![]() |
| Will Traynor and Louisa Clark - from the movie 'Me Before You' |
ඔයා මේ ලියමන කියවද්දි මං හිතන්නේ සති දෙක තුනක් විතර පහු වෙලා ඇති (ඔයාගෙ අලුතෙන් හොයාගැනුණු සංවිධානාත්මක කුසලතා එක්ක වුණත් ඔයාට සැප්තැම්බර් මුළට කළින් පැරිසියට යන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නෙ නෑ). පදික වේදිකාව උඩ කොයිම විදිහකින්වත් කෙළින් තියාගන්න බැරි අර යකඩ පුටුවක් උඩට වෙලා ඔයා දැන් ඔය බොන කෝපි කෝප්පෙ හොඳ රසට සුවඳට ඇති කියලා මං හිතනවා. කිඹුලා බනිස් ගෙඩියත් උණු උණුවෙන්ම ඇති. මාර්ක්විස් හෝටලේ හොඳ තැනක්. ආපහු දවල් කෑම වේලටත් ඔතනට එන්න බලාපොරොත්තුවක් තියෙනවනං, ඔතන මාළුත් සෑහෙන්න හොඳයි. ඔතන ඉඳන් වම් පැත්තට හැරිලා බැලුවොත් ඔයාට පෙනෙයි ලෙ'ආර්ටිසන් සුවඳ විළවුන්හළ. මේ ලියුම කියවලා ඉවර වුණාට පස්සේ ඔයා එතනට ගිහින් පැපිලොන්ස් එක්ස්ට්‍රීම් වගේ නමක් තියෙන ජාතියක් තියෙනවා (නම හරියටම මතක නැහැ), ඒක අරගන්න. මට කොයිවෙලෙත් හිතුණ දෙයක් තමයි ඒ සුවඳ ඔයාට හොඳට ගැලපෙයි කියන එක.
හරි එහෙනං, උපදෙස් ඉවරයි. කරුණු කීපයක් තියෙනවා මට ඔයාට කියන්න ඕන වුණ, කෙළින්ම ඔයාට කියන්න තිබුණ, ඒත් 1) මං කියන එක අහං ඉන්න එක පැත්තක තියලා ඔයා අඬන්න පටන්ගනියි, 2) මං මේ කියන්න හදන එක ඔයා මට කියන්න දෙන්නෙ නැති වෙයි. කොයි වෙලෙත් ඔයාගෙ කියවිල්ලනේ.
ඉතින් මේකයි මට කියන්න ඕන වුණේ: මයිකල් ලෝලර්ගෙන් ඔයාට ලැබුණ මුල් කවරයේ තිබ්බ චෙක් එක මුළු මුදලම නෙවෙයි, ඒක ඔයාට රස්සාවක් නැතුව ගෙවන්න වෙන මුල් සති කීපයටත් ඔයාට පැරිසියට එන්නත් දීපු පොඩි තෑග්ගක් විතරයි.
ආපහු එංගලන්තෙට ගියාට පස්සේ, මයිකල්ගේ ලන්ඩන් කාර්යාලයට මේ ලියුම අරගෙන යන්න, එතකොට එයා දෙයි ඔයාගෙ නමින් මං වෙනුවෙන් එයා ඇරපු ගිණුමක ලියකියවිලි. ඒ ගිණුමේ තියෙනවා ඔයාට නවතින්න හොඳ තැනක් ගන්නත්, ඔයාගේ උපාධියටත්, ඒ උපාධිය කරනකල් ඔයාට ජීවත් වෙන්නත් ඕන කරන මුදල්.
මගේ අම්මලාට මේ ගැන දැනුම් දෙයි. මේ ලියුමත්, මයිකල් ලෝලර්ගේ ලියකියවිලිත් නිසා ඒ ගොල්ලෝ වැඩි කලබලයක් කරන එකක් නෑ කියලා මං හිතනවා.
ක්ලාර්ක්, මට දැන් ඇහෙනවා වගේ ඔයා මහ හයියෙන් හුස්ම ගන්න හැටි. මේක ගැන බයවෙන්නවත්, මේක අතඇරලා දාන්න හදන්නවත් එපා - ඔයාගෙ ඉතිරි මුළු ජීවිත කාලෙටම ඔහේ පුටුවක් උඩට වෙලා පස්ස රත් කර කර ඉන්න පුළුවන් වෙන තරං සල්ලියක් ඒකෙ නෑ. ඒත් ඒකෙන්, ඔය අපි දෙන්නම ගම කියලා කියන, ලෝකෙන් හැංගිච්ච පොඩි නගරෙනුත්, මෙච්චර කල් ඔයා ගන්න ඕනෙ කියලා හිතාගෙන ගත්ත තීරණ වලිනුත් ඔයාට නිදහස් වෙන්න පුළුවන් වෙයි.
මං මේ සල්ලි ඔයාට දෙන්නෙ, ඒ ගැනම හූල්ල හූල්ල ඔයා කල්පනා කරනවා බලන්නවත්, ඔයාව ණයකාරියක් කරවන්නවත් නෙවෙයි. මේක කොහෙත්ම මගෙන් ලැබෙන මළ ඉලව් සිහිවටනෙකුත් නෙවෙයි.
මං ඒ සල්ලි ඔයාට දෙන්නෙ, තව දුරටත් මාව සතුටු කරන්න පුළුවන් දේවල් මේ ලෝකෙ ඉතුරු වෙලා නැති වුණත්, ඔයාට සතුටු වෙන්න පුළුවන් ගොඩක් දේවල් මේ ලෝකේ තියෙන නිසා.
මං දන්නවා, මාව අඳුනගන්න ලැබුණ එකෙන් අන්තිමට ඔයාට දුකක්, වේදනාවක් ඉතුරු වුණා කියලා. ඒත් ඔයාට මාත් එක්ක තියෙන කේන්තිය අඩු වෙච්ච කාලෙක, ඔයාගෙ හිත හදාගන්න පුළුවන් වෙච්ච කාලෙක ඔයාට තේරෙයි මට මං කරපු දේ ඇර වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා තිබ්බෙ නැති බවත්, ඔයා මාව මුණ නොගැහී හිටියනම් ඔයාට ලැබෙන්න තිබුණ ජීවිතේට වඩා හොඳ, ඉහළ ජීවිතයක් මාව මුණගැහුණ නිසා ඔයාට ලැබුණ බවත්.
ඔයාගේ අලුත් ලෝකෙට හුරු වෙනකල් ඔයාට ටිකක් අමාරු දවස් කීපයකට මූණ දෙන්න වෙයි. කෙනෙක්ගේ ආරක්ෂිත කලාපයෙන් එකපාරටම එළියට විසි වෙනවා කියන එක එච්චරම ලේසි දෙයක් නෙවෙයිනේ. ඒත් මං හිතනවා ඒ හැම දෙයක්ම මැද ඔයාගෙ හිතට ලොකු ප්‍රාණවත් බවක් දැනෙයි කියලා. එදා මුහුදෙ කිමිදිලා උඩ ආපු වෙලාවේ ඔයාගේ මූණෙ තිබ්බ සතුට මට හැමදේම කිව්වා; ඔයාගේ හිත ඇතුලේ ලොකු ගින්නක් තියෙනවා ක්ලාර්ක්. බය නැති කමක්; අලුත් දේවල් හොයාගෙන යන්න, අත්විඳින්න තියෙන ඇම්මක්. ඒත් ඔයා මෙච්චරකල් ඉඳලා තියෙන්නේ අනිත් හුඟක් දෙනා වගේ ඒ ගින්න යටපත් කරගෙන.
මං කියන්නෙ නෑ ඔයාට උස ගොඩනැගිලි වලින් බිමට පනින්නවත්, තල්මස්සු එක්ක පීනන්නවත් කියලා (හැබැයි එහෙම කරනවා කියලා හිතන්න මං හිත යටින් කැමති වෙයි සමහරවිට). ඒත් ජීවිතේ ගැන, ලෝකෙ ගැන බය නොවී ජීවත් වෙන්න. ජීවිතේට එක තැන නතර වෙලා පල් වෙන්න දෙන්න එපා, ඇදගෙන යන්න. ඔයාගෙ අර මී මැසි කලිසම අඳින්න ලැජ්ජ වෙන්න එපා, ඒක ආඩම්බරෙන් අඳින්න. ඒ එක්කම, ඔයා මොකෙක් හරි විගඩංකාරයෙක් එක්ක එකලාසයක් වෙන්න එහෙම හිතාගෙන ඉන්නවානං, මතක ඇතුව මෙයින් කොටසක් පස්සෙ කාලෙක ගන්න කොහෙ හරි අරන් තියලා තියන්න. කවදාහරි ප්‍රයෝජනේට ගන්න පුළුවන් ඉතුරුවක් තියාගන්න එක හිතට සහනයක්. ඒ දේට මගෙනුත් සම්මාදමක් ලැබුණා කියලා දැනෙන එක මටත් සහනයක්.
අන්තිමට මේ ටිකත් කියන්න ඕනේ. ඔයා මගේ හදවතේ සලකුණු වෙලා ඉන්නෙ ක්ලාර්ක්. ඔයාගෙ විකාර ඇඳුම් එක්ක, කමකට නැති මෝඩ විහිළු කතා එක්ක, ඔයාට දැනෙන කිසිම දෙයක් හංගගෙන ඉන්න බැරි ඔයාගේ අව්‍යාජකමත් එක්ක ඔයා මං ඉස්සරහට ඇවිදගෙන ආපු ඒ මුල්ම දවසේ ඉඳන් ඔයා මගෙ හදවතේ හිටියා. මේ සල්ලි වලට ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ප්‍රමාණෙට වඩා ලොකු ප්‍රමාණෙකින් ඔයා මගේ ජීවිතේ වෙනස් කළා.
මං ගැන වැඩිය හිතන්න එපා. ඔයා කඳුළු පෙරාගෙන මූණ බෙරි කරගෙන ඉන්න හැටි හිතන්න මට ඕනෙ නෑ. හොඳින් ජීවත් වෙන්න, එච්චරයි.
ජීවිතේ විඳින්න.
ආදර,
විල්
~~~
Translated from 'Me Before You' by Jojo Moyes

ReplyDeleteකෝ ඉතින් කමෙන්ට්?
DeleteI've read this book, but tears came into my eyes after reading your translation. Good work.
ReplyDeleteThank you very much! :)
Deleteනියමයි
ReplyDeleteගොඩාක් ස්තූතියි! :)
Deleteමේකත් ඔයා ලියන හැමඑකක්ම වගේ ගොඩාක් රසවත් සුපිරියි. මගේ ඇස් වලට කඳුලු ආවා.
ReplyDeleteගොඩාක් ස්තූතියි! :)
Deleteලිපි දෙසියක් ලිව්වාට අපේ සුබ පැතුම්..!
ReplyDelete"විල්" කියන්නේ හොඳ ස්පොන්සර් කෙනෙක් වගේනේ.
ආ තව එකක්.කිඹුලා බනිස් හරි යන්නේ කොපි එක්ක නෙමේ උණු කිරි තේ එක්ක.නැතිනම් ක්ලාර්ක් පව් නේ අක්කේ එකයි එහෙම කිව්වේ.ඊගාව දවසේ කිඹුලා බනිස් කිරි තේ එක්ක කන්න කියන්න.
Deleteසුබ පැතුමට ස්තූතියි මල්ලි. :)
Deleteඔයා මේ පොත කියවලාවත්, චිත්‍රපටය බලලාවත් නෑ නේද තාම? මට තේරුණා. :) මේ ලිපිය තියෙන්නේ කතාවේ අවසානයට ළං වෙන්න. ඒ නිසා මේ ලියමනෙන් කියන දේ හරියටම තේරුම් ගන්න කතාව ගැන, චරිත ගැන දළ අදහසක් තියෙන්න ඕනෙ. පැරිසියේ ඔය අවන් හලේ ඉඳගෙන කිඹුලා බනිස් කකා කෝපි කෝප්පයක් බොන්න කියලා ලුයිසාට කිව්වේ විල්. ඒ නිසයි ලුයිසා එහෙම කරන්නේ, ඒ නිසායි විල් හරියටම ලූ ලියුම කියවන අතරේ කන්නෙ බොන්නේ ඒවාමයි කියලා දන්නේ. මේ තියෙන්නේ ඉංග්‍රීසි පොතේ ලියුමේ ඔය මුල් හරිය.
A few weeks will have passed by the time you read this (even given your newfound organizational skills, I doubt you will have made it to Paris before early September). I hope the coffee is good and strong and the croissants fresh and that the weather is still sunny enough to sit outside on one of those metallic chairs that never sit quite level on the pavement.
ඔව් නේ අක්කේ මේ පොත කියවලා හෝ චිත්‍රපටිය බලලා නැහැ.ඔන්න දැන් අක්කා කිව්වාම තමයි ගුගල් සර්ච් එකක් දාලා බැලුවෙත්.එහෙව් මට කොහෙද අෆ්ෆා ඔව්වා තේරෙන්නේ.ගැත්තාට සමා වෙන්න හොඳේ.
Deleteඒකනේ, ඒක බලන්න වටින චිත්‍රපටයක් මල්ලි. චරිත නිරූපණය අති-විශිෂ්ඨයි මටනම්. මම චිත්‍රපටය බලලා තමයි පොත කියෙව්වේ, ඒ නිසාද මන්දා මට පොතට වඩා චිත්‍රපටය තදින්ම දැනෙනවා. පොත කියෙව්වෙත් ඒ නළු නිළියන් හිතේ රඟපාද්දි. :)
Deleteහරියන්නෙ නෑ බං...අදහසක් පලකරන්න බෑ කියල හිතෙනව පොත සම්පූර්ණයෙන් කියවනකල්..
ReplyDeleteUntil then So I say thank you for this translation….. .( As in So I say thank you for the music - ABBA )
ඇත්ත අයියෙ, මේ ලියුං කෑල්ල විතරක් හරියට දැනෙන්නේ නෑ පොත කියවලාවත් චිත්‍රපටය බලලාවත් නැත්තම්. ඒ හින්දා ඒ දෙකෙන් එකක් ඉස්සෙල්ලා ඉවරකරලා ඇවිත් මේකට කමෙන්ට් එකක් දෙන්නකෝ එහෙනම්. සින්දුවනම් මමත් ආස එකක් තමයි. :)
Deleteමොනවා කියන්නද මන්දා සිතූ. මේකේ ට්‍රේලර් එක බලනකොටම මගේ පපුව රිදෙන්න ගත්තා. ඒකෙන්ම තීරණය කලා මම මේක බලන්නේ නෑ කියලා. අනේ මන්දා දැන් ආපහු පපුව රිදෙනවා සිතූ මේක කියවලා. ඔයා හරි නරක්වෙලා. ඇයි හෛම හිත රිද්දන ඒවා දාන්නේ?
ReplyDeleteඅනේ සිත! දෙසිය වෙනි පෝස්ටුවට මගෙන් සුබ පැතුම්! කොහෙද ඉතිං, උදේ පාන්දර මගේ හිත රිද්දුවානේ ඔයා මේ 200 න්. ඒක නිසා සුබ පතන්නත් අමතක වුණානේ...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමීමැසි කලිසම මට නම් අපූරු සංකේතයක් වගේ දැනුණේ. පැට්‍රික්ට ස්පර්ශ කිරීමට තබා හඳුනා ගැනීමටවත් නොහැකි වූ ක්ලාක්ගේ හදවතේ සියුම් තැන් විල් හොඳින් ස්පර්ශ කර ඇගේ හැඟුම් හඳුනාගත් බවට සංකේතයකි.
ReplyDeleteඑක් වරක රෝද පුටුවේ සිටින විල්ගේ උකුලේ ඉඳගත් ක්ලාර්ක්ට විල් පවසන්නේ ඇගේ පපුව ඔහුට ගොඩක් හොඳින් පෙනෙන බවයි. ඒ ඇයගේ පියයුරු ද? නැත. මට හැඟුණේම ඔහු ඇගේ හදවත දුටු බවට කළ ප්‍රකාශයක් ලෙසින්මය.
ක්ලාක් කියන්නෙ කෙලිලොල් බව ඉක්මවා ගිය, ලොකු හදවතක් තියන දයාබරියක්. ඉතින් ඇයි විල් ක්ලාක්ව දාලා යන්න තීරණය කරන්නේ? ඇයට ආදරේ නැතිවද? නැත්තම් ක්ලාක් වරෙක ඔහුට චෝදනා කරන අයුරින් ඔහු ආත්මාර්තකාමී නිසාද? නැත. සියුම් විමසීම්වලින් දැනෙන්නේ ඔහු නිකරුණේ විනාශ කරගන්නට ගිය ජීවිතය, ක්ලාර්ක්ට පරිත්‍යාග කළ බවකි. ඔහු සමග ඇය ගෙවන ජීවිතය අසම්පූර්ණ බව දන්නා නිසාවෙන් ඔහු ඇයට පරිපූර්ණ ජීවිතයක් දී ජීවිතයෙන් සමුගත්තේය.ඇත්තටම විල්ට නම් "තමන්ට පෙර ඇයම" වටිනා බව සලරුව මනාවට පිළිබිඹු කරනවා.
ඉතිං කියනවා නම් කියන්න දේවල් ගොඩක් තියන මේ සලරුව ගැන තවත් කීම මම මගේම හිත රිද්දා ගැනීමකි. හරියට අමතක කළ නොහැකි එහෙත් අමතක කළ යුතුම ප්‍රේමයක මතක සටහන්වලින් රිදවා ගැනීමක් වගේමය
Thanks for the wishes Ran. Sorry for the delay in replying u. Typing with the phone, so no unicode. That was the most touching movie I've watched recently. And Jojo Moyes came to the top of my favorite western authors list, where Nicholos Sparks owned for many years. And Will's & Lou's characters are the most analytical ones I came across recently. Had some interesting discussions in FB regarding these two lovely souls.
Deleteම්ම්ම් මමත් පොත නම් බලලා නෑ. ඒත් ලියුමෙන් විතරක් හරිම ලස්සනක ආදරයකුත් පරිත්‍යාගයකුත් දැක්කා...
ReplyDeleteමේ ළමයත් කාලෙකින් මුකුත් ලියලා නෑ වගේ නේද? ලියමු ලියමු තව ලස්සන කතාවක් :)
වෙලාවක් ලැබුණොත් පොත කියවන්න සයුරි, හරිම ලස්සනයි. චිත්‍රපටයත් මටනම් ගොඩක් ලස්සනයි. මේ ලියමන තියෙන්නේ කතාවේ අවසානයට ළං වෙලා.
Deleteමේ ළමයාට ලියන්න ඕනැකම තිබ්බත්, දාහක් අදහස් හිතේ කැරකි කැරකි තිබ්බත්, ඒ කැරකෙන අදහස් එකට ගලපගෙන හරිහමං මොකවත් ගැටගහගන්න වෙලාවක් නැතුව ඉන්නෙ අනේ. :/
මම නං පොත කියෝලා නෑ. ෆිල්ම් එක බැලුවා
ReplyDeleteෆිල්ම් එකත් ලස්සනයි තමයි. පොත කියෙව්වා කියලා ඉතිං වැඩියක් වෙන්නෙ නෑනේ දේශකතුමෝ. හැබැයි ෆිල්ම් එක බලලා පොත කියවන එකේ පොඩි අවාසියක් තියෙනවා, මටත් ඒක වුණා. පොත කියවන්න වෙන්නේ අර නළු නිළියෝ දෙන්නාව ඔළුවෙ තියාගෙන. මං හිතන්නේ එහෙම වෙන්නේ ෆිල්ම් එක ගොඩාක් ලස්සන නිසා වෙන්න ඕනෙ. ඒ සන්තෑසියම මට වෙච්ච තවත් පොත් දෙකක් තමයි The Princess Bride සහ Stardust. හොඳ වෙලාවට The Notebook මම පොත කියවලා තමයි ෆිල්ම් එක බැලුවේ. නැත්තං ඒකත්, ෆිල්ම් එක මුළින් බලපු කට්ටිය පොත ඒ තරම්ම රසවිඳින්න බැහැයි කියනවා.
Delete