201. පැටළුණු සිත්...

මකුළු දැල් බැඳෙන්ට ඔන්න මෙන්න තිබ්බ බ්ලොගේට අලුත් ලිපියක් එක්කාසු කරන්ට මග පාදාපු සිතූ නගාට බොහෝ පින්. සිතූ ලියපු 'පැටළුණු කවි' කතාන්දරයට මං එකතු කරපු දිගුව තමයි මේ. මේ කතාව වෙනම කියවන කෙනෙකුට අපහසුවක් නොදැනෙන්න, මම නංගිගේ කතාවේ තියෙන කවි දෙක එහෙමම උපුටලා මෙතනට ගන්නවා, සිතූ තරහා නොවන බව දන්නවා. ආයෙමත් වතාවක්, ගොඩාක් ස්තූතියි නංගි. :)

***

තමා ඉදිරියේ වූ හිස් පරිගණක තිරය දෙස ප්‍රදීප් බලා සිටියේ හිස් දෑසිනි. හෝරාවකට වැඩි කාලයක් පුරා ඔහු උත්සාහ දරමින් සිටියේ, එදින සන්ධ්‍යාවේ එළි දැක්වීමට නියමිත සුලාරිගේ නවතම කාව්‍ය ග්‍රන්ථය වෙනුවෙන් සුබ පැතුම් ලිපියක් ලියාගැනීමටය. ඇගේ පළමු ග්‍රන්ථය එළි දැක්වුණු දා පටන්ම ඔහු එය සිරිතක් ලෙසින් සිදු කළේය. නමුදු ඒ ඉතාමත් ප්‍රවේශමිනි. තමාගේ එක් කුඩා නොසැලකිලිමත් වදනකින් හෝ ඔහු ඇයට තමා හඳුනාගැනීමට ඉඩක් තැබුවේ නැත. ඈ තම අත් අකුරු නිසැකවම හඳුනන බැව් දත් ඔහු ලිපිය මෙන්ම ලියුම් කවරයේ ලිපිනය පවා පරිගණකයෙන්ම සකස්කොට මුද්‍රණය කර යැවීමට කටයුතු කළේ එහෙයිනි. ඔහු ලිපි අත්සන් කළේද ව්‍යාජ නාමයකිනි. ඈ වෙනුවෙන්, ඇගේ නිර්මාණ වෙනුවෙන් ඔහුගේ සිත තුළ වූ හෘදයාංගම ශුභාශිංසනය හා ඇගේ මතු සාර්ථකත්වය වෙනුවෙන් වූ ප්‍රාර්ථනාවන් පමණක් සිය වදන් තුළින් හැඟවෙන බවට ඔහු බොහෝ සෙයින් සැලකිලිමත් විය.

නමුත් මෙවර එය එතරම් පහසු වූයේ නැත.

පරිගණක තිරය වෙතින් මෑත් කරගත් දෙනෙත් ඔහු යතුරු පුවරුව අසළ වූ පුවත්පත් ලිපිය වෙත නැවත යොමු කළේ කී වැනි වතාවටදැයි ඔහුම දැන සිටියේ නැත. එහි වූයේ එළි දැක්වෙන කාව්‍ය ග්‍රන්ථය පිළිබඳව පුවත්පත මගින් ඈ හා කළ කෙටි පිළිසඳරක සටහන්ය. එහි වූ ඇගේ ඡායාරූපය දෙස මොහොතක අනිමිසලෝඡනයේ යෙදුණු ඔහු තවමත් රූමත් බව නොසිඳුණු ඇගේ මුහුණ සිතෙහි ධාරණය කරගනිමින් දෙනෙත් පියාගත්තේය. හිසට දැනුණු බර වැඩි වූ නිසාවෙන්දෝ අසුනේ ඇඳි මත රඳවාගත් දෙවැලමිටේ ආධාරයෙන් ඔහු නළලතෙහි බර මුහුණ ඉදිරියෙන් එක් කරගත් අතැඟිලි වලට භාර දුන්නේය. එසැණින් ඔහුගේ සිත විසි වසරක අතීතයට පියමං කළේය.

"මට හරිම සතුටුයි ප්‍රදීප්!" පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා ඔහුට ලැබුණු විදෙස් ශිෂ්‍යත්වය ගැන හෙළි කළ මොහොතේ ඈ එසේ කීවේ හැඬුම්බරවය. 

"සතුටුනං ඔය අඬන්නේ මොකටද?" ඔහු සරදම් ස්වරයෙන් පිළිතුරු දුන්නේය. නමුත් ඈ හඬන්නේ දැනටමත් දුර බැහැර වෙසෙමින් එකිනෙකා දැකගන්නට අපහසුවෙන් සිටින ඔවුන් අතරට මහා සමුදුරද බාධකයක් වන්නට යන නිසා බව ඔහු දැන සිටියේය. ඇය පේරාදෙණියේ ය. ඔහු කොළඹ ය. ඔහු ඒ වන විට කොළඹ ඉංජිනේරු සමාගමක පුහුණු නිලධාරියෙකු වශයෙන් සේවය කරමින් සිටි අතර, ගුරු පත්වීමක් අපේක්ෂාවෙන් අයදුම්පත් යොමු කර සිටි ඇය එය ලැබෙන තෙක් ඈ උගත් ගමේ පාසැලේ ස්වේච්ඡාවෙන් සේවය කරමින් සිටියාය. ජංගම දුරකථන සුඛෝපභෝගී මෙවලමක් වූ එම වකවානුවේ සරසවියෙන් නික්ම ගිය පසු ඔවුන් දෙදෙනාගේ සන්නිවේදනය බොහෝ සෙයින් සිදු වූයේ ලිපි මගිනි. කවි පදවැල් හා සෞන්දර්යාත්මක වදන් පිරුණු ඇගේ පිටු හතරක් පහක් දිගැති ලිපි වලට බොහෝ විට ඔහුගේ පිළිතුරු ලැබුණේ තනි පිටුවක ලිපියකින් වුවද ඈ ඉන් උරණ නොවීය. ඒ ඔහුගේ හැටි බව ඈ දැන සිටියාය. ඔහු සිටින්නේ ඈ ලියනා දෑ කියවන්නටය, අගයන්නටය. දෙදෙනාම ලියන්නට ගියොත් එය හරි යන වැඩක් නොවන බව ඔහුගේ මතය විය. අපහසුවෙන් මුදල් එකතු කරගෙන මිළදී ගත් කුඩා ජංගම දුරකථනයක් ඔහු සතුව වූ අතර සතිය පුරා එකතු කරගත් මාරු කාසි පාරේ වූ කාසි පෙට්ටියකට දමා ඈ ඔහු වෙත ඇමතුමක් ලබා දෙන තුරු ඔහු සතිපතා බලා සිටියේ නො ඉවසිල්ලෙනි. "අඬන්න එපා සුලාරි. අවුරුදු දෙකයිනේ. ඕක ඉක්මනට ගෙවිලා යයි," ඔහු ඈ අස්වැසුවේය.

ඉංජිනේරු පීඨයේ ඔහුගේත් ශාස්ත්‍ර පීඨයේ ඇයගේත් ප්‍රේමය සෙසු සරසවි සිසුන්ට අරුමයක් විය. ඔවුන් දැන හඳුනාගත් මුල් අවධියේදී ඇගෙන් ඈත් වී හිඳිනා ලෙසට ශාස්ත්‍ර පීඨයේ සිසුන්ගෙන් එල්ල වූ තර්ජන ඝර්ජන හා අඩන්තේට්ටම් බොහෝය. වරක් සිදු වූ ගුටි බැට හුවමාරුවකින් ප්‍රදීප් තුවාල ලැබීමෙන් පසුව එය පීඨ ද්විත්වය අතර අරගලයක් දක්වා ඔඩු දුවන්නට පටන්ගත් මොහොතේ සුලාරි මෙන්ම ඔහුද සමුදෙන්නට සූදානම් වූයේ ආදරයට නොව සරසවියටය. ඔවුන් දෙදෙනාම සරසවියේ දීප්තිමත්ම සිසුන් අතර වූයෙන් අවසානයේදී ආචාර්යවරුන්ද මැදිහත් වී ගැටළුව සමථයකට පත් කරන ලදි. ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය සරසවියෙන් පිටව යන තෙක්ම නොසිඳී, දිනෙන් දින ලියලමින්, සෙනෙහසින් වැඩෙමින් පැවතුණි. දෙදෙනාගේම ප්‍රාර්ථනාව වූයේ හැකි ඉක්මනින් මව්පිය ආශිර්වාදය මැද පෝරු මස්ථකප්‍රාප්ත වී ඔවුන්ගේ බැඳීම තව තවත් ශක්තිමත් කරගැනීමට ය.

"මං යන්න කළින් අපි බඳිමු." ඔහු යෝජනා කළේය.

"මේ හදිසියෙ?" ඇය විමතියෙන් ඇසුවාය.

"ලොකුවට නෙවෙයි. පවුල් වල අය එක්ක විතරක් පොඩි උත්සවයක් අරගෙන රෙජිස්ටර් වෙමු."

"ම්ම්ම්... මං අම්මලාගෙන් අහලා බලන්නං."

"මං ඇවිත් අහන්නං."

"මෙහෙ එනවද?" ඇය යළිත් විමතියට පත් ස්වරයෙන් විමසුවාය. 

"ඔව්." ඔහු සිනාසුණේය. "ඇයි එපාද?"

"කවදද?"

"ඉක්මනටම. ඒත් ඊට කළින්, ඔයයි මායි විතරක් හම්බවෙන්න ඕනෙ." සරසවියෙන් සමුගත් දා පටන් සය මසකටත් වැඩි කළක් ගතව තිබුණද එතෙක් ඔවුනට මුණගැසීමට ඉඩක් ලැබී තිබුණේ නැත.

"ඒ කොහොමද?"

"මේ සිකුරාදා, මොකද්ද නිවාඩුවක් තියෙනවා. නුවර එන්න පුළුවන්ද?"

"තනියම?"

"මහ දුරක් යැ? මාළිගාවට යන්නත් ඕනෙ."

"හා එහෙනං."

හමු වීමට තැනත් වේලාවත් ඈ හට පැවසූ ඔහු සිකුරාදා වන තෙක් ඇඟිලි ගණින්නට පටන්ගත්තේය. 

නමුත් සිකුරාදාට පෙර සියල්ල උඩු යටිකුරු විය.

ඔහුත් ඇයත් එම සිකුරාදා නුවරදී මුණගැසුණේ නැත. ඔවුන්ගේ විවාහය ගැන විමසන්නට ඔහු ඇගේ නිවසට ගියේද නැත. ඉන්පසු මෙතෙක් කලකට කිසිම දිනෙක මුණගැසුණේද නැත. ඇය එදින යොදාගත් ලෙසින් නුවර පැමිණ ඔහු එනතෙක් වැව රවුමේ බලා හිඳින්නට ඇත. ඔහු දන්නේ නැත. තම දෛවය ලියැවී ඇත්තේ කෙසේදැයි අවබෝධ කරගත් පළමු ඇසිල්ලේම ඔහු තම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර දැම්මේය. ඇගෙන් ඉන් මතු ලැබුණු ලිපි ගණනාවට ඔහු අවසානයේදී පිළිතුරක් ගලපා ලියුවේ සය මසකට පසු විදෙස් සරසවියේ නේවාසිකාගාරයේ හිඳගෙනය.

හදවතෙන් ඉපිද සියොලඟ පුරා දිව යන වේදනාවෙන් දෑත් වෙව්ළුම්කද්දී ඔහු තම නියම නමින් ඇයට ලියූ අවසන් ලිපිය ලියුවේය. එම ලිපියෙන් ඇගේ සිතේ ඔහු වෙනුවෙන් වූ ආදරයට නැවතීමේ තිත තබන්නට ඔහුට උවමනා විය.

ඒ ඔහු, ඇයට බොහෝ සෙයින් ආදරය කළ නිසාවෙනි.

"සර්!" දොරට තට්ටු කර ඇතුළට එබුණු සහායිකාවගේ හඬින් ප්‍රදීප්ගේ කල්පනා දැහැන බිඳ වැටුණි. හිස සැලීමෙන් ඇයට ප්‍රතිචාර දැක්වූ ප්‍රදීප් හට සිය සිතුවිලි යළි වර්තමානයේ පෙළ ගස්වාගැනීමට තරමක පරිශ්‍රමයක් දැරීමට සිදු විය.

"සර් මේ අද හවස මීටිං එකේ ඩොකියුමන්ට්ස්. ඊමේල්ස් ටිකත් ඔක්කොම ප්‍රින්ට් කරලා මේකේ ඇටෑච් කරලා තියෙන්නේ. මහේෂි කිව්වා ප්‍රසන්ටේෂන් එකත් රෙඩී කියලා. සර්ට ඊමේල් කරන්න කියන්නද?"

ඔහු යළිත් හිස සැලුවේය. අනතුරුව තමා යමක් කිව යුතු බව සිහිපත් කරගත්තේය. "ඔව්, හරි, එහෙම කියන්න. මං ෆයිල් එක බලන්නං. ඔහොම තියලා යන්න. තෑන්ක්ස්." ඔහු යළි පරිගණක තිරය දෙසට දෑස් යොමු කළේය. ඒ මත ඒ මේ අත දිව යන බුබුළු සමුදාය මෙන් ඔහුගේ සිතද විසිරී ඇත. සහායිකාව පිටව ගොස් ඇති බව පවා ඔහු දුටුවේ මොහොතකට පසුය.

ඔහු සැඟව හිඳගෙන හොර රහසේම සුලාරි ගැන සොයා බැලුවේය. ඈ තමා අමතක කර දමා වෙනෙකෙකු හා අතිනත ගන්නා තෙක් ඔහු බලා සිටියේය. නමුත් ඔහුට එම සැනසීම ලැබුණේ නැත. ඇගේ පළමු නව කතාව දොරට වැඩුණේ ඔහු විදෙස්ගතව සිටියදීම ය. ඔහු වහා එම පොත ගෙන්වාගත්තේය. එය පිළිබඳව ලංකාවේ පුවත්පත්වල පළ වූ ලිපි සියල්ලක්ම එකතු කරගත්තේය. ඇගේ වදන් තුළින් ඔහු ඔහුවම දුටුවේය. ඒ ගැන සතුටු වීමටදැයි දුක් වීමටදැයි ඔහු නොදත්තේය. නමුදු ඔහු ඇගේ හිතවත් පාඨකයෙකු ලෙසින් ඇයට සුබපතා ලිපියක් යැව්වේය. එය ශ්‍රී ලංකාවෙන් තැපෑලට යොමුකරවන්නට තරම් ඔහු ප්‍රවේශම් සහගත විය. ඇගේ දෙවැනි, තුන්වැනි නොව සයවැනි පොත දක්වාම ඔහු ඇගේ චරිත තුළ වැජඹුණු බව ඔහු නිරීක්ෂණය කළේය. ඔහුගේ අරමුණ ඉටු වී නැත. නමුත් ඒ වන විටත් ඇයට කල් තිබුණි. එබැවින් ඔහු සිය ප්‍රතිපත්තියේම නොවෙනස්ව සිටියේය.

කෙමෙන් කෙමෙන් ඈ මවන චරිත රටාව වෙනස් වන්නට පටන්ගත් බව වටහාගත් මොහොතේ ඔහු සැනසුම් සුසුමක් හෙලුවේය. ඇගේ නම සම්මානලාභී රචිකාවියක් ලෙසින් සඳහන්ව ඇති බව දුටු මොහොතේ තමා තරම් මෙලොව වෙනත් කිසිවෙකු හෝ සතුටු වන්නට ඇතිදැයි ඔහු සැක කළේය. අවසානයේ ඈ ඔහු අමතක කරන්නට සූදානම්ව ඇත. ඔහුගේ කැපවීමට අරුතක් ලැබී ඇත. ඔහු එලෙස සිතුවේය.

ඔවුන්ගේ අවසන් හමුවෙන් වසර විස්සකට පසු උදා වූ ඇගේ උපන් දිනය අද ය.

ඇගේ සොළොස් වැනි කෘතිය කාව්‍ය ග්‍රන්ථයක් ලෙසින් එළි දකින්නට නියමිත අද සන්ධ්‍යාවේ ය.

නමුදු සුපුරුදු ලෙසින් ඈතින් හිඳ ඇයට ඒ ගැන සුබපැතීමෙන් පමණක් සැනසීමට ඔහුට හැකියාවක් නැත. පුවත්පතේ සටහන්ව තිබූ කෙටි පිළිසඳර ඒ සඳහා ඔහුට ඉඩක් ලබා දුන්නේ නැත. ඇගේ නව කෘතියේ නම 'අහසටම ඉගිලෙන්න' විය. එය දුටු මොහොතේ තම ඉහ මොළ රත් වී හිස ගිනිගත් සැටි ඔහුට මතකය. ඒ විසි වසරකට පෙර ඈ ඔහුගේ සටහන් පොතේ පසු පිටේ තැබූ මතක සැමරුම් සටහනේ මුල් පදයයි. 

"අහසටම ඉගිළෙන්න
තරු දෙකක් ඔබ ගන්න
අමාවක රැයක මට
එළිය විතරක් දෙන්න
ඔබ ආයෙ දැකගන්න
මට ආයෙ හිනැහෙන්න
ඔබ ආයෙ දිනෙක යළි
ඒවි දැයි පවසන්න
නිල් අහස සරසන්න 
හිරු ආයෙ පායන්න
ඈතටම නොයා මට 
පෙනෙන දුරකින් ඉන්න"

තමා වෙනුවෙන් ලියැවුණු එවැනි සොඳුරු වදන් පෙළක් මතකයෙන් පළවා හැරිය හැක්කේ කවරෙකුටද? සංවාදය අවසානයේ සටහන්ව තිබූ පද පේළි කිහිපය ඔහුගේ හිස නොව හදවතද ගින්නෙන් දවාලන්නට සමත් විය. 

"හුදෙකළා වූ වෙරළ අබියස 
නැගෙන ඒ සිඳු දිය රැළී
වෙහෙස සැනෙකින් ගෙන යාවි
ඒ හමා එන මඳ පවනැලී
සිනහවක් යට සැඟවිලා ගිය
කඳුළු බිඳු ඇත සැලි සැලී
අදත් මං මේ ලියන කවි වල
තවම ඇත නුඹෙ සෙවණැලි"

එය ඈ ලියා ඇත්තේ කා වෙනුවෙන්දැයි ඔහුට වෙහෙසෙමින් කල්පනා කරන්නට ඇවැසි වූයේ නැත. ඈ තවමත් අවිවාහකව පසුවන්නේ ඈ තවමත් ඔහුට ආදරය කරනා නිසා බව අවසානයේ ඔහුට පිළිගන්නට සිදු විය.

ඔහු දැන් කුමක් කළ යුතුද? ඔහුට සිතාගැන්මට නොහැක. මේ වනවිට දිවයිනේ සුප්‍රසිද්ධ ඉංජිනේරු සමාගමක ජ්‍යේෂ්ඨ ඉංජිනේරුවරයෙකු ලෙසින් කටයුතු කළද, වෘත්තිමය වශයෙන් සාර්ථකත්වයට ළඟා වී සිටියද තම ජීවිතයේ හිස් අවකාශයක් ඇති බව ඔහු දනියි. ඇගේ මතක සුවඳ මිහිදන් කරගත් ඒ හිස් අවකාශය වෙනෙකෙකුගෙන් පුරවාගන්නට ඔහුට කිසිදා ඇවැසි වූයේ නැත. නමුත් ඒ මිහිදන් කරගත් ආගාධය තුළම ඇගේ ජීවයද කෙමෙන් වැළලෙමින් ඇති බව ඔහු අවබෝධ කරගත්තේය.

ඔහු මේසය මත වූ දුරකථනය අතට ගත්තේය. සහායිකාවට කථා කොට සවස යෙදී තිබූ රැස්වීම කල් දමන ලෙස දැන්වූවේය. 'අහසටම ඉගිලෙන්න' කෘතිය ගැන සඳහන් වූ පුවත්පත අතෙකින් ගත් ඔහු තම රියදුරු අමතා රථය සූදානම් කරගන්නා ලෙස පැවසුවේය.

සුලාරි... විසි වසරකට පසු ඔහු ඈ හමුවන්නට යන්නේය... පාඨකයෙකු ලෙසින් ව්‍යාජ නාමයෙන් එවූ සුබ පැතුම් ලිපි වෙනුවට ඔහු ඈ වෙනුවෙන් වූ සුබ පැතුම් ඈ හමුවේම හෙළි කරනු ඇත... සිදු වූ සියල්ල පැහැදිලි කර සිටිනු ඇත... ඒ වෙනුවෙන් සමාව ඇයැද සිටිනු ඇත...

ඇගේ ග්‍රන්ථ එළි දැක්වීමේ උත්සවය පැවැත්වෙන දේශන ශාලාවට රුකුල් සැරයටියක ආධාරයෙන් ඇතුළු වූ මොහොතේ ප්‍රදීප්ගේ දෑස් බැබළෙමින් තිබුණි. විසි වසරකට උඩදී, සියල්ල උඩු යටිකුරු කළ රිය අනතුර සිදු වන්නට මොහොතකට පෙර ඈ වෙනුවෙන් ඔහු මිළදී ගත් මංගල මුදුව ඔහුගේ සාක්කුව තුළ රැඳී තිබුණි.




17 comments:

  1. නියමයි.
    මම කැමති මේ වගේ කම්පනයක් දෙන අවසාන වලට ( ඒවා දරාගන්න බැරි උනත්)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලිඛිතා. මේ අවසානයනම් දරාගන්න බැරිවුණේ නෑ නේද? මට ඕන වුණේ බලාපොරොත්තු තියාගන්න පුළුවන් සුභවාදී අවසානයක් දෙන්න. :)

      Delete
    2. සතුටු අවසානයක්, දුක්ඛිත අවසානයක් වගේම කම්පනයක් ඇති කරනවා. ඔව්.. සතුටුයි තමයි. ඒ උනාට මොකද්දෝ ලොකු දුකක් හිතේ ගුලි වෙලා.

      ඒක කතාවේ හොඳකම නිසාම වෙලා කියලා ඔබට වැටහෙන්න ඇති. ඒක තමයි ටැලන්ට් එක!

      Delete
    3. //මකුළු දැල් බැඳෙන්ට ඔන්න මෙන්න තිබ්බ බ්ලොගේට//

      :D

      කාලෙකින් සිත්තමියාගේ ලිපියක් දකින්න ලැබීමත් සතුටක්. ඒකත් හොයා ගත්තේ වෙන බ්ලොග් රෝලකින්. ඇයි අප්පා මට හොඳට මතකයිනේ මම මේක ෆලෝ කරා කියලා. :(

      කතාව නම් වෙනදා වගේම ලස්සනයි. මම හැමදාම ආස කරන සිත්තමී ගේ හැඟුම් බර කතා වලින් එකක්...

      Delete
  2. සුනිල් එදිරිසිංහගේ පින්තුරයකින් පොස්ට් එකේ කොටසක්ම වැහිලානේ.

    ReplyDelete
    Replies
    1. චැහ්, මහ අපරාදයක්. ඔන්න ඒ පැත්තෙන් අමුණලා තිබ්බ ගැජට්ටෙකෙන් පින්තූර අයින් කළා. දැන් හරි. තැන්ක් යූ මල්ලි ඒ ගැන මට කිව්වට. ඔන්න දැන් කතාව කියවන්නකෝ එහෙනං.

      Delete
  3. සුභවාදී අවසානයක් තියෙන කතා වලට මම කවදාත් කැමතියි...:)

    ප්‍රදීප් මොකද ගහෙන් ගෙඩි එන්නා වගේ සුලාරිව අමතක කෙරුවේ මොකෝ කියලා මම මේ කල්පනා කෙරුවේ.අන්තිමේට ඔය උත්තරේ දීලා තියෙන්නේ.වසරේ ආදරණියම නවකතාව සුලාරි ඉක්මනින් ලියයි,නැත්නම් ලිවීමට තිත තියයි.

    ReplyDelete
    Replies
    1. නෑ, සුලාරි ලියන එක නවත්තන එකක් නෑ මං හිතන්නේ. :)

      Delete
  4. අන්තිම ඡේද දෙකට වගේ එනකම් මම මේ කතාවට කැමතියි.. හොඳට ගොඩනගලා තියනවා. හැබැ‍යි අන්තිම ඡේදයෙන් පැහැදිලි කරන සිදුවීම, ඇයව අතහැර දාන්න තරම් කියන විශ්වාසය මට දැනුණේ නෑ. මාස හයකට පසු විදේශයකට යන්න පුළුවන් නම් අනතුර එතරම් දරුණු එකක් වෙන්නත් බෑ.

    //වෙහෙස සැනෙකින් ගෙන යාවි
    ඒ හමා එන මඳ පවනැලී//

    මෙතන 'ඒ' උඩ පදයට අයිති වචනයක් නේද? :)

    ReplyDelete
    Replies
    1. ම්ම්, අපි මෙහෙම හිතුවොත්. සුලාරි අම්මා කෙනෙක් වෙන්න ගොඩාක් ආසාවෙන් හිටපු කෙනෙක්. ඒත් ඒ අනතුරෙන් පස්සේ ප්‍රදීප්ට සුලාරිගේ ඒ ආසාව ඉටු කරන්න බැරි තත්ත්වයකට පත් වුණානම්? ප්‍රදීප් සුලාරිගෙන් ඈත් වෙලා හිටියේ ඒ හේතුව හින්දානම්?

      ඔන්න මේ, ඔය මොකවත් මේ මමනං දන්නෙ නෑ. කතන්දරේට මුල පුරපු සිතූ දන්නවා ඇතියි කියලත් මං හිතන්නෙ නෑ. ඒ හින්දා කියවන ඔයාලටම කතාව කැමති විදිහට හිතාගන්න තමයි මං ඔහොම ඉවර කළේ. කොහොමවුණත්, කමෙන්ටුවට ස්තූතියි අයියේ. :)

      කවියේ පද ගැනනම් අහන්න ඕනේ කවියේ අයිතිකාරි සිතූගෙන් තමයි. :)

      Delete
  5. හම්මේ... තව පොඩ්ඩෙන් සිතූ මට මිස් වෙනවා. බලනකොට පෝස්ට් එකක් නෙමෙයි දෙකක්ම තියනවා. හරිම ලස්සනයි සිතූ කථාව. මුල ටික කියවනකොට පැරණි පෙමක සුවඳ දිගේ හිත ඇදිලත් ගියා... ඒ වංහුං දැන් මොකටද කියලා ආපහු හිත අමාරැවෙන් වගේ ඇදලත් ගත්තා. ඉතිං දිගටම කථා ලියන්න සිතූ හොඳේ

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක අපි සිතූලා දෙන්නාටම කියලා හිතන්නම්කෝ. ස්තූතියි රන්! :)

      Delete
  6. හරිම ලස්සනයි අක්කේ මේ කතාව.. ගොඩක් ස්තූතියි ඔයාට මේ කතාව ලිව්වටත්...

    ReplyDelete
  7. ලස්සන කතාවක්... ඒත් අවුරුදු විස්සක් කල එක වැඩි වගේ. දැන් ඒ දෙන්නා වයසයිනේ හුඟක්... තරුණ කාලෙම පොඩ්ඩක් සෙට් කලා නම් මොකද...

    ReplyDelete