204. කඩාකප්පල්කාරයා.....01


"එයා මේ ලෝකේ අනිත් හැමෝටම වඩා වෙනස්," රොබර්ට් කතා කළේ කියාගන්න බැරි තරම් සතුටකින්. "එයා ගැන කියන්න මට වචන නෑ. මේ ලෝකේ කාටවත් බැරි වෙයි එයාව වර්ණනා කරන්න වචන හොයාගන්න!"

ඒ ළඟ ඉඳගෙන මේස් කකුලක් අණ්ඩ දම දම හිටපු අම්මා එයාගේ වචන නෑහුණ ගාණට හිටියා. රොබර්ට්ගේ මල්ලි විලියම් විතරයි රොබර්ට් කියපු දේ ගැන උනන්දු වුණේ. "කොහොමද එයා මේ ලෝකේ අනිත් හැමෝටම වඩා වෙනස් වෙන්නේ?" විලියම් ගත් කටටම ඇහැව්වා. "ඇයි එයා නොණ්ඩි ගහනවද? නැත්තං වෙන මොකක් හරි අවුලක් තියෙනවද?"

රොබර්ට් විලියම් දිහා බැලුවේ යක්ෂාරූඪ වෙලා. "මේ, කෑ නොගහා ගිහිල්ලා තමුසෙගෙ කෝච්චිය එළෝනවා!" රොබර්ට් බෙරිහන් දුන්නා. "තමුසෙ වගේ පොඩි එවුන්ට මේවා තේරෙන්නෙ නෑ."

අයියාට ඔරවගෙන නහයත් අහසෙ තියාගෙන ජනේලේ ළඟට ගියත් විලියම්ගේ කන් දෙක තිබ්බේ අම්මයි අයියයි ළඟ.

"හරි, ඉතිං මේ කවුරු ගැනද ඔය හැටි කියවන්නේ?" අම්මා අන්තිමේදී ඇහැව්වා. "රොබර්ට්, මට හිතාගන්නවත් බෑ ඔයා මේ තරං අලි හිල් මේ මේස් කකුල් වල කොහොම හදාගන්නවද කියලා!"

රොබර්ට් පිස්සු හැදිලා වගේ තමුන්ගේ කොණ්ඩෙ අස්සෙන් අතේ ඇඟිලි යැව්වා. "මං කිව්වනෙ අම්මේ ඒ කවුද කියලා," එයා කිව්වා. "මේ සාලෙට ආපු වෙලාවේ ඉඳලා මං කිව්වේ එයා ගැනනේ."

"ඔව් පුතේ, ඒත් ඔයා එයාගෙ නමවත්, එයාව අඳුනගන්න පුළුවන් වෙන කිසිම දෙයක්වත් කිව්වෙ නෑනේ."

"හරි," අසාමාන්‍ය ඉවසිලිවන්ත කටහඬකින් රොබර්ට් කිව්වා, "එයාගෙ නම මිස් කැනොන්, එයා ඉන්නේ ක්ලයිව්ලාගේ ගෙදර, මට එයාව හම්බවුණේ අද උදේ එයා ක්ලයිව් නෝනා එක්ක එළියට ඇවිත් හිටපු වෙලාවක, ක්ලයිව් නෝනා එයාට මාව අඳුන්නලා දුන්නා, එයා තමයි මං දැකලා තියෙන ලස්සනම ගෑනු ළමයා-----"

"හරි හරි," අම්මා ඉක්මනින් කිව්වා, "ඒ හරිය ඔයා කිව්වා."

"හරි," රොබර්ට් කතා කළේ වෙරි වෙලා වගේ, "අපි එයාට හවසක එන්න කියන්න ඕනේ තේ බොන්න. මං දන්නවා තාම මං කසාද බඳින වයසට ඇවිල්ලා නෑ -- මං තාම ඉගෙනගන්නවනේ -- ඒත් මට එයාව අඳුනගෙන ඉන්න පුළුවන්නේ. එයා මං දිහා බලයිද කියලාවත් මං දන්නෙ නෑ. එයා ඉන්නෙ මට වඩා සෑහෙන්න උඩින් -- මේ ලෝකේ අනිත් හැමෝටම වඩා ගව් ගාණක් උඩින්. එයා තමයි මං දැකපු ලස්සනම ගෑනු ළමයා. අම්මට එයාගෙ රූපෙ ගැන හිතාගන්නවත් බැරි වෙයි. මං එයාගෙ ලස්සන ගැන වචන වලින් කිව්වාට අම්මා විශ්වාස කරන එකක් නෑ. කාටවත් බෑ එයාගෙ ලස්සන වචන වලින් කියන්න. එයා-----"

අම්මා ආයෙමත් රොබර්ට්ගේ කතාවට බාධා කළා. "මං කියන්නංකෝ ක්ලයිව් නෝනාට දවසක එයාව මෙහෙ එක්කං එන්න කියලා. මගෙ නිල් පාට වූල් කැරැල්ලත් ඉවරයි රොබර්ට්. ඔයා මොකට මේ පාට පාටින් මේස් ගන්නවද මං දන්නෙ නෑ. ඉතුරු ටිකට මට දාන්න වෙන්නේ දම් පාට. විලුඹ යටමනේ, ඒක එළියට පේන්නේ නෑ."

රොබර්ට් හුස්ම හිර වෙච්ච සද්දයක් පිට කළා. "අනේ අම්මේ එපා. අම්මා කොහොමද කියන්නේ ඒක එළියට පේන්නෙ නෑ කියලා? අනික ඒක පෙනුනෙ නැතත්, ඒක එහෙම වෙන පාටකින් තියෙනවා කියලා දැන දැනම දාගෙන යන්නෙ කොහොමද මං---! මට මේ වගේ ගෑනු ළමයෙක් හම්බවුණාටත් පස්සේ මං එහෙම වැඩ කරන එක මොන අපරාදයක්ද අම්මේ. පිස්සෙක් වගේ ඇඳගෙන යන්න බෑ මට."

"ඈ," විලියම් කටත් ඇරගෙන ඇහැව්වා. "ඔයා එයාට මුක්කුවක් ගහන්නද හදන්නේ?"

"විලියම්, ඔය වචන ඔයාට පාවිච්චි කරන්න හොඳ වචන නෙවෙයි," අම්මා සැර කළා. "අයියා ඒ ළමයාව අඳුනගන්න කැමතියි, යාළුවෙක් විදිහට, එහෙම නේද රොබර්ට්?"

"‍යාළුවෙක් විදිහට!" රොබර්ට් බලාපොරොත්තු කඩ වෙච්ච හඬින් ගෙරෙව්වා. "කාටවත් තේරෙන්නෙ නෑනේ මං මේ කියන්න හදන දේ. මං එයා ගැන මෙච්චර විස්තර කිව්වට පස්සෙත්, මං දැකලා තියන ලස්සනම ගෑනු ළමයා එයයි කිව්වට පස්සෙත්, එයා මට වඩා, අනිත් හැමෝටමත් වඩා ගව් ගාණක් උඩ අහසෙ ඉන්නෙ කියලා කිව්වට පස්සෙත් - අම්මට හිතෙන්නෙ මං එයාව 'යාළුවෙක් විදිහට' අඳුනගන්න කැමතියි කියලනේ. තේරෙන්නෙ නැද්ද අනේ - මේක - මේක - මගේ ජීවිතේ - මට පිස්සු හැදිලා තියෙන්නේ! මේක-----"

"හරි," අම්මා බොහොම ශාන්තව කිව්වා. "මං කතා කරන්නංකෝ ක්ලයිව් නෝනාට. කතා කරලා අහන්නං හෙට හවස මුකුත් වැඩක් තියෙනවද කියලා."

රොබර්ට්ගේ ඛේදාන්තයක් වෙලා තිබ්බ ඉලන්දාරි මූණ බැබළෙන්න පටන්ගත්තා. ඊළඟට කල්පනා කර කරම නැගිට්ටා. බොහොම ඉක්මණින් ඒ මූණ ආයෙමත් කරදරකාර අඳුරු වළාවකින් වැහුණා.

"මගේ දුඹුරු පාට සූට් එකේ කලිසම අද රෑට මැදලා තියන්න එලන්ට පුළුවන් වෙයි නේද? අනේ අම්මේ, හෙටට කළින් මට අලුත් මේස් කුට්ටමකුයි ටයි එකකුයි ගෙනත් දෙන්නකෝ, පුළුවන් නේද? නිල් පාට, අර ලස්සන නිල් පාට හොඳයි. අම්මා දන්නවානේ - අර ගොඩක්ම දිස්නෙ ගහන්නෙ නැති, ඒත් හොඳට ඇහැට කැපිලා පේන අර ලස්සන නිල් පාට. අපේ ඇඳුං අපුල්ලන කට්ටිය මාරු කරන්න ඕනෙ මං හිතන්නේ අම්මේ. අම්මා දන්නවනේ, අලුත් කමිසයක් ඇන්දාම මනුස්සයෙක්ගේ කර දිස්නේ ගහන හැටි. මේ රෙදි අපුල්ලන අයට ඒ වැඩේ බෑ. හෙටට අලුත් කමිසෙකුත් තිබ්බනං හොඳයි මං හිතන්නේ. අම්මට තේරෙනවනේ, කෙනෙක්ගේ පෙනුම බොහොම වැදගත් ඔය වගේ වෙලාවකදි. එයා---මං කිව්වෙ මේ මිනිස්සු, කෙනෙක්ගේ පෙනුමෙන් ගොඩක් දේවල් හිතාගන්න පුළුවන්නේ. ඒගොල්ලෝ-----"

අම්මා කර කර හිටපු වැඩේ පැත්තකට දැම්මා. "හරි, මං මේ දැම්මම ගිහින් ක්ලයිව් නෝනාට කතා කරන්නංකෝ," අම්මා නැගිටින ගමන් කිව්වා.

අම්මා ආපහු එද්දි විලියම් පේන්න හිටියේ නෑ. ජනේලේ ළඟ හිටගෙන හිටපු රොබර්ට්ගේ මූණ දෙගිඩියාවෙන් සුදුමැලි වෙලා තිබුණා. එයාගේ ඇස් දෙකේ තිබුණ එරවිල්ල හරියට නැපෝලියන් බොනපාට්ගේ පෙනුම වගේ.

"ක්ලයිව් නෝනාට එන්න වෙන්නෙ නෑ," අම්මා සුපුරුදු සැහැල්ලුවෙන් කිව්වා, "ඒත් මිස් කැනොන් එයි. එයාට ඊතල්වත් කළින් දවසක හම්බවෙලා තියනවලු. ඉතිං ඔයා තවත් හිත කරදර කරගන්න ඕන නෑ පුතේ."

රොබර්ට් අමුතු හිනාවක් දැම්මා. "හිත කරදර කරගන්න!" එයා කිව්වා. "හිත කරදර කරගන්න ඕන තරං හේතු තියෙනවා. විලියම්ට මොකද කරන්නේ?"

"ඇයි, එයාට මොනවා කරන්නද?"

"එයාව හෙට වෙන කොහෙට හරි යවන්න බැරිද? එයා ළඟ පාත ඉන්න කොට කිසි දෙයක් හරියට වෙන්නෙ නෑ. අම්මම දන්නවානේ ඒ බව."

"මල්ලි පව්, ඔහොම කතා කරන්න එපා. එයා අපිත් එක්ක තේ මේසෙට හිටපුදෙන්. එයා හොඳ ළමයෙක් වගේ ඉඳියි, මට විශ්වාසයි. ඊතලුත් ගෙදර ඉඳියිනේ. මං මල්ලිට කියන්නං ඔයාට කරදර කරන්න එපා කියලා. එයා හොඳට ඉඳියි."

***

විලියම්ට උපදෙස් මාලාවක්ම හම්බවුණා. තේ මේසේ පටන් ගන්න සීනුව වදිනකල් එයාට ගෙට එන්න අවසර නෑ. තේ බීලා ඉවර වෙච්ච ගමන් එයා ආපහු වත්තට ගිහින් සෙල්ලම් කරන්න ඕනේ. එයා ඒ උපදෙස් වලට කීකරු වෙන්න සැදී පැහැදී ලෑස්ති වෙලා හිටියා. අයියා ආදරවන්තයෙක් විදිහට රඟපාන්න ලෑස්ති වෙන එක ගැන විලියම් සෑහෙන්න පිනා ගිහිල්ලා හිටියේ. මේක බොහොම බැරෑරුම් අවස්ථාවක් විදිහටයි එයාට දැනුණේ.

විශේෂ අමුත්තිය හැන්දෑවේ අඩි පාර දිගේ ඇවිදගෙන එද්දි විලියම් හිටියේ ගෙවත්තේ. අමුත්තිය ඉස්සරහට පැනලා එයාව බය කරන්න එපා කියලා කළින්ම උපදෙස් ලැබිලා තිබුණ නිසා විලියම් සද්ද නැතුව රත්මල් පඳුර අස්සෙන් එබීගෙන හොරෙන් එයා එන දිහා බලාගෙන හිටියා. එදා දවසේ එයාගේ සෙල්ලම වෙච්ච රතු ඉන්දියානු නායකයාගේ භූමිකාව හරියට රඟපාන්න පරිසරයත් හරියටම ලෑස්ති වෙලා හිටියා වාගෙයි.

මිස් කැනොන් ඇත්තටම හරි ලස්සනයි. දුඹුරු පාට කොණ්ඩෙයි ඇසුයි එක්ක එයාගේ රෝස පාට කම්මුල් පෙනෙන නොපෙනෙන තරමට වළ ගැහෙන හැටි ලස්සනට ගැලපුණා. එයා ඇඳගෙන හිටියේ සුදු ගවුමක්, අතේ පුංචි කුඩේකුත් තිබුණා. එයා ඉස්සරහාම බලාගෙන ඇවිදගෙන ආවත් අයිනක තිබ්බ පඳුරක් යාන්තමට හෙළවෙන හැටි එයාට දැනුණා. ඉක්මණින්ම හැරිලා බලපු අමුත්තිය දැක්කේ දැලි අඟුරු වලින් සම්පූණයෙන්ම කළු කරගත්තු පොඩි කොල්ලෙකුගේ මූණක්. ඒ මූණ වටේට ටේප් පටියකින් අලවගෙන හිටියේ කුකුල් පිහාටු. ඒ ගමනනං එයාගේ මූණ හොඳට පේන්නම වළ ගැහුණා.

"සැරදේවා උතුමාණෙනි!" අමුත්තිය කිව්වා.

විලියම් කටත් ඇරගෙන එයා දිහා බලං හිටියා. මේ තරං බුද්ධිමත් වැඩිහිටියෙක් එයා දැක්කමයි. "රක්ත හස්ත නායක උතුමාණන්," විලියම් භයානක හඬකින් ගෙරෙව්වා.

රත් මල් පඳුර මැදින් එබීගෙන හිඳිනා නායක රක්ත හස්ත උතුමාණන් සහ කුඩයක් අතින් ගත් සුරූපී කැනොන් මෙනෙවිය

අමුත්තිය දෙකට නැවිලා ආචාර කළා. එයාගේ දුඹුරු ඇස් විනෝදයෙන් දිලිසුණා. "උතුමාණන්ගේ හස්තකප්‍රාප්ත වුණ අසරණියට ලැබෙන මරණ දඬුවම කුමක්ද?"

"මගේ කූඩාරමට ඇවිත් බලන්න කියලා මං අණ කරනවා," නායක රක්ත හස්ත කිසිම අනුකම්පාවක් නැතුව කිව්වා.

ගේ දිහාවට යොමු වෙච්ච අඩි පාරේ වංගුව දිහා බැල්මක් හෙලපු අමුත්තිය හීන් හිනාවක් දාලා රතු ඉන්දියානු නායකයා පස්සෙන් පඳුරු අතරින් ඇවිදගෙන යන්න පටන්ගත්තා.

මේ අතරේ ගෙදර විසිත්ත කාමරයේ ජනේලේ එල්ලිලා, සාංකාවෙන් සුදුමැලි වෙච්ච මූණෙන්, තමුන්ගේ ප්‍රියාදරිය අඩි පාරේ වංගුවෙන් මතු වෙනකල් මග බලාගෙන හිටියේ රොබර්ට්. අලුත මැදපු කලිසමේ කකුල්, අලුත් නිල් මේස් දෙක හොඳට පේන තරමට උඩට නවලා තිබුණා. ඉඳහිට උඩට එන අතක් අලුත් ටයි පටියයි දිලිසෙන කමිස කරයි අත ගෑවා. ඒ කමිස කර ඕනෑවට වඩා උසට තදට තිබ්බත්, කරදරකාර ගැනුම්කරුවා ඉක්මනින් කඩෙන් එලවගන්න ඕන වෙලා හිටිය වෙළෙන්දා ඒ 'අලුත්ම විලාසිතාව සහ ඉලන්දාරින්ට හොඳට කැපෙන හැඩය' කියලා කියපු නිසා රොබර්ට් හිත හදාගෙන හිටියා.

ඒ වුණත් එයාගේ ප්‍රියාදරිය ඒ වෙද්දි හිටියේ විලියම්ගේ 'බිං ගෙයි'. ගස් වලින් කපාගත්ත අතු වලින් ඒ බිං ගෙය හදාගත්තේ විලියම්මයි. එයා එයාගේ යාළුවොත් එක්ක පැය ගණං ඒ බිං ගේ ඇතුළේ සෙල්ලං කරලා තියෙනවා.

"මේ තමයි මගේ කූඩාරම පාණ්ඩු සුද්දියේ." විලියම් කතා කළේ අවමංගල නිවේදනයක් ප්‍රකාශයට පත් කරනවා වගේ හඬකින්. "මං සර්ප මුහුණා සහ අනිත් නායකයින් එක්ක තමුන් ගැන කතා කරලා එනකල් මෙතනම හිටගෙන ඉන්න ඕනේ. ඔය ඉන්නේ සර්ප මුහුණායි අනිත් නායකයිනුයි." අන්තිම ටික විලියම් කිව්වේ එයාගේ සාමාන්‍ය කටහඬින්. එයා අත දික් කරලා පෙන්නුවේ පඳුරු ගොන්නක්.

මේ පඳුරු ගොන්නට ළං වෙච්ච විලියම් විනාඩි ගාණක් යනකල් බොහොම බය හිතෙන නොතේරෙන භාෂාවකින් මොනවදෝ කියෙව්වා. විටෙන් විට බය හිතෙන අඟුරු මූණෙන් අමුත්තිය දිහා ඔරවලා බලන අතරේ එයා දිහාට ඇඟිල්ලත් දික් කළේ තමුන් අල්ලගත්ත සත්ත්වයා ගැන හිතවත් රතු ඉන්දියානුවන්ට විස්තර කරනවා වගේ.

අන්තිමේදී එයා ආපහු අමුත්තිය ළඟට ආවා.

"මං ඒ කතා කළේ රතු ඉන්දියානු භාෂාව," එයා තමුන්ගේ සාමාන්‍ය කටහඬින් පැහැදිලි කළා. ඊළඟට අර ගොරහැඬි කටහඬෙන් ආපහු කිව්වා "සර්ප මූණා කියනවා පාණ්ඩු සුද්දිව හම ගහලා උයලා කන්න ඕනෙ කියලා!"

එයා දැලි පිහියක් ඇදලා අරගත්තේ වැඩේට ලෑස්ති වෙන්න වගේ. "ඒත් මායි අනිත් අයයි කිව්වා තමුන් අපේ රතු ඉදියානු ගෝත්‍රයට බැඳිලා, අපිට කෑම බීම උයලා දෙන්න කැමතිනං අපි තමුන්ට ජීවත් වෙන්න ඉඩ දෙමු කියලා."

මිස් කැනොන් දණින් වැටුණා. "ඔබතුමන්ලාට බොහොමත්ම ස්තූතියි රක්ත හස්ත නායක උතුමාණෙනි," එයා කිව්වා. "මං බොහොම සතුටින් ඔබතුමන්ලාගේ ගෝත්‍රයේ සේවිකාවක් වෙන්නං."

"මේ පැත්තේ තියෙනවා ගිණිමැලයක්," විලියම් ආඩම්බරෙන් එහෙම කියලා අමුත්තියව කූඩාරමේ පිටිපස්සට එක්ක ගියා. එතන තිබ්බා යාන්තමට පණ ඇද ඇද පත්තු වෙන දර කොටේකුයි කළුම කළු පාට මොනවාදෝ දමාපු ලොකු කල්දේරමකුයි.

"අර ඉන්නේ," තාලෙට කියන ගමන් පොඩි නැටුමකුත් දාලා විලියම් දර කොටේ දිහාට අත දික් කරලා කිව්වා, "ඊයේ රෑ අපි අල්ලගත්ත පාණ්ඩු සුද්දා!"

අලුත් රතු ඉන්දියානු සේවිකාව අත් දෙක එකතු කරගත්තා. "අනේ හරි ෂෝක්!" එයා කිව්වා. "ඒ එයාව උයනවද?"

නායක රක්ත හස්ත ඔව් කියන්න ඔළුව වැනුවා. ඊළඟට, "ඉන්නකෝ මං ඔයාටත් පිහාටු ටිකක් දෙන්න," එයා කරුණාවෙන් කිව්වා. "ඔයාට ඒවා ලස්සනට තියෙයි."

කූඩාරමේ ඇතුළටම ගිය විලියම් ආපහු ආවේ කුකුල් පිහාටු වලින් අත් දෙක පුරවගෙන. තමුන්ගේ ලස්සන හිස් වැස්ම අයින් කරපු මිස් කැනොන්, හිනා වෙවී එයාගේ පිරුණ දුඹුරු පාට කොණ්ඩේ කුකුල් පිහාටු හයි කරගත්තා.

"මේක නියමයි!" එයා කිව්වා. "මං හරිම කැමතියි රතු ඉන්දියානුවන්ට!"

"මං ගාව තව අඟුරුත් තියෙනවා ඔයාගේ මූණෙත් ගාගන්න," විලියම් නිර්භීත පරිත්‍යාගශීලී හිතකින් කිව්වා.

මිස් කැනොන් ගස් අතරින් පේන ගෙදර දුම් කවුළුව දිහා බැලුවා. ඊළඟට දුකෙන් වගේ ඔළුව දෙපැත්තට වැනුවා. "අපි ඒ වැඩේ දැනට නොකර ඉමු," එයා දුකෙන් කිව්වා.

"හරි," විලියම් කිව්වා. "මං දැන් දඩයමේ යනවා. ඔයා පාණ්ඩු සුද්දාව හැඳි ගාන්න. මං ආපහු ආවට පස්සේ අපි එයාව කමු. මං යනවා. බලන්න මං යන දිහා."

ලේ පිපාසිත බැල්මකින් දැලි පිහිය ඇදලා ගත්ත විලියම් භයානක බැල්මකින් වට පිට බල බල අත් කකුල් හතරෙන්ම පඳුරු අස්සට දණ ගාගෙන ගියා. අලුත් රතු ඉන්දියානු හිතවතියට පේන හරියෙදිම විලියම් වටයක් කැරකුණේ එයාට වැඩ පෙන්නන්න. හිතවතිය කල්දේරම හැඳි ගාන ගමන් විලියම් ආසාවෙන් බලාපොරොත්තු වෙච්ච අගය කිරීමේ බැල්මෙන් කීප වතාවක්ම එයා දිහා බැලුවා.

දඩයක්කාරයා ඉක්මනින්ම ආපහු ආවේ පරණ පාපිස්සකුත් කරේ තියාගෙන. එයා හිතවතියගේ කකුල් දෙක ළඟ පාපිස්ස අත ඇරියා.

"මුව මස්," එයා ලොක්කෙක් වගේ කිව්වා. "ඕක උයන්න. මං ඕක අරගත්තෙ උදේ," ඊළඟට එයා කතා කළේ සාමාන්‍ය කටහඬින්. "ඒගොල්ලො තාම දන්නෙ නෑ ඕක නැති වෙලා කියලා."

විලියම් කූඩාරම ඇතුළෙන් කඩතොලු වෙච්ච ටින් දෙකක් අරගෙන ඇවිත් ගිනි මැලේ උඩින් ලොකු කල්දේරම අරගෙන ඒකේ තිබ්බ කළු දියරයෙන් ටික ටික ටින් දෙකට දැම්මා. "ඔන්න," එයා කිව්වා, "ඔයාටත් පාණ්ඩු සුද්දාගෙන් ටිකක්."

"හානේ," රතු ඉන්දියන් හිතවතිය කිව්වා, "එයානං හරි රසට ඇති, ඒත්-----"

"බය වෙන්න එපා," විලියම් බොහොම ආරක්ෂාකාරී හඬකින් කිව්වා. "ඒක නියමෙට තියනවා, මංනේ කියන්නේ." එයා ගස් අස්සෙන් සුප් පැකට් එකක කවරේ අහුලගත්තා. "ඕකේ තියෙන්නේ මේවායි වතුරයි විතරයි, මාර රසයි!"

"කොච්චර ෂෝක්ද! ඒගොල්ලෝ ඔයාට මේවා කරන්න-----?"

"ඒ ගොල්ලො මට මේවා කරන්න දෙන්නෙ නෑ," විලියම් මැද්දෙන් පැන්නා. "ඒ වුණාට ඕවා අහරෙ කෑම ගබඩාවේ ගොඩ ගහලා තියෙන්නේ, ඔය ඉඳලා හිටලා එකක් දෙකක් අඩු වුණා කියලා කාටවත් තේරෙන්නෙ නෑ. බීලා බලන්නකෝ ඉතින්!" විලියම් කතා කළේ දිරි ගන්වන හඬකින්. "ඔයා ඔය ටිකක් බිව්වට මං මුකුත් කියන්නෙ නෑ, ඇත්තමයි. මට තව ඕන තරං පස්සෙ එතනින් ගන්න පුළුවන්නේ."

මිස් කැනොන් බොහොම නිර්භීත විදිහට ටින් එක කටේ තියාගෙන උගුරක් බීලා බැලුවා. "නියමයිනේ!" එයා ඇස් දෙක පියාගෙන කිව්වා. ඊළඟට මුළු ටින් එකම හිස් කළා.

විලියම්ගේ මූණ ආඩම්බරෙනුත් සතුටෙනුත් බැබළුනා. ඒත් තේ ලෑස්තියි කියන සීනුව ඒ වෙලාවෙම ගේ දිහාවෙන් ඇහෙන්න ගත්ත නිසා ඒ මූණ ආයෙමත් කළු වුණා. "අනේ අන්න තේ ලෑස්තියිලු!"

මිස් කැනොන් කලබලෙන් කොණ්ඩෙ තිබ්බ කුකුල් පිහාටු ගලවලා තොප්පිය ආපහු දාගත්තා. "ඔබතුමාගේ කූඩාරමේ කණ්ණාඩියක් නැතුව ඇති මං හිතන්නේ?" එයා ඇහැව්වා.

"නෑනේ," විලියම් කිව්වා. "ඒත් ඊළඟ වතාවේ මං එකක් ගෙනත් තියාගන්නං. ඊතල් අක්කාගෙ කාමරෙන් මට එකක් ගත හැකි."

"එයා මුකුත් කියන එකක් නැද්ද?"

"අයියෝ කවුද එයාට කිය කිය ගන්නෙ," විලියම් බොහොම සරලව උත්තර දුන්නා.

මිස් කැනොන් නැගිටලා ගවුම අතින් හදාගත්තා. "මං සෑහෙන්න පරක්කුයිනේ. ඔයාගෙ ගෙදර අය මං ගැන මොනවා හිතයිද මන්දා. ඔයත් එක්ක ඇවිල්ලා මං හරි වැඩක් තමයි කරගත්තේ. කොයි වෙලෙත් මං ඔහොම වැඩමයි කරන්නේ. ඔන්න මේක ඔයයි මායි අතරේ රහසක්, හරිද?" එයා විලියම්ගේ ඇස් නිලංකාර වෙන විදිහේ හිනාවක් දැම්මා. "දැං යමු ඉතිං, ගිහින් පරක්කු වුණාට සමාව ඉල්ලගමු."

"බෑ," විලියම් කිව්වා. "මට ඇඟ හෝදගෙන හොඳට ඇඳගෙන තමයි එන්න වෙන්නේ. මං ඒගොල්ලන්ට පොරොන්දු වුණා එහෙම කරනවා කියලා. අද විශේෂ දවසක්නේ. අපේ අයියට. ඔයාට තේරෙනවනේ. අපේ අයියට අද බොහොම විශේෂ දවසක්!"

අමුත්තියගේ ප්‍රශ්නාර්ථයෙන් පිරුණ මූණ දිහා බොහොම බැරෑරුම් විදිහට බලලා විලියම් ඔළුව වැනුවා.




~ මතු සම්බන්ධයි ~





8 comments:

  1. හේ හේ. තවත් එකක් ආවා!

    මේ පරිවර්තනය ගැනත් කිව්වනම් මොකෝ?

    ReplyDelete
    Replies
    1. මම කළින් පළ කරපු විලියම් කතා වගේම මේකත් කොටස් දෙකකින් පළ කරන්නේ මල්ලි. පරිවර්තනයේ මුල් කෘතිය ගැන කතාවේ අන්තිමට, ඒ කියන්නේ දෙවෙනි කොටසේ අන්තිමට දානවා. බලං ඉන්නකෝ, ඊළඟ කෑල්ල තවත් රසවත්. :)

      Delete
  2. නියමයි අක්කෙ.. අලුත් කතාවක් පටන්ගත්ත නේද...
    මේකත් වෙනස් විදිහක කතාවක් වගෙයි.. ඉක්මනින් ඊලඟ කොටසත් දාන්නකෝ එහෙනම්..

    ReplyDelete
    Replies
    1. මේක නංගි පරිවර්තනයක්. කොටස් දෙකයි හැබැයි. මීට කළිනුත් මං මේ පෝරිසාද විලියම්ගේ කතන්දර දෙකක් පරිවර්තනය කරලා තියෙනවා මේ බ්ලොග් එකේ. :)

      Delete
  3. හෙහ්..හෙහ්..ආයම මම ගියා වසර හතළිහක් වගෙ අතීතයට....

    තැන කිව්වොත් කෑගල්ලට..කෑගල්ලෙ අපි හිටපු රජයේ නිල නිවාසයට..... තවත් ඉන් ඩීටේල් කිව්වොත් ඒ නිල නිවාසෙ කුස්සිය පිටිපස්සෙ තිබ්බ අනෝදා ගහේ මැදක් හරියෙ තිබ්බ දෙබලට. එතන අපූරුවට පට්ටල ගැහිල ඉඳගෙන තමයි මම ඉස්සෙල්ලම විලියොනාව අඳුන ගත්තෙ. ඒත් වැඩිය හිනාවෙන්ට බෑ.. එතන දඟලල දිමි ගොටුවක් අවුස්ස ගත්තොත් අනාත පිණ්ඩික ආරාමේ තමයි ආය ඉතිං කොටින්ම. කලිසම අස්සෙ හිටං ගිහිල්ල කන්නෙ.

    ඒ හින්ද හිතේ හැටියට හිනා වෙන්නෙ ගහෙන් බැහැල ඊට පස්සෙන් පහු... පුදුම වැඩේ කියන්නෙ දශක හතරක් ගිහිල්ල තාමත් මම විලියොනාට පුදුම ආදරයක් තියෙන්නෙ...

    බෝමත්ම ස්තූතියි නෝනා...බෝමත්ම ස්තූතියි...:)

    පලි - සුට්ටං ෂිත්තර ගොයියට තවම විලියොනා ගැන කියල දෙන්ට කල් වැඩියි නේ?

    පපලි - ඒ දවස්වල තමයි අපේ පොඩි නැන්ද කසාද බැන්දෙ. මන මාලයගෙ නම විලියම්. මගෙ මාමනෙ වෙන්නෙ. විලියම් මාමගෙ නම ඇහෙන ඇහෙන වාරයක් ගානෙ මට හිනාව නවත්තගන්ට බෑ...හෙහ්,හෙහ්, මේ ඊයෙ පෙරෙයිද ඒ මාම නැතිවුනා...

    පපපලි - බ්ලොග් එකේ අලුත් පෙනුම අපූරුයි හොඳේ?

    ReplyDelete
    Replies
    1. ඔව්වොව් මං දන්නවා අයියා මේ විලියොංට බොහොම ආදරෙයි කියලා. :)

      සිත්තර පැංචා විලියම්ව අඳුනගත්තේ එයා මේ ලෝකෙට එන්ඩත් කළින්. එයා හම්බවෙන්න ඉන්න කාලේ මං කියෙව්වානේ මේ 'Just William' පොත. :D

      හා, තැන්කිව්! :) බ්ලොගර් එකෙන් අලුත් අවුරුද්දට අලුත් ඇඳුං දාලා තිබ්බනේ. මාත් ඉතිං සල්ලි සල්ලි කියලා බලන්නැතුව අලුත් ඇඳුමක් ඇන්දුවා බ්ලොගේට. :)

      Delete
  4. මමනම් මේ විලියම් ගේ කතාවක් කියවන පලවෙනි වතාව. හොඳ වැඩ කාරයෙක් වගේ විලියම්. අර අයියට පණ එපා වෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. Just William is a very old series Sayuri. Even my father used to enjoy William's adventures as a kid. Two books are freely available at Project Guttenburg. Try them and you'll fall in love with this little rascal. Wonderful illustrations too. The pictures I posted in this very translation also are from the original book.

      Delete