානේ.

මං ඇවිදිං ටික දොහකින් උඳුවප් පෝයත් පහු වුණා. දුරුතු මහත් එක්ක අලුත් අවුරුද්දත් ලැබුවා. මට ඉතිං අවුරුද්දට ගම් රටවල්වල ගිහිං බලලා එන්ට නෑයෝ ඉන්නවා කියලායැ. මතක ඇති කාලේ හිටං මයෙ අප්පයි අම්මයි වාගෙ උන්නෙ ගුරුන්නාන්සෙයි, ඉස්කෝලෙ හාමිනෙයි. මෙහෙ එන්ට කළියෙං ගුරුන්නාන්සේ කීවෙ ගිය වැඩේ හරියකට අහවර කරලා මිසක ආයෙ එන්ට එපා කියලා. ඉතිං මං ඔහෙ කන්දෙවත්තෙ පන්සලටම වෙලා ආපු රාජකාරිය කරගෙන උන්නා. නිවාඩුවත් අහවර වුණායෙන් පොඩි හාමුදුරුවොත් ආයෙම පිරිවෙන් වැඩියා. මේ නිස්කලංක වටපිටාවෙ සිත්තර අඳින්ටනං බොහොම පහසුවෙන් පුළුවං වුණත් වෙලාවකට මහ පාළුයි. අන්න එහෙම පාළු දැනෙන වෙලාවට තමයි අර මේ ගමට මුළිංම පය තිව්ව දවසෙ මුණ ගැහිච්ච කොච්චි කරල මට මතක් වෙන්නෙ.


එදා දහම් පාසැල් උත්සවේ බොහොම බරට වැඩ කරාපු හන්දා මං හිතුවේ නිතර දෙවේලේ පන්සල් එන දැරිවියෙක් වෙන්ටැති කියලා. ඒත් කෝ, පෝයටවත් ආවෙ නෑ පැත්ත පළාතේ. අලුත් අවුරුද්දෙ පළමුදාත් ගමේ කීප දෙනෙක් පන්සල් ඇවිදින් ගියාට ඒ නගාවනං ආයෙ දැක්කෙම නෑ. ඒ හැටියට කේන්ති ගන්න කෙල්ලෙක් මං ඒ දැක්කමයි. මතක් වෙද්දිත් මගෙ මූණට හිනාවක් එනවා. අනික ඒ නගා හරි හැඩයි. මූණ බලං ඉන්ට ලස්සනයි. කේන්ති ගිහිං මූණ රතු වෙද්දි වැඩියෙන් ලස්සනයි. කෙල්ලෙක් දැක්ක පළියට එහෙමට එල්ලි එල්ලි කතාවට පැටලෙන්ට යන පුරුද්දක් නැතත්, මට මේ නගාව කතාවට අල්ලගන්නම හිතෙන්නේ ඒ කේන්තිය බලන්ටම ආසාවට වෙන්ට ඕනෙ. කොහෙද ඉතිං, කේන්ති ගස්සන්න තියා මූණ බලාගන්ටවත් එන එකක්යැ පන්සල්. එදා නමවත් අහගන්ට බැරි වුණා. කොහෙ ඉන්නවද දන්නෙත් නෑ. පොඩි හාමුදුරුවන්ගෙන් අහන්ටත් කීප විටක් හිතලා ආයෙ වැඩේ අත් ඇරලා දැම්මා. මං ඔහොම එකක් අහපු විත්තියක් බැරි වෙලාවත් ලොකු හාමුදුරුවන්ගෙ කනට හෙම ගියොත් මයෙ ගුරුන්නාන්සෙටත් හොඳ නෑ ඒක. අට්ටාලෙ උඩට වෙලා ඔහොම හීන බල බල ඉන්න අතරෙ වෙලාවකට මට දවල්ට කන්ට යන්ටත් අමතක වෙනවා. සේදිරිස් මාමා ඇවිදිං කෑ ගහලා අඬ ගහං යනකල්ම මං ඒක උඩ. මේ කෙල්ලෙක් හින්දා මට වෙච්චි දෙයක්!


පන්සල් ජීවිතෙන් සේරෝටම වඩා අමාරු වුණේ මට රෑට නොකා ඉන්ඩ පුරුදු වෙන්න වෙච්චි එක. මොකවත් තම්බලා දෙන්ටද කියලා සේදිරිස් මාමා කීප දවසක්ම ඇහැව්වත් ඉතිං මං විතරක් කොහොමද තනියෙං කන්නේ, උන්දැයි හාමුදුරුවොයි රෑට නොකා ඉන්දැද්දි. ඉවසං ඉන්ට පුළුවං වෙයි කියලා හිතං උන්නත් ආයෙ ඇවිස්සුනේ නැතෑ පුංචි සන්දියෙදි තිබිච්ච බඩේ දැවිල්ල. කෙඳිරි ගෑවෙන තරමටම අමාරු වුණා දෙතුන් දොහක්ම. සේදිරිස් මාමා කෝමාරිකා ඉස්ම මිරිකලා දුන්නා බොන්ටය කියලා, ඒත් අප්පේ කටේ තියන්ට බෑ තිත්තයි. උන්දෑ අහකට යනකල් ඉඳලා මං ඒක විසික් කරලා දැම්මා. ලොකු හාමුදුරුවොත් බෙහෙත් ගුලි වගයක් දුන්නා බොන්ට, ඒකටනං බඩේ දැවිල්ල හොඳ වුණා. ඒත් ආයෙ දෙතුන් දවසක් රෑ බඩගින්නේ උන්නට පස්සේ ආයෙ දැවිල්ල ඇල්ලුවා. ඒකයි ඉතිං අද මං මේ කඩ මණ්ඩිය පැත්තට ගිහිං එන්ට එළියට බැස්සේ රෑට කන්ට විස්කෝත්තු ඩිංගක්වත් ගෙනැත් තියාගන්ට කියලා. 


ආයෙ මං පන්සලට එද්දි ඉරත් මුදුන් වෙලා. අපේ ගම් පළාත් වගේ නෙවෙයි, මෙහෙ දාවල් ඉර අව්ව බොහොම සැරයි. අව් කාස්ටකේ පයිං ගාටලා එනවා කියන්නේ පණ යන වැඩක්. කුඹුරු වැඩ කරන උදවියත් පාන්දර ඉඳං උදේ නවය පහු වෙනකල් කුඹුරත් එක්ක ඔට්ටු වෙලා අහකිං තියන උදැල්ල ආයෙ අතට ගන්නෙ හැන්දෑවෙ හතර කිට්ටු කරලා. ගෙනාපු තීන්ත අඩුවැඩිය බුදුගෙයින් තියලාම දාන ශාලාව පැත්තට යනවා කියලා හිතාගෙන මං කමිසෙ උඩ බොත්තං දෙක තුනකුත් ගලවන අතරේ බුදු ගෙට පය තිබ්බා. 


මේං! අර කටත් ඇරගෙන සිත්තර දිහා බලාගෙන ඉන්නෙ අර කොච්චි කරලනෙ! 


මං විගහට ආයෙම කමිසෙ බොත්තං දාගත්තා. මං ආවා කියලා වගක්වත් නෑ, ඔළුවත් උඩට හරවං බලං උන්නෙ මං ඊයෙ ඇඳලා ඉවර කරපු සිත්තරේ දිහා. මහාභිනිෂ්ක්‍රමණයට කළින් සිදුහත් කුමාරයා යශෝධරා දේවියි, රාහුල කුමාරයයි නිදං ඉන්න හැටි බලං ඉන්න සිත්තරේ. මයෙ අම්මේ ඒ දිහා බලං හූල්ලන හැටි. ඔය කෙල්ලො කවුරුත් යශෝධරා දේවිට ඒ උහුලන්ට වෙච්ච දුක් කන්දරාව ගැන දුක් වෙන හැටි මං අනන්තවත් අහලා තියෙනවා. මං ළඟ තිබ්බ බිත්තියට බර දීලා හේත්තු වුණා. අපෙ ගුරුන්නාන්සෙගෙ දෝණියන්දෑත් වතාවක් මයෙ එක්ක වාදෙක පැටලුනා සිදුහත් කුමාරයා ඒ කරපු වැඩේ වැරදිය, ඔහොමට දාලා යන්ට හිතක් තිබ්බානං කරකාර බැන්දෙ අහවල් එකකටද, අවුරුදු දහ තුනක් දීග කාලා පුත් කුමාරයෙකුත් වැදුවට පස්සෙද දාලා යන්ට මතක් වුණේ ය කියලා. මෙයත් ඒ වාගෙම ස්ත්‍රී පාර්ශවේට වෙච්චි අසාධාරණේ ගැන කඩු පොලු අතට ගන්ට බලං ඉන්න එක්කෙනෙක් වාගේ. එහෙව් අම්මණ්ඩිලත් එක්ක ලේසි නෑ ඉහ ගහන්ට. යකඩෝ, මේං කඳුලුත් පිහදානවා. කේන්ති ගිහිං මූණ රතු කරං බණින කොට වගේ නෙවෙයි මෙහෙම කඳුළු හලන කොටනං බලං ඉන්ට අමාරුයි. "ඔය හැටි උඩ බලං ඉඳලා ආයෙ බෙල්ල පහත් කරගන්ට බැරුව යාවි!" මටත් නොදැනිම මයෙ කටින් පිට වුණා.


කෙල්ල ගැස්සුණා හොඳටම. අහක බලං මූණ පිහිදගත්තෙ කඳුළු පිහදාන බව මට නොපෙනෙන්ට වෙන්ට ඇති. මාව මතකද දන්නෙත් නෑ. අඳුරගන්න එකක් නැත්ද? ආයෙ මයෙ දිහා බැලුවෙනං හැබැයි එදා තිබ්බ කේන්ති ගිය ඇස් දෙකෙන්මයි. මං අර අහවල් වැරැද්දක් කළාටද? එක්කො මෙයා කොච්චරවත් පත්තුවෙන්ඩ බලං ඉන්න ගිනි බෝම්බයක්ද දන්නෙත් නෑ. පෙන්නන්ට හොඳ නෑ බුරුලක්. "පෝයකටවත් පන්සල් නො එන උදවිය මොකෝ දන්නෙ නෑ මේ අවේලාවේ?" කටින් පිටවුණේ වැරදි වචන පේළියක්නෙ. දැන් හිතාවි මං පෝය දවසෙ එයා එනකල් බලං උන්නා කියලා. ඒකෙ ඉතිං වැරැද්දක් නෑ, ඒ වුණාට ඉතිං මෙහෙව් ආඩම්බරකාරියන්ට ඒ වගක් පෙන්නන්ට හොඳ නෑ. "අර හූල්ලපු හැටියට මේ බිත්ති හිටං ගලෝගෙන යයිද කියලා මං මේ ඩිංගක් අල්ලගෙන උන්නෙ..." මං ආයෙම විගහට කියලා බිත්තියෙන් අහකට වෙලා තට්ටුවකුත් දාලා බැලුවා. 


මෙහෙම එරවිල්ලක්. ගමන් තෙහෙට්ටුව යන්ටත් එක්ක මට බඩ අල්ලගෙන හිනාවෙන්ට හිතුණා වුණත් අදත් නම ගමවත් අහගන්ට බැරි වුණොත් අපරාදේ හන්දා මං හිනාව පැත්තක දාලා ළඟට යන්ට පටංගත්තා. එච්චර වෙලා කොටි දෙන වගේ මට ඔරවං හිටිය කෙල්ලගේ ඇස් දෙක මෙන්න වදේ මුව පැටියෙක්ගෙ වගේ ලොකු වුණා. ඒ වතාවෙනං මට හැබෑවටම දුක හිතුණා. මගෙ අත කලිසම් සාක්කුවට රිංගුවේ එන ගමන් හන්දියෙ කඩේ මුදලාලි මාරු සල්ලි නැතිව දීපු ලොසිංජර දෙක තුන අතට ගන්ට. මේවා දුන්නාමවත් ඔය බයයි කේන්තියයි අඩු කරගෙන ඩිංගක් හිනාවෙයිද දන්නෙ නෑ. "මෙන්න!" මං දික් කළා. 


"අපොයි පිස්සුද? මට එපා!" ඔන්න ආයෙ ඔරවගෙන.


"එපා කියන්නෙ? ඉතිරි සල්ලි දෙන්න මාරු නැතිව අර හන්දියෙ කඩේ මුදලාලි දුන්නෙ ඔව්වා. ගන්න..."


"අනේ එපා, මං ලොසිංජර කන්නෙ නෑ!" ලොසිංජර නොකන කෙල්ලොත් ඉන්නවද හැබෑටම? "අපෙ දානෙ අද. අම්මලා දාන ශාලාවෙ. මාත් දැං යන්න ඕනෙ..." අප්පා, එහෙමත් එකක්ද? ඒකයි එහෙනං මේ පන්සල මතක් වෙලා තියෙන්නේ. මෙයා මොනවද දන්නෙ නෑ දානෙට ඉව්වෙ. "මට පරක්කු වෙනවා, මට යන්න ඉඩ දෙනවද?"


ඒකයි මේ ඔරවං ඉඳලා තියෙන්නේ. මං පාර හරස් කරං ඉන්න හින්දා. ඒත් මට සෙල්ලම නවත්තන්න හිතක් එන්නෙම නැති හැටි. "මේක ගත්තොත් යන්න දෙනවා."


"එපා කිව්වනෙ මං දැන් සැරයක්!" හප්පා සැර!


"බය වෙන්න එපා... මේවට ඉනා බෙහෙත් දාලා නෑ..." කෙල්ලෙක් එක්ක මෙහෙම සෙල්ලං කරලා නෑ මං කවදාවත්. හිනාවෙන හිතත් එක්ක මටත් හිනාවෙන්න ඕන වුණත්, මෙහෙම සෙල්ලං කරන එක හරිද වැරදිද කියලත් මගේ හිතේ කොණක් අහ අහ හිටපු හින්දා මගේ මූණේ තියෙන්න ඇත්තේ බරපතල පෙනුමක්. කෙල්ල ඒ බැල්මට අහුවුණා. මූණ වෙනස් වුණා. මගෙ දිහා ඩිංගක් වෙලා බලං ඉඳලා හෙමින් සැරේ ලොසිංජර දෙක අතට ගත්තා. ඒ වෙලාවෙදි යාන්තමට මගේ අතේ ගෑවුණු ඒ ඇඟිලි තුඩු අගින් දැනිච්ච අකුණු සැරට මගෙ අතම හිරි වැටිලා ගියා. එයා ටික වෙලාවක් අතට ගත්තු ලොසිංජර දිහා බලං ඉඳලා ඔළුව උස්සලා දොර දිහා බැලුවා. මගෙ පොරොන්දුව මතක් වෙලා මං විගහට අහකට වෙලා ඉඩ දුන්නා. මගෙ අතට දැනුණ අකුණු සැර එයාටත් දැනෙන්න ඇත්ද? මාව පහු කරං හීන් සීරුවේ ඇවිදං ගියා. හැබෑවටම ලස්සනයි. ලස්සනට පීරලා තනි කරලට ගොතපු කොණ්ඩෙ ඉණෙන් පහළටම දිගයි. එදා වැව් ඉහත්තාව ළඟදි කේන්තියෙන් ගිය ගමන වගේ නෙවෙයි ඒ කොණ්ඩෙත් වන වන හෙමීට ඇවිදගෙන යද්දි... දොර ළඟදි නතර වුණා. හෙමීට ඔළුව හරවලා මයෙ දිහා හැරිලා බැලුවා. ඔය බැල්ම මීට කළිං දෙතුන් වතාවකදි මට වැටිලා තියෙනවා ගමේදි වගේම මෙහෙදිත්. ඒත් මේ වතාවෙ? මේ වතාවෙ මේ බැල්ම මට මහ අමුත්තක් හිතට ගෙනාවා. මීට කළින් කවදාවත් හිතට නොදැනිච්ච අමුත්තක්. ඒ ඇස් දෙක මගෙ දිහා හිනාවේගෙන බලං ඉන්නවා. කේන්ති ගිහිං රතු වෙච්ච මූණ කොච්චර ලස්සන වුණත්, මේ බැල්ම - මේ පෙනුම... ඊටත් වඩා කොච්චර ලස්සනද. මං කවදාවත් කෙල්ලෙක් දිහා මීට කළින් මෙහෙම බලං ඉඳලා නැති බව මතක් වුණත්, ඒ හිතේ ගැම්ම එහෙමම තියාගන්න බැරි තරමට මාව වශී වෙලා. මගෙ මූණෙ හිනාවක් පත්තුවේගෙන එන හැටි මට දැනුණා. ඒත් එකපාරටම ඒ බැල්ම වෙනස් වුණා. මල් වත්තක් පිපීගෙන ආපු ඒ මූණ ආයෙ අකුණු ගහන කළු වළාකුළුවලින් වැහිලා ගියා. අතේ තිබ්බ ලොසිංජර දෙක ආපහු මගෙ මූණටම දමලා ගහලා ඒ මන්තරකාරි දොර ළඟින් අතුරුදහන් වුණා.


වුණේ මොකද්ද කියලා හිතාගන්ට මට තරමක් වෙලා ගියා. ගෑනු මායං! හැට හතරක් නෙවෙයි ඊටත් වැඩියෙං තියෙනවා වාගෙයි මේ යෝදි ළඟනම්. අනේ අම්මපා මමත් අහුවුණානේ ඒ මායංවලට. මං අච්චර හිත හොඳින් දීපු ලොසිංජර දෙක! ඔච්චරමයි දෙන්ට පුළුවං දේකට තිබ්බෙ, නැත්තං මං දෙනවනේ ඔයිට හොඳ දෙයක්. ඒක මදි වෙලාද, නැත්තං මාව මට්ටු කරන්න හිතාගෙන මෙහෙම කළාද දෙයියො තමයි දන්නේ. ඔය ගෑනු උදවිය කියන කරන එව්වා තේරුං ගන්නවාට වඩා මහා සමුද්දරේ රැළි ගණං කරන එක දාහෙන් සම්පතයි කියලා වතාවක් මයෙ ගුරුන්නාන්සෙත් කියලා තියෙනවා. එව්වා අමතක කළාට මට හොඳ පාඩම! දැන් ඇත්තෙ දාන ශාලාවෙ. බඩගින්නෙ මළත් කමක් නෑ, යන්නෙ නෑ මං ඒ පැත්තෙ ඔය අම්මණ්ඩි යනකල්. මදෑ මාසයක් තිස්සෙ දකින්ට බැරි වුණා කියලා හිත හිත හිටියා. නමක් ගමක් අහගන්නත් බැරි වුණා කියලා මදෑ අදවත් ඒ විස්තර අහගන්නවා කියලා හිතුවා. මොකටද ඔහොම එකියන්ගේ වග විස්තරයක්. නොදැන ඉන්න එකමයි හොඳ!



- මතු සම්බන්ධයි -



17 comments:

  1. “I am an artist you know ... it is my right to be odd.”
    ― E.A. Bucchianeri

    ReplyDelete
    Replies
    1. The artist is not a different kind of person, but every person is a different kind of artist. ― Eric Gill

      Delete
    2. “Weirdism is definitely the cornerstone of many an artist's career.”
      ― E.A. Bucchianeri

      Delete
    3. Some people hear their own inner voices with great clearness. And they live by what they hear. Such people become crazy... or they become legend.
      ― Jim Harrison

      Delete
    4. “It's when I start listening to my inner voice that I start talking to myself.”
      ― Anthony T.Hincks

      Delete
    5. You cannot truly listen to anyone and do anything else at the same time.
      --M. Scott Peck

      Delete
    6. “There's a lot of difference between listening and hearing.”
      ― G. K. Chesterton

      Delete
    7. The most important thing in communication is hearing what isn't said.
      --Peter Drucker

      Delete
    8. “The single biggest problem in communication is the illusion that it has taken place.”
      ― George Bernard Shaw

      Delete
    9. Painting is an illusion, a piece of magic, so what you see is not what you see.
      -- Philip Guston

      PS: Chapter 03 is published. :)

      Delete
    10. OK. Thanks. Commented 2nd hand there too.

      Delete
    11. The biggest tragedy of this age of quotes is quoting quotes has become the rule rather than the exception - Ravi Weerasinghe

      Delete
  2. ඔය ගෑනු උදවිය කියන කරන එව්වා තේරුං ගන්නවාට වඩා මහා සමුද්දරේ රැළි ගණං කරන එක,අහසේ තරු ගණින එක,පොළවේ වැලි ගණින එක හොඳයි සිත්තරෝ.හැබැයි ඉතින් ගෑනු උදවිය එක්ක තරහා උනත් කෑම එක්ක තරහා වෙන්න හොඳ නැහැ.කට්ටිය ගියාට පස්සේ දානේ දීලා අරින්න තියෙන්නේ තරහාටත් එක්කම.

    ReplyDelete
    Replies
    1. දැං මොන සිත්තරාටද මං මේ පණිවිඩේ දෙන්ඩ ඕනෙ? මේ කතන්දරේ සිත්තරාටද, මගෙ සිත්තරාටද? :D

      Delete
    2. දෙන්නාටම :D

      Delete