197. අරුම පුදුම මැජික් කැටය...

වර්ණ මුහුණත් මිශ්‍ර වූ රූබික් ඝනකයක්

Rubik's Cube. මේ අරුම පුදුම මැජික් කැටේ ගැන අහලා දැකලා නැති කිසිම කෙනෙක් නැතුව ඇති මං හිතන්නේ. මේක ත්‍රිමාණ ප්‍රෙහෙළිකාවක්. පැති හයේ පාට හයක් තියෙන, මුහුණත් හය හැම පැත්තටම කරකවන්න පුළුවන් ඝනකයක්. සීත්තමීලාගේ ගෙදරත් ඔයින් එකක් තිබ්බා ඉස්සර ඉඳන්. අයිතිකාරයා ඉතින් අයියා තමා. ඕක අරගෙන එහෙටයි මෙහෙටයි කරකවකව ඉන්නවා මිසක් අයියාවත් ඕකේ පැති දෙකකට වඩා එක සැරේ හදලා තියෙන බවක් සිත්තමීට මතක නෑ. ඉතින් කට්ටිය ටික ටික ලොකු වෙද්දී ඕකත් මේ සම්මජ්ජාතියෙදි හදාගන්න බැරි කැඩිච්ච බඩුගොඩත් එක්ක කොහෙටහරි වෙලා අන්තරස්දාන වෙලා අමතක වෙලා ගියා.

ඔන්න අවුරුදු ගාණකට පස්සේ සිත්තමීගේ සිත්තර පැංචාට සෙල්ලම්බඩු සාප්පු සවාරි යන කාලේ උදාවුණා. සෙල්ලම්කාර්, පාට පාට බෝල අනංමනං බඩු ගොඩක් මැද්දේ රාක්කෙක අඩුක්කරලා තිබ්බ සුට්ටං පෙට්ටියක් සිත්තර පැංචාට ඕන වුණා. ඒ අර මැජික් කැටයක්. ගෙදර කළින් තිබ්බ එකට වඩා පොඩි, සිත්තර පැංචාගේ සුට්ටි අත් දෙකට සෝයි එකට අල්ලගන්න පුළුවන් සුට්ටි කැටයක්. ඉතින් ඕක අරන් දුන්නා. ගෙනල්ලා දවස් දෙකයි, ඕක පොළොවේ ගහලා කෑලි ටික හතර අතට විසිවෙලා ගියා. මෙන්න වදේ මේක ඇතුළේ ඉස්කුරුප්පු ඇණ! ඒ වෙලාවෙදි තමයි සිත්තමීට ඔය මැජික් කැටේ ගලවලා බලන්ඩ ඕනැය කියන අදහස මුළින්ම පහළවුණේ. ඒත් ඉතිං මේ කෑලි ගැලවෙන එක පොඩ්ඩාට ආයෙ අහුවෙන්න තියන්න හොඳ නැති හින්දා අහුවෙච්ච විදිහට කෑලි ටික ආයෙ හයි කරලා උඩකින් අරංතියලා තිබ්බා. ඉතිං ඒකත් එහෙමම අමතක වෙලා ගියා.

ඊටපස්සෙ මේ ළඟදි, සිත්තමී දැක්කා නියම වීඩියෝ එකක්. සිත්තමී දන්න මල්ලියෙක් - පිස්සු හටනක්, හැබැයි නියම මොළකාරයෙක් - මේ මැජික් කැටේ ප්‍රෙහෙළිකාව විසඳනවා විනාඩියයි තත්පර විසිගාණකින්. මේක හැබෑවටම විසඳන්න පුළුවන් එකක්ය, පොඩි එවුන්ව මැජික් පෙන්නලා රවට්ටන්න හදපු ප්‍රෝඩාවක් නෙවෙයිය කියලා සිත්තමීට මුළින්ම තේරුණේ අන්න ඒ වීඩියෝ එක දැක්කාට පස්සේ. ඉතින් සිත්තමීත් බැස්සා වැඩට. රෑ තිස්සේ ඉන්ටනැට් එක පීර පීර හෙව්වා මේක හදන විදිහ. මෙන්න හම්බවුණා පියවරෙන් පියවර, මෙහෙම තිබ්බොත් මෙහෙමයි, මෙහෙම තිබ්බොත් මෙහෙමයි, මුළින්ම හදන්න ඕනෙ මෙහෙමයි, පාඩම් මාලාවක්ම තියෙනවා. සිත්තමී ගත්තා ඉතිං අර හංගලා තිබ්බ මැජික් කැටේ. ඒ කියලා දීලා තිබ්බ විදිහට හදන්න ගත්තා. ඔන්න හැදීගෙන හැදීගෙන එනවා, සිත්තමීට හරිම ජොලි. අන්තිමට මෙන්න කෑලි දෙකක් විතරක් ඉතුරුවෙනවා, මක් කරලාවත් ගොඩදාගන්න බෑ. ඒක හදාගන්න ගියාම අර අනිත් ඔක්කොම ආයෙ අවුල් වෙනවා. එදා වැඩේ අත ඇරලා දැම්මා. හැබැයි කොහොමහරි මේක හදාගන්න ඕනෙ කියලා හිතේ තිබුන හින්දා දවස් කීපෙකට පස්සෙ ආයෙමත් රෑ මැජික් කැටේ අතට අරන් කොම්පීටරේ ඉස්සරහා වාඩි වුණා. ඒත් හරි ගියෙ නෑ. ඒ ගමන මට වෙලා තියෙන අකරතැබ්බෙ ගැන ගූග්ල් දෙයියන්ගෙන් ඇහැව්වා. ඔන්න ඒ වගේ එව්වා අහලා තියෙන තව පුරස්න දෙක තුනක් ගූගල් දෙයියො මට හොයලා දුන්නා. ගොහිං එව්වා කියවලා බැලුවාම මෙන්න කියපි ඕක විසඳන්න බෑය, ඔය කැටේ වැරදිය, ගලවලා ආපහු හරියට හයි කරගන්ඩය කියලා. දැං මොකෝ කරන්නෙ ඉතිං? එකත් එකටම මං අර පැංචා කැටේ පොළොවෙ ගහලා කැඩිච්ච වෙලාවේ ආයෙ කෑලි හයි කරන්ඩ ඇත්තේ වැරදියට වෙන්ඩැති. ඉතිං හොයලා බැලුවා කොහොමද හරියටම තියෙන්න ඕනෙ කියලා. මෙන්න එහෙම එකකුත් තියෙනවා.

මැජික් කැටේ පාට හය - රතු, තැඹිලි, කහ, කොළ, නිල්, සුදු
ඔය පාට එකිනෙකට විරුද්ධ මුහුණත්වල තියෙන්න ඕනෙ මේ විදිහට:
කහ - සුදු
රතු - තැඹිලි
නිල් - කොළ



කොටස් ගලවා වෙන් කළ රූබික් ඝනකයක්

හරි, මගේ කැටේ වැරදියි. දැං ඉතිං ඕක ආයෙ පොළොවෙ ගහලා කඩන්නයැ? බඩු කඩන්නත් මොකක් හරි පිළිවෙලක් තියෙන්ඩ එපායැ! අනික මෙච්චර මේ මැජික් භාණ්ඩයක් වෙච්ච එකේ. ඉතිං ඒ ගැනත් අහලා බැලුවා. ඔය හම්බවුණේ. ආයෙ අඬු, නියන්, ඉස්කෝප්ප මුකුත් ඕනෙ නෑ, අතින්ම ගලවත හැකි. මෙන්න මේ විදිහට. ඉතින් ඒ විදිහට ගලවලා සිත්තමී කැටේ හදාගත්තා ආයෙ අලුතෙන් කඩෙන් ගෙනා එකක් ගාණට.

ඊට පස්සෙ කැටේ එහෙට මෙහෙට කරකවලා, ආයෙ ඔක්කොම අච්චාරු කරලා සම්බෝල හැදුවා.

ඊට පස්සෙ පාඩම් පොතේ කියලා තිබ්බ පිළිවෙලට කළා. ගොඩ! සිත්තමී මැජික් කැටේ හැදුවා! :D

විසඳා නිම කළ රූබික් ඝනකයක්

වැදගත් රීති ටිකක් (algorithms) තියෙනවා මතක තියාගන්න ඕනෙ. ඒ ටික මෙන්න මේ වීඩියෝ එකේ බොහොම පැහැදිලිව කියලා දෙනවා. මට හම්බුණ පැහැදිලිම ටියුටෝරියල් එක තමයි ඒක. අපි දන්න සාමාන්‍ය 3 x 3 ඝනකයට අමතරව දැන් වෙළඳපොළේ මහා පරිමාණයේ රූබික් ඝනකත් තියෙනවා. 17 x 17 රූබික් ඝනකයක් විසඳන වීඩියෝවක් බලං ඉඳලා සිත්තමීට ළඟදි දවසක නිදාගන්නත් අමතක වුණා. තව, මේ දැනගැනීම පිණිස කියන්නේ, දැන් තියෙනවා අන්තර්ජාලයේ ඕනෙම රූබික්ස් ඝනක පිහිටීමක් දුන්නාම ඒක විසඳන හැටි එකින් එකටම පියවර ටික අපිට පෙන්නන. වෙනත් විදිහකට කිව්වොත් Online Rubik's Puzzle Solvers. හැබැයි මගේ උපදෙස ඒවා පාවිච්චි කරන්න එපා, මම පාවිච්චි කළෙත් නෑ. අර උඩ ටියුටෝරියල් එකේ තියෙන රීති ටික හොඳට පුහුණු වුණාම මේක කිසි අමාරුවක් නැතුව විසඳන්න පුළුවන්.


විවිධ හැඩැති, විවිධ ප්‍රමාණයේ රූබික් ප්‍රෙහෙළිකා

දැන් මෙච්චර මේ අරුම පුදුම ඇඩ්වෙන්චර් එකක් අත්විඳින්න සිත්තමීට අවස්ථාව සලසලා දුන්න මේ මැජික් කැටේ ඉතිහාසය ගැන හොයලා බැලුවේ නැත්තම් අසාධාරණයිනේ. ඉතින් ඒ හින්දා මේ විස්තර ටිකත් හොයාගත්තා. (තොරතුරු මූලාශ්‍රය The history of the Rubik's Cube)

වර්ෂ 1974දී, හන්ගේරියාවේ බුඩාපේස්ට් නගරයේ විසූ අර්නෝ රූබික් (Erno Rubik) නැමැති වාස්තු විද්‍යා මහාචාර්‍යවරයා අමුතුම ආකාරයේ වස්තුවක් නිර්මාණය කළේය. එය බැලූ බැල්මට මෙලොව පැවතිය හැකි අන්දමේ වස්තුවක් නොවීය. ඝනකයක ස්වරූපය ගත් එහි මුහුණත් සෑම අතකටම කරකැවිය හැකි වුවද එහි කැබලි වෙන්වී යාමකින් හෝ බිඳී යාමකින් හෝ හැඩය වෙනස් වීමකින් හෝ තොරව ඝනකයක් ලෙසින්ම පැවතුණි. එකම වෙනස වූයේ එහි මුහුණත් මත වූ කුඩා චතුරශ්‍ර තිබූ ස්ථාන මාරු වීම පමණි. එය 'රූබික් ඝනකයේ' පිළිසිඳගැනීම විය. ඔහුම සෑදූ එම ඝනක ප්‍රෙහෙළිකාව විසඳීමට අර්නෝ හට මාසයක කාලයක් ගත විය. 

අර්නෝ රූබික් මහාචාර්‍යවරයා රූබික් ඝනයක් විසඳමින්

පළමු ඝනක පෙළ හන්ගේරියාව තුළ නිශ්පාදනය කර බෙදාහැරියේ පොලිටෙක්නිකා සමාගමයි. ආරම්භයේදී එම ඝනක හැඳිවූයේ 'Magic Cubes (මායා ඝනක)' නමිනි. එම ඝනක පසු කළෙකදී නිකුත් වූ ඝනක මෙන් දෙගුණයක පමණ බරින් යුතු විය. එකල හංගේරියාව තුළ ආනයන අපනයන ක්‍රියාවලිය සිදු වූයේ ඉතා දරදඬු පිළිවෙතක් යටතේය. 70 දශකය තුළ හංගේරියාවේ ජනප්‍රියත්වයට පත් වූ අර්නෝගේ මායා ඝනකය 80 දශකයේදී ලොව පුරා සෑම දරුවෙකුගේම අත රැඳෙනා ක්‍රීඩා භාණ්ඩයක් බවට පත්වන්නේ ජාත්‍යන්තර සමුළුවලදී මෙම ඝනකය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ ගණිතඥයන් සහ 1979දී නියුරම්බර්ග් ක්‍රීඩාභාණ්ඩ සැණකෙළිය වෙත මෙය රැගෙන ගිය අතිදක්ෂ ව්‍යාපාරිකයෙකු නිසාය. ක්‍රීඩා භාණ්ඩ විශේෂඥයෙකු වූ ටොම් ක්‍රේනර් එය ලෝක වෙළඳපළ වෙත ගෙන යාමට එකඟ වූයේ එහිදීය. ඔහුගේ නොසැලෙන විශ්වාසය මත Ideal ක්‍රීඩා භාණ්ඩ ආයතනය මෙම 'මායා ඝනකය' බෙදාහැරීමේ වගකීම භාරගත්තේය. Ideal ආයතනයේ විධායකවරුන් එහි නාමය මායාකර්ම (witchcraft) වෙත දක්වන සමීපබවට එතරම්ම කැමති නොවූයෙන් අවසානයේදී එය "Rubik's Cube" හෙවත් රූබික්ගේ ඝනකය නමින් ප්‍රසිද්ධියට පත් විය. දළ වශයෙන් දැනට ජීවත්ව සිටින මිනිස් ජනගහනයෙක් හත් දෙනෙකුගෙන් එක් අයෙකු මෙම ප්‍රෙහෙළිකා ඝනකය සමග සෙල්ලම් කොට ඇතැයි පැවසේ. 

“If you are curious, you’ll find the puzzles around you. If you are determined, you will solve them. ” ~ Erno Rubik 





27 comments:

  1. මමත් ඕක විසඳලා තියෙනවා. හරිම ලේසියි. ඔය ටියුටෝරියල් ඉස්කුරුප්පු නියං මොකුත් ඕනෙ නෑ. ඔය පාට අරන් තියෙන්නෙ ස්ටිකර් අලවලා. ගලවන්න ස්ටිකර්. අලවන්න එකම පාට එකම පැත්තට එන්න. ඔන්නං අර ඔයා කියපු පිලිවෙලටත් අලවන්න පුලුවන්. ඊට පස්සෙ සෙල්‍ෆියක් අරගෙන එෆ්බී දාලා රූබික් කියුබ් එක ලාච්චුවට දාලා රෑට කාලා නිදාගන්න.

    ReplyDelete
    Replies
    1. ඒක කරන්ඩ බෑ අයියා, සිත්තර පැංචාගේ මැජික් කැටේ පාට තියෙන්නේ කෙළින්ම ප්‍රින්ට් කරලා. නෝ ස්ටිකර්ස්. :)

      Delete
  2. අයියයියෝ! ඕකට විනාඩි ගනන් දඟලන්ට ඕනයැ.. මම තත්පර ගානෙන් ඕක හදනවා.. (ඒ කිවුවෙ මේ මේ... කෑලි වෙන්කරලා ආයෙම හයි කරනවා) :-D

    ReplyDelete
    Replies
    1. මම හැබැයි වැඩිය කැමැති නැහැ ඔය ඇල්ගොරිත්ම් ඉගෙනගෙන වැඩට බහින්ට.. ප්‍රහේලිකාවක් විසඳන්නෙ කොහොමද කියන එක දැනගත්තට පස්සෙ ඒකෙ තියෙන ඉන්ටරස්ට් එක අඩු වෙනවනෙ..

      Delete
    2. මං සීරියස්ලි අහන්නේ, ඇත්තටම ඒ කියුබ් එකේ කෑලි වෙන් කරලා ආපහු හදන්ඩ පුළුවන්ද විනාඩියකට අඩු කාලෙකදි?

      ඇල්ගොරිද්ම් එක දැනගත්තාට බූරයියේ ඒ ප්‍රෙහේලිකාව විසඳන හැටි හැම වතාවකදිම එකකට එකක් වෙනස්. මේ ප්‍රෙහේලිකාවේ (3 x 3 ඝනකයක) එකකට එකක් වෙනස් අවස්ථා 43,252,003,274,489,856,000ක් තියෙන්න පුළුවන් බව හොයාගෙන තියෙනවා. ඉතින් ඒ එකකට එකක් වෙනස් හැම වතාවකදිම ප්‍රෙහේලිකාව විසඳන විදිහ එකකට එකක් වෙනස්. ඇල්ගොරිද්ම් එක සමාන වුණත්, අන්තිම විසඳුම එකම වුණත් ඒකේ වෙනසක් තියෙනවා. කරලම බලන්න ඕනේ ඉතිං, මං මෙහෙම කිව්වට වැඩක් නෑ. :P

      Delete
  3. අපේ මාමා ගාවත් ඔයින් එකක් තිබ්බා.විසඳන්න ගත්තු උත්සාහයන් සාර්ථක වෙලා නම් නැහැ.දැන්නම් එක කොහෙද දන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් අලුත් එකක් අරගෙන මේ ලින්ක් වල කියලා දීලා තියෙන විදිහට හදන්ඩ උත්සාහ කරන්න. වැඩේ අහුවුණාට පස්සේ ඒක පැත්තකින් තියන්න හිතෙන එකක් නෑ. :D

      Delete
  4. මං මේ කල්පනා කළේ සිත්තර පැංචා හින්ද සිත්තමී අක්කා ආපහු පොඩි එකෙක් වෙලා තියෙන හැටි.. ඔක්කොම අම්මලා තාත්තලටද ඔහොම වෙනවද ඈ..?

    ReplyDelete
    Replies
    1. අම්මා තාත්තා විතරක් නෙවෙයි නංගි, ආච්චිලා සීයලාත් ඒ හුරතල් එක්ක ආපහු බාල කාලෙට යනවා. මං මෙන්න මේක ලිව්වෙ සිත්තර පැංචයි එයාගෙ සීයයි ගැන. :)

      Delete
  5. I saw in FB a moment ago...

    After all these years of learning math, I learned one thing.
    That's I hate Math.

    ReplyDelete
    Replies
    1. ඒ කියමනට එහාපැත්තෙන් පින්තූරෙකුත් තිබ්බද? මෙන්න ඒබ්‍රහම් ලින්කන්තුමා මෙන්න මෙහෙම කියලා තියෙනවලු. ;) :P

      Delete
    2. හෙහ් හෙහ්, ඇත්තෙන්ම මම හිතුවෙ මේ මමම කියපු කතාවක් කියලා.

      Delete
    3. නෑ නෑ, ලින්කන්තුමාට අනාගතය දකින දිව්‍යඥානය පහළවෙලා ඉන්ටනෙට් ගැනයි, ෆේස්බුක් ගැනයි දිවැසින් දැකලා ඔහොම කියලා තියෙන්නේ. :D

      Delete
  6. ඔයාටත් තියන වැඩ අක්කේ...

    ReplyDelete
  7. එක පැත්තක් අමාරුවෙන් ගොඩ දාත හැකි.. එච්චර තමා. රූබික් අංකල්ට දෙකක් දෙන්ඩ හිතෙනවා හිත කරදර කරන ඒවා හදනවට... මොකක්ද හැබෑට මේ හෙන්රි කියන දැකිල්ල.... අර ලින්කන් අංකල්ව නං දැක්කා.. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. දේශකතුමාව ආයිබෝන් කියලා සාදරෙන් පිළිගන්නවා ඔන්න මගේ කවිපොතට. :)

      අනේ රූබික් අංකල්ට එහෙම මොකුත් කියන්ඩ එපා. මටනං එයා මැජික්කාරයෙක්. මෙහෙම එකක් ගැන හිතන්නවත් පුළුවන්ද එසේ මෙසේ මැජික්කාරයෙකුට ඇරෙන්න. හෙන්රි අයියා ගණං වලට හරි ආසයි කියලනේ ඔය කියලා තියෙන්නේ. :D

      Delete
    2. ඈහ්.. මං මීට කලින් නාපු තැනක්ද මේක... එතකොට ෆලෝස් නදිය අසබඩ කතාව ලිව්වේ කව්ද හෑ.. මට කොයිල් වගේ නේ.. හා හා.. කමෙන්ට් එකක් දාලා නැතිව ඇති හෙනං.. ජය වේවා..

      Delete
    3. /* ඈහ්.. මං මීට කලින් නාපු තැනක්ද මේක.. */

      දේශකතුමා මීට කළින් මෙතන නාලා නෑනේ, මං ෆ්ලොස් ගඟෙත් මෙගොඩ ඉඳං එගොඩහටම ආයෙත් ගොහිං බැලුවා හෝඩුවාවක්වත් හම්බවෙයිද කියලා, ම්හු, ඔහෙ නෑ. හැබැයි අර ෆලෝ ගැජට් එකේනම් ඔබතුමාගේ පින්තූරේ ටික කාලෙක ඉඳන් තිබ්බා තමා. ඉතින් කමක් නෑ, ආයිබොවන් කියලා කොච්චර කිව්වත් ආයෙ වැඩියක් වෙනවයැ. :)

      Delete
    4. එහෙනං.... එහෙනං... නිහඩ කියවන්නො ්ගොඩරියක් ඉන්න එක හරි වටිනවා...

      Delete
    5. ඒකනෙ, මාත් එහෙම නිහඬ කියවන්නෙක්නේ. :)

      Delete
  8. ඇත්තටම සිත්තමී කරන හැටි හොයා ගත්තට පස්සේ බිමින් තියන්න හිතෙන්නෙ නැ තමයි..:) :)

    ReplyDelete
  9. පට්ට වටිනා පෝස්ට් එකක්... ඒත් මට නම් එච්චර වැඩක් වුණේ නෑ.
    ..
    :)
    99% ක් ම මම දැන ගෙන හිටපු ඒවා... මම පෝස්ට් එකක් දාන්ට කියලා හිතා ගෙන හිටපු තේමා වලින් එකක්... දවසක දාන්නම්කෝ හිතා ගෙන හිටපු ඔක්කෝම...

    මට නම් යාන්තම් විනාඩි තුනක් ඇතුලත වගේ හදන්ට පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චතුරංග. ඉන්ටනෙට්, යූටියුබ් උදව් නැතුව, ටිකිරි මොළෙන්ම කල්පනා කරලා මේක හදන හැටි ඉගෙනගත්තු අය තමා නියම වැඩකාරයෝ. තව ප්‍රැක්ටිස් කරන්න, විනාඩි තුන තව කෙටි කරගන්න පුළුවන් වෙයි. :)

      ඔයාගේ සටහනත් කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.

      Delete
  10. අවුරුදු ගානකට පස්සේ ලිපිය කියව ගත්තා. දන් නම් කොළ බලන්නේ නැතුව කටය හදන්න පුලුවන් ඇති.

    ReplyDelete