217. පොලියානා, ආනන්ද්, සතුට සහ මතක...

පොලියානා කියන සතුට බෙදන පුංචි දේදුන්න ගැන දන්නෙ නැති කෙනෙක් නැතුව ඇති මං හිතන්නේ. පොලියානා විටියර් (Pollyanna Whittier) කියන්නේ ඇමරිකානු ලේඛිකා එලීනෝර් එච්. පොර්ටර් (Eleanor H. Porter [1868 - 1920]) මවපු අපූරු පුංචි කෙලි පැටික්කියෙක්. 1913 වසරේදී ලියැවුණු Pollyanna නවකතාවට පසුව 1915 වසරේදී Pollyanna Grows Up නමින් ඈදුතු කතාවකුත් ඇය එකතු කළා. මේ පොත් ද්විත්වය 'පොලියානා', 'සතුට බෙදන පොලියානා' සහ 'ජිමී සහ පොලියානා' නමින් සිංහලයටත් පරිවර්තනය වෙලා තියෙනවා. මේ අපූරු කෙලි පැංචි මට මුණගැහුණේ මේ බොහොම ළඟකදි. මෙච්චර කල් ඒ පැංචිව අඳුනගත්තෙ නැත්තෙ මොකද කියලා මට දැං මගෙන්ම අහන්න වෙලා. 


පොලියානා ටෙලි චිත්‍රපටයේ රඟපෑ Amanda Burton දැරියගේ ඡායාරූපයකි

පොලියානා ඇත්තෙන්ම සතුට බෙදන්නියක්. යන යන තැන හැම දෙනාගෙම හිත සතුටෙන් පුරවන, හිත කඩා වැටෙන තැනකදි සතුටු සෙල්ලම කරන හැටි කියලා දෙන පඬිවරියක්. මේ ලෝකේ ඉන්න හැම දෙනාම නොවැරදීම කියවන්න ඕන පොතක් - අඳුනගන්න ඕන චරිතයක්. එයාගේ සතුටු සෙල්ලම කරන එක ලේසි නෑ, හොඳ ඉවසීමක් පුහුණුවක් තියෙන්න ඕනේ ඒකට. මේ පොත කියවන්න කියලා මට නිර්දේශ කරපු අක්කානම් ඇත්තටම මේ සෙල්ලම ප්‍රගුණ කරපු කෙනෙක්. ඕන කෙනෙක් කියන ඕන දෙයක් අහන් ඉන්න එයාට ඕන තරම් වෙලාවයි, ලොකු කනකුයි, ලොකු හදවතකුයි තියෙනවා. කොච්චරවත් හිනා වෙලා ඉන්න, හැම කෙනාටම උදව්කරන කෙනෙක්. ඒ වගේ පොලියානාලා ගොඩක් - සතුට බෙදන හදවත් ගොඩක් - මේ ලෝකෙට ඕනෙ.

දෙවෙනියා ආනන්ද්. හැත්තෑව දශකයේ භාරත සිනමාව ගැන උනන්දු අයටනම් මෙයා අමුත්තෙක් නෙවෙයි. 1971 තිරගත වූ ආනන්ද් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ මගේ ප්‍රථම ප්‍රේමය - රාජේශ් ඛන්නා. එයා ගැන කළිං මම ලියාපු එක කියවපු නැති අයට මෙන්න ආයෙත් පාර, ගිහින් කියවන්නකෝ. 


Anand (1971) චිත්‍රපටයේ පෝස්ටරයකි

අමිතාබ් භච්චන් ආනන්ද්ගේ හොඳම මිතුරා, ඒ වගේම වෛද්‍යවරයා. ආනන්ද් සුව කළ නොහැකි පිළිකා රෝගයකින් පෙළෙනවා. එයා දන්නවා එයාට තව මාස කීපයකට වඩා ජීවත්වෙන්න ඉතුරුවෙලා නැති බව. එහෙම තියෙද්දිත්, එයා දවස් ගෙවන්නේ හිනාවෙන්. රෝගයට අමතරව හිත පතුලේ කැකෑරෙන තවත් දුකක් තිබුණත් ඒ හැමදේම යටපත් කරගෙන එයා සිනහව බෙදනවා. එයාගේ වටේ ජීවත් වෙන හැමදෙනාවම ආනන්දයට, ප්‍රමෝදයට පත් කරනවා. කාත් කවුරුවත් නැති අනාථයෙකු විදිහට හැදී වැඩුණු ආනන්ද් තමාට හමු වන හැම දෙනාම ළබැඳි මිතුරු මිතුරියන්, සොයුරු සොයුරියන් බවට පත් කරගන්නවා. ඔහුගේ රෝගී තත්ත්වය ගැන දැනගන්නා එක් හිතවතියක් පවසන්නේ 'දෙවියන්ටද ඔහු නැතිව බැරිව ඇති' බවයි. භාරත රිදී තිරයේ සිහින කුමරාගේ ස්වර්ණමය යුගයේ තිරගත වූ මේ චිත්‍රපටයට හොඳම නළුවා ඇතුළු සම්මාන බොහොමයක් ලැබී තිබෙනවා. ආනන්ද්, පොලියානා වගේම සතුට බෙදන්නෙක්. ඒ වගේම, මරණය පෙනි පෙනී හිනාවෙන හැටි කියලා දෙන කෙනෙක්. මට ඒ චරිතය ගැන හිතද්දී ආයෙමත් මතක් වුණේ A Walk to Remember කතාන්දරයේ Jamie Sullivan. කාලෙකට පස්සේ ඊයේ රාත්‍රියේ මම ආයෙමත් වතාවක් මේ ආනන්ද් චිත්‍රපටය නැරඹුවා. කතාවට අමතරව ඒ චිත්‍රපටය බලන අතරේ කඳුළු සලන්නට මට ඊයේ තවත් හේතුවක් තිබුණා. 

රාජේශ් ඛන්නා මගේ විතරක් නෙවෙයි මගේ නංගීගේත් ප්‍රථම ප්‍රේමය. වෙන කොයි තරම් දේවල් ගැන අපි දෙන්නාට කෙහෙවලු පටලවගෙන, ගහ මරාගන්න හේතු තිබුණත් අපි දෙනා සමාදානයෙන්, එක සමාන රිද්මයෙන් ස්පන්ධනය වෙන හදවතකින් රසවිඳපු දෙයක් තිබුණා. ඒ තමයි මේ පැරණි භාරත සිනමාව. ටීවී රිමෝට් එකට, ඉඳගන්න පුටුවට අපි දෙන්නා රණ්ඩු නොවුණු මොහොතක් තිබුණානම් ඒකට එකම හේතුව රාජේශ් ඛන්නා සහ භාරත ගී වින්දන. අපේ ගෙදර රූපවාහිනී යන්ත්‍රය කෝමා තත්ත්වයට පත්වුණාට පස්සේ අලුත් රූපවාහිනියක් වඩම්මනකල් අපි එකතු වුණේ ගුවන් විදුලිය ළඟ. මැද සාලේ රේඩියෝව ළඟ පුටු දෙකක් උඩ දණ ගහගෙන ස්පීකර් දෙකට කන් දෙක විතරක් නෙවෙයි මුළු මූණම ඔබාගෙන තමයි අපි ගුවන් විදුලි නාට්‍ය ඇහැව්වේ. ෂර්ලොක් හෝල්ම්ස් කතා, බ්‍රහස්පතින්දා රෑට ගිය රහස් පරීක්ෂක කතා, ස්වර්ණ හංසි, ගම්මිරිස් මහත්තයාගේ කතාව. ඒත් වෙළඳ සේවයේ, පස්සේ සිටී එෆ් එම් සේවයේ පරණ හින්දි ගීත යන වෙලාවට අපි යන්නේ කාමරේ ලෝකු බෆල් දෙකක් තිබ්බ රේඩියෝව ළඟට. කාමරේ ලයිටුත් නිවාගෙන බෆල් දෙක ළඟ බිම ඉඳගෙන ඇස් පියාගෙන අපි ඒ ගීත ඇහැව්වේ.




මගේ ඒ නංගී ගිය මාසේ මනමාළියක් වෙලා එයා ආදරේ කරන මල්ලිගේ ගෙදරට ගියා. ඒ වෙඩිං එක දවසෙදිවත් අපි දෙන්නා ඇඬුවෙ නෑ. ඒත් ඊයෙ රෑ නංගියි මමයි දෙන්නාම ආදරේ කරපු රාජේශ් ඛන්නා ඉන්න ඒ චිත්‍රපටය බලද්දි මට නංගි ගෙදර නැති පාළුව ගොඩාක් දැනුණා. අයියාත්, මමත්, නංගීත් අපි දකින ගොඩාක් සහෝදර සහෝදරියෝ තරම් එළිපිටම ලොකූ බැඳීමක් පෙන්නුවේ නැතත් මේ වගේ තැන් තියෙනවා අපේ ජීවිතවලත්. අකුරු කරන්න හිතාගෙන හිටපු දෙයක් නෙවෙයි. ඒත් අකුරු නොකර බැරි වුණා. කොහොමවුණත්, අනිත් හැමෝටම වඩා මේ පාළුව ලොකුවටම දැනෙන කෙනෙක් අපේ ගෙදර ඉන්නවා. ඒ තමයි මගේ පැංචා. 'පූ' එක්ක එකතු වෙලා එයා කරපු වැඩ - කෑම හැදුවා, අත් වැඩ කළා, චිත්‍ර ඇන්දා, රණ්ඩු වුණා, ගහගත්තා, වෙඩින් එක කිට්ටු වෙද්දි කේක් පෙට්ටි, කාර්ඩ් ඇලෙව්වා, පෙට්ටිවලට කේක් දැම්මා - දැන් ඒ වැඩ කරන්න කෙනෙක් නෑනේ. ආච්චියි සීයායි එක්ක 'පූ'ත් එක්ක දාපු සෙල්ලං දාන්න බෑනේ. වෙඩින් එකෙන් පස්සේ 'පූ' වෙන ගෙදරක නවතින්න යනවා කියන එක තේරුම්ගන්න පැංචාට ටිකක් අමාරු වුණා.

ඒත් ඉතිං පොලියානා කියනවා වාගේ පාළුව අමතක කරලා සතුටු වෙන්න හේතුවක් හොයාගන්න එක තමයි අපිට දැන් කරන්න තියෙන්නේ. අලුත් බාප්පා කෙනෙක්, එයාගේ නෑදෑයෝ අපේ පවුලට එකතු වුණා... අපිට නෑ-ගමන් යන්න තවත් දිහාවක් එකතු වුණා... ඈතින් ඉන්න කොට 'පූ'ගේ හිතේ පැංචාට තියෙන ආදරේ තවත් වැඩි වෙනවා... 

පොලියානාගේ සතුටු බෙහෙතෙන් මාත්‍රාවක්... හැමදාම... පොඩ්ඩ පොඩ්ඩ...


ගෙවෙන දිනයක් පාසා 
තවමත් 
අලුත් දෑ උගනිමින් සිටිමි...
ජීවිතය
අපූරු ගුරුවරයෙකි...




11 comments:

  1. ඔය "පොලියානා" කතන්දර මම නම් කියවලා නැහැ.ඒ කොහොම වුනත් සහෝදර බැදීම් කියන්නේ හරිම අපුරු දෙයක්.සමහර විට එව්වා ගොඩක්ම දැනෙන්නේත් ඉන්න පරිසරයෙන් පොඩ්ඩක් දුරස් වුනාම.

    සුබ විවහා ජිවිතයකට නංගිට අපෙනුත් සුබ පැතුම් ...!

    ReplyDelete
    Replies
    1. පුළුවන්නම් පොලියානා පොත හොයාගෙන කියවන්න මල්ලි. මුල් කොටස මම කියෙව්වේ ඉංග්‍රීසි මුල් පොත. මේ දවස්වල දෙවෙනි කොටසේ මුල් පරිවර්තනය 'සතුට බෙදන පොලියානා' කියවනවා. මමනම් කැමතියි. ස්තූතියි සුබ පැතුමට. :)

      Delete
  2. පොලියානාගේ සතුටු බෙහෙතෙන් මාත්‍රාවක්... හැමදාම... පොඩ්ඩ පොඩ්ඩ...
    ගන්න කෙනෙක් මාත් ... ජීවිතේ ඔහොම තමයි.. හමුවීම් වෙන්වීම් එක්ක සතුට දුක මාරු වෙවී ගමන් කරනවා...

    ඔන්න "පු" ට අපිත් සුබ පැතුවා කියන්න...

    ReplyDelete
    Replies
    1. ආ, ඔයානම් 'පූ' ව අඳුරනවා නේද? ස්තූතියි නංගි සුබ පැතුමට. :)

      Delete
  3. රාජේෂ් බන්නා ප්‍රථම පේමය කිව්වට ඕක ඇත්තෙන්ම ක්‍රෂ් එකක්. ක්‍රෂ් එකට සිංහල වචනයක් හදන්න කාලෙ හරි

    ReplyDelete
    Replies
    1. ඇගේ නව දිවියට සුභ පැතුම්.

      Delete
    2. ඔය 'ඒක පාර්ශවීය ප්‍රේමය' කියන්නේ ඔහොම ක්‍රෂ් එකකටනේ. ඉතිං ඒක පාර්ශවීය වුණත්, ද්වීපාර්ශවීය වුණත් ප්‍රේමය ම නේ. ඉතිං අයියේ ඒ හින්දා තමයි 'ප්‍රථම ප්‍රේමය' කිව්වේ. අයියටත් ස්තූතියි සුබ පැතුමට. :)

      Delete
  4. පොලියානා කතා පොත් තුන ගැන අහල තිබුනට කියවන්න ලැබුනෙනෑ... භාරත ගී වින්දන මාත් ඉස්සර හරිම කැමති වැඩසටහනක්..
    පුට මගෙනුත් සුභපැතුම්...

    ReplyDelete
  5. මේ සටහන නම් ගොඩක් හදවතට දැනෙන විදියට ලියලා තියනවා. පුංචිලා ඉන්න පොඩ්ඩෝ හරිම වාසනාවන්තයි.

    ReplyDelete