Showing posts with label පොත්. Show all posts
Showing posts with label පොත්. Show all posts

277. මගේ පොත් හත...

අර බිත්තිය පුරා හිතෙන දේ ලියන පැතුම් මහත්තැන්ගේ අලුත් පෝස්ටුව දැකලා තමා මටත් මං ඔය බුකී චැලේන්ජ් එකට තෝරපු පොත් හත ගැන මෙතන ලියන්න හිතුණේ. මට ඒ චැලේන්ජ් එක කළේ කළින් රාජකාරි කරපු තැනක මල්ලි කෙනෙක්. බොහෝම අමාරුවෙන් දවස් ගාණක් හිතලා හිතලා පුංචි කාලේ ඉඳං ආසාවෙන් කියවාපු, හිතේ මුල් ඇදගෙන තියෙන ආසම පොත් ගොන්න අතුරෙන් හතක් තෝරගත්තේ. මං ඒ පොත් හතත් එක්ක ආපහු චැලේන්ජ් කොළේ ඒ කාලේ හිටංම මං දන්න අඳුනන පොත් ගුල්ලියො හත් දෙනෙක්ට. ඒක එක දිගට දවස් හතක්ම ඇදං ගියේ අපරාදෙ කියන්න බෑ මගේ නගා විතරයි. තව එකියක් පළවෙනි දවස විතරක් දාලා දැන් පේන හැටියට වැඩේ අත ඇරලා දාලා. තවත් එකියක් චැලේන්ජුව ඇක්සෙප්ට් කළාය, මට බොහෝම ඉස්තූතිය කියලාත් කියලා දැං මිසිං ඉන් ඇක්ෂන්. අනිත් එව්වොංගෙන් නෝ කතා නෝ සිනා. ඕං ඔහොමයි මට ඉන්න ආදරණීය යාළුවො. මං වගේමයි. :D

පොත් රාක්කේ අවුස්සලා ෆොටෝ ගන්ඩ තියෙන කම්මැලිකොමට මං මේ පින්තූරනං ඉස්සුවේ ජාලෙන් තමයි ඈ.

මේං මගේ පළවෙනි දවසේ පොත: Biggles - Capt. W. E. Johns



චැලේන්ජ් එකේ හැටියට පොතක කවරය විතරක් දාන්න වෙච්ච නිසා, මං මේ එක පොතක කවරයක් විතරක් හොයලා දැම්මා වුණාට බීගල්ස් කතා මාලාවේ හැම කතාවකටම මම එක වගේ කැමැතියි. එයාව මුළින්ම මට හමුවුණේ තාත්තාගේ පොත් එකතුවේ ඉඳලා. පිටු ගැලවිච්ච, පුංචි ඉංග්‍රීසි අකුරු තියෙන පරණ පොත බොහොම අමාරුවෙන් අකුරු ගැට ගහගෙන කියවන්න ගත්තත්, අන්තිමට පොත බිම තියන්න හිතුණෙ නැති තරම් මාව කතාවට ඇදිලා ගියා. ඊට පස්සේ බීගල්ස්ගේ පොත් හොය හොයා මම කියෙව්වා. එතනින් නවතින්නේ නැතුව ගුවන් හමුදා වික්‍රම පොත් හොය හොයා කියෙව්වා. පරණ පොත් කඩවල්වලින් ඒ ජාතියේ පොත් තොග පිටින් උස්සන් ආවා. ප්ලේන්වල, ෆයිටර් ජෙට්වල පිංතූර හොයාගෙන කාමරේ බිත්ති වැහෙන්න අලවගත්තා. මට ඕනවුණේ කවදාහරි ඒ වගේ පියාඹන්න. ඒක තමයි ඒ කාලේ මගෙ හීනේ වෙලා තිබුණේ. මගේ ඉස්කෝලේ යාළුවෝ හිතාගෙන හිටියෙත් මං කවදාහරි ඒ පැත්තෙන් ඉස්සරහට යයි කියලා. ඒක ඉතිං මගේ හැබෑ නොවිච්ච හීනයක්. හැබැයි කවදාහරි, මගේ අකුරුවලින් හරි මම ඒ හීනෙට ආපහු පණ දෙනවා. :)

දෙවෙනි දවස: The Mill on the Floss - George Elliot



කියවපු කතාන්දරේක හිටපු හැම චරිතයකටම මම කැමති වෙච්ච කතාන්දරයක් තියෙනවානම් ඒ තමයි මේක. මේ ගැනත් මං මීට කළින් ලියලා තියෙන නිසා වැඩි විස්තර ආයෙමත් කියන්න යන්නේ නැහැ. මේ තියෙන්නේ ඒ කළින් තොරතුරු: හැඳින්වීම කියවලා කැමතිනම් මම පරිවර්තනය කරපු ඒ සංක්ෂිප්ත කතාන්දරයත් කියවලාම එන්නකෝ.

තුන්වෙනි දවස: මාවතේ ගීතය - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය



පුංචි කාලේ ඉඳන්ම, ඉඳගන්න පුටුවේ ඉඳන් අඳින ඇඳුමට වෙනකල් ගහ මරාගත්ත නංගියි මායි රණ්ඩු නොවිච්ච කාරනා දෙකක් තිබ්බා. ඒ තමයි ඉන්දියානු සාහිත්‍යය සහ ඉන්දියානු සිනමාව. අපි දෙන්නාම රාජේශ් ඛන්නාට දන්න කාලේ ඉඳන්ම ලව්. ඊට පස්සේ හිටපු නළුවොන්ගෙන් අපි දෙන්නාම වැඩියෙන්ම කැමති වුණේ අක්ෂේ ඛන්නාට. අපි දෙන්නාම පරණ හින්දි සින්දු ඇහැව්වේ රේඩියෝ එක ළඟ එකට ඉඳගෙන. ඒ වෙලාවටනං ටීවී එක ඉස්සරහා පුටුවට තිබ්බ රණ්ඩු අපි අතරේ තිබ්බෙ නෑ. ඉතිං ඔය ඇරෙන්න අපි දෙන්නාම ආදරේ කරපු අනිත් කෙනා තමයි 'අපූ'. මේ විභූතිභූෂණයන් අකුරුවලින් පණ දීපු අපූ එහෙමත් නැත්නම් ශ්‍රී අපූර්ව රායි කුමාර් අපිට පුංචි දරුවෙක් විදිහට මුළින්ම හම්බවෙන්නේ මේ 'මාවතේ ගීතය' පොතෙන්. ඊට පස්සේ අපූ ඉගෙනගන්න කාළේ ගැන කියවෙන 'අපරාජිත ජීවිතයක්' සහ වැඩිහිටියෙකු වූ අපූ ගැන කියවෙන 'අපූගේ ලෝකය' අපිව සුන්දර බෙංගාලය පුරා බොහොම සංවේදී ගමනක් එක්ක යනවා. මේ තුන් ඈඳුතු කතාන්දරය සත්‍යජිත් රායි සිනමාවේදියාණන් අපූරුවට සිනමාවට නැගුවා. මගේ මුල්ම ආදරය රාජේශ් ඛන්නා වුණත්, සාහිත්‍ය ලෝකයෙන් හමුවුණු වීරයන්ගෙන් මගේ මුල්ම ආදරය වුණේ අපූ. විවාහය ගැන හිතන කාලෙකදි - මහ ලොකු කාලෙකදි නෙවෙයි ඉතින්, අවුරුදු දාහතර පහළොව විතර කාලෙදි - මං හිතාගෙන හිටියේ මං කවදාහරි බඳින්නේ අපූ වගේ කෙනෙක්ව කියලා. මගේ සිත්තරා ඉතින් අපූට වඩා වෙනස් වෙන්නේ බොහොම අඩුවෙන්. :)

හතරවෙනි දවස: Pollyanna - Eleanor H. Porter



මේ පොත මං කියෙව්වේ බොහොම මෑතකදි. 'මෙච්චර කාලයක් ඇයි දෙයියනේ මං මේක කියෙව්වේ නැත්තේ' කියලා මටම මගෙන් අහගන්න හිතුණ ජාතියේ කියවීමක් ඒක. මේ පොත මට අඳුන්වලා දුන්නේ පොලියානාගේ සතුටු සෙල්ලම ඇත්තටම ප්‍රගුණ කරපු, කොයිතරම් ගැටළුකාරී අවස්ථාවක වුණත් හිනාවෙලා අනිත් අයවත් සතුටින් තියන්න පුළුවන්, සතුට බෙදන ආදරණීය අක්කා කෙනෙක්. දැනට ජීවතුන් අතර නැති ප්‍රවීණ පරිවර්තක මහත්මයෙකුගේ දියණියක්. ලොකු පොඩි හැම දෙනාම නොවැරදීම කියවිය යුතු පොතක් විදිහට මං දකින, ජීවිතයට වටිනා දේවල් ගොඩක් එකතු කරගන්න පුළුවන් පොතක්. මේ පොතේ දෙවෙනි පොත තමයි Pollyanna Grows Up. මේ පොත් දෙක, 'පොලියානා', 'සතුට බෙදන පොලියානා' සහ 'ජිමී සහ පොලියානා' නම්වලින් පොත් තුනක් ලෙස සිංහලයට පරිවර්තනය වෙලා තියෙනවා.

පස්වෙනි දවස: Just William - Richmal Crompton



මේ විලියම් උන්නැහැගෙයි මගෙයි තියෙන ඇයි හොඳයිය ගැන මං මීට කළිනුත් කියලා තියෙනවනේ. ඒ ගැන මතක නැති අයට ඔන්න ආයෙමත් ගිහින් කියවලා බලන්න:

පිට්ටු - 01 කොටස, 02 කොටස
කාර්යබහුල දිනයක් - 01 කොටස, 02 කොටස
කඩාකප්පල්කාරයා - 01 කොටස, 02 කොටස

හයවෙනි දවස: මහරජ ගැමුණු - ජයන්ත චන්ද්‍රසිරි



ඓතිහාසික නවකතාවලට ඉස්සර ඉඳන්ම පෙම් බැන්ද මං මේ තරම් ප්‍රබල විදිහට ගොඩනැගුණු, මගේ ප්‍රියතම ඓතිහාසික වීරවරයා ගැන - ගැමුණු රජුන් ගැන - ලියවුණු කතාන්දරයකට ආසා වීම පුදුමයක් නෙවෙයි. ජයන්ත චන්ද්‍රසිරි 'මහරජ ගැමුණු' නමින් චිත්‍රපටයක් කරන්නට යන බව ආරංචි වූ කාලයේ ඉඳන්ම මං පුලපුලා බලාගෙන හිටියේ ඒක බලන්න. ඒත් යම් යම් බාධක හේතුවෙන් ඒක එතුමා බලාපොරොත්තු වෙච්ච කාලයේදී කරන්නට බැරිවුණ නිසා මුළින් පුවත්පත් ලිපි පෙළක් විදිහටත්, පස්සේ මේ පොත විදිහටත් ඒ කතාන්දරය පළ වුණා. සංසාරය නැමැති ගංගාවෙන් එගොඩ වීම තමයි බෞද්ධයන් හැටියට අප හැමදෙනාගේම අවසන් ප්‍රාර්ථනාව. නමුත් මේ එගොඩවන්නට තිබෙන 'ඔරුව' යම් යම් කාලවලදී දැඩි අනතුරුවලට, තර්ජනවලට මුහුණපානවා. එවැනි අවස්ථාවලදී කවුරුන් හෝ ඉදිරිපත් වී ඒ 'ඔරුව' ආරක්ෂා කරගත්තේ නැත්නම්, අනාගතයේ කිසිවෙකුට එගොඩවන්නට නොහැකි ලෙස ඒ 'ඔරුව' විනාශවෙලා යනවා. නිවන් මග වෙත යොමු වී, මරණාසන්නව සිටි සාමණේරයන් වහන්සේ විහාර මහා දේවියගේ ආරාධනයෙන් ගැමුණු කුමරු විදිහට ඇගේ කුස පිළිසිඳගන්නේ අන්න ඒ 'ඔරුව සුරැකීමේ' වගකීම දරන්නට. ගැමුණු කුමරුන් මගේ වීරයෙක් වන්නේ අන්න ඒ නිසා. එය ඉතාමත් ලස්සනට පෙළ ගස්වා ඉදිරිපත් කර ඇති මේ පොත මා වඩාත් ආදරේ කරන කෘතියක් වන්නේත් අන්න ඒ නිසා.

හත්වෙනි දවස: A Walk to Remember - Nicholas Sparks



මේ කතුවරයාගේ පොත්වලට මං සෑහෙන්න කැමතියි. මේක තමයි මම කියවපු නිකලස් ස්පාර්ක්ස්ගේ පළවෙනි පොත. සිංහලෙන් ලියවුණු ආදර කතා වැඩිය කියවලා නැති මං ඉන් පස්සේ මේ කතුවරයා ලියාපු එව්වා හොය හොයා කියවන්න ගත්තා. ඒ තරමට හදවතට සමීපව දැනෙන රටාවකට ආදරේ ගැන කතා කරන්න මේ කතුවරයා දක්ෂයි. ඒ අකුරුවල 'ආදරේට තියෙන ආදරේ' කැටි වෙලා තියෙනවා. දුක්බර අවසානයක් වුණත් හිතේ පීඩාකාරී බරක් ඉතුරු නොකර 'bitter-sweet feeling' එකකින් ඒ අවසානය බාරගන්න කියවන්නන් පෙළඹෙනවා. නිකලස් ස්පාර්ක්ස්ගේ කතන්දර ගොන්න අතරෙන් මේක මගේ කැමතිම කතාව වෙන්න හේතුව තමයි මේ කතාවෙන් හිතට දනවන භාවනාවක් වගේ හිත පහන් කරවන ගතිය. ආක්‍රමණශීලී, ආවේගශීලී කිසිම දෙයක් නැති, හිත බොහොම සුවපත් කරවන කතාන්දරයක්. 

ඉතින් ඔය තමයි මං කියවලා තියෙන පොත් අතරෙන් මගේ හිත තදින්ම ඇද බැඳගත්ත පොත් විදිහට මට මතක් වෙච්ච පොත් හත. ෆේස්බුක් එකේ කවරේ විතරක් දාලා නැවතුණ මේ පොත් කතාව, වැඩි විස්තර ඇතුව බ්ලොග් අවකාශයට ගෙනාපු පැතුම්ටත්, එයට මුල් පියවර තියලා තිබුණ දේශකතුමාටත් මගේ ස්තූතිය. :)




217. පොලියානා, ආනන්ද්, සතුට සහ මතක...

පොලියානා කියන සතුට බෙදන පුංචි දේදුන්න ගැන දන්නෙ නැති කෙනෙක් නැතුව ඇති මං හිතන්නේ. පොලියානා විටියර් (Pollyanna Whittier) කියන්නේ ඇමරිකානු ලේඛිකා එලීනෝර් එච්. පොර්ටර් (Eleanor H. Porter [1868 - 1920]) මවපු අපූරු පුංචි කෙලි පැටික්කියෙක්. 1913 වසරේදී ලියැවුණු Pollyanna නවකතාවට පසුව 1915 වසරේදී Pollyanna Grows Up නමින් ඈදුතු කතාවකුත් ඇය එකතු කළා. මේ පොත් ද්විත්වය 'පොලියානා', 'සතුට බෙදන පොලියානා' සහ 'ජිමී සහ පොලියානා' නමින් සිංහලයටත් පරිවර්තනය වෙලා තියෙනවා. මේ අපූරු කෙලි පැංචි මට මුණගැහුණේ මේ බොහොම ළඟකදි. මෙච්චර කල් ඒ පැංචිව අඳුනගත්තෙ නැත්තෙ මොකද කියලා මට දැං මගෙන්ම අහන්න වෙලා. 


පොලියානා ටෙලි චිත්‍රපටයේ රඟපෑ Amanda Burton දැරියගේ ඡායාරූපයකි

පොලියානා ඇත්තෙන්ම සතුට බෙදන්නියක්. යන යන තැන හැම දෙනාගෙම හිත සතුටෙන් පුරවන, හිත කඩා වැටෙන තැනකදි සතුටු සෙල්ලම කරන හැටි කියලා දෙන පඬිවරියක්. මේ ලෝකේ ඉන්න හැම දෙනාම නොවැරදීම කියවන්න ඕන පොතක් - අඳුනගන්න ඕන චරිතයක්. එයාගේ සතුටු සෙල්ලම කරන එක ලේසි නෑ, හොඳ ඉවසීමක් පුහුණුවක් තියෙන්න ඕනේ ඒකට. මේ පොත කියවන්න කියලා මට නිර්දේශ කරපු අක්කානම් ඇත්තටම මේ සෙල්ලම ප්‍රගුණ කරපු කෙනෙක්. ඕන කෙනෙක් කියන ඕන දෙයක් අහන් ඉන්න එයාට ඕන තරම් වෙලාවයි, ලොකු කනකුයි, ලොකු හදවතකුයි තියෙනවා. කොච්චරවත් හිනා වෙලා ඉන්න, හැම කෙනාටම උදව්කරන කෙනෙක්. ඒ වගේ පොලියානාලා ගොඩක් - සතුට බෙදන හදවත් ගොඩක් - මේ ලෝකෙට ඕනෙ.

දෙවෙනියා ආනන්ද්. හැත්තෑව දශකයේ භාරත සිනමාව ගැන උනන්දු අයටනම් මෙයා අමුත්තෙක් නෙවෙයි. 1971 තිරගත වූ ආනන්ද් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ මගේ ප්‍රථම ප්‍රේමය - රාජේශ් ඛන්නා. එයා ගැන කළිං මම ලියාපු එක කියවපු නැති අයට මෙන්න ආයෙත් පාර, ගිහින් කියවන්නකෝ. 


Anand (1971) චිත්‍රපටයේ පෝස්ටරයකි

අමිතාබ් භච්චන් ආනන්ද්ගේ හොඳම මිතුරා, ඒ වගේම වෛද්‍යවරයා. ආනන්ද් සුව කළ නොහැකි පිළිකා රෝගයකින් පෙළෙනවා. එයා දන්නවා එයාට තව මාස කීපයකට වඩා ජීවත්වෙන්න ඉතුරුවෙලා නැති බව. එහෙම තියෙද්දිත්, එයා දවස් ගෙවන්නේ හිනාවෙන්. රෝගයට අමතරව හිත පතුලේ කැකෑරෙන තවත් දුකක් තිබුණත් ඒ හැමදේම යටපත් කරගෙන එයා සිනහව බෙදනවා. එයාගේ වටේ ජීවත් වෙන හැමදෙනාවම ආනන්දයට, ප්‍රමෝදයට පත් කරනවා. කාත් කවුරුවත් නැති අනාථයෙකු විදිහට හැදී වැඩුණු ආනන්ද් තමාට හමු වන හැම දෙනාම ළබැඳි මිතුරු මිතුරියන්, සොයුරු සොයුරියන් බවට පත් කරගන්නවා. ඔහුගේ රෝගී තත්ත්වය ගැන දැනගන්නා එක් හිතවතියක් පවසන්නේ 'දෙවියන්ටද ඔහු නැතිව බැරිව ඇති' බවයි. භාරත රිදී තිරයේ සිහින කුමරාගේ ස්වර්ණමය යුගයේ තිරගත වූ මේ චිත්‍රපටයට හොඳම නළුවා ඇතුළු සම්මාන බොහොමයක් ලැබී තිබෙනවා. ආනන්ද්, පොලියානා වගේම සතුට බෙදන්නෙක්. ඒ වගේම, මරණය පෙනි පෙනී හිනාවෙන හැටි කියලා දෙන කෙනෙක්. මට ඒ චරිතය ගැන හිතද්දී ආයෙමත් මතක් වුණේ A Walk to Remember කතාන්දරයේ Jamie Sullivan. කාලෙකට පස්සේ ඊයේ රාත්‍රියේ මම ආයෙමත් වතාවක් මේ ආනන්ද් චිත්‍රපටය නැරඹුවා. කතාවට අමතරව ඒ චිත්‍රපටය බලන අතරේ කඳුළු සලන්නට මට ඊයේ තවත් හේතුවක් තිබුණා. 

රාජේශ් ඛන්නා මගේ විතරක් නෙවෙයි මගේ නංගීගේත් ප්‍රථම ප්‍රේමය. වෙන කොයි තරම් දේවල් ගැන අපි දෙන්නාට කෙහෙවලු පටලවගෙන, ගහ මරාගන්න හේතු තිබුණත් අපි දෙනා සමාදානයෙන්, එක සමාන රිද්මයෙන් ස්පන්ධනය වෙන හදවතකින් රසවිඳපු දෙයක් තිබුණා. ඒ තමයි මේ පැරණි භාරත සිනමාව. ටීවී රිමෝට් එකට, ඉඳගන්න පුටුවට අපි දෙන්නා රණ්ඩු නොවුණු මොහොතක් තිබුණානම් ඒකට එකම හේතුව රාජේශ් ඛන්නා සහ භාරත ගී වින්දන. අපේ ගෙදර රූපවාහිනී යන්ත්‍රය කෝමා තත්ත්වයට පත්වුණාට පස්සේ අලුත් රූපවාහිනියක් වඩම්මනකල් අපි එකතු වුණේ ගුවන් විදුලිය ළඟ. මැද සාලේ රේඩියෝව ළඟ පුටු දෙකක් උඩ දණ ගහගෙන ස්පීකර් දෙකට කන් දෙක විතරක් නෙවෙයි මුළු මූණම ඔබාගෙන තමයි අපි ගුවන් විදුලි නාට්‍ය ඇහැව්වේ. ෂර්ලොක් හෝල්ම්ස් කතා, බ්‍රහස්පතින්දා රෑට ගිය රහස් පරීක්ෂක කතා, ස්වර්ණ හංසි, ගම්මිරිස් මහත්තයාගේ කතාව. ඒත් වෙළඳ සේවයේ, පස්සේ සිටී එෆ් එම් සේවයේ පරණ හින්දි ගීත යන වෙලාවට අපි යන්නේ කාමරේ ලෝකු බෆල් දෙකක් තිබ්බ රේඩියෝව ළඟට. කාමරේ ලයිටුත් නිවාගෙන බෆල් දෙක ළඟ බිම ඉඳගෙන ඇස් පියාගෙන අපි ඒ ගීත ඇහැව්වේ.




මගේ ඒ නංගී ගිය මාසේ මනමාළියක් වෙලා එයා ආදරේ කරන මල්ලිගේ ගෙදරට ගියා. ඒ වෙඩිං එක දවසෙදිවත් අපි දෙන්නා ඇඬුවෙ නෑ. ඒත් ඊයෙ රෑ නංගියි මමයි දෙන්නාම ආදරේ කරපු රාජේශ් ඛන්නා ඉන්න ඒ චිත්‍රපටය බලද්දි මට නංගි ගෙදර නැති පාළුව ගොඩාක් දැනුණා. අයියාත්, මමත්, නංගීත් අපි දකින ගොඩාක් සහෝදර සහෝදරියෝ තරම් එළිපිටම ලොකූ බැඳීමක් පෙන්නුවේ නැතත් මේ වගේ තැන් තියෙනවා අපේ ජීවිතවලත්. අකුරු කරන්න හිතාගෙන හිටපු දෙයක් නෙවෙයි. ඒත් අකුරු නොකර බැරි වුණා. කොහොමවුණත්, අනිත් හැමෝටම වඩා මේ පාළුව ලොකුවටම දැනෙන කෙනෙක් අපේ ගෙදර ඉන්නවා. ඒ තමයි මගේ පැංචා. 'පූ' එක්ක එකතු වෙලා එයා කරපු වැඩ - කෑම හැදුවා, අත් වැඩ කළා, චිත්‍ර ඇන්දා, රණ්ඩු වුණා, ගහගත්තා, වෙඩින් එක කිට්ටු වෙද්දි කේක් පෙට්ටි, කාර්ඩ් ඇලෙව්වා, පෙට්ටිවලට කේක් දැම්මා - දැන් ඒ වැඩ කරන්න කෙනෙක් නෑනේ. ආච්චියි සීයායි එක්ක 'පූ'ත් එක්ක දාපු සෙල්ලං දාන්න බෑනේ. වෙඩින් එකෙන් පස්සේ 'පූ' වෙන ගෙදරක නවතින්න යනවා කියන එක තේරුම්ගන්න පැංචාට ටිකක් අමාරු වුණා.

ඒත් ඉතිං පොලියානා කියනවා වාගේ පාළුව අමතක කරලා සතුටු වෙන්න හේතුවක් හොයාගන්න එක තමයි අපිට දැන් කරන්න තියෙන්නේ. අලුත් බාප්පා කෙනෙක්, එයාගේ නෑදෑයෝ අපේ පවුලට එකතු වුණා... අපිට නෑ-ගමන් යන්න තවත් දිහාවක් එකතු වුණා... ඈතින් ඉන්න කොට 'පූ'ගේ හිතේ පැංචාට තියෙන ආදරේ තවත් වැඩි වෙනවා... 

පොලියානාගේ සතුටු බෙහෙතෙන් මාත්‍රාවක්... හැමදාම... පොඩ්ඩ පොඩ්ඩ...


ගෙවෙන දිනයක් පාසා 
තවමත් 
අලුත් දෑ උගනිමින් සිටිමි...
ජීවිතය
අපූරු ගුරුවරයෙකි...




200. Me Before You...

Will Traynor and Louisa Clark - from the movie 'Me Before You'
ක්ලාර්ක්,

ඔයා මේ ලියමන කියවද්දි මං හිතන්නේ සති දෙක තුනක් විතර පහු වෙලා ඇති (ඔයාගෙ අලුතෙන් හොයාගැනුණු සංවිධානාත්මක කුසලතා එක්ක වුණත් ඔයාට සැප්තැම්බර් මුළට කළින් පැරිසියට යන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නෙ නෑ). පදික වේදිකාව උඩ කොයිම විදිහකින්වත් කෙළින් තියාගන්න බැරි අර යකඩ පුටුවක් උඩට වෙලා ඔයා දැන් ඔය බොන කෝපි කෝප්පෙ හොඳ රසට සුවඳට ඇති කියලා මං හිතනවා. කිඹුලා බනිස් ගෙඩියත් උණු උණුවෙන්ම ඇති. මාර්ක්විස් හෝටලේ හොඳ තැනක්. ආපහු දවල් කෑම වේලටත් ඔතනට එන්න බලාපොරොත්තුවක් තියෙනවනං, ඔතන මාළුත් සෑහෙන්න හොඳයි. ඔතන ඉඳන් වම් පැත්තට හැරිලා බැලුවොත් ඔයාට පෙනෙයි ලෙ'ආර්ටිසන් සුවඳ විළවුන්හළ. මේ ලියුම කියවලා ඉවර වුණාට පස්සේ ඔයා එතනට ගිහින් පැපිලොන්ස් එක්ස්ට්‍රීම් වගේ නමක් තියෙන ජාතියක් තියෙනවා (නම හරියටම මතක නැහැ), ඒක අරගන්න. මට කොයිවෙලෙත් හිතුණ දෙයක් තමයි ඒ සුවඳ ඔයාට හොඳට ගැලපෙයි කියන එක.
 

හරි එහෙනං, උපදෙස් ඉවරයි. කරුණු කීපයක් තියෙනවා මට ඔයාට කියන්න ඕන වුණ, කෙළින්ම ඔයාට කියන්න තිබුණ, ඒත් 1) මං කියන එක අහං ඉන්න එක පැත්තක තියලා ඔයා අඬන්න පටන්ගනියි, 2) මං මේ කියන්න හදන එක ඔයා මට කියන්න දෙන්නෙ නැති වෙයි. කොයි වෙලෙත් ඔයාගෙ කියවිල්ලනේ.
 

ඉතින් මේකයි මට කියන්න ඕන වුණේ: මයිකල් ලෝලර්ගෙන් ඔයාට ලැබුණ මුල් කවරයේ තිබ්බ චෙක් එක මුළු මුදලම නෙවෙයි, ඒක ඔයාට රස්සාවක් නැතුව ගෙවන්න වෙන මුල් සති කීපයටත් ඔයාට පැරිසියට එන්නත් දීපු පොඩි තෑග්ගක් විතරයි.
 

ආපහු එංගලන්තෙට ගියාට පස්සේ, මයිකල්ගේ ලන්ඩන් කාර්යාලයට මේ ලියුම අරගෙන යන්න, එතකොට එයා දෙයි ඔයාගෙ නමින් මං වෙනුවෙන් එයා ඇරපු ගිණුමක ලියකියවිලි. ඒ ගිණුමේ තියෙනවා ඔයාට නවතින්න හොඳ තැනක් ගන්නත්, ඔයාගේ උපාධියටත්, ඒ උපාධිය කරනකල් ඔයාට ජීවත් වෙන්නත් ඕන කරන මුදල්.
 

මගේ අම්මලාට මේ ගැන දැනුම් දෙයි. මේ ලියුමත්, මයිකල් ලෝලර්ගේ ලියකියවිලිත් නිසා ඒ ගොල්ලෝ වැඩි කලබලයක් කරන එකක් නෑ කියලා මං හිතනවා.
 

ක්ලාර්ක්, මට දැන් ඇහෙනවා වගේ ඔයා මහ හයියෙන් හුස්ම ගන්න හැටි. මේක ගැන බයවෙන්නවත්, මේක අතඇරලා දාන්න හදන්නවත් එපා - ඔයාගෙ ඉතිරි මුළු ජීවිත කාලෙටම ඔහේ පුටුවක් උඩට වෙලා පස්ස රත් කර කර ඉන්න පුළුවන් වෙන තරං සල්ලියක් ඒකෙ නෑ. ඒත් ඒකෙන්, ඔය අපි දෙන්නම ගම කියලා කියන, ලෝකෙන් හැංගිච්ච පොඩි නගරෙනුත්, මෙච්චර කල් ඔයා ගන්න ඕනෙ කියලා හිතාගෙන ගත්ත තීරණ වලිනුත් ඔයාට නිදහස් වෙන්න පුළුවන් වෙයි.

මං මේ සල්ලි ඔයාට දෙන්නෙ, ඒ ගැනම හූල්ල හූල්ල ඔයා කල්පනා කරනවා බලන්නවත්, ඔයාව ණයකාරියක් කරවන්නවත් නෙවෙයි. මේක කොහෙත්ම මගෙන් ලැබෙන මළ ඉලව් සිහිවටනෙකුත් නෙවෙයි.


මං ඒ සල්ලි ඔයාට දෙන්නෙ, තව දුරටත් මාව සතුටු කරන්න පුළුවන් දේවල් මේ ලෝකෙ ඉතුරු වෙලා නැති වුණත්, ඔයාට සතුටු වෙන්න පුළුවන් ගොඩක් දේවල් මේ ලෝකේ තියෙන නිසා.
 

මං දන්නවා, මාව අඳුනගන්න ලැබුණ එකෙන් අන්තිමට ඔයාට දුකක්, වේදනාවක් ඉතුරු වුණා කියලා. ඒත් ඔයාට මාත් එක්ක තියෙන කේන්තිය අඩු වෙච්ච කාලෙක, ඔයාගෙ හිත හදාගන්න පුළුවන් වෙච්ච කාලෙක ඔයාට තේරෙයි මට මං කරපු දේ ඇර වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා තිබ්බෙ නැති බවත්, ඔයා මාව මුණ නොගැහී හිටියනම් ඔයාට ලැබෙන්න තිබුණ ජීවිතේට වඩා හොඳ, ඉහළ ජීවිතයක් මාව මුණගැහුණ නිසා ඔයාට ලැබුණ බවත්.
 

ඔයාගේ අලුත් ලෝකෙට හුරු වෙනකල් ඔයාට ටිකක් අමාරු දවස් කීපයකට මූණ දෙන්න වෙයි. කෙනෙක්ගේ ආරක්ෂිත කලාපයෙන් එකපාරටම එළියට විසි වෙනවා කියන එක එච්චරම ලේසි දෙයක් නෙවෙයිනේ. ඒත් මං හිතනවා ඒ හැම දෙයක්ම මැද ඔයාගෙ හිතට ලොකු ප්‍රාණවත් බවක් දැනෙයි කියලා. එදා මුහුදෙ කිමිදිලා උඩ ආපු වෙලාවේ ඔයාගේ මූණෙ තිබ්බ සතුට මට හැමදේම කිව්වා; ඔයාගේ හිත ඇතුලේ ලොකු ගින්නක් තියෙනවා ක්ලාර්ක්. බය නැති කමක්; අලුත් දේවල් හොයාගෙන යන්න, අත්විඳින්න තියෙන ඇම්මක්. ඒත් ඔයා මෙච්චරකල් ඉඳලා තියෙන්නේ අනිත් හුඟක් දෙනා වගේ ඒ ගින්න යටපත් කරගෙන.
 

මං කියන්නෙ නෑ ඔයාට උස ගොඩනැගිලි වලින් බිමට පනින්නවත්, තල්මස්සු එක්ක පීනන්නවත් කියලා (හැබැයි එහෙම කරනවා කියලා හිතන්න මං හිත යටින් කැමති වෙයි සමහරවිට). ඒත් ජීවිතේ ගැන, ලෝකෙ ගැන බය නොවී ජීවත් වෙන්න. ජීවිතේට එක තැන නතර වෙලා පල් වෙන්න දෙන්න එපා, ඇදගෙන යන්න. ඔයාගෙ අර මී මැසි කලිසම අඳින්න ලැජ්ජ වෙන්න එපා, ඒක ආඩම්බරෙන් අඳින්න. ඒ එක්කම, ඔයා මොකෙක් හරි විගඩංකාරයෙක් එක්ක එකලාසයක් වෙන්න එහෙම හිතාගෙන ඉන්නවානං, මතක ඇතුව මෙයින් කොටසක් පස්සෙ කාලෙක ගන්න කොහෙ හරි අරන් තියලා තියන්න. කවදාහරි ප්‍රයෝජනේට ගන්න පුළුවන් ඉතුරුවක් තියාගන්න එක හිතට සහනයක්. ඒ දේට මගෙනුත් සම්මාදමක් ලැබුණා කියලා දැනෙන එක මටත් සහනයක්.
 

අන්තිමට මේ ටිකත් කියන්න ඕනේ. ඔයා මගේ හදවතේ සලකුණු වෙලා ඉන්නෙ ක්ලාර්ක්. ඔයාගෙ විකාර ඇඳුම් එක්ක, කමකට නැති මෝඩ විහිළු කතා එක්ක, ඔයාට දැනෙන කිසිම දෙයක් හංගගෙන ඉන්න බැරි ඔයාගේ අව්‍යාජකමත් එක්ක ඔයා මං ඉස්සරහට ඇවිදගෙන ආපු ඒ මුල්ම දවසේ ඉඳන් ඔයා මගෙ හදවතේ හිටියා. මේ සල්ලි වලට ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ප්‍රමාණෙට වඩා ලොකු ප්‍රමාණෙකින් ඔයා මගේ ජීවිතේ වෙනස් කළා.

මං ගැන වැඩිය හිතන්න එපා. ඔයා කඳුළු පෙරාගෙන මූණ බෙරි කරගෙන ඉන්න හැටි හිතන්න මට ඕනෙ නෑ. හොඳින් ජීවත් වෙන්න, එච්චරයි.


ජීවිතේ විඳින්න.


ආදර, 

විල්


~~~
Translated from 'Me Before You' by Jojo Moyes


196. නමක මහිම...06 (අවසන් කොටස)

III ජවනිකාව

දර්ශනතලය: වූල්ටන් වළව්වේ විසිත්ත කාමරය

[ග්වෙන්ඩලින් සහ සිසිලි කවුළුව අසළ හිඳගෙන උද්‍යානය දෙස බලා හිඳිති.]

ග්වෙන්ඩලින්:

වෙන කෙනෙක්නං මෙලහට අපේ පස්සෙන් ගෙට ඇවිල්ලා. ඒත් ඒ දෙන්නා එහෙම කළේ නෑ කියන්නෙ මට හිතෙනවා ඒ දෙන්නා ළඟ ලැජ්ජාව කියන දේ පොඩ්ඩක් හරි ඉතුරු වෙලා තියෙනවා කියලා.

සිසිලි:
ඒ දෙන්නා සීනි බනිස් කනවා. හරිම හිත් අමාරුවෙන් වගේ ඉන්නේ.

ග්වෙන්ඩලින්:
[මද නිහැඬියාවකට පසුව]
තාමත් අපිව දැක්කෙ නෑ මං හිතන්නෙ. ඔයාට පොඩ්ඩක් කහින්න බැරිද?

සිසිලි:
ඒත් මට කැස්සක් නෑනේ.

ග්වෙන්ඩලින්:
අන්න අන්න මේ පැත්ත බැලුවා.


සිසිලි:
අන්න අන්න මේ පැත්තට එනවා. හරිම එඩිතරයිනේ.

ග්වෙන්ඩලින්:
අපි ගණන්ගන්නෙ නැතුව වාගෙ සද්ද නැතුව ඉමු.

සිසිලි:
ඔව් ඔව්, ඒක තමයි දැන් කරන්න තියෙන්නෙ. [ජැක්ද ඒ පසුපසින් ඇල්ජර්නන්ද පැමිණේ. ඔවුහු බ්‍රිතාන්‍ය ඔපෙරාවක තනුවක් සිවුරුහන්බාමින් සිටිති.]

ග්වෙන්ඩලින්:
අපි ගණන්ගන්නෙ නැතුව වගේ සද්ද නැතුව ඉන්න එක හරි නැද්ද මන්දා.

සිසිලි:
ඒක තමයි නේද.

ග්වෙන්ඩලින්:
ඒත් අපි කොහොමද මුළින් කතා කරන්නේ. ඒක කරන්න බෑනේ, නේද?

සිසිලි:
අපොයි බෑ!

ග්වෙන්ඩලින්:
වර්දිං මහත්මයා, මට තියනවා අහන්න ප්‍රශ්නයක්.

සිසිලි:
ඇති යාන්තං. මගේ හොඳ ග්වෙන්ඩලින්! මොන්ක්‍රීෆ් මහත්මයා, මට මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න: ඇයි ඔයා මගේ භාරකාර මහත්මයාගේ සහෝදරයා විදිහට රඟපෑවෙ?

ඇල්ජර්නන්:
මට ඔයාව මුණගැහෙන්න ඒකෙන් ඉඩක් ලැබෙන නිසා.

සිසිලි:
[ග්වෙන්ඩලින් අමතා] ඒක හරිම හොඳ උත්තරයක්, නැද්ද?

ග්වෙන්ඩලින්:
ඇත්තටම ඔව්, එයා කියන්නෙ ඇත්තයි කියලා ඔයාට විශ්වාස කරන්න පුළුවන්නම්.

සිසිලි:
මං විශ්වාස කරන්නෙ නෑ. ඒත් ඒකෙන් එයාගෙ උත්තරේ ලස්සන අඩු වෙන්නෙ නෑනේ.

ග්වෙන්ඩලින්:
ඇත්ත. වැදගත් අවස්ථා වලදි විශ්වාසය නෙවෙයි, ඒකෙ තියෙන ලස්සනට තමයි මුල් තැන දෙන්න ඕනෙ. වර්දිං මහත්මයා, තමුන්ට සහෝදරයෙක් ඉන්නවා කියලා මට බොරු කරන්න හේතුව වුණේ මොකද්ද? ඒ පුළුවන් හැම වෙලාවෙම මාව බලන්න නගරෙට එන්න හේතුවක් විදිහටද?

ජැක්:
ඒ ගැන සැකයක් තියෙනවද මිස් ෆෙයාර්ෆැක්ස්?

ග්වෙන්ඩලින්:
ඒ ගැන මට සෑහෙන ලොකු සැක ගොඩක් තියෙනවා. ඒත් ඒවා මං අමතක කරලා දාන්න ලෑස්තියි. මේ ඔය සැක සංකා ගැන වාද විවාද කරන්න වෙලාවක් නෙවෙයි. [සිසිලි වෙත යමින්] මේගොල්ලන්ගේ උත්තර බොහොම සතුටුදායකයි කියන්න පුළුවන්, වැඩියෙන්ම වර්දිං මහත්මයාගේ. ඇත්තමයි කියන සහතිකේ ඒ උත්තරේට මට දෙන්න පුළුවන්.

සිසිලි:
මොන්ක්‍රීෆ් මහත්මයාගේ උත්තරෙන් මටත් හොඳටම සෑහීමට පත්වෙන්න පුළුවන්. එයාගෙ කටහඬින්ම තේරෙනවා එයා කොච්චර විශ්වාසවන්ත කෙනෙක්ද කියලා.

ග්වෙන්ඩලින්:
එහෙනම් ඔයා හිතනවද අපි ඒගොල්ලන්ට සමාව දෙන්න ඕනෙ කියලා.

සිසිලි:
ඔව්. ආ නෑ නෑ, මං කිව්වෙ, නෑ.

ග්වෙන්ඩලින්:
ඇත්ත. මට අමතක වුණා. සමහර වෙලාවල් තියෙනවා කෙනෙකුට තමන්ගෙ මතය පාවා දෙන්න බැරි. අපි දෙන්නගෙන් කවුද දැන් මේක කියන්නෙ? ඒක ලේසි වැඩක්නම් නෙවෙයි.

සිසිලි:
අපි දෙන්නම එකටම කියමුද?

ග්වෙන්ඩලින්:
අන්න හොඳ අදහස! මං හරි කැමතියි අනිත් අය කතා කරන වෙලාවටම කතා කරන්න. ඔන්න මං ගැන්න ගමන් කියන්න හරිද?

සිසිලි:
හරි. [ග්වෙන්ඩලින් ඇඟිල්ලක් ඉහළට ඔසවාගෙන ගණන්කරයි.]

ග්වෙන්ඩලින් සහ සිසිලි: [එක්විටම කතා කරමින්] ඔයගොල්ලන්ගේ නම් තාමත් මහා බාධකයක්. එච්චරයි!

ජැක් සහ ඇල්ජර්නන්: [එක්විටම කතා කරමින්] අපේ නම්! එච්චරද ප්‍රශ්නේ? ඒත් අපි අද හසවස බෞතීස්ම වෙනවා.

ග්වෙන්ඩලින්:
[ජැක් අමතා] මං හින්දම ඔයා ඒ භයානක මොහොතට මූණදෙන්න ලෑස්ති වුණාද?

ජැක්:
ඔව්.

සිසිලි:
[ඇල්ජර්නන් අමතා]
මාව සතුටු කරන්නම ඔයා ඒ භයානක මොහොතට මූණදෙන්න ලෑස්ති වුණාද?

ඇල්ජර්නන්:
ඔව්.

ග්වෙන්ඩලින්:
ගෑණුයි පිරිමියි සම තැන තියලා කතා කරන්නෙ කොහොමද ඇත්තටම. ආත්ම පරිත්‍යාගය ගැන බලද්දි පිරිමි අපිට වඩා ගොඩක් ඉස්සරහින්.

ජැක්:
ඒකනෙ කියන්නේ! [ඇල්ජර්නන් හට ප්‍රීතිය සමරන අවස්ථාවකදී මෙන් අතට අත දෙයි.]

සිසිලි:
මේ ගෑනු අපිට හිතාගන්නවත් බැරි තරමට ඒගොල්ලෝ සමහර වෙලාවට හරිම එඩිතරයි.

ග්වෙන්ඩලින්:
[ජැක් අමතා] වස්තුවේ!

ඇල්ජර්නන්:
[සිසිලි අමතා]
වස්තුවේ! [සියල්ලෝම එකිනෙකා වැළඳගනිති.]


සමාදාන වූ පෙම්වතුන්

[මෙරිමන් පැමිණේ. පෙම්වතුන් සිටිනා අන්දම දැක ඔහු හඬ නගා උගුර පාදයි.]

මෙරිමන්:
අහ්ම්! අහ්ම්! බ්‍රැක්නෙල් ආර්යාව!

ජැක්:
හත් ඉලව්වයි!

[බ්‍රැක්නෙල් ආර්යාව පැමිණේ. තැතිගත් පෙම්වතුන් වෙන් වේ. මෙරිමන් පිටව යයි.]


බ්‍රැක්නෙල් ආර්යාව:
ග්වෙන්ඩලින්! මොකද්ද මේකෙ තේරුම?

ග්වෙන්ඩලින්:
මං වර්දිං මහත්මයා එක්ක විවාහ ගිවිසගත්තා අම්මේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
මෙහෙ එනවා. මෙතනින් ඉඳගන්නවා. දැම්මම. ඔහොම තෙපරබබා ඉන්නෙ - වයසක උදැලාගෙනං හන්දිපත් රුදාවක් කියතහැකි, ඒත් ඔය තරුණ වයසෙ ඉන්න ඈයො තෙපරබාන්නේ මොළේ අමාරුවක් හින්දා. [ජැක් වෙත හැරී] මගේ දෝණියන්දෑ මේ හදිසියෙම මේ පැත්තට ඉගිල්ලිලා ආපු බව මට කිව්වේ එයාගෙ විශ්වාසවන්ත සේවිකාව. ඒ කෙල්ලගේ විශ්වාසය මං අරගත්තෙ පොඩි කාසියක් දීලා. ඉතිං මං මෙයාගේ පස්සෙන්ම මෙහෙට ආවා බඩු කෝච්චියක නැගලා. මෙයාගෙ තාත්තා හිතාගෙන ඉන්නේ මෙයා ස්ථාවර ආදායම් බලපැවැත්ම ගැන වෙනදට වඩා දිගට ඇදෙන විශ්ව විද්‍යාල දේශනයකට ගිහින් කියලා. මං එයාව එයාගෙ ඒ හීනෙන් ගලවන්න ගියෙ නෑ. කිසිම කාරණාවකදි මං එයාව එයාගෙ හීන වලින් මුදවලා නෑ. ඒක බොහොම වැරදි වැඩක් හැටියටයි මං දකින්නෙ. ඒත් හැබැයි, තමුන්ගෙයි මගෙ දෝණියන්දැගෙයි තියෙන ගනුදෙනු මේ මොහොතෙම, මෙතනදිම ඉවරයක් කරන්න ඕනෙ. ආයෙ මං නොකිව්වයි කියන්න එපා.

ජැක්:
මං ග්වෙන්ඩලින් එක්ක විවාහ ගිවිසගෙන ඉන්නෙ බ්‍රැක්නෙල් ආර්යාවනි!

බ්‍රැක්නෙල් ආර්යාව:
එහෙම කිසිම දෙයක් සිද්ද වෙන්නෙ නෑ මහත්මයා. අනිත් එක... කෝ මේ ඇල්ජර්නන්! ...ඇල්ජර්නන්!

ඇල්ජර්නන්:
ඇයි ඔගස්ටා නැන්දේ?

බ්‍රැක්නෙල් ආර්යාව:
තමුන්ගෙ අර බන්බරි කියන යාළුවා ඉන්නේ මේ ගෙදරද?

ඇල්ජර්නන්:
[තතනමින්] ආ! නෑ! බන්බරි ඉන්නෙ මෙහෙ නෙවෙයි. එයා මේ වෙලාවෙ ඉන්නෙ වෙන දිහාවක! ඇත්තම කිව්වොත් එයා මැරිලා.

බ්‍රැක්නෙල් ආර්යාව:
මැරිලා! කවද්ද ඒ මිනිහා මළේ? එකපාරටම?

ඇල්ජර්නන්:
[නොසැලකිල්ලෙන් මෙන්] ආ ඔව්! මේ හැන්දෑවෙ තමයි මං ඒකව මරලා දැම්මේ. මං කිව්වෙ අසරණ බන්බරි මේ හැන්දෑවේ තමයි මැරුණේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
මොනවා වෙලාද මැරුණේ?

ඇල්ජර්නන්:
බන්බරිද? ආ මේ... මිනිහා පිපිරිලා මළේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
පිපිරිලා! ඒ මනුස්සයාත් මේ ඔල්මාද විප්ලවේට අහුවුණාද? මං දැනන් හිටියෙ නෑනේ මේ බන්බරි සමාජ කටයුතුවලට සම්බන්ධවෙලා හිටියා කියලා. හැබැයි මිනිහට හොඳ දඬුවම තමයි ලැබුණේ.

ඇල්ජර්නන්:
ඔගස්ටා නැන්දේ, මං කිව්වේ එයාගෙ ලෙඩේ හොයාගත්තා. දොස්තරලා හොයාගත්තා මිනිහාට ජීවත් වෙන්න බැරි බව, ඒකයි මං කිව්වෙ. ඉතිං මිනිහා මළා.

බ්‍රැක්නෙල් ආර්යාව:
එයා තමුන්ගෙ දොස්තරලා ගැන සෑහෙන විශ්වාසයක් තියන් ඉඳලා තියෙන පාටයි. ඒත් මට සතුටුයි එයා අන්තිමේදී හිත හදාගෙන හරිහමන් වෛද්‍ය උපදෙසක් පිළිපැදලා කටයුතු කරපු එක ගැන. ඉතිං දැන් අන්තිමේදි අපි මේ බන්බරිගෙන් ගැලවුණ එකේ මං අහන්නේ වර්දිං මහත්මයා, අර මගේ ඇල්ජර්නන් බෑනා මහා අසෝබන විදිහකට අල්ලගෙන ඉන්නේ කාගේ අතද?

ජැක්:
ඒ සිසිලි කාර්ඩිව් මෙනෙවිය. මමයි එයාගෙ භාරකාරයා. [බ්‍රැක්නෙල් ආර්යාව සිසිලි වෙත දරදඬු බැල්මෙන් යුතුව හිස වනයි.]

ඇල්ජර්නන්:
මං සිසිලි එක්ක විවාහ ගිවිසගත්තා ඔගස්ටා නැන්දේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
මොකද්ද කිව්වෙ?

සිසිලි:
මමයි මොන්ක්‍රීෆ් මහත්මයායි විවාහ ගිවිසගත්තා, බ්‍රැක්නෙල් ආර්යාවනි.

බ්‍රැක්නෙල් ආර්යාව:
[වෙව්ලමින් සෝපාවෙ වෙත ගොස් හිඳගනියි] මං දන්නෙ නෑ මේ හර්ට්ෆොර්ඩ්ශයර් පැත්තෙ තියන මොකක් හරි දෝසයක්ද කියලා, ඒත් මේක මගුල් සක්වලක් වෙලානේ. ඔය වාර්තා පොත්වලවත් මේ හැටි මගුල් ගැන එකම දවසකදි අහන්න ලැබෙන බව කියලා නෑනේ. කොහොමහරි, මං පොඩි කාරණා දෙකතුනක් ගැන ඇහැව්වට පාඩු වෙන එකක් නෑ මගෙ හිතේ. වර්දිං මහත්මයා, ලන්ඩන් වල ප්‍රධාන ස්ටේෂමක් එක්ක එහෙම මේ මිස් කාර්ඩිව්ගේ සම්බන්ධයක් තියෙනවද? මං මේ දැනගන්න අහන්නේ. ඊයෙ වෙනකල්ම මං දැනගෙන හිටියෙ නෑ සමහර මිනිසුන්ගෙ, සමහර පවුල් වල උප්පත්ති කතාව පැවතගෙන එන්නෙ ස්ටේෂමකින් කියලා. [ජැක් දැඩි කෝපයට පත්ව සිටියද තමා පාලනය කරගෙන සිටියි.]

ජැක්:
[පැහැදිලි දරදඬු හඬකින්]
මිස් කාර්ඩිව් කියන්නේ දකුණු වෙල්සයේ, බෙල්ග්‍රේව් චතුරශ්‍රයේ, 149 ගෙදරත්, සරේ ප්‍රාන්තයේ, ඩෝර්කිං, ගර්වේස් උද්‍යානයේත්, නිව්බර්ග් වල, ෆයිෆ්ශයර්, ස්පොරාන් වලත් උරුමක්කාරයා වෙච්ච තෝමස් කාර්ඩිව් මහත්මයාගේ මිණිපිරී.

බ්‍රැක්නෙල් ආර්යාව:
ඒවායෙන් මක් කරන්නද. වෙළෙන්දෙකුට වුණත් ලිපින තුනක් තියෙන්න පුළුවන්. ඒත් තමුන් කොහොමද ඔය අයිතිය ඔප්පු කරන්නෙ?

ජැක්:
ඒ කාලෙට අයිති විනිසුරු මාර්ගෝපදේශන ඔක්කොම මං ළඟ පරිස්සමට තියෙනවා. ඔබතුමියට ඕනෙනම් බලන්න පුළුවන්, බ්‍රැක්නෙල් ආර්යාවනි.

බ්‍රැක්නෙල් ආර්යාව:
[නොසතුටු මුහුණෙන්] ඔය මාර්ගෝපදේශනේ ඕනතරම් වැරදිච්ච තැන් මං දැකලා තියනවා.

ජැක්:
මිස් කාර්ඩිව්ගේ පවුලේ ගනුදෙනු කළේ මාර්ක්බි, මාර්ක්බි සහ මාර්ක්බි නීතීඥ සමාගම.

බ්‍රැක්නෙල් ආර්යාව:
මාර්ක්බි, මාර්ක්බි සහ මාර්ක්බි? හරි ඉහළ පෙළේ නීති විශාරදයො ටිකක්නෙ. එක මාර්ක්බි කෙනෙක් අපේ රෑ කෑම සාද වලටත් ඇවිත් තියෙනවලු. අන්න ඒකනම් වැදගත් කාරණයක්.

ජැක්:
[නොරුස්නා හඬින්] ඔබතුමිය බොහොම කරුණාවන්තයි බ්‍රැක්නෙල් ආර්යාවනි! තව මං ළඟ තියෙනවා, ඔබතුමිය දැනගන්න සතුටුනම්, මිස් කාර්ඩිව්ගේ උප්පැන්න සහතිකේ, බෞතීස්ම සහතිකේ, කක්කල් කැස්සට එන්නත් විදපු සහතිකේ, ලියාපදිංචිය, අනිත් එන්නත් ඔක්කොම, සරම්ප සහතිකේ; නිකං සරම්පෙයි ජර්මන් එකයි දෙකම.

බ්‍රැක්නෙල් ආර්යාව:
හ්ම්! කාර්යබහුල ජීවිතයක් මට පේන්නෙ; ඒත් තරුණ ගෑණු ළමයෙකුට ඒවා ඕනැවට වැඩියි. පොඩි කාලෙදිම ඔයහැටි අත්දැකීම් ගොන්නක් එකතු වෙනවට මං කැමති නෑ. [නැගිට ඔරලෝසුව බලයි.] ග්වෙන්ඩලින්! අපිට යන්න වෙලාව හරි දැන්. තව පරක්කු වෙවී ඉන්න වෙලාවක් නෑ. මේකත් අහලම හිටියනං හොඳයි එක්කො, වර්දිං මහත්මයා, මිස් කාර්ඩිව්ට පොඩි දෑවැද්දක් එහෙම තියෙනවද?

ජැක්:
ආ! අරමුදල් වලින් ලැබිච්ච පවුම් එක් ලක්ෂ තිස්දාහක් විතර තියෙනවා. එහෙනම් සුබ දවසක් බ්‍රැක්නෙල් ආර්යාවනි. දකින්න ලැබීම සතුටක්.

බ්‍රැක්නෙල් ආර්යාව:
[යළි හිඳගනිමින්] පොඩි වෙලාවක්, වර්දිං මහත්මයා. පවුම් එක් ලක්ෂ තිස්දාහක්! අරමුදල් වල! මං මේ දැන් හොඳට බැලුවාම තමයි දැක්කේ, මිස් කාර්ඩිව් බොහොම ලස්සන ගෑණු ළමයෙක්නේ. දැන් කාලේ ගෑනු ළමයින්ට ඔයවගේ ගුණාංග නෑනේ, හැමදාටම තියෙන, එන්න එන්න වර්ධනය වෙන විදිහේ ගුණාංග. අපි ජීවත් වෙන්නේ, මතුපිටින් විතරක් හැමදෙයක්ම දකින කාලෙක, අපරාදේ. [සිසිලි අමතා] මෙහෙ එන්න වස්තුවේ. [සිසිලි ඈ වෙත පැමිණේ.] ලස්සන දරුවෝ! ඔයාගෙ ඇඳුම හරිම සරලයි, ඔයාගෙ කොණ්ඩෙත් ඔහේ තියෙනවා. ඒත් අපිට පුළුවන් ඒවා ඉක්මනටම හදලා ගන්න. හොඳට වැඩ දන්න ප්‍රංශ වැඩකාරියෙකුට පුළුවන් ඕවා ඉක්මනටම හරිග්ගස්සලා ගන්න. මට මතකයි, මං ලාන්සිං නෝනාට එක්කෙනෙක්ව අඳුන්නලා දුන්නා. මාස තුනකට පස්සෙ එයාගෙ මහත්තයාටම එයාව අඳුරගන්න බැරුව ගියා.

ජැක්:
මාස හයකට පස්සෙ කාටවත්ම එයාව අඳුරගන්න බැරුව ගියා.

බ්‍රැක්නෙල් ආර්යාව:
[ජැක් දෙස මොහොතක් ඔරවාගෙන බලා හිඳියි. අනතුරුව පුළුල් සිනහවකින් යුතුව යළි සිසිලි වෙත හැරෙයි.] පොඩ්ඩක් හැරෙන්න දරුවෝ. [සිසිලි වටයක්ම කැරකෙයි.] නෑ, මට ඕනෙ පැත්තෙන් බලන්න. [සිසිලි පැත්තට හැරෙයි.] අන්න හරි. ඔය තියෙන්නේ මට ඕන වෙච්ච විදිහටම. ඔයාගෙ පෙනුමේ තියෙනවා ඉහළ පෙළැන්තියට හරියන්න හදලා ගන්න පුළුවන් දේවල්. නිකට තව පොඩ්ඩක් විතර උස්සන්න වස්තුවේ. විලාසිතාව තනිකරම රැඳිලා තියෙන්නේ කෙනෙක්ගේ නිකට උඩ. දැන් කාලේ කවුරුත් කැමති නිකට අහසෙ තියාගෙන යන්න. ඇල්ජර්නන්!


ඇල්ජර්නන්:
ඔව් ඔගස්ටා නැන්දේ!

බ්‍රැක්නෙල් ආර්යාව:
මිස් කාර්ඩිව්ගේ පෙනුමේ තියෙනවා ඉහළ පෙළැන්තියට හරියන්න හදාගන්න ගන්න පුළුවන් දේවල්.

ඇල්ජර්නන්:
සිසිලි තමයි මුළු ලෝකෙන්ම ඉන්න හොඳම, ආදරණීයම, ලස්සනම කෙල්ල. ඔය ඉහළ පෙළැන්තිය ගැන මං පයිසෙකට මායිං කරන්නෙ නෑ.

බ්‍රැක්නෙල් ආර්යාව:
ඒ ගැන ඔහොම අගෞරවෙන් කතා කරන්න එපා ඇල්ජර්නන්: එහෙම කතා කරන්නේ ඉහළ පෙළැන්තියට ළං වෙන්න බැරි මිනිස්සු විතරයි. [සිසිලි අමතා] දරුවෝ, ඔයා දන්නවානේ ඇල්ජර්නන්ට එයාගෙ ණය තුරුස් ඇර වෙන කිසි දෙයක් නෑ කියලා. ඒත් මං අනුමත කරන්නෙ නෑ ලාභ බලාගෙන කෙරෙන කසාද වලට. මං බ්‍රැක්නෙල් උතුමාණන්ව බඳිද්දි මට කිසිම දෑවැද්දක්වත් තිබ්බෙ නෑ. ඒත් මං ඒකට මගේ පාර හරස් කරන්න ඉඩ දෙන්න හීනෙකින්වත් හිතුවෙ නෑ. හොඳයි, මං හිතනවා මට මේ කසාදෙට අනුමැතිය දෙන්න පුළුවන් කියලා.

ඇල්ජර්නන්:
ස්තූතියි ඔගස්ටා නැන්දේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
සිසිලි, මට හාද්දක් දෙනවද!

සිසිලි:
[ඇයට හාද්දක් දෙමින්] ස්තූතියි, බ්‍රැක්නෙල් ආර්යාවනි.

බ්‍රැක්නෙල් ආර්යාව:
මින් පස්සෙ මට ඔගස්ටා නැන්දා කියලා කතා කරන්න පුළුවන් ඔයාට.

සිසිලි:
ස්තූතියි ඔගස්ටා නැන්දේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
කසාදෙ, මං හිතන්නෙ, ඉක්මණටම කෙරෙන තරමට හොඳයි.

ඇල්ජර්නන්:
ස්තූතියි ඔගස්ටා නැන්දේ.

සිසිලි:
ස්තූතියි ඔගස්ටා නැන්දේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
ඇත්තම කියනවනනං, මං කැමති නෑ දෙන්නෙක් විවාහ ගිවිසගත්තට පස්සෙ කසාදෙ වැඩිය කල් අරින්න. එහෙම වුණාම දෙන්නට එක එක්කෙනා ගැන හොඳ හැටි දැනුං තේරුං ඇති වෙන්න පටන්ගන්නවා කසාදෙට කළින්ම. ඒක ඒ හැටි හොඳ දෙයක් නෙවෙයි.

ජැක්:
ඔබතුමියට බාධා කරන්න සිද්ද වෙච්ච එක ගැන සමාවෙන්න බ්‍රැක්නෙල් ආර්යාවනි. ඒත් මේ විවාහ ගිවිසගැනීම බලපැවැත්වෙන්නෙ නෑ. මමයි මිස් කාර්ඩිව්ගේ භාරකාරයා, ඉතින් එයාට හරි වයසට එන්න කළින් මගේ අනුමැතිය නැතුව කසාද බඳින්න බෑ. ඒ අනුමැතිය කොහෙත්ම මම දෙන්නෙත් නෑ.

බ්‍රැක්නෙල් ආර්යාව:
ඒ මොකද? ඇල්ජර්නන් කියන්නේ සෑහෙන සුදුසුකම් තියෙන ඉලන්දාරියෙක්. එයාට මුකුත් නැති වුණත්, හැමදේම තියෙනවා වගේ පෙනුමක් තියෙනවා. ඉතින් තව වෙන මොනවද ඕනෙ?

ජැක්:
ඔබතුමියගේ බෑණා ගැන මේ විදිහට ඇත්තම එළි කරන්න වෙච්ච එක ගැන මට බොහොම කණගාටුයි, ඒත් මට එයාගේ චරිතය ගැන ඒ හැටි පැහැදීමක් නෑ. එයා මහ බොරුකාරයෙක්. [ඇල්ජර්නන් සහ සිසිලි මහත් පුදුමයෙන් ඔහු දෙස බලා සිටිති.]

බ්‍රැක්නෙල් ආර්යාව:
බොරුකාරයෙක්! මගේ ඇල්ජර්නන් බෑනා? වෙන්න බෑ! එයා ඉගෙනගත්තෙ ඔක්ස්ෆර්ඩ් වල.

ජැක්:
ඒත් මං කියපු කාරණාවේ කිසිම වෙනසක් නෑ. මම මගේ බොහොම වැදගත් වැඩකට ලන්ඩන් වලට ගිහිල්ලා ඉන්න අතරවාරෙ, මේ හැන්දෑවේ මේ මනුස්සයා මගේ සහෝදරයා විදිහට වෙස්වලාගෙන මගේ ගෙට රිංගලා. ඊළඟට, මගේ ප්‍රධාන මෙහෙකාරයාගෙන් මං දැනගත්තෙ, මං මටම බොන්න කියලා ගෙනත් තියාගෙන හිටපු පෙරියර් ජූට් බෝතලේ - ඒක අසූ නවය අවුරුද්දෙ එකක් - ඒකත් මේ මිනිහා බීලා. මුළු බෝතලේම. ඒ මදිවට මගේ භාරයේ ඉන්න මේ සිසිලිවත් දැපනෙ දාගත්තා. තේ වලට ඉන්නවයි කියලා මුළු සීනි බනිස් පිඟානම තනියම ගිල්ලා. අනිත් එක - අනිත් එක මිනිහගෙ තියෙන නැහැදිච්චකම කියන්නේ - මිනිහා හොඳටම දන්නවා මට සහෝදරයෙක් නෑ, කවදාවත් ඉඳලත් නෑ, කවදාවත් එහෙම එකෙක් හදාගන්න බලාපොරොත්තුවකුත් නෑ කියලා. මං ඒ ගැන පැහැදිලිවම මිනිහට තේරුම් කරලා දුන්නෙ මේ ඊයෙ හැන්දෑවෙ.

බ්‍රැක්නෙල් ආර්යාව:
අහ්ම්! වර්දිං මහත්මයා, ඒ ගැන ප්‍රවේශමෙන් කල්පනා කරලා බලලා මං තීරණය කළා ඇල්ජර්නන් තමුන්ට සලකලා තියෙන විදිහ මෙතනට කොහෙත්ම අදාළ නැති දෙයක් විදිහට නොසලකා අරින්න.

ජැක්:
ඔබතුමිය බොහොම කරුණාවන්තයි බ්‍රැක්නෙල් ආර්යාවනි. ඒත් මගේ තීරණේ වෙනසක් නෑ. මගේ අනුමැතිය ඔය කසාදෙට දෙන්නෙ නෑ.

බ්‍රැක්නෙල් ආර්යාව:
[සිසිලි අමතා] මෙහෙ එන්න දරුවෝ. [සිසිලි ඈ වෙත යයි.] ඔයාගෙ වයස කීයද වස්තුවේ?




බ්‍රැක්නෙල් ආර්යාව හා සිසිලි කතා කරන අතරේ ඇල්ජර්නන් ජැක් වෙත ඔරවාගෙන සිටියි.

සිසිලි:
ඇත්තටම මගේ වයස දහ අටයි. ඒත් මං තේ සාද වලට එහෙම ගියාම කියන්නේ මගෙ වයස විස්සක් කියලා.

බ්‍රැක්නෙල් ආර්යාව:
එහෙම පොඩි වෙනසක් කරන එක ඇත්තටම හොඳ දෙයක්. ඇත්තටම කිසිම ගෑනියෙක් තමුන්ගෙ හරි වයස කියන්න හොඳ නෑ. ඇත්ත වයස කිව්වාම හිතන්නේ කපටිකමට බොරු වයසක් කියනවා කියලනේ...[කල්පනාභරිතව] දහ අටයි, ඒත් තේ සාද වලදි විස්සයි. කමක් නෑ, ඉක්මනටම ඔයාට මේ මහත්මයාගේ භාරයෙන් මිදෙන්න වයසක් එයිනේ. ඉතිං ඔයාගේ භාරකාරයා මේකට කැමැත්ත දුන්නත් නැතත් වෙනසක් නෑ මං හිතන්නේ.

ජැක්:
ඔබතුමියට ආයෙමත් බාධා කිරීම ගැන සමාවෙන්න බ්‍රැක්නෙල් ආර්යාවනි. ඒත් එයාගේ සීයගේ අන්තිම කැමැත්තට අනුව මිස් කාර්ඩිව්ට නීත්‍යානුකූලව මගේ භාරයෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ එයාට වයස තිස් පහක් වුණාම.

බ්‍රැක්නෙල් ආර්යාව:
ඒකට මක් වෙනවද. තිස් පහ කියන්නේ හොඳ වයසක්නේ. ලන්ඩන් වල සෑහෙන්න ඉන්නවා ඉහළ පෙළැන්තියේ ගෑනු උදවිය අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු තිස් පහේම හිටපු. ඩම්බල්ටන් ආර්යාව ගමුකො. දැන් අවුරුදු ගානකට කළින් එයාගෙ වයස හතළිහක් වෙච්ච අවුරුද්දේ ඉඳන් මේ වෙනකල්ම එයා කියන්නේ එයාගෙ වයස තිස් පහයි කියලා. අපේ සිසිලි ඒ වෙද්දි දැන් ඉන්නවටත් වඩා ලස්සනට ඉඳියි. දේපළත් ගොඩක් එකතුවෙලා තියෙයි.

සිසිලි:
ඇල්ජි, ඔයාට බලා ඉන්න පුළුවන්ද මට වයස තිස් පහ වෙනකල්?

ඇල්ජර්නන්:
අපොයි පුළුවන් සිසිලි. ඔයා දන්නවනේ ඒ බව.

සිසිලි:
ඔව්, මං හොඳටම දන්නවා. ඒත් මට ඉන්න බෑනේ එච්චර කල් බලාගෙන. කවුරුවත් වෙනුවෙන් මට විනාඩි පහක්වත් බලාගෙන ඉන්න බෑ. එහෙම බලං ඉන්න ගියාම මට කේන්ති යනවා. මමත් වෙලාවට වැඩ කරන කෙනෙක් නෙවෙයි තමයි, ඒත් මං කැමතියි අනිත් අය වෙලාවට වැඩ කරනවනම්. ඉතිං මේ කසාද බඳින්න බලං ඉන්න වැඩේනම් මට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.

ඇල්ජර්නන්:
එහෙනං අපි මොකද කරන්නෙ සිසිලි?

සිසිලි:
මං දන්නෙ නෑ මොන්ක්‍රීෆ් මහත්මයා.

බ්‍රැක්නෙල් ආර්යාව:
වර්දිං මහත්මයා, මේ මිස් කාර්ඩිව් එයාට තිස් පහ වෙනකල් බලං ඉන්න බෑ කියලා කියන එකේ - මට පේනවා ඉවසිල්ල කියන දේ බොහොම අඩු ගෑනු ළමයෙක් බව! - තමුන්ගෙ තීරණේ ගැන ආයෙමත් සලකලා බැලුවොත් මොකද.

ජැක්:
ඒත් බ්‍රැක්නෙල් ආර්යාවනි, ඒ කාරණාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔබතුමියගේ අතේ. ඔබතුමිය මගෙයි ග්වෙන්ඩලින්ගෙයි කසාදෙට අනුමැතිය දීපු ගමන්ම, මමත් බොහොම සන්තෝසෙන් ඔබතුමියගේ බෑණාට මගේ භාරයේ ඉන්න මේ ගෑණු ළමයාව කසාද බඳින්න අනුමැතිය දෙන්නම්.

බ්‍රැක්නෙල් ආර්යාව:
[අසුනෙන් නැගී සිටිමින්] තමුන් ඉල්ලන දේ කොහෙත්ම සිද්ද වෙන්නෙ නැති බව තමුන් දන්නවනේ.

ජැක්:
එහෙනම් ඉතින් අපි හැමෝම ප්‍රේමණීය බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න පටන්ගන්න එක තමයි මට පේන එකම විසඳුම.

බ්‍රැක්නෙල් ආර්යාව:
මං කැමති නෑ ග්වෙන්ඩලින්ට ඒ වගේ ඉරණමක් අත් වෙනවට. ඇල්ජර්නන්ට තමුන් කැමති තීරණයක් ගන්න පුළුවන්. [ඔරලෝසුව පිටතට ගෙන වෙලාව බලයි.] මෙහෙ එන්න; [ග්වෙන්ඩලින් නැගිටියි] අපිට දැනටම කෝච්චි පහ හයක්ම මග ඇරිලා. තව කෝච්චි මග ඇරුනොත් එහෙම අපිට ස්ටේෂන් එකේ මිනිස්සුන්ගෙන් එක එක කයිකතන්දර අහගෙන අද රෑ එහෙම තමයි ඉන්න වෙන්නේ.


[චැසියුබල් පූජකවරයා පැමිණේ.]

චැසියුබල්:
බෞතීස්මෙට හැමදේම ලෑස්තියි.

බ්‍රැක්නෙල් ආර්යාව:
බෞතීස්මෙ! පූජකතුමනි, තාම ඒකට වේලාසන වැඩි නැද්ද? මේගොල්ලො තාම කසාද බැඳලවත් නෑනේ? ඔබතුමා මේගොල්ලන්ගෙ ළමයි බෞතීස්ම කරන්නත් ලෑස්තියි!

චැසියුබල්:
[ගැටළු සහගත මුහුණින් ජැක් හා ඇල්ජර්නන් වෙත අත දිගු කරයි]
ඒත් මෙන්න මේ මහත්තුරු දෙන්නටම ඉක්මනටම බෞතීස්ම වෙන්න ඕනෙ කියලා කිව්වනෙ. මේ අදම.

බ්‍රැක්නෙල් ආර්යාව:
මේ වයසෙදි? මහ විහිළුවක්නෙ. ඇල්ජර්නන්, මං තමුන්ට තහනම් කරනවා බෞතීස්ම වෙන එක. ඔහොම විකාරෙකට මට ඉඩ දෙන්න බෑ. තමුන් තමුන්ගෙ සල්ලියි කාලෙයි නාස්ති කරන්නේ ඔහොම දේවල් කරන්න කියලා දැනගත්තොත් බ්‍රැක්නෙල් උතුමානන් බොහොම දුක් වෙයි.

චැසියුබල්:
එතකොට අද කවුරුවත් බෞතීස්ම වෙන්නෙ නැද්ද?

ජැක්:
මේ සිද්ද වෙලා තියෙන දේවල් වල හැටියට එහෙම දෙයක් උවමනා වෙන්නෙ නැති වෙයි පූජකතුමනි.

චැසියුබල්:
ඔබෙන් එහෙම දෙයක් අහන්න වෙච්ච එක ගැන මට බොහොම කණගාටුයි වර්දිං මහත්මයා. ඔය ඇවිල්ලා අදේවවාදීන්ගේ මිථ්‍යාදෘෂ්ටික අදහස්. ඒවා කොච්චර වැරදිද කියලා මං මගේ තාමත් දේශනා කරපු නැති දේශන හතරකදිම ඔප්පු කරලා තියනවා. ඒත් මට පේනවා තමුන් මේ වෙලාවේ ඉන්නේ දේශනා වලට කන් දෙන්න පුළුවන් ආගමික මුහුණුවරකින් නෙවෙයි කියලා, ඒ නිසා මම දැන්මම ආපහු පල්ලියට යනවා. අනික දැන් පැය එකමාරක් තිස්සෙ මිස් ප්‍රිස්ම් මං එනකල් පල්ලියෙ බලං ඉන්නවා කියලත් පණිවිඩයක් ආවා.

බ්‍රැක්නෙල් ආර්යාව:
[තැතිගත් ලෙසින්]
මිස් ප්‍රිස්ම්! ඔබතුමා කිව්වෙ මිස් ප්‍රිස්ම් කියලද?

චැසියුබල්:
ඔව් බ්‍රැක්නෙල් ආර්යාවනි. මං මේ එයාව මුණගැහෙන්න යන ගමන්.

බ්‍රැක්නෙල් ආර්යාව:
පොඩ්ඩක් ඔහොම නතරවෙන්න පුළුවන්ද පූජකතුමනි. මේ කාරණාව බ්‍රැක්නෙල් උතුමාණන්ටයි මටයි බොහොම වැදගත්.
ඔය මිස් ප්‍රිස්ම් කියන්නෙ මහ අවලස්සන ගෑණු කෙනෙක් නේද? උගන්නනව උගන්නනව කිව්වට එවුන්දැට පුලුවන් ඉගැන්නිල්ලකුත් නෑ බලාගෙන ගියහම.
 
චැසියුබල්:
[කුපිත වූ ලෙසින්] එයා තමයි මේ ලෝකෙ ගෑනුන්ගෙන් නුවණක්කාරම කෙනා, එයා වැදගත්බවේ ප්‍රතිමූර්තියක්.

බ්‍රැක්නෙල් ආර්යාව:
ඔය කියන්නේ මං කියන එක්කෙනා ගැනම තමයි. ඒ ගෑනි ඔබතුමාගේ කවුද හැබෑටම?

චැසියුබල්:
[සැරපරුෂ හඬින්]
මං බ්‍රහ්මචාරියෙක් නෝනා.

ජැක්:
[මැදිහත් වෙමින්]
බ්‍රැක්නෙල් ආර්යාවනි, මිස් ප්‍රිස්ම් තමයි දැන් අවුරුදු තුනක් තිස්සේ මිස් කාර්ඩිව්ගේ පාලිකාව.

බ්‍රැක්නෙල් ආර්යාව:
මට දැම්මම එයාව හම්බවෙන්න ඕනෙ. වහාම එන්න කියන්න එයාට.

චැසියුබල්:
[ඈත බලමින්]
එයා එනවා; ඔය එන්නේ.

මිස් ප්‍රිස්ම්:
මට පණිවිඩයක් ආවා ඔබතුමා මං එනකල් පල්ලියෙ බලං ඉන්නවා කියලා පූජකතුමනි. මං දැන් පැය එකමාරකටත් වැඩිය එතනට වෙලා හිටියා. [තමා දෙස ඔරවාගෙන බලා සිටිනා බ්‍රැක්නෙල් ආර්යාව දකියි. සුදුමැලිව බියෙන් හැකිලෙන මිස් ප්‍රිස්ම් පැන දුවන්නට මෙන් වටපිට බලයි.]

බ්‍රැක්නෙල් ආර්යාව:
[දැඩි සැරපරුෂ හඬින්]
ප්‍රිස්ම්! [මිස් ප්‍රිස්ම් අපහසුතාවයට පත්වූ ලෙසින් හිස නවා ආචාර කරයි.] මෙහෙ එනවා ප්‍රිස්ම්! [මිස් ප්‍රිස්ම් යටහත් පහත් ලෙසින් ඈ ඉදිරියට පැමිණෙයි.] ප්‍රිස්ම්! කෝ අර දරුවා? [සියල්ලෝම තැතිගනිති. පූජකවරයා බියපත්ව පසුපසට යයි. ඇල්ජර්නන් හා ජැක් සිසිලි හා ග්වෙන්ඩලින් ලෝකාපවාදයක තොරතුරු කන වැකීමෙන් ආරක්ෂා කරගන්නට සූදානමින් බලා සිටිති.] අවුරුදු විසි අටකට කළින් ප්‍රිස්ම්, තමුන් අපර් ග්‍රොව්නර් වීදියේ නොම්බර 104 - බ්‍රැක්නෙල් උතුමාණන්ගේ ගෙදරින් පිටවුණේ පිරිමි දරුවෙක් හිටපු අත් කරත්තයක් තල්ලු කරගෙන. තමුන් ආපහු ආවෙ නෑ. සති ගාණකට පස්සෙ මහ රෑක පොලිසියෙන් හොයාගත්ත ඒ අත් කරත්තෙ, බේස්වෝටර් වල පාළු කෙළවරක අත් ඇරලා දාලා තියනවා. ඒකෙ තිබුණෙ වැදගැම්මකට නැති මළ සමයං පිරිච්ච වෙළුම් තුනේ නව කතාවක්. [මිස් ප්‍රිස්ම්ගේ මුවින් තැතිගත් රාවයක් පිට වේ.] ඒත් ඒකේ බබා හිටියෙ නෑ! [සියල්ලෝම මිස් ප්‍රිස්ම් දෙස බලා සිටිති.] ප්‍රිස්ම්; කෝ ඒ දරුවා? [නිහඬතාවයකි.]

මිස් ප්‍රිස්ම්:
බ්‍රැක්නෙල් ආර්යාවනි, මට කියන්න දුකයි, මං බබාට මොකද වුණේ කියලා කියන්න දන්නෙ නෑ. මට හරිම දුකයි ඒ ගැන. මේකයි සිද්ද වුණේ. ඔබතුමිය ඒ කියපු දවසෙ උදේ - ඒ දවස මට කවදාවත් අමතක වෙන්නෙ නෑ - මං පුරුදු විදිහට බබාව අත් කරත්තෙන් රවුමක් එක්ක යන්න ලෑස්ති වුණා. මං නිවාඩුපාඩුවේ හිටපු වෙලාවට ලියපු කතාවක අත්පිටපතකුත් අරං යන්න තිබ්බ නිසා මං පරණ ලොකු අත් බෑග් එකකුත් ලෑස්ති කරගත්තා. ඒත් මට කවදාවත් සමාව දීගන්න බැරි, මගේ සිහිවිකල් වෙලා තිබ්බ වෙලාවක, මං අත්පිටපත කරත්තෙන් තියලා බබාව අත් බෑග් එකේ දාලා.

ජැක්:
[දැඩි අවධානයකින් සවන් දී හිඳ] ඔයා කොහෙද ඒ අත් බෑග් එක තිබ්බේ?

මිස් ප්‍රිස්ම්:
ඒක මගෙන් අහන්න එපා වර්දිං මහත්මයා.

ජැක්:
මිස් ප්‍රිස්ම්, මේක සුළුපටු කාරණාවක් නෙවෙයි. මට දැනගන්නම ඕනේ තමුන් ඒ පොඩි දරුවා හිටපු අත් බෑග් එක කොහෙද තිබ්බෙ කියලා.

මිස් ප්‍රිස්ම්:
මං ඒක තිබ්බෙ ලන්ඩන් වල ලොකු ස්ටේෂමක කබා කාමරේ.

ජැක්:
මොන ස්ටේෂමේද?

මිස් ප්‍රිස්ම්:
[දැඩි කැළඹීමෙන් යුතුව] වික්ටෝරියා ස්ටේෂමේ. බ්‍රයිටන් කෝච්චි පාරේ. [අසුනක් මතට කඩා වැටේ.]

ජැක්:
මං පොඩ්ඩකට මගේ කාමරේට ගිහින් එන්නං ග්වෙන්ඩලින්. ඔහොම ඉන්න.

ග්වෙන්ඩලින්:
ඔයා ඉක්මණට එනවනම් මං මගේ මුළු ජීවිත කාලෙම වුණත් මෙතන බලා ඉන්නං.

[දැඩි කලබලයකින් ජැක් පිටව යයි.]

චැසියුබල්:
මොකද්ද මෙතන සිද්ද වෙන්නෙ බ්‍රැක්නෙල් ආර්යාවනි?

බ්‍රැක්නෙල් ආර්යාව:
මට හිතාගන්න අමාරුයි, පූජකතුමනි. ඉහළ පැලැන්තියේ පවුල් වල සාමාන්‍යයෙන් අහඹු සිදුවීම් සිද්ද වෙන්නෙ නෑ නේද? එහෙම දේවල් සිද්ද වෙන්න බෑ.

[බඩු මුට්ටු ඒ මේ අත විසි වන හඬක් ඉහළින් ඇසේ. සියල්ලෝම ඉහළ බලති.]


සිසිලි:
ජැක් මාමාට මොනවා වෙලාද මන්දා.

චැසියුබල්:
ඔයාගේ භාරකාර මහත්මයා බොහොම සංවේදී කෙනෙක්.

බ්‍රැක්නෙල් ආර්යාව:
කොහොමද මේ ගාලගෝට්ටිය අහං ඉන්නෙ. මේ මනුස්සයා කා එක්ක හරි රණ්ඩු වෙනවා කියලයි මට හිතෙන්නේ. මං කැමති නෑ ඔය රණ්ඩු සරුවල් වලට. හරිම අසෝබනයි.

චැසියුබල්:
[ඉහළ බලමින්] අන්න නැවතිලා. [ශබ්ධය දෙගුණ වී ඇසේ.]

බ්‍රැක්නෙල් ආර්යාව:
ඔය රණ්ඩුව ඉක්මනට සමාදාන වුනානම් හොඳයි.

ග්වෙන්ඩලින්:
මෙයා ගිහිං දැන් සෑහෙන්න වෙලානේ. ඉක්මනට ඕක ඉවර වුණොත් හොඳයි.

[කළු පැහැති අත් බෑගයක්ද රැගෙන ජැක් පැමිණෙයි.]

ජැක්:
[මිස් ප්‍රිස්ම් වෙත ඉක්මණින් දිව විත්] මේකද ඒ අත් බෑග් එක මිස් ප්‍රිස්ම්? උත්තරයක් දෙන්න කළින් හොඳට බලන්න. ඔයාගෙ උත්තරේ මත මෙතන ඉන්න කීප දෙනෙකුගෙම සතුට රඳා පවතිනවා.


අත් බෑගය පෙන්වා මිස් ප්‍රිස්ම්ගෙන් තොරතුරු විමසන ජැක් හා පුදුමයෙන් බලා සිටින අනෙක් පිරිස
මිස් ප්‍රිස්ම්:
[සන්සුන්ව] ඒක මගේ එක වගේ තමයි. ඔව්, මේ තියෙන්නේ ඒ දවස් වල ගෝවර් වීදියේ පොදු රථයේ ඉඳගෙන ගිය කාලේ මේක හීරිච්ච පාර. මේ තියෙන්නේ පැණි බීම බෝතලයක් පුපුරලා වැටිච්ච පැල්ලම - ඒක වුණේ ලීමිංටන් වලදි. මේ තියෙන්නේ අගුලේ කොටපු මගේ නමේ මුල අකුරු. ඒවා මෙතන කොටලා තිබ්බ බවත් මට අමතක වෙලයි තිබ්බෙ. බෑග් එක කිසිම සැකයක් නෑ, මගේ තමයි. මේක මෙහෙම හිතාගන්න බැරි වෙලාවකදි ආපහු හම්බවෙච්ච එක ගැන මට කියන්න බැරි තරම් සන්තෝසයි. මේක නැතුව මෙච්චර කල් මම හිටියෙ හරිම පාළුවෙන්.

ජැක්:
[අනුකම්පා උපදවන හඬකින්] මිස් ප්‍රිස්ම්, ඔයාට මේ අත් බෑග් එකට වඩා දෙයක් මේ වෙලාවෙදි හම්බ වුණා. මම තමයි ඔයා මේක ඇතුළේ දාපු බබා.

මිස් ප්‍රිස්ම්:
[දැඩි විමතියෙන්] ඈ?

ජැක්:
[ඇයව වැළඳගනිමින්]
ඔව්...අම්මේ!

මිස් ප්‍රිස්ම්:
[කෝපය මිශ්‍ර මවිතයකින් හැකිළෙමින්]
වර්දිං මහත්මයා! මම කසාද බැඳලා නෑ!

ජැක්:
කසාද බැඳලා නෑ! ඒකට මොකද. අනික මෙච්චර කල් දුක් විඳපු කෙනෙකුට විරුද්ධව කවුරුවත් මොනවත් කියන්නෙ කොහොමද? ඒ අවුරුදු ගාණක දුක හින්දා එක සැරයක් වෙච්ච අත්වැරැද්ද මකලා දාන්න බැරිද? පිරිමින්ට එක නීතියකුයි, ගෑනුන්ට තව නීතියකුයි තියෙන්නෙ ඇයි? අම්මේ, මං අම්මට සමාව දෙනවා. [යළිත් ඈ වැළඳගැනීමට උත්සාහ කරයි.]

මිස් ප්‍රිස්ම්:
[කුපිත වූ ස්වරයෙන්ම] වර්දිං මහත්මයා, මෙතන පොඩි වැරදීමක් වෙලා. [බ්‍රැක්නෙල් ආර්යාව වෙත අත දිගු කරමින්] ඔබතුමා කවුද කියලා හරියටම දන්නෙ අන්න අර නෝනා තමයි.

ජැක්:
[මද නිහඬතාවයකට පසු] බ්‍රැක්නෙල් ආර්යාවනි, මං කැමති නෑ වැඩිය ඕපදූප හොයන්න, ඒත් අනේ කරුණාකරලා කියන්න පුළුවන්ද මං කවුද කියලා?

බ්‍රැක්නෙල් ආර්යාව:
මං මේ කියන්න යන දේනම් තමුන්ගෙ සතුටට හේතු වෙයිද කියන්න මං දන්නෙ නෑ. තමුන් මගේ අසරණ සහෝදරී මොන්ක්‍රීෆ් ආර්යාවගේ වැඩිමල් පුතා, ඒ කියන්නේ මේ ඇල්ජර්නන්ගේ අයියා.

ජැක්:
ඇල්ජිගෙ අයියා! ඒ කියන්නේ මට සහෝදරයෙක් ඉන්නවා! මං දැනගෙන හිටියා
මට මල්ලි කෙනෙක් ඉන්නවා කියලා! මං හැමතිස්සෙම කිව්වෙ ඒකනෙ මට මල්ලි කෙනෙක් ඉන්නවා කියලා. සිසිලි -- ඔයා කොහොමද මොහොතකටවත් සැක කළේ මට මල්ලි කෙනෙක් ඇත්තටම ඉන්නවද නැද්ද කියලා? [ඇල්ජර්නන්ගේ අතින් ඇදගෙන වේදිකාව වටා යයි] චැසියුබල් පූජකතුමනි, මේ මගෙ අවාසනාවන්ත මල්ලි. මිස් ප්‍රිස්ම්, මේ ඉන්නෙ මගේ අවාසනාවන්ත මල්ලි. ග්වෙන්ඩලින්, මේ ඉන්නෙ - මේ ඉන්නෙ ඒ මං කියපු මගෙ අවාසනාවන්ත මල්ලි. ඇල්ජි, තක්කඩියෝ, තමුසෙට මින්පස්සෙ මට ගරුසරු ඇතුව සළකන්න වෙයි, තේරුණාද? තමුසෙ මීට කළින් කවදාවත් මට අයියා කෙනෙකුට වගේ සලකලා නෑ.

ඇල්ජර්නන්:
අද වෙනකල් නෑ තමයි. ඒත් අද දවසෙදි මං පුළුවන් උපරිමෙන් එහෙම හැසිරෙන්න උත්සාහ කළානේ, ඒ ගැන ඒ හැටි පළපුරුද්දක් නැතත්.

[ජැක් හා ඇල්ජර්නන් අතට අත දී වැළඳගනියි.]

ග්වෙන්ඩලින්:
[ජැක් අමතා] මගෙ වස්තුව! ඒත් ඔයා කවුද? ඔයාගෙ නම මොකද්ද, දැන් ඔයා සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්නේ.

ජැක්:
හප්පා!... මට ඒ ගැන අමතකම වෙලා ගියා. මගේ නම ගැන ඔයාගෙ තීරණේ වෙනසක් නැද්ද ඒ කියන්නෙ?

ග්වෙන්ඩලින්:
ආදරේදි ඇරෙන්න වෙන කිසිම දේකදි මං වෙනස් වෙන්නෙ නෑ.

සිසිලි:
ඔයා කොයිතරම් උදාර කෙනෙක්ද ග්වෙන්ඩලින්!

ජැක්:
එහෙනම් මේක ඉක්මනටම බේරුමක් කරගන්න එක හොඳයි. ඔගස්ටා නැන්දේ, මිස් ප්‍රිස්ම් මාව අත් බෑග් එකේ දාපු කාලෙ වෙද්දි මං බෞතීස්ම වෙලා හිටියද?

බ්‍රැක්නෙල් ආර්යාව:
සල්ලි වලට ගන්න පුළුවන් හැමදේම, බෞතීස්මෙත් ඇතුළුව, තමුන්ගෙ අම්මා තාත්තා තමුන් වෙනුවෙන් කරලයි තිබුණේ.

ජැක්:
ඒ කියන්නෙ මං බෞතීස්ම වෙලා! යන්තං ඒක ඉවරයි එහෙනං. හරි, එතකොට මට දාපු නම මොකද්ද? ලෝකෙ තියෙන ජරාම නම වුණත් කමක් නෑ, මොකද්ද මට දාලා තිබ්බ නම?

බ්‍රැක්නෙල් ආර්යාව:
පවුලෙ වැඩිමලා වෙච්ච හින්දා තමුන්ව
බෞතීස්ම කරලා තිබුණෙ තමුන්ගෙ තාත්තගෙ නමින්.

ජැක්:
[නොඉවසිල්ලෙන්] හරි, ඒත් මොකද්ද මගෙ තාත්තගෙ නම?

බ්‍රැක්නෙල් ආර්යාව:
[කල්පනාභරිතව] මට මේ වෙලාවේ ජෙනරාල්ගේ නම මතකෙට එන්නෙ නෑ. ඒත් එයාට මොකක් හරි නමක් තිබ්බ බවනං මතකයි. ඒ මනුස්සයට ඩිංගක් ඔළුව හොඳ නැහැ. හැබැයි එහෙම වුණේ අන්තිම කාලෙදි. ඔය ඉන්දියාවෙ දේශගුණේ, කසාදේ, අජීරණේ වගේ ඒවා තමයි ඉතිං ඒකට හේතු වුණේ.

ජැක්:
ඇල්ජි! තමුසෙට මතකද තාත්තගෙ නම?

ඇල්ජර්නන්:
මං තාත්තා එක්ක කතා කරලවත් නෑනේ. තාත්තා මැරෙද්දි මගෙ වයස අවුරුද්දක්වත් නෑ.

ජැක්:
තාත්තගෙ නම ඒ කාලෙ හමුදා නාමාවලි වල ඇති නේද ඔගස්ටා නැන්දේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
ජෙනරාල්නං එයාගෙ ගෙදරදි ඇරෙන්න අනිත් හැම තැනකදිම බොහොම සාමදානෙට කැමති කෙනෙක්. ඒත් එයාගෙ නමනං ඔය හමුදා නාමාවලියක නැති වෙන්න බෑ.

ජැක්:
පහුගිය අවුරුදු හතළිහක හමුදා නාමාවලි මෙහෙ තියෙනවා. අපරාදෙ, මං ඒවා දිහා ඒ හැටි බැලුවෙවත් නෑ. [පොත් රාක්කය වෙත ඉක්මණින් ගොස් පොතක් පිටතට ඇද ගනියි.] එම් අකුර... ජෙනරාල්වරු... මැලම්, මැක්ස්බෝම්, මැග්ලී - මහ පුදුම නම්නේ මේවා - මාර්ක්බි, මිග්ස්බි, මොබ්ස්, මොන්ක්‍රීෆ්! ලුතිනන් 1840, කපිතාන්, ලුතිනන්-කර්නල්, කර්නල්,
ජෙනරාල් 1869, නම් - අර්නස්ට් ජෝන්. [ඉතාමත් සෙමින් පොත පහත් කර ඉතාමත් සන්සුන් හඬින් කතා කරයි.] ග්වෙන්ඩලින්, මං කිව්වෙ මගේ නම අර්නස්ට් තමයි කියලා, නේද? ඉතිං මේ, මගේ නම අර්නස්ට් තමයි. ඇත්තටම අර්නස්ට්.

බ්‍රැක්නෙල් ආර්යාව:
ඔව්, මට දැන් මතක් වුණා, ජෙනරාල්ගෙ නම අර්නස්ට් තමයි. මට හිතුණා මං ඔය නමට ඔය හැටි අකමැති වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනෙ තමයි කියලා.

ග්වෙන්ඩලින්:
අර්නස්ට්! මගේ රත්තරන් අර්නස්ට්! මුළ ඉඳන්ම මම දැනගෙන හිටියා ඔයාට වෙන නමක් තියෙන්න බෑ කියලා.

ජැක්:
ග්වෙන්ඩලින්, මනුස්සයෙක් තමුන්ගෙ මුළු ජීවිත කාලෙ පුරාම කිසිම බොරුවක් කියලා නෑ, හැමදාම කියලා තියෙන්නේ ඇත්තම ඇත්ත විතරයි කියලා දැනගත්තාම ඒ මනුස්සයාට මොනවා හිතෙනවා ඇති කියලද ඔයාට හිතෙන්නේ? ඔයා මට සමාව දෙනවා නේද?

ග්වෙන්ඩලින්:
මං සමාව දෙනවා. ඔයා වෙනස් වෙයි කියලා මට හොඳටම විශ්වාසයි.

ජැක්:
මගෙ වස්තුව!

චැසියුබල්:
[මිස් ප්‍රිස්ම් වෙත] ලැටීශියා! [ඈ
වැළඳගනියි]

මිස් ප්‍රිස්ම්:
[මහත් උද්‍යෝගයෙන්] ෆ්‍රෙඩ්‍රික්! ඇති යාන්තං!

ඇල්ජර්නන්:
සිසිලි! [ඈ වැළඳගනියි] ඇති යාන්තං!

ජැක්:
ග්වෙන්ඩලින්! [ඈ වැළඳගනියි] ඇති යාන්තං!

බ්‍රැක්නෙල් ආර්යාව:
බෑණෝ, මොකද ඔය හැටි බොළඳ විදිහට හැසිරෙන්නේ.

ජැක්: 

ඔගස්ටා නැන්දේ, මට ජීවිතේ පළවෙනි වතාවට අද තේරුණා අර්නස්ට් කියන නම විතරක් නෙවෙයි, ඒ නමේ හැටියට වැඩ කරන එකත් කොච්චර වටිනවද කියලා. 


තිරය වැසේ.

සමාප්තයි.


ප. ලි. - කාටහරි ඔරිමජිනල් එකත් කියවන්න ආසනම් මෙන්න තියෙනවා. එතන තව නිධන් මහ ගොඩක් තියෙන නිධන් ආකරයක්.  :)




195. නමක මහිම...05

ග්වෙන්ඩලින්:
මොකද්ද කිව්වෙ?

සිසිලි:
[ලැජ්ජාවෙන්, එහෙත් විශ්වාසයෙන්]
ග්වෙන්ඩලින්, මට මේක ඔයාගෙන් හංගන්න ඕනෙ නෑ. අපේ ගමේ පත්තරේ ලබන සතියෙම ඒ ගැන ලස්සන ලස්සන කතන්දර ලියවිලා තියෙයි. අර්නස්ට් වර්දිං මහත්මයායි මමයි විවාහ ගිවිසගත්තා.

ග්වෙන්ඩලින්:
[ආචාරශීලීව නැගිටිමින්]
ආදර සිසිලි, මං හිතන්නෙ කොතනක හරි පොඩි වැරදීමක් වෙලා තියෙනවා. අර්නස්ට් වර්දිං මහත්මයා විවාහ ගිවිසගත්තෙ මාත් එක්ක. ඒක ගැන මේ සෙනසුරාදා මෝනිං පෝස්ට් පත්තරේම විස්තරේ වැටෙයි.

සිසිලි:
[බෙහෙවින් ආචාරශීලීව නැගිටිමින්]
මං හිතන්නේ ඔයාටයි කොතන හරි වැරැද්දක් වෙලා තියෙන්නේ. අර්නස්ට් මට විවාහ යෝජනාව ගෙනාවෙ මේ දැන් මිනිත්තු දහයකට කළින්. [දිනපොත පෙන්වයි.]

ග්වෙන්ඩලින්:
[සිය උපැස් යුවළ හරහා විමසුම් දෑසින් එය පරීක්ෂා කර බලයි.]
හරිම පුදුමයිනේ. එයා මගෙන් එයාව කසාද බඳිනවද කියලා ඇහැව්වේ මේ ඊයෙ, හරියටම හැන්දෑවෙ පහමාරට. ඔයාට සැකනම් මෙන්න බලන්න. [ඇගේ දිනපොතද පිටතට ගෙන පෙන්වයි.] මං මගේ දිනපොත නැතුව කොහෙවත් යන්නෙ නෑ. කෝච්චියෙ යද්දි කියවන්න හරිහමං පොතක් තියෙන්න එපැයි කවුරු ළඟ වුනත්. මට බොහොම කණගාටුයි සිසිලි ඔයාගෙ හිත බිඳින්න වුණාට. ඒත් මගෙන්නෙ එයා මුළින්ම ඇහැව්වේ.



සිසිලි තම දිනපොත ග්වෙන්ඩලින් හට පෙන්වමින්

සිසිලි:
ඒකෙන් ඔයාට කොයි විදිහකින් හරි රිදීමක් වුණානම් මට ඇත්තටම දුකයි ග්වෙන්ඩලින්, ඒත් මං හිතන්නේ මං පෙන්නලා දුන්නොත් හොඳයි අර්නස්ට් ඔයාට විවාහ යෝජනාව කළාට පස්සේ එයාගෙ හිත වෙනස් වෙලා තියෙන බව.

ග්වෙන්ඩලින්:
[කල්පනාකාරීව]
ඒ අසරණයා මොකක් හරි මෝඩ පොරොන්දුවකට උගුලට අහුවෙලානම් මගේ යුතුකම තමයි ඉක්මණටම එයාව ඒකෙන් බේරගන්න එක.

සිසිලි:
[කල්පනාකාරීව, දුක්බරව]
මගේ අසරණ කොල්ලා මොනවගේ අවාසනාවන්ත හුටපටේක පැටලිලා හිටියත් අපි බැන්දට පස්සෙ කවදාවත් මං ඒ ගැන මතක් කරලා එයාට දොස් කියන්නෙ නෑ.

ග්වෙන්ඩලින්:
තමුන් මේ හුටපටයක් කියලා නොකියා කියන්නේ මේ මං ගැනද මිස් කාර්ඩිව්? තමුන් මහ උද්දච්ඡ ගෑනියක්. මේ වගේ වෙලාවකදි හිතේ තියෙන දේ එහෙමම කියන්න ඕනෙ. නැත්තං වැඩක් නෑ.

සිසිලි:
එතකොට තමුන් කියන්නේ මිස් ෆෙයාර්ෆැක්ස්, මං අර්නස්ට්ව උගුලක පටලවාගෙන විවාහ ගිවිසගත්තා කියලද? මොන නැහැදිච්ච කතාවක්ද? මේ වෙලාවේ ඔය මෝඩ සිරිත් විරිත් වෙස්මූණු දාගෙන ඉන්න බෑ. මං ඉස්කෝප්පයක් දැක්කොත් ඒකට ඉස්කෝප්පෙ කියලා කියනවා.

ග්වෙන්ඩලින්:
[උපහාසාත්මකව] මං හරිම සන්තෝසෙන් කියන්නෙ, මං කවදාවත් ඉස්කෝප්පයක් දැකලා නෑ. අපේ සමාජ පන්ති අතර සෑහෙන ලොකු පරතරයක් තියෙනවා කියලා ඒකෙන්ම පේනවා.

[සේවකයෙකුද සමග මෙරිමන් පැමිණේ. ඔහුගේ දෑතේ බන්දේසියක්, මේස රෙද්දක් සහ පිඟන් ධාරකයක් ඇත. සිස්ලි ප්‍රති-උත්තරයක් දෙන්නට සූදානම් වුවද සේවකයන් හමුවේ එය වළක්වාගනියි. කාන්තාවන් දෙදෙනාම නොරුස්නා බැලුම් හෙලමින් තම කෝපය යටපත් කරගෙන නිහඬව සිටිති.]

මෙරිමන්:
මං වෙනදා විදිහටම මෙතන තේ මේසෙ ලෑස්ති කරන්නද පුංචි නෝනා.

සිසිලි:
[දරදඬු තැන්පත් හඬකින්] ඔව්, වෙනදා වගේ. [මෙරිමන් මේසය අස් කර මේස රෙද්ද එලයි. දිගු නිහැඬියාවකි. සිසිලි හා ග්වෙන්ඩලින් එකිනෙකා වෙත ඔරවති.]

ග්වෙන්ඩලින්:
මේ පැත්තේ ඇවිදින්න යන්න ලස්සන තැන් තියෙනවද මිස් කාර්ඩිව්?

සිසිලි:
අපොයි ඔව්! ගොඩක් තියෙනවා. මේ ළඟම තියෙන කන්දක් උඩට ගියාම කෝරළ පහක් යනකල් ඈතට පේනවා.

ග්වෙන්ඩලින්:
කෝරළ පහක්! අපෝ මං කැමති නෑ; මට ඔච්චර සෙනග ගොඩක් පේන්න බෑ.

සිසිලි:
[මෘදු හඬින්] ඒක වෙන්නැති ඔයා නගරෙ ජීවත් වෙන්න මං හිතන්නෙ? [ග්වෙන්ඩලින් දෙතොල් සපාගෙන, නොසන්සුන් ලෙසින් තම කුඩා කුඩයෙන් පයට තට්ටු කරයි.]

ග්වෙන්ඩලින්:
[වටපිට බලමින්]
මේ වත්ත හරි පිළිවෙලයි මිස් කාර්ඩිව්.

සිසිලි:
ඔයා ඒකට කැමති වෙච්ච එක ගැන මට සතුටුයි මිස් ෆෙයාර්ෆැක්ස්.

ග්වෙන්ඩලින්:
මං හිතුවෙම නෑ මේ ගම් පළාත් වල මල් පිපෙනවා ඇති කියලා.

සිසිලි:
අපොයි, ලන්ඩන් වල මිනිස්සු ඉන්න තරමටම මෙහෙ මල් තියෙනවා මිස් ෆෙයාර්ෆැක්ස්.

ග්වෙන්ඩලින්:
ඇත්තටම, මට හිතාගන්න බෑ කවුරුවත් ගමක ජීවත් වෙන්නෙ කොහොමද කියලා. ඉන්නවට වඩා මැරෙණ එක හොඳයි කියලා හිතෙන තරමට මහා කම්මැලි ජීවිතයක්නේ.

සිසිලි:
ආ, ඔය පත්තර වල වගා පරිහානිය කියලා කියන්නේ ඔය ගැන තමයි නේද? මං හිතන්නේ රදළ පවුල්වල අයට දැන් සෑහෙන්න ඔය ලෙඩේ තියෙනවා. හරියට වසංගතයක් වගේලු. තේ ටිකක් බොමුද මිස් ෆෙයාර්ෆැක්ස්?

ග්වෙන්ඩලින්:
[දැඩි ආචාරශීලී බවකින්]
බොහොම ස්තූතියි. [පසෙකට හැරී] නැහැදිච්ච කෙල්ල! ඒත් තේ උගුරක් නොබී පුළුවනෑ!

සිසිලි:
[ප්‍රියමනාප හඬින්]
සීනි?

ග්වෙන්ඩලින්:
[නොසැලකිල්ලෙන් මෙන්] නෑ, එපා. සීනි දාලා තේ බොන එක පරණ කාලේ විලාසිතාවක්. [ඈ දෙස කෝපයෙන් බැල්මක් හෙලන සිසිලි, සීනි හැඳි හතරක්ම තේ කෝප්පයට දමයි.]

සිසිලි:
[සැරෙන්] කේක්ද කන්නෙ, පානුයි බටරුයිද?

ග්වෙන්ඩලින්:
[අලස බව පිරි හඬකින්]
පානුයි බටරුයි හොඳයි. ඉහළ පැලැන්තියේ ගෙවල් වල දැන් කාලේ කේක් පාවිච්චි කරන්නෙ නෑ.

සිසිලි:
[විශාල කේක් කැබැල්ලක් කපා බන්දේසියෙන් තබයි.]
ඕක දෙන්න මිස් ෆෙයාර්ෆැක්ස්ට.

[එය පිළිගන්වන මෙරිමන් සේවකයා සමග පිටව යයි. තේ කෝප්පය රස බලන ග්වෙන්ඩලින්ගේ මුහුණ ඇඹුල් වේ. එක්වරම කෝප්පය පහත හෙළන ඇය බටර් තැවරූ පාන් ගැනීමට අත දිගු කර, එය කේක් කැබැල්ලක් බව දකියි. ඇය කෝපයෙන් නැගී සිටියි.]

ග්වෙන්ඩලින්:
මගෙ තේ කෝප්පෙට සීනි බාල්දියක්ම හලලා, මං කන්නෙ පානුයි බටරුයි බව බොහොම පැහැදිලිවම කිව්වට පස්සෙත් මට කේක් දීලා. මං බොහොම මෘදු මොළොක් හිතක් තියෙන, ප්‍රියමනාප කෙනෙක් බව තමයි හැමෝම කියන්නේ. ඒත් මං තමුන්ට අවවාද කරනවා, මිස් කාර්ඩිව්, තමුන් මේක දුරදිග ගෙනියනවා බොහොම වැඩියි!

සිසිලි:
[නැගිටිමින්] මගේ අසරණ, අහිංසක කොල්ලාව කාගේ හරි කට්ට කෛරාටිකකම් වලින් ගලවගන්න මං ඕනතරම් දුරකට දිගකට යන්න ලෑස්තියි.

ග්වෙන්ඩලින්:
තමුන්ව දැක්ක ගමන්ම මං සැක කළා තමුන් මහා කපටි වංචාකාරියෙක් කියලා. මාව ලේසියෙන් රවට්ටන්න බෑ. මිනිස්සු ගැන මට මුළින්ම දැනෙන දේ කොයිවෙලෙත් හරියටම හරි.

සිසිලි:
මං හිතන්නේ මිස් ෆෙයාර්ෆැක්ස්, මං තමුන්ගේ වටිනා කාලය නාස්ති කරනවා. තමුන්ට හරි යන තව ඕනතරම් අය මේ අහළ පහළ ඇතිනෙ. ගිහින් ඒගොල්ලොත් එක්ක කතා කර කර හිටියනම් මොකද.

[ජැක් පැමිණේ.]

ග්වෙන්ඩලින්:
[ඔහුව දැක]
අර්නස්ට්! මගෙ රත්තරං අර්නස්ට්!

ජැක්:
ග්වෙන්ඩලින්! වස්තුවේ! [ඈ සිපගැනීමට ඉදිරියට නැඹුරුවෙයි.]

ග්වෙන්ඩලින්:
[පසුපසට වෙමින්]
පොඩ්ඩක් ඉන්න! ඔයා මෙන්න මේ මෙතන ඉන්න ගෑනු ළමයාව කසාද බඳින්න පොරොන්දු වෙලාද ඉන්නෙ කියලා මට කියලා ඉන්න. [අත දිගු කර සිසිලිව පෙන්නයි.]

ජැක්:
[සිනාසෙමින්]
මේ පුංචි සිසිලි කෙල්ල! අපොයි නෑ! ඔයාගෙ ඔය සීදේවි ඔළුවට එහෙම එකක් ඇතුල් වුණේ කොහොමද?

ග්වෙන්ඩලින්:
ඇති යන්තං. ඔන්න දැන් පුළුවන්. [සිය කම්මුල දිගු කරයි.]

සිසිලි:
[ඉතාමත් ප්‍රියමනාප හඬින්] මං දැනගත්තා මෙතන මොකක් හරි වැරැද්දක් වෙලා තියන බව, මිස් ෆෙයාර්ෆැක්ස්. ඔය ඔයාගෙ ඉණ වටේට අත් දෙක දාගෙන ඉන්න මහත්මයා තමයි මගේ භාරකාරයා, ජෝන් වර්දිං මහත්මයා.

ග්වෙන්ඩලින්:
මොකද්ද කිව්වෙ?

සිසිලි:
මේ ඉන්නෙ ජැක් මාමා.

ග්වෙන්ඩලින්:
[ඈත් වෙමින්] ජැක්! හපොයි!

[ඇල්ජර්නන් පැමිණෙයි.]

සිසිලි:
මේ ඉන්නේ අර්නස්ට්.

ඇල්ජර්නන්:
[අන් කිසිවෙකුවත් නොදකින ඔහු කෙළින්ම සිසිලි වෙත යයි.] මගෙ වස්තුවේ! [ඈ සිපගැනීමට සූදානම් වෙයි.]

සිසිලි:
[පසුපසට නැඹුරු වෙමින්] පොඩ්ඩක් ඉන්න අර්නස්ට්! මෙන්න මේ මෙතන ඉන්න නෝනාව ඔයා කසාද බඳින්න පොරොන්දු වෙලාද ඉන්නෙ?

ඇල්ජර්නන්:
[වටපිට බලමින්] මොන නෝනාවද? හත් දෙයියනේ! ග්වෙන්ඩලින්!

සිසිලි:
ඔව්! හත් දෙයියන්ගෙ ග්වෙන්ඩලින්ව?

ඇල්ජර්නන්:
[සිනාසෙමින්]
අපොයි නෑ! ඔයාගෙ ඔය සීදේවි ඔළුවට එහෙම එකක් ඇතුල් වුණේ කොහොමද?

සිසිලි:
ඇති යන්තං. [ඇගේ කම්මුල පාමින්] ඔන්න දැන් පුළුවන්. [ඇල්ජර්නන් ඇයට හාද්දක් පිරිනමයි.]

ග්වෙන්ඩලින්:
මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා, මිස් කාර්ඩිව්. ඔය ඔයාව බදාගෙන ඉන්න මහත්මයා මගේ ඥාති සහෝදරයා, ඇල්ජර්නන් මොන්ක්‍රීෆ්.

සිසිලි:
[ඇල්ජර්නන් වෙතින් ඈත් වෙමින්] ඇල්ජර්නන් මොන්ක්‍රීෆ්! හපොයි! [කාන්තාවන් දෙදෙනා ජැක් හා ඇල්ජර්නන් වෙතින් ඈත් වී එකිනෙකා වෙත ළඟාවෙති.]


සිසිලි:
ඔයාගෙ නම ඇල්ජර්නන්ද?

ඇල්ජර්නන්:
එහෙම නෙවෙයි කියන්න බෑ මට.

සිසිලි:
අනේ!

ග්වෙන්ඩලින්:
ඔයාගෙ නම ඇත්තටම ජෝන් ද?

ජැක්:
[ආඩම්බරයෙන් මෙන්] මට ඕනෙනම් එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන්. මට ඕනෙනම් ඕනෙම දෙයක් ගැන එහෙම නෙවෙයි කියන්න පුළුවන්. ඒත් ඇත්තටම මගේ නම ජෝන් තමයි. දැන් අවුරුදු ගාණක ඉඳං.

සිසිලි:
[ග්වෙන්ඩලින් වෙත] අපි දෙන්නවම ලොකු බොරුවකට අහුවෙලා.


ජැක් හා ඇල්ජර්නන් වෙතින් මෑත් වූ සිසිලි හා ග්වෙන්ඩලින් එකිනෙකා සනසවාගනිමින්

ග්වෙන්ඩලින්:
අනේ මගේ අහිංසක සිසිලි!

සිසිලි:
අනේ මගේ අසරණ ග්වෙන්ඩලින්!

ග්වෙන්ඩලින්:
[සෙමෙන් එහෙත් බැරෑරුම් ලෙස]
ඔයා මට අක්කා කියලා කතා කරනවා නේද? [ඔවුන් දෙදෙනා වැළඳගනිති. ජැක් සහ ඇල්ජර්නන් ගොරවමින් ඉහළ පහළ ඇවිදිති.]

සිසිලි:
[මදක් ප්‍රබෝධයෙන්] මට මගේ භාරකාරතුමාගෙන් අහන්න එක ප්‍රශ්නයක් තියෙනවා.

ග්වෙන්ඩලින්:
අන්න හරි! වර්දිං මහත්මයා, අපිට තමුන්ගෙන් අහන්න එකම එක ප්‍රශ්නයක් තියෙනවා. කෝ තමුන්ගේ මල්ලි අර්නස්ට්? අපි දෙන්නම විවාහ ගිවිසගෙන තියෙන්නේ තමුන්ගෙ අර්නස්ට් මල්ලි එක්ක. ඉතින් අපි දෙන්නටම දැනගන්න ඕනෙ එයා මේ වෙලාවෙ කොහෙද ඉන්නෙ කියලා.

ජැක්:
[සෙමින්, පසුබාමින්] ග්වෙන්ඩලින් – සිසිලි – මේ වෙලාවේ ඇත්ත කියන එක මට හරි අමාරු දෙයක්. මට මෙහෙම අවස්ථාවකට මූණ දෙන්න වෙච්ච පළවෙනි වතාව මේ. ඉතිං මට වැඩි අත්දැකීමක් නෑ මෙහෙම අවස්ථාවකට මූණ දෙන්න ඕනෙ කොහොමද කියලා. කොහොමහරි, මං මේ කියන්නෙ, ඇත්තටම මට අර්නස්ට් කියලා මල්ලි කෙනෙක් හිටියෙ නෑ. මට කිසිම සහෝදරයෙක් ඇත්තෙම නෑ. මගෙ මුළු ජීවිතේටම සහෝදරයෙක් ඉඳලත් නෑ, මින් ඉස්සරහට එහෙම කෙනෙක් හදාගන්න කිසිම අදහසකුත් නෑ.

සිසිලි:
[පුදුමයෙන්] සහෝදරයෙක් නෑ?

ජැක්:
[උද්දාමයෙන්] නෑනේ!

ග්වෙන්ඩලින්:
[සැරෙන්] ඔයාට මොනම විදිහකවත් සහෝදරයෙක් හිටියෙම නැද්ද?

ජැක්:
[ප්‍රියමනාම ලෙසින්] කවදාවත් නෑ. මොනම විදිහකවත් සහෝදරයෙක් හිටියෙම නෑ.

ග්වෙන්ඩලින්:
ඒ කියන්නේ සිසිලි, අපි කා එක්කවත් විවාහ ගිවිසගෙන නෑ.

සිසිලි:
අනේ ඒ වගේ තත්ත්වෙකට කෙල්ලෙක් එකපාරටම වැටෙන එක කොච්චර පව්ද, නේද?

ග්වෙන්ඩලින්:
අපි යමු ගෙට. මේ දෙන්නා අපේ පස්සෙන් ගේ ඇතුළට එන එකක් නෑ. එච්චර හරියක් කරන්න ඒගොල්ලන්ට බෑ.

සිසිලි:
මිනිස්සුනම් මහ බයගුලු ජාතියක්, නේද?

[උදාරම් බැල්මෙන් යුතුව ඔවුහු නිවස තුළට පිටව යති.]

ජැක්:
මේ වගේ එපාකරපු වැඩවලට වෙන්නැති තමුසෙ බන්බරියාව කියන්නේ, මං හිතන්නෙ?

ඇල්ජර්නන්:
ඔව්, හරිම සුන්දර බන්බරියාවක්. මගෙ ජීවිතේට දැක්ක ලස්සනම බන්බරියාව.

ජැක්:
හරි, ඒත් තමුසෙට කිසිම අයිතියක් නෑ මෙහෙ ඔය කියන බන්බරියාව කරන්න.

ඇල්ජර්නන්:
පිස්සුද ඕයි? ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා තමුන් කැමති ඕන තැනක ඉඳන් බන්බරියාව කරන්න. හැබෑ බන්බරියෝ ඕන කෙනෙක් ඒ බව දන්නවා.

ජැක්:
හැබෑ බන්බරියො! අනේ දෙයියනේ!

ඇල්ජර්නන්:
මේකයි, කෙනෙක් කොයියම්ම දෙයක් හරි හැබෑවට කරන්න එපැයි. නැත්තං මොකද්ද ජීවිතෙන් ඇති වැඩේ. මං හැබෑවටම කළේ මේ බන්බරියාව. තමුසෙනම් මේ ලෝකෙ තියෙන මොන වැඩේද හැබෑවටම කළේ කියන්නනං මට කිසිම අදහසක් නෑ. කිසිම දෙයක් ගැන. තමුසෙ හැමදේම බොහොම සුළුවට ගන්න මිනිහෙක්නේ.

ජැක්:
මේ කාලකණ්ණි වැඩෙන් මං දකින එකම හොඳේ තමුසෙගෙ බන්බරි යාළුවා මකබෑවිලා ගිය එක. දැන් තමුසෙට ඉස්සර වගේ ගමට පැනලා යන්න වෙන්නෙ නෑ. ඒකනම් ඇත්තටම හොඳ දෙයක්.

ඇල්ජර්නන්:
තමුසෙගෙ මල්ලිත් පේන්න නැතුව ගියා නේද? තමුසෙටත් දැන් ඉස්සර වගේ හිතිච්ච ගමන් ලන්ඩන් වලට පැනලා දුවන්න වෙන්නෙ නෑ. ඒකත් ඉතිං නරකම නෑ.

ජැක්:
අනිත් කාරණාව තමුසෙ මිස් කාර්ඩිව්ට දාන බැල්ම. ඒ වගේ අහිංසක සුකුමාර පොඩි කෙල්ලෙක් දැපනෙ දාගන්න එක මහ කැත වැඩක් ඕයි. මං එයාගේ භාරකාරයා වුණත් නැතත් තමුසෙ ඒ කරපු වැඩේට සමාවක් දෙන්න බෑ.

ඇල්ජර්නන්:
මිස් ෆෙයාර්ෆැක්ස් වගේ මොළේ ඇති, ඇසූපිරූ තැන් ඇති කෙල්ලෙක් තමුසෙ රවට්ටපු විදිහ සාධාරණීකරණයකරන්න පුළුවන් කිසිම හේතුවක් මටත් පේන්නෙ නෑ. එයා මගේ නෑනා වුණත් නැතත් තමුසෙටත් ඒ කරපු වැඩේට කිසිම සමාවක් දෙන්න බෑ.

ජැක්:
මට ග්වෙන්ඩලින්ව කසාද බඳින්න ඕන වුණා, එච්චරයි. මං එයාට ආදරෙයි.

ඇල්ජර්නන්:
ඉතිං, මටත් ඕන වුණේ සිසිලිව කසාද බඳින්න විතරයි. මං එයාට ගොඩක් ආදරෙයි.

ජැක්:
තමුසෙට මිස් කාර්ඩිව්ව බඳින්න හම්බවෙන්නෙ නෑ.

ඇල්ජර්නන්:
තමුසෙටත් මිස් ෆෙයාර්ෆැක්ස් එක්ක එකතුවෙන්න හම්බවෙයි කියලා මටත් හිතෙන්නෙ නෑ.

ජැක්:
ඒක තමුසෙගෙ වැඩක් නෙවෙයිනේ.

ඇල්ජර්නන්:
ඒක මගෙ වැඩක් වුණානං මං ඒ ගැන කතා කරන්නෙ නෑනේ. [මේසය මත බඳුනක ඇති සීනි බනිස් කන්නට පටන්ගනියි.] තමුන්ගෙම වැඩ ගැන කතා කරන එක මහ බාල වැඩක්නේ. අර තැරැව්කාරයෝ තමයි එහෙම දේවල් කරන්නේ, රෑ කෑම සාද වලදි.

ජැක්:
මේ වගේ අමාරුවක වැටිලා ඉන්න වෙලාවක ඔහොම නිවාඩුපාඩුවේ ඉඳගෙන සීනි බනිස් කකා ඉන්නෙ කොහොමද ඕයි? තමුසෙනං මහ හිතක් පපුවක් නැති මිනිහෙක්.

ඇල්ජර්නන්:
මෙහෙම නැතුව ආයෙ උඩ පැන පැන සීනි බනිස් කන්නයැ. ඇඟ පුරාම සීනි නාගන්න තමයි වෙන්නෙ. සීනි බනිස් කනවනං කන්න ඕනෙ මෙහෙම නිවාඩුපාඩුවේ ඉඳගෙන තමයි. මේවා කන්න පුළුවන් එකම විදිහ තමයි මේ.

ජැක්:
මං කතා කරන්නේ ඉඳගෙන හරි, හිටගෙන හරි, උඩ පැන පැන හරි මෙහෙම වෙලාවක සීනි බනිස් කන එක ගැන මනුස්සයෝ.

ඇල්ජර්නන්:
මගේ හිත කරදර වෙච්ච වෙලාවට මං කරන්නෙ කෑම කන එක. ඒක තමයි මගේ හිත සනසවගන්න තියෙන එකම විදිහ. ඇත්තම කියනවනං, මං ලොකුම ලොකු අමාරුවක වැටිලා ඉන්න වෙලාවක කෑම බීම ඇර වෙන කිසිම දෙයක් දිහා මං බලන්නෙවත් නෑ. මේ වෙලාවේ මං සීනි බනිස් කන්නේ මං දුකෙන් ඉන්න හින්දා. ඒ නැතත් මං හරි ආසයි සීනි බනිස් කන්න. [නැගිටියි.]

ජැක්:
[නැගිටියි] එහෙමයි කියලා තමුසෙ මළ පෙරේතයෙක් වගේ ඔය ඔක්කොම ගිලලා දාන්න ඕනෙ නෑ! [ඇල්ජර්නන්ගෙන් සීනි බනිස් බඳුන උදුරා ගනියි.]


සීනි බනිස් පොරය

ඇල්ජර්නන්:
[
ගල් බනිස් පිළිගන්වමින්] තමුසෙ කනවකො මේ ගල් බනිස්. මං මේවා කන්න කැමති නෑ.

ජැක්:
දෙයි හාමුදුරුවනේ! මනුස්සයෙක්ට තමුන්ගෙම වත්තෙ ඉඳගෙන තමුන්ගෙම සීනි බනිස් ගෙඩියක් කාගන්න නිදහසක් නැති හැටි!

ඇල්ජර්නන්:
ඒත් දැන් තමුසෙමනෙ කිව්වෙ සීනි බනිස් කන එක මහ හිතක් පපුවක් නැති වැඩක් කියලා.

ජැක්:
මං කතා කළේ මේ වගේ වෙලාවක තමුසෙ සීනි බනිස් කන එක ගැන. ඒකයි මේකයි වෙනස්.

ඇල්ජර්නන්:
ඒක වෙන්න පුළුවන්. ඒත් සීනි බනිස් කියන්නේ සීනි බනිස්. [ජැක් වෙතින් සීනි බනිස් බඳුන උදුරාගනියි.]

ජැක්:
ඇල්ජි, දෙයියන්ගෙ නාමෙට මෙහෙන් තොලොන්චි වෙලා පලයන් යන්න.

ඇල්ජර්නන්:
රෑ කෑම වේලක්වත් නොදී මට යන්න කියන්න තමුසෙට බෑ. ඒක හොඳ නෑ. මං රෑ කෑම කන්නෙ නැතුව ගේකින් එළියට බැහැලා යන්නෙ නෑ. කවුරුවත් එහෙම කරන්නෙ නෑ ඔය නිර්මාංශිකයො වගේ අය ඇරෙන්න. අනිත් එක මං මේ චැසියුබල් පූජකතුමා හම්බවෙන්න එන්නම් කියලත් පොරොන්දු වුණා හයට කාලක් තියෙද්දි, අර්නස්ට් කියන නමෙන් බෞතීස්ම වෙන්න.

ජැක්:
ඔය මෝඩ අදහස ඉක්මණට අත ඇරගන්න එක තමුසෙගෙ ඇඟට ගුණයි. මං චැසියුබල් පූජකතුමාව අද පහමාරට හම්බවෙන්න එන්නම් කියලා පොරොන්දු වුණේ අද උදේ. මමයි අර්නස්ට් කියන නමින් බෞතීස්ම වෙන්නේ. ග්වෙන්ඩලින් කැමති ඒ නමට. තමුසෙටයි මටයි දෙන්නටම අර්නස්ට් කියන නමෙන් බෞතීස්ම වෙන්න බෑනේ. ඒක හොඳ නෑ. ඒ නැතත්, මට ඕනෙනං බෞතීස්ම වෙන්න මට හැම අයිතියක්ම තියෙනවා. මං කවදාවත් බෞතීස්ම වෙලා තියෙනවද කියන්න කිසිම සාක්කියක් කොහෙවත් නෑ. හුඟක් වෙලාවට මං කවදාවත්ම බෞතීස්ම වෙලා නැතුව ඇති. පූජකතුමාත් එහෙම හිතනවා. ඒත් තමුසෙ එහෙම නෙවෙයිනේ. තමුසෙ දැනටමත් බෞතීස්ම වෙලානේ.

ඇල්ජර්නන්:
ඔව්, ඒත් මට දැන් අවුරුදු ගාණකින් බෞතීස්ම වෙන්න බැරි වුණා.

ජැක්:
ඒත් තමුසෙ කොහොමහරි බෞතීස්ම වෙලානේ. ඒකනෙ වැදගත්.

ඇල්ජර්නන්:
අන්න හරි. ඉතිං මං දන්නවා මගේ ශරීර සෞඛ්‍යය ඒ වැඩේට ඔරොත්තු දෙනවා කියලා. තමුසෙ හරියටම දන්නෙ නැත්තම් තමුසෙ කවදාවත් බෞතීස්ම වෙලා තියෙනවද නැද්ද කියලා, මං කියන්නෙ මේ වෙලාවෙ තමුසෙ එහෙම දෙයක් කරගන්නෙ නැතුව ඉන්න එක හොඳයි කියලා. ඒකෙන් තමුසෙ ලෙඩ වෙන්න පුළුවන්. තමුසෙගෙ බොහොම සමීප ඥාතියෙක් මේ සුමානෙ පැරිසියෙදි උණ සන්නිපාතෙ හැදිලා මළා කියලා තමුසෙට අමතක වුණා වෙන්න බෑනේ.

ජැක්:
ඔව්, ඒත් තමුසෙ කිව්වනෙ ඒක ආරෙට එන ලෙඩක් නෙවෙයි කියලා.


ඇල්ජර්නන්:
ඉස්සර එහෙම නෙවෙයි, ඒක මං දන්නවා -- ඒත් දැන් ඒක ආරෙට එනවලු. මේ විද්‍යාව කියන දේ දවසින් දවස හරිම ලස්සනට දියුණු වෙනවා, බොහොම වටිනා කියන කරුණු කාරණා හොයාගන්නවා.

ජැක්:
[සීනි බනිස් තැටිය අතට ගනිමින්] විකාර; තමුසෙ කොයි වෙලාවෙත් විකාරමයි දොඩවන්නෙ.

ඇල්ජර්නන්:
ඕන්න ඒ ගමන තමුසෙ ආයෙත් සීනි බනිස් කනවා. ඕක කරන්න එපා ඕයි, තව දෙකයි ඉතුරු. [ජැක් වෙතින් යළිත් බඳුන උදුරාගනියි] මං කිව්වනේ මං සීනි බනිස් කන්න හරි ආසයි කියලා.

ජැක්:
ඒ වුණාට මං කැමති නෑ 
ඕයි ගල් බනිස් කන්න.

ඇල්ජර්නන්:
එහෙනං තමුසෙ මොන ඉටිගෙඩියකටද තමුසෙගෙ ගෙදරට එන මිනිස්සුන්ට ගල්
 බනිස් කවන්නෙ? තමුසෙගෙත් මහ පුදුමාකාර ආගන්තුක සත්කාරනේ තියෙන්නේ!

ජැක්:
ඇල්ජර්නන්. මං කිව්වෙ තමුසෙට මෙහෙන් යන්න කියලා. මං කැමති නෑ තමුසෙ මෙහෙ ඉන්නවට. ඉතිං යනවකො!

ඇල්ජර්නන්:
මං තාම තේ බීලා ඉවර නෑනේ! මේ තව සීනි බනිස් ගෙඩියකුත් ඉතුරුයි. [ජැක් ගොරවමින් අසුන තුළට කිඳා බසියි.
ඇල්ජර්නන් නොනවත්වා අහාර ගනියි.]



II ජවනිකාව නිමාව


 - මතු සම්බන්ධයි -





194. නමක මහිම...04

[එකිනෙකාගේ දෑත් පටලාගෙන පිවිසෙන ඇල්ජර්නන් හා සිසිලි, ජැක් වෙත සෙමින් පැමිණේ.]

ජැක්:

දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ! [ජැක් ඇල්ජර්නන් හට ඉවත් වන ලෙස හිස වනා හඟවයි.]

ඇල්ජර්නන්:
ජෝන් අයියේ, මම මේ නගරෙ ඉඳන් මෙච්චර අමාරුවෙන් ආවේ මං ඔයාට දීපු කරදරවලට සමාව ඉල්ලගන්න. මම මීටපස්සෙ හොඳ මිනිහෙක් වගේ ජීවත් වෙනවා.

[ජැක් ඔහු වෙත ඔරවාගෙනම සිටින අතර ඔහු දිගු කරන අත අල්ලාගන්නේ නැත.] 


සිසිලි:
ජැක් මාමේ, ඔයා ඔයාගෙ මල්ලිව පිළිගන්නවා නේද?

ජැක්:
කීයක් දුන්නත් මමනං ඔය මිනිහගෙ අත අල්ලන්නෙ නෑ. තියෙන ලැජ්ජ නැතිකමට තමයි ඔය මෙහෙ ඇවිත් තියෙන්නේ. මං මෙහෙම කියන්නෙ මොකද කියලා එයා දන්නවා හොඳටම.

සිසිලි:
ජැක් මාමේ, ඔයිට වඩා කරුණාවන්ත වෙන්නකෝ. හැම දෙනාම ළඟ මොකක් හරි හොඳක් තියෙනවා. අර්නස්ට් මට දැන් කිය කිය හිටියේ එයාගෙ අසරණ අබ්බගාත යාළුවා බන්බරි ගැන. මෙයා නිතරම එයා ගැන හොයලා බලනවලු. ඒ වගේ කිසිදෙයක් කරගන්න බැරි අබ්බගාතයෙක්ට කරුණාවෙන් සලකන කෙනා කොච්චර හොඳ කෙනෙක් වෙන්න ඕනෙද. ලන්ඩන් වල තියෙන හැම සතුටක්ම අමතක කරලා දාලා යාළුවාගේ දුක වේදනාව බෙදාගන්න එයා ළඟට වෙලා ඉන්න කෙනෙක්.

ජැක්:
ආ! ඒ ගමන මේ මිනිහා බන්බරි ගැනත් කතා කළාද?

සිසිලි:
ඔව්, එයා මට ඒ අසරණ බන්බරි ගැන හැමදේම කිව්වා. එයා කොච්චර අසනීපෙන්ද ඉන්නෙ කියලත් කිව්වා.

ජැක්:
බන්බරි! ඔය බන්බරි ගැනවත් වෙන මොකක් ගැනවත් තව එක වචනයක්වත් ඔය මිනිහට මං ඔයාගේ කනේ තියන්න ඉඩ දෙන්නෙ නෑ. මේ මිනිහා ඔයාවත් පිස්සු වට්ටන්නයි හදන්නේ.

ඇල්ජර්නන්:
මං දන්නවා මං වැරදි කරපු බව. ඒත් අයියේ මට ඔහොම කතා කරන්න එපා, ඒක හරිම අසාධාරණයි. මේ මං මෙහෙ ආපු පළවෙනි වතාවනේ. ඉතිං මාව ආදරෙන් පිළිගන්නකෝ.

සිසිලි:
ජැක් මාමේ, ඔයා දැන් අර්නස්ට්ට අතට අත දීලා එයාව පිළිගත්තෙ නැත්තං, මං ආයෙ කවදාවත් ඔයාට සමාවක් දෙන්නෙ නෑ.

ජැක්:
කවදාවත් සමාවක් දෙන්නෙ නෑ?

සිසිලි:
නෑ, නෑ, නෑමයි!

ජැක්:
හරි, මේක තමයි මං මේ මිනිහට අතට අත දෙන අන්තිම වතාව. [ඔරවාගෙනම ඇල්ජර්නන්ට අතට අත දෙයි.]

චැසියුබල්:
මේ වගේ සමාදානවීමක් දකින්න ලැබුණ එක වාසනාවක්, නේද? මං හිතන්නේ අපි මේ අයියා මලෝ දෙන්නාට ටිකක් තනියම ඉන්න දීලා ගියානං හොඳයි.

මිස් ප්‍රිස්ම්:
සිසිලි, එන්න අපිත් එක්ක.

සිසිලි:
හොඳයි මිස් ප්‍රිස්ම්. මගේ සමාදාන මෙහෙයුම ඉවරයි.

චැසියුබල්:
ඔයා අද හරිම හොඳ වැඩක් කළේ දරුවෝ.

මිස් ප්‍රිස්ම්:
අපි දැම්මම නිගමනවලට බහින්න හොඳ නෑ.

සිසිලි:
මටනම් හරිම සතුටුයි. [ඔවුහු පිටව යති.]

ජැක්:
තමුසෙ මහ කපටි මිනිහෙක් ඇල්ජි. පුළුවන් ඉක්මණට මෙහෙන් මකබෑවිලා ගියානං හොඳයි. මං කැමති නෑ මෙහෙ බන්බරියන්ව තියාගන්න.

[මෙරිමන් පැමිණේ.]

මෙරිමන්:
අර්නස්ට් මහත්මයාගේ බඩුමුට්ටු මං ඔබතුමාගේ කාමරේට අල්ලපු කාමරෙන් තිබ්බා. එහෙම හොඳයි නේද හාමු?

ජැක්:
මොකක්?

මෙරිමන්:
අර්නස්ට් මහත්මයාගේ බඩුමුට්ටු, හාමු. ඒවා මම ඔබතුමාගේ කාමරේට අල්ලපු කාමරෙන් තිබ්බා.

ජැක්:
මේ මිනිහගෙ බඩුමුට්ටු?

මෙරිමන්:
එහෙමයි හාමු. ගමන් මළු තුනයි, සබන් පුයර පෙට්ටියයි, තොප්පි දෙකයි, ලොකු කෑම පෙට්ටියයි.

ඇල්ජර්නන්:
මේ වතාවේ මට සතියකට වඩා ඉන්න අමාරුයි.

ජැක්:
මෙරිමන්, දැම්මම එන්න කියනවා රේස් කරත්තෙකට. අර්නස්ට් මහත්තයාට ටවුමෙන් පණිවිඩයක් ඇවිල්ලා වහාම එන්න කියලා.

මෙරිමන්:
හොඳමයි හාමු. [යළි නිවස තුළට යයි.]

ඇල්ජර්නන්:
තමුසෙ මහ බොරුකාරයෙක්නෙ ජැක්. මට ටවුමෙන් පණිවිඩයක් ආවෙ නෑනේ.

ජැක්:
ආවා.

ඇල්ජර්නන්:
කවුරුත් කතා කරනවා මට ඇහුණෙ නෑනේ.

ජැක්:
මහත්මයෙක් විදිහට තමුසෙට තියෙන වගකීම තමුසෙට කතා කරනවා.

ඇල්ජර්නන්:
මහත්මයෙක් විදිහට මට තියෙන වගකීම කවදාවත් මගේ සතුටට පොඩ්ඩක්වත් බාධා කරන්නෙ නෑ.

ජැක්:
මට පේනවා ඒ බව.

ඇල්ජර්නන්:
සිසිලි හරිම සීදේවී කෙල්ලෙක් ඕයි.

ජැක්:
තමුසෙට අයිතියක් නෑ සිසිලි කාර්ඩිව් ගැන එහෙම කතා කරන්න. මං කැමති නෑ ඒකට.

ඇල්ජර්නන්:
මං කැමති නෑ තමුසෙ ඔය ඇඳං ඉන්න ඇඳුමට. තමුසෙ සම්පූර්ණයෙන්ම විකාරයක් වගේ ඕක ඇඳං ඉන්න කොට. ගිහිං ඕක මාරු කරගන්නවාකො. තමුසෙගෙම ගෙදර අමුත්තෙක් විදිහට සතියක්ම ගත කරන්න යන මනුස්සයෙක් වෙනුවෙන් ඔහොම දුක් වෙන එක හරි නෑනේ. ඒක මහ විහිළුවක්නේ.

ජැක්:
තමුසෙ අමුත්තෙක් විදිහටවත් වෙන මොකෙක් විදිහටවත් මේ ගෙදර සුමානයක් ඉන්නෙ නෑ. තමුසෙ යන්න ඕනෙ... හතරෙ කෝච්චියෙ.

ඇල්ජර්නන්:
තමුසෙ ඔහොම දුක් වෙනකොට මං කොහොමද තමුසෙව දාලා යන්නෙ? චැහ්, හරිහමං යාළුවෙක් එහෙම වැඩ කරන්නෙ නෑ. මං ඔහොම මළගිය ප්‍රාණකාරයෙක් වෙනුවෙන් දුක් වෙවී ඉන්නකොට තමුසෙ යනවද මාව දාලා? නෑනෙ. එහෙම දෙයක් කළොත් මං හිතන්නේ තමුසෙ මහ හිතක් පපුවක් නැති මිනිහෙක් කියලා.


කළු ඇඳුමින් සැරසී සිටින ජැක් සහ ඔහු හා වාද කරන ඇල්ජර්නන්

ජැක්:
හරි, මං ඇඳුම් මාරු කරගෙන ආවොත් තමුසෙ යනවද?

ඇල්ජර්නන්:
ඔව්, තමුසෙට එච්චර වෙලා නොගෙන ඇඳුම් මාරු කරං එන්න පුළුවන්නං. තමුසෙ තරම් ඇඳුම් අඳින්න වෙලාව ගත කරන මිනිහෙක්ව මම වෙන දැකලම නෑ. කොච්චර වෙලා අරං ඇන්දත් ආයෙ අමුතු වෙනසක් තියෙනවා කියලයැ.

ජැක්:
තමුසෙ වගේ කොච්චරවත් ඕනෙවට වඩා ඇඳුම් පොරවගෙන ඉන්නවට වඩා ඒක හොඳයි.

ඇල්ජර්නන්:
මං ඉඳ හිට ටිකක් වැඩිපුර ඇඳුම් ඇන්දට මක් වෙනවද, ඊට හරියන්න මං වැඩිපුර ඉගෙනගෙන තියෙනවනේ.

ජැක්:
තමුසෙගෙ මාන්නක්කාරකම විකාරයක්, තමුසෙගෙ හැසිරීම ඊටත් වඩා විකාරයක්, තමුසෙ මගේ මේ වත්තෙ මෙහෙම හිටගෙන ඉන්න එක තනිකරම විහිළුවක්. කොහොමහරි, තමුසෙ දැන් හතරෙ කෝච්චිය අල්ලගෙන ආපහු යනවා. තමුසෙට යහතින් ආපහු යන්ඩ ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. තමුසෙගෙ ඔය බන්බරියාවෙන් තමුසෙට ඇති වෙන සෙතක් නෑ. [නිවස තුළට යයි.]

ඇල්ජර්නන්:
මොකද නැත්තෙ, සෙත් ශාන්තියක්ම වෙලා තියෙන්නේ. මං සිසිලිට ආදරෙයි. එච්චරයිනෙ ඕනේ. [සිසිලි උද්‍යානය පසුපසින් මතු වෙයි. ඇය මල් පැළවලට වතුර වත්කරන්නට පටන්ගනියි.] ඒත් ආපහු යන්න කළින් මං තව බන්බරියාවකට වැඩ ලෑස්ති කරලා යන්න ඕනෙ. ආ, අර ඉන්නෙ.

සිසිලි:
ආ, මං මේ ආවේ රෝස මල් වලට වතුර ටිකක් දාන්න. මං හිතුවේ ඔයා ජැක් මාමා එක්ක ඇත්තෙ කියලා.

ඇල්ජර්නන්:
එයා ගියා මට රේස් කරත්තයක් ලෑස්ති කරන්න.

සිසිලි:
මාමා ඔයාව වටපිට බලන්න එක්ක යනවා කිව්වද?

ඇල්ජර්නන්:
එයා මාව ගෙදර යවන්නයි ලෑස්ති වෙන්නේ.

සිසිලි:
ඒ කියන්නේ අපිට වෙන් වෙන්න වෙනවද?

ඇල්ජර්නන්:
ඒ වගෙයි පේන්නේ. හරිම දුකයි.

සිසිලි:
කෙනෙක්ව හම්බවෙච්ච ගමන්ම එයාගෙන් වෙන්වෙන්න සිද්ද වෙන එක හරිම වේදනාවක්. පරණ යාළුවෝ ළඟ නැති පාළුව කෙනෙකුට දරාගෙන ඉන්න පුළුවන්. ඒත් මේ මුණගැහුණගමන් කෙනෙක්ගෙන් පොඩි වෙලාවකට හරි වෙන්වෙන්න සිද්ද වෙන එකනම් දරාගන්න බෑ.

ඇල්ජර්නන්:
ඒකනෙ.

[මෙරිමන් පැමිණෙයි.]

මෙරිමන්:
රේස් කරත්තෙ ඇවිල්ලා මහත්මයා. [ඇල්ජර්නන් සිසිලි වෙත ආයාචනාත්මක බැල්මක් හෙලයි.]

සිසිලි:
ඒකට ඉන්න කියන්න මෙරිමන්... විනාඩි පහක්.

මෙරිමන්:
හොඳයි පුංචි නෝනා. [මෙරිමන් පිටව යයි.]

ඇල්ජර්නන්:
සිසිලි, ඔයා අමනාප වෙන්නෙ නැත්තම් මං පොඩි කාරණාවක් කියන්නද? අවංකවම, විවෘතවම කියනවනම්, මට ඔයාව පේන්නේ සර්ව සම්පූර්ණ බවේ හැබෑම ප්‍රතිමූර්තියක් වගේ.

සිසිලි:
ඔයාගෙ අවංකකම මං හරිම අගය කරනවා අර්නස්ට්. ඔයා ඒ කියපු එක මං පොඩ්ඩක් මගේ දිනපොතේ ලියාගන්නද. [මේසය වෙත ගොස් දිනපොතේ සටහන් කරන්නට පටන් ගනියි.]

ඇල්ජර්නන්:
ඔයාට දිනපොතකුත් තියෙනවද? ඒක පොඩ්ඩක් මටත් පෙන්නන්නකො, මං ඕන දෙයක් දෙන්නං ඒ වෙනුවට.


සිසිලිගේ දිනපොතට එබෙන ඇල්ජර්නන්

සිසිලි:
අපොයි බෑ. [ඒ මතින් අතක් තබාගනියි.] ඒකෙ තියෙන්නේ මේ තරුණ ගෑණු ළමයෙකුගේ සිතුවිලි, සංකල්පනා. කවදාහරි ඒක පොතක් විදිහටත් එළියට එන්න බැරි නෑ. එතකොට බැරියෑ ඔයාටත් එකක් අරගෙන බලාගන්න. දැන් අර්නස්ට්, ඔයා කිය කිය හිටපු කතාව නතර කරන්න එපා. මං හරි කැමතියි අසා ලිවීමට. 'ප්‍රතිමූර්තියක් වගේ' කියන තැනට වෙනකල් මං ලියාගත්තා. ඊට පස්සෙ?

ඇල්ජර්නන්:
[පුදුමයට පත් වූ ලෙසින්] අහ්ම්! අහ්ම්!

සිසිලි:
අයියෝ කහින්න එපා අර්නස්ට්. කෙනෙක්ට අහගෙන ලියන්න කියවද්දි හරියට කතා කරන්න ඕනෙ, කහින්න හොඳ නෑ. අනික මං දන්නෙත් නෑ කැස්සක් ලියන හැටි. [ඇල්ජර්නන් කතා කරන අතරේ දිගටම සටහන් කරගනියි.]

ඇල්ජර්නන්:
[ඉක්මණින් කතා කරමින්] සිසිලි, ඔයාගෙ මේ අසමසම, අසිරිමත් සුන්දරත්වය දැකපු මොහොතේ ඉඳලා මට ඕනෙ වුණේ ඔයාට ආදරේ කරන්න. ආදරෙන් වියරු වැටිච්ච පිස්සෙක් වගේ, ඔයා මත්තෙම නැහීගෙන ඔයාට ආදරේ කරන්න.

සිසිලි:
වියරු වැටිච්ච පිස්සෙක් වගේ, මං මත්තෙම නැහීගෙන මට ආදරේ කරනවා කියලා කියන්න ඕනෙ නෑ. අනිත් එක, මොකද්ද මේ
මං මත්තෙම නැහීගෙන කියන එකේ තේරුම?

ඇල්ජර්නන්:
සිසිලි!

[මෙරිමන් පැමිණෙයි.]

මෙරිමන්:
රේස් කරත්තෙ බලා ඉන්නවා මහත්මයා.

ඇල්ජර්නන්:
ඒකට කියනවා ලබන සතියෙ මේ වෙලාවටම එන්න කියලා.

මෙරිමන්:
[මෙරිමන් සිසිලි දෙස බැලුවද, ඇය කිසිවක් පවසන්නේ හෝ ප්‍රකාශ කරන්නේ හෝ නැත.] හොඳමයි. [පිටව යයි.]

සිසිලි:
ඔයා ලබන සතියේ මේ වෙලාව වෙනකල්ම ඉන්නවා කියලා දැනගත්තොත් ජැක් මාමාට හොඳටම තරහා යයි.

ඇල්ජර්නන්:
අයියෝ, එයා ගැන හිතන්න එපා. ඔයා ගැන ඇරෙන්න මේ ලෝකේ වෙන කවුරුවත් ගැන මං හිතන්නේ නෑ. මං ඔයාට ආදරෙයි සිසිලි. ඔයා මාව කසාද බඳිනවා නේද?

සිසිලි:
මෝඩ කොල්ලා! ඔව්, මොකද නැත්තෙ. ඇයි අනේ, අපි දැන් තුන් මාසෙකට උඩදිම විවාහ ගිවිසගත්තනෙ.

ඇල්ජර්නන්:
තුන් මාසෙකට උඩදි?

සිසිලි:
ඔව්, මේ බ්‍රහස්පතින්දට හරියටම මාස තුනයි.

ඇල්ජර්නන්:
ඒත් කොහොමද අපි විවාහ ගිවිසගත්තෙ?

සිසිලි:
මෙහෙමයි, මගේ ජැක් මාමා එයාගෙ තක්කඩි මල්ලි ගැන අපිට කිව්ව දව්සේ ඉඳලා මං මිස් ප්‍රිස්ම් එක්ක වැඩිපුරම කතා කළේ ඔයා ගැන. කෙනෙක් ගැන වැඩි වැඩියෙන් කතා කරන කොට ඒ කෙනා ගැන හිතේ වැඩි වැඩියෙන් කැමැත්තක් ඇති වෙනවා. එයා බොහොම විශේෂ කෙනෙක් කියලා දැනෙන්න පටන්ගන්නවා. ඒක මෝඩයි වගේ තමයි, ඒත් අර්නස්ට්, මං ඔයාට ආදරේ කරන්න පටන්ගත්තා.

ඇල්ජර්නන්:
වස්තුවේ! එතකොට කවදද විවාහ ගිවිසගැනීම සිද්ද වුණේ?

සිසිලි:
පෙබරවාරි දා හතරවෙනිදා. මං ඉන්නවද නැද්ද කියලාවත් හොයන්න ඔයාට කිසිම ඕනකමක් තිබ්බෙ නෑනේ, ඉතිං මට ඇති වෙලා දෙකෙන් එකක් බේරගන්න මං හිත හදාගත්තා. ඊට පස්සෙ මගේ හිතත් එක්කම සෑහෙන්න රණ්ඩු වෙලා රණ්ඩු වෙලා මං අන්තිමේදි මේ ගහ යටදි ඔයාගෙ විවාහ යෝජනාව පිළිගත්තා. ඊළඟ දවසෙ මං මේ පොඩි මුද්ද ඔයාගෙ නමින් අරගත්තා. මෙන්න මේ හැබෑ ආදරේ ගැටේ තියෙන වළල්ල තමයි මං හැමදාම දාගෙන ඉන්නම් කියලා ඔයාට පොරොන්දු වුණේ.

ඇල්ජර්නන්:
මමද මේක ඔයාට දුන්නෙ? ඒක හරි ලස්සනයිනෙ.

සිසිලි:
ඔව්, ඔයාට හොඳ කලාත්මක ඇහැක් තියෙනවා අර්නස්ට්. ඔයා ගෙව්ව නැහැදිච්ච ජීවිතේට මං සමාව දුන්නෙ අන්න ඒ හින්දා. මෙන්න මේ පෙට්ටියේ තමයි මං ඔයාගෙ ලියුම් ඔක්කොම දාලා අරන් තියාගෙන ඉන්නේ. [මේසය අසළ දණගසාගෙන පෙට්ටියක් විවර කර නිල් පැහැති රිබන් පටියකින් ගැටගැසූ ලියුම් මිටියක් පිටතට ගනියි.]

ඇල්ජර්නන්:
මගේ ලියුම්! ඒත් මගෙ රත්තරන් සිසිලි, මං කවදාවත් ඔයාට ලියුම් ලියලා නෑනේ.

සිසිලි:
ඒක ඉතින් ඔයා මට අමුතුවෙන් කියන්න ඕනෙයැ අර්නස්ට්. ඔයාගෙ ලියුම් ඔයාට ලියලා දුන්නෙත් මමමනෙ, මට ඒක හොඳට මතකයි. මං සතියට තුන්පාරක් ලියුම් ලිව්වා, සමහරවිට ඊටත් වැඩියෙන්.

ඇල්ජර්නන්:
අනේ මට ඒවා කියවන්න දෙනවද සිසිලි?

සිසිලි:
අපොයි බෑ. ඔයා ඔළුව උදුම්මවගනියි ඒවා කියවලා. [පෙට්ටිය යළි තැන්පත් කරයි.] මං අපෙ විවාහ ගිවිසුම කඩලා දැම්මට පස්සෙ ඔයා ලියපු ලියුම් තුන තමයි ලස්සනම. ඒවායෙ අකුරුත් වැරදියි. දැනටත් මට ඒවා ආපහු කියවද්දි ඇඬෙනවා.

ඇල්ජර්නන්:
අපේ විවාහ ගිවිසුම කැඩිලත් ගියාද?

සිසිලි:
ඔව්නේ. මාර්තු විසි දෙවෙනිදා. මේ තියෙන්නෙ ලියලා, ඔන්න ඔයාම බලාගන්න. [දිනපොත පෙන්වයි.] 'අද මම අර්නස්ට් සමග තිබූ විවාහ ගිවිසුම බිඳ දැමුවා. වෙන කරන්න දෙයක් නැහැ. අද හරිම ලස්සන දවසක්.'

ඇල්ජර්නන්:
ඒත් ඇයි ඔයා ඒ ගිවිසුම කඩලා දැම්මේ? මං මොනවා කළාටද? මං මුකුත් කළේ නෑනේ. සිසිලි, ඔයා අපේ විවාහ ගිවිසුම කඩලා දාපු බව ඇහැව්වාම මගේ හිතට හරිම අමාරුයි. අනික එච්චර ලස්සන දවසකදි.

සිසිලි:
එක වතාවක් හරි කැඩුණෙ නැත්තං ඒක හැබෑම ගිවිසුමක් වෙන්නෙ කොහොමද. ඒත් ඊළඟ සතිය වෙන්නත් කළින් මං ඔයාට සමාව දුන්නා.

ඇල්ජර්නන්:
[ඈ වෙත ළඟා වී දණ නමාගනියි.] ඔයා දේවදූතියක් සිසිලි.

සිසිලි:
ඔයා හරිම ප්‍රේමණීය හාදයෙක්. [ඔහු ඇයව සිපගනියි. ඇය සිය අතැඟිලි ඔහුගේ හිසකෙස් අතරින් රැගෙන යයි.] ඔයාගෙ කොණ්ඩෙ මේ ඉබේමද රැළි වෙලා තියෙන්නේ?

ඇල්ජර්නන්:
ඔව් වස්තුවේ. 


සිසිලි:
මට හරි සතුටුයි.

ඇල්ජර්නන්:
ඔයා ආයෙ කවදාවත් අපේ විවාහ ගිවිසුම කඩන්නෙ නෑ නේද සිසිලි?

සිසිලි:
ඔයාව ඇත්තටම මෙහෙම මුණගැහුණට පස්සෙ මට ඒක දැන් කඩන්න පුළුවන් වෙන එකක් නෑ. හැබැයි, මට එක ප්‍රශ්නයක් තියෙනවා ඔයාගෙ නම ගැන.

ඇල්ජර්නන්:
ඔව්, අහන්න. [දෙගිඩියාවෙන්.]

සිසිලි:
ඔන්න ඔයා මට හිනාවෙන්නනම් එපා හොඳද. මගෙ පුංචි කාලෙ ඉඳන්ම තිබ්බ හීනයක් තමයි කවදාහරි අර්නස්ට් කියන නම තියෙන කෙනෙකුට ආදරේ කරන එක. [ඇල්ජර්නන් නැගිට සිටියි. සිසිලිද ඒ සමග නැගිටියි.] ඒ නමේ තියෙනවා හරිම විශ්වාසනීය හැඟීමක්. අර්නස්ට් කියන නම නැති මහත්තුරුන්ව කසාද බැඳපු ගෑණු ගැන මට තියෙන්නෙ ලොකු දුකක්.

ඇල්ජර්නන්:
ඒත් මගේ වස්තුවේ, බැරිවෙලාවත් මට වෙන නමක් තිබුණනං ඔයා මට ආදරේ කරන්නෙ නැද්ද එතකොට?

සිසිලි:
මොන වගේ නමක්ද?

ඇල්ජර්නන්:
කැමති නමක් -- අපි කියමුකෝ -- ඇල්ජර්නන් වගේ නමක්...

සිසිලි:
ඒත් මං කැමති නෑනෙ ඇල්ජර්නන් කියන නමට.

ඇල්ජර්නන්:
ඒත් මගේ රත්තරං පුංචි ආදර වස්තුවේ, මට තේරුම් ගන්න බෑ ඇයි ඔයා ඇල්ජර්නන් කියන නමට කැමති නැත්තෙ කියලා. ඒක නරක නමක් නෙවෙයිනේ. ඒක බොහොම වංශවත් නමක්. බංකොලොත් උසාවියට යන වැඩිහරියක් දෙනාගෙ නම ඇල්ජර්නන්. ඒත් ඇත්තටම සිසිලි... [ඈ වෙත ළඟා වෙමින්]... මගේ නම ඇල්ජි වුණානං ඔයාට මට ආදරේ කරන්න බැරිද?

සිසිලි:
මං ඔයාට ගරු කරයි අර්නස්ට්, මං ඔයාගෙ චරිතය අගය කරයි. ඒත් ඔයාට මගේ සම්පූර්ණ අවධානයනම් දෙන්න බැරි වෙයි.

ඇල්ජර්නන්:
මේ... සිසිලි! [හිස් වැස්ම අතට ගනිමින්] මේ පැත්තෙ ඉන්න ඔයගොල්ලන්ගෙ ප්‍රධාන දේවගැතිතුමා පල්ලියෙ වැඩකටයුතු සේරම ගැන හොඳට දන්න කෙනෙක් නේද?

සිසිලි:
අපොයි ඔව්. චැසියුබල් පූජකතුමා බොහොම උගත් කෙනෙක්. එයා කවදාවත් එක පොතක්වත් ලියලා නෑ, පොතක ලියන්න බැරි තරම් ගොඩක් දේවල් එයා දන්නවා.

ඇල්ජර්නන්:
මට එතුමාව දැම්මම හම්බවෙන්න ඕනෙ බොහොම වැදගත් බෞතීස්මයක් - මං කිව්වෙ බොහොම වැදගත් වැඩක් ගැන කතා කරගන්න.

සිසිලි:
අනේ, එහෙමද!

ඇල්ජර්නන්:
මං පැය බාගෙකට වඩා ගන්නෙ නෑ.

සිසිලි:
අපේ විවාහ ගිවිසගැනීම පෙබරවාරි 14 සිද්ධ වුණාට අපි පළවෙනි වතාවට හම්බවුණේ අදනේ. ඉතිං එහෙම තියෙද්දි ඔයා පැය බාගයක් තරම් දිග වෙලාවකට මාව අත ඇරලා යනවා කියලා හිතද්දි හරි දුකයි. විනාඩි විස්සක් මදි වෙයිද?

ඇල්ජර්නන්:
මං ඉක්මණටම එන්නං. [ඇයව සිපගෙන උද්‍යානය හරහා දිව ගොස් පිටව යයි.]

සිසිලි:
හරි කලබලකාරයෙක්නේ! මං හරි කැමතියි එයාගෙ කොණ්ඩෙට. එයාගෙ විවාහ යෝජනාව මගේ දිනපොතේ ලියාගන්න ඕනෙ.

[මෙරිමන් පැමිණේ.]

මෙරිමන්:
ෆෙයාර්ෆැක්ස් මෙනෙවිය කියලා කෙනෙක් ඇවිත් ඉන්නවා වර්දිං මහත්මයා මුණගැහෙන්න. ඒ නෝනා කියන විදිහට බොහොම වැදගත් කාරණාවකට.

සිසිලි:
වර්දිං මහත්මයා පුස්තකාලෙ නැද්ද?

මෙරිමන්:
දැන් ටිකකට කළින් එතුමා දේවස්ථානය පැත්තට ගියා.

සිසිලි:
ඒ නෝනාට මෙහෙට එන්න කියන්න; වර්දිං මහත්මයා ඉක්මණට එයි. අපිට තේත් අරගෙන එන්න.

මෙරිමන්:
හොඳමයි පුංචි නෝනා. [පිටව යයි.]

සිසිලි:
මිස් ෆෙයාර්ෆැක්ස්! ජැක් මාමා එක්ක ලන්ඩන් වල සමාජසේවා වැඩ කරන හොඳ වයසක නෝනා කෙනෙක් වෙන්න ඇති. සමාජසේවා වැඩ කරන ගෑනු අයට මං එච්චරම කැමති නෑ. ඒවා ගෑනුන්ට හරි යන වැඩ නෙවෙයිනේ.

[මෙරිමන් පැමිණේ.]

මෙරිමන්:
ෆෙයාර්ෆැක්ස් මෙනෙවිය.

[ග්වෙන්ඩලින් පැමිණේ. මෙරිමන් පිටව යයි.]

සිසිලි:
[ඈ හමුවීමට ඉදිරියට එමින්] මම සිසිලි කාර්ඩිව්.

ග්වෙන්ඩලින්:
සිසිලි කාර්ඩිව්? [ඈ වෙත පැමිණ අතට අත දෙයි.] හරිම ලස්සන නමක්නේ! මට හිතෙනවා අපි දෙන්නා හොඳ යාළුවෝ වෙයි කියලා. මං හරිම කැමතියි ඔයාට. කෙනෙක් දිහා බැලුවාම මට මුළින්ම දැනෙන දේ කවදාවත් වරදින්නෙ නෑ.

සිසිලි:
මෙච්චර පුංචි වෙලාවකින් ඔයා මට මෙච්චර කැමති වෙච්ච එක කොච්චර දෙයක්ද. එන්න, ඉඳගන්න.

ග්වෙන්ඩලින්:
[හිටගෙනම] මං ඔයාට සිසිලි කියලා කතා කළාට කමක් නෑ නේද?

සිසිලි:
අනේ කමක් නෑ! මං හරිම කැමතියි.

ග්වෙන්ඩලින්:
ඔයත් මට ග්වෙන්ඩලින් කියලා කතා කරනවා නේද?

සිසිලි:
ඔයා කැමති එහෙමනං මං එහෙම කතා කරන්නම්.

ග්වෙන්ඩලින්:
එහෙනං ඔක්කොම හරිනෙ නේද?

සිසිලි:
මාත් හිතනවා. [නිහඬතාවයක්. ඔවුන් දෙදෙනාම එකට හිඳගනිති.]

ග්වෙන්ඩලින්:
මං හිතන්නෙ මං කවුද කියලා කියන්න දැන් වෙලාව හොඳයි. මගේ තාත්තා තමයි බ්‍රැක්නෙල් ආදිපාදවරයා. ඔයා මගේ තාත්තා ගැන අහලා නැතුව ඇති මං හිතන්නේ.

සිසිලි:
නෑනේ.

ග්වෙන්ඩලින්:
වාසනාවකට, තාත්තා ගැන අපේ පවුලෙන් පිට කවුරුවත් දන්නෙම නැති තරම්. ඒක එහෙම තමයි වෙන්න ඕනෙ. මිනිහෙක් ඉන්න ඕනෙ ගෙයක් ඇතුළෙ. කෙනෙක් එයාගෙ ගෙදර දොරේ වැඩ මග අරින්න පටන්ගත්තම ඒ මනුස්සයා ගනංගැනෙන්නේ හරියට ගෑනියෙක් විදිහට, නේද? මං කැමති නෑ ඒකට. ඒ වැඩෙන් වෙන්නෙ මිනිස්සු තව තවත් අවධානය ලබාගන්න එක. සිසිලි, මගේ අම්මා මගේ අධ්‍යාපනය ගැන කොච්චර වද වුණාද කියනවනං, පොත් කියවලාම මගෙ ඇස් දෙක පේන්නෙ නැතුව ගිහිල්ලා; මං මගෙ කණ්ණාඩි දෙක දාගෙන ඔයා දිහා බැලුවට කමක් නෑ නේද?

සිසිලි:
අනේ කමක් නෑ ග්වෙන්ඩලින්. මං හරි කැමතියි අනිත් අය මගෙ දිහා බලනවට.

ග්වෙන්ඩලින්:
[දිගු මිටකට සවි කරන ලද උපැස් යුවළ හරහා සිසිලි දෙස බැලීමෙන් පසු] ඔයා මේ ටික දවසකට මෙහෙ ඇවිත් යන්න ආවා වෙන්න ඇති නේද?

සිසිලි:
අපොයි නැහැ. මම මෙහෙ ඉන්නෙ.

ග්වෙන්ඩලින්:
[සැරපරුෂ හඬින්] ඇත්තට? ඔයාගෙ අම්මාත්, ඒ නැත්තං නැන්දා කෙනෙක්වත් අඩුගානේ මෙහෙ ඇති නේද එහෙනම්?

සිසිලි:
අනේ නෑ! මගෙ අම්මා නෑ, කිසිම නෑදෑයෙකුත් නෑ.
ග්වෙන්ඩලින්:
හැබෑට?

සිසිලි:
මාව බලාගන්න අමාරු රාජකාරිය කරන්නේ මගේ භාරකාරයා. මිස් ප්‍රිස්ම්ගේ උදව් ඇතුව.

ග්වෙන්ඩලින්:
ඔයාගෙ භාරකාරයා?

සිසිලි:
ඔව්, වර්දිං මහත්මයා තමයි මගේ භාරකාරයා.

ග්වෙන්ඩලින්:
එහෙමද! හරි පුදුමයිනෙ, එයා මට කවදාවත් කියලා තිබ්බෙ නෑ එයා කාගෙවත් භාරකාරයෙක් කියලා. හරිම රහස් ගුහාවක් තමයි. ගෙවෙන හැම මොහොතකම එයාගෙ අපූරුව වැඩි වෙනවා. ඒත් මේ ආරංචියනම් මට තනිකරම සතුටක්ද කියන එකනම් හිතාගන්න බෑ. [නැගී සිට සිසිලි වෙත යයි.] මං ඔයාට හරි කැමතියි සිසිලි; මං ඔයාව දැකපු මොහොතෙ ඉඳලම ඔයාට කැමැත්තෙන් හිටියෙ! ඒත් මං කැමතියි -- වර්දිං මහත්මයා ඔයාගෙ භාරකාරයා බව මං දැන් දන්න එකේ -- මේ, ඔයා තව ටිකක් පේනවට වඩා වයසින් වැඩි වුණානම්, ඔය තරම් හිත ඇදගන්න ලස්සන පෙනුමක් ඔයාට නොතිබුණානම්. කොටින්ම කිව්වොත්--

සිසිලි:
අන්න හරි! කෙනෙක්ට අහන් ඉන්න අමාරු විදිහේ ඒවා කියද්දි අනිත් එක්කෙනා ඒවා කොටින්ම කියන එක හොඳයි.



ග්වෙන්ඩලින් හා සිසිලි

ග්වෙන්ඩලින්:
හරි, කොටින්ම කිව්වොත් සිසිලි, මං කැමතියි ඔයාට වයස හතළිස් දෙකක් විතර වුණානම්, ටිකක් මෝඩ වුණානම්. අර්නස්ට් කියන්නේ කෙළින් වැඩ කරන කෙනෙක්. එයා තමයි සත්‍යයේත්, ගෞරවයේත් ප්‍රතිමූර්තිය. රවට්ටනවා තරම්ම එයා අකමැති දෙයක් තමයි ද්‍රෝහිකම කියන්නෙත්. ඒත් කොයි තරම් වැදගත්, උත්තම, උදාර මනුස්සයෙක් වුණත් තව කෙනෙකුගෙ දැපනෙ වැටෙන්න බැරි නෑ. මං මේ කියන කාරණාව ගැන ඈත ඉතිහාසයටත් වඩා මේ දැන් කාලෙ හොඳ උදාහරණ තියෙනවා. ඒක එහෙම නොවුණනම්, ඉතිහාසය කියන්නෙ කිසි වැදගැම්මකට නැති දෙයක් වෙනවා.

සිසිලි:
මොකද්ද කිව්වෙ? ග්වෙන්ඩලින්, ඔයා කිව්වෙ අර්නස්ට් කියලද?

ග්වෙන්ඩලින්:
ඔව්.

සිසිලි:
ආ, ඒත් මගේ භාරකාරයා අර්නස්ට් වර්දිං මහත්මයා නෙවෙයි, එයාගෙ අයියා.

ග්වෙන්ඩලින්:
[යළිත් හිඳගනිමින්] අර්නස්ට් මට කවදාවත් කියලා නෑනේ එයාට අයියා කෙනෙක් ඉන්නවා කියලා.

සිසිලි:
ඒ දෙන්නා ගොඩ කාලෙක ඉඳන් වැඩි ඇයි හොඳයියක් නෑ.

ග්වෙන්ඩලින්:
හරි හරි, ඒක තමයි එහෙනම්. දැනුයි මතක් වුණේ මට, කිසිම මිනිහෙක් සාමාන්‍යයෙන් තමුන්ගෙ සහෝදරයා ගැන කතා කරනවා මං අහලා නෑ. ගොඩක් මිනිස්සු කතාකරන්න අකමැති මාතෘකාවක් ඒක. සිසිලි, ඔයා මගෙ ඔළුවෙන් ලොකු බරක් හෑල්ලු කළා. ඇත්තටම මගෙ පපුව ටික ටික පිච්චීගෙන ආවේ. අපි දෙන්නා වගේ යාළුවෝ දෙන්නෙක් අතරට කිසිම කළු වළාකුළක් එනවට මම කැමති නෑ, එහෙම දෙයක් වුණොත් හරි අපරාදයක් නේද? ඔයාට හොඳටම විශ්වාසයි නේද ඔයාගෙ භාරකාරයා අර්නස්ට් වර්දිං මහත්මයා නෙවෙයි කියලා?

සිසිලි:
හොඳටම විශ්වාසයි. [මදක් නැවතී.] ඇත්තටම මමයි එයාගේ භාරකාරයා වෙන්න යන්නේ දැන්.



- මතු සම්බන්ධයි -