196. නමක මහිම...06 (අවසන් කොටස)

III ජවනිකාව

දර්ශනතලය: වූල්ටන් වළව්වේ විසිත්ත කාමරය

[ග්වෙන්ඩලින් සහ සිසිලි කවුළුව අසළ හිඳගෙන උද්‍යානය දෙස බලා හිඳිති.]

ග්වෙන්ඩලින්:

වෙන කෙනෙක්නං මෙලහට අපේ පස්සෙන් ගෙට ඇවිල්ලා. ඒත් ඒ දෙන්නා එහෙම කළේ නෑ කියන්නෙ මට හිතෙනවා ඒ දෙන්නා ළඟ ලැජ්ජාව කියන දේ පොඩ්ඩක් හරි ඉතුරු වෙලා තියෙනවා කියලා.

සිසිලි:
ඒ දෙන්නා සීනි බනිස් කනවා. හරිම හිත් අමාරුවෙන් වගේ ඉන්නේ.

ග්වෙන්ඩලින්:
[මද නිහැඬියාවකට පසුව]
තාමත් අපිව දැක්කෙ නෑ මං හිතන්නෙ. ඔයාට පොඩ්ඩක් කහින්න බැරිද?

සිසිලි:
ඒත් මට කැස්සක් නෑනේ.

ග්වෙන්ඩලින්:
අන්න අන්න මේ පැත්ත බැලුවා.


සිසිලි:
අන්න අන්න මේ පැත්තට එනවා. හරිම එඩිතරයිනේ.

ග්වෙන්ඩලින්:
අපි ගණන්ගන්නෙ නැතුව වාගෙ සද්ද නැතුව ඉමු.

සිසිලි:
ඔව් ඔව්, ඒක තමයි දැන් කරන්න තියෙන්නෙ. [ජැක්ද ඒ පසුපසින් ඇල්ජර්නන්ද පැමිණේ. ඔවුහු බ්‍රිතාන්‍ය ඔපෙරාවක තනුවක් සිවුරුහන්බාමින් සිටිති.]

ග්වෙන්ඩලින්:
අපි ගණන්ගන්නෙ නැතුව වගේ සද්ද නැතුව ඉන්න එක හරි නැද්ද මන්දා.

සිසිලි:
ඒක තමයි නේද.

ග්වෙන්ඩලින්:
ඒත් අපි කොහොමද මුළින් කතා කරන්නේ. ඒක කරන්න බෑනේ, නේද?

සිසිලි:
අපොයි බෑ!

ග්වෙන්ඩලින්:
වර්දිං මහත්මයා, මට තියනවා අහන්න ප්‍රශ්නයක්.

සිසිලි:
ඇති යාන්තං. මගේ හොඳ ග්වෙන්ඩලින්! මොන්ක්‍රීෆ් මහත්මයා, මට මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න: ඇයි ඔයා මගේ භාරකාර මහත්මයාගේ සහෝදරයා විදිහට රඟපෑවෙ?

ඇල්ජර්නන්:
මට ඔයාව මුණගැහෙන්න ඒකෙන් ඉඩක් ලැබෙන නිසා.

සිසිලි:
[ග්වෙන්ඩලින් අමතා] ඒක හරිම හොඳ උත්තරයක්, නැද්ද?

ග්වෙන්ඩලින්:
ඇත්තටම ඔව්, එයා කියන්නෙ ඇත්තයි කියලා ඔයාට විශ්වාස කරන්න පුළුවන්නම්.

සිසිලි:
මං විශ්වාස කරන්නෙ නෑ. ඒත් ඒකෙන් එයාගෙ උත්තරේ ලස්සන අඩු වෙන්නෙ නෑනේ.

ග්වෙන්ඩලින්:
ඇත්ත. වැදගත් අවස්ථා වලදි විශ්වාසය නෙවෙයි, ඒකෙ තියෙන ලස්සනට තමයි මුල් තැන දෙන්න ඕනෙ. වර්දිං මහත්මයා, තමුන්ට සහෝදරයෙක් ඉන්නවා කියලා මට බොරු කරන්න හේතුව වුණේ මොකද්ද? ඒ පුළුවන් හැම වෙලාවෙම මාව බලන්න නගරෙට එන්න හේතුවක් විදිහටද?

ජැක්:
ඒ ගැන සැකයක් තියෙනවද මිස් ෆෙයාර්ෆැක්ස්?

ග්වෙන්ඩලින්:
ඒ ගැන මට සෑහෙන ලොකු සැක ගොඩක් තියෙනවා. ඒත් ඒවා මං අමතක කරලා දාන්න ලෑස්තියි. මේ ඔය සැක සංකා ගැන වාද විවාද කරන්න වෙලාවක් නෙවෙයි. [සිසිලි වෙත යමින්] මේගොල්ලන්ගේ උත්තර බොහොම සතුටුදායකයි කියන්න පුළුවන්, වැඩියෙන්ම වර්දිං මහත්මයාගේ. ඇත්තමයි කියන සහතිකේ ඒ උත්තරේට මට දෙන්න පුළුවන්.

සිසිලි:
මොන්ක්‍රීෆ් මහත්මයාගේ උත්තරෙන් මටත් හොඳටම සෑහීමට පත්වෙන්න පුළුවන්. එයාගෙ කටහඬින්ම තේරෙනවා එයා කොච්චර විශ්වාසවන්ත කෙනෙක්ද කියලා.

ග්වෙන්ඩලින්:
එහෙනම් ඔයා හිතනවද අපි ඒගොල්ලන්ට සමාව දෙන්න ඕනෙ කියලා.

සිසිලි:
ඔව්. ආ නෑ නෑ, මං කිව්වෙ, නෑ.

ග්වෙන්ඩලින්:
ඇත්ත. මට අමතක වුණා. සමහර වෙලාවල් තියෙනවා කෙනෙකුට තමන්ගෙ මතය පාවා දෙන්න බැරි. අපි දෙන්නගෙන් කවුද දැන් මේක කියන්නෙ? ඒක ලේසි වැඩක්නම් නෙවෙයි.

සිසිලි:
අපි දෙන්නම එකටම කියමුද?

ග්වෙන්ඩලින්:
අන්න හොඳ අදහස! මං හරි කැමතියි අනිත් අය කතා කරන වෙලාවටම කතා කරන්න. ඔන්න මං ගැන්න ගමන් කියන්න හරිද?

සිසිලි:
හරි. [ග්වෙන්ඩලින් ඇඟිල්ලක් ඉහළට ඔසවාගෙන ගණන්කරයි.]

ග්වෙන්ඩලින් සහ සිසිලි: [එක්විටම කතා කරමින්] ඔයගොල්ලන්ගේ නම් තාමත් මහා බාධකයක්. එච්චරයි!

ජැක් සහ ඇල්ජර්නන්: [එක්විටම කතා කරමින්] අපේ නම්! එච්චරද ප්‍රශ්නේ? ඒත් අපි අද හසවස බෞතීස්ම වෙනවා.

ග්වෙන්ඩලින්:
[ජැක් අමතා] මං හින්දම ඔයා ඒ භයානක මොහොතට මූණදෙන්න ලෑස්ති වුණාද?

ජැක්:
ඔව්.

සිසිලි:
[ඇල්ජර්නන් අමතා]
මාව සතුටු කරන්නම ඔයා ඒ භයානක මොහොතට මූණදෙන්න ලෑස්ති වුණාද?

ඇල්ජර්නන්:
ඔව්.

ග්වෙන්ඩලින්:
ගෑණුයි පිරිමියි සම තැන තියලා කතා කරන්නෙ කොහොමද ඇත්තටම. ආත්ම පරිත්‍යාගය ගැන බලද්දි පිරිමි අපිට වඩා ගොඩක් ඉස්සරහින්.

ජැක්:
ඒකනෙ කියන්නේ! [ඇල්ජර්නන් හට ප්‍රීතිය සමරන අවස්ථාවකදී මෙන් අතට අත දෙයි.]

සිසිලි:
මේ ගෑනු අපිට හිතාගන්නවත් බැරි තරමට ඒගොල්ලෝ සමහර වෙලාවට හරිම එඩිතරයි.

ග්වෙන්ඩලින්:
[ජැක් අමතා] වස්තුවේ!

ඇල්ජර්නන්:
[සිසිලි අමතා]
වස්තුවේ! [සියල්ලෝම එකිනෙකා වැළඳගනිති.]


සමාදාන වූ පෙම්වතුන්

[මෙරිමන් පැමිණේ. පෙම්වතුන් සිටිනා අන්දම දැක ඔහු හඬ නගා උගුර පාදයි.]

මෙරිමන්:
අහ්ම්! අහ්ම්! බ්‍රැක්නෙල් ආර්යාව!

ජැක්:
හත් ඉලව්වයි!

[බ්‍රැක්නෙල් ආර්යාව පැමිණේ. තැතිගත් පෙම්වතුන් වෙන් වේ. මෙරිමන් පිටව යයි.]


බ්‍රැක්නෙල් ආර්යාව:
ග්වෙන්ඩලින්! මොකද්ද මේකෙ තේරුම?

ග්වෙන්ඩලින්:
මං වර්දිං මහත්මයා එක්ක විවාහ ගිවිසගත්තා අම්මේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
මෙහෙ එනවා. මෙතනින් ඉඳගන්නවා. දැම්මම. ඔහොම තෙපරබබා ඉන්නෙ - වයසක උදැලාගෙනං හන්දිපත් රුදාවක් කියතහැකි, ඒත් ඔය තරුණ වයසෙ ඉන්න ඈයො තෙපරබාන්නේ මොළේ අමාරුවක් හින්දා. [ජැක් වෙත හැරී] මගේ දෝණියන්දෑ මේ හදිසියෙම මේ පැත්තට ඉගිල්ලිලා ආපු බව මට කිව්වේ එයාගෙ විශ්වාසවන්ත සේවිකාව. ඒ කෙල්ලගේ විශ්වාසය මං අරගත්තෙ පොඩි කාසියක් දීලා. ඉතිං මං මෙයාගේ පස්සෙන්ම මෙහෙට ආවා බඩු කෝච්චියක නැගලා. මෙයාගෙ තාත්තා හිතාගෙන ඉන්නේ මෙයා ස්ථාවර ආදායම් බලපැවැත්ම ගැන වෙනදට වඩා දිගට ඇදෙන විශ්ව විද්‍යාල දේශනයකට ගිහින් කියලා. මං එයාව එයාගෙ ඒ හීනෙන් ගලවන්න ගියෙ නෑ. කිසිම කාරණාවකදි මං එයාව එයාගෙ හීන වලින් මුදවලා නෑ. ඒක බොහොම වැරදි වැඩක් හැටියටයි මං දකින්නෙ. ඒත් හැබැයි, තමුන්ගෙයි මගෙ දෝණියන්දැගෙයි තියෙන ගනුදෙනු මේ මොහොතෙම, මෙතනදිම ඉවරයක් කරන්න ඕනෙ. ආයෙ මං නොකිව්වයි කියන්න එපා.

ජැක්:
මං ග්වෙන්ඩලින් එක්ක විවාහ ගිවිසගෙන ඉන්නෙ බ්‍රැක්නෙල් ආර්යාවනි!

බ්‍රැක්නෙල් ආර්යාව:
එහෙම කිසිම දෙයක් සිද්ද වෙන්නෙ නෑ මහත්මයා. අනිත් එක... කෝ මේ ඇල්ජර්නන්! ...ඇල්ජර්නන්!

ඇල්ජර්නන්:
ඇයි ඔගස්ටා නැන්දේ?

බ්‍රැක්නෙල් ආර්යාව:
තමුන්ගෙ අර බන්බරි කියන යාළුවා ඉන්නේ මේ ගෙදරද?

ඇල්ජර්නන්:
[තතනමින්] ආ! නෑ! බන්බරි ඉන්නෙ මෙහෙ නෙවෙයි. එයා මේ වෙලාවෙ ඉන්නෙ වෙන දිහාවක! ඇත්තම කිව්වොත් එයා මැරිලා.

බ්‍රැක්නෙල් ආර්යාව:
මැරිලා! කවද්ද ඒ මිනිහා මළේ? එකපාරටම?

ඇල්ජර්නන්:
[නොසැලකිල්ලෙන් මෙන්] ආ ඔව්! මේ හැන්දෑවෙ තමයි මං ඒකව මරලා දැම්මේ. මං කිව්වෙ අසරණ බන්බරි මේ හැන්දෑවේ තමයි මැරුණේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
මොනවා වෙලාද මැරුණේ?

ඇල්ජර්නන්:
බන්බරිද? ආ මේ... මිනිහා පිපිරිලා මළේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
පිපිරිලා! ඒ මනුස්සයාත් මේ ඔල්මාද විප්ලවේට අහුවුණාද? මං දැනන් හිටියෙ නෑනේ මේ බන්බරි සමාජ කටයුතුවලට සම්බන්ධවෙලා හිටියා කියලා. හැබැයි මිනිහට හොඳ දඬුවම තමයි ලැබුණේ.

ඇල්ජර්නන්:
ඔගස්ටා නැන්දේ, මං කිව්වේ එයාගෙ ලෙඩේ හොයාගත්තා. දොස්තරලා හොයාගත්තා මිනිහාට ජීවත් වෙන්න බැරි බව, ඒකයි මං කිව්වෙ. ඉතිං මිනිහා මළා.

බ්‍රැක්නෙල් ආර්යාව:
එයා තමුන්ගෙ දොස්තරලා ගැන සෑහෙන විශ්වාසයක් තියන් ඉඳලා තියෙන පාටයි. ඒත් මට සතුටුයි එයා අන්තිමේදී හිත හදාගෙන හරිහමන් වෛද්‍ය උපදෙසක් පිළිපැදලා කටයුතු කරපු එක ගැන. ඉතිං දැන් අන්තිමේදි අපි මේ බන්බරිගෙන් ගැලවුණ එකේ මං අහන්නේ වර්දිං මහත්මයා, අර මගේ ඇල්ජර්නන් බෑනා මහා අසෝබන විදිහකට අල්ලගෙන ඉන්නේ කාගේ අතද?

ජැක්:
ඒ සිසිලි කාර්ඩිව් මෙනෙවිය. මමයි එයාගෙ භාරකාරයා. [බ්‍රැක්නෙල් ආර්යාව සිසිලි වෙත දරදඬු බැල්මෙන් යුතුව හිස වනයි.]

ඇල්ජර්නන්:
මං සිසිලි එක්ක විවාහ ගිවිසගත්තා ඔගස්ටා නැන්දේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
මොකද්ද කිව්වෙ?

සිසිලි:
මමයි මොන්ක්‍රීෆ් මහත්මයායි විවාහ ගිවිසගත්තා, බ්‍රැක්නෙල් ආර්යාවනි.

බ්‍රැක්නෙල් ආර්යාව:
[වෙව්ලමින් සෝපාවෙ වෙත ගොස් හිඳගනියි] මං දන්නෙ නෑ මේ හර්ට්ෆොර්ඩ්ශයර් පැත්තෙ තියන මොකක් හරි දෝසයක්ද කියලා, ඒත් මේක මගුල් සක්වලක් වෙලානේ. ඔය වාර්තා පොත්වලවත් මේ හැටි මගුල් ගැන එකම දවසකදි අහන්න ලැබෙන බව කියලා නෑනේ. කොහොමහරි, මං පොඩි කාරණා දෙකතුනක් ගැන ඇහැව්වට පාඩු වෙන එකක් නෑ මගෙ හිතේ. වර්දිං මහත්මයා, ලන්ඩන් වල ප්‍රධාන ස්ටේෂමක් එක්ක එහෙම මේ මිස් කාර්ඩිව්ගේ සම්බන්ධයක් තියෙනවද? මං මේ දැනගන්න අහන්නේ. ඊයෙ වෙනකල්ම මං දැනගෙන හිටියෙ නෑ සමහර මිනිසුන්ගෙ, සමහර පවුල් වල උප්පත්ති කතාව පැවතගෙන එන්නෙ ස්ටේෂමකින් කියලා. [ජැක් දැඩි කෝපයට පත්ව සිටියද තමා පාලනය කරගෙන සිටියි.]

ජැක්:
[පැහැදිලි දරදඬු හඬකින්]
මිස් කාර්ඩිව් කියන්නේ දකුණු වෙල්සයේ, බෙල්ග්‍රේව් චතුරශ්‍රයේ, 149 ගෙදරත්, සරේ ප්‍රාන්තයේ, ඩෝර්කිං, ගර්වේස් උද්‍යානයේත්, නිව්බර්ග් වල, ෆයිෆ්ශයර්, ස්පොරාන් වලත් උරුමක්කාරයා වෙච්ච තෝමස් කාර්ඩිව් මහත්මයාගේ මිණිපිරී.

බ්‍රැක්නෙල් ආර්යාව:
ඒවායෙන් මක් කරන්නද. වෙළෙන්දෙකුට වුණත් ලිපින තුනක් තියෙන්න පුළුවන්. ඒත් තමුන් කොහොමද ඔය අයිතිය ඔප්පු කරන්නෙ?

ජැක්:
ඒ කාලෙට අයිති විනිසුරු මාර්ගෝපදේශන ඔක්කොම මං ළඟ පරිස්සමට තියෙනවා. ඔබතුමියට ඕනෙනම් බලන්න පුළුවන්, බ්‍රැක්නෙල් ආර්යාවනි.

බ්‍රැක්නෙල් ආර්යාව:
[නොසතුටු මුහුණෙන්] ඔය මාර්ගෝපදේශනේ ඕනතරම් වැරදිච්ච තැන් මං දැකලා තියනවා.

ජැක්:
මිස් කාර්ඩිව්ගේ පවුලේ ගනුදෙනු කළේ මාර්ක්බි, මාර්ක්බි සහ මාර්ක්බි නීතීඥ සමාගම.

බ්‍රැක්නෙල් ආර්යාව:
මාර්ක්බි, මාර්ක්බි සහ මාර්ක්බි? හරි ඉහළ පෙළේ නීති විශාරදයො ටිකක්නෙ. එක මාර්ක්බි කෙනෙක් අපේ රෑ කෑම සාද වලටත් ඇවිත් තියෙනවලු. අන්න ඒකනම් වැදගත් කාරණයක්.

ජැක්:
[නොරුස්නා හඬින්] ඔබතුමිය බොහොම කරුණාවන්තයි බ්‍රැක්නෙල් ආර්යාවනි! තව මං ළඟ තියෙනවා, ඔබතුමිය දැනගන්න සතුටුනම්, මිස් කාර්ඩිව්ගේ උප්පැන්න සහතිකේ, බෞතීස්ම සහතිකේ, කක්කල් කැස්සට එන්නත් විදපු සහතිකේ, ලියාපදිංචිය, අනිත් එන්නත් ඔක්කොම, සරම්ප සහතිකේ; නිකං සරම්පෙයි ජර්මන් එකයි දෙකම.

බ්‍රැක්නෙල් ආර්යාව:
හ්ම්! කාර්යබහුල ජීවිතයක් මට පේන්නෙ; ඒත් තරුණ ගෑණු ළමයෙකුට ඒවා ඕනැවට වැඩියි. පොඩි කාලෙදිම ඔයහැටි අත්දැකීම් ගොන්නක් එකතු වෙනවට මං කැමති නෑ. [නැගිට ඔරලෝසුව බලයි.] ග්වෙන්ඩලින්! අපිට යන්න වෙලාව හරි දැන්. තව පරක්කු වෙවී ඉන්න වෙලාවක් නෑ. මේකත් අහලම හිටියනං හොඳයි එක්කො, වර්දිං මහත්මයා, මිස් කාර්ඩිව්ට පොඩි දෑවැද්දක් එහෙම තියෙනවද?

ජැක්:
ආ! අරමුදල් වලින් ලැබිච්ච පවුම් එක් ලක්ෂ තිස්දාහක් විතර තියෙනවා. එහෙනම් සුබ දවසක් බ්‍රැක්නෙල් ආර්යාවනි. දකින්න ලැබීම සතුටක්.

බ්‍රැක්නෙල් ආර්යාව:
[යළි හිඳගනිමින්] පොඩි වෙලාවක්, වර්දිං මහත්මයා. පවුම් එක් ලක්ෂ තිස්දාහක්! අරමුදල් වල! මං මේ දැන් හොඳට බැලුවාම තමයි දැක්කේ, මිස් කාර්ඩිව් බොහොම ලස්සන ගෑණු ළමයෙක්නේ. දැන් කාලේ ගෑනු ළමයින්ට ඔයවගේ ගුණාංග නෑනේ, හැමදාටම තියෙන, එන්න එන්න වර්ධනය වෙන විදිහේ ගුණාංග. අපි ජීවත් වෙන්නේ, මතුපිටින් විතරක් හැමදෙයක්ම දකින කාලෙක, අපරාදේ. [සිසිලි අමතා] මෙහෙ එන්න වස්තුවේ. [සිසිලි ඈ වෙත පැමිණේ.] ලස්සන දරුවෝ! ඔයාගෙ ඇඳුම හරිම සරලයි, ඔයාගෙ කොණ්ඩෙත් ඔහේ තියෙනවා. ඒත් අපිට පුළුවන් ඒවා ඉක්මනටම හදලා ගන්න. හොඳට වැඩ දන්න ප්‍රංශ වැඩකාරියෙකුට පුළුවන් ඕවා ඉක්මනටම හරිග්ගස්සලා ගන්න. මට මතකයි, මං ලාන්සිං නෝනාට එක්කෙනෙක්ව අඳුන්නලා දුන්නා. මාස තුනකට පස්සෙ එයාගෙ මහත්තයාටම එයාව අඳුරගන්න බැරුව ගියා.

ජැක්:
මාස හයකට පස්සෙ කාටවත්ම එයාව අඳුරගන්න බැරුව ගියා.

බ්‍රැක්නෙල් ආර්යාව:
[ජැක් දෙස මොහොතක් ඔරවාගෙන බලා හිඳියි. අනතුරුව පුළුල් සිනහවකින් යුතුව යළි සිසිලි වෙත හැරෙයි.] පොඩ්ඩක් හැරෙන්න දරුවෝ. [සිසිලි වටයක්ම කැරකෙයි.] නෑ, මට ඕනෙ පැත්තෙන් බලන්න. [සිසිලි පැත්තට හැරෙයි.] අන්න හරි. ඔය තියෙන්නේ මට ඕන වෙච්ච විදිහටම. ඔයාගෙ පෙනුමේ තියෙනවා ඉහළ පෙළැන්තියට හරියන්න හදලා ගන්න පුළුවන් දේවල්. නිකට තව පොඩ්ඩක් විතර උස්සන්න වස්තුවේ. විලාසිතාව තනිකරම රැඳිලා තියෙන්නේ කෙනෙක්ගේ නිකට උඩ. දැන් කාලේ කවුරුත් කැමති නිකට අහසෙ තියාගෙන යන්න. ඇල්ජර්නන්!


ඇල්ජර්නන්:
ඔව් ඔගස්ටා නැන්දේ!

බ්‍රැක්නෙල් ආර්යාව:
මිස් කාර්ඩිව්ගේ පෙනුමේ තියෙනවා ඉහළ පෙළැන්තියට හරියන්න හදාගන්න ගන්න පුළුවන් දේවල්.

ඇල්ජර්නන්:
සිසිලි තමයි මුළු ලෝකෙන්ම ඉන්න හොඳම, ආදරණීයම, ලස්සනම කෙල්ල. ඔය ඉහළ පෙළැන්තිය ගැන මං පයිසෙකට මායිං කරන්නෙ නෑ.

බ්‍රැක්නෙල් ආර්යාව:
ඒ ගැන ඔහොම අගෞරවෙන් කතා කරන්න එපා ඇල්ජර්නන්: එහෙම කතා කරන්නේ ඉහළ පෙළැන්තියට ළං වෙන්න බැරි මිනිස්සු විතරයි. [සිසිලි අමතා] දරුවෝ, ඔයා දන්නවානේ ඇල්ජර්නන්ට එයාගෙ ණය තුරුස් ඇර වෙන කිසි දෙයක් නෑ කියලා. ඒත් මං අනුමත කරන්නෙ නෑ ලාභ බලාගෙන කෙරෙන කසාද වලට. මං බ්‍රැක්නෙල් උතුමාණන්ව බඳිද්දි මට කිසිම දෑවැද්දක්වත් තිබ්බෙ නෑ. ඒත් මං ඒකට මගේ පාර හරස් කරන්න ඉඩ දෙන්න හීනෙකින්වත් හිතුවෙ නෑ. හොඳයි, මං හිතනවා මට මේ කසාදෙට අනුමැතිය දෙන්න පුළුවන් කියලා.

ඇල්ජර්නන්:
ස්තූතියි ඔගස්ටා නැන්දේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
සිසිලි, මට හාද්දක් දෙනවද!

සිසිලි:
[ඇයට හාද්දක් දෙමින්] ස්තූතියි, බ්‍රැක්නෙල් ආර්යාවනි.

බ්‍රැක්නෙල් ආර්යාව:
මින් පස්සෙ මට ඔගස්ටා නැන්දා කියලා කතා කරන්න පුළුවන් ඔයාට.

සිසිලි:
ස්තූතියි ඔගස්ටා නැන්දේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
කසාදෙ, මං හිතන්නෙ, ඉක්මණටම කෙරෙන තරමට හොඳයි.

ඇල්ජර්නන්:
ස්තූතියි ඔගස්ටා නැන්දේ.

සිසිලි:
ස්තූතියි ඔගස්ටා නැන්දේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
ඇත්තම කියනවනනං, මං කැමති නෑ දෙන්නෙක් විවාහ ගිවිසගත්තට පස්සෙ කසාදෙ වැඩිය කල් අරින්න. එහෙම වුණාම දෙන්නට එක එක්කෙනා ගැන හොඳ හැටි දැනුං තේරුං ඇති වෙන්න පටන්ගන්නවා කසාදෙට කළින්ම. ඒක ඒ හැටි හොඳ දෙයක් නෙවෙයි.

ජැක්:
ඔබතුමියට බාධා කරන්න සිද්ද වෙච්ච එක ගැන සමාවෙන්න බ්‍රැක්නෙල් ආර්යාවනි. ඒත් මේ විවාහ ගිවිසගැනීම බලපැවැත්වෙන්නෙ නෑ. මමයි මිස් කාර්ඩිව්ගේ භාරකාරයා, ඉතින් එයාට හරි වයසට එන්න කළින් මගේ අනුමැතිය නැතුව කසාද බඳින්න බෑ. ඒ අනුමැතිය කොහෙත්ම මම දෙන්නෙත් නෑ.

බ්‍රැක්නෙල් ආර්යාව:
ඒ මොකද? ඇල්ජර්නන් කියන්නේ සෑහෙන සුදුසුකම් තියෙන ඉලන්දාරියෙක්. එයාට මුකුත් නැති වුණත්, හැමදේම තියෙනවා වගේ පෙනුමක් තියෙනවා. ඉතින් තව වෙන මොනවද ඕනෙ?

ජැක්:
ඔබතුමියගේ බෑණා ගැන මේ විදිහට ඇත්තම එළි කරන්න වෙච්ච එක ගැන මට බොහොම කණගාටුයි, ඒත් මට එයාගේ චරිතය ගැන ඒ හැටි පැහැදීමක් නෑ. එයා මහ බොරුකාරයෙක්. [ඇල්ජර්නන් සහ සිසිලි මහත් පුදුමයෙන් ඔහු දෙස බලා සිටිති.]

බ්‍රැක්නෙල් ආර්යාව:
බොරුකාරයෙක්! මගේ ඇල්ජර්නන් බෑනා? වෙන්න බෑ! එයා ඉගෙනගත්තෙ ඔක්ස්ෆර්ඩ් වල.

ජැක්:
ඒත් මං කියපු කාරණාවේ කිසිම වෙනසක් නෑ. මම මගේ බොහොම වැදගත් වැඩකට ලන්ඩන් වලට ගිහිල්ලා ඉන්න අතරවාරෙ, මේ හැන්දෑවේ මේ මනුස්සයා මගේ සහෝදරයා විදිහට වෙස්වලාගෙන මගේ ගෙට රිංගලා. ඊළඟට, මගේ ප්‍රධාන මෙහෙකාරයාගෙන් මං දැනගත්තෙ, මං මටම බොන්න කියලා ගෙනත් තියාගෙන හිටපු පෙරියර් ජූට් බෝතලේ - ඒක අසූ නවය අවුරුද්දෙ එකක් - ඒකත් මේ මිනිහා බීලා. මුළු බෝතලේම. ඒ මදිවට මගේ භාරයේ ඉන්න මේ සිසිලිවත් දැපනෙ දාගත්තා. තේ වලට ඉන්නවයි කියලා මුළු සීනි බනිස් පිඟානම තනියම ගිල්ලා. අනිත් එක - අනිත් එක මිනිහගෙ තියෙන නැහැදිච්චකම කියන්නේ - මිනිහා හොඳටම දන්නවා මට සහෝදරයෙක් නෑ, කවදාවත් ඉඳලත් නෑ, කවදාවත් එහෙම එකෙක් හදාගන්න බලාපොරොත්තුවකුත් නෑ කියලා. මං ඒ ගැන පැහැදිලිවම මිනිහට තේරුම් කරලා දුන්නෙ මේ ඊයෙ හැන්දෑවෙ.

බ්‍රැක්නෙල් ආර්යාව:
අහ්ම්! වර්දිං මහත්මයා, ඒ ගැන ප්‍රවේශමෙන් කල්පනා කරලා බලලා මං තීරණය කළා ඇල්ජර්නන් තමුන්ට සලකලා තියෙන විදිහ මෙතනට කොහෙත්ම අදාළ නැති දෙයක් විදිහට නොසලකා අරින්න.

ජැක්:
ඔබතුමිය බොහොම කරුණාවන්තයි බ්‍රැක්නෙල් ආර්යාවනි. ඒත් මගේ තීරණේ වෙනසක් නෑ. මගේ අනුමැතිය ඔය කසාදෙට දෙන්නෙ නෑ.

බ්‍රැක්නෙල් ආර්යාව:
[සිසිලි අමතා] මෙහෙ එන්න දරුවෝ. [සිසිලි ඈ වෙත යයි.] ඔයාගෙ වයස කීයද වස්තුවේ?




බ්‍රැක්නෙල් ආර්යාව හා සිසිලි කතා කරන අතරේ ඇල්ජර්නන් ජැක් වෙත ඔරවාගෙන සිටියි.

සිසිලි:
ඇත්තටම මගේ වයස දහ අටයි. ඒත් මං තේ සාද වලට එහෙම ගියාම කියන්නේ මගෙ වයස විස්සක් කියලා.

බ්‍රැක්නෙල් ආර්යාව:
එහෙම පොඩි වෙනසක් කරන එක ඇත්තටම හොඳ දෙයක්. ඇත්තටම කිසිම ගෑනියෙක් තමුන්ගෙ හරි වයස කියන්න හොඳ නෑ. ඇත්ත වයස කිව්වාම හිතන්නේ කපටිකමට බොරු වයසක් කියනවා කියලනේ...[කල්පනාභරිතව] දහ අටයි, ඒත් තේ සාද වලදි විස්සයි. කමක් නෑ, ඉක්මනටම ඔයාට මේ මහත්මයාගේ භාරයෙන් මිදෙන්න වයසක් එයිනේ. ඉතිං ඔයාගේ භාරකාරයා මේකට කැමැත්ත දුන්නත් නැතත් වෙනසක් නෑ මං හිතන්නේ.

ජැක්:
ඔබතුමියට ආයෙමත් බාධා කිරීම ගැන සමාවෙන්න බ්‍රැක්නෙල් ආර්යාවනි. ඒත් එයාගේ සීයගේ අන්තිම කැමැත්තට අනුව මිස් කාර්ඩිව්ට නීත්‍යානුකූලව මගේ භාරයෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ එයාට වයස තිස් පහක් වුණාම.

බ්‍රැක්නෙල් ආර්යාව:
ඒකට මක් වෙනවද. තිස් පහ කියන්නේ හොඳ වයසක්නේ. ලන්ඩන් වල සෑහෙන්න ඉන්නවා ඉහළ පෙළැන්තියේ ගෑනු උදවිය අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු තිස් පහේම හිටපු. ඩම්බල්ටන් ආර්යාව ගමුකො. දැන් අවුරුදු ගානකට කළින් එයාගෙ වයස හතළිහක් වෙච්ච අවුරුද්දේ ඉඳන් මේ වෙනකල්ම එයා කියන්නේ එයාගෙ වයස තිස් පහයි කියලා. අපේ සිසිලි ඒ වෙද්දි දැන් ඉන්නවටත් වඩා ලස්සනට ඉඳියි. දේපළත් ගොඩක් එකතුවෙලා තියෙයි.

සිසිලි:
ඇල්ජි, ඔයාට බලා ඉන්න පුළුවන්ද මට වයස තිස් පහ වෙනකල්?

ඇල්ජර්නන්:
අපොයි පුළුවන් සිසිලි. ඔයා දන්නවනේ ඒ බව.

සිසිලි:
ඔව්, මං හොඳටම දන්නවා. ඒත් මට ඉන්න බෑනේ එච්චර කල් බලාගෙන. කවුරුවත් වෙනුවෙන් මට විනාඩි පහක්වත් බලාගෙන ඉන්න බෑ. එහෙම බලං ඉන්න ගියාම මට කේන්ති යනවා. මමත් වෙලාවට වැඩ කරන කෙනෙක් නෙවෙයි තමයි, ඒත් මං කැමතියි අනිත් අය වෙලාවට වැඩ කරනවනම්. ඉතිං මේ කසාද බඳින්න බලං ඉන්න වැඩේනම් මට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.

ඇල්ජර්නන්:
එහෙනං අපි මොකද කරන්නෙ සිසිලි?

සිසිලි:
මං දන්නෙ නෑ මොන්ක්‍රීෆ් මහත්මයා.

බ්‍රැක්නෙල් ආර්යාව:
වර්දිං මහත්මයා, මේ මිස් කාර්ඩිව් එයාට තිස් පහ වෙනකල් බලං ඉන්න බෑ කියලා කියන එකේ - මට පේනවා ඉවසිල්ල කියන දේ බොහොම අඩු ගෑනු ළමයෙක් බව! - තමුන්ගෙ තීරණේ ගැන ආයෙමත් සලකලා බැලුවොත් මොකද.

ජැක්:
ඒත් බ්‍රැක්නෙල් ආර්යාවනි, ඒ කාරණාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔබතුමියගේ අතේ. ඔබතුමිය මගෙයි ග්වෙන්ඩලින්ගෙයි කසාදෙට අනුමැතිය දීපු ගමන්ම, මමත් බොහොම සන්තෝසෙන් ඔබතුමියගේ බෑණාට මගේ භාරයේ ඉන්න මේ ගෑණු ළමයාව කසාද බඳින්න අනුමැතිය දෙන්නම්.

බ්‍රැක්නෙල් ආර්යාව:
[අසුනෙන් නැගී සිටිමින්] තමුන් ඉල්ලන දේ කොහෙත්ම සිද්ද වෙන්නෙ නැති බව තමුන් දන්නවනේ.

ජැක්:
එහෙනම් ඉතින් අපි හැමෝම ප්‍රේමණීය බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න පටන්ගන්න එක තමයි මට පේන එකම විසඳුම.

බ්‍රැක්නෙල් ආර්යාව:
මං කැමති නෑ ග්වෙන්ඩලින්ට ඒ වගේ ඉරණමක් අත් වෙනවට. ඇල්ජර්නන්ට තමුන් කැමති තීරණයක් ගන්න පුළුවන්. [ඔරලෝසුව පිටතට ගෙන වෙලාව බලයි.] මෙහෙ එන්න; [ග්වෙන්ඩලින් නැගිටියි] අපිට දැනටම කෝච්චි පහ හයක්ම මග ඇරිලා. තව කෝච්චි මග ඇරුනොත් එහෙම අපිට ස්ටේෂන් එකේ මිනිස්සුන්ගෙන් එක එක කයිකතන්දර අහගෙන අද රෑ එහෙම තමයි ඉන්න වෙන්නේ.


[චැසියුබල් පූජකවරයා පැමිණේ.]

චැසියුබල්:
බෞතීස්මෙට හැමදේම ලෑස්තියි.

බ්‍රැක්නෙල් ආර්යාව:
බෞතීස්මෙ! පූජකතුමනි, තාම ඒකට වේලාසන වැඩි නැද්ද? මේගොල්ලො තාම කසාද බැඳලවත් නෑනේ? ඔබතුමා මේගොල්ලන්ගෙ ළමයි බෞතීස්ම කරන්නත් ලෑස්තියි!

චැසියුබල්:
[ගැටළු සහගත මුහුණින් ජැක් හා ඇල්ජර්නන් වෙත අත දිගු කරයි]
ඒත් මෙන්න මේ මහත්තුරු දෙන්නටම ඉක්මනටම බෞතීස්ම වෙන්න ඕනෙ කියලා කිව්වනෙ. මේ අදම.

බ්‍රැක්නෙල් ආර්යාව:
මේ වයසෙදි? මහ විහිළුවක්නෙ. ඇල්ජර්නන්, මං තමුන්ට තහනම් කරනවා බෞතීස්ම වෙන එක. ඔහොම විකාරෙකට මට ඉඩ දෙන්න බෑ. තමුන් තමුන්ගෙ සල්ලියි කාලෙයි නාස්ති කරන්නේ ඔහොම දේවල් කරන්න කියලා දැනගත්තොත් බ්‍රැක්නෙල් උතුමානන් බොහොම දුක් වෙයි.

චැසියුබල්:
එතකොට අද කවුරුවත් බෞතීස්ම වෙන්නෙ නැද්ද?

ජැක්:
මේ සිද්ද වෙලා තියෙන දේවල් වල හැටියට එහෙම දෙයක් උවමනා වෙන්නෙ නැති වෙයි පූජකතුමනි.

චැසියුබල්:
ඔබෙන් එහෙම දෙයක් අහන්න වෙච්ච එක ගැන මට බොහොම කණගාටුයි වර්දිං මහත්මයා. ඔය ඇවිල්ලා අදේවවාදීන්ගේ මිථ්‍යාදෘෂ්ටික අදහස්. ඒවා කොච්චර වැරදිද කියලා මං මගේ තාමත් දේශනා කරපු නැති දේශන හතරකදිම ඔප්පු කරලා තියනවා. ඒත් මට පේනවා තමුන් මේ වෙලාවේ ඉන්නේ දේශනා වලට කන් දෙන්න පුළුවන් ආගමික මුහුණුවරකින් නෙවෙයි කියලා, ඒ නිසා මම දැන්මම ආපහු පල්ලියට යනවා. අනික දැන් පැය එකමාරක් තිස්සෙ මිස් ප්‍රිස්ම් මං එනකල් පල්ලියෙ බලං ඉන්නවා කියලත් පණිවිඩයක් ආවා.

බ්‍රැක්නෙල් ආර්යාව:
[තැතිගත් ලෙසින්]
මිස් ප්‍රිස්ම්! ඔබතුමා කිව්වෙ මිස් ප්‍රිස්ම් කියලද?

චැසියුබල්:
ඔව් බ්‍රැක්නෙල් ආර්යාවනි. මං මේ එයාව මුණගැහෙන්න යන ගමන්.

බ්‍රැක්නෙල් ආර්යාව:
පොඩ්ඩක් ඔහොම නතරවෙන්න පුළුවන්ද පූජකතුමනි. මේ කාරණාව බ්‍රැක්නෙල් උතුමාණන්ටයි මටයි බොහොම වැදගත්.
ඔය මිස් ප්‍රිස්ම් කියන්නෙ මහ අවලස්සන ගෑණු කෙනෙක් නේද? උගන්නනව උගන්නනව කිව්වට එවුන්දැට පුලුවන් ඉගැන්නිල්ලකුත් නෑ බලාගෙන ගියහම.
 
චැසියුබල්:
[කුපිත වූ ලෙසින්] එයා තමයි මේ ලෝකෙ ගෑනුන්ගෙන් නුවණක්කාරම කෙනා, එයා වැදගත්බවේ ප්‍රතිමූර්තියක්.

බ්‍රැක්නෙල් ආර්යාව:
ඔය කියන්නේ මං කියන එක්කෙනා ගැනම තමයි. ඒ ගෑනි ඔබතුමාගේ කවුද හැබෑටම?

චැසියුබල්:
[සැරපරුෂ හඬින්]
මං බ්‍රහ්මචාරියෙක් නෝනා.

ජැක්:
[මැදිහත් වෙමින්]
බ්‍රැක්නෙල් ආර්යාවනි, මිස් ප්‍රිස්ම් තමයි දැන් අවුරුදු තුනක් තිස්සේ මිස් කාර්ඩිව්ගේ පාලිකාව.

බ්‍රැක්නෙල් ආර්යාව:
මට දැම්මම එයාව හම්බවෙන්න ඕනෙ. වහාම එන්න කියන්න එයාට.

චැසියුබල්:
[ඈත බලමින්]
එයා එනවා; ඔය එන්නේ.

මිස් ප්‍රිස්ම්:
මට පණිවිඩයක් ආවා ඔබතුමා මං එනකල් පල්ලියෙ බලං ඉන්නවා කියලා පූජකතුමනි. මං දැන් පැය එකමාරකටත් වැඩිය එතනට වෙලා හිටියා. [තමා දෙස ඔරවාගෙන බලා සිටිනා බ්‍රැක්නෙල් ආර්යාව දකියි. සුදුමැලිව බියෙන් හැකිලෙන මිස් ප්‍රිස්ම් පැන දුවන්නට මෙන් වටපිට බලයි.]

බ්‍රැක්නෙල් ආර්යාව:
[දැඩි සැරපරුෂ හඬින්]
ප්‍රිස්ම්! [මිස් ප්‍රිස්ම් අපහසුතාවයට පත්වූ ලෙසින් හිස නවා ආචාර කරයි.] මෙහෙ එනවා ප්‍රිස්ම්! [මිස් ප්‍රිස්ම් යටහත් පහත් ලෙසින් ඈ ඉදිරියට පැමිණෙයි.] ප්‍රිස්ම්! කෝ අර දරුවා? [සියල්ලෝම තැතිගනිති. පූජකවරයා බියපත්ව පසුපසට යයි. ඇල්ජර්නන් හා ජැක් සිසිලි හා ග්වෙන්ඩලින් ලෝකාපවාදයක තොරතුරු කන වැකීමෙන් ආරක්ෂා කරගන්නට සූදානමින් බලා සිටිති.] අවුරුදු විසි අටකට කළින් ප්‍රිස්ම්, තමුන් අපර් ග්‍රොව්නර් වීදියේ නොම්බර 104 - බ්‍රැක්නෙල් උතුමාණන්ගේ ගෙදරින් පිටවුණේ පිරිමි දරුවෙක් හිටපු අත් කරත්තයක් තල්ලු කරගෙන. තමුන් ආපහු ආවෙ නෑ. සති ගාණකට පස්සෙ මහ රෑක පොලිසියෙන් හොයාගත්ත ඒ අත් කරත්තෙ, බේස්වෝටර් වල පාළු කෙළවරක අත් ඇරලා දාලා තියනවා. ඒකෙ තිබුණෙ වැදගැම්මකට නැති මළ සමයං පිරිච්ච වෙළුම් තුනේ නව කතාවක්. [මිස් ප්‍රිස්ම්ගේ මුවින් තැතිගත් රාවයක් පිට වේ.] ඒත් ඒකේ බබා හිටියෙ නෑ! [සියල්ලෝම මිස් ප්‍රිස්ම් දෙස බලා සිටිති.] ප්‍රිස්ම්; කෝ ඒ දරුවා? [නිහඬතාවයකි.]

මිස් ප්‍රිස්ම්:
බ්‍රැක්නෙල් ආර්යාවනි, මට කියන්න දුකයි, මං බබාට මොකද වුණේ කියලා කියන්න දන්නෙ නෑ. මට හරිම දුකයි ඒ ගැන. මේකයි සිද්ද වුණේ. ඔබතුමිය ඒ කියපු දවසෙ උදේ - ඒ දවස මට කවදාවත් අමතක වෙන්නෙ නෑ - මං පුරුදු විදිහට බබාව අත් කරත්තෙන් රවුමක් එක්ක යන්න ලෑස්ති වුණා. මං නිවාඩුපාඩුවේ හිටපු වෙලාවට ලියපු කතාවක අත්පිටපතකුත් අරං යන්න තිබ්බ නිසා මං පරණ ලොකු අත් බෑග් එකකුත් ලෑස්ති කරගත්තා. ඒත් මට කවදාවත් සමාව දීගන්න බැරි, මගේ සිහිවිකල් වෙලා තිබ්බ වෙලාවක, මං අත්පිටපත කරත්තෙන් තියලා බබාව අත් බෑග් එකේ දාලා.

ජැක්:
[දැඩි අවධානයකින් සවන් දී හිඳ] ඔයා කොහෙද ඒ අත් බෑග් එක තිබ්බේ?

මිස් ප්‍රිස්ම්:
ඒක මගෙන් අහන්න එපා වර්දිං මහත්මයා.

ජැක්:
මිස් ප්‍රිස්ම්, මේක සුළුපටු කාරණාවක් නෙවෙයි. මට දැනගන්නම ඕනේ තමුන් ඒ පොඩි දරුවා හිටපු අත් බෑග් එක කොහෙද තිබ්බෙ කියලා.

මිස් ප්‍රිස්ම්:
මං ඒක තිබ්බෙ ලන්ඩන් වල ලොකු ස්ටේෂමක කබා කාමරේ.

ජැක්:
මොන ස්ටේෂමේද?

මිස් ප්‍රිස්ම්:
[දැඩි කැළඹීමෙන් යුතුව] වික්ටෝරියා ස්ටේෂමේ. බ්‍රයිටන් කෝච්චි පාරේ. [අසුනක් මතට කඩා වැටේ.]

ජැක්:
මං පොඩ්ඩකට මගේ කාමරේට ගිහින් එන්නං ග්වෙන්ඩලින්. ඔහොම ඉන්න.

ග්වෙන්ඩලින්:
ඔයා ඉක්මණට එනවනම් මං මගේ මුළු ජීවිත කාලෙම වුණත් මෙතන බලා ඉන්නං.

[දැඩි කලබලයකින් ජැක් පිටව යයි.]

චැසියුබල්:
මොකද්ද මෙතන සිද්ද වෙන්නෙ බ්‍රැක්නෙල් ආර්යාවනි?

බ්‍රැක්නෙල් ආර්යාව:
මට හිතාගන්න අමාරුයි, පූජකතුමනි. ඉහළ පැලැන්තියේ පවුල් වල සාමාන්‍යයෙන් අහඹු සිදුවීම් සිද්ද වෙන්නෙ නෑ නේද? එහෙම දේවල් සිද්ද වෙන්න බෑ.

[බඩු මුට්ටු ඒ මේ අත විසි වන හඬක් ඉහළින් ඇසේ. සියල්ලෝම ඉහළ බලති.]


සිසිලි:
ජැක් මාමාට මොනවා වෙලාද මන්දා.

චැසියුබල්:
ඔයාගේ භාරකාර මහත්මයා බොහොම සංවේදී කෙනෙක්.

බ්‍රැක්නෙල් ආර්යාව:
කොහොමද මේ ගාලගෝට්ටිය අහං ඉන්නෙ. මේ මනුස්සයා කා එක්ක හරි රණ්ඩු වෙනවා කියලයි මට හිතෙන්නේ. මං කැමති නෑ ඔය රණ්ඩු සරුවල් වලට. හරිම අසෝබනයි.

චැසියුබල්:
[ඉහළ බලමින්] අන්න නැවතිලා. [ශබ්ධය දෙගුණ වී ඇසේ.]

බ්‍රැක්නෙල් ආර්යාව:
ඔය රණ්ඩුව ඉක්මනට සමාදාන වුනානම් හොඳයි.

ග්වෙන්ඩලින්:
මෙයා ගිහිං දැන් සෑහෙන්න වෙලානේ. ඉක්මනට ඕක ඉවර වුණොත් හොඳයි.

[කළු පැහැති අත් බෑගයක්ද රැගෙන ජැක් පැමිණෙයි.]

ජැක්:
[මිස් ප්‍රිස්ම් වෙත ඉක්මණින් දිව විත්] මේකද ඒ අත් බෑග් එක මිස් ප්‍රිස්ම්? උත්තරයක් දෙන්න කළින් හොඳට බලන්න. ඔයාගෙ උත්තරේ මත මෙතන ඉන්න කීප දෙනෙකුගෙම සතුට රඳා පවතිනවා.


අත් බෑගය පෙන්වා මිස් ප්‍රිස්ම්ගෙන් තොරතුරු විමසන ජැක් හා පුදුමයෙන් බලා සිටින අනෙක් පිරිස
මිස් ප්‍රිස්ම්:
[සන්සුන්ව] ඒක මගේ එක වගේ තමයි. ඔව්, මේ තියෙන්නේ ඒ දවස් වල ගෝවර් වීදියේ පොදු රථයේ ඉඳගෙන ගිය කාලේ මේක හීරිච්ච පාර. මේ තියෙන්නේ පැණි බීම බෝතලයක් පුපුරලා වැටිච්ච පැල්ලම - ඒක වුණේ ලීමිංටන් වලදි. මේ තියෙන්නේ අගුලේ කොටපු මගේ නමේ මුල අකුරු. ඒවා මෙතන කොටලා තිබ්බ බවත් මට අමතක වෙලයි තිබ්බෙ. බෑග් එක කිසිම සැකයක් නෑ, මගේ තමයි. මේක මෙහෙම හිතාගන්න බැරි වෙලාවකදි ආපහු හම්බවෙච්ච එක ගැන මට කියන්න බැරි තරම් සන්තෝසයි. මේක නැතුව මෙච්චර කල් මම හිටියෙ හරිම පාළුවෙන්.

ජැක්:
[අනුකම්පා උපදවන හඬකින්] මිස් ප්‍රිස්ම්, ඔයාට මේ අත් බෑග් එකට වඩා දෙයක් මේ වෙලාවෙදි හම්බ වුණා. මම තමයි ඔයා මේක ඇතුළේ දාපු බබා.

මිස් ප්‍රිස්ම්:
[දැඩි විමතියෙන්] ඈ?

ජැක්:
[ඇයව වැළඳගනිමින්]
ඔව්...අම්මේ!

මිස් ප්‍රිස්ම්:
[කෝපය මිශ්‍ර මවිතයකින් හැකිළෙමින්]
වර්දිං මහත්මයා! මම කසාද බැඳලා නෑ!

ජැක්:
කසාද බැඳලා නෑ! ඒකට මොකද. අනික මෙච්චර කල් දුක් විඳපු කෙනෙකුට විරුද්ධව කවුරුවත් මොනවත් කියන්නෙ කොහොමද? ඒ අවුරුදු ගාණක දුක හින්දා එක සැරයක් වෙච්ච අත්වැරැද්ද මකලා දාන්න බැරිද? පිරිමින්ට එක නීතියකුයි, ගෑනුන්ට තව නීතියකුයි තියෙන්නෙ ඇයි? අම්මේ, මං අම්මට සමාව දෙනවා. [යළිත් ඈ වැළඳගැනීමට උත්සාහ කරයි.]

මිස් ප්‍රිස්ම්:
[කුපිත වූ ස්වරයෙන්ම] වර්දිං මහත්මයා, මෙතන පොඩි වැරදීමක් වෙලා. [බ්‍රැක්නෙල් ආර්යාව වෙත අත දිගු කරමින්] ඔබතුමා කවුද කියලා හරියටම දන්නෙ අන්න අර නෝනා තමයි.

ජැක්:
[මද නිහඬතාවයකට පසු] බ්‍රැක්නෙල් ආර්යාවනි, මං කැමති නෑ වැඩිය ඕපදූප හොයන්න, ඒත් අනේ කරුණාකරලා කියන්න පුළුවන්ද මං කවුද කියලා?

බ්‍රැක්නෙල් ආර්යාව:
මං මේ කියන්න යන දේනම් තමුන්ගෙ සතුටට හේතු වෙයිද කියන්න මං දන්නෙ නෑ. තමුන් මගේ අසරණ සහෝදරී මොන්ක්‍රීෆ් ආර්යාවගේ වැඩිමල් පුතා, ඒ කියන්නේ මේ ඇල්ජර්නන්ගේ අයියා.

ජැක්:
ඇල්ජිගෙ අයියා! ඒ කියන්නේ මට සහෝදරයෙක් ඉන්නවා! මං දැනගෙන හිටියා
මට මල්ලි කෙනෙක් ඉන්නවා කියලා! මං හැමතිස්සෙම කිව්වෙ ඒකනෙ මට මල්ලි කෙනෙක් ඉන්නවා කියලා. සිසිලි -- ඔයා කොහොමද මොහොතකටවත් සැක කළේ මට මල්ලි කෙනෙක් ඇත්තටම ඉන්නවද නැද්ද කියලා? [ඇල්ජර්නන්ගේ අතින් ඇදගෙන වේදිකාව වටා යයි] චැසියුබල් පූජකතුමනි, මේ මගෙ අවාසනාවන්ත මල්ලි. මිස් ප්‍රිස්ම්, මේ ඉන්නෙ මගේ අවාසනාවන්ත මල්ලි. ග්වෙන්ඩලින්, මේ ඉන්නෙ - මේ ඉන්නෙ ඒ මං කියපු මගෙ අවාසනාවන්ත මල්ලි. ඇල්ජි, තක්කඩියෝ, තමුසෙට මින්පස්සෙ මට ගරුසරු ඇතුව සළකන්න වෙයි, තේරුණාද? තමුසෙ මීට කළින් කවදාවත් මට අයියා කෙනෙකුට වගේ සලකලා නෑ.

ඇල්ජර්නන්:
අද වෙනකල් නෑ තමයි. ඒත් අද දවසෙදි මං පුළුවන් උපරිමෙන් එහෙම හැසිරෙන්න උත්සාහ කළානේ, ඒ ගැන ඒ හැටි පළපුරුද්දක් නැතත්.

[ජැක් හා ඇල්ජර්නන් අතට අත දී වැළඳගනියි.]

ග්වෙන්ඩලින්:
[ජැක් අමතා] මගෙ වස්තුව! ඒත් ඔයා කවුද? ඔයාගෙ නම මොකද්ද, දැන් ඔයා සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්නේ.

ජැක්:
හප්පා!... මට ඒ ගැන අමතකම වෙලා ගියා. මගේ නම ගැන ඔයාගෙ තීරණේ වෙනසක් නැද්ද ඒ කියන්නෙ?

ග්වෙන්ඩලින්:
ආදරේදි ඇරෙන්න වෙන කිසිම දේකදි මං වෙනස් වෙන්නෙ නෑ.

සිසිලි:
ඔයා කොයිතරම් උදාර කෙනෙක්ද ග්වෙන්ඩලින්!

ජැක්:
එහෙනම් මේක ඉක්මනටම බේරුමක් කරගන්න එක හොඳයි. ඔගස්ටා නැන්දේ, මිස් ප්‍රිස්ම් මාව අත් බෑග් එකේ දාපු කාලෙ වෙද්දි මං බෞතීස්ම වෙලා හිටියද?

බ්‍රැක්නෙල් ආර්යාව:
සල්ලි වලට ගන්න පුළුවන් හැමදේම, බෞතීස්මෙත් ඇතුළුව, තමුන්ගෙ අම්මා තාත්තා තමුන් වෙනුවෙන් කරලයි තිබුණේ.

ජැක්:
ඒ කියන්නෙ මං බෞතීස්ම වෙලා! යන්තං ඒක ඉවරයි එහෙනං. හරි, එතකොට මට දාපු නම මොකද්ද? ලෝකෙ තියෙන ජරාම නම වුණත් කමක් නෑ, මොකද්ද මට දාලා තිබ්බ නම?

බ්‍රැක්නෙල් ආර්යාව:
පවුලෙ වැඩිමලා වෙච්ච හින්දා තමුන්ව
බෞතීස්ම කරලා තිබුණෙ තමුන්ගෙ තාත්තගෙ නමින්.

ජැක්:
[නොඉවසිල්ලෙන්] හරි, ඒත් මොකද්ද මගෙ තාත්තගෙ නම?

බ්‍රැක්නෙල් ආර්යාව:
[කල්පනාභරිතව] මට මේ වෙලාවේ ජෙනරාල්ගේ නම මතකෙට එන්නෙ නෑ. ඒත් එයාට මොකක් හරි නමක් තිබ්බ බවනං මතකයි. ඒ මනුස්සයට ඩිංගක් ඔළුව හොඳ නැහැ. හැබැයි එහෙම වුණේ අන්තිම කාලෙදි. ඔය ඉන්දියාවෙ දේශගුණේ, කසාදේ, අජීරණේ වගේ ඒවා තමයි ඉතිං ඒකට හේතු වුණේ.

ජැක්:
ඇල්ජි! තමුසෙට මතකද තාත්තගෙ නම?

ඇල්ජර්නන්:
මං තාත්තා එක්ක කතා කරලවත් නෑනේ. තාත්තා මැරෙද්දි මගෙ වයස අවුරුද්දක්වත් නෑ.

ජැක්:
තාත්තගෙ නම ඒ කාලෙ හමුදා නාමාවලි වල ඇති නේද ඔගස්ටා නැන්දේ.

බ්‍රැක්නෙල් ආර්යාව:
ජෙනරාල්නං එයාගෙ ගෙදරදි ඇරෙන්න අනිත් හැම තැනකදිම බොහොම සාමදානෙට කැමති කෙනෙක්. ඒත් එයාගෙ නමනං ඔය හමුදා නාමාවලියක නැති වෙන්න බෑ.

ජැක්:
පහුගිය අවුරුදු හතළිහක හමුදා නාමාවලි මෙහෙ තියෙනවා. අපරාදෙ, මං ඒවා දිහා ඒ හැටි බැලුවෙවත් නෑ. [පොත් රාක්කය වෙත ඉක්මණින් ගොස් පොතක් පිටතට ඇද ගනියි.] එම් අකුර... ජෙනරාල්වරු... මැලම්, මැක්ස්බෝම්, මැග්ලී - මහ පුදුම නම්නේ මේවා - මාර්ක්බි, මිග්ස්බි, මොබ්ස්, මොන්ක්‍රීෆ්! ලුතිනන් 1840, කපිතාන්, ලුතිනන්-කර්නල්, කර්නල්,
ජෙනරාල් 1869, නම් - අර්නස්ට් ජෝන්. [ඉතාමත් සෙමින් පොත පහත් කර ඉතාමත් සන්සුන් හඬින් කතා කරයි.] ග්වෙන්ඩලින්, මං කිව්වෙ මගේ නම අර්නස්ට් තමයි කියලා, නේද? ඉතිං මේ, මගේ නම අර්නස්ට් තමයි. ඇත්තටම අර්නස්ට්.

බ්‍රැක්නෙල් ආර්යාව:
ඔව්, මට දැන් මතක් වුණා, ජෙනරාල්ගෙ නම අර්නස්ට් තමයි. මට හිතුණා මං ඔය නමට ඔය හැටි අකමැති වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනෙ තමයි කියලා.

ග්වෙන්ඩලින්:
අර්නස්ට්! මගේ රත්තරන් අර්නස්ට්! මුළ ඉඳන්ම මම දැනගෙන හිටියා ඔයාට වෙන නමක් තියෙන්න බෑ කියලා.

ජැක්:
ග්වෙන්ඩලින්, මනුස්සයෙක් තමුන්ගෙ මුළු ජීවිත කාලෙ පුරාම කිසිම බොරුවක් කියලා නෑ, හැමදාම කියලා තියෙන්නේ ඇත්තම ඇත්ත විතරයි කියලා දැනගත්තාම ඒ මනුස්සයාට මොනවා හිතෙනවා ඇති කියලද ඔයාට හිතෙන්නේ? ඔයා මට සමාව දෙනවා නේද?

ග්වෙන්ඩලින්:
මං සමාව දෙනවා. ඔයා වෙනස් වෙයි කියලා මට හොඳටම විශ්වාසයි.

ජැක්:
මගෙ වස්තුව!

චැසියුබල්:
[මිස් ප්‍රිස්ම් වෙත] ලැටීශියා! [ඈ
වැළඳගනියි]

මිස් ප්‍රිස්ම්:
[මහත් උද්‍යෝගයෙන්] ෆ්‍රෙඩ්‍රික්! ඇති යාන්තං!

ඇල්ජර්නන්:
සිසිලි! [ඈ වැළඳගනියි] ඇති යාන්තං!

ජැක්:
ග්වෙන්ඩලින්! [ඈ වැළඳගනියි] ඇති යාන්තං!

බ්‍රැක්නෙල් ආර්යාව:
බෑණෝ, මොකද ඔය හැටි බොළඳ විදිහට හැසිරෙන්නේ.

ජැක්: 

ඔගස්ටා නැන්දේ, මට ජීවිතේ පළවෙනි වතාවට අද තේරුණා අර්නස්ට් කියන නම විතරක් නෙවෙයි, ඒ නමේ හැටියට වැඩ කරන එකත් කොච්චර වටිනවද කියලා. 


තිරය වැසේ.

සමාප්තයි.


ප. ලි. - කාටහරි ඔරිමජිනල් එකත් කියවන්න ආසනම් මෙන්න තියෙනවා. එතන තව නිධන් මහ ගොඩක් තියෙන නිධන් ආකරයක්.  :)




25 comments:

  1. මේක නම් උපරිමෙන්ම රස වින්දා සිත්තමියො.. ඔයා බොහොම හොඳට පරිවර්තනය කරලා තිබේ, අවස්ථාවන්ට හරියන චිත්ත රූප මැවෙන විදියට.. අර පින්තූර දාපු එකත් නියම වැඩක්.. මනුස්සයා මොන වගේ පෙනුමක් තියෙන කෙනෙක් ද කියලා අපට ඒකෙන් හොඳට පැහැදිලි වෙනවා (අර පැරැණි තාලෙ ඇඳුම් පැළැඳුමුත් එක්කම).. Thumbs Up!

    පොඩි නිවැරැදි කිරීමක්-

    Grosvenor = මේක කියන්නෙ 'ග්‍රෝව්නර්' කියලා, 'ග්‍රෝස්වෙනර්' නෙවෙයි

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අයියණ්ඩි! මේක පරිවර්තනය කරලා ඔයාලට රසවිඳින්න දෙන අතරෙම මමත් ගොඩාක් දේවල් ඉගෙනගත්තා. මම මේ කතාව රසවින්ද තරමටම ඔයාලටත් මේ පරිවර්තනය රසවිඳින්න පුළුවන් වුණානම් මට හරි සතුටුයි. :)

      පින්තූරනම් ඔක්කොම ඉන්ටනැට් එකෙන් තමයි. 1992, 2002 අවුරුදුවලදි හදපු චිත්‍රපට දෙකම සම්පූර්ණයෙන්ම යූබටේ තියෙනවා. මේක පරිවර්තනය කරලා ඉවරවෙලා මම ඒ දෙකත් බැලුවා. ඔයාලටත් වෙලාවක් ලැබුණොත් බලන්න. 1992 ගොඩක් දුරට දෙබස් පවා නාට්‍ය පිටපතට සමානයි, පසුබ්මි, කතාවේ ගලායාම සමානයි. නාට්‍ය පිටපතේ නැති එක තැනක් විතරක් චිත්‍රපටයේ තිබුණා. 2002 චිත්‍රපටයනම් ගොඩක් වෙනස්.

      වැරැද්ද පෙන්නලා දුන්නාට ගොඩාක් ස්තූතියි. ඔන්න ඒකත් හැදුවා. :)

      Delete
  2. ප්‍රීතියි සිත්තමි අක්කේ ප්‍රීතියි.සතුටුදායක අවසානයක්.මම කියවපු පළමු නට්‍ය පිටපත උපරිමයෙන් රස විදින්න අවස්ථාව ලබා දුන්න සිත්තමි අක්කාට ගොඩක් ස්තුතියි.
    මේ පින්තර දාපු එකත් බුරාන්තිනෝ කිව්වා වගේ හරිම ෂෝක්.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි මල්ලි. අර ජැක් ඇල්ජි අයියා මලෝ දෙන්නා පොඩි කාලේ ඉඳන් එක ගෙදර හිටියානං කොහොම වෙයිද කියලා මං මේ තාම කල්පනා කරන්නේ. :D

      ජාලෙ පීරලා හෙව්වාම පින්තූර තිබ්බ හින්දා හොඳට ගියා. නැත්තං ඉතිං මං කොහෙන් පින්තූර හොයලා දෙන්නද. :)

      Delete
  3. හරි අපූරුයි සිත්තමි, පින්තූර නිසා මම මුල ඉදලම ආසවෙන් බැලුවේ..ඔයාගේ වෙලාව වැය කරලා මේ වගේ පරිවර්ථන අපිට ගෙන එකට ඔයාට ස්තුතියි ගොඩක්...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි හීන දකින්නි. වෙලාව වැය වුණාට කිසිම දුකක් දැනෙන්නේ නැති මේ වගේ සුන්දර අපූරු නිර්මාණ මං ඔයාලත් එක්ක බෙදාගන්නේ හරිම සතුටින්. :)

      Delete
  4. නියමයි ඈ....පරිවර්තනය නම් මල් හතට ඇවිල්ල තියනව. අති විශිෂ්ඨයි.මේ ඇත්තමයි.

    ඔරිජිනල් කතාවෙ අර My Own! කෑල්ල මගෙ හිතට වැදුන බොහොම තදට. අද මේ දැන් පැය දෙහෙකට වගෙ ඉස්සර අපෙ උන්දැ එක්ක මම කතා කලේ මෙහෙමයි

    " Hello My Own "

    "මොකක් කිව්ව? මයි ඕන්? ඒ මොකක්ද ඒ පාර අමුතු කෑල්ලක් අල්ලගෙන.."

    "ඒක මේ ඔස්කා වයිල්ඩ්ගෙ නාට්‍යයක එන වචනයක්. දැඩි ආදරේ ප්‍රකාශ කරන්ටයි එහෙම කියන්නෙ."

    "දැඩි ආදරේ ප්‍රකාශ කරන්ට ඔයිට වඩා අපූරු ක්‍රමයක් මම කියන්ටද? මෙන්න ටෙලිෆෝන් ලයිට් වතුර බිල් ඇවිල්ල තියනව. ඒ ටික ගෙවල දාන්ටකො. දැඩි ආදරේ ප්‍රකාශ කරන්ට මම හිතන්නෙ ඒක වඩා සුදුසු ක්‍රමයක්."

    ඔන්න ඉතිං දැක්කනේ? කාටද මෙව්ව කියන්නෙ….

    ReplyDelete
    Replies
    1. ඕකනෙ කියන්නෙ.. උඹට තේරෙන්නෙ නෑ ඒ උත්තමාවියගෙ අගේ.. ඒ වගේ කාලානුරූපව හැඩගැහෙන, යුගයට ගැලපෙන්ට ජීවත්වෙන අංගනාවියකගෙ සුවාමි පුරුෂයා වශයෙන් බොලා ආඩම්බර වෙන්ට ඕන..

      දැන් බලහන්, ඔස්කා වයිල්ඩ්ගෙ කාලෙ තිබුන ද ටැලිපෝන්, ලැයිට්, එතකොට ටැප් වතුර එහෙම ඔය වගේ ගම් පලාත්වල.. ඉතින් කොහොමද එවුවට බිල් එන්නෙ.. ඒකයි බුවා ඔය ආදරේ ප්‍රකාශ කොරන්ට 'මයි ඕන්' වගේ වචනයක් පාවිච්චි කරන්නෙ.. ඒ වුනත් මේ විසිඑක්වෙනි සියවසේ දීත් එහෙමම ආදරේ ප්‍රකාශ කොරන්ට ඕනැයි කියලා ඔස්කාගෙ මොන පොතේද කියලා තියෙන්නෙ? යුගයට අනුව ජීවත් වෙයන් බං, යුගයට අනුව ජීවත් වෙයන්.. :-P

      Delete
    2. තැන්ක් යූ, තැන්ක් යූ වෙරි මච් රවි අයියේ. මේකේ මට නුහුරු යෙදුම් හරි තේරුමත්, වයිල්ඩ්ගේ හාස්‍යයත් එන්න පරිවර්තනය කරගන්න අයියගෙන් ලොකු උදව්වක් ලැබුණා. මේ ස්තූතිය මේ ඇගයීමටත්, ඒ උදව්වටත් දෙකටමයි. :)

      අන්න ඒකනෙ බූරො අයියේ, රවි අයියට අමතක වෙලා මේ කතාන්දරේ ලියවිලා තියෙන්නේ සත වර්සෙකටත් උඩදී කියලා. :D

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. Why did you remove your comment? Anyway, thanks for your appreciation. And I warmly welcome you to my blog! :)

      Delete
  6. නියමයි අක්කෙ සුපිරියි.. ඔක්කොම ටික එකදිගට කියෙව්වා. සෑහෙන කාලෙකිං දෙයක් කියවලා ඇතිවෙන්න හිනා වුනා. ස්තූතිය !

    ReplyDelete
  7. පළමු කොටසේ මැදක් වෙනකල් විතරයි කියෙව්වේ...මේ දවස් වල බොහොම කලබලයි...ඒ නිසා...කතන්දරය මා කියවූ කොටස හරිම රසවත්...ඒ හන්ද නිවාඩුව මුල සිට අගටම කියවන්න ඕනේ සිත්තමි...

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ පොකුරු, ඉඩක් ලැබුණ වෙලාවක හෙමීට ඔක්කොම කියවන්නකෝ. ස්තූතියි මේ කමෙන්ටුවටත්. :)

      Delete
  8. මේ අක්කේ ඔයාගේ පොත හොයා ගන්න ඊයේ අසර්ථක උත්සහයක් ගත්තා.කොහෙන්ද අෆ්පා එක හොයාගන්ට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. සරසවි බුක්ෂොප්ස් වල ඇති මල්ලි, ගිය සතියේ නුගේගොඩ සරසවියෙ තියෙනවා මම දැක්කා.

      Delete
    2. මනෝජ්,

      ඔය පොත ඇති බං ඕන හැටිය. මේ ලෝකෙ යකෙක් ඕක ගන්නෙ නෑ.මම ගියානෙ නුවර සරසවි එකට. මෙහෙමයි එතන වෙච්චි සීන් එක.

      ***********************

      1 ජවනිකාව - මහනුවර සිටි සෙන්ටර් සරසවි පොත්හල.

      පාත්‍ර වර්ගයා -

      1. ගරු කටයුතු රවී මහතා

      2. පොත්හලේ වෙළඳ සේවකයෙක්,

      ***********************

      ගරු කටයුතු රවී මහතා - (පොත්හලට ඇතුලුවෙමින් බොහෝ ගාම්බීර කටහඬකින් වහා ඉදිරියට පැමිනෙන වෙලඳ සේවකයා අමතයි.) "මේ..අර...මතකයේ ඇඳුණු පියසටහන් පොත තියනවද?"

      වෙලඳ සේවක - ( පුදුමයෙන් මෙන් දෑස් විදහාගෙන මඳ වේලාවක් බලා සිට ) " සර් ආයම කියන්න බලන්න මොකක්ද කිව්වෙ කියල?"

      ග.ක. ර.ම. - " ඇයි හලෝ කං ඇහෙන්නෙ නැද්ද? මම ඇහුවෙ මතකයේ රැඳුනු පිය සටහන් පොත තියනවද කියල"

      වෙ.සේ. - " සර් මේ අර වනේ රැඳුනු පිය සටහන් එහෙම නෙවෙයි නේද?

      ග.ක. ර.ම.- " පිස්සුද අයිසෙ? ඒ පොත මා ගාව තියනව. කහඳගමගේ මහත්තයගෙ පොතනෙ. ඒක නෙවෙයි මම අහන්නෙ. මතකයේ රැඳුනු පිය සටහන් "

      වෙ.සේ. - " සර් කිව්වට විස්වාස කරයිද මන්දා. අද මගේ ජීවිතේ අමතක නොවන දවසක්. මේ අවස්තාව සෙලිබ්‍රේට් කරන්ට අපි සෙල්පියක් ගමු.කමක් නෑ නේද? "

      ග.ක. ර.ම.- "ආ..ඒකටනම් මක් වෙනවද? මොකෝ සෙල්පියක් ගත්තය කියල මගෙ කෑල්ලක් අඩු වෙනවය?...හෙහ්,හෙහ්"

      වෙ.සේ.- " අනේ සර් තෑන්ක් යූ, තෑන්ක් යූ, තෑන්ක් යූ " ( සෙල්පි කොක්ක ගෙනවිත් පෝං එක එහි අමුනා සෙල්පියක් ගනියි. )

      ග.ක.ර.ම. - "හරි දැන් ඔහෙගෙ මනදොල සපිරුනානෙ. සෙල්පිය ගත්තනෙ. දැන් කියනව බලන්ට මොකක්ද මෙහෙම මේ සෙල්පි නාඩගමක් නටන්ට හේතුව? "

      වෙ.සේ.- "දැං ඔය සර් ඉල්ලපු පොත තියනව නේද?"

      ග.ක.ර.ම - "තියනවද? තවම ඔහේ ඒක තියනවද කියල කිව්වෙ නෑනෙ. අර සෙල්පි කොක්කක් දිග ඇරගෙන ජවුසමක් නැටුව මිසක. "

      වෙ.සේ - " නෑ..නෑ..සර් බය වෙන්ට එපා ඔය පොත් විස්සයි මුලින්ම ආවෙ. දැන් අවුරුද්දක් වගෙ කිට්ටුවෙන්ට ආව. අපරාදෙ කියන්ට බෑ ඇස් වහක් කටවහක් නෑ. ඒ පොත ලියපු මිසීට රතනත්තරේ පිහිටයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්සාවයි.එක පොතක්වත් විකුණුනේ නෑ. "

      ග.ක. ර.ම. - " නෑහ්? "

      වෙ.සේ - "නෑහ් නෙවෙයි සර් ඕව්හ්. විකුනුනේම නෑ කියන්ටත් බෑ ඇත්තම කිව්වොත් දෙකක් විකිනුනා. හැබැයි පහුවදාම ඒ අරං ගිය ඈයො පොත් දෙක ගෙනල්ල දීල වෙන පොත්වලට මාරු කරගත්ත."

      ග.ක. ර.ම. -"හපොයි.."

      වෙ.සේ - "ඒකනෙ කියන්නෙ...දැන් සර් මොකටද ඔය පොත ගැන ඇහුවෙ? "

      ග.ක. ර.ම. - "පොතක් ගැන අහන්නෙ ආය වෙන අහවල් බිබික්කමකටද යෝදයො... පොත ගන්ට මිසක."

      වෙ.සේ - "හප්පේ ඔය ඇත්තමද සර් අපේ මැනේජර් මහත්තය හිටියනම් ඉහේ මල් පොකුරක් පිපුන වගෙ තියෙයි" ( දුක්මුසු මුහුනින් )" ඒත් ඒ මහත්තය අද කොළඹ ගියානෙ සර්. ඉන්ටකො මම මහත්තයට කෝල් එකක් දාල විස්තරේ කියන්ට" ( දුරකථනය වෙත ගොස් ඇමතුමක් ගනී.බොහෝ ප්‍රීතියෙන් සිනාසෙමින් මිනිත්තු තුන හතරක් පමණ කථාකරමින් සිට ආපසු එයි.)

      වෙ.සේ - "හප්පා බොහොම සන්තෝස වුනා. අපේ මුලු ස්ටාෆ් එකටම සර් එක්ක ඉඳල ගෲප් ෆොටෝ එකක් ගන්ටත් කිව්ව. සර්ගෙ අතේ අර සර් ගන්නවයි කියපු මතකයේ රැඳුනු පිය සටහන් පොත කැමරාවට හොඳට පේන්ට ඒ පැත්තට හරවල අල්ලගෙන ඉන්ට ඕන කියලත් කිව්ව. හැබැයි සර් තව එක ප්‍රශ්නයකුත් නම් තියනව."

      ග.ක. ර.ම. - " ඒ මොකක්ද ඒ පාර? "

      වෙ.සේ - " මම අපේ ලෝයර් මහත්තයට කෝල් කරන්නං. සර් පොරොන්දු පත්‍රයක් අත්සන් කරන්න ඕන මේ පොත ආපහු ගෙනල්ල වෙන පොතක් ඉල්ලන්නෙ නෑ කියල."

      Delete
    3. ආ, දැන් ඔය ගත්තය කිව්ව ෆොටෝ එක මටත් එව්වනං රාමු කරලා බිත්තියේ ගහලා උදේ හවස දුං අල්ලන්ඩ. අපරාදෙ කියන්ඩ බෑ හැබැයි, නාට්‍ය පෝස්ට් එකකට කමෙන්ට් එකත් නාට්‍යයකින්ම ලියලා තියෙනවා. :P

      Delete
    4. ගරු කටයුතු රවී මහතා,

      ගැත්තාට සමාවෙන්ට ඕනේ එහෙනම් දෙහිවල සරසවියේත් මේ කියන පියසටහන් නැත්තේ කාවෝ කලා වෙන්ට ඇති.නැතිනම් නැති වෙන්න විදිහක් නැහැ නොව.:D

      Delete
    5. Manoj,

      ඔතන හැබැයි මෙහෙම දේකුත් වෙනව.අර ස්වේච්ඡා ව්‍යාපාරයක් තියනවනෙ සිංහල පාඨකයා පොත් කියවීමට යොමු කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරපු. එයාල කරන්නෙ පාඨකයින්ට කියවීම එපා කරවන අවර ගණයේ කෘති තොග පිටින් මිලදීගෙන වෙළඳපොලින් ඉවත් කිරීම.

      දෙහිවල වෙලා ඇත්තෙ සම් ටයිම්ස් මෝස්ට් ප්‍රොබබ්ලි සම්තිං ලයික් දැට්. ඔබ්වියස්ලි අයි කාන්ට් සේ විත් එනි සර්ටන්ටි බට් මේ බී දැට්ස් ද කේස්...හෙහ්,හෙහ්,

      Delete
    6. අයියෙ මේ, ග. ක. ර. ම. කිව්වහම නිකං එකපාරටම හිතෙන්නේ ගොරකා යකාගේ නෑදෑයෙක් කියලනේ. නැද්ද වෙන ලස්සන නමක් මේ ස්ක්‍රිප්ට් එකට දාගන්ඩ?

      Delete
  9. මම බලන්නම්.ඊයේ බුක් ෆෙයාර් එකේදී පොතේ නම කියලා සරසවි එකෙන් ඇහුවා.පරිවර්තනයක් කියලා.කවුද ඇහුවා පරිවර්තිකාව.මම කිව්වා එයා නිර්නාමිකයි කියලා හිටං.

    ReplyDelete
    Replies
    1. බූක් ෆෙයාර් එකේදි මමනම් ලොකු ලොකු පොත් සාප්පු වල ස්ටෝල් වලට ගියෙම නෑ. ඇයි අප්පා, සාප්පුවෙන් දෙන ඩිස්කවුන්ට් එකටම පොත් ගන්න ආයෙ ඕක ඇතුළෙ තෙරපෙන්න ඕනෙයැ.

      නුගේගොඩ සරසවියෙ මම ගිය සුමානෙ ගියා, සරසවි පොත් සහ අනිත් පොත් ඔක්කොටෝම 20% වට්ටම් දුන්නා.
      ගුණසේන පොත් සාප්පුවල ගුණසේන ප්‍රකාශන 25%, අනිත් ප්‍රකාශන 15%, ඉංග්‍රීසි පොත් 20%, ලිපි ද්‍රව්‍ය 10%.
      මරදාන ගොඩගේ එකේ අවුරුද්ද පුරාම ගොඩගේ ප්‍රකාශන වලට 30% වට්ටම් තියෙනවා.

      පොතේ මගේ හැබෑ නම තියෙනවා මලයෝ. ඉස්සරහා කවරෙ දාලා නෑ, මම එපා කියලා නෙවෙයි, සරසවියෙන්ම දාලා නෑ, ඒකයි. පිටිපස්සෙ කවරේ නම තියෙනවා. :)

      Delete
    2. මල්ලි, ඒක මේ වෙලාවේ නුගේගොඩ සරසවියෙ නෑලු, මහරගම තියෙනවලු. සරසවි සයිට් එකේ චැට් එකෙන් මම අහලා බැලුවේ.

      Delete