224. රෝමයේ නිවාඩුවක්...06

එදින සන්ධ්‍යාවේ අන්ධකාරය මධ්‍යයේ ශාන්ත ඇන්ජලෝව අසළ ටිබරීන් ගංගාවේ තොටුපොළ වෙතින් සංගීත නාදය විහිදෙමින් තිබුණි. ජෝ සහ ඈන් තොටුපොළේ පියගැටපෙළ බැස ප්‍රවේශපත්ද මිළදීගෙන යාත්‍රාව වෙත ළඟා වූහ. එහි ඒ වනවිටද කිහිපදෙනෙකු නර්තන භූමිය මත නර්තනයේ යෙදෙමින් සිටි අතර ජෝ සහ ඈන් කුමරියද වැයෙමින් තිබූ රාවයට නර්තනය ඇරඹූ හ. ඒ අසළ අත්වැටට බර දී තනි කළු ඇඳුමින් හා හිස්වැසුමින් සැරසුණු දෙදෙනෙකු උත්සව භූමියේ ගැවසෙන්නන් දෙස බලා සිටියෝය. ඉන් එකෙකුගේ අවධානය ජෝ හා ඈන් කුමරිය වෙත යොමු වූ අතර කෙළින් වී සිටගත් ඔහු අනෙකා සමග කිසිවක් පැවසුවේය. හිස සැලූ දෙවැන්නා වහා එතැනින් නික්ම පියගැට පෙළ නැග දිව ගියේය. ඒ අතර සංගීත රාවය වෙනස් වී වඩාත් ළයාන්විත රාවයක් වැයෙන්නට වූ අතර ඈන් කුමරිය සිය හිස ජෝගේ උරහිසට හේත්තු කරගෙන දෑස් පියාගෙන මඳ සිනහවෙන් යුතුව නර්තනයේ යෙදුණාය. මොහොතකට හිස එසවූ ඇගේ දෑස් ජෝගේ දෑස් හා ගැටී මඳ වේලාවක් එලෙසම රැඳුණු අතර තවත් මඳ වේලාවකින් සංගීතය අවසන් වූයෙන් ඔවුන් දෙදෙනාද නර්තන භූමියෙන් ඉවතට ඇවිද ගියෝය.




අසුනක් මත හිඳගන්නා අතරේදී ඈන් කුමරිය කතා කළාය. "බ්‍රැඩ්ලි මහත්මයා: මං හිතන්නේ ඔයත් හරියටම කපාපු පළුවක්."

"ඈ- මොක-?" අනතුරුව ඔහුට සිහිපත් විය. මඳ සිනහවක් පෑ ඔහුද ඈ අසළ අසුනකින් හිඳගත්තේය. "ආ, බොහොම ස්තූතියි."

"ඔයා අද මුළු දවසෙම මං කැමති දේවල් කර කර මාත් එක්කම හිටියා. ඇයි?"

ජෝ වරදකාරී හැඟීමෙන් යුතුව වදන් ගැලපුවේය. "මං දන්නෙ නෑ. මට හිතුණා එහෙම කරන්න."

"ඒ තරම් කරුණාවන්ත කෙනෙක් ගැන මං කවදාවත් අහලා නෑ."

සිය පශ්චාත්තාපය සඟවාගැනීමට ජෝ බිම බලාගත්තේය. "ඒක ඒ හැටි දෙයක් නෙවෙයි."

"හරිම පරාර්ථකාමියි."

ජෝ හිස එසවූයේ මඳ වේලාවකට පසුය. ඔහු බීමහළ වෙත හිස දිගු කළේය. "යමු, අපි ගිහිං මොනවාහරි බීලා ඉමු." ඔහු ඇගේ අතින් අල්ලාගත් අතර ඔවුන් දෙදෙනා බීමහළ වෙත ඇවිද ගියහ.

බීමහළ අසළ සිටි කරණවෑමියා ඈන් කුමරිය දැක මහත් ප්‍රීතියෙන් කතා කළේය. "හානේ! ඔයා ආවානේ!" තමා සමග සිටි තැනැත්තියගෙන් අවසර ගැනීමට ඔහුට සිහිපත් වූයේ ඉන් අනතුරුවය. ඈ හා වදනක් දෙකක් දෙඩූ ඔහු යළිත් වහාම ඈන් කුමරිය වෙත හැරුණි. "මං ගොඩක් වෙලා බලං හිටියා ඔයා එනකල් - මං ඒත් හිතුවා ඔයා එන්නෙ නැති වෙයිද කියලා." ඔවුන් දෙස බලාගෙන ඈ පිටුපසින් සිටි ජෝ ඔහුගේ ඇස ගැටුනේ එයිනුදු අනතුරුවය. ඈන් කුමරිය ඔහුගේ මුහුණ වෙත අත දිගු කළ අතර කරණවෑමියා පෙරදී සිය උඩු රැවුල පිහිටි, මේ වනවිට සම්පූර්ණයෙන්ම මුඩුව පැවැති සිය උඩු තොල අල්ලාගත්තේය. "ආ, මාත් කපලාම දැම්මා; මුළු රැවුලම කැපුවා!"

"ආ, රැවුල නැතුව හොඳයි, නේද?" සිය කරණවෑමි හිතවතා හඳුනාගත් කුමරිය ප්‍රීතියෙන් කීවාය. "හරි ලස්සනයි." අනතුරුව ඇය ඔහුට ජෝ හඳුන්වා දුන්නාය. "මේ බ්‍රැඩ්ලි මහත්මයා."

"මම මාරියෝ ඩෙලානි," කරණවෑමියා කීවේය.

"පරණ යාළුවොද?" ජෝ විමසුවේය.

"ඔව්, එයා තමයි හවස මගෙ කොණ්ඩෙ කැපුවේ. මේකට එන්න කියලා මට කිව්වෙත් එයා තමයි."

"එහෙමද?" ජෝ මහත් උනන්දුවෙන් කරණවෑමියාට අතට අත දුන්නේය. "මොකද්ද නම කිව්වෙ?"

"ඩෙලානි, මාරියෝ ඩෙලානි."

"මාරියෝ ඩෙලානි," ජෝ පුනරුච්ඡාරණය කළේය. "බොහොම සතුටුයි අඳුනගන්න ලැබුණට."

"මටත්," කරණවෑමියාද පිළිතුරු දුන්නේය. මේ අතර සංගීත කණ්ඩායමේ වාදනය නැවතත් ඇරඹුණි. මාරියෝ ඈන් කුමරිය දෙස බැලුවේය. "මේ, මට මේ ලස්සන නෝනාත් එක්ක නටන්න අවසරද?" නුහුරු බසින් කුමරියගෙන් එසේ විමසූ ඔහු ජෝ දෙස බැලුවේය. "කමක් නැද්ද?"

"අයියෝ කමක් නෑ; යන්න යන්න," ජෝ අවසරය ලබා දුන්නේය.

ඈන් කුමරියද කරණවෑමියාද මහත් ප්‍රීතියෙන් නර්තනයේ යෙදුණෝය. වයින් වීදුරුවක්ද අතැතිව ඒ දෙස බලා සිටි ජෝ විගසින් සටහන් පොතක් අතට ගෙන කරණවෑමියාගේ නම එහි සටහන් කරගත්තේය. මේ අතර අර්වින්ද තොටුපොළ වෙත පිවිසි අතර සිය කැමරාව පෙන්වමින් මාධ්‍ය ආවරණයකට පැමිණි බව පැවසූ ඔහු ප්‍රවේශ පත්‍ර නොමැතිවම යාත්‍රාවට පිවිසුණේය. ඈන් කුමරිය නර්තනයේ යෙදෙන අන්දම කළු ඇඳුම් හැඳි රහස් සේවා නිලධාරියාද බලා සිටියේය.

අර්වින් බීමහළ අසළ සිටි ජෝ වෙත ළඟා විය. "ඒයි, මට මොනවත් මග ඇරුණද?"

"නෑ නෑ, උඹ නියම වෙලාවට ආවේ," ජෝ පහත් හඬින් කීවේය.

"ස්මිත් නෝනා අර කාත් එක්කද නටන්නේ?"

"බාබර් එක්ක - හවස කොණ්ඩෙ කැපුවා, රෑට හම්බවෙන්න කතාකරගත්තා."

අර්වින් මහත් උනන්දුවෙන් හා ප්‍රීතියෙන් ඔවුන් දෙස යළිත් බැලුවේය. "'කුමරිය සහ කරණවෑමියා'" ඔහු යළිත් සිරස්තලයක් ගෙන හැර පෑවේය. අර්වින් බීමහළේ මේසයෙන් අනෙක් පසට ගොස් සිය කැමරාව මේසය මත අටවන අතරේ ජෝ එය නර්තන භූමියෙන් ආවරණය කරගෙන සිටගෙන සිටියේය. අනතුරුව අර්වින්ගේ සංඥාව ලැබුණු විගස පසෙකට වූ ජෝ කැමරාව ක්‍රියාත්මක වූ විගස යළි පෙර ස්ථානයට පැමිණ හදිසියේ අකුණක් පතිත වූයේ මන්දැයි කල්පනා කරන්නක් මෙන් අහස දෙස බලා සිටින්නට විය. විගසින් කැමරාව සැඟවූ අර්වින්ද වයින් වීදුරුවක් අතට ගෙන ජෝ අනුකරණය කරමින් පිටතට පැමිණියේය. ඔවුන් සිටි දෙස බැලූ ඈන් කුමරිය ඔවුන් හා සිනාසී අත වැනුවාය. ඔවුන් දෙදෙනාද සිය වීදුරු ඔසවා සිනා පෑ හ. මේ අතර තොටුපොළට ඉහළින් පාලම මත මෝටර් රථ කිහිපයක් නතර කෙරුණු අතර උත්සව යාත්‍රා භූමිය වටා රහස් සේවා නිලධාරීහු තැන් තැන්වල ස්ථානගත වූහ. 



වැයෙමින් තිබූ ගීතය අවසන් වූ අතර නිරීක්ෂණයේ යෙදී සිටි පළමු රහස් සේවා නිලධාරියා කුමරිය හා මාරියෝ වෙත පැමිණියේය. ඔහු පැමිණියේ සුන්දර තරුණිය හා නර්තන අවස්ථාවක් ලබාගැනීමටයැයි සිතූ මාරියෝ ආචාරශීලීව ඇගෙන් සමුගෙන නර්තන භූමියෙන් පිට විය. කළු ඇඳුමින් සැරසුණු නන්නාඳුනන අමුත්තා දෙස බලා මඳ සිනහවක් පෑවද කුමරිය ඔහු හා නර්ථනය ඇරඹුවේ නොසන්සුන් සිතිනි. මඳ වේලාවක් ඈ හා නර්ථනයේ යෙදුනු නිලධාරියා ඈ වෙත නැඹුරු විය. "උත්තමාවියනි." තියුණු බැල්මක් ඔහු වෙත හෙලූ කුමරිය ඔහු වෙතින් මිදෙන්නට සූදානම් වුවද ඔහු තදින් ඈ ග්‍රහණය කරගෙන සිටියේය. "කලබල නොකර පිවිසුම් දොරටුව ළඟට මේ විදිහටම යමු. එතන වාහනයක් නතරකරලා තියෙනවා."

කුමරිය ඔහුගෙන් මිදෙන්නට අරගල කළාය. "බැහැ."

"කුමරියනි, කරුණාකරලා මං කියන විදිහට කරන්න," ඔහු බලෙන්ම ඈ දොරටුව වෙත කැඳවාගෙන යන්නට උත්සාහ කළේය.

"ඔයාට - ඔයාට වැරදීමක් වෙලා." තමාට ඔහු කියනා දෙය නොවැටහෙන බවක් හඟවන්නට ඈ ඉතාලි බසින්ද දෙඩුවද එය සාර්ථක වූයේ නැත. "මට යන්න දෙන්න." අනතුරුව ඇය කෑ ගසන්නට විය. "මට යන්න දෙනවා! බ්‍රැඩ්ලි මහත්මයා!" බීමහළ අසළ සිටි ජෝ ඇගේ හඬ ඇසී වහා ඈ සොයමින් දිව එන්නට විය. "මට යන්න දෙනවද නැද්ද? බ්‍රැඩ්ලි මහත්මයා!" කලබලය ඇසුණු අර්වින්ද ජෝ පසුපස දිව ආවේය.

ඔවුන් දෙදෙනා පැමිණෙන විට රහස් සේවා නිලධාරීන් දෙදෙනෙක් කුමරිය යාත්‍රාවෙන් පිටතට ඇදගෙන එමින් සිටි නමුත් ජෝගේ පහර කෑමෙන් ඉන් එකෙකු ඇදගෙන වැටුණේය. ඔහු කුමරිය අතින් අල්ලාගෙන අනෙක් තැනැත්තාටද පහර දුන් අතර එම නිලධාරියා අනෙක් පස හැරී අර්වින් හට දුන් පහරින් ඔහු තොටුපොළේ අත්වැටෙන් ගඟට නොවැටී බේරුණේ යන්තමිනි. ජෝ සහ ඈන් කුමරිය නර්තන භූමියේ අනෙක් පසට දිව ගිය අතර එහි වූ පිරිස නර්තනය හා වාදනය නවත්වා අරගලය දෙස බලා සිටින්නට විය. තවත් රහස් සේවා නිලධාරීන් එහි ළඟා වෙමින් සිටිනු දුටු ජෝ කුමරියද කැටුව යළිත් අනෙක් පසට දිව ගියේය. ඔවුන් දෙදෙනා දෙපසින්ම වටව සිටි බැවින් කුමරිය පසෙක තබාගෙන ජෝ සටනට පිවිසියේය. ඔහුගේ පහර කෑ එක් නිලධාරියෙකු ගඟට ඇදගෙන වැටුණු අතර ඈන් කුමරිය වහා ඔහු වෙත වැටේ සවි කොට තිබූ ජීවිතාරක්ෂක වළල්ලක් ගලවා විසි කළාය. නරඹන්නෝ ප්‍රීති ඝෝෂා කළහ. ජෝගේ සහයට පැමිණි අර්වින්ද තවත් නිලධාරියෙකු හා පොර බදන්නට වූ අතර නිලධාරියා ඔහුගේ රැවුළෙන් ඇදි මොහොතේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය අර්වින් මිට මොළවා ඔහුගේ මුහුණ මැදට පහරක් එල්ල කළේය. මේ අතර නරඹන්නන් අතර සිටි මාරියෝද සිය කුඩා පනාව පිටතට ගෙන ඉතාලි බසින් මුමුණමින් සිය හිස කෙස් පීරා හොඳින් සකසාගෙන ජෝගේ සහයට පැමිණියේය. එතෙක් නතර වී තිබූ වාදනය යළිත් අරඹන ලෙස සංගීත කණ්ඩායමේ නියමුවාගෙන් විධානය ලැබුණු අතර වේග රිද්මයකින් යුතු සංගීතයක් වැයෙන්නට පටන්ගත්තේය. 




උත්සව යාත්‍රාවේ කලබලය දිගින් දිගටම ඇදී ගිය අතර ජෝද, අර්වින්ද, මාරියෝද හතර අතින් එන රහස් සේවා නිලධාරීන්ට පහර දෙමින් සිටියෝය. මේ අතර හොර රහසේම කුමරිය වට කරගත් රහස් නිලධාරීන් දෙදෙනෙක් ඈ ඇදගෙන යන්නට වූහ. ජෝ ඒ පසුපසින් දිව ගිය අතර අර්වින්ද සිය කැමරාව ඔසවාගෙන ඔහු පසුපස දිව ගියේය. ජෝ කුමරිය අල්ලාගෙන සිටි එකෙකුට පහර දී බිම දැමූ අතර අනෙකා ඔහුට පහර දීම පිණිස කුමරිය අත හැරියාය. නිදහස් වූ කුමරිය ජෝට සහය විය හැකි අන්දමක් සොයමින් බිම විසිරී තිබූ බෝතල් අතට ගෙන නිලධාරියා වෙත දමා ගැසුවාය. නමුත් ඉන් ඵලක් නොවූ තැන යළිත් වටපිට බැලූ කුමරිය පසෙක වැටී තිබූ ගිටාරයක් අතට ගෙන පුටුවක් මතට නැගගත්තාය. ඈ වෙතට තවත් නිලධාරියෙක් පැමිණෙන්නට වූ අතර කුමරිය ගිටාරය ඔසවා හොඳින් එල්ලය බලා ඔහුගේ හිස් මුදුනට පතබෑවාය. නිලධාරියා ඈ ඉදිරියේ හුන් තැනම ගල් ගැසී නතර විය. එම අනර්ඝ මොහොත සිය කැමරා කාචයෙන් මග හැරී යාම පිළිබඳව කණස්සලු වූ අර්වින්, යළිත් එයම සිදු කරන ලෙස කුමරියට පැවසුවේය. සිනහවෙන් පිරුණු මුහුණෙන් යළිත් ගිටාරය ඔසවාගත් ඈන් කුමරිය පෙරටත් වඩා හොඳින් එල්ලය ගෙන එයින් නිලධාරියාගේ හිස මතට පහර දුන්නාය. 




මේ අතර අවටින් ඉතාලි පොලිස් රථ වාහන ළඟා වන සයිරන් නළා හඬ ඇසෙන්නට වූ අතර, ජෝද, ඈන් කුමරියද, අර්වින්ද උත්සව යාත්‍රා භූමිය මග හැර තොටුපොළේ අනෙක් පසට පිවිසෙන්නට උත්සාහ කළෝය. නමුත් එදෙසින් පොලිස් නිලධාරින් ළඟා වෙමින් සිටියෙන් ඔවුන් තිදෙනා පාලමේ අනෙක් පසට දිව ගිය අතර රහස් සේවා නිලධාරියෙකු සමග පොර බැදීම පිණිස අර්වින්ට නතර වීමට සිදු විය.

බෝට්ටු මඩුවක් වෙත ළඟා වූ ජෝ සහ ඈන් කුමරිය එය වටා සීරුවෙන් ගමන් ගන්නා අතරේ කෙළවරක සැඟව සිටි රහස් නිලධාරියෙක් ජෝ එතැනින් එබී බලනවාත් සමග ඔහුගේ මුහුණ මැදට පහරක් එල්ල කළේය. ඉන් විසි වී ගිය ජෝ ගඟට ඇද වැටුණේය. වහා ක්‍රියාත්මක වූ ඈන් කුමරිය නිලධාරියාට පා පහරක් දී හුස්ම තද කරගෙන, නාසය වසාගෙන ජෝ අසළින්ම ගඟට පැන්නාය. 

උත්සව යාත්‍රාවට ළඟා වූ පොලිස් නිලධාරීහු ඇද වැටී තුවාළ ලබා සිටි විදෙස් රහස් සේවා නිලධාරීන් අත් අඩංගුවට ගෙන පොලිස් රථ වෙත රැගෙන ගියහ. ඉන් එක් නිලධාරියෙකුගේ කර වටා ගිටාරයක්ද පැටළී තිබුණි. 

ජෝ සහ ඈන් කුමරිය දිය බේරෙන සිරුරුවලින්, එහෙත් නිරුපද්‍රිතව ඉවුරේ අනෙක් කෙළවරට ළඟා වූහ. ශීතලෙන් වෙව්ළන කුමරිය තුරුළු කරගෙන අසළ ගලක් වෙත පැමිණි ජෝ එහි හිඳගෙන ඈ උණුසුම් කරමින් ඇගේ උරහිස් දෑතින් සම්බාහනය කළේය. "ප්‍රශ්නයක් නෑ නේද?" ඔහු ඇසුවේය.

"මං හොඳින්," කුමරිය පිළිතුරු දුන්නාය. "ඔයාට කොහොමද?"

"අපොයි මාත් හොඳින්!" ඔවුන් දෙදෙනා එක්ව සිය වික්‍රමය පිළිබඳව සතුටු සිතින් මොහොතක් සිනාසුණහ. අනතුරුව ජෝ කුමරිය දෙස බැලුවේය. "ඒක නෙවෙයි, එතනදි නියමයි ඈ, මාර පාරවල් ටිකක්නෙ දුන්නෙ," ඔහු යළිත් සිනාසුණේය.




"ඔයත් එහෙමනෙ-" කුමරිය කතා කරන්නට පටන්ගත් නමුත් ජෝගේ දෑසේ වූ බැල්ම දැක එක්වරම ඇගේ මුව ගොළු විය. ඈ වෙත නැඹුරු වූ ජෝ ඇගේ දෙතොල් සිපගත්තේය. මඳ වේලාවකින් යළිත් එකිනෙකා වෙතින් මිදුණු දෙදෙනා තවත් මොහොතක් වේලා ඔවුනොවුන් දෙස බලා සිටියෝය.

තරමක නිහඬතාවයකින් පසුව මුළින්ම හඬ අවදි කළේ ජෝ ය. "මේ... මං... මං හිතන්නේ... අපි මෙහෙං ගියොත් හොඳයි ඉක්මනට. අර්වින් වාහනේ ළඟ ඇති." 

කිසිත් නොපැවසූ කුමරිය ඔහු හා නැගී සිට ගං ඉවුරෙන් එපිටට ඇවිද ගියාය.




- මතු සම්බන්ධයි -




12 comments:

  1. අය්යෝ... දෑස රිදුනා පාර බලා ඉඳල. මොකද අනේ පරක්කු..

    දැන් නම් නියම කොටස් නේද?

    ReplyDelete
    Replies
    1. හෑ? පරක්කුයි? ඇයි හත් ඉළව්වේ, ඊයෙ කොටසක් දාලා අද කොටසක් දාගත්තා බෝම අමාරුවෙං. ඒම කරලත් පරක්කුයිලුනෙ. :(

      මුළු ෆිල්ම් එකම නියමයි අප්පා. මං මේ ලියනවා වගේ නෙවෙයි, ඒ දෙන්නාගේ facial expressions එක්කම මේක බැලුවාම තමයි හොඳටම දැනෙන්නේ. :)

      Delete
    2. දැන් වෙලාව කියද දන්නවද නෝනා මේක දානකොට? මම නම් දැක්කේ මහා රෑ වෙලා. හරි හරි දැන් සටන් කරලා මහන්සි ඇතිනේ. ඒ උනාට තව කොටසක් දාන්ට ඈ

      Delete
    3. ඊයෙ හවස දැම්මෙ අයියෝ ඕක. අනිට් කොටෂ අඩ බෑ. :P

      Delete
  2. රායිට් සටන් ඉවරයි.දැන් තියෙන්නේ ප්‍රේමාලිංගනය."සුදු පාආආආආට මිදුම් ගලලාආආආ" වගේ සින්දුවක් දෙන්න දැන්.

    මේ පිචර් එකේ අපේ අනන්‍යතාවත් තියෙන්නේ එපෑයි.

    ReplyDelete
    Replies
    1. මක්කිව්වා? පේමාලින්ගන? මේ, මේ ඈන් කුමාරිකාව කවුරුයි කියලද හිතං ඉන්නෙ ඈ?

      Delete
    2. ඈන් කුමාරී ආදර මැදුරයි....
      කටුරොද ගම්මානේ..ආ...ආ..ආ.
      කටුරොද ගම්මානේ....

      අන්න ඒ සිංදුව නම් නියමෙට ගැලපෙනව මේ වගේ පේමාන්විත සීන්ස් එහෙකට...හෙහ්,හෙහ්,

      Delete
    3. ඉන්ඩකො ඉන්ඩකො, මං කතාවේ අන්තිමට සිංදුවකුත් දෙනවා කට්ටියට අහන්ඩ. :)

      Delete
  3. ඔය ඉතින්, මන් එනකොට සමහර කතා වල කොටස් හයකුත් ගිහින්. හම්මේ

    ReplyDelete
    Replies
    1. අපි ඒමයි. :) දැං ඉතිං කොටස් හයම එක සැරේ කියවන්ඩ. :D

      Delete
  4. ශා ශා මේක්ත් කියෙව්ව එහෙනම්... අර ගිටාර් එකෙන් ඔලුවට පතබාන එක නම් මරු....

    ReplyDelete
    Replies
    1. ඔව් නේ! දෑත බදලා ගිටාරෙ උස්සලා දුන්නා තමයි දුස්ටයාට උන් තැනම ගල්වෙන්න. අර අර්වින් උන්නැහෙට ෆොටෝ එක ගන්න ආයෙත් අර ගල්වෙලා ඉන්න මනුස්සයට දුන්නෙ නැතෑ ෂොට් එක. උන්දැ තමයි අර පස්සෙ පොලෝසියෙන් පැන්න වෙලාවේ බෙල්ලෙ ගිටාරෙකුත් දාගෙන උන්නෙ. :D

      Delete