277. මගේ පොත් හත...

අර බිත්තිය පුරා හිතෙන දේ ලියන පැතුම් මහත්තැන්ගේ අලුත් පෝස්ටුව දැකලා තමා මටත් මං ඔය බුකී චැලේන්ජ් එකට තෝරපු පොත් හත ගැන මෙතන ලියන්න හිතුණේ. මට ඒ චැලේන්ජ් එක කළේ කළින් රාජකාරි කරපු තැනක මල්ලි කෙනෙක්. බොහෝම අමාරුවෙන් දවස් ගාණක් හිතලා හිතලා පුංචි කාලේ ඉඳං ආසාවෙන් කියවාපු, හිතේ මුල් ඇදගෙන තියෙන ආසම පොත් ගොන්න අතුරෙන් හතක් තෝරගත්තේ. මං ඒ පොත් හතත් එක්ක ආපහු චැලේන්ජ් කොළේ ඒ කාලේ හිටංම මං දන්න අඳුනන පොත් ගුල්ලියො හත් දෙනෙක්ට. ඒක එක දිගට දවස් හතක්ම ඇදං ගියේ අපරාදෙ කියන්න බෑ මගේ නගා විතරයි. තව එකියක් පළවෙනි දවස විතරක් දාලා දැන් පේන හැටියට වැඩේ අත ඇරලා දාලා. තවත් එකියක් චැලේන්ජුව ඇක්සෙප්ට් කළාය, මට බොහෝම ඉස්තූතිය කියලාත් කියලා දැං මිසිං ඉන් ඇක්ෂන්. අනිත් එව්වොංගෙන් නෝ කතා නෝ සිනා. ඕං ඔහොමයි මට ඉන්න ආදරණීය යාළුවො. මං වගේමයි. :D

පොත් රාක්කේ අවුස්සලා ෆොටෝ ගන්ඩ තියෙන කම්මැලිකොමට මං මේ පින්තූරනං ඉස්සුවේ ජාලෙන් තමයි ඈ.

මේං මගේ පළවෙනි දවසේ පොත: Biggles - Capt. W. E. Johns



චැලේන්ජ් එකේ හැටියට පොතක කවරය විතරක් දාන්න වෙච්ච නිසා, මං මේ එක පොතක කවරයක් විතරක් හොයලා දැම්මා වුණාට බීගල්ස් කතා මාලාවේ හැම කතාවකටම මම එක වගේ කැමැතියි. එයාව මුළින්ම මට හමුවුණේ තාත්තාගේ පොත් එකතුවේ ඉඳලා. පිටු ගැලවිච්ච, පුංචි ඉංග්‍රීසි අකුරු තියෙන පරණ පොත බොහොම අමාරුවෙන් අකුරු ගැට ගහගෙන කියවන්න ගත්තත්, අන්තිමට පොත බිම තියන්න හිතුණෙ නැති තරම් මාව කතාවට ඇදිලා ගියා. ඊට පස්සේ බීගල්ස්ගේ පොත් හොය හොයා මම කියෙව්වා. එතනින් නවතින්නේ නැතුව ගුවන් හමුදා වික්‍රම පොත් හොය හොයා කියෙව්වා. පරණ පොත් කඩවල්වලින් ඒ ජාතියේ පොත් තොග පිටින් උස්සන් ආවා. ප්ලේන්වල, ෆයිටර් ජෙට්වල පිංතූර හොයාගෙන කාමරේ බිත්ති වැහෙන්න අලවගත්තා. මට ඕනවුණේ කවදාහරි ඒ වගේ පියාඹන්න. ඒක තමයි ඒ කාලේ මගෙ හීනේ වෙලා තිබුණේ. මගේ ඉස්කෝලේ යාළුවෝ හිතාගෙන හිටියෙත් මං කවදාහරි ඒ පැත්තෙන් ඉස්සරහට යයි කියලා. ඒක ඉතිං මගේ හැබෑ නොවිච්ච හීනයක්. හැබැයි කවදාහරි, මගේ අකුරුවලින් හරි මම ඒ හීනෙට ආපහු පණ දෙනවා. :)

දෙවෙනි දවස: The Mill on the Floss - George Elliot



කියවපු කතාන්දරේක හිටපු හැම චරිතයකටම මම කැමති වෙච්ච කතාන්දරයක් තියෙනවානම් ඒ තමයි මේක. මේ ගැනත් මං මීට කළින් ලියලා තියෙන නිසා වැඩි විස්තර ආයෙමත් කියන්න යන්නේ නැහැ. මේ තියෙන්නේ ඒ කළින් තොරතුරු: හැඳින්වීම කියවලා කැමතිනම් මම පරිවර්තනය කරපු ඒ සංක්ෂිප්ත කතාන්දරයත් කියවලාම එන්නකෝ.

තුන්වෙනි දවස: මාවතේ ගීතය - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය



පුංචි කාලේ ඉඳන්ම, ඉඳගන්න පුටුවේ ඉඳන් අඳින ඇඳුමට වෙනකල් ගහ මරාගත්ත නංගියි මායි රණ්ඩු නොවිච්ච කාරනා දෙකක් තිබ්බා. ඒ තමයි ඉන්දියානු සාහිත්‍යය සහ ඉන්දියානු සිනමාව. අපි දෙන්නාම රාජේශ් ඛන්නාට දන්න කාලේ ඉඳන්ම ලව්. ඊට පස්සේ හිටපු නළුවොන්ගෙන් අපි දෙන්නාම වැඩියෙන්ම කැමති වුණේ අක්ෂේ ඛන්නාට. අපි දෙන්නාම පරණ හින්දි සින්දු ඇහැව්වේ රේඩියෝ එක ළඟ එකට ඉඳගෙන. ඒ වෙලාවටනං ටීවී එක ඉස්සරහා පුටුවට තිබ්බ රණ්ඩු අපි අතරේ තිබ්බෙ නෑ. ඉතිං ඔය ඇරෙන්න අපි දෙන්නාම ආදරේ කරපු අනිත් කෙනා තමයි 'අපූ'. මේ විභූතිභූෂණයන් අකුරුවලින් පණ දීපු අපූ එහෙමත් නැත්නම් ශ්‍රී අපූර්ව රායි කුමාර් අපිට පුංචි දරුවෙක් විදිහට මුළින්ම හම්බවෙන්නේ මේ 'මාවතේ ගීතය' පොතෙන්. ඊට පස්සේ අපූ ඉගෙනගන්න කාළේ ගැන කියවෙන 'අපරාජිත ජීවිතයක්' සහ වැඩිහිටියෙකු වූ අපූ ගැන කියවෙන 'අපූගේ ලෝකය' අපිව සුන්දර බෙංගාලය පුරා බොහොම සංවේදී ගමනක් එක්ක යනවා. මේ තුන් ඈඳුතු කතාන්දරය සත්‍යජිත් රායි සිනමාවේදියාණන් අපූරුවට සිනමාවට නැගුවා. මගේ මුල්ම ආදරය රාජේශ් ඛන්නා වුණත්, සාහිත්‍ය ලෝකයෙන් හමුවුණු වීරයන්ගෙන් මගේ මුල්ම ආදරය වුණේ අපූ. විවාහය ගැන හිතන කාලෙකදි - මහ ලොකු කාලෙකදි නෙවෙයි ඉතින්, අවුරුදු දාහතර පහළොව විතර කාලෙදි - මං හිතාගෙන හිටියේ මං කවදාහරි බඳින්නේ අපූ වගේ කෙනෙක්ව කියලා. මගේ සිත්තරා ඉතින් අපූට වඩා වෙනස් වෙන්නේ බොහොම අඩුවෙන්. :)

හතරවෙනි දවස: Pollyanna - Eleanor H. Porter



මේ පොත මං කියෙව්වේ බොහොම මෑතකදි. 'මෙච්චර කාලයක් ඇයි දෙයියනේ මං මේක කියෙව්වේ නැත්තේ' කියලා මටම මගෙන් අහගන්න හිතුණ ජාතියේ කියවීමක් ඒක. මේ පොත මට අඳුන්වලා දුන්නේ පොලියානාගේ සතුටු සෙල්ලම ඇත්තටම ප්‍රගුණ කරපු, කොයිතරම් ගැටළුකාරී අවස්ථාවක වුණත් හිනාවෙලා අනිත් අයවත් සතුටින් තියන්න පුළුවන්, සතුට බෙදන ආදරණීය අක්කා කෙනෙක්. දැනට ජීවතුන් අතර නැති ප්‍රවීණ පරිවර්තක මහත්මයෙකුගේ දියණියක්. ලොකු පොඩි හැම දෙනාම නොවැරදීම කියවිය යුතු පොතක් විදිහට මං දකින, ජීවිතයට වටිනා දේවල් ගොඩක් එකතු කරගන්න පුළුවන් පොතක්. මේ පොතේ දෙවෙනි පොත තමයි Pollyanna Grows Up. මේ පොත් දෙක, 'පොලියානා', 'සතුට බෙදන පොලියානා' සහ 'ජිමී සහ පොලියානා' නම්වලින් පොත් තුනක් ලෙස සිංහලයට පරිවර්තනය වෙලා තියෙනවා.

පස්වෙනි දවස: Just William - Richmal Crompton



මේ විලියම් උන්නැහැගෙයි මගෙයි තියෙන ඇයි හොඳයිය ගැන මං මීට කළිනුත් කියලා තියෙනවනේ. ඒ ගැන මතක නැති අයට ඔන්න ආයෙමත් ගිහින් කියවලා බලන්න:

පිට්ටු - 01 කොටස, 02 කොටස
කාර්යබහුල දිනයක් - 01 කොටස, 02 කොටස
කඩාකප්පල්කාරයා - 01 කොටස, 02 කොටස

හයවෙනි දවස: මහරජ ගැමුණු - ජයන්ත චන්ද්‍රසිරි



ඓතිහාසික නවකතාවලට ඉස්සර ඉඳන්ම පෙම් බැන්ද මං මේ තරම් ප්‍රබල විදිහට ගොඩනැගුණු, මගේ ප්‍රියතම ඓතිහාසික වීරවරයා ගැන - ගැමුණු රජුන් ගැන - ලියවුණු කතාන්දරයකට ආසා වීම පුදුමයක් නෙවෙයි. ජයන්ත චන්ද්‍රසිරි 'මහරජ ගැමුණු' නමින් චිත්‍රපටයක් කරන්නට යන බව ආරංචි වූ කාලයේ ඉඳන්ම මං පුලපුලා බලාගෙන හිටියේ ඒක බලන්න. ඒත් යම් යම් බාධක හේතුවෙන් ඒක එතුමා බලාපොරොත්තු වෙච්ච කාලයේදී කරන්නට බැරිවුණ නිසා මුළින් පුවත්පත් ලිපි පෙළක් විදිහටත්, පස්සේ මේ පොත විදිහටත් ඒ කතාන්දරය පළ වුණා. සංසාරය නැමැති ගංගාවෙන් එගොඩ වීම තමයි බෞද්ධයන් හැටියට අප හැමදෙනාගේම අවසන් ප්‍රාර්ථනාව. නමුත් මේ එගොඩවන්නට තිබෙන 'ඔරුව' යම් යම් කාලවලදී දැඩි අනතුරුවලට, තර්ජනවලට මුහුණපානවා. එවැනි අවස්ථාවලදී කවුරුන් හෝ ඉදිරිපත් වී ඒ 'ඔරුව' ආරක්ෂා කරගත්තේ නැත්නම්, අනාගතයේ කිසිවෙකුට එගොඩවන්නට නොහැකි ලෙස ඒ 'ඔරුව' විනාශවෙලා යනවා. නිවන් මග වෙත යොමු වී, මරණාසන්නව සිටි සාමණේරයන් වහන්සේ විහාර මහා දේවියගේ ආරාධනයෙන් ගැමුණු කුමරු විදිහට ඇගේ කුස පිළිසිඳගන්නේ අන්න ඒ 'ඔරුව සුරැකීමේ' වගකීම දරන්නට. ගැමුණු කුමරුන් මගේ වීරයෙක් වන්නේ අන්න ඒ නිසා. එය ඉතාමත් ලස්සනට පෙළ ගස්වා ඉදිරිපත් කර ඇති මේ පොත මා වඩාත් ආදරේ කරන කෘතියක් වන්නේත් අන්න ඒ නිසා.

හත්වෙනි දවස: A Walk to Remember - Nicholas Sparks



මේ කතුවරයාගේ පොත්වලට මං සෑහෙන්න කැමතියි. මේක තමයි මම කියවපු නිකලස් ස්පාර්ක්ස්ගේ පළවෙනි පොත. සිංහලෙන් ලියවුණු ආදර කතා වැඩිය කියවලා නැති මං ඉන් පස්සේ මේ කතුවරයා ලියාපු එව්වා හොය හොයා කියවන්න ගත්තා. ඒ තරමට හදවතට සමීපව දැනෙන රටාවකට ආදරේ ගැන කතා කරන්න මේ කතුවරයා දක්ෂයි. ඒ අකුරුවල 'ආදරේට තියෙන ආදරේ' කැටි වෙලා තියෙනවා. දුක්බර අවසානයක් වුණත් හිතේ පීඩාකාරී බරක් ඉතුරු නොකර 'bitter-sweet feeling' එකකින් ඒ අවසානය බාරගන්න කියවන්නන් පෙළඹෙනවා. නිකලස් ස්පාර්ක්ස්ගේ කතන්දර ගොන්න අතරෙන් මේක මගේ කැමතිම කතාව වෙන්න හේතුව තමයි මේ කතාවෙන් හිතට දනවන භාවනාවක් වගේ හිත පහන් කරවන ගතිය. ආක්‍රමණශීලී, ආවේගශීලී කිසිම දෙයක් නැති, හිත බොහොම සුවපත් කරවන කතාන්දරයක්. 

ඉතින් ඔය තමයි මං කියවලා තියෙන පොත් අතරෙන් මගේ හිත තදින්ම ඇද බැඳගත්ත පොත් විදිහට මට මතක් වෙච්ච පොත් හත. ෆේස්බුක් එකේ කවරේ විතරක් දාලා නැවතුණ මේ පොත් කතාව, වැඩි විස්තර ඇතුව බ්ලොග් අවකාශයට ගෙනාපු පැතුම්ටත්, එයට මුල් පියවර තියලා තිබුණ දේශකතුමාටත් මගේ ස්තූතිය. :)




27 comments:

  1. නියමයිනේ. මේ වැඩේ තව බෝ කළා නම් හරි. මේ පොත් වලින් මම කියවල තියෙන්නේ සතුට ගෙනෙන පොලියාන විතර ද කොහෙද... බිගල්ස් එක කතාවක් ද කොහෙද කියවල තියෙනවා හැබැයි හරියට මතක නෑ....walk to remember ෆිල්ම් එක නම් බලල තියෙන මම හිතන්නේ..

    විභූතිභූෂණ ගේ පොත් එකක්වත් කියවල නෑ... මම කාලෙක ඉඳල ගන්න හිතාගෙන හිටියට තාම බැරි වුනා.

    ගිහින් අර රවියවත් මේකට පටලවමු.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ, අර ඉයන්තුමා පටන්ගත්තු සින්දු පෝස්ට් වගේ මේකත් දිගට ගියානං හරි ෂෝක්. A Walk to Remember ෆිල්ම් එකට වඩා පොත දැනෙනවා. මටනම් එහෙම වුණා. මොකද පොතෙයි ෆිල්ම් එකෙයි පසුබිම් වෙන කාල වකවානුව වෙනස්. මේ ඉන්දියානු පොත් කියවන්නම ඕනේ, කියවලා විතරක් මදි, තමුන්ගේ ළඟ තියාගන්නම ඕන පොත් ගොඩේ තියාගන්නත් ඕනෙ. අපූගේ මේ පොත් තුන, එතකොට අරණකට පෙම් බැඳ, ඊළඟට රවින්ද්‍රනාත් ඨාකූර්ගේ ගෝරා. ඒ ඔක්කොම චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි මහත්මිය හරිම ලස්සනට සිංහලට පරිවර්තනය කරලා තියෙනවා.

      අන්න රවි අයියාත් ලියන්නංලු. වැඩේ හරි. :D

      Delete
    2. A Walk to Remember සිංහල පරිවර්තනය නම් මම මේ මෑතක කියෙව්වා.. :)))

      Delete
    3. ආ ඔව් ඔව්, මට මතකයි අයියා කිව්වා. :)))

      Delete
  2. සිහ්. දැං තමයි මතක් උනේ. මහරජ ගැමුණූ පොත කොයි තරං කියෙව්වද කියලා. දැං දුක හිතුනා ඒ පොත දාන්න අමතක උනේ ඇයි කියලා. ඒ අස්සේ තවත් පොතක් මතක් උනා සෝර්බා නම් ග්‍රීකයා පොත .ඒකත් මාව හොල්ලපු පොතක්. වෝක් ටු රිමේම්බර් ෆිලුම බැලුවා ඒත් කිසිම ගතියක් තිබ්බේ නෑ

    මේ පොත් වලින් ජෝර්ජ් එලියට්ගේ පොතටත් මං කැමතියි.

    කෝම උනත් චැලෙන්ජ් එකක් විදියට ඔබ ඒක භාරගැනීම සහ ඉක්මනින් පෝස්ටුව දැමීම සම්බන්ධව හද පිරි ස්තුතියි. (මාව මතක් කරාටත් ස්තුතියි)

    ReplyDelete
    Replies
    1. මහරජ ගැමුණු අවුරුද්දකට හතර-පස් වතාවක්වත් කියවන්න ඕන පොතක්. සෝර්බා පොතනම් කියවලා නෑ. A Walk to Remember ෆිල්ම් එක එච්චරම දැනෙන්නේ නෑ, ඒත් පොත ලස්සනයි. ෆිල්ම් එකේ තියෙන්නේ වර්තමානයේ ජීවත්වන තරුණ පිරිසකගේ කතාවක් වුණත්, පොතේ කියවෙන්නේ දැනට මැදි වියේ ඉන්න කෙනෙකුගේ අතීත ස්මරණයක කතාවක්. කියවලා බලන්නකෝ මං කියනවට. :)

      ජෝර්ජ් එලියට්ගේ The Mill on the Floss කතාවේ ඉන්න මැගී හරිම strong character එකක්.

      Delete
    2. මහරජ ගැමුණු පොත ෆිල්ම් එකේ කතාව නෙමෙයි ද? මම හිතුවේ ඒක කියල. එහෙනම් දැන් ඒකත් ගන්න වෙනවා. සෝර්බා ද ග්‍රීක් මරු.

      Delete
    3. මහරජ ගැමුණු පොතයි ෆිල්ම් එකයි දෙකම එකයි, මම මේ පොතයි ෆිල්ම් එකයි වෙනස් කිව්වේ A Walk to Remember එකේ. :D

      Delete
  3. මේ පොත් හතෙන් කිහිපයක්ම කියවලා තියනවා.. විශේෂයෙන්ම අපුූගෙ කතා තුනනම් මගෙත් ප්‍රියතමයන්... ඒ කතාව කියෙව්වම අපිත් ඒ කතාවෙම ජීවත් වෙනවා වගේ දැනෙනවා...
    පොලියානා ලස්සන කතාවක් බව අහලා තියනවා.. ඒත් තාම කියවන්න ලැබුනෙ නෑ...
    අපුරුයි අක්කෙ.. මේ වැඩෙත් ටිකක් උත්සහ කරල බලන්න ඕනෙ... දේශකතුමාගෙ පෝස්ටුව කියෙවුවහමත් එහෙම හිතුනා.. ඒත් තාම ලියවුනේ නෑ./ ලියුවෙ නෑ....

    ReplyDelete
    Replies
    1. පොලියානා හරිම ආදරේ හිතෙන, ආදරේ වගේම සතුටත් බෙදන පුංචි ගෑනු ළමයෙක්. මම තාම එයාගෙ දෙවෙනි පොත කියවලා නෑ. නංගිත් වෙලාවක් ලැබුණාම පොත් ගැන මතක අලුත් කරගන්න ලියන්න බලන්න. :)

      Delete
  4. අතිගරු පැතුම් ප්ලීස් මහතා මටත් ඔය පොත් ගැන මොනවහරි ලියන්නෙයි කියල කියල තිබ්බ. මම ඒ වෙලාවෙ කිව්වෙ වෙලාව කලාව පිළිබඳ ප්‍රශ්නෙ.

    ඒත් බොලා ලියල තියන එව්ව දැක්කම වෙලාව කලාව යකාට ගියාවෙ කියල නොකා නොබී හරි ලියන්ටයි හිතෙන්නෙ..

    යස් ලෙට්ස් සී වට් කැන් බී ඩන්...තෑන්ක්ස්...මැඩම්...:)

    ReplyDelete
    Replies
    1. ආන්න හරි, එහෙම තමයි මේ ජාතියේ ලෙඩ බෝ වෙන්නේ. ජය වේවා! :D

      Delete
  5. U remember the book in which Biggles and the gang get pirate treasure? They use an antique cannon to attack the bad guys. That's the only one i remember now.
    William books! Perennial favourites. In fact i collect them.

    Of Sinhala HF " Garuda Muhurthiya by Keerthi Welisarage is good.

    ReplyDelete
    Replies
    1. බීගල්ස්ටයි, ඇල්ජිටයි, ජින්ජර්ටයි ගොඩක් කතාවලදි ඔය වාගෙ නිදන් වස්තු හම්බවුණානේ, මට මතක් වෙන්නෙ නෑ ඔය කොයි එකද කියලා. සමහරවිට මම නොකියවපු එකක් වෙන්නත් පුළුවන්. බීගල්ස්ව වගේම විලියම්වත් මම අඳුරගත්තේ අපේ තාත්තාගේ පොත් එකතුවෙන්.

      ගරුඪ මුහුර්තය මගේ TBR list එකට එකතු කරගත්තා ඔන්න. :)

      Delete
    2. මේ බීගල්ස් ගැන මම කළින් වතාවක ලියපු සටහනක්: බීගල්ස්ගේ දර්ශනය.

      Delete
  6. පොලියානා සහ අපූ පොත් පෙල විතරයි කියවලා තිබුනේ. දැන් ඉතින් අනිත් ටික කියවන්න ආසාවක් ආවා.

    ReplyDelete
    Replies
    1. කියවන්න කියවන්න, ඉස්සෙල්ලාම මහරජ ගැමුණු. :)

      Delete
  7. භූතිභූෂණ ගේ පොතයි.අන්තිම පොතේ පරිවර්තනයයි ඇරෙන්න වෙන පොත් එකක්වත් කියවලා නැහැනේ.

    ReplyDelete
  8. ඔයාගෙ ලිස්ට් එකෙන් මාවතේ ගීතයයි, පොලියානයි, ස්පාක්ස්ගෙ පොතයි විතරයි මාත් කියවලා තියෙන්නෙ. ස්පාක්ස්ගෙ පොත් සෙට් එකක්ම මා ළඟත් තියෙනවා, හැබැයි මං එයාගෙ පොත් වලින් කැමතිම බෙස්ට් ඔෆ් මී පොතට (අන්තිම පිටුවට එනකල් වුණේ මොකද්ද හිතාගන්ඩ බැරි වෙච්ච එකම පොත )

    අර The Mill on the Floss පොතේ පරිවර්තනය කියවලා තියෙනවා සිතුවිලි සිත්තමට නගනා කවිකාරියකගෙන්.

    ඔයා ඉතිහාස කතා කියවන්න ආසයි කියලා තියෙනවනෙ, මං ඒකෙ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තෙ හිටියෙ. මෑත කාලයේ ඔය ඉතිහාස කතාම චිත්‍රපටි නවකතා ඔක්කොටම පට්ට ගහන නිසාම මං හරිම අකමැතියි වර්තමානෙ ලියවෙන එක්දාස් නවසිය බර ගනන් වල පොත් කියවන්න. ඒ වුණාට මේ ළඟදි "අසනග වැහි" කියෙව්වට පස්සෙ ඒ අකමැත්ත නැති වෙලාවම ගියා

    ReplyDelete
    Replies
    1. මං තාම Best of Me කියවලා නෑනේ. අන්තිමට Longest Ride කියවන්න පටං ගත්තා, තාම ඉවර කරගන්න බැරිවුණා.

      අසනග වැහි ගැන සෑහෙන්න හොඳ විචාර දැක්කා, කියවන්න ඕනේ. :)

      Delete
  9. Biggles - Capt. W. E. Johns
    මේ පොත් එකක්වත් සිංහලයට පරිවර්තනය වෙලා නැද්ද අක්කෙ?

    කසුන්

    ReplyDelete
    Replies
    1. ඒ ගොඩක් පොත් පරිවර්තනය කරලා තියනවා මල්ලි පී. බී. සේනානායක මහත්මයා. ඒ පරිවර්තනත් බොහොම රසවත්.

      Delete
  10. නෝනා ඔක්කොම ඉංගිරිස් පොත් නේ කියෝලා තියෙන්නේ.. හෙහ්.. අපුගේ සිරිස් එකම මාත් කියෝලා තියෙනවා.. අනිත්වත් ගොඩක් පරිවර්තන තමයි. දේශකය මටත් පටලුව මේ පොත් වැඩේ. වෙලාවක් හොයාගෙන ලියන්න ඔනි හිටන්. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ඉංගිරිස් පොත් වෙන්නෙ කොහොමැයි, අර මහරජ ගැමුණු අමු හිංගලනේ. එතකොට අපූගේ කතාවත් පරිවර්තනයක් වුණත් බෙංගාලි කතාවක පරිවර්තනයක්නේ. :P සිංහල පොත්වලින්නම් මම ගොඩක්ම කැමතියි ජයසේන ජයකොඩි මහත්මයාගේ පොත්වලට. ඒවා අතරෙනුත් 'පරසතුරෝ' කියන පොතට. ඒකයි, මහරජ ගැමුණුයි දෙකම ඓතිහාසික වීර කතා නිසා ඉතිං එකක් විතරක් දැම්මා. ලියන්න ලියන්න, පොත් ගැන හිත්වල තියං ඉන්න එව්වා අනිත් අයටත් කියවන්න අකුරු කරන එක බොහොම වටිනවා. :)

      මං හෙට උදැහැනැක්කෙ අලුත් පෝස්ට් එකක් දාන්න හිතං ඉන්නවා. ඒකත් පොත් ගැන තමයි හිටං. ජයවේවා! :D

      Delete
  11. ස්තූතියි ස්තූතියි ස්තූතියි

    ReplyDelete