Showing posts with label පරිවර්තන. Show all posts
Showing posts with label පරිවර්තන. Show all posts

297. දිවිය පසු කර ගලන කාලය...

දැරියන් තිදෙනෙකුගේ රූ රැගත් සිතුවමකි. රූපය අන්තර්ජාලයෙනි.


පණස් වසරකට පෙරාතුව ඔවුන් තිදෙනා සොයුරි-බන්ධනයේ දිවුරුම් දුන්නේ අයිලින්ගේ නිවස පිටුපස මිදුලේදීය. එය, තිදෙනාගෙන් වැඩිමහල් දැරිය වූ අයිලින්ගේ ම අදහසක් විය. දොළොස් වැනි විය පසු කරමින් දහතුන් වැනි වියට එළැඹෙමින් සිටි ඔවුහු සිය මව්වරුන්ගෙන් උරුම වූ මාවෝ කබා යාන්තමට පිරෙන තරමට වැඩුණු සිරුරුවලින් යුතු වූහ. එකල, අනෙකුත් බොහෝ සම්ප‍්‍රදායන් මෙන්ම දිවුරුම් සොයුරි බන්ධනයද පිළිගැනුණේ කිසිදු සෙතක් ලබා නොදෙන වැඩවසම් යුගයෙන් පැවත ආ උරුමයක් ලෙසිනි. එබැවින්, විපරම් දෑස්වලින් ගැලවී හිඳිනු පිණිස අයිලින්ගේ බාල සොයුරු සොයුරියන් නිවසින් පිටතට කැටුව යන ලෙසට අසල්වැසියෙකුගේ දියණියකට අල්ලස් ගෙවීමටද ඔවුනට සිදු විය. පොළට කැටුව ගොස් උක් දඬු මිලට ගෙන දුන් විට ඒවායේ එක් කොණක සිට අනෙක් කොණට සපා නිම කිරීම පිණිස ඔවුනට සැලකිය යුතු වේලාවක් ගත වනු ඇත. මෙයි සිය පියාගේ පෙට්ටගමෙන් අල වර්ගයකින් සෑදූ මධ්‍යසාර පානයක් හොරෙන් රැගෙන විත් තිබූ අතර, ඔවුන් තිදෙනාම එම සැර පානයෙන් බිඳ බැගින් පානය කිරීමෙන් අනතුරුව එය පොළොව මතට වත් කෙරූහ. "දෙව් ලොවත්, මහ පොළොවත් අපගේ ඉදිරි ජීවිතයේ මෙම සමාරම්භය පිළිබඳ සාක්ෂි දරනු ඇත." ලේ ඥාතිත්වය අභිබවා ගිය දිවුරුම් සොයුරු බන්ධනයන්ට එළැඹුණු මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ කථා රැගත් පැරණි නවකතාවලින් උපුටාගත් ප‍්‍රතිඥාවක් අයිලින් කියැවූවාය. මෙයි සහ ලාන් ඇගේ වදන් පුනරුච්චාරණය කරමින් ඔවුන්, ඒ මොහොතේ පටන් දිවුරුම්-සොයුරියන්, දිනෙක තිදෙනා ම මේ මිහිතලය හැර යන මොහොත උදාවන තෙක්ම දුකේදීත් සැපේදීත් එක්ව හිඳිනා බවට ප‍්‍රතිඥා දුන්හ.

පසුව, ඔවුහු ඡායාරූපයක් ගැනීම පිණිස නගරයේ වූ එකම ඡුායාරූප ශිල්පියා වෙත ගියහ. ඔවුන් සැරසී සිටියේ හඳ මෙන් සුදු පැහැති බ්ලවුස, ගෙතූ කොණ්ඩ කරල් අග බැඳුණු සුදු පැහැති පීත්ත පටි සැරසිල්ල සහ මෘදු පැහැති මල් මෝස්තරයෙන් සැරසුණු කලිසම්වලින් යුතු ඔවුන් සතු ඉස්තරම් ම ඇඳුම්වලිනි. හතළිස් වැනි වියට ආසන්න තනිකඩයෙකු වූ ඡායාරූප ශිල්පියා ආලෝකය ලබා දෙන ලාම්පු සකසන අතරේ දැරියන් තිදෙනා මහත් උද්යෝගයෙන් සිනහ සලනා දෙස බලා සිටියේය. ඔවුන්ගේ මුහුණුවල වූ, ඔවුන් තවමත් නොදන්නා කුමක්දෝ කරුණක් අරභයා ඔහුගේ සිත සසල වී තිබිණ. මුද්‍රණය කළ අවසාන ඡුායාරූපයේ කෙළවරක ඔහු හැඩැති අත් අකුරෙන් පෞරාණික කාව්‍ය ඛණ්ඩයක් උපුටා සටහන් කළේ එහෙයිනි: "දිවිය පසු කරමින් ගඟක් මෙන් හැල්මේ ගලා යන කාලය ගැන නොදත් අහිංසක මල් කැකුළු." මහත් සේ ලැජ්ජාවට පත් වුවද, ඡුායාරූප ශිල්පියාට සත්‍යය හෙළි කරන්නට මැළි වූ දැරියෝ තම දිවුරුම් සොයුරි බන්ධනය පිළිබඳව ලියැවුණු ඔහුගේ වදන් පෙළ නොදුටුවා සේ සිටියෝය.

ඉන් වසර නවයකට පසු, ඔහු සතුව තිබූ ජර්මනියේ නිෂ්පාදිත කැමරා යන්ත‍්‍ර සාක්ෂි ලෙස ගනිමින් එම ඡායාරූප ශිල්පියා ධනවාදීන්ගේ ඔත්තුකරුවෙකු ලෙසින් අත් අඩංගුවට ගැනුණි. එම නගරයේ තරුණ රතු භතයින්ගෙන් මිය යනතුරු පහර කෑමේ දඬුවම ලැබූ පළමු තැනැත්තා ඔහු විය. ඒ වනවිට මෙයි සහ ලාන් දෙදෙනාම සිය පළමු දරු ප‍්‍රසූතියට සූදානම්ව සිටියහ. ඔවුන් දෙදෙනාට සාපේක්ෂව තමාගේ ජීවිත ගමනේ මන්දගාමී බව පිළිබඳව නොසන්සුන්ව සිටි අයිලින්ද, ඈ එතරම් දන්නා හඳුනන්නේ නැති මනාලයෙකු සමග, ඔහු හා ආදරයෙන් බැඳීමට තමාට වසර ගණනාවක් ගත වනු ඇති බව දැන සිටියද, විවාහ දිවියට එළැඹෙන්නට තීරණය කළාය. ඒ මඟුල් කපුවා රැගෙන ආ පළමු විවාහ යෝජනාව නොවූවා සේම, වටිනාම විවාහ ගිවිසගැනීමේ ත්‍යාග ප‍්‍රමාණය පිරිනමන්නට සූදානම්ව සිටි පවුලද නොවීය. නමුත්, පැරණි කියමනක පැවසෙනා පරිද්දෙන් ම නිසි වේලාවට පැමිණෙන තැනැත්තාට ඉන් පෙර පැමිණි උදවියද අභිබවා යෑමේ හැකියාවක් ඇති බව එහි දී ද සනාථ විය.

විවාහය දින උදෑසන, ඇගේ දිවුරුම් සොයුරියන් දෙදෙනා ඈ හැඩ ගන්වන අතරේ, පුදුමයකට මෙන් ඇයට සිහිපත් වූයේ වසර ගණනාවකට ඉහතදී ඡායාරූපයට පෙනී සිටීමට පෙර ඇගේ නිකටින් අල්ලා මුහුණේ කෝණය සකස් කළ ඡායාරූප ශිල්පියාගේ දිගු අතැඟිලිවල මෘදු ස්පර්ශයයි. දෑස් පියාගත් කල ඇයට, අති දීප්තිමත්ව දැල්වෙමින් තිබූ ලොකු කුඩා විදුලි පහන් ආලෝකය ඔහුගේ එසැවුණු දෑතින් ආවරණය වී ලැබුණු සෙවණෙන් දැනුණු සිසිලස ඒ මොහොතේ දී ද දැනෙන්නාක් මෙන් විය. ඔහු එදින ඔවුන්ගේ ඡායාරූපයේ ලියූ සටහන මතකදැයි ඇය අනෙක් දෙදෙනාගෙන් විමසා සිටියාය. එසේම, ඔහු පැවසූ පරිද්දෙන්ම ඔවුනට නොදැනීම කාලය ඔවුන් පසු කොට පියාඹා ගොස් ඇති බවද ප‍්‍රකාශ කළාය. නව මාතෲත්වයේ දීප්තියෙන් බැබළෙමින් සිටි මෙයි සහ ලාන්, ඇගේ බොළඳ භාවාත්මක කල්පනා පිළිබඳව සිනහ පළ කළහ. ඇයට ජීවිතයේ මගහැරුණු තැන් එදින රාත‍්‍රියේදී සොයාගත හැකි වනු ඇති බව මෙයි සිය සුපුරුදු මුඛරි හඬින් ම ප‍්‍රකාශ කළ අතර, රත් පැහැයට හැරුණු ලාන් ද කෝල සිනහවකින් එය අනුමත කළාය. එක් මොහොතකට, ඇගේ දිවුරුම් සොයුරියන්ට නොවැටහුනු ගුප්ත පාළුවකින් අයිලින්ගේ සිත ඇළලී ගියේය.

ඇගේ යොවුන් වියේ ඇඳුම් කැඩුම් කිහිපයක්ද සමග එම ඡායාරූපයද ට‍්‍රන්ක පෙට්ටියක් තුළ සැඟව ගියේය. ඇගේ විවාහ දිවිය තුළදී එය විවර කෙරුනේ ඉතාමත් කලාතුරකින් වූ අතර ඊළඟ වතාවේදී එය විවර වූයේ අයිලින්ගේ දෑතින් නොව ලිස්බන් සිට ගිම්හාන නිවාඩුවට පැමිණි ඇගේ දහ හතර හැවිරිදි මිනිබිරිය වූ යිංගේ දෑතිනි. එම දැරියන් කවුරුන්දැයි සිය මිත්තණියගෙන් විමසන අතරේ ඡායාරූපය පසෙක තැබූ යිං, ට‍්‍රන්ක පෙට්ටියෙන් ගත් බ්ලවුසයක් ඇඳ හැඩ බැලූවාය. සඳේ සුදු පැහැයෙන් යුතුව තිබූ එම සේද ඇඳුමද ඒ වනවිට පණස් වසරකට පෙරාතුව ගත් ඡායාරූපය මෙන් ම කහ පැහැයෙන් දුර්වර්ණව තිබුණි. නමුත් දැරිය එම පැරණි විලාසිතාවට අයත් වස්ත‍්‍රයෙන් කුල්මත්ව සිටියාය. රත්-කහ පැහැයකින් වර්ණ ගන්වා තිබූ තම කෙස් කළඹ මධ්‍යයෙන් දෙකට බෙදා ගොතන්නට උත්සාහ කළද කැරළි ගැන්වී තිබූ කෙස් රොද ඇයට අවනත නොවූ නිසාවෙන්, කිහිප වරක් උත්සාහ කිරීමෙන් අනතුරුව එය අතහැර දැමූ යිං දැති කිහිපයක් කැඞී ගොස් තිබූ කැස්බෑ ලෙලි පනාවක් අතට ගත්තාය.

තමාද අනෙක් දැරියන් දෙදෙනාද හොඳම මිතුරියන්ව සිටි බව පමණක් පැවසූ අයිලින් සිය මිනිබිරියගේ සිනහවට ලක් වන්නට සිදු වේයැයි බියෙන් දිවුරුම් සොයුරි බන්ධන චාරිත‍්‍රය පිළිබඳව කිසිවක් නොකීවාය. සැබැවින්ම, ඇය සිය අතීතය පිළිබඳව මිනිබිරිය හා කතාබස් කරනා බොහෝ විට එසේ ඇගේ සිනහවට ලක් වන්නට අයිලින්ට සිදු විය. ඡායාරූපය නැවතත් අතට ගත් යිං එය හොඳින් පරීක්ෂා කළාය. "හරි ෂෝක්!" ඇය කෙනෙකු බලූ පැටවෙකු පිළිබඳ කතා කරනා අන්දමේ ස්වරයකින් ප‍්‍රකාශ කළාය.

ඇගේ මිනිබිරිය පැමිණ සිටින්නේ කතන්දර අසන්නටනම් ඇයට ඕනෑතරම් කතන්දර කියා දෙන්නට අයිලින් ඕනෑම මොහොතකදී සූදානම් ය. නමුත්, යිං රැගෙන විත් තිබූ මහේශාක්‍ය පෙනුමින් යුත් ගොඩනැගිලි, ගාම්භීර ප‍්‍රතිමා, සුදු පැහැති බෝට්ටු නවතා ඇති නිල් පැහැති වරායන් සහිත විදෙස් නගරය පසුබිම් කරගත් ඡායාරූප දෙස බලමින් යිංගේ බාල වියේ මිතුරු මිතුරියන් විස්මයෙන් පසසද්දී උදාසීනව ප‍්‍රතිචාර දැක්වූ සිය මිනිබිරිය වෙත ඇයගේම කතන්දර ඕනෑ තරම් ඇති බව අයිලින් දැන සිටියාය. පස් වසරකට පෙර අයිලින්ගේ සැමියා මිය යාමෙන් පසුව, ඇගේ එකම පුත‍්‍රයා පෘතුගාලයට සංක‍්‍රමණය වන්නට තීරණය කර තිබුණි. ඒ පිළිබඳ ඇගේ අදහස ඔහුට කිසිසේත් වැදගත් නොවන බව දැන සිටි අයිලින් කිසිදු විරෝධයක් නොපා ඔහු ඉල්ලා සිටි මුදල ලබා දුන්නාය. ඔවුන්ගේ එකම දියණිය හදාවඩාගැනීම පිණිස තමාට බාර දී යන මෙන් ඉල්ලා සිටින්නට ඇයට උවමනා වුවද, යිං විදෙස් රටකට පිටව යෑමට කෙතරම් උනන්දුවෙන් ආශාවෙන් බලා සිටියාද යන්න වටහාගත් අයිලින් එම අදහස අත් හැර දැමුවාය.

නොබෝ කලෙකින්ම ඇගේ පුත‍්‍රයා කතා කොට දැනුම් දුන් අන්දමට යිං ඔවුන්ගේ අවන් හළේ හොඳ අත් උදව්කාරියක බවට ඒ වනවිට පත්ව සිටියාය. එසේම ඈ පෘතුගීසි බස ඉගැනීමෙන් අනතුරුව ලේඛන හා කාර්යාල කටයුතු සඳහා ඇගෙන් මනා සහයෝගයක් ඇගේ දෙමාපියන් හට ලැබී තිබුණි. දිනෙන් දින දියුණු වන අවන් හළ වෙනුවෙන් ඈ සිදු කරනා කැප කිරීමට ත්‍යාගයක් වශයෙන් සෑම ගිම්හාන කාලයකදීම දෙසතියක නිවාඩුවක් සඳහා ඇයට සිය මිත්තණිය වෙත පැමිණීමට ඉඩ ප‍්‍රස්තාව ලැබී තිබුණි. එම කාලය තුළදී තම ඡායාරූප පැරණි මිතුරන්ට සහ අසල්වැසියන්ට පෙන්වමින් සිය අලුත් ජීවිතය පිළිබඳව නිහඬ පුරාජේරුවක නියැලීමට අමතරව, සැරසිලි මැහුමෙන් අලංකාර කෙරුණු, අතින් නිම කළ මේස රෙදි සහ අත්පිස්නා මිළට ගැනීමද ඇගේ රාජකාරියක් විය. වසර දහස් ගණනක් පුරා එම පළාත ඒ සඳහා ප‍්‍රසිද්ධියක් ඉසිලූ අතර නිසි අවබෝධයකින් යුතුව නිවැරදි තැන සොයා ගියහොත් අදටද ඉතාමත් අඩු මිළට ඒවා ලබා ගැනීමට හැකියාව ඇත.

ජීවිතය හොඳින් ගෙවෙනා බවත්, ව්‍යාපාරය ඉන් පෙර කිසිදාටත් වඩා සාර්ථකව සිදු කෙරෙනා බවටත් සෑම ගිම්හානයකදීම යිං සිය මිත්තණියට දැනුම් දුන් අතර, ඈ වාර්තා කරනා දෙයට අමතරව කිසිවක් නොවිමසිය යුතු බව අයිලින් දැන සිටියාය. දැරියට කතන්දර කියන්නට උවමනා වූ විට අයිලින් ඉතා උනන්දුවෙන් ඇගේ බස් අසන්නට සැදී පැහැදී සිටියද, යතාර්ථයත් පරිකල්පනයත් අතර රේඛාව බොඳව පෙනෙනා වයසක පසු වූ යිං ඉතා රසවත් යැයි සිතමින් කියූ බොහෝ දෑ මිත්තණියට නීරස විය. නමුත් ඒ බව නොපෙන්වා සිටින්නට අයිලින් ප‍්‍රවේශම් වූවාය.

යිංගේ නිවාඩුව අවසන් වන්නට ආසන්න එක් දිනෙකදී ඇය අයිලින් ඇගේ දිවුරුම් සොයුරියන් සමඟ සිටිනා ඡායාරූපයේ විශාලනය කරන ලද පිටපතක් රැගෙන ආවාය. මුද්‍රණාලයේ උදවිය එය පරිගණක මෘදුකාංග භාවිතයෙන් වඩාත් සුන්දරව පෙනෙන සේ සැකසූ බව යිං පැහැදිලි කළාය. දුඹුරු පැහැයේ ළා - තද වර්ණ සංයෝජනයෙන් හැඩ ගන්වා තිබූ ඡායාරූපයේ වූ දැරියන් තිදෙනාගේ සිනහවේ වූයේ ඔවුන් ම පමණක් දත් අභිරහසක මායාවෙන් සෙසු ලෝකයෙන් සැඟවගත් බව හඟවනා ස්වප්නමය භාවයකි. එය කුමකටදැයි අයිලින් විමසා සිටි අතර, එය ඔවුන්ගේ අවන් හළේ ප‍්‍රධාන තලයෙන් වෙන් කරගත් කොටසක නව සැරසිලි සඳහා බව යිං දැනුම් දුන්නාය. ඒ වෙනුවෙන් ඈ ඇගේ මිතුරන්ගේ දෙමාපියන්ගෙන් ඉල්ලාගෙන එකතු කරගත් තවත් පැරණි ඡායාරූප ඇති බවද, මුද්‍රණාලය මගින් තවත් දිනක් හෝ දෙදිනක් ඇතුළත එම රූප ද සකසනු ඇති බවද යිං හෙළි කළාය.

අයිලින් ඡායාරූපය දෙස බලා සිටියාය. ගල් බංකුවක් මත හිඳගෙන සිටි ඇය ඡායාරූප ශිල්පියා උපදෙස් දුන් අන්දමට දෙපා ඒ මතට ගෙන දෑතින් දණහිස් වැළඳගෙන සිටියාය. කවුරුන් හෝ කතා කරනා ලෙසින් මඳක් ඉහළට දෑස් යොමු කර සිටිනා ලෙසට ඔහු පවසා සිටියද, කතා කරන්නේ කවුරුන්දැයි ඔහු කීවේ නැත. මෙයි සහ ලාන් ඇයට පිටුපසින් හිටගෙන ඇගේ උරහිස් මතින් එක් අත බැගින් තබාගෙන, අනෙක් අත් ඔවුන් තිදෙනා ම බලා සිටිය යුතු වූ දෙසට යොමු කරගෙන සිටියහ. ඒ සියල්ලම උස්ව නැංවුණු කුඩා වේදිකාවක් මත සිදු කෙරුණු අතර පසුතලයේ වූ, පණස් වසරකට පෙරදී ද වර්ණ ගෙවී ගොස් තිබූ උණ පඳුරුවලින් සහ දිය ඇල්ලකින් සමන්විත තිර රෙද්ද මෙම නව මුද්‍රණයේ බොහෝ සෙයින් නොපෙනී ගොස් තිබුණි. ඒ ගැන දැන සිටි අයිලින්ගේ දෑසට පමණක් එය යාන්තමින් හසු කරගත හැකි විය. එනමුදු, බොහෝ කල් අමතකව ගොස් තිබූ බොහෝ දෑ එම විශාලනය කරන ලද නව මුද්‍රණයද සමගින් නැවතත් මතුපිටට නැංවී තිබුණි: යාන්තමට පිළිස්සී තිබුණද ඡායාරූපයේ ඒ බවක් පෙනෙන්නට නොමැති ඇගේ ගෙතූ කොණ්ඩ කරලේ වක් ගැසුණු කෙළවරට හේතු වූයේ රත් කළ අඬුවකින් කලබලයෙන් කෙස් කැරළි ගන්වාගන්නට ගත් උත්සාහය ය; ඔවුන්ගේ ඉහළ බොත්තම් කාසවල රැඳවී තිබුණු පිච්ච මල් පොහොට්ටු ලබා දුන්නේ ඔවුන්ගේ වයසේ ම පසු වූ, ලැජ්ජාශීලී සිනහවකින් යුතු වූ මෙයිගේ අසල්වැසි පිරිමි ළමයා ය. සිය මවගේ ගෙවත්තේ පිපුණු මල් මෙයි වෙත පිළිගැන්වීම ඔහුගේ පුරුද්දක්ව තිබුණද, එම සුවඳැති ත්‍යාගයන්ගේ ආධාරයෙන් ඔවුන් අතර සැලකිය යුතු අන්දමේ හිතවත් කමක් ගොඩනැගෙන්නට පෙර ම, ඔහුගේ වැන්දඹු මව පිට පළාතක තැනැත්තෙකු හා විවාහ වූයෙන් ඔහුට නගරයෙන් පිට වී යන්නට සිදු විය. තිදෙනාගෙන් සුන්දර ම දැරිය වූ ලාන්ගෙන්, ඉවත නොබලා සිටිනා ලෙසට ඡායාරූප ශිල්පියාට එක් වතාවක් නොව දෙවතාවක් ම ඇයැද සිටින්නට සිදු විය. නමුත් රූපය හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට ඇය කැමරා කාචය හමුවේ ලැජ්ජාවෙන් ඉවත බලන්නට සූදානම් වන බව පෙනෙනු ඇති වුවද, ඡායාරූප ශිල්පියා ඉතාමත් සූක්ෂම අන්දමින් ඇගේ දෑස් ඉවතට යොමු වීමට පෙර ඡායාරූපය ගැනීමට සමත් වී ඇත.

"මේක හදන්න කීයක් විතර ගියාද?" නව මුද්‍රණය සිදු කර තිබූ රෙදිකඩ මතින් අතැඟිලි ගෙන යමින් අයිලින් විමසුවාය.

යිං ලබා දුන් පිළිතුර අයිලින්ගේ මහත් පුදුමයට හේතු වූ අතර, එතරම් මුදලක් වියදම් කළද එම රූපය පෙරදී තිබුණාටද වඩා පැරණි ස්වභාවයක් උසුළන බව ඇය ප‍්‍රකාශ කළාය.

"ඉතිං එහෙම තමයි මට ඕන වුණේ."

"ඔයා මේක මෙහෙම හදවන්න කළින් අම්මලාගෙන් අහලා බැලූවද?"

"ඒ මොකටද?" යිං ඇසුවාය. "අපේ අමුත්තන්ට ඕන වෙලා තිබ්බේ මෙහෙම දෙයක් තමයි කියලා මං කිව්වාම අම්මලා කොහොමත් මේකට කැමති වෙනවා. ඒ නැතත් අම්මලා කොහොමත් කියන්නේ කඩේ දවසක මට අයිති වෙනවා කියලානේ. ඉතිං දැන්ම ඉඳන්ම කඩේ ගැන මං තීරණ ගත්තාම මොකද වෙන්නේ?"

වැඩිහිටියන්ට ගරු කිරීම පිළිබඳව තම මිනිබිරියට දේශනයක් පවත්වන්නට අයිලින්ට සිතුණද, යිං සිය දෑස් කරකවා මිත්තණියගේ යල් පැන ගිය නිශ්ඵල ප‍්‍රඥාවට සිනාසීමෙන් පමණක් එයට ප‍්‍රතිචාර දක්වනු ඇති බව ඇය දැන සිටියාය. "මට තේරෙන්නෙ නෑ ඔයාලගෙ කෑම කඩේට එන කාටවත් කෑම කන ගමන් ඔය අවුරුදු ගාණකට උඩදි ගෑනු ළමයි කාණ්ඩයක් ගත්ත පින්තූරයක් දිහා බලං ඉන්න ඕන වෙන්නෙ ඇයි කියලා."

"ඔයාලා තුන් දෙනා ම හරිම පොඩියි, අහිංසක පාටයි. හරිම චීන පෙනුමයි."

"අපි ඔය පින්තූරෙ ගත්තෙ ඔය කොහෙවත් ඉන්න පිට දේසක්කාර යක්කු රැළකට විනෝදයක් සපයන්න නෙවෙයි," අයිලින් ශෝකයෙන් පීඩිතව කීවාය.

"ඒ වුණාට ඉතිං කමක් නෑනෙ, නේද?" යිං පැවසුවාය. "එතකොට ආච්චි අම්මාගෙ යාළුවෝ - ඔයා එයාලට මේ ගැන කියන්නෙ නෑ නේද? ඒගොල්ලෝ මාව හොයාගෙන ඇවිල්ලා සල්ලි ඉල්ලයිද දන්නෙ නෑ."

එවැනි දෑ ගැන කරදර වීමට තරම් තම මිනිබිරිය තවමත් ළාබාල වැඩි නොවේදැයි කල්පනා කරන අතරේ අයිලින් තමා එම වයසේදී භුක්ති විඳි තරම් සිහින දැකීමේ අවකාශයක් තම මිනිබිරියට නොමැති වීම පිළිබඳව දුක් වූවාය. තමා මිතුරියන්ට රහස හෙළි නොකරන බව අයිලින් පැවසුවද යිංගේ මුහුණේ වූයේ අවිනිශ්චිත බවකි.

"ඒත් බැරි වෙලාවත් ආච්චි අම්මාට අමතක වුණොත්," ඇය කීවාය. "මං දන්නවානේ වයසක උදවියගේ හැටි. ඔන්න අද පොරොන්දුවක් දෙනවා, ඒත් ඊළඟ දවසෙදි ඒක එහෙම පිටින්ම අමතකයි. මොකද ඔයගොල්ලන්ට ඕන තරං වෙලාව තියෙනවනේ කියව කියව ඉන්න. ඉතිං හැම ඕපදූපයක්ම හැමෝම එක්ක කියවනවා."

"මට එයාලව ආයෙ කවදාවත් හම්බවෙන්නෙ නෑ."

"ඒගොල්ලො මැරිලද?"

නගරයෙන් බැහැරව විසුවද ඔවුන් දෙදෙනා ම පදිංචිව සිටියේ හෝරා දෙකක බස් ගමනකින් පහසුවෙන් ගෙවා යා හැකි දුරක ය. එසේ වුවද අයිලින් තම සැමියාගේ අභාවය පිළිබඳව ඔවුනට දැන්වූවේ නැත. ඔවුන්ද ඇගෙන් එවැනි අහිමිවීම් පිළිබඳ පුවත් සඟවා තබාගන්නට ඇතැයි යන්න ඇයට අවබෝධ වූවේ ඒ මොහොතේදීය. ඒ වනතුරු ඈ සිතා සිටියේ කෙතරම් දුරක සිටියද ඔවුන් තිදෙනා අතර සිදුවන මරණයක ආරංචිය නිසැකවම අනෙක් දෙදෙනා සොයා යනු ඇති බව ය. තමා එලෙස අන්ධ විශ්වාසයක එල්බගෙන සිටියේ මන්දැයි අයිලින් කල්පනා කරන අතරේ ඈ දෙස අනුකම්පා සහගත බැල්මකින් බලා සිටි යිං ඇගේ මිතුරියන් ඈ අසළදී මරුමුවට පත් වූවාදැයි නැවතත් විමසා සිටියාය. ඔවුන් දැනටත් හොඳ ශරීර සුවයෙන් පසු වනු ඇති බවටත්, එකම ගැටළුව ඔවුන් තව දුරටත් එකිනෙකා හා කතාබස් නොකිරීම පමණක් බවත් අයිලින් පිළිතුරු ලෙස පැවසූවාය. නමුත් ඒ මන්දැයි යිං විමසා සිටියාය. කරුණු කාරණා සිද්ධ වූවේ එලෙසින් බවත්, පණස් වසරක් තරම් දිගු කාලයක් තුළදී සියල්ල එක ලෙස පවත්වාගැනීම අපහසු බවත් අයිලින්ගේ පිළිතුර විය.

නමුත් යිං එයින් සෑහීමකට පත් බවක් පෙනෙන්නට තිබුණේ නැත. "මොන විදිහේ කරුණු කාරණා සිද්ධ වුණත් එහෙම යාළුකම් නැති වෙන්නෙ නෑනේ," ඇය කීවාය. අන්තර්ජාල දුරකථන සබඳතා, උපන්දින සුබපැතුම්පත් හුවමාරු, සහ එක්ව ගතකරන නිවාඩු දින සමග සමීප මිතුරු සබඳතා පවත්වාගෙන ගිය මිතුරන් කිහිප දෙනෙකු යිංටද විය. සෑම ගිම්හාන කාලයකදීම, ඇය තමා උපයාගත් මුදලින් මිලට ගත්, යුරෝපයේ විලාසිතා ලෙසින් ඈ හඳුන්වා දුන් ඇඳුම් සහ පාවහන් එම මිතුරන්ට තෑගි කළාය.

කෙතරම් ඉහළ තත්ත්වයෙන් පැවැතුණු මිත‍්‍රත්වයක් වුවද උදාසීන මධ්‍යස්ථභාවයකට පත් කරවීමට සමත් කුඩා කණස්සලුවලින් ජීවිතය පිරී ඇත - ඊළඟ කෑම වේල සූදානම් කිරීම, මාරු කරන්නට - සෝදන්නට ඇති ළදරු ඇඳුම්, සතුටු කරන්නට අපහසු අනෙක් පාර්ශවයේ නෑදෑයන් සහ කාර්යාල ප‍්‍රධානීන්, රෝග පීඩාදී මේ සියල්ලකගෙන්ම ජීවිතය ගොඩ ගැසී ඇහිරී ඇත. ඒ සියල්ල හැරුණු කොට ඡායාරූප ශිල්පියා පැවසූ තමන් පසු කර හැල්මේ දිව යන කාලයද එයට වගකිව යුතුය. නමුත් යිං එක් දෙයක් පිළිබඳව නිවැරදිය. කරුණු කාරණාවල සුළු සුළු වෙනස්කම් හේතුවෙන් දිවුරුම්-සොයුරි බන්ධනයක් බිඳී යන්නේ නැත. "කාලෙකට උඩදි යමක් සිද්ධ වුණා," අවසානයේදී අයිලින් හෙළි කළාය. "මං මහ නරක විහිළුවක් කළා. ඉන් පස්සේ ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් මා එක්ක යාළුකම් තියාගන්න කැමති වුණේ නෑ."

"තුන්-කට්ටුවක් කියන්නේ යාළුකමක්වත් හරියට තියාගන්න බැරි, සමාව දීමක් ගැන දන්නේ නැති කණ්ඩායමක්නේ. යාළුවො කාණ්ඩෙකට ඒ ගාන හරියන්නේ නෑ," යිං කීවාය. "ඒක මොන විදිහේ විහිළුවක්ද?"

"මට ඔයාගේ තාත්තාව ලැබෙන්න කළින් ඒ දෙන්නාටම දරුවො ලැබුණා - පුතෙකුයි, දුවෙකුයි. ඉතිං මං නිකමට කිව්වා ඒ දෙන්නා ලොකු වුණාම කසාද බන්දන්න කතා කරලා තිබ්බානං හරි කියලා," අයිලින් කීවාය. "ඒක මං නිකමට කිව්වේ, විහිළුවක් හැටියට."

"එහෙනං ඉතිං ඒ පවුල් දෙකෙන් එකක් ඒක ඇත්තට බාරගන්න ඇති. ඒක ඇත්තට ටිකක් මෝඩ විහිළුවක්නං තමයි. ඒත් ඉතිං ඔහොම පොඩි විහිළුවක් හින්දා යාළුකම් අත් අරින එකනං ඊටත් වඩා මෝඩයි. ඉතිං ආච්චි අම්මාට වරද පටවගන්න ඕනෙ නෑ, ආච්චි අම්මාගේ වැරැද්දක් නෑනේ," යිං කීවාය. සිය මිනිබිරියගෙන් එවැනි සුරක්ෂිත සැනසුමක් දනවන වදන් අයිලින් ඉන් පෙර අසා නොතිබුණි. එවැන්නක් ඈ වෙතින් බලාපොරොත්තු විය හැකිව තිබුණේ ඈ තමා ගැන හෝ සිය මවුපියන් ගැන පවසනා විටෙකදී පමණි. "මේ මෝඩ තීරණ ගන්න මෝඩ මිනිස්සු හිටියේ නැත්තං මේ ලෝකේ කිසි ප‍්‍රශ්නයක් ඇති වෙන්නේ නෑනේ ඇත්තට," යිං එකතු කළාය.

නමුත් වැදගත්ම කාරණාවනම්, එය අයිලින් පැවසුවේද, ඇගේ දිවුරුම්-සොයුරියන් එය භාරගත්තේද විහිළුවක් ලෙසින් නොවීම ය. එක් දිනෙක පරතරයක් ඇතිව ඉපැදුණු දරුවන් දෙදෙනා සිය මවුවරුන් සේ ම සුන්දර වූහ. එම පවුල් ත‍්‍රිත්වයට ඉදිරියේදී තවත් දරුවන් එකතු වනු ඇති වුවද පළමු දරුවන් දෙදෙනා සුවිශේෂී විය. ඔවුන්ගේ මවුවරුන් අතර වූ දිවුරුම්-සොයුරි බන්ධනය වඩාත් තහවුරු කරන්නට දරුවන් අතර විවාහයක් සිදු කිරීමට වඩා උචිත වෙනත් දෙයක් තිබේද? එම දරුවන් දෙදෙනා කෙළි සෙල්ලම් කරනා සගයෙකුට, සොයුරෙකුට - සොයුරියකට වඩා බැඳීමකින් එකිනෙකා වෙත සෙනෙහස දක්වනු ඇත. එවැනි ආදරයකින් හැදී වැඩෙනු ඇත. ළදරුවන් දෙදෙනා වෙනුවෙන් නාම මාත‍්‍රිකව හෝ එවැන්නක් පිළියෙල කෙරුණු මොහොතේ ඇගේ එම සිතුවිලි වඩාත් සනාථ විය; එය අයිලින් ම යෝජනා කිරීම නිසා මෙයි සහ ලාන් වඩාත් සතුටට පත්ව සිටියෝය. ඇයට එම අවස්ථාවේදී හුදෙකලාවක්, පිටස්තර බවක් දැනේදෝයි ඔවුන් දෙදෙනා කණස්සල්ලෙන් පසු වූ බව ඇයට වැටහී තිබුණි. එබැවින් එම මවුවරුන් දෙදෙනාටද වඩා බලවත් උද්‍යෝගයකින් ඇය එම කුඩා උත්සවය සඳහා ආහාර පිළියෙල කළාය. තිදෙනාගෙන් කිසිවෙකුගේවත් සැමියන් උත්සවයට සහභාගි වූවේ නැත. ස්ත‍්‍රීන්ගේ අවිහිංසක මනෝ විකාරයක් ලෙසින් ඔවුන් එය නොතකා හැර තිබුණි. සැමියන් තිදෙනා අතර හොඳ මිතුරු සබඳතාවයක් ගොඩනැගී තිබූ නමුත් බිරින්දෑවරුන් නිසා නොවන්නට ඔවුන් අතර එවන් මිත‍්‍රත්වයක් ගොඩනැගෙන්නට හේතුවක් නැත. එසේම ඔවුන් තිදෙනාගෙන් කිසිවෙකුත් දිවුරුම්-සොයුරියන් පිළිබඳ රහස දැන සිටියේද නැත.

"මොකද්ද වුණේ ඉතිං?" යිං විමසුවාය. "පවුල් දෙකෙන් එකක් පස්සෙ අදහස වෙනස් කරගත්තාද?"

"මහ අපරාධයක් සිද්ධ වුණා," අයිලින් කීවාය. "කොල්ලා අතින් වෙච්ච අත් වැරැුද්දකින් කෙල්ල මැරුණා."

යිංගේ මුවින් අදහාගත නොහැකි බවක් දනවන සිහින් රාවයක් පිට වූ නමුත් ඉක්මනින්ම ඇගේ කම්පනය දුරු වී මහත් උනන්දුවකින් මුහුණ පිරී ගියේය. "ඒක කොයි කාලෙද වුණේ? ඇයි එයා එහෙම දෙයක් කළේ? එතකොට ඒගොල්ලන්ට වයස කීයද?"

"ඔයාට වඩා ටිකයි ලොකු," අයිලින් කී අතර, ඒ සමගම එවන් සංසන්දනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇගේ සිතේ පසුතැවිල්ලක් ඇති විය. "එතකොට ඒගොල්ලන්ට දාසයයි වයස. ඒ දෙන්නා තනියම චාරිකාවක් ගිහිල්ලා. අත්වැරදීමකින් අර දරුවා අතින් කෙල්ලගේ හුස්ම හිර වෙලා."

යිං විදෙස් හුරුවකින් විස්මයට පත් රාවයක් පිට කළාය. "ඒක කොහොමද අත් වැරැද්දක් වෙන්නේ? ඔන්න ගඟට තල්ලූ වුණානං ඒක බැරි වෙලා වුණා කියන්න පුළුවන්. ඒත් මේ හුස්ම හිර කරන එක? එහෙම දෙයක් අත් වැරැද්දකින් වෙන්නෙ කොහොමද?"

අයිලින් හිස දෙපසට වැනුවාය. එම යෞවනයාගෙන් විමසන්නට තරම් දෙයක් ඒ මොහොතේදී ඉතිරිව තිබුණේ නැත. ඔහු අතින් යෞවනියගේ ඇඳුම ඉරී ගොස් තිබූ ආකාරයම ප‍්‍රමාණවත් සාක්ෂි සපයා තිබුණි. එම දරුවන් දෙදෙනා මුළු ජීවිතයම ගත කළේ ඔවුන් අතර නියම වී තිබූ විවාහය පිළිබඳව දැනුම්වත් ව ය. ස්වභාවිකවම යෞවනයා තුළ යම් බලාපොරොත්තු ගොඩ නැගී තිබෙන්නට ඇත. නමුත් යෞවනිය එයට විරෝධය පා සටන් කොට ඔහුගේ මුහුණද, දෑත්ද සූරා තිබිණ. යෞවනයා තුළ ඒ මොහොතේදී සිටි නාඳුනන සත්ත්වයාගේ හදිසි නොහික්මුණු ස්වභාවයට ඈ බිය වන්නට ඇත.

"එයා ඒ ගෑනු ළමයාට බලහත්කාරකම් කළාද?"

යිං එය විමසූ සරල සැහැල්ලූ විලාශය පිළිබඳව අයිලින්ගේ සිත කැළඹුනි. දහ හතර වැනි වියේදී අයිලින් සහ ඇගේ දිවුරුම්-සොයුරියන් හට නම් ජීවිතය හමුවේ ඇති එවන් කුරිරුකම් පිළිබඳව එතරම් අවබෝධයක් තිබුණේ නැත. "එයා ඒ දැරිවිට කරදරයක් කරන්න හිතන්න නැතුව ඇති," අයිලින් ඔහු වෙනුවෙන් කතා කළාය. ඇය පෙර පටන් ම එම පිරිමි දරුවාට බොහෝ සෙයින් ආදරය කළාය. ඔහුට වඩා සය වසරකින් බාල වූ ඇගේ පුත‍්‍රයා හට ඔහු ඉතාමත් හොඳ වැඩිමහළු සොහොයුරෙකුව සිටි අන්දම ඇයට අමතක නැත. එම නින්දිත මිනී මැරුම ගැන පුවත් පත් පිරී ගිය වකවානුවේ ඒ කිසිවක් වටහා ගන්නට තරම් වයසක් තම පුතුට නොවීම ගැන අයිලින් ආත්මාර්ථකාමී සැනසීමක් අත්වින්දාය.

"ඒත් ඒ කොල්ලා එයාව මැරුවානේ. ඔන්න මෙහෙමයි වෙන්න ඇත්තේ මං කියන්නේ. එයාට මේ ගෑනු ළමයාව ඕනෙ වුණා, එයත් එක්ක එකතු වෙන්න ඕන වුණා. ඒත් ඒ ගෑනු ළමයා කැමති වුණේ නෑ. ඉතිං කොල්ලාට තමුංව පාලනය කරගන්න බැරි වුණා," යිං කීවාය. "එයාට මරණ දඬුවම හම්බවුණාද?"

අයිලින් එසේ බව හඟවන්නට හිස සැලූවාය.

"එයාගෙ අතින් වරදක් වෙන්න ඇති. ඒත් මරණ දඬුවම ලබන්න තරම් වරදක්ද මන්දා ඒක," යිං සිය අදහස ප‍්‍රකාශ කළාය. "ඒත් ඉතිං මේ චීනෙනේ. මෙහෙදි කියන්නේ 'ජීවිතයට ජීවිතයක්' කියලනේ."

මෙයිගේ පුත‍්‍රයා කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරන ලෙසට අයිලින් ලාන්ගෙන් ඇයැද සිටි මොහොතේ ඇගේ පිළිතුර වූයේද එය ම ය. 'ජීවිතයට ජීවිතයක්.' අයිලින්ගේ දෑස් මග හරිමින් ලාන් පවසා සිටියේ එලෙස ය. තමන්ගේ දියණියට අනාගතයක් නොමැති කල, තමා මෙයිගේ පුත‍්‍රයාගේ අනාගතය පිළිබඳව සිතන්නේ කුමකටදැයි ඇය වැඩිදුරටත් විමසා සිටියාය. පිළිතුරක් දීගත නොහැකි වූ අයිලින් නිහඬව ම කළු පැහැති රාමුවක් යොදා තිබූ දැරියගේ ඡායාරූපය ඉදිරියේ හඳුන් කූරු කිහිපයක් දල්වා ඇගේ දෙමාපියන්ගේ හදවත් සුවපත් කර දෙන ලෙසට ප‍්‍රාර්ථනා කර සිටියාය. ඡායාරූපයේ සිටි දැරියට ලාන්ගේ සුන්දර මුහුණුවරද, ලැජ්ජාශීලී සිනහවද උරුම වී තිබූ අතර, එම අවාසනාවන්ත සිදුවීමේදී දැරියගේ බලවත් විරෝධයට හේතු වූයේ ඔවුන් කිසිවෙකුත් නොදත් වෙනත් පිරිමි දරුවෙකුදැයි අයිලින්ගේ සිතෙහි පළමුවරට සැකයක් ඉපැදිණි.

මරණ දණ්ඩනය නියම කිරීමෙන් පසු උසාවිය ඉදිරියේදී සිදු වූ සියල්ලට ම වගකිව යුත්තේ අයිලින් බවට මෙයි ඇගේ මුහුණට ම කෑගසා ප‍්‍රකාශ කළාය. ඇය අයිලින්ට එලෙස චෝදනා කරන අතරේ නඩුවෙන් ජයග‍්‍රහණය කළද තව දුරටත් සිය දිවුරුම්-සොයුරියන් හා බෙදාගන්නට කිසිවක් ඉතිරිව නොතිබූ ලාන් ඉවත බලාගෙන විගසින් එතැනින් නික්ම ගියාය. අයිලින් ඔවුන් දෙදෙනා දුටු අවසන් අවස්ථාව එය විය. එම පවුල් දෙක ම නගරයෙන් පිටව ගිය බව ඔවුන් පිටව ගොස් බොහෝ කලකට පසුව ඇගේ සැමියා ඇයට දන්වා සිටියේය. අනතුරුව ඇයට හුදෙකලාව තම වේදනාව විඳ ගැනීමට නිදහස ලබා දෙමින් ඔහු ඔවුන්ගේ පුත‍්‍රයා සමග පිටුපස මිදුලේ අලසව කෙළි දෙලෙහි යෙදිමින් බොහෝ වේලා ගත කළේය.

යළිත් දිවුරුම්-සොයුරියන්ගේ ඡායාරූපය දෙස හොඳින් බලා සිටි යිං, මිය ගිය දැරියගේ මව හා මිනීමරු පුත‍්‍රයාගේ මව කවුරුන්දැයි විමසා සිටියාය. "ආච්චි අම්මාගෙ යාළුවන්ගෙන් කොයි එක්කෙනා අනිත් එක්කෙනා එක්ක වැඩියෙන් තරහයිද මන්දා."

"ඔයා හිතන තරං ඒ දෙන්නා අතර තරහක් නෑ," අයිලින් කීවාය. ඇය මෙයිට පුත‍්‍රයෙකුත් තමාට දියණියකුත් ණය බව ලාන් දස වසරකට පෙරදී ඇයට ලියා එවූවේ ඔවුන්ගේ සබඳතාවය යළි අලූත් කරගැනීමට යෝජනා කරමින් අයිලින් ඇයට යැවූ ලිපියට පිළිතුරක් වශයෙනි. තමාගේ නිදොස් බව දක්වන්නට අයිලින් කුමන හේතුවක් ඉදිරිපත් කළද ඔවුන් තිදෙනා අතරින් එක ම ණයකාරිය වන්නට සිදු වූයේ ඇයට ය. "ඒ දෙන්නා ම වැරැද්ද පැටෙව්වේ මට," ඇය කතාව අවසන් කළාය.

අයිලින්ගේ මිතුරියන් එලෙසින් සිතීම සැබැවින් ම විකාරයක් බවත්, තමාට කිසිදු අදාළත්වයක් නැති සිදුවීමක වගකීම අයිලින් බාරගැනීම පිස්සුවක් බවත් යිං පවසා සිටියාය. හිස දෙපසට වැනූ අයිලින් දැරිය සමග වාද නොකර නිහඬ වූවාය. ඇගේ වයසටත් වඩා දැනුම් සම්භාරයක් ඈ උකහාගෙන ඇති බව සැබෑ වුවද, ආදරය සේ ම වෛරයද හේතු ප‍්‍රත්‍යයන් මත ඇති වෙන්නක් නොව කෙනෙකුගේ දැනුමෙන් පරිබාහිර වූ යම් බලවේගයකින් කරනා කොළොප්පමකින් ඇති වන්නක් බව වටහා ගැනීමට තරම් ඈ ළාබාල වැඩි විය. මෙයිගේ සහ ලාන්ගේ දරුවන් අහිමි වීම ම පමණක් මෙම වෛරය නොසිඳී තැබීමට තරම් හේතුවක් නොවනා බව අයිලින් දැන සිටියාය. එම විවාහය යෝජනා කළේ අයිලින් ය; එයටත් පෙර, දිවුරුම්-සොයුරි-බන්ධනය ඇති කරගැනීමේ යෝජනාවද ඇයගේ ම ය. යිං තව දුරටත් සිය මිත්තණිය හා වාද කිරීමේ උවමනාවෙන් පසු වුවද, තමාට නොවැටහෙන දෙයක් පිළිබඳව තර්ක කරන්නට ඇයට අනුබල ලබාදීමට තරම් මානසික තත්ත්වයක් ඒ මොහොතේ අයිලින් වෙත නොවීය. සැමියෙකු සොයාගන්නට උනන්දුවක් නොමැති තරමට ම ඇය සිය ළමා විය සහ තම දිවුරුම්-සොයුරියන් වෙත බැඳී මුරණ්ඩු සිතින් පසු නොවුනානම්, එම වකවානුව වන විට ඇයද විවාහ වී මෙයි හා ලාන් සමග ම මවු පදවිය ලබන්නට ඉඩ තිබුණි. එසේ වූවානම් ලාන්ගේ දියණිය හා විවාහ යෝජනාව සිදු කෙරෙන්නේ ඇගේ පුත‍්‍රයාට වන්නට ඉඩ තිබිණ. දැරියගේ කැමැත්ත හෝ අකැමැත්ත කවරක් වුවද අයිලින්ගේ පුත‍්‍රයා එම පවුල් ත‍්‍රිත්වය මෙවන් ඛේදවාචකයකට ඇද දමන්නට හෝ නොදමන්නට ඉඩ තිබිණ. යිං වෙනුවට ඇගේ නම රැගත් වෙනත් දැරියක් ඇගේ මිනිබිරිය වන්නට ඉඩ තිබූ අතර ඇය ඇතැම්විට මෙම ග‍්‍රාමීය නගරයේ ජීවිතය ගෙවන්නට සතුටු වන්නට ඉඩ තිබිණ. යිං වටා ඇති සෑම දෙයක්ම, කෙතරම් සජීවීව හා තාත්විකව පෙනෙන්නට තිබුණද, පණස් වසරකට පෙර එම වසන්ත සන්ධ්‍යාවේදී ජීවිතාන්තය තෙක් පැවතෙනා සොයුරි-බන්ධනයක් පිළිබඳ මනෝ මායාවක් අයිලින්ගේ සිතට නොනැගෙන්නට, ඒ සියල්ල වෙනස් වී තිබිය හැකි බව ඇය මෙම දැරියට වටහා දෙන්නේ කෙසේද?

බොහෝ වේලා බලා හිඳීමෙන් පසු යිං අදහස අත් හැර දැමූ බවක් පෙනුණි. "හරි එහෙනං, ඔය කියන තරම් ම ඒගොල්ලන්ට ආච්චි අම්මාව පේන්න බැරිනං ඒගොල්ලන්ගේ මේ පින්තූරේ අපේ කඩේ එල්ලන එකමයි හොඳ. ඒගොල්ලො දන්නෙත් නැතුව ඒගොල්ලෝ දිහා කට්ටිය බලං ඉන්නවානෙ එතකොට," ඇය කීවාය.

පණස් වසරකට පෙරාතුව ඡායාරූප ශිල්පියාගේ ඉඩ ඇහිරුණු කුටිය තුළදී කාලය නතර වූ ලෙසකින් ඔවුනට බිත්තියේ හිඳ අනේක විධ නන්නාඳුනනා විදේශිකයන්ගේ දෑස් තුළට සිනහ පාන්නට හැකි වනු ඇති බව අයිලින් කල්පනා කළාය. ඇගේ දිවුරුම්-සොයුරියන් ඇගේ දෙනෙතට ඉනූ කඳුළු දකින්නට පෙර ඇය ඔවුන් තිදෙනාගේ සේයාරුව රැගත් පෝස්ටරය වෙතින් ඉවතට හැරුණාය.


Yiyun Li විසින් රචිත Sweeping Past නමැති කෙටි කතාවේ සිංහල පරිවර්තනයයි.


294. කතන්දර හතරක්...


දිනක් ඇත් ගාලක් අසළින් ඇවිද යන මිනිසෙක් එහි ඇතුන් කූඩු තුළ දමා හෝ යදමින් බැඳ දමා හෝ නොමැති බවත්, ඒ වෙනුවට එක් පාදයකට ගැටගැසූ ලණු පොටකින් පමණක් එහි රැඳී සිටිනා බවත් නිරීක්ෂණය කළේය. ඔහු දුටු අන්දමට එම ලණු පොට පහසුවෙන් ම බිඳ දමන්නට ඇතුන්ගේ ශක්තිය ප්‍රමාණවත් ය. නමුත් එවැන්නක් සිදු වූයේ නැත. ලණු පොට බිඳ පළා යනවා තබා එකදු ඇතෙකු හෝ එවැන්නක් කරන්නට උත්සාහයක්වත් දරන්නේ නැත.

පුදුමයට පත් මිනිසා ඇත් ගොව්වාගෙන් ඒ පිළිබඳව විමසා සිටියේය. ඇත්ගොව්වාගේ පිළිතුර වූයේ මෙවැන්නකි: "මේ ඇත්තු පුංචි පැටව් කාලෙදි අපි ඔය තරමේම ලණුවකින් තමයි උන්ව ගැටගහලා තිබ්බේ. ඒ කාලෙදි කොච්චර දැඟළුවත් ඔය ලණුව උන්ට කඩාගන්න බෑ. ලොකු වුණාට උන් තාමත් හිතං ඉන්නේ තාමත් උන්ට ඒ ලණුව කඩාගන්න බැරි වෙයි කියලා. ඉතිං උන් ඕක කඩං පැනලා යන්න උත්සාහයක්වත් කරන්නේ නෑ."


***



වසර සිය ගණනකට පෙර ඉතාලියේ එක් පුංචි නගරයක විසූ අසරණ වෙළෙන්දෙක් මුදල් පොළියට දෙන්නෙකුගෙන් විශාල ණයක් ලබාගෙන තිබුණි. අප්‍රසන්න පෙනුමකින් යුතු මහල්ලෙකු වූ ණය හිමියා වෙළෙන්දාගේ තරුණ දියණිය පිළිබඳ සිත් පහළ කරගෙන සිටියේය. ඔහු වෙළෙන්දාට ලබා දුන් ණය උපයෝගී කරගෙන ඔහුගේ දියණිය විවාහ කරගැනීමට උපායක් සෙවීය.

වෙළෙන්දා සහ දියණිය හමු වූ ණය හිමියා යෝජනාවක් ඉදිරිපත් කළේය. සමාන හැඩයෙන් යුතු කළු හා සුදු ගල් කැට දෙකක් දැමූ මල්ලක් තුළින් වෙළෙන්දාගේ දියණිය එක් ගලක් අතට ගත යුතුය. එය කළු ගල් කැටය වුවහොත් ණය මුදල කපා හැරෙනු ඇති අතර වෙළෙන්දාගේ දියණිය ණය හිමියා හා විවාහ විය යුතුය. එය සුදු ගල් කැටය වුවහොත් එවිටද ණය මුදල කපා හැරෙනු ඇති නමු දියණිය ඔහු හා විවාහ විය යුතු නැත.

දියණිය එකඟ විය. ණය හිමියා ගල් බොරළු පිරි මාවතට නැවී සුදුසු ගල් කැට දෙකක් සොයන්නට විය. විමසිල්ලෙන් එදෙස බලා සිටි වෙළෙන්දාගේ දියණිය ඔහු අතට ගෙන මල්ල තුළට දැම්මේ කළු ගල් කැට දෙකක්ම බව දුටුවා ය. මල්ල තුළින් එක් ගල් කැටයක් අතට ගන්නා ලෙස ණය හිමියා ඇයට පැවසුවේය. අපට පෙනෙනා අන්දමට ඈ හමුවේ ඇති විකල්ප තුනකි:

  • මල්ල තුළින් ගල් කැට ගැනීම ප්‍රතික්ෂේප කර පියාගේ ණය බරින් නිදහස් වීමේ අවස්ථාව අහිමි කිරීම.
  • ගල් කැට දෙකම මල්ල තුළින් පිටතට ගෙන ණය හිමියාගේ වංචාව හෙළි කොට ඔහු තරහ කරගැනීම.
  • සත්‍යය දැන දැන ම, එය කළු ගලක් වනු ඇති බව දැන දැන ම, ගල් කැටයක් පිටතට ගෙන පියා ණය බරින් නිදහස් කිරීම පිණිස තම නිදහස කැප කිරීම.

නමුත් ඇය අපට වඩා වෙනස් අයුරින් සිතන්නියක වූවාය.

මල්ල තුළට අත දැමූ ඇය එක් ගලක් පිටතට ගත්තාය. නමුත් 'අතපසුවීමකින්' එය ඈ අතින් ගිලිහී මාවතේ ඇති අනෙක් ගල් කැට හා මුසු විය. ඇය ණය හිමියා වෙත හැරුණාය: "අනේ බලන්නකෝ, මගේ අතින් ඒක වැටුණානේ. කරුණාවන්ත ඔබතුමා සමාවෙලා ඔය මල්ලේ ඉතිරි වෙලා තියෙන ගල පොඩ්ඩක් බලන්නකෝ. එතකොට අපිට දැනගන්න පුළුවන් මං එළියට ගත්තේ මොන ගලද කියලා," යැයි පැවසුවාය.

මල්ලේ ඉතිරිව තිබුණේ කළු ගල් කැටයකි. තම වංචාව හෙළිදරව් වනවාට අකමැති වූ ණය හිමියා ඈ අතට ගෙන ඇත්තේ සුදු ගල් කැටය බව පිළිගෙන වෙළෙන්දාටද, දියණියටද නිදහස ලබා දුන්නේය.


***



දිනක් ගෙම්බන් රංචුවක් වනයක් හරහා ගමන් කරමින් සිටිනා අතර ඉන් දෙදෙනෙකු ගැඹුරු වළකට ඇද වැටුණි. වළ වටා රැස් වූ අනෙක් ගෙම්බන් එය බොහෝ ගැඹුරු බවත් ඔවුන් දෙදෙනාට කෙසේවත් ගොඩ ආ නොහැකි බවත් හඬ ගා පවසන්නට වූහ. 

නමුත් වළට වැටුණු ගෙම්බන් දෙදෙනා හැකිතාක් උත්සාහ කරමින් ඉහළට පනින්නට වෙර දැරූහ. ඔවුන් කොතෙක් උත්සාහ කළද වළ වටා රැස්ව සිටියවුන්ගෙන් ඔවුන් හට ලැබුණේ දුර්මුඛ හඬවල් පමණි. අවසානයේදී උත්සාහය අත් හළ එක් ගෙම්බෙකු වළ ඉහළ සිටින්නන්ගේ බසට අවනතව මිය යන්නට සූදානම්ව වළ පතුලේ නිසොල්මන් විය. නමුත් අනෙකා නොනැවතී හැකිතාක් ඉහළට පනින්නට උත්සාහ කළේය.

අවසානයේදී ඔහුගේ උත්සාහය සාර්ථක විය.

වළ වටා රැස්ව සිටි අනෙක් ගෙම්බන් මහත් පුදුමයෙන් ඔහු හා කතාබස් කරන්නට සූදානම් විය. නමුත් ඔහු සිනාමුසුව සිටියා පමණි. එම ගෙම්බාගේ කන් නෑසෙන බවත්, වළ වටා සිටි පිරිස කෑගසමින් තමාට ඔල්වරසන් නගනා බව සිතමින් ඔහු වඩ වඩාත් උත්සාහ කළ බවත් එම අනෙක් ගෙම්බන් දැනගත්තේ පසුව ය.


***



මිනිසෙකුට දළඹු කෝෂයක් හමු විය. ඔහු දිනෙන් දින එය නිරීක්ෂණය කළේය. එක් දිනක් එහි කුඩා විවරයක් මතු විය. එතුළ සිටි සමනළයා එම කුඩා විවරය තුළින් පිටතට එන්නට මහත් අපහසුවෙන් දඟලමින් උත්සාහ කරන අන්දම ඔහු බලා සිටියේය. එක් මොහොතකදී සමනළයා වෙහෙසට පත් වූ කලෙක මෙන් නිසොල්මන් වූ අයුරු ඔහු දුටුවේය. 

මිනිසා සමනළයාට උදව් කිරීමට තීරණය කළේය. ඔහු කැපුම් තලයක් අතට ගෙන ඉතාමත් සීරුවෙන් කෝෂයේ වූ විවරය තව දුරටත් විශාල කළේය. සමනළයා ඉතා පහසුවෙන් ඉන් පිටතට පැමිණියේය. නමුත් එම සමනළයාගේ සිරුර ඉදිමුණු ස්වභාවයක් ගත් අතර පියාපත් කුඩා හැකිළුණු, රැළි වැටුණු ස්වභාවයකින් යුතු විය. ඔහු පියාපත් විදා හැර පියාසලන්නට සූදානම් වන තෙක් මිනිසා බලා සිටියේය. නමුත් එවැන්නක් සිදු වූයේ නැත. එම සමනළයා මුළු ජීවිත කාලය පුරාවටම පියාසරන්නට නොහැකිව ඉදිමුණු සිරුරකින් හා හැකිළුණු කුඩා පියාපත්වලින් යුතුව ඒ මේ අත ඇවිදිමින් සිටියේය. 

මිනිසා සමනළයාට උදව් කළේ කාරුණික සිතින් වුවද, සමනළයාගේ ජීවිතයේ සාර්ථක පැවැත්මට එම කෝෂය තුළින් ස්වභාවිකව ම ලබා දුන් ප්‍රතිරෝධයත්, අරගලයත් අත්‍යවශ්‍ය වූ බව ඔහුට අවබෝධ වූයේ පසුව ය.





පරිවර්තනය සඳහා උපුටාගැනීම The 10 Most Inspirational Short Stories I’ve Heard වෙබ් අඩවියෙනි.





226. රෝමයේ නිවාඩුවක්...08 (අවසන් කොටස)

පසුදින ජෝ හුදෙකලාව තම නවාතැනේ කවුළුවෙන් පිටතට නෙතු යොමාගෙන හිඳගෙන සිටියේය. මඳවෙලාවකින් කිසිවෙකු දොරට තට්ටු කරන හඬක් ඇසුණි. විගසින් දොර වෙත හැරුණු ජෝ එදෙස මොහොතක් බලා සිටියේය. අනතුරුව නැගිට විත් ඔහු දොරටුව විවර කළේ බලාපොරොත්තු දැල්වුණු දෑසිනි. නමුත් එවිගසින්ම ඔහු යළිත් බලාපොරොත්තු කඩ වූ මුහුණින් ඉවතට ඇවිද ගියේය. දොරටුවෙන් නවාතැන තුළට කඩාවැදුණේ ඔහුගේ කාර්යාල ප්‍රධානි හෙනසි මහතා ය.

"අයිසෙ ජෝ, ඒක ඇත්තද: තමුසෙට හැබෑවටම ඒ විස්තර හම්බවුණාද?" ඔහු නොඉවසිල්ලෙන් ඇසුවේය.

ජෝ දෑත් සාක්කු තුළ රුවාගෙන හෙනසි මහතා වෙත හැරුණේය. "මොන විස්තරද?"

"අර කුමාරිකාවගෙ කතාන්දරේ - අර අති විශේෂ වාර්තා ලිපිය: ඒක හරිද?"

"නෑ," ජෝ හිස දෙපසට වනමින් ඉවතට හැරුණේය. "මට ඒක කරගන්න බැරිවුණා."

"මොකා? ඒත් එහෙම වෙන්න බෑනේ!"

"කෝපි හරි මොනවාහරි බොනවද?"

හෙනසි මහතා ජෝ වෙත ඇඟිල්ලක් උරුක් කළේය. "ජෝ, මගෙන් ඒක හංගන්න ලෑස්ති වෙන්න එපා."

"කවුද මොනවත් හංගං ඉන්නේ?"

"තමුසෙ!"

ජෝ තම මේසය මත වූ කිසිවක් එහා මෙහා කරමින් කාර්යබහුලව සිටියේය. "මට තේරෙන්නෙ නෑ සර් මේ මොනවද කියන්නෙ කියලා?"

"මං තමුසෙ හිතං ඉන්නවට වඩා දේවල් දන්නවා ජෝ: ඉස්සෙල්ලාම තමුසෙ මගේ ඔෆිස් එකට ඇවිල්ලා ඔට්ටු ඇල්ලුවා කුමාරිකාව ගැන විශේෂ ලිපියක් ලියනවා කියලා; ඊළඟට තමුසෙ අන්තරස්දාන වුණා; ඊටත් පස්සෙ මට තානාපති කාර්යාලෙ ඉන්න මගේ ඔත්තු කාරයෙක්ගෙන් ආරංචි වුණා කුමාරිකාව අසනීපෙන් නෙවෙයි, එයා නගරෙ පුරා ඇවිදිනවා කියලා."

"අනේ මං දන්නෑ ඔබතුමා මොනවිදිහේ පුවත්පත් සංස්කාරකවරයෙක්ද කියලා? ඔය කනට ඇහෙන තුට්ටු දෙකේ ඕපදූප ඔක්කොම ඔබතුමා විශ්වාස කරනවද?"

"නැතුව? ඒ විතරක් නෙවෙයි: ගඟේ බෝට්ටු සාදෙක මහ ගාලගෝට්ටියක් වෙලා තියෙනවා - " හෙනසි මහතාට සවන් දී සිටින අතරේ මිහිරි මතක ආවර්ජනය හේතුවෙන් ජෝ ගේ දෑස් බැබළෙන්නට විය. "- කොහෙන්දෝ මන්දා රටකින් ආපු රහස් නිලධාරීන් අට දෙනෙක් අත් අඩංගුවට අරගෙන. ඊට පස්සෙ හදිසියෙම කුමාරිකාවට සනීප වෙලා. ඉතිං ඔය ඔක්කොම කෑලි එකට එකතු කළාම පිංතූරෙ ලස්සනට හැදෙනවනේ! මේ, ඔහොම අගේ කර කර ඉඳලා කතන්දරේ ගාණ ඉස්සුවා කියන්නෙ එහෙම නෑ, තේරුණාද? ගනුදෙනුවක් කියන්නේ ගනුදෙනුවක්, අපි ඒ ගාණට එකඟ වුණා!" හෙනසි මහතා කතා කරන අතරේ ජෝගේ මේසය වෙත ගොස් ඒ මත ඇති දෑ අවුස්සන්නට විය. "කෝ මිනිහෝ, කොහෙද කොහෙද, පෙන්නනවකෝ මට: කෝ කතන්දරේ?"

"මං එහෙම එකක් ලිව්වෙ නෑ." ජෝ හෙනසි මහතා පසු කර කුඩා මේසය වෙත ගොස් වයින් වීදුරුවක් වත් කරන්නට පටන්ගත්තේය.

"එහෙනං මොකද තමුසෙ-" 

හෙනසි මහතාගේ කතාවට බාධා කරමින් ඒ මොහොතේදී මහ හඬින් දොරටුව විවර කරගෙන නවාතැන තුළට කඩා වැදුණේ අර්වින් ය. "ජෝ!" ඔහුගේ අතේ විශාල ලියුම් කවරයක් විය. "මේ බලනවා ඕයි මේවා දිහා!"

"අර්වින්." ජෝ අවධාරණාත්මක හඬින් ඔහු ඇමතුවේය.

අර්වින් හෙනසි මහතා වෙත ගියේය. "හලෝ හෙනසි මහත්තයා, ෂා, ඔබතුමාත් නියම වෙලාවට ඇවිත් තියෙන්නේ." "අර්වින්!" ජෝ වඩාත් දැඩි හඬින් ඔහු ඇමතුවේය. නමුත් මිතුරාගේ තර්ජනාත්මක හඬ වටහා නොගත් අර්වින් දිගටම කතා කරන්නට සූදානම් විය: "මේ බලන්නකො-" ඔහු ලියුම් කවරය විවර කරන්නට සූදානම් වනවාත් සමගම ජෝගේ අතේ වූ වයින් වීදුරුව අර්වින්ගේ සිරුර පුරා හැළී ගියේය. අර්වින් කෝපයෙන් යුතුව වහා ජෝ වෙත හැරුණේය. "ඒ මොකටද එහෙම කළේ?"

"මොකක්?" ජෝ පුදුමයෙන් මෙන් කතා කරන අතරේ අර්වින්ගේ අතේ වූ ලියුම් කවරය උදුරා ගත්තේය. "තමුසෙනෙ මගේ කාමරේට කඩං වැදිලා මෙතන බඩු පෙරලන්න ගත්තේ!"

"කවුද බඩු පෙරළුවේ?"




"තමුසෙනේ. ඇයි ඕයි මතක නැද්ද, මං ඒ ගැන මීට කළිනුත් තමුසෙ එක්ක කතා කළා?"

"ජෝ, බලනවා මගෙ කලිසම දිහා!"

ජෝ අර්වින්ගේ අතින් ඇදගෙන නාන කාමරය දෙසට යන්නට විය. "ඔව් ඔව්, මේ පැත්තට ඇවිත් ඕක වේලගන්නවා අර්වින්."

නමුත් එයට විරෝධය පෑ අර්වින් ඔහුගේ ග්‍රහණයෙන් මිදුණේය. "ඕන නෑ. මේ ඒක නෙවෙයි, තමුසෙ හෙනසි මහත්තයාට කිව්වද ස්මිත් ගැන?"

"අර්වින්." ජෝ අනතුරු ඇඟවූවේය.

මිතුරන් දෙදෙනාගේ කෝලහාලය දෙස සැකමුසුව බලා සිටි හෙනසි මහතා කුතුහලයෙන් ඔවුනට සවන් දී සිටියේය. "ස්මිත්?" 

"හප්පා! හෙනසි මහත්තයෝ-" අර්වින් ජෝ අතේ වූ ලියුම් කවරය උදුරාගත්තේය. "අර්වින්!" ජෝ යළිත් අනතුරු ඇඟවූවේය. අර්වින් හෙනසි මහතා වෙත යන්නට පටන්ගත්තේය. "මේ බලන්නකෝ-" ජෝ පය දිගු කර අර්වින්ගේ ගමනට බාධා කළ අතර ඔහු පය පැකිළී ඇද වැටුණේය. 

"අයියෝ අර්වින්," ජෝ අහිංසක හඬින් කීවේය. "ඔය බලාපංකො ඉතිං ආයෙත්."

අර්වින් දුම් දමමින් නැගිටගත්තේය. "ජෝ. මේ අහපං-" ඔහු මිතුරාට පහර දීමට සූදානම් විය.

නමුත් ජෝ විගසින් ඔහු වළක්වාගත්තේය. "හරි හරි, ඕක පස්සෙ බැරියැ; තමුසෙ කොහොමටත් මෙහෙ ආවා කළිං වැඩියි. දැං ගෙදර ගිහිං රැවුළවත් බාගනිංකෝ!"

අර්වින් සිය රැවුළ අතගෑවේය. "රැවුළ?"

"ඔව්, එහෙම බැරිනං අඩු ගානේ මායි හෙනසි මහත්තයයි කතා කරලා ඉවර වෙනකල් කට පියාගෙන හිටපං."

හෙනසි මහතා සිය හිස් වැස්ම පැළඳගනිමින් ඔවුන් වෙත ආවේය. "තමුසෙලා දෙන්නා මොකටද මේ ලෑස්ති වෙන්නේ?" ඔහු සිය දෑත් ඉණ මත තබාගත්තේය. "කවුද ස්මිත් කියන්නේ?"

ජෝ වහා පිළිතුරු දුන්නේය. "ඒ අපිට ඔය පාරෙදි හම්බවෙච්ච මිනිහෙක්; ඔබතුමාට උගෙන් වැඩක් නෑ."

ඒ මොහොතේදී හෙනසි මහතා අර්වින්ගේ අතේ වූ ලියුම් කවරය උදුරාගත්තේය. "මොනවද අර්වින් මට පෙන්නන්න හැදුවේ?" ඔහු එය විවර කරන්නට සූදානම් විය.

ජෝ වහා එය ඔහුගෙන් උදුරාගත්තේය. "ආ, ඔය අර්වින්ගේ නැට්ටුක්කාරියොන්ගෙ පින්තූරනේ; ඔබතුමා මෙහෙම ඒවට කැමති නෑ." නමුත් හෙනසි මහතාගේ සැකමුසු බැල්ම හමුවේ ඔහු මුවට සිනහවක් නගාගත්තේය. "ආ එක්කෝ ඕනමනං බලමු ඉතිං," ඔහු කවරය විවර කරන්නට මෙන් සූදානම් වූවේය.

නමුත් හෙනසි මහතා නොඉවසිල්ලෙන් ඔහු වැළැක්වුවේය. "කතාව වෙන පැත්තකට හරවන්න හදන්න එපා අයිසෙ! තමුසෙ ඊයෙ මගේ ඔෆිස් එකට ආපු වෙලාවේ-"

"හරි, මං දන්නවා, ඊයෙ දවල් මං හිතං හිටියේ මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා, ඒත් මං හිතං හිටියා වැරදියි! එච්චරයි ඉතිං; මට ඒ කිව්ව විදිහේ කතන්දරයක් ලියාගන්න බැරි වුණා." හෙනසි මහතාට පිටුපසින් සිටි අර්වින්ගේ මුව පුදුමයෙන් විවර විය.

"හරි එහෙනං," හෙනසි මහතා පිටව යාමට සූදානම් විය. "අද තියෙනවා අර ඊයෙ අවලංගු වෙච්ච පුවත්පත් සාකච්ඡාව. ඒ වෙලාවටම, එතනම. ඒකටවත් ගිහිං මොනවාහරි ලියාගන්නවා." දොර වෙත ඇවිද ගිය හෙනසි මහතා ආපසු හැරී ජෝ වෙත ඇඟිල්ල උරුක් කළේය. "මතක තියාගන්නවා තමුසෙ මට තව ඩොලර් පන් සීයක් ණයයි දැන්!"

"මගේ පඩියෙං කපාගන්න, සතියකට පණහ ගානේ." ජෝ ඔහු දෙස නොබලා පිළිතුරු දුන්නේය.

"හිතන්න එපා මං එහෙම නොකරයි කියලා!" හෙනසි මහතා පිටව ගියේය.

එතෙක් වේලා තුෂ්නිම්භූතව බලා සිටි අර්වින් ජෝ දෙස බැලුවේය. "ඕයි, මොකද වුණේ? අපිට හෙනසි උන්නැහේට වඩා ගෙවන්න කැමති කෙනෙක් හම්බවුණාද?"

"අර්වින්..." ජෝ තැතනුවේය. "මං, මං දන්නෙ නෑ මේක උඹට කොහොමද කියන්නෙ කියලා, ඒත්-"

"ඔහොම හිටපං පොඩ්ඩක් මං වාඩි වෙනකල්." අර්වින් අසළ පුටුවක් මතින් හිඳගත්තේය.

"මේකයි, ඔය පින්තූරත් එක්ක ලියවෙන්න තිබ්බ කතාව ගැන කියනවනං: එහෙම කතාවක් නෑ."

"මො-මොකක්?"

ජෝ තවත් වයින් වීදුරුවක් වත් කරගත්තේය. "මං කිව්වෙ, මං එහෙම එකක් ලියන්නෙ නෑ."

ජෝ දෙස මොහොතක් වේලා බලා සිටි අර්වින් අවසානයේදී සිය මිතුරාගේ සිතැඟි අවබෝධ කරගත්තේය. "මේ, හරි, අර - මේ, පින්තූර ටික මාර ලස්සනට ආවා බං. උඹ අඩු ගානේ මේ ටික හරි පොඩ්ඩක් බලාපං." ඇඳ වෙත ගිය අර්වින් ඒ මත කවරයෙන් ගත් ඡායාරූප එකින් එක ඇතිරුවේය. ඒ අසළට පැමිණි ජෝ වෙත ඔහු එක් ඡායාරූපයක් ඔසවා පෙන්නුවේය. "කොහොමද මේක?" 

ජෝද මඳ සිනහ රැඳි මුහුණින් එය අතට ගෙන බැලුවේය. අනතුරුව ඔහු ඇඳ මතින් තවත් ඡායාරූප කිහිපයක් අතට ගත්තේය. "හෙහ්, එයාගෙ පළවෙනි සිගරට් එක!" ඔහු ඉන් එකක් දෙස බලමින් හිනැහුණේය.




"ආ ඔව්, රොකා අවන්හළේදි ගත්ත එක," අර්වින්ද එයට එබෙමින් කීවේය.

ජෝ ඊළඟ ඡායාරූපය දෙස බැලුවේය. "මෙන්න, සත්‍යයේ මුහුණත ළඟ." ඊළඟ ඡායාරූපය දුටු මොහොතේදී ඔවුන් දෙදෙනාම හඬනගා සිනාසුණෝය. එහි වූයේ කුමරිය සහ මාරියෝගේ නර්තනයයි. ජෝ ඇඳ මතින් තවත් ඡායාරූපයක් අතට ගත්තේය. "මෙන්න මේක තමයි මං ලිපියේ ප්‍රධාන පින්තූරෙ විදිහට දාන්න හිතං හිටියේ," ඔහු එය අර්වින්ට පෙන්වමින් කීවේය. එහි වූයේ ඈන් කුමරිය ප්‍රාර්ථනා පවුර දෙස බලා හිඳිනා දසුනකි. "'ප්‍රාර්ථනා ඉටු වන පවුර අභියස,'" ඔහු තමා සිතා සිටි සිරස්තලයද ඉදිරිපත් කළේය.

"ජෝ, ඒක නියමයිනේ!" අර්වින් සතුට පළ කළේය. "ඒක උඩින්ම දාලා ඊළඟට මේ එකින් එක එයාගෙ ඉෂ්ඨ වෙච්ච ප්‍රාර්ථනා විදිහට එකතු කරන්න පුළුවන්, නේද?"

"හ්ම්."

අර්වින් තවත් රූපයක් අතට ගත්තේය. "මේ, මේක මං වෙන ලිපිගොණුවකින් හොයාගත්තේ: 'කුමරිය පොලිසිය පරීක්ෂා කරමින්'."

"ඔව්, ඒත්-"

අර්වින් තවත් ඡායාරූපයක් ජෝ අතට ලබා දුන්නේය. එහි වූයේ ස්කූටර වික්‍රමයෙන් පසු අත් අඩංගුවට ගැනුණු කුමරිය හා පොලිස් නිලධාරීන්ගේ රූපයකි. "එතකොට මේක: 'පොලිසිය කුමරිය පරීක්ෂා කරමින්'. කොහොමද ඒක?"

දෙදෙනාම යළිත් සිනාසුණෝය. "නියමයි, නියමයි," ජෝ කීවේය. 

අර්වින් ඊළඟ ඡායා රූපය මිතුරා අතට දුන්නේය. එහි වූයේ කුමරිය පුටුවක් මතට නැග ගිටාරය ඔසවා රහස් සේවා නිලධාරියාට පහර දෙන අන්දම ය. "ෂහ්!" ජෝගේ මුහුණ විශ්මයෙන්ද ප්‍රීතියෙන්ද බැබළෙන්නට විය.

"ඒක නියමයි නේද?"

"ආයෙත් අහලා! මාර පින්තූරයක්නේ!"

ඔවුන් දෙදෙනා හඬ නගා සිනාසෙමින් එයට ගැලපෙන සිරස්තල යෝජනා කරන්නට විය. අර්වින් සිය මිතුරා අවසානයේදී ලිපිය ලියන්නට සිත එකඟ කරගෙන ඇති බව සිතන්නට වූ මොහොතේදීම ජෝගේ මුහුණෙන් එළිය අතුරුදහන්ව ගියේය. අර්වින්ගේද සිනහව වියැකී ගියේය. "මොනවද බං ජෝ," ඔහු මිතුරා උනන්දු කරවන්නට උත්සාහ කළේය. "මේ කුමාරිකාවක්නේ. ඔය හැටි හිතන්න දෙයක් තියෙනවැයි." නමුත් ජෝගේ සම්පූර්ණයෙන්ම අඳුරුව ගිය මුහුණ දෙස බලමින් අර්වින් අවසානයේදී හිස දෙපසට වැනුවේය. "උඹෙනං ඔළුව හොඳ නෑ!"

"ඔව්, මං දන්නවා," ජෝ කීවේය. "ඒත් මේ, අහපං, උඹට ඔය පින්තූර විකුණගන්න ඕනෙනං මට උඹව නවත්තන්න බෑ. උඹට හොඳ ගාණක් හොයාගන්න පුළුවං වෙයි."

"ඔව් මොකද නැත්තෙ!" නුරුස්නා හඬින් එසේ පැවසූ අර්වින් ඇඳ මතින් ඡායා රූප ගොන්න එකතු කරගන්නට විය.

"උඹ සාකච්ඡාවට යනවද?" ජෝ ඇසුවේය.

"උඹ යනවද?"

"නොගිහිං බෑනේ. රස්සාවෙ වැඩක්නේ."

"ඒක හරි." ඡායාරූප ගොන්න ලියුම් කවරය තුළට දමාගත් අර්වින් දොරටුව වෙත ගොස් සිය තෙත් වූ කලිසම දෙස බලා ජෝ වෙත එරෙව්වේය. "හම්බවෙමු එහෙනං," ඔහු පිටව ගියේය.

***

තානාපති කාර්යාලයේ විශාල ශාලාව පුරා වාර්තාකරුවන් හා ඡායාරූපශිල්පීන් රැස්ව සිටියෝය. ජෝ සහ අර්වින් ද එහි ඇතුළු වූහ. ශාලාවේ ඉදිරිපස වූ වේදිකාව මතට පැමිණි අයෙක් පිරිසට නිහඬවන ලෙස සංඥා කළේය. "නෝනාවරුනි මහත්වරුනි: කරුණාකර ඉදිරියට පැමිණෙන්න," ඔහු නිවේදනය කළේය. ඉදිරියේ සීමාව දක්වා තිබූ තාවකාලික වැට ආසන්නයට සියල්ලන්ම රැස් වූ අතර ජෝ සහ අර්වින්ද පිරිස අතරින් රිංගා ගොස් ඉදිරි පෙළ දකුණු කෙළවරට ආසන්නව සිටගත්තෝය. ඒ මොහොතේදී වේදිකාව මතට පැමිණි පරිනායකවරයා කුමරියගේ පැමිණීම නිවේදනය කර සිටියේය. මොහොතකින් ඈන් කුමරිය තානාපතිවරයාද, වියර්බර්ග් ආදිපාදවරියද, ජනරාල්වරයාද, ඒ පසුපසින් තවත් පිරිසක්ද පිරිවරාගෙන ඇතුළු කුටියක සිට වේදිකාව වෙත සැපත් වූවාය. ඈ දැකීමෙන් ජෝ මඳ සිනහවක් පෑවේය. වේදිකාව ඉදිරියට පැමිණි කුමරිය ඒ මධ්‍යයේ වූ ප්‍රභූ අසුන ඉදිරියේ සිටගත්තාය.

තානාපතිවරයා ඈ ඉදිරියට පැමිණියේය. "රාජකීය උත්තමාවියනි: ප්‍රවෘත්ති ආයතන නියෝජනය කරමින් මෙහි පැමිණ සිටින මහත්ම මහත්මීන්," ඔහු පිරිස වෙත අත දිගු කරමින් හිස නමා ඇයට පැවසුවේය. ඔවුන් දෙස බැලූ මඳ සිනහ පාමින් හිස යාන්තමින් ඉහළ පහළ යවමින් පිරිස සිසාරා දෙනෙත් ගෙන ගියාය. ඉදිරිපස කෙළවරක සිටගෙන සිටි ජෝ දැකීමෙන් තිගැස්සුණු ඇගේ මුහුණේ වූ සිනහව එක්වරම මැකී ගියේය. ඒ මොහොතේදී තානාපතිවරයා ඇයට හිඳගන්නට සංඥා කළෙන් සිත එකඟ කරගත් කුමරිය අසුනේ වාඩි වී යළිත් ජෝ දෙස බැලුවාය. ජෝ ද ඈ දෙසම බලාගෙන සිටියාය. මොහොතකින් සිය හිස පරිනායකවරයා වෙත හැරවූ කුමරිය ඔහු වෙත හිස සැලුවාය. 




හිස නවා ඇගේ නිහඬ විධානය පිළිගත් පරිනායකවරයා කතා කළේය: "නෝනාවරුනි මහත්වරුනි, රාජකීය උත්තමාවිය ඔබලාගේ පැනයන්ට පිළිතුරු දීමට සූදානම්."

"පළමුවෙන්ම උත්තමාවියනි," ඉදිරිපස වම් කෙළවරේ සිටි එක් තලතුනා මාධ්‍යවේදියෙක් හඬ අවදි කළේය, "ඔබතුමියට රෝගාතුර බවින් අත්මිදී ඉක්මන් සුවය ලැබීමට හැකිවීම ගැන අප හැමදෙනාගේම සතුට ප්‍රකාශ කරන්නට මම කැමතියි."

අනෙක් කෙළවරේ සිටි ජෝ වෙත ඉක්මන් බැල්මක් හෙලූ කුමරිය යළිත් වහාම තලතුනා මාධ්‍යවේදියා දෙස බැලුවාය. "බොහොම ස්තූතියි," ඇය සිනහමුසු මුහුණින් තෙපළා ය.

"උත්තමාවියනි," පිරිස අතරින් තවත් අයෙක් කතා කළේය, "ඔබතුමිය විශ්වාස කරනවාද සමූහාණ්ඩුව යුරෝපයේ ආර්ථික ගැටළුවලට ගැලපෙන විසඳුමක් බව?"

"යුරෝපයෙ සබඳතාවයන් වඩාත් ඉහළ නංවන ඕනෑම විසඳුමකට මගේ කැමැත්ත ලැබෙනවා," කුමරිය පිළිතුරු දුන්නාය.

"ජාතීන් අතර මිත්‍රත්වය කුමන ආකාරයකින් තිබිය යුතු බවද ඔබතුමියගේ අදහස?"

"ඒ ගැන මගේ සම්පූර්ණ විශ්වාසය තියෙනවා-" ඇය ප්‍රශ්නය විමසූ තැනැත්තා වෙතින් දෙනෙත් මෑත් කරගෙන ජෝ දෙස බැලුවාය. "-හරියටම මිනිසුන් අතර සබඳතාවයන් ගැන මං විශ්වාස කරනවා වගේම." පෙර සූදානම් වූ පිළිතුරුවලට පරිබාහිර යමක් ඇගේ මුවින් පිට වූයෙන් වේදිකාව මත වූ අනෙක් පිරිස මුහුණින් මුහුණ බලාගත්තෝය.

මෙවර හඬ අවදි කළේ ජෝ ය. "මම කියන්න කැමතියි, මං - මගේ පුවත් සේවා ආයතනය - වෙනුවෙන්, ඔබතුමියගේ විශ්වාසයට කුමන ලෙසකින්වත් අසාධාරණයක් සිදු නොවෙනු ඇතැයි අපි විශ්වාස කරනා බව," ඔහු මඳ සිනහ රැඳි මුවින් ඈ දෙස බලාගෙනම පැවසුවේය.




ඈන් කුමරියගේ මුහුණේ මහත් සැනසිලිදායක සිනහවක් ඇඳී ගියේය. "ඔබෙන් එවැනි ප්‍රකාශයක් අහන්න ලැබීම ගැන මට හරිම සතුටුයි," ඇය කීවාය.

"ඔබතුමිය සංචාරය කළ නගර අතුරින් වඩාත්ම ඔබතුමියගේ සිත්ගත්තේ කුමන නගරයද?" සභාවෙන් තවත් පැනයක් ඉදිරිපත් විය.

ඈන් කුමරිය ඒ වනවිටද සිටියේ ජෝ දෙස බලාගෙන ම ය. ඇගේ පිළිතුර පමා වූයෙන් ඉදිරියට නැමුණු ජනරාල්වරයා ඇයට පෙර සූදානම් වූ පිළිතුර සිහිපත් කළේය: "හැම නගරයක්ම..."

කුමරිය අවසිහියෙන් මෙන් සිය මතකයේ තැන්පත්ව තිබූ වදන් පෙළ දොඩන්නට වූවාය. "හැම නගරයක්ම මගේ සිත් ගත්තා... ඒවාටම ආවේණික වුණ විශේෂ හේතු නිසා. ඇත්තටම මට අමාරුයි ඒ අතරින්-" ඒ මොහොතේදී ඈ නතර විය. ඇගේ මුහුණේ මෘදු මඳහසක් ඇඳී ගියේය. "රෝමය; හැම අතින්ම මගේ වඩාත්ම සිත්ගත් නගරය රෝමය." වේදිකාව මත උන් පිරිස යළිත් වරක් නොසන්සුන්තාවයට පත්ව උනුන් දෙස බලාගන්නා අතරේ කුමරිය ජෝ දෙස බැලුවාය. "මේ නගරයේදී මම අහපු, දැකපු, විඳපු හැමදෙයක්ම, මගේ මතකයේ රැඳිලා තියෙයි, මම ජීවත් වෙනකල්ම."

"ඔබතුමිය මෙහෙදී අසනීපවුණා වුණත්?" තවත් අයෙකු විමසුවේය.

"එහෙම වුණත්," කුමරිය පෙර ස්වරයෙන්ම තහවුරු කළාය.

ඉන් අනතුරුව පරිනායකවරයා ඡායාරූප ගැනීම සඳහා අවසර ලබා දුන්නේය. ඡායාරූප ශිල්පීන් තාවකාලික වැටෙන් ඉදිරියට රැස් වූ අතර අසුනින් නැගී සිටි කුමරිය වේදිකාව ඉදිරියට පැමිණියා ය. අනෙකුත් ඡායාරූප ශිල්පීන් අතරින් ඉඩක් ලබාගත් අර්වින් ඈ ඉදිරියට පැමිණ සිය ලයිටරය අතට ගෙන කුමරිය වෙත සිනහවක් පා එහි යතුරක් ක්‍රියාත්මක කළේය. මුළදී කුමරිය ඔහුගේ සිනහවට ප්‍රතිචාර දක්වමින් සිනාසුණද ඔහුගේ ලයිටරය සැබැවින්ම කැමරාවක් බව වැටහුණු මොහොතේදී ඇගේ සිනහව අතුරුදහන් විය. අර්වින්ගේ මුහුණේ සිනහව දිගටම රැඳී තිබූ අතර චකිතයට පත් කුමරිය ජෝ දෙස බැලුවාය. ඔහුගේ මුහුණේ වූ සුරක්ෂිත බව තහවුරු කෙරෙන මඳ සිනහවෙන් සිත සැහැල්ලුවට පත් කරගත් කුමරිය යළිත් සිය සිනහව මුවගට නගාගත්තාය.

ඡායාරූප ගැනීම අවසන් කර ශිල්පීන් යළිත් තාවකාලික වැටෙන් පසුපසට ගිය මොහොතේ ජනරාල්වරයා සාකච්ඡාව නිමා කෙරෙනා බව හඟවමින් මාධ්‍යවේදීන්ට සමු දුන්නේය. නමුත් ඒ මොහොතේදී කුමරිය කතා කළාය: "මං කැමතියි මාධ්‍යවේදී මහත්ම මහත්මීන්ව මඳක් මුණගැහෙන්න." ඇය වේදිකාවේ පියගැටපෙළ බැස එන අතරේ ආදිපාදවරිය හා ජනරාල්වරයාද ඈ පසුපසින් එන්නට සූදානම් වුවද ඔවුන් නතර කළ කුමරිය තනිවම පිරිස ඉදිරියට පැමිණියාය. වම් කෙළවරේ සිට මාධ්‍යවේදීන් එකිනෙකා හා කතාබස් කරමින් මඳ සිනහවෙන් යුතුව ඔවුනට අතට අත දෙමින් කෙමෙන් දකුණු පසට ඇවිද ආ කුමරිය අර්වින් ඉදිරියට පැමිණියාය.

"අර්වින් රැඩෝවිච්, සී. ආර්. ඡායාරූප සේවා ආයතනය," අර්වින් තමා හඳුන්වා දුන්නේය.

"කොහොමද ඔබට?" ඔහුට අතට අත දෙන අතරේ කුමරිය කීවාය. 

සිය කබා සාක්කුව තුළින් කවරයක් පිටතට ගත් අර්වින් එය ඈ වෙත පෑවේය. "මේ ඔබතුමියගේ රෝම සංචාරයේ අනුස්මරණ ඡායාරූප කිහිපයක් පිළිගන්වන්න මට අවසර."

එය විවර කර යාන්තමින් එහි වූ රූපයක් දෙස බැලූ කුමරිය තම මුවේ ඇඳී ගිය සිනහව සඟවාගත්තාය. කවරයේ ඉහළින්ම වූයේ ඇය ගිටාරයෙන් රහස් සේවා නිලධාරියාට පහර දුන් ඡායාරූපයයි. "ඔබට බොහොමත්ම ස්තූතියි." ඔහුට ස්තූති කළ කුමරිය ඉන් අනතුරුව ජෝ වෙතට හැරුණාය.

"ජෝ බ්‍රැඩ්ලි, ඇමරිකානු පුවත් සේවය," ජෝ තම සම්පූර්ණ අනන්‍යතාවය හෙළි කළේය. ඔවුන් දෙදෙනා අතට අත දෙන අතරේ ජෝ හෘදයාංගම මඳ සිනහවකින් යුතුව ඈ දෙස බලා සිටියේය. කුමරිය මහත් වෑයමකින් තම හැඟීම් පාලනය කරගෙන සිටියාය. "මට හරිම සතුටුයි, බ්‍රැඩ්ලි මහත්මයා," ඇය කීවාය.




ජෝගෙන් අනෙක් පස වූ මාධ්‍ය වේදියා දෙස බැලීමට කුමරියට මඳ වේලාවක් ගත විය. ඉදිරිපස පේළියේ අවසන් තැනැත්තා සමගද කතාබස් කළ කුමරිය ආපසු හැරී වේදිකාවේ පියගැට පෙළ නැග ගියා ය. ඇය යළිත් ඔවුන් වෙත හැරී සිනහවක් පෑ මොහොතේදී මාධ්‍යවේදීහු අත්පොළසන් දී ඈ වෙනුවෙන් ඔවුන්ගේ සතුට පළ කළ හ. පිරිස සිසාරා බැල්මක් හෙලූ ඇගේ දෑස යළිත් වරක් ජෝ වෙත නතර විය. එවර ඇගේ දෑසට එතෙක් අපහසුවෙන් යටපත් කරගෙන සිටි සන්තාපය මුසු විය. ඔහු දිරිමත් කරවනසුලු මඳ සිනහවක් පාමින් යාන්තමින් හිස සලා සිය සමුගැනීමේ ආචාරය ඈ වෙත පුද කළේය. යළිත් වරක් මඳ සිනහවකින් මුව සරසාගත් ඈන් කුමරිය ඔවුනට පිටු පා සිය නිලධාරීන්ද කැටුව රාජකීය ලීලාවෙන් ඇවිද ගොස් ඇතුළු කාමරයේ දොරටුව අසළින් නොපෙනී ගියා ය.

ඈ පිටව යන දෙස බලා සිටි ජෝගේ දෙතොල් තදින් පියවී තිබුණි. අනෙක් මාධ්‍යවේදීන් පිටව යන්නට පටන්ගත් පසුද ඔහු එලෙසම නොසෙල්වී බලා සිටියේය. ඔහු හා අවසානය තෙක්ම රැඳී සිටි අර්වින්ද, වේදිකාව දෙස ඇසි පිය නොහෙලා බලා සිටිනා සිය මිතුරා දෙස මොහොතක් බලා සිට පිටවීමේ දොරටුව දෙසට ඇවිද ගියේය.

තාවකාලික වැට අසළ හුදෙකලාව සිටගෙන සිටි ජෝ, කුමරිය අවසන්වරට දර්ශනය වූ දොරටුව දෙස හැඟීම් රාශියක් කැටි වූ බැල්මෙන් බලා සිටියේය. බොහෝ වේලාවක් එලෙස හිඳීමෙන් අනතුරුව අවසානයේදී ආපසු හැරුණු ජෝ සෙමෙන් සෙමින් පිටවීමේ දොරටුව කරා ඇවිද ආවේය. දෑත් සාක්කු තුළ රුවාගෙන බර අඩි තබමින් සෙමින් ඇවිද එන අතරේ විශාල ශාලාව තුළින් ඇසුණේ ඔහුගේ අඩි ශබ්ධයේ දෝංකාරය පමණි. දොරටුව අසළදී මොහොතකට නතර වූ ජෝ ආපසු හැරී දිගු ශාලාව කෙළවර හිස් වේදිකාව දෙස මඳ වේලාවක් බලා සිටියේය. අනතුරුව ආපසු හැරී දොරටුවෙන් පිටව නික්ම ගියේය.






- සමාප්තයි -



දැන් අහන්න, ඇස් දෙක පියාගෙන, මේ සින්දුව:

"That's how it is with me
And you'll always be
The only love I ever knew
I'll forget many things in my life time
But my darling I won't forget you."







225. රෝමයේ නිවාඩුවක්...07

ජෝ සිය නවාතැනට පිවිස කබාය ගලවා දොර වසා දැමුවේය. ගුවන් විදුලියෙන් මෘදු වාදනයක් නිකුත් වෙමින් තිබුණි. නානකාමරය තුළ නිදන ලෝගුවකින් සැරසී හිස පීරමින් සිටි ඈන් කුමරිය ඔහු පැමිණි බව ඇසී ඉන් පිටතට පැමිණියාය. මේසය අසළ වයින් පානයක් මිශ්‍ර කරමින් සිටි ජෝ ඈ දෙස බලා සිනහවක් පෑවේය. "ඇඳුම ගන්න දෙයක් නැද්ද?"

"නෑ, ඒවා ඉක්මනට වේලෙයි."

"ඕක හොඳට ගැලපෙනවා ඔයාට - ඔයා හැම වෙලාවෙම මගේ ඇඳුම් ඇන්දානං හරි."

"ඒක තමයි නේද," ඈන් කුමරිය මඳ සිනහවක් පෑවාය.

සිනහවක් පෑ ජෝ ඈ අතට වයින් වීදුරුවක් ලබා දුන්නේය. "වයින් පොඩ්ඩක් බිව්වනං හොඳ වෙයි කියලා හිතුණා."

එය අතට ගත් කුමරිය වටපිට බැලුවාය. "මං මොනවාහරි උයන්නද?"

"කුස්සියක් නෑ; උයන්න දෙයක් නෑ; මං නිතරම කන්නෙ එළියෙන්."

"ඔයා එහෙමද කැමති?"

"ජීවිතේ ඉතිං සිද්ධ වෙන හැම දෙයක්ම අපි කැමති විදිහට වෙන්නෙ නෑනේ," ජෝ කීවේය. ඔහු මොහොතක් වේලා කුමරිය දෙස බලා සිටියේය. "එහෙම වෙනවද?"

"නෑ," ඉවත බලාගත් කුමරිය ඇඳ මතින් හිඳගත්තාය.

"මහන්සිද?"

"ටිකක්."




"අද මහ පුදුම දවසක්නෙ ඉතිං."

"ලස්සන දවසක්," කුමරිය මඳ සිනහවක් පාමින් කීවාය. 

ගුවන් විදුලියේ සංගීත නාදය නිමා වී නිවේදකයෙකුගේ හඬ ඇසෙන්නට විය. "මේ විශේෂ පුවත් නිවේදනය ඔබ වෙත ගෙන එන්නේ රෝමයේ ඇමරිකානු විකාශන සේවයෙන්. අද රාත්‍රිය වනතුරුද රෝමයේ සංචාරයක නිරත වන-" ඈන් කුමරිය නැගිට ගුවන් විදුලිය වෙත ඇවිද ගිය අතර ජෝ නොසෙල්වී ඇයට පිටුපා සිටගෙන සිටියේය. "- ඊයේ දිනයේ හදිසියේ රෝගාතුර වූ ඈන් කුමරියගේ ශරීර සෞඛ්‍යය පිළිබඳව කිසිදු තොරතුරක් මාධ්‍යයට අනාවරණය වී නොමැත. යුරෝපා රටවල් අතර කෙරුණු ඇයගේ සුහද චාරිකාවේ අවසන් නවාතැන වූයේ රෝමයයි. ඇගේ තත්ත්වය බරපතල බවට කටකතා පැතිරෙමින් ඇති අතර ඇගේ රටේ ජනතාව මහත් තැතිගැන්මටත් නොසන්සුන්තාවයටත් පත්ව ඇතැයි සැළ වේ. මෙන්න එම පුවත් නිවේදනය නැවතත්-" ඈන් කුමරිය ගුවන් විදුලිය වසා දැමුවාය. "හෙට වෙනකල් ඉන්න බැරියැ ඕකට," ඇය කීවාය.

"ඔව්," ජෝ එකඟ විය.

ඇය ඔහු වෙත පැමිණියාය. "මට තව වයින් ටිකක් දෙනවද?" ඔහු ඇගේ වීදුරුවට තවත් වයින් වත් කළේය. "අපරාදෙ මට අපි දෙන්නට කන්න මොනවාහරි උයන්න විදිහක් නැත්තෙ," කුමරිය කීවාය.

"ඉස්කෝලෙදි උයන්න ඉගෙනගත්තද?"

"ම්ම්ම්, මට හොඳට උයන්න පුළුවන්; මට කෑම උයලම හම්බ කරගන්නත් පුළුවන් ඕනෙනං. මට මහන්නත් පුළුවන්, ගෙවල් අස් කරන්නත් පුළුවන්, ඇඳුම් මදින්නත් පුළුවන් - මං ඒ හැමදේම ඉගෙනගෙන තියෙනවා. ඒත් මට කවදාවත්-" ඇගේ හඬ මඳක් අඩු වූ අතර ඇය ඉවතට හැරුණාය. "-කා වෙනුවෙන්වත් ඒවා කරන්න ඉඩක් ලැබිලා නෑ."

ජෝ නිසල දෑසින් ඈ දෙස බලා සිටියාය. "මට නවාතැන මාරු කරන්න වෙයි වගේ එහෙනං; කුස්සියක් තියෙන අලුත් තැනකට යන්න වෙයි වගේ," ඔහු කීවේය.

කුමරිය බිඳී ගිය හදවතින් යුතුව ඔහු වෙත හැරුණේය. "ඔව්," නොදැනීම ඇගේ මුවින් පිට විය. ඔවුන් දෙදෙනා බොහෝ වේලා එකිනෙකා දෙස බලා සිටි අතර අවසානයේ සිය දෑස් ඔහුගේ බැල්මෙන් මුදවාගත් කුමරිය අතේ වූ වයින් වීදුරුව හිස් කර අපහසුවෙන් මුව විවර කළාය. "මං... මට යන්න වෙනවා දැං." මොහොතක් එලෙසම හිටගෙන සිටි කුමරිය අනතුරුව ඔහු වෙත දිවවිත් ඔහු වැළඳගෙන උරහිසේ හිස හොවාගෙන වැළපෙන්නට වූවාය.




ජෝ ඈ වැළඳගෙන මහත් සෙනෙහසින් ඇගේ මුහුණ සිපගත්තේය. "ආන්යා... මට... ඔයාට කියන්න දෙයක් තියෙනවා," ඔහු කීවේය.

"එපා, අනේ එපා." ඇය හිස ඔසවා ඔහුගේ මුහුණ සිපගත්තාය. "මුකුත් කියන්න එපා." තවත් මොහොතක් වේලා එකිනෙකා වැළඳගෙන සිටීමෙන් අනතුරුව කුමරිය ඔහු වෙතින් ඈත් වූවාය. "මං ලෑස්ති වෙන්න ඕනෙ," ඇය කීවාය. ඇය නාන කාමරය වෙත ඇවිද යන අතරේ ඇයට පිටුපා මහත් වේදනාවෙන් දෑස් පියා සිටි ජෝ අනතුරුව සුසුමක් හෙලා සිය කබාය රැගෙන ඇඟලාගත්තේය.

මඳ වේලාවකට පසුව ඔවුන් දෙදෙනා සිටියේ මෝටර් රථයක් තුළ ය. ජෝ නිහඬව රිය පදවමින් සිටි අතර කුමරිය ඔහු පසෙකින් හිඳ නිහඬව ඉදිරියට දෑස් යොමු කරගෙන සිටියාය. "අර වංගුව ළඟින් නවත්තන්න," ඇය එක් මොහොතකදී ජෝට පැවසුවාය.

හිස සැලූ ජෝ රථයේ වේගය අඩු කොට ඉදිරියට හමු වූ වංගුවේදී එය නතර කළේය. ඉදිරියට නැවී වංගුවෙන් එපිටට නෙත් යොමු කළ ඔහු වීදියේ කෙළවර වූ තානාපති කාර්යාලයේ ගේට්ටුව දුටුවේය. "මෙතනද?"

කවුළුවෙන් පිටතට නෙත් යොමු කළ කුමරිය "ඔව්" යැයි පැවසුවාය. අනතුරුව ඔහු දෙස නොබලා බිම බලාගෙන මහත් අපහසුවෙන් කතා කළාය: "මට දැන් ඔයාව දාලා යන්න වෙනවා. මං අර කෙළවරට ගිහින්, අර වංගුවෙන් හැරිලා යනවා. ඔයා කාර් එකේම ඉන්න, මං වංගුවෙන් හැරුණාට පස්සේ ආපහු යන්න. මං එතනින් හැරිලා ගියාට පස්සේ තවත් බලං ඉන්න එපා. යන්න, මාව දාලා යන්න," ඇය ඉකි බින්දාය, "මං ඔයාව දාලා යනවා වගේම."

"හරි," ජෝ සන්තාපය මුසු පහත් හඬින් කීවේය.

ඈන් කුමරිය ඇසි පිය හෙලමින් අපහසුවෙන් සිය කඳුළු වළක්වාගන්නට උත්සාහ කළාය. "මං දන්නෙ නෑ සමුගන්නෙ කොහොමද කියලා. මොනවා කියන්නද කියලා මට හිතාගන්න බෑ."

"මුකුත් කියන්න එපා," ඉදිරිය බලාගෙන එසේ තෙපලූ ජෝ ඈ දෙස බැලුවේය. තවත් ඉවසා සිටිය නොහැකි වූ ඈන් කුමරිය ඔහුගේ පපුවට තුරුළු වී ඉකි බිඳින්නට වූවාය. ඔහුද දෑස් පියාගෙන තරයේ ඈ වැළඳගත්තේය. මොහොතක් වේලා එකිනෙකා සිපගත් ජෝ සහ ඈන් කුමරිය තවත් මඳ වේලාවක් වේදනාවෙන් පිරි හදවත්වලින් යුතුව එකිනෙකා වැළඳගෙන සිටියෝය. 

අවසානයේදී ඔවුන් දෙදෙනා එකිනෙකා වෙතින් මිදුණු අතර කුමරිය හිස හරවා තානාපති කාර්යාලය වෙත විහිදුණු වීදිය දෙස බැලුවාය. අනතුරුව කුමරිය යළි ජෝ වෙත හැරුණාය. ඔහු දිරිගන්වනසුලු මඳ සිනහවක් ආයාසයෙන් මුවගට නගාගත්තේය. පෙනෙන නොපෙනෙන තරමේ මඳ සිනහවකින් ඔහුට ප්‍රතිචාර දැක්වූ කුමරිය අනතුරුව බිම බලා හිඳ, මොහොතකට පසුව රථයේ දොරටුව හර පිට වූවාය. යළිත් හැරී ඔහු දෙස බැලීමෙන් වැළකුණු කුමරිය වංගුව වෙත ඇවිද ගොස් වීදිය ඔස්සේ දිව යන්නට වූවාය. ජෝ ඈ නොපෙනී යන තුරුම ඇසි පිය නොහෙලා බලා සිටියේය. ඉන් අනතුරුවද තවත් මොහොතක් වේලා දෙගිඩියාවෙන් යුතුව තානාපති කාර්යාලයේ ගේට්ටුව දෙස බලා සිටි ඔහු අවසානයේදී සිය දෑස් ඒ වෙතින් මුදවාගත්තේය. අනතුරුව, උදාසීන ලෙසින් රථයේ එන්ජිම පණ ගැන්වූ ජෝ එතැනින් පිටව ගියේය.


***

තානාපති කාර්යාලය තුළ ඈන් කුමරිය නිදන ඇඳුමින් සැරසී සිටි තානාපතිවරයා, කඳුළු සළමින් සිටි වියර්බර්ග් ආදිපාදවරිය සහ මුහුණ ඇඹුල් කරගෙන සිටි ජනරාල්වරයා ඉදිරියේ සිටගෙන සිටියාය.

"කුමරියනි," තානාපතිවරයා කතා කළේය. "ගෙවුණු පැය විසි හතර සම්පූර්ණයෙන්ම හිස් වෙන්න බැහැ කියලා මං හිතනවා."

"නෑ, හිස් නැහැ."

"ඒත් මං මොනවද රජතුමාට කියන්නේ?"

"මං අසනීපෙන් හිටියා. දැන් සනීපයි."

"උත්තමාවියනි: ඔබතුමියට මං ගෞරවයෙන් සිහිපත් කරනවා මගේ වගකීම, ඒ වගේම ඔබතුමියගේ වගකීම-"

ඈන් කුමරිය ඔහුට බාධා කරමින් කතා කළාය. "තානාපතිතුමනි, ඔය වචනය ආයෙමත් පාවිච්චි කරන්න ඔබට කිසිම හේතුවක් ලැබෙන එකක් නැහැ කියලා මං විශ්වාස කරනවා. මගේ පවුල සහ මගේ රට වෙනුවෙන් මගේ වගකීම ගැන මං හොඳටම දන්න නිසා නෙවෙයිනං මං අද රෑ ආපහු එන්නෙ නැහැ." දරදඬු හඬින් එසේ පැවසූ ඈන් කුමරිය මඳක් සසළ වූ හඬින් "එහෙනම් කවදාවත්ම මං ආයෙ එන්නෙ නැහැ," යනුවෙන් එකතු කළාය. අනතුරුව ඇය රාජකීය ලීලාවෙන් කාමරය හරහා ඇවිද ගියාය. "අපිට හෙට ලොකු වැඩ සැලැස්මක් තියෙන බව මම දන්නවා. ඒ නිසා ඔබ හැම දෙනාටම මෙතැනින් පිටව යාමට අවසර."

මොහොතක් එලෙසම රැඳී සිටි නිලධාරීන් අනතුරුව කුමරියට හිස නමා ආචාර කොට දොරටුව වෙත ඇවිද ගියෝය. දොරටුව අසළදී සේවිකාවකගෙන් බන්දේසියක් අතට ගත් වියර්බර්ග් ආදිපාදවරිය එයද රැගෙන යළි කුමරිය වෙත එන්නට සූදානම් වත්ම "කිරි - විස්කෝත්තු - උවමනා නැහැ," යැයි කුමරිය පැවසුවාය. බන්දේසිය යළි සේවිකාවට දුන් ආදිපාදවරිය දොර වසා යළි කුමරිය වෙත එන්නට සූදානම් වත්ම "ඔබේ සේවාවට ස්තූතියි, හෙට මුණගැහෙමු," යැයි කුමරිය කීවාය. මොහොතක් විපිළිසරව බලා සිටි ආදිපාදවරිය කුමරියට ආචාර කොට කාමරයෙන් පිටව ගියාය. තානාපති කාර්යාලයේ නිදන කාමරය තුළ හුදෙකලා වූ කුමරිය කවුළුව වෙත ඇවිද ගොස් නිහඬව නගරය දෙස නෙතු යොමා සිටියා ය.



- මතු සම්බන්ධයි -





224. රෝමයේ නිවාඩුවක්...06

එදින සන්ධ්‍යාවේ අන්ධකාරය මධ්‍යයේ ශාන්ත ඇන්ජලෝව අසළ ටිබරීන් ගංගාවේ තොටුපොළ වෙතින් සංගීත නාදය විහිදෙමින් තිබුණි. ජෝ සහ ඈන් තොටුපොළේ පියගැටපෙළ බැස ප්‍රවේශපත්ද මිළදීගෙන යාත්‍රාව වෙත ළඟා වූහ. එහි ඒ වනවිටද කිහිපදෙනෙකු නර්තන භූමිය මත නර්තනයේ යෙදෙමින් සිටි අතර ජෝ සහ ඈන් කුමරියද වැයෙමින් තිබූ රාවයට නර්තනය ඇරඹූ හ. ඒ අසළ අත්වැටට බර දී තනි කළු ඇඳුමින් හා හිස්වැසුමින් සැරසුණු දෙදෙනෙකු උත්සව භූමියේ ගැවසෙන්නන් දෙස බලා සිටියෝය. ඉන් එකෙකුගේ අවධානය ජෝ හා ඈන් කුමරිය වෙත යොමු වූ අතර කෙළින් වී සිටගත් ඔහු අනෙකා සමග කිසිවක් පැවසුවේය. හිස සැලූ දෙවැන්නා වහා එතැනින් නික්ම පියගැට පෙළ නැග දිව ගියේය. ඒ අතර සංගීත රාවය වෙනස් වී වඩාත් ළයාන්විත රාවයක් වැයෙන්නට වූ අතර ඈන් කුමරිය සිය හිස ජෝගේ උරහිසට හේත්තු කරගෙන දෑස් පියාගෙන මඳ සිනහවෙන් යුතුව නර්තනයේ යෙදුණාය. මොහොතකට හිස එසවූ ඇගේ දෑස් ජෝගේ දෑස් හා ගැටී මඳ වේලාවක් එලෙසම රැඳුණු අතර තවත් මඳ වේලාවකින් සංගීතය අවසන් වූයෙන් ඔවුන් දෙදෙනාද නර්තන භූමියෙන් ඉවතට ඇවිද ගියෝය.




අසුනක් මත හිඳගන්නා අතරේදී ඈන් කුමරිය කතා කළාය. "බ්‍රැඩ්ලි මහත්මයා: මං හිතන්නේ ඔයත් හරියටම කපාපු පළුවක්."

"ඈ- මොක-?" අනතුරුව ඔහුට සිහිපත් විය. මඳ සිනහවක් පෑ ඔහුද ඈ අසළ අසුනකින් හිඳගත්තේය. "ආ, බොහොම ස්තූතියි."

"ඔයා අද මුළු දවසෙම මං කැමති දේවල් කර කර මාත් එක්කම හිටියා. ඇයි?"

ජෝ වරදකාරී හැඟීමෙන් යුතුව වදන් ගැලපුවේය. "මං දන්නෙ නෑ. මට හිතුණා එහෙම කරන්න."

"ඒ තරම් කරුණාවන්ත කෙනෙක් ගැන මං කවදාවත් අහලා නෑ."

සිය පශ්චාත්තාපය සඟවාගැනීමට ජෝ බිම බලාගත්තේය. "ඒක ඒ හැටි දෙයක් නෙවෙයි."

"හරිම පරාර්ථකාමියි."

ජෝ හිස එසවූයේ මඳ වේලාවකට පසුය. ඔහු බීමහළ වෙත හිස දිගු කළේය. "යමු, අපි ගිහිං මොනවාහරි බීලා ඉමු." ඔහු ඇගේ අතින් අල්ලාගත් අතර ඔවුන් දෙදෙනා බීමහළ වෙත ඇවිද ගියහ.

බීමහළ අසළ සිටි කරණවෑමියා ඈන් කුමරිය දැක මහත් ප්‍රීතියෙන් කතා කළේය. "හානේ! ඔයා ආවානේ!" තමා සමග සිටි තැනැත්තියගෙන් අවසර ගැනීමට ඔහුට සිහිපත් වූයේ ඉන් අනතුරුවය. ඈ හා වදනක් දෙකක් දෙඩූ ඔහු යළිත් වහාම ඈන් කුමරිය වෙත හැරුණි. "මං ගොඩක් වෙලා බලං හිටියා ඔයා එනකල් - මං ඒත් හිතුවා ඔයා එන්නෙ නැති වෙයිද කියලා." ඔවුන් දෙස බලාගෙන ඈ පිටුපසින් සිටි ජෝ ඔහුගේ ඇස ගැටුනේ එයිනුදු අනතුරුවය. ඈන් කුමරිය ඔහුගේ මුහුණ වෙත අත දිගු කළ අතර කරණවෑමියා පෙරදී සිය උඩු රැවුල පිහිටි, මේ වනවිට සම්පූර්ණයෙන්ම මුඩුව පැවැති සිය උඩු තොල අල්ලාගත්තේය. "ආ, මාත් කපලාම දැම්මා; මුළු රැවුලම කැපුවා!"

"ආ, රැවුල නැතුව හොඳයි, නේද?" සිය කරණවෑමි හිතවතා හඳුනාගත් කුමරිය ප්‍රීතියෙන් කීවාය. "හරි ලස්සනයි." අනතුරුව ඇය ඔහුට ජෝ හඳුන්වා දුන්නාය. "මේ බ්‍රැඩ්ලි මහත්මයා."

"මම මාරියෝ ඩෙලානි," කරණවෑමියා කීවේය.

"පරණ යාළුවොද?" ජෝ විමසුවේය.

"ඔව්, එයා තමයි හවස මගෙ කොණ්ඩෙ කැපුවේ. මේකට එන්න කියලා මට කිව්වෙත් එයා තමයි."

"එහෙමද?" ජෝ මහත් උනන්දුවෙන් කරණවෑමියාට අතට අත දුන්නේය. "මොකද්ද නම කිව්වෙ?"

"ඩෙලානි, මාරියෝ ඩෙලානි."

"මාරියෝ ඩෙලානි," ජෝ පුනරුච්ඡාරණය කළේය. "බොහොම සතුටුයි අඳුනගන්න ලැබුණට."

"මටත්," කරණවෑමියාද පිළිතුරු දුන්නේය. මේ අතර සංගීත කණ්ඩායමේ වාදනය නැවතත් ඇරඹුණි. මාරියෝ ඈන් කුමරිය දෙස බැලුවේය. "මේ, මට මේ ලස්සන නෝනාත් එක්ක නටන්න අවසරද?" නුහුරු බසින් කුමරියගෙන් එසේ විමසූ ඔහු ජෝ දෙස බැලුවේය. "කමක් නැද්ද?"

"අයියෝ කමක් නෑ; යන්න යන්න," ජෝ අවසරය ලබා දුන්නේය.

ඈන් කුමරියද කරණවෑමියාද මහත් ප්‍රීතියෙන් නර්තනයේ යෙදුණෝය. වයින් වීදුරුවක්ද අතැතිව ඒ දෙස බලා සිටි ජෝ විගසින් සටහන් පොතක් අතට ගෙන කරණවෑමියාගේ නම එහි සටහන් කරගත්තේය. මේ අතර අර්වින්ද තොටුපොළ වෙත පිවිසි අතර සිය කැමරාව පෙන්වමින් මාධ්‍ය ආවරණයකට පැමිණි බව පැවසූ ඔහු ප්‍රවේශ පත්‍ර නොමැතිවම යාත්‍රාවට පිවිසුණේය. ඈන් කුමරිය නර්තනයේ යෙදෙන අන්දම කළු ඇඳුම් හැඳි රහස් සේවා නිලධාරියාද බලා සිටියේය.

අර්වින් බීමහළ අසළ සිටි ජෝ වෙත ළඟා විය. "ඒයි, මට මොනවත් මග ඇරුණද?"

"නෑ නෑ, උඹ නියම වෙලාවට ආවේ," ජෝ පහත් හඬින් කීවේය.

"ස්මිත් නෝනා අර කාත් එක්කද නටන්නේ?"

"බාබර් එක්ක - හවස කොණ්ඩෙ කැපුවා, රෑට හම්බවෙන්න කතාකරගත්තා."

අර්වින් මහත් උනන්දුවෙන් හා ප්‍රීතියෙන් ඔවුන් දෙස යළිත් බැලුවේය. "'කුමරිය සහ කරණවෑමියා'" ඔහු යළිත් සිරස්තලයක් ගෙන හැර පෑවේය. අර්වින් බීමහළේ මේසයෙන් අනෙක් පසට ගොස් සිය කැමරාව මේසය මත අටවන අතරේ ජෝ එය නර්තන භූමියෙන් ආවරණය කරගෙන සිටගෙන සිටියේය. අනතුරුව අර්වින්ගේ සංඥාව ලැබුණු විගස පසෙකට වූ ජෝ කැමරාව ක්‍රියාත්මක වූ විගස යළි පෙර ස්ථානයට පැමිණ හදිසියේ අකුණක් පතිත වූයේ මන්දැයි කල්පනා කරන්නක් මෙන් අහස දෙස බලා සිටින්නට විය. විගසින් කැමරාව සැඟවූ අර්වින්ද වයින් වීදුරුවක් අතට ගෙන ජෝ අනුකරණය කරමින් පිටතට පැමිණියේය. ඔවුන් සිටි දෙස බැලූ ඈන් කුමරිය ඔවුන් හා සිනාසී අත වැනුවාය. ඔවුන් දෙදෙනාද සිය වීදුරු ඔසවා සිනා පෑ හ. මේ අතර තොටුපොළට ඉහළින් පාලම මත මෝටර් රථ කිහිපයක් නතර කෙරුණු අතර උත්සව යාත්‍රා භූමිය වටා රහස් සේවා නිලධාරීහු තැන් තැන්වල ස්ථානගත වූහ. 



වැයෙමින් තිබූ ගීතය අවසන් වූ අතර නිරීක්ෂණයේ යෙදී සිටි පළමු රහස් සේවා නිලධාරියා කුමරිය හා මාරියෝ වෙත පැමිණියේය. ඔහු පැමිණියේ සුන්දර තරුණිය හා නර්තන අවස්ථාවක් ලබාගැනීමටයැයි සිතූ මාරියෝ ආචාරශීලීව ඇගෙන් සමුගෙන නර්තන භූමියෙන් පිට විය. කළු ඇඳුමින් සැරසුණු නන්නාඳුනන අමුත්තා දෙස බලා මඳ සිනහවක් පෑවද කුමරිය ඔහු හා නර්ථනය ඇරඹුවේ නොසන්සුන් සිතිනි. මඳ වේලාවක් ඈ හා නර්ථනයේ යෙදුනු නිලධාරියා ඈ වෙත නැඹුරු විය. "උත්තමාවියනි." තියුණු බැල්මක් ඔහු වෙත හෙලූ කුමරිය ඔහු වෙතින් මිදෙන්නට සූදානම් වුවද ඔහු තදින් ඈ ග්‍රහණය කරගෙන සිටියේය. "කලබල නොකර පිවිසුම් දොරටුව ළඟට මේ විදිහටම යමු. එතන වාහනයක් නතරකරලා තියෙනවා."

කුමරිය ඔහුගෙන් මිදෙන්නට අරගල කළාය. "බැහැ."

"කුමරියනි, කරුණාකරලා මං කියන විදිහට කරන්න," ඔහු බලෙන්ම ඈ දොරටුව වෙත කැඳවාගෙන යන්නට උත්සාහ කළේය.

"ඔයාට - ඔයාට වැරදීමක් වෙලා." තමාට ඔහු කියනා දෙය නොවැටහෙන බවක් හඟවන්නට ඈ ඉතාලි බසින්ද දෙඩුවද එය සාර්ථක වූයේ නැත. "මට යන්න දෙන්න." අනතුරුව ඇය කෑ ගසන්නට විය. "මට යන්න දෙනවා! බ්‍රැඩ්ලි මහත්මයා!" බීමහළ අසළ සිටි ජෝ ඇගේ හඬ ඇසී වහා ඈ සොයමින් දිව එන්නට විය. "මට යන්න දෙනවද නැද්ද? බ්‍රැඩ්ලි මහත්මයා!" කලබලය ඇසුණු අර්වින්ද ජෝ පසුපස දිව ආවේය.

ඔවුන් දෙදෙනා පැමිණෙන විට රහස් සේවා නිලධාරීන් දෙදෙනෙක් කුමරිය යාත්‍රාවෙන් පිටතට ඇදගෙන එමින් සිටි නමුත් ජෝගේ පහර කෑමෙන් ඉන් එකෙකු ඇදගෙන වැටුණේය. ඔහු කුමරිය අතින් අල්ලාගෙන අනෙක් තැනැත්තාටද පහර දුන් අතර එම නිලධාරියා අනෙක් පස හැරී අර්වින් හට දුන් පහරින් ඔහු තොටුපොළේ අත්වැටෙන් ගඟට නොවැටී බේරුණේ යන්තමිනි. ජෝ සහ ඈන් කුමරිය නර්තන භූමියේ අනෙක් පසට දිව ගිය අතර එහි වූ පිරිස නර්තනය හා වාදනය නවත්වා අරගලය දෙස බලා සිටින්නට විය. තවත් රහස් සේවා නිලධාරීන් එහි ළඟා වෙමින් සිටිනු දුටු ජෝ කුමරියද කැටුව යළිත් අනෙක් පසට දිව ගියේය. ඔවුන් දෙදෙනා දෙපසින්ම වටව සිටි බැවින් කුමරිය පසෙක තබාගෙන ජෝ සටනට පිවිසියේය. ඔහුගේ පහර කෑ එක් නිලධාරියෙකු ගඟට ඇදගෙන වැටුණු අතර ඈන් කුමරිය වහා ඔහු වෙත වැටේ සවි කොට තිබූ ජීවිතාරක්ෂක වළල්ලක් ගලවා විසි කළාය. නරඹන්නෝ ප්‍රීති ඝෝෂා කළහ. ජෝගේ සහයට පැමිණි අර්වින්ද තවත් නිලධාරියෙකු හා පොර බදන්නට වූ අතර නිලධාරියා ඔහුගේ රැවුළෙන් ඇදි මොහොතේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය අර්වින් මිට මොළවා ඔහුගේ මුහුණ මැදට පහරක් එල්ල කළේය. මේ අතර නරඹන්නන් අතර සිටි මාරියෝද සිය කුඩා පනාව පිටතට ගෙන ඉතාලි බසින් මුමුණමින් සිය හිස කෙස් පීරා හොඳින් සකසාගෙන ජෝගේ සහයට පැමිණියේය. එතෙක් නතර වී තිබූ වාදනය යළිත් අරඹන ලෙස සංගීත කණ්ඩායමේ නියමුවාගෙන් විධානය ලැබුණු අතර වේග රිද්මයකින් යුතු සංගීතයක් වැයෙන්නට පටන්ගත්තේය. 




උත්සව යාත්‍රාවේ කලබලය දිගින් දිගටම ඇදී ගිය අතර ජෝද, අර්වින්ද, මාරියෝද හතර අතින් එන රහස් සේවා නිලධාරීන්ට පහර දෙමින් සිටියෝය. මේ අතර හොර රහසේම කුමරිය වට කරගත් රහස් නිලධාරීන් දෙදෙනෙක් ඈ ඇදගෙන යන්නට වූහ. ජෝ ඒ පසුපසින් දිව ගිය අතර අර්වින්ද සිය කැමරාව ඔසවාගෙන ඔහු පසුපස දිව ගියේය. ජෝ කුමරිය අල්ලාගෙන සිටි එකෙකුට පහර දී බිම දැමූ අතර අනෙකා ඔහුට පහර දීම පිණිස කුමරිය අත හැරියාය. නිදහස් වූ කුමරිය ජෝට සහය විය හැකි අන්දමක් සොයමින් බිම විසිරී තිබූ බෝතල් අතට ගෙන නිලධාරියා වෙත දමා ගැසුවාය. නමුත් ඉන් ඵලක් නොවූ තැන යළිත් වටපිට බැලූ කුමරිය පසෙක වැටී තිබූ ගිටාරයක් අතට ගෙන පුටුවක් මතට නැගගත්තාය. ඈ වෙතට තවත් නිලධාරියෙක් පැමිණෙන්නට වූ අතර කුමරිය ගිටාරය ඔසවා හොඳින් එල්ලය බලා ඔහුගේ හිස් මුදුනට පතබෑවාය. නිලධාරියා ඈ ඉදිරියේ හුන් තැනම ගල් ගැසී නතර විය. එම අනර්ඝ මොහොත සිය කැමරා කාචයෙන් මග හැරී යාම පිළිබඳව කණස්සලු වූ අර්වින්, යළිත් එයම සිදු කරන ලෙස කුමරියට පැවසුවේය. සිනහවෙන් පිරුණු මුහුණෙන් යළිත් ගිටාරය ඔසවාගත් ඈන් කුමරිය පෙරටත් වඩා හොඳින් එල්ලය ගෙන එයින් නිලධාරියාගේ හිස මතට පහර දුන්නාය. 




මේ අතර අවටින් ඉතාලි පොලිස් රථ වාහන ළඟා වන සයිරන් නළා හඬ ඇසෙන්නට වූ අතර, ජෝද, ඈන් කුමරියද, අර්වින්ද උත්සව යාත්‍රා භූමිය මග හැර තොටුපොළේ අනෙක් පසට පිවිසෙන්නට උත්සාහ කළෝය. නමුත් එදෙසින් පොලිස් නිලධාරින් ළඟා වෙමින් සිටියෙන් ඔවුන් තිදෙනා පාලමේ අනෙක් පසට දිව ගිය අතර රහස් සේවා නිලධාරියෙකු සමග පොර බැදීම පිණිස අර්වින්ට නතර වීමට සිදු විය.

බෝට්ටු මඩුවක් වෙත ළඟා වූ ජෝ සහ ඈන් කුමරිය එය වටා සීරුවෙන් ගමන් ගන්නා අතරේ කෙළවරක සැඟව සිටි රහස් නිලධාරියෙක් ජෝ එතැනින් එබී බලනවාත් සමග ඔහුගේ මුහුණ මැදට පහරක් එල්ල කළේය. ඉන් විසි වී ගිය ජෝ ගඟට ඇද වැටුණේය. වහා ක්‍රියාත්මක වූ ඈන් කුමරිය නිලධාරියාට පා පහරක් දී හුස්ම තද කරගෙන, නාසය වසාගෙන ජෝ අසළින්ම ගඟට පැන්නාය. 

උත්සව යාත්‍රාවට ළඟා වූ පොලිස් නිලධාරීහු ඇද වැටී තුවාළ ලබා සිටි විදෙස් රහස් සේවා නිලධාරීන් අත් අඩංගුවට ගෙන පොලිස් රථ වෙත රැගෙන ගියහ. ඉන් එක් නිලධාරියෙකුගේ කර වටා ගිටාරයක්ද පැටළී තිබුණි. 

ජෝ සහ ඈන් කුමරිය දිය බේරෙන සිරුරුවලින්, එහෙත් නිරුපද්‍රිතව ඉවුරේ අනෙක් කෙළවරට ළඟා වූහ. ශීතලෙන් වෙව්ළන කුමරිය තුරුළු කරගෙන අසළ ගලක් වෙත පැමිණි ජෝ එහි හිඳගෙන ඈ උණුසුම් කරමින් ඇගේ උරහිස් දෑතින් සම්බාහනය කළේය. "ප්‍රශ්නයක් නෑ නේද?" ඔහු ඇසුවේය.

"මං හොඳින්," කුමරිය පිළිතුරු දුන්නාය. "ඔයාට කොහොමද?"

"අපොයි මාත් හොඳින්!" ඔවුන් දෙදෙනා එක්ව සිය වික්‍රමය පිළිබඳව සතුටු සිතින් මොහොතක් සිනාසුණහ. අනතුරුව ජෝ කුමරිය දෙස බැලුවේය. "ඒක නෙවෙයි, එතනදි නියමයි ඈ, මාර පාරවල් ටිකක්නෙ දුන්නෙ," ඔහු යළිත් සිනාසුණේය.




"ඔයත් එහෙමනෙ-" කුමරිය කතා කරන්නට පටන්ගත් නමුත් ජෝගේ දෑසේ වූ බැල්ම දැක එක්වරම ඇගේ මුව ගොළු විය. ඈ වෙත නැඹුරු වූ ජෝ ඇගේ දෙතොල් සිපගත්තේය. මඳ වේලාවකින් යළිත් එකිනෙකා වෙතින් මිදුණු දෙදෙනා තවත් මොහොතක් වේලා ඔවුනොවුන් දෙස බලා සිටියෝය.

තරමක නිහඬතාවයකින් පසුව මුළින්ම හඬ අවදි කළේ ජෝ ය. "මේ... මං... මං හිතන්නේ... අපි මෙහෙං ගියොත් හොඳයි ඉක්මනට. අර්වින් වාහනේ ළඟ ඇති." 

කිසිත් නොපැවසූ කුමරිය ඔහු හා නැගී සිට ගං ඉවුරෙන් එපිටට ඇවිද ගියාය.




- මතු සම්බන්ධයි -




223. රෝමයේ නිවාඩුවක්...05

තානාපතිවරයා සහ ජනරාල්වරයා ගුවන් තොටුපොළ නැරඹුම් මැදිරියේ හිඳගෙන සිටියෝය. මොහොතකට පෙර ගොඩබට රාජකීය ලාංඡනයක් සහිත එන්ජින් හතරේ විශාල ගුවන් යානයක් ධාවන තීරුව ඔස්සේ පැමිණ නතර කෙරුනි. එහි විවර වූ දොරටුවෙන් එක හා සමාන කළු ඇඳුමින් හා හිස්වැසුම්වලින් සැරසුණු මිනිසුන් පෙළක් බැස එන්නට විය. පියගැටපෙළ පාමුල සිටි නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ඔවුහු පිළිගැනුණි. තානාපතිවරයා එදෙස බලා සිටියේ ඔරවාගත් දෑසිනි.

"බලනවා අරුන් දිහා!" තානාපතිවරයා කීවේය. "රහස් නිලධාරීන් ඔහොමත් එන සිරිතක් තියනවද? ඇඳුම් පැළඳුම්වලින් ලේසියෙන් අඳුරගන්න බැරිවෙන්න නේද ඉන්න ඕනෙ?"

"ඉතිං ඔබතුමානේ කිව්වේ වැඩිය කැපිලා පේන්නෙ නැති ඇඳුමක් ලෑස්ති කරන්න කියලා. ඉතිං කළු හොඳයිනේ," ජනරාල්වරයා ඇඟටපතට නොදැනී පිළිතුරු දුන්නේය.

***



මේ අතර කුඩා වෙස්පා ස්කූටරයක නැගි ජෝ ඈන් කුමරියද එහි පිටුපසින් හිඳුවාගෙන නගරය පුරා සංචාරය කරමින් සිටියේය. ඉදිරියෙන් දිස් වූ පෞරාණික රංග පීඨය හෙවත් කොලෝසියම වෙත ස්කූටරය ඇදී යන අතරේ ඇය සිය දෑතින් ඔහුගේ බඳ තරයේ අල්ලාගෙන ප්‍රීතියෙන් වටපිට බලමින් සිටියාය. කොලෝසියම වෙත ළඟා වීමෙන් පසු ඈන් කුමරිය මාර්ගෝපදේශකයෙකු හා ගමන් කරමින් එහි තොරතුරු අසාගන්නා අතරේ ජෝ ඔවුනට පසුපසින් ඒ ආසන්නයෙන්ම ඇවිද ගියේය. එහිදී අර්වින්ද යළි ඔවුනට එකතු විය. සිගරට්ටුවක් දල්වාගන්නා ලෙසින් ඈන් කුමරිය දෙස බලමින් ලයිටරය අතට ගත් අර්වින් එය ක්‍රියාත්මක කළේය. ජෝ ඔහු හා මිතුරා පමණක් දත් රහස් ඉඟියකින් එය අනුමත කළේය. 

කොලෝසියමෙන් පිටතට පැමිණීමෙන් පසු ජෝ සහ කුමරිය යළිත් ස්කූටරයට ගොඩ වූ අතර අර්වින් වහළය රහිත කුඩා මෝටර් රථයක නැගී ගමන් කළේය. ස්කූටරය පසු කර සිය රථය ඉදිරියට ගත් අර්වින්, ජෝ කුමරියගේ අවධානය වෙනතක යොමු කරන අතරේ පසුපස හැරී විගසින් ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් ගත්තේය. මාවතෙන් ඉවතට ඇදී යන්නට වූ වාහනය ඔහු යළි පාලනය කරගත්තේ අපහසුවෙනි. ස්කූටරය එහි හැපීමෙන් වළක්වාගැනීම පිණිස ජෝ හට මාර්ගයේ විසල් අන්තර් ඡේදනයක් වෙත එය යොමු කරන්නට සිදු විය. එහි රථ වාහන හසුරවමින් සිටි පොලිස් නිලධාරියා නළාව පිම්බේය. අර්වින්ද සිය රථය නතර කරගත්තේය. ජෝ සහ කුමරියද ස්කූටරයෙන් බිමට බැසි අතර ජෝ නිලධාරියා සමග කතා කිරීම පිණිස ඔහු වෙත ගියේය. අර්වින් කැමරාවක්ද අතැතිව වීදිය කෙළවරින් එබී බැලුවේය. ජෝ නිලධාරියා සමග කතා කරන අතරේ ඈන් කුමරිය ස්කූටරය පිරික්සා බැලීම පිණිස යළි එහි ගොඩ වී රියැදුරු අසුනේ හිඳගත්තාය. ඇය ලිහිල් ලෙස එහි පාලක යතුරු කරකවා බලන අතරේ අර්වින් ඡායාරූපයක් අරගත්තේය. නමුත් එක්වරම ස්කූටරය පණගැන්වී ඉදිරියට ඇදෙන්නට වූ අතර ඈන් කුමරිය යටි ගිරියෙන් කෑ ගැසුවාය. වහා හැරී බැලූ ජෝ පොලිස් නිලධාරියාගෙන් සමාව ඉල්ලමින් ස්කූටරය පසුපස දිව ගියේය. අර්වින් තුෂ්නිම්භූතව බලා සිටියේය. පදික වේදිකාව මතින් ඒ මේ අත වැනෙමින්, පදිකයන් බිය ගන්වමින් ඇදී ගිය ස්කූටරය පසුපස දිව ගිය ජෝ එය නවත්වන ලෙස කුමරියට කෑ ගැසුවේය. අර්වින්ද යළි සිය රථයට ගොඩ විය. ප්‍රීතියෙන් ඉපිළෙමින් සිටි කුමරිය සිනහසෙමින් නොනවත්වා ස්කූටරය පැදවූ අතර ජෝද අවසානයේ සිනාසෙමින් ඒ මතට පැනගත්තේය. ස්කූටරයේ වේගය එක්වරම වැඩි වූ අතර වංගුවකින්ද හැරී තව තවත් පදිකයන් බිය ගන්වමින් ඉදිරියටම ඇදී යන්නට විය.

"කෝ කෝ මට දෙන්න ඕක," ජෝ සිය දෑත් අත් පොලු මතින් තබාගනිමින් කීවේය.

නමුත් කුමරිය ඔහුගේ දෑත් ඉවතට තල්ලු කර ඒ මතින් යළි ඇගේ දෑත් තබාගත්තාය. "බෑ බෑ, මට පුළුවං, මට පුළුවං."



මෝටර් රථයක්ද බයිසිකලයක්ද යාන්තමින් මග හරිමින් ස්කූටරය රථ වාහන පිරි ප්‍රධාන මාවතට පිවිසුණි. එය මග හැරීමට ට්‍රෑම් රථයකට වැරදි මංතීරුවට පිවිසෙන්නට සිදු වූ අතර එහි රියැදුරු කෝපයෙන් නළාව ශබ්ධ කළේය. ස්කූටරය පසුපසින් අපහසුවෙන් සිය රථය පැද ආ අර්වින්ගේ මුහුණට වරෙක ජල නලයකින් විසි වී ආ දිය දහරාවක් හේතුවෙන් ඔහුගේ දර්ශන පථය වැසී ගියේය. යළිත් පදික වේදිකාවට ස්කූටරය නැංවූ ඈන් කුමරිය කඩ පිළක සිටි මිනිසුන් රොත්තක් මැදින්ද, තවත් කඩපිලක සිත්තරෙකු සිය ගැණුම් කරුවන්ට පෙන්වමින් සිටි සිතුවමක් මැදින්ද ස්කූටරය ධාවනය කළාය. පදික වේදිකා අවන්හළක හිඳ සිටි උදවිය නැගිටුවමින්, පළා යවමින්, මේස පුටු පෙරළමින් ඇදී ගිය ස්කූටරය යළි මාවතට පිවිස වටරවුම වටා කරකැවුණේ මාර්ග නීතිරීතිවලට පටහැණි අන්දමකිනි. ඒ සමගම ඔවුනට පසුපසින් පොලිස් නිලධාරියෙකුගේ විසිල් හඬද, ඉන් අනතුරුව පොලිස් වාහනවල නළා හඬද ඇසෙන්නට විය. පොලිස් නිලධාරීන් රැගත් යතුරු පැදි දෙකක් දෙපසින්ද, සයිරන් නළා හඬ නංවන පොලිස් රථවාහන පෙළක් පිටුපසින්ද පිරිවරාගෙන ඈන් කුමරිය හා ජෝ රැගත් ස්කූටරය නොනැවතී ඇදී ගියේය.

මඳ වේලාවකට පසු ඈන් කුමරිය, ජෝ සහ අර්වින් සිටියේ විනිසුරුවරයෙකුගේ මේසය පෙසෙකින් සිටගෙනය. ජෝගේ හා ඈන් කුමරියගේ ස්කූටර් වික්‍රමයෙන් අලාභහානි ලැබූවෝ මේසය ඉදිරියේ පෙළගැසී සිටියෝය.



විනිසුරුවරයාගේ පැනයන්ට පිළිතුරු දෙමින් සිටි ජෝ සිය හැඳුනුම්පත ඔහු වෙත ඉදිරිපත් කළේය. එහි ඇති ඔහුගේ ඡායාරූපය දෙසත් ඔහු දෙසත් විනිසුරුවරයා සැකමුසු දෑසින් බලන්නට වූයෙන් ජෝ සිය හිස ඇළ කර හැඳුනුම්පතේ ඡායාරූපයේ ඔහුගේ මුහුණ සටහන් වී ඇති කෝණයට මුහුණ හැරවූවේය. විනිසුරුවරයා එහි සඳහන් ජෝගේ කාර්යාලයේ නම උච්ඡාරණ කළ අතර ජෝ එයට පිළිතුරු දෙන අතරේ ඈන් කුමරිය වටා අතක්ද දමාගත්තේය. අර්වින්ද මැදිහත් වී යමක් පැවසූ නමුත් විනිසුරුවරයා ඉන් සෑහීමකට පත් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. අවසානයේ ජෝ විනිසුරුවරයාගේ මේසය මත වූ යමක් වෙත ඔහුගේ අවධානය යොමු කළ අතර එයින් විනිසුරුවරයාගේ මුහුණ එළිය වැටුණි. 

මොහොතකට පසු අර්වින්ද, අතිනත පටලාගත් ජෝ හා ඈන් කුමරියද සිනාසෙමින්, ඔවුනට විරුද්ධව සාක්ෂි දීමට ආ සාක්ෂිකරුවන්ට අත්ද වනමින් පිටතට ඇවිද ආවෝ ය. දොරටුව අසළ සිටි පොලිස් නිලධාරියාට නෑසෙන මානයට ඇවිද ගිය පසු ඔවුහු නතර වූහ. "ඇමරිකානු පුවත් සේවය?" ඈන් කුමරිය ජෝගෙන් විමසුවාය. "ඇයි එයා එහෙම කිව්වෙ?"

"ඈ? ආ, මෙහෙමයි: අපි මාධ්‍යයට සම්බන්ධ අය කියලා කිව්වහම ඔය ඕන තැනකින් ගැලවෙන්න ලේසියි, ඒකයි." ජෝ පිළිතුරු දුන්නේය.

ඒ වන තුරුද සිනහව නවතාගත නොහැකිව සිටි අර්වින්ද කතා කළේය. "ඒකනං නියම වැඩේ! ස්කූටරේක නැගලා පල්ලියට යන ගමං - කසාද බඳින්න! මූනං මහ පච මෝලක්!" ඈන් කුමරිය ඔවුන් දෙදෙනා දෙස ගැටළුකාරී මුහුණින් බලනා අතරේ පොලිස් ස්ථානය තුළින් පිටතට පැමිණි සාක්ෂිකරුවෝ සිනහමුසු මුහුණින් ඔවුන් වෙත පැමිණ ජෝට හා ඈන් කුමරියට සුබ පතන්නට වූහ. අවසානයට පැමිණි තරබාරු තැනැත්තෙක් ඈන් කුමරියගේ දෙතොල් සිඹ සුබ පැතූ අතර ජෝගේද මුහුණ දෙපසම සිපගත්තේය.

ඔවුන් සියල්ලෝම පිටව ගිය පසුද තිදෙනාම ගල් ගිල්ල ලෙසින් බලා සිටි අතර මුළින්ම මුව විවර කළේ ඈන් කුමරිය ය. "ඔහොම බලං ඉන්න ඕන නෑ ඉතිං," ඇය විපිළිසර මුහුණින් පසුවන ජෝට කීවාය. "මං ඔයාට වරද පටවන්නෙ නෑ."

"ඇති යන්තං. බොහොම ස්තූතියි."

"නෑ ඉතිං, ස්තූති කරන්න ඕනේත් නෑ!"

"හා එහෙනං."

තිදෙනාම සිනාසෙමින් ඇවිද යන අතරේ ඈන් කුමරිය යළිත් කතා කළාය. "මමත් නියම බොරුකාරියක් නේද?"

"ආයෙත් අහලා," ජෝ පිළිතුරු දුන්නේය. "මට හම්බවෙලා තියෙන හොඳම බොරුකාරි." අර්වින්ද එය අනුමත කළේය.

"බොහොම ස්තූතියි," ඈන් කුමරිය කීවාය.

ජෝ ඉදිරියේ වූ ගොඩනැගිල්ලක් වෙත දෑස් යොමු කළේය. "අන්න... එන්න මාත් එක්ක," ජෝ කුමරියගේ අතින් අල්ලාගෙන ඔහු පෙන්වූ ගොඩනැගිල්ල වෙත කැඳවාගෙන ගියේය. කුඩා අඳුරු කුටීරයක් බඳු වූ එතුළ බිත්තියේ දැවැන්ත පාශාණමය මුහුණක් කැටයම් කොට තිබුණි. "මේක අතමයි 'සත්‍යයේ මුහුණත'," ජෝ පැහැදිලි කළේය. ඔහු මුහුණෙන් එක් පසෙකද, ඈන් කුමරිය අනෙක් පසද සිටගෙන සිටි අතර අර්වින් දොරකඩ අසළ රැඳී හිඳිමින් තවත් සිගරට්ටුවක් පිටතට ගත්තේය. "කතන්දරවල කියවෙන හැටියට කෙනෙක් බොරුවක් කරනවනං, එයා මේ කට ඇතුළට අත දැම්මාම අත හපලා කඩාගන්නවාලු."

"හපොයි!"

"බලමු ඔයාට පුළුවන්ද කියලා අත බේරගන්න." ජෝ අභියෝග කළේය. මුළදී මදක් පැකිළුණු ඈන් කුමරිය අනතුරුව සිත දැඩි කරගෙන සෙමින් සෙමින් සිය අතක් පාශාණ මුහුණතේ මුව වෙත ළං කළාය. අර්වින් සිය සිගරට්ටුව 'දල්වා ගත්තේය'. ඈන් කුමරිය අත මුව ආසන්නයටම ගෙන ආවද අවසන් මොහොතේදී සිය ධෛර්යය සිඳී ගියෙන් සිනාසෙමින් යළිත් අත ඇදගත්තාය.

"ඔයාට පුළුවන්ද බලමු," ඇය කීවාය.

ජෝද මොහොතකට පැකිළුනි. නමුත් අනතුරුව සිය දකුණත මුව වෙත ගෙන ආ ජෝ සෙමින් සෙමින් මුව තුළට සිය අතැඟිලි ඇතුළු කළේය. ඈන් කුමරිය ඇසි පිය නොසලා බලා සිටියාය. කිසිවක් සිදු නොවූයෙන් ජෝ සිය මැණික් කටුවද නොපෙනී යන තුරුම අත ඇතුළු කළේය. නමුත් එක්වරම මරහඬ තැලූ ජෝ සිය අත ඉවතට ඇදගැනීමට උත්සාහ දරන්නට විය. නමුත් අත ඉවතට පැමිණියේ නැත. ඈන් කුමරියද වැළපෙමින් ඔහුට සහය වූ අතර අවසානයේදී පාශාණ මුහුණතේ මුව ලිහිල් වූ බවක් දැනුණි. ජෝ අත එළියට ගත්තේය. නමුත් එහි ඔහුගේ අතේ මැණික්කටුවෙන් පහළ කොටස තිබුණේ නැත. ඈන් කුමරිය භීතියෙන් තැතිගැන්වී සිය මුහුණ වසාගෙන ලතෝනි දුන්නාය. සිනාසෙන්නට පටන්ගත් ජෝ සිය කබා අත තුළ සඟවාගෙන සිටි අත පිටතට ගත්තේය.

විශ්මයට පත් ඈන් කුමරිය කඳුළු අතරින් සිනාසෙන්නට පටන්ගත් අතරේ ජෝ සිය දෑත් විවර කළේය. වහා ඔහුට ඔහු තුරුළට පිනූ ඈන් කුමරිය ඔහුගේ පපුවට මිටි කරගත් දෑතින් පහර දෙන්නට වූවාය. "නපුරා! බලන්න, අතට මුකුත් වෙලා නෑනේ!" ඇය වැළපෙමින් කීවාය. 



"සමාවෙන්න සමාවෙන්න, මං පොඩි විහිළුවක්නේ කළේ," ජෝ පැවසුවේය.

නමුත් ඈන් කුමරියගේ තැතිගැන්ම පහව ගොස් තිබුණේ නැත. ඇය නොනැවතී වැළපෙමින් සිනාසුණාය. "ඔයාගේ අතට මුකුත් වෙලා නෑනේ."

"අනේ හරි හරි ඉතිං, සමාවෙන්න, පුංචි විහිළුවක්නේ. හරිද?" ජෝ ඈ අස්වැසුවේය.

ඈන් කුමරිය තමා පාලනය කරගෙන මුහුණ පිසදාගත්තාය. "හරි."

"හරි එහෙනං, අපි යං."

ඉන් අනතුරුව තිදෙනාම අර්වින්ගේ රථයේ නැගී ගමන් ගත් හ. එක් නිහඬ මාවතක් අසළ අර්වින් රථය නතර කළේය. "මං මේක අයිනෙං නවත්තලා එන්නං," ඔහු කීවේය. ජෝ ඈන් කුමරියගේ දොර විවර කළ අතර ඇය පිටතට බැස්සාය. ජෝ වහළය රහිත රථයේ ඉහළින් බිමට පනින්නට සූදානම් වුවද කුමරිය තමා වෙනුවෙන් දොර විවර කර අල්ලාගෙන සිටිනා අන්දම දුටු ඔහු අපහසුවෙන් අසුන් අතරින් රිංගා බිමට බැසගත්තේය. අර්වින් රථය ඉවතට පැද යන අතරේ ඔවුන් දෙදෙනා පුළුල් මං තීරුවක් ඔස්සේ ඇවිද ගොස් විශාල පවුරක් ඉදිරියේ නතර වූහ. එය මුළුමණින්ම කුඩා ඵලක දහස් ගණනකින් වැසී ගොස් තිබුණි. ඔවුනට මදක් ඔබ්බෙන් පවුර අභියස දණ නමා යාඥා කරමින් සිටි කාන්තාවක් නැගිට කුරුසිය සිය පපුව මත සලකුණු කොට පිටව ගියාය.

"මේ මොනවද?" කුමරිය විමසුවාය.

ජෝ ඈ හා පවුර අසළින් ඇවිද යන්නට විය. "මේ හැම සටහනක්ම කාගේ හරි ඉෂ්ඨ වෙච්ච ප්‍රාර්ථනාවක්. මේක පටන්ගත්තෙ යුද්ධ කාළෙ. අහස් යාත්‍රාවලින් ඇවිත් බෝම්බ ගහන්න පටන්ගත්තා. හරියටම අන්න අතන-" ඔහු පවුරේ එක් තැනක් පෙන්වුවේය, "-එක තාත්තා කෙනෙක් එයාගෙ දරුවො හතර දෙනත් එක්ක හැංගිලා හිටියා. ඒ තාත්තා එතන ඉඳන් පවුලේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාර්ථනා කළා. ඒ ළඟටම බෝම්බ වැටුණත් කාටවත් මුකුත් වුණේ නෑ. පස්සෙ දවසක ඒ තාත්තා ඇවිත් තමුන්ගේ ඉෂ්ඨ වෙච්ච ප්‍රාර්ථනාව වෙනුවෙන් පළවෙනි ඵලකය මේ තාප්පේ හයි කළා. එදා ඉඳං ඉතිං මේක හරියට සිද්ධස්ථානයක් වගේ තමයි; මිනිස්සු එනවා, ප්‍රාර්ථනා කරනවා, ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙච්ච දවසක ආයෙ ඇවිත් මේ වගේ පුංචි සිහිවටනයක් එල්ලනවා."



ඈන් කුමරිය පවුර ඔස්සේ නෙත් යොමු කළාය. "හරි ලස්සන කතාන්දරයක්."

"කියවලා බලන්න ඔය ලියලා තියෙන ඒවා දෙක තුනක්," ජෝ ඈ පවුර ආසන්නයට යැවුවේය. ඈ හිස ඔසවා එහි ඇති සටහන් කියවනා අතරේ ඒ අසළම සිටි අර්වින් තවත් සිගරට්ටුවක් දල්වාගත් අතර ජෝ යළිත් ඈ අසළට පැමිණියේය. "ප්‍රාර්ථනාවක් කළාද?" ඈන් කුමරිය නෙතු බිමට යොමාගෙන හිස සැලුවාය. "දොස්තර මහත්තයාට කියන්න කැමති නැද්ද?" දහවල ඔහුගේ නවාතැනේදී ඔහු බොනාකොවේන් වෛද්‍යවරයා ලෙස සලකා ඈ ඔහුට සියල්ල පවසන්නට සූදානම් වූ අයුරු සිහිපත් කරමින් ජෝ කීවේය.

නමුත් කුමරිය ඉවතට හැරුණාය. "වැඩක් නෑ, ඒක හරි යන්න තියෙන ඉඩ බොහොම අඩුයි," ඇය කීවාය.

ඒ මොහොතේදී අර්වින් ඔවුන් වෙත ළඟා විය. "ඉතිං, දැං මොනවද අපි කරන්නේ?"

ඈන් කුමරිය උද්‍යෝගයෙන් හිස එසවූවාය. "මට ආරංචියි මෙහෙ බෝට්ටුවක නැටුම් සාදයක් තියෙනවලු, හරි ලස්සනයිලු."

"ආ, ඔය කියන්නේ ශාන්ත ඇන්ජලෝව ළඟ ගඟේ තියෙන උත්සව පාරුව."

"ඔව් ඔව්! අපි රෑට ඒකට යමුද?"

"මොකද බැරි?" අර්වින් කීවේය.

"ඔයා කැමති ඕන දෙයක්," ජෝද එකඟ විය.

"ඊට පස්සෙ රෑ දොළහට මං වට්ටක්කා ගෙඩියක් වෙලා, මගේ වීදුරු සපත්තුවත් දාගෙන අතුරුදහන් වෙනවා," කුමරිය හැඟීම් විරහිත මුහුණෙන් පැවසූවාය.

"එතනිං ඉතිං සුරංගනා කතාව ඉවරයි," ජෝ කීවේය. අනතුරුව ඔහු අර්වින් වෙත හැරුණේය. "උඹට දැන් ලොකු වැඩක් තියෙනවා කිව්වා නේද?"

"මට?" අර්වින් පුදුම වී ඇසුවේය.



"ඔව් අර ලොකු ව්‍යාපාර 'වර්ධන'-" ජෝ එහිදී හඬ මඳක් බර කළේය. "-වැඩේ? හෙට බාරදෙන්න තියෙන එක?"

එවර අර්වින්ට සිහිපත් විය. "ආ, හරි හරි, වර්ධන වැඩේ."

"ඔව්, ඒකට පළයං. නැත්තං අපරාදෙනේ."

"ඒක හරි," හිස සැලූ අර්වින් ඈන් කුමරිය වෙත අත දිගු කළේය. "පස්සෙ හම්බවෙමු ස්මිත් නෝනා."

"වර්ධන කටයුත්තට මගේ සුබ පැතුම්," කුමරියද ඔහුට අතට අත දෙමින් කීවාය.


- මතු සම්බන්ධයි -