"පිට්ටු," අල්ලපු ගෙදර පොඩි ගෑණු ළමයා කිව්වේ මූණත් ඇඹුල් කරගෙන. "පිට්ටු! පිට්ටු! දවස ගානෙම කාලා මට ඇති වෙලා. මට පේන්න බෑ ඒවා. ඔයාට එහෙම නැද්ද?"
එයා තාප්පෙ උඩ අඩමානෙට ඉඳගෙන හිටපු විලියම් දිහා නිල් පාට ඇස් දෙක හරෝලා බැලුවා. විලියම් බැරෑරුම් විදිහට ඒ ගැන කතා කළා.
"මන්දා," එයා කිව්වා. "මං ඒවා ඔහේ කාලා දානවා; ඒ ගැන ඒ හැටි හිතලා නෑ මං."
"ඒක මහ එපා කරපු කෑමක්නේ. එපාම එපා කරපු කෑමක්. ඈයියා! හැන්දෑවෙත් ඒවා කෑවා -- ඕන ඔට්ටුවක් අල්ලන්නං මං රෑටත් ඒවම තමයි කන්න වෙන්නේ මට. ආ, ඔයාලගෙ ගෙදර අද පාටියක් තියෙනවා නේද?"
විලියම් නොසැලකිල්ලෙන් ඔලුව වැනුවා.
"ඔයත් ඉන්නවද පාටිය වෙලාවට?"
"මං!" විලියම් දුන්නෙන් විද්දා වගේ ඇහැව්වේ විසුළු විස්මයක් මවාගන්න ගමන්. "නැත්තං! එයාලා කොහොමද මං නැතුව පාටි දාන්නේ? හහ්! ඒවා කරන්න හම්බ වෙන්නෙ නෑ!"
එයා විලියම් දිහා බලං හිටියේ ඉරිසියාවෙන්. "ඔයා වාසනාවන්තයි! ඔයාටනං රස කෑම කන්න හම්බ වෙයි -- පිට්ටු නෙවෙයි."
"වෙන්න පුළුවන්!" විලියම් නිකට අහසෙ තියාගෙන කිව්වා.
"මොනවද ඔයාලගෙ පාටියෙ කන්න තියෙන්නේ?"
"අපොයි -- හැම දෙයක්ම," ඒ ගමනනම් විලියම් කිව්වෙ නිච්චියක් නැතුව.
"කිරි දෝසි?"
"ඕන තරං -- බාල්දි ගණං."
අල්ලපු ගෙදර ගෑණු ළමයා අත් දෙක එකතු කරගත්තා.
"අනේ බලන්නකො! ඔයා කිරි දෝසි කනවා මට කන්න වෙන්නෙ -- පිට්ටු!" (අල්ලපු ගෙදර ගෑණු ළමයා එම අවසන් වදන තුළ ඇතුළත් කළ පිළිකුළ හා අවඥා සහගත බව මුද්‍රිත වදන් වලින් හුවා දැක්විය නොහැක.)
මෙන්න මේ වෙලාවෙදි විලියම්ට කදිම අදහසක් පහල වුනා. "කියටද ඔයා රෑ කෑම කන්නෙ?"
"හතට."
"හරි, එහෙනං," එයා බොහොම මහාත්ම ලීලාවෙන් කතා කළා, "ඔයා හතාමාර වෙද්දි ඔයාගෙ සෙල්ලං ගෙදරට ඇවිල්ලා හිටියොත් මං ඔයාට කිරි දෝසි ගෙනත් දෙන්නං. ඇත්තටම!"
ගෑණු ළමයාගේ මූණ සතුටින් බැබළෙන්න ගත්තා. "ඔයා අරං එනවද? ඇත්තටම ඔයා අරං එනවද? ඔයාට අමතක වෙන එකක් නැද්ද?"
"නෑ, මට අමතක වෙන්නෙ නෑ! මං එනවා. මං අපේ පාටිය මැද්දෙදි හොරෙන් එන්නං හෙමින් සැරේ."
"අනේ, කොච්චර හොඳයිද! මං හැම විනාඩියක් ගානෙම ඒ ගැන හිත හිත ඉඳියි. ඔන්න අමතක කරන්න එපා එහෙනං. මං ගිහිං එන්නං!"
විලියම්ට පියාසරන හාදුවක් එවපු ගෑණු ළමයා ලස්සනට අඩි තිය තිය එයාගෙ ගෙදරට ඉගිලිලා ගියා.
ඒ හාදුවෙන් නොසෑහෙන්න රතු වෙච්ච විලියම් එයාගේ අඩමාන ආසනයෙන් බිමට බැස්සා.
එයා ගියේ පුස්තකාල කාමරේට. ඊතල් අක්කයි රොබර්ට් අයියයි කාමරේ කොන් දෙකේ ඉණිමං දෙකක නැගගෙන මල් වැලුයි හෝලි කොළයි එල්ලනවා. කෑමෙන් පස්සේ එතන නැටුමක් තියෙයි වගේ. විලියම්ගේ අම්මා බිම ඉඳං ඒ සැරසිලි දිහා බලං ඉන්නවා.
"මේ බලන්න අම්මේ," විලියම් කතා කළා. "අද රෑ පාටියට මං ඉන්නවද නැද්ද?"
විලියම්ගේ අම්මා සුසුමක් හෙලුවා. "දෙයියන්ගෙ නාමෙට විලියම්, ආයෙත් ඔය කතාව පටන් ගන්න එපා. අද දවසෙ දහ වෙනි පාරට මං මේ කියන්නේ, ඔයා පාටියට නෑ."
"ඒත් ඇයි නැත්තේ?" එයා හඬ බර කරලා ඇහැව්වා. "මට දැනගන්න ඕනේ ඇයි මං පාටියට නැත්තෙ කියලා විතරයි. එච්චරයි. ඒක මහා විකාරයක් වගේ නැද්ද? ගෙදර පාටියක් දානවා, අම්මගෙ එකම පුතාව," -- රොබට් අයියා දිහාට බැල්මක් හෙලපු විලියම් යාන්තමට වචන ටිකක් එහෙ මෙහෙ කළා -- "අම්මගෙ එකම පුතාලා දෙන්නගෙන් එක්කෙනෙක්ව ඒකට ගන්නෙ නෑ. විකාරයක් නේන්නං. මං කියන්නෙ -- එන මිනිස්සු මොනවා හිතයිද."
"ඔය පැත්තෙන් පොඩ්ඩක් උස්සන්න," ඊතල් අක්කා කිව්වා.
"ඔව්, අන්න හරි, එහෙම හොඳයි," විලියම්ගේ අම්මත් කිව්වා.
"ඒකට එන්නේ පොඩි කට්ටියනේ," විලියම් ආයෙමත් කතා කළා. "මට ඇහුණා අම්මා ජේන් නැන්දට කියනවා ඒක පොඩි කට්ටියගේ පාටියක් කියලා. ඉතිං මං පොඩියිනේ, නැද්ද? මගෙ වයස එකොළහයි. මං ඊටත් වඩා පොඩි වෙන්න ඕනෙද? මාව මිනිස්සු දකිනවට අම්මට ලැජ්ජ නෑනේ! මං අංග විකල නෑනේ."
"අන්න හරි ඊතල්! ඔතනින් ඇණේ ගහන්න."
"තව පොඩ්ඩක් උඩින්. අන්න හරි!"
"සමහරවිට මං මොනවා කයිද කියලා අම්මට බය ඇති," විලියම් ඒ ගමනනම් කිව්වේ මූණ පුළුටු කරගෙන. "හැමෝම කනවනේ, නැද්ද? හැමෝම කන්න එපැයි -- ජීවත් වෙන්න. අම්මා අද රෑට අපිට කන්න -- ඒගොල්ලන්ට කන්න -- කෑමත් ලෑස්ති කරලනේ තියෙන්නේ. මට ඒ කෑම වලින් පොඩ්ඩක් දෙන්න අම්මා අකමැති නෑනේ. අනික, මං ඒ කෑම පොඩ්ඩ වෙනම කාමරේක තනියම ඉඳක් කනවට වඩා ඔයාලත් එක්කම ඉඳන් කෑවනං කරදර අඩුයිනේ. ඒ ගැනයි මං හිතන්නේ -- කරදර අඩු කරගන්න ----"
විලියම්ගේ අක්කා ඉණිමග උඩ ඉඳං හැරිලා බැලුවා.
"මේ නහයෙන් ඇඬිල්ල නවත්තන්න කෙනෙක් නැද්ද ඇත්තටම?" එයා කේන්තියෙන් ඇහැව්වා.
විලියම්ගේ අයියා එයාගෙ ඉණිමගෙන් බහින්න පටන්ගත්තා. "මං හිතන්නෙ මට පුළුවන් වෙයි," එයා නපුරු මූණක් හදාගෙන කිව්වා.
ඒත් ඒ වෙනකොටත් ආඩම්බරකං හුළඟට ගහගෙන යන්න දාපු විලියම් පැනලා ගිහිල්ලත් ඉවරයි.
එයා සාලෙත් පහු කරගෙන කෙළින්ම ගියේ කුස්සියට. එතනදි හවස උත්සවේට ගන්න ලෑස්ති කරලා තිබ්බ කේක්, ජෙලි, අනෙක් රසකැවිලි පිරිච්ච මේසෙයි විලියමුයි අතර මැද්දෙන් කෝකියා මහා බාධක පවුරක් වගේ හිටගෙන හිටියා.
"විලියම් පුංචි මහත්තයා," කෝකියා බොහොම තියුණු හඬකින් කිව්වා, "දැන්මම මෙතනින් ගියොත් හොඳයි!"
"මට ඔයාගෙ කෑම මොනවත් ඕන නෑ," විලියම් බොහොම තේජාන්විත බොරුකාර හඬකින් කිව්වා. "මං ආවේ ඔයාට කොහොමද කියලා බලලා යන්න. ඒකටයි මං ආවේ."
"ආ, මං බොහොම හොඳින් ඉන්නවා පුංචි මහත්තයා," ඇය කිව්වෙ හාස්‍යය පිරුණු ආචාරශීලී බවකින්. "ඒත් ඔයාටනං හෙට වෙනකල් මුකුත් හම්බ වෙන්නෙ නෑ, ඒකත් අද රෑට කට්ටිය ඉතුරු කළොත් විතරයි."
එයා ආපහු පාන් කපන්න පටන්ගත්තා. විලියම් එයාට ලඟට කතා කරන මේසේ දිහා තරමක් ඈත ඉඳං පරීක්ෂා කරලා බැලුවා.
"හුහ්!," එයා මූණ ඇද කරගෙන කිව්වා, "නිකං හිතලා බලන්නකෝ ඒ එන කට්ටිය ඔහේ ඉඳගෙන අපේ කෑම බඩට පුරෝගෙන පුරෝගෙන පුරෝගෙන යනවා කිව්වහම! ඒ ගොල්ලෝ ඒ හැටි මුකුත් ඉතුරු කරන එකක් නෑ -- මං දන්නවනේ මේ අහළ පහළ ඉන්න අයගෙ හැටි!"
"එහෙම හිතු මනාපෙට එක එක්කෙනා ගැන කතා කරන්න හොඳ නෑ විලියම් පුංචි මහත්තයා," කෝකියා විලියම් දිහා ඇහැ ගහගෙන ඉන්න ගමන් කිව්වා. "එමා, මෙන්න මේ පිට්ටු ටික අරන් තියන්න. ඒවා හෙටට ගත හැකි."
පිට්ටු! විලියම්ට පොරොන්දුව මතක් වුනා.
"මේ," එයා චාටු හඬකින් කතා කළා, "අද කිරි දෝසි හදනවද?"
"නෑ," කෝකියා ස්ථිරසාර හඬින් පිළිතුරු දුන්නා.
"හයියෝ," විලියම් කෙටි හිනාවක් දාලා කිව්වා, "කිරි දෝසි නැති පාටිය මොන පාටියක්ද! මංනං කවදාවත් අහලා නෑ කිරි දෝසි නැති පාටියක් ගැන! එන මිනිස්සු මොනවා හිතයිද මන්දා. මේ පළාතේ කවුරුවත් පාටියකදි කිරි දෝසි නොහදා ඉන්නෙ නෑ!"
"අනේ, ඔය ඇත්තමද පුංචි මහත්තයා," කෝකියා බොරු උනන්දුවක් පාමින් කිව්වා.
"ඇත්තමයි. ඔයා පස්සෙ හරි එකක් හදනවා නේද? පොඩි එකක් හරි?"
"ඒ මොන එහෙකටද?"
"මං කැමතියි පාටියට එන අයට කිරි දෝසි කන්න ලැබෙනන්වනං. ඒ ගොල්ලෝ ඒකට කැමති වෙයි. ඒ ගැනයි මං හිතන්නේ."
"හැබෑද? හැබැයි මං මොනවද හදන්න ඕනේ කියලා මට කියන්නෙ, ඒවට මට ගෙවන්නෙ ඔයාගෙ අම්මානේ, ඔයා නෙවෙයිනේ."
මේක විලියම්ට අළුත් අදහසක්. එයා තව ටිකක් ගැඹුරට කල්පනා කළා.
"මේ බලන්න!" එයා අන්තිමේදී කිව්වා, "මං ඔයාට දුන්නොත්," -- පොඩ්ඩක් වෙලා නතර වෙච්ච විලියම් එක පාරටම මහානර්ඝ පිරිනැමීම ප්‍රකාශයට පත් කළා -- "පැන්ස හයක්, ඔයා කිරි දෝසි හදනවද?"
"ඉස්සෙල්ලා මට පැන්ස හය පෙන්නලා ඉන්නකෝ," කෝකියා එමාට ඇහක් ගහන ගමන් විලියම්ට කිව්වා.
පඩිපෙළ නැගලා එයාගෙ කාමරේට ගිය විලියම් එයා ලඟ තිබ්බ සල්ලි ගැණලා බැලුවා -- සන්තකේටම තිබ්බෙ පැන්ස දෙකයි. දවස් දෙකකට කළින් විලියම් මුළු සිලිමක්ම වියදම් කරලා තිබ්බා තණකොළ නයෙක්ට. ඒකා එදා රෑම මැරිලා ගියා. විලියම්ට කොහොමහරි කිරි දෝසි ලෑස්ති කරගන්නම වෙනවා. අල්ලපු ගෙදර ගෑණු ළමයා දැනට විලියම් ගැන මවාගෙන ඉන්න සර්වබලධාරී ප්‍රතිරූපය නැති වෙලා යන්න දෙන්න බෑ -- ඒක විලියම්ට බොහොම වටින ප්‍රතිරූපයක්. කෝකියා පැන්ස හයකට ඒක කරලා දෙන්න ලෑස්තිනම් කොහොමහරි පැන්ස හයක් හොයාගන්නම ඕනේ. හොඳින් බැරිනම් නරකින් හරි. එයා හොඳ ක්‍රම ඔක්කොම දැනට අත් හදා බලලා ඉවරයි. ඉතුරු වෙලා තිබුණේ නරක ක්‍රම විතරයි. පල්ලෙහා තට්ටුවේ කෑම කාමරේ ගිනි උඳුන උඩ තිබ්බ පිං කැටේ ලඟට විලියම් හෙමින් සැරේ ගියා. පහුවෙනිදට එයා ඒ ගැන කියනවා, නැත්තං ආපහු සල්ලි හොයාගෙන දාන්නත් බැරියෑ, මොකක් හරි කරගන්න පුළුවන් ඒකට. මීට වඩා කොච්චර නරක දේවල් චිත්‍රපටි වල ඉන්න අය කරනවද. මේසේ උඩ තිබ්බ පිහියක් අරගෙන විලියම් පෙට්ටිය ඇතුලේ තිබ්බ කාසි එළියට අරගත්තා -- පැන්ස තුනහාමාරයි! විලියම් ඒ දිහා බලාගෙන හිටියේ බොහොම භයංකාර බැල්මකින්.
"පැන්ස තුනහාමාරයි!" එයා ධාර්මික කෝපයකින් පිරිච්ච කටහඬකින් කිව්වා. "මේක ක්‍රිස්තියානි ගෙයක් නේද, එහෙම වෙලත් දුප්පත් අයට දෙන්න වෙන් කරලා තියෙන්නේ පැන්ස තුනහාමාරයි. ඒ ගොල්ලන්ට හැබැයි ඕන තරං වියදං කරන්න පුළුවන්," -- කාමරේ වටේට ඔළුව කරකවපු විලියම් අල්මාරි මේසය උඩ තිබ්බ පෙයාර්ස් පිරමීඩෙ දැක්කා -- "පෙයාර්ස් ගන්නයි -- ආයෙ තව බිත්ති වල එල්ලන්න එක එක විච්චූරණ ගන්නයි, හැබැයි දුප්පත් මිනිස්සුන්ට දෙන්න තියෙන්නේ පැන්ස තුනහමාරයි! හුහ්!"
දොර ඇරපු විලියම්ට පුස්තකාල කාමරේ පැත්තෙන් අක්කගෙ කටහඬ ඇහුණා. "එයා කොහෙටහරි වෙලා මොකක් හරි මගෝඩියක් කරනවා ඇති. මුළු හැන්දෑවෙම එයා මොන විකාරයක් කරයිද දන්නෙ නෑ. අම්මෙ, එයාව පැයක් කලින් ඇඳට යවන්න බැරිද?"
ඒ සාකච්ඡාවේ මාතෘකාව ගැන විලියම්ට අමුතුවෙන් හිතන්න ඕන වුනේ නෑ. පැයක් කලින් ඇඳට යවන්න! යවයි කියලා තමයි බය! ආදෙංකෝ ඇඳට යවන්න! පැයක් කළින්! පෙන්නන්නංකො මං එතකොට! හුහ්! මොකක් පෙන්නන්නද කොහොම පෙන්නන්නද කියලා හැබැයි තාම හරි අදහසක් විලියම්ට තිබුණේ නෑ. විලියම් ආයෙමත් කාමරේ පුරා බැලුවා. කන්න පුළුවන් දේකට තිබ්බේ අල්මාරි මේසේ උඩ තිබ්බ මහා පෙයාර්ස් පිරමීඩෙ විතරයි.
එයා බොහොම ආසාවෙන් ඒ දිහා බලාගෙන හිටියා. ඒගොල්ලෝ මේවා ගණං කරලා ඇති. එහෙම නොකර ඉන්නෙ නෑ ඒගොල්ලෝ. ඒ වගේම සැරෙන් සැරේට ගැණ ගැණ බලනවා ඇති විලියම් එතනින් පෙයාර්ස් අරගෙනද කියලා. කොහොමහරි කාට හරි මොකක් හරි කරන්නම ඕනේ. එයාව වේලාසනින් ඇඳට යවන්නනේ ඒගොල්ලන්ගෙ කල්පනාව! එයා රැළි ගැන්වුනු නළලින්, බර කල්පනාවක ගිලිලා මොහොතක් ගත කළා. ඊට පස්සෙ එයාගෙ නළලේ රැළි දිගඇරිලා මූණෙ හිනාවක් මතු වුනා. අන්න වැඩේ! ඊලඟ මිනිත්තු පහ ඇතුළෙදි විලියම් රස කර කර පෙයාර්ස් කෑවා. ඒත් අන්තිමට, පෙයාර්ස් ගොඩ කළින් තිබ්බා වගේම එහෙමම තිබ්බා, එක ගෙඩියක්වත් අතුරුදහන් වෙලා නෑ -- හැම පෙයාර්ස් ගෙඩියෙම පිරමීඩේ වැහිලා තිබ්බ පැත්තෙන් ලොකු කට කට විතරයි අතුරුදහන් වෙලා තිබ්බේ. විලියම් කෝට් අතෙන් කට පිහදාගත්තා. ඒවා හැබෑම රහයි. පෙයාර්ස් ගෙඩි අතට ගන්න අමුත්තන්ගෙ මූණුයි, ඒ මූණු දකින අම්මගෙයි තාත්තගෙයි අක්කගෙයි අයියගෙයි මූණුයි විලියම්ට බොහොම විචිත්‍ර විදිහට මැවිලා පෙනුනා. මාර ජොලි! එයා තනියම හිනා වෙවී ආයෙමත් කුස්සිය පැත්තට ගියා.
"කෝකි නැන්දේ, ඔයාට පුළුවන්ද පැන්ස තුනහමාරකට චූටි එකක් හදලා දෙන්න? චූටිම චූටි එකක් වුනත් කමක් නෑ."
කෝකියා හිනා වුනා. "මං ඉස්සෙල්ලා බොරු කිව්වෙ පුංචි මහත්තයා. මං දැනටම එකක් හදලා ගබඩාවේ යතුරු දාලා අරන්තියලයි තියෙන්නේ."
"ආ ඒකට කමක් නෑ," විලියම් වෙනසක් නැතුවම කිව්වා. "මට ඕන වුනේ එන අමුත්තන්ට ඒවා දෙන්න, එච්චරයි."
"ඔව් ඔව්, ඒ ගොල්ලන්ට ඒවා දෙනවා. ඔයාට එච්චර ඉතුරු කරන එකක් නෑ. මං එකයි හැදුවේ!"
"ඒක ගබඩාවේ යතුරු දාලා තියෙනවා කියලද ඔයා කිව්වේ?" විලියම් නොසැලකිල්ලෙන් ඇහැව්වා. "ඔයාට කොච්චර කරදරයිද ඒකට යන හැම වෙලාවෙම අගුල් ඇර ඇර ඉන්න වුනාම, නේද?"
"අපොයි ඒකෙ කිසි කරදරයක් නෑ පොඩි මහත්තයා," කෝකියා උපහාසයෙන් කිව්වා; "ඇරත් ඒකේ කිරි දෝසි ඇරුනහම තව මහ ගොඩක් ජාති තියෙනවා; පේස්ට්‍රි, කේක්, තව එක එක ජාති. මං මේ කල්පනා කරන්නේ ඔයාගෙ අම්මා කළිං වතාවෙ දාපු පාටිය ගැන!"
විලියම් රතු වුනා. ඒ වතාවෙදි විලියමුයි යාළුවෙකුයි කෑම වෙලාවට කළින් මුළු පැයක්ම ගත කළේ කෑම ගබඩාව ඇතුලේ. ඉතින් කෑම වෙලාව ටිකක් කල් දාන්න වුනා විතරක් නෙවෙයි, විලියම්ට කරදරකාරි රැයක් ගත කරන්නත් පහුවදා මුළු දවසම ඇඳට වෙලා ඉන්නත් සිද්ද වුනා.
"ආ, ඒකද! ඒ කොච්චර කාලෙකට කළින්ද. එතකොට මං පොඩි ළමයෙක්නේ."
"හ්ම්ප්!" කෝකියා අමුතු සද්දයක් දැම්මා. ඊලඟට පොඩ්ඩක් මොළොක් හඬකින් කතා කළා. "හරි, කිරි දෝසි පොඩ්ඩක් හරි ඉතුරු වුනොත් මං ඔයාගෙ ඇඳ ලඟටම ඒ ටික ගෙනත් දෙන්නං. ඒක පොරොන්දුවක්. එමා, මෙන්න මේ සැන්විචස් ටික ගබඩාවට දාන්න. මෙන්න යතුර! මතක ඇතුව වැඩේ ඉවර වුනාම ආපහු යතුර දාලා වහන්න!"
"කෝකියෝ! පොඩ්ඩක් මෙහාට එනවද."
ඒ විලියම්ගේ අම්මගේ හඬ. පුස්තකාලෙ පැත්තෙන් ඇහුනේ. විලියම්ගේ හදවත ගැහෙන වේගේ වැඩි වුනා. කෝකියා පේන තෙක් මානෙක නැති වෙලාවට සෑහෙන වටින දේවල් සිද්ද වෙන්න පුළුවන්. සැන්විච් බන්දේසිය අරගත්ත එමා ගබඩාවේ කාමරේ ඇරලා ඇතුල් වුනා. කුස්සියේ ඈත කෙළවරේ එක පාරටම මහා සද්දයක් ඇහුනා. පියාඹගෙන එළියට ආපු එමා ගබඩාවේ දොර වහන්නෙවත් නැතුව සද්දෙ මොකද්ද කියලා බලන්න ගියා. රාක්කේ තිබිලා බිමට ඇදගෙන වැටිලා බිඳිලා ගිය පිඟන් කෑලි ටික අස් කරලා දාලා එයා ගිහින් ගබඩාවේ දොර වහලා යතුරු දැම්මා.
~ මතු සම්බන්ධයි ~

ලස්සන කතාවක් සිත්තමී...ඉවරවෙන්නේ කොහොමද බලන්ට කියවගෙන, කියවගෙන ගියා. මතු සම්බන්ධයිලු නේ? :P
ReplyDeleteමට නම් ඔය මොනාත් නැතුව රෑට පිට්ටු තිබ්බා නම් කොච්චර හොඳයිද? :D
ස්තූතියි පොඩ්ඩි අක්කේ :) ඔයා දන්නවද, මට මේ කොටස මේ තරං දිගට නොදා තව මීට කළින් මතු සම්බන්ධයි කරන්නමයි හිතුනේ. එහෙනං කිසි අමාරුවක් නැතුව කොටස් හතරක් වෙනකල් අදින්න තිබ්බා මේ කතාව. :P
Deleteපිට්ටු නේ? මාත් හරිම ආසයි. කිරි හොදි හරි රත් කරපු පොල් කිරි හරි එක්ක තමයි මම පිට්ටු කන්න ආස. ඒකට අපේ සිත්තරා. පිට්ටු කන්නෙ සීනි එක්ක! :D
සිත්තරා මම වගේ අප්පා...මම කැමති පිට්ටු එක්ක රත් කරපු පොල්කිරිවලට සීනි දාලා කන්ට. ලුනුමිරිසුත් සැර නැත්නම් නරක නෑලු. :D
Delete:D
DeleteReally can't decide who is better, Richmal Crompton or සිත්තමී ?
ReplyDeleteThanks Pra Jay. But I have to say, Richmal Crompton is a GREAT writer and I am just a translator. :)
Deletewow.... gud one
ReplyDeleteThanks Upeksha :) (your name is very similar to my sister's name) :)
Deleteමතු සම්බන්ධයි කියන්නේ මං මේ ලෝකේ ආසම නැති වචනයක් :(((( කතාව ලස්සනයි
ReplyDeleteගොඩාක් ස්තූතියි ඔමායා. ආදරෙන් පිළිගන්නවා මගේ කවි පොතට. මොනවා කරන්නද අනේ, මතු සම්බන්ධයි වචනෙට මාත් ආස නෑ. දුක් වෙන්න එපා, තව එක කොටසයි. ඒ ටිකත් පරිවර්තනය කරලා ඉවරයි. ඉක්මණට දානවා. :)
Deleteගණන් මිස් කාලෙකින් නැත්තෙ මොකද කියලා අපි මේ කතා වුනා විතරයි... :-D
ReplyDelete/* අපි මේ කතා වුනා විතරයි */
Deleteකෝ මීටිං මිනිට්ස්? :P සිත්තමී පහුගිය වකවානුවේ උග්‍ර කාර්ය බහුල තත්ත්වයකට පත් වූවාය. දැන් ආපසු යථා තත්ත්වයට පත් වෙමින් සිටිනවාය. :)
කෝකියා කිව්වම නම් බොල ටිකක් අවුල් වගේ. කෝකියා කිව්ව ගමං අපෙ හිතේ මැවෙන්නෙ පිරිමි රූපයක්. ඒත් විලියම්ලගෙ කුක් ඇවිල්ල ගෑණු කෙනෙක්.Cook කියන වචනෙ ඔරිජිනල් කතාවට අවුලක් නෑ. ඒත් පරිවර්තනය කරද්දි පොඩ්ඩක් අප්සෙට් වගේ කියලයි මට හිතෙන්නෙ.
ReplyDeleteප්‍රවීණ පරිවර්තකයෙක් වන සිරිල් සී. පෙරේරා මහත්මය එක පාරක් මෙහෙම කියල තිබ්බ. මට හරියටම වචන මතක නෑ. ඒත් අදහස මේකයි. මුල් කෘතියෙ තියෙන වචනයක් හෝ ව්‍යාවහාරයක් ඒ විදිහටම පරිවර්තනය කලාම ඒ අවශ්‍ය චිත්ත රූපය අපෙ හිතේ මැවෙන්නෙ නැත්නම් අමතරව ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් වගෙ කලාට කමක් නෑ කියල. හැබැයි මුල් කතාවෙ ගලායාමට බාධාවක් නොවෙන විදිහට.
/ එයා සාලෙත් පහු කරගෙන කෙළින්ම ගියේ කුස්සියට. විලියම්ලගෙ ගෙදර ඉවුම් පිහිම් කටයුතු වලට දෙන්නෙක් හිටියා. ප්‍රධාන කෝකි තනතුරේ වැඩ කලේ මේරි. ඇගේ සහායට හිටියෙ එමා. විලියම් බොහෝ වෙලාවට මේරිට කතාකලේ මේරි නැන්දේ කියල. කුස්සියෙ මේසෙ උඩ හවස උත්සවේට ගන්න ලෑස්ති කරලා තිබ්බ කේක්, ජෙලි, අනෙක් රසකැවිලි පිරිල තිබ්බා. ඒත් ඒ මේසෙයි විලියමුයි අතර මැද්දෙන් මේරි මහා බාධක පවුරක් වගේ හිටගෙන හිටියා. /
මේක මේ ඔයාගෙ කතාව කියවද්දි මට ආපු අදහසක් විතරයි හොඳද?....:)
පලි - අපි මේ ලඟදි ඔය ළමය ගැන කතා වුනා....හෙහ්,හෙහ්,
Cookie?
Deleteඅයියා කියාපු කතාව ඇත්ත. කෝකියා කිව්වාම මැවෙන්නේ පිරිමි රූපයක් තමයි. ඒක පරිවර්තනය කරගෙන යද්දි මටත් දැනුණා. ඒත් ඒක නිවැරදි කරගන්න විදිහක් හිතාගන්න බැරි වුනා. අයියා කියලා තියෙන විදිහ හොඳයි තමයි. එහෙම නමක් එක්ක එයා ගැන හැඳින්නුවානම් වැඩේ සාර්ථක වෙනවා.
Deleteලින්ක් එකෙන් ගොස් සාකච්ඡාව කියෙව්වෙමි. :) අයියගෙ ඒ පෝස්ට් එකනම් තාම කියවන්නවත් හම්බ වුනේ නෑ.
කෝකිච්චි! :D
Deleteමම මේකේ දෙවෙනි කොටස දැකලා ආපහු ආවා. මම පහුගිය ටිකේ බ්ලොග් ලෝකෙන් ඈත් වෙලා ඉඳිද්දි කට්ටිය ලියපු හුඟක් පෝස්ට් මග ඇරිලා. විලියම්ට එහෙම වෙන්න දෙන්න බැරි නිසා හොයන් ආවා.
පරිවර්තනය මරු.
එක නොගැලපෙනවා වාගේ පෙනෙන තැනක් මට දැනුනා.
>>විලියම් දුන්නෙන් විද්දා වගේ ඇහැව්වේ ...< මේ William shot back කියන එකද?
මේකට මීට වැඩිය හොඳ යෙදුමක් නැද්ද? එහෙම කිව්වට මටත් තවම කල්පනා වුනේ නෑ එහෙම එකක්.
කුකී, කෝකිච්චි - අන්න හොඳ වචන! :D
Deleteතකහනියම ඇවිදින් කියෙව්වට, කියවලා කමෙන්ට් එකකුත් දැම්මට ඩූඩ් අයියට ගොඩාක් ස්තූතියි.
/*"මං!" විලියම් දුන්නෙන් විද්දා වගේ ඇහැව්වේ විසුළු විස්මයක් මවාගන්න ගමන්. "නැත්තං! එයාලා කොහොමද මං නැතුව පාටි දාන්නේ? හහ්! ඒවා කරන්න හම්බ වෙන්නෙ නෑ!"*/
මං මේ විදිහට පරිවර්තනය කළේ, මෙන්න මේ කොටස:
"Me!" ejaculated William in a tone of amused surprise. "I should think so! You don't think they could have it
without me, do you? Huh! Not much!"
දුන්නෙන් විද්දා වගේ කිව්වේ ejaculated වචනෙට.